Monday, November 12, 2012

වීරයන් සඳහා ඇබෑර්තු ඇත.

මගේ ජීවිතේ වීරයො ඔක්කොම බලාගෙන ඉද්දි කුණු වෙලා ගියා ළුනු ගෙඩි වගේ. වීරයෙක් අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ කෙලවරකට එනවා. කෙනෙක් ඇතුලෙ වීරයෙක් කියන්නෙ ජීවිතේ පැත්තෙන් හදා ගත්ත ආදර්ශ පාඨයක් වගේ. දුෂ්ටයෙක් කියන්නෙ පාපය, මරණය. අපි නොදන්න ගොඩක් දේවල් අපි අපේ වීර චරිත ඇතුලෙ තැන්පත් කරලා තියෙනවා. ලංකාවෙ ඒ චරිත මැරෙනවා නෙමෙයි. කුණු වෙලා යනවා. ඒකයි ඛේදවාචකය. සාංදෘෂ්ටික තනිකමක් දැනෙන්න ගන්නවා එතනදි. හිස්.

සමාජයක් විදිහටත් අපි වීරයෝ අහිමි ජාතියක්. ඒක පුද්ගලික තැනකට වඩා භයානකයි. වීරයෝ නැති හිස්කමට වඩා අපි දුෂ්ටයන්ගෙන් පිරිච්ච චිත‍්‍රපටියක ජීවත් වෙන්නෙ. වීරයෝ නැති දුෂ්ටයෝ විතරක් ඉන්න සමාජයක් කියන්නෙ සතුටු වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. අපිට වීරයො නැති වුණේ හරි ලස්සන විදිහට. යුද්දෙත් එක්ක අපිට වීරයෝ බුරුතු පිටින් බිහිවුණා. වෙන විදිහකට කිව්වොත් මාධ්‍ය වලින් තොග පිටින් බිහි කළා. ඊට පස්සෙ යුද්දෙදි ඒ වීරයෝ ගොඩක් මැරුණ. යුද්දෙන් පස්සෙ ඉතුරු අයගෙ වීරත්වය කැන්සල් කළා.

දෙදාස් පන්සීයක් පුරා අපිට හිටපු අසහාය වීරයාත් මේ කාලෙදි අහිමි වුණා.  බුදුන් යනු මහින්ද ගේ ලේ ඥාතියෙක් වග ජැක්සන් ඇන්තනි ජනතාවට හෙළිදරව් කළා. ඒක භෞතිකව ඇත්ත නැත්ත කොහොම වුණත් මතවාදීමය විදිහට නම් ඒ දේ සිද්ද කරමිනුයි තිබුණෙ. බෞද්ධකම ආධ්‍යාත්මික තැනින් ගැලවිලා ඇවිත් අධිපති බලය, දේශපාලනය වගේ තේරුමකින් කඬේ යන්න ගත්තා. සමස්ත වීර ඉතිහාසයම බිඳ වැටෙද්දි දුෂ්ටයො පැටව් ගහන්න ගත්තා. හැම මාධ්‍යකින්ම දුෂ්ටයන් නිෂ්පාදනය වුණා දිනපතා. පැයෙන් පැයට.
අපි සුපර් හීරෝ කෙනෙක් විදිහට තෝර ගත්තෙ රාවණා වගේ චරිත. ඉන්දියාවෙ ලියවුණු රාමායණයට අනුව රාවණා කියන්නෙ පාදඩයෙක්. දුෂ්ටයෙක්. අනුන්ගේ ගැහැණු බලෙන් පැහැරගෙන යන අධමයෙක්. ඒත් අපි ඉන්දියානු කෘතියට අපේ අරිසෙන් අහුබුදු වර්ගයේ අර්ථකතන නිර්මාණය කරමින් (ලංකාවෙන් සමස්ත ලෝකයම පරිණාමය වුණා කියනවා වගේ) ඒවා අදහමින් රාවණා වීරයෙක් කරන්න ට‍්‍රයි කරනවා. ඒ රාවණාගේ ගෑණු හොරකම අපි නොනිල ජීවිතයේදී එක`ග වීර ක‍්‍රියාවක් හින්දද? 

බටහිර රටවල වගේ අපිට පරිකල්පන අවකාශය විශාල කරන ජීවිතය ගැන බලාපොරොත්තු දනවන වීරයෝ නැත්තෙ ඇයි? ඒ අපි වඩාත් පරිණත ජීවිත ගත කරන්නන් නිසා කියල හිතාගෙන සැනසෙන්න බැරි ඒ වෙනුවට අපි නිර්මාණය කරමින් ඉන්න දුෂ්ටයන්ගෙ තරම හින්ද. මට හිතෙන්නෙ වීරයන් නැති සමාජයක දුෂ්ටයන්ගෙ මේ බෝවීම අනතුරුදායකයි. අපි එක්තරා කෙලවරකට ඇවිත් ඉන්නෙ. සියලූ වීරයන් ඝාතනය කරනවා. එතකොට ඉතුරු වීරයො සියදිවි නසා ගන්නවා. රට රාවණාකරණය වෙනවා. දුෂ්ටත්වය වීරත්වය බවට රූපාන්තරණය වෙනවා.

අවාසනාවන්ත විදිහට අපිට වීරයන්ගෙ උරුමයක් නෑ. නොමැරෙන පරිකල්පනීය සදාතනික වීරයො නිර්මාණය කර ගන්න අපිට තාම බෑ. සුපර් මෑන් ලා බැට් මෑන්ලා අපිට නෑ. ඒත් ‘බේන්ලා’ ‘ජෝකර්’ ලා ඉන්නවා.

මෑතක ෂූට් එකකදි පොඩි ඉඩක් අතරෙ චන්න අයියා එක්ක චැට් එකකට වැටුණ. පතිරාජ එල් එස් දයානන්ද ගැන ලොකු විස්තරයක් ඇදිලා ආවා. පොඩි නාට්‍ය කීපෙකින් දැන ගත්ත නළුවෙකුට වඩා ලොකු ඉඩක් මගේ ඇතුලෙ නොතිබුණු පතිරාජ එල් එස්ගෙ විශාලත්වය මාව පුදුම කළා. සෙලීනාගෙ වලව්ව, ජෝඩු වළලූ වගේ චිත‍්‍රපටි කතා චන්න අයියා මතක විදිහට කියද්දි ඇගේ හිරිගඩු පිපෙන තරම්.

‘චිත‍්‍රපටි භාෂාවෙ අරවයෙ මේවයෙ අඩුපාඩු ඇති. ඒත් මේ වගේ දේවල් කතා කරන්න තරම් මිනිහගේ තිබ්බ ඇත්ත සමාජ දැනුම අගය කෙරුනෙ නෑ’

චන්න අයියා කිව්වා. උදා විදිහට සෙලීනගෙ වලව්ව කියන්නෙ මුඩුක්කුවක පැලක්. ඒ පැල අයිති සෙලීනාට. එයා වයසට යද්දි දරුවන්ට මේක බෙදෙනවා. දෙන්නෙකුට හැරෙන්න ඉඩ නැති පොඩි ගෙදර බෝඞ් එකකින් දෙකට බෙදෙනවා. පරිප්පු දීසියක් එහෙම දෙන්නෙ ඒකට උඩින්. මේ බෙදිල්ල හින්දම පවුල් අතරෙ ආරවුල්. සෙලීනා මිදුලට බැහැලා බලන් ඉන්නවා. අන්තිමට මේ මුඩුක්කු ටික නගර සංවර්ධනය වෙනුවෙන් කඩලා ඉවත් කරන්න තීරණය වෙනවා....

මේ ප්ලොට් එකම මරු. ජෝඩු වළලූ කියන්නෙ එක මාංචුව වැටිලා ඉඳිද්දි හිරෙන් පනින උන් දෙන්නෙක්ගෙ කතාවක්. අඩුම තරමෙ වෙනස් විදිහක කතා තේමා වලට ගිය චිත‍්‍රපටිකරුවෙක් විදිහටවත් පතිරාජ එල් එස්ව අපේ සිනමා වංස කතාවෙ ලියවෙන්නෙ නෑ. ලෙස්ටර්, පතිරාජ වගේ එයාව සම්භාව්‍ය කාණ්ඩෙට වැටෙන්නෙ නෑ. මේ චිත‍්‍රපටියක් අමාරුවෙන් හොයා ගන්නවත් නෑ.

පතිරාජ එල් එස් දයානන්ද වගේ චිත‍්‍රපටිකරුවො ගැන අපේ සිනමාවෙ බරක් දීලා කතා නොකරන එක පංති ප‍්‍රශ්නයක්. ලෙස්ටර් ලා වගේ මැද පංතියකට අයිති සිනමාවට ගොඩවෙන්න සුදර්ශියෙ රස්තියාදු වෙන පතිරාජ එල් එස් ලට ඉඩක් නෑ. චිත‍්‍රපටි හදන්න පුළුවන්. ඒත් ඒවා නොහදපු ගාණට යට යනවා. එලිපිට නොකිව්වත් අපේ රටේ සිනමාකරුවෙක් වීම කියන ආශාව පිටිපස්සෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ නිර්මාණාත්මක ප‍්‍රකාශනයකට වඩා පංති උවමනාවක්. අර මධ්‍යම පංතියට ගොඩවීමේ හීනමානය ඉස්සර කර ගත් ආශාවක්. තමන්ගෙ ප‍්‍රකාශනය වෙනුවෙන් තමන්ගෙ භාෂාව නිර්මාණය කර ගන්නා සිනමාකරුවන් වෙනුවට කලින් පාවිච්චි කළ සම්භාව්‍ය යැයි සම්මත භාෂාවෙන් ඒ වගේම කතාවක් කියලා ගොඩ යන්න හදන ගිරා සිනමාකරුවන් විතරක් අපිට ඉන්නෙ මේ ඇත්ත හින්ද. මේ පාංතික සිහිනයට එහෙම පංතියක් නැති පාදඩයන්ට ගොඩවෙන්න දොරවල් නෑ. අපේ සිනමා ඉතිහාසයත් රටේ ඉතිහාසෙ වගේමයි. මකපු තැන් ගොඩයි.

ආයිත් පාරක් ඔබාමා ඇමෙරිකාවෙ ජනාධිපති වුණා. ඔබාමාගෙ ලස්සන පිංතූර ටිකක් නෙට් එකේ දාලා තිබුණ. බලාගෙන යද්දි ඔබාමායි මහින්දයි සංසන්දනය වුනේ නොදැනිම. මහින්ද ළමයි අරන් උඩ විසි කරද්දි ඔබාමා ළමයින්ගේ ගාණට පාත් වෙලා ඔලූවට ඔලූව තියනවා. එයා අයිස්ක‍්‍රීම් කනවා. රැවුල නැති හින්ද අවුලක් නෑ. ඔබාමාට පුළුවන් කුණු අදින මිනිහෙකුටත් පහක් දාන්න. ක්ලබ් වලදි එයාට වඩා උසමහත මිනිස්සු දෑත බදලා ඔබාමාව උස්ස ගන්නවා. එයා බිරිඳත් එක්ක එලිපිට ආදරේ කරනවා. ගෙදර පඩිය උඩ ඉඳගෙන පවුලෙ අය එක්ක කතා බහ කරනවා. හු`ගක්ම ලස්සන පොඩි ළමයි එක්ක එයා මුහු වෙන විදිහ. මහින්දට එලිපිට කරන්න බැරි ගොඩක් දේවල් ඔබාමාට කරන්න පුළුවන්. කොටින්ම අපේ ජනාධිපති කියලා පිංතූර වලින් නිර්මාණය කරන්නෙ මොකද්ද අසාමාන්‍ය විපරීතයක්. ඒත් ඔබාමා වෙනුවෙන් නිර්මාණය වෙන්නෙ හැම පැත්තකින්ම පරිපූර්ණ මනුස්සයෙක් කියන ප‍්‍රතිරූපයක්. තරුණ කෙල්ලො එක්ක උණුහුමෙන් කතා බහ කරන එක පවා ඒ ජීවිතේ කොටසක්. ඒත් අපේ රටේ ජනාධිපතිවරයෙකුගෙන් රටේ ජනතාව ඉල්ලන්නෙම සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්. බොරුවක්. හින්දි චිත‍්‍රපටියක්.

ඔබාමා දින්නට පස්සෙ ඇමරිකාවෙ වඩා හොඳ දවස් එළඹෙන්නෙ ඉස්සරහට කියල කිව්වා. එයාගෙ රිපබ්ලිකන් තරගකාරයා වුණු මිට් රොම්නි පරාජය බාර ගත්ත විදිහත් හරිම උණුසුම්.

‘ඇමරිකාවට ඉස්සරහට තියෙන්නෙ දුෂ්කර ගමනක්. ඒ ගමන යන්න ඔබාමාට ශක්තිය ලැබෙන්න කියලා මං යාඥා කරනවා’ මිට් රොම්නි කිව්වා. එයා ඇවිත් ඔබාමාව උණුහුමෙන් වැළඳගත්තා. අපේ රටේ කරන මූනිච්චන් අතට අත දීම වගේ නෙමෙයි. පැරදිච්ච ගමන් හොර ඡුන්ද හරි වෙන මොකක් හරි කතාවක් කිය කිය කුහකකමෙන් පැලෙන අපේ රටේ මිනිස්සුන්ට වඩා ඇමරිකාව වෙනස්. ඒ මිනිස්සු සංස්කෘතියක් වෙනුවෙන් වග කියනවා.

ඇත්ත මොකක් වුණත් නිර්මාණය කරන සංස්කෘතියයි වැදගත්. ලංකාවෙ යුද්දෙදි දෙමළ මිනිස්සු මැරුණද වගේ කාරණේකදි වුණත් ඇත්තට වඩා ඊට පස්සෙ ඒ වෙනුවෙන් යෝජනා කරන සංස්කෘතියයි වැදගත් කියලා මං කියන කතාව ගොඩක් අයට තේරුණෙ නෑ. අපි යුද්දෙන් පස්සෙ සහෝදරත්වයෙන් වැළඳගන්නා සංස්කෘතියකට නෙමෙයි ගියේ. සාපරාධී සංස්කෘතියක් අපි ජයග‍්‍රාහී විදිහට බාර ගත්තා. ආණ්ඩුව සහ මාධ්‍ය නිර්මාණය කළේ ඒක. ඝාතන ගැන විමසීම් එන්ජී ඕ කුමන්ත‍්‍රණ විදිහටයි බාර ගත්තෙ. වීරයන්ගේ වෙනුවට දුෂ්ටයන්ගෙ සංස්කෘතියක් අපි නිර්මාණය මහා පරිමාණයෙන් නිර්මාණය කළා. තමන්ට ද`ඩු මොනරෙ හදලා දුන් වඩුවාත් මැරූ රාවණා තමයි පොර.

ඇත්තට සිද්ධියක් විදිහට සිද්ද වෙන දේට වඩා ඒ සිද්ධිය බාර ගන්න නිර්මාණය වෙන සංස්කෘතියයි සමාජ ප‍්‍රකාශනය වෙන්නෙ. අපි එතනදි රටක් විදිහටම නිර්මාණය කරන්නෙ අරාජිකත්වයක්. බලාපොරොත්තු සහගත තත්වයක් නෙමෙයි. ඔබාමා රොම්නිව උණුහුමෙන් බදා වැළඳ ගනිමින් ජයග‍්‍රහණය සමරද්දි අපේ රටේ ප‍්‍රතිඵල නිකුත් වුණු වහාම ප‍්‍රතිවාදියාව බෙල්ලෙන් අල්ලන් ගිහින් හිරේ දානවා. ඊට පස්සෙ අවුරුදු ගාණක් එහාට මෙහාට වෛරය හුවමාරු වෙනවා. මේ තමයි අපි අත්දකින සහ අත්විඳින සංස්කෘතිය වෙන්නෙ. වීරයො වෙනුවට ජයග‍්‍රහණයේදී පවා අපේ රටේ නිර්මාණය වෙන්නෙ දුෂ්ටයො. ඒ අපේ ඉතිහාසෙම හැටි. දුටුගැමුණු එළාරව මරපු එක මිස දෙමළ මහා සෑය හදපු එක නෙමෙයි උඩට ආපු සංස්කෘතික කාරණය වුණේ. රොහාන් පෙරේරා ඉස්සර කියනවා වගේ අපේ රාජාවලිය කියන්නෙම චණ්ඩින්ගෙ ඉතිහාසයක්.

ඒ වගේ සංස්කෘතික උරුමයක් එක්ක අපි දිගටම භයානක හීනයක් ඇතුලෙ ජීවත් වෙන්න ගන්න එක අනිවාර්යයක්.

-චින්තන ධර්මදාස

10 comments:

  1. නියම ලිපියක්...
    මම Facebook එකේ මේක බෙදා ගන්නවා.

    ReplyDelete
  2. ‘"""ඇමරිකාවට ඉස්සරහට තියෙන්නෙ දුෂ්කර ගමනක්. ඒ ගමන යන්න ඔබාමාට ශක්තිය ලැබෙන්න කියලා මං යාඥා කරනවා’ මිට් රොම්නි කිව්වා. එයා ඇවිත් ඔබාමාව උණුහුමෙන් වැළඳගත්තා. අපේ රටේ කරන මූනිච්චන් අතට අත දීම වගේ නෙමෙයි. පැරදිච්ච ගමන් හොර ඡුන්ද හරි වෙන මොකක් හරි කතාවක් කිය කිය කුහකකමෙන් පැලෙන අපේ රටේ මිනිස්සුන්ට වඩා ඇමරිකාව වෙනස්"""
    මෙක නමි සහතික ඇත්ත

    ReplyDelete

  3. බින් ලාඩ්න් ගැන ඔත්තු සැපයූ හා නීති ආධාර හා උපදෙස් සැපයූ සැමට
    පාප්ප ගෑ හා පෝස්ටර් ගැසූ සැමට
    අනුන්ගේ පෝස්ටර ඉරූ කොඩි කැපූ සැමට
    බත් පාසල්, බර්ගර්, ෆිශ් ඇන්ඩ් චිපස්, බර්බන් බෙදූ සැමට
    මාධ්ය සංදර්ශන කිරීමට උදව් වූ හා විරුද්ද මාද්‍යවේදීන් දෙව්ලො ටුවර් යැවූ සැමට
    කලු පාට සැමට
    අර හා මේ පූජා, කුකුලු හරක් බෙලි කැපිලි පූජා, ටයර් පූජා, බූස්ස පූජා, පාර දිගේ පූජා තබා උදව් කල සැමට
    චන්ද එකකට වැඩියෙන් දැමූ සැමට
    චන්ද පොලවල්වල කචල් දමා විරුද්ධ පාක්ශිකයින් බිය වැද්දූ සැමට
    බෑන්කී මූන් දහ අටපාලි හා මා ලියු නාට්‍යපිටපත් රඟ දැක්වූ සැමට
    සංඛ්‍යා ලේඛන හා දත්ත දෙපාර්තමේන්තුවට
    විරුද්ධ පාක්ශිකයිනි එක්වව් කියා වෙන වෙනම රැස්වීම් තබන සැමට
    පක්ශ හා විපක්ශ බ්ලොග්, ලිපි ලියු සැමට
    මාගේ ප්‍රනාමය
    බැ. හුසේ. ඔබ මා
    --------------------------

    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."
    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    ReplyDelete
  4. loke anith ayata wada amerikawe minissu wenas !
    e wenasata garu karana president BARAK !

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. චින්තන ඔබ සංසන්දනය කරන්නේ ළෝකයේ දියුණුම රාජ්‍ය හා සීඝ්‍රයෙන් ගල් යුගය වෙත ගමන් ගන්නා වැඩවසම් මානසිකත්වයකින් යුත් තලෙයිබාන්වරුන් පිරි පෙරදිග සෝමාලියාව නැමැති රාජ්‍යයයි. මෙහි සමාන්‍ය ජනතාව හා වැදි ජනතාව (ඇබොර්ජනීස්) අතර ඇත්තේ.

    වැද්දන් පොරවක් කරේ දාගෙන යෑමත්,
    අනිත් අය ටයි එකක් කරේ දාගෙන යාමත්, හා
    21 වන සියවසේ නවීනතම විලාසිතාව වන
    සාටකයක් කරේ දාගෙන යාමත් පමණි.

    ReplyDelete
  7. චින්තන මරු පට්ට කියවීමක්.

    ReplyDelete
  8. වීරයො වෙනුවට ජයග‍්‍රහණයේදී පවා අපේ රටේ නිර්මාණය වෙන්නෙ දුෂ්ටයො...
    සුපිරි ලිපියක්...

    ReplyDelete