Sunday, May 26, 2013

සංසුන් නොසංසුන් හෙවත් මා ගිය වන්දනා ගමනක්

නිවාඩුවකට මං ලංකාවෙ යන්න කැමතිම තැනක් අනුරාධපුරේ. අව්ව, කාශ්ටක ගතිය හින්ද ගොඩක් මගේ යාලූවන්ට ඒක චාටර් ගමනක් වුණාට රෑ ලයිට් එලි යටින් පාලූවට ගිය ස්තූප, ගල්කණු මැද්දෙ ඇවිදින්න මං ආසයි. ඒ ගොරෝසු තණකොල උඩින් තැනින් තැන වැවිච්ච ගස් අතරෙ මට මාර සැදැහැයක් ඇති වෙනවා. ඒක හාමුදුරුවරු බණට කියන සැදැහැයට වඩා වෙනස්. ඒත් හිරිගඩු පිපෙන තරම් ශ‍්‍රද්ධා හැ`ගීමකින් මං අනුරාධපුරේ පුල්ලි පුල්ලි ලයිට් එළි වැටුණු මහමෙව්නාව මැද්දෙ ඇවිදන් යනවා.

මේ පාර අනුරාධපුරේ ගිය ගමනෙදි මං කවදාවත් බලන්න යන්න අකමැති තැන් දෙකකට යන්න සිද්ද වුණා මට (අපිත් එක්ක ගිය වැඩිහිටියන්ගෙ බරපතල උවමනාවට) එකක් ජය සිරි මහ බෝධිය. අනික රුවන් වැලි සෑය. මේ දෙකම කවදාවත් මට ඒ විදිහෙ ටි‍්‍රප් එකක් දෙන තැන් දෙකක් නෙමෙයි. ඒ වෙනුවට ආණ්ඩුව, දේශපාලනය, රාජ්‍ය ඉතිහාසය වගේ වාත හැ`ගීම් වලින් මාව තෙරපන තැන්. කරන්න දෙයක් තිබුනෙ නෑ. හරිත වර්ණ නිදිකුම්බා සුවඳින් සිත කය සංසුන්ව නිරාමිස හැ`ගීම් පෙරදැරිව මාත් යන්න ලෑස්ති වුණා.

අඳින්න හොඳ ඇඳුමක් මගේ බිරිඳ මගෙන් ඇහුවා. ඉතින් ඒ ඇඳුම් අතරෙ තිබුණු මට වඩාත්ම සංවර ඇඳුම මං තෝරලා දුන්නා. ඒ ඇඳුම මට හරි සැහැල්ලූ, සන්‍යාසි හැ`ගීමක් අරන් එන නිසා. ඒත් බෝධිය ඉස්සරහ ලොකු පොලිස් මුර පොලක්. එතනින් සංවරකම පරීක්‍ෂා කරනවා. අත් කපපු ඇඳුමක් නිසා මං තෝරපු ඇඳුම අසංවරයි කියල පොලිසිය කිව්වා. එයාට බෝ මළුවට ඇතුල් වෙන්න බැරි වුණා. මගේ සංවරම ඇඳුම උඩමළුවෙ පොලිසියට අසංවර ඇඳුමක්. සංවරකමේ නිර්ණායක හොයාගන්න බැරුව මං ගේට්ටුව ළ`ග බිරිඳ එක්ක ඉඳගෙන කල්පනා කළා.

බෝධිය ඉස්සරහ පොලිසියක් දැමීමම කොයිතරං අසංවරද? මට හිතුනෙ එහෙම. හිත නිවෙන්න පන්සල් හැ`ගීමෙන් යන තැනක් වෙනුවට එතන හරියට වැලිකඩ හිරගෙදරට ඇතුල් වෙන තැනක් වගේ. මේ පොලිසිය හිටියා නං කීයට වත් පටාචාරාවට බුදුන් ළ`ගට එන්න වෙන්නෙ නෑ. හේමමාලාට කීයටවත් දන්ත ධාතුව කොණ්ඩෙ අස්සෙ හංගගෙන එන්න වෙන්නෙ නෑ.

ඇ`ගට කිටි කිටියෙ තද වෙන ඇඳුම් ඇඳගෙන කෙල්ලො බෝධිය වඳින්න ගියා. පොලිසියට ඒ ඇඳුම් අසංවර වුණේ නෑ. බුරිය පේන්න සාරි ඇඳගෙන ගෑණු බෝධිය වඳින්න ගියා. උඩමළුවෙ පොලිසියට අසංවරකමේ සීමාව වුණේ හම පෙනෙන ප‍්‍රමාණය. ඒත් වැඩිපුරම හම පෙනෙන ප‍්‍රමාණය වැඩි සාරිය මේ බෝ මළුවෙ පොලිස් ගේට්ටුවෙන් ඇතුළට ගියේ ගෞරවනීය විදිහට. අනිත් අතට මේ සංවර අසංවර භේදය බලපෑවෙ ගෑණුන්ට විතරයි. පිරිමි කොහොම ගියත් ඒ ගැන මේ සංස්කෘතික පොලිසියට ගැටළුවක් තිබුණෙ නෑ.

මං රෑ හඳ එළිය වැටුණු මහමෙව්නාව දිහා බලාගෙන ඉඳගෙන හිටියා. මං නිරුවතින් නෙළුම් මලක් අරන් රුවන්වැලිසෑය පැත්තට ඇවිදන් යනවා මං දැක්කා. ඒක හරි ලස්සන රූපයක් වෙයි ෆිල්ම් එකකට කියල මට හිතුණ (මං හෙළුවෙන් ඇවිදින එක නෙමෙයි, නළුවෙක් එහෙම යන එක) ඊට පස්සෙ මං ෆේ‍්‍රම්  එකේ ජෙන්ඩර් චේන්ජ් එකක් කළා. දැන් මං වෙනුවට මගේ බිරිඳ නෙළුමක් අරන් මහමෙව්නාව හරහා රුවන්වැලි සෑය දිහාවට ඇවිදන් යනවා හෙළුවෙන්. ඉස්සෙල්ලා රූපෙට වඩා දෙවෙනි රූපෙන් දෙන හැ`ගීම වෙනස්. ඒ වෙනස තියෙන්නෙ එළියෙ ඇවිදන් යන හෙළුවෙද? නැත්තං මගේ ඇතුලෙ තියෙන මගේ ඇත්ත හෙළුවෙද?

බුදුන් වදාල ධර්මයේ මූලික හරය වෙන්නෙ මේ තමන්ගෙ හෙළුව හොයා ගන්න එක. ඒ වෙනුවට අනුන්ගෙ හෙළුව වහන්න යන එක මුස්ලිම් ආගමේ සදාචාරයක්. ඒත් අපි ආධ්‍යාත්මික තැන් වලටත් සදාචාරය අරන් ඇවිත්. ඇත්තටම කවුරු හරි කොට ඇඳුමක් ඇඳන් ඉන්න එකෙන් අපි කැළඹෙනවා නම් හොඳයි. කාට හරි බෝධිමූලයේ ලබන්න පුළුවන් ලොකුම අවබෝධයක් එතන තියෙනවා. ඒ තමන් මල් පහන් කොයි තරම් පත්තු කරමින් බුදු රූප වැන්ඳත් තමන්ගේ ඇතුලෙ තාමත් ඉන්න නොදියුණු දුර්වල සතා දකින එක. කොට ඇඳුම ඒකට නිමිත්ත වෙනවා. ඒත් ලංකාවෙ බෞද්ධ සම්ප‍්‍රදාය වෙලා තියෙන්නෙ ඒ සතාව පරිස්සම් කර ගන්න එක (ශිෂ්ටත්වට කරා පරිණාමය වෙනුවට අශිෂ්ටත්වය රැුකවල් ලා ආරක්‍ෂා කිරීම) සාමූහික බාල සදාචාරයක් බුදුන්ගේ ධර්මයෙ ආචාර පද්ධතිය වෙලා. මට බුදු හාමුදුරුවො ගැන දුක හිතුණ.

බෝධිය වඳින්න බැරි වීම මගේ බිරිඳට මයිල් ගහක් තරං අවුලක් නොවුණට ඒක පොලිසියට බෝ ගහක් තරං ලොකු අවුලක් වුණා. ඒ ගොල්ලො ඇවිත් රෙද්දක් පොරවලා එයාව සංවර කරලා බෝධිය වන්ඳවන්නම හදනවා.

‘ලොකු හාමුදුරුවොන්ට පේන්න බෑ අත් කර කපපු ඇඳුම්. අපිටයි බනින්නෙ’
පොලිසියෙ අය කිව්වා. පව්.

රුවන්වැලි සෑය රෑට මාර ලස්සනයි. දුටුගැමුණු නොහැදුවා නම් මේ දාගැබ මීට වඩා ලස්සන වෙන්න තිබුණ. මට මගේ මාක්ස්වාදී යාලූවෙක් රුවන්වැලිසෑය ගැන කියපු කතාවක් මතක් වුණා.

එයා උගන්නන ඉස්කෝලෙ ළමයින්ට රුවන්සැලිසෑය හැදුවෙ කවුද කියල ප‍්‍රශ්නයක්.
රුවන්වැලි සෑය හැදුවෙ කවුද? මගේ යාලූවා (ටීචර්) අහනවා.

‘දුටුගැමුණු’ ළමයි ඔක්කොම උත්තර දෙනවා.

‘රුවන්වැලි සෑය හැදුවෙ දුටුගැමුණු නෙමෙයි. කම්කරුවො. ඒත් විභාගෙට ඇහුවොත් දුටුගැමුණු කියල ලියන්න. ඒත් ඇත්තට හැදුවෙ කම්කරුවො’

දැන් විභාගෙට අහනවා කියල ඔන්න මගේ යාලූවා ආයිමත් අහනවා  ‘රුවන්වැලි සෑය හැදුවෙ කවුද?’
‘කම්කරුවො’ ළමයි ඔක්කොම එකපාර සද්දෙට කෑ ගහනවා.

ඇත්තට රුවන්වැලි සෑය වඳින ඒ වටේ සිවුරු ඔතන බෞද්ධයන්ට මේ සෑය ආධ්‍යාත්මිකව කොහොම සම්බන්ධ වෙනවද කියල මට හිතාගන්න අමාරුයි. දුටුගැමුණු කියන නමේම තේරුම දුෂ්ට ගාමිණී කියන එක. එයා කාවන්තිස්ස කියන අතිශය පරිණත බුද්ධිමත් රජෙක් වුණු එයාගෙ තාත්තාට ගෑණු යට ඇඳුම් යවලා අපහාස කරනවා. ඒ මදිවට සද්ධාතිස්ස (ශ‍්‍රද්ධා සම්පන්න තිස්ස) වුණු එයාගෙ මල්ලි එක්කත් යුද්ධ කරනවා. ධාර්මික පාලකයෙක් වුණු එළාරව යුද්ධ කරලා මරනවා. ඒ පිස්සු යුද්ධ හින්ද ජීවිත තොග පිටින් විනාස කරනවා. ඒ ඔක්කොම කරලා එයා ඒ පව් බරෙන් මිදෙන්න ලොකුම ලොකු චෛත්‍යයක් හදනවා. ඒ පව්කාර ආත්මය මතු මෛත‍්‍රී බුදුන් වෙනකල් බෞද්ධයො බලාගෙන ඉන්නවා.

මට රුවන්වැලි සෑයෙ ලොකුකමෙන් පේන්නේ දැවැන්ත පව්කඳක්. ඒත් මේ දුෂ්ටත්වය සහ බුද්ධත්වය අතර සිංහල බෞද්ධයන් විසින් ගොඩනගාගෙන තියෙන සම්බන්ධය ප‍්‍රචණ්ඩ එකක්. මේ සම්බන්දෙ තමයි උතුරෙ දෙමළ මිනිස්සු මැරුවෙ. මේ සම්බන්දෙ තමයි බොබසෙන් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරන්නෙ. රුවන්වැලි සෑයටත් අපිට ඇතුල් වෙන්න දුන්නෙ නෑ. මං තෝරපු අසංවර ඇඳුම හින්ද අපි දෙන්නට ආයිමත් පඩිපෙළේ ඉඳන් ඉන්න වුණා.

රුවන්වැලි සෑය, ශ‍්‍රී මහා බෝධිය කියන්නෙ කොහොමත් ආධ්‍යාත්මික අගයකට වඩා රාජ්‍ය අගයන් මුල්බැහැගත්තු තැන්. ආධ්‍යාත්මික වටිනාකම් කියන්නෙ ඇතුලෙන් සිද්ද වෙන ගවේෂණයක්, තේරුම් ගැනීමක් වෙද්දි මේ වගේ සිද්ධස්ථාන එක්ක තියෙන්නෙ පිටට පෙන්නන සාටෝප අගයන්. ඒත් අපි ජාතියක් හැටියටම මේ සදාචාරය කියන එක වාරණය හෝ තහංචිය එක්ක ගැටගහගෙන තාමත් ජීවත් වෙනවද කියන එක ටිකක් බරපතල කාරණයක්. නීට්ෂෙ කියන විදිහට සමූහ සදාචාරය කියන්නෙම පුද්ගලික නිදහස අවතක්සේරු කිරීමක්. දුර්වල බාල ගෝත‍්‍රික එකමුතුවක් වෙනුවෙන් පැවැත්ම මූලික සැබෑ සදාචාරයට විලංගු දැමීමක්. ඒත් ශිෂ්ටාචාරයන් ප‍්‍රජාවන් දියුණු වෙද්දි මේ තේරුම් ගැනීම් වෙනස් වෙනවා. උදා විදිහට ස්කැන්ඩිනේවියානු රටවල් විශේෂයෙන් නෝර්වේ, හොලන්ඞ් වගේ රටවල සාමූහික සදාචාරය ක‍්‍රියාත්මක වෙන්නෙ පුද්ගල නිදහස අත්පත් කර දීම වෙනුවෙන්. වඩ වඩාත් පැවැත්ම මූලික තනි සදාචාර අගයන් පිළිගන්නා තැනකට සමාජය අරන් යන්න ඒ සාමූහික සදාචාරය ඇතුලෙ කතිකා ගොඩනැගෙනවා. ඒත් අපි යන්නෙ විරුද්ද අතට.

සත්‍යජිත් මාඉටිපෙ බොර දිය පොකුණ චිත‍්‍රපටිය කරලා දැන් අවුරුදු 7ටත් වැඩියි මගෙ හිතේ. මුලින් ලංකාවෙ වාරණ මණ්ඩලය මේක හිර කරගෙන හිටියා බෞද්ධාගමික සංකල්ප වලට හානියක් වෙනවා කියල. චිත‍්‍රපටියකින් ආගමකට හානි කරනවා කියල කියන එකම ආගමකට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නෙ. ආගම ආධ්‍යාත්මික පුහුණුවක් නම් මේ එක චිත‍්‍රපටියක් හින්ද ඒ සංකල්ප හානි වෙනවා කියන්නෙ ඒආගම ඉතා දුර්වල බොළඳ අවධියක් පසු කරනවා කියන එකයි. කොහොම වුණත් වාරණ මණ්ඩලෙන් අසංවර කෑලි කපලා රෙදි අන්දලා බොර දිය පොකුණ පෙන්නන්න අවසර දුන්නා. ඊට පස්සෙ මෑතක ඒක  ඕස්ටේ‍්‍රලියාවෙ ප‍්‍රදර්ශනයකට ගියා. ඒ කියන්නෙ  ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත් වෙන අපේ කට්ටිය ඒක එහේ පෙන්නන්න සංවිධානය කළා. එතනදි ඒ සංවිධායකයො එහෙදි ආයිමත් ඒකෙ කෑලි කපනවා. වාරණ මණ්ඩලයට පස්සෙත් තව තව අනු වාරණ මණ්ඩල විසින් ඒ ඒ අයගෙ සදාචාර සීමා අනුව ඒ වගේ කප්පාදු කිරීම් කරනවා. කොටින්ම ඔස්ටේ‍්‍රලියාවෙදි ලංකාවෙ වාරණ මණ්ඩලයට වඩා තදට මේ සදාචාර සීමාව බලපානවා.

