Saturday, August 29, 2015

කතා නැති සිනමාව.




උදයාගෙ ෆිල්ම් එක ගතෙ (ජර්මන් සංස්කෘතික කේන්ද්‍රය) එකේ පෙන්නපු දවස.  තාම එලියට දාගන්න බැරි වෙච්ච චිත‍්‍රපටි එතන පෙන්නන එක සාධනීය වැඩක් වුණත් ඒ සාකච්ඡාව චිත‍්‍රපටි පැත්තෙන් වැඩදායී ඵලදායී  තැනකට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. අලූත් කෘතියක් රස විඳීමේ හා සාකච්ඡුාවේ විනයක් ඇති පිරිසක් විතරක් නෙමෙයි එතනට එකතු වෙන්නෙ. ඒ නිසා ඒ ඉඩකඩ ප‍්‍රදර්ශනය වෙන කෘතිය පැත්තෙන් හානිකර තැනක් දක්වා වුණත් යන්න ඉඩ තියෙනවා.

ඒත් උදයාගෙ ෆිල්ම් එකට එහෙම වුණේ නෑ. එදා සාකච්ඡුාවට මං මුල් වතාවට දැනඅ\ුනගත්තු අලූත් විචාරකයෙක් එකතු වුණා. එරංග මහගමගෙ. ෆිල්ම් එක ගැන එයා අමුතු අදහසක් පළ කලා.

‘මේ චිත‍්‍රපටය කතාව කියන්න බැඳී සිටීම ඇතුලෙ අසාර්ථක වෙලා තියෙනවා...’ වගේ අදහසක් ඒක. ලංකාවෙ හරිහමන් විදිහට තමන්ට උවමනා කරන කතාව කියාගන්න බැරි වීම ඇතුලෙ බිහිවෙන ඇබ්ස්ට‍්‍රෑක්ට්, ඇබ්සර්ඞ් වැඩ  ඕන තරම් දැකලා තියෙන නිසාම මං කතාව කීමේ වැදගත්කම වෙනුවෙන් පෙනී හිටියා. ඒත් එරංග එයාගෙ අදහස් මතු කළේ අලූත් සිනමා දාර්ශනිකයෙක්ව පදනම් කරගෙන. ජාක් රන්සියර් කියන ප‍්‍රංශ දාර්ශනිකයාගේ සිනමාව ගැන අදහස් පෙළක් ඇසුරෙන් එයා උදයාගෙ චිත‍්‍රපටිය කියවන්න උත්සාහ කළා. විය යුතු පරිද්දෙන්ම ඉතා කෙටි සංවාදයක් ඇතුලෙ විශාල පරාසයක් විවෘත කිරීම නිසා එරංගගේ අදහස වැඩෙන්න වෙලාව තිබුනෙ නෑ. ඒත් ජාක් රන්සියර්ගෙ සිනමා සිතීම ගැන හොයන්න කියවන්න දොරටුවක් ඇරපු එක වෙනුවෙන් එරංගට ස්තුතිවන්ත වෙන්න  ඕන.

මං ජාක් රන්සියර් ගැන කියවන්න පටන් ගත්තා. රන්සියර් ගේ සිනමාව ගැන අදහස් පදනම් වෙන්නෙ එයාගෙ මුල් බැසගත්තු මාක්ස්වාදය ඇතුලෙමයි. උදා විදිහට රන්සියර්ගෙ සිනමා/කලා විචාරයෙ මූලික බෙදීම් සළකුනු වෙන්නෙ කලාව සහ ශ‍්‍රමය කියන දෙකේ විකාශනය උඩ. අල්තූසර්ගෙන් කැඩිලා ආපු කෙනෙක් විදිහට ඒකෙන් ගැලවෙන්න අමාරුයි.

ජාක් රන්සියර් කලාව අවධි තුනකට බෙදා වෙන් කර ගන්නවා. එකක් එතිකල් රෙජීම් (ආචාර ධර්මීය ආධිපත්‍යය) කියන අවධිය. ඒ කියන්නෙ කලාව අනිත්  ඕනම නිෂ්පාදනයක් වගේම උපයෝගිතා වටිනාකමට පමණක් සීමා වුණු අවධිය. ඊට වඩා තේරුමක් කලාවට තිබුනෙ නෑ. කලාත්මක ශ‍්‍රමයට විශේෂ වටිනාකමක් තිබුනෙ නෑ. උදා විදිහට බාල්දියක් හදන එකෙයි චිත‍්‍රයක් අඳින එකෙයි වෙනසක් කියවුනේ නෑ.
ඊට පස්සෙ රෙප්රසන්ටේටිව් රෙජීම් (නියෝජන ආධිපත්‍යය) කියන අවධිය. නූතනවාදී යුගය ආසන්නයේ පවතින මේ කලාව යම් කිසි පිටත පවතින යතාර්ථයක් ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙනවා. පිටත යතාර්ථය ඉක්මවා වැඩෙන්න කලාවට හැකියාවක් ලැබෙන්නෙ නෑ. යතාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේ දක්ෂතාවය උඩ කලාවේ වටිනාකම කියවෙනවා.

ඊළ`ගට එන ඊස්තටික් රෙජීම් නැත්තං සෞන්දර්ය රෙජීමය තමයි වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීම මොහොත විදිහට රන්සියර් දකින්නෙ. එතනදි කලාව යතාර්තය නියෝජනය කිරීමෙන් ගැලවෙනවා. පිකාසොගෙ කියුබිස්ම් එහෙම අයිති වෙන්නෙ මේ ප‍්‍රවර්ගයට. සිනමාව කියන්නෙ සෞන්දර්ය රෙජීමය තුලදීම බිහිවුණු සුවිශේෂ ශක්‍යතාවයක් ඇති මාධ්‍යයක් විදිහටයි ජාක් රන්සියර් දකින්නෙ. ප්ලේටෝගේ සහ ඇරිස්ටෝටල්ගේ කලාව පිළිබඳ නිශ්චිත රාමු, සීමා බිඳගෙන කලාව එයටම අනන්‍ය වූ යතාර්ථයන් විශ්වයන් ගොඩනගමින් වර්ධනය වෙනවා.

එරංග එදා ප‍්‍රශ්න කරන්නෙ ඒ වගේ මාධ්‍යයක් ඇතුලෙත් අපි නැවත යතාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයකට යට වෙනවද කියල. ඒත් මට හිතෙන්නෙ එදා එරංග ඒ ප‍්‍රශ්නෙ අහන්නෙ පළල් තේරුම් ගැනීමක් ඇතුව නෙමෙයි.

ජාක් රන්සියර්ගෙ සිනමාව ගැන වටහා ගැනීමට ගොඩක් පාදක වෙන්නෙ ඒ අවධියෙ නැගී ආපු සිනෙෆීලියා මූව්මන්ට් එක. ප‍්‍රංශ දේශපාලන පෙරලියත් එක්ක නැගුනු මේ රැුල්ල නිසා කලාව නැවත අර්ත නිරූපණය වුණා. ඒක සංස්කෘතික අධිකාරීන් සහ බලයන් අවුල් වුණු මොහොතක්. ඒ හරහා කලාව ගැන හිතන ලියන විදිහෙ අධිපතිවාදී කතිකාවන් වෙනස් වෙන්න ගත්තා.

සිනෙෆීලියාව කියන්නෙ සිනමාවට ආදරය කරන ආධුනිකයන්ගෙන් හැදිච්ච ව්‍යාපාරයක්. ඒ අය අතින් සාම්ප‍්‍රදායිකව කලාව ගැන ඇති කරගෙන සිටි උසස් පහත්, ජනප‍්‍රිය, සම්භාව්‍ය භේදයන් බිඳුනා. ඔවුන්ට අනුව යුරෝපීය නව රැුල්ල හෝ හොලිවුඞ් ස්ටුඩියෝ නිෂ්පාදන අතර උස් පහත් භේදයක් සළකුණු වෙන්නෙ නෑ.
සිනමාව කලාවක් බවට පෙරලූනේ ඒකට ආදරය කරපු සාමාන්‍ය මිනිස්සු අතින් මිස ඇකඩමික් බුද්දිමතුන් අතින් නෙමෙයි.

සිනමාවේ මතුපිට කෘතිම පාර්ශ්වය හෝ කතාවේ අභ්‍යන්තර නාට්‍යමය ගොඩනැංවීම් ගැන වෙනුවට ප්ලොට් එකේ, රූපයේ සහ ශබ්දයේ අන්තර් සම්බන්ධය වගේම සිනමාව තුල මුනගැහෙන දන්නා හඳුනන ලෝකය සහ ෆැන්ටසිය අතරට ඒ අය අවධානය යොමු කළා. ඒක සිනමාවෙ පිළිගත් ප‍්‍රතිවිරෝධයන් හරහා කියවීමක් වෙනුවට ඒ සියල්ල එක්ව පැවැත්මක් හැටියට කියවීමේ උත්සාහයක්.

සිනමාවට අත්‍යාවශ්‍ය අශුද්ධභාවය සිනෙෆිල්ස්ලා තේරුම් ගත්තා. ඒක සියල්ලෙහි මුහුවීමක්. චලනයක්. වෙනස්වීමේ රිද්මයන් ගැන අත්දැකීමක්. සිනෙෆිල් කෙනෙක් සිනමාවෙ දකින්නෙ චලන රූපයේ ඇති වෙනස්වීමේ බලය, එක විට ලෝක කීපයක්, භූමිකා කීපයක් නිරූපණය කිරීමේ හැකියාව, එක විශ්වයකින් අනෙක් විශ්වයට නිරන්තරයෙන් වෙනස් වෙන අතරෙ ඒ විශ්වයන් සියල්ල එකක් තුල පවතිනවා වගේ නිරූපණය කරන්න තියෙන හැකියාව වගේ දේවල්. කෘතිය ඇතුලෙ සිද්ද වෙන අන්තර්ක‍්‍රියාවන්ගෙන් සිනමාව කියවනවා මිස ස්ථිතික, සාම්ප‍්‍රදායික කෘතියෙන් පිටත සත්‍යයන් සිනමාවට අදාල කරගන්නෙ නෑ.
ඒක හරියටම වචන අතර කියවීමක් වගේ.  තේරුම් ගැනීම ඉක්මවා සමස්තයක් ලෙස අවබෝධයකට, ඒකත්වයකට යාමක්.

