Saturday, October 13, 2012

ගාන්ධිගේ දරුවෝ නොහොත් විෂ්ණු වාසු ගේ තහනම් කට උත්තරය


ජීවිතේ කියල අපි හැමෝම නගින්නෙ එකම බස් එකක නෙමෙයි. සමහරු මහ පාර වෙනුවට අතුරු පාරවල් තෝර ගන්නවා. තවත් අය ග`ග දිගේ ඔරුවල එන්න ගන්නවා. වැරදීමකින් හරි දැනගෙන හරි වෙනස් වෙනස් පාරවල් වලින් ජීවිතේ වෙනස් වෙනස් ගතවීම් නිර්මාණය වෙනවා. මහපාරෙ යන අපිට හිටි ගමන් ඒ වෙන පාරවල් වල ආපු අය හන්දි වලදි මුණගැහෙනවා. ඒ මුණගැහීම් හරියට ප‍්‍රබන්ධ වගේ. ජීවිතේ ගැන අපේ කාටීසියානු තලය ඒ මුණගැසීම් හින්ද අවුල් වෙනවා. විෂ්ණු වාසු මට ඒ විදිහෙ මුණගැහීමක්.
ඒ වගේ කතා බහ වලදී දිශානතියක් තියා ගන්න බෑ. ඒ වෙනුවට දියපාරක් දිගේ වගේ ඔහේ ගලාගෙන යන්න වෙනවා. ඒක වචන වලට එහා යන අත්විඳීමක්. වෙනස් ජීවිත මිටියාවතක ඉවුරෙ ජොයින්ට් එකක් පත්තු කරන් මං බලන් හිටියා.

(මේ ලියුම ලියන්න ගත්තෙ ලබන සතියෙ 06 වෙනිදා විෂ්ණුගේ චිත‍්‍රපටිය රුසියානු කේන්ද්‍රයේ පෙන්නන්න තිබුණු හින්ද. ඒත් උඩ ෙඡ්දෙ ඉවර වෙද්දිම විෂ්ණු කෝල් කළා. ඉන්දියානු තානාපති කාර්යාලය විසින් රුසියානු කේන්ද්‍රයට දැනුම් දීලා ඒ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය ඉන්දියාවට හානියක් කියල. ඊට කලින් මහ නායක හාමුදුරුවරු මේ චිත‍්‍රපටිය ‘කැන්ඩි’ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ඉවත් කරන්න බල කළා. මොනවා වුණත් දැන් 06 වෙනිදා චිත‍්‍රපටිය ස්ක‍්‍රීන් වෙන්නෙ නෑ. ඒක හින්ද මට මේ ලියමන එක සතියකින් අවසන් කරන්න කියල සීමාවකුත් නෑ. ඒ වෙනුවට අපේ ඉබාගාත සල්ලාපයේ සංස්කරණය නොකළ වර්ෂන් එකක් මං ලියාගෙන යනවා)

මම- මං ඉස්සෙල්ලා දැනගෙන හිටියෙ ක‍්‍රිෂ්ණ ව. ඒ ඝටම් එකත් එක්ක. කොහොමද ඝටම් ක‍්‍රිෂ්ණා විෂ්ණු වාසු වුණේ?
විෂ්ණු-  ඝටම් තමයි මං මාස්ටර් කරපු ඉන්ස්ට්රුමන්ට් එක. ඉන්දියාවෙ ගිහින් ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ මං මියුසිකොලොජි ඉගෙන ගත්තා. මියුසික් සෝෂියොලොජි. ඊට පස්සෙ මං හොංකොං ගිහින් හිටියා. ඇමරිකාවෙදි ජෑස් පර්කෂන් ඉගෙන ගත්තා.

මම- ඒ කියන්නෙ ඔයාට වියදම් කරන්න සෑහෙන සල්ලියක් තියෙන්න ඇති?
විෂ්ණු- නෑ නෑ.. මං ඉන්දියාවෙ ගිය වෙලාවෙ එහේ හිටපු ඉතාම සුන්දර මනුෂ්‍යයෙක් මුණගැහුන. මට එහේ හු`ගක් කල් ඉන්න සල්ලි තිබ්බෙ නෑ. ඒ මනුස්සයා මාව දරුකමට හදා ගත්තා. විෂ්ණු වාසු කියන නම ගත්තෙ එයාගෙන්. විෂ්ණු කියලා එයා නම තිබ්බෙ. වාසු කියන්නෙ එයාගෙ නම. මං ඒ නමත් එකතු කර ගත්තා. ඒක මගේ නිල නාමය නෙමෙයි. පාස්පෝට් එකේ තියෙන්නෙ මගේ ඒ නම නෙමෙයි.
ඒගොල්ලො හරි පෝසත් මිනිස්සු. කොම්පැණි අයිතිකාරයො. මං එහේ ඉගෙන ගන්න කල් එයා ඔක්කොම වියදම් දුන්නා. මං කොහොමත් හරිම අසාම්ප‍්‍රදායික දේවල් තමයි ඉගෙන ගත්තෙ. මං ඝානාවෙදි ඇෆ්රිකන් මිනිස්සු එක්ක ඒ ගොල්ලොන්ගෙ ඩ‍්‍රම්ස් ඉගෙන ගත්තා. කේරළ කලා මණ්ඩලම් කියන තැනට ගිහින් මං ඉගෙන ගත්තා පංච වාද්‍යම්. පංච තූර්ය වාදන අහලා තියෙනවනෙ. ඒ වගේ එකක්. මං ඒ ගැන රිසර්ච් එකක් කළා. කොහොමත් මං ආසයි දේවල් රිසර්ච් කරන්න. ඊට පස්සෙ මං ග‍්‍රාන්ට්ස් වල ඉඳිද්දිත් පොඞ්ඩක් හරි සල්ලි එකතු වුණ ගමන් ෆෙස්ටිවල්ස් වලට යනවා. මියුසික් ෆෙස්ටිවල්ස් එහෙම අතෑරියෙ නෑ. ඩාන්ස් ෆෙස්ටිවල් වුණත්. මං ඩාන්සින් එහෙම ඉගෙන ගෙන නෑ. ඒත් පොඩි කාලෙදි නුවර හොඳ ගුරුවරයෙක් ගෙන් ටිකක් නැටුම් ඉගෙන ගෙන තියෙනවා.

මම- ඔයා සිංහලද? දෙමළද?
විෂ්ණු- සිංහල. මගේ නම අර්ජුන ක‍්‍රිෂ්ණරත්නම් නෙ. ඒත් මට ඉන්දියානු සම්භවයක් ටිකක් ගෑවිලා තියෙනවා. තාත්තගේ පැත්තෙන්.
ඉතින් මං මේ ෆෙස්ටිවල් වලට යනවා. සමහර විට යුරෝපයේ පවා. මං ඩාන්සින් වලට හරි කැමතියි. ඒත් මේ රටේ කවුරුවත් එහෙම සීරියස් ඩාන්සින් රිසර්ච් එකක් කරලා නෑ. මෙහේ මිනිස්සු හරියට කොටු වෙලා. මට තියෙන ලොකුම ප‍්‍රශ්නෙ මෙහේ ලංකාවෙ කියන ආර්ට් වලට විතරක් සීමා වෙලා තියෙන එක. මේකෙන් එළියට ගිහින් ඒවාගෙන් ගන්න බයයි. ගන්න එක පැත්තකින් තියමුකො. ආර්ටිස්ට් කෙනෙක් විදිහට දේවල් බලන්න  ඕන නෙ.

අනිත් දේ තමයි මං කැමති නෑ මිනිස්සු මාව මියුසිෂන් කෙනෙක් කියලා හඳුන්වනවට. ෆිල්ම්මේකර් කෙනෙක් හරි නැටුම් විචාරකයෙක් හරි වුණත් එහෙමයි. මට  ඕන නෑ මේ වගේ සාම්ප‍්‍රදායික හැඩයකට මගේ ජීවිතේ සීමා කරන්න.

මම- කාලෙකින් මං දැක්කෙ නෑ ඔයා ඝටම් ප්ලේ කරනවා
විෂ්ණු- නැවැත්තුවා. මං මොකටද ඒකට ඇළිලා ඉන්නෙ. මං ජීවත් වෙන්නෙ සංගීතෙ කරලා නං..හෝටල් වල ප්ලේ කරලා හරි, බෑන්ඞ් ගහලා හරි, සංගීත සංදර්ශන කරලා හරි නං මං ජීවත් වෙන්නෙ මට ඒක දිගටම කරන්න වෙනවා. මට එහෙම නෑ. මං සංගීතෙ කරලා හම්බුකරන සල්ලි වලින් කවදාවත් ජීවත් වුණේ නෑ.
මං ඇඞ්වර්ටයිසින් ඒජන්සියක ක‍්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. ලොකු පඩියක් ගත්තා මං. එතකොටත් මං වෙනස් දේවල් කළා. ඉස්සෙල්ලම ඇඞ් ඒජන්සියකට සරමක් ඇඳලා ගියෙ මං. ධර්ම ශ‍්‍රී මුණසිංහ මහත්තයා ෆීනික්ස් එකට රේඩියෝ කොමර්ෂල් ලියන කොට එයා සරම ඇඳන් ආවා. මං ග‍්‍රාන්ට්ස් එකට වේට්ටියයි කුර්තා එකයි ඇඳලා ගියේ. මේ බාබරා සන්සෝනි සරම් නෙමෙයි. මීටින්ස් වලට යනකොට සමහර වෙලාවට මාව හංගනවා. මුල් කාලෙදි. ඉතින් මාත් මීටින්ස් තියෙන දවසට උවමනාවෙන්ම සරම ඇඳන් යනවා.

ඉස්සෙල්ලම කොට කලිසමක් ඇඳන් ඒජන්සියක වැඩට ගියෙත් මං. ‘මාව මං විදිහට පිළිගන්න’ ඒකයි. මට ඒක කරන්න පුළුවන් වුණා. ඒ මං දක්ෂ හින්ද. මං දැනගෙන හිටියා මං දක්ෂයි කියල. පළවෙනි ස්ලිම් අවෝර්ඞ්ස් වලදි හොඳම කොමර්ෂල් එක වුණේ ‘පෑදි දියට බොර දිය එක් වෙන්න එපා’ කියන එක. ඒක මගේ කන්සෙප්ට් එකක්. රොහාන් පියදාස තමයි ඒ ලයින් එක ලිව්වෙ. කේමදාස මාස්ටර් මියුසික් කළා.
පළවෙනි පෝලියෝ ඇඞ් එක කරෙත් මම. රොහාන් පියදාස තමයි ඒකෙත් කොපි රයිටර් හිටියෙ. එයා ජින්ගල් එක ලියලා හිරවෙලා හිටියෙ. මං කිව්වා, නීලා වික‍්‍රමසිංහ කියන්නෙ පෝලියෝ හැදුණ කෙනෙක්. එයාගෙන් මේකට එනවද අහන්න, මං කොමර්ෂල් එක ලියන්නං කියලා. එහෙමයි ඒක වුණේ. අද ගොඩක් අය මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට කමක් නෑ. මං කොහොමටත් පබ්ලිසිටි ඇනිමල් කෙනෙක් නෙමෙයි.

මම- ඇයි ඇඞ්වර්ටයිසින් දාලා යන්න හිතුණෙ?
විෂ්ණු- එක කාලයක් වෙනකොට, ඒ කියන්නෙ දෙදාහෙ අවුරුද්ද වගේ වෙද්දි මට හිතුණ ඇඞ්වර්ටයිසින් ලංකාවෙ හරි බෝරිං වේගෙන එනවා කියල. ඒ කාලෙ තිබුණ යම් සදාචාරයක් වගේ දෙයක් තිබුණ මේකෙ. අපි ටීවී එකට ලියන කොමර්ෂල් එකක් වුණත්, එතන හිටියා සමරනායක මහත්තයා කියල කෙනෙක්. එයා නණලළ හදලා එවනවා ආපහු. මේ ටීවී කොමර්ෂල් එකක. ඒත් එයා හරි ආදරෙන් තමයි ඒවා කළේ. ඉඳිද්දි අපිට හරි කරදරයක් වගේ වුණාට එයා ගියාට පස්සෙ තමයි අපිට ඒ මනුස්සයගෙ වටිනකම දැණුනෙ.
සමහර වෙලාවට මහ පිස්සු දේවලූත් තිබුණ. මං සිග්නල් එකට කළා ‘ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලූත් දතක් දියෝ’ කියල කැම්පේන් එකක්. ඒකෙ ඔරිජිනල් කන්සෙප්ට් එක ප‍්‍රකාශ් ජයතිලකගේ. මං ඒකෙ ප‍්‍රකාශ් එක්ක වැඩ කළා. රේඩියෝ එකේ යනකොට එතන වැඩකරපු පටබැඳි කියන එක්කෙනා කිව්වා ‘මේක උදේ කන වෙලාවෙ ගියොත් කන්න අප්පිරියා වෙනවා. ඒක හින්ද ඒක නවත්තන්න කියල’. ඊළ`ගට මගේ කොමර්ෂල් එකක් රිජෙක්ට් කළා කොමර්ෂල් බැංකුවට කරපු. මං තමයි ලිව්වෙ ‘ඔබේ ජය අපේ පැතුමයි’ කියල. මේක රේඩියෝ එකේ ගහන්න බෑ කිව්වා ඒක එස්එල්බීසී එක සුබපතනවා වගේ දැනෙයි කියල. ඒ දවස්වල ලොකු බජට් නෑ. තිස්පන්දාහක් විතර. අපි ඉතින් කියනවා එහෙනං අපි මේ තිස්පන්දහ අරන් වෙන තැනකට යනවා කියල. ඔන්න එතකොට අනුමත කරනවා. එහෙම තිබුණ. ඒත් මේ මිනිස්සු නැති වුණාට පස්සෙ සදාචාරය අතින් ගොඩක් පිරිහුණා මේ තැන්. අමු අමුවෙ ළමයින්ව දාලා බ‍්‍රෑන්ඞ් වල නම් කියන්න පටන් ගත්තා. ප්‍රොඩක්ට් එක ඉල්ලලා බල කරන විදිහෙ ඇඞ් කරන්න ගත්තා.

මේ කාලෙදි මං සර්වෝදෙ ආරියරත්න මහත්තයා එක්ක ගම් වලට යන්න පටන් අරන් තිබුණ සත අන්තෙ. අපි ඇඞ්වර්ටයිසින් කරන අය බම්බලපිටියෙ ඉඳන්නෙ ඇඹිලිපිටියට බඩු විකුණන්න හදන්නෙ. බම්බලපිටියෙ ඉඳන් අපි ඇමිලිපිටියට බිස්කට් විකුණන්න හදනවා. ටූත් පේස්ට් විකුණන්න හදනවා. ඒත් ඇඹිලිපිටියට ගියාට පස්සෙ තමයි ඇත්ත තත්වෙ තේරෙන්නෙ.

ඉතිං මට හිතුණ අපි මේ නීඞ් එක අවශ්‍යතාව මුල් කර ගත් සමාජයක් වෙනුවට ග‍්‍රීඞ්, කෑදරකම මුල්කර ගත් සමාජයක් නේද නිර්මාණය කරන්න හදන්නෙ කියල. ඇඞ්වර්ටයිසින් හරහා. ඒක දැනගත්තට පස්සෙ මට තවදුරටත් මේ වැඬේ කරන්න බැරි වුණා. ඒක නොදැනී ඉන්නකං මට ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒත් මං දැනගත්තා ගම්වල මිනිස්සු මේවා ගැන හිතන හැටි, ඒ ගොල්ලො මේ ගැන කතා කරන හැටි..විශේෂයෙන් පොඩි දරුවන්ට මේවා බලපාන හැටි.

මං හිතුවා මේ ඇති. මේ හැම දේකින්ම අයින් වෙලා ටික කාලයක් ගම්වලට ගිහින් මිනිස්සු එක්ක වැඩ කරනවා කියල. ඔය කාලෙ මං මියුසික් එහෙමත් කරමින් හිටියෙ. මං ගිහින් ගම්වල ළමයින්ට මියුසික් ඉගැන්නුවා. පර්කෂන්.. මං සරණාගත කඳවුරු වලට ගිහින් ඒ කට්ටිය එක්ක වැඩ කළා. ඊට පස්සෙ මං ආයිමත් ඇඞ්වර්ටයිසින් වලට ගියේ නෑ. එකම දේ වුණේ මගේ තාත්තා පෝසත් හින්ද මට ඒ නිදහස තිබුණ.
මම- ඔයා හොඳ උදාහරණයක් සල්ලි ප‍්‍රශ්නයක් නොවුණොත් මිනිහෙකුට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එකට.

විෂ්ණු- ඔව්. මං ඔය විදිහට ස්වේච්ඡුා වැඩ කරමින් හිටියා. ඉන්දියාවෙ වීඩියො ජර්නලිස්ට් කට්ටියක් එක්ක වැඩ කළා. එක්තර් පර්ශද් කියලා කියල සංවිධානයක් එක්ක වැඩ කළා. ගොඩක් සංවිධාන එක්ක සම්බන්ධකම් තිබුණ. මේ හැම දෙයක්ම කළේ නොමිලේ.

2005දි විතර මට හිතුණ දැන් පොඩි විනයක් ජීවිතේට හදා ගත්තොත් හොඳයි කියල. මං චිත‍්‍රපටි කරන්න ගත්තෙ එහෙම. ඒත් මට  ඕන වුණේ නෑ නළු නිළියො දාලා චිත‍්‍රපටි හදන්න. ඇක්ෂන් කට් කියන චිත‍්‍රපටි මට ගැළපුණේ නෑ. මේ තියෙන දේ සිද්ද වෙද්දි, සිද්ද වෙන විදිහ කැමරාවට ගන්නයි මට  ඕන වුණේ. ඩොකියුමෙන්ටරි, ඒක තමයි මගේ විදිහ. පොඩි කාලෙ ඉඳන්ම මට මේ චිත‍්‍රපටි කරන්න ආසාව තිබුණ. මගේ ඔලූවෙ හැමතිස්සෙම විෂුවල් වැඩ කළා.

