Wednesday, November 28, 2012

නිරුවත් ජීවිතයේ සරුවත්

 ’අපේ කාලයේ දාර්ශනිකයා’ කියල දීප්තිගේ පිංතූරයක් දාපු පැපරාසියා ස`ගරාවක් ෆේස්බුක් එකේ දැක්කා. ඇතුලෙ මොනවා තියෙනවද කියල කියවන්න වුණේ නෑ. සේපාල් සංවිධානය කරපු කර්ම චිත‍්‍රපටි සංවාදෙට දීප්ති ආපු එකත් එක්ක ඒකෙ මොකක් හරි හැ`ගුම්බර සම්බන්ධයක් ඇති. එක්ස් එක ගැන කලින් උපහාර ග්‍රන්තයක් කළෙත් සේපාල්. ඒ නිහාල් එක්ක එකතු වෙලා.

දීප්ති ගැන මේ විදිහෙ හඳුන්වාදීමක් දැක්ක පළවෙනි වතාව. ඒත් මාත් ඒ ගැන කල්පනා කෙරුවා. දීප්ති ලංකාවෙ සංස්කෘතික විශ්වයක් නිර්මාණය කරපු චරිතයක්. ඒක කණ්ඩායම් වැඩක් කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ කණ්ඩායම දීප්තිගෙ නිර්මාණය. කණ්ඩායමේ අභ්‍යන්තරය විසින් ඒකාධිපතියෙක්, ආඥාදායකයෙක් වගේ දීප්ති ගැන කරපු චෝදනා මට ඒ තරං බරපතල නෑ. හැම සංස්කෘතික වෙනසක් යෝජනා කරන්නෙක්ම ආඥාදායකයෙක් තමයි මට අනුව. බුදුන් ගත්තත් ජේසුන් ගත්තත් නබිනායක ගත්තත් ඒක එහෙමයි. ප්‍රජාතාන්ත්‍රවාදය හෝ වෙනයම් පරණ ආකෘතියක අදහසින් ඒ වගේ අලූත් වෙනසක් නිශේධනය වෙනවා මිසක් කොහොමවත් ඵලදායී දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඒක වැඩි දෙනෙක් එක`ග අන්තය තෝරා ගැනීමෙන් ශක්තිමත් වීම. වැඩිදෙනෙක් එක`ග අදහසක් දියුණු අදහසක් වෙන්නෙ කලාතුරකින්. හිට්ලර් වුණත් අපිට තියන්න වෙන්නෙ ඒ පේලියෙ. සමහරු සොඳුරු අඥාදායකයො. තවත් සමහරු භයානක අන්ත වලට යනවා. 

එක්ස් කියන්නෙ ලංකාවෙ එක්තරා සංස්කෘතික අවකාශයක්. විප්ලවයක්. තව  ඕන නමකින් හඳුන්වන්න පුළුවන්. අපේ කතිකා නිර්මාණය වුණේ ඒ සංස්කෘතික විශ්වය ඇතුලෙ. ලංකාවෙ ඇකඩමික් චරිත විසින් මස්තබාල්දු කරල තිබ්බ දාර්ශනික සිතීම් දේශපාලනික භාවිතයක් ඇතුලට අරන් ආවෙ ඒ සංවාද වලින්. ඒත් ලංකාවෙ දීප්තිට ඒ අවශ්‍ය සීරියස් පිළිගැනීම ලැබුණෙ නෑ. ඒ නොලැබීම පුද්ගලික තැනකට වඩා සමාජමය තැනකින් එක්තරා ඉදිරි පියවරක් ප‍්‍රමාද කළා කියල මට හිතෙනවා. දීප්ති ඉවර වෙන්න පටන් ගත්තා. අන්තිමට පැපරාසියා දක්වා පල්ලම් බැස්සා.

පැපරාසියා කියන්නෙත් කල්ට් වැඩක්. ඒත් ඒක සිද්ද වෙන්නෙ එක්ස් කණ්ඩායම විසින් නිර්මාණය කරපු අඳුරු පැත්ත හරහා. අඩුම තරමෙ පැපරාසියා අරාජිකවාදී වත් වුණා නම් මොකක් හරි දෙයක් වෙන්න තිබුණා. ඒ වෙනුවට ඒ ප්‍රකාශනය හැම තිස්සෙම කන්‍යා සිවි වර්ගයේ සදාචාර මිණුම් ද`ඩු උඩ නවතිනවා. බඩු ගහපු කතා, සල්ලි වංචා මේවා උඩ සදාචාරීද නැද්ද කියන එක තමයි මං කියවපු ගොඩක් ලිපි වල විවේචනයෙ පාදම වුණේ. ඒක ග‍්‍රාම්‍යයි. නාගරික වෙනසක් වෙනුවෙන් සංවාද කරත් එක්ස් කණ්ඩායම ෆේල් වුණේ මේ ග‍්‍රාමීය ඇත්ත එලියට එන්න ගත්ත හින්ද. පැපරාසියා ඒකෙ නෂ්ටාවශේෂයක් විදිහටයි මං දකින්නෙ. එතකොට දීප්ති සහ පැපරාසියා එක්වීම අපි කියවාගන්නෙ  ඕන කොහොමද? මං තාමත් කැමතියි ඒක උපාය මාර්ගයක් විතරයි කියල පිළිගන්න. ඒත් මේ දවස් වල ගොඩක් වෙලාවට උපාය මාර්ගයට පිටින් මොකක් වත් නෑ.

කාලෙකට පස්සෙ ඉස්තෙබාන්ව හම්බුණා ඔෆිස් එකෙන් පස්සෙ චැට් එකක් දාන්න. 

‘මචං, උඹ රූස්වෙල්ට් ගෙ ස්පීච් එක අහලා තියෙනවද?’ ඌ කතාව පටන් ගත්තෙ එහෙම. රූස්වෙල්ට් කියල ඉස්තෙබාන් කිව්වෙ තියොඩෝර් රූස්වෙල්ට් (ටෙඞී) ට. ඇමරිකාවෙ 26 වෙනි ජනාධිපතිට. එයා රිපබ්ලිකන් පක්ෂෙන් බලයට ආවෙ. ප්‍රගතිශීලී පෙරමුණට එයා දීපු නායකත්වය නිසා වගේම එයාගෙ කව්බෝයි ස්ටයිල් එකේ පෞර්ෂය නිසා රූස්වෙල්ට් කැපී පෙනෙන ජනාධිපතිවරයෙක් වුණා. ස්වභාවවාදියෙක්, ගවේෂකයෙක්, දඩයක්කාරයෙක්, ලේඛකයෙක් සහ සොල්දාදුවෙක් විදිහට එයාට තියෙන ප්‍රසිද්ධියත් දේශපාලනඥයෙක් විදිහට තියෙන ප්‍රසිද්දිය තරම්මයි. ඉස්තෙබාන් මතක් කළේ රූස්වෙල්ට් ගෙ ප‍්‍රසිද්ද කතාවක්.

‘විචාරකයා නෙමෙයි වැදගත් වෙන්නෙ. ශක්තිමත් මිනිස්සු ගත්ත මහන්සිය ගැන දොඩවන හෝ ඒ දේ වඩා හොඳින් කරන්න තිබුණු විදිහ කියන අය නෙමෙයි වැදගත් වෙන්නෙ.

පූර්ණ ගෞරවය ලැබෙන්න  ඕන ඇත්තට ඒ සටනෙ ඉන්න මිනිහට. දූවිල්ලෙන් දහඩියෙන් සහ ලෙයින් මුහුණෙ කැළැල් වැටුණු ඒ සටන්කාමියාට. වැරදි වැරදි ආපහු උත්සාහ කරන ඒ මිනිහට. වැරදීම් නැති උත්සාහයන් ලෝකෙ නෑ. ඒත් ඒ දේ කරන්න ඇත්තට මහන්සි වෙන මිනිස්සු, ඒ ගැන අධිකතර ආශාවකින් කැපවෙන මිනිස්සු, ඒ අරමුණ වෙනුවෙන් ජීවිතය පුදන මිනිස්සු, අවසානයේ ජයග්‍ර‍රහණයේ උත්තුංග ප්‍රීතිය හොඳින්ම දන්නේ ඔවුන්.  පරාජය වුණත් නිර්භීතව පරාජය ලබන ඒ මිනිස්සුන්ටයි ඒ ගෞරවය හිමි වෙන්නෙ. එහෙම නැතුව මේ බියගුළු යටත් උන් ජයක් වත් පරාජයක් වත් ගැන දන්න උන් නෙමෙයි’
තියඩෝර් රූස්වෙල්ට් මේ කතාව කියන්නෙ පැරීසියෙදි, ජනරජයක් තුල පුරවැසියන් ගැන කතාවක් කරගෙන යන අතරෙ.

’මචං මං කියන්නෙ රූස්වෙල්ට් මේ කියන කතාව පරණයි. අපි හැමෝම මේක දන්නවා. මේවා එක කාලෙක මොනාට හරි වැඩ කරන්න ඇති. ඒත් දැන් අපි මීට වඩා එහාට යන්න  ඕනි. මේවා ලස්සන බොරු’
ඉස්තෙබාන් කියන කතාව මට ටිකක් දිගට පැහැදිලි කරන්න වෙනවා. එයා කියන්නෙ,
‘එපා, එපා, එපා, එපා කවදාවත් උත්සාහය අත් අරින්න එපා’ වගේ කතන්දර දැන් හැමෝම බොරු කියලා දන්න ඒත් ලස්සන නිසා ෆේස් බුක් අප්ඬේට් කරන්න වගේ තියන් ඉන්න අදහස් කියලා.

උදාහරණයක් විදිහට දෙන්නෙක් තරගෙකට ඉදිරිපත් වෙද්දි අපි ඇවිත් කියනවා,
‘උඹට පුළුවන්. අනිවාර්යෙන්ම උඹ දිනනවාමයි’ කියලා. අපි දෙන්නටම මේ එකම කතාව කියනවා.
මේ කියන මොහොතෙම අපි දන්නවා මෙතනින් එක්කෙනයි දිනන්නෙ කියන එක. ඒක තරග කරන දෙන්නත් දන්නවා. ඒත් ‘හොඳ හිත’ වගේ අදහසකින් අපි මේ බොරුව කියනවා. ඉස්තෙබාන් ගෙ අදහස මේවා ‘ලස්සන බොරු’ කියන එක.

ඒ අනුව ඇඞ්වර්ටයිසින් වලින් හැම තිස්සෙම නිර්මාණය කරන්නෙ ‘ලස්සන බොරු’. අපි පැණි රහට බොරුවක් හදලා විකුණන්න දානවා. ඒත් ඉස්තෙබාන්ගෙ මේ උදාහරණෙට මං විරුද්ද වුණා.
‘අපි ලංකාවෙ ඇඞ්වර්ටයිසින් වලින් නං හදන්නෙ ‘කැත බොරු’. කටේ තියන්න බැරි ඒවා. මට තාම හිතාගන්න බෑ ඒවා විකිණෙන්නෙ කොහොමද කියල’

ඉස්තෙබාන් කියන්නෙ තවදුරටත් මේ විදිහෙ ලස්සන බොරු වලින් සමාජය ගෙනියන්න  ඕන නෑ කියල. ඒවා එක්ස්පයර්ඞ් සහ ඒවායින් තවදුරටත් සමාජ ඵලදායිතාවක් අත් වෙන්නෙ නෑ කියන අදහස. ඒ වෙනුවට එයා යෝජනා කරන්නෙ අපි ඇත්ත ලස්සන කරමු කියල.

මේක නිකං සරල පෝස්ට් කාඞ් වර්ගයේ කතාවකට වඩා ගැඹුරකින් ඉස්තෙබාන් යෝජනා කරනවා. උදාහරණයක් විදිහට තරගකාරයන් දෙන්නව දිරිමත් කරන කතාව වෙනස් විදිහකට කරන්නත් පුළුවන්.
‘මේ තරගෙන් දින්නනෙ දෙන්නගෙන් එක්කෙනයි. ඒත් ඒ එක්කෙනෙක් දිනන්නෙ අනිත් කෙනත් තරග කරන නිසා. තරග කිරීමයි වැදගත් වෙන්නෙ’  බොරුව ලස්සන කරනවා වෙනුවට ඇත්ත බාර ගන්න පුළුවන් තැනකට ගේනවා. මරණය ගැන බයට නිර්වාණය හෝ ස්වර්ගය යෝජනා කරනවා වෙනුවට මරණය බාර ගන්න පුළුවන් තැනකට ජීවිතය පරිණත කරනවා.

ඇඞ්වර්ටයිසින් පැත්තෙන් ගත්තොත් මේ වෙනස මං කාලෙක ඉඳන් බලාපොරොත්තු සහගතව බලන් ඉන්න වෙනසක්. මොකක් හරි බඩුවක නැති ගුණ ගැන බොරු කියනවා වෙනුවට පොඩි හරි වෙනසක් වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන විදිහෙ කැම්පේන්. අලූත් අදහසක්, සංස්කෘතික වෙනසක් (හොඳ හෝ නරක
) වෙනුවෙන් ආයෝජනය කරලා ඒ වෙනස තමන්ගෙ වෙළඳපොල කර ගන්න එක. වෙළඳපොලක් ඇති කිරීම කියන්නෙ මට අනුව නෙගටිව් දෙයක් නෙමෙයි. ඒත් ඒක නිකම්ම පොලක් නොවෙන්න  ඕන. සංස්කෘතික ආයෝජනයක් සිද්ද වෙන්න  ඕන කියන අදහස. ලස්සන බොරුවක් වෙනුවට ඇත්තක් ලස්සන කරන එක.

ඉස්තෙබාන් එයා දන්න සටන් කලාව ඇතුලෙන් එයාගෙ අදහස පැහැදිලි කරන්න ට‍‍රයි කළා.
‘මචං මං ආසම ෆයිටර් කෙනෙක් ඉන්නවා ෂෝගන් රුආ කියල. ඌ මාර කැපවීමකින් ඒ වැඬේ කරන්නෙ. උගේ ලයිෆ් එකම ෆයිටින්. ඌත් එක්ක ෆයිට් කරන්න වැටුණා ජොන් ජෝන්ස් කියල එක්කෙනෙක්. එයා එච්චර ඩෙඩිකේටඞ් නෑ. ඒත් ඇ`ගපත පට්ට ලොකුයි. අත් දෙක දිග ඇරියම අඩි හතක් විතර. ඉතින් මේ දෙන්නා ෆයිට් කරලා චැම්පියන් වුණේ ජොන් ජෝන්ස්. ඒක අපි කලින්ම දන්නවා මචං. ඒක බේස් එක විදිහට බාර ගන්න  ඕන. ෂෝගන් කොච්චර ට්‍රයි කළත් අර යකා උගේ ඉපදෙන කොට ආපු දේවල් හින්ද ඌ දිනනවා. එතකොට උත්සාහවන්තයා ජයගනී වගේ කතා බොරු මචං. ඒවා හින්ද මිනිස්සු වේස්ට් වෙනවා. අපි හිතන ස්ටයිල් එක මාරු කරන්න  ඕන’

ඉස්තෙබාන් කියන්නෙ ඒ වගේ බොරු වෙනුවට ඇත්ත බාර ගන්න තරමට අපි ලොකු ළමයි වෙන්න  ඕන කියල. ඒක ලස්සන අදහසක්. තව ටික ටික පැතිරෙන්න වටිනවා.

-චින්තන ධර්මදාස

Friday, November 23, 2012

හිට්ලර් ට මං ආසයි


වැලිකඩ හිරගෙට පැනලා රැුඳවියො එක්ක එස්ටීඑෆ් එක ඇති කර ගත්ත ගැටුම හින්ද තිහකට ආසන්න ගානක් මැරුණ. මත් පෙති බීලා, ආයුද ගබඩා කඩලා, රත්තරං හොරකං කරලා ආදී දාහකුත් දේවල් කියල ආණ්ඩුව මීඩියා වලින් ජනතාවට ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය’ කියන පාඨය අමතක කළා.

‘ඔක්කොමටම තියල දාවි’ වහල උඩ නැගලා නටන හිරකාරයො දිහා බලාගෙන ජනතාව ටීවී ඉස්සරහ ඉඳන් කිව්වා. මගේ ඇ`ග හිරි වැටුණ. අපි මිනිස්සු ටිකක් දිහා වෙඩි තියලා දාන කං බලාගෙන ඉන්නවා.
‘ඔක්කොම අපරාධකාරයොනෙ. ඉවරයක් කරපු එක හොඳයි’

තියල දැම්මට පස්සෙ ජනතාව සැහැල්ලූ වුණා. හිර ගෙදරට ආයුධ අරගෙන සන්නද්ධ හමුදා ඇතුල් වීම කොයි තරම් නීත්‍යානුකූලද කියලා ජනතාවට වැදගත් වුණේ නෑ.

