Saturday, April 28, 2012

ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න

විදර්ශන කන්නන්ගර යුධ සිනමාව ගැන දේශනේකදි මට අම්බානක බැන්නා කියල යාලූවෙක් කිව්වා.
මොනවා කියලද බැන්නෙ?

උඹයි උඹේ ලොකු අයියා බූඩියි දෙන්නම ගැන කියල බැන්නා.
උඹට දේශපාලනේ ගොඬේ වැඩක් වෙච්ච එක ගැනත් කිව්වා.
ඒ මට හම්බුණ අසම්පූර්ණ  ඕපාදූපයක්.
උඹත් එක්ක විදර්ශන අවුලෙන්ද ඉන්නෙ? සමහරු ඇහුවා.

බනින එක අවුලක් නෙමෙයි. වැඩකදි ඊට සාපේක්‍ෂ කණ්ඩායම් හරි මතවාද හරි එක්ක ගැටෙන්න  ඕනි. ඒකෙන් සංවාදයක් ඇති වෙනවා. උණුසුම් වෙනවා. අනිත් හැමදේටම වඩා ඒක වටිනවා.

ඒත් ඒ බැනුම ඊට වඩා සාධනීය තැනක් වෙනුවෙන් පාවිච්චි වුණා නම් මට සතුටුයි. දේශපාලනය ගොඬේ වැඩක් කියල මං කියන එකට විරුද්ධව ඒ විදිහෙ සද්දයක් එන එකත් ලොකු දෙයක්. නැත්තං ගොඬේ වැඩක් කියල කියන්නවත් දේශපාලනයක් නැති වෙනවා. සහ ඒක ගොඬේ වැඩක් නෙමෙයි දියුණු නාගරික වැඩක් කියල පෙන්නන්න විදර්ශන වැඩ කරනවා නම් ඒක තවත් හොඳ වෙයි. මොකද මේ අහෝසි වීගෙන යන වේගය මටත් දරා ගන්න අමාරුයි. ඒක නිසා ප‍්‍රතිවිරෝධය පවා හුදකලාව නැති කරනවා. ජීවිතය දනවනවා.
බූඩිගේ ‘මාතා’ මං විවේචනය නොකළ එක ගැන හුගක් චෝදනා ආවා. බූඩිගේ චිත‍්‍රපටිය බලලා මං මට කියන්න පුළුවන් තරම් කෙලවරට ගිහින් ඊට පස්සෙ නතර වුණා. එතනින් එහා මට තියෙන්නෙ බූඩි ගැන ආදරය. ඒක විවේචනය කරන්න මට බැහැ. ඒත් මං බලාපොරොත්තු වෙනවා කවුරු හරි මගේ සීමාවත් විවේචනය කරමින් බූඩිගේ සිනමාව දරුණු විදිහට ප‍්‍රශ්න කරයි කියල. ඒක වෙන්න  ඕන දෙයක්. ඒත් ඒ ප‍්‍රශ්න කිරීම වෙනුවට සිද්ද වෙන්නෙ මෝඩ විදිහක්. මං බූඩිව විවේචනය නොකරපු එකේ එල්ලෙන්න ගන්නවා.

මං මොකක් හරි ගැන කියන කොට මං එතන එක අදහසක් විතරයි. ඒ දේ කතාවට ගන්න, ඒ දේ සම්බන්ධ සංස්කෘතිය තේරුම් ගන්න මං අදහසක් පළ කරනවා. ඒක මගේ සීමිත අත්දැකීම් පරාසයකට සාපේක්‍ෂයි. මගේ අදහසේ උපරිම තේරුම වෙන්නෙ ඒ ගැන ඊට ප‍්‍රතිවිරුද්ධ සහ පක්ෂ අදහස් මතුවෙමින් වඩා ගැඹුරකට ඒ සංවාදය යන එක. අපි ඒ අදහසත් එක්ක විවිධ වැඩ කරන එක. සජීවී වෙන එක. ඒ ඇරුණම ඒක කේවල සත්‍යයක් වෙන්නෙ නෑ.