රන්සියර් සිනමාව ඉදිරියෙදි නිතර තමන් ගැන හිතන්නෙ ආධුනිකයෙක් විදිහට. ඒකෙන් එයාට පුළුවන් වෙනවා තමන් විසින්ම පනවා ගත්, ඇතැම විට නොදැනුවත්වම බලපෑ හැකි, අධිකාරීන්ගේ (න්‍යාය) සීමාවන් වලින් මිදිලා චිත‍්‍රපටිය දිහා බලන්න. සිනමාව හැමෝටම අයිතියි. හැමෝම නරඹන වාරයක් වාරයක් පාසා සිනමාවට අලූත් අර්තයන් දෙනවා. සිනමාව කවදාවත් මුලූමනින්ම ග‍්‍රහණය කරන්න බෑ. ඒක විඳින්න විතරයි පුළුවන්.

ගොඩාර්ඞ් කියනවා සිනමාව කලාවක් නෙමෙයි ඒක මිස්ට්රි එකක්, අබිරහසක් කියල. අපේ ඇස් ඉස්සරහ පේන රූපය හරහා අපි අපේ පුද්ගලික මතක වේදිකාවන්ට ගොඩවෙනවා. මේ පැවතුම් වලට තේරුම් දෙන එක, සිනමාව හරහා අපේ අත්දැකීම් වලට පාර හදන එක, සිනමාවේ සියලූ සීමාවන් අලූත් කරමින් නැවත අපට ග‍්‍රහනය වන ලෝකයන් නිර්මානය කරන එක අපිට අයිති වැඩක්. සිනමාව අර්ත ගැන්වෙන්නෙ ඒක ගැන කියන සහ හිතන දේවල් වලින්. ඒක නිසයි සිනමාව පිළිබඳ කතිකාවන් අතිශය වැදගත් කියල රන්සියර් දකින්නෙ. සිනමාව ඇතුලෙ අපි දකින විඳින ලෝකය හරහා අපි අපේ සිනමාවක් ලියනවා. රන්සියර් කියන්නෙ මේ පේ‍්‍රක්‍ෂක සහභාගිත්වය නැත්තං ශ‍්‍රමය සෞන්දර්ය රෙජීමයට අවශ්‍යමයි කියල. ඒ පේ‍්‍රක්‍ෂකයා අතින් තමයි නැවත නැවත අර්ත කතනය වෙමින් වෙනස් වෙනස් සිනමාවන් නිර්මානය වෙන්නෙ.

මේ කාව්‍යමය ශ‍්‍රමය පරිවර්තනය හා ප‍්‍රතිවර්තනය අතරෙ, එකගවීම් සහ නොවීම් අතරෙ, (හරියට ජෝසෆ් ජැකොටොට් කියනවා වගේ අපි දෙයක් ඉගෙන ගන්නවා ඊට පස්සෙ අනිත් හැමදේම ඒකට සම්බන්ද කරනවා) ගැටුම් ඇතිකරමින් නව අර්ත නිෂ්පාදනය කරනවා. රන්සියර්ට අනුව මේක තමයි බුද්ධිමය අවබෝධයට පත්වීම. නිරන්තරයෙන් ඒක ඇක්ටිව් පැසිව් අතර, දකින දේ සහ යතාර්තය අතර, පේන දේ සහ දැනෙන දේ අතර ගැටුමක් හදනවා. මේක සිනමාවට වඩාත් අවශ්‍යයි ඒක සම්මත භාෂාවක් නොවෙන නිසා. භාෂාවක නිශ්චිත රාමුවලින් පිට පවතින නිසා. ඒක අනිවාර්යෙන්ම අවබෝධය ඉල්ලා සිටිනවා. බලා ඉන්නවා කියන්නෙම එතනදි සක‍්‍රීය සහභාගිත්වයක්.

සෞන්දර්ය තේරුම් ගන්න  ඕන ආර්ට් එකක තාක්‍ෂණික කරනා වලින් කලාත්මක හා දේශපාලනික කාරණා වෙන් කර ගනිමින් නෙමෙයි. ඒ වෙනුවට අපි ලෝකය කියල තේරුම් අරන් ඉන්න දේට පටහැණි වෙමින් මැදිහත් වෙන අත්දැකීමක් විදිහටයි. සාමාන්‍ය කියල තේරුම් අරන් හිටපු දේට සිදුවන බාධා කිරීම, දකින දේ සහ විඳින දේ අතර සාමාන්‍ය පුරුදු රටාවට බාධා කිරීම තමයි රන්සියර් ‘ඩිසෙන්සස්’ කියන්නෙ. මේකෙන් ඇරිස්ටෝටලියානු නියෝජන මොඩල් එක කඩා බිඳ වැටෙනවා.

කලා කෘතියක් ඒකෙ අනුරූප බවෙන් කියවන්න බැරි තැනකට යනවා. ඒකට පිටස්තරව පවතින ලෝකයකින් ඒක අර්ත ගන්වන්න බෑ. තේරුම්, හේතුඵල සම්බන්ධතා වලින් තේරුම් කරන්න බෑ. ලෝකයේ දේවල් නියෝජනය කිරීමේ තාර්කික බව සිනමාවෙන් බිඳී යනවා. කලාව ජීවිතය එක්ක මුහුවෙද්දි දේශපාලනය හා සෞන්දර්ය න්‍යායන් ආචාර ධර්ම ඇතුලෙ ගිලී යනවා. සෞන්දර්ය කි‍්‍රයාව එයම මාධ්‍යයක් කරගෙන ශූද්ධ විඳීමක් අත්පත් කර ගන්නවා. රන්සියර් යෝජනා කරන්නෙ සිනමා රූපය එහි ඇති උපරිම රූපකමය හැකියාවෙන් පාවිච්චි කරන්න කියල. ඒක තාර්කික සම්බන්ධතා ඇතුලෙ හිර කරන්න එපා කියල.

නූතන සිනමාකරුවො විදිහට ටකේෂි කිටානො, අබ්බාස් කිරොස්තාමි ආදීන්ගේ කෘති තුල මේ කියන ලක්ෂණ තියෙනවා. කෘතිම මතුපිට පෙනුම (කතාව- සිද්ධිය) සහ පැවැත්ම අතර පැල්ම හොයාගෙන යන ගමන. චලනයේ (ඇක්ෂන්) සහ භාවනාවේ (බලා සිටීමේ) කලාව. මේ අය අභියෝග කරනවා ඇහෙන දකින දේ නැවත නිරූපනය කරන අධිපති සිනමා කතිකාවට. රන්සියර් සිනමාව යලි යලිත් ඉන්වෙන්ට් කරන්න (සොයාගන්න) තියෙන හැකියාව වෙනුවෙන් පෙනී ඉන්නවා. සියලූ එකගතාවයන්ට එරෙහිව යන්න තියෙන හැකියාව වෙනුවෙන් කතා කරනවා.
සිනමාව තවදුරටත් පවතිනවා.

එතකොට අපි සිද්ධිවාචක ගලපමින් ඇත්ත විදිහට කරන්න යන සිනමාව රන්සියර්ට අනුව පැරණි යුගයකට අයිති එකක්. ඒ වෙනුවට විවිධ ලක්ෂණ මුහු කරගනිමින්, පසුබිම් නිර්මාණය කරමින් සිනමාවට අදාල යතාර්ථයන්, විශ්වයන් ගොඩනැංවීම හරහා අලූත් සෞන්දර්ය දේශපාලනයක් පටන් ගන්න පුළුවන් කියන එකයි රන්සියර්ගෙ තර්කය. මතුපිට කතාව යටින් දිවෙන වෙනත් තේරුම් නෙමෙයි, සමස්තයම නිශ්චිත පිළිගත් සම්බන්ධතා වලින් පිටත පිහිටුවීමක් ගැනයි එයාගෙ අදහස. චරිත ඒවායේ අරමුණු අතර දෝලනය වෙමින් අතාර්කික පැවැත්මක් විඳිනවා. අපිට තවදුරටත් වැදගත් වෙන්නෙ ක‍්‍රියාව හෝ සිද්ධිය නෙමෙයි. එතන පැවැත්මයි.

සිනමාව ගැන සියලූ සීමාවන්, අර්ත ගැන්වීම් වලින් ඔබ්බෙහි දේවල් හොයාගෙන යන්න රන්සියර් කතා කරනවා. වාර්තාමය හෝ ප‍්‍රබන්ධමය යනුවෙන් වත්, දේශපාලන හෝ ශුද්ධ යනුවෙන්වත් සිනමාව හෝ සිනමාව නොවන කලාපයන් යනුවෙන්වත් බෙදීමක් රහිත අලූත් නිර්මාණාත්මක සම්බන්ධතා රටාවන් සොයා යාමක් යෝජනා කරනවා.

ජාක් රන්සියර්ගේ අදහස් ගැඹුරුයි. දාර්ශනිකයි. ඒත් සිනමාකරුවෙක් නොවීම නිසාමත්, දාර්ශනිකයෙක් වීම නිසාමත් එයා නැවත නැවතත් න්‍යායන් සහ මතවාදයන් අතරෙ පැටලෙනවා කියලයි මට හිතෙන්නෙ. රන්සියර්ට  ඕන වෙන්නෙ දර්ශනය ඇතුලෙම සිනමාව නිදහස් කර ගැනීමේ අරගලය කරන්න. ඒක ටිකක් අමාරු වෙන්නෙ දාර්ශනික කතිකාව ඇතුලෙ තියෙන සීමාවන් ජයගන්න එයාට භාෂාව ඇතුලෙ බැරි වෙන හින්ද. කොටින්ම සිනමාව ඇතුලෙ බොඳ කර හරින සීමාවන් තර්ක ඇතුලෙ බොඳ කරන්න බැරි වෙනවා.
ඒත් ජාක් රන්සියර් නැවත හිතන්න හොඳ දොරටුවක්. ජිම් ජාර්මුෂ් තැනක කියනවා ජීවිතේට ප්ලොට් එකක් නැත්තං ෆිල්ම් වලට ප්ලොට් මොකටද කියල. ඒත් සිනමාකරුවෙකුට දාර්ශනිකව හිතාමතා මේ වෙනස කරන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නයක්. අනිත් අතට  ඕනම යතාර්ථවාදී කියන කෘතියක අධියතාර්ථවාදී නිමේෂයන් සළකුනු කරන්නත් ඒ හරහා දහසකුත් අංශුමාත‍්‍ර චූල කතිකාවන් මතු කරන්නත් පේ‍්‍රක්‍ෂකයාට පුළුවන්.

කතාව අහෝසි කරනවා වෙනුවට කතාව සහ නො-කතාව අතර දෝලනය වෙන විශාල අත්දැකීම් පරාසයක් සිනමාවට ගේන්න පුළුවන් කියලයි මගේ අදහස.

-චින්තන ධර්මදාස

Saturday, August 22, 2015

කෝලං නටන්න එනවද?


චන්දෙ ඉවරයි. ප‍්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නෙ රනිල්.

මහින්ද පරාද වුණා. ඒත් විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු එනවා කියල එයා කියනවා. දේශපාලනිකව කොයිතරම් විරුද්ද වුණත් අවුරුදු හැත්තෑවක් වෙලත් මහින්දගෙ සටන්කාමීත්වය මං අගය කරනවා. ජාතිය බේරා ගත් විශ‍්‍රාමික නායකයා විදිහට විවේක සුවයෙන් ඉන්න එක වෙනුවට මෝඩ විදිහට වුණත් ඇෙ`ග් හයියෙන් ගහගන්න එන එක ඇල්ෆා මේල් ලක්ෂණයක්. දැන් ඒක වඳවෙලා යන ජානයක්.
ලංකාවෙ චන්දෙ දාන එක මේ තරම් ආශ්චර්යමත් දෙයක් කළේ මැකො. ඊට කලින් ඒක බල්ලට ගිහින් තිබුණෙ. ඒක පුරවැසි වගකීමක්, ජනතා සහභාගිත්වයක්, සාමූහික විනයක් කියන තැනට ඔසවා තැබීම වෙනුවෙන් මහින්ද දේශප‍්‍රියට සිවිල් සමාජයේ ගෞරවය හිමිවෙන්න  ඕන. ඡුන්දෙට කලින් දවසෙ ටීවී නාලිකාවක මැකො ලස්සන කතාවක් කිව්වා. මං මැතිවරණයක් ගැන අහලා තියෙන හොඳම කතාව ඒක.
‘මේ දවස ජාතික උත්සවයක් විදිහට සාමූහිකව විඳින්න...’

ඇත්තටම අලූත් අවුරුද්ද වගේ සාම්ප‍්‍රදායික උත්සව වෙනුවට මැතිවරණයක් වගේ දෙයක් ඒ තරම් වැදගත්කමෙන් සලකන දියුණු පුරවැසි සමාජයක් වෙනුවෙන් කරපු ඉල්ලීමක් ඒක. මෙච්චර කාලයක් ආතතිය හැදිලා ද`ගලන දුර්වල රාජ්‍ය සේවකයෙකුගෙ භූමිකාව වුණු මැකො චරිතය මහින්ද දේශප‍්‍රිය වෙනස් කළා. ඒක ලංකාවෙ දේශපාලන විනයෙ හැරවුම් ලක්ෂය බවට පත් කළා. මේ ඡුන්දය මේ තරම් සුන්දර කළේත් ගෞරවනීය කළේත් මේ එකපාර කොහෙන් ප‍්‍රාදූර්භූත වුනාදැයි හිතාගන්න බැරි අයෝමය මැකො.
චන්දෙ ඔන්න මෙන්න තියෙද්දි ‘ඩෙනිස්’ එයාගෙ ‘කෝලම’ පෙන්නුවා. මේකෙ පිටපතක් කලින්ම මට කියවන්න දුන්නත් ඒ වෙලාවෙ මං ඩෙනිස්ට කිව්වෙ ඒක හරියන එකක් නෑ කියල. ඒත් ඇත්තට ඒක දැක්කම ඇෙ`ග් මයිල් කෙලින් වෙන අත්දැකීමක් වුණා. ගෝඨයිම්බර කෝලම කියන්නෙ සරච්චන්ද්‍රට පස්සෙ ලංකාවෙ නාට්‍යවල සිද්ද වුණු වැදගත්ම පර්යේෂණය වෙන්න පුළුවන්.

ටිකක් හිතුවක්කාර විදිහට කියනවා නම් සරච්චන්ද්‍රට වඩා ඩෙනිස් කරපු වැඬේ වැදගත්. (සරච්චන්ද්‍රගෙ දැනුම සහ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරනවා නොව, මෙතනට සාපේක්ෂ කිරා බැලීමක් පමණි) එකපාරටම පිළිගන්න අමාරුයි වගේ හිතුණත් ටිකක් හිතලා බැලූවොත් සරච්චන්ද්‍ර කරන්නෙ ජන නාට්‍යයක් මධ්‍යම පංතියෙ වේදිකාව උඩට කොටු කරන එක. වේදිකාවෙ මිමි අනුව ඒක මාර වැඩක් විදිහට පේන්න පුළුවන් වුණත් එතනදි ජන නාට්‍යයේ තියෙන ශක්‍යතාවයන් ටික අහිමි වෙනවා. ඒ වෙනුවට දාර්ශනික, සාහිත්‍යමය අර්ථයන් උඩට එනවා. ඒත් ජන නාට්‍යයක් විදිහට එලිමහනෙ ර`ගදැක්වෙද්දි ඒක බුද්ධිමය අත්දැකීමකට එහා ගැඹුරු මානසික සංවේදනයකට (ටි‍්‍රප් එකකට) යනවා. ඩෙනිස් එයාගෙ ඉන්ටවිව් එකකදි මේක හු`ගක් පැහැදිලිව කියනවා.

”මෙහිදී ශාන්තිකර්මයි, නාට්‍යයි මිශ‍්‍ර කරලා නාට්‍යයකුත් නොවන, ශාන්තිකර්මයකුත් නොවන නිර්මාණයක් බිහිකරන්න මම උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපි නාට්‍යවලට උකහා ගන්නේ ශාන්තිකර්මවල තිබෙන නාට්‍යමය ලක්ෂණ පමණයි. නමුත් මෙහිදී එම නාට්‍යමය ලක්ෂණත් සමගම, ශාන්තිකර්මවල තියෙන මනෝභ‍්‍රමික (Psychedelic) ලක්ෂණය භාවිතා කිරීමට උත්සාහ ගන්නවා. එහිදී නාට්‍ය කලාවේදී සාමාන්‍යයෙන් භාවිතා නොකරන පුනරුච්චාරණය කිරීම්, පුනරාවර්තනයන් විශාල වශයෙන් දායක කරගන්නවා. මෙම පුනරුච්චාරණයෙන් සහ පුනරාවර්තනයෙන් තමයි ඒ මනෝභ‍්‍රමික ලක්ෂණය උද්දීපනය වෙන්නේ. අනිත් කාරණය තමයි මෙහිදී නාට්‍යමය සිදුවීම් වෙන්නේ නාට්‍යයෙන් පිටත මිසක් ඇතුළේ නෙමෙයි. ඇතුළේදී වෙන්නේ ඒ දේවල් වාර්තා කිරීමක් පමණයි. මනෝභ‍්‍රමික ලක්ෂණය ඉස්මතු කිරීමට අවශ්‍ය නිසා නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ ටික මෙහිදී අතහැරලා තිබෙනවා”
-ඩෙනිස් පෙරේරා (රාවය)

ඩෙනිස් කරන්නෙ සරච්චන්ද්‍ර කරපු එකේ අනිත් පැත්ත. එයා වේදිකාව උඩ තියෙන නාට්‍යය ගිහින් කෝලමක් ඇතුලෙ පිහිටුවනවා. එලියෙ තියෙන පිස් පෝච්චිය ස්ටුඩියෝ එකක් ඇතුලෙදි කලා කෘතියක් වෙනවා වගේ පිට්ටනිවල තිබ්බ කෝලම වේදිකාව උඩදි සම්භාව්‍ය නාට්‍යයක් වෙනවා. එතකොට ඒක ආයිමත් ඒ කලා අවකාශෙන් එලියට අරන් ගියොත් මොකක් වෙයිද? ගෝටයිම්බර කෝලම ඇතුලෙ මං දකින නාට්‍ය කලාවෙ දේශපාලනික ප‍්‍රශ්න කිරීම ඒක. අජිත්, ඉසුරු සංගීතය ඇතුලෙ යෝජනා කරන නැවත ශබ්ද වලට (නොයිස්) යාම වගේම ඩෙනිස් වේදිකාවේ නැවත මූලාශ‍්‍ර කරා යාමක් යෝජනා කරනවා.

කෝලම් පිටිපස්සෙ තියෙන මිත්‍යාව හරි ගැඹුරුයි. ඒක භාෂාවේ විද්‍යාවට වඩා ගැඹුරුයි. කෝලම මුලින්ම ඇති වෙන්නෙ දඹදිව අගරජු වුණු පිලියත් රජුගෙ බිසවට වැලඳුන දොලදුකක් හින්ද. එයාට කෑම අප්පිරිය වෙනවා. නැටුම් ගැයුම් දකින්න  ඕන වෙනවා. ගැබක් දරාගෙන ඉන්න මේ බිසව නොකා නොබී ඉන්න හැටි දකින රජතුමා ඊට වඩා කම්පා වෙනවා. මේ කම්පා වීම ගැන බයෙන් රජාගෙ සේසත උඩ වැඩවාසය කරන දේවතාවියක් මේක ශක‍්‍රයාට කියනවා.

”දෙවියනි, පිලියත් රජුගේ බිසව වෙස්මූණු දකින්නට කැමැත්තෙන් සිටී. දඹදිව එක නැට්ටුවෙකුටවත් ඒ ගැන අවබෝධයක් නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස රජ්ජුරුවෝ කෑම නොගනී. මිය ගියාක් මෙන් සිටී...’’
එතකොට ශක‍්‍රයා විශ්ව කර්මට කියනවා මේ කෝලම් වෙස්මූණු හදන්න කියල. එයා රජාගෙ උයනෙ ගහකින් මේ වෙස්මූණු කපලා කවි පොතත් එක්ක උයනෙ තියලා යනවා.

උදේ මේක දකින උයන් පල්ලා යක්කු ඇවිත් නටලා ගිහින් කියල හිතනවා. ඒත් රජාට මේක තේරෙනවා. එයා වෙස්මූණු ටික නැට්ටුවන්ට අන්දලා බිරිඳට නැටුම් පෙන්නනවා.

මේක තමයි කෝලමේ උපත. ඒ උත්පත්ති කතාවෙම තියනවා සාමාන්‍ය උයන්පල්ලා විසින් මේ වටහා ගන්නා හැටි සහ රජා විසින් මෙය වටහා ගන්නා හැටි කියන ආකාර දෙකම. ඒ වගේම වෙස්මූණු දකින්නට බිසවට එන දොළදුක කියන්නෙ ගැඹුරු අවිඥාණික ආමන්ත‍්‍රණයක්. කෝලම් පිටුපස ඇති සයිකඩෙලික් කොටස තියෙන්නෙ එතන. ඒ වගේම මේක අලූත් උත්පත්තියක මොහොතක්. ගර්භනී අවස්ථාවක්. අනිත් පැත්තට කෝලම කියන්නෙ අවිඥාණක ස්ත‍්‍රී ආශාවක් තෘප්තිමත් කිරීමක්.

ගෝටයිම්බර කෝලම පෙන්නන්නෙත් චන්දෙට ඔන්න මෙන්න තියල. අලූත් ආණ්ඩුවක් බිහිවීම එලිපත්තෙ. එතනදි දේශපාලනික වෙස්මූණු දකින්න තියෙන ආසාව ඒකෙන් සංසිඳවනවා.

ඩෙනිස්ගෙ ගෝටයිම්බර කෝලමේ මතවාදය සාම්ප‍්‍රදායික, ගතානුගතිකත්වයට එරෙහි එකක්. ඒත් ඒ විරුද්ද මතය පළ කරන්න එයා නැවත තෝර ගන්නෙත් සාම්ප‍්‍රදායික මෙවලමක්. සම්ප‍්‍රදාය තුලින්ම සම්ප‍්‍රදාය අලූත් කරන මතවාදයන් ගොඩනැගෙන්න පුළුවන්ද කියල ඩෙනිස් භාවිතාව ඇතුලෙ ප‍්‍රශ්න කරනවා.

”දේශපාලනිකව බැලූවොත් මේකෙ තියෙන්නේ මුල සොයාගෙන යාමේ අනික් පැත්ත. මුල හොයාගෙන යන එකට විරුද්ධ වෙන එකත් මේ වෙන කොට ජනප‍්‍රිය වැඩක්. මුලට විරුද්ධ විකල්ප මතවාදයත් දැන් ජනප‍්‍රියයි. මේ විදිහට මුල සහ විකල්ප කියන අන්ත දෙක අතහැරලා මේ ගැන හිතුවාම මේ භාවිතාවට එහිම වූ කාර්යභාරයක් තිබෙනවා. අනිත් පැත්තෙන් මුල සොයාගෙන යෑමට විරෝධයකුත් මේ තුළ තියෙනවා”
ඩෙනිස් (රාවය)

ශාන්තිකර්මයක් කියන අදහස නාට්‍යයක් කියන අදහසට වඩා විශාලයි. ඒකෙ මිත්‍යාව, විද්‍යාව, හාස්‍යය, දේශපාලනය සියල්ල එකට තැන්පත් කරන්න පුළුවන්. ඒක කාල- අවකාශ සීමා වලින් නිදහස් අධි යතාර්ථවාදී අත්දැකීමක්. අපි නාට්‍යගත වීම හරහා ජන කලාවන් ඇතුලෙ තිබුණු වඩාත් සරු කොටස අත්හැරගෙන වග ඩෙනිස් දකිනවා. නැවත ශාන්තිකර්මවල පවතින සමස්ත ගර්භය නාට්‍යමය අත්දැකීමක් විදිහට පාවිච්චි කරන්න බැරිද කියන එකයි ගෝටයිම්බර කෝලමේ පර්යේෂණය වෙන්නෙ.

මතවාදිමය තලයෙන් ගත්තොත් පහුගිය අවුරුදු දහයක් පුරා ලංකාවෙ ජීවත් වුණු මෝඩ යටත්වැසියො සහ උන්ගෙ රජතුමාගෙ කතාව මේකෙ තියෙනවා. ඒත් එක වෙලාවක රටේ කාන්තාවන්ගේ ආශාව නිදහස් වීම හරහා (ලිංගිකත්වය) රජාගෙ බලය අභියෝගයට ලක්වෙනවා. රටේ ගෑණු ගිරි දිවයිනේ ඉන්න මහසෝනාගෙ බලපෑමට අහුවෙනවා. මේ ගෑණු බලය වැඩිවීමත් එක්ක පිරිමින්ගෙ පුරුෂ ලිංග හැලිලා යන්න පටන් ගන්නවා.
මේ විදිහට ධනවාදය හා ආශාව හරහා ගතානුගතික පිරිමි නපුංසක කරමින් සාම්ප‍්‍රදායික පිරිමි දේශපාලනය පෙරලා දැමීමේ අරගලයක් සාකච්ඡුාවට එනවා.

ඒත් මේ මතවාදිමය ගනුදෙනුවට වඩා එතන තියෙන නාට්‍යය විශාලයි. විශේෂයෙන්ම ගැහැණු වේශයෙන් මහසෝනා රජාට අභිමුඛ වීම වගේ තැන් ඇ`ග හිරි වැටිලා යන තරම් ප‍්‍රබලයි.
අන්තිමට රජා පරාද වෙනවා. පුරුෂ ලිංගය අහිමි, ස්ත‍්‍රීත්වයට දෙවෙනි නව වේශයකින් අලූත් රාජ්‍යත්වයක් බිහිවෙනවා.

ඩෙනිස් එයාගෙ කොටස හරියට කරලා තියෙනවා. මේක අනිවාර්යෙන්ම නැවත නැවත පෙන්නිය යුතු ශාන්තිකර්මයක්. ඉඩක් තියෙන හැම පිට්ටනියක්ම පාවිච්චි කරනවා මිස ගෝටයිම්බර කෝලම නැවත වේදිකාව දක්වා පසුබැසීම කොහෙත්ම නොකළ යුතු දෙයක්. අනිත් පැත්තට පහුබහින්න කියල වේදිකාවක් ඉතුරු වෙලත් නෑ.
එතකොට ඇල්ෆා මේල් අප්පච්චි ගෙදර යන එක ධනවාදී ආශාවෙ අනිවාර්යයක්ද?

-චින්තන ධර්මදාස

Saturday, August 8, 2015

අලියා ඉස්සරහින්


1979 ෆිල් ඩොනාහියු කියන ඇමරිකානු මාධ්‍යවේදියා මිල්ටන් ෆ‍්‍රීමන්ව ඉන්ටවිව් කරනවා.

''ෆිල් - ලෝකෙ තියෙන අඩු සංවර්ධිත රටවල් දකිද්දි, ඒවායෙ දුප්පත්කමෙන් මිරිකිලා ඉන්න මිනිස්සු දකිද්දි, දියුණු රටවල් වලට විතරක් අසාධාරණ විදිහට බලය සීමා වෙලා තියෙද්දි, මෙච්චර තණ්හාවක් එලිපිටම පේන්න තියෙද්දි ඔයාට එක මොහොතකටවත් හිතුනෙ නැද්ද සැකයක් ධනවාදය ගැන? ආශාව මත පදනම් වෙච්ච සමාජයන් ගැන?

මිල්ටන්- මට කියන්න එක සමාජයක් ආශාව මත පදනම් වෙලා නැති? ඔයා හිතනවද රුසියාව දුවන්නෙ ආශාව මත නෙමෙයි කියල? ඔයා හිතන්නෙ චීනෙ දුවන්නෙ ආශාව මත නෙමෙයිද? මොකද්ද ආශාව කියන්නෙ? ඇත්තටම අපි කවුරුත් අපිට අනුව තණ්හාධික නෑ. නිතරම අනිත් අය තමයි තණ්හාවෙන් පෙළෙන්නෙ.
ලෝකෙ දුවන්නෙ විවිධ මිනිසුන් රාශියකගෙ පුද්ගලික උවමනාවන් පදනම් කරගෙනයි. ශිෂ්ටාචාර ඇවිත් තියෙන්නෙ රාජ්‍ය ආයතන හරහා නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින් තමන්ගෙ සොයාගැනීම කළේ කවුරුවත් රාජ්‍ය නිලධාරියෙක් කියල නෙමෙයි. හෙන්රි ෆෝර්ඞ් වාහන කර්මාන්තයෙ මහා පෙරළියක් කළේ රජය මැදිහත්වෙලා නෙමෙයි. වාර්තාගත ඉතිහාසයේ ඔය කතා කළා වගේ දුප්පත්කමෙන් මිරිකිච්ච සමාජයන් එතනින් එලියට ඇවිත් තියෙන්නෙ එකම එක අවස්ථාවක් යටතේ විතරයි. ඒ ධනවාදය සහ නිදහස් වෙළඳ ආර්ථිකයක් යටතේ. ඔයාට දැනගන්න  ඕන නම් අන්තම වූ තත්වයේ දුක්ඛිතයන් ඉන්නෙ ධනවාදයෙදි නෙමෙයි ඒකෙ ප‍්‍රතිවිරුද්ද පැත්තෙදි. ඒක නිසා ඉතිහාස වාර්තාවෙන් කියවෙන දේ ඉතාම පැහැදිලියි. ධනවාදය හැරෙන්න වෙන කිසිම විකල්ප විදිහක් හොයාගෙන නෑ මේ වෙනකල් සාමාන්‍ය ජනතාවගෙන් ඵලදායිතාවයන් මුදාහරින්න.

ෆිල්- ඔයා කියන ඔය ක‍්‍රියාවලියෙන් ඇත්තටම ප‍්‍රතිලාභ ලබන්නෙ  මේ ක‍්‍රමය අපයෝජනය කරන්න පුළුවන් අය මිස යහපත නෙමෙයි.

මිල්ටන් - කොහෙද එතකොට ඔය කියන යහපත ආරක්‍ෂා වෙන්නෙ? කවුද එහෙම කරන්නෙ? ඔයා හිතන්නෙ කොමියුනිස්ට් සහෝදරත්වය යහපතට සළකනවා කියලද? හිට්ලර් යහපතට සළකනවද? මට සමාවෙන්න  ඕන, ඔයා හිතනවද ඇමරිකන් ජනාධිපතිවරු යහපතට සළකනවා කියල? ඒ ගොල්ලො මිනිස්සුන්ව පත් කරන්නෙ ඒ අයගෙ හෝ ඒ අයට සහයෝගය දක්වන අයගෙ යහපත මත පදනම් වෙලාද, නැත්තං දේශපාලන හයිය මත පදනම් වෙලාද? එතකොට ඔයා කියන්නෙ දේශපාලන ආත්මාර්ථකාමියො උත්තරීතරයි ආර්ථික ආත්මර්ථකාමීන්ට වඩා?

මං හිතන්නෙ ඔයා ගොඩක් දේවල් අවතක්සේරු කරනවා. මට කියන්න ලෝකෙ කොහෙද ඔයා මේ දේවදූතයො ඇත්තටම හොයාගන්නෙ කියල. මං විශ්වාස කරන්නෙ නෑ ඔයාවත් එහෙම කරයි කියල”

මිල්ටන් ෆ‍්‍රීමන් කියන්නෙ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක්. එයා රොනල්ඞ් රේගන්ටත්, කන්සවේටිව් මාග‍්‍රට් තැචර්ටත් උපදේශකයෙක් විදිහටත් වැඩ කළා. නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.  විශේෂයෙන්ම ධනවාදය වෙනුවෙන් නිදහස් වෙළඳපොල වෙනුවෙන්, රාජ්‍යයේ මැදිහත්වීම අවම කිරීම වෙනුවෙන් මිල්ටන් තමන්ගෙ අදහස් මෙහෙයුවා. කැපිටලිස්ම් ඇන්ඞ් ෆ‍්‍රීඩම් කියන පොතේ එයා දේශපාලන නිදහසට වඩා ආර්ථික නිදහස වැදගත් වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරනවා. එකිනෙකා මත පදනම් වෙන ප‍්‍රතිලාභය නිසාම ඇති වෙන ස්වභාවික තුලනයෙන් (නිදහස් වෙළඳ ආර්ථිකයෙන්) සමාජය වඩා නිදහස් වර්ධන අවකාශයන් හිමි කරගන්නවා කියලයි මිල්ටන් ෆ‍්‍රීමන්ගෙ අදහස වුණේ.

