Saturday, October 29, 2011

සිවුරු පොරවා ගත් චණ්ඩි නිදැල්ලේ.

ළ`ගදී ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘ලෝටස්’ මහායාන පන්සල ථේරවාදී භික්ෂු පිරිසක් විසින් වට කළේය. එය නීති විරෝධී ජාවාරමක් බව කියමින් ඔවුන් උද්ඝෝෂණ කළේය. පොලිසිය ඇවිත් එහි සිටි පිරිස බේරා ගත් අතර ලෝටස් ආරාමය සීල් තැබුවේය.

 රටේ මාධ්‍ය මේ කතාව පළ කළේ වෙනස්ම හැටියකටය.

 ‘බුදු බව ලබා දෙන බව කියා කෝටි ගණනින් මුදල් ගත් ආරාමයක් වටලයි’

මාධ්‍ය ජනතාවට කිව්වේ එහෙමය. බුදු බව දෙනවා කිවූ පමණින් ඒ ගන්නට කෝටි ගණන් වියදම් කරන මෝඩයොත් ඉන්නවා නම් උන් රකින්නේ මොන එකකටද? හැරත් එබඳු පැමිණිල්ලක් කර ඇත්තේ කවුද? කවර පොලිසියකටද? දොළුකන්දේ හාමුදුරුවෝ පිරිත් පැන් බෙදද්දී, නිකවැරටියේ පන්සලේ බෝ ගස් වල බුදු රූප මතුවෙද්දී ඒ ජාවාරම් වලට එරෙහිව මේ භික්ෂු බලවේග නැගී නොසිටියේ මන්ද? ජනතාව රවටමින් රත්තරන් ජාවාරමේ යෙදෙන ගලේතැන්න දේවාලය බඳු තැන් මේ පොලිස් බලය අතට ගෙන ක‍්‍රියා කරන භික්ෂූන්ට මගහැරෙන්නේ ඇයිි? අඩුම තරමේ සිංහරාජෙ කැලේ මැද්දෙන් හයිවේ එකක් කපද්දීවත් එලියට නොආ මේ ථේරවාදී පිරිස් මහායාන ලෝටස් ආරාමය වටලන්නට ඒම පිටුපස සැ`ගවුණු කාරණය කුමක්ද? මේ කිසිවක් නැතත් තමන්ට හිතෙන හිතෙන තැන් වටලන්නට හා හිරිහැර කරන්නට භික්ෂූන්ට ඇති අයිතිය කුමක්ද?

 මාධ්‍ය වලට මේ කිසි ප‍්‍රශ්නයක් තිබුණේ නැත. එය කළ යුතු නිවැරදිම දෙයක් හැටියෙන් ගනිමින් කිසිම හිරිකිතයක් නැතිව මාධ්‍ය මේ කලහකාරී භික්ෂූන්ගේ පැත්ත ගත්තේය. සිංහල රාවය යැයි කියා ගනිමින් තවත් වරක් මේ භික්ෂූන් දුටුගැමුණු ගේ සොහොනට ළ`ග වැඩි යැයි කියමින් මුස්ලිම් පල්ලියක් කඩා දැම්මේය. මේ අයගෙන් කෙනෙකු හෝ අත්අඩංගුවට ගන්නට පොලිසිය ක‍්‍රියාත්මක වුණේ නැත. මුන්නේස්සරමේ මහා සත්ත්ව ඝාතනය වළකන්නටද මේ ආකාරයටම ථේරවාදී භික්ෂු පිරිස් හදිසි මෙහෙයුමකින් පෙරට ආවේය. උතුරේ මහා ජන සංහාරයක් වෙද්දීත් යුද්දයටම ආවැඩූ ඔවුන් මුන්නේස්සරමේ පරම්පරා ගාණක පටන් පැවත ආ යාගයේදී අවිහිංසාවාදය වෙනුවෙන් ගෝෂා කරන්න ගත්තේය. අන්තිමට අවිහිංසාවාදයේ පියෙක් වූ අමාත්‍ය මර්වින් සිල්වා ගොසින් මේ සත්ව සංහාරය නැවැත්වීය. සතුන් බේරා ගැනීම හොඳ දෙයක් නේ කියමින් ලංකාවේ ජනතාවද නිකං හිටියේය.

සත්ව ඝාතනයට එරෙහි වීම එක දෙයකි. සංස්කෘතියක් ලෙස කාලාන්තරයක් පැවත ආ එක් ආගමක විශ්වාසයක් තවත් ආගමිකින් බලෙන් මැඩලීම ඊට වෙනස් දෙයකි. මේ හැමතැනකදීම මතුවන හිංසනය, අන් ආගම් පෙලීම සහ අධිපතිවාදීත්වය ගැනත් මෙසේ භික්ෂූන් හැසිරීමෙන් බුද්ධාගමේ ආධ්‍යාත්මික ව්‍යාපෘතියට වන හානිය ගැනත් ජනතාවට ප‍්‍රශ්නයක් තිබුණේ නැත. අනෙක් වැඩිහිටි හිමිවරුත් මේ ගැන කිසි විනය පියවරක් ගත්තේද නැත. ඒ මේ කලහකාරීත්වය, හිංසනය ලාංකේය ථේරවාදයේ සාමාන්‍යයක් නිසාද?

 ථේරවාදය යනු බුදුන් වදාල ධර්මය කටපාඩමින් රැුගෙන ආ භික්ෂු පරපුරයි. තමන් විසින් භාවනානුයෝගීව අවබෝධ කර ගත් ධර්මතාවන් වෙනුවට හුදෙක් බුදුන් වදාලේ යැයි සියවස් ගණන් කටපාඩමින් ගෙන ආ ධර්මයක්ම ගුරු කොට ගත් නිර්මාණශීලීත්වයෙන් අවම පිරිසයි. ථේරවාදී දහම විසින්ම මේ නිර්මාණශීලීත්වය අහුරා ඇති (ආචිණ්ණකල්පික) අතර මහින්දාගමනයෙන් ඉක්බිති අපේ රටේ ථේරවාදයට ලැබෙන රාජ්‍ය අනුග‍්‍රහය සමග එය ආක‍්‍රමණශීලී, අධිපති තත්වයක් දක්වා වර්ධනය වේ. අපේ රටට මහින්දාගමනය හරහා බුදුදහම එන්නේම ආක‍්‍රමණයක් ලෙසයි. අශෝක රජු විසින් තිස්සව අභිෂේක කරවා රට යටත්විජිතයක් වශයෙන් ගෙන පිරිනැමූ රාජ්‍ය ආගම අද පවතින සිංහල බුද්ධාගමයි. එතැන් සිටම එය ආධ්‍යාත්මික මාර්ගයක් හැටියෙන් නොවැඩුණු අතර වතිකානුවේ පල්ලිය මෙන්ම රාජ්‍ය බලය හා සම්බන්ධව අන්මත මැඞීමේ සහ හිංසනයේ යෙදුනු අවස්ථා දැකිය හැකිය. වරක් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව අභයගිරියේ භාවනානුයෝගී මහායානික භික්ෂූන් පුළුස්සා මරා දැමුවේද මහාවිහාරික ථේරවාදී භික්ෂූන් විසිනුයි. සෑම විටෙකම තමන්ගේ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පවතින රාජ්‍ය බලයන්ට සහයෝගය දැක්වීම සහ ඒ අනුහසින් තමන්ට වෙනස් මතිමතාන්තරයන්ට පීඩා කිරීමේ හුරුව ථේරවාදී භික්ෂූන් නිතර ප‍්‍රකට කළ චර්යාවකි. බටහිර පල්ලියේ ආධිපත්‍යයෙන් නව අදහස් සහ චින්තනයන් මැඩලූයේ යම් ආකාරයකටද එබඳුවම ථේරවාදී භික්ෂූන් විසින් මේ රටේ තමන්ගේ බල ව්‍යාපෘතියේ තරම පෙන්වා ඇත.

සිංහල බෞද්ධ ජනතාවටද බුදුන් වදාල නිර්වාණය වෙනුවට මේ ජාතිවාදී, අධිපතිවාදී හිංසනය ත‍්‍රිලක් වෙයි. එසේම රාජ්‍ය තන්ත‍්‍රයටද තමන්ගේ අර්බුද වසාගෙන ඕනෑ හැටියට රට කරගෙන යන්නට මේ හොඳම ආශීර්වාදයකි. පල්ලි කඩමින්, කෝවිල් කඩමින්, තැබෑරුම් වසමින් මේ භික්ෂූන් කරගෙන යන්නේ ආධ්‍යාත්මික යමක් නොව ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව කියන්නට රටේ මාධ්‍යට කොන්දක් හෝ දැකීමක්ද නැත. අද පවතින්නේ නිවනට මග කියන බුදු දහම නොව සිවුරු පොරවා ගත් චණ්ඩින්ගේ දහමකි. මේ බල වියරුවෙන් පෙළෙන භික්ෂූන් දමනයට යම් ආකාරයක මැදිහත් වීමක් නොවුණහොත් සුළු ජාතීන්ට සහ වෙනස් මත දරන්නන්ට මේ බිමේ පුරවැසියන් ලෙස නොබියව සිටීමේ අයිතිය ඔවුන් ඉක්මනින්ම අහිමි කරනු ඇත. අද අසල්වැසියාට වෙන අසාධාරණයට එරෙහි නොවුණහොත් හෙට අපට එය සිදුවෙද්දීත් හ`ඩ නගන්නට කිසිවෙකුත් එතැන නොසිටිනු ඇත. කවර ආගමකටත්, විශ්වාසයකටත් වඩා වටින්නේ එක්ව ජීවත් වීමයි. සහෝදරත්වය හා සහජීවනයයි. මේ සඳහා හිංසනය හිංසනයක් ලෙසත් අසාධාරණය අසාධාරණයක් ලෙසත් දකින්ට තරම් අවදි බවක් අපට නැත්නම් (සංස්කෘතික අන්ධකාරය) එය වෙන රටකින් ආනයනය හෝ කර ගැනීමට සිදුවෙයි.

 - සර්ව ධම්ම ගවේෂී සාමූහිකය.

2 comments:

  1. මහායාන - ථේරවාද ගැටුම තියෙන්නේ මහසෙන් රජ තුමාගේ කාලයේ ඉඳලා. ලංකාවේ අජ වරුන්ට කැමති විදියට බුදු දහම වෙනස් කරන්න ගිය නිසාත් හික්ශූන් වහන්සේලාට වෙන වෙනම රාජ්ය අනුග්‍රහය දෙන්න පටන් ගත් නිසාත් ලංකාවේ නිකාය හේදය ඇති වුනා, ඉන් පසු ලංකාවේ (අනුරාධපුර යුගයේදී) මහායාන පන්සල් විනාශ කර මහායාන බ්හික්ශූන් පිටුවහල් කරනු ලැබුවා. ඔය වෛරය තාමත් මිනිසුන් තුල (හික්ශූන් වහන්සේලා විසින් මිනිසුන් තුල පැල කරන ලද) තාමත් තියනවා, ඒකනිසා තමයි ලංකාවේ ගොඩක් අයට මහායානය පිලිකුල්.

    ReplyDelete
  2. මේ ආගමික උමතුව ගැන මේ මුස්ලිම් මිනිස්සුත් එක්ක තියන තරහ ගැන ඔබ ලියූ බොහොමයක් ලිපි බැලුව.සීයට සීයක්ම නොවුනත් මගෙත් අදහස ඊට බොහොම සමානයි.ඔබේ ලිපි ඇත්තෙන්ම අගය කරනව. :-)

    ReplyDelete