Saturday, June 21, 2014

පිස්සො කලබල වුණාට ඩොක්ට කලබල නෑ


අලූත්ගම මුස්ලිම් අයට සිංහල අය ගැහුවද, සිංහල අයට මුස්ලිම් අය ගැහුවද, ඒ ගැහිල්ල ඓතිහාසිකව කොයිතරං සාධාරණද, වගේ කාරණා අලූත්ගම සිද්දියට අදාල නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ පාරෙ බස් හෝල්ට් වල, ඔෆිස් වල, ෆේස් බුක් එකේ ඇතිවෙච්ච සංවාද රැුල්ල දිහා බලාගෙන හිටියම අලූත්ගම සිද්දියට අලූත්ගම පවා අදාල නෑ කියල තේරෙනවා.

බොරු කතන්දර නැතුව කිව්වොත් මුලූ රටේම සිංහල බෞද්ධයො එක`ගයි අලූත්ගම මුස්ලිම් අයට ගහපු එකට. ඉතුරු මිතුරු කීප දෙනෙක් ඉන්නවා මේ සිද්දියෙන් මානුසිකව කම්පනය වුණු. මහා එක අපිට කියන්න වෙන්නෙ ජාතිවාදීයි කියල. පොඩි එක ජාතිවාදයට එරෙහි. හැබැයි මේ දෙකම ඉන්නෙ එක වගේ පත්තු වෙලා. නැට්ටට තද වෙලා.

මට අලූත්ගම පේන්නෙ ලංකාවෙ ඇත්ත ගිනිකන්ද පත්තු වුණ තැනක් විදිහට. බෝංචි පන්සීයටත් මිනිස්සු මරා ගන්න ගානට ඇවිත් හිටියෙ. නමක් දන්නෙ නැති, කියා ගන්න බැරි මොකක්ද පීඩනේකින් මිනිස්සු පිස්සු වගේ.

මෑතක මොකක් හරි ගමක බීර සාප්පුවක් වහන්න කියලා දෙමව්පියො ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වට කරලා. තොපිට ළමයි නැද්ද යකුනේ...කියල කෑ ගහනවා. මරාගෙන මැරෙන්න යනවා. ඒත් ඒක බීර සාප්පුවකට අදාල භාව ප‍්‍රකෝපයක් නෙමෙයි. ඒක වෙන මොකක්ද අසහනයක්. පොකුරු පිටින් හැමෝම සටන් කරනවා. සටනට හේතුවක්  ඕන නෑ.  ඕන කරන්නෙ සටනක් විතරයි.

මේක සිංහල විතරක් ප‍්‍රශ්නයක් නෙමෙයි. මුස්ලිම් දෙමළ හැමෝටම පොදු තත්වයක්. එක පැත්තකින් හැම ආශාවක්ම පාගගෙන, උදේ හවස පිරිත් අහගෙන, කිසිම විනෝදාස්වාද මාධ්‍යයක් නැතුව, අනාගතයක් ලෝකයක් නැතුව හිර වෙලා ඉන්න මිනිස්සුන්ගේ මානසික ආතතිය. මේක හිර ගෙදරකට සමානයි. හැමදෙයක්ම පාලිතයි. ප‍්‍රධානවම ලිංගිකත්වය මර්දිතයි.

අලූත්ගමදි නෙමෙයි තව කොතන කොතන වුණත් මේ ලිංගික කැරැුල්ල ඇවිලෙන්න නියමිතයි. කඩුපොලූ අරගෙන තමන්ට දමනය කර ගත නොහැකි තමන්ගේ ශරීරය වෙනුවෙන් වෙන එකෙක් පොලූ ගැහීම අනිවාර්යයි. ඒක සමාජ මනෝ විද්‍යාව. මේ වෙලාවෙ සිංහල බෞද්ධකම කියන්නේ මානසික රෝගෙකට වැඩි තත්වයකින් සළකන්න නරකයි. පිස්සො කියන බුද්ධාගම ගණං ගන්නෙ කවුද?

පිස්සො කලබල වුණාට ඩොක්ට කලබල නෑ කියල ත‍්‍රීවීල් එකක ගහලා තිබුණ.

අපේ විනෝදය ඇහිරීම ගැන කෞෂල්‍ය ලස්සන පෝස්ට් එකක් දාලා තිබුණ. මේ දවස් වල කණක් ඇහෙන්න නැති වෙන ගානට ඇහෙන මනකඳුරේ පඤ්ඤාසාරගෙ කවිබණ චාමර රණවක  ඕපන් ස්ටේජ් එකට අරන් ගිය එක ගැන. ඒක රස්තියාදුකාරයො බණ පාවිච්චි කරනවා වගේ අමාරුවකින් නෙමෙයි එයා කියන්නෙ. ඒ වෙනුවට සික්ස් එයිට් බීට් එකකට එළි වෙනකං නටන්න, පුළුවන් නං පඳුරක් අස්සෙ කෙල්ලෙක් එක්ක ලගින්න, බොන්න, ගහගහන්න තිබ්බ ඉඩත් මේ වාත බෞද්ද රැුල්ලට යට වෙලා ගිය එක ගැන කණස්සල්ලෙන්.

ආගම ලොකු වෙන්න ලොකු වෙන්නෙ ඇහිරෙන්නෙ විනෝදය. විනෝදය ඇහිරෙන්න ඇහිරෙන්න වඳ වෙන්නෙ ජීවිතය. ඒ වේදනාවට පොල්ලක් අරන් තඩිබාන බේබද්දෙකුට වඩා පරිණතකමක් අපිට ඉතුරු වෙලා නෑ. ඒක තමයි යුද්දෙන් පස්සෙ අපි හදාවඩා ගත්ත සංස්කෘතිය. ඒ තමයි අපේ ජාතිකත්වය.
මේක ජාතිවාදය හෝ ජාතිවාදී නොවීම අතරෙ ප‍්‍රශ්නයක් නෙමෙයි. ජාතිවාදියෙක් වෙන්නත් නොවෙන්නත්  ඕන කෙනෙකුට මතවාදිමය අයිතියක් තියෙනවා. මට මුණගැහිලා තියෙනවා  ඕන තරම් ජාතිවාදයට විරුද්ධ මෝඩ මිනිස්සු. ඒ වගේම ජාතිවාදී ඒත් යමක් සංවාද කළ හැකි මිනිස්සු. ඒත් මගේ ජාතිවාදය අනිකාට බලපාන සීමාවයි ගැටළුව. ප‍්‍රචණ්ඩත්වයයි අර්බුදය.

ඒ ප‍්‍රචණ්ඩත්වය අපි ඇතිදැඩි කරපු එකක්.

ඒ ප‍්‍රචණ්ඩත්වය හැම දේකින්ම දකින්න පුළුවන්. කොටින්ම අතිශය ප‍්‍රගතිශීලීයි කියල අපි හිතන විකල්ප දේශපාලන කතිකයන්ගෙ පවා. මේ ලියන වෙලාවෙත් එහා පැත්තෙ එකෙක් ඒ වගේ කතාවක් අහනවා. ඒ කතා කරන චරිතය පොන්නයා පොන්නයා කිය කිය පොලොන්නරුවෙ මිනිහෙකුට බනිනවා.

තක්කඩියා, හොරා වගේ දේවල් කිය කිය එකට වැඩ කරපු උන් එක්ක වෛරයෙන් මරා ගන්න යන එක අපි ලැකාන් ඩෙරීඩා ඉගෙන ගත්ත අයගෙන් පවා දැක්කා. අලූත්ගම කියන්නෙ වචන වල වෙනසක් විතරයි. එකම ආවේගය. ස්ව පීඩක උත්තර තත්වයක් වෙනුවෙන් මර්දිත ලිංගිකත්වය. විනෝදය. ආශාව.
ඒක අපේ ලාංකේය සංස්කෘතික උරුමයක්. මුස්ලිම් කියන්නෙ ඒ උරුමය කොහොමත් දෝතින්ම ගත්ත පිරිසක්.

අපි හිතුවෙ යුද්දෙ ඉවරයි කියල. ඒත් සිද්ද වුණේ යුද්දෙ උතුරෙන් දකුණට ආපු එක. රටේ එහා කොනෙන් වැටේ එහා කොනට ආපු එක. දැන් අපිට අල්ලපු වැටේ එකත් හතුරෙක්. ඇත්ත කතාව අපි අපිටම හතුරෙක්. අපි යුද්දෙ අපේ ඇතුළට අරගෙන ඉන්නෙ.

