Tuesday, March 6, 2012

පාර දිගේ ආයිමත් ඇවිදන් යන්න එන්න - 2 කොටස


සම්මාන සිනමාව සහ අපේ සිනමාව 
යුරෝපීය සම්මාන උළෙල වල නියෝජනය වෙන අපේ චිත‍්‍රපටි ඒ සම්මාන උළෙලවල් වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ඒවා වෙන එක ගැන මට අවුලක් තිබුණ සහ තියෙනවා. ෆෙස්ටිවල් වලට හරියන්න හදපු චිත‍්‍රපටියක් බලපු ගමන් කියන්න අපේ ත‍්‍රීවිල් එළවන අයියාත් දන්නවා.
‘ ඕක අර සම්මාන වලට සෙට් වෙනවා. අපිට සෙට් වෙන්නෙ නෑ‘
ඒ වගේ චිත‍්‍රපටි බලද්දි එයා කියනවා. මේක හරියට වෙන ෂෝනර් එකක් වගේ. දළ විදිහට කිව්වොත්, අසීමිත දුර රූපය තමයි ප‍්‍රධාන වෙන්න  ඕන. මට අනුව මේක මානව විද්‍යාත්මක ඇහැකින් අපේ මනුස්ස ගණුදෙනු දිහා බැලීමක්. මානව විද්‍යාත්මක දෘෂ්ටිය අදාල වෙන්නෙ ගෝත‍්‍ර සමාජ වලට. රංචු හෝ ගෝත‍්‍ර වශයෙන් වෙන සමූහ ඉරණමක් ගැන කතාවක් මිස තනි පුද්ගල අභ්‍යන්තරයක කතාවලට යොමු වෙන ඇහැක් නෙමෙයි මේක. මෙතනදි අපි මේ සිද්ධියෙන් ඈත ඉඳගෙනයි බලන්නෙ. ඒ චරිත එක්ක එකතුවීමක් වෙනුවට දුරස් වීමක් යෝජනා කරන්නෙ. මේක උදාසීන බලා ඉඳීමක්.

මගේ අදහස වුණේ සම්මාන උළෙල වලින්, විශේෂයෙන්ම යුරෝපීය, රටවල් හෝ කලාපයන්ට නොකියාම තහවුරු කරපු ගයිඞ්ලයින්ස් තියෙනවා. ඒවා කතාවට විතරක් නෙමෙයි පාවිච්චි කරන ෆේ‍්‍රම් එකේ ඉඳන්ම බලපෑම් කරන්න පුළුවන්. මෙතනදි සිද්ද වෙන ආර්ට් කියන එක හැදෙන්නෙ ඒ යුරෝපීය උවමනාවට සහ ඔවුන්ගේ පරිකල්පනයට අදාලව කියන එක. මේ පොලොවෙ ඇත්ත ජීවිත එක්ක හැප්පිලා හැදෙන සිනමා භාෂාවක් අපිට නෑ.

මේකට සංජීව විරුද්ධ වුණා. සංජීව විතරක් නෙමෙයි පතිරාජත් විරුද්ධ වුණා. සිනමාවේ දුර, මධ්‍යම, සමීප රූප භාවිතා වෙනවා සහ ඒක සිනමාකරුවාගේ නිර්මාණාත්මක ස්වරූපය වගේ දේකින් එහාට පතිරාජට මේක දකින්න බැරි වුණා. ඒ වෙනුවට එයා ‘ව්‍යූහවාදය‘ ගැන විස්තර කරන්න ගත්තා. ‘එක්ස්’ එකෙන් ත‍්‍රස්තවාදී විදිහට අඳුන්නලා දුන්නු ව්‍යූහවාදය සහ විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ තියරි වලින් අපේ ආර්ට් කරපු අය නන්නත්තාර වුණා.

මේ වෙද්දි ජාත්‍යන්තර සම්මාන උළෙල වල ඉහළින්ම ඇගයෙන තමන්ගේ චිත‍්‍රපටිය තියෙද්දි මං කියන කතාවට සංජීවට එක`ග වෙන්න බැරි වීම සාධාරණයි. ඒ චිත‍්‍රපටියෙ තිරකතාව ලියන්න එකතු වුණු යාලූවෙක් විදිහට ඒ සතුට මටත් තියෙනවා. සහ ඒ චිත‍්‍රපටිය ඇතුලෙ සංජීවගේ ජීවිතේ ඇත්ත දේවල් ගොඩක් තියෙනවා. මං හිතන්නෙ නෑ සංජීවට මීට වඩා ඇත්ත චිත‍්‍රපටියක් ආයිමත් කරන්න පුළුවන් වෙයි කියලත්. ඒ වගේම ඉතාම අඩු පිරිවැයකින්, පට්ට කට්ටක් කාගෙන ඒ ෆිල්ම් එක කරලා තියෙන ඉවසීම, සෞන්දර්යය මං විඳිනවා. ඒත් මේ කිසි දෙයක් අදාල වෙන්නෙ නෑ මගේ කතාවට.

මං කියන්නෙ මේ සෞන්දර්යවේදය යුරෝපීය ඇහැකින් අපි දිහා බලන විදිහක් කියන එක අපි තේරුම් ගමු. ලෙස්ටර් කුඹුරට ගිහින් කැමරාව තියලා ගැහුවෙ අපේ චිත‍්‍රපටිය නෙමෙයි. ඒ ලෙනාඞ් වුල්ෆ් ලා, අයිවර් ජෙනිංග්ස් ලා අපිව දැකපු විදිහ. ඒකෙ වැරැුද්දක් නෑ. අපි ඒ සෞන්දර්යවේදයේ ගොඩක් දුර ආවා. අපි ඒක අලූත් කරමු. ඒකයි මගේ යෝජනාව.

අපේ සිනමාවෙ තියෙන මෙහේ ඇත්ත ජීවිතේ එක්ක හැප්පිලා කරපු චිත‍්‍රපටි ආයිමත් කියවන්න  ඕන කියන එකයි මගේ අදහස. සිනමාවෙ හොඳ හෝ නරක කියලා චිත‍්‍රපටි නෑ. ඒ චිත‍්‍රපටිවල තියෙන්නෙ වෙනස් වෙනස් සෞන්දර්ය විධීන් විතරයි. ඉතින් රටක ඉස්සර ඉඳන් හැදෙන චිත‍්‍රපටිවල ලක්ෂණ එකතු වෙලා  ඕන ඒ රටේ අලූත් සිනමා භාෂාවන් නිර්මාණය වෙන්න (වෙන රටවල දියුණු යැයි සම්මත සිනමා ව්‍යාකරණ අමුවෙන්ම මෙහේ සිනමාව කියලා පාවිච්චි වෙන එක අර්බුදයක්* එතනදි අපි වඩාත් අපේ ජීවිතයට සහ මේ පොලොවට අනන්‍ය තැනක ප‍්‍රකාශනයට එළඹෙනවා. ආර්ට් එකක් සිද්ද වෙන්න පටන් ගන්නවා. ඒ විදිහෙ සිනමාවක් එක්ක අපි ගැන යුරෝපීය ආර්ට් ඇකඩමියාවට අලූත් අදහසක් දෙමු කියන රොමැන්ටික් කතාවයි මට කියන්න  ඕන වුණේ.

බොලිවුඞ් චිත‍්‍රපටි කවදාවත් යුරෝපීය උවමනාවට තමන්ගේ සිංදු සහ නැටුම් චිත‍්‍රපටි වලින් ඈත් කළේ නෑ. ඒ ලක්ෂණත් එක්කම වඩාත් දියුණු තාක්‍ෂණික තලයන් දක්වා බොලිවුඞ් චිත‍්‍රපටි වර්ධනය වුණා. දැන් සිංදු එක්කම සම්මාන උළෙල වල නියෝජනය වෙන්න බොලිවුඩයට පුළුවන්.

”මං අවධාරණයෙන් කියන්න කැමතියි, අපි ලෝක සිනමාවෙ කොටසක් සහ ඒ වගේම අපි චිත‍්‍රපටි හදන විත්තිය. අපි හදන්නෙ අපි කැමති චිත‍්‍රපටි. ෆෙස්ටිවල් කැමති ඒවා නෙමෙයි. අපිට තියෙන අවම පහසුකම් යටතේ පුදුමයි අපි කරන වැඩ ගැන. ස්ටීවන් ස්පීල්බර්ග්ට මේ පහසුකම් යටතේ වැඩ කරන්න වුණා නම් එයාට ෆිල්ම් එකක් තියා බාලම තත්වයේ ටීවී සීරියල් එකක් වත් හදාගන්න බැරි වෙයි. අපි පාවිච්චි කරන කැමරා ඔලිම්පික් ෂූට් කරන්න ගිය ඒවා තරම් පරණයි. අපිට තාක්‍ෂණය නිසා තර`ගය අවාසි වෙලා තියෙනවා. ඒත් මං අද කියනවා, ඉන්දියානු සිනමාව මේ ලෝකය පාලනය කරන්න ගන්නවා. ” ෂාරුක් කාන්

මං කියන්නෙ ජාතිකවාදී කතාවක් නෙමෙයි. ඊට පස්සෙ අබා, කුස පබා වගේ ජහජරාවල් හැදෙන්න  ඕන කියලත් නෙමෙයි. මං කියන්නෙ අපි අපේ රටේ අය බලන එක පළවෙනි කොන්දේසිය කරගත් සිනමාවක් ගැන උත්සාහ කරමු කියල. කොහොමත් සම්මාන සිනමාව දැන් පරණ වැඩියි. යුද්ධය සහ වියළි කලාපය ගැන චිත‍්‍රපටියක් කරන එකත් බෝරිං. අපි ටවුම ගැන කතා කරන්න ගමු. ක්ලෝස් අප් ෂොට් වලින් අපේ මානසිකත්වය ගැන සංවාදයට එමු. රංචු වෙනුවට තනි තනිව ජීවිතේ බාර ගමු.

අපි ‘පාර දිගේ’ පළවෙනි චිත‍්‍රපටිය විදිහට පෙන්නන්න මූලික හේතුව වුණේ ඒක. හංස විලක්, පාර දිගේ, වගේ චිත‍්‍රපටි හරහා ලංකාවෙ කියන්න පටන් ගත්ත නාගරික ජීවිතේ ගැන කතාව අතරමග නතර වුණා. ඒ කතාව අහන්න කැමති පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට තියෙනවා.

සංජීවගේ උත්තරේ වුණේ මගේ අදහස පරණ වැඩියි කියන එකයි. ඒ විදිහට සිනමා උළෙල වලින් ගයිඞ්ලයින් දීමක් නොකරන බව තමයි එයාට කියන්න  ඕන වුණේ. උදා විදිහට ඉරාන සිනමාවෙ මේ විදිහෙ දුර රූප පාවිච්චියක් නෑ කියලා එයා පෙන්නලා දුන්නා.

මට තාමත් තේරුම් ගන්න බැරි මේ තරං පැහැදිලි සරල කාරණය තේරුම් ගන්න එක අපේ චිත‍්‍රපටි හදන බහුතරය මග හරින්නෙ උවමනාවෙන්ද නැත්නම් බොරුවටද කියන එක. ඉරානෙට තියෙන ප‍්‍රමිතිය වෙනස්. ඒක ගැන යුරෝපය දන්නෙ ඉස්ලාම් පීඩනය විතරයි. ඒකට යෝජනා වෙන්නෙ ක්ලෝස් අප් සහ මිඞ් ෂොට් පදනම් වුණු රූප භාෂාවක්. මහා සිනමාකරුවෙක් විදිහට ලංකාවෙත් ගොඩක් අය ඉස්සරහට ගේන ජෆර් පනාහි කියන්නෙ මේ සම්මාන සිනමා වළල්ලෙ කෙනෙක්. මට එයා තුට්ටු දෙකේ චිත‍්‍රපටිකාරයෙක්. කළු ලෝගු ඇඳගෙන ඉන්න ගමන් පවන් ගගහා ඉන්න ගෑණු ඒ චිත‍්‍රපටි වල නිතර පෙන්නන්නෙ ඇයි?

