Saturday, January 17, 2015

එන්න අපි රටට වැඩ කරමු.


කණාමැදිරියෙකුට ලස්සනට ඉගිල්ලෙන්න අන්ධකාරය අවශ්‍යයි
මාළුවෙකුට ලස්සනට පීනන්න වතුර අවශ්‍යයි
සාමාන්‍ය හොරෙකුට ලස්සනට හොරකම් කරන්න භීෂණය අවශ්‍යයි
සුපිරි හොරෙකුට ලස්සනට හොරකම් කරන්න සාමය අවශ්‍යයි..
-චරිත හොරු අරන් නාට්‍යයෙන්

බලාපොරොත්තු වූ විදිහටම මහින්ද ඡුන්දයෙන් පැරදුනා. අවුරුදු දහයක් තිස්සෙ වපුරපු ජාතිවාදය සහ ඉන් රෝගී වූ පිරිස් තාමත් අතන මෙතන පුපුරනවා. ඒ අය පුනරුත්ථාපනය වෙන්න තව කාලයක් යයි. ඒත් සමාජ පුනරුත්ථාපනයක් වෙනුවෙන් සංකල්පමය ව්‍යාපෘතියක් පටන් ගන්න  ඕන. බෙදී වෙන්වී ජීවත් වෙන්නම පුරුදු කරපු සහ ඒකට නොබෙදුණු ඒකීය කියල කියන්න පුරුදු කරපු ජනතාවක් ලංකාවෙ ඉන්නෙ. නැවත එක්ව ජීවත් වෙන්න, අනෙකාව විඳ දරා ගන්න ඒ අයට පුහුණුවක්  ඕන.

අනිත් පැත්තෙන් මෛත‍්‍රීගේ ජයග‍්‍රහනයෙන් උද්දාමයට පත්වෙච්ච පිරිස් යහපාලනය උවමනාවටත් වඩා අතට අරගෙන. ආණ්ඩුවේ හැම තීරණයකටම, ආණ්ඩුව ගැන හැම ගොසිප් එකකටම ප‍්‍රචණ්ඩ විදිහට ෆේස්බුක් ප‍්‍රතිචාර එල්ල වෙනවා. ලංකාවෙ මේ වගේ දේශපාලනික මැදිහත්වීමක අවස්ථාවක් ජනතාවට ලැබුණු පළවෙනි වතාව මේක. විශේෂයෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සක‍්‍රීය පුරවැසියො විදිහට රටේ සිද්ද වෙන දේශපාලනයට කතිකාමය මැදිහත් වීමක් සිද්ද වෙන පළවෙනි පාර. ඒක නිසාම ඒ මැදිහත්වීම උවමනාවට වඩා, විනයකට නැතුව, සමහර විට පටු අගතීන්ගෙන් සිද්ද වෙන එකත් දරා ගන්න සිද්ද වෙනවා.
මේකද යහපාලනය?

හැම පොඩි දෙයක්ම ලොකුවට ප‍්‍රශ්න කරනවා. මේ ආණ්ඩු පෙරළියෙන් බලාපොරොත්තු විය යුතු ප‍්‍රධාන වෙනස කියන්නෙ ආණ්ඩුවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක අපි සාක්ෂාත් කර ගන්න  ඕන දෙයක්. මට හිතෙන්නෙ ප‍්‍රධානම වෙනස තමයි නිදහස. මෙච්චර කාලයක් අදෘෂ්‍යමානව අපේ උරහිස් මත සිට අපිව පාලනය කළ හස්තයකින් මිදුණු නිදහස. ඒක හුස්ම ගන්නකොට දැනෙන දෙයක්. මහින්ද පාක්ෂිකයන්ට පවා පැරදුණු අවස්ථාවකදීත් වහසි බස් දොඩන්න, ආණ්ඩුව පෙරලන්න හදන්න තියෙන නිදහස. ඒක සුළුපටු අත්පත් කර ගැනීමක් නෙමෙයි.

යහපාලනය ඇති කිරීම කියල පුද්ගල මූලිකව විචාර, ප‍්‍රතිචාර, අභියෝග එල්ල කිරීම මට හිතෙන්නෙ අපරිණත වැඩක්. මහින්දගේ පාලනයෙන් අලූත් වෙනසකට යනවා කියන්නෙ ක‍්‍රමයේ වෙනසක් මිස පුද්ගල චරිත වල වෙනසක් විදිහට කියවීම අවුලක්. මේ කියන්නෙ හොරකම් කරපු උන්ට නිදැල්ලෙ ඉන්න දෙන්න කියනවා වගේ කතාවක් නෙමෙයි. ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සහ ද`ඩුවම් පැමිණවීම කළ යුත්තක්. ඒත් සෝමරත්න රූපවාහිනියට පත්වීම ගැන විරෝධය පළකිරීම වගේ කාරණා උවමනාවට වැඩියි කියන එකයි මගේ අදහස.

මං කොහොමවත් සෝමරත්නට කැමති කෙනෙක් හෝ එයාව පුද්ගලිකව අඳුරන කෙනෙක් නෙමෙයි. සිරි පැරකුම් වගේ බාල්දු තැනකට පසුකාලීනව සිනමාව ගෙනාවත්, එක්තරා කාලෙක ප‍්‍රධාන ධාරාවෙ සිනමාව ඇතුලෙ සෝමරත්න දක්ෂ විදිහට, වෙන අයට කළ නොහැකි වූ යමක් කළා කියන එක පිළිගන්න සිද්ද වෙනවා. සූරිය අරණ, සරෝජා වගේ ෆිල්ම් ඇත්තටම හොඳ චිත‍්‍රපටි. ඒවා හුදී මහා ජනතාවටත්, සිනමා පකීර්ලටත් එකට ඉඳගෙන බලන්න පුළුවන්. සිනමා ශාලා 35ට සීමා කිරීම නොතකා තමන්ගේ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය, හඳගම වැනි අයගේ නිර්මාණවලට වාරණයක්, බාධාවක් හැටියට ක‍්‍රියාත්මක වීම, මහින්ද චින්තන සිනමාවේ පුරෝගාමියෙක් වීම වගේ කාරණා එක්කයි සෝමරත්නට මේ විරෝධය එල්ල වෙන්නෙ.

ඒක එක වකවානුවක ක‍්‍රියාත්මක වුණු ක‍්‍රමයක්. මහින්දගේ දේශපාලනයේ ගතිකයන් වැඩ කරන විදිහ ඒක. නැත්නම් ධම්ම දිසානායක වගේ කෙනෙක් ඒ තත්වෙට වැටුනෙ කොහොමද කියල පුද්ගලික කාරණා පැත්තෙන් විස්තර කරන්න ලේසි වෙන එකක් නෑ. ඒ අයගෙ දුර්වලතාවය වුණේ ක‍්‍රමයට වඩා හොඳින් අනුගත වීම. අනෙක් පැත්තෙන් ඒ අනුගත වීම පවා ක‍්‍රමය විසින් කරන බලහත්කාරයක්. උදා විදිහට අවුරුදු විස්සකින් මෙහා මහින්ද ගෙදර යයි කියල ලංකාවෙ කවුරුවත් විශ්වාස කළේ නෑ. විශේෂයෙන්ම මහින්ද එළවන ව්‍යාපාරයේ පෙරමුණ ගත්ත අය පවා ඊට මාස කීපෙකට කලින් ‘ආණ්ඩුවට සෙට් වෙනවා මිස වෙන විකල්පයක් නෑ’ කියන තැනට අසරණ වුණු අය.

මේ කියන්නෙ සෝමරත්නලා කරපු දේවල් වල වගකීමෙන් ඒ අය නිදහස් වෙනවා කියන එක නෙමෙයි. ඒ වගේම රූපවාහිනියට සෝමරත්නට වඩා සුදුසු අය නෑ කියන එකත් නෙමෙයි. සෝමරත්න එළවීම වගේ දේවල් දේශපාලන කාරණා වෙන්න උවමනා නෑ කියන එකයි.

පුද්ගලයන්ගෙ හොරකම් දූෂණ ගැන එළවන එක ආණ්ඩුව බාර ගන්නවට වඩා සුදුසු වෙන්නෙ ඊට අදාල දෙපාර්තමේන්තු වලින් අදාල විදිහට ඒ දේවල් කරන එකයි. ජවිපෙ මේ කාරණයේදීත් ඉස්සරහින් ඉන්නවා. අරූව අල්ලපන්, මූව අල්ලපන් වගේ වල්වැදුණු ගතියකින් වැඩ නොකර පිළිවෙලට නීතිමය දේහයන් අවදි කරන්න ජවිපෙ ගන්නා උත්සාහය අගය කරන්න  ඕන. ඒ වගේම ඒකෙන් ඉගෙන ගන්න  ඕන.
අලූතෙන් පත්වෙච්ච ආණ්ඩුව ප‍්‍රධාන වශයෙන් උත්සාහ ගන්න  ඕන බිඳ වැටුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය නැවත නගා සිටුවන්නයි. උදා විදිහට විධායක සභාව පිහිටුවීම වගේ ඉදිරිගාමී කාරණා වෙනුවෙනුයි මහන්සි වෙන්න අවශ්‍ය. හිටපු ආණ්ඩුවක් පස්සෙ පන්නනවාට වඩා වඩා අනාගතවාදී යෝජනා සහ කතිකාවනුයි දියත් වෙන්න  ඕන. ඒක හින්ද රූපවාහිනියෙ ඉන්නෙ කවුද, අමාත්‍යාංශවල ලේකම්ලා කවුද වගේ කාරණා සිල්ලර විදිහටයි මං තේරුම් ගන්නෙ. දවස් 100 ආණ්ඩුවෙ සැලසුම් පහුගිය පාලනයේ දූෂිතයො අල්ලන්න කැප කරනවට වඩා වැදගත් දේවල් තියෙනවා කරන්න.

මේ පාර ඡුන්දෙදි තේරුම් ගන්න සිද්ද වුණු වඩාත්ම ප‍්‍රබල කාරනයක් වුනේ තවමත් දේශපාලන තීන්දු වලදි ඇඞ්වර්ටයිසින් ෆේල් කියන එකයි. මහින්ද ඡුන්දෙ දිනන්නම උත්සාහ ගත්තෙ ඇඞ්වර්ටයිසින් වලින්. අජිත් කුමාරසිරි නිතර කියන විදිහට ඇඞ්වර්- ටීසින් වලින්. ටීවී එකේ මෛත‍්‍රීගේ ඇඞ් එකක් ගහගන්න ඉඩ නැති වෙන තරමට මහින්ද ටීවී එක පිරෙව්වා. කටවුට් එකක් ගහගන්න කණුවක් නැති වෙන තරමට කණු ඔක්කොම කටවුට් වලින් පිරෙව්වා. ඒත් ඒ හැම ප‍්‍රචාරණයක්ම වැඩ කළේ මහින්දට නෙගටිව් විදිහට. ඒ වෙනුවට මෛත‍්‍රී වෙනුවෙන් ෆේස්බුක් හරහා ගින්නක් වගේ පැතිරෙන පුරවැසි රැුල්ලක් ක‍්‍රියාත්මක වුණා. ඒටීඑල්, බීටීඑල් කියන ප‍්‍රධාන ධාරවෙ ප‍්‍රචාරණ ප‍්‍රයෝග දෙකයි පණහට වැටුන. දේශපාලනය ඇඞ්වර්ටයිසින් වලින් තීන්දු කරන්න බැරි එක ගැන ඇත්තටම අපි ආඩම්බර වෙන්න  ඕන.

මැතිවරණ මෙහෙයුමේදි ගොඩක් වෙලාවට සරලව අතපහු කරන කාරණයක් තමයි අන්තිම මොහොතෙ රනිල් මහින්දව මුණගැහෙන්න ගිය ගමන. මට අනුව මේ ගමන යන්න පුළුවන් එකම රාජ්‍ය තාන්ත‍්‍රිකයා විදිහට අද ඉතුරු වෙලා ඉන්නෙ රනිල් වික‍්‍රමසිංහ විතරයි. ඒ මොහොතෙ ජාතියක් ආපහු ලේ විලක් කරනවද නැද්ද කියන තීරණය තිබුනෙ රනිල්ගෙ සාකච්ඡුාව උඩ. තත්පර ගානකින් අමු මෝඩ තීරණයකට යන්න ඉඩ තියෙන, විසිල් දේශපාලනයට වැඩි දෙයක් නොදන්න මහින්ද එක්ක අන්තිම වෙලාවෙ සාකච්ඡුාවක් කරනවා කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමෙයි. අනිත් පැත්තෙන් තමන්ගෙ පාලන කාලය පුරාම උඩ දදා ගහපු ප‍්‍රතිවාදියා වුණත් ඒ තීරණාත්මක මොහොතෙදි මහින්දට විශ්වාස කරන්න පුළුවන් එකම චරිතය වෙන්නෙ රනිල්. එක පැත්තකින් හෙළ උරුමය ඇතුළු ගොඩක් දෙනා විරුද්ධ වෙද්දි පවා රනිල් මේ වගකීම ගන්නවා. ඒ වගේම කලබලයකින් තොරව බලය මාරු වෙන්න හැමදෙයක්ම පිළිවෙල කරනවා. මේ නායකත්වය, මේ ඉවසීම සහ දේශපාලන විනය කියන කාරණා යලි යලිත් සාකච්ඡුාවට ගන්න  ඕන. ඒ රනිල්ව ඊළ`ග නායකයා කරන්න නෙමෙයි. ඒත් අපිට අහිමි වෙමින් යන දේශපාලන ශික්ෂණය සහ වගකීම කියන කාරණා අවධාරණය කරන්න.

මහින්දගෙ ආණ්ඩුව තව අවුරුදු දහයකට පෙරලෙයි කියල කවුරුවත් විශ්වාස කළේ නෑ. හැම තැනකම ඔත්තුකාරයො සහ තමන්ගෙ සහචරයො පෙළගස්වා ගනිමින් බොහොම සූක්ෂ්ම, සුමට ඒකාධිපති පාලනයක් ගෙන යමින් හිටි ‘යුද්දෙ දිනපු මහින්ද’ පරද්දන වැඩපිලිවෙලක් කියන්නෙ ඒක අද්විතීය එකක් වෙන්න  ඕන. හැම පක්ෂයකම බලය මහින්ද දිය කරලා ඇරලා තිබුණෙ. හැම තැනකම මහින්ද ගැටුම් නිර්මාණය කරලා තිබුණෙ. මේ හැම තත්වයක් යටතෙම මෛත‍්‍රීව ආණ්ඩුවෙන් එලියට ගන්නත්, කෑල්ලෙන් කෑල්ල ගලවමින් ආණ්ඩුව දුර්වල කරන්නත්, හැම අභියෝගයකටම, දූෂිත බලයකටම එරෙහිව එම මෙහෙයුම ජයග‍්‍රහණය දක්වා අරගෙන යන්නත් පුළුවන් වීම නිසාම ඊට උරදුන් විපක්ෂ දේශපාලන චරිත ගැන මට ඇති වෙන්නෙ ගෞරවයක්. ඒ තරම් දිගක් පළලක් ඇති දේශපාලන චරිත මං ලංකාවෙ මේ මොහොතෙ බලාපොරොත්තු වුණේ නෑ.

ඒක හින්දම ඒ වගේ පිරිසකට ආණ්ඩු කරන්න  ඕන හැටි අපි කියල දෙන්න  ඕන කියලත් මං හිතන්නෙ නෑ. මේ කියන්නෙ පුරවැසියො විදිහට රටේ දේශපාලනයට මැදිහත් වීම වැරැුද්දක් කියල නෙමෙයි. ඒ වෙනුවට හුදෙක් ත‍්‍රිල් එක වෙනුවෙන් අවිධිමත්, හුදු ප‍්‍රතිචාරත්මක අදහස් ෆේස් බුක් පිටු පුරා ෂෙයාර් වෙන එක වාතයක් වෙන්න පුළුවන්. ෆෝරම් එකක් විදිහට අදහස් සාකච්ඡුා කිරීමේ සහ කතිකා ගොඩනැගීමේ සංසුන් විනයක් නැවත පුරුදු වෙන්න  ඕන. ඡුන්දයේ උණුසුම සහ ආතතිය විසින් වේගවත් කරපු, නොගැඹුරු කරපු ජීවිතය ආපහු ප‍්‍රකෘතියට ගේන්න  ඕන.

දේශපාලනයෙන් එහාට ජීවිතය ගැන, කලාව ගැන, ඩ‍්‍රග්ස්, සෙක්ස් ගැන සංවාද කතිකාවලට අපි ආපහු මාරු වෙන්න  ඕන. නැත්තං ආණ්ඩු පෙරළිය පිටිපස්සෙ තිබුණු සංස්කෘතික උවමනාවන් අපි අතින් මගඇරෙන්න පුළුවන්.

දූෂනයට එරෙහි වීම, යහපාලනය වගේ මැතිවරණයේදී කුළුගන්නපු අදහස් රැුල්ල ඊළ`ගට අනිවාර්යෙන් හැරෙන්නෙ පුහු සදාචාරයක් පැත්තට. ගණිකා වෘත්තියට එරෙහිව, අරක්කු බෝතලේට, සිගරට් එකට, ජොයින්ට් එකට එරෙහිව මේ දේ්ශපාලනය හැරෙන්න නියමිතයි. ඊට පස්සෙ ආපහු කොට ගවුම් වලට විරුද්ද වීම දක්වාත් මේක ඇදෙන්න පුළුවන්. ජනතාව හැමතිස්සෙම යන්නෙ එක්ස්ටී‍්‍රම් එකක් එක්ක. ඒ අවදානම හින්දමයි නැවත වඩා පුළුල් සංවාද ඇති වෙන්න අවශ්‍ය. දේශපාලනය හුදු සදාචාරවාදී පටුසීමා ඇතුලෙ හිර වෙනවා වෙනුවට වඩා නිදහස් සමාජ විවරයක් හදාගන්න එක මේ වෙනස වෙනුවෙන් වැඩකරපු සංස්කෘතික මතවාදී කණ්ඩායම් වල වගකීමක්.

ආණ්ඩුව විසින් ජනතාවට ත‍්‍රිල් සැපයීම බාර ගත්තෙ මහින්දගෙ කාලෙ. එක එක සිද්දි මවමින්, හතුරො හදමින් මහින්ද සෑහෙන හැපනින් විදිහට ඒක කරගෙන ගියා. මෛත‍්‍රී පටන් ගත්තට පස්සෙ ඒක ටී20 වගේ වුණා. පැයෙන් පැයට නිව්ස් හදමින් මකමින් ඒක ෆේස්බුක් පිස්සුවක් වුණා. මට හිතෙන්නෙ අපි මේ වේගය අඩු කළ යුතුයි. වඩා ස්ථාවර, වගකීමක් ඇති තීන්දු මිස අපි ත‍්‍රිල වෙනුවෙන් තීන්දු ගැනීම නතර කර ගන්න  ඕන. අවශ්‍ය සංවාදයන්, සාකච්ඡුාවන් නැතිව හුදු වේගය සහ පිපාසය වෙනුවෙන්ම දේශපාලන තීන්දු ගන්න වීමෙන් අපි නැවත කරන්නෙ අයිසින් දැමීමක් විතරයි.

අපි ස්වයං පුනරුත්ථාපනයක් කර ගන්න අවශ්‍ය ජාතියක්. යුද්දයෙන් සහ දස අවුරුදු මහින්දගේ පාලනයෙන් පස්සෙ අපි කවුරුවත් සාමාන්‍ය ඇති කියල මං හිතන්නෙ නෑ. අපේ ඇගයුම්, ප‍්‍රතිමානයන් පවා ගොඩක් වෙනස් වෙලා තියෙන්නෙ. උදා විදිහට මේ වෙද්දි හොරකම් කරන එක සාමාන්‍ය මනුස්ස ගතියක් විදිහටයි ලංකාවෙ මිනිස්සු බාර ගන්නෙ. ඊට පස්සෙ හොරකමට විරුද්ද වීමත් ආයිමත් හොරු අල්ලන හෝ ද`ඩුවම් දෙන ත‍්‍රිල් එකක් වෙනවා කියන්නෙ තත්වය තව බැරෑරුම් වෙලා විතරයි.

අදහස් නැවත සංවිධානය වෙන්න පටන් ගන්න  ඕන. අරාජිකත්වය වෙනුවට සවිඥාණක බව, ගැඹුර සහ සෞන්දර්යය අපි අරගෙන එන්න  ඕන. තවදුරටත් දවස් සීයේ වේගයට සහ ත‍්‍රිල් එකට අපි ඇබ්බැහි නොවිය යුතුයි කියන එකයි මගේ අදහස. මහින්ද සහ මෛත‍්‍රීට පිටස්තර ලෝකයක් නිර්මාණය කරන එකයි අපේ වගකීම.

ආණ්ඩුවෙ දවස් සීය ගණං කරන එක පැත්තකින් තියලා දවස් සීයට පස්සෙ අපි කොහෙද ඉන්නෙ කියලා අපිට හිතන්න වෙනවා. ඇත්තටම වෙනස් වෙන්න  ඕන මහින්දවත් මෛත‍්‍රීවත් නෙමෙයි, අපි. අප අපිට පැවරුණු වැඩ කොටස ඉටු කරන්න පටන් ගන්න  ඕන. ආර්ට් ඇතුලෙ, කණ්ඩායම් ඇතුලෙ, ජීවිතය ඇතුලෙ අපි වැඩ කරන්න  ඕන. ඒ වෙනුවට අපි ආයිමත් අපිට එලියෙන් තියෙන ආණ්ඩුවක දවස් ගණං කරන එකෙන් කිසි වෙනසක් සිද්ද වෙන්නෙ නෑ. ප‍්‍රතිචාරාත්මක ප‍්‍රවේශයන්ගෙන් ගැලවිලා සංවාදාත්මක, නිර්මාණාත්මක කාර්යයන් වෙනුවෙන් අපි කැප වෙන්න  ඕන.
ජීවිතේ තියෙන්නෙ දවස් සීයට එහායින්.

-චින්තන ධර්මදාස

3 comments:

  1. මෙහෙය දෙයක් තියෙනවා... හැම අාණ්ඩුවක් ම ගේන්න දත කන පිරිසක් ඉන්නවා... හැම අාණ්ඩුවක් ම පත්වෙන ඒක වලක්වන්න දත කන පිරිසකුත් ඉන්නවා....

    අාණ්ඩුවක් පත්කරගත්තාට පස්සේ ඒකට කඩේ යන (අාණ්ඩුව ගේන්න මහන්සි වුණ හා නොවුණ) පිරිස වැඩි පුරම ඉන්නවා... අාණ්ඩුවක් පත්කරගත්තාට පස්සේ ඒක ප්‍රශ්ණ කරන (අාණ්ඩුවට මුල සිටම විරුද්ධ වූ සහ අාණ්ඩුවට මුලින් සහය දුන්) පිරිසකුත් ඉන්නවා.... ඔබම හිතා බලන්න කොයි ඒකද හරි කියලා... හැමදේට ම සහය දීමෙන් හා අනුමත කරමින් බලා සිටීමෙන් වැරදි අඩු වෙන්නෑ.... හරි විදිහට මෙහෙයවීමෙන් විතරයි සාර්ථක අාණ්ඩුවක් හදාගත හැක්කේ....

    ReplyDelete
    Replies
    1. පන්ඩිත ආච්චි

      Delete
  2. මේ ආණ්ඩුව පිහි‍ටුවීමේ මූලික අරමුන ජනතාවගේ පරමාදිපත්‍ය පුරවැසි බලය ඉස්මතු කරන එක...ඒ වගේ දේවල් පත්වෙන ආණ්ඩු කරලා දෙයි කියලා බල්ං ඉන්න ගීයොත් නම මොකුත් ලැබෙන්නේ නෑ...පුරවැසි අයිතිය වෙනුවෙන් මිනිස්සු කිමන් හෝ මාධ්‍යකින් අදහස් ප්‍රකාශ කිරීම වරදක් ලෙස මට නම පෙනෙන්නේ නෑ..........කොහොමත් මේ පනින පනිල්ලේ හැටියට මිනිස්සුන්ගේ ඡන්දේ බල්ලට ගිහිල්ලා...ඡ්න්දන් එන ම්නිස්සු ඒ තැන් වලට ගිහිල්ල වෙන ඩීල් දාගන්නවා..අන්තිමට මිනිස්සුන්ට ලැබුණු දෙයක් නෑ....

    ReplyDelete