Saturday, September 20, 2014

සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ



මගේ අතිජාත මිත‍්‍රයා චන්දන ප‍්‍රසන්න දවසක් අමුතු කතාවක් කිව්වා. ඌ කතා කරන්නෙ ගොඩක් අඩුවෙන් වගේම කිව්වොත් කියන්නෙත් අංජබජල් කතාවක්.

‘ඔය දඩයම් වලට පුරුදු වෙච්ච එකෙන් ආපු දෙයක් වෙන්න  ඕනි පාර්ටි දානවා කියන එක. මොකද කොහොමටත් දඩයමෙන් ලොකු සතෙක් එළා ගත්තම ඒක තනියෙන් කාලා ඉවර කරන්න බැරි වෙනවනේ. අනික කල් තියාගන්නත් බෑ, නරක් වෙනවා. එතකොට හොඳම දේ කට්ටියම එකතුවෙලා පාර්ටියක් දාලා මේක කාලා ඉවර කරන එක. වෙන දවසක වෙන එකෙක් ලොකු සතෙක් එලා ගත්තමත් ඒක ඒ විදිහටම වෙනවා. එතකොට පාර්ටි කියන එක ඒ සංස්කෘතියෙ කෑල්ලක් විදිහට හැදෙනවා.

ඒත් කෘෂිකාර්මික කතන්දරේ ගත්තම සම්පූර්ණයෙන් අනිත් පැත්ත. ඒකෙ එක කාලෙකටයි අස්වැන්න එන්නෙ. ආයිත් එන්නෙ නෑ. එතකොට ඒ අස්වැන්න කොහොම හරි අනිත් කාලවලට ඉතුරු කර ගන්නයි හිතන්නෙ. ඒවා නරක් වෙන්නෙත් නෑ. පුළුවන් තරම් පවුල ඇතුලටයි, පුද්ගලික විදිහටයි දේවල් හැඩගැහෙන්නෙ. ඒක හින්ද පාර්ටි දානවා වගේ දේවල් මේ සංස්කෘතියට සෙට් වෙන්නෙ නෑ. සාමූහිකව දේවල් විඳින බෙදාගන්න එකක් වෙනුවට වැඩියෙන් පුද්ගලික ඉතුරු කරන්න බලන වර්ගයක් විදිහටයි හැදෙන්නෙ....’

ඒක ඌ විස්තර කළේ බටහිරට වෙනස්ව පෙරදිග අපේ සංස්කෘතියෙ මේ සාමූහික විනෝද වීමේ ආකාරයන් හරියට හැදෙන්නෙ නැත්තෙ ඒක ආහාර සපයාගැනීමේ සංස්කෘතියක් විදිහටම මූලික සළකුණු කිරීමක් සිද්ද වෙන හින්ද කියල. ඒ විදිහටම හරියටම කියන්න බැරි වුණත් ටිකක් හිතලා බලන්න පුළුවන් දේවල් ටිකක් මේ හරියෙ ගැවසෙනවා කියල මට හිතුන.

ලංකාවෙ පාර්ටි දානවා වෙනුවට සිංහල බෞද්ද ක‍්‍රමය දාන දෙන එක. දැන් උපන්දින පාර්ටි වගේ දේවල් පවා දානමාන වලට පෙරලි පෙරලි එන්නෙ. අපි හිතන ක‍්‍රමයට අනුව එහෙම ගිලනුන්ට මහණුන්ට දාන දෙන එක පාර්ටි දානවට වඩා අර්ථවත්. ඒත් එතන තියෙන්නෙම පාර්ටියකදි සිද්ද වෙන දේ ගැන හැ`ගීමක් දැනීමක් නැතිකම.

ගොඩක් බෞද්දයො කිපෙන්න පුළුවන් වුණත් මං දකින්නෙ දානමාන මතු දවසක සැපයක් වෙනුවෙන් කරන ආමිස පූජාවල් වෙද්දි පාර්ටියක් වගේ දෙයක් ඒ වෙලාවෙ අත්දැකීමක්, විඳීමක්, වෙන ප‍්‍රතිපත්ති පූජාවට ළ`ගයි කියල. ඒකෙ සංගීතය හෝ නර්තනය හෝ වෙන මොනයම් පිස්සුවක් විදිහට හරි අපි ශරීරය ඉක්මවා යන අත්දැකීමකට සමවදිනවා. ඒ සාමූහික විනෝදය හුදු බාහිරයක් විදිහට පෙණුනට ඒකෙ අභ්‍යන්තරයට වැඩකරන කොටස වැඩියි. ඒත් මේ හැමදෙයක්ම වෙන්නෙ පාර්ටි කියන එක සංස්කෘතියක් විදිහට ඇ`ගට වැදිලා තිබුනොත් විතරයි.

