Tuesday, April 25, 2017
මීතොටමුල්ලේ ජේතවනය
ජේතවනය කියන්නෙ නිකම්ම විහාරයක් නෙමෙයි. ඒක හැදෙන්නෙ තේරවාදී භික්ෂූන්ගේ ලොකුම තැන වුණ මහා විහාරය විනාශ කරලා. එක විදිහකට ඒක අපේ සංග සාසනේ කියන එකේ සදාතනික බල අරගලය ගැන හොඳ ආර්ට් පීස් එකක්.
අනිත් පැත්තට කටවහරෙ අපි ජේතවනය කියන්නෙ විශාල වණයකට, තුවාලෙකට. මාර ජේතවනයක්නෙ කියල යෙදෙන්නෙ මාර වාතයක් කියන අදහසින්. දැන් හෙළ උරුමයෙ හාදයො ටික ජේතවනය වෙනුවෙන් පෙනී ඉන්න කියල පොලිස්පතිට ලියුම් ලිවීමේ ජෝක් එක හරහා මේ විහාරෙ හරි ආර්ට් පීස් එක හරි අර තුවාලය කියන තේරුමට තල්ලූ කරගෙන යනවා.
මුවිඳු බිනෝයි මේ ඩිජිටල් කොලාජ් කියන ආර්ට් ප‍්‍රවේශය ලංකාවට අඳුන්නලා දෙන්න වැඩකරපු කීපදෙනාගෙන් කෙනෙක්. මුවිඳුගෙ වැඩවල තිබුන විශේෂත්වය වෙන්නෙ ඒවා අපේ සමාජ සංස්කෘතික දේශපාලනික සංසිද්ධි ගැන කිසිම විචාරයකට හෝ විනිශ්චයකට නොගිහින් හුදු ප‍්‍රකෘති නිරීක්ෂණයක් විදිහට ඉදිරිපත් වෙන එක. කොලාජ් කියන්නෙම තැනින් තැනින් එකතු කරගත්ත කෑලි වලින් අමුනල හදන ආර්ට් එකක් කියන අදහස. එතකොට ඒ එකතු කිරීම් නිකම්ම කොල කෑලි හෝ රෙදි කෑලි වෙනවට වඩා මුවිඳු එයාගෙ ආර්ට් එක ඇතුලෙන් කොලාජ්වලට වෙන ගැඹුරු අදහසක් ඇඞ් කරනවා. ඒවා ඇත්තටම කල්චර් කොලාජ්. එයා අමුණන්නෙ සංස්කෘතියෙ එක එක කෑලි. එකම මොහොතක එක එක තැන විසිරිලා තියෙන ඒ සංස්කෘතික කෑලි එක චිත‍්‍රයක් උඩට දැම්මම ඒකට වෙනම තේරුමක් හැදෙනවා. අපි පිනා යන්නත් හෙළ උරුමයට මළ පනින්නත් හේතු වෙන්නෙ මේ තුන්වෙනි තේරුම. නැත්තං මීතොටමුල්ල මෙහේ තිබුන, ජේතවනය අනුරාදපුරේ තිබුන. ඒත් මුවිඳු ජේතවනය උඩට මීතොටමුල්ලෙ කුණුගොඩ සමපාත කිරීම හරහා මේ සංස්කෘතික කලාප දෙක කොලාජ් කළා. ඇත්තටම කිව්වොත් කුණු ප‍්‍රශ්නය ආගමික ප‍්‍රශ්නයක්, ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්, ජාතික ප‍්‍රශ්නයක් කියන තැනට සංවාදය ලොකු කළා.
මේ කොලාජ් එක ගැන කරන හැම දේශපාලන පැත්තට බර සංවාදයකින්ම වෙන්නෙ ඒකෙ තියෙන ආර්ට් එක හෑල්ලූ වෙන එකයි. ඒක ඒ චිත‍්‍රය දුටු සැනින් හිතේ ඇතිවෙන ක්ෂනික අවබෝදය හෝ රසය කියන තැනින් ගලවලා බුද්දාගම හෝ ඊට ප‍්‍රතිවිරුද්දව ආගමික විරෝදය කියන තැනට ගෙනියන එකෙන් ආර්ට් එක මැරෙනවා. එතනින් එහාට ඒ ආර්ට් එක වැඩ කරන්නෙ මේ ප‍්‍රතිවිරුද්ද අන්තයන් දෙකේ තේරුම් අතරෙ විතරයි. ඒකට අදාල බහුවිද අර්ත රස නිරූපන හැකියාව ඒකෙන් අවලංගු වෙනවා. බෝලෙ වැටෙන්නෙ වෙන පිට්ටනියකට. මොනවා කරන්නද?
අපි හැම තැනම දාගැබ් හදහද ගිය රටක්. දැන් හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම හිටවනවා වගේම ඒ කාලෙ රජෙක් රජෙක් ගානෙ දාගැබ් හැදුවා. ඒක අපේ උරුමය. ඒ දාගැබ් වගේම අපි දැන් තැනින් තැන කුණු කඳු ගොඩගහනවා. ඒ කුණු කඳු නිසා සියගනං ජනතාව එකවර නිවන් යනවා. ඒක බලන් ඉඳලා තවත් ජනතාව නිවන් අවබෝද කරගන්නවා. මේ වෙද්දි වල්වැදී තියෙන ජේතවනයට වඩා මීතොටමුල්ල කුණු දාගැබ සමාජය ගඳෙන් අවදිකරනවා.
එකක් පරයා එකක් නැගෙන උස දාගැබ් වගේම එකකට පස්සෙ එකක් නැගෙන කුණු කඳු කියන්නෙ අපේ ගිල්ටිය නෙමෙයිද. අපි පව් වලින් අත්මිදෙන්න දාගැබ් හදනවා වගේම කුණු වලින් අත්මිදෙන්න කුණුකඳු හදනවා.
