Tuesday, April 9, 2013

තේරුණද දන් නෑ

තේරුණද දන් නෑ කියන්නෙ දීප්ති ස්ටයිල් එකට කතා මැද්දෙ පාවිච්චි කරන පොඩි දීප්තියානු කෑල්ලක්. ඒක මේ වෙද්දි ගොඩක් අය පාවිච්චි කරන ෆැෂන් එකක් වෙලා. කතා මැද්දෙ ෂර්ට් එක අර අසල්වැසියෝ ටෙලියෙ හේමසිරි ලියනගේ වගේ උරහිසින් උස්සන ගමන් ‘තේරුණද දන්නෑ’ කියල අහන්නෙ මාර ආඩම්බරේට. ඒකට මං කැමතියි. දීප්තිගේ අදහස් වෙනුවට මේ වගේ ඉගිබිගි වලින් ‘දේශපාලනය කරනවා කියන’ චරිත ඉන්ෆ්ලූවන්ස් වෙන එක.  ඕනමෙන්ටල් ෆැෂන් (ටැටු, පියර්සින් වගේ) එකක් වෙනවට වඩා බිහේවියරල් ෆැෂන් (චර්යාමය) එකක් වෙන එක මොනා වුනත් හොඳයි. ඉතින් මේ කෑල්ල මාත් හෙඩිමක් විදිහට පාවිච්චි කරන්න හිතුවෙ ඒකෙ තියෙන මේ ෆන් එක හින්දමත් ලියන්න යන අසම්බන්ධිත කතා ටික සමස්තයක් විදිහට කාටවත් ‘තේරුණද දන් නෑ’ වෙන්න පුළුවන් හින්දමත්.

සුචරිත ගම්ලත් මැරුණ. ඩයිනෝසෝරයන් වඳවෙලා යන එක අහම්බයක් නෙමෙයි. මං හිතන්නෙ මහා ආඛ්‍යාන අවසන් වීම අනිවාර්යයක්. දැන් ලෝකෙ අයිති කූඹින්ට සහ කැරපොත්තන්ට. ඒක මං කියන්නෙ අවාසනාවට ඇත්ත කතාවක් වගේ හැ`ගීමකින් නෙමෙයි. ඒක දැනුම් පරිණාමයෙ එක අදියරක් විදිහට. ඉන්ටර්නෙට් එකත් එක්ක දැනුම විෂය සන්දර්භ ගණනාවක් පුරා පැතිරුණු සංයුක්ත එකක් වීම ගැන මේ පිළිගැනීම සහ අවශ්‍යතාවය වෙනස් වෙනවා.
 සුචරිතට තිබුනෙ විශාල අවකාශයක පැතිරුණු දැනුමක්. ඒක එයා පාවිච්චි කළේ හරිම පටු දේශපාලන අවකාශයක් ඇතුලෙ කියල මට හිතෙනවා. විශේෂයෙන්ම ආර්ට් වලදි සුචරිත දේශපාලනය පාවිච්චි කළේ හරියට එක්ස් එක ෆිල්ම් ගැන කතා කරද්දි කරනවා වගේ ඌනිතවාදී දෘෂ්ටියකින්.  රොමාන්තික, ෆැන්ටසි, මිත්‍යාමය අවකාශ වල සැරිසරන ජීවිතය සුචරිතට අහිමි වෙනවා. අයිඩියොලොජිය විසින් එයාගෙ වර්ධනය දරුණු විදිහට සීමා කරනවා. භාෂාව ගැන විශාරද දැනුමක් තිබුණ සුචරිතට පාලි සංස්කෘත වගේ පැරණි ඉන්දියානු සාහිත්‍යය ගැන ලොකු කියවීමක් තිබුණ. ඒත් ඒ වියමන් වල ආත්මය විශේෂයෙන්ම පාලි සංස්කෘත වගේ භාෂාවක ටෙක්නිකල් එකට එහා තියෙන ලොකු කෑල්ල වෙන්නෙ ආධ්‍යාත්මික අර්ධය. සුචරිතට ඒ දොර එයාගෙ භෞතිකවාදී දෘෂ්ටිය විසින් වහලා දානවා. ඒ හින්දම විෂය ජීවිතයක් විදිහට අත්දකින්න සහ ඒකෙ ලයිව් විදිහට වැඩෙන්න බැරි වීමක් මට සුචරිතගේ භාවිතාව ඇතුලෙ මුණගැහෙනවා. මුහුකුරා යාම වෙනුවට එයා සදාකාලික තාරුණ්‍යයක හිර වෙනවා. මං මේ දැවැන්තයාට අපහාස කරනවා නෙමෙයි. ඒත් කියන දේ මූණට කියපු, තමන්ගෙ අදහස් වෙනුවෙන් බයක් සැකක් නැතුව පෙනී හිටපු ඒ චරිතයට මං කරන සුචරිත ක‍්‍රියාවක් කියල විශ්වාස කරනවා.