(දේශපාලන සිනමාකරුවෙක් හැටියට පනාහි සිරගත කිරීම ගැන මගේ තියෙන්නෙ විරෝධයක්. ඒත් සිරගත වූ පමණින් එයා හොඳ චිත‍්‍රපටිකරුවෙක් කරන්න යාම ගැනත් මගේ තියෙන්නෙ ඊට වඩා ටිකක් අඩු ඒත් විරෝධයක්*

යුරෝපයෙන් අපට අප‍්‍රකාශිතව පැවරූ ඒ විදිහෙ කලා රීති පද්ධතියක් වගේ එකක් තියෙනවා කියන්න මං සංජීවගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. ඒ මං කියන දුර රූප සිනමාවෙන් එලියට ඇවිත් සමීප රූප වල පුද්ගල අභ්‍යන්තරය මතු කරන්න උත්සාහ කරපු චිත‍්‍රපටි මේ සම්මාන උළෙල වල අවධානයට ලක් නොවුණේ ඇයි කියල මං ඇහුවා. උදා විදිහට මහගමසේකර ගේ තුංමං හන්දිය, පතිරාජ ගේ පාර දිගේ, ධර්මසිරි ගේ හංස විලක් වගේ චිත‍්‍රපටි එක්ක සම්මාන ගත්ත චිත‍්‍රපටි සසඳලා බලලා චිත‍්‍රපටිකරුවෙක් විදිහට තමන්ගේ අදහස කියන්න කියලා සංජීවට මං යෝජනා කළා.

මේ විදිහෙ යුරෝපය විසින් පවරන කලා ආධිපත්‍යයක් (යටත් විජිතකරණයේ ඉඳන්ම එන* තියෙන නිසාම ‘තුන්වෙනි ලෝකයේ සිනමාව’ (තර්ඞ් සිනමා* කියලා ප‍්‍රවණතාවයක් පටන් ගන්නවා. ඒක අප‍්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමෙරිකාව යන රටවලින් එන සිනමා කැරැුල්ලක්. මේ චිත‍්‍රපටි හැදෙන්න පටන් ගන්නෙ 60-70 වගේ කාලෙ. ඒත් මේ වෙනකොටත් මේ ප‍්‍රවණතාවෙ වැඩ සිද්ද වෙනවා.

මේ තුන්වෙනි සිනමාව ඇරඹෙන්නෙ අධිරාජ්‍යවාදයේ බලපෑම තිබුණ, යටත්විජිත වෙලා හිටපු සහ ඒ අනුව දේශපාලන, සංස්කෘතික දේවල් හැඩගැසුණු රටවල. මේ වචනෙන්ම කියන විදිහට මේ සිනමා ප‍්‍රකාශනය යුරෝපීය රටවල් ප‍්‍රමුඛ පළමු ලෝකයේ රටවල සිනමා ප‍්‍රකාශනයට එරෙහිවයි එන්නෙ. පාරිභෝජනය සහ මධ්‍යම පංතිය මූලික හොලිවුඞ් සිනමාවත්, පුහු සෞන්දර්යය මිස සැබෑ දේශපාලන, සමාජ, ආර්ථික තත්ව ගැන වැටහීමක් නැති යුරෝපීය කලාත්මක සිනමාවත් යන දෙකම බැහැර කරමින් වඩාත් සක‍්‍රීය සිනමාවක් වෙනුවෙන් මේ තුන්වෙනි සිනමාවෙ චිත‍්‍රපටි හැදෙනවා.

මගේ අදහස අපි තුන්වෙනි සිනමාවට අනන්‍ය වෙන්න  ඕන කියන එක නෙමෙයි. යුරෝපීය සහ හොලිවුඞ් සිනමා සෞන්දර්යවේදයක බලහත්කාරය අපිට තියෙනවා කියන එකට සාක්ෂියක් ඒක. ඒ වගේම පසුව යුරෝපීය ආර්ට් හවුස් සිනමාවෙ දැවැන්තයෙක් වුණු සත්‍යජිත් රායිගෙ ‘පාතර් පංචාලි’ බලද්දි යුරෝපීය ආර්ට් හවුස් සිනමාවෙ දැවැන්තයෙක් වුණු ෆ‍්‍රන්සුවා ටෲෆෝ නැගිටලා යනවා. ඒකට හේතු වශයෙන් එයා අපූරු කතාවක් කියනවා.

‘ඔය ගම්මු අතින් අන අනා බත් කන හිරිකිත චිත‍්‍රපටි බලා ඉන්න මට  ඕනකමක් නෑ’

යුරෝපීය සිනමාවට නව සෞන්දර්යවේදයක් හඳුන්වා දුන් ටෲෆෝ බඳු සිනමාකරුවෙකුටත් රායිගේ ඉන්දියාව පෙණුන හැටි මේකෙන් තේරෙනවා. අඩුම තරමේ ටෲෆෝ අවංකයි ඒක එලිපිට කියන්න. ඒක හරිම සාධාරණ අත්දැකීමක්. මේ සංවේදිතා ගැන සවිඥාණක නොවී සම්මාන උළෙල වල එහෙම අප‍්‍රකාශිත එක`ගතාවයන් නෑ කියන එක නොමග යවන සුළුයි.

‘‘සිනමාව හදාරන අයට සිනමා සම්මාන උළෙලවල් ගැන තියෙන වැදගත්කම එන්න එන්නම වැඩිවෙනවා. චිත‍්‍රපටි බෙදා හැරීම සහ ප‍්‍රදර්ශනය, සංස්කෘතික වශයෙන් නව තත්වයන් නිර්මාණ කිරීම, ජාතික සහ අන්තර්ජාතික මට්ටමෙන්  මාධ්‍ය  මගින් මේ සම්මාන වලට ලබා දෙන වැදගත්කම ආදිය නිසාම මේ වාර්ෂික සම්මාන උළෙල වල භූමිකාව ගැන පරීක්‍ෂා කිරීමේ වැදගත්කම තවත් වැඩි කරනවා. බිල් නිකලස් පුරෝගාමීව අරඹන ලද මේ පර්යේෂණ තුලින් පැහැදිලි වුණු කාරණයක් වුණේ මේ සම්මාන උළෙලවල් වෙනත් ක‍්‍රියාකාරීත්වයන්ට සහාය සලසන සහ ඒවා එක්තැන් කරන කාර්යයට වඩා ඔවුන්ගේම අදහසක්, න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් වැඩ කරන බවයි. සිනමාවේ සංස්කෘතික සහ කර්මාන්තමය වශයෙන් වැදගත් ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඒකාබද්ධ කරන අතරම මේ සම්මාන උළෙලවල් ඔවුන්ගේම ආර්ථිකයක්, සමාජ ආර්ථික පෙළඹවීම්, වෘත්තිමය සහ දේශපාලනික ගතිකයන් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයකට අදාල ලෙස මෙහෙයවන බව පැහැදිලි වුණා.’’

-ඬේවිඞ් ආච්බෝල්ඞ් සහ මිචෙල් මිලර්

(එක කොටසකින් මේ කතාව ඉවර කරන්නයි  ඕන වුණේ. ඒත් ඉඩ මදි. ඒත් කතාව දික්ගැස්සුණා. පත්තරේ තව දවසක් මේකෙ ඉතුරු කොටස ලියනවා වෙනුවට කල්ට් බ්ලොග් එකේ මේ කතිකාව සමාප්ත කරන්න මං හිතාගත්තා*

-චින්තන ධර්මදාස


No comments:

Post a Comment