ඒක තමයි මං මේ කැමරාවක් අරගෙන කළේ. මං හරිම අකමැතියි භූගෝලීය විදිහට මිනිස්සු බෙදා වෙන් කරන එකට. මට  ඕන වුණේ නෑ ගෝලීය සිතියමක් මැද්දට මගේ ජීවිතේ සීමා කරන්න. මං හරි අකමැතියි කියන්න මං ශ‍්‍රී ලාංකික කියල. මොකද ඒ කියද්දිම ඔයා අයිති වෙනවා මේ භූගෝල සිතියමට. ජාතික ගීය යනකොට නැගිටින්න  ඕන වෙනවා.

අපි කොච්චර මේක කඩාගෙන යන්න ගියත් ඒකටත් බාධක තියෙනවා. විශේෂයෙන් වයසට යනකොට. ජාතික ගීයට නැගිටින්නෙ නැති වුණාම අනිත් අයට ප‍්‍රශ්නයක්. මට තියෙන ප‍්‍රශ්නෙ ඇයි ජාතික ගීයට නැගිටින්නෙ කියන එක. මොකක්ද ඒකට හේතුව? ඒක කරනවා නං ඒක තමන්ගෙ හදවතින් කරන්න  ඕන. එහෙම නැතුව මේ භූගෝලීය සාධක නිසා ඒක කරන්න මං ආස නෑ.

මං ලෝකෙ හොඳට ඇවිදලා තියෙනවා. මං රටවල් 47ට ගිහින් තියෙනවා. දැන් මේ ෆේස්බුක් හරහා කරන එක 1970 ගණන් වල මං එරෝග‍්‍රෑම් හරහා කළා. පෙන්පෑල් ලට ලියපු මිනිහෙක් මම. රුපියලයි එරෝග‍්‍රෑම් එක. සති දෙක තුනක් යනවා යන්න. ඔය විදිහට අවුරුද්දටම ලියුම් දෙක තුනයි එහා මෙහා යන්නෙ. හැබැයි එහෙම යාලූවො හිටියා. නෙට්වර්කින් කියන එක ඒ කාලෙ ඉඳලම මට  ඕන වුණා.

ඔන්න උදාහරණයක් විදිහට මං ලයින්ස් ඩාන්ස් කොම්පැණිය ගැන කියවලා තියෙනවා. රවිබන්දු එක්ක මං ඒ ගොල්ලොන්ගෙ වීඩියො බලලා තියෙනවා. ඉතින් මං දවසක් සැනෆ‍්‍රැන්සිස්කෝ වල ඇවිදගෙන යනකොට පාරෙ එකපාරට මං දැක්කා උඩ ඉඳන් පහලට ලියලා තියෙනවා, ලයින්ස් ඩාන්ස් කම්පැණි කියල. ඒ ගොල්ලොන්ගෙ තියටර් එක එතන. මං තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා එතන පඩිපෙළකින් නැගලා ඒකෙ මිනිස්සු හම්බුවෙලා ලංකාවෙන් ආවා කියලා මාව අඳුන්නලා දීලා ඒ අයට ලංකාවෙ නැටුම් අඩිය, තුන් අඩිය නටලත්  පෙන්නලා තමයි ආවෙ. මට හිතෙන්නෙ ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඔයා ඒ මොහොතින් මොහොත ජීවත් වෙන්න  ඕන.

මං කසාද බැන්දෙ නෑ. ඒ මට මගේ විදිහට ජීවත් වෙන්න  ඕන නිසා.
මම- ඒ කියන්නෙ ඔයා බ‍්‍රහ්මචාරී වගේ දෙයක් පිළිපදිනවද?
විෂ්ණු- අපෝ නෑ. I am a simple human being with an erected penus (සරල මනුෂ්‍යයෙක්-ඍජුවූ ශිෂ්නයක් සහිත) මගේ ෆේස් බුක් එකෙත් මාව නිර්වචනය කරලා තියෙන්නෙ,simple village folk with urban needs' ගමෙන් ආවට මේ නාගරික අවශ්‍යතානෙ අපිට තියෙන්නෙ.

(-විෂ්ණු වාසුගේ ආන්දෝලනාත්මක වාර්තා චිත‍්‍රපටිය ලබන සතියට)
-චින්තන ධර්මදාස


No comments:

Post a Comment