ඉංග‍්‍රීසියෙන් පාර්ටි කියන වචනය වෙනස් තේරුම් දෙකක් දෙනවා. එකක් සාමූහිකව පිරිසක් විසින් සපයාගන්නා විනෝදය. සාදය කියන අදහස. තව පැත්තකින් පක්ෂය, බෙදීම කියන අදහස. එක පැත්තකින් සාමූහික බෙදාහදා ගැනීමක් යෝජනා කරන වචනයම අනිත් පැත්තෙන් හුදකලා වීමක් බෙදීමක් යෝජනා කරනවා. අපි කරන්නෙ මොන පාර්ටිද කියල තෝර ගන්න එක අපිට බාරයි.

විකිපීඩියාවට පැරඩි එකක් විදිහට හදපු අන්සයික්ලොපීඩියා එකේ පාර්ටි ගැන ලස්සන වාක්‍ය දෙකක් තිබුණ.
‘ඇමෙරිකාවෙ ඔයාට කොහේ වුණත් පාර්ටියක් හොයා ගන්න පුළුවන්’
-ඔස්කා වයිල්ඞ්

‘රුසියාවෙ ඔයා කොහේ හිටියත් පාර්ටියට හොයා ගන්න පුළුවන්’
දෙවෙනි තැනදි පාර්ටිය කියන්නෙ පක්ෂය කියන අදහස. අපි විනෝදය සොයා යාම සහ විනෝදය අපි සොයා පැමිණීම කියන දෙකේ තියෙන භයානක වෙනස මේ වාක්‍ය දෙකේ තියෙනවා.

පාර්ටි ගැන අදහස දිගේ ඔහොම ගත වෙවී එද්දි මට ඇන්ඩෘ. ඩබ්. කේ ව මුණගැහුන. ඇන්ඩෘ කියන්නෙ ඇමෙරිකාවෙ ගායකයෙක්. මියුසික් කරන කෙනෙක්. ඒත් මේ වෙද්දි එයා ෆිලොසෆර් කෙනෙක් විදිහට අලූත් අදහස් සමාජගත කරමින් ඉන්නවා. විශේෂයෙන්ම එයා විලේජ් වොයිස් ස`ගරාවට හරිම සරල ලෞකික කාරණා ගැන ලියන කොලම ගොඩක් ජනප‍්‍රිය එකක් වුණා. ඒ වගේම ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලෙ ආරාධිත දේශකයෙක් විදිහට ගිහින් එයා පාර්ටිවල තියෙන ෆිලෝසොෆි එක ගැන කතා කළා.

”පාර්ටි කියන්්නෙම හැමතිස්සෙම සීරියස් වීමේ පීඩාවෙන් අපි ලබන නිදහස. ඒකයි පාර්ටි දාන එක අපේ ශාරීරික මානසික සෞඛ්‍යයට ගොඩක අවශ්‍ය. මං සතුට, විනෝදය කියන එක සීරියස් ගන්න කෙනෙක්. පාර්ටි කියන්නෙ අපි ඒ විනෝදය බෙදාගන්න, හොයා ගන්න තැනක්. මං පාර්ටි දාන්නෙ ජීවිතය සමරන්න.

මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්න පුරුදු වෙලා ඉන්නවා බුද්ධිමත් නම් සීරියස් වෙන්න  ඕන. මෝඩයො තමයි සෙල්ලක්කාර කියල. කිසි දේකින් ආහ්ලාදයට, විශ්මයට පත් නොවෙන, ගල්ගැහුණු මළ ස්වභාවයක් මිනිස්සු හිතනවා ප‍්‍රඥාව කියල. ගොඩක් අය සීරියස් විදිහට ඉන්නෙ ඒ අයව මෝඩ, නූගත් විදිහට අනිත් අය දකී කියල බයට. ඒත් මං කියන්නෙ ගොඩක් අයට පුළුවන් වුණොත් ‘සැබෑ මෝඩයෙක්’ විසින් අත්කර ගන්න ආත්ම අවබෝධය, ආත්්ම පරිණත බව ලබන්න ලෝකෙ මේ තරම් ගැටුම් ඇතිවෙන එකක් නෑ. ගොඩක්ම මෝඩ අනිත් අයට මෝඩයි කියල චෝදනා කරන අය බව මේ සැබෑ මෝඩයෝ තේරුම් අරගෙනයි ඉන්නෙ. තේරුම් ගැනීම කියන එක  ඕනවට අධිතක්සේරු වෙච්ච කාරණයක් කියල මෝඩයන්ට තේරෙනවා. මෝඩයො දන්නවා තමන් වගේම අනිත් කිසිම කෙනෙක් ඇත්තටම මොකක්ද වෙන්නෙ කියල දන්නෙ නැති වග.

ඔයා හැමදෙයක්ම තේරුම් ගන්න  ඕන නෑ. ඔයාට පුළුවන් නොටේෂන් දන්නෙ නැති වුණාට සංගීතයක් රස විඳින්න. මම ඉන්නෙ ඔයාට තේරුම් ගන්න නෙමෙයි. ඔයාව සතුටු කරන්නත් නෙමෙයි. මං මෙතන ඉන්නෙ ඔයාට අත්විඳින්න. මං මෙතන ඉන්නෙ ඔයත් එක්ක සාදයේ නටන්න.

මට හිතාගන්න බෑ ඇයි ලෝකෙ ගොඩක් මිනිස්සු පාර්ටි වලට අකමැති කියල. සංගීතය, කලාව, සිනහව වගේම පාර්ටි දාන එකත් ශිෂ්ටාචාරෙ මුල ඉඳන් එන දෙයක්. ඒත් හැමදාම ඒක දිහා ටිකක් පහත් විදිහට බලන පුරුද්දක් තිබුණ. මිනිස්සු හිතුවෙ ඒ විදිහට අමුම තැනින්, කෙලින්ම ජීවිතය අත්විඳින එක හරි නෑ කියල. ඒ අයට  ඕන වුනා ජීවිතයට ටිකක් උසස් තේරුමක්. පාර්ටියක තියෙන වැදගත්ම දේ වෙන්නෙ දානයක වගේ ඒකට ඉන් එහා තේරුමක්  ඕන නැති එක. පාර්ටියක තේරුම ඒ පාර්ටිය විසින්ම සම්පූර්ණ කරනවා. ඒත් දානයක තේරුම සම්පූර්ණ කරන්න නිවනක් හරි දිව්‍ය ලෝකයක් හරි මොකක් හරි  ඕනි. පාර්ටියක් කියන්නෙ විනෝදය එහි උච්චය දක්වාම අත්විඳින නිමේෂයක්.

එතනදි අපි ජීවත් වෙනවා කියන එක ගැඹුරෙන්ම අත්විඳිනවා. ඒ විනෝදය ඇතුලෙ අපේ සීමාවන් බිඳිලා ගිහින් අපිට අපිව මුණගැහෙනවා. කිසි හේතුවක් නැතුව විනෝදයේ පත්ලෙන්ම හිනාවෙන, ලස්සන මිනිස්සු අතරෙ අපිට ඒ හැමදෙයක්ම දැනෙනවා. මොකද අපි ඒ වෙලාවෙ ඒ හැමදේම හින්ද. ජීවිතේ එක්ක ආදරෙන් බැඳෙන ඒ මොහොත මාරයි.
ඒක පැවැත්ම විසින් ඉල්ලා සිටින දෙයක්. ඒ අධිකතර තෘප්තිය මැද ලබන නිදහස. පැවැත්මේ ආශ්වාදයට සමවදින නිදහස..”

(මේ ඇන්ඩෘ ඔක්ස්ෆර්ඞ් වල කරපු කතාව නෙමෙයි. ඒ කතාවට පාදක වෙච්ච අදහස් කීපයකින් මං ලිහිල්ව කරපු අනුවර්තනයක්)

මට හිතෙන්නෙ මේ පාර්ටි කියන අදහසේ මුල එන්නෙ ග‍්‍රීක ඩයෝනිසස්ගෙන්. එයා වයින් වලට අධිපති දෙවියන්. කලාවේ පීතෘවරයා. ඩයෝනිසස් තමයි මේ මත් වී ලබන විමුක්තිය  මුලින්ම දේශනා කරන්නෙ.
ඩයෝනිසස් කියන්නෙ මනුස්ස ගැහැණියකට දාව බිහිවුණු එකම දෙවියන්. එයා ඉපදෙන්නෙ සියුස්ගේ සහ සෙමිලිගේ පුතා විදිහට. සියුස් එයාගෙ බිරිඳ හේරාට හොරෙන් සෙමිලි එක්ක ආදරයක් පටන් ගන්නවා. දෙවියන් එක්ක ආදරෙන් බැඳෙන්න පුළුවන් වීම ගැන සෙමිලිටත් හරි ආඩම්බරයි. ඒත් මේ ගැන දැනගන්න හේරා පට්ට ඉරිසියාවකින් පෙළෙනවා.

සියුස් කොච්චර සෙමිලිව මුණගැහුනත් එයා එන්නෙ නිකං දැනෙන දේව ගතියක් විදිහට විතරයි. ඇත්ත ස්වරූපයෙන් පෙනී ඉන්නෙ නෑ. හේරා වෙස් වළාගෙන ඇවිත් සෙමිලිව පොළඹවනවා, ඇත්තට සියුස් දකින්න. සෙමිලි සියුස්ගෙන් ඉල්ලා සිටිනවා. සියුස් ඉතින් වෙන දේ දැනගෙන වුණත් ආදරේ හින්ද ඇත්ත රූපෙන් පෙනී ඉන්නවා. ඒ වෙලාවෙම සෙමිලි පිච්චිලා රෝස් වෙලා යනවා.

කොහොම හරි සියුස් එයා හින්ද සෙමිලිට පිළිසිඳුණු දරුවා බේර ගන්නවා. එයා තමයි ඩයෝනිසස්. සියුස් ඩයෝනිසස්ව එයාගෙ කලවයට තියලා මහගන්නවා. ඩයෝනිසස් ඉපදෙන්නෙ මව් ගැබකින් නෙමෙයි සියුස්ගෙ කලවෙන්.

ඊට පස්සෙත් හේරාගේ වෛරය ඉවර වෙන්නෙ නෑ. එයා ටයිටන්ස්ලට කියල ඩයෝනිසස්ව කෑලි කෑලි වලට කපලා මරනවා. ඒත් සියුස්ගෙ අම්මා රියා ඩයෝනිසස්ට ආයිමත් පණ දෙනවා. ඊට පස්සෙ කඳුකර දේවතාවන්ට බාර දෙනවා මේකව ලොකු කරන්න.

ඒ කාලෙ තමයි ඩයොනිසස් වනගත අ`ගනන් පිරිවරාගෙන, වයින් බොමින්, මුවහමක් පොරවගෙන කැලේ පාර්ටි දමමින් ජීවත් වෙන්නෙ.  ඩයොනිසස් අදහන අයට පල්ලියක් නෑ. ඒ අය වනාන්තරේට එකතුවෙලා වයින් බීලා මත් වෙනවා. තමන්ගේ ගැඹුරුම අවිඥානක ආශාවන් ඒ වනාන්තරේ නිදහස් කරනවා. අතට අහුවෙන සතෙක් මරාගෙන කනවා. ඩයෝනිසස් කියන්නෙ වයින්. ඇ`ග ඇතුලෙ සහ පිටත එකවර වැඩ සිටින එකම දෙවියන් ඩයෝනිසස්.

මේ ඩයෝනිසස් දර්ශනය නීට්ෂෙ ඇපලෝනියානු අනෙක් අන්තයත් එක්ක ගලපනවා. ඇපලෝ කියන්නෙ ඉරට අධිපති දෙවියන්. ඒ කියන්නෙ තර්කය. විනය. පාලනය. පිළිවෙල. ශිෂ්ටත්වය. යතාර්ථය.
ඩයෝනිසස් කියන්නෙ බීමට අධිපති දෙවියන්. එයා ගේන්නෙ අතාර්කිකය. සිහිනය. ඉක්මවා යාම. නිදහස. ප‍්‍රකෘතිය. ජීවිතය සහ පැවැත්ම. චන්දනගේ අදහසෙන් කිව්වොත් කෘෂිකර්මාන්තය වඩාත් ඇපලෝනියානු කර්මාන්තයක්. ඒත් දඩයම ඩයනෝසියානු කර්මාන්තයක්.

සොර්බා නම් වූ ග‍්‍රීකයා ලියන්න කසන්සාකිස්්ට මූලික පදනමක් වෙන්නෙ මේ ද්වන්ධය. සොර්බා කියන්නෙ ඩයෝනිසස්. බැසිල් කියන්නෙ ඇපලෝනියානුවා. සංස්්කෘතික කළ, දමනය කළ, සූත‍්‍රගත කළ ජීවිත ගත කරන අපිට ඩයෝනීසියානු පැවැත්මක සුළු හෝ නිදහසක්්  ඕනමයි. නීට්ෂෙ කියන විදිහට නියම කලාවක් බිහිවෙන්න වුණත් මේ දෙක අතරෙ නිවැරදි සංයෝගයක් සිද්ද වෙන්න  ඕන හරියට ගැහැණියක් සහ පිරිමියෙක් අතරෙ සංසර්ගයක් වගේ.

ඒක තමයි මුණගැහීම. බැසිල්ට සොර්බා මුණගැහීම. ශිෂ්ටාචාරයට වනාන්තරය මුණගැසීම. අපිට ඩයෝනිසස් මුණගැසීම.

ඉතින් දැන් ඉක්මණට අපි පාර්ටිය හොයා ගන්නවද? නැත්තං පාර්ටිය අපිව හොයාගෙන එන කල් බලන් ඉන්නවද?

-චින්තන ධර්මදාස

5 comments:

  1. සතියක් විත‍ර හිතන්න දේවල් තියෙනවා......

    ReplyDelete
  2. ඔබ මෙම ලිපිය ලියා ඇත්තේ දානයේ ඇති අර්ථය නොදැන බව සිතමි.

    ReplyDelete
  3. චින්තන කවුරු වුනත් ඔයාගෙ යාලුවට තියෙන්නෙ ආසියානු කෘෂිකාර්මික සමාජය ගැන වැරදි කියවීමක්. ආසියානු සංස්කෘතිය කියන්නේ දැන් ලංකාවෙ තියෙන පශ්චාත් ධර්මපාල සිංහල බෞද්ධ සංස්කෘතිය නෙවේ. ඊට වඩා බොහෝම නිදහස් සාමූහික සමාජ ක්‍රමයක්. ජපානෙ කොරියාවෙ පවුල් නෙවෙයි ගම් පිටින් එකට හෙලුවෙන් නාන බාත් හවුසස් වල ඉදල තායිලන්තෙට ඉන්දියාවට එනකන් තිබුන සංස්කෘතිය. අපේ රටේ ගෑනු එක ගෙයි කෑව කාලෙ, එක මිනිහ දරු පවුල් දෙක තුන ප්‍රසිද්දියෙ නඩත්තු කරපු කාලෙ තිබුන සංස්කෘතිය. රිග් වේදයේ බහු ජන හිතාය බහු ජන සුඛාය කියල තියෙන්නෙ, බුදුනුත් ඒ කතාවම කිව්වෙ මේ සංස්කෘතිය ගැන. මේ සංස්කෘතිය ලිංගික සම්බන්ධතාවල ඉදල ආර්ථික කටයුතුවලට එනකන් හැම දෙයක් ම සාමූහික වුන සමාජයක්. උදේ ඉදන් රෑ වෙනකන් එකට ඉන්න එකට කන බොන එකට නාන එකට බුදියන මිනිස්සු ගොඩකට පාටි දැමීමට ස්වාභාවික අවශ්‍යතාවයක් නෑ. ඒත් John Locke ල විස්තර කරල තියෙන individualism මත පදනම් වුන සමාජයක් බටහිර තියෙන්නෙ. උදේ ඉදන් රෑ වෙන කන් සල්ලි හොයන්න ජීවිතේ ගොඩදාගන්න දගලන මිනිස්සු. බටහිර මිනිස්සු කාලෙන් කාලෙට පාටි දාන්නෙ ජීවිතේ miss පවුල් සම්බන්ධතා මිතුරුකම් ගොඩ නන්වා ගන්න. ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න.
    ThM

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ආසියාවේ දී අපි සමාජයේ කොටසක්... හිතන්නේ පතන්නේ හැම දෙයක්ම සමූහයක් විදියට මිස තමන්ගේ ම වූ අදහසක්, සිතීමක් නෑ... තනි පුද්ගලයෙක් නෑ.. තනි පුද්ගලයෙක් නැති නිසා අපිට තවත් පුද්ගලයෙක් හමුවෙන්නේ නෑ... සමූහයක් ඇතුලේ, සමූහයට උවමනා විදියට ජීවත් වෙන එක අංශුවක් විතරයි... ඒත් බටහිර දී අපි තනි පුද්ගලයෙක්... තවත් ”පුද්ගලයෙක්” හෝ ”පුද්ගලයන්” එක්ක පාටි දාල බෙදාගන්න තමන්ගේ ම කියල ජීවිතයක් තතියෙන්නේ බටහිර විතරයි...

      Delete
    2. "උදේ ඉදන් රෑ වෙනකන් එකට ඉන්න එකට කන බොන එකට නාන එකට බුදියන මිනිස්සු"

      eka tamai aula

      Delete