Tuesday, July 10, 2012

විද්‍යා ප‍්‍රබන්ධ සහ මිත්‍යා ප‍්‍රබන්ධ

මං විශ්වාස කරන්නේ දැනුමට වඩා පරිකල්පනය ශක්තිමත් බවයි. ඉතිහාසයට වඩා පුරාවෘත්තය (මිත්‍යාකල්පිතය) වැදගත් බවයි. සිද්ධි වලට වඩා සිහින බලවත් බවයි. බලාපොරොත්තුව සෑම විටම අත්දැකීම අභිභවා යන බවයි. දුකට ඇති පිළියම සිනහව බවයි. ඒ වගේම ආදරය මරණයට වඩා ශක්තිමත් බවයි.
-රොබර්ට් ෆුල්ගුම්

රොබර්ට් ෆුල්ගුම් කියන්නෙ ඇමෙරිකානු ලේඛකයෙක්. විශේෂයෙන්ම එයාගෙ කෙටි රචනා විලාසයත් එක්ක එයා ගොඩක් ජනප‍්‍රිය වුණා. කාණු කපන්නෙක්, පත්තර මිටි ඔසවාගෙන යන්නෙක්, වීදී සංගීතකරුවෙක් සහ සේල්ස් රෙප් කෙනෙක් විදිහටත් රස්සාවල් ගාණක්ම කරන ෆුල්ගුම් එයාගෙ පළවෙනි කෘතිය ‘ ඕල් අයි නීඞ් ටු නෝ අයි ලර්න්ඞ් ඉන් කින්ඩර්ගාඞ්න්ස්’ වලින්ම බෙස්ට් සෙලර් කට්ටියට එකතු වුණා. හරිම පුංචි දේවල් වල, රේක්කයකින් කුණු ඇදීම වගේ තැන් වලින් ජීවිතේ ගැන ගැඹුරු තැන් ස්පර්ශ කරන එක එයාගෙ දක්ෂකමක්. ඒක ශිල්පයකට වඩා ගැඹුරුයි. මහපාරෙන්ම ඉගෙන ගත්ත දර්ශනයක් ඇතුලෙන් ළමයෙකුගෙ ඇස්වලින්  ජීවිතේ දකින විදිහ නිසා ලේඛකයෙකුට වඩා එහාට ආධ්‍යාත්මික ගණුදෙනුවක් පටන් ගන්න ෆුල්ගුම්ට පුළුවන් වුණා.

මට ඒ කතාව වැදගත් වෙන්නෙ මිත්‍යාකල්පිත ගැන කොටස හින්ද. ඒ වගේම මිත්‍යාකල්පිත සහ යතාර්ථය කියන බෙදීම ෆුල්ගුම් කියනවා වගේ අනෙක් හැම ප‍්‍රදේශයක් එක්කමත් සම්බන්ධ වෙනවා. ඒක මිත්‍යාව සහ යතාර්ථය ගැන තනි ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒක දෘෂ්ටිවාදයක්.

රන්දිව පත්තරේ කවදාවත් කියවන්න උනන්දු නොවුණු ලිපියක් මං ගිය සතියෙ කියවන්න ගත්තා කම්මැලිකමට. ඒක නිලන්ත හෙට්ටිගේ කියල කෙනෙක් අතින් භූත දේව සංකල්ප ගැන දිගට ලියවෙන ලිපියක්. මේ කාලෙ හැම මාධ්‍යයකින්ම විකුණන රාවණා ආපහු නැගිටීම වගේ ආතල් වලට ළැදි අයගෙ කියවීමේ කලාපෙ වැඩක්. ඒත් මං නිකමට මේ ලිපිය කියවගෙන ගියා. ඒකෙ හැටියට මේ නිලන්ත කියන ලේඛකයා යම් විදිහකින් නොපෙනෙන ලෝකයත් එක්ක ගණුදෙනු කරනවා. එයාට මළවුන් පේ‍්‍රතයින් දකින්න පුළුවන්. අතීතයේ රිටිගල ජයසේන එක්ක කතා කරන්න පුළුවන්. මේ විස්තර එක්ක එයා වෙනත් ග‍්‍රහලෝකවලට පවා යනවා. පිටසක්වල ජීවින් ගැන එළිකරනවා. ඇත්තටම ඒක කාල් සගාන්ටත් වඩා දියුණු විද්‍යා ප‍්‍රබන්ධයක් වගේ. ඒ පරිකල්පනය ජේම්ස් කැමරන්ට අහුවුණොත් අනිවාර්යෙන් ‘ඇවටාර්’ වලට එහා ගිය ෆිල්ම් එකක් ගහනවාමයි.

