Monday, November 12, 2012

වීරයන් සඳහා ඇබෑර්තු ඇත.

මගේ ජීවිතේ වීරයො ඔක්කොම බලාගෙන ඉද්දි කුණු වෙලා ගියා ළුනු ගෙඩි වගේ. වීරයෙක් අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ කෙලවරකට එනවා. කෙනෙක් ඇතුලෙ වීරයෙක් කියන්නෙ ජීවිතේ පැත්තෙන් හදා ගත්ත ආදර්ශ පාඨයක් වගේ. දුෂ්ටයෙක් කියන්නෙ පාපය, මරණය. අපි නොදන්න ගොඩක් දේවල් අපි අපේ වීර චරිත ඇතුලෙ තැන්පත් කරලා තියෙනවා. ලංකාවෙ ඒ චරිත මැරෙනවා නෙමෙයි. කුණු වෙලා යනවා. ඒකයි ඛේදවාචකය. සාංදෘෂ්ටික තනිකමක් දැනෙන්න ගන්නවා එතනදි. හිස්.

සමාජයක් විදිහටත් අපි වීරයෝ අහිමි ජාතියක්. ඒක පුද්ගලික තැනකට වඩා භයානකයි. වීරයෝ නැති හිස්කමට වඩා අපි දුෂ්ටයන්ගෙන් පිරිච්ච චිත‍්‍රපටියක ජීවත් වෙන්නෙ. වීරයෝ නැති දුෂ්ටයෝ විතරක් ඉන්න සමාජයක් කියන්නෙ සතුටු වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. අපිට වීරයො නැති වුණේ හරි ලස්සන විදිහට. යුද්දෙත් එක්ක අපිට වීරයෝ බුරුතු පිටින් බිහිවුණා. වෙන විදිහකට කිව්වොත් මාධ්‍ය වලින් තොග පිටින් බිහි කළා. ඊට පස්සෙ යුද්දෙදි ඒ වීරයෝ ගොඩක් මැරුණ. යුද්දෙන් පස්සෙ ඉතුරු අයගෙ වීරත්වය කැන්සල් කළා.

දෙදාස් පන්සීයක් පුරා අපිට හිටපු අසහාය වීරයාත් මේ කාලෙදි අහිමි වුණා.  බුදුන් යනු මහින්ද ගේ ලේ ඥාතියෙක් වග ජැක්සන් ඇන්තනි ජනතාවට හෙළිදරව් කළා. ඒක භෞතිකව ඇත්ත නැත්ත කොහොම වුණත් මතවාදීමය විදිහට නම් ඒ දේ සිද්ද කරමිනුයි තිබුණෙ. බෞද්ධකම ආධ්‍යාත්මික තැනින් ගැලවිලා ඇවිත් අධිපති බලය, දේශපාලනය වගේ තේරුමකින් කඬේ යන්න ගත්තා. සමස්ත වීර ඉතිහාසයම බිඳ වැටෙද්දි දුෂ්ටයො පැටව් ගහන්න ගත්තා. හැම මාධ්‍යකින්ම දුෂ්ටයන් නිෂ්පාදනය වුණා දිනපතා. පැයෙන් පැයට.
අපි සුපර් හීරෝ කෙනෙක් විදිහට තෝර ගත්තෙ රාවණා වගේ චරිත. ඉන්දියාවෙ ලියවුණු රාමායණයට අනුව රාවණා කියන්නෙ පාදඩයෙක්. දුෂ්ටයෙක්. අනුන්ගේ ගැහැණු බලෙන් පැහැරගෙන යන අධමයෙක්. ඒත් අපි ඉන්දියානු කෘතියට අපේ අරිසෙන් අහුබුදු වර්ගයේ අර්ථකතන නිර්මාණය කරමින් (ලංකාවෙන් සමස්ත ලෝකයම පරිණාමය වුණා කියනවා වගේ) ඒවා අදහමින් රාවණා වීරයෙක් කරන්න ට‍්‍රයි කරනවා. ඒ රාවණාගේ ගෑණු හොරකම අපි නොනිල ජීවිතයේදී එක`ග වීර ක‍්‍රියාවක් හින්දද? 

බටහිර රටවල වගේ අපිට පරිකල්පන අවකාශය විශාල කරන ජීවිතය ගැන බලාපොරොත්තු දනවන වීරයෝ නැත්තෙ ඇයි? ඒ අපි වඩාත් පරිණත ජීවිත ගත කරන්නන් නිසා කියල හිතාගෙන සැනසෙන්න බැරි ඒ වෙනුවට අපි නිර්මාණය කරමින් ඉන්න දුෂ්ටයන්ගෙ තරම හින්ද. මට හිතෙන්නෙ වීරයන් නැති සමාජයක දුෂ්ටයන්ගෙ මේ බෝවීම අනතුරුදායකයි. අපි එක්තරා කෙලවරකට ඇවිත් ඉන්නෙ. සියලූ වීරයන් ඝාතනය කරනවා. එතකොට ඉතුරු වීරයො සියදිවි නසා ගන්නවා. රට රාවණාකරණය වෙනවා. දුෂ්ටත්වය වීරත්වය බවට රූපාන්තරණය වෙනවා.

අවාසනාවන්ත විදිහට අපිට වීරයන්ගෙ උරුමයක් නෑ. නොමැරෙන පරිකල්පනීය සදාතනික වීරයො නිර්මාණය කර ගන්න අපිට තාම බෑ. සුපර් මෑන් ලා බැට් මෑන්ලා අපිට නෑ. ඒත් ‘බේන්ලා’ ‘ජෝකර්’ ලා ඉන්නවා.

මෑතක ෂූට් එකකදි පොඩි ඉඩක් අතරෙ චන්න අයියා එක්ක චැට් එකකට වැටුණ. පතිරාජ එල් එස් දයානන්ද ගැන ලොකු විස්තරයක් ඇදිලා ආවා. පොඩි නාට්‍ය කීපෙකින් දැන ගත්ත නළුවෙකුට වඩා ලොකු ඉඩක් මගේ ඇතුලෙ නොතිබුණු පතිරාජ එල් එස්ගෙ විශාලත්වය මාව පුදුම කළා. සෙලීනාගෙ වලව්ව, ජෝඩු වළලූ වගේ චිත‍්‍රපටි කතා චන්න අයියා මතක විදිහට කියද්දි ඇගේ හිරිගඩු පිපෙන තරම්.

‘චිත‍්‍රපටි භාෂාවෙ අරවයෙ මේවයෙ අඩුපාඩු ඇති. ඒත් මේ වගේ දේවල් කතා කරන්න තරම් මිනිහගේ තිබ්බ ඇත්ත සමාජ දැනුම අගය කෙරුනෙ නෑ’

චන්න අයියා කිව්වා. උදා විදිහට සෙලීනගෙ වලව්ව කියන්නෙ මුඩුක්කුවක පැලක්. ඒ පැල අයිති සෙලීනාට. එයා වයසට යද්දි දරුවන්ට මේක බෙදෙනවා. දෙන්නෙකුට හැරෙන්න ඉඩ නැති පොඩි ගෙදර බෝඞ් එකකින් දෙකට බෙදෙනවා. පරිප්පු දීසියක් එහෙම දෙන්නෙ ඒකට උඩින්. මේ බෙදිල්ල හින්දම පවුල් අතරෙ ආරවුල්. සෙලීනා මිදුලට බැහැලා බලන් ඉන්නවා. අන්තිමට මේ මුඩුක්කු ටික නගර සංවර්ධනය වෙනුවෙන් කඩලා ඉවත් කරන්න තීරණය වෙනවා....

මේ ප්ලොට් එකම මරු. ජෝඩු වළලූ කියන්නෙ එක මාංචුව වැටිලා ඉඳිද්දි හිරෙන් පනින උන් දෙන්නෙක්ගෙ කතාවක්. අඩුම තරමෙ වෙනස් විදිහක කතා තේමා වලට ගිය චිත‍්‍රපටිකරුවෙක් විදිහටවත් පතිරාජ එල් එස්ව අපේ සිනමා වංස කතාවෙ ලියවෙන්නෙ නෑ. ලෙස්ටර්, පතිරාජ වගේ එයාව සම්භාව්‍ය කාණ්ඩෙට වැටෙන්නෙ නෑ. මේ චිත‍්‍රපටියක් අමාරුවෙන් හොයා ගන්නවත් නෑ.

පතිරාජ එල් එස් දයානන්ද වගේ චිත‍්‍රපටිකරුවො ගැන අපේ සිනමාවෙ බරක් දීලා කතා නොකරන එක පංති ප‍්‍රශ්නයක්. ලෙස්ටර් ලා වගේ මැද පංතියකට අයිති සිනමාවට ගොඩවෙන්න සුදර්ශියෙ රස්තියාදු වෙන පතිරාජ එල් එස් ලට ඉඩක් නෑ. චිත‍්‍රපටි හදන්න පුළුවන්. ඒත් ඒවා නොහදපු ගාණට යට යනවා. එලිපිට නොකිව්වත් අපේ රටේ සිනමාකරුවෙක් වීම කියන ආශාව පිටිපස්සෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ නිර්මාණාත්මක ප‍්‍රකාශනයකට වඩා පංති උවමනාවක්. අර මධ්‍යම පංතියට ගොඩවීමේ හීනමානය ඉස්සර කර ගත් ආශාවක්. තමන්ගෙ ප‍්‍රකාශනය වෙනුවෙන් තමන්ගෙ භාෂාව නිර්මාණය කර ගන්නා සිනමාකරුවන් වෙනුවට කලින් පාවිච්චි කළ සම්භාව්‍ය යැයි සම්මත භාෂාවෙන් ඒ වගේම කතාවක් කියලා ගොඩ යන්න හදන ගිරා සිනමාකරුවන් විතරක් අපිට ඉන්නෙ මේ ඇත්ත හින්ද. මේ පාංතික සිහිනයට එහෙම පංතියක් නැති පාදඩයන්ට ගොඩවෙන්න දොරවල් නෑ. අපේ සිනමා ඉතිහාසයත් රටේ ඉතිහාසෙ වගේමයි. මකපු තැන් ගොඩයි.

ආයිත් පාරක් ඔබාමා ඇමෙරිකාවෙ ජනාධිපති වුණා. ඔබාමාගෙ ලස්සන පිංතූර ටිකක් නෙට් එකේ දාලා තිබුණ. බලාගෙන යද්දි ඔබාමායි මහින්දයි සංසන්දනය වුනේ නොදැනිම. මහින්ද ළමයි අරන් උඩ විසි කරද්දි ඔබාමා ළමයින්ගේ ගාණට පාත් වෙලා ඔලූවට ඔලූව තියනවා. එයා අයිස්ක‍්‍රීම් කනවා. රැවුල නැති හින්ද අවුලක් නෑ. ඔබාමාට පුළුවන් කුණු අදින මිනිහෙකුටත් පහක් දාන්න. ක්ලබ් වලදි එයාට වඩා උසමහත මිනිස්සු දෑත බදලා ඔබාමාව උස්ස ගන්නවා. එයා බිරිඳත් එක්ක එලිපිට ආදරේ කරනවා. ගෙදර පඩිය උඩ ඉඳගෙන පවුලෙ අය එක්ක කතා බහ කරනවා. හු`ගක්ම ලස්සන පොඩි ළමයි එක්ක එයා මුහු වෙන විදිහ. මහින්දට එලිපිට කරන්න බැරි ගොඩක් දේවල් ඔබාමාට කරන්න පුළුවන්. කොටින්ම අපේ ජනාධිපති කියලා පිංතූර වලින් නිර්මාණය කරන්නෙ මොකද්ද අසාමාන්‍ය විපරීතයක්. ඒත් ඔබාමා වෙනුවෙන් නිර්මාණය වෙන්නෙ හැම පැත්තකින්ම පරිපූර්ණ මනුස්සයෙක් කියන ප‍්‍රතිරූපයක්. තරුණ කෙල්ලො එක්ක උණුහුමෙන් කතා බහ කරන එක පවා ඒ ජීවිතේ කොටසක්. ඒත් අපේ රටේ ජනාධිපතිවරයෙකුගෙන් රටේ ජනතාව ඉල්ලන්නෙම සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්. බොරුවක්. හින්දි චිත‍්‍රපටියක්.

ඔබාමා දින්නට පස්සෙ ඇමරිකාවෙ වඩා හොඳ දවස් එළඹෙන්නෙ ඉස්සරහට කියල කිව්වා. එයාගෙ රිපබ්ලිකන් තරගකාරයා වුණු මිට් රොම්නි පරාජය බාර ගත්ත විදිහත් හරිම උණුසුම්.

‘ඇමරිකාවට ඉස්සරහට තියෙන්නෙ දුෂ්කර ගමනක්. ඒ ගමන යන්න ඔබාමාට ශක්තිය ලැබෙන්න කියලා මං යාඥා කරනවා’ මිට් රොම්නි කිව්වා. එයා ඇවිත් ඔබාමාව උණුහුමෙන් වැළඳගත්තා. අපේ රටේ කරන මූනිච්චන් අතට අත දීම වගේ නෙමෙයි. පැරදිච්ච ගමන් හොර ඡුන්ද හරි වෙන මොකක් හරි කතාවක් කිය කිය කුහකකමෙන් පැලෙන අපේ රටේ මිනිස්සුන්ට වඩා ඇමරිකාව වෙනස්. ඒ මිනිස්සු සංස්කෘතියක් වෙනුවෙන් වග කියනවා.

ඇත්ත මොකක් වුණත් නිර්මාණය කරන සංස්කෘතියයි වැදගත්. ලංකාවෙ යුද්දෙදි දෙමළ මිනිස්සු මැරුණද වගේ කාරණේකදි වුණත් ඇත්තට වඩා ඊට පස්සෙ ඒ වෙනුවෙන් යෝජනා කරන සංස්කෘතියයි වැදගත් කියලා මං කියන කතාව ගොඩක් අයට තේරුණෙ නෑ. අපි යුද්දෙන් පස්සෙ සහෝදරත්වයෙන් වැළඳගන්නා සංස්කෘතියකට නෙමෙයි ගියේ. සාපරාධී සංස්කෘතියක් අපි ජයග‍්‍රාහී විදිහට බාර ගත්තා. ආණ්ඩුව සහ මාධ්‍ය නිර්මාණය කළේ ඒක. ඝාතන ගැන විමසීම් එන්ජී ඕ කුමන්ත‍්‍රණ විදිහටයි බාර ගත්තෙ. වීරයන්ගේ වෙනුවට දුෂ්ටයන්ගෙ සංස්කෘතියක් අපි නිර්මාණය මහා පරිමාණයෙන් නිර්මාණය කළා. තමන්ට ද`ඩු මොනරෙ හදලා දුන් වඩුවාත් මැරූ රාවණා තමයි පොර.

ඇත්තට සිද්ධියක් විදිහට සිද්ද වෙන දේට වඩා ඒ සිද්ධිය බාර ගන්න නිර්මාණය වෙන සංස්කෘතියයි සමාජ ප‍්‍රකාශනය වෙන්නෙ. අපි එතනදි රටක් විදිහටම නිර්මාණය කරන්නෙ අරාජිකත්වයක්. බලාපොරොත්තු සහගත තත්වයක් නෙමෙයි. ඔබාමා රොම්නිව උණුහුමෙන් බදා වැළඳ ගනිමින් ජයග‍්‍රහණය සමරද්දි අපේ රටේ ප‍්‍රතිඵල නිකුත් වුණු වහාම ප‍්‍රතිවාදියාව බෙල්ලෙන් අල්ලන් ගිහින් හිරේ දානවා. ඊට පස්සෙ අවුරුදු ගාණක් එහාට මෙහාට වෛරය හුවමාරු වෙනවා. මේ තමයි අපි අත්දකින සහ අත්විඳින සංස්කෘතිය වෙන්නෙ. වීරයො වෙනුවට ජයග‍්‍රහණයේදී පවා අපේ රටේ නිර්මාණය වෙන්නෙ දුෂ්ටයො. ඒ අපේ ඉතිහාසෙම හැටි. දුටුගැමුණු එළාරව මරපු එක මිස දෙමළ මහා සෑය හදපු එක නෙමෙයි උඩට ආපු සංස්කෘතික කාරණය වුණේ. රොහාන් පෙරේරා ඉස්සර කියනවා වගේ අපේ රාජාවලිය කියන්නෙම චණ්ඩින්ගෙ ඉතිහාසයක්.

ඒ වගේ සංස්කෘතික උරුමයක් එක්ක අපි දිගටම භයානක හීනයක් ඇතුලෙ ජීවත් වෙන්න ගන්න එක අනිවාර්යයක්.

-චින්තන ධර්මදාස

Thursday, November 8, 2012

IDEA!


උදේ පාන්දර ටීඑන්එල් එකේ ඇඞ් එකක් යනවා. වික්ටර් රත්නායක සිගරට් අරක්කු නොබොන එක ගැන. ඒ දේවල් අත්ඇරියට කිසිදෙයක් වෙනස් වුණේ නෑ කියල එයා කියනවා. මට හරියට දුක හිතුණ. ඒත් එක්කම මතක් වුණා අජිත් කුමාරසිරි හැමතිස්සෙම කියන කතාවක්.

’මචං ගායකයො කියන්නෙ උගුරෙ කඩයක් දාගෙන ඉන්න උන්. උන් විකුණන්නෙ උන්ගෙ බඩු නෙමෙයි’
වික්ටර් ඇතුළු ලංකාවෙ හු`ගක් ගායකයන්ට මේ කතාව අදාලයි. පේ‍්‍රමකීර්ති අල්විස් වගේ මනුස්සයෙක් ලියපු වචන කියපු මිනිහෙක් කියනවා අරක්කු සිගරට් නොබිව්වාට නැති වෙන දෙයක් නෑලූ. නැති වෙන දෙයක් නෑ නෙමෙයි. නැති වෙන දේ පේන්නෙ දැනෙන්නෙ නෑ. මොකද ඒ නැති වෙන්නෙ ජීවිතය හින්ද. මං සිගරට් වලටවත් අරක්කු වලටවත් කොහෙත්ම පක්ෂපාත නෑ. තමන් බොන එකේ ගාන වැඩි කරන එක පවා හොඳක් කියල පිළිගන්න දුක්ඛිත ජනතාවක් තමයි ලංකාවෙ සිගරට් අරක්කු බොන්නෙ. පේ‍්‍රමකීර්තිලා, සේකරලා වගේ ඒ අක්මා පෙනහළු දියවෙමින් වුණත් අත්විඳින ජීවිතය ගැන දැනගෙන හිටපු කීපදෙනෙක් ඇරුණම. මත්වීම සහ දුම් පානය කියන්නෙ ආධ්‍යාත්මික ප‍්‍රකාශන. ඒවා සෞඛ්‍යමය නොවෙන්න පුළුවන්. ඒත් ආර්ටිස්ට් කෙනෙක්ගෙයි මලල ක‍්‍රීඩයෙක්ගෙයි අතරෙ වෙනසක් තියෙන්න  ඕන.

වයසට යමින් ලියන අයගෙන් කියවන්න පුළුවන් අතලොස්සෙන් සුනිල් මාධව එක්කෙනෙක් වෙන්නෙ මේ හින්ද. වික්ටර් වයසට ගියාම සිංදු කියන්න බැරි වුණා. කියන සිංදු අහන්න හරි අමාරු වුණා. මේ පත්තරේම එහා පිටුවක සුනිල් මාධව ලියන ජීවිත කතාවට මං ඇබ්බැහි වුණේ ඒ අදහස් මතවාද එක්ක මං සමගාමී හින්ද නෙමෙයි. තාම හුස්ම ගන්න සද්දෙ ඒ වචන පේලි මැද්දෙ ඇහෙන හින්ද. එහෙම හුස්ම ගන්න ලිපි කියවන්න හම්බුවෙන්නෙ කලාතුරකින්.

වික්ටර් ගැන හිත හිත මං ලිපිය ලියන්න වාඩි වෙලා ඉන්නවා. ‘කල්ට්’. ඒ මේ පිටුවෙ නම. ඒක පරාගෙ ප්‍රෝග‍්‍රෑම් එකට දැම්මා කියලා ගොඩක් අය මාව විනය පරීක්‍ෂණ කරනවා. ඒත් මට ඒ ප‍්‍රශ්නෙ තේරුම් ගන්න අමාරුයි. කල්ට් කියන්නෙ මං හදපු නමක් නෙමෙයි. ‘සීනි දියවුණාට ගෝනි දියවෙන් නෑ’ කියන්නෙ ත‍්‍රීවීල් එකක පිටිපස්සෙ අලවලා තිබුණ ස්ටිකර් එකක්. මේක මං එක විදිහක අදහස් රාමුවක් ඇතුලෙ පත්තර පිටුවක එකට පාවිච්චි කරනවා. පරා ඒක ප්‍රෝග‍්‍රෑම් එකේ වෙන විදිහකට පාවිච්චි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳ දෙයක්. අන්තර්ගතයෙන් නම තීරණය වෙනවා මිසක් නමෙන් අන්තර්ගතය තීරණය වෙනවා කියන ඉස්කෝලෙට මං විරුද්දයි.

කල්ට් කියන නම ටීවී එකක දාන එකමත් මට නං ලොකු වැඩක්. මං කල්ට් කියන එක මෙතන පාවිච්චි කරන අර්ථයෙන්ම පරාගෙ ප්‍රෝග‍්‍රෑම් එකෙත් පාවිච්චි වෙන්න  ඕන කියල හිතන එක තේරුමක් නැති අදහසක්. එකම නමකින් නෙමෙයි එකම අත්සනකින් ආවත් තමන්ට අවශ්‍ය අදහස් විතරක් කියවන්න තරම් වැඩිහිටිකමක් මං ලියන දේවල් කියවන කෙනෙක්ගෙන් ලියන්නෙක් විදිහට මං අපේක්‍ෂා කරනවා. නැත්තං මං බ‍්‍රෑන්ඞ් එකක් වෙනවා. බ‍්‍රෑන්ඞ් එකකට තියෙනවා පොරොන්දුවක්. එකම දෙයක් දිගටම නොවෙනස් විදිහට කරගෙන යන්න. ඒත් මං මනුස්සයෙක්. මට තියෙන්නෙ වෙනස් වෙන විදිහට දේවල් කරගෙන යන්න  ඕනකමක්.
කල්ට් පොත ගැන කතා කරන වෙලාවක විදර්ශන ලිපි දෙකක් අතරෙ මං එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දක්වන හැටි පෙන්නලා දුන්නා. ‘මං එක වචනෙ මිනිහෙක් නෙමෙයි’ මගේ අදහස වුණේ ඒක. අදහස් වෙනස් නොවෙනවා නම්, නොවැඩෙනවා නම් ඒවා මැරිලා. ගල්ගැහිලා. අදහස් පුළුවන් තරම් වේගයෙන් වෙනස් වෙමින් අලූත් පද්ධති ගොඩනගන්න  ඕන. ඒ පද්ධති වලින් දේවල් නිෂ්පාදනය වෙන්න  ඕන. මට හිතෙන්නෙ එහෙම. ඒත් ඒ වෙනස් වීම සළකුණු කරලා පෙන්නන එක වැදගත් පරණ වැඩක්. ‘මං මිනිහෙක් ඔබ ග`ගක් නිසා’ කියල ලාල් හෑගොඩ ලිව්වා. කවිය කියන්නෙ වෙන අදහසක් වුණත් ඒ වචන පේලිය මට හැමදාම අරන් එන්නෙ මේ මූඞ් එක.

තව දුරටත් පුද්ගලයා කියන සීමාව වැදගත් නෑ කියන එකයි මගේ යෝජනාව. අපි පුද්ගලයා කියන සීමාවට වඩා විශාල කරදාසියක් උඩ මේ වැඬේ පටන් ගන්නවා නම් පුද්ගලික සීමාවන් ටික ටික අතුරුදන් වෙන්න ගන්නවා. නැත්තං ඒවා වෙන ස්වරූපයකට පරිවර්තනය වෙනවා. ඒක හොඳයි. මේ විදිහ දැන් නිතර පේන හතරමායිම වගේ බෝරිං.

පුද්ගලයා වෙනුවට අදහස කියන තැනට අපිට මාරුවෙන්න පුළුවන් නම් ගොඩක් කන්‍යා සිවි වර්ගයේ ප‍්‍රශ්න කිරීම් නතර වෙනවා. තනි, අඛණ්ඩ, නිශ්චිත ආඛ්‍යානයක් විදිහට පුද්ගලයා කියන ගඩොල් බිත්තියෙ හැප්පෙනවා වෙනුවට එතකොට අපිට පුළුවන් තනි තනි නිශ්චිත අදහස් ගැන සංවාද කරන්න. ඒ අදහස් තව තව අංශූ වලට විසිරුවා හරින්න සහ පුපුරුවා හරින්න. වෙනස් වෙනස් සංදර්භයන් හරහා ටි‍්‍රප් කරන්න අපිට පුළුවන්. ඒක හු`ගක් වටින සංස්කෘතික නිෂ්පාදනයක් මට අනුව. චැට් කරනවා වගේ. ඒ වෙනුවට පුද්ගලික සීමාවන් එක්ක අපි යමක් හෝ කෙනෙක් ගැන තේරුම් ගැනීමකට යන්න හදද්දිම අපි පාවිච්චි කරන්නෙ පරණ අච්චුවක්. ඒකෙන් හැදෙන කොකිස පරණ එකමයි.

අදහස් එක්ව බෙදා හදා ගැනීම සහ එක්ව ඇති දැඩි කිරීම කියන එක ඉන්ටර්නෙට් එකත් එක්කම වඩාත් සංකල්පීයකරණය වෙච්ච පදාසයක්. ඒත් අපි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙත් විභාගෙට පාඩම් කරන්න නෝට් පොත පාවිච්චි කළා වගේමයි. දෙන දේ ඉක්මණට බාගෙන ලයින් එක කට් කරලා දානවා. ‘උන්ට නං ඉන්ටර්නෙට් නිකංනෙ’ වගේ සරල කතාවකින් ගිල්ටිය වහගන්නවා.

ඒත් අපිට මිනිස්සු වෙනුවට අදහස් ඇසුරු කරන සංස්කෘතියට ඇතුල් වෙන්න සිද්ද වෙනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කළාට අපි ඇත්තට ඉන්ටර්නෙට් සංස්කෘතියට ඇතුල්වෙන්නෙ එතකොට. අඳ ගොළු බිහිරි පාරිභෝකයෙක් වෙනුවට සක‍්‍රීය නිෂ්පාදකයෙක් හැදෙන්නෙ එතන. එතනදි අදහස් වල අයිතිය උඩ තීරණය වුණු වටිනාකම බෙදාහදා ගැනීම උඩ තීරණය වෙනවා.  ලෝකෙ ඒ කොනේ මේ කොනේ අත්දැකීම් හුවමාරු වෙමින් අදහස් පද්ධතීන් නිර්මාණය වෙනවා. ඒක මුහුදෙන් සීමාවුණු පුංචි බිම්කඩවල සිද්ද වෙන්නෙ කොයිතරම් හෙමින්ද කියල මං අත්දකිමින් ඉන්නවා.

මට මුණගැහෙන හැම කෙනෙක්ම වගේ ඉන්නෙ අනිත් එකා තමන්ට කෙළවන්නයි බලන් ඉන්නෙ කියල හිතාගෙන. ඉපදීම දුකක් කියලා බුදුන් කියපු නිසාම විශ්වාස කරනවා වගේ සමාජය දුෂ්ටයි දූෂිතයි කියන එක අපේ ඔලූව ඇතුලෙ සිද්ධාන්තයක්. කොටින්ම ආදරේදි පවා මූලික කොන්දේසිය අවිශ්වාසය. විශ්වාසය, සතුට, ආදරය වෙනුවට අවිශ්වාසය, දුක, වෛරය අපේ පැවැත්මෙ කොන්දේසි වුණේ කොහොමද? ඒක අපිට උරුම අපේ සිතීමේ සීමාවක් නෙමෙයිද?

මට අනුව මිනිස්සු හැමෝම පුදුම සහගත විදිහට යහපත්. හැම මිනිහෙක්ම ට‍්‍රයි කරන්නෙ තමන් තුල තමන් නිවැරදි වෙන්න. මිනීමරුවෙක් පවා මිනීමැරුමට තමන් තුල සාධාරණ හේතුවක් ගොඩනගා ගන්නයි උත්සාහ ගන්නෙ. ඒක නීතියෙන් (අනෙකාගෙන්) ගැලවෙන්න කියන බොරුවක සීමාවට වඩා පළල්. ඒක තමන් තුල තමන්ගෙ හෘදය සාක්ෂිය නිවැරදි කර ගැනීමක්. මේ දේ සිද්ද නොවුණොත් සිය දිවි නසා ගන්න වෙනවා. පැවැත්මට සාධනීය අදහසක් තියෙන්න  ඕන. මට දැනෙන විදිහට අපි ආදරය (මිත‍්‍රත්වය) ඇතුලෙ ඉල්ලන්නෙ ඒක. අසමතුලිත වුණු පැවැත්මේ කාරණා සමතුලිත තැනකට ගේන්න (ජීවිතය රෙපෙයාර් කර ගන්න) සමීපතමයෙක්ගෙන් උදව් ඉල්ලන එක. එතනදි බොරුව කියන්නෙ අහිංසකම උත්සාහයක් මට අනුව. තමන් තුල තමන් ආරක්ෂා කර ගන්න කියන බොරුව ප‍්‍රශ්න කරන අනෙකා කියන්නෙ ආදරවන්තයෙක් වෙනුවට පොලිස්කාරයෙක්. ඒත් අනිත් පැත්තෙ ඉඳන් අපි ට‍්‍රයි කරන්නෙ බොරුව අල්ලගන්න. ආදරය හොයා ගන්න නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ කතාවක්.

හැම මිනිස් ආශ‍්‍රයක්ම කියන්නෙ භෞතික හුවමාරුවකට වඩා පව් සමා කරන පූජාකුටි. එතනදි හැම බොරුවක්ම කියන්නෙ ඊට වඩා ගැඹුරු ඇත්තක් වෙනුවෙන්. උදා විදිහට තමන්ගෙ පෙම්වතාට හොරෙන් අනියම් සම්බන්ධයක් පවත්වන පෙම්වතියක් පෙම්වතාට බොරු කියන්නෙ පවා (මෙගා ටෙලි වල වගේ බූදල් ප‍්‍රශ්න හින්ද නෙමෙයි නම්) ආදරය හින්ද. ඒ සියලූ අවිනිශ්චිත හේතු කාරණා එකතු කරලා වචන වලින් කියලා නිදහස් වෙන්න බැරි හින්ද. එතනදි ඇත්ත කියන්නෙ කිසිම ආදරයක් නැති නිව්ස් එකක් වෙනවා.

ඒත් කර්මය කියන්නෙ අපි හොයන්නෙ ඇත්ත. ජීවිතේ ගැන ඇත්ත. සිදුවීම් ගැන ඇත්ත. ඇත්තක් කියන්නෙ පරිසමාප්ත විදිහට නම් මනුස්ස අර්ථකතනයක් නැති හුදකලා සිදුවීමක්. ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට කෝටියක් ඇත්තවල් වෙන වචන වලින් නම් කෝටියක් බොරු මට අනුව මනුස්සයි. ආදරණීයයි. සම්බන්ධතා කියන්නෙ ප‍්‍රශ්න කිරීම් වලට වඩා බාර ගැනීම් කියන තැනට අපි ලොකු වෙන්න  ඕන. පුද්ගලික සීමා වලින් එලියට ඇවිත් (ආකෘතික සීමා) දේවල් වැඩ කරන විදිහ අනුව, ක‍්‍රියාත්මක හේතු අනුව (ෆන්ක්ෂනල්) තේරුම් ගැනීමකට අපි ට‍්‍රයි කරන්න  ඕන. ඒක අනිකා වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. අපේ සීමිත සිතීමම වෙනස් කර ගන්න කරන උත්සාහයක්. හරියට දාන දෙන්න කියලා බුදුන් කියන්නෙ අනිකා සංසිඳුවීමෙන් පිං කර ගන්න නෙමෙයි වගේ. ඒ දෙන එකත් එක්ක ළ`ග තියාගන්න ඇති අපේ ආසාව චැලෙන්ජ් වෙන එකයි බුදුන්ගෙ අදහස. ඒත් අපි දෙන්නෙ ඊට වැඩියෙන් ලබන්න පුළුවන් හින්ද.

නිශ්චිත දිශානතියක් නැතුව ගහගෙන යන සිතුවිලි දියපාරෙ මට කෙන් විල්බර් වත් මුණගැහෙනවා. කෙන් විල්බර් කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක්. ආධ්‍යාත්මික ගවේෂකයෙක්. කෙන් විල්බර් හරි ලස්සන කතාවක් කියනවා. ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන්, වෙන විදිහකට නම් දක්ෂිණාංශික සහ වාමාංශික වීම ගැන.
ඩිමොක‍්‍රටික් කෙනෙකුට අනුව දුප්පතෙක් කියන්නෙ දියුණු වෙන්න උත්සාහ නොකරන, තමන්ගෙ වැරැද්දෙන් විනාශය කරා යන, ඵලදායී නොවන ජීවිතයක්. රිපබ්ලිකන් සිතීමට අනුව ඒක සමාජයේ වැරැද්දක්. අසාධාරණයක්. අසමතුලිතතාවයක්. මේක සමාජය විෂයේ දාලා බැලූවට මේ අපි ඇතුලෙම වැඩකරන දෙකට පැළුණු මනස කියලා කෙන් විල්බර් විස්තර කරනවා. අපි අපි ගැන හිතන්නෙ රිපබ්ලිකන් විදිහට. ඒත් අපි අනෙකා ගැන හිතන්නෙ පට්ට ඩිමොක‍්‍රටික් විදිහට. එකිනෙක බැලන්ස් නැති මේ සිතීම් දෙක එක තැනක පිහිටුවලා තනි පුද්ගලයෙක් හදන්න අපි අපි ඇතුලෙම අසාර්ථක උත්සාහයක් දරනවා. මේ පැල්ම නැති එකම තැන (ස්වර්ගය,සාමය,නිවන) වෙන්නෙ ආදරය (මෛත‍්‍රිය, පේ‍්‍රමය) විතරයි. ඒක ගර්භාෂයක්. හැම සමීප මිනිස් ඇසුරක් ඇතුලෙම අපි හොයන්නෙ මේ තාර්කික නොවන ගර්භාෂය කියල මට හිතෙනවා. හැම මිනිහෙක්ම අහිංසක වෙන්නෙ එතකොට. උදා. බුදුන්ගේ පේ‍්‍රමය ඇතුළෙ අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වීම.

මට කියන්න  ඕන වුණේ මිනිහෙක් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි අදහසක් කියන කාරණය. ශරීරය මූලික නැසෙන සුළු සීමිතයකින් සම්බන්ධ වෙනවට වඩා අපි අකාලික, නිර්ණාමික අදහස් වලින් සම්බන්ධ වෙන එක වඩා ඵලදායීයි කියන එක. එතනදි මරණය එක්ක ඉවර වෙන ශරීරය මූලික ආකෘතියක් වෙනුවට අපි පැවැත්මේ ලොකු අවකාශයකට නිදහස් වෙනවා. කොහොම වුණත් ඒක අද තාක්‍ෂණය විසින් යෝජනා කරන අපිට බාර ගන්න වෙලා තියෙන අනිවාර්ය සිතීම. අදහසක් කියන්නෙ තවම අත්දැකීමක් බවට පත් නොවුණු සිහිනයක්. ඒත් අපි ඒක තක්සේරු කරන්න බලන්නෙ මැරිච්ච අත්දැකීම් ගොඩක් වුණු පුද්ගලික නිමිත්තක් උඩ. ඒක අනිවාර්ය ගබ්සාවක්.

-චින්තන ධර්මදාස





Monday, October 29, 2012

පොද වැස්සක්. සමුගැනීමක් සහ මුණගැහීමක්.


බූඩි ළ`ගදි ආයිමත් ලොකු වැඩක් කළා. පොඩි විදිහට. ඉතාලියානු ශ‍්‍රී ලංකා කෙටි චිත‍්‍රපටි උළෙලක්. සිනෙසිටියෙ. ලංකාවෙ මේ වෙලාවෙ හැටියට ඒක හු`ගක් ලොකු වැඩක්. ඒත් ගොඩක් කට්ටිය දැනගෙන හිටියෙ නෑ. කාටවත් හරිහමන් විදිහට දන්වන්නෙ නැතුව මේ විදිහෙ වැඩ කරන එක ගැන ප‍්‍රවීණයො අතර කුසු කුසු ඇති වුණා. ඒකට ප‍්‍රධාන හේතුව බූඩි ඩිජිටල් වීම මං හිතන්නෙ. එයා ෆේස් බුක් එකෙන් කියනවා. එස්එම්එස් ගහනවා. එච්චරයි. ගොඩක් ප‍්‍රවීණයො මේ මාධ්‍ය එක්ක දුරයි. ඒ පුෂ් එක මදි. ඒක වැරැද්දක් නෙමෙයි. බූඩි ටිකක් වයසට වඩා මොඩර්න් වැඩියි.

ඒ වගේ පොඩි පණිවුඩයකින් එකතු වෙන්න පුළුවන් විශ්වාසයක් ගොඩනැගෙන එක ගොඩක් වැදගත්. ඒත් ඒක තාම ඒ විදිහට වෙන්නෙ නෑ. කතා කරන්නෙ ගෙයක් හදා ගන්න, තාප්පයක් බඳින්න නෙමෙයි. සමාජ වැඩක් කරන්න. කරන්නෙ කවුද කියන එකට වඩා එතනදි කරන වැඬේ වැදගත් වෙන එකයි මොඩර්න්. කරන මිනිහගෙ අරමුණු හොයාගෙන යන එක ටිකක් පරණ පුරුද්දක්.

බූඩි මට කතා කළා. මේ වැඬේට උදව් වෙන්න. එක පැත්තකින් බඩු විකුණන ජීවිතේ ඇතුලෙ මට ආයිමත් ඒ වගේ ලස්සන වැඩකට නිදහසක් නෑ. ඒ විදිහෙ වැඩ අසංවිධානාත්මකයි. ඒ කියන්නෙ කාල කලමනාකරණය පැත්තෙන් ව්‍යාපාරික සංදර්භයට වඩා වෙනස්. මේ ඔරලෝසු මාරු වෙන එක දරන්න අමාරුයි. ඒක අත්විඳින කෙනෙකුට මිසක් තේරුම් ගන්න අමාරු දෙයක්.

බූඩි එක්ක මේ වැඬේ කරන්න යනවා නම් අත්විඳින්න වෙන මේ මගේ සංවිධානාත්මක ජීවිතය අවුල් වීමේ අර්බුදය මට බලපාන්න ඇති. ඒත් චිත‍්‍රපටි උළෙලට යද්දි මට දැනුනෙ හු`ගක් ලොකු ගිල්ටියක්. මේ ලියමන ඒ පශ්චත්තාපය හින්ද වෙන්නැති.

ඒක හරි අමුතු දෙයක්. ජීවිතේ ආර්ථිකකරණය වීම. ඉස්සර මං ගත කරපු ජීවිතේ කාලය කියන එක අනන්තයක්. ජීවත් වෙනවා කියන්නෙ ඒකට. වනාන්තරය වගේ. ඒත් ආර්ථිකය වෙනුවෙන් ජීවිතය කළමනාකරණය කරන්න වෙනවා. මං ලියන විනාඩි පහකට පවා මුදලක් තීරණය වෙනවා. ආර්ථික වටිනාකමක් නැති පොත් ගණන් ලියන වකවානුවකින් පස්සෙ මං එක වචනෙ පවා මිළක් තීරණය වෙන වකවානුවකට එනවා. එතන කළමනාකරණය වෙන්නෙ කාලය. මගේ යාලූවො ඇඞ්වර්ටයිසින් වලට ඇවිත් ‘මගේ ජීවිතය නැති වෙනවා වගේ දැනෙනවා’ කියලා කියන්නෙ මේකට. මේක ඇතුලෙ මල් පිපෙන්නෙ නෑ. මේක ඇතුලෙ වෙන්නෙ මල් නිෂ්පාදන.

ඒ සොඳුරු අසංවිධානාත්මක බව ඇතුලෙ නිදහස එක්ක ආර්ට් කියන එක තියාගෙන බූඩි සිනමා උළෙල සංවිධානය කළා, තනියම. ඉරිසියා හිතෙනවා ඒකා ඒ වයසෙදිත් තාම එහෙම ඉන්න එක ගැන. ඒත් රස්සාවල් කරන මිනිස්සුන්ගෙ නිවාඩුව වෙන් කරන්න තරම් ඒ පණිවුඩය ප‍්‍රබල වුණේ නෑ. අනිත් එක එදා ලාල් අයියගෙ මළගෙදර.

ලාල් පියසේන කියන්නෙ ලංකාවෙ ඇත්ත සංස්කාරකයෙක්. ‘එඩිටර්’ කෙනෙක්. මට මුණගැහෙන ගොඩක් සංස්කරණය කරන අය ශිල්පීන්. ඒ කියන්නෙ මැෂින් එක පාවිච්චි කරන දැනුම මිස රූපමය භාෂාවෙ දැනුමෙන් පෝසත් නෑ. එතකොට එඩිටර් වෙන්න සිද්ද වෙන්නෙ අපිට. ඒකෙන් තවත් පරිකල්පන අවකාශයක් එක්ක එකතු වෙලා වැඩෙන්න අපි කරන වැඬේට තියෙන ඉඩ කැන්සල් වෙනවා. අන්තිමට කැමරාව, එඩිටින්, ලියන එක, අන්තිමට ර`ගපාන එක පවා කරලා තියෙන්නෙ එක්කෙනෙක්. සිනමාව වගේ ලොකු මාධ්‍යයක් ඒකෙන් පොතක් වගේ පොඩි පිටුවක් දක්වා ඇකිළෙනවා. ලාල් පියසේන කියන්නෙ එහෙම රසයක් තිබුණු දුර්ලභ ගණයෙ එඩිටර් කෙනෙක්. ඇත්තටම අපි චිත‍්‍රපටි කරන්න පටන් ගන්න කොට එයා එඩිටින් නවත්තලා.

ලාල් අයියා චිත‍්‍රපටි එඩිට් කළේ රස්සාවක් විදිහට නෙමෙයි. ඒක එයාගෙ ආර්ට් එක. නෙගටිව් කපලා අලවන ක්ලැසික් විදිහ එක්ක බැඳිච්ච එයා චිත‍්‍රපටියක් කපන්න අවුරුද්දක් විතර ගන්නවා. කාලය ආර්ථිකකරණය වීමේ කලාපෙ වෙනුවට එයා වැඩ කළේ ඒ සමග කාලය ගත කිරීම. රමණය කිරීම වගේ කලාපයක. ඒ හින්දම ලාල් අයියට සිනමාව ගැන ජීවිතයක් තිබුණා. හැන්දෑවල සංවාද කතා විඳින්න දන්න බොහිමියානු පැවැත්මක් තිබුණ. ලාල් අයියා ප‍්‍රසන්න විතානගේ ‘ගේ’ පවුරු වළලූ එඩිට් එක ගැන ලස්සන කතාවක් කියනවා. ඒකෙ තියෙනවා සංගීතා වතුර බාල්දියක් අරන් තරප්පුව උඩට දුවන අවස්ථාවක්. හදිස්සියකට. ප‍්‍රසන්න ඒක ලියලා තිබුණෙ වතුර බාල්දිය අරන් දුවලා ඒක එතනට වත්කරලා එන අඛණ්ඩ විදිහට. ඒත් ලාල් අයියා චිත‍්‍රපටියෙ ඒක දුවන තැනින්ම ජම්ප් කපනවා එන තැනට. ඒක ප‍්‍රසන්න දරා ගන්න බැරි වුණාලූ. ඒත් ලාල් අයියා තමන්ගේ ප‍්‍රවීණත්වයේ ආධිපත්‍ය පාවිච්චි කරලා ඒ එඩිට් එක එතන තියාගෙන තියෙනවා. ඒ හදිස්සිය, වේගය සංස්කරණය ඇතුලෙ පෙන්නන්න තියෙන දුර්ලභ අවස්ථාවක් පාවිච්චි කිරීමක්.

අපේ අලූත් පරම්පරාවට පවා දරා ගන්න බැරි අලූත්කමක් ලාල් අයියගෙ තිබුණ. ක්ලැසිකල් ජීවිතයක්....හරි වචනෙ ඒක. මට ලාල් අයියා මුණගැහෙන්නෙ මං කොරළවැල්ල ගැන කරපු ඩොකියුමෙන්ටරි එකක් හින්ද. ඒක විනිශ්චය කරන්න එයා ඉන්නවා. හු`ගක් අඩු කොලිටි එකකින්, වාවගන්න බැරි නොයිස් එකක් එක්ක වුණත් තිබුණු අසාම්ප‍්‍රදායික සංස්කරණය ලාල් අයියා අගය කරනවා. මරණය දැනෙන්න තරම් ලස්සන ජීවිතයක් එයාට තිබුණා. ලාල් අයියා ඒක සම්පූර්ණ කළා. ගොඩක් ලස්සන විදිහට ජීවිත් වෙන මිනිස්සු කැන්සර් වලින් මැරෙන්නෙ ඇයි කියල මට තේරුම් ගන්න බෑ.

බූඩිගෙ චිත‍්‍රපටි උළෙල බලන්න පටන් ගන්න දවසෙවත් යන්න මට බැරි වුණා. එදා මං රක්ෂණ සමාගමකට කැම්පේන් එකක් විකුණනවා. ඒත් අන්තිම දවසෙ මං ගියා. හු`ගක් පොඩි සෙන`ගක්..ඒත් කලින් දවස් වලට වඩා වැඩියි...ඒක අවුල් සහගත තත්වයක්. ඒත් ඒ සිනමා උළෙල මං ඊට කලින් දැකපු උළෙල වලට වඩා මාව වෙනස් කළා. මීට කලින් කෙටි චිත‍්‍රපටි බලන හැම වෙලාවකම මම එන්නෙ පුදුම සහගත කළකිරීමකින්. ඒ තරම් දුර්වල නිර්මාණ. ඒත් මේ චිත‍්‍රපටි හැම එකක්ම වගේ හු`ගක් දියුණු තැන්වල තිබුණ (එකක් දෙකක් තිබුණා අසරණ නිර්මාණ) විශේෂයෙන්ම තාක්‍ෂණික පැත්තෙන් ලොකු ප‍්‍රගතියක් තිබුණ.

සිනමා උළෙලට මාතෘකාවක් තිබුණ. රට පනින එක ගැන. ඒ මාතෘකාව හින්දම මං හිතුවා ලොකු අවුලක් වෙයි කියල. අඩු වියදමකින් ඒ වගේ තේමාවකට චිත‍්‍රපටියක් හදන එක ලොකු අභියෝගයක්. ඉල්හාම් පළවෙනි වතාවට කරපු චිත‍්‍රපටිය හොඳම චිත‍්‍රපටිය විදිහට තේරුණා. ඒකට රුපියල් ලක්ෂයක් තෑගි. තෑග්ග හම්බුණොත් අපිට බොන්න පුළුවන්. පෙට්ටියක් ඇතුලෙ විතරක් ෂූට් කරලා ඉතාලියට පනින කතාවක් හු`ගක් හොඳට ගොනු කරලා තිබුණ. ඒ පිටපත ගැන මං තාම පුදුම වෙනවා. පළවෙනි වතාවට ඒ වගේ පිටපතක් ලියනවා කියන්නෙ අමාරු වැඩක්.

නිනෝ ලයිව් කරපු (තාම පෙන්නගන්න විදිහක් නැතුව ඉන්න) තිසර (ඉඹුලාන) පට්ට ෆිල්ම් එකක් කරලා තිබුණ. ඒක හරිම ඇඞ්වර්ටයිසින් වර්ගයේ සිතීමක්. ඇඞ් ෆෙස්ට් වගේ ගියා නම් අවෝර්ඞ් එකක්. අපේ රටේ ප‍්‍රසිද්ද ජනකතාවක් වුණු ලබ්බෙ තොයිලෙ එක්ක එයා රට පැනීම එකතු කරලා තිබුණා. ඒ මදිවට ඒක කාටූන්. කිසි වියදමක් නැතුව උපරිම නිර්මාණශීලීත්වය එලියට ආපු වැඩක්. අන්තිමට විතරක් චන්දන අයියව ඉතාලියානු පොලිසියෙ දෙන්නෙක් ප‍්‍රශ්න කරන සමීප රූපයක් එනවා. ඒ වෙනකං අපි කතාව විදිහට අහන් ඉන්නෙ ඉතාලියට පනින්න ගිහින් අහු වෙච්ච චන්දන අයියා කියන කතාව. ඒ කටහ`ඩ පට්ට ආතල්. ඒ වගේම සිරා ට්විස්ට් එකක් (පෙරළියක්). මට එහෙම හිතන්න බැරි වුණු එකට ඇත්තටම ඉරිසියාවක් ආවා මට.
ඒ උළෙලේ තිබුණා තරගකාරී නොවෙන අංශයක්. ඒකෙ තිබුණෙ වෙනස් තේමාවන්ට හැදුණු චිත‍්‍රපටි. එතන තිබුණා ‘ලෙට් ගෝ’ කියලා මට නම මතක නැති අධ්‍යක්‍ෂවරයෙක්ගෙ ෆිල්ම් එකක්. එක මේසයක් දෙපැත්තෙ මිනීමැරුමක් ගැන ගෑණියෙක්ව ප‍්‍රශ්න කරන පොලිස් නිලධාරියෙක්. කතාව පටන් ගත්ත විදිහට මං හිතුවා ගොං ඉමෝෂනල් කතාවක් කියල. ඒත් මේ චරිත දෙක විතරක් පාවිච්චි කරලා මේ අධ්‍යක්‍ෂවරයා අපිව නොහිතන අන්ත වලට අරන් යනවා. මේ දවස් වල ජනපි‍්‍රය මිනිමැරුම් ගැන ගොසිප් ත‍්‍රිලත් එක්ක බලන් ඉන්න අය කතාවෙ ඇළෙනවා. ඒත් චිත‍්‍රපටිය අපිව අරන් යන කෙළවර ගොසිප් අන්තයක් නෙමෙයි. ඒ වෙනුවට ජීවිතේ ගැන සංවේදී අපේක්‍ෂා නොකළ කෙලවරක එයා අපිව කොටු කරනවා. මේ දෙබස් මූලික සරල දර්ශනය ඇතුලෙන් විතරක් මේ තරම් ගැඹුරු සංකල්පනාවලියක් ඇති කරන්න මේ වැඬේ කරපු කෙනාට තියෙන දක්ෂතාවය ඇගයෙන්න  ඕන. ඒත් ජූරියේ විශේෂ සම්මානය ආයිමත් ගියේ පිළුණු වෙච්ච අත්දැකීමකට. මට අනුව මිනිසා සහ කපුටාට පස්සෙ මං දැකපු විශිෂ්ටතම කෙටි චිත‍්‍රපටිය ‘ලෙට් ගෝ’.
සම්මාන උළෙල ඉවර වෙලා මං කනත්තට ගියා. ඒ වෙද්දි ලාල් අයියට සමු දීලා හැමෝම එලියට එන ගමන්. කරුවලයි, පොද වැස්සයි. මං ටිකක් වෙලා එතන ගත කරලා කනත්ත වැට අයිනෙන් ඇවිදගෙන හන්දිය පැත්තට ආවා. මගේ ඇස්වල නළියන කඳුළු වැස්ස නිසා නිදහසේ අත්අරින්න පුළුවන්. බලාපොරොත්තු ඇති කරපු ගොඩක් ජීවිත අපිව අත් ඇරලා යනකොට හු`ගක් ලොකු තනිකමක් දැනෙනවා.

 ඒ අතරෙ තනියෙන් හරි ආයිමත් බලාපොරොත්තුවක් ඇති කරන වැඩක් කරමින් ඉන්න බූඩිට පින්.

-චින්තන ධර්මදාස

Monday, October 22, 2012

සංත‍්‍රාසය- සංවේගය- සම්බෝධිය එක්තැන් වුණු රියැලිටි අත්දැකීම...Sri Lanka Live


හැමදාම උදේට මාරාන්තික හිස්කමක් ඇවිත් මාව ඇහැරවනවා. උදේ හයහමාර වෙද්දි ඒක පටන් ගන්නවා. ඒ ස්වර්ණවාහිනියෙ පත්තර කියවිල්ලත් එක්ක. ඇඳේ හිටියත් ගෙදර සාලෙ දාන ටීවී එකේ මානසික වදේ විඳගන්න අමාරුයි. නිදාගෙන හිටියත් බය හිතෙන හීන පේන්න ගන්නවා.
ඊට කලින් යන්නෙ බණ. ඒකෙ පරලොවට වැඩ කරගන්න හැටි කියල දෙනවා. පත්තර කියවිල්ලට පස්සෙ යන්නෙ ලෙඩ සහ ග‍්‍රහ දෝෂ.

ඊට පස්සෙ මං වැඩට යනවා. ඇඞ් ඒජන්සියට. ඉස්සර වගේ හොඳට හිතලා මතලා ඇඞ්වර්ටයිසින් දැන් වැඩක් නෑ. ඒවා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඊට කලින් ක්ලයන්ට් ලට තේරෙන්නෙ නෑ. ඊටත් කලින් ඒජන්සිවල ලොක්කන්ට තේරෙන්නෙත් නෑ. හිතන්න දෙයක් නැති ඇඞ් තමයි මේ කාලෙ විකිණෙන්නෙ. වඩාත් අමුවෙන්ම කියන්නෙ කොහොමද? ඒක තමයි චැලෙන්ජ් එක.

ගොඩක් මගේ යාලූවන්ට ගළපගන්න බෑ මං ඇඞ් ඒජන්සියක වැඩ කරන එකයි ආර්ට් ගැන කතා කරන එකයි. මේවා වෙනස් සහ ප‍්‍රතිවිරුද්ධ ආකෘති විදිහටයි ඒ ගොල්ලොන්ගෙ භාෂා විෂ්වයන්වල ස්ථානගත කරලා තියෙන්නෙ. ඒක හරි පංතිමය අදහසක්. ලංකාවෙ ආර්ට් කියන්නෙ නිර්ධන පංතියෙ වැඩක්. ඇඞ්වර්ටයිසින් කියන්නෙ ධනපති පංතියෙ වැඩක් (හෝ ඒ පංතියට කඬේ යන අයගෙ)

මට අනුව පඩියක් ගත්තත් නැතත් ලංකාවෙ හැමෝම ඇඞ් ඒජන්සියක වැඩ. ඇඞ් වලින් පිට අපිට වෙන ජීවිතයක් නැති වෙලා ගොඩක් කල්. අපේ මුලූ ජීවිතේම තත්පරෙන් තත්පරේ හදන්නෙ මීඩියා වලින්. ආණ්ඩුව, වර්ජන, බුද්ධාගම, නිවන, අපේ පවුල් සම්බන්ධතා පවා හදන්නෙ මීඩියා වලින්.
‘බෙල්ල අතේ අරගෙන යන වීඩියෝ එක දැක්කෙ නැද්ද? පට්ට ආ....’

මීගමුවෙ ළ`ගදි වෙච්ච ඇක්සිඩන්ට් එකක් රටේ ලොකුම නිව්ස් එක වෙලා, ත‍්‍රිල ජනනය කරමින් තිබුණ. ඇයි මරණය මේ තරම් වර නැගෙන්නෙ? හැම පිටුවකම, හැම ගොසිප් එකකම මරණයක් ගැන කියවෙන්නෙත් ඒ මරණය ජීවිතේ ප‍්‍රධාන මාතෘකාවක් වෙන්නෙත් නිකම්ම මරණය විකුණාගෙන කන මාර්කට් අදහසක් ඇතුලෙ විතරද? එහෙම නැත්තං මේ මරණ, පිරිත්, ආණ්ඩු සහ තවත් දේ එකම මීඩියා ප්ලොට් එකක් වෙන්න බැරිද?
මීඩියා වලින් එහා ඇත්ත මොකක් හරි වෙයි කියල මට 6% වෙනුවෙන් ෆුටා පටන් ගත්තම හිතුණ. ඒ ඒක ෆේස්බුක්, වෙබ් හරහා වැඩකරන්න ගත්ත නාගරික මෙහෙයුමක් වුණු හින්දම. ඒත් ඒ ගැන මං කලින් ලියපු ලිපියෙදිත් මට ලියවුණා මේක මේ ‘ග‍්‍රාමීය ශරීරයට’ එරෙහිව ‘නාගරික ඔලූව’ ටෙස්ට් වෙන වැඩක් කියල. අවාසනාවන්ත විදිහට අපි අන්ත පරාද වුණා. ඒ කියන්නෙ ප‍්‍රධාන මාධ්‍ය මතවාදයට (ආණ්ඩුව-ආගම-සදාචාරය-සංස්කෘතිය ඔක්කොම එකක්) එරෙහිව අලූත් විකල්පයක් ගේන්න පුළුවන් තැනක් විදිහට වෙබ් එක ලංකාවෙ ෆේල්. ඊට ප‍්‍රතිවිරුද්ධව වෙබ් එක පිරෙන්න ප‍්‍රධාන මාධ්‍ය මතවාදය බෝවෙනවා. වර්ල්ඞ් වයිඞ් වෙබ් එක ලංකාවෙ ගමයො  ඕපදූප කතා කරන කඩපිළක් වෙනවා.

උදා විදිහට ගොසිප් සයිට් පටන් ගනිද්දි මං හිතුවා දේශපාලනික ප‍්‍රවෘත්ති අධිකාරියට අහු නොවෙන කෙලින්ම පුද්ගලයා එක්ක සම්බන්ධ විකල්ප දේශපාලනික අදහසක් විසින් මේ ඉඩ පාවිච්චි කරයි කියල. ඒත් එතනත් අපි ෆේල්. මේ වෙද්දි රිවිරට වඩා දෙයක් අපේ රටේ වෙබ් එකේ වෙන්නෙ නෑ. ෆේස්බුක් එක තනිකරම බෝක්කුව ළ`ග මීටිමක්. ප‍්‍රධාන මාධ්‍ය අදහසට පිටින් අපිට ජීවිතයක් ඉතුරු වෙලා නෑ.
මීඩියා වලට පිටින් මොකවත් නැතිකම අනතුරුදායකයි. මොකද අපි ආපහු අපේ දිහා හැරිලා බලද්දි මුණගැහෙන හිස්කම භයානකයි.

මෙතනදි සමහර මීඩියා වලට හිතෙන්න පුළුවන් අපි එහෙම නෑ, අපි ජීවිතය ගැන හිතන්න පොළඹවනවා- ඇත්ත කියනවා- ඔය වගේ මොකක් හරි එකක්. උදාහරණයක් විදිහට මේ ලිපිය මේ තියෙන මාධ්‍ය වලින් හදපු ජීවිතේ වෙනස් කරන්න බල කරනවා කියලා මට හිතෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒත් ඒක එහෙම නෙමෙයි. මේ ලියන දේත් ප‍්‍රධාන මීඩියා අයිඩියා එකට සාපේක්‍ෂයි. සෙල්ලම් කරන පිට්ටනිය ඒක.
ෆුටා එකේ ආචාර්යවරු ආපහු වැඩට යනකොට ‘අවශ්‍ය  ඕනම වෙලාවක ආපහු එනවා’ කියල කියනවා. මං කියන්නෙ ආවට වැඩක් නෑ, ෆේල්. ආණ්ඩුවෙ මීඩියා මතවාදයට එහායින් බලපෑමක් කරන්න ආචාර්යවරුන්ට බැරි වෙනවා. ඒ වෙනුවට ටෙලි නාට්‍ය ඊළ`ග කොටස යනකල් බලන් ඉන්න ආචාර්යවරුන්ගේ බිරින්දෑවරු හරහා ආණ්ඩුව 6% පරාද කරනවා. ප‍්‍රධාන මීඩියා ජීවිතේට පිටින් ෆුටා නැවත යෝජනා කරපු ජීවිතය (අධ්‍යාපනය, හෘදය සාක්ෂිය) ජෝක් වෙනවට වඩා දෙයක් වෙන්නෙ නෑ.
මෑතක ලාංකේය ජන ජීවිතයට බලපාපු තවත් වැදගත් ප‍්‍රවෘත්තියක් වුණේ ඉවැන්ජලික් පූජකයෙක් බුදු පිළිම කඩන්න තරුණයෙක්ව පෙළඹවීම සහ බොදු බල සේනා කියනතග් කල්ලියක් විසින් ඒ පූජකයා අල්ලා තලා පෙළා ස්වර්ණවාහිනියට ඉදිරිපත් කිරීම.

කතාවෙ හැටියට සංවිධානයක් විසින් මේ තරුණයාට බැංකුවක වැඩ කරන ඒ ආගමේ තරුණියක් මුණගස්වා එයින් විවාහයක් කර දී ඊට පස්සෙ බුදු පිළිම පොලොවෙ ගැසීමට මේ තරුණයා පොළඹවලා තියෙනවා. මේ විදිහට බුදු පිළිම පොලොවේ ගැසීම හරහා බුදු දහම නැති කරන කුමන්ත‍්‍රණයක් ගැන මහා හෙළිදරව්වක් මේක. ජාතික නාලිකාවක සජීවී අටට මේක ප‍්‍රචාරය වෙනවා. අරාබියෙ වගේ බුදු පිළිම කැඩූ පාපයට ගෙට පැනලා අල්ලගත්තු මේ පූජකවරයා ලවා ඊළ`ගට බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මේ අන්‍යාගමික පුද්ගලයාව බලෙන් බුදු පිළිමයක් ඉස්සරහ වන්දනවා. මේක කිසි හිරිකිතයකින් තොරව පෙන්නන ටීවී නාලිකාවට කිසි අවුලක් නෑ. නීතියක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කිසි ප‍්‍රශ්නයක් නැතිව ජනතාවම අන්‍යාගමික කුමන්ත‍්‍රණ කතාව තලූ මරනවා. පූජකවරයා දෙමළ ජාතිකයෙක් වගේ වෙන කොනකුත් පටළනවා. මෙතන ක‍්‍රියාත්මක වන ප‍්‍රචණ්ඩත්වය ගැන කාටවත් ප‍්‍රශ්නයක් නෑ. කිසිම තාර්කික පදනමක් නැති මේ කතාව ගැන කාටවත් හරස් ප‍්‍රශ්න නෑ. අඩු ගානෙ මේ වගේ බාල තැනකට බුද්ධාගම අරන් යන එක ගැන බෞද්ධයන්ටවත් ප‍්‍රශ්නයක් නෑ.

ලංකාවෙ මේ වෙද්දි සමාජ හෝ ප‍්‍රජාවන් ගැන පර්යේෂණ කරලා වැඩක් නෑ කියන එකයි මගේ අදහස. පර්යේෂණ කරන්න  ඕන මීඩියා ගැන. ජනතාව කියන්නෙ ඒ මීඩියා වල ප්‍රොජෙක්ෂන් එකක් මිස ඇත්ත භෞතිකයක් නෙමෙයි. ජනතාවගෙ සෞඛ්‍ය, අධ්‍යාපන, බඩු මිළ, කොටින්ම කන්න නැති ප‍්‍රශ්නය පවා මීඩියා ප‍්‍රශ්නයක්. ඇත්තට බඩගිනි හැදෙන්න ජීවිතයක් මේ රටේ නෑ. එහෙම රටක මගේ යාලූවො අහන ආර්ට්ද ඇඞ්වර්ටයිසින්ද වගේ ප‍්‍රශ්න අදාල නෑ මං කියන්නෙ.

මේ රටේ මාධ්‍ය වලින් දැනගෙන හා නොදැනගෙන මිනිස්සුන්ට කරමින් ඉන්න දේ ගැන හරිහමන් අධ්‍යනයක් ඉක්මණට වෙන්න  ඕන. මේ හුදකලා අපරාධ සහ මරණ විදිහට ලියවෙන්නෙ එකකට එකක් සම්බන්ධ සමාජ මානසික රෝගයක් කියන එළඹුමෙන් සමස්තයක් විදිහට මේ ප‍්‍රශ්න දිහා බලන්න වෙනවා. එතනදී අපරාධ සහ අපරාධ වාර්තාකරණය කියන දෙකම ගැන සවිඥාණකව විශ්ලේෂණය කරන්න වෙනවා. මේ හොල්මන් කතා, බිහිසුණු ඝාතන, බොදු බල සේනා හැම එකක්ම දේශපාලනික කියවීමකට ගන්න පුළුවන් එතකොට. හැම රටකම මීඩියා වලින් වෙනස් යතාර්ථයන් නිර්මාණය කරන එක සිද්ද වෙනවා. ඒක වෙන්නෙ වෙළඳපොල කේන්ද්‍රීය කාලෙන් කාලෙට මාරුවෙන මාතෘකා විදිහට. ඒත් අපේ රටේ තත්වෙ වෙනස්. අපේ ආණ්ඩුව පවා මීඩියා රියැලිටි එකක්.  ඇත්ත එකක් නෙමෙයි. වෙන විදිහකට නම් ආණ්ඩුව තමයි මේ මීඩියා රියැලිටි එක හදන්නෙ. වෙනස් අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන වෙනස් මාධ්‍ය විසින් නෙමෙයි. එතකොට හැම මාධ්‍යයක්ම එකක්. එකම යතාර්ථයක්. දේශපාලනය, ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැම දෙයක්ම ඒ විදිහෙ මාධ්‍ය විසින් නිර්මාණය කරන යතාර්ථ වට පත්වෙනවා. ඔලූව අතේ අරගෙන යන මීගමුවෙ තරුණිය, බුදු පිළිම කඩන ඉවැන්ජලික් පූජකවරයා, පුනරුත්පත්තිය කියන නාගයා මේ හැම දෙයක්ම ඇඞ් එකක් විතරයි. මේ හැම කතාවකින්ම අපි නොදන්න බඩුවක් අපි නොදැන අපිට විකුණනවා. ඒ තමයි කිසිම උපයෝගීතාවයක් නැති, හැ`ගීමක් විතරක් අළෙවි කරන ආණ්ඩුවෙ මතවාදය. මේක ආණ්ඩුව තමන්ගෙ වැඬේ කර ගන්නවට ඉරිසියාකාර කතාවක් නෙමෙයි. ඊට වඩා ජීවිතය කියන එක අපිට අහිමි වීම ගැන, අපි ඉස්සරහ තියෙන හිස්කම ගැන බය හිතිලා කියන කතාවක්.

මාධ්‍යයක් ඇතුලෙන්ම මාධ්‍ය ගැන විසංයෝජන යෝජනාවක් ගේන එක එක විදිහකට විකාරරූපීයි. ඒත් වෙන විදිහක් නෑ. ෆූටා අරගලය පරදින්න හේතුව විදිහට මං දකින්නෙත් මෙ විදිහෙ නූතනවාදී සීමාවන්. ‘අපි පඩි ගන්නෙ නෑ’, වගේ හෘදය සාක්ෂිය-කන්‍යාභාවය මූලික ප‍්‍රකාශ වලට වඩා පසු නූතන මාධ්‍ය හැසිරවීමකින් මීට වඩා හොඳ බලපෑමක් කරන්න තිබුණා කියන එකයි මගේ හැ`ගීම. මොකද අපිට හැප්පෙන්න වෙන්නෙ ජනතාවක් එක්ක නෙමෙයි මාධ්‍යයත් එක්ක කියන එක අවශ්‍ය තේරුම් ගැනීමක්.

කාලෙකදි මගේ නමින්ම මම නොදන්නා ෆේස් බුක් පිටුවක් ඇරලා තිබුණ. සරලව මට මම නොදන්න මාවම මුණගැහීම ලින්චියන් වර්ගයේ ත‍්‍රිල් එකක් කියන අදහසින් මම ඒ ගැන ස්ටේටස් අප්ඬේට කළා. තවත් අයට රස විඳින්න. ඒ අතරෙ මගෙන් ප‍්‍රශ්න අහපු අයත් හිටියා.
‘අපි දන්නෙ කොහොමද ඔයාද එයාද ඇත්ත කියලා?’

ඇත්ත දේශනා කරන බුදුවරයෙකුගෙන් අහලා අවබෝධ කර ගත්ත කාලෙ ඉවරයි. අපිට ගැලපෙන ඇත්ත තෝර ගන්න අපිට සිද්ද වෙනවා. එතනදි වැදගත් වෙන්නෙ අපි කොච්චර සවිඥාණකද කියන එක මිස අනිත් කෙනා කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියන එක නෙමෙයි. අපි මීඩියා වලින් කියන ඇත්ත සහ බොරුව විනිශ්චය කරනවට වඩා අපිට අවශ්‍ය ඇත්තක් නිර්මාණය කරන්න  ඕන කියන එකයි මගේ අදහස. ඒක තනි පුද්ගලයෙකුට වඩා අදහසක් විදිහට වැඩෙන යතාර්ථයක්. කොපි රයිට් නැති ඇත්තක්. එකම විදිහක සිතීමක් හා විශ්ලේෂණයක් ඇති අය අතින් යළි යළි ප‍්‍රතිනිර්මාණය වෙන ඇත්තක්. ඒ විදිහෙ විකල්ප මීඩියා යතාර්ථයක් අපිට නිර්මාණය කරන්න වෙනවා. වෙනස් මාතෘකා, වෙනස් ආචාර ධර්ම, සමාජයක් ගැන වෙනස් අදහසක් ඇතුව අපිට වැඩ කරන්න වෙනවා. සමහර විට අනෙකෙක් නැතුවම. අනෙකා පවා නිර්මාණය කරගෙන. හිඩැසක් නැති මේ විදිහෙ සමස්ත මීඩියා රියැලිටි ෂෝ එකකින් හුස්මක වත් නිදහසක් ගන්න තියෙන එකම විදිහ ඒ මත්වීම විතරයි. හර්බට් රංජිත් පීරිස්ගෙ වචන වලින් කියනවා නම් බුබුළක් ඇතුලෙ ජීවත් වීම.

එළියෙ හුස්ම ගන්න ඔක්සිජන් නෑ.

-චින්තන ධර්මදාස

Saturday, October 13, 2012

කරුමක්කාර ජීවිතේ විඳින්න ශෘංගාර රිදී නිම්නයේ වැතිරෙන්න


කාලෙකට පස්සෙ ආපහු තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ ෆිල්ම් එක බැලූවා. 1980 මුල කරපු ඒක තිස්සගෙ පළවෙනි අධ්‍යක්‍ෂණය. එතකොට මට අවුරුදු හතරක් විතර. ඒ වෙද්දි එයා වැලිකතර පිටපතත් ලියලා. මට අනුව ලංකාවෙ කෙරිච්ච හොඳම චිත‍්‍රපටිය වැලිකතර. ඒක අධ්‍යක්‍ෂණය කරන්නෙ ඞීබී නිහාල්සිංහ. තිස්ස අබේසේකර කියන්නෙ ලංකාවෙ බිහිවුණු හොඳම තිර රචකයා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් මං තිස්ස අබේසේකර කියන චරිතෙ අඳුරගන්න කාලෙ තිස්ස නෙමෙයි. මට හයක් හතරක් නොතේරෙන කාලෙ තිස්ස. කරුමක්කාරයො චිත‍්‍රපටිය ඇතුලෙ එයාගෙ පේන අවංකත්වය සහ නිදහස මාව පුදුම කළා. ඒක 53 ගුණදාස අමරසේකර ලියපු කතාවක්. මං අඳුරගන්න කාලෙදි අමරස්කර එයාගෙ ‘යලි උපන්නෙමි’ අත්වැරැුද්දක් කියලා සිංහල ජාතිකත්වයක් කියන බෙලි කටුවක් ඇතුලෙ හිරවෙච්ච පුංචි ගුල්ලෙක්. ඞීබී නිහාල්සිංහ හිතාගන්න බැරි තරම් පටු විදිහට ලංකාවෙ සිනමාවෙ අවුල ලිහන්න හදන පොඩිහිටියෙක්. තිස්ස අබේසේකර ලොකු දුව වගේ කටේ තියන්න බැරි පිටපත් ලියන, දේශපාලනීකරණය වුණු, බංකොලොත් චිත‍්‍රපටි සංස්තාවෙ අබාපති චරිතයක්. මට මුණගැහුනෙ මැරිච්ච මිනිස්සු. කරුමක්කාරයො බලද්දි මට හිතුනෙ එහෙම. එදා තිස්ස ඒ චිත‍්‍රපටියෙ කරන ටිකවත් කරන්න අද අපේ අලූත් එවුන්ට බෑ. ණයට ගත්ත සම්භාව්‍ය හතර මායිමක අපි කුලියට ගත්ත අදහස් එහා මෙහා කරනවා. ඒත් කරුමක්කාරයෝ කියන්නෙ වැඩක්.
ෆිල්ම් එක පටන් ගන්නෙ පත වයිඞ් ෂොට් එකක. ගල් තලාවක් දිගේ විජේ කුමාරණතුංග හාමුදුරු කෙනෙක් ළ`ගට යනවා. ‘ආපෝ.....’ මට මුලින්ම හිතුණෙ එහෙම.

ඒත් ඊට පස්සෙ මුළු ෆිල්ම් එකේම හැ`ගීම වෙනස් වෙනවා. මිඞ් (මධ්‍ය රූප) සහ ක්ලෝස් අප් (සමීප රූප) ඇරුණම ආයිමත් දුර රූපයක් අපි දකින්නෙ අන්තිමට. ඒ මුල දැකපු රූපෙ අවස්ථා සම්බන්දෙ. ජීවිතේ හු`ගක් ළ`ගින්, එහා මෙහා දුර නොපෙනෙන තරම් ළ`ගින් අබේසේකර අල්ලන්නෙ. ඒ හින්ද ටිකක් වත් එහායින් තියෙන දෙයක් පේන්නෙ නෑ. ඒක තනිකරම වල්මත් ගමනක්. චිත‍්‍රපටියක රූපමය ආකෘතියකින් කතාවට ඒ තරම් ප‍්‍රබල අර්ථයක් දෙනවා ලංකාවෙ මං දැක්ක පළවෙනි වතාව. දැන් අපි හැමෝගෙම ස්ටයිල් එක පුළුවන් තරම් දුරට වෙලා බලන් ඉන්න එක. අපි ඉපදිච්ච හැදිච්චි වැඩිච්ච ජීවිතේ දිහා අපි අපේ සිනමාව ඇතුලෙ බලන්නෙ ගව් ගාණක් දුර ඉඳන්. ඒක තමයි ආධ්‍යාත්මික සහ සම්මානනීය රූප රාමුව. ඩෙනිස්ගෙ ’ත‍්‍රීවීල් ඩයරීස්’ දෙබසක් මතක් වෙනවා මට.

‘මචං තනි ගහයි ගේයි. අවෝර්ඞ් දිනන ෂොට් එකක් මචං’

අබේසේකරගෙ චිත‍්‍රපටිය බලද්දි මට මතක් වුනා තවත් චිත‍්‍රපටි දෙකක්. එකක් සර්ජි ලියෝන්ගෙ ’වන්ස් අපොන් අ ටයිම් ඉන් වෙස්ට්’. ගමට නගරෙන් කෙල්ලෙක් බැඳලා එන මිනිහෙක් ගැන කතාවක් ඒක. ඒ මිනිහට අයිති වත්ත අයිනෙන් රේල් පාර වැටෙනවා. ඒක හින්ද ගමේ චණ්ඩි මේ ඉඩම ගන්න පොර කනවා. ඒ අතරෙ මේ නගරෙන් ආපු ගෑණිගෙ සරාගිකත්වය ඉස්සරහ දණින් වැටෙනවා. කරුමක්කාරයො සංදර්භයත් මේකට හු`ගක් ළ`ගයි. දෙවෙනි ලෝක යුද්දෙට පස්සෙ සල්ලි ටිකක් හොයාගෙන ගමට එන ලොකු අයියා. ර`ගපාගන්න බැරි විජේ තමයි පොඩි මල්ලි. ඒකටත් එක්ක උපාලි අත්තනායක ර`ගපානවා තිතට. බැඳලා එන අක්කා තමයි ගමට එන ලිංගිකමය අවුල. ඒකෙන් පවුලෙ තාත්තා පුතා සම්බන්දෙ පවා අවුල් වෙනවා.
මෙතනදි තිස්ස ගීතාව ශෘංගාරකරණය කරන හැටි විශිෂ්ටයි. අමරසේකර ගමේ ඉඳන් ගම පැත්තෙන් ලියපු කතාව තිස්ස අල්ලන්නෙ නගරෙ පැත්තෙ ඉඳන්. නාගරික ඇහැකින්. ඒක මට වැඩ කරනවා වැඩියි. තිස්ස ගීතාව හැමතිස්සෙම තියන්නෙ විජේගෙ ඇ`ග උඩින්. විජේ නෙමෙයි උඩ ඉන්නෙ. එක පැත්තකින් ඒක ඒ නාගරික ගැහැණියගෙ ලිංගික ආධිපත්‍යය. ඒ චරිතය ගමට එනකොටමත් ගමේ එයා ගැන කතා පැතිරිලා ඉවරයි. සිදාදියෙන් ආපු සංකර බඞ්ඩ..

ඒ වෙනකං ගමේ කෙල්ලෙකුට කෙකර ගගා හිටපු විජේට ඒ කෙල්ලව පේන්නෙ වත් නැතුව යනවා. කන්‍යාභාවය පරිස්සං කරගෙන එයා යෝජනාවකින් කසාද බඳිනවා. විජේගෙයි මේ නෑනාගෙයි ආසාවන් ලිහෙන්නෙ කතරගමදි. ඒක අමරසේකරට ඒ කාලෙ ඉඳන්ම තිබ්බ ෆැන්ටසියක්. කතරගම කාවඩි සද්දෙට අමසේකරගෙ මස නලියනවා. කතරගම කවි පංතියට වඩා සිරා තැනක එයා කරුමක්කාරයෝ ඇතුලෙ කතරගම පිහිටුවනවා. ඒ ආවේශය-ප‍්‍රලය වීම ඇතුලෙ කරුමක්කාර ශෘංගාරය නිදහස් වෙනවා. මුලූ ෆිල්ම් එකම ගීතාගෙ ශෘංගාරයෙන් පෙ`ගිලා. තිස්ස පට්ට පිරිමියෙක් විදිහට ගීතා දිහා බලාගෙන ඉන්නවා. එතනදි මට සරජි ලියෝන් ගැහැණිය කියන විෂයෙදි තිස්සට වඩා ගොඩක් ඉස්සරහින් කියල හිතුණ.
සර්ජි ලියෝන් පට්ට පිරිමි වයිල්ඞ් වෙස්ට් කතාවක් කිව්වත් කතාව අන්තිම වෙද්දි මුහුදක් වගේ ස්ත‍්‍රීත්වයක් ඇතුලට ගිලෙනවා. තිස්ස උපරිම උත්සාහ කරනවා ඉපදෙන්න හිටපු දරුවා මැරෙන තැනදි ගීතාගෙ චරිතය විශාල කර ගන්න. ඒත් ඒකත් පොඩි පිරිමිකමක් ඇතුළෙම ගබ්සා වෙනවා. තිස්සට ගෑණු තේරෙන්නෙ නෑ....මට හිතුණ.

කරුමක්කාරයෝ එක්ක මට මතක් වුණු අනිත් ෆිල්ම් එක ‘බොර දිය පොකුණ’. ඒකත් ලංකාවෙ චූල වංස කතාවක්. ඒත් සත්‍යජිත් මාඉටිපේ ගැහැණිය ගැන තිස්සට වඩා ගොඩක් දන්නවා. ජීවිතේ ගැන සත්‍යජිත්ගෙ තේරුම් ගැනීම විශාලයි. ඒත් කරුමක්කාරයො සිනමා භාවිතය පැත්තෙන් තිස්ස ඉස්සරහින්. ඒක මාර රූප සංයෝජනයක්. එක තැනක අක්කා එකේ ඇඳේ ඉන්න මල්ලිගෙ සීන් එකත් එක්ක කැපෙන්නෙ වේගෙන් පාං බයිසිකලේ පදින මල්ලිව. ඒ අසම්මත ආස්වාදයේ තරම හොඳටම දැනෙන දර්ශන හුවමාරුවක් ඒක. සිනමාත්මක පැත්තෙන් තිස්ස අමරසේකරගෙ ගමේ කරුමක්කාර කතාව ලෝක සිනමාවෙ තැනක තියනවා.
මේ අසූ ගණන් වල අපිට තිබ්බ සිනමාව සහ ජීවිතේට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව මං ජොයින්ට් එකක් පත්තු කළා. දැන් අපි හදන්නෙ කොටළු චිත‍්‍රපටි. ඒවා වඳයි. වඳ ඒවා රැුක ගන්න යුරෝපීය රටවල් උදව් කරනවා තමයි. ඒත් මේ තරං හුස්ම ගන්න සිනමාවක් තිබුණු අපි, අපිවම පරාරෝපණය කර ගත්තු සිනමාවකට ගියේ කොහොමද? අසූව කියන්නෙ ලංකාවෙ විශිෂ්ටතම චිත‍්‍රපටි හැදිච්ච කාලයක්. පාර දිගේ, එක් ටැම් ගේ, දඩයම මේ වගේ තව ගොඩක්. ඊට පස්සෙ අනූ ගනන් වලදි අපි මේ පරාරෝපිත අවකාශෙට ඇතුල් වෙනවා. අද අපි විකල්ප සිනමාවෙ දැවැන්තයො කියල අදහන ගොඩක් අය මේ පරාරෝපිත සිනමාවෙ නිර්මාර්තෘවරු. සමහර විට ඒක තේරුම් ගන්න බැරි වුණු සමාජ දේශපාලන අවකාශෙ වෙන්න පුළුවන්. ඒත් සිනමාව අපෙන් එන්න එන්නම දුරට යන්න ගත්තා. අන්තිමට අපේ සිනමාව අන්තර්ජාතික සිනමාවක් වුණා. යුරෝපෙට  ඕන බඩු නිපදවා අපනයනය කරන කර්මාන්තයක්.

 දෙවෙනි පිටුවෙ අන්තිම. දැන් මං කතා කරන්නම කැමති කොටස. උපාලි අත්තනායක කරන අයියාගෙ චරිතෙ. මේ අයියා ගමෙන් සල්ලි හොයන්න සිදාදියට ආපු තරුණයෙක්. සිදාදියේ ජීවිතේ විසින් ඒ පිරිමියාගේ ශෘංගාරය එහෙම්පිටින්ම අහිමි කරනවා. නගරය විසින් තරුණියව ශෘංගාර කලාපයක් කරද්දි ඒ නගරයේ තරුණයාව නපුංසකයෙක් කරනවා. ගමේ හැමෝම අක්කාගේ සරාගිකත්වයෙන් කැළඹෙද්දි අයියා යන්තමින් වත් නොසැලෙන්නෙ ඒකයි. මේ නපුංසකයා හැමදෙයක් ගැනම දැනුවත්. ජීවිතේ ලොකු තාප්පවල වාහනවල හැප්පිච්ච මිනිහෙක්. මේක මට අමරසේකරට වඩා තිස්ස විසින් නිර්මාණය කරන චරිතයක්. මේ චරිතෙ එයාගෙ ගොඩක් කතා වල එනවා. මහගෙදර තිස්ස අබේසේකරම ර`ගපාන්නෙ මේ චරිතය. විරාගයෙ අරවින්ද වෙනකල් වැඩෙන්නෙ මේ එකම චරිතය. මේක තිස්සගෙන් ජීවිතය ගැන තමන්ගෙ බාර ගැනීම කියවෙන තැනක්.

මේ නපුංසකයා එක්ක ජීවිතේ අත්ඇරලා යන අනිත් අන්තය මුණගැහෙනවා. පැවිද්ද. ඒ පලා යාම බාර ගන්න යද්දි අයියා ආයිමත් තමන්ගෙ ගෑණි එක්ක නිදා ගත්ත මේ මල්ලිව හෙයාගෙන එනවා. එයා කියනවා, ‘බලපං අක්කයි මායි..අපි ජීවිතෙන් පැනලා ගියේ නෑ..අපි ජීවිතේට මූණ දුන්නා..’ අසූ ගණන් වලදි අපේ සිනමාව යෝජනා කළේ නැවත ජීවිතය. ඒත් අද අපි සිනමාව ඇතුලෙ නැවත නැවත යෝජනා කරන්නෙ මරණය..
මේ තිර පිටපත ලියවෙන අවබෝධය ඇතුලෙ හැම චරිතයක්ම පුදුම හිතෙන තරමට බැලන්ස් වෙනවා. ගෙදර අක්කාගෙ (නෑනා නෙමෙයි) චරිතය ගේන හැටි හරිම සියුම්. ඒක චිත‍්‍රපටිය ඇතුලෙ නොපෙන්නා කියන කතාව. සිදාදියෙන් ආපු අක්කා ගෙදර බින්න බහිද්දි ගෙදර අක්කා සිදාදියේ ගණිකාවකගේ තැන වෙනකං යනවා. ගෙදර පියා සහ සහෝදරයින් එකම ගෑණිව අඹු කර ගැනීමේ අපචාරය දරන්න බැරි තැන අක්කා ගමේ මුදලාලිගේ ගෙදර ගිහින් නවතිනවා. මුදලාලි පළවෙනි වතාවට අක්කා ළ`ගට එන සිදුවීම තිස්ස ගොඩනගන විදිහට මගේ ඇ`ග හිරි වැටුණා. ඒ රිද්මය.. ‘මට නැති වෙන්න දෙයක් නෑනෙ මහත්තයා’ ඒ දෙබස් කියවෙන ටෝන් එක හීනෙන් පවා බය ගන්නන සුළුයි.  තිස්ස ගෑණු ගැන දන්න දිග පළල යන්තමින් වත් එළි කරන්නෙ අක්කාගෙ චරිතය කියලයි මං හිතන්නෙ. ගීතාගේ චරිතය ශෘංගාරය ඇතුලෙ විනාස වෙද්දි තිස්ස මේ චරිතෙ ගොඩ දා ගන්නවා.

මුල දුර රූපෙ ඉඳන් සමීප රූප වලින් දිග හැරිච්ච ෆ්ලෑෂ් බැක් එක නිමා කරමින් අන්තිමට ආයිමත් දුර රූපෙකට එනවා. ඒ විජේ පැවිදි වෙන තැන. මේ ආකෘති හරඹය මාර විදිහට වැඩ කරනවා. කුණ්ඩලකේශී කතාව වගේ පටන් ගන්න ෆිල්ම් එක අවසානයෙදි ඒ ධර්ම පද්ධතියටම අභියෝග කරනවා. ඒක ජීවිතේ ගුටි කාලා ඉගෙන ගත්තු නාගරික නපුංසකයෙකුගෙ අභියෝගයක්. ඇතිවීම නැතිවීම දරා ගන්න බැරිව විජේ වගේ අය ථේරවාදී බුදුන් ළ`ග හැකිලෙද්දි, ඇතිවීම නැතිවීම විඳවීම ඇතුලෙන්ම අවබෝද කර ගත්තු අයියා මහායාන බුදුන් දක්වා විශාල වෙනවා. මට තිස්සගේ තරුණකම දැනෙන්නෙ මේ මතවාදී පරාසයන් හින්දම.
ෆිල්ම් එකේ සංගීතය ෆිල්ම් එකේ පිහිටීම ගැන හොඳ සංඥාවක් දෙනවා. ඒක හරිම රොමාන්තික නාගරික සංගීතයක්. පේ‍්‍රමසිරි කේමදාස මේ සංගීතෙ රෝගී වියුක්ත අඩිවයක් වෙනකං අරං ගියා. මේ වෙද්දිත් අපේ සිනමාවෙ මාරයි කියල හිතන්නෙ ඒ අද්භූත සංගීතය. කරුමක්කාරයො චිත‍්‍රපටියෙ පසුබිම් සංගීතය කරුමක්කාර සංගීතයක් නෙමෙයි. ඒක වාදනය වෙන්නෙ ජීවිතය පැත්තෙ ඉඳලා. ටිකක් වැඩිපුර එළලා තිබුණ. ඒත් ඒක හරි අදහසක් ඇතිව කරපු සංගීතයක්.

මං ඉපදිලා අවුරුදු කීපෙකින් මැරිච්ච ඒ දැවැන්ත සිනමාකරුවාගේ පළවෙනි වැඬේ අන්තිම ටයිට්ල් එකත් යනකං මං බලන් හිටියා. තනියම කොම්පියුටර් තිරේ ඉස්සරහ නැගිටලා තනියෙං හෙමින් අත්පුඩියක් ගැහුවා.
හු`ග කාලෙකට පස්සෙ මං ඇත්ත සිනමාවක් ඉස්සරහ පේ‍්‍රක්‍ෂකයෙක් වුණා.

-චින්තන ධර්මදාස

ගාන්ධිගේ දරුවෝ නොහොත් විෂ්ණු වාසු ගේ තහනම් කට උත්තරය 2


විෂ්ණු එක්ක ඉතුරු කතාව තව ගොඩක් දිගයි. අකමැත්තෙන් වුණත් මට වුණා සමහර ඒවා කොට කරන්න. මං අකමැතිම දෙයක් ඒක. සහ පුළුවන් තරම් මගේ මැදිහත් වීම අවම කරන්න. ඒක පිටුවක ඉඩ ගැන ආර්ථික ප‍්‍රශ්නයක්.
විෂ්ණු- මට ඇත්තටම ලස්සන ජීවිතයක් හම්බ වුණා. මං මට  ඕන විදිහට ජීවත් වුණා. කවදාවත් අනිත් මිනිස්සු මොනවද මං ගැන හිතන්නෙ කියල දැනගන්න මට  ඕන වුණේ නෑ. මං දෙවි දේවතාවියො පස්සෙ ගියෙ නෑ.

ප‍්‍රශ්නය- ඒ කියන්නෙ ඔයාට හින්දු හෝ බෞද්ධ හෝ විශ්වාස නැද්ද?
විෂ්ණු- නෑ නෑ. ඒක මෙහෙමයි. මං ගරු කරනවා. ඒවායෙ ඇත්තක් නැත්තං අවුරුදු දහස් ගාණක් පවතින්න විදිහක් නෑනෙ. ප‍්‍රශ්නෙ මේකයි. මං තාම බොළඳයි. මට ඒ ගැඹුරු දේවල් තේරෙන්නෙ නෑ. මට තේරෙන කාලෙක විශ්වාස කරන්නං. රෙස්පෙක්ට් කර ගෙන ඉන්නං දැනට. මං කෝවිල් යනවා. මං යන්නෙ මියුසික් අහන්න. කෝවිල්වල ඒ ගොල්ලො ක්ලැසිකල් කර්නාටික් සංගීතය වාදනය කරනවා. මං පන්සල් යනවා. වඳින්න මොකකටවත් නෙමෙයි. සෙන`ග නැති වෙලාවට බෝ ගහ යට ඉඳගෙන ඉන්න මං ආසයි. මට  ඕන විෂුවල් ටෝටැලිටි එකක් (සමස්තයක්). මං ආගම් වලට ගොඩක් දුරින් ඉන්නෙ.
මට චිත‍්‍රපටියක් හදන්න පුළුවන් කියලා මං දැනගත්තෙ කොහොමද දන්නවද?
ගොඩක් අය ෆේස් බුක් එකෙන් ?ට කන්නෙ මොනවද, අඳින්නෙ මොනවද වගේ දේවල් ෂෙයාර් කරද්දි මං ලෝකෙ ෆිල්ම්මේකර්ස් ලා මියුසික් කරන අය එක්ක සම්බන්ධතා හදා ගත්තා. මෙහෙම ඉන්නකොට 2008 මට කෝල් එකක් ආවා ඇමෙරිකාවෙන්. ‘එඞී කලන්’ කියලා ගෑණු කෙනෙක්. එයා ඩිස්කවරි වගේ චැනල් වලට ඩොකියුමෙන්ට්රි කරනවා. සීඑන්එන් එකේ එහෙම ප්‍රෝග‍්‍රෑම් ඩිරෙක්ට් කරනවා. එයා යාලූවෙක් ගෙන් මගේ ගැන දැනගෙන වෙබ් එකේ මං ගැන ටිකක් කියවලා මට කතා කළා. එයා ඇහුවා, ‘මං ඉන්දියාවෙ ඩොකියුමෙන්ට්රි එකක් කරනවා, උඹ කැමතිද වැඩ කරන්න?’ කියල.
එයා ඇහුවෙ එයාගෙ වාර්තා චිත‍්‍රපටියෙ පළවෙනි කැමරාමන් විදිහට වැඩකරන්න. ඒත් මං අග‍්‍රගණ්‍ය කැමරා ශිල්පියෙක් නෙමෙයි.

ප‍්‍රශ්නය- කලින් කැමරාව එක්ක වැඩ කරලා තියෙනවද?
විෂ්ණු- ඔව් ඔව්..35මිමි නෙමෙයි. වීඩියෝ කැමරාව මට පුරුදුයි. මං තනියම ඉගෙන ගත්තා. එක එක අයගෙන් ප‍්‍රායෝගිකව දේවල් ඉගෙන ගත්තා. 2008 වෙද්දි නං මට මගේම කැමරාවක් තිබුණ. මං කලින් දලයි ලාමා ගැන ෆිල්ම් එකක් කළා. ඒකත් ඒ ගොල්ලො බලලා තිබුණ. ඒ ගොල්ලො මට කිව්වෙ ‘අපිට  ඕන ඉන්දියාව ගැන ෆීල් එක තියෙන කෙනෙක්’ කියල. ඒක ස්ලේවරි (වහල්බව) ගැන ෆිල්ම් එකක්. ‘ෆ‍්‍රී ද ස්ලේව්ස්’ කියන සංවිධානෙට තමයි ඒ ෆිල්ම් එක කළේ. එඞීයි මායි විතරයි හිටියෙ.
මේ ෆිල්ම් එක කරද්දි මං දැක්කා මේ අපි දකින බොලිවුඞ් වලින් වලින් එහාට ඉන්දියාවෙ ඇත්ත කතන්දරේ මොකක්ද කියල. උදා විදිහට අපි දකිනවනෙ නාගරික දුප්පත්කම. නගරෙදි මේ දුප්පත්කම මැද පංතිය සහ සල්ලි තියෙන අය නිර්වචනය කරනවා වෙන විදිහකට.
‘මේ මිනිස්සු ගමට වෙලා ඉන්නෙ නැතුව මොකට එනවද මන්ද නගරෙට. ඇවිත් හි`ගා කනවනෙ’.
ඒත් ගමට ගියාම තමයි තේරෙන්නෙ ඇයි මේ මිනිස්සු නගරෙට එන්නෙ කියන එක.

ප‍්‍රශ්නය- මොකක් හින්දද?
විෂ්ණු- හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ගම නාගරීකරණය වෙන එක. කර්මාන්ත ගමට යනවා. ඒ ගිහින් මේ කර්මාන්ත වලට අක්කර ගණං ගන්නෙ මේ දුප්පත් මිනිස්සුන්ගෙ ඉඩම්. ඒවා තුට්ටු දෙකට පවර ගන්නවා. විශේෂයෙන් ඉන්දියාවෙ ආදිවාසිකයන් ගත්තොත් මේ අය සාම්ප‍්‍රදායිකව මේ ඉඩම් වල වැඩ කරපු අය මිසක් ඒවට ඔප්පු තිරප්පු ඒ අය ළ`ග නෑ. අවුරුදු සිය ගාණක් පරම්පරාවෙන් පරම්පරාවට ආපු මේ ඉඩම් දරුණු විදිහට කොල්ල කනවා. පාරවල් දාන්න, රත්තරං, තඹ කැණීම් වලට, එක එක දේවල් වෙනුවෙන් මේ ඉඩම් කොල්ල කනවා. මං ‘ඒක්ටා පර්ශද්’ කියලා සංවිධානයක් එක්ක වැඩ කළා එහෙදි. ඒ ගොල්ලො මේ ආදිවාසිකයන්ගෙ ඉඩම් කොල්ලකෑමට විරුද්ධව වැඩ කරන කට්ටියක්. ඒ ගොල්ලො මට පෙන්නලා දුන්නා විදි ගණනාවකින් මේ දේ සිද්ද වෙන හැටි.
සරලම විදිහක් තමයි මිනිස්සු කුඹුරු කරලා අස්වැන්න කපන්න ඔන්න මෙන්න තියෙද්දි කොහෙන් හරි ආපු කට්ටියක් කියනවා ‘මේ ඉඩම් අයිති අපිට. මෙන්න ඔප්පු කියල’. එහෙම කියලා අස්වැන්න කපාගෙන යනවා. සමහර විට අස්වැන්න කපලා ගෙට ගත්ත ගමන් ඇවිල්ලා අයිතිය කියලා අස්වැන්න අරන් යනවා. සමහර වෙලාවල් වල මුලූ ගමටම ගිනි තියනවා. එහෙම වුණාම ඒ ගොල්ලොන්ට යන්න තැනක් නෑ. ඔන්න එතකොට ලොරියක් ඇවිත් ‘අපේ අන්න අරහෙ ඉඩම් තියෙනවා. ඒවායෙ ඉන්න පුළුවන්’ කියලා දාගෙන යනවා. තමිල්නාඩුවෙ මිනිස්සු ගෙනිහිල්ලා බස්සන්නෙ ඔරිස්සා වල නැත්තං පන්ජාබ් වල. භාෂාවක් දන්නෙ නෑ මේ මිනිස්සු. සම්පූර්ණයෙන් වහල්ලූ විදිහට වැඩ කරනවා. මං ඇස් දෙකට මේ දේවල් දැක්කා. ඒ මිනිස්සුන්ට යන්න බෑ. ජුන්ටලා වටේ ඉන්නවා. ඒ කෑල්ලෙ ඉන්න  ඕනි. දවසෙම වැඩ කරනවා රුපියල් සීයයි දෙන්නෙ. මේ තැන් හතරවටෙන්ම හුදකලා තැන්. කිසි පහසුකමක් නෑ. පාරක් වත් නෑ.

ප‍්‍රශ්නය- මොනාද මේ මිනිස්සු කරන වැඩ?
විෂ්ණු- කුඹුරු වල වැඩ කරනවා. ගල් කඩනවා. ගඩොල් කපනවා. ළමයෙක් අසනීප වුණත් අරන් යන්න තියෙන්නෙ ඉඩම් අයිතිකාරයාගෙ ගෙදරට. බඩු ගන්න තියෙන්නෙ එයාගෙ කඩෙන්. මේ සල්ලි ආයිමත් යන්නෙ එයාටමයි. වැඩ කරනවට පිරිමින්ට රුපියල් සීයක් දෙනවා. ගෑණුන්ට දෙන්නෙ හාල් කිලෝ එකයි. ළමයගෙ අසනීපෙට දෙනවා පැනඩෝල් පෙති දෙකක්. දීලා කියනවා ‘මේකට රුපියල් දෙසීයයි. දවස් දෙකක කුලී උඹෙන් කැපෙනවා’ කියල. ඔය විදිහට සමහර මිනිස්සු ඉන්නවා මුලූ ජීවිත කාලෙම අරගෙන බැලූවත් ඒ ණය ගෙවාගන්න බෑ.

ප‍්‍රශ්නය- ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නැද්ද?
විෂ්ණු- ආණ්ඩුව පුළුවන් තරම් දේවල් කරනවා. ඒත් විශාල රටක් නෙ. මේක මහා පරිමාණෙන් සිද්ද වෙනවා. සමහර විට මං ගිය තැන් ආණ්ඩු දන්නෙත් නැතුව ඇති. සමහර කාලවල අස්වනු කැපුවට පස්සෙ මේ මිනිස්සුනට වැඩ නෑ. අනුන්ගෙ ඉඩම්වලනෙ වැඩ කරන්නෙ. හැතැප්ම ගණන් දුර යනවා කුලී වැඩ හොයාගෙන. බඩගින්න ඉවසන්න බැරි තැන මීයො මරාගෙන කනවා. මේක මගේ ෆිල්ම් එකෙත් තියෙනවා. ඒ මීයො මරාගෙන කන මිනිස්සුන්ට කියන්නෙ ‘මුෂාහර්’ කියල. ඒක කුල ක‍්‍රමයෙ හැටියට පහළ එකෙත් පහළම එක.
මේ වහල් සේවෙ එක එක විදි තියෙනවා. ටවුන් වල අපේ ගෙවල් සුද්ද කරන්න මිනිස්සු එනවනෙ. ඔක්කොම වැඩ කරලා ඒ මිනිස්සුන්ට රුපියල් දහයයි දෙන්නෙ. ඒකත් වහල් සේවයක් තමයි.

ප‍්‍රශ්නය- කොහොමද මේ තැන් වලට ඇතුල් වුණේ?
විෂ්ණු- සංවිධාන තියෙනවා මේ ළමයි එක්ක එහෙම වැඩ කරන. එක එක ෆන්ඞ්ස් වලින් සමහර වෙලාවට ඉස්කෝලයක් හදන්න, ගැබිණි අයටයි, පොඩි ළමයින්ටයි කැඳ කෝප්පයක් දෙන්න වගේ දේවල් හරහා එක එක සංවිධාන මේ අය එක්ක වැඩ කරනවා. ඒ අය හරහා තමයි ගියේ.

