Wednesday, April 4, 2012

ගල පෙරළමුද? එක්ටැම්ගේ සහ තවත් කතා


රුපියල් දෙසීයට පේමන්ට් එකේ තිබිලා එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත. දෙසීයට පාරට ඞීවීඞී එන එක නවත්තන්න ට‍්‍රයි කරල වැඩක් නෑ. ඒක තමයි මිනිස්සුන්ගෙ ළගට යන්න තියෙන හොඳම විදිහ. හෝල් එකක ලොකු තිරයක තමන්ගෙ ෆිල්ම් එක බලලා මමත්වයෙන් පිම්බෙන උද්දාමය ඇරුණම චිත‍්‍රපටිකාරයෙකුට තියෙන ලොකුම  ඕනකම තමන් හදපු ෆිල්ම් එක රටේ හැම කෙනෙක්ම නරඹන එක. පේමන්ට් එකේ ඞීවීඞී කොපි වෙනවා කියලා නීතියෙන් තග දාන එකා ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි. බිස්නස්කාරයෙක්.
‘දුවන මී හරකෙක් නවත්තන්න හදන එක නෙමෙයි කරන්න  ඕන. ඌට නගුලක් හයි කරන්න විදිහක් හිතන එක’ - ලලිත් කොතලාවලගෙ තාත්තා එයාට කියල තිබුණ.

පේමන්ට් එකේ කොපි නොවෙන ගාණකට ඞීවීඞී එක එලියට දාන්න විදිහක් හිතන්න  ඕන. අමාරුවෙන් ගාණ තියාගෙන ඇවිත් තමන්ගෙ ෆිල්ම් එක බලන පේ‍්‍රක්‍ෂකයාගෙ සාක්කුව දිහාවටම (තිරෙන් ඉස්සරහටම) හැරිලා ඉන්නෙ නැතුව ඇත්තට සල්ලි තියෙන තිරෙන පිටිපස්සටත් හැරෙන්න  ඕන.

කොහොම වුණත් එක්ටැම්ගේ ඞීවීඞී එකේ කවරෙ එහෙම නං අන්තිමයි. අරන් බලන්න තියා හැරිල බලන්නවත් හිතෙන් නෑ. ඒක ඇතුලෙ තියෙන චිත‍්‍රපටියෙ ගැඹුර ගැන මයිල් ගහක තරම් දෙයක් කවරෙ නෑ. චිත‍්‍රපටිය හැදුණ වර්ෂය, ඒකෙ ධාවන කාලය, නිෂ්පාදන නාමාවලිය, කිසි දෙයක් ඒකෙ සඳහන් නෑ. එකම දේ කලූ පාටට බය හිතෙන්න කොපි කරලා අහුවුණොත් නඩු දානවා කියන වැදගත් පණිවුඩය විතරයි. ලංකාවෙ චිත‍්‍රපටිවල ඞීවීඞී එක හැදෙන විදිහ මීට වඩා කර්මාන්තමය වෙන්න අත්‍යාවශ්‍යයි. හුදෙක්ම වෙළඳාම වෙනුවෙන් අතිබාල විදිහට නිෂ්පාදනය කරන මේ තැටි සහ පේමන්ට් එකේ කොපි අතරෙ නිෂ්පාදන තත්වයෙන් කිසි වෙනසක් නෑ. අඩුම තරමෙ ඞීවීඞී කවරෙ නිර්මාණ වටිනාකමක්වත් අන්තර්ගත නෑ. ඞීවීඞී කවරෙන් තමයි ඒක ඇතුළෙ ෆිල්ම් එකට මූඞ් එක හදන්නෙ. ඒක බාල වෙනවා කියන්නෙම ඇතුළෙ තියෙන දේටත් බාල අගයක් එනවා කියන එක.

ඒත් මං එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත.

චිත‍්‍රපටියෙ පටන් ගැන්මම මාව උස්සලා පොලොවෙ ගැහුව. ඒ ලොරි ඩ‍්‍රයිවර් සහ ගෝලයා අතර සම්බන්ධය. ඒ සරල පොඩි හුවමාරුව ඇතුලෙන් චරිත ගැන දෙන හැගීම....පිටපත කොහොම ලිව්වද කියල හිතුණ මට.

ලොරි ඩ‍්‍රයිවර් සහ ගෝලයා එන්නෙ පාර අයිනෙ පොඩි බත් කඬේකට. ඒක බත් අම්මගෙ බත්කඬේ. බත්අම්මට ලස්සන දුවෙක් ඉන්නවා. එයාගෙ නම අහලා නොකිව්ව නිසා සරත් මහත්තයා එයාට බත්දුව කියලා කියනවා. සරත් මහත්තයා කියන්නෙ අලූතෙන් පාර හදන්න ආපු  ඕවර්සියර් මහත්තයා. එයාට ඉංග‍්‍රීසිත් පුළුවන්. ගමේ හැම කෙල්ලෙක්ම ට‍්‍රයි සරත් මහත්තයට. ඒත් සරත් මහත්තයා බත්දුවට, එයාගෙ ඇත්ත නම මාලා, දෙන්න හදන්නෙ සුදු රෝස පැළයක්. ඒත් එයාට  ඕනි කහ රෝස පැළයක්. එයා ලොරිය එළවන විල්සන් අයියගෙන් කහ රෝස පැළයක් ඉල්ලනවා හැමදාම...

මේ කතාව මේ විදහට අතිසියුම් තල ගණනාවක් දිගේ එකපාර අරගෙන යනවා. දෙබස් රචනයෙන් මං ලංකාවෙ දැකපු හොඳම ෆිල්ම් එක මේක. ඒ වගේම හැම චරිතයක්ම පුංචි පුංචි ගති ලක්ෂණ එක්ක සජීවි කරන හැටි පුදුමාකාරයි. කොටින්ම මට ඒක බලාගෙන යද්දි හිතුණ ජිම් ජාර්මුෂ්ලා කවුද කියල හර්බට් ලත් එක්ක බලන කොට. ලොරියෙ ගෝලයා කොස්තා නිතර ඉන්නෙ කොට කලිසමක් එක්ක හැට් එකක් දාගෙන. එයා බොන්නෙ බීඩියි සිගරටුයි විතරයි. කෝට් එකයි සරමයි අඳින විල්සන් බොන්නෙ සුරුට්ටු විතරයි.

මේ වගේ චිත‍්‍රපටි ඇයි වෙන රටවල ඇගයීමට ලක් නොවුණෙ?

‘ඒ කාලෙ මේ වගේ නෙමෙයිනෙ. තමන්ගෙ දේ කියන්න පුළුවන් නං, ඒක ස්ක‍්‍රීන් එකට ගෙනල්ලා මිනිස්සු බලනවා නම් එච්චරයි ඩිරෙක්ටර් කෙනෙකුට  ඕන. සම්මාන උළෙලවල් ගැන එහෙම උනන්දු වුණෙත් කීප දෙනයි. 83වත් 89වත් වෙන්න කලින් නෙ. ගොඩක් නිදහසක් තිබුණ ඒ අයට. මේ එකපාර ඇතිවුණ සම්මාන ගැන උනන්දුව ස්ටඩි කරන්න  ඕන කාරණයක්. දැන් තියෙන හිරවීමත් එක්කයි මේ සම්මාන ගැන හිතාගෙනම ෆිල්ම් හැදෙන්නෙ’
සත්‍යා කිව්ව. ඇත්ත..හර්බට් රංජිත් පීරිස් වගේ මිනිහෙක් සම්මාන පස්සෙ යන එකත් ටිකක් හිතාගන්න අමාරු දෙයක්. ‘මං බුබුළක් ඇතුලෙ ජීවත් වෙන මිනිහෙක්’ හර්බට් කිව්වෙ එහෙම. ඇල්කොහොල් සෞන්දර්යයේ මුනිවරයෙක් දක්වාම භාවනාවක එයා යෙදිලා හිටියා. සයිමන්ගෙ පොප් වර්ෂන් එක.

ඒත් ඒ ‘පොප්’ කියන එක කියවන්න අපේ සමාජය වැඩිලා තිබුණෙ නෑ. ඒ චිත‍්‍රපටි පතීලගෙ, ඔබේසේකරලගෙ වගේ නොතේරෙන සම්භාව්‍ය ගතියෙන් අපේ ‘ප‍්‍රබුද්ධයන්ට’ දැණුනෙ නෑ. කතාව පුරාම එකින් එක සියුම් සම්බන්ධතා හරහා හර්බට් සිනමාත්මක ආඛ්‍යානය ගොඩනගන හැටි 80 වගේ කාලෙක නෙමෙයි අද පවා පුදුම සහගතයි. හැම රූප රාමුවක්ම ඉතාමත් නිවැරදි හිතීමක් එක්ක ෆේ‍්‍රම් වෙනවා. කොතනින් ස්ටිල් එකක් ගත්තත් ඒක මාර ෆොටෝ එකක්. මේක ඩොනල්ඞ් කරුණාරත්න ගෙ දක්ෂකම. සිනමාව ගැන මේ දැනීම ඊළග පරම්පරාව අතට ආවෙ නැත්තෙ ඇයි?

