Saturday, May 30, 2015

ආශා සියොතුන් ඉගිල ගියාවේ



මං බ්ලොග් එකට ලියන ලිපි වලින් වැඩියෙන්ම ෂෙයාර් වෙන්නෙ සහ ප‍්‍රතිචාර ලබන්නෙ දේශපාලනය නැත්්තං ආර්ට් ගැන ලියන ලිපි. අඩුවෙන්ම ෂෙයාර් වෙන්නෙ පුද්ගලික ජීවිතේ ප‍්‍රශ්න කරන ලිපි. ගොඩක් වෙලාවට අඩුවෙන්ම ජනප‍්‍රිය දේ තමයි නැවත නැවත කරන්න  ඕන වෙන්නෙ.
අමිල ගලප්පත්ති මෑතක පාර්ටියකදි මට වටින කතාවක් කිව්ව.

‘මචං උඹ මැක්‍රො දේවල් ගැන ලියන ආර්ටිකල් වලට මං එච්චර කැමති නෑ. ඒවා අපරාදෙ කියල මට හිතෙන්නෙ. උඹ මයික්‍රො දේවල් ගැන ලියන ලිපි මරු...’

අමිල මෙතනදි කියන්නෙත් මං උඩදි කියපු කතාවට සමාන කතාවක්. තමන්ගෙන් පිට මැක්‍රො දේවල් ගැන ලියන ලිපි කියවන්න, ෂෙයාර් කරන්න, අදහස් දක්වන්න වැඩි නැඹුරුවක් තියෙනවා. ඒත් ඒවා කොයිතරං පලදායීද කියල ආයිමත් හිතන්න වෙනවා. මයික්‍රො දේවල් වලට විසිල් එකයි අත්පුඩියයි නැති වෙන්න පුළුවන්, ඒත් ඒක වැඩක් වෙන්න පුළුවන්.

මේ ලියමනට මුල්වුනෙ මං එකදිගට අතනෑර බලපු ටෙලි සීරීස් එකක්. ෂෝ ටයිම් එකේ විකාශය වුණු, ද අෆෙයාර් නැත්තං ‘හාදකම’ කියන. මේක කරන්නෙ සාරා ටී‍්‍රම් සහ හැගායි ලෙවි කියන නිර්මාණකරුවන් දෙන්නා. සාරා ටී‍්‍රම් තමයි ප‍්‍රධාන. 2014දි විකාශය වුණු මේ සීරීස් එකට හොඳම ඩ‍්‍රාමා සීරීස් එකට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ලැබුණා. මේකෙ අද්විතීය චරිතය වන ඇලිසන්ගෙ චරිතය වෙනුවෙන් රූත් විල්සන් (මේ වෙද්දි මගේ ආසම නිළිය) හොඳම නිළිය සම්මානය ලැබුවා. ඒත් සීරීස් එක හොඳ වෙන්න මේ සම්මාන පිළිගැනීම් අදාල වෙන්නෙ නෑ.

මේ කතාව දිවෙන්නෙ පවුල් දෙකකට අයිති ගැහැණියක් සහ පිරිමියෙක් අතර අසම්මත සම්බන්ධයක් දිගේ. මේක එක විදිහකට ආදර සම්බන්ධයක් ගැන රෂෝමන් වර්ගයේ චිත‍්‍රපටියක්. අපි චරිත දෙක එකම සිද්දිය දැකපු දෙවිදිහක් තිරය උඩ දකිනවා. සරල විදිහට කිව්වොත් මේ අනියම් සම්බන්ධයේ වගඋත්තරකරුවන් වන ඇලිසන් සහ නොආ සලවේ දෙන්නගෙ ඇස් වලින් වෙන වෙනම අපි කතාව දකිනවා. ඒක හරිම ආස හිතෙන අත්දැකීමක්.

මගේ ජීවිතේ මම වඩාත්ම රස විඳින දෙයක් වෙන්නෙ ආදර සම්බන්ධතා ගැන පාර්ශ්ව දෙක වෙන වෙනම කියන කතා අහන් ඉන්න එක. මගේ ප‍්‍රියතම විෂය ඒක. ඒ සම්බන්ධතාවල දෙපැත්ත දකින දෙවිදිහ සහ දෙන්නම දකින්නෙ එකක් කියන විශ්වාසයේ ජීවත් වීම හරිම ආකර්ශනීයයි. මනුස්සයි. අපිට අපේ සම්බන්ධයකදි කවදාවත් අත්විඳින්න බැරි මේ යතාර්ථය වෙන කෙනෙකුගෙ ජීවිතය හරහා අපිට දකින්න පුළුවන්. ඒක කණ්ණාඩියක් වගේ.

සාරා ටී‍්‍රම් ‘ද අෆෙයාර්’ හරහා මේ සංකීර්ණතාවය ස්පර්ශ කරනවා. ඒක අතිශය සරාගී ස්පර්ශයක්. ඒ වගේම ගැඹුරු ස්පර්ශයක්. මේ සීරීස් එක එකට නරඹන්න බැරුව ගොඩක් අඹුසැමියන් අර්බුදයට යනවා. එක විදිහකට මේක තමන් සහ තමන්ගේ පෙම්වතා/පෙම්වතිය අතර තියෙන සම්බන්ධයේ දිග පළල මැනගන්න ප‍්‍රායෝගික අභ්‍යාසයක්.

‘මේක ලිවීම ඇතුලෙ මං වැඩියෙන්ම ආස කළේ මිනිස්සු ජීවිතය කෙළවගන්න හැටි ලියන්න වුණු එකට. ඒක හරි බය හිතෙන අත්දැකීමක්, එහෙම වෙන්නෙ මොකද, එහෙම වෙන්නෙ ඇයි, වගේ දේවල් හිතන්න ගත්තම. අපිට හැමතිස්සෙම  ඕන අපිට නම් එහෙම වෙන්නෙ නෑ කියල හිතන්න. නැත්තං අපි දෙවියන්ට කියනවා කාට එහෙම වුණත් අපිට එහෙම නරකක් වෙන්න එපා කියල. ඉතින් මේ විදිහෙ දෙයක් ලියන එක මම මගේ ඇතුලෙම තියෙන බය එලියට දානවා වගේ වැඩක්. ඒක එක විදිහක කැතාසිස් එකක්. ඊට පස්සෙ මං මගේ පවුල ඇතුලට යන්නෙ ගොඩක් සැහැල්ලූවෙන්..’
සාරා ටී‍්‍රම් මේ කතාව ලිවීමේ අත්දැකීම බෙදා ගන්නවා.

‘මං උත්සාහ කරන්නෙ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න ජීවිතයේ හැමතිස්සෙම නිවැරදි තෝරාගැනීම කරන එක ජීවිතය තේරුම් ගන්න හොඳ විදිහක් නෙමෙයි කියල. මට  ඕන ඒක ටිකක් අවුල් සහගත කරන්න. අපිට පුළුවන් අපේ අතීතයට ගිහින්  ඕනම සිද්දියක් අරගෙන එතනදි අපි ගත්ත තීරණය හරියටම හරි එක බව පේන විදිහට කරුණු පෙළගස්වන්න. ඒත් අපි නොදැනුවත්ව හරි තවත් මිනිස්සුන්ව රිදවනවා, තුවාල කරනවා, අපේ ගැලවීම වෙනුවෙන්. මට හිතෙන්නෙ අපි අපේ අතීතෙට ගිහින් වෙන තුන්වැන්නෙකුගෙ ඇහින් අපි පසු කළ සිද්දි දිහා බැලුවොත්, සමහර විට කතාවෙ දුෂ්ටයා අපි වෙන්න පුළුවන්. ඒක අමාරු තේරුම් ගැනීමක්. ඒක පය ගහලා ඉන්න අමාරු තැනක්. ඒත් විශ්වයේ අපි ඉන්න තැන තේරුම් ගන්න ඒක හොඳ අභ්‍යාසයක්...’

ද අෆෙයාර් සීරීස් එකේ කතාව සරලයි. පවුල සමග ගිම්හාන නිවාඩුව ගත කරන්න එන ‘නොආ සලවේ’ රෙස්ටොරන්ට් එකක සේවය කරන ඇලිසන් එක්ක අනපේක්ෂිත අනියම් පළහිලව්වක් පැටලෙනවා. ඇලිසන් කියන්නෙත් ටිකක් මදාවි තරුණයෙක් සමග විවාහ වෙලා ඉන්න තරුණියක්. ඇගේ කුඩා දරුවා දියේ ගිලී මිය යාමේ ඛේදවාචකයෙන් මනස ගලවාගැනීමේ අසාර්ථක උත්සාහයක ඇලිසන් පොරබදද්දි ආශා සුන් වුණු බලාපොරොත්තු පිරිහුණු පවුලක ප‍්‍රධානියා විදිහට නොආ දුක් විඳිමින් ඉන්නවා. මේ අනියම් ආදරය වැඩ කරන්නෙ මේ රසායනය ඇතුලෙ.

ලේඛකයෙක් වෙන්න පෙරුම් පුරන නොආට ලියන්න පුළුවන් වෙනවා. ජීවිතය ආපහු ආනන්දයෙන් සහ ත‍්‍රිලෙන් පිරෙනවා. පවුල අර්බුදයට යනවා. මරණීය තෘප්තියක ආස්වාදයේ අගිස්සෙ මේ දෙන්නා නැළවෙනවා. කතාව තියෙන්නෙ මේ සම්බන්ධය හරහා ඒ අයගෙ අනිත් වගකීම් සහගත නියම් සම්බන්ධතා අර්බුදයට යන්නෙ කොහොමද කියන එකත් එක්ක. මිනිස්සුන්ගෙ අතිශය සියුම් සංවේදනා ග‍්‍රහණය කර ගනිමින් පුද්ගලික ගැඹුරු නිමේෂයන් වල නතර කරමින් මේ අර්බුදය බලා සිටින්නාට අභිමුඛ කරනවා. තමන්ගේ හිතේ ගිල්ටියක් ඇති කරන්න පුළුවන් තරම් සමීපව සාරා කතාව මෙහෙයවෙනවා.

වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මේ කතාව දෘෂ්ටි කෝණ දෙකකින් කියවන එක. සමහර අවස්ථාවල අපි දකින මූඞ් එක විතරක් නෙමෙයි ඇඳන් ඉන්න ඇඳුම්, අවට පරිසරය පවා දෙන්නාගේ ඇස්වලින් වෙනස් වෙනවා. නොආ අතිශය අනුරාගී විදිහට දකින මොහොතවල් ඇලිසන් දකින්නෙ ආදරණීය විදිහට. ස්ත‍්‍රී පුරුෂ කියවීම් වල වෙනස දක්වා පරාසයක කතාව දිගහැරෙනවා.

සාරා මේ සම්බන්ධතා ඇතුලෙ සංවේදනා සහ තෘෂ්නා ස්පර්ශ කරන්නෙ එස්තර් පෙරල් කියන බෙල්ජියානු සමාජ හා සංස්කෘතික චර්යා පර්යේෂිකාව ඒ ගැන විධිමත්ව කරපු පර්යේෂණ පාදක කරගෙන.  එයා ලෝකෙ විවිධ ජන කොටස්වල සම්බන්ධතා ගැන පරීක්‍ෂා කරමින් ‘මේටින්ග් ඉන් කැප්ටිවිටි’ කියල පොතක් ලියනවා. ආදරය ඇතුලෙ දේශපාලනය ගැන එස්තර්ගෙ අදහස් හරි තියුණුයි. දියුණුයි.

ආදරය තියෙද්දි සෙක්ස් (ලිංගික ආශාව) වියැකෙන්නෙ ඇයි? අනුමත ආදරය තියෙද්දි තහනම් ආදරය වඩා රස වෙන්නෙ ඇයි? එස්තර් ප‍්‍රශ්න කරනවා.

එයා ආදරය සහ ආශාව කියල දෙබෙදුමක් අඳුර ගන්නවා. ආදරය ඇතුලෙ වගකීම, සැලකීම, බලා ගැනීම, ආරක්‍ෂාව, ස්ථාවර බව වගේ දේවල් තියෙනවා. ඒත් ආශාව ඊට ප‍්‍රතිවිරුද්දයි. ආශාව කියන්නෙම ත‍්‍රාසය, අනාරක්‍ෂාව නිදහස, වගකීම් රහිත බව එක්ක බැඳෙන හැ`ගීමක්. මේ දෙක එක විට පිහිටන ප‍්‍රතිවිරෝධතා දෙකක් වීම ඇතුලෙ සම්බන්ධතා අර්බුදයට යන හැටි එයා විස්තර කරනවා.

පවුල කියන ආර්ථික සංස්ථාව දැන් වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙමින් තියෙනවා කියලයි එස්තර් දකින්නෙ. පවුල එන්න එන්නම පුද්ගලික අවකාශයකට ගමන් කරනවා. තවදුරටත් ආරක්‍ෂාව, රැකබලා ගැනීම වගේ කාරණා සම්බන්ධ ආර්තික සංස්ථාවෙ කාර්යය පවුලට පැවරෙන්නෙ නෑ. තවදුරටත් ලිංගික ක‍්‍රියාව දරුවන් හැදීම එක්ක සම්බන්ද නෑ. ඒක තෘප්තිය සහ අනෙකා ගැඹුරින් තේරුම් ගැනීම හෝ සම්බන්ධ වීම කියන දොරටුවක්.

ආශාවෙ ඵලයන් විදිහට උපදින දරුවන් විසින් ආශාව නසන හැටි එස්තර් කියනවා. වගකීම කියන්නෙම ආශාවට ප‍්‍රතිවිරෝධයක්. පවුල ඇතුලෙ ආදරය විසින් ආශාව අර්බුදයට යවනවා. එතනදි ආශාව තියෙන්නෙ පවුලට එලියෙන්. ඒත් පවුල හෝ ආදරය වෙනුවෙන් ඒ ආශාව කැප කරන්න සිද්ද වෙනවා. ඒකෙන් මළ ජීවිත සම්බන්ද වුණු ඒකකයක් විදිහට පවුල ඉතුරු වෙනවා.

පවුල ඇතුලෙ අර්බුදය එස්තර් විස්තර කරන්නෙ ‘ක‍්‍රයිසිස් ඔෆ් ඩිසයර්’ විදිහට. ආශාවෙ අර්බුදයක් විදිහට. ආශාවෙ අර්බුදයක් තියෙන තැන පරිකල්පනය අර්බුදයට යනවා. නිර්මාණශීලීත්වය ආස්වාදය අර්බුදයට යනවා. එස්තර් කියන්නෙ ගින්නකට හුළ`ග අවශ්‍යයි කියල.

සජීවී ආශාබරිත ආදරයකට නම් දෙන්නා අතර ලොකු ඉඩ පරාසයක් තියෙන්න  ඕන කියල එයා කියනවා. අලූත් දේවල් හොයන්න, අලූත් දේවල් විඳින්න විවෘත අවකාශයක් නිර්මාණය කර ගන්න එකයි ආදර සම්බන්ධයක අභියෝගය විදිහට එයා දකින්නෙ.
‘හැම සම්බන්ධයක් ඇතුලෙම රහස් උයනක් දළුලමින් තියෙන්න  ඕන...’

ලිංගිකත්වය ක‍්‍රියාවක් බවට පත්වීම මේ මළ බවේ ලකුණක්. ඒක විලාස හෝ ආකාර වෙනස් කිරීමෙන් ජයගත හැකි අර්බුදයක් නෙමෙයි. ලිංගිකත්වය විවිධ තැන් සොයා යන ගමනක් වෙන්න  ඕන. අනාර්ක්‍ෂාවට, අර්බුදයට, අවිනිශ්චිතයට තල්ලූ කරන ලිංගිකත්වය ආශාව නොනිමී දල්වන්න සමත් වෙනවා.

මේක එස්තර් හඳුන්වන්නෙ ‘පොයෙටික්ස් ඔෆ් සෙක්ස්’ විදිහට. ඒ කියන්නෙ ලිංගිකයේ කාව්‍යය හැටියට. මෙතනදි පරිකල්පනය, සෙල්ලක්කාර බව සහ නවතාවය කියන කාරණා වැදගත් කොටසක් ඉටු කරනවා.
එස්තර් බෙල්ජියානු ජාතිකයෙක්. ඒ වගේම හිට්ලර්ගෙ යුදෙව් සමූලඝාතනයෙන් බේරුණු ජීවිතයක්. එස්තර් කියන්නෙ ඒ අත්දැකීමට හසුවී නොමැරී ගැලවුණු සහ ඊට හසුනොවුණු කියන මිනිස් කාණ්ඩ දෙකේ බරපතල වෙනසක් අඳුරගන්න පුළුවන් කියල. නොමැරී ගැලවුණු පිරිස වඩාත් ආශාවෙන් ජීවිතය වැළඳගන්නා අතර ඊට හසුනොවුණු පිරිස ජීවිතේ අවිනිශ්චිත සහ අස්ථාවර බව ගැන උවමනාවට වඩා හිතමින් ළතැවෙනවා කියල එයා විස්තර කරනවා. මරණයේ සීමාවෙදි ජීවිතේ ආශාව වැඩියෙන් දැල්වෙනවා වගේම වැඩියෙන් ආලෝකමත් වෙනවා.

ශෘංගාරය දේශපාලනිකව නිවැරදි වෙන්න අවශ්‍ය නැහැ. හැම අනියම් සම්බන්ධයක් කියන්නෙම නිදහසේ ප‍්‍රකාශනයක්. ආදරවන්තයන් මුහුණ දෙන අභියෝගය වෙන්නෙ මේ ආශාව සහ ආදරය අතර ප‍්‍රතිවිරෝධය කළමනාකරණය කරන්නෙ කොහොමද කියන එක.

එස්තර් උදාහරණ හොයන්න නැවත ළමා කාලෙට යනවා. දරුවෙක්ව නිතර ළ`ගම තියාගෙන රැුකබලාගන්නා මවක්, ඒ කියන්නෙ එලියෙ ද`ගවැඩ කරන්න නොදී, එළිය අනතුරු සහගතයි කියන හැ`ගීම පෙරදැරිව ආදරයෙන් දරුවෙක් රකින මවක් සහ  ඕනෑම ද`ග වැඩකට නිදහස දෙමින් අවශ්‍ය වෙලාවට රැුකවරණය පිණිස තමන් සිටින බව දනවන මවක් සමග හැදෙන දරුවන් දෙදෙනෙකුගේ වෙනස එයා ගේනවා. පළමු දරුවා දුක්මුසු, අනෙකාව නිතර සැක කරන, අනන්‍යතා අර්බුද සහිත දරුවෙක් වන අතර දෙවැන්නා වඩාත් නිරෝගී සම්බන්ධතා පවත්වා ගන්නා, ඉදිරිගාමී දරුවෙක් වෙනවා. මේක වැඩිහිටි වයස සඳහාත් මේ විදිහටම අදාලයි කියන එකයි එස්තර්ගෙ අදහස.

”පවුල ආශාවට සහ අලූත් අත්දැකීම්වලට ඉඩ ඇති නිර්මාණශීලී අවකාශයක් කර ගන්න. වඩ වඩාත් පුද්ගලිකත්වයට, ආත්මීය පතුලට කිමිදිය හැකි දොරටුවක් කර ගන්න..” එස්තර් පැවැත්මේ ප‍්‍රතිවිරෝදතා එකට පැවතිය හැකි ආදරයක් ගැන කතා කරනවා.

අෆෙයාර් සීරීස් එක හැදෙන්නෙ එස්තර්ගෙ මේ අදහස් සහ පර්යේෂණ ඇසුරු කරමින්. දෙන්නෙක්ගෙ ඇස් වලින් කතාව කියනවට වඩා තව තවත් චරිත වල දෘෂ්ටීන් එකතු කරමින් දෙවෙනි පරිච්ෙඡ්දය පටන් ගන්නවා කියල ‘සාරා ටී‍්‍රම්’ කියනවා.

එක එක ඇස්වලින් කියවෙද්දි ආදරයේ රොමැන්ටික් අදහස බිඳවැටෙනවා. ඒ වෙනුවට පැවැත්ම මූලික ආශාව සහ ආදරය අතර සංවාදයක් විවෘත වෙනවා.

විවෘත වීම හැමතිස්සෙම හොඳයි සංවෘත වීමකට වඩා. අවබෝධය වැඩි වෙන්නෙ කොහොමත් ඇරෙන තරම වැඩි වෙන කොටයි.

- චින්තන ධර්මදාස

3 comments:

  1. This is a nice write up..I loved watching this series The Affair

    below are two of my favorite quotes from it


    "Alison: Trust you? Are you insane? You're a married man with four kids who's cheating on his wife. "

    "Noah: Bruce, that woman, the student in Michigan. Do you ever think about her?"
    Bruce: Every fuckin' day.

    ReplyDelete
  2. මේ බ්ලොග් සටහන කියෙව්වට පස්සේ මේ සීරිස් එක නොබලා ඉන්න කෙනෙක්ට හැකි වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම ඒ නිර්මානයේ මතුපිට ස්වර්ෂ කිරීමකින් එහාට ගිය රසවින්දනයක් ලබා ගන්න මේ සටහන උපකාර වෙයි කියලා මම හිතනවා. වෙලාවක් ලැබුනු විටෙක මේක ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් බලනවාමයි. ස්තූතියි

    ReplyDelete
  3. A link to watch this pls?

    ReplyDelete