Saturday, July 19, 2014

කොහොමද වතුර?


ඇ`ග හොඳට රත් වෙන්න උණ අරන්, මුලූ ඔලූව බර වෙන්න සෙම පිරිලා තියෙන වෙලාවක හිතෙන්නෙ විකාර දේවල්. හැම ශාරීරික අසනීපයක්ම ගොඩක් ගැඹුරු තේරුම් ගැනීම් ඇති කරනවා. විශේෂයෙන්ම උණ. මට හිතෙන්නෙ උණක් කියන්නෙම ඇතුලෙ ලොකු මානසික පරිණාමයකදි පිටවෙන තාපයක්. මේක විද්‍යාවට එක`ග නොවෙන්න පුළුවන්. ඒත් ඒ්ක හැම වෙලාවකම මගේ ජීවිතේට එක`ග වෙලා තියෙනවා.

ඒ අතරෙ ඉස්තෙපාන් මට එවලා තිබුණ ඬේවිඞ් ෆොස්ටර් වොලාස් ගේ මේ ලින්ක් එක. වොලාස් ගැන අහලා තිබුණට මං වැඩි දුර එයා ගැන කියවන්න උනන්දු වෙලා නෑ මීට කලින්. ඒත් වොලාස් මේ කතාවත් එක්ක මට එයා පස්සෙන් තව දුර නොගිහින් ඉන්න බැරි වුණා.

ඬේවිඞ් ෆොස්ටර් වොලාස් කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක්. එයාව විවිධ සම්මාන සහ ඇගයීම් වලට ලක් වෙලා තියෙනවා. වොලාස් අවුරුදු විසි ගානක් තිස්සෙ ඩිප්‍රෙෂන් වලින් පෙළෙනවා. මේ ඩිප්‍රෙෂන් වලට ගත්ත ඩ‍්‍රග් එකත් එක්කමයි එයාගෙ ක‍්‍රියේටිව් දේවල් එලියට එන්නෙ. ඒත් මේකෙන් වෙන්න පුළුවන් අතුරු ආබාධ නිසා වොලාස් මේ ඩ‍්‍රග් එක නවත්තලා ජීවත් වෙන්න බලනවා. ආයිමත් ඩිප්‍රෙෂන් එක මතු වෙනවා, වඩාත් බරපතල තත්වෙන්. ඩ‍්‍රග් එකෙන් වත් පාලනය කරන්න බැරි විදිහට. ඒ වේදනාකාරී ජීවිතය ඉවරයක් කරන්න වොලාස් තීරණය කරනවා. එයා ගරාජ් එකේ එල්ලිලා මැරෙනවා.

ඩිප්‍රෙෂන් කියන්නෙ කවදාවත් මෝඩයන්ට හැදෙන ලෙඩක් නෙමෙයි. ඒක සංවේදිතාවය හා සවිඥාණක බව එක්කම ගැටගැහෙන දෙයක්. හුදෙක් මානසික රෝගයක් විදිහට ආවත් ඩිප්‍රෙෂන් වලට බලපාන සමාජ දේශපාලන හේතු තියෙනවා. උදා විදිහට වොලාස්ම විස්තර කරන විදිහට එයාගෙ පරම්පරාවෙ ගොඩක් අය ඩිප්‍රෙෂන් හින්ද දිවි නසා ගන්නවා. ඒකට හේතුවක් විදිහට එයා කියන්නෙ ඇමරිකානු පරිභෝජනවාදී සංස්කෘතිය. ඒක ආර්ථිකය පැත්තෙන් මාර හොඳ වෙන අතරෙම පුද්ගලික ජීවිත පැත්තෙන් දරුණු ප‍්‍රතිඵල ඇති කරනවා. කොයිතරම් පරිභෝජනය කළත් තෘප්තිමත් නොවෙන අතෘප්තියකින් මිනිස්සු පෙළෙනවා.

කරන රස්සාවෙන් අත්විඳින අතෘප්තිය මැඩ ගන්න මිනිස්සු විවිධ පරිභෝජන පුරුදු වලට ඇබ්බැහි වෙනවා. ඒත් අන්තිමට වෙන්නෙ වඩවඩාත් මේ අතෘප්තිය හරහා ඩිප්‍රෙෂන් වලට තල්ලූ වෙන එක. මේක සංස්කෘතික වෙනසක් පුද්ගලිකව බලපාන හැටි. එයාගෙ යාලූවො ගොඩක් සියදිවි නසා ගත්තා කියල වොලාස් කියනවා.

මට ඉස්තෙපාන් එවලා තිබුනෙ ෆොස්ටර් වොලාස් 2005දි කෙනියොන් උපාධි පාසැලේදි කරපු කතාවක්. ඒ කතාවෙන් මං දැක්කෙ එයාගෙ තියෙන ආධ්‍යාත්මික පරිණත බව. ආගමක් හෝ ඇදහිල්ලක් හරහා නැතුව තමන් විසින්ම තමන්ගේ අභ්‍යන්තරය ඇතුළට ගිහින් විමසීමෙන් ලත් අවබෝධය. ඒ සවිඥාණක බව හරහා ගත්ත තීරණයක් විදිහට මිස රෝගී අහම්බයක් විදිහට වොලාස්ගෙ දිවි නසා ගැනීම මට ගන්න බෑ.

වොලාස් එයාගෙ කතාව පටන්ගන්නෙ උපමා කතාවකින්. තරුණ මාළු දෙන්නෙක් පීනගෙන එද්දි මහළු මාළුවෙක් මුණගැහෙනවා. මහළු මාළුවා අහනවා, කොහොමද කොල්ලනේ.. කොහොමද වතුර...? තරුණ මාළු දෙන්නා නෑහුනා වගේ ටිකක් ඉස්සරහට පීනගෙන යනවා. පස්සෙ මූණට මූණ බලාගෙන අහනවා,
‘මොන ඉලව්වක්ද වතුර කියන්නෙ?’

මේ කතාවෙ කියන්නෙ කොයි තරම් එලියට පේන ලොකු යතාර්තයන් තියෙනවද අපිට දකින්න බැරුව, කවුරුවත් කතා නොකරන කියන එකයි. ඇස්පනා පිට තියෙන විශාලතම දේවල් පවා අපිට නොපෙනී යන්න පුළුවන්.

ලිබරල් ආර්ට් උගන්නද්දි අපි කියන කතාවක් තමයි ලිබරල් ආර්ට් උපාධියක තියෙන ද්‍රව්‍යමය වටිනාකමට වඩා ඒකෙන් අපිව හිතන්න පුරුදු කරනවා කියන එක. වොලාස් කියනවා එයාට ඒ කතාව දැනුනෙ අපහාසයක් විදිහට කියල. හරියට හිතන එකත් කවුරු හරි කියල දෙන්න  ඕන එකක් වගේ.

ඒත් මේ ලිබරල් ආර්ට් ගැන බොරුවෙ මෙහෙම පැත්තකුත් තියෙනවා. ඒක හිතන්න තියෙන හැකියාව ගැන යමක් කරනවා නෙමෙයි. ඒ වෙනුවට හිතන්න අවශ්‍ය දේ තෝර ගන්න මේ හරහා බලපෑමක් කරන්න පුළුවන්. අපි හිතන්න  ඕන දේ තෝරා ගැනීම ගැන සාකච්ඡුා කරන්න තරම් දෙයක් නෑ කියල හිතනවා නම් මං කියන්නෙ ආයිමත් අර මාළුවන්ගෙ කතාව ගන්න. ඒ තරම් පැහැදිලි අවට තියෙන දේ නොදැකීම- ඒ ගැන නොසිතීම හරහා ආපහු මේ මාතෘකාවට එන්න.

තව කතාවක්. අදේවවාදියෙකුයි දේවභක්තිකයෙකුයි බාර් එකක බොනවා. අදේවවාදියා කියනවා, මං දෙවියො ගැන විශ්වාස නොකරපු මිනිහෙක් නෙමෙයි. මාත් දෙවියන්ට යාඥා කරලා තියෙනවා. ඒකයි මං දන්නෙ එහෙම කෙනෙක් නෑ කියල. දවසක් මං හිමේ අතරමං වෙලා කෑම්ප් එකට ආපහු යාගන්න බැරුව ඉන්නකොට මං දෙවියන්ට යාඥා කළා. දෙවියෙක් කියල කෙනෙක් ඉන්නවා නං මට මග පෙන්නන්න කියල.
එතකොට දේවභක්තිකයා ඉස්සරහට පනිනවා. ඒකනේ, ඔය දැන් තමුසෙ ජීවතුන් අතර ඉන්නෙ. දෙවියො බලපු හින්දනෙ.

අදේවවාදියා කියනවා, පිස්සුද අයිසෙ, කොහෙන්ද ආපු ඇස්කිමෝකාරයො දෙන්නෙක් මට කෑම්ප් එකට පාර පෙන්නුවා කියල.

මේ එක අත්දැකීමක් ගැන දෙන්නෙක් තේරුම් ගන්න විදිහ. මේ තේරුම් ගැනීම එක එක්කෙනාට වෙනස්. ඒක එක්කෙනෙකුගේ හරි වෙලා අනිත් කෙනාගෙ වැරදි වෙන්නෙ නෑ. ඒ තේරුම් ගැනීමට අවශ්‍ය දේවල් ටික ඒ ඒ පුද්ගලයා ඇතුලෙ නිශ්චිතව පෙලගැහිලා තියෙන්නෙ. ඒ තේරුම් ගැනීමට ඒ අදාල කෙනාව කන්ඩිෂන් වෙලා තියෙන්නෙ. මේ විදිහට අපි හැමතිස්සෙම යමක් තේරුම් ගන්නෙ ඒක යතාර්ථයක් හින්ද නෙමෙයි. ඒක අපේ පුද්ගලික තෝරා ගැනීම හින්ද.

මෙතනදි මේ දේවවාදියාත් අදේවවාදියාත් එක සමානයි. අදේවවාදියාට හොඳටම විශ්වාසයි ඇස්කිමෝලා සහ තමන්ගෙ යාඥාව අතර සම්බන්ධයක් නෑ කියල. දේවවාදියාට හොඳටම විශ්වාසයි දෙවියන්ට මේකගෙ යාඥාව ඇහුන  කියල. මේක තමන් ගැනම උද්දච්ඡුකම. දෙන්නම දෙන්නගේ තෝරා ගැනීමේ කූඩු වෙලා ඉන්නෙ. හරියට හිර ගෙයක් ඇතුලෙ ඉන්න ඒත් තමන් හිර වෙලා කියල නොදන්්න හිරකාරයෙක් වගේ.

මං හිතන්නෙ කොහොමද හිතන්න  ඕන කියන කාරනේ එන්නෙ මෙතනදි. ටිකක් අඩු උද්දච්ඡකමකින් හිතන්න. අපි දන්නවා කියලා නිකංම හිතන ගොඩක් දේවල් වැරදියි. ඒවා ප්‍රෝග‍්‍රෑම් වෙලා තියෙන තත්ව විතරයි.

මොකද අපේ විශ්වාස පිළිගැනීම් හැමදෙයක්ම හැදෙන්නෙ එක කොන්දේසියක් උඩ. ඒ තමයි මේ විශ්වයේ කේන්ද්‍රය තමන් (අපි) කියන පිළිගැනීම. මේක අහපු ගමන් අපිට අවුල් වගේ හිතුනත් මේක අපේ ඩිෆෝල්ට් හිතීමේ තත්වයක්. හැමෝම තම තමන්ගෙ විශ්වයන්ගෙ කේන්ද්‍ර. ඔයා දකින ලෝකෙ කියන්නෙ එක්කො ඔයාට ඉස්සරහින්, නැත්තං පිටිපස්සෙන්, වමෙන් හෝ දකුනෙන්, ඔයාගෙ ටීවී එකෙන් ඔයා දකින ලෝකෙ විතරයි. අනිත් අයගෙ විස්තරත් ඔයාට සන්නිවේදනය වෙනවා තමයි. ඒත් ඔයාගෙම දේවල් තමයි වඩා වැදගත්. ළ`ග සහ ඉක්මන්.

මේක වඩා සානුකම්පික වෙන්නේ කොහොමද හෝ වඩා හොඳ වෙන්නෙ කොහොමද කියන එක ගැන කතාවක් නෙමෙයි. මේකෙ කිසි හොඳක් නෑ. මේ කියන්නෙ අපිව උපතින්ම වයර් අමුණලා තියෙන විදිහ, අපි කේන්ද්‍රීය වෙච්ච ලෙන්ස් එක නැතුව ලෝකෙ ඊට වඩා ටිකක් ලොකුවට දකින්න  ඕන කියන එකයි. මේ උපතින් එන සෙටින්ග්ස් ටික තමන්ට උවමනා විදිහට යලි සකස් කර ගත්ත මිනිස්සුන්ටයි අපි පරිණතයි කියන්නෙ. දැන උගත් කියන්නෙ.

මේකෙ අවාසිය තියෙන්නෙ ඇකඩමික් ජීවිතේ ඇතුලෙ මේ තත්වය අත්පත් කර ගැනීම වඩාත් අමාරු වෙන්න පුළුවන් එක. මොකද ඇකඩමික් වීමත් එක්ක අපි හැමදෙයක්ම බුද්ධිමය විග‍්‍රහයන් වලට යටත් කරනවා. තේරුමක් නැති වියුක්ත මානසික සංවාද අතරෙ පැටලි පැටලි ඉන්න කොට අවට යතාර්ථයන් ගොඩක් නොපෙනී යනවා. අපි අපේ ඔලූව ඇතුලෙ හිරවෙනවා.

ලිබරල් ආර්ට්වල කියන බොරුව ඇතුලෙ තියෙන්න පුළුවන් එකම තේරුමක් ඇති දේ වෙන්නෙ අපි හිතන දේ මොකක්ද කියන එක ගැන සවිඥානක බවක් ඇති කරන එක. අපි අවධානය යොදන්නෙ කොතනටද කියන කාරනේ ගැන සාවධාන වීම. ඒ සිතීම හරහා අපි ගොඩනගන තේරුම සවිඥානක ක‍්‍රියාවලියක් කරන එක. ඒ කියන්නෙ අපේ අත්දැකීම් අපි විසින් නිර්මාණය කර ගැනීම. අනුන් විසින් තීරණය කළ අත්දැකීම් වල ජීවත් වෙනවට වඩා.

මනස කියන්නෙ හොඳ සේවකයෙක් නමුත් දරුණු ස්වාමියෙක් කියල පරණ කියමනක් තියෙනවා. ගොඩක් දිවිනසාගන්න අය ඔලූවට වෙඩි තියාගෙන මැරෙන්නෙ මේ දරුණු ස්වාමියාගෙන් නිදහස් වෙන්න. මේ අය ඇත්තටම මෙතනදි කොකා ගස්සන්න ගොඩක් කලින් මැරිලා.

අපි ගොඩක් අය ගත කරන්නෙ බෝරිං ජීවිත. එකම විදිහට දවස් ගතවෙන, ඉච්ඡාභංග වුණු ජීවිත. මේ විදිහට අපි හැමදාම පැය අටක් වැඩ කරනවා. හොඳටම හති වැටිලා ගෙදර එනවා. මොනවා හරි කාලා ඇඳට වැටෙනවා. පහුවෙනිදා උදෙන්ම ආයිත් වැඩට යනවා. ගොඩක් වයිට් කොලර් ජොබ් වල ඇත්ත ඒක.

මේ අතරෙ සමහර දවස් වලට අපිට සුපර් මාර්කට් යන්න වෙනවා. රෑට කන්න දෙයක් ගන්න. ඒත් ඒකෙ පෝලිම. සෙනග. අපි කරත්තෙත් තියාගෙන පෝලිමේ කෙලවරේ ඉන්නවා. වැඩිපුරත් එක්ක මේක් අප් දාගත්ත ගෑනියෙක් මහ හයියෙන් ෆෝන් එකේ කතාව. කැෂියර් එකේ ගෑනි ඔහේ එයාට  ඕන තරම් වෙලාව අරගෙන බිල් කරනවා. අපිට යකා නගිනවා. මං කියන්නෙ මෙන්න මේ වගේ වෙලාවලදියි අපි හිතන්නෙ කොයි විදිහටද කියන එක තෝරා ගන්න  ඕන.

අපි තමයි මහන්සි වෙලා, චාටර් වෙලා ඉන්න එකම කේන්ද්‍රීය චරිතෙ කියල හිතුවොත් අපේ මළ පැනීම සාධාරණයි. ඒත් අර ෆෝන් එකේ කෑ ගහන ගෑනිගේ කන ඇහෙන්නෙ නැතුව වෙන්න පුළුවන්. දවසෙම එකම දේ කරලා කරලා කැෂියර් එකේ මනුස්සයා ඇදගෙන වැටෙන්න තරම් හෙම්බත් වෙන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න  ඕන අපි ගැන අමතක කරලා අනිත් අය ගැනත් ටිකක් හිතන්න.

අපේ මහන්සිය ගැනම හිතලා මළ පනින එක තමයි ඩිෆෝල්ට් සෙටින්ග් එක. මේකෙන් එලියට එන්න මහන්සියක් ගන්න වෙනවා. ඒක ලේසි නෑ. හැමතිස්සෙම අපිට කරන්නත් බෑ. ඒත් ඒ පුහුණුවෙන් අපිට පුළුවන් අපේ ජීවිතේ අපේ මමත්වයේ සීමාවට වඩා විශාල කර ගන්න.

කිසි දෙයක් නිශ්චිත සත්‍යයන් නෙමෙයි. අපිට සිද්ද වෙනවා අපි විසින්ම අපේ සත්‍යයන් සකස් කර ගන්න. ඇත්තටම නියම අධ්‍යාපනයේ තේරුම වෙන්න  ඕන ඒකයි. අපේ පැවැත්මෙ නිදහස සාක්ෂාත් කරලා දෙන එක.

අපි කොයිතරම් විශ්වාස කළත් අදේවවාදියො කවුරුවත් ලෝකෙ නෑ. අපි හැමෝම යම් දේකට වැඳුම් පිදුම් කරනවා. ඒක අල්ලා, බුද්ධ හෝ ඒ වගේ ආධ්‍යාත්මික විශ්වාසයක් වෙන්න පුළුවන්. ශරීරය, ලිංගික ශක්තිය වගේ දෙයක් වෙන්න පුළුවන්. බලය වෙන්න පුළුවන්. සල්ලි වෙන්න පුළුවන්. කොයිදේකට හරි අපි හැමෝම වැඳුම් පිදුම් කරනවා.

ඒක නරක දෙයක් නෙමෙයි. ඒක මනුස්ස පැවැත්මෙ විදිහ. ඒත් අපි වැඳුම් පිදුම් කරන්නෙ මොකකටද කියලා අපිට තියෙන්න  ඕන සවිඥානක බවක්. උදා විදිහට අපි ශරීරාලංකාරයට හෝ ලිංගික ශක්තියට වන්දනාමාන කරනවා නම් වයසට යන, ශරීරය දුර්වල වෙන දවසක් දවසක් පාසා අපිට මැරි මැරී ජීවත් වෙන්න සිද්ද වෙනවා. අපි සල්ලි වලට වන්දනාමාන කරනවා නම් අපි කොයිතරම් හම්බකළත් ජීවිත කාලය පුරාම දුප්පත් මානසිකත්වයෙන් පෙළෙනවා. බලයට වැදුම් පිදුම් කරනවා කියන්නෙ කොයි වෙලාවක බලය උදුරා ගනීද කියල සදා අනාරක්‍ෂාවෙන් පෙළෙනවා කියන එක. අපි බුද්ධියට වැදුම් පිදුම් කරනවා කියන්නෙ බුද්ධියේ ආඩම්බරය නිසා මෝඩයෙක් විදිහට කෙලවර වෙනවා කියන එක. මේ හැම වන්දනාවක්ම අපි ඇතුලෙ කල් ඇතුවම සකස් වුණු සෙටින්ග්ස්.