මේ ලිපිය මම සත්‍ය සහ අසත්‍යය හොයන තර්කය ඇතුලෙ කියවන්න ගියා නම් මට මේ ෆන් එක එහෙම්පිටින්ම නැති වෙනවා. ප‍්‍රශ්න කිරීම වෙනුවට ඒ ලෝකෙ ඇතුළට යන්න ඉඩ දීමෙන් ඒ මිත්‍යාකල්පිතය ඇස් වලින් දකින්න, විඳින්න පුළුවන් වෙනවා. මේක බොරුවක් කියලා තර්ක කරන පිරිස සහ මේක ඇත්තක් කියලා තව තව බණභාවනා කරන්න පෙළඹෙන දෙගොල්ලොම මේ කල්පිතය ඇතුලෙ ඇවිදින්න යන එකෙන් තමන්ට අත්දකින්න තිබුණු ලොකු දෙයක් මගඇර ගන්නවා. මේ කතා කරන දේවල් අපිට දැනෙනවා. ඒ සංකේත අපි අඳුරනවා. ඒක අපේ සාමූහික අවිඥාණයේ කොටසක්.

සයිමන් නවගත්තේගමගෙ මිත්‍යාමතික පරිකල්පනය අපිට මගඇරෙන්නෙත් මේ විදිහටමයි. දඩයක්කාරයාගේ සංකීර්ණය එක්ක සයිමන් කියාගෙන යන කතා පේලිය අපේ කේ කේ සමන් සහ වික‍්‍රමාරච්චි සමන් වගේ අය කළේ ඒකත් එක්ක යතාර්ථයේ තියෙන සම්බන්ධතා හොයන්න ද`ගළපු එක. මනෝ විශ්ලේෂණය සහ තවත් නොයෙකුත් තාර්කික සම්බන්ධතා පාවිච්චි කරමින් ඒ ගොල්ලො මේ කෘති ප‍්‍රහේලිකා විදිහට අරන් ලිහන්න උත්සාහ කළා. ඒත් සයිමන්ගෙ කෘති තියෙන්නෙ විශ්ලේෂණයට නෙමෙයි. ඒවා කියවන්න පුළුවන් සංස්ලේෂී විදිහට විතරයි.

අපේ පුරාතන බහිරවයන් නාග කන්‍යාවන් එක්ක සයිමන් වන්නි වනාන්තරේ ඇතුලට යනවා. වන සත්තු එක්ක කතා කරනවා. සයිමන්ගෙ පොත් ලිහන්න ලියපු ලිපි කියවන කොට මට මතක් වෙන්නෙ දොස්තර හොඳහිත. දිය රකුස් නිතරම ඇවිත් දොස්තරගෙන් අහනවා, ‘සත්තු එක්ක කතා කරන රහස මට දෙනවද නැද්ද?’ කියල. ඒ වගේ හැමෝම සයිමන්ගෙන් අහනවා, ‘මේ කතා ලිහන යතුර මට දෙනවද නැද්ද?’ කියල. සයිමන් පව්. එයාට වෙන්නෙ ධාතුසේන රජ්ජුරුවන්ට වෙච්ච දේමයි.

සයිමන් ලියන්නෙ අපේ පුරාවෘත්ත වල එන සංකේත එක්ක. ඒ සංකේත එක්ක සයිමන් අපේ ආශාවන් නිරාශාවන් පටළනවා. ඇස් දෙක වහගත්තම අපිට පේන අවිඥාණයේ ලෝකෙට අපිව ඇදන් යනවා. ඒක ඇතුලෙ විශ්ලේෂණය සහ තර්කය අහෝසියි. හීනයක් ඇතුලෙදි වගේ. පොලොව යට පරම්පරා හතක අත්දැකීම් එක්ක අපි ඉන්නෙ. නිලන්ත හෙට්ටිගේ කියන්නෙ ප‍්‍රවෘත්තියක්. ඒකෙ තියෙන්නෙ කරුණු. සයිමන් සමස්ත කල්පිතයම ආයිමත් පණපිහිටුවනවා. සයිමන්ගෙ කෘතිවලට අදාල ඒ පුරාණ සංකේත තවත් පුළුල් කිරීම පැත්තෙන් මිස ඒවා විද්‍යාවන් තරමට අකුළන්න යන එකෙන් ඒ කෘති ගුප්ත වුණා. කාටවත් නොතේරෙන මන්තරපොත් වගේ වුණා.

‘මිත්‍යාකල්පිතය කියන්නෙ ලෝකය, එහි ඉතිහාසය සහ එහි දෛවය ගැන කියනවට වඩා වෙනස් කාරණයක්’ - පෝල් රිකූවර්

නලින්ද සිල්වා මෑතක පෝර වල ආසනික් තියෙනවා කියලා ප‍්‍රශ්නයක් ඇද ගත්තා. ඒක ගැන විද්‍යාත්මක අදහස් දැක්වීමක් වෙනුවට එයා කිව්වෙ ඒක විෂ්ණු දෙවියන්ගේ අවතාරෙකින් දැනගත්තා කියල. මේකෙන් එයා ජෝක් වුණා. ඒත් නලින්ද සිල්වා මෙතන කියන්නෙ සීරියස් කතාවක්.

එයාට අනුව විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්. ඒක තවත් වෙනස් කතාවක්, එච්චරයි. නිව්ටන්, අයින්ස්ටයින් කියන්නෙත් කතාකරුවො. ඉතින් ආසනික් අවුල විද්‍යාත්මකව පැහැදිලි කරනවා කියන්නෙ බටහිර විසින් (එයාට අනුව බලෙන් පටවපු) විද්‍යා ප‍්‍රබන්ධයට සේවය කිරිමක්. ඒක හින්ද එයා අපේ මිත්‍යාකල්පිතයකින් ඒකට උත්තර දෙනවා. ආසනික් කතාව සත්‍ය වීම හරහා මේ මිත්‍යාකල්පිතය ශක්තිමත් කරන්නත් එයාට  ඕනවෙන්න ඇති.

ඒත් මිත්‍යාකල්පිත මේ විදිහට අරන් එන එක ජෝක් එකක්. ඒ කල්පිතය නැවත විද්‍යාවක් බවට පත් කරන්න (පවතන විද්‍යාව වෙනුවට වෙනස් විද්‍යාවක්) නලින්ද සිල්වා කරන මේ ට‍්‍රයි එකම තමයි සයිමන්ව ලිහන්න ගිහින් ‘කේකේ’ කරන්නෙත්. ඒ කල්පිතය තවත් විශාල කල්පිතයක් බවට පත්කරන්න පුළුවන් වුණාට ඒක තවත් තර්ක ක‍්‍රමයක් එක්ක ගැටෙන්න හෝ ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන්කමක් නෑ. ඒක විහිළුවක් වෙනවා. මේකෙ එක කොණක චන්දන ජයරත්න වගේ අයයි අමිතානන්ද වගේ ටීවී හාමුදුරුවරුයි ඉන්නවා.

තව කොණක නලින්ද සිල්වා සහ රාවණාකාරයො වගේ පිරිස ඉන්නවා. අමිතානන්ද හාමුදුරුවො මෑතකදි බණක කියනවා සයිබීරියාවෙ කැණීමකදි අපායෙ සද්ද ඇහෙන්න ගත්තා කියල. මේක ෆිල්ම් එකකින් කපලා ගත්ත සවුන්ඞ් ට‍්‍රැක් එකක් කියලා ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් ඒ ගොල්ලොන්ට අදාල නෑ. අදාල වෙන්නෙ ඒ මිත්‍යාව ඇසුරෙන් මාර්කට් කළ හැකි තවත් මිත්‍යාවක් නිෂ්පාදනය කරන එක. මිත්‍යාවන්ට ඒ විදිහෙ වෙළඳපොලක් තියෙනවා. ඇත්තටම ඒ වෙළඳපොල විද්‍යාවෙ වෙළඳපොලට වඩා ලොකුයි. සියලූ කලාවන්, සංස්කෘතීන් සහ ඉතිහාසයන් තීන්දු වෙන්නෙ මේ වෙළඳපොල හරහා. උදා විදිහට නිර්වාණය කියන්නෙ මේ වෙළඳපොලේ ඉහළ ඉල්ලූමක් තියෙන සංකල්පයක්.

”ඉතිහාසය කියන්නෙ වර්තමානයට. ඒකයි හැම පරම්පරාවක්ම අලූත් ඉතිහාසයක් ලියන්නෙ. ඒත් ගොඩක් අය හිතන්නෙ ඉතිහාසය නිෂ්පාදනය වෙලා අවසන් කියල. ඒක පුරාවෘත්තයක් කියල”
-ඊ එල් ඩොක්ටරොව්

ඒත් නලින්ද සිල්වා මේ වැඬේ කරන්නෙ අර හාමුදුරුවරු වගේ ලාබ විදිහට නෙමෙයි. එයාට  ඕන ‘ලාංකේය’ කියන දෘෂ්ටිවාදයක් ගොඩනගන්න. සහ එයාගෙ මේ ප‍්‍රවාද ඇතුළෙන් ගොඩනගපු දෘෂ්ටිවාදයෙ තමයි මේ ආණ්ඩුව හෙළ උරුමය වැජඹෙන්නෙ. නලින්ද සිල්වාගෙ මේ ට‍්‍රයි එක දකිද්දි මට මතක් වෙන්නෙ ලියොන් ට්‍රොට්ස්කි කියන කතාවක්.

”රුසියානු ජනතාව දේශපේ‍්‍රමී මිත්‍යාවක සිට දුක්ඛිත යතාර්ථයක් දක්වා ගමනක යෙදී සිටී”
ට්‍රොට්ස්කි

අපි කොයිතරම් අපිට විශේෂ වූ ඉතිහාසයක් ගැන කියන්න මෝඩ විදිහට මේ පුරාවෘත්ත සහ මිත්‍යාකල්පිත පාවිච්චි කරන්න හැදුවත් මේ ලෝකය පුරාම මේ කල්පිතයන්ගෙ ගොඩනැගීම සමානයි. ලූවී ස්ට‍්‍රව්ස් කියන ප‍්‍රංශ මානව විද්‍යාඥයා කියන විදිහට මේ මිත්‍යාකල්පිත සියල්ල ගොඩනැගෙන්නෙ සහසම්බන්ධිත ප‍්‍රතිපක්‍ෂයන් උඩ සහ ඒ ප‍්‍රාථමික ප‍්‍රතිපක්‍ෂයන්  දියුණු හෝ ප‍්‍රාථමික භේදයකින් තොරව හැම මනුෂ්‍ය සිතීමකදිම එක හා සමානයි. (අඳුර- එළිය, ජීවිතය-මරණය) ස්ට‍්‍රව්ස් පෙන්නල දෙන විදිහට  ඕනම සංස්කෘතියක මේ මිත්‍යාකල්පිත ගොඩනැගෙන්නෙ මේ ප‍්‍රතිපක්‍ෂයන් ගැන දැනුවත් වීම සහ මේ කල්පිතය තුලින් ඒ ගැන විසඳුමක් සෙවීම කියන කාරණය වෙනුවෙන්. මේ විදිහෙන් ලෝකයේ සෑම මිත්‍යාකල්පිතයක්ම කරුණු අතින් කොයිතරම් දුරස්ථයි වගේ පෙණුනත් එක්තරා විශ්වීය ආඛ්‍යානයකට එක`ගවයි හැදිලා තියෙන්නෙ. (උදා විදිහට කන්‍යාවන්ගෙන් සිදුවන දරු උපත්, සිංහයන්ට දාව මිනිස් දරුවන් ලැබීම වගේ කතා හැම සංස්කෘතියකම මුණගැහෙනවා) ඉතින් පුරාවෘත්ත පදනම් කරගෙන යතාර්ථයේ තාර්කික එළඹුම් වලට ට‍්‍රයි කරන එකමත් දූපත් ලක්ෂණයක්.

ඒත් කාල් යුංග් කියන විදිහට මිත්‍යාකල්පිතයක් කියන්නෙ අපේ සාමූහික අවිඥාණය ගැන සවිඥාණක වෙන්න යන මොහොතක්. ඒක ෆ්‍රොයිඞ් කියනවා වගේ පුද්ගලික අවිඥාණයක් කියන සීමාවෙන් එහාට ගිහින් යුංග් ඒක සමස්ත මානව අවිඥාණයක කොටසක් විදිහට අපි දැනුවත් වීමක් කියන ආධ්‍යාත්මික තැනට අරන් එනවා. යුංග්ට අනුව හැම සංස්කෘතියකම මේ මිත්‍යාකල්පිත අතර තියෙන සමානකමට හේතුව මේක.
(යුංග් සහ මිත්‍යාකල්පිතයන් කියවීම ලබන සතියට)

-චින්තන ධර්මදාස

1 comment:

  1. පට්ට ලෙස ලයික් යැ.

    ගැටලුව ඇත්තේ පරිකල්පනය මහා පොළොවේ පැල කරන්නට වෙහෙසෙන ඒ උදෙසා නා නා විධ නස්පැත්ති කරන අයගෙනි. පරිකල්පනය, ෆැන්ටසිය හා දැනුම සමග අවශ්‍ය වන එක දෙයක් වනුයේ කාරනාවක්/කල්පිතයක්/පරිකල්පනයක් කෙතරම් සාධාරණව බාර ගන්නේද යන මිනුම් දණ්ඩයි.

    මෙම මිනුම් දණ්ඩ හැරුණු විට සියලු ආගම් ද සියලු විද්‍යාවන්ද පරිකල්පන වලම පලයන් වේ.

    ReplyDelete