Tuesday, March 6, 2012

පාරදිගේ ආයිමත් ඇවිදින්න යන්න එන්න - 1 කොටස

ගිය සෙනසුරාදා කොළඹ හැම තැනම එක එක ආර්ට් වැඩ. අපි ෆ්‍රෙන්ච් අලියොන්ස් එකේ පතිරාජ ගෙ ‘පාර දිගේ’ පෙන්නුවා. කොළඹ තැන් කීපයකම ආර්ට් බියනාල් එකේ වැඩසටහන් තිබුණා. හවස මහින්ද, ගෝඨාභය එහෙමත් ඇවිත් ප‍්‍රදීපා ගේ සංගීතෙ තිබුණ. ඊට එහා පැත්තෙන් සෝනු නිගම් ගෙ ප‍්‍රසංගෙ. මේ හැමවැඩක්ම හවුස් ෆුල් වෙන්න තරම් සෙනග හිටියා. ආයිමත් කොළඹ ආර්ට් වැඩ වලට මිනිස්සු එකතු වෙන්න පටන් අරගෙන. දේශපාලනය, ආර්ථික සහ සාමාජීය හැම පැත්තකින්ම මිනිස්සුන්ගෙ බලාපොරොත්තු කුඩුපට්ටම් වෙද්දි ඒ අය ආර්ට් වලින් මොකක් හරි දෙයක් හොයනවා. ඒ හොයන එක හම්බුවෙනවද නැද්ද කියන්න මං දන්නෙ නෑ.

පාරදිගේ අපේ වැඬේට අජිත් තිලකසේනයි පතිරාජයි ඇවිත් හිටියා. ෆිල්ම් එක බලන්න තැනක් නැති හින්දම මං තිලකසේනගෙ පිටපත කීප සැරයක් කියවලා තිබුණ. මතක අමතක ගාණට මතක ටීවී එකේ පෙන්නපු ෆිල්ම් එකත් එක්ක පිටපතේ කතාව එකතු වෙලා මගේ ඔලූවෙ ‘මාර’ චිත‍්‍රපටියක් හැදිලා තිබුණ. පිටපතක් කියවලා ෆිල්ම් එකක් බලනවා කියන්නෙ ඒ ෆිල්ම් එකට කරන අසාධාරණයක්. කවදාවත් අපේ ඔලූව ඇතුලෙ හැදෙන රූපාවලියට සමපාත වෙන්න ඇත්ත චිත‍්‍රපටියට බැරි වෙනවා. ඒකෙන් අපිට ඇත්ත චිත‍්‍රපටිය මග ඇරෙනවා. එද ාමට ඒක වුණා.

අජිත් තිලකසේන කියන්නෙ මහ පුදුම මිනිහෙක්. සුදු පාට කොණ්ඩෙයි සුදු පාට ඇහි බැමයි එක්ක සුදු පාට දත් පෙන්නලා හිනාවෙච්ච ගමන් ඉන්න ඒ නිරහංකාර මිනිහා මාව ගොඩක් අවුල් කළා. තිලකසේනගේ කතා කියවද්දි මට තිලකසේන ගැන දැනිච්ච දේවල් හොය හොය මං ගොඩක් වෙලා බලන් හිටියා. ඒ කිසි දෙයක් කිසි විදිහකට සමපාත කරන්න බැරි වෙනස්ම මනුස්සයෙක්. එයා තමයි පාර දිගේ ලිව්වෙ.

අපි එදා පටන් ගත්තෙ ‘ෆෝරම්’ එකක් වගේ වැඩක්. ඒ කියන්නෙ චිත‍්‍රපටියක් එක්ක හැමෝම තමන්ට දැනිච්ච දේවල් හුවමාරු කර ගන්න විදිහෙ තැනක්. දේශකයෙක් සහ අහගෙන ඉන්න පිරිසක් කියන ආකෘතියෙන් එලියට ගිහින් හැම අදහසක්ම එලියට දාන්න පුළුවන්, ගැටෙන්න පුළුවන් විදිහෙ කතිකාවතක් ගැන අත්හදාබැලීමක් ඒක. රූපවාහිනියෙන් ගත්ත පාට පිච්චිච්ච, පැන පැන යන කොපියක් තමයි ඉතුරු වෙලා තිබුණෙ.

පාර දිගේ ෆිල්ම් එක 1980 දි ලංකාවෙ රිලීස් වෙනවා. ඒත් සුමානයක් වත් දුවන්නෙ නැතුව ඒක ගැලවිලා යනවා. විවෘත ආර්ථිකයත් එක්ක කොළඹ එන ගමේ මැද පංතිය ගැන, ඒ ගොල්ලො කොකා කෝලා බීපු හැටි ගැන කතාව 80 කට්ටියට දරා ගන්න බැරි වෙනවා.

‘ඔය ෆිල්ම් එක පුච්චලා නළලෙ අළු ගාගන්න කියන්න’ අරුණ ගුණරත්න ෆිල්ම් එක ගැන ඇහුවම මට කිව්වා.

‘පතී ගෙ ෆිල්ම් වලින් මං කැමතිම එක’ සත්‍යා කිව්වා.
ෆිල්ම් එකේ තිරකතාවට ලියන පෙරවදනෙ තිලකසේන ලස්සන කතාවක් කියනවා. ‘මේ තිර කතාව සාහිත්‍ය කෘතියක් හෝ වෙනම ගත හැකි කලා කෘතියක් නොවේ. කෘතිය වන්නේ අධ්‍යක්‍ෂ විසින් මේ පිටපතින් කරන නිර්මාණයයි.’ රචකයා හැටියට ඒ කියන වෙනස්, විෂයයික අදහස ගැන මට ඇති වුණේ ගෞරවයක්. ඒත් මට අනුව රචකයා තමයි කෘතිය. විශේෂයෙන්ම පාර දිගේ තිර කතාව කියවද්දි ඒක හොඳටම දැනෙනවා. ඇත්තටම පතීගෙ අතින් තිරකතාව දුර්වල වෙනවා කියන එකයි මගේ අදහස.

පතීගෙ චිත‍්‍රපටි වලින් ගොඩක් අය කැමති, බඹරු ඇවිත්, අහස් ගව්ව වගේ ඒවා මට ‘මාර’ නෑ. ඒවයෙ මට පේන්නෙ පතීගෙ වාමාංශික දේශපාලනයේ සීමාව. ඒ චරිත මට කෘතිමයි. ඒත් පතී අතින් අහම්බෙන් හැදුණ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සහ ‘පාර දිගේ’ මට ‘මාරයි’. අධ්‍යක්‍ෂක හැටියට ඒ චිත‍්‍රපටිවලදි පතී ‘කන්ෆිඩන්ට්’ නෑ. ඒ කතා අල්ලන්න පතීගේ දේශපාලනික දෘෂ්ටියට බැරි වෙනවා. ඒත් ඒවා ඇතුලෙ ජීවත් වෙන චරිත අපිට දැනෙන්න ගන්නවා. උදා විදිහට මාලනීගේ මට අනුව විශිෂ්ටතම රංගනය තියෙන්නෙ ‘එයා දැන් ලොකු ළමයෙක්’ ෆිල්ම් එකේ. ඒ වගේම විජේ ගෙ හොඳම රංගනයත් ‘පාර දිගේ’.

විවෘත ආර්ථිකේ එක්ක කොළඹ ඇවිත් නන්නත්තාර වෙන ගමේ තාරණ්‍යය ගැන කතාවක් වුණාට තිලකසේන ඒක ලියන්නෙ වාමාංශික දෘෂ්ටිවාදයක් ඇතුළෙන් නෙවෙයි. ඒ වෙනුවට ජීවිතේ සහ සිහින ගැන කතාවක් ඇතුළෙන් එයා ඒ සමාජ සංස්කෘතික පෙරලිය විස්තර කරනවා. ඒකයි පාර දිගේ අනන්‍යතාව. ගමේ වතුකාරයාගේ නිවුන් දුවලා තුන් දෙනා මුණගැහෙන උපන් දින සාදය ගැන කොටස 80 වගේ කාලෙක කොහොම ලිව්වද කියල මට හිතාගන්න බෑ.
‘පතිරාජ කියන්නෙ ලංකාවෙ ජිම් ජාර්මුෂ්. පාර දිගේ ෆිල්ම් එකත් එක්ක ජාර්මුෂ් ගේ ‘ඩවුන් බයි ද ලෝ’ හරි ‘ස්ටේ‍්‍රන්ජර් දෑන් පැරඩයිස්’ හරි බැලූවොත් ඒක හොඳට පේනවා’
- බූඩි කීර්තිසේන

ඒත් මං කියන්නෙ ඒ මැජික් එක පතිරාජගෙ නෙමෙයි. තිලකසේනගෙ. ෆිල්ම් එකේ දර්ශනයකට අදාල හැද අංශුමාත‍්‍ර විස්තරයක්ම තිලකසේන පිටපතේ ලියනවා. ඒත් 80 වගේ කාලෙක එක පැත්තකින් පතිරාජට සම්පත් නෑ මේ හැම එකක්ම ෂූට් කරන්න. අනෙක් අතට පතීට මේ කතාවෙ ගැඹුර ඇල්ලෙන්නෙ නෑ. තිලකසේන ගේන ‘සාරයක් අහිමි’ චරිත අල්ලන්න සහ බිඳිච්ච ආඛ්‍යාන රටාව ඇතුලෙ යන්න පතීට අමාරුයි. තිර කතාව කියවපු කෙනෙකුට ෆිල්ම් එක බලද්දි එන ලොකුම අවුල ඒක.

චන්දරේ ගමේදි කොළඹ ගැන හීනයක් දකිනවා. කොළඹ පාරක පාළු වෙලාවක ඇවිදගෙන යද්දි කඬේක ප්ලාස්ටික් ගෑණු රූපයක් තමන්ට සංඥාවක් කරනවා වගේ චන්දරේට පේනවා. ඒ අවුලෙන් ඇවිත් බස් හෝල්ට් එකක ඉඳිද්දි හෝල්ට් එකේ ‘නවතිනු’ කියන බෝඞ් එක ඔලූවට කඩාගෙන වැටෙනවා. ඒක කොහේ හරි හේත්තු කරලා තමන්ගෙ ගමන යන්න චන්දරේට බැරි වෙනවා. එයා ඒකත් අරන් බස් එකේ නගිනවා.

මේ හීනෙ චිත‍්‍රපටිය ඇතුලෙ කෙටි චිත‍්‍රපටියක් කියන සිනමාත්මක තර්කයකින් පතී අත් අරිනවා. ඒත් මේ හීනෙ ගමේ නිවුන්නු තුන් දෙනා තරම්ම වැදගත්. පතීගෙ දේශපාලනික දැක්මට හීන කොටස එච්චර සෙට් වෙන්නෙ නෑ. මේ වගේ තවත් ගොඩක් තැන්වලදි පතී අතින් පාර දිගේ මග ඇරෙනවා. ඒත් රංගනයේ, දෙබස් වල තියෙන සියුම් එකින් එක අසම්බන්ධතා ඇතුලෙන් පතී ෆිල්ම් එක ජාර්මුෂ් ගෙ අවකාශයට අරගෙන යනවා. මට  ඕන කරපු සුරතාන්තය දෙන්න ඇත්ත චිත‍්‍රපටියට බැරි වුණාම මට පාර දිගේ රීමේක් එකක උවමනාව වෘෂණ කෝෂ වල ඉඳන්ම දැනෙන්න ගත්තා.

මේ කතාව තිලකසේනගේ ඔරිජිනල් එකක් නෙමෙයි කියල මට සත්‍යා කිව්වා. පාර දිගේ ලියන්න තිලකසේන ප‍්‍රංශ කතාවක් අනුවර්තනය කරනවා. ඒ ප‍්‍රංශ කතාවෙ නම සත්‍යාට මතක තිබුණෙ නෑ. ඒත් ඒ කතාවෙ අන්තිමටත් මේ විදිහටම මේ දෙබසම තියෙනවා කියලා සත්‍යාට මතක තිබුණ. වාහන සීස් කරන චන්දරේ සහ යතුරුලියන්නියක් අතර පේ‍්‍රමය වගේ හු`ගක් ආගන්තුක තැනක කතාව ගොඩනැගෙද්දි මට දැණුන නුහුර/ අපූර්වත්වයට හේතුව ඒ ඔත්තුවේ තිබුණ. ඒත් ඒකෙන් තිලකසේනට කිසි අඩුවක් වෙන්නෙ නෑ. ඒ කාලෙ මේ අදහස් මේ රටට මේ තරම් නිර්මාණාත්මකව හැඩගස්සන්න එයාට තිබුණ හැකියාව වෙන කාටවත් තිබුණෙ නෑ.

පේ‍්‍රමසිරි කේමදාසගෙ සංගීතය ෆිල්ම් එක කනවා. එයාගෙ අත්හදා බැලීම් වලටත් යම් ඉඩක් දෙන්න වුණා කියල පතිරාජ කිව්වා. ඒත් ඒ අත්හදා බැලීම් පුදුම තරම් මෝඩයි. රූපයේ භාවය ගැන තියෙන නොදැනුම එලිපිටම කියන ගාණයි. ඒ වගේම චිත‍්‍රපටිය පුරා එක තේමාවක් ඔස්සේ සංගීතය නිර්මාණය කරන්න වත් කේමදාසට බැරි වෙනවා. පාර දිගේ වගේ ෆිල්ම් එකක මියුසික් කියන්නෙ ඒකෙ ලොකු කොටසක්. මේ කතා කරන්නෙ පොප් සංස්කෘතියෙ ආගමනය ගැන. එතනදි කේමදාසටත් තමන්ගෙ ජීවිතේ පැටලෙනවා.

ෆිල්ම් එක ඉවර වුණාට පස්සෙ අපි කෝපි බීලා කතා බහ පටන් ගත්තා. අපි කරගෙන යන වැඬේ ඇතුලෙ සිනමා උළෙල වල් වෙනුවෙන් නිර්මාණය වෙච්ච සම්භාව්‍ය ප‍්‍රධාන ධාරාවෙ චිත‍්‍රපටි වෙනුවට යටවෙලා ගිය ලංකාවෙ ඇත්ත නාඩි අල්ලපු චිත‍්‍රපටි සංවාදයට ගන්නවා කියන අදහස මං කිව්වා. 56 රේඛාවෙන් පටන් ගත්ත මේ යුරෝපීය සිනමා උළෙලවල් වලට  ඕන විදිහට චිත‍්‍රපටි හදන ධාරව නිසා ලංකාවෙ ඇත්ත සිනමාවට කෙළවුණා කියන එකයි මගේ අදහස. උද විදිහට මහගමසේකර ගෙ තුංමං හන්දිය, සුගතපාල සෙනරත් යාපා ගෙ චිත‍්‍රපටි වලට අවශ්‍ය කරපු කියවීම සහ පිළිගැනීම ඒ හින්ද ලැබුණෙ නෑ. කළු දිය පොකුණ වගේ චිත‍්‍රපටි වලින් අපේ ඊළ`ග සිනමා පරම්පරාව පන්නරයක් ගත්තෙ නෑ. මේ මගහැරුණු ඉතිහාසය අයිමත් ඇහිඳින්න  ඕන කියලා මං කිව්වා. ඒකෙන් පාර දිගෙන් එලියට විසිවෙලා අපි වෙනස් සංවාදයකට වැටුණ.

සම්මාන සිනමාව සහ අපේ ඇත්ත සිනමාව ගැන මාත් සංජීව පුෂ්පකුමාරත් අතරෙ වුණු කතාබහ විනාඩි කීපෙකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒත් එහෙම ඉවර කරන්න සිද්ද වුණු නිසාම හු`ගක් වැරදි විදිහෙ චිත‍්‍ර එතනදි මතුවෙන්න ඉඩ තිබුණ.

(සම්මාන සිනමාව සහ අපේ සිනමාව- ඉතිරි කොටස ලබන සතියට*

-චින්තන ධර්මදාස




1 comment:

  1. වෙනදා වගේම චින්තා කාගෙන් හරි අහුලා ගත්ත ඒවා ටිකක් දාලා !

    ReplyDelete