දැන්වීම් ආයතන ඇතුලෙ මහ බල අධිකාරියක් තියෙන්නෙ ඉංග‍්‍රීසි භාෂාවට. ඉංග‍්‍රීසි දන්නවා නම් ඒජන්සි ඇතුළෙ වැඩ නොකර ඉන්න පුළුවන්. මට තාම තේරුම් ගන්න බැරි ඉංග‍්‍රීසි කතා කිරීම තුල නිකං ඉන්න පුළුවන් වීම සහ සිංහල කතා කළොත් වරදින්න තියෙන ලොජික් එක මොකක්ද කියලා. මට සෑහෙන ප‍්‍රශ්න ඇතිවුණා මං සිංහල විතරක් කතා කිරීම නිසා. මං සෑහෙන්න පාච්චල් වෙච්ච අවස්ථා තියෙනවා. ඒත් එතනදි මං තීරණය කළා, මං කවදා හරි මගේ භාෂාවෙන් තමයි උඹලට උත්තර දෙන්නෙ කියල
-ප‍්‍රගීත් ප‍්‍රසංජය
මං පත්තරේ ගිය ප‍්‍රගීත්ගෙ ඉන්ටර්විව් එකෙන් කොටසක් අරං ෆේස්බුක් එකේ දැම්මා. ගොඩක් අය ඒකට හුගක් සක‍්‍රීය විදිහට එකතු වුණා. මට කෝල් එකකුත් ආවා.
‘උඹ කියන්නෙ ප‍්‍රගීත් කරන එව්වද හරි? උඹ කැමතිද ඔය සම්මාන ගත්ත ඇඞ් එකට?’
මං ඒ සම්මාන ගත්ත කැම්පේන් එකට කැමති නැත. මං ප‍්‍රගීත්ගෙ වැඩ වලට විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක්ද නැත. කොටින්ම ඒ ඉන්ටර්විව් එකේ ඉතුරු කොටස මේ කොටසේ තියෙන සාධනීය ගුණයත් එහෙම්පිටින්ම විනාස කරනවා. ඒත් මේ කොටසට මං කැමතිය.
මගෙන් මේ ප‍්‍රශ්නෙ අහන යාලූවා කරන වැරැුද්දක් තියෙනවා. කවුරු හරි කියන එක අදහසකින් ඒ මිනිහව සමස්තයක් විදිහට තේරුං ගන්න යන එක. ඒ අදහස ඒ කියන කෙනාගේ සමස්ත ජීවිතයේ පිළිඹිඹුවක් විදිහට ගන්න එක. මට එහෙම එකක් නැහැ. ඒ අදහසට එක`ග වෙද්දි එයාගෙ ජීවිතේ අනිත් සමස්තයටම එක`ග නොවෙන්න මට පුළුවන්.
ඒ ඉන්ටර්විව් එකේ ඉතුරු කොටසෙ ප‍්‍රගීත් ගොඩක් කියනවා මේ පොළොවෙ ගුණ සුවඳ ගැන. එයා ඒ වචනම පාවිච්චි කරනවා. ඒක මාව හිරිවැටෙන තත්වයක්. එක පැත්තකින් මේ පොළොවෙ එහෙම එකක් ගැන එයා විශ්වාස කරනවද? අනෙක් අතට ඒ ඔය ඇඞ් එකේ පෙන්නන එකද? යූ එකේ හදිස්සියෙ පටන් ගත්ත නයනතාරාගෙ කොමර්ෂල් බ්‍රේක් එක අහම්බෙන් කියවද්දියි මට මේ ගැන හිතන්න හිතුණෙ.
‘මට නං ඒවා හරි පච. අර බැරි බැරි ගානෙ ජාතික ගීයට නැගිටින වයසක මනුස්සයා බලන් ඉද්දි දත් හිරි වැටෙනවා. ඉන්දියාවෙ වගේ ඔහොම අමාරුවක් අපේ රටේ නෑනෙ‘
- කොමර්ෂල් බ්‍රේක්
ඒත් ප‍්‍රගීත් මේ මතු කරන ප‍්‍රශ්නෙ ඇත්තක්. සහ ඒක කෙලින් මේ විදිහට අහන්න මීට කලින් කාටවත් කොන්දක් තිබ්බෙ නැති එකත් ඇත්තක්. ඇඞ්වර්ටයිසින් වල ඉංග‍්‍රීසියට තියෙන්නෙ නිර්මාණශීලීත්වයට සාපේක්‍ෂ වටිනාකමක් නෙමෙයි. ඒක පාංතික, මෝඩ, තැනකින් එන එකක්. ඒ වගේම ක්ලයන්ට් ලා ගොඩකටත් කැම්පේන් එකක් තෝර ගනිද්දි අදහසට වඩා ඉංග‍්‍රීසිය වැඩ කරන අවස්ථා අනන්තයි. ඒක මට හිතෙන්නෙ ලංකාවෙම පොදු හීනමානයක්. හැබැයි ඊට ප‍්‍රතිවිරුද්ධව ප‍්‍රගීත් කියන යෝජනා වලට මං එක`ග නෑ. ඒ කියන සිංහල ඒජන්සි සංස්කෘතියවත්, එක වචනයක්වත් ඉංග‍්‍රීසියෙන් කතා නොකර ඉඳීමවත් කියන දෙකම එන්නෙ ඒ සිංහල හීනමානෙම තව කොණකින් හින්ද.