උදාහරණයක් විදිහට මට වර්කොහොලික් ගැන (වැඩට ඇබ්බැහිය ගැන) වෙනස් අදහසක් තියෙනවා. ඒක ආධ්‍යාත්මික මානුෂීය දෘෂ්ටිවලට පටහැණියි. මට අනුව වර්කොහොලික් වීම කියන්නෙ පරිපූර්ණ අත්දැකීමක්. ඒ වැඩය සහ වැඩය තුල තමන්, වැඩය තුල තමන් නැති වීම, ඒ විශාල වැඩ පරාසයක තමන්ව දියවී යාම වගේ විශාල ආධ්‍යාත්මික පරාසයක වින්දනයක් වර්කොහොලික් වීම ඇතුලෙ තියෙනවා. සරලව කිව්වොත් අපි කරන වැඬේ ගැන අපිට තියෙන්නෙ වහල් අදහසක් නෙවෙයි නම්, ඒ වැඩය සහ තමන් අතර සංවාදයක් පවත්වා ගන්න පුළුවන් නම්,  අපේ එළඹුම අපේ ස්වාමීත්වය පැත්තෙන් නම් ඒ වගේ තැනක වර්කොහොලික් වීම කියන්නෙ සුරතාන්තයක් වගේ දෙයක්. තමන්ව උපරිමයෙන් යෙදවෙන, ඒ තුල නැවත තමන්ව නිර්මාණය වන වෘත්තයක් ඇතුලෙ සුවදායීව කැරකෙන්න පටන් ගන්නවා.

‘ඒ වුණාට ජීවිතයක් නෑ’
‘මට මාව නැති වෙනවා වගේ දැනෙනවා’
වැඩ කරද්දි මගේ සමහර යාලූවො කියනවා.
 ඒ ගොල්ලො මාක්ස් කියපු පරාරෝපණය තාම වැඩ ඇතුලෙ අත්විඳිනවා. මෙතනදි මට කල්පනා වෙන්නෙ මේ ‘වැඩ ’ කියන එකට පරිබාහිරින් කතා කරන ජීවිතය ඇත්තටම තියෙනවද කියන එක. සරල විදිහට ඔෆිස් එකේ වැඩ හින්ද පවුලෙ සම්බන්ධතා මග හැරෙන ස්වාමියෙක් ගමු. ඔෆිස් එකේ කරන වැඩ වලදි එයාට දැනෙන්නෙ ආරක්‍ෂිත හැඟීමක්. තෘප්තිමත් බවක් (වර්කොහොලික් කෙනෙක් නම්). තමන්ගෙ දක්ෂතාවන් හැකියාවන් තවත් තියුණු වෙන ඉඩ ප‍්‍රස්ථා. ඒත් ගෙදර අපි නැවත නැවත කතා කරන පවුල් සම්බන්ධතා ඇතුලෙදි මේ චරිතෙට වෙන්න ඉඩ තියෙන්නෙ මොනවද? පවුලේ වගකීම් දරන්නා වෙන්නෙ ඔහු. ඒ වගේම නිතර ආර්ථික සමාජීය අනාරක්‍ෂිතතා මුණගැහෙන කලාපයක්. තමන්ගෙ දක්ෂතා හෝ තමන්ගෙ තෘප්තිය මුණ නොගැහෙන තමන්ගේ ජීවිතය අනුන් වෙනුවෙන් පූජා කිරීමට සිදු වන අකාර්යක්‍ෂම සම්බන්ධතා කලාපයක්. ටිකක් හිතලා බැලූවොත් අපිට පේන්න ගන්න කැත ඇත්තක් තමයි අපි මනුස්ස කියලා කියන හැම සම්බන්ධතාවක්ම අකාර්‍යක්‍ෂමතාව පදනම් කරගෙන තියෙන වග. කාර්යක්‍ෂම වඩා ඵලදායී සම්බන්ධතා ඇතුලෙ මනුස්සකම් කියල වෙනම දෙයක් ගැන හිතන්න උවමනා වෙන්නෙ නෑ. ඒක ඇතුලෙදි පුද්ගලයාට පරිපූර්ණත්වයක් දැනෙන්න ගන්නෙ නිරායාසව.

වර්කොහොලික් මගේ යාලූවො හැම කෙනෙක්ගෙම එයාගෙ මිනිස් සම්බන්ධතා කලාපය තිබුණෙ වැඩ පරිසරයට වඩා අවුල් තැනක. උදා විදිහට ඒ ගොල්ලොන්ගෙ පෙම්වතියන් පවා ආදරය කියන්නෙ ඉල්ලීමක් කියන තැනට සම්බන්ධතා අරගෙන ආවා. ඒ ගොල්ලොන්ගෙ බිරින්දෑවරුන් ආදරය කියන්නෙ ආර්ථිකය කියන තැනට කතාව අරගෙන ආවා. ඒ ගොල්ලොන්ගෙ දෙමව්පියන් ආදරය කියන්නෙ වගකීම් කියන තැනට දේවල් අරගෙන ආවා. ඒ හැම වෙලාවකදිම ආයතනගත වැඩ පරිසරය ඒ ගොල්ලොන්ට සැනසිල්ලක් අරන් ආවා. වර්කොහොලික් කියන්නෙ ඒකට.

හැම ඇබ්බැහියක්ම කියන්නෙ මගහැරුණු යම් තැනක්. සිගරට් බොන එක නවත්තන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතන්න කියල මං කියන්නෙ ඒකයි. ඒ සිගරට් එකත් එක්ක තොල් අතරට කාන්දු වුණු ඒ ජීවිතේ මගහැරුණු ආශාව ඊට පස්සෙ සදහටම නොපෙනී යාවි. වෙන මොකක් හෝ මානසික අවුලක් විදිහට ඒක ස්ථාවර වේවි. සිගරට් අරක්කු නොබොන ගොඩක් ප‍්‍රතිපත්තිවාදියො නරුම විදිහක් ගන්නෙ ඒකයි.

වර්කොහොලික් කියන්නෙත් ඒ වගේ මගහැරීමක් ගැන ප‍්‍රකාශනයක්. ඒ මනුස්ස සම්බන්ධතා. ඒ සම්බන්ධතා වලින් තවදුරටත් තමන්ව උණුසුම් වෙන්නෙ නෑ. ඊට වඩා හුදකලා විශ්වයක සකස් කරන ලද සංස්කෘතික පසුතලයක ජීවිතය තෘප්තිකර වෙනවා. වැඩ නැත්නම් කාර්යාල කියන්නෙත් නිර්මාණය කරපු සංස්කෘතියක්. කර්මාන්තමය සම්බන්ධතා එක්ක ඒ සංස්කෘතික වපසරියන් සහ සම්බන්ධතා රටා පුළුල් වෙනවා. ඒක සමහර විට එකතැන පල්වෙන සමාජ සම්බන්ධතා රටාවට වඩා එහාටත් පුළුල් වෙන්න පුළුවන්. එතනදි මිනිස්සු වර්කොහොලික් වෙනවා. ඇත්තටම ඒ වෙනකොට වැඩ ඇරෙන්න වෙන පිටත සංස්කෘතියක් නෑ. සමාජ ජීවිතයක් නෑ. ඒක උපකල්පනයක් විතරයි. සමාජ සම්බන්ධතා කර්මාන්තමය සම්බන්ධතා වලටත් වඩා අපරිණත තැනක වර්කොහොලික් කියන්නෙ දැනුවත් තෝරා ගැනීමක්. නැත්තං එතනින් එහාට තියෙන්නෙ ඩිප්‍රෙෂන්.

ඒත් මේක වර්කොහොලික් ගැන පරිපූර්ණ අදහසක් නෙමෙයි. මේක එක කතාවක් විතරයි. සංවාදයක් ඇතුලෙ පුළුවන් මං මේ කියන වැඩ සංස්කෘතිය ගැන අදහස බිඳලා සමාජ සංස්කෘතියක් ගැන විශ්වාසය තහවුරු කරන්න. ඒක අවශ්‍යයි. එතනදි මාව විවේචනය වීම අනිවාර්යයි.
විවේචනයට වඩා භයානක නිහැඬියාවයි. වාරණයයි.

මෑතක චිත‍්‍රපට සම්බන්ධ සඟරාවකට ලියන්න කියලා මට ආරාධනාවක් ආවා. මං මගේ අදහස් මං කතා කරන බාසාවෙන් ලිව්වා. පස්සෙ මට සඟරාවෙ කර්තෘගෙන් කෝල් එකක් ආවා.
‘ඔයාගෙ අදහස් ඔක්කොම හොඳයි. කිසි ගැටළුවක් නෑ. බැරිද අපිට භාෂාව ටිකක් ලිඛිතෙට ගන්න’
‘ඒ භාෂාවම තමයි මගේ වැඬේ. අදහස මට  ඕන විදිහට කියන්න ඒක  ඕනි’
මං කරුණු පැහැදිලි කළා.
‘ඒක තමයි. මට කිව්වා 14 එකෙනුත් ඔයාගෙ ලිපි දැම්මෙ නැත්තෙ ඒ හින්ද කියල’
එයා මගේ නොහැකියාව පැහැදිලි කළා.

මේ අපි තාම වැඩ කරන තැන. මගේ මේ ලියන භාෂාව පළකරන්න පුළුවන් එකම ජාතික පත්තරේ රන්දිව විතරයි. සංවාදශීලී ජාතික පත්තරයක් වුණාට රාවයට වත් ඒ  භාෂාවෙ දොරවල් අරින්න බැරි වුණා. ඒක මේ පුහු ඇකඩමියාවෙ ආරක්‍ෂක පවුර. දැනුම සරල භාෂාවට ගේන්න බෑ. ලියන එකත් කතා කරන එකත් එකක් නොවී දෙකක් වුණු දෙබිඩි පැවැත්ම ආරක්‍ෂා විය යුතුයි. ඒකයි එතන අදහස. මේක වාරණයක්. මගේ ලිවීමට පක්ෂ හෝ විපක්ෂ අදහස් එක්ක කතිකාවක් ඇති වෙනවා නම් ඒක වැඩක්.

කොයිතරම් වෙනස් අදහසක් වුණත් පරණ උක්ත ආඛ්‍යාත භාෂාවෙන් කිව්වොත් ඒකෙ ඒ වෙනස මැරෙනවා කියන එකයි මගේ අදහස. ඒ භාෂාව කියන්නෙ හැඟීම තීරණය කරන ආකෘතිය. පරණ අච්චුවක දාලා අලූත් අදහසක් කිව්වත් ඒක එලියට එන්නෙ පරණ අච්චුවෙ හැඬේටම. මේ නිහඬ වාරණයට වඩා විදර්ශන යෝජනා කරන විවේචනය මට ධනාත්මකයි.

ඒත් අපේ රටේ කතාකාවක් ගැන තියෙන පුහුණුව පටුයි. අදහස් ගැටෙන හැටියට වඩා ජනතාව දකින්න කැමති පුද්ගල ගැටුමයි. කියන අදහස් මොනවා වුණත් වැඩක් නැත. වඩා බල ආකෘතියක් ඇතුලෙ ඉඳන් පහර දෙන්නා ඔවුන්ට අනුව ප‍්‍රබලය. දිනුම පැරදුම ගැන මිසක් ඒ අදහස් සමග සංවාදයෙන් තමන්ගෙ අදහසක් නිෂ්පාදනය කරන ඵලදායීතාව ගැන අබමල් රේණුවක් දන්නේ නැත. මේ ඔවුන්ට රතු ඉරෙන්, වාද පිටියෙන් ඉගැන්නූ රස වින්දනයයි. යූඇන්පී ජේවීපී පටන් ඩෙරීඩා ජිජැක් දක්වාම අදහස් ගැටුම් ඔවුන්ට ගේන්නේ එකම ත‍්‍රිලකි.

අජිත් කුමාරසිරිගේ පවුල් ජීවිතය සහ ඒ ආශ‍්‍රිත කරුණු මිස සංගීතය හෝ ඔහුගේ සමාජ ගණුදෙනුව ගැන වචනයක් හෝ නොකියන ත‍්‍රිමාණ සඟරාව තමන් අජිත් ගැන දරන්නේ පුද්ගලික විවේචනයක් නොවේයැයි ගොන්පාට් කියන්නේ මේ කුණු ඇත්ත පාවිච්චි කරමිනුයි. පුද්ගලික දේ දේශපාලනයට ගෙන එනවා යැයි කිව්වත් ඇත්තටම වෙලා තියෙන්නෙ දේශපාලනය පුද්ගලික පටු තැනකට අරන් එන එකය. ඒ වුණත් මං කියන්නෙ විවේචනය හොඳය. ඒක නිහැඬියාව තරම් නපුරු නැත.

එක්ස් එකේ දීප්ති පිළ කරන ත‍්‍රිමාණ ඇතුලෙත් විදර්ශනගෙ යුද සිනමාව ගැන කතාව අතුලෙත් මං දකින එක පොදු අවුලක් තියෙනවා. ඒ විවේචනය නෙමෙයි. විවේචනයෙන් එහාට ඵලදායීතාවයක් එතන යෝජනා නොවෙන එකයි. තියෙනවා යැයි උපකල්පනය කරන යමකට (මනුස්සකම වගේ) සාපේක්‍ෂව විවේචනය ගොනු නොකර (උදා විදිහට අජිත් කුණු බක්කි වලින් අහුලපු පත්තර වලින් දැනුම ලබා ගත්තා කියල ත‍්‍රිමාණ සඟරාවෙ කියන්නෙ හරියට ඒක නොවිය යුතු දෙයක් වගේ) ඇත්තට යම් කතිකාවක් හෝ යමක් සිදුවන වේදිකාවක් නිර්මාණය වෙන තැනට මේ විවේචනය අරගෙන එන්න  ඕන. ඒක අදහස පැත්තක තියෙද්දි අදහස පළකරපු අයගෙ පුද්ගලික ජීවිතය හොයනවා වගේ ඩුප්ලිකේට් වැඩක් නෙමෙයි. ඒකට ඔරිජිනල් අදහසක්  ඕන කරනවා.

-චින්තන ධර්මදාස

1 comment:

  1. විවේචන හොඳයි. ඒත් ජීවිතේ අයිඩල් කරගන්න බැරි වීම කොයි න්‍යායාචාර්යගෙත් අවුලක් තමයි!

    ReplyDelete