යුද්දෙන් පස්සෙ හැමදෙයක්ම ලැබෙයි කියල හිතපු අපිට ලැබුනෙ දැවැන්ත හිස්කමක් විතරයි. නැවත නැගිටින එල්ටීටීඊ හොල්මන් විතරක් ඉතුරු වෙන කාන්තාරයක්. අනිත් හැමදේම අපිට ලැබුනෙ සෙල්ලං ඒවා. කොටින්ම සෙල්ලං ආණ්ඩුවකුත් එක්ක.

කවුරු හරි හිතලා බැලූවොත් මේ වගේ දරුණු ප‍්‍රචණ්ඩත්වයක් යළි අවදි විය හැකි තත්වයක ආණ්ඩුව කළේ මොනවද? ආණ්ඩුව වෙනුවෙන් පරිණත වගකීමක් සහිත ප‍්‍රකාශයක් කළේ කවුද? එස්ටීඑෆ් ආරක්‍ෂාව යටතේ පවා ගෙවල් ගිනි ගනිද්දි, මිනිස්සු පොලූ ගැහෙද්දි බොලිවියාවෙන් ජනාධිපතිට සම්මානයක් දෙනවා. සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න කිය කිය ඉඳිද්දි ජනතාව ප‍්‍රකෝපකරන ගලගොඩඅත්තේ වැනි චරිත අත්අඩංගුවට ගන්න බැරි වෙන්නෙ ඇයි? තමන් ජාතිවාදියෙක් බවත්, මේ සියලූ හමුදා පොලිසි සිංහල ඒවා බව මුසල්මානුවන් දැන ගත යුතු බවත් එයා ප‍්‍රසිද්දියෙ කියනවා. රටේ නීතියට වලත්ත නීතිය කියනවා. සෙල්ලං ආන්ඩුවක් සහ සෙල්ලං හාමුදුරුවරු හින්ද කවුරුවත් කලබල වෙන්නෙ නෑ. අලූත්ගම ගින්නත් සෙල්ලං එකක් නං ඉතින් අවුලක් නෑ. අපිට තියෙන්නෙ බයිට් වෙන්න විතරයි.

මට කියන්න  ඕන වුනේ අපි මුහුණ දෙමින් ඉන්න හිස්කම ගැන. රජයක්, ආගමක්, නීතියක් නැති අරාජිකත්වයකට අපි යනවා. ඒ දැනෙන අනාරක්‍ෂිතකමත් එක්ක අපිට ශුද්ධ වූ යමක්  ඕන වෙනවා එල්ලෙන්න. තාර්කික හැම දෙයක්ම අභාවයට යද්දි අපි අතාර්කික දේවල් වටේ පොකුරු ගැහෙනවා. ඒක බුද්ධාගම, ඉස්ලාම් හෝ ගහක් ගලක් දක්වා වුණත් වෙන්න පුළුවන්.

යුද්දෙ වෙනුවෙන් හදපු සිංහල බෞද්ද ෆැන්ටසියෙ මූලික තත්වයන් වුණේ ලෝකය බැහැර කිරීම, දැනුම බැහැර කිරීම, සියලූ අලූත් තත්වයන් බැහැර කිරීම. කොටින්ම ජීවිතය බැහැර කිරීම. ඒ අතරෙ මිනීමැරුම් වැඩි වෙන්න ගත්තා. පත්තර වල පිටු පිරෙන්න ගත්තා. දවස ගානෙ දූෂණ වෙන්න ගත්තා. ඒවා තලූ මර මර කියවන්න ගත්තා. ලිංගික කුහකකම ජාතිය ආගම සංස්කෘතිය විදිහට ආදේශ වෙන්න පටන් ගත්තා.

ජාතිවාදීන් වගේම ජාතිවාදයට එරෙහි අයගෙනුත් එළියට පැන්නෙ මේ ආතතිය. ෆේස් බුක් පිටු පුරා ඇවිළුනෙ මේ යුද්දෙ නැති පාළුව. හැබැයි ඒක යුද්දෙට පක්ෂ විපක්‍ෂ හැමෝටම පොදු පාළුවක්.

අපිට උත්තර හොයන්න වෙන්නෙ ජාතිවාදයට නෙමෙයි කියන එකයි මගේ අදහස. මේක මොකක් හෝ වාදයක් විදිහට යළි යළිත් ඇති වෙනවා. අපිට උත්තර හොයන්න වෙන්නෙ ප‍්‍රචණ්ඩත්වයට. වෙනස් අනෙකෙක් දරා ගැනීමට බැරි තරම් අපි දුර්වල වුණ එකට. හැම සුළු දේකින් පවා අපි තර්ජනයට ලක් වෙන එකට. අපිට තේරුම් ගන්න සිද්ද වෙනවා අපි සමාජයක් විදිහට මානසික රෝගයකින් පෙළෙන වග. මේ තේරුමක් නැති වෛරය ඒ රෝගයේ සළකුණ.

එක මනුස්සයෙක් විතරක් තුන්මුල්ලෙ තනියම බෝඞ් ලෑල්ලක් එල්ලගෙන වාඩිවෙලා හිටියා. අලූත්ගම බෞද්ද ක‍්‍රියාවක් නොවේ කියල ඒකෙ ගියලා තිබුණ. බෞද්ද සංස්කෘතික මධ්‍යස්තානය අසල තමන් හුදකලාව මේ ක‍්‍රියාවට එරෙහිව මෛත‍්‍රී භාවනාව වඩනවා කියල එයා කිව්වා.

ජනතාව පෙළගහගෙන යටිගිරියෙන් කෑ ගහන මහා රැුලියක් නොවුණට ඒක ප‍්‍රචණ්ඩත්වට දීපු හොඳ උත්තරයක්. බොදු බල සේනාවකට විරුද්දව තනි මිනිහෙක් හංදියක. ඒ මදිවට පොලූ අරන් එන සිවුරකට උත්තරයක් විදිහට ගිහියෙක් මෛත‍්‍රී භාවනාවක. ඒක දියුණු විරෝධයක් ෆේස්බුක් එකේ හැම ඇන්ටි රේසිස්ට් ප‍්‍රතිචාරයකටම වඩා. මොකද ඒක ප‍්‍රතිචාරයක් වගේම ආරම්භයක් යෝජනා කරන හින්ද. ඒ බුදු දහමෙ හරය. මෛත‍්‍රිය.

දැන් භික්ෂුන්ට බෞද්දකම උගන්නන්න වෙලා තියෙන්නෙ ගිහියන්ට.
ප‍්‍රචණ්ඩත්වයට තවත් ප‍්‍රචන්ඩත්වයක් උත්තරයක් නෙමෙයි. ඒක උදව්වක් විතරයි. ඒකට උත්තර දෙන්න පුළුවන් නිර්-ප‍්‍රචණ්ඩත්වයකින්ම විතරයි. අපි නැවත විනෝදය වගා කරන්න  ඕන. හයියෙන් හිනාවෙන්න  ඕන. සතුරො නැතුව සතුටු වෙන්න පුරුදු වෙන්න  ඕන.

හැම අකුරක්ම ප‍්‍රතිචාරයක් වෙනුවට බලාපොරොත්තුවක් දල්වන්න  ඕන.
රටක් වෙනස් කරන්න බැරි වෙයි. ඒත් ටිකක් වෙනස් වෙයි.


-චින්තන ධර්මදාස

2 comments:

  1. පිස්සෝ කලබල වුනාට ඩොක්ට කලබල නැහැ......ආතල් ටෝක්ස් එකක්.

    අර තනි මිනිසාගේ විරෝධය ගෞරවනීයයි!!!

    ReplyDelete
  2. ඇත්ත තමයි.. මේක ජාතිවාදය, අරක මේක කියලා පෙනුනට... මේ සියල්ලටම යටින් දිවෙන නොනවතින අසහනයක් මිනිස්සුන්ගෙන් පෙන්නුම් කෙරෙනවා තමයි... සමාජයේ ඉහල ඉඳලා පහළට ආපු අසහනයක්ද ඒක?

    ReplyDelete