කපන එකෙන් සදාචාරය රකින මේ පිළිවෙත බුදුන් වදාල ධර්මයට වඩා කිට්ටු වෙන්නෙ මුස්ලිම් සදාචාර නීතියට. මේ වෙද්දි අපි මුස්ලිම් අය එක්ක පැටළෙන සංස්කෘතික අවුලෙ හේතුව තියෙන්නෙත් මෙතන. සිංහල බෞද්ධ සංස්කෘතික සදාචාර සීමාවන් සහ මුස්ලිම් සදාචාර සීමාවන් අතර තියෙන ළ`ග වැඩි කම. මේ හින්දම වැඩිපුර ළමයි හැදීම, සදාචාර තහංචි, හම නොපෙනෙන්න ඇඳුම් ඇඳීම වගේ මතුපිට සදාචාර අගයන් සිංහල මුස්ලිම් දෙකොටසම එක වගේ බෙදා හදා ගන්නවා. ඒවා සමාජ සීමාවලින් එලියට ගිහින් ආධ්‍යාත්මික සීමාවන් දක්වාම පැතිරිලත් තියෙනවා. ආගම් දෙකක් වුණත් අපි පුරුදු පුහුණු කරන්නෙ එකම සදාචාර ශික්ෂණයක් නේද කියල මට රුවන්වැලි සෑ පාමුලදි හිතුණ.

මට දෙවෙනි වතාවටත් බුදුන් ගැන ලොකු දුකක් ඉපදුණා.

-චින්තන ධර්මදාස

Sunday, May 19, 2013

ආනන්ද, සර්පයා දුටුවාද? (තණ්හා රතී රගා ගැන කලින් වැඩි විචාරයක්)


අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත‍්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)

ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප‍්‍රත්‍යක්‍ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං කැමතියි ඒ වට වන්දනාවට. කතිකාවට. ඒකෙන් නිශ්චිත එක අදහසක් වෙනුවට අදහස් ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා. අනිත් අතට වෙනස් වෙනස් සංවාදයන් ගනනාවක් ඇසුරෙන් විවෘත අදහස් හුවමාරුවක් කරනවා මිසක් දාර්ශනිකයෙක් විදිහට සංගත අදහස් පද්ධතියක් ගොනු කරන්න  ඕනද කියල මට ෂුවර් නෑ. සිතීමක් විදිහට මේ බ්ලොග් ලිපි කියවන එක මගේ ලියමනට කරන සාධාරනයක් වෙයි සිතන්නෙක් විදිහට මාව අරගෙන කියවනවට වඩා. (මාව ගල් කරනවට වඩා)

උදා විදිහට බිල් බෲවර් ගේ අදහස් කියන්න මං බ්ලොග් ලිපිය වෙන් කරද්දි එන්ටර්ටේන්මන්ට් ගැන තුන්වෙනි අදහසක් යෝජනා කරනවා මිසක් මං එන්ටර්ටේන්මන්ට් වැරදියි කියන දෙවන අදහසට කොටු වෙන්න යෝජනා කරන්නෙ නෑ. මට දැනෙන අපේ කියවීමේ අවුල මේකයි. ඇ`ගිල්ල දිහා බලන් ඉන්නවා මිසක් ඇ`ගිල්ල දික් කරලා පෙන්නන දේ දිහා බලන්නෙ නෑ. කර්තෘ සෙවීමේ අවුල කියල මං ලිව්වෙ මේ ගැන.

මේ ඉස්සරහ කොටස මීට පස්සෙ ලියවෙන කොටස එක්ක සම්බන්ධයක් නෑ. මෙතනින් එහාට වෙනස් මාතෘකාවක්. ඒත් ඉස්සරින් කියෙව්වෙ ආරම්භයක්. අවසානයක් විදිහට.

නිලේන්ද්‍ර දේශප‍්‍රියගෙ ‘තණ්හා රතී රගා’ ගැන දැන්ම ලියන එක කොයි තරම් සාධාරණද කියල මං එහාට මෙහාට දදා කල්පනා කළා. ලොකුම හේතුව තාම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිය බලලා නැති එක. එහෙම තමන්ගෙ කියල අදහසක් නැති වෙලාවක අනුන්ගෙ අදහසක් තමන්ගෙ විදිහට පැලවෙන්න තියෙන අවදානම. ඒත් අනිත් අතට නිලේන්ද්‍ර චිත‍්‍රපටිය මාධ්‍ය වලට පෙන්නුවා (මාධ්‍ය සංවාදයක් වෙනුවෙන්) ඒ වෙලාවෙ ඒක නරඹපු කෙනෙක් විදිහට මට චිත‍්‍රපටිය ගැන හිතෙන දේවල් මේ හිතෙන වෙලාවෙ නොලිව්වොත් ඒ අදහස් පිළුණු වෙන්න ගන්නවා. මට ලියන්න නොහිතෙන්න පවා පුළුවන් තරමට ඒ අදහස් මගෙන් දුරස් වෙන්න හරි හම්බුවෙන උන් එක්ක කතා කරලා ඉවර වෙන්න හරි ඉඩ තියෙනවා.

ඒ චිත‍්‍රපටිය ලාංකේය සිනමාවෙ මාර තැනක් විදිහට සිනමා විදග්ධයන් කතා කරන්න ගත්තා. ගොඩක් වෙලාවට මූනිච්චාවට නෙමෙයි ඒ ඇත්තටම ඒ අයට හිතෙන විදිහ. මගේ යාබද සීට් වල අය ඒ ඒ අයගෙ කන්වලට ඒ විදිහෙ ඒවා කොඳුරනවා මට ඇහුණ. ඒ කෙබඳු මාර තැනක්දැයි විමසන්නයි මේ ලියමන ලියවෙන්නෙ.

හු`ගක් ලේසියෙන් ජාතකයක් හරි රජ කතාවක් හරි කරලා මහින්ද චින්තන චිත‍්‍රපටි ධාරාවෙ (ජාතික තලයෙ) ප‍්‍රබල තැනක් ගන්නත් ලේසියෙන්ම විකුණගන්නත් තිබුණු අවස්ථාව නොතකා හැරලා මේ වගේ අවදානම් තේමාවකට අත තියපු එක අගය කළ යුතු උත්සාහයක්. ඒ වගේම ලංකාවෙ යුද්දෙ දින්නට පස්සෙ ජනතාව කිරිබත් කාපු ඒ ‘අසිරිමත්’ දර්ශනය පළවෙනි වතාවට සිනමාවෙන් අපි දකින්නෙ මේ චිත‍්‍රපටිය ඇතුලෙ. ඒක හරි ප‍්‍රබල ආරම්භයක් චිත‍්‍රපටියකට.

මේ කතාව තිරිමාදුර සහ සරත් කොතලාවල අතින් ලියවෙනවා කියන ආරංචිය අහපු ගමන් මට හිතුන ඇත්ත හිතුවිල්ල වුනේ ‘අනිවාර්යෙන්ම පට්ට ස්ක්රිප්ට් එකක් වෙයි’ කියල. ජීවිතේ ජෝක් කරමින් ජීවත් වෙන එක ඇතුලෙ ගැඹුරු මොනවා හරි අත්දැකීම් ටිකක් තිරය උඩට එයි කියල පූර්ව විශ්වාසයක් මට තිබුණ. ඒත් මං වැරදියි. ටිකක් නැගලා යන ආකෘතියක් වගේ දෙයක් අහුවුනාට චිත‍්‍රපටියෙදි ජීවිතේ ගැඹුරට කැපෙන තැන් හොඳටම මගඇරිලා තිබුණ. සමහර වෙලාවට දුක හිතෙන තරමට.
කලින් කිව්වා වගේ චිත‍්‍රපටියෙ ආරම්භය ප‍්‍රබලයි. එතැනින් අඳුරගන්න චරිත කීපයක් හරහා අපි කතාවට බහිනවා. යුද්දෙ දිනපු විනෝදයට යාපනේ යන්න කතා වෙන තරුණයො තුන් දෙනෙක්. ත‍්‍රීවීල් එකක යාපනේ යන ගමන රෝඞ් මූවි එකක් වගේ පටන් ගන්නවා.

අපිට කන පැලෙන්න ඇහෙන්න ගන්නවා ‘සල්ලි පොකුරු මිල්ලෙ අහුරු’ ඬේමියන් ගෙ සිංදුව. මේ සිංදුව මෙතන පාවිච්චි වෙන එක ලොකු ෆේලියර් එකක්. බූඩිගෙ මිල්ලෙ සොයා ෆිල්ම් එකත් එක්ක පට්ට හිට් එකක් වෙලා ඒ ෆිල්ම් එකේ මෝගෝ එකක් (මියුසිකල් ලෝගෝ) එකක් වගේ වුණු මේ සිංදුව පාවිච්චි කරන එකෙන් මට ෆිල්ම් එකට කකුල් දෙක පොලොවෙ ගහලා හිටගන්න බැරි කරනවා.

මේ විනෝද ගමන අතරෙ දියාරු විදිහට ආදර හුටපටයක් පැටලෙනවා. ඒ කිතියෙන් කකුලෙ මහපටැගිල්ලෙන් පොලොව හාරද්දි කොටි වළලපු පිස්තෝලයක් මතු වෙනවා. මේ පිස්තෝලෙ එක්ක සයිමන්ගෙ සර්පයාත් ඉන්නවා. ඌ කිසි තේරුමක් නැතුව චිත‍්‍රපටිය පුරාම ඇදෙනවා. මේ සංකේත පාවිච්චිය නම් මාර ගොඬේ.

මේක ෆිල්ම් එකකට හොඳ ඉන්සයිටින් ඉන්සිඩනට් එකක්. යාපනේ තාමත් වළලපු තුවක්කු ඇති. චූන් එකේ ඉන්න වෙලාවක ඒ බිහිසුණු අතීතෙ නෂ්ටාවෂේශ කකුල් ගාව මතු වෙන්න පුළුවන්. ඒත් පිටකොටුවෙ ගුණසිංහපුරේ ඉන්න කුලී වැඩ කරන මිනිහෙක්, ත‍්‍රීවීල්කාරයෙක් සහ මදාවි යුනිවර්සිටිකාරයෙක්ට පිස්තෝලයක් කොයි තරං ලොකු වෙයිද කියන එක මට ගැටළුවක්. මං දන්න ගුණසිංහපුරේ අවුරුදු දොළහ දාසය වෙද්දි කොල්ලො පිස්තෝල අතගානවා (යුද්දෙන් පස්සෙ පුනරුත්ථාපනය වූ ගුණසිංහපුරයක් එහෙම තියෙනවද කියල මං දන්නෙ නෑ) ඒක වටේ ඊට පස්සෙ ගෙතෙන ආතතිය පිටකොටුව දන්න පේ‍්‍රක්‍ෂකයෙකුට ටිකක් පිළිගන්න අමාරුයි.

මේ චිත‍්‍රපටිය බලන කෙනෙක් අනිවාර්යෙන්ම රාජ් නිදිමොරු අධ්‍යක්‍ෂණය කරපු ‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එකත් බලන්න කියලා මං යෝජනා කරනවා. ඒකෙත් පාදඩකරණයට ආසන්නව ගතවෙන යාලූවො තුන්දෙනෙකුගෙ ජීවිත ආයුධ මල්ලක් හින්ද වෙනස් වෙන හැටි  තේමා වෙනවා. ඒත් ‘ෂෝර් ඉන් ද සිටි’ වල ජීවිතේ ඇතුලට කැපෙන තැන් වෙනුවට තන්හා රතී රගා වලදි මුණගැහෙන්නෙ බොළඳ රොමැන්ටික් අත්දැකීම් (මතුපිට අතපත ගෑම්). ‘ගිනි අවියේ බිහිසුණු බව විසින් අපගේ අනාගත පරපුරත් බිලි ගනී’ වගේ ස්ටේට්මන්ට් එකකට එහා වියමන එලෙන්නෙ නෑ.

විශේෂයෙන් මේ චරිත වල ඇතූලතක් නෑ. පිටතක් විතරයි. ත‍්‍රීවීල්කාරයාගේ ත‍්‍රීවීල් ජීවිතය, කුලීකාරයාගෙ කුලී ජීවිතය සහ යුනිවර්සිටි කියන කොල්ලාගේ (ඒ චරිතෙ කිසිම එහෙම ගතියක් නෑ) යුනිවර්සිටි ජීවිතය වෙනුවට අපි දකින්නෙ නිකංම මැද පංතියෙ ඉඳන් එලිය බැලූවම පේන සමතල චිත‍්‍රයක් විතරයි. චිත‍්‍රපටියෙ කතා කරන ගුණසිංහපුරේ ගෙවල් දොරවල් වටපිටාව විතරයි වෙනස්. ජීවිත ඇතුලෙ ඒ වගේ අයිඩෙන්ටිටි එකක් නෑ.

‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එක බැලූවොත් මේ එකම සරල මතුපිට කතාව ඒකෙ  තල ගණනාවක් දක්වා අතුරනවා. ඒක ලේයර්ඞ් චිත‍්‍රපටියක්. තන්හා රතී රගා ඒ සරල මතුපිට කතාවත් ගොතා ගන්නෙ හරිම දුර්වල විදිහට. ඒ කතාවෙ අතුරු කතා විදිහට දිගඇරෙන සිද්දි නිකං එල්ලලා තියෙනවා විතරයි. ඒ ආදර සම්බන්ද, නෑදෑ ආරවුල් ගැන අපිව ගෙනියන්නෙ  ප‍්‍රවෘත්තියක දුරට විතරයි. ඒවා අත්දැකීම් වෙන්න තරමට මෝරන්නෙ නෑ. සුලබ සීමාවක් ඇතුලෙ (සමජාතීය) මේ ජීවිත ගනුදෙනු එහා මෙහා වෙනවා විතරයි.

ඒ වගේම සමහර සිද්ධි ගොඩනැගීම් හරිම ළාබාලයි. උදා විදිහට වෘත්තියක් විදිහට ගුනසිංහපුරේ ත‍්‍රීවීල් දුවන කෙනෙක් යාපනේ ගිහින් තමන්ගේ ත‍්‍රීවිලරය පැට‍්‍රල් නැතුව නවතින කල්ම හාංකවිසියක් නොදැන සිටීම, තව තැනක හමුදා ට‍්‍රක් එකක් සොල්දාදුවන් පුරෝගෙන එද්දි ඒ තමන්ගෙ පිස්තෝලෙ අල්ලන්න කියලා හිතලා කැම්පස් ගැටයා සහ ත‍්‍රීවීල්කරුවා බෝම්බ වැළලූ බිම් පවා නොතකා දිවීම (මෙතන හමුදා චරිත හැසිරෙන විදිහ පවා හරිම කාඞ්බෝඞ්) වගේ සිද්දි වැලක් කියාගෙන යන්න පුළුවන්.

මේ වගේ තේරුමක් නැති කලාප වල බොළඳ හරඹ කරමින් යන එක ඇතුලෙ ටික වෙලාවකින් මට දැණුනෙ ලොකු වෙහෙසක්. චිත‍්‍රපටිය ඉවර වෙන්න  ඕන තැනත් පහු කරගෙන ඔහේ දිගට ඇදි ඇදී යනවා. අන්තිමට කිසි තේරුමක් නැතුව ස්වර්ණා මල්ලවාරච්චි නැවත තිරයට ගෙන ඒම වගේ උවමනාවක් වෙනුවෙන් දර්ශන පේලියක්ම ගෙතෙනවා. චිත‍්‍රපටිය ඉවර වෙද්දි ඉතුරු වෙන්නෙ ලොකු හිස්කමක්. අවුරුදු පනහ පහුවෙනකල් හිර කරගෙන හිටපු (පරිණත කරපු)තමන්ගේ සිනමා ආශාව නිලේන්ද්‍ර එලියට දාලා තියෙන හැටි ගැන මං තෘප්තිමත් නෑ.

තිරිමාදුරගෙයි සරත් කොතලාවලගෙයි රංගනයෙත් ෆ්ලැට්ම තැන් සලකුණු වෙන්නෙ මේ ප‍්‍රධාන චරිත ඇතුලෙ කියලයි මට හිතෙන්නෙ. හරිම කුඩා අතුරු චරිතයක් කරන ප‍්‍රියන්ත සිරිකුමාර ඒ සොල්දාදු චරිතෙට ලොකු ගැඹුරක් ඒ පොඩි වෙලාවෙදි එකතු කරනවා. කාජල් ගේ පිංතූරය දිගේ ඇ`ගිල්ල පහලට අරගෙන එන අතරෙ දරන නිහැ`ඩියාව කෙලවරේ ‘කාජල්’ කියල විතරක් කියන එක ගල් තොප්පියට යටින් ඒ ඔලූව ඇතුලෙ හිරවෙච්ච ‘පර්වර්ට්’ ගොඩක් දේවල් එලියට දානවා. විශේෂයෙන් ප‍්‍රියන්තගෙ ර`ගපෑම ගැන ලියන්න හේතුව මේ ක්ලැසික් විපරීත මනස එලියට ගේන වෙන කිසි නළුවෙක් මට ලංකාවෙ මුණගැහිලා නැති නිසා.
ඒත් නිලේන්ද්‍ර මේ චිත‍්‍රපටියෙදි පාවිච්චි කරන රූප රාමු ශෛලිය ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරයට අවංකයි.

ලේසියෙන් විකිණෙන රාජ්‍ය චිත‍්‍රපටි එක්ක පෙලට හිටගැනීම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් නිලේන්ද්‍ර සම්මාන සිනමාව වෙනුවෙන් පාවිච්චි වෙන ගල්ගැහුණු, හිරි වැටුණු රූප රාමු කලාවෙනුත් වෙන් වෙනවා. පණ්ඩිත කැමරාවක් වෙනුවට ජීවිතේ එක්ක සමගාමීව ළ`ගින් හිටගන්න කැමරාවක් නිලේන්ද්‍ර පාවිච්චි කරන්නෙ. ඒ රූපරාමු අපි දිහා එලියෙ ඉඳන් බලන රූප රාමු නෙමෙයි. ඒවා කතා කරන්නෙ අපිට. පිටරටට වෙනුවට ආපහු ලංකාවට. ඒ පැත්තෙන් ධනුෂ්කගෙ කැමරාව හොඳ දැනුවත් භාවිතාවක යෙදෙනවා කියලා මට හිතුනෙ. ඒත් සමහර වෙලාවලදි පාවිච්චි වෙන වයිඞ් ඈන්ගල් ලෙන්ස් එක ඒ ප‍්‍රබල බව යම්තාක් දුර්වල කරනවා. ඒ වගේම සිද්ධීන් වලදි පරිසරය තේරුම් ගන්න ප‍්‍රමාණවත් රූප රාමු ගොඩනැංවීමක් නොකරන හින්ද සමහර විටක ආතපාත නැති ගතියක් දැනෙන්න ගන්නවා.

චිත‍්‍රපටියෙන් තුනෙන් එකක් විතර දුවන්නෙ දෙරන ප‍්‍රවෘත්ති උඩ. දිල්කා සමන්මලිත් චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිතයක් වෙනවා නිකංම. ඒක නිලේන්ද්‍ර තමන්ගෙ පුද්ගලික ඇයි හොඳයිය නිසා වැඩිපුර සලකන්න  ගිහින් ඇණගත්ත තැනක් කියල මට හිතෙන්නෙ. වෙනස් වෙනස් ප‍්‍රවෘත්ති මාධ්‍ය, රේඩියෝ, පුවත්පත් ආදිය පාවිච්චි කරමින් ලොකු සමාජ පරාසයක් අලූතෙන් එකතු කරන්න තිබුණු ඉඩ මෙතනදි ඇකිලෙනවා. අපරාදෙ.

සංගීතය චිත‍්‍රපටියට කරන්නෙ ලොකු හානියක්. චිත‍්‍රපටියෙ කතාවට, රූප පෙළට කිසිම සම්බන්ධයක් නැති පරාරෝපිත පියානෝවක සද්දෙන් නිලේන්ද්‍ර කියන්න යන්නෙ මොකක්ද කියල මට තේරුම් ගන්න බැරි වුණා. කොටින්ම ඒක වාතයක් වුණා. අමරෝස් පෙරෝස් ඇතුලෙ කිසලොව්ස්කිගෙ තීම් එකක් ඇහෙනවා වගේ ඊට වඩා සරලව කිව්වොත් තක්කාලියි බෝල්ට් ඇණයි ගතියක් තමයි සංගීතෙන් එකතු කරලා තිබුණෙ.
චිත‍්‍රපටිය ගැන ගොඩක් අය කතා කළා. පුටු උඩ එක එක්කෙනාගෙ කණට කොඳුරපු  අය හු`ගදෙනෙක් එක කමෙන්ට් එකක් දුන්නා. ‘බැලන්ස් චිත‍්‍රපටියක්’. මේකෙන් ඒ අය අදහස් කළේ මොකක් වුණත් මට දැනෙන විදිහට බැලන්ස් එකම තමයි අවුල. චිත‍්‍රපටියක් බැලන්ස් නැති වෙන එකයි ලස්සන. නැත්තං කිරලා මැනලා හදපු තෝසයක් වගේ අච්චු ගතියක් දැනෙන්න ගන්නවා. නිලේන්ද්‍ර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පුරුදු කරපු සංවිධානාත්මක බව සිනමාකරුවෙක් විදිහට ලොකු අවාසියක් සිද්ද කරනවා.

චිත‍්‍රපටිය ගැන ලොකු ලොකු විද්වත්තු කතා කළා. වැලිකතර කරපු ඞීබී නිහාල්සිංහ පවා ග්ලෝබල් ෆිල්ම් ඉනීෂියේටිව් ආයතනයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න ෆන්ඞ් එකක් අනුමත කරමින් එවපු සුබපැතුම් පණිවුඩය කියවමින් එතනදි කිව්වෙ මේක නං මාර විශිෂ්ට චිත‍්‍රපටියක් කියල. මං ගොඩක් ගරු කරන සරසවියෙ අරුණ ගුනරත්න හැමෝටම ඉස්සර වෙමින් විචාරයක් ලිව්වෙ මෙහෙම.

‘‘කාගේ වුනත් චිත‍්‍රපටයක් මූනිච්චාවට හොඳයි කියන සිරිතක් මට නැහැ. ඒ පුරුද්ද හින්දා සමහරු මාත් එක්ක තරහ වෙලා තියෙනවා.ඒ ගැන දන්නා නිසා සමහරු මගෙන් තමන්ගේ චිත‍්‍රපටය ගැන අහන්නේ නැහැ.ඒත් නිලේ අහනවා. මම මෙහෙම නිලේන්ද්‍ර ට උත්තර දුන්නා
පට්ට ෆිල්ම් එක බං’’

ලංකාවෙ සිනමා විදග්ධයන්ගෙ චිත‍්‍රපටි ගැන තියෙන මේ සීමිත දැනීම (සීමිත දැකීම විශේෂයෙන්) මාව ගොඩක් බය කරනවා. ඒ දැනීම හා කියවීම ඇතුලෙ මෙතනින් එහා යන චිත‍්‍රපටියක් හැදෙන්නෙ නෑ. ඒ චිත‍්‍රපටි ඇතුලෙන් කරන ජීවිත අත්දැකීම් හුවමාරුව සහ පරිණත බව ගැන දැක්මක් අවාසනාවන්ත විදිහට මග ඇරෙනවා. නිලේන්ද්‍රගෙ චිත‍්‍රපටියෙ හොඳ ලක්ෂණ තියෙනවා. ඒ වගේම සිනමාත්මක සිතීමේදී පොදුවෙ රටක් හැටියට අපි පෙළෙන දුර්වලතා ගෝනි පිටින් මේකෙ තියෙනවා. වෙනස් වෙනස් ජීවිත කලාපයන් සහ විස්තර ගැන අන්ධභාවය එතනදි ලොකුම අඩුවක්. සිනමා දැනුවත්තු මේ ගැන ලියන කියන දේවලින් මාව නැවත නැවතත් තිගැස්සෙන්නෙ මේ ජීවිතාන්ධභාවය ඒ අයත් ඒකමතිකව බෙදාහදාගන්නා නිසා.

නිලේන්ද්‍ර වගේ චරිතයක් ආයිමත් සිනමාවට එකතු වෙන එක හොඳ තත්වයක්. විශේෂයෙන්ම මහින්ද චින්තන සිනමාවට විකල්පව කර්මාන්තයක් විදිහට සිනමා සම්බන්ධතා යලි ගොඩනැගීම පැත්තෙන් (මාධ්‍ය ප‍්‍රදර්ශනයේදී පවා මේ ශක්‍යතාවය පේන්න තිබුණ). ඒත් ඒ ව්‍යවසායකත්වයට අදාල කාරණා කෘතියට බාහිරින් නොතිබී කෘතිය ඇතුලට ප‍්‍රවේශ වීමෙන් කෘතිය දුර්වල කරනවා.

ඒ කොහොම වුණත් සිනමාව ගැන සීමිත විචාරයකින් සිද්ද වෙන්නෙ කඳක් විදිහට වැඩුණත් සිනමාවට ඔලූවක් නැති කරන එක විතරයි.

-චින්තන ධර්මදාස

Sunday, May 12, 2013

විනෝද සාගරයක් රස ආකරයක්



මගේ බ්ලොග් එකේ ලිපි වලට කියවන අය කරන කමෙන්ට් ගැන මං මොකුත් නොකියන එක කියවන අයට ලොකු අවුලක් වෙලා. කොටින්ම දැන් කියවන කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑ. අපි සයිබර් ගනුදෙනු පටන් ගත්තත් තාම කර්තෘත්වය හොයන අර්බුදෙන් එලියට ඇවිත් නෑ කියලයි මට හිතෙන්නෙ. මාගලක් විතර දිගට අදහස් ලියැවිල්ලක් කරල කමෙන්ට් ඉඩත් ආයිමත් පාවිච්චි කරන එක එච්චර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නෑ වගේ එකක් මගේ පුද්ගලික අදහස. ඊට වඩා ඒ අදහස් ගැන කියවන අය අතර සංවාදයක් ඇති වෙන එකයි වෙන්න  ඕන. මගේ ලියමන ඒ සංවාදයට ආරම්භයක් දෙනවා විතරයි. නැවත නැවත කර්තෘම හොයමින් ඒ කර්තෘගෙ පුද්ගලික සීමා ලකුණු කරමින් කරන්න යන සංවාදය අනාගතවාදී වෙන්නෙ නෑ. ඒක ආයිමත් මුල පැත්තට හැරෙන එකක්. තාම අපි බ්ලොග් වල කරන්නෙ පත්තරවල කරපු එකමයි. තමන්ගෙ අදහසක් එක්ක හැමෝටම ඉඩ තියෙන සංවාදෙකට මුල පුරනවා වෙනුවට ලියපු එකාම හොයාගෙන යන එක. මගේ ලියමන් ගැන මං ආයිමත් නොකියන්නෙ මං පරම වූ යමක් නොකියන නිසා. යම් මානයකින් යම් අදහසක් ගේනවා විතරක් නිසා. මගේ අදහස විවේචනය කරන හෝ ඊට වෙනස් විදිහෙන් යෝජනා වෙන අදහස් ගැන මට තියෙන්නෙ ප‍්‍රතිචාරයක් නෙමෙයි. මං මගේ අදහස වගේම ඒ අදහස් අලූතෙන් කියවන්නෙක් වෙනවා. යෝජනා වෙන වෙනස් මානයන් තිබුණොත් ඒ ගැන අලූතෙන් හිතනවා. ඒත් එහෙම වෙන්නෙ කලාතුරකින්.

මංම කලින් කියපු අදහසකට ප‍්‍රතිවිරුද්ධවයි අද මගේ ලියවිල්ල ලියවෙන්නෙ. එක විදිහකට ඒක මං කලින් කියපු දේම ආයිමත් ඛන්ඩනය කිරීමක්. ලංකාවෙ ලියන කියවන කට්ටිය කරන්න බයම වැඩක් මේක. කෙරුවත් එහෙම නෙමෙයි කියන්න ද`ගදාන වැඩක්. තමන්ගේ අදහස් සංගත ඒකමිතික නිශ්චිත හැඩයක පවත්වාගනිමින් ස්ථාවර පෞර්ෂයක් ගොඩනගන්නයි ‘බුද්ධිමය’ කට්ටිය මහන්සි වෙන්නෙ. ඒත් මං අදහසක් සහ සිතීමක් විතරයි. ඒ සියල්ල වෙනස් වීමට ඛණ්ඩනය වීමට සහ වෙන විදිහකින් කිව්වොත් තව දුරටත් වර්ධනය වීමට නියමිතයි.

එක්තරා සිනමාව ගැන සංවාදයක් මැද්දෙ මං කිව්වා ‘සිනමාව හෝ කලාව අත්‍යාවශ්‍යයෙන්ම එන්ටර්ටේනින් ‘විනෝදාස්වාදී’ විය යුතුයි කියල. ඒ අදහස මේ ලියමන හරහා විනෝදාස්වාදයේ සිට ‘ජීවිතය සුබවාදීව පිළිගන්නා’ (ලයිෆ් ඇෆර්මේටිව්) තැනක් දක්වා වෙනස් වෙනවා. සිනමාව හෝ කලාව විතරක් නෙමෙයි ජීවිතය පවා මේ විනෝදයෙන් ඉවත් වෙන්න  ඕන. විනෝදය වෙනුවට සතුට සමාජයෙන් යෝජනා වෙන්න  ඕන.