මං තේරුම් ගත්ත බුද්දාගම පැත්තෙන් ගත්තත් කුණු කියන්නෙ දහමට නිගාවක් නෙමෙයි. ඒ වෙනුවට කුණු තමයි දහම. ක්ලේශය. තෘෂ්ණාව. ඒක ගැන තමයි බුදුන් බණ කියන්නෙ. බුද්ද ශරීරය වුනත් කුණු ගොඩක් කියලයි බුදුන් උපමා කරන්නෙ. එතකොට මීතොටමුල්ල කුණු කන්ද ජේතවන විහාරය උඩින් තැබීමම බුදු දහම නැවත අවධාරණය කිරීමක් වෙනවා. කිසි පණක් නැතුව ඔහේ අවතැන් වෙලා හිටපු ජේතවනයට මේ චිත‍්‍රය හරහා ප‍්‍රබල ආධ්‍යාත්මික පණිවුඩයක් ඇතුල් වෙනවා. මේ තෘෂ්නා කන්ද, මේ කෙලෙස් කන්ද පිරියම් කරලා වහගෙන ඉන්නෙ නැතුව සත්‍යය අවබෝද කරගන්න කොලාජ් එක බණක් කියනවා.
මේ චිත‍්‍රය බුදුන්ගේ දහමට නිගාවක් වෙන්නෙ කොහොමද කියල හෙළ උරුමය පැහැදිලි කරන්න ඕන. බුදුන් වදාල ධර්මය, සිංහල බුද්දාගම කියල ලේබල් කරගෙන ඒ දහමෙ සතු සියලූ ආධ්‍යාත්මික ගුණයන් එහෙම්පිටින්ම වල දාපු, පන්සලේ හිටපු භික්ෂුන් පාර්ලිමේන්තුවට යවපු, අන්තිමට මිනීමරන එක පවා බුදුන්ගේ නමින් ලෙජිට් කරපු, හෙළ උරුමය, බොදු බල සේනා, රාවනා බලය වගේ සංවිදානවලට තව රකින්න ඉතුරු වෙලා තියෙන බුදුදහමෙ ගරුත්වය මොකක්ද?
ඇත්තටම නං මේ වැඩෙන් වෙන්නෙ මේ ආර්ට් පීස් එකට වැඩි පබ්ලිසිටියක් හම්බුවෙන එක. ඒක වැඩි පිරිසක් විසින් නරඹන එක. විඳන එක සහ ඒ මත පහරන එක. ඒක හොඳ දෙයක්. මුවිඳුගෙ ආර්ට් එකට කෙළවුනාට කරන්න දෙයක් නෑ. මේ තමයි අපි ආර්ට් විඳින විදිහ.
ප.ලි. ජේතවනය කුණු වලින් පුරවමු කියල මේ ආර්ට් එකේ අදහස මැටිම ලිටරල් තැනකින් ගත්තත් ඒකෙන් කියන කතාව ලොකුයි. ජේතවනය වගේ විහාර ඉස්සරහ යන තැනක අරන් යන්න කුසල් කඳු ගහන අයගෙම කසල තමයි මීතොටමුල්ලෙ නාය යන්නෙත්. ඒ කුසල් කන්ද ඉස්සරහ තමන් පුරවන කුණු කන්ද තියලා පෙන්නන එකම ලංකාවෙ බොරු උපාසකකමට හොඳ කම්මුල් පාරක්, ඇහැරෙන්න. සිහියට එළඹෙන්න.
මේ චිත‍්‍රයෙ අර්තයන් අනන්තයි. ඒ හින්දම ලියල ඉවර කරන්න අමාරුයි. ඒත් ජේතවනය වගේ මහා දාගැබ් කියන්නෙ අපේ උරුමයක අබිමානය වගේ දෙයක් නම් මීතොටමුල්ල කුණුකන්ද කියන්නෙත් ඒ තරමටම උස අපේ අවමානයේ සළකුණක් නෙමෙයිද. මේ චිත‍්‍රයට විරුද්ද පැමිනිල්ල කියන්නෙත් අපි ආගමික අතින් ඉතියෝපියාවත් එක්ක කොච්චර ළ`ගට ඇවිත්ද කියන එක යලි මතක් කිරීමක් නෙමෙයිද.
-චින්තන ධර්මදාස
Monday, April 17, 2017
කුණුවෙන්න කලින් ඇහැරෙන්න
මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ගමන් හැමෝම බැලූවෙ ආණ්ඩුවට බැනලා හිත නිදහස් කරගන්න. ඒක තමයි සිද්දයකදි වෙන්න පුළුවන් නරකම දේ මට හිතෙන්නෙ. බෝලෙ කාට හරි පාස් කරන එක. යමක් සිද්ද වුනාම ඒකෙ තමන් වගකිව යුතු කොටස ගැන හැගීමක් පුරවැසියො විදිහට අපිට නෑ. තාත්තාගෙන් වගේ ආන්ඩුවකින් හැමදෙයක්ම කෙරෙන කල් බලන් ඉන්නවා.
මීතොටමුල්ල ගැන ආන්ඩුවෙ වගකීමක් නෑ කියනවා නෙමෙයි. මේ අවදානම්කාරී තත්වය ගැන ඉක්මණින් කටයුතු කිරීමේ වගකීම ආන්ඩුව පැහැර හැරලා තියෙනවා. ඊටත් වඩා සමාව දිය නොහැකිම, ආණ්ඩුවේ දුබලතාවය ලැජ්ජාසහගත විදිහට පේන තැන වෙන්නෙ කන්ද නාය ගියාට පස්සෙත් ? දෙක වෙනකල් කිසි දෙයක් නොකර බලන් හිටපු එක.
ආණ්ඩුව මේ ගැන යම් යම් උත්සාහයන් දැරුවා. ඒත් කුණු කන්ද වෙන තැනකට මාරු කරනවා ඇරෙන්න වෙන විකල්පයක් ආණ්ඩුවට නෑ. ඒක පුත්තලම පැත්තට අරන් යන්න හදනකොට ඒ පළාතෙන් ඒකට විරුද්දව උද්ගෝෂණ ඇතිවුනා.
ඊට පස්සෙ ඉතාම මෑතක කුණු වර්ග කිරීමේ පිලිවෙතක් ආන්ඩුවෙන් අඳුන්නලා දුන්නා. කුණු වර්ග කරලා මුදාහරින්නෙ නැතුව කුණු ප‍්‍රශ්නෙට කිිසිම දිගුකාලීන විසඳුමක් යොදන්න පුළුවන්කමක් නෑ. ඒත් ඒකට බැක් එන්ඞ් එකක් නිර්මාණය කරගන්න ආන්ඩුවට පුළුවන්කමක් තිබුනෙ නෑ,
කුණු ප‍්‍රශ්නය කුණු වෙවී තිබුන.
කුණු කන්ද මිනිස්සුන්ගෙ ඔලූව උඩට කඩා වැටෙන්නෙ මේ අතරෙ. දැන් ආණ්ඩුව මේ ගැන මොන විදිහක ක‍්‍රියාමාර්ග ගත්තත් ඒ වෙනුවෙන් මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ද වෙලා ඉවරයි.
මේ වෙලාවෙ ඇ`ග බේරගන්න මොකක් හෝ ඉක්මන් ගැටයක් ගහනවා වෙනුවට කුණු ප‍්‍රශ්නෙට තිරසාර විසඳුමක් දෙන්න ආන්ඩුව කල්පනා කරන්න ඕන. මේ කුණු කන්ද තව කොහෙට හරි ගිහින් දාන්න පුළුවන්. ඒත් ඒක තව ප‍්‍රශ්නෙක ආරම්භයක් විතරයි.
ආණ්ඩුව වගේම මේ රටේ ජීවත් වුන, දිනපතා කුණු බැහැර කරපු නාගරික අපි හැමෝමත් මේ කන්දෙ වගකීම බාරගන්න ඕන. බබ්බු වගේ ආන්ඩුවලට අත් දික් කර කර අ`ඩනවට වඩා පරිණතව ප‍්‍රශ්නය බාරගන්න ඕන. මේ කුණු කන්ද නවත්තන්න අපි කවුරුවත් මොනවවත් කරලා තියෙනවද?
නොදැනුවත්කම නිදහසට කාරණයක් වෙනවා නම් අපි වගේම ෂුවර් එකටම ආන්ඩුවත් කල්පනා කළේ නෑ මේක මේ වෙලාවෙ කඩන් වැටෙයි කියල.
අපි නාගරික කුණු බැහැර කිරීමේ සංස්කෘතියක් නැති ජනතාවක්. පාරක් පාරක් ගානෙ කුණු දැමීම බල්ලන්ට පමණයි කියල නොනැවතී දාන උන්ගේ අම්මලවත් මතක් කරලා බෝර්ඞ් ගහලා තියෙන්නෙ ඒකයි. මීතොටමුල්ලෙත් ‘කුණු දැමීම බල්ලන්ට පමණි’ කියල ලොකු බෝර්ඞ් එකක් තිබුන නං එතන කන්දක් උසට කුණු දාපු බල්ලො වෙන්නෙ කවුද?
අධිකරණ නියෝග පවා නොතකමින් මේ කුණු දැමීම කරගෙන යන එක සිවිල් සමාජ පුරවැසියො කාටවත් ගැටලූවක් වුනේ නෑ. අපි කාටවත් මේ වෙනකල් කුණු ප‍්‍රශ්නෙ අදාල වුනේ නෑ.
ඕනම ප‍්‍රශ්නයකට විසඳුමක් හොයන්න නම් ඒ ප‍්‍රශ්නෙ සමාජගත කරන්න ඕන. ඒක සිද්ද වෙන්නෙ ඒ වෙනුවෙන් මැදිහත්වෙන සිවිල් ක‍්‍රියාකාරිකයො අතින්. වෙන තේරෙන විදිහකට කිව්වොත් ඒක මිනිස්සුන්ගෙ ජීවිත ඩිස්්රප්ට් කරන කැම්පේන් එකක් බවට පත්වෙන්න ඕන. ආණ්ඩුව වගේම ජනතාවත් මොකක් හරි දෙයක් සීරියස් විදිහට බාරගන්නෙ ඒකට ලැබෙන ඇටෙන්ෂන් එක උඩ. මේක සාධාරණ නෑ හෝ නොමිනිස් තත්වයක් හෝ කියල කාට හරි තර්ක කරන්න පුළුවන්. ඒත් ඒක මේ වෙනකල් සිද්ද වෙලා තියෙන්නෙ ඒ විදිහට.
ලංකාවෙ ගොඩක් දේවල් එහෙම කැම්පේන් එකක් වෙන්නෙ ඒක පිටපස්සෙ සෙට්වෙන පොලිටිකල් උවමනා අනුවයි. සයිටම් ප‍්‍රශ්නෙ රටේ තීරණාත්මක ප‍්‍රශ්නයක් වෙලා කුණු කන්ද නෑසී යන්නෙ ඒ පොලිටිකල් උවමනාවල වෙනස හින්ද. මීතොටමුල්ල කුණු කන්ද කාටවත් වාසියක් තියෙන කැම්පේන් එකක් බවට පත් වුනේ නෑ.
මේක මීතොටමුල්ලට වගේම රටේ තවත් ගොඩක් ව්‍යසන සම්බන්දයෙන් පොදුයි. බන්ඩාරවෙල පැත්ත තනිකරම කාන්තාරයක් කරමින් ක‍්‍රියාත්මක වෙන උමා ඔය ප‍්‍රශ්නය කාටවත් අදාල නෑ. ඒ පලාත්වල මිනිස්සු බවුසර් එනකල් බලන් ඉන්නවා වතුර බොන්න. තවත් ප‍්‍රදේශ ගනනාවක් මේ විදිහටම මේ ව්‍යාපෘතිය නිසා හිඳිලා යන්න නියමිතයි. ඒත් මේ තැන්වල විරෝදතා නැගලා යන්නෙ නෑ. ඒත් විල්පත්තුව ඇවිලිලා යනවා. එතන ජාතිවාදී පෙට‍්‍රල් තියෙන හින්ද. සයිටම් ඇවිලිලා යනවා. ලංකාවෙ ඇරිස්ටොක‍්‍රසිය සලිත වෙලා තියෙන හින්ද. ඒත් කුණු කන්දක් වෙනුවෙන් ස්ට‍්‍රයික් කරන්න කවුරුවත් හිතන්නෙවත් නෑ.
මේ වගේ ප‍්‍රශ්නෙක වගකීමේ ලොකු කොටසක් පැවරෙන්නෙ සිවිල් බුද්දිමතුන්ට. නාය ගියාට පස්සෙ ඒ ගැන අනාවැකි කී අපේ ආචාර්යවරයා කියල ආඩම්බර වෙන දුප්පත්කම මිස ඒ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න තමන්ට නොහැකිවීම ගැන පශ්චාත්තාපයක් අපේ උගතුන්ට නෑ. පත්තරේකට ගිහින් ලිපියකට කතාව කියල තමන්ගෙ කාරිය කොළා කියන ජයග‍්‍රාහී හැගීමෙන් ඉතින් ඉන්නවා.
ලංකාවෙ කුණු ප‍්‍රශ්නය ගැන මීට වඩා සිවිල් බුද්දිමතුන් මැදිහත් විය යුතුව තිබුන. ඒ වෙනුවෙන් මැදිහත් වුනු පිරිස්වලට බැරි වුනා මේක දැනෙන ප‍්‍රශ්නයක් බවට පත්කරන්න. ඒ අයට පත්තර, ටීවී වගේ පරණ මාධ්‍ය වෙනුවට නූතන මාධ්‍ය පාවිච්චි කරන සන්නිවේදන දැනුම හි`ගකම මේ වගේ තැන්වලදි ලොකුවට බලපානවා. (කීපදෙනෙක් තමන්ට පුළුවන් උපරිමයෙන් මේ ගැන කරපු වැඩකොටස අවතක්සේරු කරනවා නෙමෙයි).
මේ වගකීමෙන් මං වුනත් නිදහස් නෑ. බැහැර කරන දේට වෙන්නෙ මොකද්ද කියන සවිඥාණකත්වයෙන් තොරව ජීවත්වීමෙන් මං ජීවිත ගානක් හානි කරලා තියෙනවා. පුරවැසියෙක් හැටියට මගේ ශික්ෂණයෙ ප‍්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා එතනදි මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? අපි අපිට වඩා හොඳ ආණ්ඩුවක් ගැන හීනයක ජිවත් වෙනවද?
ඊළ`ගට වෙන්න නියමිත දේ තමයි මේක වෙනත් රොමැන්ටික් අන්තයකට ඇදගෙන යන එක. මං විසි කරන ටොපි කොලය පවා අප්සෙට් කියල පරණ සීනි ගොටු සංස්කෘතියට ආපසු යාමේ නොස්තැල්ජියාවක් දක්වා මේක දුරදිග යන්න පුළුවන්. ප්ලාස්ටික් භාවිතය මේ හැමදේකම දරුණු හතුරා කරලා අපිට පුළුවන් බොරු හරිත බුබුළක් හදාගන්න.
ඒත් මේ ටීනේජ් ගතියට වඩා අපි ප‍්‍රයෝගික වෙන්න ඕන. ප්ලාස්ටික් නෙමෙයි ප‍්‍රශ්නෙ. ප්ලාස්ටික් කියන්නෙ මිනිස්සු අතින් නිර්මාණය වුණු සුවිශේෂීම දෙයක්. ලෝකෙ දෙවෙනි කාර්මික යුගය නිර්මාණය වුනේ ප්ලාස්ටික්වලින්. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ප්ලාස්ටික් දිරාපත් කරන ක‍්‍රමයක් අපි තාම හොයාගෙන නැති එකයි. දිරාපත්වන ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් දිරාපත් කළ හැකි තාක්‍ෂණයක් හෝ මිනිස්සු ඉදිරියේදී හොයාගනීවී. එතකල් අපිට සිද්ද වෙනවා පුළුවන් උපරිමයෙන් ප්ලාස්ටික් කළමනාකරණය කරන්න. අපි හිතන්න ඕන ප්ලාස්ටික්වලින් ඔබ්බට නැත්තං පෝස්ට්-ප්ලිස්ටික් යුගයක් ගැන මිස ප‍්‍රි-ප්ලාස්ටික් විසඳුම් ගැන නෙමෙයි.
කාවවත් වැරදිකාරයෙක් කිරීම හෝ බැක්වර්ඞ් ටයිම් ට‍්‍රැවලින් මෙතනදි වැඩක් වෙන්නෙ නෑ.
අපිට සිද්ද වෙනවා මීතොටමුල්ල කුණුකන්ද ගෙට ගන්න. ඒක දියවන්නාවට තල්ලූකරලා අත්හෝදගෙන ගෙදර එන්න කාටවත් බෑ.
Sunday, April 9, 2017
දැනුමයි විනෝදයයි
මට මෑතක අලූත් යාලූවෙක් මුනගැහුන. එයා ඉංජිනේරුවෙක්. ඒ වගේම සමාජ කාරණා ගැනත් ගොඩක් උනන්දු වෙන කෙනෙක්. දේවල් දකින විදිහ වෙනස්. හැමදෙයක්ම හරියට ගනං ගැටලූවක් වගේ. එයා මට ගෙනාවා අදහසක්. ලංකාව පොලිටීෂන්ස්ලගෙන් තොර රටක් කරමු කියල. ‘ඩිමොක‍්‍රසි විතවුට් පොලිටිෂන්ස්’. එයාගෙ අදහස වුනේ දේශපාලකයො එක්ක යහපත් රාජ්‍යය කියන කන්සෙප්ට් එකට යන්න බෑ කියල. ඒ වෙනුවෙන් දේශපාලන ක‍්‍රමය නැත්තං සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා කියල.
මං හිතන්නෙ අපි හැමෝම එකපාරට එකග වෙන්න බලනවා ‘දේශපාලකයො නිවාඩු යවමු’ වගේ තේමාවකට. කතාව තවත් දිගට යනවා. මගේ යාලූවා කියන්නෙ මිනිස්සුන්ගෙ ඡුන්දෙන් මේ තෝරගන්න ක‍්‍රමය තනිකරම බොරුවක් කියල. ඒකෙ ජනතා මතය හරි මොකක් හරි නිරූපනය වෙනවා වෙනුවට නිරුපනය වෙන්නෙ රැුවටීම, දුෂණය වගේ කාරනා කියන එක.
ඒ වෙනුවට එයා විකල්පයක් යෝජනා කරනවා. සියලූ වගකිව යුතු ධූරයන් අදාල විෂයන්වල ප‍්‍රවීනයන්ට පවරන්න ඕන කියල. අමාත්‍යවරු කියල කට්ටියක් නෑ. ඒ වෙනුවට තෝරාගන්නා ලද බුද්දිමතුන් සෙට් එකක් ඉන්නවා. ඒ තෝරා ගැනීම කරන්නෙ ජොබ් එකකට බඳවා ගන්නවා වගේ විධිමත් අපක්ෂපාතී සිස්ටම් එකක් ඇතුලෙන්. ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ අයදුම් පත‍්‍රය අදාල ධූරයට එවන්න.
දේශපාලකයන්ව නිවාඩු යවන්නෙ කොහොමද කියන එක ගැනත් එයාගෙ අදහසක් තිබුන. ඒක එච්චර අදාල නැති නිසා මං ලියන්නෙ නෑ. ඒ සැලැස්ම අනුව හැමදෙයක්ම හරිම ප්‍රොෆෙෂනල් සිස්ටම් එකක රන් වෙනවා. ජනතාවගේ කැමැත්ත විමසන්නෙ අවශේෂ ඔවුන්ට ඍජුව බලපාන සහ ඔවුන්ට ඇත්තටම අදහසක් ඇති කාරණා ගැන විතරයි. දැනට ජනතා මතය විමසන කාරණා ගැන ඒ මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා එතන වෙන්නෙ රැුවටීමක්. විශේෂයෙන්ම ජනතාව කියන එකමත් දේශපාලකයො විසින් ගොඩනගා ගත්ත බොරුවක් කියල එයා තර්ක කළා.
මාත් එක්ක හිටපු අනෙක් අය ගොඩක් එකග වුනා මේ කතාවට. කරන්න අමාරුයි තමයි ඒත් කළොත් ඒක තමයි වැඬේ වගේ තැනක හිටියෙ. මේක ගොඩක් දුරට ටෙක්නොක‍්‍රසිවලට ළ`ග අදහසක්. සමාජ ආර්තික ප‍්‍රශ්න විසඳන්න සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක‍්‍රමයන් පාවිච්චි කළ යුතුයි කියන වර්ගයේ යෝජනාවක්. හයිපොතිසීසයක්. මෙතනදි ආගම, සදාචාරය වගේ දේවල් පුද්ගලික කාරණා බවට පත්වෙනවා. ඒවා රාජ්‍ය සම්බන්ද වෙන දේවල් නෙමෙයි. රාජ්‍යය තනිකරම සමාජයේ සම්පත් බෙදාහැරීමේ පාලනය, සංවර්ධනය වගේ කාරණා වෙනුවෙන් මැදිහත්වෙනවා. හැමදෙයක්ම ක‍්‍රියාත්මක වෙන්නෙ පර්යේෂණ මගින් ඔප්පු කරන ලද න්‍යායන් හරහා. වරදින්න කිසිම විදිහක් නෑ. වැරදුනත් නැවත වෙන දිශාවකින් ට‍්‍රයි කරන්න කිසි බාධාවක් නෑ.
මේ දැනුවත් අය විතරක් සහභාගි වෙලා රටේ සමාජයේ ප‍්‍රශ්න විසඳන අදහස මගේ යාලූවට විතරක් නෙමෙයි දැනඋගත් කියල හිතන- සම්මත ගොඩක් හාදයන්ට තියෙනවා. කියවලා එන්න, හදාරලා එන්න, ඔයා දන්නෙ මොනවද, කරලා තියෙන්නෙ මොනවද වගේ ප‍්‍රශ්න එන්නෙ එතනින්. ඒක මිනිස්සු දැනුවත් කිරීමේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒ වෙනුවට දැනුම බලයක් හැටියට පාවිච්චි කිරීමේ ප්‍රොජෙක්ට් එකක්. සමහර අය මේ ගැන දැනුවත්වත් සමහර අය නොදැනුවත්වත් මේ අදහසේ එල්ලිලා ඉන්නවා.
මගේ යාලූවා ලස්සන කතාවක් කිව්ව. දෙවියො නැත්තං ආගම ගැන විශ්වාසය හරියට මාස්ටර්බේෂන් එකක් කියල. මට යතුරක් ඇරුන.
දෙවියන් ගැන විශ්වාසය මාස්ටර්බේෂන් එකක්. විද්‍යාව ගැන විශ්වාසය සංසර්ගයක්. සංසර්ගය වඩා ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන්. ඒත් මාස්ටර්බේෂන් එක වඩා තෘප්තිමත් නිදහස් ප‍්‍රකාශනයක්.
විද්‍යාව කියන්නෙ දන්න දේ. දෙවියන් කියන්නෙ නොදන්න දේ. දෙවියො විශ්වාස නැති කිසි කෙනෙක් මට අනුව ගැඹුරු මිනිහෙක් නෙමෙයි. (මේ කියන්නෙ ආයතනික දෙවියන් ගැන නෙමෙයි. තමන්ට පර්සනල් දේවත්වයක්. ආයතනික දෙවියන් කියන්නෙත් ටෙක්නොක‍්‍රසි ප‍්‍රකාශනයක්)
අපේ දේශපාලන ක‍්‍රමය ඇතුලෙ අපි නිතර දුර්වලතාවයක් විදිහට දකින දේක අතිශය වැදගත්කමක් මට පේන්න ගත්ත. අපේ ආයතනික මට්ටමේ ගොඩක් තැන්වලට තනතුරුවලට පුද්ගලයො ගනිද්දි වැඩකරන්නෙ අපේ යාලූවා කියන විදිහට. සුදුසුකම් අනුව, ප‍්‍රවීනතා අනුව. (මෙතනදිත් සම්බන්දකම්, ගොට්ට ඇල්ලීම් වැඩ කරන්න පුළුවන්. ඒත් සම්මතය අර විදිහයි*. ඒත් ඊට උඩින් අපි ඇමති කෙනෙක් දානවා. ඒ ඇමති එන්නෙ සුදුසුකම් අනුව නෙමෙයි. කිසිම සුදුසුකමක් නැති වුනත් මිනිස්සු කැමති නම් එයාට ඇමති කෙනෙක් දක්වා යන්න පුළුවන්. කොලිෆිකේෂන් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක තනිකරම අතාර්කික මිනිස් කැමැත්ත මත තීරණය වෙන දෙයක්. බොරුව, මෝඩකම, නොදැනීම, ආදරය, කැමැත්ත, උදව්පදව් ආදී අනේකවිධ කාරණා බලපෑම් මත තීරණය වෙන දෙයක්. හැම තාර්කික පිළිවෙතකම මුදුනෙ මේ අවිනිශ්චිතතාවය, අතාර්කික ඔටුන්න අපි තියනවා.
