Monday, March 25, 2013

දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල

සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි‍්‍රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා විදිහට ඒක ජේබී දිසානායකට කරන්න බෑ. වචන කීපයක් එහාට මෙහාට පෙරළනවාට වඩා එහා දේශපාලනික සංස්කෘතික අවකාශයක් දක්වා ඒ වාග් මනෝමය සම්බන්ධතා එලිපෙහෙලි කරන්න පොඩි නිර්මාණශීලී කෑල්ලකුත්  ඕන. සන්නස්ගලට ඒක සෑහෙන දුරට තිබ්බත්  ඕන කරන විෂයික පරාසය හා විනය නැති හින්ද ටිකක් මතුපිට හරියක නවතිනවා. (මට කොහෙත්ම ඒ ගැන දැනුමක් නෑ)

සන්නා මෑතක කියපු ලස්සන කතාවක් ෆේස් බුක් එකේ දැක්කා. නිහාල් නෙල්සන්ගෙ ‘ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ’ ගැන.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ

මේ වචන හේමසිරි හල්පිට නැතුව මහගමසේකර ලිව්වා කියල හිතන්න සන්නා යෝජනා කරනවා. එතකොට දැනෙන සම්භාව්‍ය ෆීල් එක ඇයි නිහාල් කියද්දි අපිට මග ඇරෙන්නෙ. එතන තියෙන්නෙ සම්භාව්‍ය කැම්පේන් එකකට අපි දන්නෙ නැතුව අහුවුන තැනක්. අමරදේව හෝ නන්දා මාලනී කියන මඤ්ඤං සිංදුවක් වුනත් මාර වෙන්නෙයි ලංකාවෙ පට්ට වැඩ ටිකක් අපිට මග ඇරෙන්නෙයි අපි ඇත්තටම රසයක් නාඳුනන සමාජයක් හින්ද. කවුරු හරි, ඉස්කෝලෙ හරි, විශ්ව විද්‍යාලෙ හරි මේක තමයි මාර කිව්වොත් අපිට අපේ මාර එකක් ගැන ඉන් එහා දැනීමක් නෑ. ඒක අපේ අධ්‍යාපනය කියල දෙන සංස්කෘතික දැනුමෙ තරම. ඉතින් අපි අතර ඉන්න ගොඩක් අය ලියන, කියන දේවල් මොනවද කියල ඒ ගොල්ලො දන්නෙ නෑ. අර සම්භාව්‍ය කියන වගේ එකට ට‍්‍රයි කරනවා. ෆිල්ම් වල ඒක කාන්, බර්ලින් වගේ චිත‍්‍රපටි උළෙල වලින් තීන්දු කරනවා. සංගීතයෙ ඒක අමරදේව ළ`ගින් නතර වෙනවා.

නිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල වගේම අපි නොදැක්කා වගේ හිටපු තවත් ගායකයෙක්. ලංකාවෙ ටැරන්ටිනෝ චිත‍්‍රපටියක් කරනවා නම් එයා මෙහේ සංගීතයෙන් පාවිච්චි කරන්නෙ එක්කො නිහාල් නෙල්සන් නැත්තං එම්එස් ප‍්‍රනාන්දු. ඒ ඉන්දියාවෙන් එහාට ගිය වෙනස් සංගීතයක වෙනස් ත‍්‍රිල් එකක් ඇතුලෙ ඔරිජිනල් ලංකාවෙ අත්දැකීම් කියන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා.
ඒත් අපි දන්නෙ නෑ අඳුර ගන්න
කවුරු හරි කිව්වොත් මිසක

ඒත් මේ සාහිත්යඉක වෙනස සමාජ මනෝ විද්‍යාත්මක අවකාශයක් එක්ක විධිමත් විග‍්‍රහයකට යන්න සන්නාට බෑ. ඒක එයාගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරැුද්දක්. අපේ විශ්ව විද්‍යාල ඇතුලෙ ඒ නිර්මාණාත්මක බව නෑ.

යුද්දෙන් පස්සෙ මං ඒ වගේ අහපු තවත් මරු ලයින් එකක් ‘කැබිතිගොල්ලෑව වගේ කට්ටියම වැටිලා’ කියන එක. යුද්දෙදි කැබිතිගොල්ලෑවෙ මළ සිරුරු විසිරිලා තිබ්බා වගේ දැන් බීලා වැටිලා ඉන්න උන් ගැන ලයිව් චිත‍්‍රයක් දෙන්න ඒ ලයින් එක මරේ මරු. අනිත් පැත්තෙන් යුද්දය ගැන අත්දැකීම් වෙනස් වින්දන කලාපයන් කරා තල්ලූ වෙන හැටි ගැන ටිකක් ගැඹුරු කතාවකුත් මෙතන තියෙනවා. මේවා සමාජ මනස ගැන විකෘත නොවූ ගවේෂණ කලාප විදිහටයි මට තේරෙන්නෙ. ඒත් අපි  දේශපාලනය සමාජ විද්‍යාව වගේ දේවල් කරන්නෙ පොත් උඩ විතරයි. අපේ සිදතා කියන විදිහට,

‘ඔෂොලා ක‍්‍රිෂ්ණමූර්තිලා හොඳයි කියවන්න. කරන්න ගියොත් කෙළ වෙනවා’
-සිදත් අර්චන

අනිත් එක කට කතා.
‘දැන් බීබීඑස් අලූත්ම යෝජනාව එන්නෙ කොත්තුවට විරුද්දවලූ. ඒ කොත්තුවෙ සද්දෙ නිසා ශබ්ද දූෂණය වෙනවා කියල. කොත්තු කඩ ගොඩක් කරන්නෙ මුස්ලිම් අය හින්ද ඒ හරහා තව අර්බුදයක් පටන් අරන් එතනින් මුස්ලිම් පල්ලියෙ ලවුඞ්ස්පීකරේ දක්වා ශබ්ද දූෂණ ප‍්‍රශ්නෙ ලොකු කර ගන්නවලූ. මේ නිසා එන යෝජනාව කොත්තුව ගොළු කිරීම. සද්ද නැතුව කොත්තු හැදීම. එතකොට අපි කන්නෙ ගොළු කොත්තු’
මේ කතාවෙ ඇත්ත නැත්ත මොනවා වුනත් ෆික්ෂන් එකක් විදිහටත් ඒක මරු. මොකද අපිට හිනා යන්නෙ ඇත්තත් ඒ තරමටම ළ`ග හින්ද. ගොළු කොත්තු කියන්නෙ මාර සංස්කෘතික වෙනසක්. ටවුන් වල පාළුව කපපු, රහ ගැන කියපු ඒ සද්දෙ ගොළු කරන එක අමරදේව නැති වෙනවට වඩා අපරාදයක්. ලංකාවෙ සංගීතෙට වඩා ඇත්තටම රැක ගන්න  ඕන නොයිස් (සද්ද). අපේ සංස්කෘතිය ගැන ලොකු කතන්දර කියන කවුරුවත් මේ වෙනකං අපේ සද්ද සංස්කෘතිය ගැන කතා කරලා නෑ. (මං මේ අත තියන්නෙ අජිත් කුමාරසිරි ගෙ කලාපයකට). අජිත් ඒකට පාවිච්චි කරන්නෙ නොයිස් කන්ස්ටිටියුෂන් එක. සද්ද ව්‍යවස්ථාව. මට අනුව නොයිස් කල්චර් එක. කොත්තුවෙ සද්දෙ කියන්නෙ අපේ නාගරික සද්ද සංස්කෘතියෙ ලොකු කොටසක්. ඇත්තටම ? කල්චර් එක කියල ඉතුරු වුනේ එච්චරයි. මට ගොළු කොත්තුව ගැන අදහස මාර වෙන්නෙත් බීබීඑස් ගැන ඒක මරු විග‍්‍රහයක් වෙන්නෙත් මේ ලොකු කතාව හින්ද. අනික ඒක දේශපාලනය ගැන හන්දියෙ ප‍්‍රජා අදහසක්. පත්තර අදහසක් නෙමෙයි.

මෙච්චර වෙලා වත්තල පැත්තට ආපු මං දැන් මත්තලට මාරු වෙනවා. මත්තල එයාර් පෝර්ට් එක ගැන ප‍්‍රචාරක දැන්වීම් ටික තරම් අවංක දැන්වීම් පෙළක් මං දැකලා නැති තරං. මත්තල ගැන හැම සීරියස් සංවාදයක්ම එතනින් කැන්සල් වෙනවා කියලයි මං හිතන්නෙ. මත්තල කියන්නෙ ළමයින්ට සෙල්ලම් කරන්න හදපු තැනක් කියලයි සම්පූර්ණ ඇඞ්වර්ටයිසින් කන්සෙප්ට් එක වුනේ. එයාර් පෝර්ට් එකක් විදිහට ඒකෙන් ලැබෙන සේවාවන් ගැනවත් ඒකෙ තියෙන පහසුකම් ගැනවත් නෙමෙයි කතාව තිබුනෙ. පොල්ල යටින් කකුල දාගෙන බයිසිකල් පදින කොලූ ගැටවුන්ට සහ ලංකාවෙ පළවෙනියා ගත්ත දරුවා ඇතුළු ප්ලේන් සෙල්ලම් කරන්න කැමති ගොඩක් දරුවන් වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එක විවෘත වෙන වග කියන එක මං හිතන්නෙ හරිම අවංක කතාවක්.

එක පැත්තකින් ඒක ළමයින් වෙනුවෙන් හදපු ගුවන් තොටුපොල වග කියන ගමන් අනිත් පැත්තෙන් ලෝකයේ හුරතල්ම ළමා පරපුර වුණු සමස්ත ලාංකේය ජනතාව වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එකක් අරින වගත් කියනවා. කියන දෙයක් විතරක් බාර ගන්න වෙන දෙයක් වෙනකං බලන් ඉන්න අපි තරම් හොඳ ළමයි ඉන්න රට කොහෙද? ඒ ළමයින්ට සෙල්ලං කරන්න එයාර් පෝර්ට්, වරායවල් හදන ආදර්ශමත් වෙනත් රටක් කොහෙද? ගොසිප් වලට කමෙන්ට්ස් දාන ‘හසන්ත සහ සූරියප්පෙරුම’ මේක කිව්වා නං හු`ගක් ලස්සනට කියනවා.

ඒ විදිහෙන් විචාර අදහස් පළ වෙන එකත් හරි අලූත් නිර්මාණ කලාපයක්. ‘මට සිද්දිමය දත්ත වලට වඩා වටින්නේ දෙන්නේ ප‍්‍රමෝදමය සත්‍යයන්’ (ඔලූව ඇතුලෙ අවබෝධයේ ත‍්‍රිල් එක දෙන) කියල මං කැමතිම ඩිරෙක්ටර් කෙනෙක් වුණු වර්නර් හර්සොග් කියනවා.

ඇයි මාව කලින් දැකලා නැද්ද?


ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප‍්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක‍්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ  ඕර්ගි (සාමූහිකව කරන රති ක‍්‍රීඩා) එකක් දාලා සුරතාන්තයට පත්වුනා.

ඉස්තෙපාන් කියන විදිහට ක‍්‍රිකට් තමයි ලංකාවෙ හොඳම දේ. එතනදි අපි ජාති ආගම් බේද නැතුව එකට හිතන්න ගන්න හින්ද. ගම් නගර බේද නැතුව එක වෙලාවක ටීවී එක ඉස්සරහ හිට ගන්න විනයක් තියෙන හින්ද. පොලිසිය ජනතාව හැමෝම එක ආතල් එකක් බෙදා ගන්න හින්ද. ක‍්‍රිකට් කියන්නෙ අපේ සිංහල අවුරුද්දට වඩා අපේ ඇත්ත සංස්කෘතික කෑල්ලක් සහ ඒක හොඳයි කියලයි ඌ කියන්නෙ. එකක් අපි ඒ වැඬේදි දක්ෂයි. වෙන මොන වැඩකදිවත් අපි ලෝක මට්ටමේ දක්ෂයන් නෙවෙයි. අපේ අපේ කියන හැම දේකදිමත් ලෝකෙ අනිත් උන් අපිට වඩා දක්ෂයි (උදා කෘෂි වාරි වගේ වැඩ) අනික මේ වැඬේ අපි ලෝකෙ දිහාට ඇරෙන වැඩක්. අපි දූපතක් විදිහට ගුලි වෙනවට වඩා ලෝකෙ තියෙන විනයකට හුරු වෙන වැඩක්. ඒක  ඕපන් එකක් විදහටයි ඌ දකින්නෙ.

ලසිත්ගෙ මේ මාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන තැනදි ක‍්‍රිකට් ඊට වඩා හොඳ ඇරිල්ලක් වුනා කියලයි මට හිතෙන්නෙ. ඒක ඇක්සිඩන්ට් එකක්. උතුරෙදි ජාතික වීරයා වුණු සොල්දාදුවාට කරන්න බැරි වෙච්ච දේ ක‍්‍රිකට් ජාතික වීරයා වෙච්ච ලසිත් කරනවා. රටක් විසින් හදන මිත්‍යාවකට වීරත්වයකට තමන්ගේ පුද්ගලිකත්වය අභිභවා යන්න ඉඩ නොදෙන එක. අන්තිම අවදානම්කාරී වෙලාවක පවා තමන්ගේ ඇත්ත දේ වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න එක. වඩාත්ම තමන් විසින් ස්ටයිල් එකක් විදිහට ගෙනාපු සිංහයාට තේරුමක් දෙන එක.
ඇයි මාව කලින් දැකලා නැද්ද? නිකං යනවා මනුස්සයො යන්න.

මේකත් එක්ක ලංකාවෙ මහජන ඉරිසියාව සහ කුහකකම මහා පරිමාණෙන් එලියට ආවා.
‘මෙච්චර සල්ලි ගෙවලත් තව ඉල්ලන්න? මුං සෙල්ලං කරන්නෙ රට වෙනුවෙන්ද?’
‘නෑ මං සෙල්ලං කරන්නෙ මගේ ආතල් එකට’ ලසිත්ගෙ උත්තරය වුනේ ඒක. සිංහයෙක් කියල කුක්කෙක් බලාපොරොත්තු වුනු ජනතාව ලසිත්ගේ කනේ පාරට රත් වෙලා ඇහැරුණා.
‘ලසිත් ගෙනාවෙ මාධ්‍ය වලින්. ලසිත් මේ විදිහට මාධ්‍ය වලට කතා කරන එක හරිද?’ මාධ්‍ය වලින් සදාචාරය දේශනා කරන්න පටන් ගත්තා. තමන් මාධ්‍යයට වඩා විශාලයි කියන එක ලසිත් තේරුම් අරං තිබුණ. ඊට පස්සෙ නැවත නැවත මාධ්‍ය බයිට් එකක් නොවෙන්නත් එයාට තේරුමක් තිබුන. කොටින්ම විපක්ෂයක් විදිහට රනිල් වික‍්‍රමසිංහට නැති අවබෝධයක් මේ ගම් ගැටයට තිබුණ.
ලසිත්ට ඇත්ත ස්ටයිල් එකක් තිබුණා.

(අපේ හිතුවිලි සංස්කෘතියට සැබෑ ඇරිල්ලක් වුණු ලසිත් මාලිංගගේ වචන ටික කල්ට් ලයින් එක වෙන්නෙ ඒ අදහසට ආචාරයක් විදිහට)

Thursday, March 21, 2013

සුක්කානම පිටුපස බුදුන්

‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’

අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ගැන මං මුලින්ම කියෙව්වෙ රොබර්ඞ් පර්සිග් ගෙ ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ පොතෙන්.

‘මං ආසයි මේ විදිහට රට ඇතුලට යන්න. මොකකටවත් ප‍්‍රසිද්ද නැති, කොහෙද කියල දන්නෙ නැති, ඒ හින්දම යන්න සුදුසුම පළාතක පාරවල් දිගේ. හැම ආතතියක්ම නැති වෙලා යනවා මේ වගේ පරණ පාරවල් දිගේ එලවද්දි. ඉඳහිට තියෙන කොන්ක‍්‍රීට් කැඩිච්ච තැන් වලින් බම්ප් වෙවී, පාර අයින දිගට වැවුණු පූස් නැටි ගාල් මැද්දෙන් එක දිගට පේන තැනිතලාව මැද්දෙන් වැටිච්ච පාර.. තව උස තණකොල එක්ක පූස් නැටි ඉස්සරහින්. සමහර තැන් වල පුංචි දිය කඩිති. පූස් නැටි ගාල් යට පුංචි තාරාවො පීනනවා ඒ වතුරෙ. සමහර වෙලාවට ඉබ්බො. අන්න ලස්සන රතු පිහාටු තියෙන කලූ කුරුල්ලෙක්...’

ඒත් මට ඇත්තට මුණගැහිලා තියෙන ඩ‍්‍රයිවින් අත්දැකීම් ගොඩක් වෙනස්. වාහනයක් එළවීමම දරුණුම ආතතිය කර ගත්, හෝන් එකෙන් අනුන්ගේ ස්නායු පුපුරන තරමට කුප්පන, කුණුහරුප සහ ඵරුෂ වචනම පාරේ භාෂාව කර ගත් සාමාන්‍ය පොදු ඩ‍්‍රයිවින් කරන අය මට කවදාවත් වාහනයක් එළවන්න නම් නොහිතෙන ගානට සුක්කානම පිටිපස්සෙ ජීවිතය එපා කරලා තිබුණෙ.

ඇත්තටම වාහනයක් එක්ක සම්බන්දෙ කොයි වගේද? වේගය සහ ඒ වේගයේ නියාමකයා තමන් වීම කියන අවකාශය කොයි තරම් නිර්මාණශීලීව හසුරුවන්න පුළුවන්ද? ඇත්තටම මේක වාහනයක් කියන්නෙ ගමනක් යන්න තියෙන උපාංගයක් කියන මූලික තැනින් එහාට වාහනයක් මනුස්ස අභ්‍යාසයක්, භාවනාවක් කර ගන්නෙ කොහොමද කියන බොහොම පොඩි පිරිසකට අදාල අදහසක් එක්ක ගණුදෙනුවක්. ඒත් මං ඒක ගැන හිතුවා. විශේෂයෙන් ලංකාවෙ ගොඩක් අය ඒ වගේ දේවල් ගැන නොහිතන හින්ද.

කොයි තරං ලිංග පාක්ෂික විදිහට පේන්න ඉඩ තිබුණත් මෙතනදි කියන්න වෙන ඇත්ත කාරණය ගෑණුන්ට වාහන එළවන එක අමාරු වැඩක්. කොයිතරම් උත්සාහ කළත් ඒ විෂයෙදි නිර්මාණශීලී වෙන්න ඒ ගොල්ලොන්ට බැරි වෙනවා. මේක හොඳටම පැහැදිලි වෙන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් තමන්ගෙ වාහනේ එක්ක පවත්වන සම්බන්ධතාවය ඇතුලෙ. පිරිමියෙකුට වාහනය දේකට වඩා යමක්, ගමන් සගයෙක් වගේ සප‍්‍රාණික තැනකින් දැනෙනවා. ඒත් ගැහැණියකට වාහනය දෙයක්, උපකරණයක් විතරමයි. වාහන එක්ක ගෑණු සම්බන්ධ කරන වෙළඳ දැන්වීම් කොයිතරං නිර්මාණය වුණත් ඒවා නැවතත් පිරිමි පරිකල්පන විතරයි.

ඒකට හේතුව වාහනය සහ ඒ හා සම්බන්ධ භාවිතා සියල්ල පිරිමි ආශාවක් ඔස්සේ නිර්මාණය වීම කියලයි මට හිතෙන්නෙ. වාහන සම්බන්ධ සියලූ සංස්කෘතික කාරණා මෙහෙයවෙන්නෙ පිරිමි අතර. ගැහැණියක් හැම තිස්සෙම ඒ ලෝකෙට පිටස්තරයෙක්. ඒ හින්දම ගැහැණියකට වාහනයක් එළවනවා කියන්නෙ වැඩක්, වගකීමක්, වදයක් මිස පැවැත්මක් නෙමෙයි. ඒ හින්දම ගෑණියෙක් වාහනයක් එළවනවා කියන්නෙ පාරෙදි වේදනාවක්.

ඒත් වාහනයක් එළවන විදිහෙන් ඒ එළවන මනුස්සයගෙ ගොඩක් අභ්‍යන්තර කාරණා එලියට එනවා. වාහනයක සුක්කානම අල්ලන පීඩනය, ගියර් මාරු කරන විදිහ, මාර්ගය තේරුම් ගන්න විදිහ, මේ හැම දෙයක් එක්කම අපිට එළවන කෙනාගෙ පෞර්ෂය තේරුං යනවා. කොහෙත්ම බලාපොරොත්තු නොවන ආකාරයක කියවීමක් හින්දම සුක්කානම පිටිපස්සෙදි කෙනෙක් මනෝ විශ්ලේෂණ සෝපාවක ඉන්නවට වඩා විවෘතයි. ලංකාවෙ මේ ද්‍රව්‍යමය, කිසි පිළිගැනීමක් හෝ විශේෂඥභාවයක් නොපිළිගන්නා වාහන එළවන එක වෙන රටවල ජීවිතය සම්බන්ධ ගැඹුරු භාවිතාවක් දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන් සවිඥාණකව වාහන පැදවීම කියන පුහුණු වැඩමුළු, සාකච්ඡ දියත් වෙනවා.
‘වාහන පැදවීම කියන්නෙ විභාගයක් පාස් කරනවා වගේ වැඩක් නෙමෙයි. මුලින්ම ගමනාන්තයට වඩා ගමනට ප‍්‍රධානත්වය දෙන්න මනස හුරු කරන්න...’
-සෙන් සහ වාහන පැදවීමේ ආර්ට් එක (වැඩමුළුවක්)
‘පොලිසියට අහුවෙන්නෙ නැත්තං ඩ‍්‍රයිවර් කෙනෙක් වඩා වේගෙන් යනවද? ඇයි ඒ? ඇස් වහගෙන හිතන්න කවුරුවත් ඔයා දිහා බලාගෙන නැත්තං ඔයා හැසිරෙන විදිහ.. හැම තිස්සෙම පූනීලාකාර විදිහට බලන්න පුරුදු වෙන්න බිංගෙයක් ඇතුලෙන් දකිනවට වඩා. එතකොට ළ`ග වගේම දුරත් එක විට පැහැදිලිව දකින්න පුළුවන්’
මේ වැඩමුළුවේදී දේශකයෙක් විසින් වාහන එළවන එක බෞද්ධ පුහුණුවක්, භාවනාවක් බවට පත් කරන හැටි ඒකට සහභාගි වුණු කෙනෙක් විස්තර කරනවා.
‘ඉස්සරහ බාධාවන් දුර ඉඳන් දකින්න. වේගය අඩු කරන්න...’

‘අපි ඇක්සිඩන්ට් කියල කියන දේවල් කොයි තරමක් ඇත්තටම ‘ක‍්‍රෑෂස්’ කියල කියන්න  ඕන ඒවද?’ අභ්‍යන්තරයේ මානසික ව්‍යාකූලතා සුක්කානම පිටුපසදී මෝචනය වීම සහ ගැටීමක් සඳහා පොළඹවන අවිඥාණක තෙරපීම් ගැන ඒ වැඩමුළුවෙදි සජීවී සංවාදයක් කරනවා.

ඇත්තටම ස්වයංක‍්‍රීය ගියර් වාහනේකට වඩා ගියර් මාරු කරන වාහනයක් එළවද්දි ඒ එළවීමේ රිද්මය දැනෙනවා වැඩියි. ඒ වේගය, නැවතීම්, පැනීම් සියල්ල එක්ක වාහනයේ හුස්ම හ`ඩ පරිපූර්ණ අත්දැකීමක් දනවනවා. නිදහස් විවෘත මාවත් වලදි වගේම ට‍්‍රැෆික් වැඩි නගරයෙදි වුණත් මේ ආස්වාදය අඩු නැති වගයි මගේ දැනීම. හැම ට‍්‍රැෆික් ලයිට් එකක් ඉදිරියෙදිම අපේ මානසික වේගය පරීක්‍ෂාවට ලක් වෙනවා. සෙන් ඩ‍්‍රයිවින් කියල පොතක් තියෙනවා කෙවින් සහ ටොඞ් බර්ගර් කියන ජන මාධ්‍යවේදියෙක් සහ මනෝවිශ්ලේෂකයෙක් එකතු වෙලා ලියපු.

‘සුක්කානම පිටුපස බුදුන්’ ඒ පොත පටන් ගන්නෙ එහෙම. ‘වාහනයේ ඉග්නිෂන් ද`ගරයේ තැන්පත් ඒ ශක්තිය දැල්වීමෙන් ඇන්ජිම පණ ගන්වා ඉන් ගියර් මාරු කර හයිවේ එක දිගේ වේගයෙන් යන ගමන් සෙන් මනස අභ්‍යාස කිරීමයි මේ පොතේ අරමුණ. ඒ ඔබේ ස්වභාවික පැවැත්ම සොයා යාමක්. ඔබේ අභ්‍යන්තරයේ ද`ගර ගැසුණු ඔබ නිදහස් වීමක්’

වාහනයක් එළවනවා කියන්නෙ පූර්ණ එළඹ සිටි සිහිය අවශ්‍ය වෙන වෙලාවක්. මනසේ නිරන්තර කච කචේ නවත්තන්න සිද්ද වෙන වෙලාවක්. ඒක හරියටම යෝගා පුහුණුවක් වගේ. හැම වංගුවක්ම, නැම්මක්ම, බාහිර අභ්‍යන්තර වෙන්වීමකින් තොරව අත්විඳින්න ඒ අත්දැකීමට දියවෙන්න සිද්ද වෙනවා. නිකංම ගමනක් යනවා වෙනුවට ගමනක අත්දැකීමක් බවට ඔබ පත්වෙනවා කියන්නෙ වෙනස් පැවැත්මක්.එහෙම නැත්තං හැමෝටම වාහන එළවන්න පුළුවන්. ඒත් පූර්ණ අත්දැකීමක් විදිහට එළවන එක අත්විඳින්න අතේ ඇ`ගිලි ගානට වැඩි පිරිසකට බැරි වෙනවා.

එක දවසක් සෙන් භාවනා ඉගෙන ගන්න අයික් කියන කෙනා හූ සුන්ග් ආරාමයට එනවා  වාහනේ බැටරිය පන ගන්වන්න වයර් දෙකක් ඉල්ල ගන්න. වයසට යමින් ඉන්න රෝෂි, එයා කලින් රේස් පැදපු ඒත් දැන් සෙන් ආචාර්යවරයෙක්. එයා කබල් වාහනේ හදමිනුයි ඉන්නෙ. එයා කියනවා බැටරිය පන ගන්වන්න නං ප‍්‍රශ්නෙකට උත්තර දෙන්න කියල. ‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’ රෝෂි අයික් ගෙන් අහනවා. අයික් ටිකක් වෙලා කල්පනා කරනවා. එයාගෙ මූනට කපටි හිනාවක් එනවා. මං දන්නවා,
‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’

රෝෂි එකපාරටම ස්පැනර් එකකින් ගහලා අයික්ව එළව ගන්නවා. ‘ගිහින් ඉගෙන ගෙන වරෙන්’

අවුරුදු 8ට පස්සෙ ආයිමත් අයික් යනවා වාහනේ පණගන්වන්න බැටරි වයර් ඉල්ල ගන්න. රෝෂි පේන්න නැති හින්ද එයා වෙන කෙනෙක් ගෙන් අහනවා රෝෂි කොහෙද කියල. එතකොටම වාහනයක් යට ඉඳන් රෝෂි එලියට ඇදිලා එනවා.

‘ආ, දැන් උඹට මොකක්ද කියන්න තියෙන්නෙ?’  තාමත් පරණ ප‍්‍රශ්නෙමයි. අයික් ඔලූව පාත් කරගෙන අහනවා.
‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’

‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’ සෙන් ආචාර්ය රෝෂි හයියෙන් හිනාවෙනවා. ඒ මොහොතෙ අයික් අවබෝධයට පත් වෙනවා.

භාවනාවක් විදිහට වාහනයක් එළවනවා කියන්නෙ වාහනය හා තමන් එක පැවැත්මක් වෙන මොහොතක්. වෙන විදිහකට කිව්වොත් මිනිහෙක් විදිහට අපේ පැවැත්ම වාහනයක් දක්වා මාරු වෙන තැනක්. අපි ඉස්සරහින් අනන්තය දක්වා විහිදුණු මහ පාරක්.

ඔබව සොයා යන ගමන අරඹන්න. ඉතිං ගියර් එක මාරු කරන්න.



Monday, March 11, 2013

හිස් නැති හිස්වලට.


ලංකාවෙ රේඩියෝව කියන්නෙ තවදුරටත් අහන්න පුළුවන් එකක් නෙමෙයි.  ඕනම චැනල් එකක උදේ ප්‍රෝග‍්‍රෑම් දෙක අහද්දි තේරුං ගන්න පුළුවන් කොහාටද දක්කන්න හදන්නෙ කියල. උදේ පාන්දර රුධිර පීඩනය වැඩි කරවන හඞ්ඩාගේ ගඳ ෂෝ එකේ ඉඳන් මීඩියා කියන්නෙ බුලත් විටි කඩයක් කියල හිතාගෙන ඉන්න ෂාන්ගෙ රේඩියෝ එකත් අසන්නා කියන්නෙ ලෙඩෙක්, බෝම්බ උඩින් පැන පැන යන ගෙම්බෙක්, කියල හිතාගෙන ඉන්න ඇසෙන නෑසෙන වැසෙන චැනල් ගඟේ තවදුරටත් පීනන්නෙ කවුද කියන එක ප‍්‍රශ්නයක්. සමහර චැනල් දුවන්නෙ උදේ ගහන පිරිත් හින්ද. තවත් එකක් රෙදි ගැලවෙන කනාමැදිරි රාත‍්‍රී හින්ද. කොහොම වුණත් මේ වෙද්දි හැම නාලිකාවක්ම වගේ තමන් අහනවට අහන උන්ට සල්ලි දෙනවා. ඒක තමයි අපේ පොපියුලර් චැනල් වල ඇත්ත.

‘‘අපේ දරුවන්ගේ ජීවිතයේ පදනම වැටෙන්නෙ හොඳ ගුරුවරුන් අතින් කියන එකට ගොඩක් දෙනෙක් එක`ග වෙයි. ඒත් අපේ දරුවන්ගේ සහ තරුණයන්ගේ මනස් දිගින් දිගටම පරිභෝජනවාදී, තරගකාරී, නිලබලවාදී, ලිංග මූලික, අන් ජාතින්ට බිය, ජාතිවාදී, හැම කෙනෙක්ම එක වගේ කරන්න හදන මාධ්‍ය අදහස් වලින් මළකඩ කනවා නම් මොකද වෙන්නෙ?’’
- ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නැවත සිතීමක්
එලිසබෙත් මාර්ෂල්

(මේ ලිපි පෙළ ලියන්නෙ මාධ්‍ය පිළිබඳ අධ්‍යාපනය කොහොම වෙන්න  ඕනද කියන එක ගැන. ඒත් ලංකාවෙ අපි ඔක්කොම ළමා සමාජයක් හින්ද මෙතනදි ළමයින් කියල කතා කරන දේවල් අපිට වයස් භේදයකින් තොරව අදාලයි)

ගුවන් විදුලි සංස්තාවෙ සමූපාකාර චැනල් තාප්පෙන් එලියට පැනලා මුලින්ම එෆ්එම් රේඩියෝ කලාව පටන් ගත්තෙ සිරසෙන් වුනාට මහින්ද ආවට පස්සෙ සිරසෙ සිරස නැති වෙලාම ගියා. රේඩියෝ වල විතරක් නෙමෙයි රටේ අනිත් හැමදේකමත් ඔලූව ගැලවිලා ගිය හින්ද ඒක සාමාන්‍ය දෙයක් වුණා.

ග‍්‍රාමිස්චි කියන දේශපාලන විචාරකයා (එක්ස් එකෙන් පට්ට ගහපු පහුගිය මනුස්සයෙක්) කියන විදිහට ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය කියන්නෙ රටක හෙජමොනිය (බල අධිකාරිය) නිෂ්පාදනය, නැවත නිෂ්පාදනය සහ වෙනස් කිරීම සිද්ද වෙන තැන. සිවිල් සමාජයේ සංස්කෘතික සහ පාරිභෝජනවාදය නිෂ්පාදනය සිද්ද වෙන ආයතන වෙන්නෙ මේවා. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියන ධනවාදී සමාජවල වෙන්නෙ මේ ටික. අධ්‍යාපනය, පවුල, ජනප‍්‍රිය මාධ්‍ය සහ පන්සල් (ග‍්‍රාමිස්චි ගේ රටේ නං පල්ලි) කියන්නෙ මේ ආයතන. සිවිල් සමාජයක් කියන්නෙ මේ සංස්කෘතිය සහ මතවාදයට ග‍්‍රහනය වුණු සමාජයක්. හෙජමොනිය දිහා බලලා තමයි මේ ආයතන වැඩ කරන විදිහ හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය කියන්නෙ මේ හෙජමොනිය පවත්වාගෙන යන්නම කැප වුණු ඒවා.

ඒත් මේ ළ`ගකදි අහම්බෙන් කණේ හැප්පිච්චි චැනල් එකක් හින්ද ලංකාවේ එෆ්එම් ගැන මේ ලියමන ලියන තරමට මාව උනන්දු වුණා. චැනල් එක කිරුළ. කිංග්ස්ලි ඉස්සර වෙලා කරන වැඩක්. හිතන්න කිසි දෙයක් නොදෙන එකම ජනප‍්‍රිය වීමේ කලාව විදිහට ප‍්‍රගුණ කරන රේඩියෝ ඔක්කාරෙට ඒක දෙහි පළුවක් වගේ. දෙයක් කියවලා, කල්පනා කරලා, කතා කරන රේඩියෝ සම්ප‍්‍රදායක් ගැන මතකයක් අරන් එනවා. සංවාද කතිකා සහ මූලාශ‍්‍ර සහිත වැදගත් විදිහෙ තරංග පරාසයක්. හිස් නැති හිස් වලට කියලා කියන ටැග් ලයින් එකත් වැඬේට මරු.

හැම දෙයක්ම යන අතටම ඉබේ ගලාගෙන යද්දි උඩ අතට පීනන්න මේ අවදානම ගන්නෙ ඇයි කියල මං දන්නෙ නෑ. ඒත් හැම ක‍්‍රියාවකටම සමාන හා ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් තිබේ කියන නිව්ටන්ගෙ කතාවෙ හැටියට පහල අතට ගලන වතුරෙ බලෙන්ම උඩ අතට තල්ලූවක් ගන්නත් පුළුවන්. ඒ වගේම එකම පාට දණ්ඩි රොත්ත මැද පාට මතු වෙලා පේන්නත් මේක වැඩකරන්න පුළුවන්.

කවුරු කොහොම හිතුවත් කළත් අන්තිමට චැනල් ඇතුළු හැමදෙයක්ම දුවන්නෙ ඇඞ්වර්ටීස්මන්ට් උඩ. මේ විදිහෙ නිශ්චිත, ප‍්‍රතිවරුද්ධ මාර්කට් එකක් තේරුම් ගන්න සහ ඒ කොටස හදා ගන්න කං ඉවසන්න අපේ බඩු විකුණන කට්ටිය (ඇඞ්වර්ටීසීන් කට්ටිය) කොයි තරං ඉදිරිගාමීද කියන එක සැකයි. ඒ කොහොම වුණත් මේ වෙනස වැඩ කරන වෙනසක් වගේම අවශ්‍ය වෙනසක්. අඩුම තරමෙ අහන උන්ගෙ කන් ගැන යම් තරමක ගෞරවයක් ඇති රේඩියෝ වැඩක්.

මේ කතාව ජනප‍්‍රියතාවයට විරුද්දව ක්ලැසිකල් අදහසකින් කියන එකක් නෙමෙයි. ස්වදේශීය සේවයේ වගේ ග‍්‍රාම්‍ය සම්භාව්‍යත්වයක් සම්භාවනාවට පත් කිරීමකුත් නෙමෙයි. කිරුළ සිංහල, ඉංග‍්‍රීසි, හින්දි, දෙමළ හැම සංස්කෘතියකම මගහැරුණු තැන් හොයාගෙන යනවා. ඒක ජනප‍්‍රිය සංස්කෘතියෙම වැඩක්. ඒත් අපේ රේඩියෝ හිතාගෙන ඉන්නෙ පිටකොටුවෙ පේමන්ට් එකේ තියෙන්නෙ ජනප‍්‍රිය සංස්කෘතිය කියල.

ජනප‍්‍රිය සංස්කෘතිය අදහසක් විදිහට අපිට පැති ගානකින් බලන්න පුළුවන්. එකක් මයිකල් ජැක්සන්ගෙ ත‍්‍රිලර් ඇල්බම් එක වගේ හු`ගක් දෙනෙක් කැමති වෙන වියමන්. දෙවෙනි විදිහට නොදියුණු, බාල, ලේසි සංස්කෘතික දේවල් අළෙවි වෙන තැනක් හැටියට. ලංකාවෙ කන්ටෙක්ස්ට් එකේ ජනප‍්‍රිය කියන අදහස වැඩියෙන් කිට්ටු මෙතෙන්ට. තව විදිහකට විශාල ‘මහා’ පාරිභෝජනයක් වෙනුවෙන් නිෂ්පාදන කරන තැනක් කියල. පිටරට නම් ඩිස්නි වගේ වැඩ සහ ලංකාවෙ නම් ‘සිද්ධාර්ථ ගෞතම’ වගේ සිද්දි මේ හරියෙ ගැවසෙනවා. වඩා වැදගත් වෙන්නෙ හතරවෙනි විදිහ. ඒක තාම ලංකාවෙ සිද්ද වෙලා නැති විදිහ. අලූත් ප‍්‍රකාශන වලට ඉඩ හැදෙන, අලූත් විචාරයන් බිහිවෙන විශාල අවකාශයක් විදිහට ජනප‍්‍රිය සංස්කෘතිය තේරුම් ගැනීම. ඇඞ් බස්ටර්ස් වගේ සමාජ ක‍්‍රියාකාරී කණ්ඩායම් ‘කල්චර් ජෑමින්’ වගේ වැඩ කරන්නෙ මේ තේරුම් ගැනීම ඇතුලෙ. එතනදි වෙනස් විදිහෙ ප‍්‍රවේශයන් හරහා පාරිභෝජන හෝ හෙජමොනික සංස්කෘතික සංඥා වලට වෙනස් අදහස් සහ වෙනස් පරිකල්පන එකතු කරනවා. ඒක දේශපාලනික වැඩක්.

කිරුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව එක පැත්තකින් මේ සංස්කෘතික දේශපාලන කලාපයට ඇතුල් වෙනවා. හැම චැනල් එකක්ම වැඩකට නැති පක්ෂ දේශපාලන  ඕපාදූප ප‍්‍රචාරය කරන එක මාධ්‍ය දේශපාලනය කියල හිතාගෙන ඉඳිද්දි කිංග්ස්ලි තීරණාත්මක සංස්කෘතික නිල වලට අත තියනවා. අද උදේ එයා කතා කරන්නෙ නිජබිම් සංකල්පය ගැන. එතනදි පේ‍්‍රක්‍ෂකයා සිංහල බෞද්ධ හෝ මොනයම් මේනියාවකින් කතා කළත් ඓතිහාසික කාරණා වරින් වර ගෙන එමින් කිංග්ස්ලි පදනමක් ඇතුව සහතික කරන සංස්කෘතික දේශපාලන කාරණා තියෙනවා. නිජබිම් සංකල්පය එක්ක නාසින්ගේ සම්බන්ධතාවය වගේම ලංකාවෙ මේ සංකල්පෙට ප‍්‍රතිවිරුද්ධව නැගුණු සම්භාව්‍ය කතිකාවන් ඒ හරහා ආයිමත් සමාජගත වෙනවා. මෙතන තියෙන වැදගත්කම ඒක. මාධ්‍ය සමාජය විසින් ලාබ විදිහට විකුණාගෙන කමින් සිටින කතන්දර සීරියස් විදිහට ප‍්‍රශ්න කරන එක. සහ ඒක ඇහෙන පිරිසකට ඇහෙන විදිහකට අරන් එන එක.

ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නැවත සිතීමක් පෙරවදන ලියමින් ඒ එලිසබෙත් යෝජනා කරන්නෙ මාධ්‍ය පිළිබඳ දේශපාලනික කිරා බැලීමකට මාධ්‍ය අධ්‍යාපනය පොළඹවන්න  ඕන කියල. හෙජමොනියක් විසින් නිෂ්පාදනය කරමින් අපි උඩ අපි නොදැනුවත්ව බලෙන් පටවන සංස්කෘතික සිතීමේ සීමාවන් ප‍්‍රශ්න කරන මාධ්‍ය සංස්කෘතියක් දක්වා මේක උඩුයටිකුරු කරන්න  ඕන කියල. සංකීර්ණ මානව ඉතිහාසයන්, අනන්‍යතාවයන්, සහ සමාජ ව්‍යූහයේ පවතින අසමානතා සරල බොළඳ විදිහට පෙළගස්වන සහ ඒවා සමාජ අදහස් විදිහට ඉදරිපත් කරන මාධ්‍ය ව්‍යාපාරය ඇතුලෙ මේ දේ කරන්නෙ කොහොමද කියන ලොකු ප‍්‍රශ්නයක්. හර්බර්ට් කෝල් ලියන ‘ළමා සාහිත්‍යයේ දේශපාලනය’ හෝ බිල් බිගෙලෝ ලියන ‘එකමත් එක සමූලඝාතනයක්’ පොත් වල කතා කරනවා රටක බෙදීමක්, සමූල ඝාතනයක් හෝ හමුදා මැදහත්වීමක් වගේ දෙයක් වීරයා සහ දුෂ්ටයා අතර සරල ප‍්‍රධාන ධාරවෙ කතාවක් දක්වා දියාරු කරන්න ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුලෙ වැඩ සිද්ද වෙන විදිහ.

එඩිසන්ගෙ පළවෙනි බල්බ් එහක පත්තු වුණෙත් තත්පර කීපයක් විතරයි. ඒ වගේ කිරුළ කරන්න යන වැඩෙත් ‘මහා’ එක අස්සෙ අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් ඒ වැඬේ පටන් ගත්ත එකට සහ ඒ වෙනුවෙන් නැවත කියවීමකට යන්න, පත පොතින් උපුටා ගන්න තරමට කරන රස්සාවට අවංක නිර්මාණාත්මක ශ‍්‍රමයක් තාම ඉතුරු වුණු එකට කිංග්ස්ලිට මගේ සැලියුට් එක.

මේක පිටිපස්සෙ තියෙනවා කියලා වමට බර අපේ කට්ටිය කියන්න ඉඩ තියෙන මහරාජා උවමනා හෝ වෙන මොන මොන හෝ මමත්ව කේන්ද්‍රීය අසනීප චෝදනා එතනදි මට අදාල නෑ. දැනුවත්ව හෝ නොදැනුවත්ව කළත් මේක ගරිල්ලා රේඩියෝ වැඩක්.

ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය අතර සම්බන්ධය තේරුම් ගන්න මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අවශ්‍ය කාරණයක් කියල මං පිළිගන්නවා. ඒත් ඒක මාධ්‍ය අයිති මුදලාලි ගැන  ඕපදූප හෝ අපේ ජනමාධ්‍ය මහාචාර්යවරු දන්න මාධ්‍ය හෝඩිය කටපාඩමින් කීමට වඩා එහා යන්න  ඕන. මාධ්‍ය වලින් කියන කතාව යටින් දුවන ගැටළුව අඳුරගන්න, වාණිජකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ගැටුම තේරුම් ගන්න පුළුවන් විචාරාත්මක භාවිතාවක් වෙන්න  ඕන.  මාධ්‍ය වලින් කියන කතා අතර විශ්ලේෂණයකට වඩා එහාට නිෂ්පාදනයේ සහ මාධ්‍යමය බෙදාහැරීමේ අරමුණු ගැන විචාරශීලී දැක්මක් දක්වා ඒක පුළුල් වෙන්න  ඕන.
අහනවට සල්ලි ගෙවන, අහන අය බෝඞ් එල්ලගෙනම අහන ජනප‍්‍රිය එෆ්එම් රේඩියෝ සූදුපොලෙන් එලියට ඒ විදිහෙ විචාරයක් හෝ කියවීමක් නැතුවම කිරුළ වගේ පෙරළියක් කරන එක අමාරු වැඩක්. පරණ සිංදු විතරක් ගහනවා වගේ බොළඳ ගැටයක් නොවී මෝරච්ච අදහසක් ඇතුව ඒක කරන එක දුෂ්කර කටයුත්තක්.

-චින්තන ධර්මදාස

Tuesday, March 5, 2013

ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

චිත‍්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත‍්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත‍්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත‍්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ගන්න දන්නෙ නැති කම. එතනදි මට අමුතු සිද්දියක් කල්පනා වුණා. ඉංගී‍්‍රසියෙන් අවංකකමට කියන්නෙ ‘හොනස්ට්’. අවංක නැත්තං ඒක ‘ඩිස්හොනස්ට්’. එතන ප‍්‍රාථමික වචනය ‘හොනස්ට්’. ඒත් සිංහලේ වෙනස්. ප‍්‍රාථමික වචනය වෙන්නෙ ‘වංක’. ‘අ’ යන්න ඉස්සරහට වැටිලා ‘අවංක’ කියන එක එන්නෙ ද්විතීයිකව. භාෂාව හැදෙන්නෙ මිනිස්සු හිතන පිළිවෙල අනුව කියල උපකල්පනය කළොත් අපේ මූලික සංස්කෘතික කෑල්ල වෙන්නෙ ‘වංක’කම. වොරන් බෆට් මට පෙන්නන්න බැරි කුණෙක් වුණත් එක ඇත්ත කතාවක් කියනවා.

‘අවංකකම කියන්නෙ ටිකක් මිළ අධික තෑග්ගක්. ඒක බාල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා’.
ශ‍්‍රී පාලි කැම්පස් එකේ ගෑණු ළමයෙක් එයාගෙ නිබන්ධනයට උදව් ගන්න මාව හොයාගෙන ආවා. ඒකෙ මාතෘකාව වුණේ ‘යුධ සිනමාවෙන් පිළිඹිඹු වෙන සමාජ මතය නැත්තං සමාජ මනස’. (මට ඒකට ඇත්තටම මැදිහත් වෙලා උදව් කරන්න බැරි වුණා) ඒත් අන්තිමට නිබන්ධනය දැක්කම මට ගොඩක් දේවල් පත්තු වුණා. චිත‍්‍රපටි සංස්ථාවෙ සභාපතිතුමා බය නැතුව කියනවා පවතින රාජ්‍ය මතවාදයට එක`ග චිත‍්‍රපටි වලට තමයි සංස්ථාව මනාප කියල. ළමා සහ ඉතිහාස කතා චිත‍්‍රපටි හදන්න කියල. මිනිස්සු බලන්න කැමති ඒවා තමයි කියලත් කියනවා. සභාපතිතුමා අනං මනං වහං කරන්න යන්නෙ නැතුව දන්න ඇත්ත කෙලිං කියපු එක ලොකු දෙයක්. ඒත් ඒකෙන් සංස්තාවට චිත‍්‍රපටි කර්මාන්තය ගැන තියෙන දැනුම් ප‍්‍රමාණය එළියට එනවා විතරක් නෙමෙයි මේ ගඳගහන චිත‍්‍රපටි රැුල්ල පවත්වාගෙන යන්න සංස්තාවෙන් දෙන තල්ලූවත් එළිදරව් වෙනවා.
ඊට අමතරව ඒ ගෑණු ළමයා ලංකාවෙ පළාත් කීපෙක මිනිස්සු මුණගැහිලා සමීක්‍ෂණයකුත් කරලා තිබුණ. බලාගෙන යද්දි ඇත්තටම ලංකාවෙ මිනිස්සු බලන්න කැමති ඒ චිත‍්‍රපටි තමයි. ඒකට හේතුව ජාතික හැ`ගීම, රට බේරගත්ත යුද්දෙ වගේ කාරණා කියලත් සටහන් වෙලා තිබුණ. එතකොට යුධ විරෝධී චිත‍්‍රපටි වලට තියෙන අකමැත්තට හේතු කීපයක් එතන තිබුණ. එතන ප‍්‍රධාන හේතුව වෙලා තිබුණෙ කතාව නොතේරෙන එක. පිටරටවල් දිහා බලාගෙන අපේ රටේ අග‍්‍ර පොරවල් හදන මේ චිත‍්‍රපටි වල කතන්දර අපේ රටේ ජනතාවට තේරෙන්නෙ නෑ.  ඇත්ත හේතුව චිත‍්‍රපටිය යුද්දෙ ගැනද නැද්ද කියන එක නෙමෙයි. කතාව තේරෙන්න කියනවද කියන එක.

ඒ කියන්නෙ ආර්ටිස්ට්  ඕඩියන්ස් එක තියෙන තැනට එන්න  ඕනද කියල ප‍්‍රබුද්ද අයට අර්බුදයක් මතු වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම සිනමාවක ආඛ්‍යාන ගොඩනැගෙන්න  ඕන ඒ පොලොවට සාපේක්‍ෂව නෙමෙයිද? උදා විදිහට අපේ රටේ සූරයන්ගෙත් සූරයා වර්ගයේ චිත‍්‍රපටිවල ජනප‍්‍රිය අංග අඳුරගත්තෙ නැති පිටස්තර සිනමාවක් බලන්න මේ රටේ මිනිස්සු එන්නෙ නෑ. ඒවා ගැන සංස්තාවෙ සබාපති කියන ‘බලපෑම් කණ්ඩායම් වල උවමනා’ කියන කාරනේ කොහොම වුණත් පොඩි නිකං පාවෙන සිනමාවක ලක්ෂණ තියෙනවා.
චිත‍්‍රපටි කරන අය විසින් අඳුරගන්න  ඕන විශේෂ තත්වයක් මෙතන තියෙනවා. ලොකු අවුල වෙන්නෙ සිනමාව කරන හැටි ඉගෙන ගන්න කට්ටිය එන එක. ඒ එන කට්ටියට උගන්නන්නෙ සම්මාන ලත් අය. ඒ ගොල්ලො පෙන්නන්නෙ සම්මාන ලත් චිත‍්‍රපටි විතරයි. ඒක සිනමාව කියලා බාරගන්න සිද්ද වෙන අයට බෝඩිමේදී, හන්දියෙදි කොල්ලො සෙට් එක එක්ක දාන දැට් එක අමතක වෙනවා. තමන් නොදන්න වෙන කතාවක් ඒ අතට මේ අතට පටළවලා කියන්න ද`ගදානවා. මිනිස්සු තමන්ට තේරෙන තොරන් බලලා නිකං ඉන්නවා. මට පේන විදිහට අපේ සිනමාකරුවන්ට බැරි වෙලා තියෙනවා මිනිස්සු බලන කතන්දරයක් හදන්න. ‘මේ මිනිස්සු මෝඩයි, සිනමාව තේරෙන්නෙ නෑ’ වගේ තේරුමක් කතා වලට වඩා මෙතනදි ගැලපෙන්නෙ ‘අපිට සිනමාව පාවිච්චි කරලා අපේ කතාව කියාගන්න දන්නෙ නෑ’ වගේ කෙලින් උත්තරයක්. ඒක හරියටම මුලින් ඉංග‍්‍රීසි ඉගෙන ගත්තම අපිට කියන්න වෙන්නෙ වෙන අයට  ඕන දේවල් වගේ ප‍්‍රශ්නයක්. ගලේ අඹරන පොල්සම්බෝලෙ වගේ දේවල් ගැන කියන්න ඉංග‍්‍රීසිය පාවිච්චි කරන්න කාලයක් ඒ භාෂාව ඇසුරේ ගත වෙන්න වෙනවා.

සෝමරත්න දිසානායකගෙ වගේ චිත‍්‍රපටි ලංකාවෙ දුවන්නෙ ඒ ගොල්ලො සිනමාව හොඳට දන්න නිසා නෙමෙයි. මිනිස්සු දන්න කතන්දරේම ආයිත් ආයිත් කියන හින්ද. ඉතිහාස කතා ආයිමත් හදන්න කියන්නෙ ඒකයි. චිත‍්‍රපටියක් ඇතුලෙන් කතාවක් කියාගන්න බැරි නං හොඳම දේ දන්න කතාවකට රූප අමුණන එක. එත තැන පල්වෙනවා කියන එක අපේ රටට පුරුදු දෙයක් හින්ද කාටවත් ඒ වැඬේ බෝරිං වෙන්නෙ නෑ. ජනතාව එකතැන පල්වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නොදන්න,  ‘සුජාත දියණී’ රසිකයෙක් වුණු ජනාධිපති කෙනෙක් ඉන්න රටේ සිනමාව නෙමෙයි කොයි දෙයක් ගැන වුණත් ඔයිට වඩා තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ.

‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ්ට වෙනවා කන්ද ළ`ගට යන්න’

ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයා කියන කෙනා තාම හැදිලා නැති එක ඇත්ත. ඒත් පේ‍්‍රක්‍ෂකයා නැති රටක සිනමාකරුවා හැදුනෙ කොහොමද කියන එකත් ප‍්‍රශ්නයක්. රටක ආර්ට් එකක් ඒ රටට ඓන්ද්‍රිය වෙන්න  ඕන. යුද්දෙට පක්ෂ වෙන්න පුළුවන්, යුධ විරෝධී වෙන්න පුළුවන් ඒක රටේ මිනිස්සුන්ගෙ භාව කලාපයක් හරහා ඇතුල් කරන එකයි ආර්ටිස්ට් කෙනෙක් මුහුණදෙන අභියෝගය. එහෙම නැතුව තමන්ගෙ දැනුම මට්ටමට මිනිස්සු එනකං බලන් ඉන්න එක වෙන  ඕන විෂයකට ගැළපුණත් වුණත් ආර්ට් වලදි නම් අසනීපයක්. අපේ සිනමාව ගැන කතා කරන ගොඩක් දෙනෙකුට මේ පැල්ම (දීප්ති නිතර කතා කරන වචනයක්) අහුවෙන්නෙ නෑ. හරියට ලංකාවෙ වාමාංශිකයන්ට වැරදුණ තැනින්ම වමට දීගෙන හැදෙන රටේ කලාවටත් වරදිනවා.

 දීප්ති ඉනිඅවන් ගැන කරපු කතාවක් ෆේස් බුක් එක පුරා උණුවට පැතිරුණා. මං කොහොමටත් ආසයි දීප්ති කතා කරනවා අහන්න. ඒත් රැුස්වීම් වලට ඇවිත් චිත‍්‍රපටියක් ගැන එක එක කතා කියනවා අහන්න මට තිබ්බ ආතල් එක දැන් හිඳිලා. දීප්ති හු`ගක් රසට මට බැන්නා. මාධ්‍ය සහ ඒවායෙ කතා කළ හැකි ඇත්ත, කරාබු දාන අයගෙ දේශපාලනය වගේ ගොඩක් කැවිලි අතරන් වෙනස් විදිහක ටොපියකුත් එයාගෙ කටෙන් විසි වුණා.
’මං හඳයට 2006දි කිව්වා ඔය කට්ටියට එන්න දෙන්න එපා කියලා. ආවොත් අපිට කරපු දේම තමයි කරන්නෙ කියල’ මීට ටිකක් වුණත් ළ`ගින් යන කතාවක් එයා එතනදි කිව්වෙ. මේ කියන්නෙ මං හිතන්නෙ 2005දි හඳගම චිත‍්‍රපට සංස්ථාවෙ කෙටි චිත‍්‍රපටි තරගෙකදි ලොකු ෆයිට් එකක් දීලා මං කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කෙටි චිත‍්‍රපටිය තෝරපු එක ගැන වෙන්න  ඕන. ඇත්තටමඑ දා එතන හඳයා නොහිටියා නම් ඒ චිත‍්‍රපටිය එළියට එන්නෙ නෑ. ඒක ඇත්ත. ඒත් මං හිතන්නෙ ඒක හඳයාගෙ වගකීම කියල. මං චිත‍්‍රපටි තෝරන්න සිද්ද වෙන තැනක හිටියොත් වෙනස් විදිහක, වෙනස් දේශපාලනයක චිත‍්‍රපටියක් තෝරන එක මගේ වගකීමක්. ඒක මං කරන්න  ඕන. හඳයා එදා ඒක කළා. එයා අද කොහොම කරයිද කියල මං දන්නෙ නෑ.
ඒත් දීප්ති මෙතන නොකියා කියන කැත කතාවක් තියෙනවා. ඒ තමයි තමන්ට තර්ජනයක් වෙනවා කියල දන්නවා නම් ඒ දේවල් එළියට එන්න ඉඩ දෙන්න එපා කියන එක. තමන්ගෙ අදහස් වලට හෝ තමන්ගේ කලාවට යම් හෙයකින් විරුද්දව යන දේශපාලනයක් දරනවා නම් වාරණය කළ යුතුයි කියන එක එදා එක්ස් පක්ෂයේ නායකයා ලැජ්ජා නැතුව ප‍්‍රසිද්දියෙ කියනවා.

ලංකාවෙ ගොඩක් හොඳ වැඩ කුණු ගොඩට වැටෙන්න හේතුව මේක. ලංකාවෙ පශ්චාත් නූතන යැයි කියාගන්නා පක්ෂ වලට පවා ගැලවෙන්න බැරි සංස්කෘතික අවුල මේක. තමන්ට වෙනස් පැවැත්මක් වාරණය කරන්න තමන්ගෙ බලය පාවිච්චි කරන එක. මට අනුව ඒක අන්ත පසුගාමී තත්වයක් සහ එතනදි දීප්ති මහින්ද රාජපක්ෂටත් වඩා තමන්ගෙ ඇත්ත මිටිකමක් ප‍්‍රදර්ශනය කරනවා.
ලංකාවෙ සිනමාව කියන කලාපෙ ගැන දීප්ති මෙතනදි එළි කරන්නෙ තිත්ත ඇත්තක්. වෙනස් විදිහක සිනමාවක් එන්න ප‍්‍රවීනයි කියන අය ඉඩ දෙන්නෙ නෑ. ඒ අය තමන්ගෙ හැකියාවන් ගැන බරපතල අවිශ්වාසයකින් පෙළෙනවා. ණයට ගත්ත සිනමා භාෂාව නිසා කොයි වෙලාවක අහෝසි වෙලා යාවිද කියල සැකයි. මට අනුව තමන්ගෙ දේශපාලනය හෝ තමන්ගෙ කලාව කරන කෙනෙකුට තවත් අලූත් අදහසක් මුණගැහෙනවා කියන්නෙ ලොකු සතුටක්. අලූත් සිනමාවකට ඉඩක් හදනවා කියන්නෙ ලොකු බලාපොරොත්තුවක්.

ඒත් අවංකකම වෙනුවට වංකකම මූලික සංස්කෘතික සාධකය වෙච්ච,
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

-චින්තන ධර්මදාස




Tuesday, February 19, 2013

වෘකයන් අතර නග්නව

කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ ආරක්‍ෂාවට පවත්වාගෙන යන රාජ්‍ය සංවිධානෙකින් මට කෝල් කරලා ලිපියක් ඉල්ලූවා, ඒ ගොල්ලොන්ගෙ ස`ගරාවකට. ලංකාවෙ කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ තත්වෙ ගැන මට කියන්න තියෙන දේවල් ඒ වගේ ආයතනේක ස`ගරාවක පළකරන්න තරම් ඒ අය නිදහස් කියල විශ්වාසයක් නැති වුණත් මං ලියමන ලිව්වා. ආයිමත් කෝල් එකක් ආවෙ නැති හින්ද තාමත් ලිපිය මගේ ළ`ග.

අපේ රටේ කාන්තාවක් සහ ළමයෙක් කියන කාරණය වැදගත් වෙන්නෙ දූෂණයකදි හෝ අපචාරයකදි විතරයි. ඒකත් ගොඩක් වෙලාවට ඒ හරහා මාධ්‍ය වලින් නැවත නැවත අපයෝජනය කරමින් විකුණන්න පුළුවන් ප‍්‍රවෘත්තියක් හදන හින්ද. එහෙම නැතිව රටේ නීතියටවත් කාන්තාවක් සහ ළමයෙක් හැටියෙන් වැදගත්කමක් නෑ. නීති පොතේ ගොඩක් කතන්දර තියෙන්න පුළුවන්. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ ප‍්‍රායෝගික භාවිතාවෙන් ඔප්පු කරන ඇත්ත මොකක්ද කියන එක.

අකුරැස්සෙ පොඩි දැරිවියො තිරිසන් විදිහට පාවිච්චි කරපු සාරුවා සුනිල් කිසි ගානක් නැතුව ඇප පිට නිදහස් වුණා. එයාට අහිමි වුනේ එයාගෙ සභාපතිකම් වගේ නිලතල කීපයක් විතරයි. ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නා සංවිධාන ඒ ගැන මොනවද කළේ? මේ රටේ වගකිය යුතු පුරවැසියන් මොනවද කළේ? අන්තිමට අපචාරයට ලක්වුණු දැරිවි සියදිවි නසා ගත්තා. අපි තාමත් ළමා හා කාන්තා අයිතීන් ගැන කතා කරනවා. ලිපි ලියනවා.

අපේ ඉතිහාසෙ එහෙම සදාචාරවත් ඉතිහාසයක් නෙමෙයි. අපේ රජවරු පොඩි ළමයින්ව වංගෙඩිවල දාලා කෙටුවා. ගෑනුන්ව ගල් බැඳලා වැව් වල ගිල්ලලා මැරුවා. හැමදාම සුද්දන්ට විරුද්දව සදාචාරෙ ගැන කතා කරන සිංහල බෞද්ධ ජනතාවට ඒ ඉතිහාසෙ ම්ලේච්ඡු දේවල් පෙනුනෙ නෑ. අපි දන්න බෞද්ධ කතා වල ළමයින් සහ ගෑණුන් ගැන එන කතා කොයි වගේද? රාජ රාජ අමාත්‍යවරුන්ගෙ ඇරුණම අනෙක් සාමාන්‍ය හුදී ජනයාගෙ තත්වය කොහොමද තිබුනෙ? සෝපාක කියන්නෙ මළ මිනියකට තියල බැඳලා බාප්පා මැරෙන්න දාලා යන දරුවෙක්. රජ්ජුමාලා බුදුන්ට මුනගැහෙන්නෙ එල්ලිලා මැරෙන්න යද්දි. මේ ඉතිහාස කතන්දර ඇතුලෙ කවුරුවත් නොකියන ඇත්ත කතාව තමයි අපේ කලාපෙ රටවල කාන්තාවන්ට හා ළමයින්ට අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණදෙන්න සිදු වුණු එක. බුදුන් පවා මෙතනදි ඒ අයව තමන් ළ`ග මහණ කර ගත්තා මිස ඒ වෙනුවෙන් නීතිමය හෝ දේශපාලනික පියවරකට යන්නෙ නෑ. මේක යුරෝපයේ අතීත කතාවෙදිත් මේ විදිහමයි. ඒත් ඒ තත්වය තේරුම් ගන්නත් ඒකට විරුද්ධ වෙන්න ඇත්ත උවමනාවක් ගොඩනගා ගන්නත් ඒ සමාජ වලට පුළුවන් වුණා. අපි මේ වෙද්දි අපේ විදිහට පෙන්නන්න හදන ළමා හා කාන්තා අයිතීන් යුරෝ-ඇමරිකානුවන් විසින් නිර්මාණය කරපු සහ සමාජගත කරපු අදහස්. නැතුව ලංකාවෙ රජවරුන් හෝ පූජ්‍ය පක්ෂය කිසි වෙලාවක මේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසය පුරාම කතා කරලා නෑ කියන එක පැහැදිලිව තේරුම් ගන්න  ඕන කාරනයක්.

මද්දුම බන්ඩාර බෙල්ල තිබ්බ හින්ද වීරයෙක් කරන අපි මද්දුම බන්ඩාරගෙ බෙල්ල කපන තැන හිටපු රාජ්‍ය බලය ගැන කතා කරන්නෙ නෑ. මේ ප‍්‍රචණ්ඩත්වය ඉන්දියාව ලංකාව සහ මැද පෙරදිග වගේ රටවල සාමාන්‍යයක් කියන එකයි මගේ අදහස. මේ අයිතීන් වෙනුවෙන් යුරෝ-ඇමරිකානු ව්‍යාපෘති යටතේ වැඩ කරන අපේ කට්ටිය වුනත් මේ කාරනා ගැන බරපතල මැදිහත් වීම් කරන බවක් පේන්නෙ නෑ. ඒ වෙනුවට ළමා හා කාන්තා අයිතීන් අපේ සංස්කෘතිය ඇතුලට අරගෙන කතා කරන්න යන එකෙන් දේශපාලනිකවත් සමාජීයවත් මේ ගැටළුව දියාරු කරනවා.

ඒත් ඉන්දියාවෙ බලපෑම් කන්ඩායම් මේ  වෙද්දි ප‍්‍රබල විදිහට මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් අරන්. වෛද්‍ය  ශිෂ්‍යාව දූෂණය කරපු සිද්ධියෙදි ඒ වරදකරුවන්ට මරණ ද`ඩුවම ලබා දීමේ  තීන්දුව ඉල්ලා සිටීම දක්වා ඒ හ`ඩ ප‍්‍රබලයි. අපේ ළමා හා කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කරන කණ්ඩායම් තෝරා ගන්නෙ අදේශපාලනික මාවතක්මයි. ඇත්ත අභියෝගෙ තියෙන පිට්ටනිය හිතා මතා මග අරිනවා කියලයි මං කියන්නෙ.

ලංකාවෙ හාමුදුරුවරු ළමයින්ට ගහන එක හරි කියල ප‍්‍රසිද්දියෙ ඉස්කෝල ඇතුලෙ බණ කියනවා. අධ්‍යාපන ඇමතිවරුන්ට ඒක ගැටළුවක් වුනේ නෑ. ‘ගුටි නොකා හැදෙන ළමයි හැඳි නොගා හදන හොද්ද වගේ’ කියන්නෙ අපේ සාමාන්‍ය ගැමි සමාජය මේ ප‍්‍රචණ්ඩත්වය අනුමත කරපු හැටියි. මගේ අදහස හැටියට අපේ රටේ සමාජය කොහොමත් අපචාරී සමාජයක්. මාධ්‍ය ඔස්සේ ඒ අපචාර තලූමරමින් රසවිඳින සමාජයක්.

උදා විදිහට යුරෝපයේ ඔස්ටේ‍්‍රලියාවෙ වගේ රටක දරුවෙක් ජීවත් වෙනවා කියන්නෙ ඒ දරුවාගෙ අයිතියක් (ආහාර, ඇඳුම්, අධ්‍යාපන, සෞඛ්‍ය සියල්ල ඇතුළත් අයිතියක්). ඒ ජීවත් වීමේ අයිතිය  කඩ වුනොත් දෙමව්පියන්ට එරෙහිව වුණත් නීත්‍යානුකූල පියවර ගන්න දරුවාට අවස්ථාව තියෙනවා. ඒත් අපේ රටේ දරුවෙක් ජීවත් වෙනවා කියන්නෙ ඒක ඒ දරුවාගෙ වාසනාව. අයිතියක් නෙමෙයි. ඒ වෙනුවට දරුවා කියන්නෙ දෙමව්පියන්ගෙ අයිතියක් කියන එකයි පිළිගැනීම.

නොදන්නා කාලෙදි වැඩිහිටියන්ගෙ කැමැත්ත අනුව පැවිදි ජීවිතේට ඇතුල් කරන එක අපේ සිංහල බෞද්ධ සමාජෙට අනුව කිසි අවුලක් නෑ. ඒ දරුවාගෙ ළමා ජීවිතේ අයිතිය ගැන කිසි කෙනෙක් ප‍්‍රශ්න කරන්නෙ නෑ. සුද්ධෝදන රජතුමා වුණත් ඉල්ලූවෙ දෙමව්පියන්ගෙ කැමැත්ත නැතුව මහණ කරන්න එපා කියල විතරයි. එතකොට ඒ දරුවාට තමන්ගෙ ජීවිතේ ගැන තියෙන අයිතිය? මුස්ලිම් ආගමේ කාන්තාවට තියෙන පීඩිත තත්වය සංස්කෘතික අංගයක් විදිහට ඉස්ලාම් භක්තිකයො ආරක්‍ෂා කරනවා වගේම සිංහල බෞද්ධ ජනතාවත් හිංසක තත්වයන් ගණනාවක් නීතිමය විදිහට ආරක්‍ෂා කරනවා. වැඩියෙන්ම ලංකාවෙ ළමා අපචාර සිද්ද වෙන්නෙ පන්සල් සහ පල්ලි (සෙමනේරි ඇතුලෙ). හරියට ඒවා සම්ප‍්‍රදායන් වගේ පරපුරෙන් පරපුරට යනවා. අපේ වගේ රටවල ළමා හා කාන්තා හිංසනයට විරුද්ද උඩින් විතරයි. ගැඹුරෙන් ඒ ප‍්‍රචණ්ඩත්වය සමාජ පැවැත්මේ කොටසක්. දේශපාලනිකව හා සමාජීයව රැුඩිකල් මැදිහත් වීමක් නොකර මේ හිංසන රැල්ලට කරන්න පුළුවන් ප්ලාස්ටර් දාන එක විතරයි.

රිසානා අරාබියේ මරා දාපු වෙලාවෙ සමස්ත සිංහල බෞද්ධ ජනතාව කළේ මුස්ලිම් ආගමට විරුද්දව එක එක කතා කියපු එක. අරාබියේ නීතිය වෙනස් කරන්න තරම් ලොකු හැ`ගීමකින් ෆේස්බුක් එකේ එහෙම පෙළගැහුනු ඒ ජනතාවට රිසානා අවුරුදු 17න් බොරු වයස් හදලා අරාබියේ වහල් සේවෙට යන්න සිද්ද කරපු අපේ රටේ ප‍්‍රචණ්ඩත්වය පෙණුනෙ නෑ. ඒ ගැන අපේ ආණ්ඩුවෙ නිහ`ඩතාවය පෙණුනෙ නෑ. අපි රටක් විදිහට රිසානා මරා දැමීම අපේ කාන්තා ප‍්‍රශ්නයේ කොටසක් කියන තැනින් මගඇරියා. කිසි කාන්තා සංවිධානයක් ඇත්ත හේතුවට විරුද්ධව නැගිට්ටෙ නෑ.

මෑතක මේ රටේ දැකපු ප‍්‍රවෘත්තියක් හින්ද මාව උඩුයටිකුරු වුණා. දැරියක් වත්තකට පැනලා පොල් ගෙඩි අටක් හොරකම්  කළා කියල පොලිසියට අරං ගිහින්. නඩුත් දාලා. නඩුවෙදි ඒ දැරිවි  රුපියල් පනස්දාහක ශරීර ඇප මත නිදහස් කරලා. පොල්ගෙඩි අට හොරකම්  කරලා තියෙන්නෙ ඉස්කෝලෙ තීන්ත ගාන ගාස්තුව ගෙවන්න. ලංකාවෙ නීතියෙ සහ පාලනයේ ඇත්ත තත්වෙ ගැන මේ සිද්දිය හොඳම උදාහරණයක්. පොල් ගෙඩි අටට මේ කෙල්ලව පොලිසියට ගෙනියන්න කලින් පොලිස් නිලධාරීන්ට මනුස්ස හදවතක් තිබුනෙ නැද්ද මේ කාරණය තේරුම් ගන්න? පොල් ගෙඩි අටට නඩු කියන්න ආපු තැනදි අධිකරණයට තිබුනෙ නැද්ද මීට වඩා සාධාරණ මිනිස් පණිවුඩයක් මෙතනදි අවධාරණය කරන්න? මේකද නීතිය? අනෙක් අතට අපේ අධ්‍යාපන ක‍්‍රමය යටතේ පාසැල් වලින් දරුවන් අත්විඳින පීඩනය ගැන මෙතනදි අධ්‍යාපන බලධාරීන්ට ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නැද්ද? මේ සමස්ත ක‍්‍රමය කිසි ප‍්‍රශ්නයක් නැතිව දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය නඩත්තු කරගෙන යන වග මෙතනදි පැහැදිලියි. ලිංගික දූෂණයක් හෝ අතවරයක් කියන සීමාවට වඩා එහාට ගිහින් ළමා හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය කියන වසංගතය තේරුම් ගන්න සිද්ද වෙනවා. අතවරයක් හෝ දූෂණයක් ගැන ලියවෙන හැම ප‍්‍රවෘත්තියක්ම තවත් ඒ වගේ අපරාධයකට පොළඹවනවා. මේ දූෂණ-අපචාර රැුල්ල පවත්වාගෙන යන්නෙ මේ දේවල් අළෙවි කරන මාධ්‍ය. ඒත් මේ අපචාරී මාධ්‍ය සංස්කෘතියට කිසි කෙනෙක් විරුද්ද නෑ. හැමෝම මේ විස්තර හරහා තමන්ගෙ යටිබඩ කිතිකවා ගන්නවා.

මේක මේ ක‍්‍රමය ඇතුළෙම දුවන පිළිකාවක්. ඇත්තට ළමා හා කාන්තා ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩ කරනවා කියන්නෙ දේශපාලනික කටයුත්තක්. ඒක අමාරු වැඩක්. ඒකෙ අමාරුම තැන වෙන්නෙ අපි පවා නොදැනුවත්වම සංස්කෘතික හෝ වෙනයම් සාධාරණීකරනයක් ඇතුලෙ එක`ග වී සිටින මේ හිංසකකාමී රෝග ලක්ෂණ අඳුරගන්න එක.

ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය මරා දැමීමෙන් පස්සෙ ජිලට් සමාගම ඉන්දියාවෙ වෙළඳ දැන්වීමක් ප‍්‍රචාරය කරනවා. ඒකෙදි කියන්නෙ ජාතියට සොල්දාදුවන් අවශ්‍යයි කියන එක. යුද්දෙට යන්න නෙමෙයි.. කාන්තාවන් ආරක්‍ෂා කරන්න. මොකද කාන්තාවන් ආරක්‍ෂා කරනවා කියන්නෙ ජාතිය ආරක්‍ෂා කරනවා කියන එක.

වෙළඳ පරමාර්ථ වලින් වුණත් මේ ඇඞ් එක ලොකු කතාවක් කියනවා. වැදගත්ම දේ කාන්තාවන් ආරක්‍ෂා කිරීම යුද්දයක් කරන තරම් දුෂ්කර මෙහෙයුමක් කියන එක. ඒක ඒ තරම් කැපවීමෙන්, විනයකින් සහ භක්තියකින් කරන්න  ඕන කියන එක. දරුවන් සහ කාන්තාවන් රැක ගැනීම කියන්නෙ තමන්ගෙ ජාතික වගකීමක් කියන එක.

ලංකාවෙ ඒ වගේ මැදිහත් වීමක් මං ආණ්ඩුවෙන්වක් කිසිම සිවිල් සංවිධානයකින්වත් දකින්නෙ නෑ. අපි අපචාරී සමාජයක්. ඇත්ත ඒකයි.

-චින්තන ධර්මදාස

Tuesday, February 5, 2013

හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට.

මට හම්බුවෙනවා චිත‍්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත‍්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කියන තරමටම අභිමානවත් හීනයක්. ගඩොල් කපලා හරි චිත‍්‍රපටිකාරයෙක් වෙන්න තියෙන අධිෂ්ඨානය.. ඒ තනි ගමනෙ ගිය අය කොහොමත් තමන්ගෙ ගමන යනවා. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. ඒත් ගොඩක් අයට මගදි තමන්ගෙ ආදරේ අත්අරින්න වෙනවා. ජීවිත කාලයක් ඒ අහිමි පෙම්වතිය වෙනුවෙන් විකාර කරනවා.

ඩිජිටල්කරණයත් එක්ක මේ හීනෙ ගොඩක් අත පොවන මානෙට ආවා. නිදහස් අධ්‍යාපනේට වඩා ලොකු අවකාශයක් මේක. ඒත් අපි දූපතේ එක තැනක හිරවුණා. හදන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොතනද? තාමත් චිත‍්‍රපටි හදන්න බලාගෙන ඉන්න පිරිස නොදන්න, දන්න පිරිස තමන්ගෙ චිත‍්‍රපටිය විතරක් කොහොම හරි ෆෙස්ටිවල් එකකට විකුණගන්න පාර හොයන මාර්ග බාධකය මෙතන. මෙතනදි හැමෝටම තමන්ගෙ අයිඩෙන්ටිය පෙන්නන්න සිද්ද වෙනවා. මහින්ද චින්තනයට පිටින් චිත‍්‍රපටි හදන්න  ඕන නෑ කියලා අසෝක සේරසිංහ හන්දියෙ චන්ඩියෙක් වගේ කියල තිබුණ. කාටවත් ඇහුනෙ නෑ. නෑහෙන ගානට ඉන්න එක ජාතික ප‍්‍රතිපත්තිය වෙලා තියෙන කාලයක්. දැන් හෝල් වලට එන චිත‍්‍රපටි මොනවද? සවුදි අරාබියට වඩා දරුණු විදිහට අපේ රටේ දෘෂ්‍ය පථය අකුළලා. මහා සිනමාකරුවො ටික ගැන ඇත්තටම ලැජ්ජ වෙන්න  ඕන. මට අහන්න තියෙන්නෙ, තමුසෙලා මොනවද කළේ?

අද සිනමාකරුවෙක් වෙන්න හිතන කවුරු වුණත් එක ඇත්තක් බාර ගන්න  ඕන. හදනවා නම් හදන්න පුළුවන් පවුලේ චිත‍්‍රපටි විතරයි. එකපාරට බොරැල්ලෙ වයිඑම්බීඒ නාට්ටි වර්ගයේ කලාවක් ලංකාවෙ ජාතික කලාව වෙලා. ඒ ගැන ජනතාවට හෝ නිර්මාණකරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක හෝල්කාරයො සහ මහින්ද චින්තනය අතර ගිවිසුමක්. හඳගමලා එහෙම වුනත් දැන් එන්නෙ ඉන්ටර්වල් එකට විතරයි. හාස්‍යජනකම කාරණය මේක කිසිම ව්‍යාපාරික හෝ ලාබ කාරනයක් පාදක කර ගත්ත වෙනසක් නෙමෙයි. මේ අනිත් මාධ්‍ය ඔක්කොම කිසි කෙඳිරියක්වත් නොගා ‘කැමැත්තක් කර ගන්න’ කිව්වා වගේ සිනමාවත් එකග වෙන මොහොත. පේ‍්‍රක්‍ෂක රස වින්දනය කියන කතාව මෙතන අදාලම නැති එකක්. දාන  ඕන ජරාවක් ටීවී එකේ පෙන්නලා පෙන්නලා මිනිස්සු ටික දක්කන්න ඒ ගොල්ලොන්ගෙම ටීවී චැනල් තියෙනවා. පේ‍්‍රක්‍ෂකයා තව දුරටත් සිතන මිනිසෙක් නෙමෙයි. එයා බැලීමට අවශ්‍ය දේ රජය විසින් තීරණය කර ලබා දෙනවා. මේ රටේ වැඩිහිටියො නෑ. ඉන්නෙ ඔක්කොම ළමයි.

චිත‍්‍රපටි හදන්න ද`ගළන අය මුලින් උත්තර හොයන්න  ඕන ප‍්‍රශ්නෙ, කරන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොහෙද කියන එක. ඒවා නිෂ්පාදන විදිහට අරගෙන අළෙවි කරන්න කර්මාන්තමය දැක්මක් මේ රටේ නෑ. අපි නොදන්නවා වුනාට ඒක මහින්ද චින්තය යටතේ තහනම් කර්මාන්තයක් වෙන්නත් පුළුවන්. ‘අපි මේ බලන්නෙ මොනවද?’ කියල අහන පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට ලංකාවෙ බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අඩුම තරමෙ, ‘අපේ අදහස් පෙන්නන්න තිරයක් කෝ?’ කියලා අහන එක ආන්ඩුව පෙරළන වර්ගයේ ඉල්ලීමක් නෙමෙයි කියලයි මගේ අදහස.

අද නන්නත්තාරෙ යන දවසක්. මං වෙන කතාවකට මාරු වෙනවා. මට කාලෙකට පස්සෙ මාරෙ කතා කළා. මාරෙ විනාඩි පහක් ඉල්ලලා පැයක් විතර දිග මාර කතාවක් කිව්වා. ඒ වගේ වළාකුල් අදහස් එන්නෙ ඌට විතරයි. සිංහලෙන් විතරක් කියෙව්වට මේ පොලොව ගැන ගැඹුරු කතාවක් මාරෙ ළ`ග තියෙනවා.

‘මට මැරෙන්න ඉස්සර මේ ටික කියා ගන්න  ඕනි බං’

අලූත් සීතීමේ ප්ලොට් එකක් හම්බුනාම මාරෙ පැලෙන්නෙ තරම් ත‍්‍රිලකට යනවා. උස්සන කල්ම ෆෝන් එක දහපාලොස් වතාවක් හරි රිංග් කරනවා. උස්සපු ගමන් නොඋස්සන්න කාරනා අහන්නෙවත් නෑ, කෙලින්ම කතාවට බහිනවා.

ඇත්ත අදහසක් ආවම ඒක බෙදා ගන්න කල් තියෙන නොඉවසිල්ල ඒ අදහසේ අවංකකමේ තරම කියනවා කියල මං හිතන්නෙ. ඒ අදහස ජීවත් කරවන්න, තව තව සංසර්ගයේ යොදවන්න තියෙන උවමනාව, සාමාජීය හැ`ගීම තමයි පැවැත්මේ මූලිකම කොන්දේසිය. මේ ක‍්‍රියාවලිය අහිමි සමාජයක් මැරිලා. සොම්බිකරණය වෙලා. මාරයාව පැවැත්ම විසින් කොයිතරම් හුදකලා කළත් ඌ අදහස් කැට අහුරු ෆෝන් කම්බි ඇතුලෙන් හරි සමාජය දිහාවට විසි කරනවා.

මචං, දැන් ස්ටී‍්‍රට් ප්‍රොස්ටිටියුෂන් (වීදි ගණිකා)ඉවරයි. දැන් තියෙන්නෙ අලූත් එකක්. ‘පොකට් ප්‍රොස්ටිටියුෂන්’. ඒකට සිංහලෙන් මොකද්ද කියන්නෙ? (ඒකට සිංහල වචනයක් හොයන්න මටත් අමාරු වුනා). දැන් මචං ගොඩක් ගෑණු  ඕක කරනවා. සමහරුන්ට තමන්ගෙ මිනිහට අමතර ආදරවන්තයො කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆෝන් බිල ගෙවනවා. තව කෙනෙක් එක්ක ෂොපින් කරනවා. තව කෙනෙක් වාහනයක් අරන් දෙනවා. නැත්තං මචං මේ ගෑණු හම්බුකරන සොච්චම් පඩියෙන් කොහොමද ඔහොම ඉන්න වියදම් කරන්නෙ? මෙගා ටෙලිවල ඉන්න බහුතරය කරන්නෙ මේක.

ඒත් මචං, වීදි ගනිකාවන්ට වඩා මේ ටෙ‍්‍රන්ඞ් එක භයානකයි. ඒඞ්ස් එහෙම බෝවෙන්න තියෙන ඉඩ වැඩියි. ඇයි මචං වීදි ගනිකාවො අම්මා මුත්තා වුනත් කොන්ඩම් එකක් නැතුව නං බෑ සර් කියනවා. මුංට එහෙම නෑ. ඒත් ඉතිං ඒඞ්ස් නං මොන ඉලව්වක්ද? බුදිය ගන්න  ඕනි නං එච්චරයි. ඒත් මේක තව හොයන්න තියෙන සබ්ජෙක්ට් එකක්. පොකට් ගනිකාවො. මීට කලින් උඹ කොහෙවත් කියවලා තියෙනවද?

මාරෙ එතනින් සෙනසුරු ගැනත් හනුමන්තා ගැනත් ජ්‍යොතිෂ කතාවලට පැන එතනින් රාම රාවණා කතාවටත් පනිනවා.

‘මේ යක්කුන්ට පිස්සු බං. රාවණා ලංකාවෙ කියලා මැරෙන්න හදනවා. රාමා ඉන්දියාවෙ කියල දාගෙන. මේක මේ ඉතිහාසෙ ගැන කියවන උන්වත් පැහැදිලි කරන්නෙ නෑ. ඒ කාලෙ කොහෙද බං ලංකාව ඉන්දියාව කියල රටවල්. මේවා ප‍්‍රදේශ. ලංකාව ඉන්දියාව කියල මේවා නම් කළේ සුද්දො. ඉන්දියාව නං ඉතිං ලොකු මහද්වීපයක් විදිහට තියෙන්න ඇති. ඒත් ලංකාව කියලා එකක් තිබ්බෙ නෑ.

රාම රාවණා යුද්දෙ කියන්නෙ ප‍්‍රදේශ අතර යුද්දයක්. රාමා තමයි ඒකෙන් දිනන්න  ඕන. එයා තමයි රාජ්‍යය. රාවණා කළේ වෙනත් ප‍්‍රදේශයක නායකයාගෙ බිසව පැහැරගෙන එන එක. ඒක මේ ලංකාව ඉන්දියාව අතර යුද්දයක් කියල කියන ගොන්නු මුං.

ලෝකෙ තියෙනවා මචං ශිෂ්ටාචාර වර්ග දෙකක්. මාරෙ කතාවෙ තවත් දිගුවකට මාරු වුණා. එකක් ගංගා නිම්න ආශ‍්‍රිතව ඇති වෙච්ච ශිෂ්ටාචාර. ඒවා තමයි මහා ශිෂ්ටාචාර වුනේ. අපි ඉන්නෙ වැව් ආශ‍්‍රිත ශිෂ්ටාචාර වර්ගයෙ. මේ වැව් කියන්නෙ අපේ ජාතික පොරවල් කියන විදිහට රජවරු මාර විදිහට හිතලා කරපු මහා වැඩ නෙමෙයි. ලංකාවෙ පිහිටීමෙ හැටියට කොහොමත් තැන් තැන් වල වතුර එකතු වෙනවා. වලවල් වල වගේ. මේකට ඉතිං කානු ටිකක් බැඳලා වතුර ටික බෙදෙන්න හදන එක මාර දියුණු හිතීමක්ද? මේවා තමයි උගන්නන බොරු.

මෙතනින් කොහොම හරි කතාව සමාජ ව්‍යාපාර වලට මාරු වුනා. ඒකෙ සම්බන්දෙ දැන් මටත් මතක නෑ. ඒත් මාරෙ පට්ට කතාවක් කිව්වා.

‘මචං ලංකාවෙ තිබ්බෙ එක සමාජ ව්‍යාපාරයයි ඇත්ත වැඩක් කරපු. කියපං බලන්න?’

මං දහඅතේ කල්පනා කළා.

‘හෙළ හවුල බං. උන් විතරයි වැඩක් කළේ’

‘ආපෝ....ඒක පිස්සුවක්’ මට ගත් කටටම කියවුනා.

‘මචං උන්ගෙ අනිත් වැඩ පැත්තකින් තියපං. උන් මේ යක්කුන්ට ඇඳුමක් අන්දපු එකම මදිද?’

‘මොන?’ ඒ මම.

‘ඇයි බං ජාතික ඇඳුම. මුංට ඇඳුමක් තිබ්බෙ නෑනෙ. කට්ටියක් අමුඩ ගහනවා, කට්ටියක් රෙදි නැතුව යනවා. මචං ලැජ්ජාවක් නැතුව එලියට බහින්න ජාතික ඇඳුමයි ඔසරියයි උන් හදලා දුන්නා. අන්න ඒවයි සංස්කෘතික වැඩ කියන්නෙ’

‘ඔන්න මචං දවසක් තෝමස් කියල එකෙක් කුමාරතුංග මුනිදාස හම්බු වෙන්න ඇවිත්. උගේ දරුවට නමක් දාගන්න. දැන් ඉස්සරහ ඉඳන් ඌ කැරකෙනවා කෙලින් කියා ගන්න බැරුව. කුමාරතුංග අහනවා,

‘මොකෝ තෝමස්’

‘කොල්ලෙක් උපන්නා. නමක් හදාගන්න කියල’

‘හා...තෝමස්ට මහ සතුටක් නේද?’ කුමාරතුංග අහනවා.

‘අනේ ඔව්’

‘එහෙනං අපි මාතොස් (මහ තොස්) කියල දාමු’

මචං බලපං. ලයිෆ් නෙ.

මාරෙ තවත් දිගට කතා කරනවා. මට දැන් යන්න  ඕනි.

‘හරි මචං. කතාවෙ  ඕන ටික තාම කිව්වෙ නෑ. මට විනාඩි තුනක් දියං’

මාරෙගෙ සුරතාන්තය තව ගොඩක් ඈත.



-චින්තන ධර්මදාස