පිටස්තර ලෝකය කැමතියි කොහොමත් හැමෝම මේ ඩිෆෝල්ට් සෙටිනග්ස් වලම වැඩ කරගෙන යන එකට. එතකොට සමජාතීය බවක්, පාලනයක්, විධිමත් බවක් ලේසියක් තියෙන හින්ද. ඒත් එතනින් නිදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ නෑ. හරිම නිදහස කියන්නෙ අවධානය, සවිඥානක බව, විනය වගේම අනිත් අය ගැන ඇත්තටම හිතන්න, ඒ අය වෙනුවෙන් (සම්මත, ජනප‍්‍රිය, කැපී පෙනෙන විධි වලින් නැතුව) හැම දවසකම අප‍්‍රසිද්දියේ පොඩි හෝ කැප කිරීම් කරන්න පුළුවන්කමයි.

අපිට අපෙන් එලිය දකින්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ආයිමත් ෆොස්ටර් වොලාස් එයාගෙ මුල්ම උදාහරනෙට එනවා. මාළුන්ගෙ කතාව. ජීවිතේටත් ඒක අදාල කර ගන්න කියල එයා කියනවා. නිරන්තර අවදියෙන් ඉන්න.

මේ තියෙන්නෙ වතුර
මේ තියෙන්නෙ වතුර
මේ තියෙන්නෙ වතුර..

(ඬේවිඞ් ෆොස්ටර් වොලාස්ගේ කතාවක් ඇසුරෙන් ලිහිල් පරිවර්තනයක්)

චින්තන ධර්මදාස


4 comments:

  1. මමනං ලිබරල් ආර්ට් වගේ දේවල් දකින්නේ යතාර්ථයෙන් පලායාමට හදාගන්නා උමං හැටියට.
    පලා යනවා පෙනෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ආර්ට් කියන්නෙම, ජිවත්වීමෙ වේදනාවෙන් තාවකාලික පලායැම් වලට කියන තවත් නමක් ! ( Commercial Art හැර )

      Delete
  2. //මේ උපතින් එන සෙටින්ග්ස් ටික තමන්ට උවමනා විදිහට යලි සකස් කර ගත්ත මිනිස්සුන්ටයි අපි පරිණතයි කියන්නෙ.//

    මට තේරෙන විදියට නම් අදේවවාදියා කියල කියන්නෙම උපතින් එන ඩිෆෝල්ට් සෙටිංස් වෙනස් කල හෝ කිරීමට තැත් කල කෙනෙක්. ඉතින් අදේවවාදියා සහ දේවවාදියා සමානයි වගේ කතාවක් කියන්න පුලුවන්ද?

    අදේවවාදය කියන්නෙ අපි විසින් සකස් කරගත් අපේ සත්‍යයක් නොවෙයිද?

    - Dimithri

    ReplyDelete
  3. ඩිප්‍රෙෂන් වගේ රෝගයක් මෝඩයින්ට හැදෙන්නෙ නෑ කියන එක වගේම වොලාස් හිතලා තමන්ගේ මරණේ සැලසුම් කරගත්තා කියන දෙකම චින්තනගේ හැගීම් බර වචන. රාජපක්ෂ පාලනය, ගෝඨා වගේ දේවල් දිහා හැගීම්බර නොවී බලන්න පුළුවන් චින්තන ප්‍රධාන ධාරාවට අයිති නැති සමහර විකල්ප දේවල් දිහා හැගීම්බර විදිහට බලනවා.

    මගේ නිරීක්ෂණයක්

    ReplyDelete