මම ඇත්තටම හිතන විදිහට මිනිස්සු පාලනය වෙන්න ඕන මිනිස්සු වගේම දුර්වල, වැරදි කරන, ප‍්‍රතිවිරෝධතා සහිත, සාමාන්‍ය මිනිස්සු අතින්. උත්තරීතරකම වෙනුවට පරිණත මිනිස්කම තෝරාගැනීම වෙන්න ඕන.
ඒක හරියටම නොදන්නා දෙවියන් පවත්වාගන්නවා වගේම වැඩක්. අතිශය වැදගත් කාරණයක්. තමන් දන්නවා කියා විශ්වාස කරන දෙය විසින් නිශ්චිතව කරන පාලනයකට වඩා නොදැනීම විසින් කරන අවිනිශ්චිත පාලනයක නිදහස වගේම නිර්මාණශීලීත්වයත් වැඩියි. ඇහුම්කන් දීම සහ පවතින තත්වයන් අනුව වෙනස් වෙමින් හැඩගැහීම දියුණුයි. ඒ වගේ අවකාශයක දැනුමට සිද්ද වෙනවා ආධිපත්‍යය අත්ඇරලා ජන ජිවිතයේ කොටසක් වෙන්න. දන්නා අයට සිද්ද වෙනවා නොදන්නා අය ළ`ගට ගිහින් තමන් දන්නා දේ කියල දෙන්න. නැත්තං ඒ දැනුමට වැටුපකට එහා කිසි බලයක් හිමි නොවී යනවා.
අපි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ අර්බුද, දොස්තර අර්බුද ආදිය විදිහට දකින්නෙ මේ දැනුමේ ආධිපත්‍යය හෑල්ලූ වීමේ අර්බුදය. ෆේස්බුක් එකේ දොස්තරලා, ලෙක්චරර්ලා, සහ ගොඩක් වම්මු පෙන්නමින් ඉන්නෙ ටෙක්නොක‍්‍රසි මානසිකත්වයේ අවුල.
සමාජයේ බලය තියෙන්න ඕන දන්නා මිනිස්සු අතේ නෙමෙයි, නොදන්නා මිනිස්සු අතේයි. ඒ මොකද කියල කිව්වොත් දන්නා මිනිස්සු ඉතා සුළු කාලෙකින් නොදන්නා මිනිස්සු බවට පත්වෙන හින්දයි. උදා විදිහට ලංකාවෙ බුද්දිමතුන් යයි සම්මත ඕනම කෙනෙක් යම් අතීත කාරණයක් ගැන පළකල අදහසක් අරන් බලන්න පුළුවන්. ටීවී එක ලංකාවට එනකොට අපේ විද්වත්තු මොනවද කිව්වෙ? රේඩියෝව විසින් පරිකල්පනය වැඩි කරනවා සහ මේ ටීවී එක විසින් පරිකල්පනය මොට්ට කරනවා කිව්වා. ඒක මහා අවුලක් ඇතිකරන තත්වයක් විදහට දැක්කා. ළමයින්ගෙ ටීවී බැලීම පාලනය කළා. ඒත් මිනිස්සු ටීවී බැලූවා. හැම ගෙදරකම සාලෙ ටීවී එකක් තිබුන. ඒක පොදුජන රාසාස්වාදන, සන්නිවේදන මාධ්‍යයක් විදිහට දැවැන්ත මෙහෙවරක් කළා. රේඩියෝවෙ තිබුණු විද්වතුන්ගෙ ආකෘතිය ටීවී එකට එද්දි හෑල්ලූ වුනා. ඒ වෙනුවට ජනප‍්‍රිය දේවල් වලින් ටීවී එක පිරුනා. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයක් නිර්මාණය වුනා. එෆ්එම් චැනල්වලටත් මෙහෙමයි. ෆිල්ම් වලටත් ඒකමයි. ඕනම කාරණයක් ගැන ලංකාවෙ විද්වතුන්ට තියෙන්නෙ පසුගාමී මතයක්. එක අතකට විද්වතුන් ලෙස පෙනී සිටීමම පසුගාමී තත්වයක්.
නොදන්නා මිනිස්සු යම් අලූත් අදහසක් බාරගන්න ලෑස්තියි. නොදන්නාකම නිසාම ඒ අයගෙ බාරගැනීමේ හැකියාව ලොකුයි. ඒක නූතන විද්‍යාත්මක හොයාගැනීමක ඉඳන් බුදු පිළිමෙකින් රැුස් විහිදීම වෙනකල් පළල්.
ඒත් දන්නා මිනිස්සු කිසි දෙයක් අලූතෙන් බාරගන්න ලෑස්ති නෑ. ඒ අය තමන්ගේ දන්නා දේ පරිස්සම් කර ගැනීම වෙනුවෙන් සටන් කරන්න ගන්නවා. තමන් දන්නා දේ පරණ වීම වළක්වාගන්න සියලූ අලූත් දේවල් පස්සට තල්ලූ කරනවා. හැම අලූත් දැනුමක්ම ඉස්සරහට එන්නෙ ‘නොදන්නා’ මිනිස්සුන්ගෙ තල්ලූව හින්දයි. කිසි දවසක පවතින දැනුම් පද්ධතියෙන් පිට වෙනත් පැරඩයිමයක් දකින්න ‘දන්නා’ මනසක් උත්සාහ ගන්නෙ නෑ.