‘ඔහොම ඉවරයක් කළේ නැත්තං නඩු කියලා උන් එලියට එනවා’

තවත් සමහරු රේඩියෝ චැනල් වලට කෝල් කරලා පවා කිව්වා. හිර ගෙදර ද`ඩුවම් විඳින අයට තුවක්කු දික් කිරීම හා ඒක අනුමත කිරීම හරහා තමනුත් හිරගෙදර සිටිය යුතු අපරාධකරුවන් ගොඩට වැටෙනවා කියන එක දැනෙන්න හෘදය සාක්ෂියක් සිංහල බෞද්ධ ජනතාවට තිබුණෙ නෑ. සුනිල් පෙරේරා කියනවා වගේ හරක් මරනවට විරුද්ද සිංහල බෞද්ද ජනතාව වැලිකඩ තමන්ගෙ ඇස් ඉස්සරහ හිරකාරයො මරනවට විරුද්ද වුණේ නෑ. සමාජ ශෝධනයක් විදිහට ඒක බාර ගන්න මීඩියා වලින් ආණ්ඩුව කරන ප‍්‍රබන්ධයට ඒ ජනතාව කැමැත්තෙන් එක`ග වුණා.
සාපරාධී සමාජයක්....අපි ජීවත් වෙන්නෙ ඒකෙ.

හරි පුදුම රටක් මේක. නීතිය විතරක් නෙමෙයි හැම විධිමත් ආකෘතියක්ම බිඳහෙලනවට රටේ ජනතාවම පක්ෂයි. මෙතනදි ආණ්ඩුව විසින් ජනතාව බොරුවක් කියලා රවට්ටනවා නෙමෙයි. ජනතාවම තමන්ගෙ සාපරාධී මනස මුවා කර ගන්න මොකක් හරි බොරුවක් ඉල්ලා සිටිනවා. ඒ බොරුවට වහන් වෙලා තමන් කැමති විදිහට තමන්ගෙ ත‍්‍රිල ගන්න පුළුවන් හින්ද.

හරියට මිනිමැරුම්, දූෂණ ගැන විස්තර කියවනවා වගේම. ‘බලන්නකො මෙහෙමත් අපරාධ’ කියලා සම්මුතියට කිව්වට පුදුම ආතල් එකක් අපරාධයක් වුණාම. මේක තමයි ලාංකේය ජනතාවගේ ඇත්ත. නිකං ජනතාව විතරක් නෙමෙයි මට මුණගැහුණු ප‍්‍රවීණ සිනමාකරුවො කලාකරුවො පවා හිරකාරයොන්ට වෙඩි තැබීම අනුමත කරද්දි මාව හිරිවැටිලා ගියා. මේ රටේ අපි ආර්ට් කියලා බලන් ඉන්නෙ ඒ වගේ අය කරන වැඩ.

ෆේස් බුක් එකේ වීරත්වයෙන් තුවක්කු අරන් ඉන්න රැුඳවියන්ව ෂෙයාර් කරපු අයත් හිරකාරයන්ට වෙඩි තැබීමේ සමාජ ශෝධනය පිළිගත් අයත් එකම දෙයක් බෙදා හදා ගනිමින් හිටියා. ඒ එකම අපරාධකාරී ත‍්‍රිලක්. ත‍්‍රීවිල් ඇතුලෙ තෙරපි තෙරපි වෙඩි වැදුණු මිනිස්සු දැක්කට ජනතාව බය වුණේ නෑ. තමන් ජීවත් වෙන අනාරක්‍ෂිත අනීතික වටපිටාව ගැන ත‍්‍රාසයක් වෙනුවට එකම පාතාලයක් විදිහට හැමෝම ඝාතනය රස වින්දා. රෙස්ලින් වීඩියෝ පෝලිමේ ඉඳලා බලන සාමාන්‍ය ජනතාවක් අපිට ඉන්නෙ. ඒ ජනතාව විසින් ඡුන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවක් රට කරන්නෙ. ඒ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු අපරාධකාරයො ටිකක් හිරේ හිටියෙ.

මට ඩැනියෙල් ජොන්ස්ටන්ව මතක් වුණා.


zI was living in a Devil Town
Didn't know it was a Devil Town
Oh, Lord, it really brings me down 
About the Devil Town 

And all my friend were vampires 
Didn't know they were vampires 
Turns out I was a vampire myself 
In the Devil Town

හිර ගෙදර ඇත්තට වුනේ මොකක්ද කියලා හිරකාරයොයි ආණ්ඩුවයි ඇරෙන්න කවුරුවත් දන්නෙ නෑ. ඒ වෙනුවට හිර ගෙදර තාප්පෙට වඩා උස ප‍්‍රබන්ධයකින් සිද්ධිය නීතියට වඩා ඉහලින් සාධාරණියකරනය වුණා. ඒ ප‍්‍රබන්ධ තාප්පෙන් එබෙන්න කාටවත්  ඕන නෑ.

යූ ටියුබ් එකේ තිබිලා හිට්ලර් සහ ඇන්ටාර්ක්ටිකාව ගැන ඩොකියුමෙන්ටරියක් බැලූවා. ඒක රුසියානුවන් කරපු එකක්. හිට්ලර් සතුව ඇන්ටාර්ක්ටිකාවේ බලකොටුවක් තිබුණු බවත් පාවෙන පීරිසි පවා හිට්ලර් විසින් යුද්දෙදි පාවිච්චි කරපු බවත් ඒ ගොල්ලො යම් යම් සාක්ෂි උඩ පෙන්නනවා. හිට්ලර් අභ්‍යවකාශ ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න පවා උත්සාහ දරනවා. ඒක හුදෙක් කුමන්ත‍්‍රණ න්‍යාය උඩ ගොඩ නැගිච්ච ප‍්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඒත් ආදි කල්පික මිත්‍යාවන් විද්‍යාව තුලින් ගවේෂණය කරමින් හිට්ලර් විශාල මිනිස් ශක්‍යතාවයක් නිර්මාණය කරන්න ගත්ත වෑයම ඒ ඩොකියුමෙන්ටරිය ඇතුලෙ දැනෙනවා. ශිෂ්ටාචාරයන් විසින් අත්පත් කරගත් සමස්ත මිනිස් දැනුම තමන් නතු කර ගන්නත් ඒක පාවිච්චි කරන්නත් හිට්ලර් ගන්න වෑයම විශිෂ්ටයි. අභ්‍යවකාශයට යානා යවන්න පවා එයා පර්යේෂණ කරනවා. ලෝකයේ හොඳම දැනුම තියෙන පුස්තකාල කොල්ල කනවා. ඒත් අපි හිට්ලර් ගැන දන්නෙ ලෝකය යටත් කර ගන්න ගිය අපරාධකාරයෙක් විදිහට විතරයි. ඒ ගැන පොසිටිව් චිත‍්‍රපටියක් හැදුවා කියලා ලාර්ස් වොන් ටි‍්‍රයර්ව කාන් සිනමා උළෙලෙන් පවා එලියට දානවා. මට ඒ වාර්තා චිත‍්‍රපටිය බලද්දි දැණුනෙ හිට්ලර් ගැන අපි දන්නෙත් වැලිකඩ ගැන වගේම ප‍්‍රබන්ධයක් නෙමෙයිද කියල.

මේක ටිකක් විසංවාදී ගොඩනැංවීමක් වෙන්න පුළුවන්. වැලිකඩ ප‍්‍රවෘත්තිය එක්ක ඒකාධිපති ආණ්ඩුව කියන තැනට ගොනු වෙනවට වඩා ඒකාධිපතියෙකුගෙ දුෂ්ට නොවන අන්තයක් ගැන කතා කරන එක. මහින්ද වගේ චරිත වලට හිට්ලර් කියනවට මං විරුද්දයි. හිට්ලර් කියන්නෙ ඇත්තට දැවැන්තයෙක්. නීට්ෂේ විසින් කියන සුපර් මෑන් හොයාගෙන ගිය මිනිහෙක්. යුදෙව්වො මැරුවා, රටවල් යටත් කර ගත්තා වගේ අපේ උතුරෙ දෙකයි පනහෙ යුද්දෙ වගේ තැන් වලට සාපේක්ෂ නොකර ඊට වඩා නිර්මාණශීලී තැනකින් හිට්ලර්ව ගන්න සිද්ද වෙනවා. එයා උත්සාහ කරන්නෙ අලූත් ශිෂ්ටාචාරයකට. ඒක ස්විස් ගිණුම් සහ පුද්ගල බල ව්‍යාපෘතියකට වඩා පුළුල් අරමුණක්. ඒත් හිට්ලර් ගැන අපාරධකාරයෙක් සහ තහනම් මිනිහෙක් කියන ප‍්‍රබන්ධ තාප්පෙට උඩින් හිට්ලර් දිහා බලන්න කාටවත් උවමනා නෑ.

