Saturday, April 28, 2012

පූසා සහ මාරේ

මේ මොහොතේ විතරක් ජීවත් වීම..... මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා.  ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන සද්දෙට. ඒත් කෑමක් නෙමෙයි කියල තේරුං ගත්තට පස්සෙත් ඒ වචනෙ ඇහෙන හැම පාරකම ඌ වලිගෙ ටිකක් හරි වනනවා.  ඕන කතාවක ඉතුරු ටික ඌට අනුව ‘මිනිස්සුන්ගෙ මනස්ගාත’ විතරයි.

ඌ නිදාගන්නවා. ඒක තමයි ප‍්‍රධාන දේ. පූසෙක්ගෙ නින්ද තරම් බලන් ඉන්න ලස්සන දෙයක් තවත් නෑ. ඒක ඒ තරං පට්ට සනීප නින්දක්. ඒ ඇරුණම කනවා. විනෝදෙට දඩයම් කරනවා. රෑට අවලමේ යනවා. උදේට ආයිමත් පිවිතුරු කන්‍යාවක් වගේ වෙනවා. කිසි කෙනෙකුට, කිසි රීතියකට පූසෙක් අවනත වෙන්නෙ නෑ. ආදරේ කියන්නෙ ඌට බයිට් එකක් විතරයි. කිසිම විදිහකින් කෑම ගැන ගණුදෙනුවක් ඇරුණම ඇති කරන එකාට මොනම පක්ෂපාත බවක් වත් නෑ. ඒත් ඌට ආදරේ කරන එකෙන් ගැලවෙන්න අපිට බෑ. උගේ හැම වනචර ගතියක්ම හරිම ලස්සනයි. ඒක ඌටම ආවේණිකයි. කිසි තැනක කොපි කිරිල්ලක් නෑ.බල්ලො ඒ අතින් හරි මෝඩයි. දුකම විතරයි. මිනි්ස්සුන්ගෙ දුක්ඛිතකමට ඒක හරි ළඟයි.

අතීතයක් හෝ අනාගතයක් විසින් තීරණය නොකළ අලූත්ම අලූත් වර්තමාන මොහොතක් එක්ක ජීවත් වීමේ මට අහිමි ඌට හිමි ආනන්දය මං අපේ පූසා දිහා බලාගෙන වින්ඳා.

ඊයේ රෑ ගෙදර එද්දි ‘මාරයා’ කතා කළා. මාරයා කියන්නෙ ජගත් මාරසිංහ. මාරයා හුඟක් බොනවා. දරා ගන්න බැරි මානව සංවේදිතාවකින් ඌ දුක් විඳිනවා. ඒකට තව බොනවා. බීලා යාලූවන්ට කතා කරනවා. එකදිගට පැය ගණන් කතා කරන හින්ද යාලූවො කට් කරනවා. ඒත් මාරෙ ආයිමත් කතා කරනවා. ඒ කවදාවත් කතා කරන්නෙ පුද්ගලික විස්තර ගැන නෙමෙයි.

මාරෙ දැන් ඉන්නෙ තනියම. ‘අක්කා’ මාරෙ දාලා යන්න ගියා. අවුරුදු පනහෙදිත් ඒකට මාරෙ දාසයේ කොල්ලෙක් වගේ ඇඬුවා. මං හුඟක් කැමති ඌ කතා කරලා අක්කට කුණුහරුපෙන් බනිද්දි. ‘තෝව මං මරනවා’ මාරෙ අඬ අඬා කියනවා. ඒත් ඒක අක්කට ඇහෙන්නෙ තර්ජනයක් විදිහට විතරයි. ඒක ඇතුලෙ ආදරේ එයාට තේරෙන්නෙ නෑ.

