වොල්වර් බැලූවට පස්සෙ මං හිතං හිටියෙ අල්මදෝවාගෙ චිත‍්‍රපටි ආයිමත් නොබලන්න. මට ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලන්න වුණේ ඒමි ගෙ රෙකරමාදුවට. ඒක මාව හොල්මන් කළා. මොලෝ ඩ‍්‍රාමා කියන එක මේ තරම් ගැඹුරු හැඬේකින් පාවිච්චි කරනවා මං දැකලා නෑ. ගෑණු ශරීරයක් ඇතුලෙ සිරකළ පිරිමියෙක් ගැන කතාව අල්මදෝවා කියන විලාසය විශ්මිතයි. හැම රූප රාමුවක්ම, හැම පුංචි විස්තරයක්ම, ඒ කතාවෙ හැම ඇමිණුමක්ම සිනමාවට එකතු වෙන්නෙ අලූතෙන්. ඉඳුල් කරපු දේවල් වෙන වෙන පිඟන් වල නැවත නැවත රස කරනවා වෙනුවට අල්මදෝවා තමන්ගෙ විශ්වය ඇතුලෙන් මෙතෙක් අපි නොදුටු නොඇසු කතාවක් අරං එනවා. ඒක නවකතාවක් පාදක කර ගත්ත චිත‍්‍රපටියක්. අල්මදෝවා කියන විදිහට මේ චිත‍්‍රපටිය කියන්නෙ ඒ කතාවෙ ප‍්‍රබන්ධය. එයාගෙ සමලිංගික ජීවිතය ඇතුලෙ කැරලි ගහන සංවේදනා එයා කැමරාව ඉස්සරහට අරං එන විදිහෙ පරිණතකම සහ ඒ සිනමාවෙ ඇත්ත දැනිච්ච පාරට මාව පස්සට විසි වුණා. තාම අපි කොහෙද?
අජිත් ගෙ ෂෝ එකට පස්සෙ බලපු ෆිල්ම් එක ෂෝ එක ගැන ලියන්න ගිය කතාවෙ ඉස්සරහට පැන්නා. 31 වෙනිදා නෝ මෝර් මාර්ක්ස් ගැනයි මට ලියන්න ඕන.
අජිත් ගැන දීප්ති සහ තවත් අය නොයෙක් කතා කියනවා.
‘ගිටාර් වල කම්බි කඩන එක අජිත් හිතන්නෙ රැඩිකල් කියල...’ - ත‍්‍රිමාණ සඟරාව
ඒත් අජිත් කුමාරසිරි කියන්නෙ කවුද? ඒක වටෙන් නැතුව කෙලින් බලන්න පුළුවන් ඇත්තක්.
අජිත් හැමදාම ගිටාර් එකත් එක්ක තමන්ගෙ ජීවිතේ කියන්න උත්සාහ කළා. ඒ කතාව කවුරුවත් ඇහුවත් නෑහුවත් අජිත් ඒක කිව්වා.
‘එයා සිංදු කියද්දි හරියට බල්ලො බුරනවා වගේ’
හුඟක් සුමට සිංදු අහන බහුතර ජනතාව කිව්වා.
‘ඇපල් කන්න
මිදිත් කන්න....
කළු බල්ලො බුරන හඳපානට
ඔයත් එන්න.....’
අජිත් කිව්වෙ එහෙම.
අජිත් සිංදු කළේ විකුණන්න නෙමෙයි. කවදාවත් එයා මීඩියා විශ්වාස කළේ නෑ. මං තාම එයත් එක්ක අවුල් වෙන තරමට එයා ඇඞ්වර්ටයිසින් විශ්වාස කළෙත් කරන්නෙත් නෑ.
‘මං රජෙක්..
මං බුරනවා... (අයි ඇම් අ කිංග්- අයි ඇම් බාර්කිංග්)
අජිත්ගෙ කටහඬ කොමර්ෂල් වැඩ වලට පාවිච්චි කරන්න හුඟක් අය ට‍්‍රයි කළා.
‘මචං උඹලට කඩයක් දාගන්න ඕන නං ඒක උඹලගෙ උගුරෙ දා ගනිල්ලා. උඹලගෙ බඩු විකුණන්න මං මගේ උගුරෙ කඩයක් දාන්නෙ නෑ’
අජිත් අමුවෙන් කිව්වා.
මේ දේවල් මං කියන්නෙ මේක මාරයි කියන එකෙන් නෙමෙයි. ඒක තමයි උගේ හැටිය කියන එකෙන්. මේ දේවල් හොඳටම දන්න ඒත් වෙන වෙන දේවල් කියන අපේ දේශපාලන යාලූවො මෙතනදි කරන්නෙ තක්කඩිකමක්. හරිම නරුම විදිහකට ඒ අය අජිත්ව මග අරිනවා. තනි මිනිහෙක් විදිහට සමාජයේ කිසි කොන්දේසියකට එකඟ නොවී අජිත් අරං යන වෙනස් ජීවිතය වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට මේ වාමාංශිකයො හරිම වැඩවසම් චෝදනා අරං එනවා.
ඇයි ඒ?
කියන්න තැනක් තිබ්බත් නොතිබ්බත් අජිත් අලූතෙන් සිංදු හැදුවා. ඒ සිංදු යාලූවොන්ට අහන් ඉන්න කිව්වා. එහෙම අහන් ඉද්දි අපිට අජිත් ගෙ කොන්සර්ට් එකක් කරන්න හිතුණ.
‘නෝ මෝර් මාර්ක්ස්’ වමත් එක්ක කික් එකට හැප්පෙන්න මරු ටයිට්ල් එක.
‘උන්ට රිද්දන්න එපා. මට වමෙත් යාලූවො ඉන්නවා. දකුණෙත් යාලූවො ඉන්නවා’ අජිත් කිව්වට අපි කතා දාහක් කියල අපි ආස ටයිට්ල් එක දැම්මා.
අජිත් නෝ මෝර් මාර්ක්ස් කියන්නෙ කාල් මාක්ස් සම්බන්ධ තැනකට නෙමෙයි. ඒ වෙනුවට එයා ඒක ශෘංගාරයත් එක්ක ගැටගහනවා. රහස් පේ‍්‍රමයක් කරගෙන යන කෙල්ලක් එයාගෙ රහස් පෙම්වතාට කියන කතාව ‘නෝ මෝ මාර්ක්ස්’ කියන්නෙ. හපලා පාරවල් තියන්න එපා... අහුවෙයි කියල. අනිත් පැත්තෙන් ගෑණියෙක් ‘නෝ මෝර් මාර්ක්ස්’ කියද්දි වෙන දේශපාලනික මෙටෆර් එකක් ගේනවා. අජිත්ගෙ සිංදු වල තියෙන විශේෂත්වය ඒක. දේශපාලනය ශෘංගාරාත්මක තැනකින් අල්ලන එක. පාර්ලිමේන්තුවෙ නැතුව ඇඳ උඩ තියෙන දේශපාලනය ගැන කතා කරන එක.
‘මං දැකලා නෑ
උතුර සුන්දරද බබා’
අජිත්ට බනින කට්ටියට අමතරව අජිත්ගෙ පස්සෙන් වැටුණ කට්ටියකුත් හිටිය. ඒ ගොල්ලො අජිත්ගෙ වැඬේ සම්පූර්ණයෙන් තේරුම් ගන්න හදිස්සි වැඩියි. අජිත්ට වඩා කෙලින්ම දේශපාලනික වචන එක්ක සිංදු ආවා. ඒත් වැඩ කළේ නෑ.
‘මේ විදිහෙ අයිඩියා එකක් එක්ක සිංදු කියන ගොඩක් අයගෙ මියුසික් අවුල් වෙනවා. මේ දෙක එක ගාණට යන්නෙ හරි කලාතුරකින්. අජියා මේක ගාණට බැලන්ස් කරනවා. වචනත් මරු. මියුසික් පැත්තත් මරු’ බූඩි ෂෝ එක බලලා යන්න කලින් කිව්වා.
අජිත්ගෙ වචන සරල ව්‍යවහාරික වචන. ලිඛිත පාරිභාෂික පද ඒ සිංදු වල නෑ. ඒ වගේම එයා මෙලඩි විදිහට ගන්නෙත් ප‍්‍රබුද්ධ හැඩ නෙමෙයි. සරල සාමාන්‍ය මිනිස්සුන්ගෙ කන්වල ගැටෙන නාද. ඒක නිසා ඒ සිංදු ගොඩක් කැචි. ඒත් ඒ කටහඬ සහ වචන හුරුපුරුදු මෙලඩි අස්සෙන් ඇවිත් අහන් ඉන්න අය අවුල් කරනවා. වැඩියෙන්ම මං කැමති තැන අජිත් දාර්ශනික නොවෙන එක.
‘අම්මගෙ රෙද්දක් තාත්තා ඇන්දේ ආසාවෙන්
තාත්තගෙ සරම අම්මා ගැලෙව්වෙත් සන්තෝසෙන්
තාත්තා මල් බොනවා
අම්මා හිනැහෙනවා
අපි පෙරටම යනවා
දේවල් පහු වෙනවා...’
‘මං වල් නෑ...’ අජිත් නැවත නැවත කියනවා.
කිසි දෙයක් නොවෙන හිස්තැන ඉවසන් ඉන්න බැරි තැන අපි අජිත් ගෙ ෂෝ එක කළා. ඒ අදහසට හැමෝම එකතු වුණා. අජිත් එක්ක බෑන්ඞ් එකට එකතු වුණු අය ඉඳන් ෂෝ එකේ වැඩ වලට සම්බන්ධ වුණු කිසි කෙනෙක් සල්ලි බලාපොරොත්තුවකින් එතන හිටියෙ නෑ. ඒක වෙන ලොකු උවමනාවක් එක්ක සම්බන්ධ වුණා. වචන නැති සතුටක් ඒ මහන්සිය ඇතුලෙ පත්තු වුණා. අපි වගේම ඒ හැමෝටමත් දරා ගන්න බැරි හිස්කම.....ජීවිතය ගැන අලූත් අදහසක් ඕන කම.
ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් පුබුදුවනු ලබයි- ජයන්ත චන්ද්‍රසිරි ඔත්තුකාරයා නාට්‍යයෙදි පෝස්ටර් ගැහුව.
අජිත් මුල ඉඳලම හිටියෙ සුරතාන්තෙක. සිංදු කියද්දි එයා උපරිම තෘප්තියෙන් වෙව්ලූවා. ස්ටේජ් එක එයාට වැදගත් වුණේ නෑ. එයා සිංදු කියන්න ගත්තා. අලූතෙන් ලියන්න ගත්තා. ඒත් අන්තිම වෙනකල් කාටවත් රිහර්සල් එකක් බලන්න බැරි වුණා.
‘මචං මට එහෙම කියන්න බෑ. හරියට සිංදුවක් උපරිමෙන් කිව්වම මගේ දණිස් ඉඳන් පණ නැති වෙනවා. මට ඒ එනර්ජි එක ඕන අන්තිම දවසට’
අපිට ප්ලෑන් කර ගන්න ගොඩක් දේවල් තිබුණ. සිංදු ටික හරියට නැතුව කිසි දෙයක් කර ගන්න බැරුව අවුලක්. කලින් අජිත් එක්ක වැඩ කරලා අත්දැකීම් තියෙන අය කෝල් කළා. ‘අජිත් අනාගන්නවා’ ඒ ගොල්ලො කිව්වා.
ඒ අතරෙ වමේ කට්ටිය අජිත්ට කෝල් දෙන්න ගත්තා. ‘ඔහොම වමට විරුද්ද කැම්පේන් එකක් කරන්න උඹට වටින්නෙ නෑ’ ඒ ගොල්ලො කිව්වා.
‘උන්ට රිදෙනවා. ඔය කැම්පේන් එක නවත්තපන්’ අජිත් අපිට කිව්වා. ඒ අතරෙ මරාගෙන මැරෙන වම ඇවිත් අපිට උදව් කළා.
‘31 පුළුවන් නම් ෂෝ එක තියලා පෙන්නපන්’ ඒ ගොල්ලො කිව්වා.
‘ෂෝ එක අවුල් වෙන්නෙ නෑ නේද?’ අපි අපිලිවෙල ගැන බයෙන් අජිත් ගෙන් ඇහුවා.
‘මං උඹලගෙ හිත් රිද්දන්නෙ නෑ’ අජිත් කිව්වෙ එච්චරයි. ෂෝ එක ගැන තිබ්බ හැම අවුලක්ම දූරින්භූත වෙන්නත් විප්ලවේට ලෑස්ති වෙනවා වගේ වැඩකරන්නත් ඒ වචන ටික ඇති.
අපි ෂෝ එක කළා. කිසි දෙයක් කලින් සැලසුම් කරලා නොතිබ්බත් හැමෝම එක අප‍්‍රකාශිත සැලසුමක වැඩ කරල තිබුණ.
‘මට තියෙන චැලෙන්ජ් එක මගේ මේ ඉන්න සාමාන්‍ය ජීවිතේ කොහොමද මයික් එක ඉස්සරහට ගෙනියන්නෙ කියල. එච්චරනෙ..’ අජිත් එයාගෙ රෝල් එක තේරුම් අරං තිබුණ.
හරිම ලස්සන හැන්දෑවක්. එලියෙ වැස්ස වැටුණ. රුපියල් පන්සීයේ දාහේ ටිකට් අරං අජිත් සිංදු කියනවා බලන්න ආපු යාලූවන්ගෙන් හෝල් එක පිරුණ.
අජිත් මයික් එක්ක ළඟට ගියා.
හීන්සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට..
මා බලා සිටියා..
ආදරේ නොකියා..
එයා සිංදු කිව්වෙ නෑ...
වෙඩි තිබ්බා විතරයි....
හරිම නිහතමානී විදිහට තමන්ට ජීවිතේ දැනෙ හැටි අජිත් එයාගෙ ඕඩියන්ස් එකත් එක්ක බෙදාගත්තා. ඒ නිරායාස අවංකකම මං මෙතෙක් දැක්කෙ අජිත්ගෙම විතරයි.
අජිත් කියන්නෙ ලෙජන්ඞ් එකක්. ඒක එදා ෂෝ එකට ආපු හැමෝටම දැණුන.
සිංදු කියල ඉවර වෙලා එකතු වෙච්ච සල්ලි වලින් හෝල් එකේ ගණං ගෙවලා හිස් අතින් එලියට ආවත් හැමෝටම තිබිච්ච ත‍්‍රිල් එකට වැස්සෙ බොරැුල්ල හන්දියෙ කෑ ගැස්සෙන ගාණයි.
වහලා තිබ්බ ඊඒපී එකත් ඇරගෙන හැමෝම ජයපැන් බිව්වා. ඒ බලාපොරොත්තුව වෙනුවෙන්. කෝමා එකක ඉන්න ජීවිතේ වෙනුවෙන්.
I
am a bastard
I
am a bastard like a butterfly..ජාඇල බස් එකක නැගලා අජිත් ගෙදර ගියා.
- චින්තන ධර්මදාස
අජිත් කුමාරසිරි කියන චරිතය ගැන දන්නෙ යූ ටියුබ් එකේ තිබුන නිර්මාණ කීපයකින් විතරයි... ඒ නිර්මාණ තුලින් මට දැනෙන අජිත්, කවුද කියල විස්තර කරන්න බැරි චරිතයක්...
ReplyDeleteවැඩෙන් පස්සෙ වෙනම සෙට්වීමක් තිබුණ නිසා අපි වැඩේට කලින්ම ඊඒපී එකට ගියා. ;-)
ReplyDeleteකොහොමත් අජිත්ගෙන් රිහසල් වුණ ඉදිරිපත්කිරීමක් බලාපොරොත්තු වුණේ නෑ මමනම්. එහෙම එකක් ස්ටේජ් එකේදි අජිත්ව විනාස කරයි. අජිත්ගෙ ප්‍රකාශණ ඇතුලෙ සියළු වැරදීම් ඇතුලත්. ඒවත් ඒ චිත්‍රයට පොඩි පොඩි වක්‍ර එකතු කරනවා...
ෂෝ එක නිකං එකපාරම නැවතුනාම කවුරුවත් ඒකට සූදානම් වුණේ නැද්ද මන්දා. අන්තිම සින්දුවට අජිත්ව නැවත කැඳවන්න වීම පොඩි මාකටිං පාරක්ද කියල හිතුණත් සහ ඒක එහෙම වෙන්න ඇති කියල අපි කතා වුණත් මම හිතන්නෙ මම ඒ අවසානෙට අකමැති නිසා නොනැගිට බලාපොරොත්තුවෙන් හිටිය කියල. ඒක හරියට පොඩි ෂොක් එකක් වුණා. මම හිතන්නෙ එතන හිටපු හැමෝටම. අවසානෙදි අම්මගෙ රෙද්ද සින්දුවෙදි ඒ ෂොක් එක දියවෙලා දැන් නැගිටිය යුතුයි කියන තැනට ආව.
I am a bastard
ReplyDeleteI am a bastard like a butterfly..
අජිත් කියන්නේ මෙහෙම මිනිහෙක්, අජිත් ගේ අතීතය මෙහෙමයි, උගේ සිංදු මෙහෙමයි.. බහුතරය කියන සුලභ කථාව. හේතුව සරලයි. ලංකාවේ මිනිස්සු රීඩ් කරන්නේ ටෙක්ස්ට් එක නෙවෙයි, ටෙක්ස්ට් එක ඉදිරිපත් කරන එකාගේ නැන්දම්මගේ බල්ලගේ පෙඩිග්‍රි එක සහ තමන්ගේම ඇතුළාන්තයෙන් මතුවෙන ඇරියස් එක.
අජිත් කියන්නේ මොකෙක් වුනත් ඌ දැනෙන වැඩක් කරනවා. තමන්ට දැනෙන දේ මියුසික් වලින් ඉදිරිපත් කරනවා. ඒක අහන මිනිස්සු, විඳින මිනිස්සු ඒ ඇතුළෙන් තවත් කොන්ටෙක්ස්ට් එකක් දකිනවා. ඒක තමයි වෙන්න ඕන. එහෙම තමයි චින්තන ධාරාවක්, මතාන්තරයක් දියුණු වෙන්නේ. ඔව්, අජිත් ලෙජන්ඩ් එකක්. ඒ උගේ අතීතය නිසා නෙවෙයි, ඌ කරලා තියෙන දේ නිසා.