මට කාර්ලෝස් මුණගැහීම..
මට කාර්ලෝස් රේගඩාස්ව මුලින්ම හම්බුනේ බොලිවුඞ් එකේදි. ඉටිකොල වල දාලා පෝලිම් ගහලා තිබ්බ ෆිල්ම් තොගයක් මැද්දෙදි. ඒ ෆිල්ම් එක ජේපොන්. කවරෙ තිබුනෙ හරිම වෙස්ටර්න් ෆිල්ම් එකක පෙනුමක්. කාන්තාර පසුබිමක්. ඒ හිස් ගතියත් විශේෂයෙන්ම මෙක්සිකානු වීමත් හින්ද රේගඩාස් එදා මං තෝරපු චිත‍්‍රපටි කීපය අතරට වැටුණ.
ජේපොන් වල තියෙන්නෙ මෙක්සිකෝවෙ නගරෙ ජීවත් වෙච්ච මනුස්සයෙක් සිය දිවි නහගන්න කියල ගම් පළාතකට යන කතාවක්. ඒ කාන්තාරයක් වගේ පාළු පලාතෙ වයසක ගෑණු කෙනෙක් මේ මිනිහට නවාතැන් දෙනවා. සත්කාර කරනවා. ඒත් ඒ කිසි දේකින් මේ මනුස්සයා තෘප්තිමත් වෙන්නෙ නෑ. මැරෙන්න කලින් එක වතාවක් ගැහැනියක් එක්ක යහන්ගත වීමේ උවමනාවෙන් මේ මිනිහා පෙළෙනවා. එතකොට අර වයස්ගත කාන්තාව දේව මාතාවක් වගේ මේ මනුස්සයාගේ උවමනාවට ඉඩදෙනවා.
වයස්ගත ගැහැනියකගේ අමු නිරුවත කෙලින්ම කැමරාවට ගේන රේගඩාස් ඒ නිරුවත ඇතුලෙන් අපිට අපේ මනුස්ස දුබලකම මතක් කරනවා. ඒ මොහොත ලිංගික මොහොතක් කියන තැනින් ගැලවිලා පැවැත්ම පිළිබඳ මුනිවර මොහොතක් බවට පෙරලෙනවා. මට රේගඩාස්ව අල්ලලා ගියා.
ඊට පස්සෙ එයාගෙ ෆිල්ම් ඔක්කොම හොය හොයා බැලූවා. චිත‍්‍රපටියට වඩා ඒ චිත‍්‍රපටිය නිර්මාණය වෙන මනසේ ගැඹුර මාව බැතිමතෙක් කළා. රේගඩාස් ජේපොන් චිත‍්‍රපටිය කරපු පෙරළිකාර ගතිය වෙනුවට ඈත ඉඳන් බලන් ඉන්න මුනිවර සෙයියාවට මාරු වුණා. ජේපොන් වලදි එයා චරිත පස්සෙන් ගියා. සමහර වෙලාවට චරිත ඉස්සර කරගෙන ගියා. වටේ කැරකිලා ආපහු චරිත ළ`ගට ආවා. ඒ සජීවී ඇසුර ටිකෙන් ටික මළ දාර්ශනිකත්වයක් ඇතුලෙ ගිලෙන්න ගත්තා කියලයි මගේ පුද්ගලික අදහස. පළවෙනි ෆිල්ම් එකේ තිබ්බ සාංදෘෂ්ටික ගැඹුර ටිකෙන් ටික ක‍්‍රිස්තියානි සාන්තුවර බවක් ඇතුලෙ සංසුන් වෙන්න ගත්තා. විශේෂයෙන්ම සයිලන්ට් ලයිට් වලට එනකොට.
ඒත් රේගඩාස්ගෙ ෆිල්ම් වල තිබුණ ආධ්‍යාත්මික සාකච්ඡාව දිගටම තිබුණ.
කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල එක්ක රේගඩාස් ලංකාවට ආවා. ඒක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වෙලාවෙ යුරෝපීය සම්මාන උළෙලවලදී දේවත්වයෙන් පිදෙන රේගඩාස් නිහතමානීව ලංකාවට ආවා. මං හිතන්නෙ විමුක්ති එක්ක යාළුකමට.
ඇවිත් එයා පොඩි වැඩමුළුවක් කළා. එතන අය අහන ප‍්‍රශ්නත් එක්ක එයා තවත් ඇතුළට ඇතුළට එයාගෙ නිර්මාණ ගැන කතා කරගෙන ගියා. ඇත්තටම තමන් කරන දේ ගැන හොඳ සවිඥාණක බවක් වගේම සිනමාව ගැන ගැඹුරු සිතා බැලීමක් එයාට තිබුණ.
සිනමාව කියන්නෙ ජීවිතයේ ගැඹුරු රහස්ය කියන දරුණු ආත්මීය තැනකින් රේගඩාස් සිනමාවට බැඳිලා හිටියා. එයාට ඒක ආගමිකයි. ඒක තමන්ගෙන් බාහිර විෂයක් වෙනුවට තමන් සොයා යන මාවතක් විදිහට එයා පාවිච්චි කළා.
රේගඩාස් ලස්සන කතාවක් කිව්වා. ජීවිතේ කියන්නෙ අපේ කතාව. සිනමාව කියන්නෙ ඒ කතාව ඇතුලෙ අපි දේවල් දකින විදිහට.
සිනමාව සංවෘත වෙනවා වෙනුවට වඩ වඩා විවෘත වෙන්න ඕන. හරියට කවියක් වගේ. නිශ්චිත ගමනාන්තයකට හෝ කෙලවරකට යනවා වෙනුවට වඩා විවෘත තැන් කරා චිත‍්‍රපටියක් අරගෙන යන්න ඕන. විශේෂයෙන්ම කතා කීමේ කලාව රේගඩාස් බැහැර කරනවා. ඒක සාහිත්‍යයට අයිති කොටසක් විදිහටයි එයා දකින්නෙ. ඒ වෙනුවට රූපයේ වැදගත්කමයි එයා අවධාරණය කරන්නෙ. ඒ රූපය ඇතුලෙ තියෙන කතාව, ඒ රූපය ඇතුලෙ තියෙන ජීවිතයේ මොහොත විඳින්න කරන විවෘත ආරාධනාවක් විදිහටයි රේගඩාස් එයාගෙ සිනමාව පිළිගන්වන්නෙ.
ඒක හරි ලස්සන තැනක්. ලස්සන බෙදාහදා ගැනීමක්. කෘතිය ඇතුලට පේ‍්‍රක්‍ෂකයාට ගමන් කරන්න ලොකු ඉඩක් එයා තියනවා. ඒ තිරය උඩ රූප වලට අර්ථ හැදීම පේ‍්‍රක්‍ෂකයාට බාර කරනවා. ‘යතාර්ථය කියල කියන්නෙ සවිඥානක යතාර්ථය විතරක් නෙමෙයි. යතාර්ථයට අපේ හීනත් අයිතියි’ රේගඩාස් එයාගෙ සිනමාවෙ යතාර්ථයන් ගොඩනගන්නෙ ඒ වගේ තැනක ඉඳන්. ඒක හින්දම යතාර්ථවාදයේ සීමාවන්ගෙන් ගැලවිලා තමන්ගේ අවිඥානක රූපාවලියේ ඔහේ නිදහස් වෙන්න එයා නිර්මාණකරුවා විදිහට ඉඩ තියා ගන්නවා.
චිත‍්‍රපටියක් ගැන රේගඩාස්ගෙ අදහස හරිම සරලව කියන්න පුළුවන්. ඒක හරියට අපි දකින හීනයක් වගේ. ඒක රෙකෝඞ් කරනවා. ඊට පස්සෙ අපේ යාලූවො එක්ක ඉඳගෙන බලනවා. එතකොට ඒ දකින දේ ගැන සම්පූර්ණ තේරුම අපිට කියන්න පුළුවන්ද? යම් දැනීමක් තිබුණත් අපිත් ඒ රූප වලට නැවත තේරුම් හදමිනුයි ඉන්නෙ. අධ්‍යක්‍ෂවරයා සහ එයාගේ පේ‍්‍රක්‍ෂකයා අතර සම්බන්දය ඒ වගේ එකක්.
අනිවාර්යෙන්ම තර්කයේ සීමාවෙන් එහාට නිර්මාණකරුවෙකුගේ සිතීම ගමන් කරන්න ඕන. සංවෘත තේරුම් තියෙන සංකේත පාවිච්චි කරලා මේක කරන්න යන එක දුප්පත් වැඩක්. උදා විදිහට ලිංගිකත්වය පෙන්නන්න සර්පයෙක් පාවිච්චි කරන එක, නැත්තං කන්‍යාභාවය අහිමිවෙද්දි වීදුරුවක් බිඳෙන එක වගේ. මොකද ජීවිතේ කිසි දෙයක් අපිට සංකේත විදිහට මුණගැහෙන්නෙ නෑ. ඒවා සංකේත බවට පත් කරන්නෙ අපි. අපේ කියවීම විසින්. එහෙනම් සිනමාවෙ සංකේත පාවිච්චියත් ඒ වගේ වෙන්න ඕන.
ඒත් මේ කියන්නෙ අතාර්කිකත්වයේ ඔහේ දිගේලි වෙන එක නෙමෙයි. හීනය දැකපු එකාට හීනය ගැන යම් දැනීමක්, යම් පසුබිමක් තිබුණ වගේ පළල් විවෘත සවිඥානක බවක් එක්කයි රේගඩාස් මේ තාර්කිකය ඉක්මවා යාම යෝජනා කරන්නෙ.
රේගඩාස්ගෙ චිත‍්‍රපටි වල සාමාන්‍යයෙන් තියෙනවා ලොමු දැහැගැන්වෙන ලිංගික දර්ශන. ඒවා අසභ්‍යයි කියල ගොඩක් විචාරකයෝ චෝදනා පවා කරනවා. ඒත් එයා මේ ලිංගික මොහොත වෙන අධ්‍යාත්මික සමාපත්තියකට අරගෙන යනවා. ඒක එදා රේගඩාස් එයාගෙ වචන වලින් හොඳට ගලපලා කිව්වා.
‘ඇත්ත සංසර්ගය තියෙන්නෙ නිරුවත් ශරීර අතරෙ නෙමෙයි. නිරුවත් ආත්ම අතරෙයි’
මේ දාර්ශනික දිග පළල අතරෙ රේගඩාස් එයාගෙ සීමාවනුත්් ඒ විදිහටම සළකුණු කළා. කෘතියට එළියෙන් ඉන්න පරිණත දකින්නා වෙනුවට සීමිත ක‍්‍රිස්තියානි පාදිලියෙක් වගේ තැනක එයා හිර වෙලා හිටියා. එකම පරම වූ පිවිතුරු සිනමාවක් ගැන හීනයක රේගඩාස් පොඩි දරුවෙක් වගේ මට පෙණුනා.
පළවෙනිම දේ වුනේ සිනමාව ස්ලෝ වෙන්න ඕන කියල එයා දරන ඇදහිල්ල. ඒ ඇදහිල්ල අපේ සිංහල බෞද්දයො වගේ තද තැනකින් එයා බදා ගන්නවා. ඒ හින්ද අනිත් හැමදේම නරක සහ දුෂිත වෙනවා. උදා විදිහ රේගඩාස්ට අනුව හොලිවුඞ් සිනමාව ගන්න දෙයක් නෑ. ඒ මදිවට ඇමරිකාවෙ ප‍්‍රචණ්ඩත්වයට හේතුව හොලිවුඞ් සිනමාව කියලා කියන්න තරමට එයා නොමේරූ තැනක නැවතුණා. ඒ වේගය ඇතුලෙ ජීවිතය මගඇරෙනවා කියල රේගඩාස් තර්ක කළා.
ඒත් මඳවේගයට තියෙන දාර්ශනිකත්වයම ගැඹුරම වේගයටත් තියෙන්න ඕන නේද? මඳවේගයේ දැනවිය හැකි ජීවිතය වේගයේදී දැනවිය නොහැකියි කියන කතාව අතිශය සීමිත කතාවක්. එක පැත්තකින් මේ වේගය ගැන තර්කයම සාපේක්‍ෂ වෙනවා. රේගඩාස් කියන මඳවේගය තාර්කික වෙන්නෙ අධිවේගය පැවතුනොත් විතරයි. මට දැණුනෙ මෙක්සිකෝවට ඇමරිකාව විසින් කරන කෙණෙහිලි නිසාම රේගඩාස් අතාර්කික වෛරයකින් පෙළෙනවා කියල හොලිවුඞ් සිනමාව ගැන.
උදා විදිහට ක්ලවුඞ් ඇට්ලස් වගේ චිත‍්‍රපටියක් ගත්තොත් වේගය ලේයර් කීපයක් විදිහට ඒ චිත‍්‍රපටිය ඇතුලෙ පාවිච්චි කරනවා. මඳවේගය ඕන නම් ඒකත් අධි වේගය ඕන නම් ඒකත් එකම කෘතියක් ඇතුලෙ පාවිච්චි කරමින් කාලය හරහා අතිශය ගැඹුරු අභිධර්මයකට ක්ලවුඞ් ඇට්ලස් චිත‍්‍රපටිය ගමන් කරනවා. ඒත් රේගඩාස් ක්ලවුඞ් ඇට්ලස් බලලා නෑ. එයා නලින්ද සිල්වා වගේ චිත‍්‍රපටිය නොබලාම විචාරය කරන ගුරුකුලයේ කෙනෙක්.
‘එතකොට ඔයා කියන්නෙ හොලිවුඞ් ෆිල්ම් වල ගැඹුරු ජීවිත සාකච්ඡුාවන් වෙන්නෙම නැද්ද? උදා විදිහට ඩාර්ක් නයිට් චිත‍්‍රපටියෙ ජෝකර්ගේ චරිතය ගැඹුරු ජීවිත සත්‍යයන් එක්ක ගනුදෙනු කරන්නෙ නැද්ද?’
මං රේගඩාස්ගෙන් ඇහුවා. එයා ඩාර්ක් නයිට් බලලත් නෑ. පිජාමා ඇඳගෙන එහේ මෙහේ දුවන බැට්මෑන් වගේ චරිත වලින් සීරියස් දෙයක් කියන්නෙ කොහොමද කියල එයා හිනාවුනා. එහෙම නිශ්චිත හැඩයන් තියෙන චරිත වලින් ජීවිතය විදාරනය කරන්න බෑ කියන අදහසේ එයා තදටම හිටියා. ඒත් එතකොට ග‍්‍රීක මිත්‍යා කතා වල චරිත වලින් ජීවිතය ගැන ගැඹුරු දේවල් කියන්නෙ නැද්ද? මං රේගඩාස්ගෙන් අහන්න ගියේ නැත්තෙ වැඩමුළුව අල වෙන හින්ද.
එයා තව මාර කතාවක් කිව්වා ඉන්දියානු සිනමාව ගැන. ඉන්දියාවෙ ඒ තරම් මන්දගාමී ජීවිත ඇතුලෙන් අර තරම් වේගවත් සිනමාවක් නිර්මාණය වෙන එක බොරුවක් කියල රේගඩාස් කිව්වා. එයාගෙ උදාහරණය වුනේ බඩුවක් ගන්න ගියත් සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙන ඉන්දියාවෙ ජීවිත සහ ඒ ගොල්ලො විසිල් ගගහා නරඹන දෙමළ චිත‍්‍රපටි.
මගේ ඇතුලෙ මේ මනුස්සයා කඩාගෙන වැටෙන එක මට ඉවසන්නත් බැරි තරම් වේගවත් වුණා. පෝලිමක් කියන්නෙ මඳවේගී තැනක්ද? කොයිතරම් ආතතියක්ද, කොයිතරම් ප‍්‍රකාශයට පත් නොවුණු වේගයක්ද, පෝලිමක් කියන්නෙම. වේගය කියන දේ ගැනත් රේගඩාස් සහ මං හිටියෙ තැන් දෙකක.
එයාගෙ සිනමාව එයා දරන අදහස් මට ගැටළුවක් වුණේ නෑ. ඒත් අනෙක් සිනමාවන් ප‍්‍රතික්‍ෂේප කරමින් ඒවා ගැන එයා විසින් තනාගත් මනක්කල්පිත අදහස් මට දැණුනෙ බොළඳ විදිහට. ඒ හින්දම මං ආයිමත් එයාගෙ කෘති ගැන හිතන්න පටන් ගත්තා.
රේගඩාස් විසින් අපූර්ව විදිහට නිර්මාණය කළත් එයාගෙ සමස්ත නිර්මාණ පරිච්ෙඡ්දයම පාදක වෙන්නෙ බයිබලය උඩ. නැත්තං ක‍්‍රිස්තියානි අධ්‍යාත්මවාදය උඩ. පාපයේ සිට සාන්තුවරයා දක්වා පාර සුද්ද කරන එකයි එයාගෙ හැම කෘතියකම තේමාව වෙන්නෙ. මිනිසාගේ වේදනාව, පෙළීම, පාවා දීම, ආත්ම පූජාව කියන ජේසුස් වහන්සේගේ කතාවෙ වෙනස් වෙනස් වර්ෂන් එයා අතින් නිර්මාණය වුණා.
ඒක ගැටළුවක් නෙමෙයි. ඒ නිර්මාණ ඒ ගැඹුර සහ නව්‍යතාවය දරන තාක් කල් නිර්මාණ විෂය පථය ප‍්‍රශ්නයක් නෙමෙයි. උදා විදිහට පාවුලෝ කොයෙලෝ එයාගෙ විශිෂ්ට නිර්මාණ කරන්නෙත් මේ දෘෂ්ටිය ඇතුලෙ. ඒත් මේ දෘෂ්ටිය විසින් නිර්මාණකරුවාගේ දැක්ම බාධා කරන්න පුළුවන්. එකම දෙවි කෙනෙක් වගේ පැවතිය යුත්තෙ එකම සිනමාවක් කියල හිතෙන්න පුළුවන්. යහපත පමණක් සිනමාවට කැඳවිය යුතුයි වගේ දේවල් හිතෙන්න පුළුවන්. මැරලින් මැන්සන් නිසා ළමයි මිනීමරනවා ඒක හින්ද මැන්සන් කරන්නෙ ආර්ට් එකක් නෙමෙයි කියල හිතෙන්න පුළුවන්. ඒ වගේම අන්තිමට ඒ යහපත වෙනුවෙන් වාරණය කැඳවන්නත් පුළුවන්.
මාව තිගැස්සුනේ මේ තරම් නිදහස ගැන, මිනිස් පැවැත්ම ගැන කතා කරන රේගඩාස් හොලිවුඞ් සිනමාව ප‍්‍රචණ්ඩත්වය බෝ කරනවා සහ තමන්ට බලයක් තිබුණා නම් ඒ සිනමාව තහනම් කරනවා කියල කියනකොට. ප‍්‍රචණ්ඩත්වය බෝ කරන නිසා රේගඩාස් හොලිවුඞ් සිනමාව තහනම් කරන එකත් හමුදා සෙබළුන්ට අවමාන කරන නිසා ආණ්ඩුව ඉගිල්ලෙන මාළුවෝ තහනම් කරන එකත් එකම දෙයක්. දෙකම වෙනස් අදහසක් ඉවසන්න බැරි කමක්. වෙනස් පැවැත්මක් බාරගන්න බැරිකමක්.
රේගඩාස්ගේ සිනමාව ගැන පිවිතුරු අදහස සම්පූර්ණයෙන්ම කොටු වෙලා තිබුණෙ ෆ්‍රොයිඩියානු ජීවිත ආශය (ලයිෆ් ඩ‍්‍රයිව්) ඇතුලෙ. ප‍්‍රචණ්ඩත්වය කියල එයා බැහැර කරමින් ඉන්නෙ ඒකෙම අනිත් පැත්ත. මරණ ආශය (ඩෙත් ඩ‍්‍රයිව්). ජීවිතය බාර ගනිමින් මරණය බැහැර කිරීම ජීවිතය ඛණ්ඩනය කර ගැනීමක්. තමන්ගෙ ඇතුළෙන්ම පැනවෙන වාරණයක්.
උදා විදිහට රේගඩාස්ට ටැරන්ටිනෝගේ වයලන්ස් ඇතුලෙ ආර්ට් එකක් දකින්න බෑ. ‘අයි කම් විත් ද රේන්’ වගේ චිත‍්‍රපටියක මිටියෙන් පහර දෙමින් මිනිහෙක්ව ටිකෙන් ටික ඝාතනය කිරීම අධ්‍යක්‍ෂවරයා විසින් ආර්ට් එකකට පෙරළන තැන එයාට මගඇරෙනවා. එතනදි එයා සංස්කෘතික පොලිසියෙ වැඩට යනවා. හලාහල විෂ වුණත් බෙහෙතක් වෙන්න පුළුවන් කියල එයාට අමතක වෙනවා.
රේගඩාස්ගෙ ගෙදර ටීවී එකක් නෑ. එයා කියන්නෙ ටීවී බලන්න එපාමයි කියල.
‘ටීවී මීඩියම් එක ඇතුලෙ පලක් ඇති කිසි දෙයක් කරන්න බැරිද? අලූතෙන් හැදෙන හැනිබල්, ඔරෙන්ජ් ඉස් නිව් බ්ලැක්, වගේ ටීවී සීරීස් හොඳ දේවල් කරන්න ගත්ත උත්සාහයන් විදිහට ඔයා දකින්නෙ නැද්ද?’
මං දෙවෙනි ප‍්‍රශ්නෙත් ඇහුවා. ඒත් රේගඩාස් ටීවී සීරීස් බලලා නෑ. ඒක නිසා හැනිබල් වගේ කතා මාලාවක මඳවේගයම ප‍්‍රචණ්ඩත්වය සහ සෞන්දර්ය වෙනුවෙන් එකවිට පාවිච්චි වෙන තැන් ගැන එයා දැකලා නෑ. සමහර විට රේගඩාස්ගේ දැක්මෙ තියෙන අපරිණතකමම, සරලකමම, පැරඩයිම වශයෙන් වෙනස් පිහිටීම් ගන්න බැරිකමම ඕනවට වඩා දාර්ශනීකරනය වුණාද කියලත් මට හිතුන. ඇත්තම කාරණේ එයා නරඹා ඇති චිත‍්‍රපටි ප‍්‍රමාණය අතිශය අල්පයි. ඒ බලපු ඔක්කොමත් එකම වර්ගයක ඒවා.
මේ අධිතක්සේරු වෙච්ච මන්දගාමී දාර්ශනික සිනමාව ගැන සයිට් ඇන්ඞ් සවුන්ඞ් එකේ එඩිටර් නික් ජේම්ස් මෙහෙම සටහනක් කරනවා.
”මං ප‍්‍රශ්න කරන අධිකාරිවාදයේ එක කොටසක් වෙන්නෙ මේ මන්දගාමී සිනමාවට තියෙන ආධිපත්‍යය. මේ දරුණු, වෙහෙසකර අවමතාවාදය ඉස්සරගත් සිනමාව අන්තිම අවුරුදු දහයෙදි ලෝකෙ පුරා පැතිරුණා. ජොනතන් රොම්නි කියන විදිහට ‘මූඞ් එක වෙනුවෙන් අවස්ථාව/සිදුවීම යටපත් කරමින් කරන මේ ආර්ටිස්ටික් ගේස් එක ඇතුලෙ අපිට ඒ මොහොතෙ තියෙන අවදිය, උද්දීපනය, ආතතිය මගහැරී යනවා’
මං ගොඩක් අගය කරනවා මේ විදිහෙ ගොඩක් චිත‍්‍රපටි. ඒත් මට දැන් හිතෙන්න පටන් අරන් තියෙනවා මේක විචාරකයන්ට සහ මේ සිනමා වැඩසටහන් කරන අයට මාර ලේසියක් වෙලා නේද කියල. ෆෙස්ටිවල් ගොඩක් ඒ අය විසින්ම මේ විදිහෙ නිෂ්පාදන උනන්දු කරනවා. මේ චිත‍්‍රපටි මතක තියාගන්නත් ලේසියි. විස්තර කතා කරන්නත් ලේසියි. මොකද ම් චිත‍්‍රපටි වල විස්තර ගොඩක් අඩු නිසා. මේ වගේ මන්දගාමී චිත‍්‍රපටි පේ‍්‍රක්‍ෂකයාට යෝජනා කරන දේ පැහැදිලියි. ඔබේ ඉවසීම පවත්වාගනිමින් උනන්දුවෙන් බලන් ඉන්න වගකීම ඔබ සතුයි. නැත්තං මාස්ටර්පීස් එකක් ඔයාට මිස් වෙන්න පුළුවන්.
බර්ලින් වල ගෝල්ඩන් බෙයාර් ගත්ත ලස්සනට නිර්මාණය කරපු චිත‍්‍රපටියක් වුණත් ගොඩක් වෙලාවට අනවශ්‍ය තරම් පරිසරය, භූමි දර්ශන පෙන්නමින් ගත කරනවා කියලයි මට හිතෙන්නෙ. මොකක් හරි ගුරු පාරක් දිගේ කවුරු හරි එනවා බලාගෙන ඉන්නකොට ඒකෙ ඔයාට තර්ජනයක් තියෙනවා. ඔයාට ඒක ඇති කියල හිතුනොත් ඔයා පිලිස්තීනුවෙක්. ඒ වගේ චිත‍්‍රපටි අක‍්‍රීය විදිහට ප‍්‍රචණ්ඩයි. අපේ වටිනා කාලය මොකක් හරි සෞන්දර්යාත්මකයක් හෝ දේශපාලනයක් වෙනුවෙන් බලහත්කාරෙන් ඉල්ලා සිටිනවා. සමහර වෙලාවට ඒක වටිනවා. සමහර වෙලාවට නෑ. මේ මන්දගාමී සිනමාව කාලෙකට කලින් නම හොලිවුඞ් වලට විකල්පයක් වෙලා තිබුණ. ඒත් දැන් අපිට මීට වඩා ක‍්‍රියාකාරී විප්ලවීය යමක් අවශ්‍යයි’’
අන්තිමට රේගඩාස් කිව්වෙ එයා ටීවී එකට විරුද්ද ඒක ධනවාදයට කඬේ යන හින්ද කියල. ඒත් අපේ ආත්ම ප‍්‍රකාශනයක් විදිහට ඒක යොදා ගන්න බෑ කියල රේගඩාස් කියන්නෙ අහේතුකව. අපේ රටේ විදිහට කිව්වොත් අපේ ප‍්‍රවීන අධ්‍යක්‍ෂවරු ගොඩක් ටීවී එකේ කරපු වැඩ තාම ඉස්සරහින් ඒ අයගේ චිත‍්‍රපටි වලට වැඩිය.
හොලිවුඞ් හෝ බොලිවුඞ් වගේ දැවැන්ත සිනමා කර්මාන්තයක් ඉදිරියේ තමන් පෙනී ඉන්න සිනමාව
කොයිතරම් අංශූමාත‍්‍රද සහ එය විඳිය හැකි පිරිස කොයිතරම් සුළුතරද කියන ප‍්‍රායෝගික නිහතමානී තේරුම් ගැනීම සහ බාරගැනීම සිනමා සිතන්නෙක් විදිහට රේගඩාස් ළ`ග තිබුණෙ නෑ. ඒ වෙනුවට පරම වූ ශූද්ධ සිනමාවක් වෙනුවෙන් එයා කුරුස යුද්දෙකට බැහැලා හිටියා.
පැවැත්ම ගැන පරිණත දැක්මක් ඇති නිර්මාණකරුවෙක් මුණගැහීමේ භාග්‍යය මට අහිමි වුණා. ඒ වෙනුවට නිර්මාණ ඇතුලෙ පරිණත දක්ෂ නිර්මාණ තනන්නෙක් විතරක් මට මුණගැහුන.
සමහර වෙලාවට අපේ වීරයො අපිට කවදාවත් මුණ නොගැහෙනවා නම් හොඳයි. නැත්තං ඇත්තට ඉතුරු වෙන්නෙ බැට් මෑන් වගේ පිජාමා අඳින වීරයො විතරයි.
-චින්තන ධර්මදාස
නිර්මානය තුල තිබෙන පරිචයත් එක්ක නිර්මාණකරුවා ගැන ඇතිවෙන චිත්ත රූපය රැකගන්න එක බොහෝවිට නිර්මාණකාරයා මුහුනදෙන දැඩි අභියෝගයක්. ඔහු සමහර විට සැබෑ ජීවිතය නෙමෙයි නිර්මාණයට ගන්නෙ. නමුත් නිර්මාණය රසවිඳින අය හිතන්නෙ සැබෑම නිර්මාණකාරයාගේ ආසාව තමයි නිර්මාණය හරහා කලඑළි බහින්නේ කියලා.
ReplyDeleteමං හිතන්නේ අපේ වීරයෝ අපිට කවද හරි මුණ ගැහෙන එක හරි වැදගත්. එතකොට දෙකෙන් එකක් වෙනවා. එක්කෝ අපේ බබ්ල් එක කැඩෙනවා. නැත්නම් ඒ හමුවීමෙන් අපිට මාර උත්කර්ෂයක් ලැබෙනවා. මේ දෙකෙන් එකක් අත්පත් කර ගැනීම එක්තරා අයිතියක්.
ReplyDeleteචින්තන,
ReplyDeleteඋඹ මේ මඤ්ඤං කියවන එකයි,ලියන එකයි,ෆිල්ම් ෆෙස්ටිවලුයි,එවොර්ඩ්ස් පොලවල් වල ආතල් ගන්න එකයි කට් කරලා, මොරෙක් අල්ලගෙන ලංකාවේ හෝල්වල දවස් 20-30 දුවන්න පුලුවන්, බලන එවුන්ට කරුමයක් නොවෙන ෆෝමියලා එකකින් ෆිල්ම් එකක් හදපං. [ගෙදර රෙන හැටි බලන්න ටිකට් ඇරන් හොල්වලට මිනිස්සු එන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් (යාලුවෝ හැර). (how i wonder...)]
උඹලගෙ මේ නොස්ටැල්ජික් හා රොමැන්ටික් හීනමාන විචාරවලින් අනාගත ලංකවේ දක්ෂ ලෝකල් ෆිල්ම් ලේබර්ස්ලාව විනාශ වෙනවා.
උඹලත් විනාශ වෙනවා.
මම මෙහෙම කියන්නෙ අපේ දරුවෝ ගැන හිතලා.
ReplyDeleteඇත්තෙන්ම මම කාර්ලෝස්ව දන්නෙවත් කවදාවත් එයා ගැන අහලවත් නැහැ. මම කවමදාකවත් ඔහුගේ චිත්‍රපටයක් නරඹා නැහැ.මගේ අදහස එයා ගැනවත් එයාගෙ අදහස් හා ඔබේ අදහස් නොගැටුන මොහොත නිසා ඔබ ඔහු ගැන තිබූ පැහැදීම බිඳවැටීම අර්ථ විරහිත බව පවසමින් කාර්ලෝස් පැත්තට කරුනු ඉදිරිපත් කිරීමවත් නෙමෙයි. නිර්මානය හා නිර්මානකරුවා යන යුගලය ගැනයි මගේ අදහසේ මූලය වෙන්නේ. ඔබ ලිපියේ සඳහන් කල පරිදි කාර්ලෝස් රේගඩාස් මුනගැසීම පරිනත සිනමාකරුවෙක් මුනගැසීමේ ඔබේ සිහිනය බිඳ වැටීමක්. අනෙක් අතට නිර්මානරුවෙක් විදියට ඔබ ඔහුට දැක්වූ ආදරයේ දෙදරායාමක් වෙන්න ඇති. මම එහි වරදක් දකින්නේ නැහැ.
නමුත් නිර්මානකරුවෙක් විදියට නිර්මාන කාර්යයෙන් පිටතදී ඔහු දක්වන අසමත්කම් නිර්මානයට අදාල නොවන බවයි මගේ අදහස. නිර්මානයක් කිරීම යනු එක්තරා හැකියාවක්. නැත්නම් ඔහු හෝ ඇය සතු දස්කමක්. (මගේ මතයට අනූව නිර්මානකරනය යනු අනෙකුත් විශේශිත හැකියාවන් වගේම හැකියාවක්. ශූර කථිකත්වය වගේ එකක්. සමහර කථිකයෝ ඉන්නවා කතා කරන්න ගියාම වචන ගලාගෙන එනවා. හඬ උස් පහත් වෙනවා. හැඟීම් දනවනවා. ඒව පුදුම හිතෙන තරමටම අපූරුයි.ලස්සනයි. වසඟ කරගන්නා සුලුයි. අනික ඒව යථාර්ථවාදීයි. මානවවාදී හෝ වෙනයම් විශේශිත වාදයන් මතු කරනවා යයි කියමු.නැත්නම් දාර්ශනිකයි සිතමු. ඒ හැම අතින්ම කථිකත්වය විශිශ්ටයි. නමුත් එහෙම කරන කථිකයා සැබෑ ජීවිතයේදී ඒ තරමට අවංකදැයි සෙවීම වැදගත් නැහැ මම හිතන්නේ. ඔහුට ඒ තරම් පුලුල් චින්තනයක් තියෙනවාදැයි සෙවීමත් අනවශ්‍යයි. ඒක වැදගත් වන්නේ මානව විද්‍යා, දේශපාලන විද්‍යා හෝ සමාජ විද්‍යා අර්ථයෙන්. කථන විද්‍යා අර්ථයෙන් වැදගත් වන්නේ ඔහුගේ කතාව කොයිතරම් දුරට සාර්ථකදැයි කියා යි) තමාගේ නිර්මාන කාර්යයේදී එකී ශූරත්වය මත නරඹන්නා හෝ පාඨකයා වශීකෘත කිරීමට නිර්මානකරුවා සමත් විය යුතුයි. ඔහුගේ දස්කම තීරනය වන්නේ එම වසඟ කර ගැනීම මතයි. මං හිතන්නේ නිර්මානකරුවා මුනිවරයෙක් වගේ සියල්ල දත්තෙක් වෙන්නෙ නැහැ කවදමාකවත්. ඔහු සර්ව නිර්දෝශී අදහස් දරන්නෙක් වන්නට බැහැ. ඔහු මිනිසෙක්. ඔහු අතින් වැරදි සිදුවෙන්නට පුලුවන්. ඔහු වංචාකාරයෙක්, දූශකයෙක් හෝ පටු අදහස් දරන්නෙක් විය හැකියි. ලංකාවේදී නම් පවතින ආන්ඩුව සමඟ අත්වැල් බැඳගෙන ජාතිවාදී අදහස් දරන්නෙක් වුවත් කමක් නැහැ. වඩා වැදගත් වන්නේ නිර්මානය කොතරම් දුරට සාර්ථක වීඇත්ද යන්නයි. නිර්මානයේ චින්තනය සමඟ අපට එකඟ විය හැකිද යන්නයි. (මං මේ සේරම අදහස් දක්වන්නේ කලාව පැත්තේ ඉඳගෙනයි)
ඔබම පවසන පරිදි කාර්ලෝස්ගේ සිනමාව මෙන්ම ඔහුගේ භාවිතාව ගැනද ඔහුගේ අදහස් වඩා ඉදිරියෙන් තියෙනවා. කොටින්ම ඔහු තමන්ගේ භාවිතාව ගැන සවිඥානිකයි. එයා හරි අපූරුවට තමන්ගෙ චිත්‍රපට ගැන හෝ ඒ පිලිබඳ වූ තමාගේ එලඹුම් ගැන කරුනු දක්වනවා ඔබගේ ලිපියේ දැක්වෙන ආකාරයට. එයා ඒ දරන අදහස් පිලිබඳව ඇත්තටම කලාවේ ඕනම ශානරයක් යටතේ උනත් මමත් පෞද්ගලිකව කැමතියි. ඒ අතින් කාර්ලෝස් තමන්ගෙ චිත්‍රපටිවලටවත් සාධාරනයක් ඉටු කරනවා.
ඔබ ලිපියේ සඳහන් කර ඇති පරිදි ඔබ ආයෙත් කාර්ලෝස්ගේ චිත්‍රපට ගැන සිතන්නට යාම ඒ තරම් සුදුසු දෙයක් නොවෙයි කියායි මා යෝජනා කරන්නේ. කාර්ලෝස් පමනක් නොවෙයි ඔබ කැමති වෙනත් ඕනම නිර්මානකරුවන් බොහොමයක් ඔබට ලඟින් ඇසුරු කරන්නට ලැබුනත් එයින් සීයයට අනූවකටත් වඩා වැඩි පිරිසක් එක්ක ඔබේ මතවාද පෑහෙන එකක් නැහැ. කොහොම උනත් ඔබ අවසානයේ දක්වන කාරනාව මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්ත කාරනාවත් එක්ක යන්තමින් හෝ සැසදෙනවා. අපේ වීරයො කවමදාකවත් අපිම මුන නොගැසෙනවනම් හොඳයි කියන එක. හමු උනත් කමක් නැහැ ඔවුන්ගේ පුද්ගලික අදහස් හා මතවාද එක්ක ඔවුන්ගේ නිර්මානයක් පටලවාගන්න සුදුසු වෙන්නෙ නැහැ. නිර්මානය විඳීමේ දී නිර්මානකරුගේ මුහුන මතක් නොවෙනවානම් හොඳයි.
කලාවේ දී බුද්ධිය කියන දෙය කරන මෙහෙය අනෙක් සෙසු අංශයන් තරමටම සමානයි. බුද්ධිමත් හෝ තාර්කික විචාරශිලී බව තිබූ පමනින්ම හොඳ නිර්මාන කරන්නත් බැහැ.
මම මෙතෙක් පහදන්න හෝ පවසන්න උත්සාහ කලේ නිර්මානකරුවා හා නිර්මානය අතර සබඳතාව පිලිබඳ මා දරන මතය කියන්නට. ප්‍රතිවිරුද්ධ මත ඔබ සතු නම් දැනගන්න කැමැත්තෙන් සිටිනවා. මොකද මම ඔබේ අදහස් වලට ගොඩක් ගරු කරනවා සහ සෑම සති අන්තයකම ඔබේ ලිපි කියවීමෙන් සතුටක් වින්දනයක් වගේම අවබෝධයක් ද ලබන නිසා.
ඉදිරියේ දී - ඔබෙ ලිපිය නිසා කාර්ලෝස්ගේ චිත්‍රපට හොයාගෙන බලන්න උත්සාහ කරනවා.
ඔබ වෙත දැක්වූ අදහස් වලට අමතරව තව දුරටත්...
කලාවේ චිචාරය පවා මේ විදියට කලාකරුවාගේ පුද්ගලිකත්වය හා බද්ධ වී ඇති බව දකින්න පුලුවන්. නිර්මානකරුවෙකු සමාජයේ යහපත වෙනුවෙන් කැප වීම, වාමාංශික අදහස් දැරීම හා ඔහුගේ නිර්මානාත්මක හැකියාව යනු දෙකක්. කොන්ඩය, රැවුල වැවීම, පුද්ගල පෞර්ශය යන කාරනා පවතින්නේ නිර්මානකරුවා සතුව මිස නිර්මානය තුල නෙමෙයි. අනිත් කරුන ආන්ඩුව සමඟ අත්වැල් බැඳගෙන සිටින නිර්මානකරුවෙකුගේ නිර්මානයක් විචාරයේ දී පවා නිර්මානය මිස නිර්මානකරු වටා බැඳී තිබෙන ඒකී තත්වයන් අදාල කරගන්නේ කුමකටද.
ඔබත් එක්ක මං එකගයි සහ නොඑකගයි. කලාකරුවෙක් කියන තේරුමෙන් කෙනෙකුගේ නිර්මාණයක් විතරක් බලන එක අවුලක් නෙමෙයි. ඒත් මගේ අදහස එන්නෙ ආත්ම ප‍්‍රකාශනයක් කරන කෙනෙක් කියන තැනින්. එතනදි ඒක කරන මනුස්සයා සහ එයාගෙ ජීවිතයත් මට ආර්ට් පීස් එකේ කොටසක්. ඒත් කෘතිය සහ කලාකරුවා වෙන් කරලා ගන්න ඔ්න කියන අදහසට මගේ විරෝධයක් නෑ. ඒක එක විදිහක්.
Deleteමං මෙතන කියන්න උත්සාහ ගන්නෙ කලාකරුවෙකුගේ හොඳ හෝ නරක ගැන අදහසක් නෙමෙයි. එයාගෙ ගැඹුර ගැන අදහසක්. ඒකත් අදාල වෙන්නෙ එයා කලාව ගැන තමන්ගෙ අදහස් දැක්වීමක් කෘතියකට බැහැරින් දාර්ශනික විදිහට කරන හින්ද. සහ ඒ අදහස් කලාව ගැන මාර අදහස් විදිහට දේවත්වයෙන් බාර ගැනෙන හින්ද.
ගොඩක්ම අර්බුදය මතු වෙන්නෙ එයා තමන්ගේ විනිශ්චයෙන් අනිත් කලා ප‍්‍රවේශයන්ට සීමාවන් සහ වාරණයන් ගොඩනගන එකෙන්. නිකං හරි රේගඩාස් කියන්නෙ මේක මගේ කලාව. මගේ විදිහ. තව ගොඩක් විදි තියෙන්න පුළුවන්. මට අදාල නෑ.. වගේ තැනකින් කතාව කරනවා නම් මං හිතන්නෙ ඒක ප‍්‍රශ්්නයක් නෑ. ඒත් තමන්ගේ කලාව පමණයි එකම කලාව සහ අනිත් කලාවන් ඒ අර්ථයෙන් බාලයි කියන අදහසේදී ඒ කියන මනුස්සයා දරුණු සීමාවක් පෙන්නනවා. එතනදි එයා කෘති වල යෝජනා කරන පැවැත්ම බාර ගැනීම කියන එක අර්බුදයට යනවා.
රේගඩාස්ගේ චිත‍්‍රපටියක් වගේම එයා විසින් පවත්වන දේශනයක් කියන්නෙත් එයාගෙ කෘතියක්. මගේ ලිපිය එයා විසින් කරපු ඒ කෘතිය ගැනයි. ඒ දෙවෙනි ආත්ම ප‍්‍රකාශනය ගැනයි.
යකඩෝ චින්තා කමෙන්ට් එකක් දාලා. අඩෝ මේ බ්ලොග් එක පටං ගත්තට පස්සෙ දාපු පළවෙනි කමෙන්ට් එක නේද??
Deleteමූ තව කමෙන්ට් එකක් දැම්ම කලින් පෝස්ට් එකේ අර සූකර මිතුරට. ඒත් ඒක වාෂ්ප වෙලා!!
Deleteඋගේ බ්ලොග් එකේ දාන කමෙන්ට් මකන්න පුලුවන් ඌට විතරයිනේ බන්.
Deleteමෙන්න මූ මකපු කමෙන්ට් එක :P
Delete//Chinthana September 14, 2014 at 10:25 AM
මේ සූකර හිතවතා හෙඩිම මිසක් ලිපිය කියවලා නෑ වගේ :-) //
සූකර හිතවතා කියලා තියෙන්නෙ ඇත්තද මන්දා රන්ජනී! :D
Delete