ලංකාවෙ ඇඞ්වර්ටයිසින් පටන් ගන්නෙ ඉංග‍්‍රීසි මධ්‍යම පංතියේ අය. ඒ ගොල්ලො ගොඩක් අයට යුරෝපියානු නෑ කම් තිබුණ. ඒ වගේම ඇඞ්වර්ටයිසින් වලට ආවෙ ඒ පංතියෙ ටිකක් හිපි විදිහට හිතන කට්ටිය. ඒ ගොල්ලොන්ට වෙනස් දේශපාලනයක් තිබුණෙ. අන්තර්ජාතික සිතීමක් තිබුණෙ මේ හින්ද ඇඞ්වර්ටයිසින් වල ඇතිවුණු සංස්කෘතිය විචිත‍්‍රයි.
පස්සෙ මේ පංතිය පිරිහුණා. එන්න එන්න සිංහල ආධිපත්‍යයට නතුවුණා. එතකොට ඇඞ්වර්ටයිසින් සංස්කෘතියත් වැටුණ. සිංහල ඇඞ්වර්ටයිසින් සංස්කෘතිය කියන්නෙ මහින්ද චින්තනේ වගේ එකක්. ඒක ක‍්‍රියේටිව් දෙයක් එක්ක සම්බන්ධ වෙනවට වඩා සම්බන්ධ වෙන්නෙ දේශපාලන මිත්‍යාවක් එක්ක. ඒ ඇඞ්වර්ටයිසින් හරියට ජැක්සන් ඇන්තනිගෙ ඉතිහාසෙ වගේ. සිංහල කියන ඇඞ්වර්ටයිසින් සංස්කෘතියෙන් වුණේ ඇඞ්වර්ටයිසින් කියන එක ආයිමත් මේ ¥පතේ සීමාවන් ඇතුලෙ හිර කරන එක.
මං කැමති ඇඞ්වර්ටයිසින් වල තියෙන ඒ ඉංග‍්‍රීසි හිපි කමට. ඉංග‍්‍රීසිය ලොකු වෙන්න ගත්තෙ ඒ පරම්පරාව හින්ද නෙමෙයි. ඇඞ්වර්ටයිසින් වලට ආපු සිංහල පරම්පරාව හින්දමයි. සිංහල දන්නෙ නෑ වගේ ඉන්න ඒ අය ට‍්‍රයි කරන්න ගත්තා. ඇත්ත පංතිය එළි වෙනවට බයේ ඒ ගොල්ලො හු`ගක් අවුල් වුණා. මේකෙ අනික් කොණ විදිහටයි සිංහල ඇඞ්වර්ටයිසින් සංස්කෘතිය එන්නෙ. ඒක අජූතයි. කුහකයි. කැතයි. බොල්. සමහර ඒ වගේ ඒජන්සි වල තාම උදේ ජාතික ගීයට කෙළින් හිටගෙන ඉන්න වෙනවා. ඇඞ්වර්ටයිසින් වල තිබිච්ච නිදහස වෙනුවට ජාතිකත්වය කියන සීමාව එන්න ගන්නවා.
ටීවී ආපු මුල් කාලෙ බටහිර වගේ වෙන්න ට‍්‍රයි කරපු ඇඞ් මැද්දෙන් ආපු ‘මාමේ අන්දරේ’ ‘මහදැනමුත්තයි ගෝලයො රොත්තයි’ වගේ ඒවා ඇරුණම අදහසක් ඇතුව අපේ ඇත්ත තැනකින් වැඩ කරන්න ගත්තෙ දිලීප. දිලීපගේ ඇඞ් වල බොරු මහේශාක්‍ය සිංහලේ තිබ්බෙ නෑ. ඒ වෙනුවට අපිට ළ`ග ඇත්තක්, ඉන්සයිට් එකක් ඒවයෙ තිබ්බ. ජගරි වලට දිලීප කරපු ඇඞ් එක එහෙම ඇඞ් එකකට එහා ගිය රසක් ඉතුරු කරනවා. සිංහලට ළංවෙනවට වඩා ඒ ඇඞ් ට‍්‍රයි කරන්නෙ ජීවිතේට ළංවෙන්න.
දිලීපගෙ ඇඞ් වල (මං මෙතන හිතාගෙන කතා කරන* ලොකු තාක්‍ෂණික විපර්යාස නෑ. මහා සිනමාවෙ ෂොට් නෑ. හරියටම කතාව කියාගෙන යන සරල රූප පෙළක් විතරයි. (මේ වෙද්දි දිලීපත් කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි ඇඞ් කරනවා. චීස් කැකර් සහ මව්බිම පත්තරේට කරපු ඇඞ් ටික වගේ ඒවා හොඳටම අබලන්* අනිත් අය සිංහල කියල හිතන්නෙ එකතැන තියාගෙන ඉන්න දුර රූපෙකට. එක ෂොට් එකේ කතාව වෙලා ඉවර වෙන එකට. ඒක සිංහල නෙමෙයි ‘වෙන්න සිංහල’.
ඒත් ප‍්‍රගීත් මේ කියන කතාව ඇත්ත. කැම්පේන් එක ඉදිරිපත් කරන්නෙ සිංහලෙන් නම් ඒක ක්ලයන්ට් ළ`ගට දහ පාරක් යන්න වෙද්දි ඊට වඩා පට්ට ගොන් අදහසක් ඉංග‍්‍රීසියෙන් කළොත් එක පාරින් වැඬේ ගොඩ යන වාර අනන්තයි. ඒ වගේම ඒජන්සි ඇතුලෙ වුණත් ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් වෙන අදහසට වැඩි බලයක් තියෙන තැන් ගොඩයි. ඒත් ඒකට විසඳුම සිංහල ඇඞ්වර්ටයිසින් සිංහල ඇතුලට අරන් යන එක නෙමෙයි. සිංහල ඇඞ්වර්ටයිසින් ඇතුලට අරන් එන එක. මේ දෙක වැඩ දෙකක්. දිලීප කරන්නෙ මං කියන දෙවෙනි එක. ඒක උපසංස්කෘතියක් විදිහට ඇඞ්වර්ටයිසින් ඇතුලෙ තියෙන, සිංහල බෞද්ධ සමාජයෙ නැති ‘නිදහස’ වාරණය කරන්නෙ නෑ.
ඒත් දෘෂ්ටිවාද වලින් එලියට ඇවිත්, අපේ එදිනෙදා ජීවිතේ දැනෙන තැන් වලින් කතා කරන වෙනස් හැඩයක් තියෙන ප‍්‍රකාශනයක් ඇඞ්වර්ටයිසින් ඇතුලෙ අපිට හදන්න වෙනවා. වාණිජමය හැටියෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්නත් වෙනවා. ඒකට හරියන සංකල්ප විතරක් නෙමෙයි රූප සහ ලියන භාෂාවන් හදන්න වෙනවා. මං මේ කියන්නෙ ටීවී ඉස්සරහ මෙගා දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඇ`ගට නොදැනී බහින ඇඞ්වර්ටයිසින් කලාවක් ඕනෙ කියන එක නෙමෙයි. ඒ අයව ටිකක් හොල්ලන, ඒ හෙල්ලිල්ල ඇතුලෙ ඒ අයව පොළඹන ඇඞ්වර්ටයිසින් ඕන කියන එකයි. ඒක භාෂාමය හිතීමෙන් එහා එකක්. ඕන කෙනෙකුට දැනෙන තැනක්.
ඇඞ්වර්ටයිසින් කියන්නෙ 20 වෙනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ටතම කලා මාධ්‍යය.
-මාර්ෂල් මැක්ලූහන්
මං ප‍්‍රගීත්ව උපුටලා ෆේස්බුක් එකේ දාන්නෙ මේ ගැන සංවාදයක් හදන්න. ඉංග‍්‍රීසි විරෝධයක් හදන්න නෙමෙයි. ඇඞ්වර්ටයිසින් ඇතුලෙ බඩු විකුණනවට වඩා එහායින් මොකක් හරි අලූත් අදහසක් එලියට එන්න ඉඩක් ඕන නිසා. එන්න එන්නම ලංකාව වගේම ලංකාවෙ ඇඞ්වර්ටයිසිනුත් පිරිහෙනවා. වෙනස් දෙයක් එක්ක අවදානමකට මූණ දෙනවට වඩා පරණ එකක් එක්ක ඔහේ යන්න ක්ලයන්ට්ලා වැඩිය කැමතියි. එතකොට අපි එම්බාම් කරන උන් වගේ එකම මිනියට ආයිමත් ආයිමත් පව්ඩර් දානවා.
මං උපුටාගත්තෙ ඒ බාරගැනීමට අනින හොඳ ටොක්කක්. මට ඒ ටොක්ක ඇන්නෙ කවුද කියලා වැදගත් නෑ. ටොක්ක විතරයි වැදගත්.
-චින්තන ධර්මදාස
No comments:
Post a Comment