Saturday, December 10, 2011

එන්න.... වෙබ් සිනමාකරුවෙක් වෙන්න.





ළ`ගදි දවසක් රෑක මට කෝල් එකක් ආවා.

‘අන්තර් ජාලය දේශපාලනයට යොදා ගැනීම ගැන ටිකක් කතා කරන්න පුළුවන්ද?’ ගෑණු ළමයෙක් අනෙක් පැත්තෙන් ඇහුවා.

ඒ වගේ දෙයක් ගැන කතා කරන්න මගේ දැනුම මදි හින්ද මං ටිකක් විපිලිසර වුණා.

‘අන්තර්ජාලය කලාවේ මතවාද වෙනුවෙන් යොදා ගැනීම ගැනයි දැනගන්න  ඕන’

මගේ කොටස තරමක් පැහැදිලි වුණාම අපි කතා කරන්න ගත්ත.

‘අන්තර් ජාලයේ කලාව වෙනුවෙන් කියල තමන්ගෙ දේශපාලනික මතවාදයක් අරගෙන යාම ගැන අදහස?’

මට පුදුම හිතුණ. ඒක වැරැුද්දක්ද? මතවාදයක් නැති කලාවක් හරියට පතෝල වගේනෙ.. අනික අනික් හැම මාධ්‍යයකටම වඩා ඉන්ටරනෙට් එකේ ඒ මතවාදයට වෙනස් මත පළකරන්නත් ඉඩ තියෙනව. මතවාදයන්ට අපි කරන ‘කමෙන්ට්’ හරහා ඒ මතවාදයන් වෙනස් කරනවා. සංවාද ඇතිවෙනව.

සාම්ප‍්‍රදායික මාධ්‍යයන්ට සාපේක්‍ෂව ඉන්ටර්නෙට්  එක දිහා බලන එක කොයිතරම් පටුද? ඒ වෙනුවට ඉන්ටර්නෙට් එක විසින් යෝජනා කරන නව මාධ්‍ය ආකෘතිය ගැන එයා ලිව්වා නම් කොයි තරම් හොඳ ද? ඒත් ඒ හැම ප‍්‍රශ්නයක්ම හැදිලා තිබුණෙ ගතානුගතික මාධ්‍ය ඇහැකින් ඉන්ටර්නෙට් එක දිහා බලල.

‘ඉන්ටර්නෙට් එකේ භාවිතාව තව ප‍්‍රජාතන්ත‍්‍රවාදී  වෙන්න  ඕන කියල හිතන්නෙ නැද්ද?’

එයා ආයිමත් ඇහුව. මට පුදුම හිතුණ.

ලංකාවෙ අපිට මේ මොහොතෙ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදීම මාධ්‍ය අන්තර්ජාලය. ඒකෙ සමබරතාවයන් හෝ වෙනස්කම් වෙනුවෙන් කතා කරන්න සාම්ප‍්‍රදායික මාධ්‍ය දැනුමට තියෙන හැකියාව මොකක්ද? අනික ඉන්ටර්නෙට් එක තනි අදහසක් පළකිරීමේ සිට, පාඨකයා විසින් අදහස සකස් කරන තැන දක්වා සහ තෙවන අදියර හැටියට තමන්ටම අදාල විශ්වයක් දක්වා පරිණාමය වුණේ අපේ ඇකඩමියාවට පිටින්. වෙනත් රටවල වඩා පුළුල් විදිහට හිතන නිදහස්කාමී අදහස් වලින් ඉන්ටර්නෙට් එක විවිධ අවධීන් කරා වර්ධනය වෙනවා. ඒක අපේ කොටුවුණු ගතානුගතික බොරුකාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ මතවාදී කියන අදහස් වලින් විවේචනය කරන්න යාම ම අපිට ඒ නිදහස කියවා ගන්න බැරි කමක්.