මං බෝම්බ සහ රෝස බලන්න ගියා රීගල් එකෙන් කටවුට් එක බිමට බාන දවසෙ. හෝල් එකටම හිටියෙ පස් හය දෙනයි. බැල්කනියෙ තව කපල් කීපයක් ඉන්න ඇති. ෆිල්ම් එක බලාගෙන යද්දි මට පුදුම හිතුන ඒක මේ විදිහට ගැලවිලා යාම ගැන. අනුරුද්ධගේ හැම චිත‍්‍රපටියකටම වඩා බෝම්බ සහ රෝස හු`ගක් ඉස්සරහින්. ඒ වගේම ලංකාවෙ මේ වෙලාවෙ කෙරෙන හැම චිත‍්‍රපටියකටමත් වඩා (හෝල් වල දුවන සිංහල චිත‍්‍රපටි) බෝම්බ සහ රෝස අනාගතවාදී කියල මට හිතෙනවා. ඒ කතාවෙ ටෙම්පො එක, ත‍්‍රිල් එක, නැරටිව් ගනනාවක් හරහා ගමන් කරන විදිහ ඇත්තටම බලාපොරොත්තු දනවනවා.

ඒත් ප‍්‍රධාන චරිත දෙක තෝරා ගැනීමේදි අනුරුද්ද ඇණගන්නවා කියල මං හිතන්නෙ. සීනිබෝල චරිත කරන්න ඇත්තට සීනි බෝල උන්ට බෑ. සීනිබෝල නොවෙන එකෙක් මේ සීනීබෝල ජීවිත මතු කරන්න ගත්තා නම් මීට වඩා හු`ගක් ළ`ගට චිත‍්‍රපටිය ගේන්න තිබුන. ගොඩක්ම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිය අත්අරින්න හේතුව මේ ප‍්‍රධාන චරිත දෙක අප්පිරියා වෙන එක. ඒත් ෆිල්ම් එකේ ලිස්සලා යන පුංචි පුංචි තැන් ගොඩක් අනුරුද්ද හොඳට ක‍්‍රියේට් කරනවා. උදා විදිහට සරත් කොතලාවල කරන නිතර කහ පාට ගැන උනන්දු වෙන චරිතය. ඒක අතිවිශිෂ්ටයි. ගිරිරාජ්ගෙ පොලිස්කාරයා සහ මහේන්ද්‍රගේ ගොට්ටාගෙ චරිතයත් ඒ වගේ චිත‍්‍රපටිය වෙන තැනක හිටවන්න තිබ්බ හැකියාව පෙන්නනවා. මේ ජීවිත කලාප හරහා වඩා පුළුල් තැනකට කතාව අරන් යනවා වෙනුවට අනුරුද්ද මේ හැම එකක්ම මීඩියා ඇතුලට ගේනවා. ෆිල්ම් එක ඉවර වුණාම දැනෙන හිස්තැන එන්නෙ ඒ හින්ද. දේශපාලනිකව මේක වලංගු කාරණයක් වුනත් චිත‍්‍රපටියෙදි ගොඩනගන හැම දෙයක්ම ලොස් වෙන තැනක් වෙනවා. ඒත් වෙනස් සිනමා ප‍්‍රවේශයක් වෙනුවෙන් අනුරුද්දගේ මේ උත්සාහය අගය වෙන්න  ඕන. මේ චිත‍්‍රපටය මීට වඩා කෑලි ගලවමින් අධ්‍යනය කරන්න  ඕන. හේතුව සම්භාව්‍ය කියන කම්මැලි මොකුත් නොවෙන සිනමාව ඇරුණම මේ වේගවත්, දාර්ශනික නොවී  ජීවිතය සහ වින්දනය හඹා යන සිනමාව අපිට තාම පුරුදු නෑ. ඒ වේගයන් සහ අවකාශයන් ගැන අත්වැරදීම් ගොඩක් එක්කයි අපිට යන්න වෙන්නෙ. අනුරුද්ද පළවෙනි අත්වැරැුද්ද කරන්න තරම් නිර්භීත වුණා.

ළ`ගදි බොදු බල සේනාව ගැන කතා බහක් මැද මාත් හිටියා. එතන හැමෝම වගේ වාමාංශික දේශපාලන කලාප වල වැඩ කරන අය මං ඇරුණම.  ඒ ගොල්ලො එක වගේ එක`ගයි බොදු බල සේනා අප්සෙට් කියන තැනට. මාත් එක`ගයි. ඒත් ඊට වඩා මට පේන්නෙ අනිත් කරනවයි කියන දේශපාලන ව්‍යාපෘති අප්සෙට් කියන එක. ගොඩක් දේශපාලන කන්ඩායම් බොදු බල ව්‍යාපෘතිය ඇතුලෙ අදේශපාලනික වෙනවා කියලයි මට හිතෙන්නෙ.  බෙල්ල කඩලා යන්න හරි කියල මං බොදු බල ගැන මගේ අදහස කිව්වා.

බොදු බල සේනා කියන්නෙ මට පේන විදිහට කල්ට් එකක්. මං ඒකට පක්ෂයි ඒ අදහසෙන්. කල්ට් අදහසක් රටේ ප‍්‍රධාන ධාරාවෙ අදහසක් දක්වා අරන් එනවා නං මගේ දේශපාලනික අදහස මොකක් වුනත් මට ඒක ප්‍රෝග්‍රෙසිව් වැඩක්. ඒක දේශපාලනිකව සමාජය ඇතුලෙ වැඩ කරන එක ගැන මට ප‍්‍රශ්නයක් තියෙනවා නං මං කරන්න  ඕන ඒකට විරුද්දව වැඩ කරන එක. සමාජ මතයක් විදිහට ඒක ෆේල් කරන එක.

අදහසක් සමාජයක් ඇතුලෙ දරුණු විදිහට පැතිරෙනවා කියන්නෙ ඒ අදහස පිටිපස්සෙ තියෙනවා මොකක් හරි ඇත්ත තැනක්.  මට හිතෙන විදිහට බොදු බල ලාංකේය ජනතාවට ඇත්ත තැනක කැම්පේන් කරනවා. මේක කැම්පේන් එකක්. ඒ කැම්පේන් එක ඇතුලෙ ජනතාව මොකක් හරි ‘හොඳ’ කියල කියන ‘රණවිරු’ වගේ තැනක අනන්‍යතාවයක් ලබනවා. කොහෙට හරි අයිති බවක් හ`ගවනවා. දේශපාලනයකට වඩා එතන සමාජයක්, ලයිෆ් ස්ටයිල් එකක්, මෙලොව පරලොව, නිවන හැම එකක්ම එකට ගලපගන්න අවකාශයක් නිර්මාණය කරනවා. වාමාංශික හෝ අනෙක් බලපෑම් කණ්ඩායම් තමන්ගෙ අදහස එක්ක මුනගැහෙන්නෙ ජනතාවගෙ ඇත්ත තැනක නෙමෙයි. මගේ අදහස බොදු බල නිසා ඊට වඩා වෙනස් සංස්කෘතික දේශපාලන අවකාශයක් ගැන හීන දකින අපිට හොඳ චැලෙන්ජ් එකක් මුනගැහෙනවා. ඒක ලංකාවෙ ප‍්‍රජාව ගැන ඇත්තක්. එතනට හරියට තමන්ගෙ අදහස අළෙවි කරපු එක බොදු බල කන්ඩායමේ සාර්තකත්වයක් වෙන අතරෙම මානව අයිතීන් හෝ ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කරනවා කියන අනෙක් කන්ඩායම් වල ෆේලියර් එකක්. මං එදා කිව්වෙ අපි මේ කතා කරමින් ඉන්නෙ අපේ බැරිකම. විශේෂයෙන්ම බොදු බල කියන්නෙ නාගරික ව්‍යාපෘතියක්. එතනදි අපි අතීතයක් පුරා කරමින් ඉන්නවා කියන සංස්කෘතික සංවාද කතිකා වල හිස්කම දැනෙනවා වැඩියි. සහ බොදු බල වැරදියි කියනවට වඩා මේ වෙලාවෙ පොලිටිකලි තමන්ව ටෙස්ට් කර ගන්න සහ දේශපාලනික ඇත්තක් විදිහට බොදු බල බාර ගන්න එක පොසිටිව් කියලයි මං කිව්වෙ. ආණ්ඩුවේ සම්බන්දතා සහ වෙන වෙන කුමන්ත‍්‍රණ න්‍යායන් කියන එකෙන් කරන්නෙ ඒ ඇත්ත මග අරින්න ට‍්‍රයි කරන එක.

බොදු බල තහනම් කරන්න කැබිනට් පත‍්‍රිකාවක් ආවා කියන එකෙන් මගේ යාලූවො ගොඩක් ත‍්‍රිල් වුණා. නිදහස ගැන අයිතිවාසිකම් ගැන කතා කරන කට්ටිය ආන්ඩුවෙ තහනමකට කොන්දේසි විරහිතව පක්ෂ වෙනවා.  බොදු බලෙන් කරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා ගැන නීතියෙන් ක‍්‍රියාමාර්ග ගන්න  ඕන. ඒ අයට ද`ඩුවම් කරන්න  ඕන.  ඒත් අදහසක් විදිහට, ක‍්‍රියාකාරීත්වයක් විදිහට බොදු බල තහනම් කරන එක අදහස් ප‍්‍රකාශන අයිතිය නැති කිරීමක්. එල්ටීටීඊ තහනමට විරුද්ද වෙන තැනින්ම මං බොදු බල තහනම් කරනවා නම් ඒකටත් විරුද්දයි. අනිත් අතට ඒ අදහස සමාජය ඇතුලෙ පරාජය කරනවා මිස ඒක කැන්සල් කරන එකෙන් ඒක තවත් ශක්තිමත් කරනවා.

ලංකාවෙ ගෑනුන්ට ඡන්ද අයිතිය දීපු විදිහ අවුල් කියලා ඉස්තෙපාන් මාත් එක්ක කිව්වා.
‘මචං උන් ඒක ඉල්ලූවෙ නෑ. ඒක ගැන දන්නෙවත් නෑ. එකපාරටම උන්ට ඡුන්දෙ දාන්න පුළුවන් වෙනවා. ඒක අප්සෙට් මචං. ඒ අයිතිය ගැන ලොකු ෆයිට් එකකට පස්සෙ ඒක ලැබුන නං තමයි ඒ ගැන හැ`ගීමක්, වගකීමක් එන්නෙ’
මේ කතාව ගෑනුන්ගෙ ඡන්ද අයිතිය විතරක් නෙමෙයි ලංකාවෙ කොයි දෙයක් ගැන වුනත් අදාලයි කියලයි මට හිතෙන්නෙ. චන්දන අයියා කියන විදිහට බර කරත්ත වලින් යමින් හිටපු අපිට එකපාරට බෙන්ස් අවුඩි හම්බුනාම ඒ එලවන්නෙත් බර කරත්ත එලවන විදිහට තමයි. පාර පුරා පොඞ්ඩක් තැවරිච්ච ගමන් කරත්තකාරයො කාර් වලින් එලියට බැහැලා කෑ ගහන්න ගන්නවා’
මේ අදහසම බොදු බල ගැනත් අදාලයි. නීතිය හරි වෙන උඩින් ගේන මොකකින් හරි අදහස් මගඅරිනවා වෙනුවට අත්දැකීමක් විදිහට සමාජයක් ඇතුලෙ ඒ අදහස වෙනස් කරන එකෙන් විතරයි සමාජයක් පරිණත වෙන්නෙ. නැත්තං වෙන්නෙ  ඇඳුම් මාරු කරන එක විතරයි.

බොදු බල දේශපාලනිකව ගැඹුරු වෙනසක් යෝජනා කරනවා. ඒක පිළිගත් ආයතන සම්ප‍්‍රදායට ප‍්‍රතිවිරුද්ද එකක්. දේශපාලනය වෙනුවට ආගම (විශ්වාසය, භක්තිය) පක්ෂ, නීති, ආයතන වෙනුවට සමාජය ඒ ගොල්ලො වැඩ කරන්න තෝර ගන්නවා. කොටින්ම පිට්ටනිය වෙනස් කරනවා.
මගේ අදහස වුනේ මේ කාරනා ගැන සීරියස් විදිහට අධ්‍යනය කරන්නෙ සහ තේරුම් ගන්නෙ නැතුව සාධාරණය, යුක්තිය, අයිතිය වගේ අපේ ඔලූවෙ තියෙන සංකල්ප වලින් ( මේ සංකල්ප ලංකාවෙ භෞතිකයක් දක්වා වැඩකරලා නෑ) බොදු බල ගැන කතා කරන එක අපේ සීමාවක් කියල. ඒක ගැන මොනවා හරි කරන්න කියලා ආණ්ඩුවට කියන එක හරියට පංතියෙ එහා පැත්තෙ කොල්ලා ගැහුවම තාත්තට කියනවා වගේ හුරතල් චූටි වැඩක්.  දේශපාලනය කියන්නෙ හුරතල් වෙන්න තැනක් නෙමෙයි කියල බොදු බල විසින් දේශපාලන චූටි මල්ලිලාට ටොකු අනිනවා.

ඒ රිදිල්ලට එතන කට්ටියම වටවෙලා මට හොඳට නෙළුවා.
 ‘ෆැසිස්ට්වාදියා’
‘උඹ කියන වටින එකක් දෙකක් වුනත් කැන්සල් වෙනවා මේ වගේ කතා හින්ද ’
හැමෝම එකපෙලට කෑ ගැහුවා. මං පසුපෙලට විසි වුණා
චූටි මල්ලිලා තීන්ත එක මාරු කරන්න කැමතිම නෑ. තේරුණද දන් නෑ?

-චින්තන ධර්මදාස


5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Replies
    1. චින්තා ....."Down Town Pulse " වැඩේ නැගලම ගියා...........මේක කොහොමද
      මම කවුරු වගේද___???

      Delete
  3. මට බොදු බල සේනාව පේන්නෙ එල් ටී ටී එකෙන් අපිට ලැබුන මානසික අඩුව පිරිමසාලන කන්ඩායමක් විදියට...
    මේ සමාජ ක්‍රමය තුල ඉන්ටනෙට් යන්න නාගරික වෙන්න තරම් සම්පත් තොගයක් භුකිත් විදින්න ලැබෙන්න සීමිත පිරිසකට...
    එතකොට ඒ අය ඉතිරි මහා සමාජයේ ඒ තැනට එන්න බැරිවෙන අයගෙන් වෙන් වෙනවා..
    නමුත් සියල්ලන්ටම තමුං විසින් නඩත්තු වෙන තමුන් අයිති වෙන මේ කැත ක්‍රමයෙන් පිට දේවල් ආදේශ කරගන් ලැබෙනවා...
    ඒක එදා එල් ටීටී එකට වෛර කරලා අපේ අය මානසිකව සතුටු වුනා..
    අද ඒ කම බොදු බල සේනාවට පක්ෂවෙලා අපේ අය සිද්ද කරගෙන යනවා...

    අපේ ජීවිත එක්කබැඳුන පඩි, ක්‍රමය, සාධාරනය, පාලනය, ගැන කතාකරනවාට වඩා කොහොමහරි ජඩ වැඩක් කරලා එදාවේල හම්බකරගන්න අපිට අපෙන් පිටත පවතින දෙයක් එක්ක බැඳීම වාසිදායකයි...

    මොකද මේ ක්‍රමය වඩා නිවැරදි ුවුනොත් එදාට පේ්ස්බුක් යන අති බහතුර ලාංකිකයින්ට බඩ පාර වදිනවා..නිකං ඉදන් පඩි ගන්න දාස් ගානකට ගෙදර යන්න වෙනවා..ඒ නිසා ක්‍රමය සාධාරනය ගැන කතාවට වඩා පිටත තියෙන එල් ටී ටී තමිල්නාඩු, ආගම, ඥානසාර වගේ පස්න කතාකරන එක අපි අපිව බේරගන්න කරන්න පුලුවන් ඩීල් එකක්..

    බොදුබල සේනාවට විරුද්ද වීමත් ඒ ආතල් එකමයි.ඒ අයත් ඒකට විරුද්ද වීම මත වෙන මොකක් හෝ කරන්න හදනවා මිස පුලුල් කැපකිරිම් සහිත සමාජ සංවාදයකට සමාජ පෙරලියකට යන්න කැමති නැහැ...


    හැමෝම අනේ මං ඉතිරි කරලා සමාජ විප්ලව කරපල්ලා කියන පටු තැනට ඇවිත්...ඒ වගේ පසුබිමක ඇතුලත පස්න වලට වඩා පිටත පස්න ඉස්මතුවීම වැඩියි..

    ReplyDelete
  4. "මට බොදු බල සේනාව පේන්නෙ එල් ටී ටී එකෙන් අපිට ලැබුන මානසික අඩුව පිරිමසාලන කන්ඩායමක් විදියට..." ඒක මටත් දැනුන .

    මේ comment එක මගෙ concentration එක වෙන පැත්තකට හැරෙව්වා .

    තමිල්නාඩුවේ ඔය වගේ සද්දේ දාගෙන කෑ ගහන්න හේතුවට background එක මේකයි .

    අවුරුදු තිහක් විතර හිරවෙලා තිබ්බ රටක් (economically) හිරවීමෙන් ගැල වුනාට පස්සේ
    5% , 6% වගේ ආර්ථික වර්ධන වේගයක් ගන්න එක මොන ආණ්ඩුව ආවත් කවුරු budget
    එක හැදුවත් නවත්තන්න බෑ . (හොඳ descipline එකක් තියෙන මිනිස්සු රටේ හිටියනං ඒක
    10% ගන්න එක ගේමක් නෙවෙයි ) ගිය අවුරුද්දේ 6.5% වගේ ආසන්න ගානක් ආවෙත්
    මං කලින් කිව්ව rhythm එක continue වෙන හින්දා .
    ලංකාව තව අවුරුදු 10 ක් විතර යනකොට ගන්න physical infrastructure development
    එක තමිල්නාඩුවට තව අවුරුදු 100ක් ගිහිල්ලත් ගන්න බෑ .ඒකට හේතු ගොඩක් තියෙනවා .
    නමුත් තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු ලංකාවේ වෙන infrastructure development එක
    දැකල තමිල්නාඩු government එකට බනිනවා ''ආණ්ඩුවේ උන් හොරකම් කරනවා කියල "
    එතකොට එහෙ ආය opposition එක බලයට එනවා .ඒ වගේ හේතු හින්ද තමයි ''එක්කෝ ලංකාවේ
    හරි තමිල්නාඩුවේ හරි ප්‍රශ්නයක් මවල concentration එක වෙන පැත්තකට ගන්න හදන්නේ.

    ReplyDelete