Friday, March 23, 2018

ජාතික කොඩියෙන් පටන් ගමු


ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල මිනිස්සුන්ට පුළුවන්කමක් නෑ. ඉහලම පංතියෙ මිනිස්සුන්ටත් ජාතිවාදයෙන් ඇති වැඩක් නෑ. ඒ අය මේ ජාතික සීමාවලට එහායින් තමයි ජීවත්වෙමින් ඉන්නෙ. ජාතිවාදය කියන්නෙ ලංකාවෙ අලූත් මිඞ්ල් ක්ලාස් උන්ගෙ ගේම් එකක්. මේක ග‍්‍රාමීය එකක් නෙමෙයි. මේක හොඳටම නාගරික එකක්. මේ මිඞ්ල් ක්ලාස් එක එන්න එන්නම ලොකුවෙද්දි ජාතිවාදයත් ලොකුවෙනවා.  පහල පංතිවල මිනිස්සු කරන්නෙ  කඬේ යන එක විතරයි.

බැලූබැල්මට අපිට පේන්නෙ රටේ නූගත්, කර කියාගන්න දෙයක් නැති, නන්නත්තාර පිරිස් ජාතිවාදය අවුලනවා වගේ. ඒත් ඇත්ත කතාව වෙනස්. ජාතිවාදය ඇත්තටම තියෙන්නෙ ඉංග‍්‍රීසි කතා කරන, ලොකු ලොකු ඉස්කෝලවලට ගිය, අපි උගත් බුද්දිමත් කියල රැුවටෙන මිනිස්සු ළ`ගමයි.

ජාතිවාදය හැමතිස්සෙම ඇවිලෙන්නෙ බිස්නස් අරමුණක් වෙනුවෙන්. එදා අනගාරික ධර්මපාල පවා ජාතිවාදය ඇදලා ගත්තෙ සිංහල බිස්නස් ප‍්‍රජාවගෙ උවමනාවට. අද මුස්ලිම් අයට විරුද්ද ජාතිවාදය ඇවිලෙන්නෙත් ඒ උවමනාවටමයි. මුස්ලිම් ව්‍යාපාර අස්තාවර කිරීම හරහා තමන්ගෙ ව්‍යාපාරික බලය වැඩි කරගන්න ද`ගලන සිංහල මුදලාලිලා ටිකක් තමයි මේ ජාතිවාදය අවුලන ඇත්ත පෙට‍්‍රල් සප්ලයි කරන්නෙ.  කෘතිමව ඇතිකරන කලබල ඇතුලෙ කඩසාප්පුම ගිනි තිය තිය ඇවිදින්න හේතුව ඒකයි.

ජාතිවාදයෙ ලොකුවම පත්තුවෙන සිංහල බෞද්ද කියන වචනෙ ගැටගැහෙන හැටි මං ටිකක් දුරට කල්පනා කළා. බුද්දාගම කොහොමත් හැදෙන්නෙ වාණිජ ආගමක් විදිහට. බුදුන්ගෙ කාලෙමත් ඒක වඩාත් ජනප‍්‍රිය වෙන්නෙ සිටුවරු වගේ පොරවල් අතර. එහෙන් මෙහෙන් සුනීතලා සෝපාකලා හිටියට බුද්දාගමේ කැපී පේන චරිත වුනේ අනේපි`ඩු, මිගාර වගේ ලොකු චරිත. අනිත් පැත්තෙන් කොසොල්, බිම්බිසාර වගේ රජවරුත් හිටියා. ඒ කාලෙ පැවතුණු බමුණු ආගම්වලට වඩා බුදුන්ගෙ අදහස් මේ වෙළඳ පංතියට ගොඩක් අනුකූල සහ පහසු ඒවා වුනා.

පස්සෙ මේ බුද්දාගම අශෝක අධිරාජයා යටතේ ආයුදයක් විදිහට පාවිච්චි වෙන්න ගත්තා. රටවල් යටත් කරගැනීමේ අලූත් විදිහක් විදිහට අශෝක බුද්දාගම පාවිච්චි කළා. අපිට බුද්දාගම ලැබෙන්නෙත් ඒ ධර්ම විජය කියලා හඳුන්වපු යටත්විජිතකරණයේ ප‍්‍රතිපලයක් විදිහට.

එතන ඉඳනුත් බුද්දාගම ඉතිහාසය පුරාම පාවිච්චි වෙන්නෙ රජාව ආරක්ෂා කරන්න. රාජ්‍යත්වය සහ බුද්දාගම අතරෙ හැමදාම ඞීල් එකක් තිබුනා. හාමුදුරුවරු රජාව ආරක්ෂා කළා. රජා හාමුදුරුවරුන්ව රැුක්කා. මහාවංශය පවා ලියවෙන්නෙ මේ අරමුන වෙනුවෙන්. අවශ්‍ය වෙලාවලදි රජුන් ලවා මිනිස් සංහාරයන් පවා අපේ හාමුදුරුවරු පසුබට වුනේ නෑ. බුද්ද දර්ශනයෙ එන අවිහිංසාව, මෛත‍්‍රිය, කරුණාව වගේ සංකල්ප ලංකාවෙ සංග සමාජය විසින් අවස්තානුකූලව තමන්ට උවමනා උවමනා අතට නමාගත්තා.

අදටත් පවතින්නෙ මේ යතාර්ථයමයි. ලංකාවෙ ජාතිවාදී අවුල් පිටිපස්සෙ වැඩියෙන්ම ඉන්නෙ හාමුදුරුවරු. මෙතනදි ඥානසාර, අංපිටියෙ සුමන එහෙම කියන්නෙ ලිහාදාපු සුනඛයන් විතරයි. හාම්පුතාලා ඉන්නෙ තිරෙන් පිටිපස්සෙ. පහුගිය කාලෙදි ඥානසාරව අත්අඩංගුවට ගන්න යද්දි අස්ගිරියෙ මහනායක ඥානසාරගේ වික‍්‍රම සාධාරනීකරණය කරමින් එයාව ආරක්ෂා කරන්න නිවේදනයක් නිකුත් කරනවා. ඒක එක්තරා විදිහක තර්ජනයක්.

මේ මෑතකම ෆේස්බුක් හරහා පැතිරුන කිරිබත්ගොඩ ඥානානන්දගෙ මහමෙව්නාවෙ අලවලා තිබුන දැන්වීම යට පවා තියෙන්නෙ මෙන්න මේ කතාව. වඳපෙති දාන්න ඉඩ තියෙන නිසා තමන්ට දානය උයද්දි අන්‍යාගමිකයො සම්බන්ද කරගන්න එපා කියලා ඒ දැන්වීමෙ ගහලා තියෙනවා. හාමුදුරුවරු වඳ නොවී ඉඳීමේ ඇති වැදගත්කම මොකක්ද කියන කාරණය පවා එතනදි අමතක කරනවා. සමහර විට සමස්ත සිංහල ජාතියෙම පිරිමි වඳවෙන තැනට පත්වුනාම හාමුදුරුවරු ටික ජාතිය වෙනුවෙන් ළමයි හදන මහා ව්‍යායාමයකට සම්බන්ද වෙන්න ඉන්නවා වෙන්නත් පුළුවන්.

මහමෙව්නාව කියන්නෙ බුද්දාගමේ හැදිච්ච අලූත් කල්ට් එකක්. මේ වගේ කල්ට් පිටිපස්සෙ ඉන්නෙ අලූත් ව්‍යාපාර පංති. ඒවා වැඩකරන්නෙ ඒ පංතිවල උවමනාවන් සහ තෘප්තීන් වෙනුවෙන්. අර කලින් කිව්ව විදිහට බෙන්ස්වල, බීඑම්ඩබ්ලිව් වල යන එන, ඉංග‍්‍රීසි කතා කරන, සමහර වෙලාවට විද්‍යා උපාදි පවා තියෙන මේ පංති ප‍්‍රජාව වඳපෙති නෙමෙයි හක්ගෙඩි, පාංගෙඩි අදහන තරම් ගොන්. මේ දැන්වීම පිටිපස්සෙ තියෙන ජාතිවාදය, මුස්ලිම් විරෝදය ඒ තක්කඩි සිංහල බෞ්දද ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආරක්ෂා කරන්න, වගාකරන්න මහමෙව්නාව බැඳිලා ඉන්නවා.

පන්සල් බහුතරයක් ඇතුලෙ වැඩකරන්නෙ ජාතිවාදය. හාමුදුරුවරු බණට කියන්නෙත් ජාතිවාදය. දහම් පාසැල්වල උගන්නන්නෙත් ජාතිවාදය. මේක පිළිලයක් වගේ ඇතුලෙන් ඔඩුදුවමින් තියෙන්නෙ.
ඒත් ආණ්ඩුව හදන්නෙ ෆේස්බුක් සීමා කිරීමෙන් ජාතිවාදී අවුල සමනය කරන්න. පයේ බරවෙට පිටිකරේ බෙහෙත් බැන්දා කියල ඇති පලක් නෑ.

පහුගිය මහින්ද රාජපක්ෂගෙ ආන්ඩුව කාලෙ මේ ජාතිවාදී අදහස් හැමතැනම පැලකළා. බීජ ඉස්සා. ජාතිවාදය දේශපේ‍්‍රමය වුනා. ඉස්කෝලවල ඉතිහාස පාඩම් ඇතුලෙ අනෙක් ජාතීන් වර්ග පහත් කොට සැලකෙන ඉගැන්වීම්-කියවීම් ව්‍යාප්ත වුනා.

නුවර ඇතිවෙච්ච සිද්දියෙදි ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරුවා කියල අත්අඩංගුවට ගත්තෙ අවුරුදු දාසයක විතර කොල්ලෙක්. මේකෙන් තේරෙනවා අනතුර තියෙන තැන. 2000 විතර ඉපදිච්ච, මහින්ද චින්තනයේ යුද වින්දනයේ අවුරුදු දහයක් ගතවෙච්ච මේ පරම්පරාව අනාතයි. ඉස්සර අවුරුදු දොලහ දහතුන වෙද්දි අතට අහුවෙන රුසියානු පොත් එහෙම මේ අලූත් පරම්පරාවට අහුවෙන්නෙ නෑ. ඒ පොත්වලින් පස්සෙ වාමාංශික ආබාද ඇතිවෙන්න පුළුවන් වුනත් ජාතිවාදය වගේ පටු දැකීම් වල කොටු නොවෙන මහද්වීපික සිතීමක් ඒවායින් ලැබුන. මේ අලූත් නව යොවුන් පරපුරට ඇසුරු කරන්න ලැබුනෙ තනිකරම ජාතිවාදී සංස්කෘතියක්.
අපේ අධ්‍යාපන පද්ධතියම මේ වෙද්දි වැඩකරන්නෙ ජාතිවාදය පතුරන යාන්ත‍්‍රණයක් විදිහට. උගන්වන ගුරුවරු තමන්ගෙ හිතුමනාපයට මේ අදහස් හැදෙන අනාගත පරපුරට එන්නත් කරනවා. අපේ ඉතිහාසය ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇතිකරන ඉගැන්වීමක් විදිහට තුලනාත්මකව, දියුණු කියවීමකට ලක්කරන්න කාගෙවත් වෑයමක් නෑ. ඇත්තටම නම් මේ මහින්ද චින්තනයේ අසූචි ටික ෆ්ලෂ් කරලා දාන්න නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් සහ විවිධත්වය අගයන ඉගැන්වීමේ රටාවක් වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ නව වැඩසටහනක් අත්‍යාවශ්‍ය වුනත් කාටවත් ඒ ගැන වගේ වගක් නෑ.

තාමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට බෙදිලයි ඉස්කෝල පවත්වාගෙන යන්නෙ. සිංහල බෞද්ද පාසැල් වගේම ක‍්‍රිස්තියානි, මුස්ලිම් පාසැල් වෙනම පවත්වාගෙන යාම කියන්නෙම ජාතිවාදය පවත්වාගෙන යාමක්. ජාතීන් අනුව පාසැල් බෙදෙන්න අවශ්‍ය නෑ. විවිධ ජාතීන් විදිහට එකට පැවතීම හුරු වෙන්න ඇති ප‍්‍රධානම අවකාශය අපි ජාතිවාදී විදිහට අහුරලා තියෙනවා. ආණ්ඩුවට ඇත්තට ජාතිවාදය පිටුදකින්න  ඕන නම් ලේසි තැන්වල කරන සෝබන අතපෙවීම් පලක් වෙන්නෙ නෑ.

මේ නැවත නැවත උත්සන්න වෙන, එක එක ජාතීන් දිහාවට මෑනෙන ජාතිවාදී ආයුදය සීරියස් විදිහට ඇඩ‍්‍රස් කරන්න නම් පුළුල් දැනෙනසුලූ ව්‍යාපාරයක්  ඕන කරනවා. ජාතීන් අතර විශ්වාසය ගොඩනැගෙන ලොකු සංකේතාත්මක වැඩක්  ඕන වෙනවා.

මට දැනෙන විදිහට අපිට ජාතිවාදය පිටුදකින එක අපේ ජාතික කොඩියෙන් පටන් ගන්න වෙනවා.
මේ කොඩිය ඇත්තටම ජාතිවාදී කොඩියක්. මේ කොඩියෙ එලියෙ කෑල්ලෙ තීරු දෙකක් විදිහට සුළු ජාතීන් නිරූපනය කරන එකම වැරදි වැඩක්. විවිධ ජාතීන් එකට ජීවත් වෙන එක නිරූපණය කරන්න වෙනස් වර්ණයන් පාවිච්චි කිරීම සාධාරණයි. ඒත් ඒ ජාතීන්ගේ ප‍්‍රමානයන් ජාතික කොඩියෙ නිරූපණය වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම සිංහල මහ ජාතිය වෙනුවෙන් ලොකු රතු පදාසයක් සහ සුළු ජාතීන් පැත්තට කඩුව දික්කරගත්ත සිංහයෙක් දාන එක කොහෙත්ම ජාතීන් අතර සංහිඳියාව උනන්දු කරන තත්වයක් නෙමෙයි. ජාතික කොඩිය ඇතුළට බෝකොල වගේ බෞද්ද කෑලි යොදා ගැනීමත් විවිධ ආගම් අදහන පිරිස් එකට ජීවත් වෙන රටක් විදිහට සුදුසු වෙන්නෙ නෑ. මේ කොඩිය දකින දකින වතාවක සුළු ජාතිකයෙකුට එන හැගීම වෙන්නෙ තමන් පිටමං කරන ලද සුළු තීරුවක් කියන හැගීම විතරයි. මේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජාතීන් අතර සහ ආගම් අතර විවිධත්වය, සමානාත්මතාවය, එකිනෙකා අතර සහයෝගිතාවය වගේ කාරණා ගැන කිසි හැගීමක් හෝ දැනුවත් බවක් තිබිලා නැතිවග පැහැදිලියි.

ජාතික කොඩිය විතරක් නෙමෙයි අපේ ව්‍යවස්ථාවම පදනම් වෙලා තියෙන්නෙ මේක සිංහල බෞද්ධ රටක් කියන පිළිගැනීම මත. ඒ පිළිගැනීමම ජාතිවාදී එකක්. අපේ රටේ ව්‍යවස්ථාව පදනම් වෙන්න  ඕන මේක බහුවාර්ගික, බහුආගමික රටක් කියන එක. අපි තනි ශුද්ධ වූ ජාතියක් කියන තැනින් හයිබි‍්‍රඞ් ජාතියක් කියන තැනට මාරු වෙන්න  ඕන.

මගේ සිහිනමය යෝජනාව වෙන්නෙ අපි ජාතික කොඩිය අලූතෙන් නිර්මාණය කරන තැනින් පටන් ගමු කියලයි.

මේ ආන්ඩුව නිශ්චිතවම පවතින්නෙ තව අවුරුදු දෙකයි. හොරු අල්ලලා නෙමෙයි තව මොන මොන පෙළහර පෑවත් මේක ගොඩගන්න දැන් පරක්කු වැඩියි. ඒ හින්ද මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව වෙන්නෙ සුවිශේෂ වෙනසක් වෙනුවෙන් නිර්භීත අලූත් පියවරක් තියන එකයි. ඩූ  ඕර් ඩයි වයිල්ඞ් කාර්ඞ් එකක් ගහන එකයි.

අලූත් ජාතික කොඩියක් කියන්නෙ ජනමත විචාරණයක් දක්වා යන්න අවශ්‍ය වෙන කාරණයක්. අමාරු වුනත් ඒක හොඳ තත්වයක් විදිහටයි මං දකින්නෙ. අලූතෙන් ජාතික කොඩිය නිර්මාණය කරනවාට වඩා එහි අවශ්‍යතාවය, වටිනාකම මිනිස්සුන්ට කියලා දෙන කැම්පේන් එකයි වඩා වැදගත් වෙන්නෙ. ඒකම ජාතීන් අතර සංහිඳියාව සහ විවිධත්වයට ගරු කිරීම උගන්වන විශාල ව්‍යාපෘතියක්. අවුරුදු ගානක් ගියත්, අන්තිමේදි පරාජය වුනත්, අපි සුබ දිශාවකට එක අඩියක් හරි තියන්න උත්සාහ අරගෙන තියෙනවා.

2000දි ජොර්ජ් බුෂ් එක්ක ඩිමොක‍්‍රටික් පාර්ටි එකෙන් ඉදිරිපත් වුනේ ඇල්ගෝ. ඇල්ගෝ ගෝලීය උණුසුම් වීම ගැන පුළුල් පරිසර කතිකාවක් තමන්ගෙ කැම්පේන් එක කරගත්තා. ඒත් චන්දෙන් දින්නෙ ජොර්ජ් බුෂ්. නමුත් අද වෙනකල් මුළු ලෝකෙම ගෞරවයෙන් වැළඳගන්නා චරිතය විදිහට ඉතිරි වුනේ ඇල්ගෝ.
මේකත් ඒ විදිහෙ වැඩක්. සුද්දාගෙන් පස්සෙ අපිට නිර්මාණය කරගන්න බැරිවුණු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කරන ව්‍යාපෘතියක්.

උදා විදිහට මට අනුව අපේ ජාතික කොඩිය විදිහට වඩාත් සුදුසු අපේ ක‍්‍රිකට් කොඩියයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැමෝම එකම ජාතියක් විදිහට හිතන එකම තැන සහ හොඳම තැන ක‍්‍රිකට්. ඒ කොඩිය අපි හැමෝගෙම කොඩියක් කියන හැගීම හැමෝටම තියෙනවා. පටිගහලා, කොටු කරලා එතන ජාතීන් වෙන්කරලා නෑ.
ජාතික කොඩිය වෙනස් කිරීම ගැන විවිධ මත ගැටේවි. විරෝධයන් අහස උසට නැගේවි. ඒත් සංහිඳියාව ගැන කතිකාව බොරු රොමැන්ටික් තලවලින් ගැලවිලා මිනිස්සුන්ට ඇත්තට දැනෙන වැදෙන තැනකට ඒවි. විවිධ ජාතීන්ගේ එකමුතුව ශක්තියක් විදිහට සළකන අලූත් ශ‍්‍රී ලාංකේය ජාතිය ජාතිවාදයට එරෙහි ප‍්‍රබලම ගොඩනැංවීම වේවි.

ඒ අලූත් ජාතියේ කොඩිය දවසක නිල් අහසේ ලෙලදේවි. ඒ සැබෑ වෙන තෙක් අපිට දරුණු අදහස් සටන් තියේවි.

ඒත් මේ රටේ පුරවැසියෙක් විදිහට මං දකින්න කැමති, කැපවෙන්න කැමති අනාගතය ඒකයි. ඒ වෙනුවෙන් අවශ්‍ය  ඕනෑම කාලයක් කිසිම මුදලක් නැතුව මගේ උපරිමයෙන් වැඩකරන්න මං ලෑස්තියි.
මගේ හීනය ඒකයි.

-      චින්තන ධර්මදාස

Sunday, March 4, 2018

ඩයොජිනිස්ගේ කතා



මට අද උදේ ඩයොජිනිස්ව මුනගැහුනා. පහල ගේට්ටුවට හයියෙන් තඩිබබා ඉන්නකොට. ඒ ගෙදර මනුස්සයා දුවගෙන ආවා. ඩයොජිනිස් හිනාවෙලා අතපෑවා. ගෙදර මනුස්සයා බැනලා එලවගත්තා.
නෑ නෑ යනවා යනවා. මෙතන..

ඩයොජිනිස් හයියෙන් හිනාවුනා. හිනාවෙවී පාර දිගේ ආපහු ගියා. දුකක කණස්සල්ලක සේයාවක් වත් තිබුනෙ නෑ. මිනිස්සු ගැන ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් ඩයොජිනිස්ගෙ හිතේ තිබුනෙ නෑ.

ඒ සල්ලි ඉල්ලපු මනුස්සයගෙ නම ඇත්තටම ඩයොජිනිස්ද කියල මං දන්නෙ නෑ. සමහර විට සිමියොන්, අබිලිං, ඒබරං නැත්තං ඩෙස්මන්ඞ්, ලැනරෝල් , පීරිස් ඔය  ඕන එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සයා මට මතක් කළේ සිනෝපයේ ඩයොජිනස්ව.

ඩයොජිනස් කියන්නෙ සිනිසිසම් නැත්තං නරුමවදය කියන එක දර්ශනයක් නම් ඒකෙ ආරම්බකයා. එයා ජීවත් වුනේ ග‍්‍රීසියෙ මාර්කට් එකක් ඇතුලෙ. ඒකෙ බැරල් එකක් තමයි එයාගෙ නිවහන. මාර්කට් එකට එන අයට අතපාලා එයා ජීවත්වෙන්න කීයක් හරි හොයාගත්තා. අතට අහුවෙන, හම්බුවෙන මොනා හරි කාලා මිනිහා ජීවත් වුනා. එකම වත්කම වුනේ වතුර බොන්න පාවිච්චි කරපු පොල්කට්ට. එකදවසක් පොඩි ළමයෙක් නිකම්ම පාරෙ වතුර වලකට කට තියලා තිබහ නිවාගන්නවා දැකලා ඩයොජිවනිස් තමන්ට තිබුන එකම වත්කමත් විසි කරලා දානවා.

මිනිහා නාන්නෙ නැති, ගඳ ගහන, කිළුටු වැරහැලි අඳින, දැකපු ගමන් පිස්සෙක් කියල හිතෙන මිනිහෙක්. ඒත් සියලූ පිලිගැනීම් සහ සම්මතයන් බැහැර කරන අමුම ප‍්‍රකෘතියේ ජීවිතයක් ඩයොජිනිස් අභ්‍යාස කරමින් හිටියා. බුදුන් හෝ වෙනත් ආධ්‍යාත්මික පොරවල් වගේ තමන්ගෙ එකට සැරසිල්ලක්, ආයිත්තමක් එකතු කරන්නවත් ඩයොජිනිස්ට  ඕන වුනේ නෑ. කිසිම දෙයක් ගැන කලින් පිළිසිඳගත් අදහසක් නැතිව එයා හැමදෙයක්ම ප‍්‍රශ්න කරමින් හිටියා.

ජීවත් වෙනවා සහ මැරෙනවා කියන දෙකේ වෙනසක් නෑ කියල එයා කිව්වා.
එහෙම නං තමුසෙ මොකෝ නොමැරි ජීවත් වෙන්නෙ? මිනිස්සු ප‍්‍රශ්න කළා.
ඉතිං වෙනසක් නැති නිසානෙ නොමැරි ඉන්නෙ. ජීවිතේට වඩා මරණය තෝරගන්නවත් මට හේතුවක් නෑ. ඩයොජිනිස් උත්තර දුන්නා.

එයා ඇහුවා හරිම සරල ප‍්‍රශ්නයක්. සරලම විදිහට මිනිහා කියන්නෙ කවුද?
පිහාටු නැති දෙපාවෙක් කියල පන්ඩිත ප්ලේටො උත්තර දුන්නා.

පරණ ග‍්‍රීසියො කැන්ගරුවො ගිබන්ලා වගේ සත්තු හිටියෙ නෑ. ඉතිං ප්ලේටො හිතුවා වැඬේ ෂේප් කියල. ඒත් ඩයොජිනිස් කුකුලෙක් හොයාගෙන ඌව හමගහලා ප්ලේටොගෙ ඇකඩමියට අරන් ගියා.
ආ මෙන්න මං අපූරු මිනිහෙක් හොයාගත්තා.. කියලා කුකුලව ප්ලේටොට දුන්නා.

මේ විදිහට කොහෙත්ම ආචාරශීලීත්වය වගේ හදාගත්ත කාරණා නම් ඩයොජිනිස්ට තිබුනෙම නෑ. එක සල්ලිකාරයෙක් ඩයොජිනිස්ගෙ ෆෑන් කෙනෙක් වෙලා එයාට ලොකු කට්ටිය එක්ක කෑමකට කතා කළා. ඩයොජිනිස් තමන්ගෙ සුපුරුදු කිළුටු විදිහටම කෑම කනවා දැකලා එතන හිටපු බවතෙක් මළපැනලා එයාට බල්ලා කියල බැන්නා. කොහොමත් සිනික් කියන වචනෙ තේරුම වෙන්නෙම බල්ලා කියන එක. ඒත් බල්ලා කියන සතා නම් කොහෙත්ම සිනික් ගනයට වැටෙන එකෙක් නෙමෙයි.
මේ කතාව ඇහුනම ඩයොජිනිස් කෑම මේසෙන් නැගිටලා අර මිනිහා ළ`ගට ආවා. ඇවිත් බල්ලෙක් වගේම කකුලක් උස්සලා මිනිහගෙ ඇ`ගට චූ කරන්න ගත්තා.

මේ විදිහට අනිත් අයට අපහාස උපහාස කිරීම වගේම ඩයොජිනිස් තමන්ට කරන අපහාස උපහාසත් පඬේකට ගනං ගත්තෙ නෑ. හි`ගා කකා ඉන්න අතරෙදි එතනින් යන එන අය ඩයොජිනිස්ට කෙළ ගැහුවා. කිසිම අපහසුතාවයකට පත් නොවී එයා කෙළ පිහිදගෙන ආයිමත් අත දික්කළා. මේ ගැන පස්සෙ වෙන වෙන හාදයො උසුළු විසුළු කරන්න ගත්තම ඩයොජිනිස් කියනවා,
මිනිස්සු මේ සාලයො ටිකක් අල්ලගන්න මුහුදු ගියාම මුහුදු රැුලි පාරවල් කොයිතරම් කාගෙන ඉන්නවද? ඉතිං මට මගේ කෑම වෙලා හොයාගන්න පොඩි කෙලපාරක් කාගෙන ඉන්න බැරිද?
ඩයොජිනිස්ට ඔය දාර්ශනික මහන්තත්ත කතන්දර පෙන්නන්න බෑ.

එක දවසක් ඔය අපේ ඉන්නවා වගේ තර්කය මුල් කරගත්ත දාර්ශනික ගැටයෙක් ඩයොජිනිස් ළ`ගට ඇවිත් කියනවා, දන්නවද, චලනය කියන්නෙ තනිකරම බොරුවක්. මට ඉඩදෙන්න ඒක ඔප්පු කරන්න කියල.
ඩයොජිනිස් කිසි උත්තරයක් දෙන්නෙ නෑ. ඉක්මනට එතනින් නැගිටලා යන්න යනවා.

තව දවසක ඩයොජිනිස් ගණිකා නිවාසයක් ඉස්සරහට වෙලා කෑ ගහනවා. ගණිකාවක් කියන්නෙ විස ලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විසලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විස ලූ..
ඉතිං එතනට ඇතුල්වෙන අය මේ මිනිහගේ කට වහන්න කීයක් හරි විසි කරනවා. ඩයොජිනිස් හැන්දෑ වෙනකල් කෑ ගගහා ඉඳලා සල්ලි එකතු වුනාම ගණිකා නිවාසෙ ඇතුලට රිංගනවා.

ඩයොජිනිස්ගෙ අනුගාමිකයන්ට ඔය අල්ලගෙන ඉඳිල්ල දිගටම අල්ලන් ඉන්න හයිය තිබුනෙ නෑ. ගොඩක් අය කාලෙකදි එයාව අත්ඇරලා ගියා. එයින් එක්කෙනෙක් ඩයොජිනිස්ට තමන් ලියපු පොතක් දුන්නා. ඩයොජිනිස් හිනාවුනා. ”උඹ හරි මෝඩයි.. කාට හරි ඇත්ත පළතුරු දෙනවා මිසක් පළතුරු ඇඳපු චිත‍්‍රයක් දීලා වැඩක් නෑ. දර්ශනය පුහුණු කරන ජීවිතය අත්ඇරලා පොත්වල ලියලා තියෙන දර්ශන කියෙව්වට වැඩක් නෑ..”

ඩයොජිනිස්ගෙන් අනුගාමිකයො ගැලවිලා වෙන ගුරුවරු හොයාගෙන යන එක ගැන හැමෝම වගේ ප‍්‍රශ්න කළා. ඒ ගිය කිසි කෙනෙක් ආපහු ඩයොජිනිස් ළ`ගට ආවෙත් නෑ. ඒ ගැන කිසිම පසුතැවිල්ලක් හෝ කළකිරීමක් ඩයොජිනිස්ට තිබුනෙත් නෑ. ඒත් සමහර වෙලාවට ඒකට උත්තර දෙන්න එයාට සිද්ද වුනා.
‘මිනිහෙක්ව නපුංසකයෙක් කරන්න  ඕන කෙනෙකුට පුළුවන්. යන අය යන්න හේතුව ඒකයි. ඒත් නපුංසකයෙක්ව ආපහු මිනිහෙක් කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක නිසා ගිය අය ආපහු ආවත් වැඩක් වෙන්නෙ නෑ..”

ඩයොජිනිස්ගෙ මේ හි`ගාකෑම ගැනත් මිනිස්සු ප‍්‍රශ්න කළා.
‘මං හි`ගාකන්නෙ මිනිස්සුන්ට වියදම් කරන හැටි කියලා දෙන්න. ඒ අයට ත්‍යාගවන්තබව උගන්නන්න..’
ඩයොජිනිස් කිව්වා.

ඉඳලා හිටලා මිනිස්සු ඩයොජිනිස්ට ප‍්‍රශංසා කළා. ඒ වෙලාවට එයා තමන්ගෙ මුහුණට රිදෙන්න අතුල් පහරක් දීගත්තා. ඊට පස්සෙ අ`ඩා වැළපුනා. ‘ලැජ්ජයි.. මං මොකක් හරි චාටර්ම දෙයක් කරලා වෙන්න  ඕනි...” ප‍්‍රශංසා ගැන එයා පසුතැවිලි වුනා.

ප්ලේටෝ එක්ක ඩයොජිනිස් ගොඩක් වලි දාගත්තා.

සොක‍්‍රටීස් ගැන මොකද හිතන්නෙ? කවුරු හරි ඩයොජිනිස්ගෙන් ඇහුවා.
‘සොක‍්‍රටීස් කියන්නෙ පිස්සෙක්’ ඩයොජිනිස් කිව්වා.
පස්සෙ කාලෙක ඩයොජිනිස් කියන්නෙ කවුද කියල ප්ලේටොගෙන් කවුරු හරි ඇහුවා.
සොක‍්‍රටීස් කෙනෙකුට පිස්සු හැදුනම.. ප්ලේටො කිව්වා.
‘ටියුබ්ලයිට්’ කියල ඩයොජිනිස් එතනදිත් ප්ලේටොව ජෝක් කරනවා.

ඔහොම තව දවසක ප්ලේටො කෝප්ප ටිකක් මේසෙ උඩ තියාගෙන තමන්ගෙ දේවල්වලට ඔබ්බෙන් පවතින සංකල්ප ලෝකය ගැන අදහස පැහැදිලි කරන්න හදනවා.

‘මේ කෝප්ප එකට එක වෙනස්. ඒත් මේ හැම එකකම තියෙනවා ‘කෝප්පීය’ කියන අදහස. ඒක පවතින්නෙ මේ කෝප්පයට කලින්’ ප්ලේටො කියනවා.
‘මට පේනවා මේසෙ උඩ තියෙන කෝප්පය නං.  ඒත් කෝප්පීය කියලා එකක් නං පේන්නෙ නෑ..’ ඩයොජිනිස් උපහාසෙන් කියනවා.

ඒකට මේක තියෙන්න  ඕන කියල ප්ලේටො තමන්ගෙ ඔලූවට තට්ටු කරලා පෙන්නනවා.
‘ඔයාට කෝප්පයට පිටින් කෝප්පීය එක තේරුං ගන්න මොලේ නෑ..’ ප්ලේටො කෝචොක් කරනවා.
ඩයොජිනිස් මේසෙ ළ`ගට ගිහිල්ලා කෝප්පයක් අතට ගන්නවා. ‘මේක හිස්ද ?’
එයා අහනවා. ‘ඔව්’ ප්ලේටො උත්තර දෙනවා.

‘එතකොට මේ කෝප්පයේ හිස්කමට කලින් තියෙන හිස්කම කොහෙද?’
ප්ලේටො උත්තරයක් හොයාගන්න කලින් ඩයොජිනිස් ඇවිත් එයාගෙ ඔලූවට තට්ටු කරනවා.
‘මං හිතන්නෙ ඒක තියෙන්නෙ ඔයාගෙ ඔලූව ඇතුලෙ වෙන්න  ඕනි’

ඩයොජිනිස් කියන්නෙ තියරිවලට වඩා ප‍්‍රැක්ටිස් එක දර්ශනය කියල බාරගැනීමක්. සියලූ සම්මුතීන් නොපවතින තැනදි තමන් කවුද කියන එක තේරුම් ගන්න බැරුව ලෝකය තේරුම් ගැනීම සහ තේරුම් කිරීම විකාරසහගත යැයි ඔප්පු කරපු ජීවිතයක්. පැවැත්ම කියන දාර්ශනික සම්මතය ඉස්සරහ පවතිමින් ඒක කුඩු කිරීමම දර්ශනය කරගත් වයිරසයක්.

ඩයොජිනිස් ගැන ප‍්‍රසිද්දම කතාව එයාව මුනගැහෙන්න මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් ආපු එක.
‘මං ඔයාගෙ දරුණුම ෆෑන් කෙනෙක්. මොනාද ඔයාට මගෙන් කෙරෙන්න  ඕනි?’
ඇලෙක්සැන්ඩර් බක්තියෙන් අහනවා. ඩයොජිනිස් හිනාවෙනවා.

‘අනිවාර්යෙන් ඔයාට මං වෙනුවෙන් දෙයක් කරන්න පුලූවන්. ඒ තමයි චුට්ටක් ඔතනින් පැත්තකට වෙන එක. මොකද ඔයා ඔහොම හිටියම මට වැටෙන ඉර එලිය බ්ලොක් වෙනවා’

ඩයොජිනිස් අවුරුදු අසූ නවයක් ජීවත් වෙනවා. එයාව බල්ලෙක් කාලා මැරුනා කියලා කට්ටියක් කියනවා. එයාව පනුවො ගහලා මැරුනා කියල තව කට්ටියක් කියනවා. ඒත් මට හිතෙන්නෙ එයාට ජීවත්වෙන එක බෝරිං වෙලා හුස්ම නොගෙන ඉන්න ඇති කියල. එයා මළාට පස්සෙ තමන්ගෙ මිනිය සත්තුන්ට කන්න කැලේට ගිහිල්ලා දාන්න කියනවා. තමන් නොවෙන කිසිවක් බාරගැනීම ප‍්‍රතික්‍ෂේප කළ බුදුවරයෙක් ඒ විදිහට ග‍්‍රිසියේ බැරල් එකක පිරිනිවන් පානවා.

ගේට්ටුවෙන් ගේට්ටුවට තට්ටු කර කර තාමත් අපේ පාරෙ ඇවිදන් ආපු ඩයොජිනිස් කවුරුවත් තේරුම් නොගන්නා ධර්මය නිහ`ඩව මුනගස්වමින් පාරක් පාරක් ගානෙ යනවා. මට ඩයෝජිනිස්ගෙ ඒ හිනාව ඈතට ඇහෙනවා.


-චින්තන ධර්මදාස




Tuesday, February 13, 2018

ඕම් නමං ශිවාය!




මේ ලියවිල්ල අදාල වෙන්නෙ මේ කතා කරන රියැලිටියෙ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ මැජිකල් මිතිකල් රියැලිටි එකත් ජීවිතේ කොටසක් හැටියෙන් පවත්වාගෙන යන අයට විතරයි. අනිත් අයට මේක විකාරයක් හැටියට ගංජා හීනයක් විදිහට නැත්තං තව නොයෙක් නොයෙක් තමන් දන්න ආතල් ප‍්‍රමානයන්ගෙන් කියවගන්න පුළුවන්. 

එක කාලෙක අවුරුදු ගානක පරිච්ෙඡ්දයක් මං සායිබාබා අනුගාමිකයෙක් වෙලා හිටියා. උගත් බුද්දිමත් විචාරශීලී කවවල ගොඩක් වෙලාවට සායිබාබා ආධ්‍යාත්මික පැත්තෙන් සීරියස් විදිහට බාරගන්නෙවත් නෑ. මාල මුදු මවන, අළු මවන, මැජික් දාන සායිබාබාට පිටින් වෙන කිසි දෙයක් නෑ. උදා විදිහට බුදුන්ට,  ඕෂොට මේ කතිකා ඇතුලෙ යම් බරක් තියෙනවා. ඒත් හදවතින් තමන්ගේ ධර්මය හරි අත්දැකීම හරි ෂෙයාර් කරගන්න, ඉමෝෂනල් ජර්නි එකක් යෝජනා කරන සායිබාබා නැත්තං ජේසුස් වගේ චරිත දාර්ශනිකව බාරගන්න අමාරු වෙනවා.