මේක ආධ්‍යාත්මික කාරණාවලදි හොඳට පැහැදිලි කරනවා. බුදුන් පවා කියන්නෙ අවබෝධය ලබා ගන්න නම් දන්නා සියල්ල පැත්තකින් තියල එන්න කියලයි. (ථේරවාදී බුදුන් මෙහෙම කියන්නෙ නෑ. ථේරවාදය කියන්නෙම ඇකඩමියාවක්* මෙතනදි මූලික දේ වෙන්නෙ තමන් දන්නා බව අත්හැරීමයි. තමන් නොදන්නා බව නොදන්නා අය මෝඩයන් වගේම නොදන්නා බව දන්නා අය විශිෂ්ටයන් වෙනවා. ඒ කියන්නෙ තමන්ගේ දැනුමේ සීමිතබව ගැන අභ්‍යන්තර දැනීමක් ඇතිකමයි. ඒ සීමිතබව වෙනුවට අසීමිත නොදැනුමට ඕන වෙලාවක දක්වන විවෘතබවයි. මෝඩකමට තමන් තුල ඇති ගෞරවයයි. ගොඩක් මහායානික, සෙන් දර්ශනවලදි මෝඩයා ප‍්‍රඥාවන්තයෙක් විදිහට නිරූපණය වෙන්නෙ ඒ හින්ද.
සමාජයක බලය හිමිවිය යුත්තෙ නොදන්නා බහුතරයක් මිනිස්සුන්ට. දන්නා සුළුතරයකට නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ තියෙන වැදගත්ම ලක්ෂණය ඒක. තීරණය පවතින්නෙ බහුතරය අතේ. ඕනෑම බලයක් ඒ නාඳුනන බහුතරය අතින් අභියෝග වෙන්න පුළුවන්. තමන් දන්නා දේ අරගෙන ඒ නොදන්නාකමේ ගිලෙන්න පීනන්න මිනිස්සු ලෑස්ති වෙන්න ඕන. සමාජයකට වැදගත්ම කාරණය වෙන්නෙ සංවර්ධනය හෝ සම්පත් බෙදී යාම නෙමෙයි. නිදහස සහ නිර්මාණශීලීත්වයයි.
අජිත් මුතුකුමාරණ කියන්නෙ ලංකාවෙ දැවැන්ත ආර්ටිස්ට් කෙනෙක් කියල බාරගැනීමත්, ෆේස්බුක් එකේ ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ගැන අදහස් දැක්වීමට ඇති අයිතිය ගරු කිරීමත්, පුද්ගලික විශ්ව විද්‍යාල වල මුදල් ගෙවා දැනුම ලබා ගැනීමේ අයිතිය පිලිගැනීමත් ආදී සියල්ල වැදගත් වෙන්නෙ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කරන හින්දයි.
නිදහස සහ නිර්මාණශීලීත්වය කියන දෙකටමත් මේ විද්වත්තු අත්දෙකම උස්සනවා. ඒත් යටින් කොන්දේසි සහිතයි කියල දානවා. ‘නොදන්නවා’ කියන මිනිස්සු කොන්දේසි විරහිතව නිදහස සහ නිර්මාණශීලීත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා.
විද්‍යාව හැම තිස්සෙම සීමිතයි. අවිද්‍යාව ගැඹුරුයි, පරිණතයි.
Saturday, April 1, 2017
සමාන්තර විශ්වයන් අතර කාල තරණය.
අපි ජීවත්වෙන්නෙ මල්ටි ඩයිමෙන්ෂල් රියැලිටි එකක. මේක අපි කොහොමත් දන්න ඇත්තක් කියල හිතුනත් ගොඩක් වෙලාවට මිස්වෙන ඇත්තක්. මේ එක්කො මල්ටි ඩයිමෙන්ෂනල් වෙන නැත්තං පැරලල් රියැලිටීස් වෙන අපි එදිනෙදා දකින හැම මොහොතක්ම රස විඳලා ඉවර කරන්න බැරි තරම් විශාල විශ්වයන් පොකුරක්.
සරල විදිහට මෙහෙම කිව්වොත් ලේසි වෙයි. නාරාහෙන්පිට හන්දිය උදාහරනෙකට ගත්තොත්, මේ හන්දිය දවල් දොලහට පහු කරමින් ඉන්න පයින් යන මනුස්සයෙක් සහ ඒ වෙලාවෙම එතනින් වාහනේක යන මනුස්සයෙක් යතාර්තය කියල දකින දේ වෙනස්. එකම බෝ ගහ, එකම ට‍්‍රැෆික් ලයිට් එක, එකම කහ ඉරි, එකම දුවිල්ල, එකම අව්ව, ඒත් ඒ දෙන්නා එකම වෙලාවක පහුකරමින් ඉන්නෙ විශ්වයන් දෙකක හන්දි දෙකක්. ඒක හරිම ආතල්ජනක තත්වයක්. ඒත් අපිට එක මොහොතකදි පවතින්න පුළුවන් එක විශ්වයක විතරයි. ඒක අපේ දැනුවත් හෝ නොදැනුවත් තෝරාගැනීමක්.
අපි මොකක් හරි දෙයක් ගැන අදහස් දක්වන කොට ඒ දේ දිහා බලන දැක්ම එන්නෙ අපි පවතින විශ්වයට සාපේක්‍ෂව. ගොඩක් අප්සෙට් තත්වයක් වෙන්නෙ හැමෝම තමන් දකින යතාර්ථය හෝ තමන්ගේ දැක්ම ලෝකෙ පවතින එකම එක කියල සටන් වදින්න එන එකයි. නැත්තං හැමෝටම පුළුවන් තම තමන්ගේ විශ්වයන්වල ඉඳගෙන සාපේක්‍ෂ අදහස් අරන් එන්න. ඒ අදහස් වෙනුවෙන් වැඩ කරන්න. ඒ අදහස් ප‍්‍රචාරය කරන්න. එතකොට අදහස් අතර ගනුදෙනුවක් සිද්ද වෙනවා. ඒ හරහා විශ්වයන් අතර ගනුදෙනුවක් වෙනවා. තව තව ඇවනියුස් විවෘත වෙනවා. ඒ මොහොතේ කාලය හා අවකාශය විසින් තෝරාගන්නා යම් මතවාදයක් ක‍්‍රියාත්මක වෙනවා. බැහැර වුණු අනෙක් මතවාද සමනළ බලපෑම් ඇතිකරමින් ක්ෂුද්‍ර තත්වයේ වෙනස්කම් නිර්මාණය කරනවා. ඒක හරිම විචිත‍්‍ර මිනිස් අත්දැකීමක්. අපි සමස්ත වියමනක් වෙන්නෙ ඒ විදිහට. ඒත් අපි හැමවෙලාවකම උත්සාහ ගන්නෙ අනෙකාව වාරණය කරන්න. තමන්ගේ යතාර්ථය ලෝකෙ පවතින එකම එක කරන්න. ඒක ටිකක් නොදියුණු ගනයෙ අසහනකාරී එකක්.
මේ විදිහට සමහර කාල අවකාශවල අපි එක්ක එකම විශ්වයක පැවතුණු යාලූවො කාලෙකට පස්සෙ ආයිමත් මුනගැහෙනවා. වෙනස් විශ්වයක, වෙනස් යතාර්තයක ඉඳන්. හරියට ඈත ග‍්‍රහවස්තුවකින් එන සංඥාවක් වගේ. අපිට සංසාරික මතකයක් තියෙනවා ඒ ෆ‍්‍රීක්වන්සි එක ගැන. ඉතින් අපි අහගෙන ඉන්නවා. පරණ නොම්මර ඩයල් කරනවා.
මට ළ`ගදි මගේ කැම්පස් යාලූවෙක් කතා කළා. දැන් බැඳලා, ළමයි ලොකුවෙලා, ජීවිතේ ගතවෙලා. ටෙලිෆෝන් එකෙන් මං අහගෙන ඉන්නවා. මගේ යාලූවා කතා කරනවා.
‘මචං දැන් ඔහොම පිස්සු කරලා හරියන්නෙ නෑ නේද? අපිත් දැන් වයසයි. ලෝකෙට මොකක් හරි දෙයක් කරන්න ඕන නැද්ද?’
මට තේරෙන්නෙ නැතුව ගියා. ටික වෙලාවකට මාව රික්තකයකට පාවෙලා යනවා දැනුනා. සියවස් ගානක් ඈත තරුවකින් ආපු සියවස් ගානක් පරණ පණිවුඩයක් වගේ.
ලෝකෙට මං මොනවා කරන්නද? අනික ලෝකෙට මොනාවත් කරන්න මං කවුද? අපි අපේ ජීවිත ඒ තරම් ලොකුයි කියල හිතාගෙන පුංචියට ජීවත් වුනේ කොයිතරම් ඈත කාලෙකද?
එතකොට මට කියාගන්න දෙයක් නැති වෙනවා. අපි ජීවත්වෙමින් ඉන්නෙ යතාර්ථයන් දෙකක. අපි පවතින්නෙ සමාන්තර විශ්වයන්වල. එතකොට අපි අපේ යතාර්ථයෙන් තවකෙනෙකුට ඒ විදිහට දමලා ගැහුවම අනිකාට පොල්ලක් අතට ගැනීම හෝ ගොළුවීමකට වඩා ඔප්ෂන් එකක් ඉතුරු වෙන්නෙ නෑ.
තාමත් අපිට මුනගැහෙනවා ලෝකෙට යමක් කරන්න ජීවිතේ කාලය කැප කරන මිනිස්සු. මේක ටිකක් හොඳට තේරුම් ගන්න ඕන තැනක්. අපි, අපි කැමති යමක් කරමින් තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම සහ ඒ ඇසුරෙන් අපේ බාහිරයේ යම් යම් වෙනස්කම්වලට දායක වීම කියන්නෙ ස්වභාවික දෙයක්. ඒත් ලෝකෙට දෙයක් කරන්න ඉගෙන ගැනීම හෝ ලෝකෙ මුදවාගන්න කියල හිතන්න පටන් ගැනීම ටිකක් බයානක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන්.
අපිට ප‍්‍රශ්නයක් තියෙනවා නම් අපි විසඳගන්න ට‍්‍රයි කරනවා. අපිට ප‍්‍රකාශනයක් තියෙනවා නම් අපි ඒක එලියට දාන්න ට‍්‍රයි කරනවා. ඒත් අපිට ලෝකෙ වෙනස් කරන්න ඕනවෙනවා කියන්නෙ ඕනවට වඩා දුරදිග යාමක් කියලයි මට හිතෙන්නෙ. කොටින්ම ඒ වගේ අදහසක් ගැන මට කිසි දෙයක් හිතාගන්න බෑ, ‘එහෙනං හා’ කියනව ඇරෙන්න.
ඒත් මගේ යාලූවගේ ලෝකෙ වෙනස් කිරීමේ උවමනාවත් පවතින්න ඕන. ඒක නොතේරෙන මමත් පවතින්න ඕන. අර ටෙලිෆෝන් කෝල් එක වගේ අපේ යතාර්තයන් ක්‍රොස්වෙන තැන්වලදි අපි තේරුම්ගැනීම් ෂෙයාර් කරගන්න ඕන. ෆ‍්‍රීක්වන්සි ගොඩක් දුර යතාර්තයන් පුළුවන් තරම් මගඇරලා ඉන්න එක ඵලදායී වෙන්න පුළුවන්. නැත්තං ඒවා ඩිස්රප්ෂන්ස් විදිහට අපිව අවදි කරන්නත් පුළුවන්.
මොනවා වුනත් අපි ජීවිතේ රසවිඳිනවා කියන්නෙ මේ අනන්ත ගානක යතාර්ථයන් රස විඳින එක. හැම මිනිහෙක් කියන්නෙම චිත‍්‍රපටි සීයක හොයාගන්න බැරි තරම් සවිස්තරාත්මක අපූර්ව විශ්වයන්. ඒ විශ්වයන්ට අපි ඇතුල්වෙන්නෙ ඒ අය එක්ක කරන අදහස් ගනුදෙනු ඇතුලෙන්.
අපේ එක ලොකු කරගන්න තරම් අපි ඇකිලෙන්නෙ නැති හැම වෙලාවකම අපි වඩා ලොකු එකකට ඇතුල්වෙනවා. අපේ ලෝකෙ වෙනස්වෙනවා. ඒත් ඒකට නමක් නෑ.
Subscribe to:
Posts (Atom)