ඇත්තටම විනෝදය කියන්නෙ මොකක්ද? විනෝදය කියන්නෙ අපි දුකෙන් ඉන්න කොට මුදලට ගන්න පුළුවන් තාවකාලික ත‍්‍රිලකට. අපි දවසෙ පැය ගානක් වැඩ කරලා ඉවර වෙද්දි ආයිමත් වෙන කිසි දෙයක් හිතන්න අපිට එනර්ජි ඉතුරු නෑ. ( මේ කාරණය රජයේ සේවකයන්ට ඒ තරම් අදාල නෑ) ? ටීවී එක ඉස්සරහ මොළය නොවැඩුණු ලොකු ශරීරයක් විතරක් වගේ රූප මාරු වෙනවා බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ. ඉතාමත් සරල බිංදුවේ මනසකට ගැලපෙන දේවල් විතරක්ම විනෝදය විදිහට අළෙවි වෙන්නෙ මේ යතාර්ථය හින්ද. පද්ධතියේ පීඩනය, ජීවිතය අහිමි වීම විශාල වෙන තරමට විනෝදය අළෙවි වෙනවා. ලාබ ත‍්‍රිල් වලට මාර්කට් එක ලොකු වෙනවා.

විනෝදය කියන්නෙ අපිට අහිමි සතුට. බර වැඩ කරන මිනිස්සු හවසට ගල් කාල ගහනවා වගේ අපේ චාටර් ජීවිතය පහුවෙනි දවසටත් අරගෙන යන්න අපිට  ඕන වෙන්නෙ විනෝදය. විනෝදය සහ සතුට අතරෙ වෙනස සරලයි. විනෝදය කෘතිමයි. ඒක ප්‍රොඩක්ට් එකක්  හරියට ෆාස්ට් ෆුඞ් වගේ. ජීවිතයේ සතුට අහිමි වීමෙන් එන කාංසියට ප්ලාස්ටර් විදිහට අපි පාවිච්චි කරන  ඕන දෙයක් විනෝද කැටගරියට වැටෙනවා.ඒත් සතුටට ඊට වඩා ගැඹුරක්  ඕන.

 ජීවිතේ බෝරිං වෙලාවට අපි ටි‍්‍රප් එකක් යනවා. යන ගමන් සිංදු කියල, වැව් මාළු කාලා දවසෙන් දෙකෙන් අතපහු වුණු ගොඩක් මානසික එරියස් පියවගන්න ට‍්‍රයි කරනවා. ඒ විනෝදය. ඒත් සතුට මේ විදිහෙ ඩ‍්‍රැමටික් වෙනස්කම් ඉල්ලා සිටින්නෙ නෑ. ඒ වෙනුවට සතුට ගනුදෙනු කරන්නෙ පැවැත්මත් එක්ක.

ඬේවිඞ් ලින්ච් තමන් සිටින පළාතෙන් පිට සංචාර වලට අකමැති, එකම හෝටලේක එකම තැනක ඉඳගෙන එකම කෑම කන මනුස්සයෙක් විදිහට ප‍්‍රසිද්ධයි. එයාට වෙනසක් ඇතුලෙ විනෝදයක්  ඕන කරන්නෙ නෑ. ඒ වෙනුවට එයාගෙ ජීවිතේ ගැඹුරු තැනකින් එයා සතුට අත්විඳිනවා. හොලිවුඞ් ෆිල්ම් එකක් වගේ ලොකු ක‍්‍රියාදාම ජීවිතයක්  ඕන වෙන්නෙ ජීවිතය ඉවර වෙච්ච අයට.

මේක ආර්ට් ඇතුලට එද්දි කොහොමද? ආර්ට් කියන්නෙ එන්ටර්ටේන්මන්ට් නෙමෙයිද?
ඉස්තෙපාන් ඒක හු`ගක් හොඳට පැහැදිලි කළා.

‘මචං ආර්ට් එකක් කියන්නෙ සෙල්ෆ් (ස්වයං) එක්ස්ප්‍රෙෂන් එකක්. ඒකෙ ජෝක් තියෙන්න පුළුවන්, නැටුම් තියෙන්න පුළුවන්. ඒවා නොතිබෙන්නත් පුළුවන්. ප‍්‍රශ්නයක් නෑ. ඒත් අනිත් අයට ආතල් දෙන්න විතරක් හදනවා නම් ඒක එන්ටර්ටේන්මන්ට්. එක්ස්පීරියන්ස් එකක් ෂෙයාර් වෙන්නෙ නැත්තං එතන ප්ලෙෂර් එකක් ක‍්‍රියේට් වෙන්නෙ නෑ. අපි නිකං හිනාවෙලා, අ`ඩලා එලියට එනවා’

මට හිතෙන විදිහට ලංකාවෙ නං එක්ස්ප්‍රෙෂන් කියලා හිතාගෙන කරන දේවල් වලත් තියෙන්නෙ විනෝදයම තමයි. ඒවා සමහර විට වෙන රටවල සම්මාන පේ‍්‍රක්‍ෂාගාරයක් එන්ටර්ටේන් කරන්න හදන ව්‍යාජ ආත්ම ප‍්‍රකාශන. ජීවිතේ ගැන මූසල චිත‍්‍ර මවන එක හරි ෆිල්ම් වල නම් එක ෆේ‍්‍රම් එක දිගම වෙලාවක් තියාගෙන ඉන්න එක ආර්ට් කියල හිතන එකෙන් ජීවිතය බෙදා ගැනීමක් වෙන්නෙ නෑ.

දර්ශනය පිළිබඳ ආචාර්යවරයෙක් වන බිල් බෲවර් විනෝදය සහ සතුට අතර වෙනස පැහැදිලි කරනවා.
”විනෝදය ශාරීරිකයි කියල කියන්න පුළුවන්. ඒත් සතුට කියන්නෙ ආධ්‍යාත්මික දෙයක්. ඔයාට විනෝද වෙන්න බෑ ඔයා ලෙඩින් නම්, ඔයාට හොඳටම මහන්සි නම්, ඔයාගෙ අතේ සල්ලි නැත්නම්. ඒත් සතුටට මේ සීමා අදාල වෙන්නෙ නෑ. ජීවිතේ ඉතාම දුක්ඛිත මොහොතක වෙන්න පුළුවන් ඔබට ගැඹුරුම සතුට මුණගැහෙන්නෙ.

ව්‍යායාම පිණිස සමහරු උදේට දුවනවා. මේක හරි අමාරු වැඩක් එක දිගට කරගෙන යන්න. ඒ මහන්සිය, අමාරුව, ඇතුලෙන් ඔවුන් යම් ගැඹුරු තෘප්තියක් අත්විඳිනවා. ඒක විනෝදය නෙමෙයි. වේදනාව ඇතුලෙන් එන වෙනස් තේරුමක් එක්ක ලැබෙන සතුටක්.

අපි කෑම කන විදිහ ගැන බලන්න. ඒ කෑම උයන්න, මේසෙට ගේන්න, කතා බහ කරමින් කෑම ගන්න, මේ හැම දේකම තියෙන පරිපූර්ණතාව අපිට මගඇරෙනවා. කෑම එක්ක ගත කරමින් කෑම කන එකේ සතුට වෙනුවට අපි අද අත්විඳින්නෙ වෙනස් වෙනස් කෑම ගොඩක් තෝරමින් හැකි ඉක්මණින් අනුභව කිරීමේ විනෝදය විතරයි. සතුට කියන්නෙ පිරීමක්. විනෝදය කියන්නෙම හිස්කමක්.

විනෝදය හරි අමුතු දෙයක්. විනෝදයට මිනී මරන්න වුණත් පුළුවන්. විනෝදයට වෙඩි තියන්න පුළුවන්. රෝමන් කාලෙ මිනිස්සු සිංහයන්ට කන්න දාලා රෝමන්කාරයො සතුටු වුණා. ඒත් සතුටට මිනි මරන්න කෙනෙකුට බෑ. සතුට කියන එක ඇතුලෙ යම් සදාචාරයක් ක‍්‍රියාත්මක වෙනවා. ඒත් අවාසනාවට අපේ වේගවත් ජීවන රටාවෙ සතුටකට ඉඩක් නෑ. ගෙවලා ගන්න විනෝදයකින් අපිට සෑහෙන්න වෙනවා. විනෝදය ඔබව තෘප්තිමත් කරන්නෙ නෑ. ඒ වෙනුවට නැවත නැවත අතෘප්තියට පත් කරනවා. ඒකෙන් මේ පද්ධතියෙ දැති  රෝද අවශ්‍ය විදිහට කැරකෙනවා.

මේ විනෝදය ඇතුලෙන් මාධ්‍ය අපේ ජීවිත පාලනය කරන්න පටන් ගන්නවා. විනෝදය ඇතුලෙ අපේ මානව සදාචාර අගයන් උඩුයටිකුරු කරනවා. මේකට කියන්නෙ ‘සාපරාධී මාධ්‍යකරණය’. මාධ්‍ය ඇතුලෙ විනෝදය පිණිස අලෙවි කරන මිනිමරුම්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, දූෂණ කොයි තරම්ද? මේ වෙද්දි අපේ පවුල් ඇතුලෙ සදාචාරය පාලනය කරන්නෙ මෙගා ටෙලි නාට්‍ය වලින්.

මේ කෙලවරක් නැති විනෝද සයුර කියන්නෙ සමාජයට සුබ නිමිත්තක් නෙමෙයි. ආයිමත් සතුට හොයාගෙන යන්න මිනිස්සු පොළඹවනවා වෙනුවට මේ අර්ථයක් නැති හිස්කමක නැවත නැවත ගිල්වීම ශිෂ්ටාචාරයක් විදිහට අපිව වල්මත් කරනවා.

ආර්ට් ගැන වුනත් කියන්න තියෙන්නෙ එච්චරයි. ඒ ආර්ට් එකෙන් ඔබට යමක් වුණාද? ඔබට ලැබුණු හැමදේම කොකා කෝලා කප් එකයි පොප් කෝර්න් මල්ලයි වගේ ඒ පුටුව උඩම අත්ඇරලා අත් දෙක වන වන එලියට එනවා කියන්නෙ ඔබ හිස් විනෝදයක් වෙනුවෙන් පැය ගානක් නාස්ති කරලා. ඒත් එලියට එද්දි ඔබට ගෙදර අරන් යන වෙනසක් ඉතුරු වෙලා නම් එතන යම් ජීවිත ගනුදෙනුවක් සිද්ද වෙලා තියෙනවා. ආර්ට් එකක් වෙලා තියෙනවා.

විනෝදය තාවකාලිකයි. සතුට කියන්නෙ දිගු කල් පැවැත්මක්.

ඒ වගේම හොඳට බැලූවොත් පෙනේවි විනෝද වෙන්න නම් ඔබ යමක් කරන්නම  ඕන. ඒක ගොඩක් වෙලාවට මිළක් නියම වුණු ක‍්‍රියාවක්. ඒත් සතුටු වෙන්න ක‍්‍රියාවක් අවශ්‍ය නෑ. අපේ ස්වභාවික පැවැත්ම ම සතුට. ඒක මගඅරුණම දෙන එම්එස්ජී තමයි විනෝදය.

විනෝදය හැම තිස්සෙම අවසන් වෙන්නෙ වෙහෙසක්, හිස්බවක්, ඉච්ඡුාභංගත්වයක් එක්ක. ඒත් සතුට නිතරම ඔබව ඊට වඩා උසස් මානසිකත්වයකට අරන් යනවා. විනෝදය පිණිස ඔබ විනෝදයම හොයාගෙන යන්න  ඕන. ඒත් සතුටට එහෙම නිශ්චිත මාවතක් නෑ. ගොඩක් වෙලාවට සතුට වෙනත් දෙයක් නිසා ඉපදෙන යමක්. සතුට ලබන්න නම් සතුටට වඩා උසස් දෙයක් හොයාගෙන යන්න වෙනවා”

මේක ගොඩක් කාරණා එක්ක සම්බන්ධයි. මේ විනෝදශීලී සමාජයෙ අපි මනුස්ස සම්බන්ධතා ඇතුලෙත් හොයන්නෙ විනෝදය විතරයි. ආදරය පවා ෆේස්බුක් ආදිය එක්ක ඉන්ස්ටන්ට් විනෝද සාදකයකට එහා යන්නෙ නෑ. පැවැත්මේ ගැඹුර හොයන්නටම දෙසූ බුදුන්ගේ දහම පවා මුස්ලිම්කාරයෙකුට බිත්තරයක් ගහන විනෝදය ඉක්මවා යන්නෙ නෑ. ආණ්ඩුව වුණත් පාටියක් දාන්න යුනිට් පහක් දෙන විනෝද කතාවකට වැඩි යමක් කරන්නෙ නෑ.

මේක විනෝදයට එරෙහි යතාර්ථය හඹා යන දේශපාලන අරගලයක් වෙනුවෙන් යෝජනාවක් නෙමෙයි. නීට්ෂෙ හරියටම කියන විදිහට දේශපාලනය දුර්වල වෙද්දි විතරයි ජීවිතය නැත්තං සංස්කෘතිය විශාල වෙන්නෙ. වෙනස් විදිහකට කිව්වොත් ජීවිතය සහ දේශපාලනය අතර තියෙන්නෙ ප‍්‍රතිවිරුද්ද සම්බන්ධයක්. විනෝදය කියන්නෙම දේශපාලනික කාරණයක් වෙන අතරෙ ඊට ප‍්‍රතිවිරුද්ධ සතුට කියන්නෙ ජීවිතය සම්බන්ධ කාරණයක්. දේශපාලනයෙන් විනෝදය මිස සතුට ඇති කරන්න බෑ. ඒක කරන්න පුළුවන් සවිඥාණක පුද්ගල අභ්‍යාසයකින්ම විතරයි.

-චින්තන ධර්මදාස


Tuesday, May 7, 2013

එරෙහිව උඩු සුළං අහුරට


පරාගේ ‘කල්ට්’ එකට පනහ පිරුණ. චැනල් මාරු වුණත් පරා එක දිගට කරගෙන එන වැඩක තුන්වෙනි චැප්ටර් එක විදිහටයි කල්ට් ගන්න වෙන්නෙ. ආර්ට් එක, ඊට පස්සෙ ස්වරූපන, ඊළ`ගට කල්ට්. අපි ඇත්තටම කරන වැඬේ වෙන්නෙ අපිටත් නොදැනීම අපිත් එක වැඩෙන මේ වගේ වැඩ කියලයි මට හිතෙන්නෙ.

කල්ට් නම මේ ප්‍රෝග‍්‍රෑම් එකට දුන්නා කියලා මාව කියවන ගොඩක් අය එක එක විදිහෙ චෝදනා කළා. ඒත් පරාගෙ වැඬේට ඒ නම දෙන්න මං කැමති වුණා. එකක් කල්ට් කියන නම ප‍්‍රධාන ධාරවෙ චැනල් එකකට අරන් එන එකමත් මට ලොකු වැඩක්. මං පත්තරේ බ්ලොග් එකේ ලියන කල්ට් වලට වඩා පරා ගෙ කල්ට් එක වෙනස්. ඒත් ටීවී මාධ්‍ය ඇතුලෙ පරා කරන්නෙත් කල්ට් වැඩක්. කවදාවත් ටීවී සංවාදයක් ඇතුලෙ ඉඩ නොදෙන අදහස් ධාරාවකට පරා වේදිකාවක් හදනවා. ඒ අදහස් පුළුවන් තරමක් නොකපා ටීවී තිරය උඩට අතාරින්න ඌ ට‍්‍රයි කරනවා.

ලියන කියන එක වගේම ඒ ලියන කියන දේවල් එලියට ගේන්න ඉඩ හදන එක කියන්නෙත් වෙනම විෂයක්. මාධ්‍ය ඇතුලෙ ඒ වෙනස් අදහස් වෙනුවෙන් පොඩි හරි ඉඩක් හදන්න උන්ට කන්න වෙන කට්ට දන්න හින්දම මට උන් ගැන තියෙන්නෙ ආදරයක්. ගෞරවයක්.

පරාගෙ කියවීම් වල සීමා තියෙනවා. හු`ගක් රොමැන්ටික් වෙන එක ඇතුලෙ පරා වියමන දුර්වල කර ගන්නවා කියලයි මං දකින්නෙ. ආදරේ ගැන වගේම ආර්ට් ගැනත් රොමැන්ටික් වෙන එක බයානකයි.

මොනවා වුණත් පරා මේ ආර්ට් ගැන කරන ස`ගරාමය වැඩසටහනට රූපවාහිනී මාධ්‍යය ඇතුලෙ අනන්‍යතාවයක් තියෙනවා. කොයි ච ැනල් එකක කොයි ටයිට්ල් එකකින් වුණත් උගේ වැඬේ වෙනම අඳුරගන්න පුළුවන් භාවිතාවක් තියෙනවා. වෙනස් ප‍්‍රාග්ධන හිමියන් යටතේ වුනත් තමන්ගෙ එකම ආකෘතියක්, පොඩි වුණත් අතුරු ව්‍යවස්තාවක් පවත්වාගෙන එන්න පුළුවන් වීම පරාගේ සුවිශේෂයක්. පොඩි හෝ ලොකු ලැබෙන ඉඩ ඇතුලෙ ඌ තමන්ගෙ වැඬේ කළා.

නිදහස හෝ ප‍්‍රාග්ධනය හෝ මොනයම් කොන්දේසියක් හෝ ඉස්සරහට ගනිමින් චෝදනා කරනවා ඇරෙන්න වෙන කිසි විවෘත වීමක්, ව්‍යාප්ත වීමක් නොවෙන අපේ ආර්ට් කරන ගොඩක් දෙනෙකුට වඩා මේ සීමා ඇතුලෙ යන්තම් ෆුට් බෝඞ් එකේ ඉඳගෙන හරි තමන්ගෙ සිංදුව කියන උන් අතින් සමාජෙට වැඩක් වෙනවා කියල මං හිතන්නෙ. ඇහැලියගොඩින්, අම්පාරෙන් කිසි ඇඳුනුම්කමක් නැති අලූත් කොලූ ගැටව් කෝල් කර කර ෆිල්ම් හොයද්දි අපි දුර ඇවිදලා විත්තිය දැනෙනවා.

පරා, 50 කියන්නෙ අමුතු වයසක්. පරණ විදිහටම ගියොත් නාකි වෙනවා. අලූත් වුනොත් ආයිමත් තිරිහන් වෙනවා.

අද උදේ එන ගමන් කිරුළ අහගෙන ආවා. මං හිතන්නෙ අද කිරුළෙ අන්තිම දවසද කොහෙද. මුල පටන් ගත්ත තැන ඉඳන් ආවර්ජනයක් කරනවා මං අහගෙන. හිතුවත් වගේම කිරුළට වැඩි ආයුසක් තිබුණෙ නෑ. කණගාටුදායක කාරණේ වෙන්නෙ එහෙම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල තේරුමක් තියෙන ච ැනල් එකකට පැවැත්මක් අහිමි එක. අදහසක් නැතුව ඉබාගාතේ සිංදු කිය කිය මිනිස්සු දක්කන ච ැනල් අංක එකට යද්දි හිස් නැති හිස් කීපයක් හරි ඇති කියන විශ්වාසෙන් කරන චැනල් බිංදුවට යන එකෙනේ එලිවෙන රටේ යතාර්ථයක් තියෙනවා. අපි ජීවත් වෙන්නෙ පිස්සන්ට ගිය රටක. රටේ දේශපාලනය, මාධ්‍ය වගේම ජනතාවත් යලි යලිත් ඔප්පු කරන ඇත්ත ඒක.

මේ විදිහෙ වෙනස් අදහසක් ඇතුව කරන ව්‍යාපෘති ෆේල් වෙන්න මූලික හේතුව බුද්ධිමත් හෝ විකල්ප හෝ වෙනයම් අර්ථයක් ඇති වැඩක් කරමින් ඉන්නවා කියල සමාජගත වෙන පිරිස් ඇත්තටම හිස් බෙලෙක්ක වලට වැඩි යමක් නොවෙන එක. යම් අදහසක් හෝ වෙනසක් වෙනුවෙන් එකතු වෙද්දි ඒකෙ මාධ්‍ය අයිතිය, ප‍්‍රාග්ධනය, කන්‍යාභාවය වගේ තවත් දහසකුත් දේවල් හොය හොයා ඉන්න එකෙන් සහ දහසකුත් දේශපාලන කතා වලින් ප‍්‍රතිවිරෝධතා මතු කරන එකෙන් වෙන්නෙ එක සරල දෙයයි. ඒ පවතින මෝඩ සංස්කෘතික පරිසරය තිරසාර කිරීමම විතරයි. ලංකාවෙ කලා හෝ දේශපාලන හෝ බරපතල අදහස් නියෝජනය කරන ගොඩක් දෙනෙක් මේ අපරාදයට වග කියන්න  ඕන. ඇත්තටම ඒ ප‍්‍රබුද්ධ, දේශපාලනික, විකල්ප කියන සුළු අදහස් කණ්ඩායම් කියන්නෙත් වෙනම අනන්‍යතා වෙළඳ පොලක් වෙනුවෙන් පොරකන පිරිසක් විතරයි. ඒ අනන්‍යතාවය ලේසියෙන් සහ පහසුවෙන් පවත්වාගෙන යන්න පිටත විශාල මෝඩ අවකාශයක් පැවතීමේ වාසිය විතරයි ඒ පේමන්ට්කාර විකල්පයන් හොයන්නෙ.

අදහසක් වෙනුවෙන් එකතු වෙන්න, අලූත් පරාසයන් විවෘත කර ගන්න ලංකාවෙ අදහස් පිරිස් ලෑස්ති නෑ. ඒ වෙනුවට ආයිමත් ආයිමත් දූපත් විදිහට ජීවත් වීමේ ආරක්‍ෂාව ඒ අය ස්වයං වින්දනය කරනවා. ප‍්‍රාග්ධනයට හෝ ධනවාදයට විරුද්ධව කතා කරන පිරිස් ප‍්‍රාග්ධන හිමියන්ට හෝ ධනපතීන්ටත් වඩා මුදල ගැන උනන්දු වෙනවා. හැම සංස්කෘතික මිම්මක්ම එතනදි මැනෙන්නෙ මුදල් අයිතියෙන්.

කිරුළ පිළිගන්න අකමැති වුණු මේ විකල්ප දූපත් ජනතාවගේ අදහස් මට ඇහුණ. ප‍්‍රධාන ධාරාවට වඩා විකල්පය සිතීමක් විදිහටම සීමිතයි, මට හිතුණ. මොනවා වුණත් කිරුළ අදින් පස්සෙ නෑසී යාවි. ඒත් කිංග්ස්ලි උඹ හොඳ වැඩක් කළා. හෙට ආයිමත් අල ගෝනි වික්කත් අද කරපු හොඳ ඒකෙන් අවතක්සේරු වෙන්නෙ නෑ. විකල්පයක් නැති රටක විකල්පයක් වෙනුවෙන් චැනල් එකක් කරපු එක මකන්න බැරි රේඩියෝ සළකුණක් වේවි.

කිරුළ උඹට ආයිබෝවන් මචං. ආයිමත් පුළුවන් වුණු දවසක අපි මුණගැහෙමු.

චින්තන ධර්මදාස




Monday, May 6, 2013

ජීවිතය දේශපාලනයට වඩා විශාලය



ආයිමත් මැයි පළවෙනිදා දවසක්. පෙලපාලි යන්න පාට ඇඳුම් බෝඞ් අරන් දේශපාලනය කරන හැමෝම එක එක විදිහට පාරට බහිනවා. සටන් පාඨ කිය කිය පෙලපාලි යනවා. චාරිත‍්‍රයක් වගේ හැමදාම එක විදිහට රැුස්වීම් තියලා යටිගිරියෙන් කෑ ගහනවට වඩා තේරුමක් මේ දවසෙ තියෙනවද? වෙන විදිහකට කිව්වොත් කාට ඇහෙන්නද මේ කෑ ගහන්නෙ? කාගෙන්ද මේ ඉල්ලන්නෙ? මොනාද ඉල්ලන්නෙ? මට හිතෙන්නෙ මේ දවස වැඩ කරන ජනතාව වෙනුවෙන් නම් මේ නිවාඩු දවසට ඊට වඩා අදහසක් තියෙන්න  ඕන. වැඩ කරන එකෙන් මග ඇරෙන්නෙ ජීවිතය. අඩු වෙන්නෙ නෙමෙයි නැති වෙන්නෙ ජීවත් වෙන්න තියෙන වෙලාව. ඒත් වැඩ කරන ජනතාවගේ දවස කියලා පාරෙ පෙළට පෙලපාලි ගිහින් බෝඞ් උස්සන් ඉන්නකොට මට හිතුනෙ ඒ දවස අපරාදෙ කියල.

මැයි දිනය ආවෙ පැය අටක වැඩ කාලයක් වෙනුවෙන් අරගලයක් විදිහට. පැය අටක් වැඩ පැය අටක් විනෝදය පැය අටක් විවේකය. මැයි දවසෙ අරගලය වුනේ ඒක. ඒත් අපේ රටේ මැයි දවසෙදි කරන්නෙ ආන්ඩුවට ඇහෙන්න පිට්ටනි වල ඉඳන් යටිගිරියෙන් මොර දෙන එක. විහිළුම වැඬේ වෙන්නෙ මේ හැම පොඩි රැුලියකටම වඩා ලොකු නිල් රැුල්ලක් එක්ක මහින්දත් මැයි දවසෙ එලියට බහින එක. හැමෝම මොන මොනවා හරි කියල කෑ ගහනවා. මට දැනෙන විදිහට මේක කම්කරු දිනේකට වඩා මෝඩයන්ගෙ දිනයකට හරි කිට්ටුයි. කවුද කාටද කෑ ගහන්නෙ කියල හිතාගන්න බැරුව මං බලන් හිටියා.

මීට අවුරුදු කීපෙකට උඩදි එක මැයි පලවෙනිදාවක විතරක් වෙනස් මැයි රැුලියක් තිබුනා. ඒ එක්ස් එක කැඩිලා ගියාට පස්සෙ අවුරුද්දෙ මැයි. නුගේගොඩ එලිමහන් පිටියට පෙලපාලි වලින් කට්ටිය ආවා. ඒ ගොල්ලො අරන් ආවෙ මැරලින් මොන්රො, ජෝන් ලෙනන් වගේ අයගේ ලොකු පිංතූර. ඒ ගොල්ලො ආවෙ මගදිගට සිංදු කිය කිය. දෙපැත්තෙ බලන්න රැුස් වෙච්ච සෙන`ගට ඒ ගොල්ලො රතු රෝස මල් දුන්නා. එලිමහන් රංග පීඨෙ වේදිකාව උඩ කතා කාරයො විතරක් නෙමෙයි ඊට වඩා කලාකාරයො, සංගීතකාරයො පිරිලා හිටියා. කතා කොට වුනා. ඒ වෙනුවට කවදාවත් මාධ්‍ය වල නෑහෙන සිංදු වේදකාව උඩ කිව්වා. කංසා අයිතිය වෙනුවෙන් වෙනම කුටියක් හදලා තිබුන. ඒ කුටිය ඇතුලෙ  ඕන කෙනෙකුට ජොයින්ට් එකක් දාන්න පුළුවන් වුණා. දේශපාලනය වෙනුවට ජීවිතය බෙදා ගන්න ඒ මැයි රැුලිය වෙන් වෙලා තිබුන. තාම ඒක හීනයක් වගේ දවසක්.

ඒ වෙනස මැයි රැුලිය කරපු අයට පවා නුහුරු වෙනසක් විදිහට පෙනුනා. රෝස මල් දෙද්දි සමහරු ලැජ්ජාවෙන් රතු වෙලා හිටියා. ඒත් හැම වෙනසක්ම ඒ විදිහට මුලදි නුහුරුයි තමයි. හැබැයි ඒ මැයි රැුලිය තිබ්බෙ එකම එක වතාවයි. ඊට පස්සෙ ඉඳන් ඒ කට්ටියම ආයිමත් රතු බෝඞ් අරන් පිට්ටනි වල යටිගිරියෙන් කෑ ගහන්න එකතු වුණා. දීප්තිලා මේකට කියන්නෙ මොන්ටිසෝරි මැයි රැුලිය කියල. ඒත් ලංකාවෙ වැඩ කරන පැය අටක දොලහක විසි හතරක සංස්කෘතිය වෙනුවට ජීවිතය, වඩා විශාල සංස්කෘතික සමාජීය බෙදා ගැනීමක් යෝජනා කරන ලොකු අදහසකින් සංවිධානය වුණු එකම මැයි රැුලිය ඒක. ඊට කලින් සහ පස්සෙ හැම මැයි රැුලියකම යෝජනාව පැහැදිලියි. වැඩ කරන ජනතාවට ජීවිතය වෙනුවට දේශපාලනය. සිංදුවක් වෙනුවට බෝඞ් ලෑල්ලක්. නිදහස වෙනුවට ආවේගය. අඩුම තරමෙ ජනාදිපති ඇවිත් පාටියක් දාන්න විදුලි යුනිට් පහක් දෙන්න කතා කළා.

වැඩ කරන ජනතාව කිව්වම කම්කරුවො කියන අදහස ලංකාවට මේ වෙද්දි ඒ තරම් වලංගු සීමාවක් නෙමෙයි. අපි හැමෝම (දේශපාලනය කරන කීප දෙනෙක් හැර) සමහර වෙලාවට පැය අටකටත් වඩා වැඩ කරන ජනතාව. ඒ වැඩ කරන එක ඇතුලෙ ධනපතියා හරි ප‍්‍රාග්ධන හිමියා හරි හූරන් කනවා කියන පට්ට ගහපු කතාවට ගොඩක් සංස්කෘතික වෙනස්කම් තියෙනවා කතා කරන්න.

පැය අටක වැඩ කාලයක් කිව්වට එතනදි කෙනෙක්ගෙන් සිද්ද වෙන ඵලදායී වැඩ කාලය පැය තුනක් විතරක් කියල මේ වෙද්දි පර්යේෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි. (මේක රජයේ සේවකයන්ට අදාල නොවෙන්නේ ඒ ගොල්ලොන්ගෙ වැඩ කාලය මනින්න වෙනම සූත‍්‍රයක්  ඕන වෙන හින්ද) ඒත් මේ පැය අටක වැඩ කාලයෙන් වෙන ඊට වඩා දරුණු ප‍්‍රතිඵල තියෙනවා. උදා විදිහට මේ පැය අටක වැඩ කාලය විසින් විකෘති පාරිභෝජන රටාවක්, අතෘප්තිකර ජීවිතයක්, නාස්තියක්, අසහනයක් සාමාන්‍යයක් විදිහට සමාජයේ සම්මත කරනවා. අහිතකරජීවිත බලපෑම් ඇති කරනවා.

දවසෙ පැය අටක් කියලා අපි ඔෆිස් එකක් ඇතුලෙ ගත කරන්නෙ ඉර එලිය තියෙන දවසෙ හොඳම පැය ටික. ඊට පස්සෙ අපි එලියට එන්නෙ අන්ධකාරෙට. අපේ ජීවිත වල සියලූ සම්බන්ධතා සහ විනෝදාස්වාද වෙනුවෙන් අපිට ඉතිරි වෙන්නෙ ඒ රාත‍්‍රීන් සහ සති අන්ත විතරයි. රාතී‍්‍රන් සහ සති අන්ත වලින් විතරක් මනුස්ස සම්බන්ධකම් පවත්වන්න උත්සාහ දරන ඒ සීමිත කාලයේ විතරක් ජීවත් වෙන මිනිස්සු බවට අපි පත් වෙනවා. ඒක වැඩ කරන සංස්කෘතිය.

අපි උපයන හැම දෙයක්ම වියදම් කරන්න සිද්ද වෙන්නෙ ඒ සීමිත කාලෙ ඇතුලෙ. මගඇරෙන ජීවිතේ වේගය අල්ලන්න අපි උපරිමයෙන් වියදම් කරනවා. හැමදාම බීපු කෝපි එක වෙනුවට වැඩි ගානක කෝපි එකක් අරන් අපි වෙනම ආකාරයක තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. අවශ්‍යතාවය වෙනුවට වෙනත් වෙනත් රෝගී සමාජ අගයන් වෙනුවෙන් අපි අසහනයෙන් වියදම් කරනවා. වැඩ කරන සංස්කෘතිය විසින් කරන ලොකුම හානිය වෙන්නෙ මේ විකෘති පාරිභෝජන රටාවට ඇබ්බැහි කරන එක. ත‍්‍රීඞී ෆිල්ම් හෝල්, ෂොපින් මෝල් හරහා අපේ තෘප්තිමත් කරන්නෙ මේ වැඩ කරන පැය අටේ ආතතිය. නැති වෙලා ගිය ජීවිතේ හොඳම පැය ටික විඳින්න අපි විවෘත වෙලා තියෙන සීමිත වෙළඳ සැල් ඇතුලට ගාල් වෙනවා.

ඇත්තටම අහිමි වෙන්නෙ අපිට පොතක් කියවන්න, ඇවිදින්න යන්න, ඉඳගෙන ඉන්න, යාලූවො මුණගැහෙන්න තියෙන වෙලාව. ඒ වෙනුවට අපිට ලැබෙන්නෙ වියදම් කරන්න හැකියාවක් විතරයි. ඒ වියදම ඇතුලෙ හැම සමාජ උවමනාවක්ම සපුරා ගන්න සිද්ද වෙනවා. එතකොට පාංතික අගයන්, බ‍්‍රෑන්ඩඞ් වටිනාකම් වෙනම මානසික අඩුවක් පුරවන්න ගන්නවා. මේ සමාජ මානසික ආතතිය, අවුල තමයි වැඩ කරන සංස්කෘතියෙ ඇත්ත කතාව වෙන්නෙ. මට අනුව මේක පඩි වැඩි කිරීම හෝ ජීවන වියදම වගේ තත්වෙකට වඩා භයානකයි.

පඩි වැඩි කළා කියල ප‍්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. පඩියට වැඩ කරන කවුරු වුනත් දන්නවා වැඩි කරන හැම ගානකටම හරියන්න වියදමක් ඈඳෙන වග. කොයිතරම් පඩි වැඩි කළත් අපි පඩියක් නැතුව ජීවත් වුණු කාලෙ තිබුණු තෘප්තිය, සම්පූර්ණ බව, ජීවිතය ඒ පඩියෙන් ගන්න බෑ. අපි වෙනත් විෂම චක‍්‍රයක හිරකාරයො වෙනවා. ඇත්තටම පැය අටක වැඩ කාලෙ ප‍්‍රාග්ධන උවමනාව ශ‍්‍රමය සූරාකෑම කියලා හිතන එක පටු අදහසක්. මේ පැය අටක වැඩ සංස්කෘතියෙ ආතතිය, විකෘතිය මත තමයි පාරිභෝජන සංස්කෘතිය දුවන්නෙ. මේ අසහනය වෙනුවෙන් තමයි වියදම් නිර්මාණය කරන්නෙ. වැඩ කරන ජනතාවට තියෙන්නෙ මේ ජීවිතය සම්බන්ධ වඩා දරුණු සංස්කෘතික අවුලක් කියලයි මං දකින්නෙ.

සමාජ අවකාශය හැකිලීම, මිනිස් සම්බන්ධතා වෙනුවට දේවල් පමණක් මුණගැහෙන අවකාශයක් ඇතුලෙ නැවත දෙයක් බවටම පත්වීම හැරෙන්න විකල්පයක් නැති කම, ජීවිතය සදාකාලිකව ලීස් කිරීම වගේ දියුණු කාරණා ගැන වැඩ කරන ජනතාව වෙනුවෙන් සංවාද ඇතිවෙන්න  ඕන. මං මෙතන කියන්නෙ ධනවාදය වගේ වියුක්ත අදහසකට විරුද්ද වීම වගේ ලේසියෙන් බෝඞ් එකක ලියා ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ වෙනුවට සංයුක්තව ජීවිතය පැත්තට හැරෙන ඇත්ත වැඩ කරන සංස්කෘතියක අර්බුදය තේරුම් ගැනීම ගැන කතාවක්. පැය අට අඩු කරන්න හෝ ඔෆිස් වල අයිතාකාරයන්ට විරුද්දව පිකට් කරන්න හෝ වගේ පිස්සුවකට වඩා ක‍්‍රමයක් විදිහට ක‍්‍රියාත්මක වෙන මේ පද්ධතියෙන් අහිමි කරන දේ තේරුම් ගැනීමත් ඒ අහිමි වීමට යම් යම් හෝ අදහස් යෝජනා වීමත් තමයි වැදගත්.

මං කියන්නෙ දේශපාලනයට වඩා ජීවිතය විශාල ලෙස දකින ඉඩක් නිර්මාණය වෙන්න  ඕන. වැඩ කරන ජනතාව වෙනුවෙන් එන දවසක් නම් එතන වැඩ කරන සංස්කෘතිය විසින් අහිමි කරන දේට ප‍්‍රතිවිරුද්ධ අදහස් මතු වෙන්න  ඕන. සිංදු කියන, නටන, කතා බහ කරන, විහිළු තහළු කරන, විනෝද වෙන වැඩ නොකරන මිනිස්සු පිරිසක් මැයි දවසෙ පාරට එකතු වෙන එක මට ලස්සන හීනයක් වෙන්නෙ ඒ හින්ද.

ආර්ට් වලට මෙතනදි ලොකු වැඩ කොටසක් පැවරෙනවා. ගෙවලා ගන්න විකෘති විනෝදය වෙනුවට සජීවී මනුස්ස විනෝදාස්වාද අවකාශයන් මිනිස්සු ඇහැරවනවා. දේශපාලනය කියන්නෙ වැඩ කරන සංස්කෘතියෙම විකෘතියක් විතරයි. වැඩ කරන සංස්කෘතියෙම ආතතියෙ වෙනස් ප‍්‍රකාශ වීමක් විතරයි. කොටින්ම ඒක වැඩ කරන සංස්කෘතියටත් වඩා පුංචියි. ඊට වඩා වැඩ කරන සංස්කෘතියට වෙනස් සංස්කෘතික යෝජනාවක් මැයි දවසෙ පාරට එන්න  ඕන. තමන්ම ඡන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවට විරුද්ධව තමන්ම කෑ ගහනවට වඩා හොඳ විහිළු මැයි දිනයකට  ඕන.

ඒක ආදරය සහ ජීවිතය යෝජනා කරන දවසක්, හේතුවක් නැතුව රතු රෝස මල් බෙදන, මිනිස්සු හිනවෙන, කන බොන දවසක් වුනොත් ඒ නිවාඩුව තේරුමක් තියේවි. කොහොමත් දේශපාලනය හා ජීවිතය එකට තියන්න පුළුවන් දෙකක් නෙමෙයි.

-චින්තන ධර්මදාස

Sunday, April 28, 2013

TURN ON-TUNE IN-DROP OUT


මං ටෙරන්ස් මැකේනා එක්ක ටි‍්‍රප් එකක් යන ගමන් හිටියෙ. එයා ගැන මං හිතන්නෙ කිසි දෙයක් සිංහලට පරිවර්තනය වෙලා නෑ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ දැනුම් කලාපය ගැන අපේ රටේ සිතීමේ කලාප තාම වර්ධනය වෙලා නෑ. ඒත් සයිකඩෙලික්ස් වලින් (විකිපීඩියා තේරුම හැටියට ප‍්‍රජානනය හා සංවේදනය දියුණු කරන මනෝක‍්‍රියාකාරී රසායන. ලේසි විදිහට කිව්වොත් කංසා, එල්එස්ඞී, එක්ස්ටසි ආදී අපේ රටේ රාස්සයන්ට අන්දලා තියෙන මත් ද්‍රව්‍ය) වෙනස් යතාර්ථයන් තේරුම් ගැනීම සහ ඒ හරහා සිද්ද වුණු වෙනස් පරිණාමයන් ගැන මැකේනා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරනවා.

‘මචං ඒක ඇත්තක්. ඇමෙරිකාවෙ 1960 වෙනකල් කිසි ලොකු වෙනස්කමක් වුනේ නෑ. පොඩි පොඩි වෙනස්කම් විතරයි හිතාගන්න පුළුවන් වුණේ. ඒත් මචං 60න් පස්සෙ ඒ ගොල්ලොන්ගෙ ලොකු වෙනසක් වුණා. තනි එකක්, සමස්තයක කොටසක් විදිහට තේරුම් ගැනීමක් ආවා. ඒකෙන් සාමය ගැන නිදහස ගැන ලොකු අයිඩියාස් ආවා. මචං මේ වෙනස වෙන්නෙ ඇමෙරිකාවට හිපි මූව්මන්ට් එක හරහා ඩ‍්‍රග්ස් එන්න පටන් ගත්තම’ ඉස්තෙපාන් ටිකක් දේවල් ඇඞ් කළා.

‘ඔයා කියන්නෙ මේ සිලෝසයිබින් මෂ්රූම් (ස්වභාවික එල්එස්ඞී අඩංගු හතු විශේෂයක්) පිටසක්වළ ඉඳන් ආපු ඉහළ මට්ටමේ විඥාණයක් සහිත ජීවින් කොටසක් කියල. ඒවායෙ අරමුණ මානව වර්ගයා එක්ක සහජීවන පැවැත්මක් ගොඩනගා ගැනීම කියල’ ටෙරන්ස් මැකේනාගෙන් එක වෙලාවක ප‍්‍රශ්න කරනවා එයාගෙ අදහසක් ගැන.

මෙතනදි මැකේනා කියනවා එයා කතා කරන්නෙ පිටසක්වලින් පොලොවට ජීවය ආවා කියන කතාව නෙමෙයි ඒ වෙනුවට පිටසක්වල ඉඳන් පොලොවට ‘ඉන්ටෙලිජන්ස්’ (බුද්ධිමත්භාවය, උසස් විඥාණයක්) ආවා කියන කාරණය කියල. තව අවුරුදු සීයකින් ජීව විද ්‍යාව මීට වඩා වැඩුණු දවසක එහෙම මේ ජීවානු විශ්වය හරහා එන්න බෑ කියල හිතපු දවස් ගැන මිනිස්සු මතක් කරලා හිනාවෙයි කියල මැකේනා කියනවා.
‘සිලොසිබින් මෂ්රූම් සහ ඒවායෙ අපේ විඥාණය එක්ක තියෙන ගණුදෙනුව මීට වඩා සැලකිල්ලට ගන්න  ඕන කාරනයක්. මේක ගැන කතා කරන්න මේ අත්දැකීම තියෙන පිරිසක් ඉන්න  ඕන. පිළිගන්න එක හරි නොපිලිගන්න එක හරි වෙනම කාරණයක්. ඒත් අපේ විද්‍යාඥයො කීයෙන් කී දෙනාටද මේ මෂ්රූම් අත්දැකීම තියෙන්නෙ?’ එයා ආපහු ප‍්‍රශ්න කරනවා.

ටෙරන්ස් මැකේනා හරිම සුවිශේෂී අදහසක් කියනවා මානව පරිණාමය ගැන. තනිකරම පැතලි අතට අහුවෙන දේවල් උඩ විතරක් ගොඩනැගුණු පරිණාමවාදය ගැන අපි කතා කරන අදහස් වලට වඩා මැකේනාගේ අදහස නිර්මාණාත්මකයි. ඒක වෙන විදිහක තේරුම් ගැනීමකට, දෙබසකට ඉඩ හදනවා.

‘මේ මෂ්රූම් (හතු) පිටසක්වලින් ආවත් නැතත් මේ සයිකඩෙලික් හතු කෑමට එකතු වුණ තැන ඉඳන් අපේ පරිණාමයේ ගොඩක් වෙනස්කම් සිද්ද වුනා. සිලොසිබින් පොඞ්ඩක් කාපු ගමන් පෙනීම දියුණු වෙන්න ගන්නවා. මේක ඇත්තටම දඩයම් සාර්ථක වෙන්න ගොඩක් උදව් වුණා.  කෑම හොයා ගන්න එක වැඩි වෙනවා කියන්නෙ ප‍්‍රජනනය සාර්ථක වෙනවා කියන එක. ඒක තමයි පරිණාමයේ සෙල්ලම. කෑම එක්ක සිලොසිබින් ගත්ත ආදි මානවයන්ගෙ පෙනීම දියුණු වුණා. ටිකක් වැඩි පුර කාපු අයගෙ ලිංගික ශක්තිය, ප‍්‍රාණවත්වීම, ස්නායු පද්ධතිය එක්ක සම්බන්ද හැම තත්වයක්ම දියුණු වුණා’
එතකොට සිලොසිබින් වලින් සුරතාන්තය වළක්වනවා කියන කතාව බොරුද?

‘‘ඒ මං කියන මාත‍්‍රාවෙදි නෙමෙයි. යන්තම් දැනෙන ගානට සිලොසිබින් ශරීරගත වුනොත් ඒක වැඩ කරන්නෙ උත්තේජකයක් විදිහට. ඊට වඩා මාත‍්‍රාවන්ට ගියොත් මොලේ භාෂා නිර්මාණාත්මක හැකියාව දියුණු කරන්න පටන් ගන්නවා. ඒක හරියටම පෙනීම, ලිංගිකත්වය සහ පරිකල්පනය කියන තුනම එක්වර දියුණු කරන එන්සයිමයක් වගේ. මේ නිසා භාෂා මානවයා බිහිවෙන්න මේක හේතුවුණා. සිලොසිබින් ආදි මානවයාගේ මානසික සංවර්ධනයට බලපෑවා. මේක හරියටම පරිණාමීය එන්සයිමයක් වගේ’’
මෑත කාලෙදි පැරණිතම ශබද් තාක්‍ෂණයන් ගැන නැවත උනන්දුවක් ඇති වෙනවා. එක්තරා ලිපියක ඔබ කියනවා යම් මානසික තත්වයක් ඇතුලෙදි ඔයාට පුළුවන් කියලා මේ ශබ්ද තරංග පාවිච්චි කරලා ඒ අතීතය ආපහු දකින්න?

‘‘ඒක ෂාමනිස්ම් (වෙනස් වෙනස් මනෝ යතාර්ථයන් අත්දකින ආධ්‍යාත්මික පුහුණු වීම්) සම්බන්ද වැඩක්. ඞීඑම්ටී ශාකය මෙතනදි මූලික වෙනවා. ඞීඑම්ටී කියන්නෙ බොරු නියුරොට‍්‍රාන්ස්මිටර් එකක්. ඒකෙන් ශබ්දය රූපයෙන් දකින්න හැකියාව ලැබෙනවා. සංගීත සංකල්පනා නෙමෙයි ඒත් පිංතූර වලින් වෙන ගොඩඉනැංවීම් විදිහට ශබ්දය දකින්න ඉඩ ලැබෙනවා. මට හිතෙන්නෙ මේක අපේ භාෂා පරිණාමයේ තවත් ඉදිරි තත්වයක්. අහන භාෂාවක් වෙනුවට දකින භාෂාවක් දක්වා මාරු වෙන එක. භාෂාව ශබ්දයත් විදිහට තියේවි. ඒත් අපිට ඒකෙන් විෂුවල් අදහසක් දැනෙන්න ගන්නවා. මේක ඇමසෝන් වල ෂාමන් වරු කරපු දෙයක්. ඒ ගොල්ලොන්ගෙ සිංදු ශබ්ද නෙමෙයි. ඒවා පිංතූරමය අත්දැකීමක් ශබ්ද සංඥා වලින් කියනවා වගේ දෙයක්’’

මැකේනා ජීවිතේ වැඩි කාලයක් ගත කළේ වනගත ගෝත‍්‍ර ගැන අධ්‍යයනය කරන්න. එයා ඒ හැම ගෝත‍්‍රයකම තියෙන සයිකඩෙලික් අත්දැකීම් එකතු කළා. ඒවා ගැන පර්යේෂණ කලා. කොළ වල ඉලක්කම් වලින් කරන ප‍්‍රමාණාත්මක, ගුණාත්මක පර්යේෂණ සීමා වලට වඩා එහා ගිහින් ජීවිතේ අත්දැකීමක් විදිහට එයා මේ පර්යේෂණ කළේ. ටෙරන්ස් මැකේනාව අඳුන්නලා දෙද්දි විවිධ වූ නම් පාවිච්චි කරනවා. මං හිතන්නෙ මේ හැම නමක්ම අපිට අලූත් විෂයක්. මැකේනා එත්නො-බොටනිස්ට් කෙනෙක් කියලා එක විදිහකට කියනවා. ඒ කියන්නෙ මිනිස්සු සහ පැළෑටි අතර සම්බන්ධතා හොයාගෙන ගිය පර්යේෂකයෙක් විදිහට. මැකේනා ඇමසෝන් ගෝත‍්‍ර අතර මායා බල සහිත පැළෑටි ආදිය ගැන කරපු අධ්‍යයන අයිති වෙන්නෙ මේ කොටසට.

වෙන විදිහකට කිව්වොත් එයා ‘සයිකොනට්’ කෙනෙක්. ඒ කියන්නෙ විවිධ ආකාරයෙන් තමන්ගේම මනස ඇතුලට රිංගලා එහි විවිධ තත්ත්ව , අවධි, වෙනස්කම් අත්දකින්නෙක් සහ ඒ ගැන කතා කරන්නෙක්. රසායන වලින් වෙන්න පුළුවන්, වෙනත් පුහුණුවීම් වලින් වෙන්න පුළුවන් එයාගෙ පර්යේෂණ කලාපය වෙන්නෙ තමන්ගේම විඥාණය. සීමිත ඉරි ගහපු කොටු වලින් එහා තවත් ඒකෙ ඇවිදින්න තියෙන තැන් හොයාගෙන යන මනස් විශ්වයේ ගගනගාමියෙක්. මං කියන්නෙ මේ යුගයේ යෝගියෙක්. සන්‍යාසියෙක්. එයාගෙ තියෙන පැරණි මානව ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යයන, මානව විද ්‍යාත්මක පර්යේෂණ, සයිකඩෙලික් අත්දැකීම් සහ භාෂාවේදය වගේ විෂය පථ ගානක් එකට සම්බන්ධ කරමින් නව අදහස් මුදාහරින්න තියෙන සුවිශේෂ දක්ෂතාවය නිසා එයාගෙ අලූත් අදහස් වලින් පළල් කතිකා ඇතිවුණා. අධ්‍යාත්මවිද්‍යාව, භාෂාව, ඉතිහාසය, පැරණි ශිෂ්ටාචාර, මනුස්ස විඥාණය ගැන වෙනස් ප‍්‍රවාද වගේම එයාගෙ සංකල්පයක් වුණු නව්‍යබවේ න්‍යාය (නවල්ටි තියරි) වැනි සුවිශේෂ දැනුම් පද්දතියක් එක්ක ගත කළ ඇමරිකානු දාර්ශනිකයෙක් මැකේනා.

මේ නවල්ටි තියරි කියන අදහස හරි අපූරුයි. එයා කියන විදිහට අපේ පැවැත්ම ඇතුලෙ ද්වන්ධ සටනක් තියෙනවා. ඒක මානව ශිෂ්ටාචාරය පුරාම එන විදිහ. එයා මේ න්‍යාය පැහැදිලි කරන්න චීන ඊ-චිං ශාස්ත‍්‍රය පාවිච්චි කරනවා. ඊ-චිං මිතොලොජි එකත් එක්ක නූතන භෞතික විද්‍යාව එකතු කළොත් කොහොම වෙයිද කියල මැකේනා මේ හෙලිදරව් කර ගැනීම ඇතුලෙ අහනවා. මානව පැවැත්ම තීරණය වෙන්නෙ අක්ෂ දෙකක් මත. එකක් පැරණි පුරුදු ආකාරයෙන්ම තීරණ ගනිමින් ඒ සීමිත ලෝකය තුල ආරක්‍ෂාකාරී පැවැත්ම. දෙක අලූතෙන් නැවත සමබන්ධතා හඳුනාගනිමින් අවදානම්කාරී නොදන්නා ලෝකය තුලට ඇතුල් වීම.

ශිෂ්ටාචාරයේ ගමන තීරණය වෙන්නෙ මේ දෙක අතරින්. කොහොම වුණත් අන්තිමට අලූත් එක තෝරා ගැනීම කියන කාරනේ ජයග‍්‍රහණය කරනවා කියල මැකේනා කියනවා. අපි කොයි විදිහකට ජීවත් වුණත් අපි අන්තිමට හැරිලා බලන කොට අපි අලූත් තැනකට ඇවිත් ඉන්නවා. පරිණාමය හැමතිස්සෙම තියෙන්නෙ ඉදිරි අතට.

නිව්ටෝනියානු කාලය ගැන අදහස මැකේනා විස්තර කරනවා. කාලය කියන එකට තියෙන අදහස තමයි ශුද්ධ වූ ගතවීම වගේ එකක්. බටහිර විද්‍යාවෙ කාලය පවතින එකම තැන මොකක්ද කියල බලන්න. ඒ එකවිට හැම දෙයක්ම සිද්ද නොවෙන අවකාශයක විතරයි. එකකට පස්සෙ තව එකක් වෙනවා නම් මිසක් කාලය කියන එකට පැවැත්මක් නෑ. කාලයට ගුනයක් නෑ. ඒක ගතවීමක් විතරයි. මේක හරි සුමට ගතවීමක්. අවුරුදු 500 ගානක් ගතවුණු මේ අදහස වෙනස් වුනේ අවුරුදු 100ට විතර කලින් අයින්ස්ටයින් අතින්.  දැවැන්ත ගුරුත්වයන් නිසා මේ සුමට බව විශාල වශයෙන් විපරීත වෙන්න පුළුවන් කියල අයින්ස්ටයින් පෙන්නලා දුන්නා. දැන් අපි ඉන්නෙ තරමක් වක් වූ කාල අවකාශයක. අයින්ස්ටයින්ට පස්සෙ කාලය තව දුරටත් සුමටව එක විදිහකට ගලාගෙන යන්නෙ නෑ.

මැකේනා කියන විදිහට අපි හැම කෙනෙක්ම තනි තනි ගවේෂකයෙක්. ජාතියකට රටකට ආගමකට අයිති වෙනවට වඩා අපි ලොකු මානව ශිෂ්ටාචාරයක කොටසක්. අපි අපේ මානව වර්ගයා නියෝජනය කරනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන අවශ්‍යම සහ වටිනාම වැඬේ නැත්තං වගකීම අලූත් අදහසක් ලෝකෙට අරන් එන එක කියල මැකේනා කියනවා. හොඳ අදහස් නැතිකමෙන් ලෝකය අවදානමක තියෙන්නෙ. අපේ ලෝකෙ තියෙන ලොකුම අර්බුදය වෙන්නෙ සවිඥාණක නැති කම කියන එකයි එයාගෙ අදහස. ඒ හින්දම මැකේනාගේ හැම අධ්‍යයන කාර්යක්ම කැප වෙන්නෙ ද්‍රව්‍යවාදී, අපෙන් බාහිර භෞතිකයක පැත්තෙන් විස්තර කරපු දැනුම් ඉතිහාසයක් මානව සවිඥාණකබව ඇතුලෙන් ආපහු කියවන එක.

‘පරිකල්පනය තමයි ඉතිහාසයේ එකම අරමුණ, දිනාගැනීම වෙන්නෙ. මට පේන විදිහට කල්චර් එක කියන්නෙ සාමූහිකව අපේ සිහින අත්පත් කර ගැනීමේ උත්සාහයන් වලට’
-ටෙරන්ස් මැකේනා

සයිකඩෙලික් වලින් දෙන පණිවුඩය වෙන්නෙ කල්චර් නැත්තං සංස්කෘතිය කියන එක ආපහු පද්ධතියක් විදිහට සෙට් කරන්න පුළුවන් හැ`ගීම් සහ ආධ්‍යාත්මික වටිනාකම් විදිහට. දැන් ඒක සිද්ද වෙලා තියෙන්නෙ නිෂ්පාදන- ප්‍රොඩක්ට්ස් පදනම් කරගෙන. ඒ පනිවුඩය ඇත්තටම ඇ`ග හිරි වැටෙන විදිහෙ එකක්.

අපි ගොඩක් අය හිතන් ඉන්නෙ ආණ්ඩුව අපිට ආදරේට මේ මත්ද්‍රව්‍ය (සයිකඩෙලික්ස්) තහනම් කරනවා කියල. මැකේනා කියනවා මාර ආදරේ ආණ්ඩුවක් ඔයා මේවා පාවිච්චි කරලා තුන්වෙනි තට්ටුවේ ජනේලෙන් බිමට පනී කියල බයෙන් මේවා තහනම් කළා කියල හිතන්න තරම් බොළඳ වෙන්න එපා කියල. ඒවා නීති විරෝධී වෙලා තියෙන්නෙ ඊට වඩා බරපතල කාරණයක් හින්ද. සයිකඩෙලික්ස් වලින් හැදිලා තියෙන මතවාදී ආකෘති සහ සංස්කෘතිකව හදලා තියෙන චර්යාමය ආකෘති, තොරතුරු ක‍්‍රියාවලීන් දිය කරලා අරිනවා. ඒකෙන් ඔයා එක තැනකට ගේනවා මෙතුවක් දන්නවා කියලා හිතපු හැම දෙයක්ම වැරදි වෙන්න පුළුවන් කියල. ඒක දේශපාලනික බලය මූලික තැනක වැඩ කරන අයට භයානකයි.

මැකේනාගේ මං ආසම අදහසත් එක්ක මේ ටි‍්‍රප් එක ඉවර කරනවා.

‘සොබා දහම ආදරේ කරන්නෙ ධෛර්යයට. ඔයා කැපවීමක් පෙන්නනවා නම් සොබා දහම ඔයාට ප‍්‍රතිචාර දක්වන්නෙ තියෙන බාධක ඉවත් කරලා. කවදාවත් හිතා ගන්න බැරි තරම් ලොකු හීන දකින්න. ලෝකය ඔයාව පාගලා දානවා වෙනුවට ඉහළට ඔසවාවි. මේක තමයි රහස. මේක තමයි අපි කියන බුදුන්, ලෝකය තේරුම් ගත් මේ පැවැත්මේ ස්වභාවය විස්තර කරපු හැම චරිතයක්ම තේරුම් ගත්ත රසායනය. මේ තමයි දිය ඇල්ල යට කරන ෂාමනික නර්තනය. මේක තමයි මැජික් එක. නොදන්නා අඳුරු පාතාලය ඇතුලට ඔබව නිදහස් කළොත් ඔබ ඇද වැටෙන්නෙ පිහාටු අතුල යහනාවක් උඩට.

(ටෙරන්ස් මැකේනා සංවාද ඇසුරෙන්)
චින්තන ධර්මදාස

Sunday, April 21, 2013

කිකිළිද? බිත්තරේද?

‘ඔබ හිතන් ඉන්නෙ බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඔබ ජීවත් වෙනවා කියලද? කළු මුඩුක්කුවක් මැද්දෙන් ඇඳිරි වෙලාවක ඇවිදන් යන්න. උස මහත කල්ලෙක් එක්වරම කඩා පැනලා ඔබව බිම පෙරලාගෙන ඔලූව පාරෙ හප්පගෙන හප්පගෙන යද්දි ඔබ සිහිනයෙන් ඇහැරේවි’ කියල චාර්ල්ස් මැන්සන් එක වෙලාවක කියනවා.

ලයිෆ් ඔෆ් පායි චිත‍්‍රපටිය බැලූවොත්  ‘මං ජීවත් වුනේ ඔරුවේ අනික් කොනේ ව්‍යාඝ‍්‍රයා හිටපු නිසා. මට අවදියෙන් ඉන්න සිද්ද වුණා’ කියල පිසින් පටෙල් කියනවා.

මට හිතෙන්නෙ බොදු බල සේනාව දිහා බලන්න කලින් අපිට මේ හිතීමේ වංගුව පහු කරන්න වෙනවා කියල. ඒක ‘ගැටළුවක්, වහා විසඳුම් සෙවිය යුතු’ යන විදිහෙන් හිතද්දි අපි මේ ප‍්‍රවණතාවය සමාජයෙන් වියුක්ත කරලා අපිට  ඕන විදිහට හුදකලා කරලා ගන්නවා, හරියට බටහිර වෛද්‍ය විද්‍යාවෙදි වගේ. එතනදි අපි උවමනාවෙන් මග අරින ඇත්තක් තියෙනවා. බොදු බල සේනා කියන්නෙ වරින් වර ප‍්‍රකාශමාන වෙන ඒ ඇත්තෙ මුහුණුවරක් විතරයි.

මේ අපි ජයග‍්‍රහණය කළා කියන යුද්දයේ පසු ප‍්‍රතිඵල. ඇත්තටම එක විදිහකින් මේ පසු සමාජ මානසික ප‍්‍රතිඵල යුද්දෙට වඩා භයානක වෙන්න පුළුවන්. යුද්දෙන් පස්සෙ අපි හිතුවෙ උතුරු නැගෙනහිර පලාත් ටිකත් එක්ක වඩා ලොකු ශ‍්‍රී ලංකාවක් බුක්ති විඳින්න. ඒත් ඇත්තටම අපි බුක්ති විඳින තත්වය මොකක්ද? අපි කන්නෙ මොනවද? අපි බලන්නෙ මොනවද? අපි කියවන්නෙ මොනවද? අපි රස විඳින්නෙ මොනවද? ඇත්තටම අපි හංගොල්ලො ගොළුබෙල්ලො ගානට ඇකිළිලා නෙමෙයිද? බොදු බල කියන්නෙ ඒ ඇකිලීමේ ප‍්‍රකාශනයක්, අනෙක් පැත්තට ප්‍රොටෙස්ට් එකක් නොවෙන්නෙ ඇයි?

අපි යුද්ද කළේ දෙමළව මට්ටු කරන්න. ඒකෙන් අපි සිංහල කියන ලොකු එකට අයිති වුණා. එච්චර කාලයක් ‘කවුරුවත් නොවුණු’ නන්නත්තාර ජන රොත්තක් වුණු අපි යුද්දෙදි සිංහල කියන මාර පොරවල් ටිකක් වුණා. හොඳ ඇල්කොහොලික් ආතල් එකක් වුණු ඒ පොදු ජන ආවේශයේ කෙලවරදි අපිට තව ටිකක් ලොකු රටක් අයිති වුණා. බිම ලොකු වුණා. ඒත් අපි පොඩි වුණා. දෙමළ ශරීර ගණනක් යුද්දෙන් අඩු වෙන්න ඇති. ඒත් අපි දේශීය වෙද්දි ඒ ගොල්ලො අන්තර්ජාතික වුණා. වෙන විදිහකට නම් මනස, පැවැත්ම විශාල වුණා. ඇත්තටම යුද්දයක් දිනනවා කියන්නෙ හොඳ අයිරනි එකක් කියල මට හිතෙන්නෙ.

යුද්දෙදි කාට හරි එරෙහි වීමෙන් නිර්මාණය වුණු අනන්‍යතාවය ඒ අනිත් එකා නැති වුණාම කනාටු වෙන්න ගන්නවා. ඒ එරෙහි වීම, ගැටීම ඇරෙන්න වෙන කිසි දෙයක් නිර්මාණය වෙලා නෑ. ඒ ආතතියට, පෙලීමට අපි ඇබ්බැහි වෙලා. ජනතාවක් විදිහට අපි පරපීඩකකාමී. ඉතින් දෙමළට පස්සෙ මුස්ලිම්. ඊට පස්සෙ ක‍්‍රිස්තියානි. ඊට පස්සෙ උඩරට පහත රට. අපේ අනාගතය පැහැදිලියි මගෙ හිතේ.

බොදු බල කියන්නෙ මේ සමාජ සංස්කෘතික අවකාශයට (හිස්තැනට) අත පෙවීමක්. ලංකාවෙ උගත් බුද්ධිමත් ජනතාව කාලයා විසින්ම දේවල් වෙනස් කරන තුරු බලන් ඉද්දි ඒ යුද්දෙ නැතුව පාළු ජනතාව පාරට බහිනවා. ඒක පිටිපස්සෙ තියෙන දේශපාලනික උවමනාවන් සහ බලයන් ගැන සාකච්ඡුාව මට අනුව හරිම පටු කතා බහක්. ඊට වඩා ප‍්‍රගතිශීලී ගොඩක් කාරණා මං මේ කඩාපැනීම එක්ක දකිනවා.
එකක් මේක සංස්කෘතික අරගලයක් වුණු එක. මේක යම් කිසි ආකාරයක ජීවිතයක්, පිළිවෙලක්, ඒකත්වයක් ඉල්ලා සිටින අරගලයක් කියලයි මට දැනෙන්නෙ. දේශපාලනය වෙනුවට මිනිස්සු ඉල්ලන්නෙ ආගමක්. එ් ආගමෙන් තමන්ට සදාචාරවත් අනන්‍යතාවයක්. ඒ ඇරෙන්න වෙන කිසිම අනන්‍යතා අවකාශයක් රටේ ඉතුරු වෙලා නෑ. එකම දේ දේශපේ‍්‍රමය හා දේශද්‍රෝහය විතරයි.

මේ ගැඹුරු සමාජ මානසික තත්වයන් පැත්තෙන් මිසක් බොදු බල කියන ව්‍යාපෘතිය කොහෙත්ම සීරියස් වැඩක් නෙමෙයි. ඒක පොඩි තාවකාලික කැම්පේන් එකකට වඩා එහා යන්න නියමිත නෑ. ඒත් බොදු බල නිසා වෙන ගොඩක් දේවල් එලියට එන්න ගන්නවා.

එකක් ලංකාවෙ බුද්ධාගම මේ වෙද්දි නැත්තටම නැති වෙලා ඉවරයි කියන එක. බුද්ධාගම කියන එක බිත්තරය දක්වා පහළ වැටෙද්දි කිසිම හාමුදුරු කෙනෙකුට හෝ බෞද්ධ අධිකාරියකට බැරි වෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න. අඩුම තරමෙ ප‍්‍රධාන සංඝනායකවරුන් අත්සන් කරපු ප‍්‍රකාශනයක් වත් එලියට ගේන්න තරම් ලංකාවෙ බුද්ධාගම ශක්තිමත් නැති වෙලාවක්. බොදු බල කියන්නෙ අපේ රටේ බුද්ධාගම ඉවරයි කියන මළබෙරේ හ`ඩ. නිකමට හිතලා බැලූවොත් කර්මය, පටිච්ච සමුප්පාදය වගේ බුද්දාගමේ සාරාර්ථයන්  සාකච්චා කරන්න ආයිමත් ඉඩක් තියෙයිද? ආධ්‍යාත්මික මාර්ගයක් විදිහමට බුදුදහම කැන්සල් වෙලා ඒක වාර්ගික අයිතීන් ගැන බල ව්‍යාපෘතියක් දක්වා ලඝු වෙනවා. මෛත‍්‍රිය, නිදහස වගේ බෞද්ද ආචාර ධර්ම කණපිට පෙරලෙනවා.

ඉස්තෙපාන් මට ළ`ගදි හොඳ කතාවක් කිව්වා. ‘මචං බීබීඑස් එකට විරුද්දව ඉටිපන්දම් ප්‍රොටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑ. මචං ප්‍රොටෙස්ට් කරනවා කියන්නෙ මාර වැදගත් අයිතියක්. ඒක කිසි ගානක් නැතුව මෙහෙම ඉවර වෙන කල් හැමෝම බලන් ඉන්නවා’

ඌට ඒක මාර අවුල්. ඒත් මට හිතෙන්නෙ වෙන විදිහකට. මේ අයිතීන් ගැන, නිදහස ගැන, අධ්‍යාපනය ගැන තියෙන අදහස් මේ රටේ ජනතාවට ඇත්තට අදාල නෑ කියල. නිදහස එකපාරට ඇදන් වැටුන වගේ මේ හැම අදහසක්මත් නීතියක් විදිහට කඩන් පාත් වුණා මිසක් ඒවායෙ ඓන්ද්‍රිය සම්බන්දයක් නෑ අපේ රටේ ජීවිත එක්ක. ඇත්තටම ඒවා හිස් වචන. බොදු බල වගේ ව්‍යාපෘති වලින් ඔප්පු වෙන එක ඇත්තක් ඒක.
ලංකාවෙ මේ වෙමින් යන දේට මොකක්ද කරන්න පුළුවන් කියල මං ළ`ගදි දවසක විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ගෙන් ඇහුවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක බද්ධ තැන් වලින් මේ අවුල ගැන මිනිස්සුන්ට කියන්න ගන්න  ඕනි කියල මිනිහා බරපතල විදිහට කල්පනා කරලා කිව්වා. හිනාවෙන්න බැරිකමට මට ඇ`ඩුණ. දැන් ඒ වගේ මාතෘකා ගැන සංවාද කරන්නෙ ආණ්ඩුවෙ චැනල්. ඒ තරමට ඒවා පිරිත් වගේ නොතේරෙන්න ඈතින් කියන්න  ඕන වචන මිසක් මෙහේ භාවිතාවන් නෙමෙයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට කලින් මිනිස්සුන්ට  ඕන ජීවිතයක්. අනන්‍යතාවයක්. ආණ්ඩුව විකුණගෙන කමින් ඉන්නෙ ඒක.

මේක ලොකු හිඩැසක්. මෙච්චර කාලයක් සමාජ කණ්ඩායම් සහ දේශපාලන කල්ලි කරපු සංවාද, මණ්ඩප හැම එකක්ම පේල් කියල ඔප්පු වෙන තැනක් මේක. පිටරටින් දෙන ආධාර වගේ ලැබෙන අයිතීන්, බුක්තීන් අපේ ජීවිත වලට ගැලපෙන තැනක් දක්වා අරන් එන්න කවුරුවත් වැඩ කරලා නෑ. විශේෂයෙන්ම යුද්දෙ සහ යුද්දෙන් පස්සෙ කාලෙදි මිනිස්සුන්ගෙ භාව කලාපයන් සහ සිතීමේ කලාපයන් දියුණු කරන්න වැඩියෙන් වැඩ කිරීම වෙනුවට හැමෝම තෝරගත්තෙ නිහැ`ඩියාව. ඊට පස්සෙ ඒ නිහැ`ඩියාවෙ ප‍්‍රතිඵලයක් වුණු කෙලවරක් නැති හිස්කම. අරමුණක් නැති තෝන්තු සමාජ ජීවිතය. එතනදි බොදු බල කඩා පැනීම සාධනීය දෙයක් වුනා කියලයි මට හිතෙන්නෙ.

‘ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් ඇහැරවනු ලබයි’ කියල මෝරා නාට්‍යය කරද්දි ජයන්ත චන්ද්‍රසිරි කිව්වා.

උදා විදිහට බොදු බල ව්‍යාපෘතිය එක්ක අවදි වුණු සංවාද, කතිකා, ප‍්‍රතිචාර එක්ක සංස්කෘතික අවකාශයෙ ගැඹුරු නැතත් යම් අදහස් සංවාදයක් පටන් ගන්නවා. පැණියන්ගෙ අඩවියක් වෙලා තිබුණු ෆේස් බුක් එක යුද්ද පිටියක් වෙනවා. වඩා යහපත් සමාජ අවකාශයක් වෙනුවෙන් හෘදයාංගම, දියුණු අදහස් මැදිහත්වීම් සිද්ද වෙන්න පටන් ගන්නවා.

‘මේ මොහොතේ මම ලජ්ජාවෙන් විඳවමි. මගේ ආණ්ඩුව ගැන මට ලැජ්ජයි. මගේ යාළුවන් ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මට ලැජ්ජයි. ඒ සියල්ලටම වඩා, මං ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මේ විදිහට කිසි දවසක මට සිතී නැත. මා ගැන මෙසේ සිතෙති යි කිසි දවසක මට සිතී නැත. එහෙත් දැන් එසේ මට සිතෙයි. එසේ සිතීම, මගේ සිත පාරයි’
-ඬේවිඞ් බ්ලැකර්

විශේෂයෙන්ම ඒක ජාති ආගම් සංස්කෘතීන් ආහාර රටා චර්යා රටා එක්ක සම්බන්ද වෙමින් යන සංවාදයක් (නැත්තං විසංවදයක්). මේ ගැටීම ඇතුලෙ යම් වැදගත් ගොඩනැංවීමක් සමාජයෙ සිද්ද වෙනවා කියලයි මං දකින්නෙ. මතවාදයක් හැටියට බොදු බල අන්තවාදී සීමිත අදහස් පරාජය කිරීමේ වැඬේ ඇතුලෙ එක්තරා ඉඩක් විවෘත වෙනවා මං දකිනවා. අරමුණක්, දිශාවක්, ආරම්භයක් ලබා දීම නිසා බොදු බල මේ සංස්කෘතික පෙරළියෙදි වැදගත් කොටසක් ඉෂ්ට කරනවා. ඒක හරියටම ව්‍යාඝ‍්‍රයා අනෙක් පැත්තෙන් ඉන්න එක පිසින්ට වැදගත් වුණා වගේම.

මෑතක බොදු බල ව්‍යාපෘතියට විරුද්දව අයිතීන් සහ නිදහස වැනි දියුණු සංවාද ඇතුලෙ ජීවත් වෙන (ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සිහිනය) පිරිසක් ඉටිපන්දම් විරෝධයක් පටන් ගන්නවා. මේ විරෝධය ඇතුලෙ තියෙනවා මං කලින් කියන්න උත්සාහ ගත්ත හිඩැස, පරතරය ගැන කාරණය. බොදු බල ව්‍යාපෘතියට විරෝධයක් පිණිස ඉටිපන්දම් පත්තු කරන්න යන එක කොයි තරම් අදේශපාලනිකද? ලේසියෙන්ම ඒක ක‍්‍රිස්තියානි මූලධර්මවාදී වගේ කෝට් එකක් අන්දලා උඩ දදා ගහන්න බොදු බලට පුළුවන් වෙනවා. අනිත් අතට ඒක කෙරුණු දවස. අවුරුද්ද ඔන්න මෙන්න සිකුරාදා කියන්නෙ මිනිස්සු බොදු බල බල්ලට දාලා නෝ ලිමිට් වල පොරකන දවස. කාටවත් බොදු බල මතක තිබුනෙ නෑ. අපේ මිනිස්සුන්ගෙ චර්යාමය වෙනස ගැන තියෙන නොදැනුවත්කම මේ විරෝධය කාගෙවත් අවධානයට ලක් නොවෙන්න හේතුවක් වෙනවා. එතනදි විරෝධය පෑමේ අයිතිය වගේ දේවල් වලින් බොදු බල අසාධාරණ බව තහවුරු කරන්න යාම ආදී මේ හැම එකක් එක්කම මේ වෙලාවෙ මේ සමාජෙ සෙමියොටික්ස් (සංඥාර්ථ) තේරුම් ගන්නත් ඒ අනුව වඩා නිර්මාණශීලී ප‍්‍රවේශයක් ගන්නත් අපේ ඇක්ටිවිස්ට්ලට තියෙන නොහැකියාව පැහැදිලි වෙනවා. ඒක සීරියස් ප‍්‍රශ්නයක්. පිට්ටනිය වෙන තැනක තියෙද්දි අපි වෙන තැනක පිත්ත වැනුවට වැඩක් වෙන්නෙ නෑ. ලකුණු නෑ.

බොදු බල ආරම්භයක් විදිහට අරගෙන අපි කතිකාව වඩාත් පුළුල් කරගන්න  ඕන කියන එකයි මගේ අදහස. ඒ වෙනුවට බොදු බල සීමාවක් විදිහට අරගෙන මේ සංවාදයට ඇතුල් වෙන එකෙන් අපි තවත් පුංචි වෙනවා. ඊට පස්සෙ ජෝක් වෙනවා. බිත්තර ගැහුවට කමක් නෑ අපි කිකිළි ගැන කතා කරමු.

-චින්තන ධර්මදාස