එක අතකට එතන තියෙන්න  ඕන දේත් ඒකමයි. ඒ අය දාර්ශනික නෑ. ඒ වෙනුවට ක‍්‍රියාවක් හරහා අවබෝධයකට යන මාර්ගයක් ඒ ගොල්ලො කියනවා. මෝඩ අන්ධ විදිහට හඳුන්වන භක්තිය හරහා ලබන ආධ්‍යාත්මික අත්දැකීමක් ගැන ඒ ගොල්ලො කතා කරනවා. විද ්‍යාත්මක මිනිහට මේ භක්තිය කියන කාරනේ දුරයි. ඒත් ඒ තමයි සුවහසක් ජනීජනයාට ආධ්‍යාත්මික අත්දැකීමක් ගන්න තියෙන එකම ප‍්‍රවේශය. ඒ මහා ජනතාවට ඥානයෙන් අවබෝදයට පත්වෙන මාර්ගය දුරයි. 

සායිබාබා කියන චරිතයෙ පෙනුමෙන් ඉරියව්වලින් පවා මට කිසිම හැගීමක් දැනෙව්වෙ නෑ. අනිත් පැත්තට මං ලේසියෙන්ම මේකා මිනිස්සු ගසාකන මෝඩ බිස්නස්කාරයෙක් කියල හිතාගත්තා. මොකක් හරි දේකට භක්තියක් ඇතිවෙන්න නම් ඒක තර්කයේ බිත්තිය කඩාගෙන යන්න  ඕන. ඒක භාෂාවකින් තොරව එකපාරටම දැනෙන්න  ඕන. ඒත් මට සායිබාබා ගැන එහෙම දෙයක් දැනුනෙ නෑ. මං කල්පනා කරලා බැලූවම මට කිසි කෙනෙක් ගැන එහෙම දෙයක් දැනෙන්නෙ නෑ කියල තේරුනා. හැම මිනිහෙකුටම තියෙන අතිසාමාන්‍ය ඉතාම සුන්දර වගේම ලේසියෙන්ම ගැඹුරට තල්ලූ කරන මාර්ගය මට අවහිර වෙලා තිබුනා. 
මේ මං ජගත් මාරසිංහ එක්ක දවස් ගනං දිග සාකච්ඡුා සහ ගතකිරීම් කරන කාලෙ. මාරයා ජ්‍යොතිශය භෞතිකයි කියල පෙන්නන්න තනියම සටන් කරන කාලෙ. 

‘උඹට ස්වාමිව බාරගන්න බැරි උඹේ මාන්නෙ හින්ද නේද?’
මාරයා මට කිව්වා. ‘බුද්ධිය ගැන දැනුම ගැන තර්කය ගැන උඹට තියෙන මාන්නෙ.. උඹට අනිත් මිනිහව පේන්නෙ මෝඩයෙක් වගේ...’

ඒ කතාවෙන් මගේ ඇතුලෙ දොරඅගුල් කීපයක් කඩාගෙන යනවා මට දැනුනා. බුද්දිය ගැන තියෙන මාන්නය අභියෝග කරන්න මෝඩකම තරම් ගැලපෙන මුනගැහීමක් තියෙනවද? මගේ දැනුම බුද්දිය විසින් එලියෙ තියෙන දේවල් ගැන මට විනිවිදිය නොහැකි තරමෙ විනිශ්චයන් ගොඩනැගිලා තියෙන වග මං දැක්කා.
හැම මිනිහෙකුගෙම ඇතුලෙ දැනුමට බුද්දියට උගත්කමට හෝ සමාජ තත්වයට එපිටින් ගැඹුරු ආධ්‍යාත්මික අවකාශයක් පවතිනවා කියල මට අමතක වෙලා තිබුනා. අපි අනෙකා සමග සම්බන්ද වෙන්නෙ අපි විසින් තෝරාගන්නා ලද යතාර්ථයක් ඔස්සේ කියල මට මගඇරිලා තිබුනා. අනෙක් අතට මගේ අවබෝධයට අනෙකාගේ බුද්ධත්වය ඇත්තක්ද බොරුවක්ද කියන ප‍්‍රශ්නය කොහොමවත් අදාල නැති වග තේරුම් ගන්න මට බැරිවෙලා තිබුනා. 

මේ ගුරුවරයාගෙන් මට ඉගෙනගන්න තියෙන්නෙ මොකක්ද?’  කියන නිහතමානී මොහොත මං අත්දැක්කා. 
සායි බජන් අහන්න හැම සිකුරාදම මං යන්න පටන් ගත්තා. බජන් පටන් ගන්නෙ හරිම හෙමින්. ඊට පස්සෙ ඒක ටිකෙන් ටික වේගවත් වෙනවා. අන්තිමට ඇ`ග ඇතුලෙ වයිබ්රේෂන් එකක් දැනෙනකල්ම උස්සලා එක පාරට නතර වෙනවා. ඒ නිහඩතාවයට අපි ඇදන් වැටෙනවා.  ඕනම මෝඩයෙකුට බ්ලිස්ෆුල් කියන එක නිමේෂයකට ස්පර්ශ කරන වෙලාවක් ඒක. 

බජන් කියද්දි මිනිස්සුන්ගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා මං දැකලා තියෙනවා. ඒ අය තමන් ඉස්සරහ දෙවියන් දකිනවා. ගොඩක් වෙලාවට වැඩිපුර සල්ලි, නැත්තං දියුනුව, ලෙඩරෝග වලින් සුවය වගේ දේවල් ඒ අය ප‍්‍රාර්ථනා කරනවා ඇති. ඒත් ඒ අය සම්පූර්ණයෙන්ම තමන්ගේ ආත්මීය සීමාවලින් එලියෙ විශාල පැවැත්මකට සම්බන්ධ වෙලා හිටියා. ඒ ට‍්‍රාන්ස් අත්දැකීම එතන ඉන්න හැම ශරීරයකටම දැනෙන තරමෙ එකක්.

මං සමහර දවස්වල දවල්ට පැය ගනං නිකං සායි ආශ‍්‍රමයෙ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ ලොකු ශාලාව ඇතුලෙ නිකං ඉඳන් ඉන්න එකම භාවනාවක්. සැරින් සැරේ එන තව එක්කෙනෙක් දෙන්නෙක් වැඳගෙන සායිබාබා හිඳගෙන ඉන්නවා කියලා විශ්වාස කරන පුටුව දිහා බලාගෙන ඉන්නවා. අපි ඉතාම කුඩා අංශූ තරමට කුඩාවුනු, අපිට වඩා විශාල නොපෙනෙන පැවැත්මක් ඉස්සරහ අපි දණගහගෙන ඉන්න, ඒ වෙලාව මේ ලෝකෙ වෙලාවක් නෙමෙයි. ලෞකික පන්සල්ගත ආකෘතිය ඇතුලෙ දැන් අපිට නැතිවෙලා ගිහින් තියෙන්නෙ මේ ආධ්‍යාත්මික මොහොත.

සිත පිළිබඳ තේරුම් ගැනීම් හෝ තර්ක කළ හැකි න්‍යායන් හෝ සායිබාබා ධර්මයෙ නෑ. ඒ වෙනුවට හොඳ හිතින් යහපතේ යෙදෙන්න වගේ සරල මාර්ගයක් එතන යෝජනා වෙන්නෙ. බජන් වලට පස්සෙ කවුරු හරි දානයක් දෙනවා. පැනිරස සහ පළතුරුවලින් හැමෝටම සංග‍්‍රහ කරනවා. එකිනෙකා අතර අපි සංස්කෘතිකව පනවාගත් පටු සීමාවලින් එහාට ගිය මනුස්ස ආදරයක, භක්තියක මොහොතක් ස්පර්ශ වෙනවා. ඇත්තටම පූජනීයයි කියන්න පුළුවන් ඒ අත්දැකීම සම්පූර්ණ වෙන්නෙ මේ සාමූහිකත්වයත් එක්ක. 
හරිම පුදුම විදිහට  ඕනම කෙනෙකුට තමන්ගෙ ඇතුලෙ තියෙන ඒ දිව්‍යමය මොහොත අත්දකින්න පුළුවන් විදිහට ඒ සම්පූර්ණ වන්දනාව නිර්මාණය වෙලා තියෙනවා. මේක සායිබාබා ගැන විතරක් නෙමෙයි. තව ගොඩක් අපි අතිසරල විදිහට බැහැර කරන ආගමික කාරණා ඇතුලෙ තියෙනවා.

උදා විදිහට පහන් පත්තු කරන එක. ගින්දර තරම් අපිව අපේ ප‍්‍රාකෘතික තත්වයට අරන් යන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ. ගින්දර කියන්නෙ අපේ සවිඥානය. ඒ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න අපි ඒ වෙලාවෙදි ගිනිමැලය වටා එකතු වුනු අපේ ආදිතම මානවයා දක්වාම අවිඥානිකව බැඳෙනවා. මොහොතකට අපි අපේ සාමූහික අවිඥානය ෂෙයාර් කරගන්නවා. අපේ ආත්මීය සීමාවලින් මිදෙනවා.

දැනුමත් එක්ක අපේ ජිවිත සීමා වෙනවා. අපේ මිතිකල් පැවැත්ම අපි තාර්කික දැනුම වෙනුවෙන් පාවා දෙනවා. අන්තිම සාමාන්‍ය දෛනික මිනිස් ජීවිතේ ඉඳන් අපේ ශරීරය ඉක්මවූ මහා සමස්තයක් දක්වා ජීවිතේ විඳින්න, පවතින්න තියෙන හැකියාව අපි අහිමි කරගන්නවා. ඇත්තටම කිව්වොත් සම්පූර්ණ ජීවිතයක් කියන එක අපි දන්නෙම නැතුව අපිට නැති වෙනවා. 

ඇයි මං මේක ලියන්නෙ කියල මං දන්නෙ නෑ. ඒක හින්දම මේක මෙතනින් ඉවර වෙන්න  ඕන කියල තාර්කික අවසානයකුත් මගේ ඔලූවෙ නෑ. ඒත් ළ`ගදි ආපහු මාරසිංහ ගැන කල්පනා කරද්දි ඒ අතීතෙ ගැන දැනිච්ච භක්තිමත් හැගීම මට එලියට දාන්න  ඕන වුනා වෙන්න ඇති. 

සාමාන්‍ය ජීවිතේ තරම් ශුද්ධ වූ වෙනත් ආධ්‍යාත්මික ජීවිතයක් නෑ.
මෝඩකම තරම් දැනුම කවදාවත් පරිණත නෑ.

Thursday, February 8, 2018

එන්න ඡුන්දෙ දාන්න.





ලබන සෙනසුරාදා ඒ කියන්නෙ 10 වෙනිද ප‍්‍රදේශීය සභා- මහ නගරසභා ඡුන්දෙ. මේ පාර ඡුන්දෙදි වමේ අදහස් දෙකක් තරග කරනවා. ඒ එක පිලක් කියන්නෙ ඡුන්දෙ වර්ජනය කරන්න කියල. විරෝධය දක්වන්න කියල. ඒකටත් සෑහෙන සද්දයක් තියෙනවා. කලාකාරයො කතිකාචාරියො වගේ හැමදාම ඡුන්දයක් කිට්ටු වෙද්දි සොරි කලින් වැරදුනා කියලා අලූත් එකකට සපෝර්ට් කරන සෙට් එක මේ පාර කියන්නෙ ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල. රණ විරුවො, මතට තිත, සිංහල බෞද්ද කැම්පේන් එකෙන් ගොඩයන්න නිදහස් පක්ෂෙයි පොහොට්ටුවයි අතර තියෙන්නෙ තරගයක්. අන්තිම මොහොතෙදි බි‍්‍රතාන්‍ය එම්බසිය ඉස්සරහ බෙල්ල කසපු බි‍්‍රගේඩියර් යන්තං මෙතනදි මෛත‍්‍රී පිලට තුරුම්පුවක් ඇදලා දුන්නා. යූඇන්පිය තමන්ගෙ සුපුරුදු ලිබරල් කතා ටිකම කියාගෙන වැඩි ගානක් නැතුව යන්නෙ දිනන එක ගැන වැඩි ෂුවර් එකක් තියෙන හින්ද.

ඡුන්දෙ වර්ජනය කරන එක මෝඩ වැඩක්. ඡුන්දෙ කියන්නෙ ඉතාම උවමනාවෙන් රැුකගන්න  ඕන පුරවැසි අයිතියක්. ඡුන්දයක් වෙනුවෙන් ජනතාව එකතු වෙන එක, අදහස් හුවමාරු කරගන්න එක, සහභාගි වෙන එක මොන තත්වයක් යටතේ වුනත් හොඳ දෙයක්. ඒක මතවාදයක් අදහසක් වෙනුවෙන් සමස්ත රටවැසියන්ගෙ පෙළගැසීමක්. ඒ සක‍්‍රීය සහභාගීත්වය නිශ්ක‍්‍රීය කරගන්නවා කියන්නෙ සාර්තකබවේ ප‍්‍රතිශතය මොකක් වුනත් දශක ගානක් පුරා එක එක විදිවලින් සිද්දවෙච්ච පුරවැසියන් සංවිධානය කිරීමේ වෑයමක් ආපහු හරවනවා වගේ වැඩක්.  කාලයක් තිස්සෙ ගොඩනැගුන සමාජ දේශපාලන ආකෘතියක්, සංස්කෘතියක් වඩා ඵලදායී විදිහට පාවිච්චි කරනවා වෙනුවට අත්හැර දැමීමක්. ඒ යෝජනාව අතිශයින්ම අරාජිකවාදී යෝජනාවක්.

ඡුන්දෙ ජවිපෙට දෙන්න කියල ආචාර්ය කලාකාර සෙට් එක යෝජනා කරන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. මෛත‍්‍රී ඒ ගොල්ලොන්ව රවට්ටපු හින්ද. කොයිතරම් සංස්කෘතික ආකල්පමය පැත්තෙන් විරෝදතා තිබුනත් හොරකම් කරන්නෙ නැති හින්ද ජවිපෙට සහාය දෙමු කියල ඒ ගොල්ලො කියනවා. හොරකම් නොකිරීම කියන එක හොඳ ගුනයක් වුනාට ඒක රටක ගමක වැඩකට තෝරගන්න මූලික සුදුසුකමක් නෙමෙයි. හොරකම් නොකිරීමන් නාස්තිය අවම කරගන්න පුළුවන් වුනාට පළාතක් සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒකට  ඕන වෙනවා දැක්මක්. සැලැස්මක්. ජවිපෙ කියන්නෙ එහෙම එකක් තියෙන පක්ෂයක් නෙමෙයි. ඒ වෙනුවට ග‍්‍රාම්‍ය හෘදය සාක්ෂිය උඩ දුවන බොළඳ පක්ෂයක්. ඉතාම හානිකර විදිහට ජනප‍්‍රිය මතය වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී නිදහස් විරෝධී ස්ථාවරයන් උඩ හිටගන්න පක්ෂයක්. හොරකම් නොකිරීම කියන කාරණයට මුවාවීම හරහා මේ කලාකාර ආචාර්ය නඩය ජවිපෙ තියෙන හානිකර පැත්ත සහමුලින් වසන් කරනවා. ඒකම හොරකමක්.

ඡුන්දයක් කියන්නෙ අදහසක්. මේ පාර ඡුන්දයක් කියන්නෙ පුද්ගලයෙකුට වඩා පක්ෂයක්. පක්ෂයක මතවාදයක්. එතනදි කාන්තාවන්ගෙ සම අයිතිය පිළිනොගන්නා, සමලිංගිකයන් රෝගීන් පිරිසක් විදිහට දකින, කලාවේ නිදහස බාර නොගන්න, ආර්තික සංවර්ධනයක් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති පක්ෂයක් වෙනුවෙන් මිනිස්සු සංවිධානය කිරීම සමාජය පැත්තෙන් ඉතාම හානිකර වෑයමක්. හොරකම් නොකිරීම ඉස්සරහට දාලා මේ කට්ටිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ මේ ගතානුගතික සාම්ප‍්‍රදායිකත්වයට සුජාතභාවයක් අරන් දෙනවා. හයිවේ හදන්නෙ රේස් පදින්නද කියල අහපු, නෙළුම් කුළුණ තරු ගනින්නද කියල අහපු මානසිකත්වයක් ජවිපෙට තියෙන්නෙ. හොරකම කියන කාරණය ඇරුනම මහින්ද සමග හෝ සිරිසේන සමග හිටගන්න බැරි වෙන කිසිම මතවාදිමය වෙනසක් ජවිපෙට නෑ. 

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව තමන්ගෙ සුපුරුදු සිංහල බෞද්ද ඡුන්ද ටික වෙනුවෙන් සටන් වදිනවා. නිදහසක් ගැන කිසිම හැගීමක් නැති සිරිසේන නිදහසට පක්ෂ වෙන්න කියල කියද්දි මහින්ද නවත්තපු තැනින් පටන් ගන්න කට්ටිය එකතු කරනවා. ඒක ඇත්තටම අවංක පෙනී සිටීමක්. හොරකම් කරන එක, මිනීමරන එක, දුෂණය හැමදේම ආයිමත් නවත්තපු තැනින් පටන් ගමු කියල එයා කෙලින් කියනවා. කොළඹට ඒ පක්ෂෙන් ඉල්ලන අපේක්ෂකයෙක් ගෝටාගෙ ලිගසි එක ආපහු ගේන්න එයා එනවා කියලම කියනවා. අහද්දි ඇෙ`ග් හිරගඩු පිපෙනවා.

ඒ කොහොම වුනත් ජාතිකවාදී ජාතිවාදී ආගම්වාදී මත්විරෝදී, සදාචාරවාදී කට්ටියට පුළුවන් සිරිසේන හරි මහින්ද හරි තෝරගන්න. යුක්තිය, සාධාරණය, රාජ්‍ය තාන්ත‍්‍රිකබව, මානව නිදහස වගේ අනවශ්‍ය දේවල් ගනං ගන්නෙ නැතුව තමන්ට වාසි දේශපාලනය කරගෙන යන්න. මහින්ද මේ මතවාදෙ ඔරිජිනල් එක හින්ද සිරිසේනට ඉන්න වෙන්නෙ ටිකක් පස්සෙන්. ගැම්ම තියෙන්නෙ මහින්ද එක්ක. ගේම තියෙන්නෙ සිරිසේන එක්ක. ඒත් මතවාදයක් විදිහට දෙකේ වෙනසක් නෑ. සිරිසේන යන්නෙ මහින්ද හදපු පාරෙ.

යූඇන්පිය මේ ඡුන්දෙදි වැඩිය ද`ගලන්න යන්නෙ නෑ.  මහ බැංකු හොරකම ගැන කතාවත් එක්ක යූඇන්පිය නාගනිමින් හිටියෙ. ඒත් ඡුන්දෙ කිට්ටු වෙද්දි මංගල ගෙනාපු අමුතු යෝජනා ටිකකින් කතාව සෑහෙන දුරට අනිත් පැත්ත හැරුනා. ගෑනුන්ට මත්පැන් මිලදී ගන්න, පාවිච්චි කරන්න අයිතිය ලබාදීම හරහා මෙතෙක් නීතියෙන් කාන්තාව විෂයෙහි පැනවුන අසමානතාවය නිවැරදි කරන්න මංගල ජනප‍්‍රිය නොවන,  මතභේදයට තුඩුදෙන පියවරක් ගත්තා. ගත්ත සැනින් සිරිසේන ඒක අවලංගු කරමින් තමන්ගෙ සංස්කෘතික රෙද්ද හෝදගත්තා. රටක් විදිහට අපිට සාමාන්‍ය වෙලා තියෙන සෙක්සිස්ට් පැවැත්ම අභියෝග කරන එක හොඳ වැඩක්. ඒ අභියෝගයත් එක්කම සමානතා එලියට ආවා. සිරිසේන වගේම ජවිපෙත් කාන්තා අයිතිය ගැන යෝජනාවට විරුද්ද වුනා. ඊට පස්සෙ බෙල්ල කසපු බි‍්‍රගේඩියර්ව රාජ්‍ය තාන්ත‍්‍රික දැක්මකින් සහ විනයකින් යුතුව විදේශ සේවා අමාත්‍යංශය වහා වැඩ තහනමකට ලක්කළා. ඒත් ලංකාවෙ ජනතාව මේ අවිනීතකම වීරකමක් විදිහට උඩදාන්න ගත්තා. සිරිසේන වහාම රණවිරුවාව ආයිමත් සේවයේ පිහිටුවාලමින් මහින්දගෙ ලිගසියෙන් ටිකක් සාක්කුවෙ දාගන්න බැලූවා.

ඡුන්දෙට තියෙන්නෙ තව දවසයි. පක්ෂ ඔක්කොම ගත්තත් සංවර්ධනය පැත්තෙන් හෝ රටේ ස්ථාවරත්වයක්, දිශානතියක්, දියුණුවක් ඇති කිරීම පැත්තෙන් අන්තිම අසාර්ථක වෙලයි ඉන්නෙ. මේ අසාර්ථකත්වය හින්දම ආපහු ලෙන්වාසී ගෝත‍්‍රවාදය පැත්තට තල්ලූවක් ඇතිවෙමිනුයි තියෙන්නෙ. මේ අතරෙ රටටම වයිෆයි දෙන්න රනිල් ඡුන්ද පොරොන්දුවක් දෙනවා. ඒක සෑහෙන ජෝක් එකක් වෙනවා.

ඒත් මේ ඡුන්දෙදි මතවාදිමය අතින් යූඇන්පිය තාමත් අනිත් පක්ෂ ඔක්කොටම වඩා ප‍්‍රගතිශීලී තැනක ඉන්නවා කියන එකයි මගේ අදහස. හොරකම, දුෂණය, අකාර්යක්ෂමතාව වගේ කාරණාවලදි ඒකත් එහෙමම තමයි. ඒත් ශිෂ්ටත්වයක්, දියුණුවක් ගැන අඩුම තරමෙ විශ්වාසයක් පැවතීම, නිදහස, සමානාත්මතාවය වගේ කාරණාවලදි රටේ බහුතරයට ජනප‍්‍රිය නොවෙන ප‍්‍රවේශයන් පවා ගනිමින් යම් ප‍්‍රගතිශීලී උත්සාහයන් දැරීම, වැඩියෙන්ම ලෝකෙ අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙමින් සංස්කෘතීන් හුවමාරු කරගනිමින් ජීවත් විය යුතුයි කියන විශ්වාසය දැරීම වගේ කාරණා හින්ද යූඇන්පිය මට අනුව  වඩා ඉදිරිගාමීයි. ගැලරියේ විසිල් එකට වඩා රටක් විදිහට යම් ශිෂ්ට සැලැස්මකට අනුගතව වැඩකිරීම මේ වෙලාවෙදි පෙන්නන්නෙ යූඇන්පිය විතරයි. ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය වෙත යන ගමනක යෝජනාව තියෙන්නෙ ඔවුන් ළ`ග විතරයි. රනිල් සහ මංගලගෙන් පස්සෙ යූඇන්පියෙ තත්වයත් නිදහස් පක්ෂෙ ගානටම වැටෙයි.  

ඒත් තාමත් ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය තෝරගන්න අයට ඉතුරු වෙලා තියෙන්නෙ ඒක විතරයි. 

Thursday, December 21, 2017

ඒක වෙනම ආතල් එකක්



ලෝකෙ උසස් දේට තියෙන ඉල්ලූම ඒ විදිහටම පහත් දේටත් තියෙනවා. හොඳ දේවල් වගේම නරක දේවලූත් ගොඩක් ක‍්‍රියේටිව් වෙන්න පුළුවන්. විශිෂ්ට වෙන්න පුළුවන්. ඒත් අපිට හොඳයි කියල සම්මත රූලෙන් එලියට පැනලා අවුට් ඔෆ්ද බොක්ස් වර්ගයේ එක්ස්පීරියන්ස් එකක් විඳින්න තියෙන හැකියාව අඩුයි. වෙන විදිහකට කිව්වොත් අපි  ඕනම නිර්මාණයක් රස විඳිද්දි ඒක හොඳ යැයි සම්මත මිනුම් දන්ඩක හිරවෙලා තමයි විඳින්නෙ. බෙස්ට් වර්ස්ට් තින්ග් එවර් වර්ගයේ වින්දන කලාපයක් ඇති කරගන්න පුළුවන් තරමට ලංකාවෙ පේ‍්‍රක්ෂක රස වින්දනය පුළුල් නෑ.

වැදගත්ම දේ නරක හෝ බෑඞ් කියන සෞන්දර්ය ප‍්‍රවේශ හරහා ‘හොඳ’ නැත්තං උසස් කියන එක චැලෙන්ජ් කරන එකයි. අනිත් පැත්තට හොඳ හෝ උසස් කියන සෞන්දර්යය සම්මතයන් නිර්මාණය කරන සමාජ බලය අභියෝග කරනවා. පේ‍්‍රක්ෂකයන්ගේ අලූත් රස වින්දන මානයන් සොයා ගැනීම හරහා වඩාත් ප‍්‍රජාතාන්ත‍්‍රික අවකාශයක් යෝජනා කරනවා.

මං මේ කතාව කියන්න හදන්නෙ ලෝකෙ මෙච්චර කාලෙකට කෙරුන නරකම චිත‍්‍රපටිය විදිහට හැඳින්වෙන ‘ද රූම්’ කියන ෆිල්ම් එක ගැන. පටලවා ගන්න එපා. මේ ලෙනී ඒබ‍්‍රහම්සන්ගෙ 2016 ෆිල්ම් එක නෙමෙයි. මේ කියන්නෙ 2004 කෙරුන ටොමී වයසව්ගෙ ලෙජන්ඩරි කල්ට් ෆිල්ම් එක ගැනයි.

ටොමී වයසව් මේ ෆිල්ම් එක කරලා හෝල්වලට රිලීස් කරනවා. පැය බාගයක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ඉල්ලලා වැඩිම පේ‍්‍රක්ෂකයො ප‍්‍රමානයක් කම්ප්ලේන් කරන්නෙ මේ ෆිල්ම් එක වෙනුවෙනුයි. විචාරකයො කීප දෙනෙක් මේක කටේ තියන්න බෑ කියල ලිව්වත් ගොඩක් අය මොකක්වත් ලියන්නවත් මහන්සි වෙන්නෙ නෑ. එක පේ‍්‍රක්ෂකයෙක් මේක බලලා එන ගමන් කියනවා, ආයෙ ජීවිතේට මට නගින්නෙ නැති වෙයිද දන්නෙත් නෑ’  කියල. වැඬේ ඒ තරම් අනාතයි.

සති දෙකක් විතර යද්දි ස්ක‍්‍රීන් රයිටර් කෙනෙක් වුන මිෂෙල් රූස්වෙල්ට් අහම්බෙන් මේ ෆිල්ම් එක බලන්න යනවා. රූස්වෙල්ට්ට මේකෙ අමුතුම ෆන් එකක් අහුවෙනවා. හැම සම්මත සම්ප‍්‍රදායක්ම කඩා බිඳ දමමින් හැදිලා තියෙන නමුත් බලන්න මොකද්දෝ ඉන්ටරෙස්ට් එකක් අවුස්සන අමුතු ගුනයක් එයාට ෆීල් වෙනවා. ඒක විචාරය කරන්න මිම්මක් නැති රසයක්. රූස්වෙල්ට් එයාගෙ යාලූවන්ට මැසේජ් කරනවා. මේක අනිවාර්යෙන් බලන්න. පුදුම ෆන් එකක් දෙන ෆිල්ම් එකක් කියල. යාලූවො බලනවා. උන්ටත් නැගලා යනවා.

ටොම් වයසව් වාසනාවට මේ ෆිල්ම් එක කරන්නෙ ඉන්ටර්නෙට් යුගයෙදි. ඒ හින්දම ෆිල්ම් එකේ තියෙන අමුතු දෙබස්, අමුතු නිරූපන, මීම්ස්, කෝට්ස් විදිහට ෂෙයාර් වෙන්න ගත්ත. කටින් කට ෆිල්ම් එක ගැන ලොකු ප‍්‍රචාරයක් පැතිරෙන්න ගත්තා. ඩිරෙක්ටර්ට කොහෙත්ම දැනීමක් හෝ බලාපොරොත්තුවක් නොතිබුන ඉසව්වකින් ඒක ලොකු කල්ට් ෆලොවින්ග් එකක් දිනාගත්තා. ඇත්තටම කිව්වොත් ඩිරෙක්ටර් ෆිල්ම් එකේ කර්තෘට වඩා ෆිල්ම් එකේම කොටසක් විදිහට මිනිස්සුන්ව එන්ටර්ටේන් කරන්න ගත්තා.

මේ ෆිල්ම් එකේ ප‍්‍රධාන චරිතය කරන්නෙත් ටොම් වයසව්. ඒ රගපෑම කටේ තියන්න බැරි එකක්. මීට කලින් කිසිම නළුවෙක් ඒ තරම් නරක රගපෑමකට දක්ෂ වෙලා නෑ. ඒත් ටොම් කියන්නෙ එයා පළපුරුදු මෙතඞ් ඇක්ටර් කෙනෙක් කියල.  ටොම් වයසව් කියන මේ මනුස්සයා ගැන කිසි දෙයක් කිසි කෙනෙක් දන්නෙ නෑ. කොටින්ම ටොම් වයසව් කියන්නෙ එයාගෙ ඇත්ත නම පවා නෙමෙයි. හැමදාම ඇමරිකාවෙ ජීවත් වුන කෙනෙක් විදිහට පෙනී ඉන්න හදන ටොම් කොහෙන් ආවද කියල දන්න කෙනෙකුත් නෑ. ඒත් එයා ඇමරිකානුවෙක් නෙමෙයි කියන එක නම් සහතිකයි. මගේ ෆිල්ම් එකට මගේ අතීතෙ අදාල නෑ කියල ටොම් සම්පූර්ණයෙන්ම තමාව වහලා දානවා.

ඒත් විශේෂය තියෙන්නෙ මේ චිත‍්‍රපටියෙ නිරූපනය වෙන චරිත, ඒ මිනිස්සු කතා කරන, හිතන විදිහ, සිද්දි එහා මෙහා යන රිදම් එක, මේ කිසිම දෙයක් කිසිම සමාජ යතාර්ථයක් එක්ක බද්ද නොවෙන එකයි. හරියටම ඒලියන් කෙනෙක් නැත්තං මේ යතාර්තයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැති කෙනෙක් පිටින් බලාගෙන කටපාඩමින් කරන වැඩක් වගේ. ඒත් ඒ අමුතුකම ඇතුලෙ අපූර්වත්වයක් නිර්මාණය වෙනවා. අපේ බිහේවියර් එක වරදවා නිරූපනය කිරීම නැත්තං මොක් කිරීම හරහා වෙනස් විදිහක වින්දනයක් සහ නිදහසක් නිර්මාණය වෙනවා.

සාමාන්‍යයෙන් කසිකබල් ෆිල්ම් එකක තියෙන ලක්ෂණය වෙන්නෙ බලන් ඉන්න බැරිකම. ඒත් අන්ත කසිකබල් වෙලත් ඊළ`ගට මොකක්ද වෙන්නෙ කියල නොදැන අත්අරින්න බැරි වින්දනයක් මේ ෆිල්ම් එක ඇතුලෙ හැදෙනවා. ඒක එක පාරක් නෙමෙයි නැවත නැවත බලන්න හිතෙන චිත‍්‍රපටියක්. යාලූවෙක් ගෙදරට ආවත්, ජොයින්ට් එකක් දැම්මත් ආයිමත් බලන්න මතක් වෙන ෆිල්ම් එකක්. ඒක මාර වැඩක් වෙන්නෙත් ඒ හින්දමයි.

මේ ෆිල්ම් එකේ නැති දෙයක් නෑ. ලව් තියෙනවා, සෙක්ස් තියෙනවා, සිංදු තියෙනවා, ප‍්‍රශ්න තියෙනවා, ඇක්ෂන්, ත‍්‍රිලර් ඔක්කොම තියෙනවා. ඒත් ඒ හැමදෙයක්ම අවුට් ඔෆ් ස්පේස්. කිසි දෙයක් ගලපගන්න අමාරුයි. ඉමෝෂන්ස් එක තැන පැටලෙනවා. අපි අන්දකයිප්පු වෙනවා. අන්තිමට වෙන්නෙ බඩ අල්ලගෙන හිනායන එක. ඒත් ටොම් එයාගෙ ෆිල්ම් එක ගැන ෆුල් සීරියස්.

”මං මේක ලියන්න කලින් ඉතා ගැඹුරු අධ්‍යනයක් කළා මිනිස්සුන්ගෙ චර්යාව ගැන. මනෝ විද්‍යාව ගැන. මට හොඳ දැනීමක් තියෙනවා කොහොමද මිනිස්සු මේ විදිහෙ අවස්තාවල හැසිරෙන්නෙ කියල”
ටොම් තමන්ගෙ පිටපත ගැන කියන්නෙ එහෙමයි. ඒත් මේ කියන කාරණා එක්ක ෆිල්ම් එකේ දකින දේ ගලපලාම බලන්න  ඕන. ඒක වෙනම ආතල් එකක්.

කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ලෝ බජට් කරපු ඉන්ඩි (ස්වාධීන) වැඩක් කියල. ඒත් ඒක එහෙම නෙමෙයි. ඩොලර් මිලියන 06ක් වියදම් කරලා මාස 06ක් තිස්සෙ ෂූට් කරපු එකක්. කොටින්ම ට‍්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකට වඩා කල් මේක ෂූට් කරලා තියෙනවා. මේ ෆිල්ම් එකේ කන්ටෙන්ට් එක වගේම ඒකෙ පසුබිමේ තියෙන හැමදෙයක්මත් අද්භූතයි. ටොම්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියල කිසි කෙනෙක් දන්නෙ නෑ. එයා කියන විදිහට එයාගෙ ලෙදර් ජැකට් බිස්නස් එකෙන් මේ සල්ලි ඉතුරු කරලා තියෙනවා. ඒත් ඩොලර් මිලියන 06ක් ඉතුරු කරන්න?

මේක වෙනුවෙන් ටොම් ඉතා මිළ අධික හෝර්ඩින් වෙන් කරගෙන තියෙනවා. සති දෙකෙන් ගැලවුන ෆිල්ම් එකක් වුනත් ඒ හෝර්ඩින් අරන් තියෙන්නෙ අවුරුදු පහක කාලෙකට. මේ කිසි දේක තාර්කික පදනමක් නෑ. ඒත් ඒ හැමදේකින්ම ෆිල්ම් එකට වෙනම ආනන්දයක් එකතු වෙනවා.

ෆිල්ම් එක හෝල්වලින් ගැලවුනාට පස්සෙ තැනින් තැන එක එක අය මේක ස්කී‍්‍රන් කර කර මේ ආස්වාදය පතුරන්න පටන් ගන්නවා. වැදගත්ම දේ වෙන්නෙ කර්තෘගේ උවමනාව හෝ අරමුණ ගැන කිසිම අදාලත්වයක් නැතුව මේක තනිකරම පේ‍්‍රක්ෂක රසය සහ ඒ රසයේ දිශාව අනුව තීරණය වෙන කල්ට් අවකාශයකට ඇතුල් වුන එකයි. ලංකාවෙ අපි සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයාගේ සීමාවෙන් එලියෙ කෘතියක් නිදහසේ කියවන්න දන්නෙ නෑ. ඒකට වෙනම ඩයිමෙන්ෂන් එකක්, ඒකට වෙනමම සෞන්දර්යයක් නිර්මාණය කිරීමේ පේ‍්‍රක්ෂක නිර්මාණාත්මක බව පෙන්වන කිසිම තැනක් මං නං මේ තාක් දැකලා නෑ. අපි හරිම ආකෘතිගතයි. හරිම තාර්කිකයි සහ ගතානුගතිකයි. අපේ කියවීම් සහ විඳීම් නිශ්චිතයි. ඒවා තාමත් බඩගානවා.

මේ වෙද්දි ජේම්ස් ෆ‍්‍රැන්කො විසින් ‘ද රූම්’ ෆිල්ම් එකේ පසුබිම් කතාව පදනම් කරගෙන අලූතෙන් ෆිල්ම් එකක් කරනවා. ඒක මේ දෙසැම්බර් රිලීස් වුනා. නම ‘ද ඩිසාස්ටර් ආර්ටිස්ට්’. ඒකෙදි සම්මානලාභී නළු නිළියන්ට සිද්ද වෙනවා මේ නරකම මට්ටමෙන් ර`ගපාන්න. තාමත් ෆිල්ම් එක ඩවුන්ලෝඞ් කරගන්න නැති නිසා මං ටේ‍්‍රලර් එක බැලූවා. මට නම් හිතෙන්නෙ තාමත් ෆ‍්‍රැන්කොටවත් ටොම් වයසව්ගෙ ලිමිට් එකට ළං වෙන්න අමාරු වෙලා තියෙනවා. ඒක වෙනම තලයක ආර්ට් එකක්.

මේ වෙද්දි ටොම් වයසව් කල්ට් සෙලිබි‍්‍රටි කෙනෙක්. ඒකටම හරියන්න කිසිම යතාර්ථයක් එක්ක නොගැලපෙන ජීවිතයක් ටොම් ප්‍රොජෙක්ට් කරනවා. සමහර ස්ක‍්‍රීනින්ග් වලට ටොම් එන්නෙ ලිමොසීන් එකකින්. සුපිරි තරුවක් වගේ එයාගෙ පේ‍්‍රක්ෂකයන් විසින් වටකරගන්න ටොම් කවුද කියල සාමාන්‍ය මිනිස්සු පුදුම වෙලා බලනවා.

‘ද රූම්’ කියන්නෙ තනිකරම සරියල් එක්ස්පීරියන්ස් එකක්. ඒක මෙතෙක් අපි සරියල් විදිහට ආර්ට් ඇතුලෙ දැකපු තත්වයන් ඉක්මවා යනවා. කතාව, පිටපත සහ ර`ගපෑම විතරක් නෙමෙයි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් පවා මේ සරියල් අවකාශයේ කොටස්කාරයන් වෙනවා. අර දැනෙන ඔනස්ටි එක හැදෙන්නෙ ඒ සමස්තයෙන්.
මෙතන තියෙන වැදගත්ම දේ අපිට සෞන්දර්යය හෝ ආර්ට් ගැන සම්මත විශිෂ්ටත්වයෙන් පිට කියවීමක් තියෙන්න  ඕන එකයි. අපිට අපි නරඹන දෙයක් ඇසුරෙන් වෙනමම රසයක් ප‍්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන එකයි. ඒක ඇතුලෙන් අපේ සෞන්දර්යයේ සහ වින්දනයේ සීමාවන් අඳුරගන්න තරම් නිදහස් මනසක් තියෙන එකයි.

වයිරල් යුගය ඇතුලෙ විශිෂ්ටත්වය හෝ උසස් බව කියන්නෙ මිත්‍යාවක් විතරයි. ඒ වෙනුවට පේ‍්‍රක්ෂකයන් තමන්ට මැදිහත්විය හැකි අවකාශයක් සහිත නිර්මාණ වඩා ආදරෙන් වැළඳගන්නවා. කොයිතරම් දුර්වල කෘතියක් වුනත් ඒක ඇතුලෙ දැනෙන ඔනස්ටි එක සහ පියුරිටි එක නරඹන්නන්ට දැනෙනවා. කල්ට් හැදෙන්නෙ එතනින්.

- චින්තන ධර්මදාස

Friday, December 1, 2017

කම්මැලිකමේ මුනිවර පැවැත්ම



කම්මැලිකම. කම්මැලිකම කියන්නෙ හරිම ලස්සන පුරුද්දක්. එක විදිහකට හැකියාවක්. නිර්මාණශීලී ප‍්‍රවනතාවයක්. ඒත් කම්මැලිකම ගැන අපිට පොඩි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ වෙනස් කතාවක්. ඒකෙ වැරැුද්දක් නෑ. සමාජයක් විදිහට කම්මැලිකම සාරධර්මයක් කරගන්න කොහෙත්ම හැකියාවක් නෑ.

ඒත් ලෝකෙ හැම දියුණුවක්ම සිද්ද වෙන්නෙ කම්මැලිකම වෙනුවෙන්. උදා විදිහට තාක්‍ෂණය දියුණු වෙන්නෙ අපිව වඩාත් කම්මැලි කරන්න. වැඩ පහසු කරන්න. ඒත් අපි ඒ ඉතුරුවෙන කාලෙත් අරන් තවත් කැම්මලි වෙන්න මහන්සි වෙනවා. එක විදිහකට අපි ජීවත් වෙනවා කියන්නෙ කම්මැලි වෙන්න මහන්සි වෙන එක. ඒක පැරඩොක්ස් එකක්. වැඩ කරන ගොඩක් අයගෙ එකම හීනෙ කීයක් හරි ඉතුරු කරගෙන වැඩවලින් නිදහස් වෙන එක.

කම්මැලිකම කියන්නෙ හරිම සොඳුරු පැවැත්මක්. එක ජනප‍්‍රිය විහිළු කතාවක ලොකුම කම්මැලියා තෝරගන්න දවසක් එනවා. එතනදි එක මිනිහෙක් ඉන්නවා මිනිහා කොමඩි ෆිල්ම් එකක් අ`ඩ අ`ඩ බලපු. ඒකට හේතුව ෆිල්ම් එක බලන්න ඉඳගනිද්දි මිනිහටම මිනිහගේ ඇටේ උඩ ඉඳගැනෙනවා. ඒ අමාරුවට කඳුළු පනිනවා. ඒත් නැගිටලා ඇටේ නිදහස් කරගන්න කම්මැලිකමට මිනිහා මුළු කොමඩියම අ`ඩ අ`ඩ බලනවා.
කම්මැලිකමේ තියෙනවා වෙනස් විදිහක ගැඹුරක්. හුදකලාවක්. භාවනාවක්. සමහර වෙලාවට මොකක් හරි දෙයක් ලියාගෙන යද්දි අදාල සෝස් එකක දිනයක් වෙලාවක් නිශ්චිත කරගන්න අනිත් ටැබ් එක  ඕපන් කරන්න කම්මැලියි. ඒක එච්චර අදාල නෑනෙ කියල අත්ඇරලා දානවා. ඒ වගේ තැනකදි කම්මැලිකම හානිකර වෙන්න පුළුවන්. ඒත් ඒ හානියට වඩා කම්මැලිකමේ අත්දැකීම ගොඩක් වටිනවා.

ඒ සාන්තුවර කම්මැලිකම ඉගෙන ගන්න හොඳම ගුරුවරයා පූසා. පූසෙක් තරම් ලස්සනට කම්මැලිකමේ පැවැත්ම පෙන්නන වෙන කිසි සතෙක් නෑ. හැම ඉරියව්වකම තියෙන්නෙ කම්මැලකමේ සහ ඉවසීමේ භාවනාවක්.

එක විදිහකට කම්මැලිකම කියන එක අධ්‍යාත්මික කාරණයක් වෙනවා. ඒක භාවනාවෙ මූලික ලක්ෂණයක්. කම්මැලි වෙන්න බැරි කෙනෙකුට භාවනා කරන්න අමාරුයි. ඒක හින්ද අපේ බෞද්ද භාවනාකාරයො භාවනාව කියල එකක් කරන්න උගන්නනවා. භාවනාව මහන්සියෙන් ඉගෙන ගන්න හදනවා. කම්මැලි වෙන්න මහන්සි වෙනවා.

භාවනාවෙ මූලිකම හරය වෙන්නෙ කිසිවක් නොහිතා, කිසිවක් නොකර, කිසිවක් ගැන උනන්දු නොවී නිකම් හිඳීම. හිතුවිලි තමන් හරහා යන විදිහ පාලනය කරගන්න, ඒකට මැදිහත් වෙන්න, හරිවැරදි හොයන්නවත් මහන්සියක් නොවී නිකං බලා හිඳීම. එක විදිහකට ගත්තොත් ඒක සෑහෙන අමාරු වැඩක්. මිචෙල් ෆුකොලට, ස්ටීව් ජොබ්ස්ලට මෙහෙම ඉන්න එක පිස්සු වගේ වුනා. ඒ ගොල්ලො ඒ තරම් මනසින් වැඩ කරන මැෂින් හින්ද. කම්මැලිකම කියන්නෙ මනසින් නිදහස් වීම.

කම්මැලි වෙනවා කියන්නෙ කරන්න මැලිවෙනවා කියන එක. ක‍්‍රියාවට මැලි වෙන එකට. ක‍්‍රියාවෙන් නිදහස් ව බලා ඉන්න එක. ඒක වෙනස් ඩයිමෙන්ෂන් එකක්. කම්මැලි වීමේ ආර්ට් එක දන්නෙ නැති අය ජීවත්වෙන්නෙ ක‍්‍රියාව ඇතුලෙ විතරයි. මම කරමි. ඒ නිසා මම පවතිමි. නොකිරීම ඇතුලෙ පැවැත්ම කියන එක මනස සහ සමාජය විසින් අපිට අහිමි කරපු වෙනම කලාපයක්. ඒක මමත්වයෙන්, කාලයෙන් තොර පැවැත්මක්. සමාජීය හෝ පුද්ගලික හෝ නොවන අවකාශයක්.

කම්මැලි වෙන්න ඉගෙන ගන්න හෝ කම්මැලි වෙන්න පුරුදු වෙන්න කියල මේ කතාව ඉවර කරන්න බෑ. මොකද කම්මැලි කියන්නෙම නොකිරීමක් හින්ද. ඒක නිසා හරිම වචනෙ කම්මැලි වෙන්න කියන එක විතරයි. ඒක වීමක්. කරන්න බැරි දෙයක්.

විශේෂයෙන්ම නිර්මාණශීලී වෙන්න නම් කම්මැලිකම තියෙන්නම  ඕන ගුනයක්. කම්මැලිවීම ඇතුලෙ හැදෙන ඩිටෑච්මන්ට් එක, නැත්තං ඔරලෝසුවෙන් සහ රූලෙන් පිට පැනලා බලන්න පුළුවන් ගතිය තමයි ක‍්‍රියේටිව්බවක මූලික ලකුණ. නැත්තං දිගටම සිද්දවෙමින් යන්නෙ රිපිටීෂන් එකක්. ඒත් කම්මැලිකම කියන එක කාලකණ්ණිකම දක්වා යන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව ඒක ආස්වාදනීය පැවැත්මක සීමාවෙ විඳිනවා කියන්නෙ ක‍්‍රියේටිව් ලේසිනස් එකක්. ලේසිනස් කියන ඉංග‍්‍රීසි වචනෙ නිකංම සිංහලෙන් ලියල බැලූවම එන තේරුමත් ලේසි- පහසු කියන එකමයි (ඒත් ඒක අහම්බයක්). කොහොම වුනත් කම්මැලිකම සහ නිර්මාණශීලීත්වය අතර තියෙන ධනාත්මක සම්බන්ධය මේ වෙද්දි පර්යේෂණ කරලා ඔප්පු කරලා තියෙන එකක්. ඒත් කිසිම කෙනෙකුට කම්මැලි වෙන්නෙ මෙහෙමයි කියල තව කෙනෙකුට කියල දෙන්න හැටියක් නෑ. ඒක බුද්දත්වය වගේම තමන් විසින් සාධනය කරගත යුතු තත්වයක්.

දැන් මේක වුනත් තවදුරට විස්තර කරගෙන යන එක මට කැම්මැලියි. ඒක නිසා මං මෙතනින් නවතිනවා. මේක කියවගෙන යනඑක කෙනෙකුට කම්මැලි වුනත් ඒක නරකක් නෙමෙයි. මේක කියවන එකට වඩා ඒ කම්මැලිකම විඳින එක වටිනවා. අනෙක් අතට මගේ ලිවීම ඇතුලෙ එහෙම කම්මැලි වෙන්න ඉඩක් හැදෙන එක ගැන මං ආඩම්බර වෙනවා.

-චින්තන ධර්මදාස

Monday, November 20, 2017

මාර්කට් එකට සෙට් වෙන්න.



මාර්කට් එක ගැන මේ දවස්වල තරමක හොඳ සංවාදයක් එෆ්බී එකේ තැන තැන යනවා. ගොඩක් දෙනා ලේසියෙන් එකගවෙන අදහස තමයි මාර්කට් එක කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි කියන කතාව. එක පෝස්ට් එකක දාලා තිබුන මාර්කට් එක වෙනුවට මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් විද්‍යාත්මක ක‍්‍රමයක් කරා අපි ගමන් කරන්න  ඕන කියල. එතනදිත් ලේසියෙන්ම අමතක කරලා තිබුන කාරණය වෙන්නෙ මාර්කට් එක තරම් මනුෂ්‍යයා කේන්ද්‍රීය විද්‍යාත්මක ක‍්‍රමයක් තාම නිර්මාණය වෙලා නැති වග. එහෙම නැත්තං මාර්කට් එක කියන්නෙත් මනුෂ්‍යයාගේ පැවැත්ම සහ උවමනාවන් කේන්ද්‍ර කරගනිමින් වඩවඩාත් විද්‍යාත්මක ප‍්‍රවේශයන් උත්සාහ කරන මානව තාක්‍ෂණයක් කියන එක නොතකා හරිනවා. ඒ වෙනුවට මාර්කට් එක කියන්නෙ ලාබය කේන්ද්‍ර කරගත්ත ධනපතීන්ගේ උවමනාවට හැසිරෙන මොකක්දෝ බහුබූත යාන්ත‍්‍රණයක් විදිහටයි ගොඩක් වාමවාදී බුද්දිමතුන් දකින්නෙ. ඒ වෙනුවට දුප්පත්කම, ගෝලීය පරිසර අර්බුද වගේ මානව හිතවාදී යැයි කියන කාරණා ගැන උනන්දු වෙන වෙනම මාර්කට් නැති ක‍්‍රමයක් ගැන ෆැන්ටසිමය හීනයක් මේ අයට තියෙනවා.

ඒ වගේ ව්‍යාපෘති වලටත් වඩ වඩාත් අරමුදල්  ඕනවෙන බවත් ඒවා සපයන්න වෙන්නෙත් බදුමුදල් වලින් බවත් ඒ බදුමුදල් ගෙවන්න වැඩියෙන් ලාභ අවශ්‍යවෙන බවත් ඒ ලාභ උපයන්නේ වෙළඳපොලෙන් බවත් ඒ අයට මගඇරෙනවා. වෙළඳපොල වෙනුවට ඒ සඳහා වෙනම ක‍්‍රමයකුත් තාම ඒ අයට නිර්මාණය කරගන්න බැරිවෙලා තියෙනවා. කියන්න තියෙන සරලම කතන්දර, අවිආයුදවලට වැයවන වියදම් කපාහැරීම වගේ බොළඳම කාරණා හරහා නැවත වෙළඳපොල මානුෂීය කරන ක‍්‍රියාවලියකට එපිටින් කිසි දෙයක් ඒ අයට නෑ.

මෙතනදි අවතක්සේරු කරන වෙළඳපොල කියන්නෙ මානව පරිණාමයේ අප මෙතෙක් නිර්මාණය කරගත්ත දියුණුම අවධියයි. එක විදිහකට කිව්වොත් හෝමෝ සේපියන් සේපියන්ස් මානවයා මේ වෙද්දි වෙළඳපොල ආර්තිකය ඇතුලෙ හෝමෝ ඉකොනොමිකස් මානවයා දක්වා පරිණාමය වෙලා තියෙනවා. මේ වෙද්දි ඉන්නෙ තමන්ගේ උපයෝගිතාවය උපරිම කරන ගනුදෙනු වෙනුවෙන් තාර්කික තීරණ ගන්නා මානවයෙක්. වැදගත්ම දේ ඒ වෙළඳපොලෙන් බිහිවෙන පරිභෝගිකයා කියන චරිතය.  ඕන නම් කන්සියුමර් ඉකොනොමිකස් කියල කියන්නත් පුළුවන්. වෙළඳපොලේ වැඩිම බලය තියෙන්නෙ මෙන්න මේ චරිතයට. ප‍්‍රගතිශීලී කියන සෑම ව්‍යාපාරයක්ම උත්සාහ කළ යුත්තේ මේ පාරිභෝගිකයා කියන අලූත් මානවයා ශක්තිමත් කරන්නයි. පාරිභෝගිකයාගේ පරිභෝජනය ඇතුලෙ ආර්තිකය පුළුල් වෙනවා වගේම වඩවඩාත් අයිතීන්, සාධාරණත්වයන් ශක්තිමත් කරන ප‍්‍රායෝගික අඩිතාලම් ගොඩනගන්න පුළුවන්.

හොඳම උදාහරණයක් යූටියුබ්. යූටියුබ් වල අපි දාන වීඩියෝ ඇතුලෙ ඇඞ් දානවා. ඒ ඇඞ්වලින් අපිට ආදායම් එනවා. අපේ විව්ස් වැඩිවෙනකොට වැඩියෙන් ඇඞ්ස් ලැබෙන්නත් ගන්නවා. ඒත් නිකං හරි අපි ජාතියකට ආගමකට හෝ පුද්ගලයෙකුට පරිභවකරන යම් දෙයක් අපේ ච ැනල් එකේ දැම්මොත් අපිට ලැබෙන ඇඞ් සියල්ල නතර කරනවා. යූටියුබ් අයිති ගූගල් සමාගමට. ඒ සමාගමේ පාරිභෝගිකයන් වෙනුවෙනුයි ගූගල් මේක කරන්නෙ. නිකං හරි එක පාරිභෝගිකයෙක් ඒ වගේ කාරණාවක් අරඹයා යූටියුබ් එකට විරෝධය පෑවොත් ඒක රැුල්ලක් වෙලා සමාගමට දැනෙන සුලූ බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. අවසාන අර්ථයේදී අපි හැමෝම පාරිභෝගිකයන් වෙනවා. සමාගමක වුනත් සේවකයන් වෙළඳපොලේ පාරිභෝගිකයන්. ඒ තමයි නූතන ජනතාව කියන්නෙ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් ලාභයට එරෙහි ව්‍යාපෘතියකට වඩා සාධාරණ සහ ප‍්‍රායෝගික වෙන්නෙ පාරිභෝගිකයන් සවිඥානක කිරීමේ ව්‍යාපෘතීන්.

වෙළඳපොල කියන්නෙ මානව සංස්කෘතික නිර්මාණයක්. ඒක අපේ පරිණාමයේ අවධියක්. ඒක කීපදෙනෙක් ධනපති විසින් නෙමෙයි අපි හැමෝම එකිනෙකා අපේ ආශාවන් සහ උවමනාවන්ගෙන් නඩත්තු කරන වඩවඩාත් නිර්මාණශීලී කරන යාන්ත‍්‍රණයක්.

ගොඩක් අය ගොඩක් වෙලාවට බ‍්‍රෑන්ඞ්ස්වලට විරුද්දව කතා කරනවා. ඒත් ඒ කතා කරන හැමකෙනෙකුටම තමන් කැමති බ‍්‍රෑන්ඞ්ස් තියෙනවා. අනෙක් පැත්තට බ‍්‍රෑන්ඞ්ස් ගැන අවබෝධයක් නැති එක තමන් ජීවත්වෙන නූතන වටපිටාව ගැන සවිඥාණකත්වයක් නැතිකමක් වෙනවා.

වෙළඳපොලේ මේ බ‍්‍රෑන්ඞ්ස් හැදෙන්නෙ හුදෙක් සල්ලි තියෙන කෙනෙක් නිෂ්පාදනයක් එලියට දැමීමෙන් නෙමෙයි. බ‍්‍රෑන්ඞ් එකක් කාලයක් පවතින්න නම් ඒකට පාරිභෝගිකයන් පිරිසකගේ මැදිහත් වීමක්  ඕන වෙනවා. ඇත්තටම නම් බ‍්‍රෑන්ඞ් එකකට පවතින්න අර්ථය නිර්මාණය කරන්නෙ පාරිභෝගිකයන් විසින්. එක එක පාරිභෝගිකයන්ගෙ ජීවිත ඇතුලෙන් එකතුවෙන වටිනාකම් සහ තේරුම්වලින් තමයි බ‍්‍රෑන්ඞ් එකක් නිර්මාණය වෙන්නෙ.

මීට කාලෙකට කලින් ගත්තොත් අපිට වෙළඳපොලේ මේ බ‍්‍රෑන්ඞ් අතර තිබුනෙ හොඳ සහ නරක කියන බෙදීමක් විතරයි. ඒත් බ‍්‍රෑන්ඞ් අතර තරගය හින්ද මේ වෙද්දි අපිට නරකයි කියල බැහැර කරන්න පුළුවන් නිෂ්පාදන තියෙන්නෙ අල්පයක් විතරයි. හැම බ‍්‍රෑන්ඞ් එකක්ම තරගකාරීත්වය ඇතුලෙ වඩ වඩා හොඳ වෙමින් යනවා. මේ වෙද්දි අපි කරන්නෙ හොඳ දේවල් අතරින් වඩා හොඳ එක තෝරගන්න එකයි. වඩාත් ගුණාත්මක වගේම අපේ අවශ්‍යතාවලට සංවේදී නිෂ්පාදන කරන්න වෙළඳපොල ක‍්‍රමය උදව් වෙලා තියෙනවා.

වැදගත්ම කාරණය අපේ තෝරාගැනීමට ලැබෙන අයිතිය සහ බලය කියන එක. වෙළඳපොලකරණයට ලක්නොවුණු අංශවල තියෙන ගිලාබැසීමට සහ වැඩවසම් බලක‍්‍රමයට හේතුව වෙන්නෙම මේ ක‍්‍රියාවලිය සිද්ද නොවීම. හොඳම උදාහරණය අධ්‍යාපනය. ලංකාවෙ විශ්ව විද ්‍යාල අධ්‍යාපනය වෙළඳපොල තරගයට අහුවුන හැම අංශයක්ම සංවර්ධනය වෙමින් තරගකාරීවෙමින් තියෙනවා. වෙළඳපොලට දොරවල් වැහුනු අංශ එක තැනම පල්වෙමින් ඉන්නවා. තමන්ගෙ රැුකියාව බේරාගැනීමේ සටන්වලට පාරවල් ගානෙ පිකට් කරමින් ඉන්නවා. එතනදි පාරිභෝගිකයාගේ හෝ සේවය ලබාගන්නාගේ හ`ඩට කිසි තැනක් නෑ. තෝරා ගැනීමේ අයිතියක් නෑ. පරණ බලය ආරක්ෂා කරගැනීමේ උවමනාව විතරයි.

වෙළඳපොල තරම් මිනිස් නිදහස සහතික කරන වෙන කිසිම සිස්ටම් එකක් අපිට නෑ. කොටින්ම ඒ නිදහස අයිතීන් වෙනුවෙන් කියල මරාගෙන මැරෙන්න කැපවෙන දේශපාලන කණ්ඩායම්වල මධ්‍යගතවාදී අධිපතිවාදී කතිකාවන්ට වඩා හැමෝටම තමන්ගේ අදහස්, කණ්ඩායම්, චර්යාවන් සමග ජීවත්වෙන්න පුළුවන් වපසරියක් වෙළඳපොල ඇතුලෙ තියෙනවා. ආන්තික විදිහට පීඩාවන්ට ලක්වෙන පිරිස් නෑ කියනවා නෙමෙයි. ඒත් ඒ අය දක්වා ප‍්‍රතිලාබයන් බෙදී යාමේ තාක්‍ෂණයන් වෙනුවෙන් නිරන්තර අධ්‍යනයන් සහ අත්හදා බැලීම් සිද්ද වෙනවා. අලූත් ඉකෝ සිස්ටම්ස් නිර්මාණය වෙනවා.

වෙළඳපොල ඇතුලෙ කංසා හොයන මිනිහට කංසා හොයාගන්නත්, කාර් හොයන මිනිහට කාර් හොයාගන්නත් කොම්පැනි හොයන මිනිහට කොම්පැනි හොයාගන්නත් ඉඩ තියෙනවා. තව කෙනෙකුගේ නිදහස සහ අයිතීන්වලට බාධාවෙන තැන්වලදි ආරක්ෂාවට නීති තියෙනවා. වැදගත්ම දේ වෙන්නෙ හැම කෙනෙකුගේම හැම උවමනාවක්ම සහ ආශාවක්ම තෘප්තිමත් කරගැනීමට ඒක ඇතුලෙ අවකාශ නිර්මාණය වෙන එකයි. සදාචාරය හෝ මනුෂ්‍යත්වය හෝ වෙන කිසියම්ම මතවාදයකට හෝ වඩා වෙළඳපොල පුළුල් වගේම ඒක ඇතුලෙ හැමෝටම ඉඩත් තියෙනවා.

වෙළඳපොල හැමවෙලාවකම හිතන්නෙ තමන්ගෙ පාරිභෝගිකයා කියන පුද්ගලයා ගැන. ඒ පුද්ගලයා ගැන නිශ්චිත විද ්‍යාත්මක දැනීමක් වෙළඳපොලේ හැම නිෂ්පාදනයකටම තියෙනවා. ඒ නිසාම ඒ පුද්ගලයා කියන කාරණයට වෙළඳපොලේ ලොකු තැනක් හැදෙනවා. දේශපාලන, ආගම්, අන් කවර හෝ මානව හිතවාදී විදිහට පෙනී ඉන්න කණ්ඩායමක් වුනත් හිතන්නෙ තමන් නොදන්නා සමූහයක් ගැන. මේ ඔලූවෙන් නිර්මාණය කරගන්නා සමූහය ගැන අදහස භයානක එකක්. ගොඩක්ම බයානක වෙන්නෙ ඒක බොරුවක් හින්ද. මේ සමූහය ගැන අදහස ඒ අදාල කන්ඩායමේ අධිකාරී බලයේ ප‍්‍රක්‍ෂේපණයක් විතරයි. ඒ හැම කතිකාවකදිම, ක‍්‍රියාකාරීත්වයකදිම නොතකා හැරෙන්නෙ පුද්ගලයා කියන කාරණය. පුද්ගලයාගේ නිදහස සහ අයිතිය කියන කාරණය. ඒ අතින් මේ සියලූ දේශපාලන, ආගමික, ජාතික කණ්ඩායම්ගත අදහසකටම වඩා වෙළඳපොල කියන අදහස අතිශය ප‍්‍රගතිශීලී එකක්. මොකද වෙළඳපොල පවතින්නෙම පුද්ගලයාගේ නිදහස මත හින්ද. අනිත් හැම මතවාදයක්ම පවතින්නෙ පුද්ගලයාගේ නිදහස සීමා කිරීම මත හින්ද.