ඉන්ටර්නෙට් එක මේ වෙද්දි  ලෝකයට දේශපාලනික, සමාජ හා සංස්කෘතික වශයෙන් අලූත් ආකෘතියක් යෝජනා කරමින් ඉන්නවා. පක්ෂ දේශපාලන ක‍්‍රමය වෙනුවට ඉන්ටර්නෙට් එක හරහා පොදු  අදහස්, සංවාද සහ එකතු වීම් හරහා විකල්ප දේශපාලනයන් වැඩ කරන්න ගන්නවා. උදාහරණයක් විදිහට මේ රටේ කිසිම මාධ්‍යයක් ජනතාවට සිද්ද වෙන දෙයක් ගැන ඇත්තක් කියන්න ඉදිරිපත් වුණේ නෑ. දේශපාලනය ප‍්‍රශ්න එක තැනක තියෙද්දි ඒ අය අලෙවිය වෙනුවෙන් වෙන ප‍්‍රශ්න නිර්මාණය කරලා විකිණුවා. ඒත් ඉන්ටර්නෙට් එක හැමදෙයක්ම ඒ මොහොතෙම ජාතික සහ ජාත්‍යන්තර තලයන්ට මුදා හැරියා. වෙබ් අඩවි ලියාපදිංචි කරමින්, තහනම් කරමින් ආණ්ඩුව කලබල වෙන්නෙ මේ ප‍්‍රවණතාව ගැන බයෙන්. ලංකාවෙ ඉන්ටර්නෙට් භාවිතාව ඉතා සුළුයි. නමුත් තීරණ ගන්නා සහ සමාජ ක‍්‍රියාකාරීත්වයක් ඇති හැමෝම මේ වෙද්දි ඉන්ටර්නෙට් එක හරහා මේ නව දේශපාලනය පිවිසිලා ඉවරයි. තහනම හෝ වාරණය පවා පරණ දේශපාලනික අදහසක්. තාක්‍ෂණය විසින් රාජ්‍ය බලය අභියෝග කරමින් සිටින අතර තනි තනි පුද්ගල අදහස් වලට විශාල අවකාශයක් නිර්මාණය කරනවා. ඒක අනෙක් මාධ්‍යන්ගේ ඇති මුදල්, බලය, සම්බන්ධතා ආදී සීමාවන්ගෙන් එහාට ගමන් කරනවා.
ජනමාධ්‍ය පැත්තෙන් ගත්තොත් ‘පුරවැසි මාධ්‍යකරුවන්’ කියන සංකල්පය එන්නෙ ඉන්ටර්නෙට් එක හරහා. ඒක ලංකාවෙ පාවිච්චි  කරනවා මං මුල්වතාවට දැක්කෙ සුනන්ද දේශප‍්‍රිය. මාධ්‍ය ආයතනයක හෝ ඒ ආයතනික න්‍යාය පත‍්‍රයකට, සීමාවකට යටත් මාධ්‍යකරුවන් කියන නූතනවාදී සංකල්පයේ අවසානය මෙතනදි සළකුණු වෙනවා. ඔබ ජනතාවට කරුණු කිව යුතු මාධ්‍යකරුවෙක් කියල ඔබ හඳුනාගන්නවා නම් ඒ මොහොතෙම ඔබට දොරටු විවෘතයි. ඔබේ අදහස් ලෝකයේ කවර කෙළවරක් දක්වා නමුත් යාත‍්‍රා කරන්න සූදානම්. කොටින්ම භාෂා ප‍්‍රශ්නය පවා ජයගත හැකි මෙවලම් මේ වෙද්දි ක‍්‍රියාත්මකයි. මේ නව සංකල්ප හා බැඳෙන්නෙ පුද්ගලයා සහ ලෝකය මිස පුද්ගලයා සහ රාජ්‍යය නෙමෙයි. ජාතික රාජ්‍ය වගේ සීමාවන් ඇතුලෙන් මේ දේවල් දකිද්දි සංස්කෘතික, ප‍්‍රජාතාන්ත‍්‍රික වගේ ජාතික රාජ්‍යයන් විසින් මවපු සීමාවන් කරදර කරන්න පුළුවන්. මගෙන් අහපු ප‍්‍රශ්නාවලියම පාදක වෙලා තිබුණෙ ඒ වගේ ලාංකේය සීමා ඇතුලෙ.

පහුගිය දවසක අපි ලංකාවෙ චිත‍්‍රපටි  ගැන කතාවක පැටළුණා. කිසිම ‘හොඳ’ හෝ සීරියස් කියන චිත‍්‍රපටියක් අපේ රටේ  දුවලා සල්ලි හොයන්න බැරි එක ලොකු ප‍්‍රශ්නයක්.

‘මං නං මහින්දාගමනයටවත් මොකුත් කියන්න යන්නෙ නෑ. මොකද හෝල් එකකට සෙනග එන එක ඔක්කොටම වඩා වැදගත්’ පාලිත කිව්වා.

‘කිව්වද නහී නොකිව්වද නහී’ වගේ ෆිල්ම්  එකක් හරි ‘සුරයහන ගිනි ගනී’ වගේ එකක් හරි නොකර මේ කර්මාන්තෙන් ගොඩයන්න ක‍්‍රමයක් නැති තැනකට රට ඇවිත්. මෑතකදි ආයිමත් පුංචි තියටර් එකේ ‘දඩයම’ පෙන්නුවා. ඒ වගේ තැනක ඉඳන් අපි මේ වගේ සිනමාවක් වෙනකල් පල්ලම් බැහැපු එක හිතා ගන්න අමාරුයි. සිනමාව කියල අපි විශ්වාස කරපු පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවට වෙන ලූම්පන් පේ‍්‍රක්‍ෂාගාරයක් ඇවිත්. අපි ඒ ලූම්පන් පේ‍්‍රක්‍ෂකයා වෙනුවෙන් චිත‍්‍රපටි හදනවද?

මට හිතෙන්නෙ සිනමාව කියන ආකෘතිය දැන් වෙනස් වෙන්න කාලෙ ඇවිත්. හිච්කොක් කියපු විදිහට සිනමාව කියන්නෙ හෝල් එකේ ආසන ගණන නම්, අපිට තීරණයක් ගන්න වෙනවා හෝල් එක පුරවලා අපි මිනිස්සු හැටියට බංකොලොත් වෙනවද, නැත්තං වෙනත් අලූත් මාධ්‍යයක් ගැන උනන්දු වෙනවද කියල. අපේ රටෙ සිනමාව කියන එකේ සෞන්දර්ය සංකල්ප සහ ඒ හා බැඳුණු ගරුත්වය වගේ වැඩවසම් සංකල්ප සියල්ල මේ වෙද්දි බිඳ වැටිලා ඉවරයි. අපි දැන් කතා කරමින් ඉන්නෙ පිටකොටුවෙ බිස්නස් එකක් ගැන.

ඒත් මේ වෙද්දි ඉන්ටර්නෙට්  එක හරහා අලූත් සිනමාවක් යෝජනා වෙනවා. අපේ රටේ සම්මාන උළෙලකට ෆිල්ම් එකක් යවන්න ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනවා වගේ ‘තැපැල්’ වටනාකමකට වඩා එහා ගිහින් මේ වෙද්දි චිත‍්‍රපටි මාධ්‍යයක් සහ බෙදා හැරීමේ මාධ්‍යයක් විදිහට ඉන්ටර්නෙට් එක වැඩකරන්න පටන්න අරගෙන.

‘නෙගටිව් ගැන කතා කර කර ඉන්න අයට කටුගෙට යන්න කාලෙ හරි’ කියල මං ලිව්වම ලංකාවෙ ගොඩක් නෙගටිව් චිත‍්‍රපටිකාරයො කලබල වුණා. ඒත් ලෝකෙ මේ වෙද්දි සිනමා කැමරා නිෂ්පාදනය කරන හැම ප‍්‍රධාන සමාගමක්ම නෙගටිව් වලට කැමරා හදන එක නවත්තලා ඉවරයි. 2015 වෙද්දි මුලූ ලෝකෙන්ම නෙගටිව් වලින් කරපු සිනමාවට ටටා කියන්න වෙනවා. ඩිජිටල් ගැන කියපු බොරු කතා ඔක්කොම අත්ඇරලා ලැජ්ජ නැතුව ඩිජිටල් කැමරා අතට ගන්න හෝ විශ‍්‍රාම යන්න සිද්ද වෙනවා. ඒත් මේ ඩිජිටල්කරණයේ ඊළ`ග පියවර ‘වෙබ්කරණයයි’.
පැය එකහමාරක් දෙකක් එක තැනක ඉඳගෙන චිත‍්‍රපටියක් විඳිනවා කියන අදහස ලෝකෙ නිෂ්පාදන මාදිලියත් එක්ක නොපෑහෙන තත්වෙකට එන්න පටන් අරන්. ඒ වෙනුවට ගමන් කරන අතර, වෙන කටයුතු අතර, පොඩි  වෙලාවකදි රස විඳින්න පුළුවන් සිනමාවක අවශ්‍යතාව මතුවෙලා. මෝබයිල් ෆෝන් වලට, දුම්රිය වේදිකාවල රූපවාහිනී තිර වලට, බස් ඇතුලෙ පොඩි ගමනකට සෙට් වෙන චිත‍්‍රපටි සම්ප‍්‍රදායක් ගැන ලෝකෙ මේ වෙනකොට අත්හදා බැලීම් සිද්ද වෙනවා. විශාල වෙළඳපොල අවකාශයක් සහ ඉල්ලූමක් මෙතන විවෘත වෙන්න නියමිතයි. ඉන්ර්නෙට් සිනමාව කියන්නෙ මෙතනදි අතරමැදි මාධ්‍යක් විදිහටයි බටහිර පර්යේෂකයන් දකින්නෙ.

‘වෙබ් සිනමාව කියන්නෙ සාම්ප‍්‍රදායික ටීවී හෝ චිත‍්‍රපටි ශාලා කියන ස්ථාවර තිරයේ සිට මෝබයිල් තිරය දක්වා සිනමාව සංක‍්‍රමණය වීමේ අතරමැදි තත්වයක්. සාම්ප‍්‍රදායික සිනමාවට බැරි වෙනවා මෝබයිල් ෆෝන්, බස් ටීවී ආදී ජංගම තත්ව දක්වා හැඩගැහෙන්න. අනාගතයේ වෙළඳපොල තියෙන්නෙ මෙතනයි. වෙබ් සිනමාවෙ තියෙන වැදගත්ම ලක්ෂණය මෙතනදි නිෂ්පාදකයෙක් හෝ ප‍්‍රචාරකයෙක් නැතිව නිර්මාණකරුවාට කෙලින්ම තමන්ගේ පේ‍්‍රක්‍ෂකයා සමග සම්බන්ධ වෙන්න පුළුවන් වීමයි. ඒ වගේම දැන් වෙබ් සිනමාව පේ‍්‍රක්‍ෂකයා සමග ගණුදෙනු කළ හැකි තත්ව දක්වා වර්ධනය වෙමින් තියෙනව’

-නෝරා බැරී (වෙබ් සිනමාවේ  ඉතිහාසය*

මෙතනදි වෙන වැදගත්ම දේ අපිට පුද්ගලිකව දැනෙන, අපිට ඇත්තටම  ඕන දේ සිනමාවට ගේන්න පුළුවන් වෙන එක. අනන්තයක් දක්වා පුළුල් වෙන්නට නියමිත අවකාශයේ අපි හැමෝගෙම අදහස් වලට යම්  හෝ ඉඩක් තිබීම අනිවාර්යක්. පේ‍්‍රක්‍ෂාගාරයක් හෝ අරමුදල් ප‍්‍රශ්නයක් ගැන හිතමින් අපේ අදහස් වලට වැටකොටු බඳින්න අවශ්‍යතාවයක් නෑ. ඒ වෙනුවට මාධ්‍යයේ සීමාවන් සහ ශක්‍යතා ගැන හොඳ හැදෑරීමක් විතරයි  ඕන වෙන්නෙ. ඒ කියන්නෙ සිනමාකරුවෙක් කියන අදහස ඉතා මෑතකදි ‘අන්තර්ජාල සිනමාකරුවෙක්’ කියන තැන දක්වා පුළුල් වෙන්න නියමිතයි. මේ වෙද්දිත් රොටර්ඩෑම් වගේ සිනමා උළෙල වලදී මේ අන්තර්ජාල සිනමාකරුවන්ට අවස්ථා විවෘත කරලා තියෙනව.
‘වෙබ් සිනමාවේ කෘතියක් පිටපත් වෙනත් වෙනත් වෙබ් අඩවි වල පිටපත් වෙමින් ලෝකය පුරා යනවා. ඒ වගේම ඒ කෘතියේ සංවාදයට ඇතුලත් වෙමින් තවත් සිනමාකරුවන් එකම හුයක් අඛණ්ඩව රැුගෙන යාමකුත් දකින්න තියෙනව. ඒක සාමූහික අධ්‍යක්‍ෂණයක් වගේ තත්වයක්’

--නෝරා බැරී-

මහා සිනමාකරුවන් වෙන්නම ආසාවෙන් අතීතය දිහා බලාගෙන ඉස්සරහට ඇවිදින්න හදන අපේ අලූත් චිත‍්‍රපටිකරුවන් තාමත් අවධානයක් යොමු නොකළත් වෙබ් සිනමාව ගැන ඩොග්මෙ ප‍්‍රකාශනයක් එලි දැක්කෙ 2001 දි. ඩොග්මෙ 95ට වඩා වෙනස් විදිහට මේ ප‍්‍රකාශනයෙන් සිනමාකරුවන් සීමා කිරීමට වඩා මාධ්‍ය ගැන යම් අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කළා.
‘මේ සිනමා ශාලාව නොවේ. මෙතනදී  පාලකයා වන්නේ පේ‍්‍රක්‍ෂකයායි’

මේ වෙබ් සිනමාවේ පළමු කොන්දේසිය.

ඒ අය මාධ්‍ය ගැන අවබෝධය කරුණු 10ක් ඇතුලෙ සරලව පෙළගැස්සුවා.

1. විනාඩි 5ට වඩා දිතු නොවිය යුතුයි.

මේක ටීවී එක නෙවෙයි. ෆිල්ම හෝල් එක නෙවෙයි. වෙන වැඩ දාහක් අතරෙ මේසෙ උඩ පෙන්නන චිත‍්‍රපටියක්. වෙලාව ගොඩක් සීමිතයි

2. තත් 10 ක් ඇතුලත වැදගත් දෙයක් සිද්ද වෙන්න  ඕන.

අන්තර්ජාලයේ පේ‍්‍රක්‍ෂකයෙක් තත් 10ක් ඇතුලත තමන්ගේ වෙනත් වෙබ් අඩවියකට මාරු වීමේ තීරණය ගන්නවා කියලයි පර්යේෂකයො කියන්නෙ. එතකොට ඒ සීමාව ඇතුලෙ වෙබ් සිනමාවෙ සීමාවක් සළකුණු වෙනවා.

3. වැඩියෙන්ම පාවිච්චි වෙන ප්ලගින් 4ක් විතරක් පාවිච්චි කරන්න.

ෆ්ලෑෂ් ප්ලේයර්, රියල් ප්ලේයර්,  වින්ඩෝස් මීඩියා හෝ ක්වික් ටයිම් යන ප්ලග් ඉන් 4 ඔස්සේ ඔබේ  චිත‍්‍රපටිය බලන්න පුළුවන් වෙන්න  ඕන.

4. 320 ං 240 හෝ 640 ං 480 යන ප‍්‍රමාණයෙන් නිර්මාණය කරන්න.

මීට වඩා කුඩා වුණොත් අවධානය ගිලිහෙනවා. ඊට වඩා විශාල වුණොත් ෆයිල් එක බර වැඩි වෙනව.

5. රූප රාමු

සමීප රූප රාමු ඉන්ටර්නෙට් එකේ වැඩියෙන් වැඩ කරනවා. දුර රූප කියන්නෙ මේ මාධ්‍යයට ගැලපෙන රූපයක් නෙමෙයි. මේ නිසා තමන්ගේ භාෂාව ප‍්‍රායෝගිකත්වය ඇතුලෙන් හදාගන්න වෙනව.
6. ඩවුන්ලෝඞ් කරන්න පුළුවන් වෙන්න  ඕන.

ඔන්ලයින් බලන්න ගියොත් සද්ද රූප සින්ක් පනින්න පුළුවන්. හිට හිට යන්න පුළුවන්. ඒක හින්ද ඩවුන්ලෝඞ් කරන්න අවස්ථාව දෙන එක වැදගත්.

7. ඩබල් සයිස් කරන්න පුළුවන් වීම වැදගත්.

ෆයිල් එක පොඩියට ඩවුන්ලෝඞ්  වුණත් මැක්සිමයිස් කරද්දි දෙගුණ කරන්න පුළුවන් වුණොත් කොලිටි  එක පවත්වා ගන්න හොඳ වෙයි.

8. කෙලින්ම චිත‍්‍රපටිය පෙන්නන පිටුවට යූආර්එල් එකක්  ඕන.

9. ෆිල්ම් එකේ ක්‍රෙඩිට්ස් එක ෆේ‍්‍රම්  එකකින් ඉවර වෙන්න  ඕන.

ෆිල්ම් එක බැලූවට පස්සෙ පේ‍්‍රක්‍ෂකයාගේ වටිනා කාලය නාස්ති කරන්න එපා.

10. ඊ මේල් ඇඩ‍්‍රස් එකක් දෙන්න.

අනිවාර්යෙන්ම ඔබේ චිත‍්‍රපටිය හොඳ එකක් නම් බලන අය ඔබට ලියාවි. ඉන්ටර්නෙට් එකෙන් හැදෙන්නෙ ඒ විදිහෙ කෙලින් සම්බන්ධතාවක්.

මේ රීතින් වලින් කරන්නෙ වෙඞ්  සිනමාව වඩාත් ප්‍රොෆෙෂනල් කරන එක. ඒ වගේම තවත් ‘ප්ලග්ඉන් මැනිෆෙස්ටෝ’ කියල එකකුත් වෙබ් සිනමාව වෙනුවෙන් සංවර්ධනය වෙමින් තියෙනව. ඒක වෙබ් සිනමාකරුවන් අතින් වරින් වර සංස්කරණය වෙන ‘කොපි ලෙෆ්ට්’ (අයිතීන් නිදහස් කළ* රීති පද්ධතියක්.

කොහොම වුණත් දැනට ලංකාවෙ සිනමාකරුවන් වෙලා ඉන්න හරි වෙන්න යන හරි කට්ටිය මේ අනාගතයට පිවිසෙයි කියල හිතන්න බෑ. ඒ අය ‘සිනමාව’ කියල ගන්න හැ`ගවුම මෙතන සිනමාවට වඩා ගොඩක් දුර තියෙන එකක්. ඒත් අලූත් අය පටන් ගනීවි. වඩාත් පුද්ගලික අත්දැකීම් එලියට එන්න ගනීවි. කැමරා කාච, වර්ග, ලයිට් උඩ තීරණය වුණු සිනමාවේ සෞන්දර්යවේදය සංකල්පය, නිර්මාණශීලීත්වය කියන ඇත්ත තැන් වලට ගමන් කරාවි.

අලූත් සිනමාවක් වැඩ කරන්න පටන් ගනීවි අලූත් පේ‍්‍රක්ෂකයොත් එක්ක.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment