Saturday, May 5, 2012

දාවිත් ගේ කැටපෝලයෙන් ගොලායත් මැරීම.


පරණ අවුරුද්දෙ  බූඩිව හම්බුවෙන්න ගියා. හු`ගක් කාලෙකට පස්සෙ. ‘මාතා’ (බූඩිගේ චිත‍්‍රපටිය) ගැන එයාට තියෙන්නෙ වෙන අදහසක්. ඒක දේශපාලනෙන් ගලවලා සිනමාව කියලා වෙනම තැනක තියාගෙන කතා කරන්න  ඕන වගේ එකක් බූඩි හිතන්නෙ. උතුරු නැගෙනහිර දහස් ගණන් මිනිස්සු මැරිච්ච යුද්ධයක් ගැන පොලිටිකල් නොවෙන තැනකින් ගන්නවා කියලා ආණ්ඩුව යුද්දෙ ගැන කියන කතාව චිත‍්‍රපටියකට ගනිද්දිම, ඒක දේශපාලනික සහ ආණ්ඩුවට කඬේ යන වැඩක් වෙන විදිහ බූඩිට තේරෙන්නෙ නෑ. නැත්තං තේරුං ගන්න අකමැතියි. අනික අපොලිටිකල් ආර්ට් එකක් නෑ කියන එක කවදාවත් බූඩිට තේරුම් කරන්න බෑ. ඒක තේරුම් ගත්තොත් එයාට වැඩ කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපිට ලංකාවෙ ඉන්න එකම අවංක චිත‍්‍රපටිකරුවා අහිමි වෙනවා. මට ඒක කරන්න  ඕන නැති හින්ද මං කටවහ ගත්තා.

විචාරකයන් මාතා ගත්ත විදිහ ගැනත් බූඩිට අවුල්. එයාට අනුව ඒකට මාත් හවුල්.
‘ඔයා මොනාද ඔය කරමින් ඉන්නෙ?’ බූඩි සීරියස් විදිහට මාව ප‍්‍රශ්න කළා.

‘කල්ට්’ කියල එකක් ඔහොම හදන්න බෑ. එයා අභියෝග කළා.

මම ආපහු මගේ පැත්තට හැරිලා කල්පනා කළා.
‘මං සිනමාකරුවෙක් නෙමෙයි. මං ඇඞ්වර්ටයිසර් කෙනෙකුත් නෙමෙයි. මං ලේඛකයෙක් නෙමෙයි. මං වැඩ කරන්නෙ මොකක් වෙනුවෙන්ද?’

‘මං ඇක්ටිවිස්ට් කෙනෙක්’
ඒ වෙලාවෙ හිතාගන්න ළ`ගම දේ මං බූඩිට කිව්වා. ‘කල්ට්’ කියන එක ගැන බූඩිට තියෙන අවුල මගේ තව යාලූවො ගොඩකට තිබුණ. ‘පහේ කල්ලිය’ කියල අපි පටන් ගත්ත වැඬේටත් ආපු මූලික චෝදනාව වුණේ ‘කල්ලි’ කතාව. ඇයි ලංකාවෙ අයට ‘කල්ට්’ තේරෙන්නෙ නැත්තෙ? ඇයි ඒ ගොල්ලො ‘කල්ට්’ වලට බය?

‘චින්තා පොරක් වෙන්නයි කල්ලි හදන්නෙ’
හැමතිස්සෙම දෙවෙනියට කියවෙන මේ කතාවෙන් කල්ට් වලට තියෙන අවුල පැහැදිලි වෙනවා. මේක බලය ගැන ප‍්‍රශ්නයක්. නායකත්වයක් හරි යාලූකමක් හරි ඇතුලෙ වැඩ කරන්න විනයක් හෝ පුහුණුවක් නැතිකම. හැමතිස්සෙම ඉලිප්පිලා එලියට එන්න හදන ලංකාවෙ හීනමානය. තමන්ට වඩා විශාල වැඩක තමන්ගේ කොටස ඉටු කරන්න තියෙන ඇත්ත  ඕනකම ගැන හෘදය සාක්‍ෂියක් අපේ සමාජෙට නෑ.

කල්ට් හරි වෙන මොකක් හරි සමාජ ව්‍යාපෘතියක්, සරලව කිව්වොත් අදහසක් වෙනුවෙන් වැඩක් පටන් ගන්න තියෙන  ඕනකම ‘පුද්ගලික බලය’ ගැන ආශාවකට වඩා ලොකුයි. උදාහරණයක් විදිහට අපි බලන්න කැමති නාට්‍ය, අහන්න කැමති සිංදු, විඳින්න කැමති ජීවිතය මහින්දගෙ ආණ්ඩුව යටතෙ ඇකිලෙන්න පටන් ගනිද්දි ඒ සාමාජීය බෙදාහදා ගැනීම් වෙනුවෙන් වැඩකරන්න වෙන එක ජීවිතේ අවශ්‍යතාවයක්. සාමාන්‍යයෙන් සමාජ ජීවිතයක් ගැන අදහසක්වත් තියෙන කෙනෙකුට මේ උවමනාවෙන් ගැලවෙන්න බෑ. ඒක සිද්ද වෙනවා. මහා සමාජය වෙනුවෙන් නෙමෙයි. ඉතා පුංචි පිරිසක් වෙනුවෙන්. ඔවුන් අතරෙ හුවමාරු වෙන පුංචි අදහස් වෙනුවෙන් කල්ට් වැඩ පටන් ගන්නවා.

‘බුද්ධාගම කියන්නෙ පටන් ගනිද්දි ‘කල්ට්’ එකක්. වෙජිටේරියන් කියන්නෙ ‘කල්ට්’ එකක්’ මං බූඩිට තේරෙන තැනකට කතාව ගෙනාවා.

කල්ට් කියන වචනෙ එන්නෙ ප‍්‍රංශ culte කුල්ටෙ කියන වචනෙන්. ඒකෙ මුල ලතින් ‘කුල්ටුස්’ cultus කියන එක. ඒකෙ අදහස වුණේ රැකබලා ගැනීම, ආදරය කිරීම වගේ දෙයක්. ඒ තේරුම හැදෙන්නෙ to cultivate ‘වගා කිරීම සඳහා‘ කියන අදහසින්.

ඒත් දැන් මේ වචනය පාවිච්චි වෙන්නෙ වෙනත් සංදර්භවල. එක විදිහකට මේකෙ ආගමික ගතියක් තියෙනවා. ඒ වගේම විශ්වාස සහ ඇදහිලි වගේ පැත්තකුත් තියෙනවා. අපි ‘කල්ට්’ කියල පාවිච්චි කරන අදහස යම් කලාවක් හෝ අදහසක් වෙනුවෙන් තියෙන සීරියස් කැපවීම. ඒක සමාජගත කිරීම වෙනුවෙන් තියෙන වැඩ කොටස.

මේක දේශපාලන පක්ෂයක් වගේ අදහසකින් වෙනස්. දේශපාලන පක්ෂයක තාර්කික, බල කේන්ද්‍රීය, තරගකාරීත්වය වෙනුවය කල්ට් එකක් ඇතුලෙ තියෙන්නෙ ආධ්‍යාත්මික පැත්තට බර ‘ස්වයං’ පුහුණුවක්. ඒ වගේම ඒක වෙනස් සංස්කෘතියක්, වෙනස් ජීවිතයක් යෝජනා කරනවා. සම්මත මහා සමාජ ජීවිතයට වඩා විකල්ප ජීවිත රටාවන් පර්යේෂණය කරනවා. මේ විදිහට දේශපාලන අදහසකට වඩා කල්ට් එකක අදහස ගැඹුරුයි. ජීවිත බද්ධයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මිකයි.

”කල්ට් පොතක් බෙස්ට් සෙලර් පොතකට වඩා වෙනස්. ඒත් ගොඩක් කල්ට් පොත් බෙස්ට් සෙලර්ස් වෙනවා. කාපට් බැගර් කියන්නෙ බෙස්ට් සෙලර් පොතක්. ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ කියන්නෙ කල්ට් පොතක්.

ඒ පොත් ලොකු අදහස් තියෙන මහා පොත් වලින් වෙනස්. ඒත් කල්ට් පොත් ගොඩක් ඒ වගේ ලොකු බලපෑමක් ඇති අදහස් ගෙනාවා. ‘ඔරිජින් ඔෆ් ස්පෙසීස්’ කියන පොත ඉතිහාසෙ වෙනස් කළා. ඒත් ‘සරතුස්ත‍්‍රා මෙසේ දේශනා කළ වගයි’ කියන්නෙ කල්ට් වැඩක්.
බයිබලය, කුරානය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය ජීවිත වෙනස් කළා තමයි. ඒත් ඒ වෙනස් කළේ ප‍්‍රජාවකගේ ජීවිත. තනි පුද්ගල ජීවිතය නෙමෙයි. කල්ට් වැඩකින් කතා කරන්නෙ එතනට’



දුප්පත් විදිහට හරි ලංකාවෙ කල්ට් පොත් ලියන්න පටන් ගත්තෙ මුලින්ම ඩබ්ගඒ සිල්වා. පස්සෙ ඞීමන් ආනන්ද. ඒත් මෙහේ කල්ට් වැඩ හරියට වැඩ කළේ නෑ. ඒකට හේතුව එහෙම ‘කල්ට්’ උවමනාවක් ඇතුලෙන් නෙමෙයි ඒවා එලියට ආවෙ. බූඩි ‘කල්ට්’ ්එහෙම හදන්න බෑ කියන්නෙ මේ අදහස හින්ද. ඒත් ප‍්‍රධාන ධාරවෙ ජීවිතේකට වඩා වෙනස් පැවැත්මක් සහ ඒ පැවැත්ම වෙනුවෙන් සංවාදයක් තියෙන තනි ජීවිතයක් වුණත් කල්ට් එකක්.
‘බුද්ධ’ කියන්නෙ කල්ට් එකක්.
‘ජේසු’ කියන්නෙ කල්ට් එකක්.
චාල්ස් මැන්සන් කියන්නෙ කල්ට් එකක්.
ප‍්‍රභාකරන් කියන්නෙත් කල්ට් එකක්.

අමතක කරන්න බෑ, මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් කල්ට් එකක්. අද ඒක ප‍්‍රධාන ධාරාව වෙලා. මේ කල්ට් එක ඇති වුණේ ‘ගංගොඩවිල සෝම’ එක්ක. සිහල උරුමය, කුරහන් සාටකය, මේ ඔක්කොම කල්ට් වැඩ. ඒත් ඒ සමාජ විද්‍යාව කියවන්න අපිට තේරෙන්නෙ නෑ.

කල්ට් එකක හොඳ නරක, සදාචාරය වගේ දේවල් පිට ඉඳන් තීරණය කරන්න බෑ. ඒ සදාචාරය එකින් එකට වෙනස් වෙනවා. උදා විදිහට මුස්ලිම් ආගමික විශ්වාස ගැන බුද්ධාගමේ ඉඳන් ප‍්‍රශ්න කරන්න බෑ වගේ. බුද්ධාගම කියන්නෙ කල්ට් එකක් විදිහට ඇවිත් රාජ්‍ය ආගමක් දක්වා ව්‍යාප්ත වුණු සංස්කෘතියක්. ඒත් ලංකාවෙ දැන් ආයිමත් බුද්ධාගම කල්ට් එකක් වෙනකල් ඇකිලෙන්න පටන් අරං. ‘සෙනසුන’ ‘සදහම් ආශ‍්‍රම’ ‘මහමෙව්නා’ වගේ වෙනස් වෙනස් අලූත් නිකායන් බිහිවෙන එක සහ ෆේස් බුක් පිරෙන්න මුස්ලිම් පල්ලි කඩන්න යන ත‍්‍රස්තවාදී බෞද්ධ කණ්ඩායම් වලින් කියන්නෙ බුද්ධාගමේ මේ පසුබැස්ම. කල්ට් එකක් කාලයක් යද්දි ප‍්‍රධාන ධාරාව වෙලා පස්සෙ ආයිමත් කල්ට් ගණනාවකට කැඩිලා නැති වෙලා යන්න පුළුවන්.

ඒක හින්ද අපි ‘කල්ට්’ කියන එක සදාකාලික යමක් නෙමෙයි. ඒක මේ මොහොතේ අවශ්‍යතාවයක් නියෝජනය කරනවා විතරයි. අපි යමක් ගැන කියන අදහසක් ඒ ගැන එකම අදහස හෝ නිවැරදිම අදහස නෙමෙයි.  ‘නිවන’ ද ඇත්ත ‘ස්වර්ගෙ’ ද ඇත්ත කියලා හොයන එකේ තේරුමක් නෑ වගේ අපේ අදහස්වල ඇත්ත හෝ බොරුව හොයන එක තේරුමක් නෑ. ඒක අපේ ජීවිත වලින් හොයන එක්තරා හැඩයක්. තවත් වෙනස් අදහස් ගොඩක් ඇතිවෙන්න  ඕන. සාකච්ඡා වෙන්න  ඕන. අපිට වැදගත් වෙන්නෙ වැදගත් මාතෘකාවක් යටතේ සංවාදයක් පටන් ගන්න එක විතරයි.

කල්ට් එකක තියෙන වැදගත්ම කාරණේ අපි එතනදි අපේ ජීවිතේ අලූතෙන්ම නිර්මාණය කරන්න පටන් ගන්න එක. ස්වභාවිකයි කියලා අපි එක`ග වුණු මහා සංස්කෘතියෙ හැම පැවැත්මක්ම කල්ට් එක ඇතුලෙදි ප‍්‍රශ්න වෙනවා. එතකොට වෙනස් අදහස් සහ පැවතුම් නිර්මාණය කරන්න වෙනවා. ඒක අලූත්. ඒක සවිඥාණක ව්‍යායාමයක්. මට හිතෙන්නෙ ජීවත් වෙනවා කියන්නෙ ඒකට. අනිකට කියන්නෙ උපන්නාට මේ ලොව වැනෙනවා විනා කියල.

කල්ට් වැඩ වලට මහා සංස්කෘතියෙ ආර්ට් වලට දෙන විචාර අදාල වෙන්නෙ නෑ. ඒවා විඳින්නෙ ‘මාර’ කෘති හින්ද නෙමෙයි. ඒ ‘මාර’ කියන එක නැත්තං ‘ප‍්‍රබුද්ධ’ අදහස එන්නෙම ප‍්‍රධාන ධාරාවට තියෙන ගැතිකමත් එක්ක.

‘මචං, අමරසිරි පීරිස්ගෙ වගේ සිංදුවල තියෙන වචන උඹ විඳින්නෙ නැද්ද? මේ අලූත් සිංදු වල වචන එහෙම විඳින්න බෑනෙ’

මගේ යාලූවෙක් ඇහුවා.
මේ කතාකරන වචන ඇතුලෙ තියෙන බලය එයාට තේරෙන්නෙ නැති දෙයක්. ඒක සාමාන්‍යයක්. ඒක සිංහල සාහිත්‍යය වගේ දෙයක්. ඒ වචන භාවිතය ඇතුලෙ ගොඩනගන ප‍්‍රබුද්ධ කියන පචය ප‍්‍රශ්න කරන්න එයාට උවමනාවක් වෙන්නෙ නෑ. හේතුව ප‍්‍රධාන ධාරාවෙ ජීවිතේකට පිටින් විකල්ප අවශ්‍යතාවයක් ඒ රස ඉන්ද්‍රියන්ට නෑ. මට තියෙන ගැටළුව වචන නෙමෙයි. ඒ වචන පිටිපස්සෙ තවදුරටත් ජීවිතේ තියෙනවද කියන එක.

සමහර වෙලාවට කෑලි කෑලි වචන වලින් ගැටගහන ‘පීචං’ සිංදු ඇතුලෙ මට ඒ ජීවිතේ දැනෙනවා. මං ආර්ට් කියන්නෙ එතෙන්ට. අමරසිරි පීරිස්ට වඩා සට නිහාල් නෙල්සන් (ඉස්සර) ‘පොරක්’ වෙන්නෙ ඒ හින්ද.
‘ආසි හේරු පොරෝ බූරු රජවෙලා ඇත්තෙ
පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ’

මේ කියන්නෙ වෙනස් ජීවිත කලාපයක් ගැන. ඒක මනක්කල්පිතයක් නෙමෙයි. ඒක වෙනස්. කලාව කියන එක අයිති ප‍්‍රධාන ධාරවට. වෙනස් ආර්ට් එකක් හැදෙන හැම වෙලාවකම ඒක මේ ‘කලාව’ කියන එකට ප‍්‍රතිවිරුද්ධ වීම අනිවාර්යයක්. මේ සදාචාර සීමා වලින් එහාට යන එකම තමයි එතනදි වැදගත්. වචන වැදගත් වෙන්නෙ මේ පවතින ‘කලාවට’.

කල්ට් වැඩක් ඇතුලෙ හැමතිස්සෙම සංසන්දනය වෙන්නෙ ඇත්ත ජීවිතේ. ප‍්‍රධාන ධාරව එක්ක ඞීල් දාන අතරෙ ‘කල්ට්’ වැඩ කරන්න බෑ. එතකොට ඒක ෆැෂන් වැඩක් වෙනවා. අපි ‘පොලිටික්ස්’ කියන්නෙ මේ කතාවට.  බූඩිට හැමදාම වරදින්නෙ එතන.

-චින්තන ධර්මදාස

1 comment:

  1. බොහොම profound අදහසක්. අපේ සංස්කෘතික අවකාශවල අධිකාරය උසුලන්නේ මොකක් හරි මහා කුඩයක් යටට ම ගොනු වෙමු අනේ කියන අදහස තමයි. මොකක් හරි අලුත් දෙයක් ආරම්භ වුන ගමන් ම ඒක ආයතනගත කරන්න එහෙමත් නැත්නම් මේක රජය විසින් කල යුතු වැඩක් ය වගේ කතාබහ සිද්ද වෙන්නත් හේතුව ඒකයි කියලයි මට හිතෙන්නෙ. නමුත් කල්ට් මගින් සංස්කෘතිය ජීවිතය අර්ථවත් වෙන්නේ ඊට වඩා බොහොම සූක්ශ්ම තැනකින්. සමහර වෙලාවට අතුරු පාරවල් අධිවේගී මහාමාර්ගයට වඩා මානුශික යි. අතුරු පාරවල නැවතිලා කයිය ගහන්න ඉස්පාසුවක් තියෙනවා. අවශ්‍ය නම් ගමනේ යෙදෙන්නත් පුලුවන්. ඒක මට වැටහෙන විදිහ. මේක ලිව්වට ස්තුතියි.

    ReplyDelete