Monday, March 11, 2013

හිස් නැති හිස්වලට.


ලංකාවෙ රේඩියෝව කියන්නෙ තවදුරටත් අහන්න පුළුවන් එකක් නෙමෙයි.  ඕනම චැනල් එකක උදේ ප්‍රෝග‍්‍රෑම් දෙක අහද්දි තේරුං ගන්න පුළුවන් කොහාටද දක්කන්න හදන්නෙ කියල. උදේ පාන්දර රුධිර පීඩනය වැඩි කරවන හඞ්ඩාගේ ගඳ ෂෝ එකේ ඉඳන් මීඩියා කියන්නෙ බුලත් විටි කඩයක් කියල හිතාගෙන ඉන්න ෂාන්ගෙ රේඩියෝ එකත් අසන්නා කියන්නෙ ලෙඩෙක්, බෝම්බ උඩින් පැන පැන යන ගෙම්බෙක්, කියල හිතාගෙන ඉන්න ඇසෙන නෑසෙන වැසෙන චැනල් ගඟේ තවදුරටත් පීනන්නෙ කවුද කියන එක ප‍්‍රශ්නයක්. සමහර චැනල් දුවන්නෙ උදේ ගහන පිරිත් හින්ද. තවත් එකක් රෙදි ගැලවෙන කනාමැදිරි රාත‍්‍රී හින්ද. කොහොම වුණත් මේ වෙද්දි හැම නාලිකාවක්ම වගේ තමන් අහනවට අහන උන්ට සල්ලි දෙනවා. ඒක තමයි අපේ පොපියුලර් චැනල් වල ඇත්ත.

‘‘අපේ දරුවන්ගේ ජීවිතයේ පදනම වැටෙන්නෙ හොඳ ගුරුවරුන් අතින් කියන එකට ගොඩක් දෙනෙක් එක`ග වෙයි. ඒත් අපේ දරුවන්ගේ සහ තරුණයන්ගේ මනස් දිගින් දිගටම පරිභෝජනවාදී, තරගකාරී, නිලබලවාදී, ලිංග මූලික, අන් ජාතින්ට බිය, ජාතිවාදී, හැම කෙනෙක්ම එක වගේ කරන්න හදන මාධ්‍ය අදහස් වලින් මළකඩ කනවා නම් මොකද වෙන්නෙ?’’
- ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නැවත සිතීමක්
එලිසබෙත් මාර්ෂල්

(මේ ලිපි පෙළ ලියන්නෙ මාධ්‍ය පිළිබඳ අධ්‍යාපනය කොහොම වෙන්න  ඕනද කියන එක ගැන. ඒත් ලංකාවෙ අපි ඔක්කොම ළමා සමාජයක් හින්ද මෙතනදි ළමයින් කියල කතා කරන දේවල් අපිට වයස් භේදයකින් තොරව අදාලයි)

ගුවන් විදුලි සංස්තාවෙ සමූපාකාර චැනල් තාප්පෙන් එලියට පැනලා මුලින්ම එෆ්එම් රේඩියෝ කලාව පටන් ගත්තෙ සිරසෙන් වුනාට මහින්ද ආවට පස්සෙ සිරසෙ සිරස නැති වෙලාම ගියා. රේඩියෝ වල විතරක් නෙමෙයි රටේ අනිත් හැමදේකමත් ඔලූව ගැලවිලා ගිය හින්ද ඒක සාමාන්‍ය දෙයක් වුණා.

ග‍්‍රාමිස්චි කියන දේශපාලන විචාරකයා (එක්ස් එකෙන් පට්ට ගහපු පහුගිය මනුස්සයෙක්) කියන විදිහට ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය කියන්නෙ රටක හෙජමොනිය (බල අධිකාරිය) නිෂ්පාදනය, නැවත නිෂ්පාදනය සහ වෙනස් කිරීම සිද්ද වෙන තැන. සිවිල් සමාජයේ සංස්කෘතික සහ පාරිභෝජනවාදය නිෂ්පාදනය සිද්ද වෙන ආයතන වෙන්නෙ මේවා. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියන ධනවාදී සමාජවල වෙන්නෙ මේ ටික. අධ්‍යාපනය, පවුල, ජනප‍්‍රිය මාධ්‍ය සහ පන්සල් (ග‍්‍රාමිස්චි ගේ රටේ නං පල්ලි) කියන්නෙ මේ ආයතන. සිවිල් සමාජයක් කියන්නෙ මේ සංස්කෘතිය සහ මතවාදයට ග‍්‍රහනය වුණු සමාජයක්. හෙජමොනිය දිහා බලලා තමයි මේ ආයතන වැඩ කරන විදිහ හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය කියන්නෙ මේ හෙජමොනිය පවත්වාගෙන යන්නම කැප වුණු ඒවා.

ඒත් මේ ළ`ගකදි අහම්බෙන් කණේ හැප්පිච්චි චැනල් එකක් හින්ද ලංකාවේ එෆ්එම් ගැන මේ ලියමන ලියන තරමට මාව උනන්දු වුණා. චැනල් එක කිරුළ. කිංග්ස්ලි ඉස්සර වෙලා කරන වැඩක්. හිතන්න කිසි දෙයක් නොදෙන එකම ජනප‍්‍රිය වීමේ කලාව විදිහට ප‍්‍රගුණ කරන රේඩියෝ ඔක්කාරෙට ඒක දෙහි පළුවක් වගේ. දෙයක් කියවලා, කල්පනා කරලා, කතා කරන රේඩියෝ සම්ප‍්‍රදායක් ගැන මතකයක් අරන් එනවා. සංවාද කතිකා සහ මූලාශ‍්‍ර සහිත වැදගත් විදිහෙ තරංග පරාසයක්. හිස් නැති හිස් වලට කියලා කියන ටැග් ලයින් එකත් වැඬේට මරු.

හැම දෙයක්ම යන අතටම ඉබේ ගලාගෙන යද්දි උඩ අතට පීනන්න මේ අවදානම ගන්නෙ ඇයි කියල මං දන්නෙ නෑ. ඒත් හැම ක‍්‍රියාවකටම සමාන හා ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් තිබේ කියන නිව්ටන්ගෙ කතාවෙ හැටියට පහල අතට ගලන වතුරෙ බලෙන්ම උඩ අතට තල්ලූවක් ගන්නත් පුළුවන්. ඒ වගේම එකම පාට දණ්ඩි රොත්ත මැද පාට මතු වෙලා පේන්නත් මේක වැඩකරන්න පුළුවන්.

කවුරු කොහොම හිතුවත් කළත් අන්තිමට චැනල් ඇතුළු හැමදෙයක්ම දුවන්නෙ ඇඞ්වර්ටීස්මන්ට් උඩ. මේ විදිහෙ නිශ්චිත, ප‍්‍රතිවරුද්ධ මාර්කට් එකක් තේරුම් ගන්න සහ ඒ කොටස හදා ගන්න කං ඉවසන්න අපේ බඩු විකුණන කට්ටිය (ඇඞ්වර්ටීසීන් කට්ටිය) කොයි තරං ඉදිරිගාමීද කියන එක සැකයි. ඒ කොහොම වුණත් මේ වෙනස වැඩ කරන වෙනසක් වගේම අවශ්‍ය වෙනසක්. අඩුම තරමෙ අහන උන්ගෙ කන් ගැන යම් තරමක ගෞරවයක් ඇති රේඩියෝ වැඩක්.

මේ කතාව ජනප‍්‍රියතාවයට විරුද්දව ක්ලැසිකල් අදහසකින් කියන එකක් නෙමෙයි. ස්වදේශීය සේවයේ වගේ ග‍්‍රාම්‍ය සම්භාව්‍යත්වයක් සම්භාවනාවට පත් කිරීමකුත් නෙමෙයි. කිරුළ සිංහල, ඉංග‍්‍රීසි, හින්දි, දෙමළ හැම සංස්කෘතියකම මගහැරුණු තැන් හොයාගෙන යනවා. ඒක ජනප‍්‍රිය සංස්කෘතියෙම වැඩක්. ඒත් අපේ රේඩියෝ හිතාගෙන ඉන්නෙ පිටකොටුවෙ පේමන්ට් එකේ තියෙන්නෙ ජනප‍්‍රිය සංස්කෘතිය කියල.

ජනප‍්‍රිය සංස්කෘතිය අදහසක් විදිහට අපිට පැති ගානකින් බලන්න පුළුවන්. එකක් මයිකල් ජැක්සන්ගෙ ත‍්‍රිලර් ඇල්බම් එක වගේ හු`ගක් දෙනෙක් කැමති වෙන වියමන්. දෙවෙනි විදිහට නොදියුණු, බාල, ලේසි සංස්කෘතික දේවල් අළෙවි වෙන තැනක් හැටියට. ලංකාවෙ කන්ටෙක්ස්ට් එකේ ජනප‍්‍රිය කියන අදහස වැඩියෙන් කිට්ටු මෙතෙන්ට. තව විදිහකට විශාල ‘මහා’ පාරිභෝජනයක් වෙනුවෙන් නිෂ්පාදන කරන තැනක් කියල. පිටරට නම් ඩිස්නි වගේ වැඩ සහ ලංකාවෙ නම් ‘සිද්ධාර්ථ ගෞතම’ වගේ සිද්දි මේ හරියෙ ගැවසෙනවා. වඩා වැදගත් වෙන්නෙ හතරවෙනි විදිහ. ඒක තාම ලංකාවෙ සිද්ද වෙලා නැති විදිහ. අලූත් ප‍්‍රකාශන වලට ඉඩ හැදෙන, අලූත් විචාරයන් බිහිවෙන විශාල අවකාශයක් විදිහට ජනප‍්‍රිය සංස්කෘතිය තේරුම් ගැනීම. ඇඞ් බස්ටර්ස් වගේ සමාජ ක‍්‍රියාකාරී කණ්ඩායම් ‘කල්චර් ජෑමින්’ වගේ වැඩ කරන්නෙ මේ තේරුම් ගැනීම ඇතුලෙ. එතනදි වෙනස් විදිහෙ ප‍්‍රවේශයන් හරහා පාරිභෝජන හෝ හෙජමොනික සංස්කෘතික සංඥා වලට වෙනස් අදහස් සහ වෙනස් පරිකල්පන එකතු කරනවා. ඒක දේශපාලනික වැඩක්.

කිරුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව එක පැත්තකින් මේ සංස්කෘතික දේශපාලන කලාපයට ඇතුල් වෙනවා. හැම චැනල් එකක්ම වැඩකට නැති පක්ෂ දේශපාලන  ඕපාදූප ප‍්‍රචාරය කරන එක මාධ්‍ය දේශපාලනය කියල හිතාගෙන ඉඳිද්දි කිංග්ස්ලි තීරණාත්මක සංස්කෘතික නිල වලට අත තියනවා. අද උදේ එයා කතා කරන්නෙ නිජබිම් සංකල්පය ගැන. එතනදි පේ‍්‍රක්‍ෂකයා සිංහල බෞද්ධ හෝ මොනයම් මේනියාවකින් කතා කළත් ඓතිහාසික කාරණා වරින් වර ගෙන එමින් කිංග්ස්ලි පදනමක් ඇතුව සහතික කරන සංස්කෘතික දේශපාලන කාරණා තියෙනවා. නිජබිම් සංකල්පය එක්ක නාසින්ගේ සම්බන්ධතාවය වගේම ලංකාවෙ මේ සංකල්පෙට ප‍්‍රතිවිරුද්ධව නැගුණු සම්භාව්‍ය කතිකාවන් ඒ හරහා ආයිමත් සමාජගත වෙනවා. මෙතන තියෙන වැදගත්කම ඒක. මාධ්‍ය සමාජය විසින් ලාබ විදිහට විකුණාගෙන කමින් සිටින කතන්දර සීරියස් විදිහට ප‍්‍රශ්න කරන එක. සහ ඒක ඇහෙන පිරිසකට ඇහෙන විදිහකට අරන් එන එක.

ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නැවත සිතීමක් පෙරවදන ලියමින් ඒ එලිසබෙත් යෝජනා කරන්නෙ මාධ්‍ය පිළිබඳ දේශපාලනික කිරා බැලීමකට මාධ්‍ය අධ්‍යාපනය පොළඹවන්න  ඕන කියල. හෙජමොනියක් විසින් නිෂ්පාදනය කරමින් අපි උඩ අපි නොදැනුවත්ව බලෙන් පටවන සංස්කෘතික සිතීමේ සීමාවන් ප‍්‍රශ්න කරන මාධ්‍ය සංස්කෘතියක් දක්වා මේක උඩුයටිකුරු කරන්න  ඕන කියල. සංකීර්ණ මානව ඉතිහාසයන්, අනන්‍යතාවයන්, සහ සමාජ ව්‍යූහයේ පවතින අසමානතා සරල බොළඳ විදිහට පෙළගස්වන සහ ඒවා සමාජ අදහස් විදිහට ඉදරිපත් කරන මාධ්‍ය ව්‍යාපාරය ඇතුලෙ මේ දේ කරන්නෙ කොහොමද කියන ලොකු ප‍්‍රශ්නයක්. හර්බර්ට් කෝල් ලියන ‘ළමා සාහිත්‍යයේ දේශපාලනය’ හෝ බිල් බිගෙලෝ ලියන ‘එකමත් එක සමූලඝාතනයක්’ පොත් වල කතා කරනවා රටක බෙදීමක්, සමූල ඝාතනයක් හෝ හමුදා මැදහත්වීමක් වගේ දෙයක් වීරයා සහ දුෂ්ටයා අතර සරල ප‍්‍රධාන ධාරවෙ කතාවක් දක්වා දියාරු කරන්න ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුලෙ වැඩ සිද්ද වෙන විදිහ.

එඩිසන්ගෙ පළවෙනි බල්බ් එහක පත්තු වුණෙත් තත්පර කීපයක් විතරයි. ඒ වගේ කිරුළ කරන්න යන වැඩෙත් ‘මහා’ එක අස්සෙ අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් ඒ වැඬේ පටන් ගත්ත එකට සහ ඒ වෙනුවෙන් නැවත කියවීමකට යන්න, පත පොතින් උපුටා ගන්න තරමට කරන රස්සාවට අවංක නිර්මාණාත්මක ශ‍්‍රමයක් තාම ඉතුරු වුණු එකට කිංග්ස්ලිට මගේ සැලියුට් එක.

මේක පිටිපස්සෙ තියෙනවා කියලා වමට බර අපේ කට්ටිය කියන්න ඉඩ තියෙන මහරාජා උවමනා හෝ වෙන මොන මොන හෝ මමත්ව කේන්ද්‍රීය අසනීප චෝදනා එතනදි මට අදාල නෑ. දැනුවත්ව හෝ නොදැනුවත්ව කළත් මේක ගරිල්ලා රේඩියෝ වැඩක්.

ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය අතර සම්බන්ධය තේරුම් ගන්න මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අවශ්‍ය කාරණයක් කියල මං පිළිගන්නවා. ඒත් ඒක මාධ්‍ය අයිති මුදලාලි ගැන  ඕපදූප හෝ අපේ ජනමාධ්‍ය මහාචාර්යවරු දන්න මාධ්‍ය හෝඩිය කටපාඩමින් කීමට වඩා එහා යන්න  ඕන. මාධ්‍ය වලින් කියන කතාව යටින් දුවන ගැටළුව අඳුරගන්න, වාණිජකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ගැටුම තේරුම් ගන්න පුළුවන් විචාරාත්මක භාවිතාවක් වෙන්න  ඕන.  මාධ්‍ය වලින් කියන කතා අතර විශ්ලේෂණයකට වඩා එහාට නිෂ්පාදනයේ සහ මාධ්‍යමය බෙදාහැරීමේ අරමුණු ගැන විචාරශීලී දැක්මක් දක්වා ඒක පුළුල් වෙන්න  ඕන.
අහනවට සල්ලි ගෙවන, අහන අය බෝඞ් එල්ලගෙනම අහන ජනප‍්‍රිය එෆ්එම් රේඩියෝ සූදුපොලෙන් එලියට ඒ විදිහෙ විචාරයක් හෝ කියවීමක් නැතුවම කිරුළ වගේ පෙරළියක් කරන එක අමාරු වැඩක්. පරණ සිංදු විතරක් ගහනවා වගේ බොළඳ ගැටයක් නොවී මෝරච්ච අදහසක් ඇතුව ඒක කරන එක දුෂ්කර කටයුත්තක්.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment