Sunday, August 4, 2013

එක බිංදුවට වඩා ලොකුද?

සංජීවගේ චිත‍්‍රපටිය බලලා දීප්ති කුමාර ගුනරත්නත් එයාගෙ වෙබ් එකට ලිපියක් ලියලා තිබුණ. ඒකෙ මාතෘකාව තිබුනෙ මිනිසුන්ගේ ආශාවන් පෙළපාලි යන්නෙ නැත කියල. මට ඒකෙ තේරුම එච්චර පැහැදිලි නැති හින්ද සබ් ලයින් එක කියෙව්වා. බාලිකා පාසැලක් අසලට ගොස් සරම උස්සා පෙන්නීම කලා කෘතියක් ලෙස සැලකීම කියල තමයි පැහැදිලි කිරීම තිබුනෙ.

මේ ලියමනේ පළවෙනි ෙඡ්දය කියවන්න මට හු`ගක් අමාරු වුණා. උභයාවේගයක් අපාරගම්‍ය කරමින්..ඒ පාරාන්ධ ලකුණ ගැන කතා කරන්නට..වගේ විදග්ධ බර වචන වලින් මොකද්ද කියන්න හදනවා. මට හැම තිස්සෙම නොතේරෙන මේ විද්වතුන්ගෙ ගැටළුවක් මේක. පශ්චාත් නූතනවාදය වගේ මාර අලූත් දේවල් කතා කරනවා නටඹුන් සිංහලෙන්. ඒක දීප්තිගේ විතරක් රෝගයක් නෙමෙයි. වෙන ගොඩක් ලියන කියන කතිකාවෙ ඉන්න අයගෙ අවුලක්. ඒ භාෂාව ඇතුළෙන් තමන්ට වැදගත්කමක් ගන්න ට‍්‍රයි කරනවා. ලංකාවෙ හැටියට නොතේරෙන දේ සම්භාව්‍ය වෙනවා. ඒත් වෙන රටවල යමක් අවබෝධයෙන් කියන තරමට ඒ දේ සරල වෙනවා කියලා තමයි අහලා තියෙන්නෙ.

කොහොම වුණත් දීප්ති ගැන මට තිබුනෙ මොකක් හරි නිර්මාණශීලී සිතීමක් ඇතුව ඉතුරු වෙලා ඉන්න අපිට කලින් පරම්පරාවෙ අති සුළුතරයෙන් එක්කෙනෙක් කියන හැ`ගීමක්. ලංකාවෙ එක්තරා සිතීමේ ලක්ෂයක් වෙනස් කිරීම වෙනුවෙන් ඒ ඇකඩමියාවට පිටින් සිද්ද වුණු පෙරලියක සිතන්නා වුනේ දීප්ති. ඒත් වයසත් එක්ක හැමෝම ඇකිළෙන්න පටන් ගන්නවා. හැම විද්‍යාවක්ම පරණ වෙනවා වගේ ඊට වඩා ඉක්මණට මිනිස්සු පරණ වෙනවා. සංජීවගේ චිත‍්‍රපටිය ගැන දීප්තිගේ ලියමනේ මට ඇහුනෙ ඒ පැන්ෂන් යාමේ ඔරලෝසු කණිසම.

දීප්තිගේ ලිපිය ඉරිසියාව මූලිකව ලියවුණු එකක් වග  ඕනවට වඩා පැහැදිලියි. ඉරිසියාව ලියමනක විලාසිතාව කර ගන්න එක ගැටළුවක් නෙමෙයි. විචාරයක් සත්‍යය විය යුතු නැතුවා වගේම විචාරයක් කියන්නෙත් වෙනස් විදිහක භාවයන්ට කතා කරන ද්විතීයික ආර්ට් එකක් වෙන්න පුළුවන්. (දීප්ති ඒ අර්ථයෙන් ලියනවාද කියල මං දන්නෙ නෑ) ඒත් ඒ ආර්ට් එක ඇතුළෙ තමන්ගෙ ගැඹුර සටහන් කරන්න  ඕන. අලූත් සිතීමේ ලක්ෂ්‍ය එළිදරව් කරන්න  ඕනි. නැත්තං ඒක කියවීමේ උපයෝගිතාවක් විනෝදයක් නැති වෙනවා.

මං කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට දීප්ති මේ ලියමනේ තමන් අත්විඳින මානසික වේදනාව අවංකව කියනවා. ‘අප සියලූ දෙනා අපතයන්ය. අපතයන්ට ඉංග‍්‍රීසියෙන් කියන්නෙ ප්ලෙබ් කියාය. එවැනි අයට පංතියක් ජන්මයක් සමාජ බලයක් අවකාශයේ නැත. සියලූ සමාජ විශ්ලේෂන වලින් අපතයන්ගේ නම් කපා හරියි. උදා විදිහට කුමුදු කුසුම් කුමාරගේ කතිකා වෙබ් අඩවිය නම් කතිකාව තුල නැත්තේ මගේ නම පමණි’

මේක හරි දුක හිතෙන තැනක්. එයා සංජීවගේ චිත‍්‍රපටියට එන්නෙ මේ ඩිප්‍රෙෂන් එක හරහා. මේ පරම්පරාවෙ ගොඩක් අය මේ විදිහට සමාජය විසින් අත්හැර දැමීම පිළිබඳ කාංසාවෙන් පෙළෙනවා. ඊට පස්සෙ ඒ වෙනුවෙන් හු`ගක් පරණ ආදිකල්පික මතවාද හරහා නැවත සමාජගත වෙන්න උත්සාහ කරනවා. මං මෙතන කියන්නෙ මේක දුෂ්ට හෝ කාලකණ්ණි හෝ තත්වයක් කියල නෙමෙයි. මේ ඇතිවෙන හිස්තැන පරතරය තේරුම් ගැනීම වැදගත් වෙන්න පුළුවන් හින්ද.

ඊට පස්සෙ දීප්ති චිත‍්‍රපටියෙ එල්ලෙන ප‍්‍රධාන තැන වෙන්නෙ සංජීව එයාගෙ අම්මා ඉදිරියේ අම්මාගේ රමණයන් පිළිබඳ අත්දැකීම් ලොකු තිරයක් උඩ ප‍්‍රක්‍ෂෙපණය කළා කියන එක. මේක මාර විපරීත මාර අවුල් සහගත තැනක් විදිහට දීප්තිව කලබල කරනවා. කොටින්ම හමුදා සොල්දාදුවාගේ ලිංගය කපා දාන එකෙන් ඒ ආතතිය අඩු වුනා කියලත් එයා කියනවා.

මේ කතාව මං මුලින්ම ඇහුවෙ රජයේ මාධ්‍යයක චිත‍්‍රපටිය ගැන තේරුමක් නැති මඩ ප‍්‍රචාර මැද්දෙ. මේ ලිපියත් එක්ක දීප්ති මතවාදීව ඒ මාස් සුචරිතවාදය එක්ක එක පෙළට හිට ගන්නවා. විපරීතය දරා ගන්න බැරුව කම්පා වෙනවා. ෆ්‍රොයිඞ් ගැන, ලැකාන් ගැන ස`ගරා ගණන් ලියපු දීප්තිට විපරීතය මේ තරම් අවුල් වෙන එක මට තේරුම් ගන්න බෑ. විපරීතය ආර්ට් එකක් වෙන්න බැරිද, විපරීතය වෙනුවට මේ යෝජනා කරන ස්ටෙරිලයිස්ඞ් සුචරිතවාදය එයා ගේන්නෙ කොහෙන්ද? මේ අනිත් වයසට යන අය වගේම රොමාන්තික සදාචාර රෝගයක් හරහා නැවත සමාජගත වීමේ උත්සාහයක්ද? (හඳයා අක්ෂරයට පස්සෙ විදු කළා වගේ)

මේ ලිපියෙන් මාව අවුල් වුණු ප‍්‍රධාන කාරණය වුනේ මට දීප්ති නැවත නැවත එයාගෙ වල්ගයන්ම හපා ගන්නවා ඇරෙන්න එයින් එළියට හිතීම නතර කරලා කියලා දැණුන එක. ඒත් කාලයක් ඒ කාලයට වඩා ගොඩක් ඉස්සරහින් වුණු දැනුමක් සමාජගත කරන්න වෙහෙසුණු සිතීමක් විශ‍්‍රාම යාම දකින එක දුකක්.
ලියන්න පටන් ගන්න වුනේ ලියන්න  ඕන කරන තැනට ගව් ගානක් එහායින්. ඒත් මෙතන වංගුවෙන් මං සිග්නල් නොදාම මගේ කතාවට හරවනවා. මේක ටෙඞ් ටෝක්ස් වල මං දැකපු කතාවක්. දේව්දත් පට්ටානයික් කියන මිත්‍යාවන්, පුරාවෘත්තයන් සහ ඇදහිලි අධ්‍යනය කරන කෙනෙකුගේ විස්තරයක්.

පෙරදිග විදිහට සිතීමෙයි බටහිර සිතීමෙයි අතර වෙනස ගැන මං ගොඩක් කල්පනා කරල තිබුණ. අපි එක එක විදිහට පිළිවෙල කරන්න යන (ශිෂ්ට කරන්න හදන) අපිළිවෙලකම, නිදහස වගේ දේවල්ම නේද අපි ඇත්තට පරණ පරම්පරා වලින් අරගෙන එන්නෙ කියල. මනික් සන්ද්‍රසාගර් ලිවින් හෙරිටේජ් කියල කියන්නෙත් මීට ළ`ග අදහසක්. මේක අපේ දේශපාලන කණ්ඩායම් දැකපු ශික්ෂණය නොවීමේ අර්බුදයක් විදිහට වඩා මේක අපිට ආවේණික විදිහක් විදිහට තේරුම් ගන්න මං උත්සාහ කළා. මොකද ඒ මෙතන පේලියක පිළිවෙලට ලියන්න බැරි ඒ ගති සොබාවයන් ශික්ෂණය වෙනකොට ඉතුරු වුනේ පරාරෝපිත මළකුණු වගේ උන් ටිකක් විතරක් හින්ද.

දේව්දත් මේ වෙනස සළකුණු කරන්නෙ අපි විසින් දරන මිත්‍යාව ඇතුලෙ. ලංකාවෙ කියලා අපි වෙනම මොකක්ද හදා ගන්න හැදුවට අපේ විශාල මිත්‍යාව, බිම වෙන්නෙ ඉන්දියාව. අපේ පූර්ව ඉතිහාස අවධියෙ මහා පුරුෂයා වෙන රාවණා වුණත් ඉන්නෙ ඉන්දියානු පුරාවෘත්තයක් ඇතුලෙ. දේව්දත් කියන්නෙ බටහිර සහ පෙරදිග මේ දරන පුරවෘත්ත, මිත්‍යා,ඇදහිලි වල වෙනස විසින් සංස්කෘතිය චර්යාව තීරණය කරනවා කියල.

කතරගම දෙවියන්ගෙ සහ ගණ දෙවියන්ගෙ සුප‍්‍රකට උදාහරණය මේක පැහැදිලි කරන්න ලේසි උපමාවක්. කතරගමට සහ ගණපතිට වරක් දෙමව්පියන් කියනවා ලෝකය වටේ ගිහින් එන්න කියල. කතරගම මොනරා පිටේ නැගලා ඇත්තට ලෝකෙ වටේ යනවා. ගණපති අම්මගේ වටේ යනවා. රොහාන් පෙරේරා ඉස්සර මේ කතාව කියද්දි ලෝකෙ වටේ යාමෙන් එකතු වුණු අත්දැකීම් සහ පරිචයන් සළකුණු කරන්න කතරගමට අත් දොළහක් සහ හිස් හයක් ලැබුණු වගත් අම්මා වටේ යන අයට වෙන දේ අලියෙක් වගේ මීයෙක් උඩ ලගින ගණපතිගෙන් පෙන්නුම් කරන වගත් කියනවා මතකයි. ඒත් පුරාවෘත්තයේ හැටියට නුවණට අධිපති වෙන්නෙ ගණපති. කතරගම බලයට (ශරීරයට) අධිපති.

දේව්දත් මෙතනදි ගණපතිගේ ලෝකය මගේ ලෝකය (නලින්ද සිල්වාගේ නොවේ) හැටියටත් කතරගමගේ ලෝකය වාස්තවික ලෝකය හැටියටත් නම් කරනවා (ඉංග‍්‍රීසියෙන් මේක ලේසියි. මයි වර්ල්ඞ් සහ ද වර්ල්ඞ් කියන දෙක) බටහිර සිතීම පදනම් වෙන්නෙ මේ ‘ද වර්ල්ඞ්’ කියන එක උඩ. ඒක තාර්කිකයි. විශ්වීයයි. කරුණු මත පදනම් වෙනවා. විද්‍යාත්මකයි. ලෝකෙ ඇති වුනේ කොහොමද? කැරකෙන්නෙ කොහොමද වගේ ප‍්‍රශ්න තමයි විසඳන්න හදන්නෙ. (ලෝගෝස්)

ඒත් පෙරදිග සිතීම පදනම් වුනේ මයි වර්ල්ඞ් කියන එක උඩ. ඒක ආත්මීයයි. හැ`ගීම්බරයි. පුද්ගලිකයි. මිත්‍යාවන්ගෙන් පිරිලා. එතනදි අහන්නෙ මේ ඉර පායන්නෙ ඇයි? මේ ජීවිතේ පවතින්නෙ ඇයි? වගේ ප‍්‍රශ්න(මිතොස්).  සංස්කෘතිය හැදෙන්නෙ ස්වභාව ධර්මයත් එක්ක අපි මේ සිතීමෙන් කරන ගනුදෙනුව ඇතුලෙ. එතනදි කතා, ඇදහිලි, මිත්‍යා නිර්මාණය වෙනවා. ද වර්ල්ඞ් කියලා අපි දකින්නෙත් නැවත ඒ විදිහෙ මිත්‍යාවක්ම තමයි.

ක‍්‍රිපූ තුන්සිය ගණන් වල දැනට පකිස්ථානය තියෙන පැත්තෙ තියෙන ඉන්දු නිම්නයෙදි මැසිඩෝනියාවෙ ඇලෙක්සැන්දර්ට හෙළුවෙන් ඉන්න මුනිවරයෙක් මුණගැහෙනවා. ඇලෙක්සැන්දර් මුනිවරයාගෙන් අහනවා මොකද මෙතන කරන්නෙ කියල.
‘මං ශූන්‍යතාවය දෙස බලා ඉන්නවා’ කියලා එයා අහස දිහා බලන් ඉන්නවා. එයත් අහනවා ඇලෙක්සැන්දර්ගෙන් මොකද මේ කරන්නෙ කියල.

‘මං ලෝකෙම යටත් කර ගන්නවා’ ඇලෙක්සැන්දර් කියනවා. මාර වැඬේ කියන්නෙ දෙන්නම අනිත් කෙනාගෙ අදහසට හිනාවෙනවා. මේක තමයි මේ සිතීම් දෙකේ වෙනස. ඇලෙක්සැන්දර් හැදෙන වැඩෙන මිත්‍යාව හෙළුවෙන් ඉන්න මුනිවරයා හැදෙන වැඩෙන මිත්‍යාවට වඩා වෙනස්. ඇලෙක්සැන්දර්ගේ ගුරුවරයා තිතට තාර්කිකත්වය පුහුණු කරන ඇරිස්ටෝටල්. එයාගෙ කියවන්නෙ හොමර්ගේ ඉලියඞ් වගේ වීර කාව්‍යය. එයාට  ඕන ඇචිලීස් වගේ වීරයෙක් වෙන්න. එයා බයයි සිසිපස් වගේ පරාජිතයෙක් වෙයි කියලා. ඇලෙක්සැන්දර්ගේ මිත්‍යාවෙන් කියන්නෙ අපි ජීවත් වෙන්නෙ එක වතාවයි කියල. ඊට පස්සෙ අපි ගංගාවක් තරණය කරනවා. වීරයන්ගේ ස්වර්ගයට යන්න සුදුස්සෙක් වෙලා ඉන්න එක වැදගත් වෙන්නෙ මෙතනදියි.
ඒත් මුනිවරයාගෙ මිත්‍යාව ඊට වඩා වෙනස්. එයා දන්නෙ භාරත් වගේ වීරයො ගැන (පස්සෙ මහා භාරතය වෙන්නෙ) එයා සියලූ දෙනා යටත් කරගෙන එයාගෙ ජයග‍්‍රහනයේ කොඩිය ගහන්න කඳු මුදුනකට යනවා. ආඩම්බරෙන් ඒ කොඩිය ගහලා වටපිට බලද්දි එයා තව ගොඩක් ඒ වගේ කොඩි දකිනවා. ඒ කලින් ඒ විදිහට විජයග‍්‍රහණයන් කළවුන්ගේ ජයකොඩි. තමන් මේ සියල්ල අතර කොයි තරං කුඩාද, තමන් ඉදිරියේ ඇති අනන්තය කොයිතරං විශාලද කියල භාරත්ට අවබෝධ වෙනවා. (මේ මහද්වීපික සත්‍යය කවදාවත් අපේ වගේ දුපතක එකෙකුට අවබෝධ වෙන්නෙ නෑ)

මුනිවරයා දන්න මිත්‍යාවෙත් කෙනෙක් මරණින් මතු ගංගාවක් තරණය කරනවා. ඒත් ඒ එක වරක් නෙමෙයි. ඒ ගෙ`ග් එහා මෙහා නැවත නැවත තරණය කරනවා. ඒක අනන්තයක්. බටහිර සිතීම නිතරම එකේ ඉලක්කමකුත් පෙරදිග සිතීම බිංදුවකුත් සළකුණු කරන්නෙ ඒ විදිහට. බිංදුව හොයාගන්න ඉන්දියානු ගණිතඥයන්ට මේ අනන්තය නැත්තං ශූන්‍යතාවය ගැන දැනීම ඉවහල් වුණා කියල කියනවා.
මේ විදිහට පෙරදිග සිතීම චක‍්‍රීය එකක් වෙද්දි බටහිර සිතීම රේඛීය එකක් වෙනවා. අපි ගත්තොත් මේක කොහොමද වර්තමාන එදිනෙදා දේවල් වලට බලපාන්නෙ කියලා ඒක හරි සරලයි. විශ්වාසය ඇතුලෙන් අපි චර්යාවකට මුල පුරනවා. ඒ චර්යාව තමයි ව්‍යාපාරය හෝ සංකීර්ණ ක‍්‍රියාව ආපහු හදන්නෙ.

බටහිර විශ්වාසය මත පදනම් වෙච්ච සිතීම මේ විදිහට විග‍්‍රහ කරගන්න පුළුවන්. ඒක වැඩ කරන්නෙ ධන ඍණ නැත්තං ද්විකෝටික තර්කනයෙ ප‍්‍රතිවිරුද්ද යුගල අතර විතරයි. ඒ වගේම ඒක නිශ්චිත සත්‍යයක් හොයාගෙන යන්න උත්සාහ කරනවා. හැම දෙයක්ම ප‍්‍රමිතියකට, විනයකට, පද්ධතියකට අඩංගු කරලයි ඒ සිතීම මෙහෙයවෙන්නෙ. පරම වූ යමක් දිශාවටයි ඒක දිශානත වෙන්නෙ. ක‍්‍රිස්තියානියේ ඉඳන් මාක්ස්වාදය දක්වාත් ඊට පස්සෙ පශ්චාත්වාදයන් දක්වාත් අදහස් ගොඩනැගෙන්නෙ මේ පදනම උඩ.

පෙරදිග පදනම මීට වෙනස්. ඒකෙ තාර්කික නෑ. ද්විකෝටිකයෙන් අල්ලන්න බෑ. පස්සෙ විස්තර කරගත්ත විදිහට බුදුන්ගේ දර්ශනය චතුස්කෝටිකයි කියනවා. ඇතැම් සිතීම් බහුකෝටිකයි කියනවා. ඒ වගේම කරුණු වෙනුවට මතවාද උඩ මේ සිතීම හැසිරෙන්න ගන්නවා. පවතින සංදර්භය අනුව, සාපේක්‍ෂව හැඩගැන්වුණු යතාර්ථයක් තමයි මේ සිතීමෙන් අවබෝධ කර ගන්න හදන්නෙ. අපේ රටේ ඇකඩමික් විද්වතුන්ට ලංකාවෙ හැසිරීම හෝ දේශපානය ගැන ලංකාවෙ කාලගුන දෙපාර්තමේන්තුව කාලගුනේ ගැන කියන අනාවැකියක් තරම් වත් නිවැරදි දෙයක් කියාගන්න බැරි හේතුව තියෙන්නෙ මෙතනයි.

බටහිර මිත්‍යාවෙ ආධ්‍යාත්මිකය පවා නිශ්චිත වගුගත කිරීමක් කරලයි තියෙන්නෙ. දෙවියන් ඉදිරියට පව් සමා කර ගන්න යනකොට අපි කළ පාපය හා කුසලය ගැන තාර්කික වැටහීමක් තියෙනවා. ඒත් පෙරදිග දෙවියන් ඉදිරියට යාම, ඒ කියන්නෙ ‘දර්ශන්’ කියන එකේදි දෙවියන්ගෙ විශාල ඇස් ඉදිරියේ තමන් හිටගන්නවා විතරයි. වරද නිවැරැුද්ද ගැන දැනීම තියෙන්නෙ ඒ දෙවියන් අත මිස තමන් අත නෙමෙයි. ඒක වැරදි - හරි විදිහට දෙකට බෙදුණු ආධ්‍යාත්මයක් නෙමෙයි.

ඉන්දියානු කලාවන් ගත්තත්... බටහිර බැලරිනා කෙනෙක්ගේ ජ්‍යාමිතික රේඛීය හැඩතල සහ ඉන්දියානු සම්භාව්‍ය නර්තනයක විසිරුණු චලනයන් අරන් බලන්න. ඉන්දියානු සංගීතය වුණත්, ඒක හාමොනි මත පදනම් වෙන්නෙ නෑ. ඒක තනි තනි ආත්මීය හ`ඩවල් මතයි ගායනා වෙන්නෙ. ලිඛිත, සංවිධිත, සංයුක්ත බවක් වෙනුවට ඒ පරිසරය විසින් හැඩගන්වන නම්‍යශීලිත්වයයි ඉන්දියානු සංගීතයේ චමත්කාරය වෙන්නෙ.
බටහිර දර්ශනවාදයක් දේශපාලනයක් හෝ වෙන  ඕනම භාවිතාවක් ලංකාව ඉන්දියාව වගේ රටක අසාර්ථක වෙන්නෙ මේ වෙනස ඇතුලෙ. අපි ගෝලියකරණය කියන එකෙන් වෙන්නෙ මේ ශූන්‍යතාවය 0 පදනම් වුණු සිතීම බලෙන් 1 පදනම් වුණු සිතීමෙන් ශික්ෂණය කරන්න හදන එක. ඒක ඒ ජීවිත දරන මිත්‍යාව නෙමෙයි. ඒකෙන් ඒ ජීවිත කෑලි වලට ඉරෙන්න පටන් ගන්නවා. පරාරෝපනය සාමාන්‍යයක් වෙනවා. ඒ වගේම පරම්පරා ගණනාවක දැනුම් සහ ඇදහිලි විශ්වාස වල ශක්‍යතාවයන් වැළලිලා යන්න ගන්නවා.

මේ කියන්නෙ බාහිරය අත්ඇරලා ආත්මීය එක ඇතුලෙ හුදකලා වෙන්න කියන එක නෙමෙයි. ආත්මීය දේ ඇතුලෙන් බාහිරය කියවා ගැනීමේ භාවිතාවක් හුරු කර ගන්න එකේ වැදගත්කම. තමන් ඇතුලෙන් ලෝකය ගැන විද්‍යාවට කලාවට එළඹීමේ පරිපූර්ණතාවය ගැන. මෙතනදි මේ සිතීම් දෙකෙන් මොකක්ද හරි කියන වැදගත් වෙන්නෙ නෑ. හැම තිස්සෙම අපිට අපේ සිතීම වඩා නිවැරදි වෙන අතරෙම අනිකාගේ සිතීම වැරදි සහගත වෙනවා. ප‍්‍රචණ්ඩත්වය පටන් ගන්නෙ මෙතනින්.

මේ සිතීම් දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඒ සංදර්භ, අවස්ථා අනුව අපිට පැරඩයිමය මාරු කරන්න පුළුවන්. අපිට වගේම ආත්මීය වූ තමන්ගේ වූ සිතීමක් අනිකාටත් තියෙනවා කියලා පිළිගන්න පුළුවන් පලලක් අපි ඇතුලෙ ඇති වුණොත් මීට වඩා විශාල පරිමාණයක දේවල් අපිට හිතන්න පුළුවන්. ඒ මිත්‍යා ඇදහිලි කලාප දෙකක් එකට සංයෝග කිරීමෙන් වඩා විශාල මිත්‍යා කලාපයක සිතුවිලි අවදි කරන්න අපිට පුළුවන් වෙන හින්ද.

ඒත් කලින් කිව්වා වගේ මේ සිතීම් දෙකම මහද්වීපික සිතීම් දෙකක්. ඒත් ලංකාවෙන් ගැලවිලා ගිහින් තමයි ලෝකෙම හැදුනෙ කියන වර්ගයේ සිතීම් එක්ක ගනුදෙනු කරන දුපතේ අපිට පහු කරන්නෙ පෙන්ටගනය හැදුවෙත් රාවණා වගේ ළදරු සිතීමේ අවධි විතරයි. එතකොට චිත‍්‍රපටියක වුණත් අපිට පේන්නෙ අම්මට චිත‍්‍රපටිය පෙන්නීමේ අර්බුදය වගේ තැන්. රටක් විදිහට අපි පෙළෙන ඇත්ත විපරීතය තියෙන්නෙ මෙතන.

-චින්තන ධර්මදාස

2 comments:

  1. ලොකු බිංදුවද එකද..? ඔන්න පුතා කඩයිම් පැනය..!

    උඹෙන් මෙතෙක් ලියවුන හොඳම ලිපි වලින් එකක් [හොඳම එකද මන්දා].

    මම උඹ ලියන දේවල් වලට කැමති, උඹ දෙයක් විචාරද්දි පුද්ගලික ඇරියස් කවර් කර ගන්න යන්නේ නැතිවීම. උඹ කියන පුදගල්යාගේ රුචිකත්වය එක්ක බැදෙන්න යන්නේ නැතුව උඹ ලියන නිසා උඹ ලියන්නේ මැද තැනක ඉදගෙන. ඒක මාරයි..!

    ReplyDelete

  2. [1=0]=[0=1]
    [1<0]=[1>0]


    10001101110000110101110001
    00110001111010011010100111

    [binary equalism ]

    ReplyDelete