මාරෙ එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒකෙ දෙකක් නෑ. යාලූවො විදිහට අපිට වුණත් ඌව නිතර මුණගැහෙන්න අමාරුයි. ඌ හරිම වල් සතෙක්. මටම හිතාගන්න බැරි තරං ලංකාව ගැන දැනුමක් සිංහලෙන් කියවලා දරාගෙන ඌ ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන වචනෙ මෙතනදි හැට හයයි අනූ නමය ඇතුළට දාන්න  ඕනි. මොකද රටේ සිද්ද වෙන හැම දෙයක් ගැනම ඌට උගේ විචාරයක් තියෙනවා. ඒ කියන්නෙ මාරෙ වටපිටාව ගැන පූර්ණ අවධානයක් ඇතුව ගත වෙනවා. එහෙම නැතුව නිකං උපන්නාට මේ ලොව වැනෙනවා විනා වර්ගයේ ජීවත් වෙන උන් දැන් ඉන්නෙ තොග පිටින්.

මහින්ද ආණ්ඩුවට එද්දි මාරෙ මහින්දට කැමති වුණා. ලේක් හවුස් එකටත් ගියා. ඒත් මහින්ද ගැන ලිව්වෙ නෑ. ඌ උගේ සිංහල ගැන තියෙන වෙනස් අදහස් ඒ කාලෙදි ලිහලා අතෑරියා. මාරෙ සිංහල බෞද්ධයෙක්. ඒත් ඌ චම්පික රණවක හරි අමරසේකර හරි වගේ බූරු බෞද්ධයෙක් නෙමෙයි. උගේ කියවීම අන්තර්ජාතිකමය කියවීමක් එක්ක වලංගුයි. ඒක අලූත්. අරගලකාරීයි. ඒත් මාරෙට වැරදිච්ච තැන අපි කොහොම ඒක කිව්වත් මිනිස්සුන්ට ඒක ඇහෙන්නෙ අර ලොකු සද්දෙ ඇතුලටම එකතු වෙලා කියන එක. ඒක තේරුණට පස්සෙ මාරෙ ලේක් හවුස් එකෙන් එලියට ආවා.

මාරෙ සයිමන් ගැන ලිව්වා. ‘මේ මොක්කුද බං සයිමන් ගැන ලියන්නෙ? උන් මොනාද මේ සයිමන් ගැන ලියන්නෙ?’ මාරෙ කේකේ සයිමන් ගැන ලිව්වම බැන්නා.
‘මචං, දවසක් මං සයිමන් එක්ක හොඳට බීලා එනවා. අඟුළානෙදි සයිමන් නැවතුණා ලොතරැුයි කඬේ ළඟ. එතන ඉඳන් අර හූරන ලොතරැුයි අරං හූරනවා.
‘මාරෙ හූරන්න’ එයා මටත් අරං දෙනවා.
‘මොනාද සර්, මෙතන හු..... නැතුව ගෙදර යංකො’ කිය කිය මාත් හූරනවා.
එයා සල්ලි ඉවර වෙනකල්ම හූරගෙන යනවා. ඇදෙන සල්ලි වලින් තව ලොතරැුයි අරං හූරනවා. මං බොද්දි දැනගත්තා එයා ළඟ තියෙන්නෙ රුපියල් දෙසීයයි. අන්තිමට මහජන සම්පත දෙකකුත් අරං එයා වැඬේ නැවැත්තුවා. සල්ලි ඉවරයි. මගේ සාක්කුවට එකක් දාලා එයා අනිත් එක දාගත්තා.

‘මාරෙ දැන් දස ලක්ෂපතියෙක්’ කියල හිනාවෙලා වැනි වැනි ආයිමත් යන්න ගත්ත.

‘මොනවා වුණත් සාක්කුවෙ බලාපොරොත්තුවක් තියෙන කොට මාරයි මාරෙ’ සයිමන් ඒ යන ගමන් කිව්වා.

