Saturday, September 21, 2013

මාලේ ගෙලේ චේ පපුවේ

අජියා බොබ්මාලේ ගැන පොතක් එලියට දැම්මා. ඒක පොතක් කිව්වට පොත් පිංචක්. කාලයක් තිස්සෙ  ඕක ගැන කතා වෙවී හිටියත් කාටවත් වෙලාවක් තිබුණෙ නෑ ඒකට මැදිහත් වෙන්න. හැමෝටම ඊළ`ග දවස ප‍්‍රශ්නයක් වෙච්ච කාලයක්. සාමාන්‍යයක් විදිහට ලංකාවෙ කවදත් නෑ කියාගත්ත ගමන් තමයි මිනිස්සු. ඒත් සල්ලි විතරක් ලැබෙන වැඩ අතරෙ අපි හිර වෙලා ඉන්න තරමත් එක්ක ඒක ඇ`ගට දැනෙනවා. එළියෙ මොකුත් නෑ. මං හිතන්නෙ දීප්ති- නිර්මාල් නොකෙරෙන මහා වාදය වුණත් මේ හිස් තැනට පොඩි රතිඤ්ඤයක් වුණා. ඒක හොඳයි. පොඩි හුස්මක්, ටික දවසකට.

මේ ඔක්කොම අතරෙ අජියා බොබ් මාලෙ ගහන්න යනවා. අපි කරන හැම වැඩක් ඇතුලෙම අපිට කරන සමාජ දේශපාලන තල්ලූව දැනෙනවා. කාලාන්තරයක් බුබුළක් වත් නොනගා හුස්ම අල්ලන් වතුර යට ඉන්න පුළුවන් අජියාටත් හුස්මක් ගන්න උඩට එන්න වෙලා. අජියත් සමාජ ප‍්‍රතික‍්‍රියාවක් ඉල්ලනවා.

ඒත් ඒ කතාව අරගෙන එන්න පුළුවන් ඉඩක් උගේ ජීවිතේ ඇතුළෙ තිබුණ. කාටවත් වෙලාවක් නැති වෙලාවක ඌ ඉතුරු කර ගත්ත වෙලාව ටිකක් තිබුණ. පොත එළි දකින මුණගැහීමට එන්න කියලා එස්එම්එස් එකක් ආවෙ එදාම හවස. පොඩි ෆේස් බුක් පෝස්ට් එකක් ඇරුණම ලොකු සද්දයක් නැති හවසක් ඒක. ගොඩක් යාලූවො ඇවිත් හිටියා. එක එක අදහස් දේශපාලන දරන ගොඩක් අය. වැඩියෙන් හිටියෙ සිංදු කියන අය. කතා කරන අයට වැඩි වෙලාවක් නොදෙන්න ඒ සිංදු කියන අය තීරණය කරලා තිබුණ.

‘මචං හැමදාම ගායකයො කළේ පොතක් හරි මොකක් හරි එකක් කරන එකෙකුගේ වැඩකට ගිහින් කුලියට සිංදු කියන එකනෙ. උන්ට මං කියන්නෙ පෝර්ටබල් බූරුවො.  ඕන තැනකට ගිහින් තිබ්බම තප්පුලනවා. මේක මචං සිංදු කියන එකෙක් පොතක් ලියලා. ඉතින් ඒකෙ සිංදුවක් කියන එක නම්බුයිනෙ බං......’ අජියා කිව්වා.

මයික් එක ගන්න කවුරුවත් නැති කතාබහක් ඒක. අජියා බොබ්මාලෙ ගැන ලිව්වෙ ඇයි කියලා පටන් ගත්ත කතාව චේ ගුවේරා ලංකාවට සීනි විකුණපු තැන දක්වා ඇදුන.

‘චේ ගුදෙරාත් ලංකාවට ආවෙ ඞීල් එක්ක දාන්නනේ මචං. කියුබාවෙ සීනි විකුණන්න’ අජිත් කවදත් ගේන දේශපාලන උපහාසෙ අරං ආවා.

‘නෑ මචං. ඒක එහෙම කියන එක වැරදියි. ඒ වෙලාවෙ කියුබාවෙ මිසයිල ප‍්‍රහාරයත් එක්ක ඒ ගොල්ලො අවුල් වෙලා හිටපු වෙලාවක්. ඒකට උදව් ගන්න, ඔව් සීනි විකුණන්න තමයි... ඒත් ඒක වෙනස් තත්වයක්’
නන්දන වීරරත්න චේව බේරගත්තා.

ඒක හරි ලස්සන මුණගැහීමක්. තමන්ගෙ මතවාදය වෙනුවෙන් කෙලින් කර ගැනීම වෙනුවට ඊට වඩා ගැඹුරු මනුස්සකමක් ඇතුලෙ අදහස් එහා මෙහා ගියා. විෂයන් මාතෘකාවන් හරහා ගමන් කළා. විහිළුත් තිබුණ. ඒක හරිම උණුහුම් හැන්දෑවක්. තාමත් අපි ජීවත් වෙනවා කියලා මට ළාවට සතුටු හිතුණ.

ත‍්‍රීවීල් වල පිටිපස්සෙ ඉන්න, වැල්ලෙ කොල්ලො ඇඳන් බහින බොබ් මාලෙව දේශපාලනික තැනක හිටවන්න ගොඩක් අයට  ඕන වුණා. ඒක නිකං බොබ් මාලෙට එක නිශ්චිත තේරුමක් දෙන්න  ඕනකමක් වගේ.

‘මාලෙ ගෙලේ
චේ පපුවේ
කිසිම දෙයක්
නෑ ඔලූවේ...’

ගීතදේව සිංදුවකුත් කිව්වා. (උගේ සිංදු පට්ට ආ... මාර වොයිස් එක...මචං ඒ වචන ඌමද ලියන්නෙ...අන්න සිරා ආ.... මේ එතන හිටපු කලින් ගීතදේව අහලා නොතිබුණු කීපදෙනක් පස්සෙ දුන්නු කමෙන්ට්ස්)

ඒත් බොබ් මාලෙව අපි වගේ කරන්න යන එක ගැන මට තිබුණෙ අවුලක්. මාලෙ ගහගෙන ඉන්න ත‍්‍රීවීල් පොරවල් එක්ක මං මාලෙ ගැන කතා කරලා තියෙනවා. උන්ට දේශපාලනික මාලෙට වඩා ලොකු මාලෙ කෙනෙක් ඉන්නවා. සමහර උන් මාලෙට පහන් පත්තු කරනවා. මාලෙ නිසා වෙජිටේරියන් වෙච්ච, කංසා ඇරුණම බියර් එකක් වත් නොබොන උන් ඉන්නවා. කොන්ක‍්‍රීට් අනන එකෙක් ඉන්නවා මාලෙ හින්දා කවදාවත් සෙරෙප්පුවක් වත් නොදාන (රස්තා තපස).

ඇමරිකාවට විරුද්ද හරි සීඅයිඒ එකෙන් මරපු හරි මාලේට වඩා ජීවත් වෙන මාලේ කෙනෙක් උන් අතර ඉන්නවා. අපේ මාලේ කවුද? අපේ පරිවර්තනය කරපු කාඞ්බෝඞ් මාලේ වෙනුවට චර්යාවක් එක්ක බෙදාහදා ගන්නා මාලේ කෙනෙක් උන්ට ඉන්නවා. ඒ මාලේ කතා කරන්නෙ සිංහල වෙන්න පුළුවන්, අහන්නෙ බස් ජෝති වෙන්න පුළුවන්. ඒත් ඒ තමන්ගෙන් පිටස්තර, අකුරු වලින් කියවපු මාලේ කෙනෙක් නෙමෙයි.

අජිත් පොත ලියලා තිබුණෙ බස්වල විකුණන්න. පැය බාගෙන් කියවලා ඉවර කරන්න පුළුවන් විදිහට. ඒක පුළුවන් තරම් කතා කරන බාසාවට ගේන්න, සරල කර ගන්න අජිත් ට‍්‍රයි කරලා තිබුණ. ඒක එතනදි කතා වුණේ මේ බස් පංතියේ ජනතාවට (බස් උපසංස්කෘතිය) දේශපාලන දැනුම ගෙනියන ව්‍යාපාරයේ තවත් කොටසක් විදිහට. අපේ මාලෙව බස් වල විකුණන්න යනවා නෙමෙයි උගේ කතාව ටිකක් විස්තර ඇතුව කියන්නයි ගියේ කියලා අජිත් කියන්න හැදුවට ඒක එච්චර ඇහුණෙ නෑ.

අපේ වාමාංශික- මාක්ස්වාදී- ඇමරිකන් විරෝධී- මඤ්ඤං මාලේ ගැන මිනිස්සු දැනුවත් කරන්න යනවා නං ඒක කැම්පස් කොල්ලො ටිකක් බස්වලට නැගලා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන දැනුවත් කරන්න යනවා වගේ තැනකින් එහාට යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒත් බස්වලට දේවල් ලියන්න ට‍්‍රයි කරනවා කියන එක මට ගොඩක් පොසිටිව් දෙයක්. ඒ මිනිස්සුන්ගෙ බාසාවෙන්, ඒ මිනිස්සු හිතන පතන දේවල් එක්ක අපේ විදිහක පොඩි චැට් එකක් දානවා වගේ. ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ පිරිලා පොත් අට්ටි පිටින් කියවන ගෝත රොත්තට ලියනවට වඩා අර ලිවීම ලයිව්. ඒක ඇත්ත විවෘත වීමක් කියලා මං කියන්නෙ. භාෂා ආකෘති ඇතුලෙ, මේ කියවන නිකාය ඇතුලෙ ඒ ජීවිත ගනුදෙනුව වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් ඒක ලොකු නිදහස් වීමක්. සාහිත්‍යය කියන ආකෘතියෙන් එලියට ලියන එක. මට හිතුනෙ අජිත් උත්සාහ කරන්නෙ ඒකට.
‘මොනාද මචං, රුපියල් පනහට පොතක් විකුණලා උඹට සිගරට් එකක් වත් බොන්න පුළුවන්ද?’ සර්පයා ඇහුවෙ ජෝක් එකට.

‘අනේ මේ... උඹ ලොකු ගණං වලට පොත් විකුණලා කරන්නෙත් එච්චරනෙ බං.. ’ අජිත් හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා.

ඒත් බස්වලට ලියන එක අමාරු වැඩක්. ඒකට අපි ඇතුලෙ, අපේ සිතීමේ ආකෘති වලින්ම කරදර කරනවා. අපිට බස් එක කියලා පේන්නෙත් අපේ සිතියමේ එක කොණක් විතරයි. අජිත්ගේ පොතේ කවරෙන්ම බස් එකේ කියවන උන්ව ටිකක් ඈත් කරනවා කියලයි මට හිතෙන්නෙ. බස් සංගීතය අනිත් සංගීත වලින් වෙනස් වෙනවා වගේම බස් ග‍්‍රැෆික්ස් කියන එකත් වෙනස්. එතන රූප භාෂාව වෙනස්. වර්ණ භාෂාව වෙනස්.

අනිත් පැත්තෙන් බොබ් මාලෙගේ ජීවිතේ ගැන කියන්න ගියත් මගදි අජිත් ආපහු මාලෙගේ දේශපාලන වටපිටාව ඇතුලෙ අතරමං වෙනවා. එයාගෙ ලව් එක, එයාගෙ ආගම, එයාගෙ පිස්සුව... මේ දේවල් ගැන කතන්දර විස්තර වෙනුවට මාලේ ගැන විකිපීඩියා විස්තරයක් වගේ ක‍්‍රමානුකූල කතාවක් අජිත් අතින් ලියවෙන්නෙ. ඒක හරි ලස්සනයි. ඒත් ආපහු ඒක කියවන්නෙ අපි.

මාලෙ ගැන කතන්දර, මාලෙගේ ආදර හසුන්, විශේෂයෙන්ම මාලෙගේ ආගමික ඇදහිල්ල වගේ දේවල් අජිත් අතින් මගඇරෙනවා. බොබ් මාලේ ගැන මිත් එක අජිත් ආයිමත් රියල් එකකට ගේන්න හදනවා. එතනදි ආපහු ඒක දේශපාලනික උත්සාහයක සීමාවෙන් නතර වෙනවා.

ඒත් අජිත් මේක ලියන්නෙ අවුරුදු ගානකට කලින්. වෙන ගොඩක් දේවල් ගැන ලියන්න පුළුවන්කම තියෙද්දි ඇයි එයා බොබ් මාලෙ ගැන මෙහෙම පොඩි කතාවක් ලියන්නෙ....?

ඒ කතාව කියවගෙන යද්දි මට අමුතු දෙයක් දැණුන. අජිත් මාලේගේ ජීවිතේ ඇතුලෙන් ආපහු තමන් ගැන කියවන්න උත්සාහ කරනවද කියල. ජීවිතේ යම් අවිනිශ්චිත, නන්නත්තාර හන්දියකදි අජිත්ට තමන්ව ආපහු කියවගන්න  ඕන වුණා වගේ හැ`ගීමක් මට තෝරා ගත් ප‍්‍රවෘත්ති අතරෙ තිබුණ. දැනුවත්ව හෝ නොදැනුවත්ව මාලේ අජිත්ගේ ජීවිතේට අතදාලා.

මට පොත රසවත් වුණු ලොකුම හේතුව තිබුණෙ ඒක. තමන්ව හොයාගැනීමේ උත්සාහයක් විදිහට වෙනත් චරිතයක් ඇතුළෙ කිමිදීම. ඒ චරිතය තමන් හරහා යලි ලිවීම. මාලේ ගැන අජිත් ලියන මේ රුපියල් පනහෙ ලියුම මට ත‍්‍රිල් වෙන්නෙ එතනදි. ඒක හරි අවංකයි. ආගමිකයි.

ඇත්තටම අජිත්ගේ පොත ගැන ලියන්න නෙමෙයි පටන් ගත්තෙ. ඒ හමුවීම ඉවර වෙලා ගෙදර එද්දි මුනගැහුණු වෙන යාලූවෙක් ගැන කතාවක් ලියන්න. ඒත් නුගේගොඩදී බොබ් මාලේ මුණගැසීම මගේ නොස්තැල්ජියාවත් එක්ක ගොඩක් දුර ගියා. එදා ? මුණගැහුනු යාලූවා තාම එතන.

-චින්තන ධර්මදාස


9 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. //බොබ් මාලේ ගැන මිත් එක අජිත් ආයිමත් රියල් එකකට ගේන්න හදනවා. //

    මිත් නෙවෙයි යකෝ මයිත්...........කඩ්ඩ වැ‍රැද්දුවට හිනා උනා නොව ආදරනීය නිවැරදි කිරීමකි මචං

    ReplyDelete
    Replies
    1. අනේ පල ගොනෝ යන්න. myth කියන්නේ මිත් එකට.තෝ හිතුවද චින්තන කියන්නේ සනත් ජයසූරිය කියල.

      Delete
  3. //මගේ නොස්තැල්ජියාවත් එක්ක ගොඩක් දුර ගියා//

    නොස්ටැල්ජියා මචං

    ReplyDelete
    Replies
    1. අර ගොනා තව ගොන් කතාවක් දාල.nostalgia pronounce කරන්නේ නොස්ටැල්ජියා කියල නෙවෙයි ගොනෝ. නොස්ටල්ජ්‍යා කියල ඒක pronounce කරන්නේ. චින්තන "නොස්තැල්ජියා " කියල පාවිච්චි කරන්නේ ඒ වචනේ තියෙන ලස්සන වගේම ඒකෙන් feel එකක් එන නිසා. pronunciation ගැන comment කරලා ගොන් ආතල් ගන්න එපා.පුලුවන්නම් content එක ගැන comment කරපන්.pronunciation කොහොම වුනත් content එක නැත්නම් කියන්න හදන idea එක තමයි වටින්නේ.

      Delete
    2. මචං ඇනෝ උඹට චින්තන වචනේ වරද්දලා දාල තියෙන හේතුවත් කියන්න පිලුවන් පරචිත්ත විජානන ඥාණය තියෙන සිරා පොරක්නේ...මට නිකංවත් හිතුනේ නෑ මේක දාලා තියෙන්නේ චින්තනයමයි කියලා :)

      Delete
    3. පරචිත්ත විජානන ඥාණය, මොන කුණුහරපයක්ද ඒ ?
      චින්තන ව හුඟක් කල් දුර ඉඳන් study(උගේ නිර්මාණ,සංවාද සහ ලිපි ) කරල තියෙන නිසයි මම එහෙම කිව්වේ.හරියටම දැන ගන්න ඕනි නම් උගෙන් call එකක් දීල අහගනින්.
      අනිත් post එකේ උඹ වගේ එකෙක් comment කරල තිබුණ මම චින්ත කියල.පිස්සුද යකෝ ,මම චින්තන තරම් පට්ට පොරක් නෙවෙයි.

      Delete
  4. අම්මපා මං හිතුවෙ නෑ ගීතදෙවගේ සිංදුව මෙච්චර ප්‍රසිද්ධ ඇති කියල! දැන් ඉන්න උන් අහන්නෙ ඒවා නෙවේනේ..

    ReplyDelete
  5. fill the blank with the most suitable word.

    "______" Ajith

    a). Rock
    b). Bob
    c). bus

    [ very good article chintha]

    ReplyDelete