ඒත් හිට්ලර් විසින් අත්පත් කර ගත් මේ තාක්‍ෂණික දියුණුව බලවත් රටවල් විසින් කොල්ල කනවා. රුසියානුවන් මේ කරන ඩොකියුමෙන්ටරියෙ පවා ඒ ඇත්ත බෙදා ගන්නවා කියලා මං විශ්වාස කරන්නෙ නෑ. දුෂ්ටත්වය කියන්නෙ ලෝක ප‍්‍රජාවට ඒ සැබෑ ජර්මානු කලාපයට ඇතුල් වීම වළක්වන ප‍්‍රබන්ධය. ඒ දැනුම යළි ලෝකයට බෙදී යාම වෙනුවට රහසින් තමන් නතු කර ගැනීමේ බල සැලැස්මක් වෙනුවෙන් ඒ ප‍්‍රබන්ධය වැඩ කරනවා. හරියට වැලිකඩ හිරගෙදර සිද්දියෙදි වගේම.

අපි ජීවත් වෙන්නෙ ඒ වගේ ප‍්‍රබන්ධ විශ්වයක. පුද්ගලයා වෙනුවට අදහසක් කියන තැනින් අපි ගණුදෙනු පටන් ගන්න  ඕන කියලා මං කලින් කියපු කතාවකට මගෙ යාලූවෙක් විරුද්ද වුණා.
‘මට නං කියන පුද්ගලයා ඒ වෙනුවෙන් පෙනී ඉන්න  ඕන’ එයා කිව්වා.
‘පුද්ගලයා කියන කෙනා දැනගන්න අපිට විදිහක් නෑ. අපි දන්නෙ අදහසක් විතරයි’ කියන එකයි මගේ අදහස වුණේ.
‘කොටින්ම පුද්ගලයා අදහසක් වෙනුවෙන් පෙනී ඉන්න  ඕන කියන එකමත් ඒ විදිහෙ ප‍්‍රබන්ධයක්’ මං පැහැදිලි කළා. ඒ හැම දෙයක්ම ප‍්‍රබන්ධයක්, තත්වයක් හෝ අදහසක් කියන තැනින් ගන්නෙ නැතුව ඇත්තක්, යතාර්ථයක් කියන තැනින් ගත්තොත් අපි වෙන කෙනෙකුගෙ ප‍්‍රබන්ධයක් ඇතුලෙ චරිත විතරක් වෙනවා. අපිට සිද්ද වෙනවා අපි සාමාන්‍ය සහ ස්වභාවික කියලා පිළිගත් හැම ධර්මතාවයක්ම ආයිමත් පරීක්‍ෂා කරන්න. වීරයින් සහ දුෂ්ටයින් විතරක් නෙමෙයි ආධ්‍යාත්මික මාර්ග පවා සමාජ අර්ථයන්ගෙන් ප‍්‍රශ්න කරන්න. ඒ හැම දෙයක්ම ජීවිතේට එබෙන්න අපිට බැරි කරන තාප්ප හින්ද. ඒ තාප්ප ඇතුලෙ පාදඩයන් සහ කපටින් ජාවාරම් කරමින් ඉන්න හින්ද.

‘ඒකට ෆයිට් කරන්න  ඕන නැද්ද?’ එතකොට මගේ යාලූවා ඇහුවා.
‘කා එක්ක ෆයිට් කරන්නද? මට විරුද්ධ වෙන්න වෙලා තියෙන්නෙ මං එක්කමයි. මාව විසංයෝජනය කරලා නැවත මගේ නිර්මාණයක් විදිහට හදා ගන්න එකයි තියෙන චැලෙන්ජ් එක’
කොච්චර කිව්වත් මං කියන තැන බාර ගන්න මගේ යාලූවට පුළුවන් වුණේ නෑ. ඒක එකපාරට දැනෙන්නෙ අරාජිකත්වයක් වගේ තැනකින්. ජීවිතයක් නෑ වගේ තැනකින්.

ඒත් ඒ ජීවිතය ගැන අදහස කාගෙ හරි ප‍්‍රබන්ධයක් නම් මං ජීවිතය කියලා බාර ගනිමින් ඉන්නෙ ඒ කවුරු හරි දැනුවත්ව නිර්මාණය කරපු සහ නිර්මාණය කරමින් ඉන්න දේ නම් තත්වය ඇත්තට ඊට වඩා අරාජික වෙනවා.

ඇමරිකානුවන්ගෙ හඳ ගමන වගේම ලංකාවෙ දෙමළා ගැන ප‍්‍රබන්ධයත්, ආසියාවේ ආශ්චර්යය බවට පත්වීමේ නවකතාවත් අපේ ඇත්තේ සීමාවල් සළකුණු කරනවා.

කමක් නෑ. ප‍්‍රබන්ධයක් ඇතුලෙ ජීවිතය ඒ තරම් නරක නෑ යුරෝපයේ වගේ රටක නම්. ඒත් මෙහේ ඒ ප‍්‍රබන්ධය ඇතුලෙ අපිට තියෙන්නෙ අපරාධකාරයන්ගෙ චරිත. ඒක කරනවද නැද්ද කියල කල්පනා කරන්න අඩු ගානෙ ස්ක‍්‍රිප්ට් එකවත් කියවන්න  ඕන කියලයි මං කියන්නෙ.

-චින්තන ධර්මදාස

Monday, November 12, 2012

වීරයන් සඳහා ඇබෑර්තු ඇත.

මගේ ජීවිතේ වීරයො ඔක්කොම බලාගෙන ඉද්දි කුණු වෙලා ගියා ළුනු ගෙඩි වගේ. වීරයෙක් අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ කෙලවරකට එනවා. කෙනෙක් ඇතුලෙ වීරයෙක් කියන්නෙ ජීවිතේ පැත්තෙන් හදා ගත්ත ආදර්ශ පාඨයක් වගේ. දුෂ්ටයෙක් කියන්නෙ පාපය, මරණය. අපි නොදන්න ගොඩක් දේවල් අපි අපේ වීර චරිත ඇතුලෙ තැන්පත් කරලා තියෙනවා. ලංකාවෙ ඒ චරිත මැරෙනවා නෙමෙයි. කුණු වෙලා යනවා. ඒකයි ඛේදවාචකය. සාංදෘෂ්ටික තනිකමක් දැනෙන්න ගන්නවා එතනදි. හිස්.

සමාජයක් විදිහටත් අපි වීරයෝ අහිමි ජාතියක්. ඒක පුද්ගලික තැනකට වඩා භයානකයි. වීරයෝ නැති හිස්කමට වඩා අපි දුෂ්ටයන්ගෙන් පිරිච්ච චිත‍්‍රපටියක ජීවත් වෙන්නෙ. වීරයෝ නැති දුෂ්ටයෝ විතරක් ඉන්න සමාජයක් කියන්නෙ සතුටු වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. අපිට වීරයො නැති වුණේ හරි ලස්සන විදිහට. යුද්දෙත් එක්ක අපිට වීරයෝ බුරුතු පිටින් බිහිවුණා. වෙන විදිහකට කිව්වොත් මාධ්‍ය වලින් තොග පිටින් බිහි කළා. ඊට පස්සෙ යුද්දෙදි ඒ වීරයෝ ගොඩක් මැරුණ. යුද්දෙන් පස්සෙ ඉතුරු අයගෙ වීරත්වය කැන්සල් කළා.