‘අපේ ෆිල්ම් වල උඹට දැනිලා නැද්ද පැන පැන යන ගතියක්? කතාව හරියට කියන්න දන්නෙ නෑ. පැන පැන යන්නෙ. ඒක වෙන රටවල ෆිල්ම් බලද්දි තේරෙනවා. උන්ගෙ බාලම එකා වුණත් කතාව ස්මූත් විදිහට ගෙනියන්න දන්නවා’
ඩෙනිස් (ත‍්‍රීවීල් ඩයරීස් කරපු ඩෙනිස්) දවසක් මාත් එක්ක කිව්වා.

ඒ කතාව ඇත්තක්. විශේෂයෙන්ම අපේ සම්භාව්‍ය කියන ෂොනරයෙ ෆිල්ම් යන්නෙ පැන පැන. ඒක නැරටිව් එකේ දුර්වලතාවයක්. ඒත් සම්භාව්‍ය අය හිතුවෙ ඒක ප‍්‍රබුද්ධ ලකුණක් කියල. විශේෂයෙන්ම යුරෝපීය චිත‍්‍රපටි වගේ වෙන්න අපේ චිත‍්‍රපටි හදපු සම්භාව්‍ය අයගෙ මේ පැන පැන යන ගතිය කැපී පේනවා.

ඒක්ටැම්ගේ ෆිල්ම් එකේ ඒ විදිහට පැන පැන යන නැරටිව් එකක් නෑ. ඒක හොඳටම සුමට විදිහට ගලාගෙන යනවා. ඒ වගේම හර්බට් සමහර තැන්වල කිසි බයක් නැතුව නැරටිව් එකත් එක්ක පිස්සු කෙළිනවා. උදා විදිහට ෆිල්ම් එකේ විල්සන් ලොරියක් අරං මහ ? ඇවිත් බත් අම්මටයි මාලා ටයි කතරගම යන්න කතා කරනවා. ඊළග සීන් එකේදි කතරගම වෙහෙරක් ළග විල්සන් මාලාගෙන් බඳින්න අහනවා. ඊළග එකේ බඳිනවා. ඊට පස්සෙ එකේ කෙලින්ම වෙන ගෙදරක පදිංචියටත් ගිහින්. මේ වේගය හර්බට් හරිම මොඩර්න් විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ ගේනවා. එතනදි මට මතක් වුණෙ ප‍්‍රසන්න විතානගේ ව. පවුරු වළලූ (ප‍්‍රසන්නගේ හොඳම ෆිල්ම් එක* චිත‍්‍රපටියෙ සංගීතා වතුර බේසමත් එක්ක හදිස්සියෙන් දුවගෙන යද්දි බේසම හලලා ආපහු එන දර්ශන නැතුව කෙලින්ම යන තැනින් ආපහු එන තැනට ඇබ්රප්ට් කට් එකක් ගන්න ඒක එඩිට් කරපු ලාල් පියසේනට  ඕන වුනාලූ. ප‍්‍රසන්න හොඳටම තක්බීර් වුණාලූ ඒක ලොකු අවුලක් වෙයි කියල. ඒ තරම් සරල අත්හදාබැලීමකින් පවා කලබල වෙන අපේ මෑත පරපුරට වඩා හර්බට් ල කොච්චර ඉදිරිගාමීද?

හර්බට් මේ කතාව කියන්නෙ බදුල්ල පැත්තෙ ගමක් ගැන. ඒත් ඒ ගමේ හර්බට් අපේ කොළඹ ඔලූගෙඩි ඇතුලෙ තියෙන ගැමිකම මවන්න යන්නෙ නෑ. දුගී බව, ලිංගික අසහනය, නූගත්කම වගේ අපේ අනෙක් චිත‍්‍රපටිකාරයො විෂය කරගන්නා සමාජ විද්‍යාව වෙනුවට හර්බට් බය නැතුව තමන්ගෙ චිත‍්‍රපටිය ඇතුලෙ වෙනස් යතාර්ථයක් නිර්මාණය කරනවා. විවෘත ආර්ථිකයත් එක්ක අලූතෙන් හැදෙන සිතීමට ඒ චරිත හැසිරීම් හුගක් ළගයි. පාර දිගේ චිත‍්‍රපටියෙ තියෙන නාගරික සිතීම හර්බට් බදුල්ලෙත් හිතනවා.

එක තැනක මාලා සහ සරත් මහත්තයා ආදර ගීතයක් කියනවා. ඒක පයිනස් කැලයක් හර්බට් මුලූ සිංදුවම කරන්නෙ එකම ෂොට් එකකින්. කැමරාව චරිත පහුකරගෙන ගිහින් කැලේ ගස් කොලං වල හැපිලා ආයිමත් චරිත ළ`ගටම එනවා. මේ ආදර කතාව පස්සෙ දවසක අවසන් වෙනවා. එතකොට මාලා තනියම මේ කැලේට එනවා. කලින් සිංදුවෙ කැමරාවම ඊට ප‍්‍රතිවිරුද්ධ අතට කරකැවෙමින් මාලා හොයාගෙන එනවා. එක්ටැම්ගේ චිත‍්‍රපටිය පුරාම හර්බට්ගේ නිරායාස සිනමා දැනුම අපිට පේනවා. ඒක ඇෙ`ගන් එන එකක්. අමාරුවෙන් හිරවෙලා ගන්න එකක් නෙමෙයි.
මාලාගෙ චරිතය ඒ විදිහට ලියන්න පුළුවන් ගෑණු ගැන ඒ විදිහෙ අවබෝධයක් තියෙන කෙනෙකුටම විතරයි. හැගීම් එක්ක එහාට මෙහාට පැද්දෙන මාලාගෙ හිත බලා ඉන්න චමත්කාරය. ඒ වගේම ප‍්‍රචණ්ඩය. කිසි දෙයක් ගැන ස්ථිරව අනුමාන කරන්න බැරිය. දෙබස් සහ හරිම ඇත්ත කෙළිකම් එක්ක හර්බට් මාලා එයාට හම්බුණු පෙම්වතියන් ළගටම අරං එනවා. ඒ වගේම පිරිමි හිත මේ ගෑණුකම කියවද්දි වෙන වැරැුද්ද ගැන එයා සරත් මහත්තයට හොඳට කියල දෙනවා.
I MISREAD YOUR FAIRY TALES (මං ඔයාගෙ සුරංගනා කතා වැරදි විදිහට කියෙව්වා) අජිත් කුමාරසිරි සිංදුවක කියනවා.

මේක හර්බට් ගෙ ජීවිතය. ඒක කියන්න එයාට සිනමාව මාධ්‍යයක් විතරයි. එතනදි සිනමාව තමන්ට  ඕන විදිහ පාවිච්චි කරන්න එයා නිර්භීතයි.
කතාව හොලිවුඞ් හැපි එන්ඩින් එකකින් ඉවර කරන්න හර්බට් ට හොඳටම පුළුවන්. ඒක සම්භාව්‍ය විදිහට කරන්නත් එයාට පුළුවන්. ඒත් එයාට  ඕන පොප් තැනකින් කතාව ඉවර කරන්න. මාලා හැමදෙයක්ම අත්ඇරලා ආයිමත් සරත් මහත්තයා හොයාගෙන එනවා. ඒ කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. තමන්ගෙ ඇතුලෙ අවුලෙන් නිදහස් වෙන්න. මේ අවසානයට එන එකෙන් හර්බට් පිරිමි හැමෝම එකග ගැහැණිය ගැන අවුල විනාස කරනවා. එයා මුහුදක් තරම් විශාල ගෑණු මුහුදක එක්ටැම්ගෙයක් උඩ ඉඳන් ලයිට් ගහන තැනක් දක්වා පිරිමියා ඇදගෙන එනවා. මුහුද සහ මාලනීගේ සමීප රූපයක් උඩ නිමි කියල වැටෙනවා.

මේ චිත‍්‍රපටිය ආයිමත් කතාවට ගන්න  ඕන චිත‍්‍රපටියක්. අපිට තියෙන්නෙ බුදු වෙන්න  ඕන එකාට ඇණ ගහලා ඇණ ගහන්න  ඕන එවුන් බුදු කරපු සිනමාවක්. ඒක හින්ද දේවදත්තලා තව ගොඩක්  ඕන වෙනවා ගල් පෙරලන්න. එක්ටැම්ගේ කියන්නෙ ඒ වගේ එක දැවැන්ත ගලක්.
අපි පෙරළමුද ඒක?

-චින්තන ධර්මදාස

3 comments:

  1. machang andenawa mey film eka umbe oya pudumaya thiyagenama apith (mama saha udara) beluwa giya senasurada donold karunarathnage camera work eke indan herbert ranjithge direction webakam puduma variation ekaka thiyena film ekaka meka

    ReplyDelete
  2. Mara wade kiyanne mamathe meka giya sathiye baluwa..ake camera work eka ganna api idagena katha kala...!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete