Saturday, November 15, 2014

කරුවලට බයද?



බම්බලපිටියෙ ඩුප්ලිකේෂන් පාරෙ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානය ආයිමත් වටළලා (නීති විරෝධී කියන්නෙ නීත්‍යානුකූල ගබ්සා මධ්‍යස්ථාන තියෙන හින්ද නෙමෙයි). මේ ගබ්සා මධ්‍යස්ථානය අල්ලන එක ප‍්‍රවෘත්තියක් විදිහට කියවෙන්නෙ ඒක ජනතාවට හිතකාමී, මාර හොඳ දෙයක් විදිහට. ඒත් මේ මධ්‍යස්ථානය මං දන්න කියන පරම්පරා ගානක මිනිස්සු ගොඩ දෙනෙක් අමාරුවෙ වැටුණම උදව්වට තිබ්බ තැනක්. ව්‍යාපාරික හෝ ලාභ හෝ මොනයම් අරමුණකින් හෝ වේවා අනවශ්‍ය ගැබ් ගැනීමක් වුණොත් වගකීමක් ඇතුව ඒ අවුලෙන් නිදහස් වෙන්න පුළුවන් තැනකට කොළඹ තිබුණෙ  ඕක.

ගබ්සාවට විරුද්ධ සදාචාරවාදී තර්ක මෙතනදී ගේන්න පුළුවන් වුණත් ලංකාවෙ හැම පස් දෙනෙකුටම වත් එක්කෙනෙක් ජීවිතේදි මේ අර්බුදයට මූණ දෙනවා (ඇකඩමික් රිසර්ච් වලින් නෙමෙයි ප‍්‍රායෝගිකව ගත්ත දත්ත) ඇමරිකාව වගේ රටක නම් අවුරුදු 45 වෙද්දි කාන්තාවන්ගෙන් 30%ක් එක්වරක් හෝ ගබ්සාවක් කරගෙන තියෙනවා. අනිවාර්යෙන්ම ලංකාවෙ ඇමරිකාවට වඩා වැඩියි. හේතුව ඇමරිකාවෙ තරම් ලිංගික නිදහසක්, උපත්පාලන දැනුවත් කිරීමක් ලංකාවෙ නැතිකම. ඒ කොහොම වුණත් මේ පසුගාමී නීති හින්ද මිනිස්සු අමාරුවෙ වැටෙනවා. ඒකෙන් ගබ්සාව වැළකෙනවා කියල හිතන එක ගොංකමක්. කොයිම කෙනෙක්වත් ආසාවට හෝ විනෝදයට ගබ්සා කරගන්නෙ නෑ. මේ හින්ද වෙන්නෙ තවත් අන්තරායකාරී අප‍්‍රවේශම්කාරී ක‍්‍රම වලින් මේක කරගන්න ගිහින් ජීවිත නැති වෙන එක විතරයි. ඒත් ප‍්‍රශ්නයක් නෑ. නිව්ස් විදිහට දවස ගානෙ විකුණන්න පුළුවන්නෙ.

ආයිමත් ටික කාලෙකින් සුපුරුදු විදිහට මේ මධ්‍යස්ථානය පවතින්න පුළුවන් වුණත් මේ විවරය එක්ක ගබ්සාව ගැන කරුවල අදහස් හුවමාරුවකට මාව තල්ලූ වුණා.

ගබ්සාව පාපයක් කියන එක දෙවියන්ගෙ කැමැත්ත අවහිර කිරීමක් හෝ දෙවියන්ගෙ තෑග්ගට පයින් ගැසීමක් කියල ක‍්‍රිස්තියානියෙත්/ මුස්ලිම් ආගමෙත්,  ප‍්‍රාණඝාතයක් කියල බුද්ධාගමෙත් ඇදහිලිවන්තයො අදහනවා. සංවිධානාත්මක ආගමික මිත්‍යාවක් විදිහට මේක නීතිය දක්නා තල්ලූ වෙලා තියෙනවා.

තමන්ගේ හෘදය සාක්ෂිමය ගැටළුවක් මත අනුන්ගෙ ජීවිතය සීමා කිරීමක් නීතියක්, සම්මුතියක් වෙලා. තව කාලයක් යද්දි අපි හරක් මස් නොකන නිසා උනුත් හරක් මස් නොකෑ යුතුයි කියන අදහසත් ලංකාවෙ නීතියක් වෙන්න පුළුවන්. විද්‍යාත්මක සාක්ෂි සහ තර්ක ගෙනාවත් නීතියෙන් ගබ්සාවට ඇති තහනම පිටිපස්සෙ දැඩිවම තියෙන්නෙ ආගමික බලපෑමක්.

ගබ්සාව ඒ ගැබ දරන කාන්තාවගේ අයිතියක් කියන පිළිගැනීම දක්වා සමාජයක් දියුණු වෙන්න  ඕන. එහෙම නැතුව ගැබක් ගැන කරන හැම ආගම්වාදී, සදාචාරවාදී, නීතිමය ඇ`ගිලි ගැසීමක්ම බලහත්කාරයක්. තවත් කෙනෙකුගෙ ජීවිතයට කරන්න පුළුවන්  උපරිම කුහක බලපෑමක්. තමන්ගෙ ශරීරය ගැන තමන්ට තීරණයක් ගැනීමේ හැකියාව අමානුෂික විදිහට කරන උදුරා ගැනීමක්. ඒක ලිබරල්වාදී ක‍්‍රියාකාරීන් ලස්සනට කියනවා.

මාක්ස්වාදීන් හෝ ෆැසිස්ට්වාදීන් යුතෝපියානු අනාගතයක් වෙනුවෙන් වහල් කඳවුරක, වධ කඳවුරක මිනිස්සුන්ව හිර කර තැබුවාටත් වඩා දුෂ්ට ලෙස තමන්ගෙ ශරීරය තුලම තමන්ව හිරකාරයෙක් කර පාලනය කිරීමක් කියල.

මේ ගැන ජීවිතයට පක්ෂව කියල අදහස් කියන ‘කුහකයො’ කියන්නෙ ගබ්සාව දරුවාගෙ අයිතිය ඩැහැගැනීමක් විදිහට. නූපන් කළලයක නොදන්නා ජීවිතයක් වෙනුවෙන් දන්නා, ජීවත් වෙන ගැහැණියකගෙ ජීවිතයක් ලංසු තියනවා. ගබ්සාවට විරෝධී තර්කයෙ සරල කතාව ඒක. මෙතනදී නීතිය සහ මාධ්‍ය ඇතුලෙ දැනගෙන කරන ලොකු භාෂා බලපෑමකුත් තියෙනවා. ‘නූපන් දරුවා’ වගේ යෙදීම් නිකම්ම භාවාතිෂය ප‍්‍රලාප විතරයි. ඒ වෙනුවට කළලය කියන වචනය පාවිච්චි කළොත් දැනෙන අපරාධමය ගතිය අඩුයි. ඒත් අර රොමාන්තිකකරණය හරහා පාලනය, බලහත්කාරය ක‍්‍රියාත්මක කරනවා. ජනතාව එක`ග කරනවා. ගබ්සාවක් කරන තත්වයට පත් වෙන, ඉන් අසරණ වෙන ගැහැණියගේ ජීවිතය හෝ මනෝභාවය ගැන පයිසෙකටවත් සැලකිල්ලක් පාවිච්චි වෙන මාධ්‍ය භාෂාවෙ නෑ.

ගබ්සාව ගැන නීති සදාචාර පැනවීම් කරන්න තියා ඒ ගැන අදහස් පළකිරීමක්වත් කරන්න බාහිර සමාජයකට හෝ කිසිම පිරිමියෙකුට අයිතියක් තියෙනවා කියල මං පිළිගන්නෙ නෑ. ඒ අර්ථයෙන් මං පවා මෙතන කරමින් ඉන්නෙ අදාල නැති බලහත්කාරයක් වෙන්න ඉඩ තියෙනවා.

ගබ්සාව ගැන පක්ෂව හෝ විපක්ෂව විධිමත් ලියැවීම් අදහස් පළකිරීම් මාධ්‍ය වල පවා කෙරෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒවා වනචර ප‍්‍රවෘත්ති විදිහට විතරයි ෂෙයාර් වෙන්නෙ. මුලින්ම මට හිතුනෙ ඒ අපේ නොදියුණුකම කියල. නිශ්ශබ්ද වීමම වාරණයක්. තහංචියක්. එක පැත්තක් එහෙම වෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්ත ඊට වඩා ගැඹුරු වෙන්න පුළුවන්.

ඒ තරම් බහුලව, රහසිගතව, ගොඩක් අය මුහුණ දෙන මේ ට්‍රෝමැටික් අත්දැකීම ගැන නැවත කතා කරන්න කවුද කැමති වෙන්නෙ? හැම කෙනෙක්ම කැමති ඒ අඳුරු පැල්ලම අමතක කරලා නැවත දරුවන්ට ආදරේ කරන උත්තම මවක් වෙන්න. ඒ ගබ්සාව කළ කෙනා තමන් නොවෙන්න. කරුවල මගඅරින්න. මේ අසරණකම ඇතුලෙ ජීවිත ඉරෙනවා.

මට මතක් වෙනවා සත්‍යා එයාගෙ නොපෙන්නපු චිත‍්‍රපටිය ‘බොරදිය පොකුණ’ ගැන නිතර කියන කතාවක්. ‘මචං, ඒක මගේ යාලූවන්ට පෙන්නුවම උන්ට හොඳටම තරහ යනවා. මේ වගේ කුණු ජරාව මොකටද බං පෙන්නන්නෙ කියල අහනවා. මං හොඳටම දන්නවා උන්ට මේ දේවල් මේ විදිහටම සිද්ද වුණා කියල...’

බොරදිය පොකුණ කියන්නෙ ගබ්සාවක් තරම්ම අඳුරු අත්දැකීමක්. මිනිස්සු ඒකට අකමැති වෙන එක අතිශය මානුෂිකයි. තමන්ගෙ පැවැත්ම ඒ අඳුරු දිශාවන් දක්වාම බාර ගන්න පුළුවන් කතිකාවක් සමාජයේ නැතිකම. පිළිගැනීම වෙනුවට තමන්වම බැහැර කිරීම දක්වා ජීවිත පරාරෝපණය වෙලා තිබීම. පව්.

ලංකාව වගේ රටක ගබ්සාවට තියෙන නීතිමය විරෝධය එක්තරා විදිහක ත‍්‍රස්තවාදයක්. එක පැත්තකින් ලිංගික ජීවිතය තහනම් කරලා, ලිංගික අධ්‍යාපනය සීමා කරලා, කොන්ඩම්, උපත්පාලන ක‍්‍රම ගැන ලැජ්ජාශීලී කරලා අරගෙන යන සමාජයක අනිවාර්ය විදිහට වැරදෙන තැනදි තියෙන්නෙ ඉතුරු කරලා තියෙන්නෙ දිවි නසාගැනීමක් (භෞතික හෝ මානසික අර්ථයෙන්) විතරයි. සමාජයක් හැටියට ගබ්සාව ගැන හෘදය සාක්ෂිමය අවුලක් තියෙනවා කරන්න  ඕන ඒක බුද්ධිමය තැනක් දක්වා අරගෙන එන එකයි. පුළුවන් තරම් දියුණු උපත් පාලන ක‍්‍රම සමාජගත කරන එකයි. සදාචාරය ටිකක් පළල් කරන එකයි. මේ විදිහෙ ලිංගික අධ්‍යාපනයේ සහ ලිංගික දේ භාරගැනීමේ විවෘතකමක් ඇති නොකර ගබ්සාවට දක්වන විරෝධය ජීවිතයට පක්ෂ එකක් නෙමෙයි.

මං ගොඩක් කැමතියි අයින් රැන්ඞ් ගැහැණියක් විදිහට මේ ගැන දරන ප‍්‍රවේශයට. අදහස් වලට විතරක් නෙමෙයි ඒවා පළකරන විදිහටත්.

එයා කියනවා, ‘කලලයට ජීවත් වීමට ඇති අයිතිය ගැන කතාව විසකුරු විකාරයක්. උපදින තුරු කලලයකට දරුවෙකුගේ අයිතිය හිමි වෙන්නෙ නෑ’ කියල.

‘ඇබෝර්ෂන් එකක් කියන්නෙ ගැහැණියකගේ සදාචාර අයිතියක්. වෙන කිසි කෙනෙකුට අයිතියක් නෑ ඇගේ ශරීරය වෙනුවෙන් නීති පනවන්න’

මිනිස් ෙසෙල එකතුවකට ජීවිතයක් තියෙනවා කියල හිතන එක මෝඩ අදහසක් කියලයි අයින් රැන්ඞ් තර්ක කරන්නෙ. එහෙම නං උණ්ඩුක පුච්චය කපලා අයින් කරන එකත් පාපයක් වෙන්න  ඕන කියල එයා විහිළු කරනවා. ජීවිතයක් විදිහට වැඩෙන්න ඇති හැකියාව කියන්නෙ ඇත්තට ඒ මොහොතෙ පවතින එකක් නෙමෙයි කියල එයා කියන්නෙ සමාජය ඇතුලෙ ගැහැණියකගේ ජීවිතේ සීමාව පළල් කරමින්.

මං ගොඩක් කැමති අයින් රැන්ඞ් එයාගෙ අදහස් කියන මේ දරද`ඩු විලාසයට. ගොඩක් රොමැන්ටිසයිස් කරලා තියෙන මේ වගේ මාතෘකාවක් එයාගෙ විලාසය හින්ද තාර්කික තැනකට පෙරලෙනවා. මානුෂීය ගැටේ පොඞ්ඩකට ලිහෙනවා. අනික එයා කාන්තාවක්. මේවගේ තත්වයක් ඇතුලෙ අර්බුදයට යන ජීවිත වලට අයින් රැන්ඞ් වගේ අදහස් හුස්ම ගන්න ඉඩක් හදනවා. මං හිතන්නෙ වඩා මානුෂීය වෙන්නෙ ඒක.

මුරේ රොත්බාර්ඞ් කියන දාර්ශනිකයත් මේ අදහසට සමාන්තරව කතිකාව ඉස්සරහට අරගෙන යනවා. තවත් කෙනෙකුගේ ශරීරයක් ඇතුලෙ පරාරෝපිතව වැඩෙන කිසිම ජීවියෙකුට ස්වාධීන පුද්ගලයෙකුගේ අයිතිය හිමි නොවෙන විත්තිය රොත්බාර්ඞ් කියනවා.

මේ හැම අදහසක්ම ආයිමත් පිටතින් කරන බැලීම්. සමාජයේ සදාචාර තර්කයට දෙන ප‍්‍රති උත්තර. වඩා වැදගත් වෙන්නෙ අපි මේ ප‍්‍රශ්නෙ ඇතුළතින් බැලීම දක්වා ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් ගන්න එක. උදා විදිහට ගබ්සාවට විරුද්ද වීම හරහා, ඒක අපකීර්තිමත් කිරීම හරහා අපි වගකීමක් නැති දෙමව්පියන් තොග පිටින් හදනවා. තමන් පාපයෙන් බේරෙන්න ඔහේ ළමයි එලියට දානවා. දරුවෙක් වෙනුවෙන් තමන් සූදානම්ද කියන සවිඥානක තීරණය ගන්න පුළුවන් පසුබිමක් අහිමි කරනවා.

එක පැත්තකින් තමන්ගේ ආර්ථික සමාජීය තත්වය, තව විදිහකින් තමන් පුද්ගලයෙක් විදිහට ප‍්‍රාර්ථනා කරන ජීවිත අරමුණු, ඒ හැරුණු විට උපදින දරුවා වෙනුවෙන් තමන්ට කළ හැකි කැපකිරීමේ ප‍්‍රමාණය, මේ වගේ ගොඩක් අභ්‍යන්තර සිතා බැලීම් වලින් පස්සෙ ජීවිතේ ගන්න  ඕන වැදගත්ම තීරණයක් අපි අහම්බයක් කරනවා. ඒක හින්ද අපේ වගේ රටක විශේෂයෙන් ගොඩක් ඉන්නෙ ඇක්සිඩන්ටල් බේබිස්ලා.

මේ බබ්බු ලොකු වෙලා තමයි අද අපි ඉන්න සමාජය නිර්මාණය වෙලා තියෙන්නෙ. කාට හරි සිහියක් තියෙන කෙනෙකුට හිතෙන්න පුළුවන්ද මේ වගේ රටක, තමන් විඳිනවා වගේ ජීවිතයක තවත් ජීවිතයක් හිර කරන්න? ඒක පුද්ගලික අතිශය සවිඥාණක තීරණයක් වෙන්න  ඕන.

කතාව කියන්න  ඕන අනිත් පැත්තට. තමන් වෙනුවෙන් හෝ තමන්ගෙ ජාතිය වෙනුවෙන් දරුවන් උපද්දන්න එපා කියල. දෙමව්පියෙක් කියන වගකීමේ ප‍්‍රමාණය සහ ඒ පිණිස තමන් ගන්නා තීරණයේ ප‍්‍රමාණය ගැන මිනිස්සු දැනුවත් කරන එකයි වෙන්න  ඕන. කාලකණ්ණි ජීවිතයක් මැරෙන කල් ගත කරන්න ඉපදෙනවට වඩා නිවැරදි තීරණයක් හින්ද කළල අවධියේ නැති වෙලා යන එක ගෞරවනීයයි. පාපය වෙන්නෙ අනිත් පැත්ත. මෝහය තියෙන්නෙ එතන.

ගබ්සාවක් ගැන ගන්න තීරණය ආත්මාර්ථකාමී නොවෙන්නෙ ඒ හින්ද. එක පැත්තකින් ඒක ඒ මොහොතේ මවක් වීමට තරම් මුහුකුරා නොගිය කාන්තාවකගේ ජීවිතය බේරනවා. අනිත් පැත්තෙන් අනවශ්‍ය දරුවෙක් විදිහට ඉපදිලා ජීවිතේ කාලකණ්ණි කර නොගැනීමෙන් නූපන් දරුවා බේරනවා. ලංකාවෙ දරුවො විදිහට ඉපදිච්ච මං වගේ ගොඩක් දෙනෙක් දන්නවා එහෙම සවිඥාණක තීරණයක් ගන්න අපේ දෙමව්පියො පරිණත වෙලා හිටියා නම් කොච්චර හොඳද කියල.

චින්තන ධර්මදාස



4 comments:

  1. නීතියට පටහැනිව හරි ගබ්සා කරගැනීම් නිසා අන්ත අගාධයට නොවැටී බේරුන ජීවිත බොහොමයක් ගැන මම දන්නවා. එක් කාලයක මා ගතකල සමාජ තලයක මා දුටු අත්දැකීම් බොහොමයයි. එවැනි ඉපදීම් වැලක්වූයේ නැත්නම් ඉපදෙන දරුවා අන්ත අවාසනාවන්ත තත්වයකට පත්වෙන ඉඩකඩ ඒ සමාජයේ බොහෝ වැඩියි.

    ඉතා විවෘත මනසින් ලෝකය දකින සමාජයන්හී පවා ගබ්සාව සම්බන්ධව නොයෙකුත් මතවාද, සංවාද තිබෙනවා. නමුත් මා මේ කාරනය දෙස බලන්නේ පුහු සුචරිතවාදී ඇසකින් නොවේ.

    ReplyDelete
  2. //අපි හරක් මස් නොකන නිසා උනුත් හරක් මස් නොකෑ යුතුයි කියන අදහස//
    ගබ්සාව සාධාරණීකරණය කරන්න ගේන මේ වගේ ගොන් තර්ක බැහැර කරනව. ඒ වගේම "නූපන් දරුවා" වෙනුවට "කළලය" ආදේශ කලා කියල ගබ්සාවේ ම්ලේච්ඡත්වය අඩු වෙන්නෙ නෑ. මනුස්සයෙක් උපදින්න කලිනුත් එයාට ජීවයක් තියනව නෙව (විද්‍යාත්මකව බැලුවොත්). කළලයේ හෝ නූපන් ජීවියාගේ අයිතිය මවට දීම ටිකක් ගැටළු සහිතයි. (ඔය තර්කයම දාන්න පුළුවන් ළමයින්ටත්).
    ගබ්සාව අත්‍යාවශ්‍යම නම් කලයුතුයි කියන මතයේ තමයි මාත් ඉන්නෙ. (මවට හානියක් වේ නම් ඒක කරන්න පුළුවන් කියලත් නීතියේ තියනව). නමුත් මිනිස්සු දැනුවත් වීම තුලින් සිදුවියයුතු දේවල් නීති මඟින් කිරීම විකාරයක්.
    ඒ වගේම ඔබ කියන විදියට අනිත් පැත්තත් සිදුවුන අවස්ථා තියනව. ඒ ගබ්සාව වැලකීම නිසා පසු කාලයේ හොඳ ජීවිත ගතකරන මිනිස්සු ඕන තරම් ඉන්නව.(මාත් දැකල තියනව) . ඒ නිසා තමන්ගෙ පැත්ත පෙන්නන්න ඒ වගේ තර්ක ගෙනඒමේ තේරුමක් නෑ.

    ReplyDelete
  3. ගබ්සාවක් කර ගන්න යන්නේ ඒ අයට ගැටලු තියෙන නිසා.ඉතින් ඒ ගැටලු එක්කම උපදින දරුවා පතාගෙන එන්නෙම මහා ගැටලු ගොඩක් උඩට. (දරුවට වුනත් හිතෙන්න පුලුවන් මොකට ඉපදුනාද කියල ) ගබ්සා කරනවට වඩා අනවශ්‍ය පිලිසිදගැනීම් වලට නොයන්න මිනිස්සු දැනුවත් කරනෙක වැදගත් කියල හිතෙනවා. ඒත් අමුතුවෙන් දැනුවත් කරන්න තරම් මිනිස්සු නොදියුණු ද අපේ රටේ.

    අනික විවාහක යුවලකට වුනත් දරුගැබක් බරක් වෙන්න බැරි ද? (ආර්ථිකමය හා ඇතැම් සාමාජීය හේතු නිසා )

    ReplyDelete
    Replies
    1. //අනික විවාහක යුවලකට වුනත් දරුගැබක් බරක් වෙන්න බැරි ද?//

      දන්නවද? ගබ්සා කරන්නන්ගෙන් බහුතරය විවාහකයන්

      Delete