දෙදාස් පන්සීයක් පුරා අපිට හිටපු අසහාය වීරයාත් මේ කාලෙදි අහිමි වුණා.  බුදුන් යනු මහින්ද ගේ ලේ ඥාතියෙක් වග ජැක්සන් ඇන්තනි ජනතාවට හෙළිදරව් කළා. ඒක භෞතිකව ඇත්ත නැත්ත කොහොම වුණත් මතවාදීමය විදිහට නම් ඒ දේ සිද්ද කරමිනුයි තිබුණෙ. බෞද්ධකම ආධ්‍යාත්මික තැනින් ගැලවිලා ඇවිත් අධිපති බලය, දේශපාලනය වගේ තේරුමකින් කඬේ යන්න ගත්තා. සමස්ත වීර ඉතිහාසයම බිඳ වැටෙද්දි දුෂ්ටයො පැටව් ගහන්න ගත්තා. හැම මාධ්‍යකින්ම දුෂ්ටයන් නිෂ්පාදනය වුණා දිනපතා. පැයෙන් පැයට.
අපි සුපර් හීරෝ කෙනෙක් විදිහට තෝර ගත්තෙ රාවණා වගේ චරිත. ඉන්දියාවෙ ලියවුණු රාමායණයට අනුව රාවණා කියන්නෙ පාදඩයෙක්. දුෂ්ටයෙක්. අනුන්ගේ ගැහැණු බලෙන් පැහැරගෙන යන අධමයෙක්. ඒත් අපි ඉන්දියානු කෘතියට අපේ අරිසෙන් අහුබුදු වර්ගයේ අර්ථකතන නිර්මාණය කරමින් (ලංකාවෙන් සමස්ත ලෝකයම පරිණාමය වුණා කියනවා වගේ) ඒවා අදහමින් රාවණා වීරයෙක් කරන්න ට‍්‍රයි කරනවා. ඒ රාවණාගේ ගෑණු හොරකම අපි නොනිල ජීවිතයේදී එක`ග වීර ක‍්‍රියාවක් හින්දද? 

බටහිර රටවල වගේ අපිට පරිකල්පන අවකාශය විශාල කරන ජීවිතය ගැන බලාපොරොත්තු දනවන වීරයෝ නැත්තෙ ඇයි? ඒ අපි වඩාත් පරිණත ජීවිත ගත කරන්නන් නිසා කියල හිතාගෙන සැනසෙන්න බැරි ඒ වෙනුවට අපි නිර්මාණය කරමින් ඉන්න දුෂ්ටයන්ගෙ තරම හින්ද. මට හිතෙන්නෙ වීරයන් නැති සමාජයක දුෂ්ටයන්ගෙ මේ බෝවීම අනතුරුදායකයි. අපි එක්තරා කෙලවරකට ඇවිත් ඉන්නෙ. සියලූ වීරයන් ඝාතනය කරනවා. එතකොට ඉතුරු වීරයො සියදිවි නසා ගන්නවා. රට රාවණාකරණය වෙනවා. දුෂ්ටත්වය වීරත්වය බවට රූපාන්තරණය වෙනවා.

අවාසනාවන්ත විදිහට අපිට වීරයන්ගෙ උරුමයක් නෑ. නොමැරෙන පරිකල්පනීය සදාතනික වීරයො නිර්මාණය කර ගන්න අපිට තාම බෑ. සුපර් මෑන් ලා බැට් මෑන්ලා අපිට නෑ. ඒත් ‘බේන්ලා’ ‘ජෝකර්’ ලා ඉන්නවා.

මෑතක ෂූට් එකකදි පොඩි ඉඩක් අතරෙ චන්න අයියා එක්ක චැට් එකකට වැටුණ. පතිරාජ එල් එස් දයානන්ද ගැන ලොකු විස්තරයක් ඇදිලා ආවා. පොඩි නාට්‍ය කීපෙකින් දැන ගත්ත නළුවෙකුට වඩා ලොකු ඉඩක් මගේ ඇතුලෙ නොතිබුණු පතිරාජ එල් එස්ගෙ විශාලත්වය මාව පුදුම කළා. සෙලීනාගෙ වලව්ව, ජෝඩු වළලූ වගේ චිත‍්‍රපටි කතා චන්න අයියා මතක විදිහට කියද්දි ඇගේ හිරිගඩු පිපෙන තරම්.

‘චිත‍්‍රපටි භාෂාවෙ අරවයෙ මේවයෙ අඩුපාඩු ඇති. ඒත් මේ වගේ දේවල් කතා කරන්න තරම් මිනිහගේ තිබ්බ ඇත්ත සමාජ දැනුම අගය කෙරුනෙ නෑ’

චන්න අයියා කිව්වා. උදා විදිහට සෙලීනගෙ වලව්ව කියන්නෙ මුඩුක්කුවක පැලක්. ඒ පැල අයිති සෙලීනාට. එයා වයසට යද්දි දරුවන්ට මේක බෙදෙනවා. දෙන්නෙකුට හැරෙන්න ඉඩ නැති පොඩි ගෙදර බෝඞ් එකකින් දෙකට බෙදෙනවා. පරිප්පු දීසියක් එහෙම දෙන්නෙ ඒකට උඩින්. මේ බෙදිල්ල හින්දම පවුල් අතරෙ ආරවුල්. සෙලීනා මිදුලට බැහැලා බලන් ඉන්නවා. අන්තිමට මේ මුඩුක්කු ටික නගර සංවර්ධනය වෙනුවෙන් කඩලා ඉවත් කරන්න තීරණය වෙනවා....

මේ ප්ලොට් එකම මරු. ජෝඩු වළලූ කියන්නෙ එක මාංචුව වැටිලා ඉඳිද්දි හිරෙන් පනින උන් දෙන්නෙක්ගෙ කතාවක්. අඩුම තරමෙ වෙනස් විදිහක කතා තේමා වලට ගිය චිත‍්‍රපටිකරුවෙක් විදිහටවත් පතිරාජ එල් එස්ව අපේ සිනමා වංස කතාවෙ ලියවෙන්නෙ නෑ. ලෙස්ටර්, පතිරාජ වගේ එයාව සම්භාව්‍ය කාණ්ඩෙට වැටෙන්නෙ නෑ. මේ චිත‍්‍රපටියක් අමාරුවෙන් හොයා ගන්නවත් නෑ.

පතිරාජ එල් එස් දයානන්ද වගේ චිත‍්‍රපටිකරුවො ගැන අපේ සිනමාවෙ බරක් දීලා කතා නොකරන එක පංති ප‍්‍රශ්නයක්. ලෙස්ටර් ලා වගේ මැද පංතියකට අයිති සිනමාවට ගොඩවෙන්න සුදර්ශියෙ රස්තියාදු වෙන පතිරාජ එල් එස් ලට ඉඩක් නෑ. චිත‍්‍රපටි හදන්න පුළුවන්. ඒත් ඒවා නොහදපු ගාණට යට යනවා. එලිපිට නොකිව්වත් අපේ රටේ සිනමාකරුවෙක් වීම කියන ආශාව පිටිපස්සෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ නිර්මාණාත්මක ප‍්‍රකාශනයකට වඩා පංති උවමනාවක්. අර මධ්‍යම පංතියට ගොඩවීමේ හීනමානය ඉස්සර කර ගත් ආශාවක්. තමන්ගෙ ප‍්‍රකාශනය වෙනුවෙන් තමන්ගෙ භාෂාව නිර්මාණය කර ගන්නා සිනමාකරුවන් වෙනුවට කලින් පාවිච්චි කළ සම්භාව්‍ය යැයි සම්මත භාෂාවෙන් ඒ වගේම කතාවක් කියලා ගොඩ යන්න හදන ගිරා සිනමාකරුවන් විතරක් අපිට ඉන්නෙ මේ ඇත්ත හින්ද. මේ පාංතික සිහිනයට එහෙම පංතියක් නැති පාදඩයන්ට ගොඩවෙන්න දොරවල් නෑ. අපේ සිනමා ඉතිහාසයත් රටේ ඉතිහාසෙ වගේමයි. මකපු තැන් ගොඩයි.

ආයිත් පාරක් ඔබාමා ඇමෙරිකාවෙ ජනාධිපති වුණා. ඔබාමාගෙ ලස්සන පිංතූර ටිකක් නෙට් එකේ දාලා තිබුණ. බලාගෙන යද්දි ඔබාමායි මහින්දයි සංසන්දනය වුනේ නොදැනිම. මහින්ද ළමයි අරන් උඩ විසි කරද්දි ඔබාමා ළමයින්ගේ ගාණට පාත් වෙලා ඔලූවට ඔලූව තියනවා. එයා අයිස්ක‍්‍රීම් කනවා. රැවුල නැති හින්ද අවුලක් නෑ. ඔබාමාට පුළුවන් කුණු අදින මිනිහෙකුටත් පහක් දාන්න. ක්ලබ් වලදි එයාට වඩා උසමහත මිනිස්සු දෑත බදලා ඔබාමාව උස්ස ගන්නවා. එයා බිරිඳත් එක්ක එලිපිට ආදරේ කරනවා. ගෙදර පඩිය උඩ ඉඳගෙන පවුලෙ අය එක්ක කතා බහ කරනවා. හු`ගක්ම ලස්සන පොඩි ළමයි එක්ක එයා මුහු වෙන විදිහ. මහින්දට එලිපිට කරන්න බැරි ගොඩක් දේවල් ඔබාමාට කරන්න පුළුවන්. කොටින්ම අපේ ජනාධිපති කියලා පිංතූර වලින් නිර්මාණය කරන්නෙ මොකද්ද අසාමාන්‍ය විපරීතයක්. ඒත් ඔබාමා වෙනුවෙන් නිර්මාණය වෙන්නෙ හැම පැත්තකින්ම පරිපූර්ණ මනුස්සයෙක් කියන ප‍්‍රතිරූපයක්. තරුණ කෙල්ලො එක්ක උණුහුමෙන් කතා බහ කරන එක පවා ඒ ජීවිතේ කොටසක්. ඒත් අපේ රටේ ජනාධිපතිවරයෙකුගෙන් රටේ ජනතාව ඉල්ලන්නෙම සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්. බොරුවක්. හින්දි චිත‍්‍රපටියක්.

ඔබාමා දින්නට පස්සෙ ඇමරිකාවෙ වඩා හොඳ දවස් එළඹෙන්නෙ ඉස්සරහට කියල කිව්වා. එයාගෙ රිපබ්ලිකන් තරගකාරයා වුණු මිට් රොම්නි පරාජය බාර ගත්ත විදිහත් හරිම උණුසුම්.

‘ඇමරිකාවට ඉස්සරහට තියෙන්නෙ දුෂ්කර ගමනක්. ඒ ගමන යන්න ඔබාමාට ශක්තිය ලැබෙන්න කියලා මං යාඥා කරනවා’ මිට් රොම්නි කිව්වා. එයා ඇවිත් ඔබාමාව උණුහුමෙන් වැළඳගත්තා. අපේ රටේ කරන මූනිච්චන් අතට අත දීම වගේ නෙමෙයි. පැරදිච්ච ගමන් හොර ඡුන්ද හරි වෙන මොකක් හරි කතාවක් කිය කිය කුහකකමෙන් පැලෙන අපේ රටේ මිනිස්සුන්ට වඩා ඇමරිකාව වෙනස්. ඒ මිනිස්සු සංස්කෘතියක් වෙනුවෙන් වග කියනවා.

ඇත්ත මොකක් වුණත් නිර්මාණය කරන සංස්කෘතියයි වැදගත්. ලංකාවෙ යුද්දෙදි දෙමළ මිනිස්සු මැරුණද වගේ කාරණේකදි වුණත් ඇත්තට වඩා ඊට පස්සෙ ඒ වෙනුවෙන් යෝජනා කරන සංස්කෘතියයි වැදගත් කියලා මං කියන කතාව ගොඩක් අයට තේරුණෙ නෑ. අපි යුද්දෙන් පස්සෙ සහෝදරත්වයෙන් වැළඳගන්නා සංස්කෘතියකට නෙමෙයි ගියේ. සාපරාධී සංස්කෘතියක් අපි ජයග‍්‍රාහී විදිහට බාර ගත්තා. ආණ්ඩුව සහ මාධ්‍ය නිර්මාණය කළේ ඒක. ඝාතන ගැන විමසීම් එන්ජී ඕ කුමන්ත‍්‍රණ විදිහටයි බාර ගත්තෙ. වීරයන්ගේ වෙනුවට දුෂ්ටයන්ගෙ සංස්කෘතියක් අපි නිර්මාණය මහා පරිමාණයෙන් නිර්මාණය කළා. තමන්ට ද`ඩු මොනරෙ හදලා දුන් වඩුවාත් මැරූ රාවණා තමයි පොර.

ඇත්තට සිද්ධියක් විදිහට සිද්ද වෙන දේට වඩා ඒ සිද්ධිය බාර ගන්න නිර්මාණය වෙන සංස්කෘතියයි සමාජ ප‍්‍රකාශනය වෙන්නෙ. අපි එතනදි රටක් විදිහටම නිර්මාණය කරන්නෙ අරාජිකත්වයක්. බලාපොරොත්තු සහගත තත්වයක් නෙමෙයි. ඔබාමා රොම්නිව උණුහුමෙන් බදා වැළඳ ගනිමින් ජයග‍්‍රහණය සමරද්දි අපේ රටේ ප‍්‍රතිඵල නිකුත් වුණු වහාම ප‍්‍රතිවාදියාව බෙල්ලෙන් අල්ලන් ගිහින් හිරේ දානවා. ඊට පස්සෙ අවුරුදු ගාණක් එහාට මෙහාට වෛරය හුවමාරු වෙනවා. මේ තමයි අපි අත්දකින සහ අත්විඳින සංස්කෘතිය වෙන්නෙ. වීරයො වෙනුවට ජයග‍්‍රහණයේදී පවා අපේ රටේ නිර්මාණය වෙන්නෙ දුෂ්ටයො. ඒ අපේ ඉතිහාසෙම හැටි. දුටුගැමුණු එළාරව මරපු එක මිස දෙමළ මහා සෑය හදපු එක නෙමෙයි උඩට ආපු සංස්කෘතික කාරණය වුණේ. රොහාන් පෙරේරා ඉස්සර කියනවා වගේ අපේ රාජාවලිය කියන්නෙම චණ්ඩින්ගෙ ඉතිහාසයක්.

ඒ වගේ සංස්කෘතික උරුමයක් එක්ක අපි දිගටම භයානක හීනයක් ඇතුලෙ ජීවත් වෙන්න ගන්න එක අනිවාර්යයක්.

-චින්තන ධර්මදාස

Thursday, November 8, 2012

IDEA!


උදේ පාන්දර ටීඑන්එල් එකේ ඇඞ් එකක් යනවා. වික්ටර් රත්නායක සිගරට් අරක්කු නොබොන එක ගැන. ඒ දේවල් අත්ඇරියට කිසිදෙයක් වෙනස් වුණේ නෑ කියල එයා කියනවා. මට හරියට දුක හිතුණ. ඒත් එක්කම මතක් වුණා අජිත් කුමාරසිරි හැමතිස්සෙම කියන කතාවක්.

’මචං ගායකයො කියන්නෙ උගුරෙ කඩයක් දාගෙන ඉන්න උන්. උන් විකුණන්නෙ උන්ගෙ බඩු නෙමෙයි’
වික්ටර් ඇතුළු ලංකාවෙ හු`ගක් ගායකයන්ට මේ කතාව අදාලයි. පේ‍්‍රමකීර්ති අල්විස් වගේ මනුස්සයෙක් ලියපු වචන කියපු මිනිහෙක් කියනවා අරක්කු සිගරට් නොබිව්වාට නැති වෙන දෙයක් නෑලූ. නැති වෙන දෙයක් නෑ නෙමෙයි. නැති වෙන දේ පේන්නෙ දැනෙන්නෙ නෑ. මොකද ඒ නැති වෙන්නෙ ජීවිතය හින්ද. මං සිගරට් වලටවත් අරක්කු වලටවත් කොහෙත්ම පක්ෂපාත නෑ. තමන් බොන එකේ ගාන වැඩි කරන එක පවා හොඳක් කියල පිළිගන්න දුක්ඛිත ජනතාවක් තමයි ලංකාවෙ සිගරට් අරක්කු බොන්නෙ. පේ‍්‍රමකීර්තිලා, සේකරලා වගේ ඒ අක්මා පෙනහළු දියවෙමින් වුණත් අත්විඳින ජීවිතය ගැන දැනගෙන හිටපු කීපදෙනෙක් ඇරුණම. මත්වීම සහ දුම් පානය කියන්නෙ ආධ්‍යාත්මික ප‍්‍රකාශන. ඒවා සෞඛ්‍යමය නොවෙන්න පුළුවන්. ඒත් ආර්ටිස්ට් කෙනෙක්ගෙයි මලල ක‍්‍රීඩයෙක්ගෙයි අතරෙ වෙනසක් තියෙන්න  ඕන.

වයසට යමින් ලියන අයගෙන් කියවන්න පුළුවන් අතලොස්සෙන් සුනිල් මාධව එක්කෙනෙක් වෙන්නෙ මේ හින්ද. වික්ටර් වයසට ගියාම සිංදු කියන්න බැරි වුණා. කියන සිංදු අහන්න හරි අමාරු වුණා. මේ පත්තරේම එහා පිටුවක සුනිල් මාධව ලියන ජීවිත කතාවට මං ඇබ්බැහි වුණේ ඒ අදහස් මතවාද එක්ක මං සමගාමී හින්ද නෙමෙයි. තාම හුස්ම ගන්න සද්දෙ ඒ වචන පේලි මැද්දෙ ඇහෙන හින්ද. එහෙම හුස්ම ගන්න ලිපි කියවන්න හම්බුවෙන්නෙ කලාතුරකින්.

වික්ටර් ගැන හිත හිත මං ලිපිය ලියන්න වාඩි වෙලා ඉන්නවා. ‘කල්ට්’. ඒ මේ පිටුවෙ නම. ඒක පරාගෙ ප්‍රෝග‍්‍රෑම් එකට දැම්මා කියලා ගොඩක් අය මාව විනය පරීක්‍ෂණ කරනවා. ඒත් මට ඒ ප‍්‍රශ්නෙ තේරුම් ගන්න අමාරුයි. කල්ට් කියන්නෙ මං හදපු නමක් නෙමෙයි. ‘සීනි දියවුණාට ගෝනි දියවෙන් නෑ’ කියන්නෙ ත‍්‍රීවීල් එකක පිටිපස්සෙ අලවලා තිබුණ ස්ටිකර් එකක්. මේක මං එක විදිහක අදහස් රාමුවක් ඇතුලෙ පත්තර පිටුවක එකට පාවිච්චි කරනවා. පරා ඒක ප්‍රෝග‍්‍රෑම් එකේ වෙන විදිහකට පාවිච්චි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳ දෙයක්. අන්තර්ගතයෙන් නම තීරණය වෙනවා මිසක් නමෙන් අන්තර්ගතය තීරණය වෙනවා කියන ඉස්කෝලෙට මං විරුද්දයි.

කල්ට් කියන නම ටීවී එකක දාන එකමත් මට නං ලොකු වැඩක්. මං කල්ට් කියන එක මෙතන පාවිච්චි කරන අර්ථයෙන්ම පරාගෙ ප්‍රෝග‍්‍රෑම් එකෙත් පාවිච්චි වෙන්න  ඕන කියල හිතන එක තේරුමක් නැති අදහසක්. එකම නමකින් නෙමෙයි එකම අත්සනකින් ආවත් තමන්ට අවශ්‍ය අදහස් විතරක් කියවන්න තරම් වැඩිහිටිකමක් මං ලියන දේවල් කියවන කෙනෙක්ගෙන් ලියන්නෙක් විදිහට මං අපේක්‍ෂා කරනවා. නැත්තං මං බ‍්‍රෑන්ඞ් එකක් වෙනවා. බ‍්‍රෑන්ඞ් එකකට තියෙනවා පොරොන්දුවක්. එකම දෙයක් දිගටම නොවෙනස් විදිහට කරගෙන යන්න. ඒත් මං මනුස්සයෙක්. මට තියෙන්නෙ වෙනස් වෙන විදිහට දේවල් කරගෙන යන්න  ඕනකමක්.
කල්ට් පොත ගැන කතා කරන වෙලාවක විදර්ශන ලිපි දෙකක් අතරෙ මං එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දක්වන හැටි පෙන්නලා දුන්නා. ‘මං එක වචනෙ මිනිහෙක් නෙමෙයි’ මගේ අදහස වුණේ ඒක. අදහස් වෙනස් නොවෙනවා නම්, නොවැඩෙනවා නම් ඒවා මැරිලා. ගල්ගැහිලා. අදහස් පුළුවන් තරම් වේගයෙන් වෙනස් වෙමින් අලූත් පද්ධති ගොඩනගන්න  ඕන. ඒ පද්ධති වලින් දේවල් නිෂ්පාදනය වෙන්න  ඕන. මට හිතෙන්නෙ එහෙම. ඒත් ඒ වෙනස් වීම සළකුණු කරලා පෙන්නන එක වැදගත් පරණ වැඩක්. ‘මං මිනිහෙක් ඔබ ග`ගක් නිසා’ කියල ලාල් හෑගොඩ ලිව්වා. කවිය කියන්නෙ වෙන අදහසක් වුණත් ඒ වචන පේලිය මට හැමදාම අරන් එන්නෙ මේ මූඞ් එක.

තව දුරටත් පුද්ගලයා කියන සීමාව වැදගත් නෑ කියන එකයි මගේ යෝජනාව. අපි පුද්ගලයා කියන සීමාවට වඩා විශාල කරදාසියක් උඩ මේ වැඬේ පටන් ගන්නවා නම් පුද්ගලික සීමාවන් ටික ටික අතුරුදන් වෙන්න ගන්නවා. නැත්තං ඒවා වෙන ස්වරූපයකට පරිවර්තනය වෙනවා. ඒක හොඳයි. මේ විදිහ දැන් නිතර පේන හතරමායිම වගේ බෝරිං.

පුද්ගලයා වෙනුවට අදහස කියන තැනට අපිට මාරුවෙන්න පුළුවන් නම් ගොඩක් කන්‍යා සිවි වර්ගයේ ප‍්‍රශ්න කිරීම් නතර වෙනවා. තනි, අඛණ්ඩ, නිශ්චිත ආඛ්‍යානයක් විදිහට පුද්ගලයා කියන ගඩොල් බිත්තියෙ හැප්පෙනවා වෙනුවට එතකොට අපිට පුළුවන් තනි තනි නිශ්චිත අදහස් ගැන සංවාද කරන්න. ඒ අදහස් තව තව අංශූ වලට විසිරුවා හරින්න සහ පුපුරුවා හරින්න. වෙනස් වෙනස් සංදර්භයන් හරහා ටි‍්‍රප් කරන්න අපිට පුළුවන්. ඒක හු`ගක් වටින සංස්කෘතික නිෂ්පාදනයක් මට අනුව. චැට් කරනවා වගේ. ඒ වෙනුවට පුද්ගලික සීමාවන් එක්ක අපි යමක් හෝ කෙනෙක් ගැන තේරුම් ගැනීමකට යන්න හදද්දිම අපි පාවිච්චි කරන්නෙ පරණ අච්චුවක්. ඒකෙන් හැදෙන කොකිස පරණ එකමයි.

අදහස් එක්ව බෙදා හදා ගැනීම සහ එක්ව ඇති දැඩි කිරීම කියන එක ඉන්ටර්නෙට් එකත් එක්කම වඩාත් සංකල්පීයකරණය වෙච්ච පදාසයක්. ඒත් අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙත් විභාගෙට පාඩම් කරන්න නෝට් පොත පාවිච්චි කළා වගේමයි. දෙන දේ ඉක්මණට බාගෙන ලයින් එක කට් කරලා දානවා. ‘උන්ට නං ඉන්ටර්නෙට් නිකංනෙ’ වගේ සරල කතාවකින් ගිල්ටිය වහගන්නවා.

ඒත් අපිට මිනිස්සු වෙනුවට අදහස් ඇසුරු කරන සංස්කෘතියට ඇතුල් වෙන්න සිද්ද වෙනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කළාට අපි ඇත්තට ඉන්ටර්නෙට් සංස්කෘතියට ඇතුල්වෙන්නෙ එතකොට. අඳ ගොළු බිහිරි පාරිභෝකයෙක් වෙනුවට සක‍්‍රීය නිෂ්පාදකයෙක් හැදෙන්නෙ එතන. එතනදි අදහස් වල අයිතිය උඩ තීරණය වුණු වටිනාකම බෙදාහදා ගැනීම උඩ තීරණය වෙනවා.  ලෝකෙ ඒ කොනේ මේ කොනේ අත්දැකීම් හුවමාරු වෙමින් අදහස් පද්ධතීන් නිර්මාණය වෙනවා. ඒක මුහුදෙන් සීමාවුණු පුංචි බිම්කඩවල සිද්ද වෙන්නෙ කොයිතරම් හෙමින්ද කියල මං අත්දකිමින් ඉන්නවා.

මට මුණගැහෙන හැම කෙනෙක්ම වගේ ඉන්නෙ අනිත් එකා තමන්ට කෙළවන්නයි බලන් ඉන්නෙ කියල හිතාගෙන. ඉපදීම දුකක් කියලා බුදුන් කියපු නිසාම විශ්වාස කරනවා වගේ සමාජය දුෂ්ටයි දූෂිතයි කියන එක අපේ ඔලූව ඇතුලෙ සිද්ධාන්තයක්. කොටින්ම ආදරේදි පවා මූලික කොන්දේසිය අවිශ්වාසය. විශ්වාසය, සතුට, ආදරය වෙනුවට අවිශ්වාසය, දුක, වෛරය අපේ පැවැත්මෙ කොන්දේසි වුණේ කොහොමද? ඒක අපිට උරුම අපේ සිතීමේ සීමාවක් නෙමෙයිද?

මට අනුව මිනිස්සු හැමෝම පුදුම සහගත විදිහට යහපත්. හැම මිනිහෙක්ම ට‍්‍රයි කරන්නෙ තමන් තුල තමන් නිවැරදි වෙන්න. මිනීමරුවෙක් පවා මිනීමැරුමට තමන් තුල සාධාරණ හේතුවක් ගොඩනගා ගන්නයි උත්සාහ ගන්නෙ. ඒක නීතියෙන් (අනෙකාගෙන්) ගැලවෙන්න කියන බොරුවක සීමාවට වඩා පළල්. ඒක තමන් තුල තමන්ගෙ හෘදය සාක්ෂිය නිවැරදි කර ගැනීමක්. මේ දේ සිද්ද නොවුණොත් සිය දිවි නසා ගන්න වෙනවා. පැවැත්මට සාධනීය අදහසක් තියෙන්න  ඕන. මට දැනෙන විදිහට අපි ආදරය (මිත‍්‍රත්වය) ඇතුලෙ ඉල්ලන්නෙ ඒක. අසමතුලිත වුණු පැවැත්මේ කාරණා සමතුලිත තැනකට ගේන්න (ජීවිතය රෙපෙයාර් කර ගන්න) සමීපතමයෙක්ගෙන් උදව් ඉල්ලන එක. එතනදි බොරුව කියන්නෙ අහිංසකම උත්සාහයක් මට අනුව. තමන් තුල තමන් ආරක්ෂා කර ගන්න කියන බොරුව ප‍්‍රශ්න කරන අනෙකා කියන්නෙ ආදරවන්තයෙක් වෙනුවට පොලිස්කාරයෙක්. ඒත් අනිත් පැත්තෙ ඉඳන් අපි ට‍්‍රයි කරන්නෙ බොරුව අල්ලගන්න. ආදරය හොයා ගන්න නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ කතාවක්.

හැම මිනිස් ආශ‍්‍රයක්ම කියන්නෙ භෞතික හුවමාරුවකට වඩා පව් සමා කරන පූජාකුටි. එතනදි හැම බොරුවක්ම කියන්නෙ ඊට වඩා ගැඹුරු ඇත්තක් වෙනුවෙන්. උදා විදිහට තමන්ගෙ පෙම්වතාට හොරෙන් අනියම් සම්බන්ධයක් පවත්වන පෙම්වතියක් පෙම්වතාට බොරු කියන්නෙ පවා (මෙගා ටෙලි වල වගේ බූදල් ප‍්‍රශ්න හින්ද නෙමෙයි නම්) ආදරය හින්ද. ඒ සියලූ අවිනිශ්චිත හේතු කාරණා එකතු කරලා වචන වලින් කියලා නිදහස් වෙන්න බැරි හින්ද. එතනදි ඇත්ත කියන්නෙ කිසිම ආදරයක් නැති නිව්ස් එකක් වෙනවා.

ඒත් කර්මය කියන්නෙ අපි හොයන්නෙ ඇත්ත. ජීවිතේ ගැන ඇත්ත. සිදුවීම් ගැන ඇත්ත. ඇත්තක් කියන්නෙ පරිසමාප්ත විදිහට නම් මනුස්ස අර්ථකතනයක් නැති හුදකලා සිදුවීමක්. ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට කෝටියක් ඇත්තවල් වෙන වචන වලින් නම් කෝටියක් බොරු මට අනුව මනුස්සයි. ආදරණීයයි. සම්බන්ධතා කියන්නෙ ප‍්‍රශ්න කිරීම් වලට වඩා බාර ගැනීම් කියන තැනට අපි ලොකු වෙන්න  ඕන. පුද්ගලික සීමා වලින් එලියට ඇවිත් (ආකෘතික සීමා) දේවල් වැඩ කරන විදිහ අනුව, ක‍්‍රියාත්මක හේතු අනුව (ෆන්ක්ෂනල්) තේරුම් ගැනීමකට අපි ට‍්‍රයි කරන්න  ඕන. ඒක අනිකා වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. අපේ සීමිත සිතීමම වෙනස් කර ගන්න කරන උත්සාහයක්. හරියට දාන දෙන්න කියලා බුදුන් කියන්නෙ අනිකා සංසිඳුවීමෙන් පිං කර ගන්න නෙමෙයි වගේ. ඒ දෙන එකත් එක්ක ළ`ග තියාගන්න ඇති අපේ ආසාව චැලෙන්ජ් වෙන එකයි බුදුන්ගෙ අදහස. ඒත් අපි දෙන්නෙ ඊට වැඩියෙන් ලබන්න පුළුවන් හින්ද.

නිශ්චිත දිශානතියක් නැතුව ගහගෙන යන සිතුවිලි දියපාරෙ මට කෙන් විල්බර් වත් මුණගැහෙනවා. කෙන් විල්බර් කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක්. ආධ්‍යාත්මික ගවේෂකයෙක්. කෙන් විල්බර් හරි ලස්සන කතාවක් කියනවා. ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන්, වෙන විදිහකට නම් දක්ෂිණාංශික සහ වාමාංශික වීම ගැන.
ඩිමොක‍්‍රටික් කෙනෙකුට අනුව දුප්පතෙක් කියන්නෙ දියුණු වෙන්න උත්සාහ නොකරන, තමන්ගෙ වැරැද්දෙන් විනාශය කරා යන, ඵලදායී නොවන ජීවිතයක්. රිපබ්ලිකන් සිතීමට අනුව ඒක සමාජයේ වැරැද්දක්. අසාධාරණයක්. අසමතුලිතතාවයක්. මේක සමාජය විෂයේ දාලා බැලූවට මේ අපි ඇතුලෙම වැඩකරන දෙකට පැළුණු මනස කියලා කෙන් විල්බර් විස්තර කරනවා. අපි අපි ගැන හිතන්නෙ රිපබ්ලිකන් විදිහට. ඒත් අපි අනෙකා ගැන හිතන්නෙ පට්ට ඩිමොක‍්‍රටික් විදිහට. එකිනෙක බැලන්ස් නැති මේ සිතීම් දෙක එක තැනක පිහිටුවලා තනි පුද්ගලයෙක් හදන්න අපි අපි ඇතුලෙම අසාර්ථක උත්සාහයක් දරනවා. මේ පැල්ම නැති එකම තැන (ස්වර්ගය,සාමය,නිවන) වෙන්නෙ ආදරය (මෛත‍්‍රිය, පේ‍්‍රමය) විතරයි. ඒක ගර්භාෂයක්. හැම සමීප මිනිස් ඇසුරක් ඇතුලෙම අපි හොයන්නෙ මේ තාර්කික නොවන ගර්භාෂය කියල මට හිතෙනවා. හැම මිනිහෙක්ම අහිංසක වෙන්නෙ එතකොට. උදා. බුදුන්ගේ පේ‍්‍රමය ඇතුළෙ අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වීම.

මට කියන්න  ඕන වුණේ මිනිහෙක් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි අදහසක් කියන කාරණය. ශරීරය මූලික නැසෙන සුළු සීමිතයකින් සම්බන්ධ වෙනවට වඩා අපි අකාලික, නිර්ණාමික අදහස් වලින් සම්බන්ධ වෙන එක වඩා ඵලදායීයි කියන එක. එතනදි මරණය එක්ක ඉවර වෙන ශරීරය මූලික ආකෘතියක් වෙනුවට අපි පැවැත්මේ ලොකු අවකාශයකට නිදහස් වෙනවා. කොහොම වුණත් ඒක අද තාක්‍ෂණය විසින් යෝජනා කරන අපිට බාර ගන්න වෙලා තියෙන අනිවාර්ය සිතීම. අදහසක් කියන්නෙ තවම අත්දැකීමක් බවට පත් නොවුණු සිහිනයක්. ඒත් අපි ඒක තක්සේරු කරන්න බලන්නෙ මැරිච්ච අත්දැකීම් ගොඩක් වුණු පුද්ගලික නිමිත්තක් උඩ. ඒක අනිවාර්ය ගබ්සාවක්.

-චින්තන ධර්මදාස