ලංකාවෙ උපතින්ම සමාජවාදී බුද්ධිමතුන්ට නොදිරවන නිසාම ෆ‍්‍රීමන්ගෙ පොත් සිංහලට පරිවර්තනය වෙන්නෙ නෑ. ඒත් ආචාර ධාර්මික මිත්‍යාවන් ඇතුළෙන් සමාජය විග‍්‍රහ කරන දේශපාලන න්‍යයාචාර්යයන්ට අහුනොවෙන ප‍්‍රායෝගික විද්‍යාවක් ෆ‍්‍රීමන් නිර්භීතව එලිකරනවා. ෆැන්ටසිමය හෘදය සාක්ෂි කාරණා වලට එපිටින් මනුෂ්‍ය ගතිකයන් ඉක්මවා නැත්තං ඒවා ඵලදායී ආයෝජන කර ගනිමින් ගොඩනැගිය හැකි වඩා සාර්ථක සමාජ ආකෘතීන් ෆ‍්‍රීමන්ගේ ධනවාදී දැක්ම ඇතුලෙ සාකච්ඡුාවට ගන්නවා. ඒත් ෆ‍්‍රීමන්ගෙ කතා පොලිටිකල් තියරි වගේ ආගමික නෑ. රොමැන්ටික් නෑ.

ලංකාවෙ ෆ‍්‍රීමන්ගෙ අදහස් ගැන තියෙන අවිඥාණික වාරණය වගේම ධනවාදී ප‍්‍රතිසංස්කරණ පැත්තෙනුත් යන්න වෙන්නෙ හරි හෙමින් ගමනක්. මොකක් හරි හින්ද අපි පුරුදු වෙලා ඉන්නෙ කුස්සි ආර්ථිකේකට. බෙදා හදා ගැනීමක්, සමාජ පැවැත්මක් වෙනුවට තමන්ගේ සාක්කුවයි, තමන්ගේ පවුලයි විතරයි කියන අනාරක්ෂිත තැනකිනුයි මිනිස්සු ආර්තිකේට සම්බන්ද වෙලාම තියෙන්නෙ. ඒක හින්දම හැම අලූත් දේකටම අපි බයයි. ආණ්ඩුව අපිව බලාගන්න  ඕන කියලයි අපි හිතන් ඉන්නෙ.

විවෘත ආර්ථිකය බාර ගන්නා, නිදහස් වෙළඳ පොල යම් පමණකට හෝ විශ්වාස කරන, ප‍්‍රායෝගික ආර්ථික දැක්මක් ඇති පක්ෂයක් විදිහට ලංකාවෙ තියෙන්නෙ බංකොලොත් වුණත් එජාපය විතරයි. එජාපය කිව්වට රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර වගේ කීප දෙනෙක් විතරයි මෙතන ඉන්නෙ.

මිල්ටන් ෆ‍්‍රීමන් තරම් රැුඩිකල් විදිහට නොවුණත් එජාපය මේ පාර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හරහා ධනවාදය සඳහා පදනම් ශක්තිමත් කිරීමේ හොඳ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනවා. සියලූ පාර්ශ්ව ශක්තිමත් කරමින්, ක‍්‍රමයක් යටතට ගනිමින් ඉදිරියේදී විවෘත වෙළඳ පොල ආර්ථිකයකට මූන දෙන්න පුළුවන් තත්වයක් ඇති කරන්න උත්සාහ ගන්න බවක් පේනවා.

කොටින්ම ප‍්‍රධාන තරගකාරී පක්ෂ තුනෙන් වඩා ඉදිරිගාමීම සහ නූතනම දැක්මක් ඇතුව නිර්මාණය වෙලා තියෙන්නෙ පංච විධ සැලැස්ම විතරයි. නිදහස් පක්ෂෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අමු විහිළුවක් විතරක් වෙන අතරෙ ජවිපෙ ප‍්‍රතිපත්ති පපුව හිරවෙන හිරිමල් හීන විතරයි.

(ජවිපෙ පක්ෂයක් හැටියට මේ වන විට අත්පත් කර ගෙන ඇති ප‍්‍රගතිශීලී වෙනස්කම් මෙහිදී කිසිසේත් අවතක්සේරු නොකරන අතර ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේදී තව බොහෝ දුර සිතීමට ඇති බව අවධාරණය කරනවා පමණි. එසේ වුවද මේ මොහොතේ විපක්ෂයේ බහුතර බලය (විකල්පය) වෙනුවෙන් ජවිපෙ ශක්තිමත් කිරීම ධනේශ්වර දේශපාලනයේ ප‍්‍රගමනය වෙනුවෙන් අතිශය වැදගත්ය.)

මම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල මේ අගය කිරීම කරන්නෙ ඒවා කවදා හරි ඇත්තට වෙනවද කියන පටු කාරණයට වඩා ඒවායෙන් ඉදිරිපත් වෙන දැක්ම මත පදනම් වෙලා. අපි තාම දූපතක් විදිහටද හිතන්නෙ නැත්තං ලෝක සිතියමේ රටක් විදිහටද හිතන්නෙ කියන කාරණාව උඩ. ඩිජිටල්කරණයේ අන්තර්ජාලයේ ප‍්‍රගමනයන් එක්ක සමගාමී දැක්මක්ද ගොඩනගන්නෙ කියන එක මත. හැමෝම හැමදාම කිරලා මැනලා බලන සුබසාධන කාරණා අත්ඇරලා යූඇන්පී ප‍්‍රකාශනයෙ තියෙන අලූත් අදහස් සහ සිතා බැලීම් කීපයක් විතරක් මෙතනදි ඉස්මතු කරන්නම්.

මේ වතාවෙ එජාපයේ සැලසුම පදනම් වෙන්නෙම සමාජ ආර්ථිකයක් කියන සංකල්පය උඩ. නිකං අතට අහුවෙන පපුව කූල් කරන කතා වලට වඩා එහෙම හරිහමන් කන්සෙප්ට් එකක් පදනම් කර ගැනීමම පිළිවෙල සහගතයි මං කියන්නෙ.  සමාජ ආර්ථිකය යටතේ ඒ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ තරගකාරී වෙළඳපොල අවකාශ පවත්වා ගනිමින් දුර්වල සමාජ කොටස් ආරක්‍ෂණයට යම් වැඩපිලිවෙලවල් නිර්මාණය කිරීම. ඒ අතරෙ වැඩි පිරිසක් ආර්ථිකයට සම්බන්ධ වන ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදයකුත් (නිදහසක්) සංකල්පමය විදිහට පදනම් කරගන්නවා.

හැම අංශයක් ගැන හිතද්දිම අන්තර්ජාතික වෙළඳ පොල සහ තත්වයන්ට සාපේක්ෂව අපේ ගැටළු වලට උත්තර හොයන්න උත්සුක වෙලා තියෙන එකත් දියුණු විදිහක්. අපේ උරුමය, අපේ බසවක්කුලම කිය කිය ඉන්නෙ නැතුව දියුණු වෙන ලෝක තත්වයන් ගැන සවිඥාණක ආර්තිකයක් යම් පමණකට මෙතන යෝජනා වෙනවා. ලෝකය සමග නිරන්තරයෙන් සම්බන්ධිත රටක් හැටියට අපේ ශක්‍යතාවයන් දියුණු කරන එක ගැනයි අවධානය යොදලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක්.

උදා විදිහට නැවත ජීඑස්පී ප්ලස් ලබා ගනිමින් අපේ විදේශ වෙළඳපොල පුළුල් කර ගැනීම, ධීවර කෘෂි වගේ නොදියුණු විදිහට පරණ ක‍්‍රම අනුව දිවෙන අංශවල ජනතා සමාගම් ඇති කරමින් දේශීය මෙන්ම විදේශ වෙළඳපොලේ තරගකාරී මට්ටමකට ඔවුන් සංවර්ධනය කිරීම වගේ දේවල් අමාරුවෙන් හරි කරන්න  ඕන දේවල්. එකම තැන පල්වෙන අකාර්යක්ෂම ගොවිතැන, ධීවර කර්මාන්තය තේරුමක් ඇති සැබෑ කර්මාන්තමය තත්වයකට ගන්න සාර්ථකම එළඹුමක් මේක. යූඇන්පිය ප‍්‍රකාශනයෙ කියන විදිහටම අයර්ලන්තෙ ඩෙයරි ගෝල්ඞ් කෝර්ප් ගොවි සමාගම මේකට හොඳ උදාහරණයක්.

ඒ එක්කම ආර්ථිකය ඩිජිටල් කිරීම හරහා සියලූ ගණුදෙනු ඔන්ලයින් ප‍්‍රවේශයකට ගන්නත් අදහස් කරනවා කියල කියනවා. මේ දේවල් මේ හැටියෙන්ම ඉටු නොවුණත් මේ විදිහෙ ප‍්‍රතිපත්තිවත් ඉදිරිපත් වීම වැදගත්. ඒ වගේ තත්වයකදි ආර්ථික සහ සියලූ මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්‍ෂම වගේම ඵලදායී කරගන්නත්, විනිවිදභාවයක් ඇති කරන්නත්, අන්තර්ජාතික වෙළඳාම් කටයුතු වලදී විශාල පිටුවහලක් වෙන්නත් පුළුවන්.
ඒ එක්කම කොළඹ මෙගාපොලිස් එකක් ඇති කරන එක ආකර්ශනීය යෝජනාවක්. අවාසනාවට යූඇන්පියේ අයම පවා මෙගාපොලිස් කියන්නෙ ලොකු පොලිසියක් කියලයි හිතාගෙන ඉන්නෙ. ඒත් දියුණු විශාල අන්තර්ජාතික මට්ටමේ නගරයක් හැටියෙන් කොළඹ දියුණු කිරීමේ අදහස මරු එකක්.

ආර්ථික, සංචාරක, ධීවර ආදී සියලූ ක්‍ෂේත‍්‍රයන් සඳහා සංවර්ධන අධිකලාප ඇති කිරීමේ අදහසකුත් මතු කරලා තිබුණ. මේ හරහා හදූනාගත් විවිධ ප‍්‍රදේශ වල එක් එක් විෂයන් සඳහා වැඩි පහසුකම්, ආයෝජන වගේම කර්මාන්ත අවස්ථා පුළුල් කිරීමක් සිදු කරනවලූ. උදා විදිහට යාපනය තෝරාගෙන තිබුනෙ තොරතුරු තාක්‍ෂණය පැත්තට. ඒක ඇත්තටම තියුණු තෝරා ගැනීමක්. ඒ වගේම විදේශ ආයෝජන ක‍්‍රමවත්ව හසුරුවා ගනිමින් ස්ථාවර සංවර්ධනයකට රට ගෙනියන්න හොඳ ට‍්‍රයි එකක්.

මං දකින්නෙ පක්ෂයක් විදිහට අතීතය පැත්තට හැරීගෙන කල්පනා නොකර අනාගතය දිහාවෙන් සංකල්ප කීපයක් දාලා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හැදීම විතරක් වුණත් වැඩක්. එතකොට ඡුන්ද ව්‍යාපාර හරහා මේ අලූත් අදහස් සාකච්ඡුා වෙනවා. පවතින පසුගාමී සමාජ ක‍්‍රමය ඇතුලෙ තමන්ට යම් යම් අවාසි ඇති වෙන්න පුළුවන් වුණත් එඩිතරව මේ අදහස් මේසෙට ගේන එක ගැන යූඇන්පිය සීරියස් වෙලා තියෙනවා.

ලංකාවෙ ගම කියන්නෙ සිද්ද වෙන ආර්ථික කටයුතු වලින් එක්කො සූරා කැවෙන නැත්තං නිකං ඉඳලා කන ආර්ථික ව්‍යූහයක්. කිසිම අදහස්මය දියුණුවක් වෙනසක් ගම් කරා ළ`ගා නොවෙන්නෙ මේ ආර්ථිකමය දුරස්ථකම නිසා. යූඇන්පිය කරන්න හදන පොකුරු ගම් සංකල්පයත් නිර්මාණශීලී අදහසක්. ඒ හරහා ගම් කීපයක් එකතු කරලා තැනෙන පොකුරුගම තමයි සංවර්ධනය කෙරෙන්නෙ. එතකොට ග‍්‍රාමීය ඒකක විදිහට ක‍්‍රමවත් ආර්ථික රටාවක් යටතට මේ ගම් ටික ගන්න පුළුවන්.

පරිසරය ගැන දක්වලා තියෙන උනන්දුවත් කාරණා කීපයක් විෂයෙම කැපිලා පෙනුනා. විශේෂයෙන් කාබනික ගොවිතැන දියුණු කරමින් හරිත නිෂ්පාදන වලට ලෝකයේ ඇති ඉඩකඩ යම් පමණකට හෝ ලංකාවට ලබා ගැනීමේ උත්සාහයන් ගැනත් කියල තිබුණ. ඒ වගේම පරිසර දූෂණය අඩුම රටක් විදිහට ලෝකයේ ස්ථානගත වීම වගේ උවමනාවන් මං හිතන්නෙ කරන්න බැරි වුණත් හොඳයි. අඩුම තරමෙ අපි කල්පනා කරන්නෙ ලෝකෙ ලැයිස්තුගතවීමක් ගැන.

සිනමාව ගැන වුණත් වෙන කිසිම පක්ෂයකට වඩා සවිස්තර හිතා බැලීමක් යූඇන්පියෙන් කරලා තිබුණ. වාරණ මණ්ඩලය වර්ගීකරණ මණ්ඩලයක් විදිහට පමණක් පවත්වාගෙන යාම වගේම අකර්මන්‍ය චිත‍්‍රපට සංස්ථාව වෙනුවට චිත‍්‍රපට සංවර්ධන මණ්ඩලයක් ඇති කරන උත්සාහය ප‍්‍රශස්තයි. සිනමා අධ්‍යයන, පර්යේෂණ සහ සිනමාවේ තත්වය නගා සිටුවිමේ කාරණා මේ මණ්ඩලය හරහා සිද්ද වෙනවා කියලයි කියන්නෙ. කොහොම වුණත් මේ ඉඩ ඇතුලෙ සිනමාකරුවන්ට තමන්ගෙ ගැටළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් විවෘත වෙනවා. ඒ වෙනුවෙන් විධිමත් අදහස් හා යෝජනා සහිතව සාකච්ඡුා ආරම්භ වෙන්න  ඕන.

තව හොඳ දෙයක් විදිහට මං දැක්කා අන්තර්ජාතික ජ්‍යොතිෂ මධ්‍යස්ථානයක් සහ විකල්ප වෛද්‍යක‍්‍රම පර්යේෂණ හා සංවර්ධනයට ආයතන නිර්මාණය කිරීම. කාලාන්තරයක් තිස්සෙ පැවතගෙන ආපු යම් හෝ ආකාර කියවීම් නූතන වෙළඳ අවකාශයන් සමග මුහුවෙන්නට ඉඩදෙමින් මේ වපසරියේ ඒවාට අදාල තැන ලබා ගන්න ඉඩ හදලා දෙන එක වැදගත්. මිත්‍යාවන් විදිහට නිකම්ම බැහැර කරන සාම්ප‍්‍රදායික බුද්ධිමතුන්ගේ මට්ටමට එහා ගිහින් ඉල්ලූම අනුව වඩා දියුණු තලයක සැපයුමක් ඒ විෂයන් හරහාත් නිර්මාණය වෙනවා එතකොට.

අපේ පරණ හම්පඩ ජාතික විශ්ව විද්‍යාල ලෝකයේ පිළිගත් විශිෂ්ට විශ්ව විද්‍යාල සමග අනුබද්ධ කිරීමේ උත්සාහය සහ වැඩි වැඩියෙන් හුවමාරු වැඩසටහන් නිර්මාණය කර ගැනීමේ උවමනාව අවධාරණය කිරීමත් හරිම වැදගත්. මට අනුව නම් විශ්ව විද්‍යාල වලට කරන්න පුළුවන් හොඳම දේ මේකයි. විශ්ව විද්‍යාල කිව්වට මධ්‍ය මහා විද්‍යාල වගේ තියෙන අපේ යුනිවර්සිටි වලට ගෝලීය අධ්‍යාපන ප‍්‍රවේශයක් ලබන්න ඉඩකඩ මේ හරහා විවෘත වෙනවා. ඒ වගේම දැනට ඔහේ වැනෙමින් තියෙන තාක්‍ෂණ විද්‍යාල දේශීය සහ විදේශීය සමාගම් සමග එක්ව කොලේජස් ඔෆ් ටෙක්නොලොජීස් බවට පරිවර්තනය කිරීමේ අදහසත් ප‍්‍රායෝගික වෑයමක්.

මේ හැමදේකදිම රජය කෙලින් මැදිහත් නොවී දේශීය විදේශීය සමාගම් සහ ආයෝජන මත මේ දේවල් පදනම් කිරීම ගොඩක් හොඳ තත්වයක්. මෙ ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ගත්තා නම් එක පැත්තකින් තත්වය මස්තබාල්දු වෙනවා. අනිත් පැත්තෙන් පහසුකම් නැතුව වැඬේ අල වෙනවා.

”මම හිතන්නෙ ප‍්‍රශ්නයකට ආණ්ඩුවක් විසින් දෙන විසඳුම් නිසා ප‍්‍රශ්නය තිබුණ තත්වයටත් වඩා අමාරු කරනවා. නිකං හරි සහරාව ආණ්ඩුවකට බාර දුන්නොත් ටික කාලෙකින්ම ඒකෙත් වැලි හි`ගයකට මූණ දෙන්න සිද්ද වෙනවා”
-මිල්ටන් ෆ‍්‍රීමන්

වයසක අය ගැනත් නිර්මාණශීලී හිතා බැලීමක් කරලා තිබුණ. විවිධ සමාගම් සමග එකතුව ඒ අයගෙ විවේකය, සැඳෑ සමය වෙනුවෙන් ආරක්‍ෂණ වැඩපිලිවෙලවල් නිර්මාණය කිරීම පැත්තෙන්. ඇත්තටම සමාගම්වල සීඑස්ආර් වැඩ (ආයතනික සමාජ සත්කාර) විදිහට වඩා හොඳ දියුණු අවස්ථාවන් මේ වෘද්ධ හෝ අබාධිත අයට උදා කරලා දෙන්න පුළුවන් එක ඇත්තක්.

ආබාධිත අයිතිවාසිකම් පණත සම්මත කිරීමට ක‍්‍රියා කිරීම හරහා ආබාධිත අයට පහසුකම් සහ අයිතීන් ලබා දෙන එකත් සංවේදී හිතා බැලීමක්.

ඒකීය රාජ්‍ය කියන එක විතරක් බේරගෙන කළ හැකි උපරිම බලය බෙදා හැරීමක් හරහා සුළුජාතීන් සමග හොඳ සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ උත්සාහය ගොඩක් වටිනවා. වර්ගවාදී කණ්ඩායම් එක්ක වැඬේ කොයිතරම් අමාරු වුණත් සවිඥාණක සමාජ කණ්ඩායම් වල උදව්වෙන් මේ අවශ්‍ය තත්වයන් දිනාගැනීමයි කරන්න  ඕන.

ෆ‍්‍රීමන් කියනවා වගේම මේ කිසි දෙයක් යූඇන්පිය සමාජය වෙනුවෙන් කරන පරිත්‍යාගයන් නෙමෙයි. හැමදෙයක්ම දේශපාලනේදි සිද්ද වෙන්නෙ ඒ අයගෙ බල උවමනාවන් වෙනුවෙන්. ඒකෙ මැජික් එකක් නෑ.  ඒත් ඒ හරහා සමාජයට ලොකු ඉදිරි පිම්මක් ඇති වෙනවා නම්, අලූත් අවකාශයන් විවෘත වෙනවා නම් ඒ වෙනුවෙන් උනන්දු වීමයි කරන්න  ඕන. මේ කාරණා වලට අදාලව වඩා දියුණු සැලසුම් ඇතුව, සාකච්ඡුා කරමින් යූඇන්පිය මේ දේවල් කරන්න උත්සාහ කරන තැනට තල්ලූ කරන එකයි සමාජ දේශපාලනය වෙන්න  ඕන.

''ඇත්තටම නිදහස් ආර්තිකයක් ගැන තියෙන විරෝධයට පදනම් වෙන ප‍්‍රධානම කාරණය වෙන්නෙ එතකොට මිනිස්සු ඒ අයගෙ ඇත්ත උවමනාවන් වෙනුවෙන් වැඩ කරන එක. එතනදි මිනිස්සුන්ගෙ උවමනාවන් කියල ඇතැම් බුද්දිමතුන් කියන කොටස් මවාගත් කාරණා අර්බුදයට යනවා. නිදහස් ආර්තිකේකට තියෙන ලොකුම බාධාව වෙන්නෙ මූලිකව නිදහස ගැන විශ්වාසයක් නැතිකමයි”
-මිල්ටන් ෆ‍්‍රීමන්


Saturday, August 1, 2015

සාද්ගේ රමණය සහ පැසොලිනිගේ මරණය


ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙ සතියෙ සිනමා සාකච්ඡුාව වෙනුවෙන් පැසොලිනිගෙ ‘සාලො’ පෙන්නුවා කියල මට මතක් කළේ භූපති. කලින් වතාවක් දෙකක් මේ පෝස්ටරය මගේ ඇහේ වැදුනත් නතර වෙලා බලන්න ඉස්පාසුවක් තිබුනෙ නෑ. ඇකඩමියෙන් මේ කරන චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය හා සංවාදය ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම උනන්දුවෙන් සහභාගි වෙන පිරිසක් ඒකට හැදුන එකත් හොඳ ලකුණක්.


ඒත් සාලො පෙන්නපු කතාව ඇහුන ගමන් මගේ ප‍්‍රශ්නය වුනෙ ‘මොන එකකට ඒක පෙන්නුවද?’ කියල.

භූපති ගොඩක් කැමති චිත‍්‍රපටියක් ඒක. ෆැසිස්ට්වාදය සේඩිසම් (පරපීඩකකාමය) සමග එකට තියාගෙන කරන දේශපාලනික භාවිතාව ගැන ත‍්‍රිල් එක සිනමාවට වඩා ඒකට හේතු වෙන්න ඇති කියල මට හිතුනත් භූපතිගෙ ප‍්‍රශ්නය වුනේ ‘ඇයි ඒක ආර්ට් නෙමෙයිද?’ කියන එක.

ඒක මට ආපහු හිතන්න බල කළා. මොකද්ද ආර්ට් කියන එකට නිර්වචනයක් අපිට හොයාගන්න බැරි වුණත් මොකද්ද ආර්ට් නොවෙන්නෙ කියන එක ඇතුලෙ අපිට ආර්ට් ගැන සිතීම පළල් කරන සංවාදයකට යන්න පුළුවන්. සාලො ෆිල්ම් එකට වුණත් ඒකෙ සැබෑ අර්ථයට වැඩි අර්ථයක් ලැබෙන්නෙ ( ඕවරේටඞ් අගය කිරීමක්) මේ සාකච්ඡුාව ඇතුලෙ. එහෙම නැතුව කෘතියක් ආර්ට්ද නැද්ද කියල අහන එක හිස් ප‍්‍රශ්නයක්. ආර්ට් හෝ ආර්ට් නොවන කෘතීන් කියල දෙයක් නෑ.

සාලො කියන්නෙ මට අනුව අත්වැරැද්දක්. ඒත් ඒ අත්වැරැුද්ද ඊට කලින් සිද්ද නොවූ නිසාම ඊට හිමිවෙච්ච තැනක් තියෙනවා. ඒක වඩාත්ම උත්සන්න කළේ පැසොලිනිගෙ මරණය. මේ මරණය ෆැසිස්ට්වාදීන් විසින් මේ චිත‍්‍රපටය නිසා කළ එකක් විදිහට කුමන්ත‍්‍රණ න්‍යාය හැඩගැසීම ඇතුලෙ සාලො දිහා  ඕනවට වඩා ලොකු විදිහට බැලෙනවා.

පැසොලිනි කියන්නෙ විවෘතවම සමලිංගික ජීවිතයක් ගත කරපු කැරලිකාර චරිතයක්. එයාගෙ ලිංගික ජීවිතය ඇතුලෙ එයා ස්වපීඩකකාමියෙක්. එයාව ළ`ගින් ආශ‍්‍රය කරපු යාලූවො කියන්නෙ සමහර දවස්වල ?ට එයා තමන්ට කරගන්න වධදීම් ඇතුලෙ එයාව කලින්ම මැරෙන්න ඉඩ තිබුන කියල. ක‍්‍රම විරෝධී ජීවිතයක් ඇතුලෙ පැසොලිනි දිගටම අරගල කළා. සිනමාව කියන්නෙ එයාගෙ එක මාධ්‍යයක් විතරයි. එයාට ඇත්තටම  ඕන වෙලා තිබුනෙ කවියෙක් වෙන්න.

එයා කොමියුනිස්ට්වාදියෙක්. ඒත් පිටුවහල් වුණු කොමියුනිස්ට්වාදියෙක්. නව යොවුන් වියේ ගැටවරයන්ට අතවර කිරීම හේතුවෙන් සහ ප‍්‍රසිද්ද ස්ථාන වල නිරුවත පෙන්නීම වගේ දේවල් නිසා කොමියුනිස්ට් පක්ෂයෙන් විතරක් නෙමෙයි කරමින් හිටපු ඉගැන්වීම් කටයුතු වලින් පවා පැසොලිනිව එලියට දානවා. එයා හැමදේටම විරුද්දව කැරළි ගහනවා. උදා විදිහට එක ශිෂ්‍ය අරගලයක් වෙලාවෙදි සියලූ බුද්ධිමතුන්, දේශපාලන ක‍්‍රියාකාරීන් ශිෂ්‍යයන් වෙනුවෙන් හිටගනිද්දි පැසොලිනි තනියම ශිෂ්‍යයන්ට තඩිබාන පොලිස්කාරයො වෙනුවෙන් හිටගන්නවා. පොලිසියට යන්නෙ හරිහැටි අධ්‍යාපනය ලබන්නවත් හැකියාවක් නොතිබුණු අය කියල ඔවුන් වඩාත් පීඩිත කොටස විදිහට පැසොලිනි දකිනවා. මේ රැුඩිකල් වීමේම ප‍්‍රතිඵලයක් විදිහටයි මං සාලො දකින්නෙ.

‘පැසොලිනිට තිබුණු ප‍්‍රශ්නය වුනේ එයාට එකපාර මාක්ස් හා ජීසස් කියන දෙන්නත් එක්කම සංසර්ගය කරගන්න  ඕන වෙලා තිබුණු එක’
-ජොනතන් රොසන්බම්

මාර්කස් ඩි සාද්ගෙ දින 120ක ගුද සංසර්ගය (120 ඬේස් ඔෆ් සොඩොමි) කියන පොත මත පදනම් වෙලා, ඒක මුසොලිනිගේ කාලයට ගලපලා, ඩාන්ටේගේ ඩිවයින් කොමඩි එකේ සිව් රංග ආකෘතිය පාවිච්චි කරලා, බලයේ බිහිසුණු බව කොයිතරම් දුර යන්න පුළුවන්ද කියන ගැඹුරු දේශපාලනික ප‍්‍රකාශනයක් විදිහට සාලො කියවන්න පුළුවන්. ඒක තමයි ලෝකය පුරා මේක අමාරුවෙන් හෝ නැරඹිය යුතු විශිෂ්ට චිත‍්‍රපටියක් විදිහට දකින විචාරකයො ගොඩක් පෙනී ඉන්න තැන.

ඒත් සාද්ව එහෙම ෆැසිස්ට්වාදය එක්ක ගලපන්න පුළුවන්ද? සාද්ගේ ලිඛිතය ෆැසිසිට්වාදී පසුබිමක් ඇතුලෙ රූපයට නගන්න පුළුවන්ද? ආවේගය ඇතුලෙ පැසොලිනිට අතපහු වෙන්නෙ මේ සිතා බැලීම.
රෝලන්ඞ් බාත් මේ කාරණය ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා. අන්තිමට සාද්ගෙවත් ෆැසිස්ට්වාදයේවත් නොවෙන තැනක මේ ආතක්පාතක් නැති නිර්මාණය නතර වෙනවා. පැසොලිනිගෙ අතින් සාද්ගේ විෂය සහ ෆැසිස්ට්වාදයේ විෂය කියන දෙකම විකෘති වෙනවා කියල බාත් පැහැදිලි කරනවා. ඒක නිසාම දේශපාලනමය වශයෙන් හෝ සැඩිස්මය වශයෙන් හෝ සාලො සමග එකගවෙන්න බැරි වීම අතිශය සාධාරණයි කියල එයා කියනවා.

එක පැත්තකින් ෆැසිස්ට්වාදය හෝ සේඩිසම් කියන අමු කතිකාව සහ අනෙක් පැත්තෙන් පරණ ගුහා චිත‍්‍රයක් තරමට පිරිමැදුනු ලිඛිතයක් අතර පැසොලිනිගෙ සාලො අනාථ වෙනවා කියලයි බාත්ගෙ අදහස. ඒක කිසිවිටෙක සංකේතයක් හෝ රූපකයක් වෙන්නෙ නෑ කියල එයා කියනවා.

‘සාලො චිත‍්‍රපටියෙ ප‍්‍රබලත්වයට බෙහෙවින්ම සාද් විසින් ලියන ලද ලිඛිතය ඉවහල් වන අතරම, සාද්ගේ විස්තර එකින් එක රූපයට නගමින් පැසොලිනි විසින් එම ලිඛිතය සහ මෑත කාලීන දේශපාලන කතිකාවන් තුවක්කුවක් දික් කරලා බලහත්කාරෙන් කරන ලද මංගල්‍යයක් මෙන් ගලපන ලද නමුදු....’
(කියල රොසන්බම් බාත්ගෙ පැහැදිලි කිරීම නැවත කියවනවා)

සාලො කියන්නෙ මාස්ටර්පීස් එකක් කියන මතයට කොහොමත් වැඩි ඉඩක් තියෙන නිසාම ඊට විකල්ප අදහස් වලට තියෙන කුඩා හෝ ඉඩ වඩාත් වැදගත්. සාලො කියන්නෙ මාස්ටර්පීස් එකක්ද නැත්තං පරණ පුරුදු සූරාකෑමමද කියල ඉන්ටර්නෙට් එකේ සංවාදයක් තිබුණ. එතනදි කෙනෙක් කියල තිබුනෙ,

‘මේ චිත‍්‍රපටිය ඉතිහාසය ගැන තියෙන කුතුහලය කියන කාරණයෙන් ගැලෙව්වොත් ඇත්තටම මොකක්ද ඉතුරු වෙන්නෙ? චිත‍්‍රපටියට කලින් අකුරු වලින් කියන ඉතිහාස පසුබිම හෝ සාද්ගේ පොත ගැන තියෙන යම් දැනුමක් ආදී චිත‍්‍රපටියට බාහිර කාරණා බැහැර කලොත් සාලෝ කියන්නෙ ප්ලොට් එකක් නැති, චරිත ගොඩනැංවීමක් නැති හිස්තැනක් විතරයි.

මේ චිත‍්‍රපටියෙන් පරිභෝජනවාදය සහ ෆැසිස්ට්වාදය අතර සම්බන්ධයක් ගේන්න හදනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ෆේල්. හරිහමන් සංදර්භයක් නැතුව රූපකයකට වැඩ කරන්න බැරි වෙනවා. සාලො තියෙන්නෙ සීල් කරපු පරිසරයක. ඒකෙ අපි දකින්නෙ අධ්‍යක්‍ෂවරයාගෙ පරපීඩකකාමය විතරයි. ඒ අතරෙ එයා සිනමා උපක‍්‍රම පාවිච්චි කරනවා මේක බලන් ඉඳීම නිසා අපිත් වැරදිකාරයො කියන හැ`ගීම ඇති කරන්න’

ඊට අමතරව ‘මාස්ටර්පීස් ඔෆ් ෂිට්’ සහ ‘මාස්ටර්ප්ලොයිටේෂන්’ වගේ හැඳින්වීම් පවා සාලො ගැන මතුවෙලා තිබුන. ඒ කොහොම වුණත් සිනමා කෘතියක් නරඹද්දි මට පුද්ගලිකව අධ්‍යක්‍ෂවරයා ප‍්‍රතික්‍ෂේප වෙන තැනක් තමයි එයා මාව (නරඹන්නාව) ටෙස්ට් කරන්න එන එක. සාලො උවමනාවෙන්ම අපි තුල ජුගුප්සාව ඇති කරන්න ද`ගළන හැටි මට අනුව ළාමකයි. ඒක සිනමා පර්යේෂණයකට සහභාගි වීමක් මිස කෘතියක් නැරඹීම හෝ රස විඳීමක් නෙමෙයි.

‘ඒක මොකට පෙන්නුවද ?’ කියල මට කියවුනේ තවත් අදහසක් හින්ද. සාලෝ වගේ චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කරලා ඒක මාරයි, පිස්සු හැදෙනවා වගේ කතා ගොඩක් කිව්වම ඊළ`ගට පොකුරු පිටින් හැදෙන්න පටන් ගන්න ෂෝර්ට් ෆිල්ම් සහ සමහර විට ෆීචර්ස් ගැන මතක් වෙලා ඇ`ග හිරි වැටුන හින්ද. තේරුමක් නැතුව ස්වයං වින්දනයේ් යෙදෙන තරුණයන්ගෙන්, සමහර විට මළපහ කරන ගෑනු මිනිස්සුන්ගෙන් පවා ඒවා පිරිලා යන්න ඉඩ තියෙනවා.

සාලෝ චිත‍්‍රපටියක් විදිහට රස විඳින්න නම් අවශ්‍ය වෙන දැනුම් උපකරණ කීපයක් තියෙනවා. එකක් මාර්කස් ඩි සාද් සහ එයාගෙ සාහිත්‍යය ගැන දැනුම. ඩාන්ටේගේ නාට්‍ය ගැන අල්ප හෝ දැනුම. ඊට අමතරම ෆැසිස්ට්වාදය, මුසෝලිනී ආදී දේශපාලන ඉතිහාස දැනුම. වෙන්න බොහෝ විට ඉඩ තියෙන විදිහටම මේ දැනුමෙන් තොරව ලාංකේය මනසෙ සාලෝ මොකක් විදිහට වැඩ කරයිද ?

අනිත් අතට පැසොලිනිව මාරයි කියල ගන්න ලංකාවේ දැනුවත්තු කවදාවත් සාද්ව එතනට ගන්නෙ නැති එක පුදුමයි බලන් ඉන්න. සාද්ගේ සාහිත්‍යය හෝ දර්ශනය ගැන කතා කරන කිසි සංවාදයක් මට මෙතුවක්  මුනගැහිලා නෑ. ඒ මදිවට එක පොතක්වත් මේ වෙනකල් පරිවර්තනය වෙලා නෑ. එතකොට 120ක ගුද සංසර්ගය ගැන පැසොලිනි වර්ෂන් එක මාර වෙන්නත් සාද්ව උවමනාවෙන්ම අමතක වෙන්නත් බලපාන සමාජ අවිඥාණය මොකක්ද? ඒකෙ ළාවට සිංහල බෞද්දකමක් වගේ එකක් නැද්ද?

සාද් කියන්නෙ ප‍්‍රංශ විප්ලවය කාලෙ හිටපු ලේඛකයෙක්, දාර්ශනිකයෙක්, විප්ලවවාදියෙක්. වැඩියෙන්ම වැදගත් වෙන්නෙ එයා ලිබර්ටයින් කෙනෙක් (නිදහස්කාමියෙක්) වීම. ලිබර්ටයින් කියන එකේ අදහස සමාජ සම්මතයන් හෝ සීමාවන් නොතකන, තමන්ගේ ආශාවට සදාචාරය බාධාවක් විදිහට නොගන්නා නිදහස් මිනිහෙක් කියන එක. සාද් මේ නිදහස ඇතුලෙ ෆැන්ටසි නිර්මාණය කළා. සේඩිස්ම් කියන්නෙ එයාගෙ අග‍්‍රගන්‍ය නිර්මාණය. ඒ ෆැන්ටසි ඇතුලෙ ශිෂ්ට මිනිහාට කවදාවත් ස්පර්ශ කරන්න බැරි ගැඹුරු අඳුරු ඉම්වලට අතපොවන්න සාද්ට පුළුවන් වුණා.

දවස් 120ක ගුද සංසර්ගයෙ තියෙන්නෙත් සල්ලිකාර නිදහස්කාමියො හතර දෙනෙක් තමන්ගේ අඳුරු ආශාවන් සංතර්පනය කරන්න ගැටවර තරුණ තරුණියන් පිරිසක් මන්දිරයක සිර කරගෙන වද/ තෘප්තීන් ලබා දෙන කතාවක්.

මේ කතාව සාද් ලියන්නෙ බැස්ටීලයේ හිරගෙදර ඉඳන්. පොඩි පොඩි කොල කෑලි එකතු කරලා අලවගත්ත රෝලක එයා මේක ලියනවා. ප‍්‍රංශ විප්ලවය වෙලාවෙදි බැස්ටීලයට පහර දෙනකොට තමන්ගේ නිර්මාණය සදහටම නැති වෙලා යන්න ඇති කියල සාද් හිතනවා. ඒත් මේ කතා රෝල ඉතුරු වෙනවා.

1785 දි ලියන මේ කතාව පළවෙනි වතාවට ප‍්‍රකාශයට පත්වෙන්නෙ 1904දි. ඒ ඉවාන් බ්ලොච් කියන බර්ලින් මනෝ වෛද්‍යවරයෙක් අතින්. තමන්ට විය හැකි අපවාදෙට බයෙන් එයත් මේක පළකරන්නෙ බොරු නමකින්.

මේ විදිහෙ ඉතිහාසයක් තියෙන ලේඛනයක් තමයි පැසොලිනී අතින් තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් විකෘති වෙන්නෙ. පැසොලිනිගේ අබිරහස් මරණයත් එක්ක මේ විකෘතිය ප‍්‍රකෘතියට වඩා ලොකු වෙනවා.
පැසොලිනිගෙ මරණය ගැන දැනගන්නෙ එයා ලිංගික කටයුත්තක් සඳහා මිළට ගත් අවුරුදු 17ක කොල්ලා විසින් එයාගෙ ඇල්ෆා රෝමියෝ රථය අධිවේගයෙන් පදවාගෙන යාම හේතු කොටගෙන නතර කිරීමක් හින්ද. තමන්ගේ පස්ස පැත්තට ලී රිටක් ඇතුල්කරන්න යාමේදී ඇතිවෙච්ච ගැටුමක් හින්ද තමන් පැසොලිනීව යටකරලා මැරුවා කියල එයා කියනවා. ඒත් නැවත ඊට කාලෙකට පස්සෙ ඒක තමන්ට ඇතිවෙලා තිබුණු තර්ජන නිසා කියපු බොරුවක් කියල ඉල්ලා අස් කර ගන්නවා.

පැසොලිනී විසින් නිර්මාණය කරමින් තිබුණු චිත‍්‍රපටය තමන්ට කෙලින්ම පහර දෙන්න හදපු එකක් කියලයි ෆැසිස්ට්වාදීන් සැක කරන්නෙ. ඒක මේ විදිහෙ ඇබ්ස්ට‍්‍රෑක්ට් වැඩක් කියල ඔවුන් දැනගත්තා නම් මේ මිනීමැරුම සිද්ද නොවෙන්න තිබුණ.

මේ චිත‍්‍රපටයෙ ර`ගපාපු ඇතැම් නළුවන්ට පසුව ඒ ගැන ඇතිවුණු අවුල නිසා චිත‍්‍රපටය මග නවතිනු පිනිස පැසොලිනීව මරා දැම්මා කියලත් කතා යනවා. කොහොම වුණත් පැසොලිනිගේ මරණයේ සෙවනැල්ල තමයි සාලෝ මේ තරම් ගැඹුරු කරන්නෙ.

පැසොලිනිව කොහෙත්ම අවතක්සේරු කරනවා නෙමෙයි. ආවේගකාරී විරෝධාකල්පික බව ඇතුලෙ එයාට දැක්මක් තිබුණ.

”මම දකිනවා සුන්දර බුද්දිමතුන්, සමාජ විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් සහ විශේෂඥයින්, ඉතාම හොඳ අරමුණු ඇතුව ඉන්නවා. යම් දෙයක් මෙතන වෙනවා නම් ඒ ගොල්ලො ඔලූව හරවන්නෙ අනිත් පැත්තට. මං කියන්නෙ ෆැසිස්ට්වාදයක් නෑ කියල නෙමෙයි. ඒත් අපි කඳුකරයෙ ඉඳිද්දි මට මුහුද ගැන කතා අහන්න  ඕන නෑ. මේක වෙනස් කලාපයක්. මෙතන තියෙන්නෙ මරා දැමීමේ ආශාව. මේ ආශාව විසින් අපි පව්කාර සහෝදරයන් වගේ පව්කාර සමාජ පද්ධතියෙ පව්කාර වැරැුද්දක් එක්ක ගැට ගැහෙනවා. මාත් කැමතියි කළු බැටළුවා පැත්තකට කරලා සංසුන්ව ඉන්න. ඒත් මට හැමදේම පේනවා.... .... අපි දන්නෙ නෑ අපිව මරන්න කවුරු සැලසුම් කරනවද කියල. අපි හැමෝම ඉන්නෙ අනතුරක”

විශේෂයෙන්ම මරණයට ආසන්නව පැසොලිනී එක්ක කරන සම්මුඛ සාකච්ඡුාව හරියට එයා මරණය ගැන කල්ඇතුව දැනගෙන හිටියා වගේ. ඒත් කිසි දෙයක් අධිතක්සේරු වීමෙන් කිසි වැඩක් සිද්ද වෙන්නෙ නෑ.
වෙන්න  ඕන හැමදේම වඩා විවෘත වෙන එක. සංවාද වෙන එක.

-චින්තන ධර්මදාස