මරුනෙ මචං’ මාරෙ බිව්වම සයිමන් ගැන එක දිගට කියාගෙන යනවා. ‘මචං සයිමන් කියන්නෙ ජීවත් වුණෙ තන්ත‍්‍රයානය එක්ක. මෙහෙ වෙන කවුරුවත් නෑ එහෙම ජීවිතයක් තියෙන පොරවල්. මුං පුස්සොනෙ’

මං ලියාගෙන යන කතාව දිහා ආපහු බැලූවා. හරි වින්ටේජ් ගතියක් තියෙන්නෙ. පෝර්න් වල වුණත් මං ගොඩක් කැමති වින්ටේජ් වලට.

‘සයිමන් කිව්වා මචං කවදාවත් ආර්ට් ට‍්‍රාන්ස්ලේට් කරන්න බෑ කියල. පරිවර්තනය නෙමෙයි, අනුවර්තනය කරන්නත් බෑ. සයිමන්  ඕක ලස්සනට කියනවා. නාට්‍යකාරයානෙ. ‘ටු බී  ඕර් නොට් ටු බී’ මචං හැම්ලට් නාට්ටියෙ එන ඔය අදහස කොහොමද පරිවර්තනය කරන්නෙ? ජීවිත එහෙම පරිවර්තනය කරන්න බෑ. වචන විතරක් පරිවර්තනය කරන්න පුළුවන්’

‘මරුනෙ මචං’ මාරෙ හැම කතාවක්ම ඉවර කරන්නෙ එහෙම.

මාරෙ පොත් ලිව්වා. ජ්‍යොතිශය එක්ක හොඳ අඩව්වක් ඇල්ලූවා. ‘මාරෙ කියන කේන්දර හරිද?’ සමහරු මගෙන් ඇහුවා.

‘කේන්දරවල හරි වැරදි මං දන්නෙ නෑ. ඒත් ඒක වෙන ආර්ට් එකක්. ඒක තියෙන්නෙ විඳින්න දන්න උන්ට විතරයි’ මං කියන්නෙ එහෙම.

‘කැත කතුන්ගෙ පතිවත’ දීප්ති කියන විදිහට මාරෙගෙ ‘එසේ ’(රචනා) පොත.
‘මචං, ලංකාවෙ කැත ගෑණු තමයි පතිවත ආරක්‍ෂා කරන්නෙ. ඒාක උන්ට වටිනවා වුණාට කාටවත් වැඩක් නෑනෙ’  මාරෙ මහපාරෙ ප‍්‍රඥාව ගැන කතා ගොඩක් කියනවා. ඇල්කොහොලික් ගැන හොඳම විස්තර මං කියෙව්වෙත් ‘මධුලෝලත්වයෙ ව්‍යාකරණය’ එක්ක. මධුලෝලත්වය කියන්නෙ වෙනස් ජීවිත ක‍්‍රමයක් වෙනකල් මාරෙ එයාගෙ ජීවිතේ ඇතුලෙන් තර්ක කරනවා. පරත්තෙ කැලේකට වෙලා හිටියත් ඒ තර්ක හරි බොහිමියන් තර්ක. බොරු දර්ශනවාද වෙනුවට ජීවිතේ ඇතුලෙ ගහපු කැරලි.

මාරෙට ජීවිතේ දැනෙන්නෙ සංවාදයක් ඇතුලෙ. සංවාදයක් අහිමි වීම ‘මරණය’ බාර ගන්න ඌ ලෑස්ති නෑ. ඒත් ලංකාවෙ ජීවිතේ සංවාද විසංවාද මොකක්වත් නැති මෙගා නාට්ටියක් තැනට ආවා. මාරෙ තාමත් තමන්ට අහිමි සංවාදය වෙනුවෙන් කෝල් කරනවා.

මොකද්ද මේ ‘මාර’ සංකීරණය?

දවසක් බස් එකේ යන ගමන් මාරෙගෙන් ආපු කෝල් එකක් කට් කරලා මං කල්පනා කෙරුවා. මොකද්ද මේ මගෙන් ඉල්ලන මට නොතේරෙන උදව්ව? මං ? ජොයින්ට් එකක් දාලත් කල්පනා කෙරුවා.

මාරෙ වාමාංශිකයෙක්. හැමදාම ගෙදර වෙනුවට එළිය/සමාජය තෝර ගත්ත එකෙක්. මාරෙට තියෙන්නෙ දේශපාලන ජීවිතයක්.. පවුල් වුණාට පස්සෙත් අනිත් හු`ගක් අයගෙ වගේ මාරෙගෙ ඒ සමාජ ජීවිතේ කැන්සල් වුණේ නෑ. එයා එයාගෙ ආධ්‍යාත්මික ඇම්ම ඇතුලෙ ඇත්ත ජීවිතේ මේසෙ උඩට ගෙනාවා. විසංයෝජනය කරලා බලන්න. ඇත්ත කියල හිතන හැම තියරියක්ම ඇත්තද කියල ජීවිතේ ඇතුලෙන් ටෙස්ට් කළා. ලංකාවෙ සිංහල බෞද්ධ සමාජයේ කුහකකමට එහෙම්පිටින්ම ප‍්‍රතිවිරුද්ධ පැවැත්මක් ඌට තිබුණෙ.

‘මං බීපු හින්ද ජේවීපී එකෙන් මාව ගත්තෙ නෑ. බොන හින්ද හමුදාවෙන් මාව මැරුවෙ නෑ’
මාරෙ මේ පිටස්තරකම ගැන කියනවා. ඒත් ඌ එහෙම විශ්වාස කරපු සමාජයක් එලියෙ ඇත්තට තිබුණෙ නෑ. පුද්ගලික පවුල කියන එක ඇතුලට මුලූ සමාජෙම ඇකිළුණා. මාරෙ තනියම එලියෙ ඉතුරු වුණා. සමාජ ව්‍යාපාර, කතිකා ඔක්කොම අහෝසි වෙච්ච කාන්තාරෙක බාගයක් තියාගෙන මාරෙ බලන් ඉන්න පටන් ගත්තා. හැම පුද්ගලික ජීවිතේකටම ඌ කරදරයක් වුණා. පුද්ගලික ටෙලිෆෝන් කෝල් දිගේ දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡුා කරන්න ගත්තා. ඒක රෝගයක්. අන්තිමට කෙළවර වුණේ එතන.

ඒත් මිනිහෙක් සමාජ සංවාදයක් ඉල්ලන එක ලෙඩක් වෙන්නෙ කොහොමද? මගේ පුද්ගලිකත්වය ඇතුලෙ මාරෙ ගෙ පොදු සංවාදය දරා ගන්න බැරි එක ගැන මට ලැජ්ජයි.

කොහොම වුණත් මාරෙ මට ආයිමත් කතා කළා. ඊයෙ රෑ.

‘මං ලංකෝනිස්ට කෙලින්ම කිව්වා මචං. නිකං අපිට පච කෙලින්න  ඕන නෑනෙ. මට  ඕකුන්ගෙ බොරු සිංහල බෞද්දකම ඇති වෙලා’

මාරෙ කෙලින්ම පටන් ගන්නෙ ප‍්‍රශ්නෙ ඌට අදාල කොටසින්.

‘මං ඌට කෙලින් කිව්වා, රෝමානු කතෝලික ආගම කොපි කරලා හදපු පන්සිල් උඩ ජීවත් වෙන බොරු බෞද්දයෝ කියල. ඇත්තනේ මචං

රෝමානු කතෝලික ආගම කළෙත් ජඩ වැඬේ. උන් අර ඇණ ගහලා මරපු කැරලිකාරයාව අල්ලලා ආයිමත් මෝසෙස්ට යටත් කළා. ඌව දෙයියන්ගෙ පුතා කළා. කැරැුල්ල ඉවරයිනෙ එතනින්. ඊට පස්සෙ දෙවියො කෙලින්ම කියනවා කියල දස පණත ගෙනාවා. ඒක ලංකාවෙ වගේ රටවල නැගලා ගියා. දෙයියො කෙලින්ම කියන එකනෙ. බුද්ධාගමට යන එන මං නැති වුණා. ඔන්න එතකොට මුං ටික එකතු වෙලා පංච ශීලය කියල එකක් හදා ගත්තා. බුදු හාමුදුරුවො කොතනකවත් ඔය පන්සිල් කියල එකක් කියල නෑ. මං කෙලින්ම කිව්වා පුළුවන් නං පෙන්නන්න කියල ත‍්‍රිපිටකයෙ කොතනින් වත් බුදුන් පන්සිල් ගැන කියපු එකක්.
මචං, පන්සිල් නරක නෑ. ඒක සමාජෙ සංවිධානය වෙන්න වැදගත් වෙන්න පුළුවන්. ඒත් අපිට ඔය බොරු පාට් දාන්න  ඕන නෑනෙ. අපි පන්සිල් බෞද්ධයො නෙමෙයි නෙ මචං’
මාරෙ සම්පූර්ණ තර්කෙම මට කියාගෙන යනවා. මං පාර අයිනෙ බස් හෝල්ට් එකකට වෙලා අහගෙන ඉන්නවා. කවුරුත් නැති පාල බස් ස්ටෑන්ඞ් එකක මහ රෑ පන්සිල් ගැන ෆෝන් කෝල් එකක් අහන් ඉන්න එකත් මාරයි.

‘මචං, මුං කරන්නෙ ලොකු පචයක්. ලංකාවෙ බුද්ධාගමට හරි සිංහලකමට හරි ඇත්තට දෙයක් කළා නං ඒක කෙරුවෙ යූඑන්පී එකෙන්. මිරිසවැටිය, රුවන්වැලිසෑය ගරා වැටිලා තියෙද්දි හැදුවෙ උන්. ගොවියන්ට කිය කිය මුන් කෑ ගැහුවට ගොවි ණය මුලින්ම ගෙනාවෙත් යූඑන්පී එකෙන්. ලේඛනාරක්‍ෂකේ හැදුවෙ කවුද? විවෘත ආර්ථිකේට බොරුවට කෑ ගහනවා මුං දැන්. විවෘත ආර්ථිකේ තිබ්බෙ නැත්තං මුං ඔය යුද්දෙ ඉවර කරන්නද? ඔක්කොම වාරි මාර්ග ක‍්‍රම හැදුවෙ යූඇන්පී එකෙන්. මුං මේ මොනාද කරන්නෙ?’

මාරෙ කතා කරන ගමන් පොඩි එකාට කියනවා රෙෆරන්ස් හොයන්න කියල. ඌ අවුරුදු හතරක විතර බට්ටෙක්. ඌත් පැහිච්ච එකෙක් වගේ එක එක කැසට් වල තියෙන කතා ප්ලේ කරනවා. ඒවා මාරෙ එකතු කරලා තියාගෙන ඉන්න කතා.

‘මචං ජේආර් ඔය විවෘත ආර්ථිකේ ගේන කොට උගේ අර අමුතු ස්ටයිල් එකට කියනවා, මං කෙරුවෙ ගාන්ධි කෙරුවා වගේ වැඩක් කියල. ලෙනින් වුණත් කිව්වා අපි විවෘත වෙන්න  ඕනි කියලා ඒත් මේ විජේවීර ඒකට විරුද්දයි කියල. මාරයිනෙ මචං’

‘මේ දැන් වගේ හැම එකකටම විරුද්ධ වෙන්න විතරක් දන්න ජේවීපී එකක් නෙමෙයි මචං විජේවීරගෙ කාලෙ තිබ්බෙ. ඌ කියනවා ජේආර් එයාගෙ බොරු දත් කුට්ටම දිවෙන් තද කර කර මේ කළේ ආර්ථිකේ විවෘත ආර්ථිකයක් කරපු එක නෙමෙයි ඒක හොර ආර්ථිකයක් කරපු එක කියල. මාරයිනෙ මචං. අපි දැක්කෙ නෑනෙ ජේආර් ගෙ බොරු දත් කුට්ටම.

මාරෙ කතාවක් පටන් ගත්තම ඒක පටන් ගත්ත තැනට සම්බන්ධයක් නැති හැම අතටම යනවා. ඌත් එක්ක කතාවක් කරගෙන යන ආතල් ඒකයි. ඒක හරියට අවසානයක් ගැන නොදන්න පාරක් දිගේ ඇවිදින්න යනවා වගේ.

‘මං රතන හාමුදුරුවන්ටත් කතා කළා. එයා කියනවා පන්සිල් තියෙනවලූ වෙස්සගිරි සෙල්ලිපියෙ. මං කිව්වා මචං, කැළණියෙ මැණික් පුටුවක් තියෙනවා කියනවනෙ. දැන් ස්කෑන් කරලා බලන්න පුළුවන් තාක්‍ෂණය තියෙනවා. ඇයි එහෙනං ගෙනල්ලා මේ මැණික් පුටුව ගැන ලෝකෙට කියන්නෙ නැත්තෙ? එහෙම එකක් නැති හින්ද. බලලා නැත්තං මුං කියන්නෙ ඒක හොරු කඩලා කියල. ඒත් දැන් තාක්‍ෂණෙන් බලන්න පුළුවන් එහෙම කඩලා නං කඩපු කාලෙ සහ විස්තර ඔක්කොම. ඒ වගේ තමයි. මේ සෙල්ලිපි කියන්නෙත් පස්සෙ ලියපුවා. ඇත්ත ඉතිහාසෙ සෙල්ලිපි වල නෑ මචං....’

? වෙලා. මට දැන් යන්න  ඕනි. යන්නං කියල කොච්චර කිව්වත් මාරෙ තව මිනිත්තුවක් ඉල්ලනවා. ඒක හින්ද මං එකපාරටම කට් කරලා දැම්මා. ඊට පස්සෙ ත‍්‍රීවීල් එකක නැග්ගා.

මං දන්නවා, ඒත් මාරෙ මට ආයිත් කතා කරනවා.

ඒක උගේ හැටි. වැඩියෙන්ම වටින්නෙ ඒ හැටිය උගේ විතරක්ම එක.

-චින්තන ධර්මදාස

6 comments:

  1. පූසා ගැන කියවීම නම් පට්ටයි.
    කොටින්ම මම පූසන්ට ආදරේ උන්ගේ ඔය අහංකාරකම හින්දා වෙන්න ඕනේ.

    ලිපිය පුරාම අමුතු මාරයා මැවී පෙනෙනවා.

    ReplyDelete
  2. මාරෙට වෙලා තියෙන්නෙ පොරගෙ ධාරිතාවයට ගැලපෙන එකෙක් නැති එක සංවාදෙට! එහෙම උන් අපට වාතයක් වගේ පේ‍න්නෙ අපිත් බිස්නස් කාරයො නිසා. මාරෙ කියන්නෙ ඔහොම උන්ගෙ අවසාන පුරුක් අතර එකෙක් වෙන්න ඕන.

    ReplyDelete
  3. mama na dawasak mareta kathaa kala...dan number eka ne...moratuwe super market eke innawa kiyala kiwwa..puluwan nam number eke denna.0716238533 (mama)

    ReplyDelete
  4. මට මාරයගේ නම්බරේ දීපන්..

    ReplyDelete
  5. salathudalambuwa@gmail.com එකට මේල් කරපන්

    ReplyDelete