ප‍්‍රශ්නය- එඞී එක්ක හදපු චිත‍්‍රපටියට මොකද වුණේ?
විෂ්ණු- ඒ ෆිල්ම් එක ඒ ගොල්ලො ඇමරිකාවෙ පෙන්නුවා ‘නේපාල් රයිසින්ග්’ කියල. පස්සෙ ඒ ගොල්ලො සීඑන්එන් එකත් එක්ක මේ ගැන කතා කළා. ඊට පස්සෙ තමයි දැන් ඔය සීඑන්එන් එක කරන වහල් අය බේරගන්න කැම්පේන් එක පටන් ගත්තෙ.
රිකී බයස් කියලා ප‍්‍රසිද්ද ජෑස් සින්ගර් කෙනෙක් ඉන්නවා ඇමරිකාවෙ. අපි එහේ ඉන්නකොට රිකී ආවා. ඇවිත් මේ ළමයි එක්ක එයා සිංදුවක් කළා. මේ වීඩියෝ එක එම්ටීවී එකට රිලීස් වුණා. ඒක ඉතින් ලොකු කතන්දරයක්නෙ. ඒකෙන් ලොකු දැනුවත්වීමක් ලෝකෙ පුරාම සිද්ද වුණා.
මට ඒ වෙලාවෙ හිතුණ මං දකින කතන්දරත් මේ විදිහට එලියට අරන් එන්න  ඕන කියල.

ප‍්‍රශ්නය- ඒ කතන්දරද විෂ්ණු ගෙ චිත‍්‍රපටියෙ තියෙන්නෙ?
විෂ්ණු- ඔව්. මේකෙ තියෙන්නෙ කතන්දර හතරක්. ඒ හතර තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයො පදනම් කරගෙන. එකක් මිනිස්සුන්ගෙ ඉඩම් අයිතිය නැති වෙන එක ගැන කතාවක්. තවත් එකක් මිනී පුච්චන තැනක ගංගා නම් ග`ග අයිනෙ අළු සෝදන චෞද්‍රි කියන කාන්තාව ගැන කතාව. අනිත් එක මේ ග`ග හරහා එහා මෙහා ඔරුව පදින පළතුරු වෙළෙන්දියක් ගැන කතාවක්. එයාට ජීවත් වෙන්න විදිහක් නැති කොට කතෝලික පල්ලියෙන් කියනවා දෙවියන් වහන්සේට පුළුවන් ඔයාට උදව් කරන්න කියල. ඒ ගොල්ලො පොඩියට ගෙදර හදා ගන්න එයාට උදව් වෙනවා. ඒක හින්ද එයා කතෝලික ආගමට බැඳෙනවා. ඒ වුණත් එයා ගෙදරින් එලියට බහින්නෙ හින්දු විදිහට පොට්ටුව තියල. ගෙ`ගන් එගොඩ වෙලා පල්ලිය තියෙන පැත්තට යද්දි එයා හෙමීට මේ මොට්ටුව මකා ගන්නවා. එයා පල්ලියෙන් තව උදව් ඉල්ලනවා. පල්ලිය උදව් කරන්නෙ නෑ. ඒ පාර එයා පල්ලියෙන් අයින් වෙලා හින්දු තවත් ගුරු කෙනෙක් පස්සෙ යනවා. ඒක මිනිස්සුන්ගෙ ආත්මීය අරගලය ගැන කතාවක්.

තව කතාවක් තියෙනවා කොකා කෝලා කොම්පැණිය කේරලේට ගිහින් කරපු මහා විනාසයක්. මේවා බහු ජාතික සමාගම්. මේ කොකා කෝලා කොම්පැණිය හින්ද ඒ පළාතෙ වතුර අපිරිසිදු වෙලා දැන් ඒ මිනිස්සු කිලෝමීටර් ගණං ඇවිදිනවා බොන්න වතුර ටිකක් හොයාගෙන.

මේ කතා තමයි මගේ චිත‍්‍රපටියෙ තියෙන්නෙ. ගංගා නම් ගගේ මිනී අළු හෝදන චෞද්‍රිගෙ අතින් කවුරුවත් වතුර ටිකක් වත් ගන්නෙ නෑ. මේක කුලයක්. පවුලෙන් පවුලට මේක එනවා. ඒ ගොල්ලො මිනිය පිච්චුනාම මේ අළු වතුරෙ හෝදනවා. ඒ හොයන්නෙ රත්තරං දතක්, කරාබුවක් වගේ දෙයක් ඉතුරු වෙලා තියෙයිද කියල.

ඒ දේවල් ඉතින් අපිට  ඕන වෙලාවට ප්ලෑන් කරලා ෂූට් කරන්න බෑ. දවල් දොළහට තමයි එතනට කවුරුවත් එන්නෙ නැති වෙලාව. ටොප් ලයිට් එකේ. මං ෂූට් කළා. ඒ වගේ ජෙනුයින් කැමරා වර්ක් එකක් තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නෙ. ට‍්‍රයි පෝඞ් එකක් කොහේවත් පාවිච්චි කරලා නෑ.

වායෝ කතන්දරේ එන්නෙ ගෝපාල් වල. ගෝපාල් යූනියන් කාබයිට් ෆැක්ටරියෙ ගෑස් ලීක් එකෙන් මිනිස්සු මැරුණා. අවුරුදු 25 ක් ගිහිල්ලත් තාම ඒ මිනිස්සුන්ට වන්දි ගෙවලා නෑ. ඒ මිනිස්සු අදටත් මාසෙකට දවසක් වත් මේ වෙනුවෙන් පෙළපාලි යනවා. එදා අවුරුදු 50 මිනිස්සු අද අවුරුදු 75ක් විතර. හම රැුළි වැටිලා, කෙස් සුදු වෙලා ඒත් මේ බෝඞ් අරගෙන පාරට බහිනවා. මං ඒවා ෂූට් කළා. අද වෙන කොටත් මේ ෆැක්ටරිය ඇතුලට කාටවත් යන්න දෙන්නෙ නෑ. අර ගෑස් වල විෂ තාම තියෙන්න පුළුවන් කියලා. මං කොහොම හරි සම්බන්ධතා හදාගෙන මේක ඇතුලට රිංගුවා. සමහර විට ඒක වීඩියෝ කරපු අන්තිමයා මං වෙන්න පුළුවන්.
ප‍්‍රශ්නය- ඇයි මේ ෆිල්ම් එකට ලංකාවෙ තහනමක් එන්නෙ?

මේ ෆිල්ම් එක හදද්දි මට ගොඩක් එරියස් තියෙනවනෙ. ගොඩක් දේවල් කියන්න තියෙනවා. පිළිවෙලට චිත‍්‍රපටි පාසැලකට ගිහින් චිත‍්‍රපටි ඉගෙන ගත්තෙ නැති, යූ ටියුබ් එකෙන්, වෙන චිත‍්‍රපටි හොයාගෙන බලලා පළවෙනි ෆිල්ම් එක හදන  ඕන කෙනෙකුගෙ මේ එරියස් ටික පේනවා. මගේ ජීවිතේ ලොකු එරියස් එකක් තිබුණ මාව අවුරුදු දහතුනේදි අතවරයට ලක් වුණා කියල කියා ගන්න . මට ඒක කියල ඉවර කරන්න  ඕනි. මං ඒක ෆිල්ම් එකේ කියනවා.


I was born in 23rd of june in 1962
To a country full of hypocrites
Third class politicians
And Buddhist monks…
My childhood was a misery
Infact I never had a childhood
Shifting my focus as often as Russian weather
I was aimless
I had my very first sexual encounter
With an old monk
Who was five times of my age
Behind a giant Buddha statue.


මං ෆිල්ම් එක පටන් ගන්න කොට කියන ඔය මගේ කතාව තමයි මේ ආන්දෝලනයට හේතුව..

(මං අන්තිම ප‍්‍රශ්නෙ ඇහුවා)
ප‍්‍රශ්නය- ඔයාව ඇබියුස් කරපු හාමුදුරුවො ගැන දැන් තියෙන්නෙ කොහොම හැ`ගීමක්ද?
විෂ්ණු- මං පිං දෙනවා. මොනා වුණත් මට කන්න දීලා උගන්නලා කරපු උදව් වලට. මට කිසි තරහක් නෑ. මට  ඕන මේක කියලා නිදහස් වෙන්න.

-චින්තන ධර්මදාස



ගාන්ධිගේ දරුවෝ නොහොත් විෂ්ණු වාසු ගේ තහනම් කට උත්තරය


ජීවිතේ කියල අපි හැමෝම නගින්නෙ එකම බස් එකක නෙමෙයි. සමහරු මහ පාර වෙනුවට අතුරු පාරවල් තෝර ගන්නවා. තවත් අය ග`ග දිගේ ඔරුවල එන්න ගන්නවා. වැරදීමකින් හරි දැනගෙන හරි වෙනස් වෙනස් පාරවල් වලින් ජීවිතේ වෙනස් වෙනස් ගතවීම් නිර්මාණය වෙනවා. මහපාරෙ යන අපිට හිටි ගමන් ඒ වෙන පාරවල් වල ආපු අය හන්දි වලදි මුණගැහෙනවා. ඒ මුණගැහීම් හරියට ප‍්‍රබන්ධ වගේ. ජීවිතේ ගැන අපේ කාටීසියානු තලය ඒ මුණගැසීම් හින්ද අවුල් වෙනවා. විෂ්ණු වාසු මට ඒ විදිහෙ මුණගැහීමක්.
ඒ වගේ කතා බහ වලදී දිශානතියක් තියා ගන්න බෑ. ඒ වෙනුවට දියපාරක් දිගේ වගේ ඔහේ ගලාගෙන යන්න වෙනවා. ඒක වචන වලට එහා යන අත්විඳීමක්. වෙනස් ජීවිත මිටියාවතක ඉවුරෙ ජොයින්ට් එකක් පත්තු කරන් මං බලන් හිටියා.

(මේ ලියුම ලියන්න ගත්තෙ ලබන සතියෙ 06 වෙනිදා විෂ්ණුගේ චිත‍්‍රපටිය රුසියානු කේන්ද්‍රයේ පෙන්නන්න තිබුණු හින්ද. ඒත් උඩ ෙඡ්දෙ ඉවර වෙද්දිම විෂ්ණු කෝල් කළා. ඉන්දියානු තානාපති කාර්යාලය විසින් රුසියානු කේන්ද්‍රයට දැනුම් දීලා ඒ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය ඉන්දියාවට හානියක් කියල. ඊට කලින් මහ නායක හාමුදුරුවරු මේ චිත‍්‍රපටිය ‘කැන්ඩි’ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ඉවත් කරන්න බල කළා. මොනවා වුණත් දැන් 06 වෙනිදා චිත‍්‍රපටිය ස්ක‍්‍රීන් වෙන්නෙ නෑ. ඒක හින්ද මට මේ ලියමන එක සතියකින් අවසන් කරන්න කියල සීමාවකුත් නෑ. ඒ වෙනුවට අපේ ඉබාගාත සල්ලාපයේ සංස්කරණය නොකළ වර්ෂන් එකක් මං ලියාගෙන යනවා)

මම- මං ඉස්සෙල්ලා දැනගෙන හිටියෙ ක‍්‍රිෂ්ණ ව. ඒ ඝටම් එකත් එක්ක. කොහොමද ඝටම් ක‍්‍රිෂ්ණා විෂ්ණු වාසු වුණේ?
විෂ්ණු-  ඝටම් තමයි මං මාස්ටර් කරපු ඉන්ස්ට්රුමන්ට් එක. ඉන්දියාවෙ ගිහින් ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ මං මියුසිකොලොජි ඉගෙන ගත්තා. මියුසික් සෝෂියොලොජි. ඊට පස්සෙ මං හොංකොං ගිහින් හිටියා. ඇමරිකාවෙදි ජෑස් පර්කෂන් ඉගෙන ගත්තා.

මම- ඒ කියන්නෙ ඔයාට වියදම් කරන්න සෑහෙන සල්ලියක් තියෙන්න ඇති?
විෂ්ණු- නෑ නෑ.. මං ඉන්දියාවෙ ගිය වෙලාවෙ එහේ හිටපු ඉතාම සුන්දර මනුෂ්‍යයෙක් මුණගැහුන. මට එහේ හු`ගක් කල් ඉන්න සල්ලි තිබ්බෙ නෑ. ඒ මනුස්සයා මාව දරුකමට හදා ගත්තා. විෂ්ණු වාසු කියන නම ගත්තෙ එයාගෙන්. විෂ්ණු කියලා එයා නම තිබ්බෙ. වාසු කියන්නෙ එයාගෙ නම. මං ඒ නමත් එකතු කර ගත්තා. ඒක මගේ නිල නාමය නෙමෙයි. පාස්පෝට් එකේ තියෙන්නෙ මගේ ඒ නම නෙමෙයි.
ඒගොල්ලො හරි පෝසත් මිනිස්සු. කොම්පැණි අයිතිකාරයො. මං එහේ ඉගෙන ගන්න කල් එයා ඔක්කොම වියදම් දුන්නා. මං කොහොමත් හරිම අසාම්ප‍්‍රදායික දේවල් තමයි ඉගෙන ගත්තෙ. මං ඝානාවෙදි ඇෆ්රිකන් මිනිස්සු එක්ක ඒ ගොල්ලොන්ගෙ ඩ‍්‍රම්ස් ඉගෙන ගත්තා. කේරළ කලා මණ්ඩලම් කියන තැනට ගිහින් මං ඉගෙන ගත්තා පංච වාද්‍යම්. පංච තූර්ය වාදන අහලා තියෙනවනෙ. ඒ වගේ එකක්. මං ඒ ගැන රිසර්ච් එකක් කළා. කොහොමත් මං ආසයි දේවල් රිසර්ච් කරන්න. ඊට පස්සෙ මං ග‍්‍රාන්ට්ස් වල ඉඳිද්දිත් පොඞ්ඩක් හරි සල්ලි එකතු වුණ ගමන් ෆෙස්ටිවල්ස් වලට යනවා. මියුසික් ෆෙස්ටිවල්ස් එහෙම අතෑරියෙ නෑ. ඩාන්ස් ෆෙස්ටිවල් වුණත්. මං ඩාන්සින් එහෙම ඉගෙන ගෙන නෑ. ඒත් පොඩි කාලෙදි නුවර හොඳ ගුරුවරයෙක් ගෙන් ටිකක් නැටුම් ඉගෙන ගෙන තියෙනවා.

මම- ඔයා සිංහලද? දෙමළද?
විෂ්ණු- සිංහල. මගේ නම අර්ජුන ක‍්‍රිෂ්ණරත්නම් නෙ. ඒත් මට ඉන්දියානු සම්භවයක් ටිකක් ගෑවිලා තියෙනවා. තාත්තගේ පැත්තෙන්.
ඉතින් මං මේ ෆෙස්ටිවල් වලට යනවා. සමහර විට යුරෝපයේ පවා. මං ඩාන්සින් වලට හරි කැමතියි. ඒත් මේ රටේ කවුරුවත් එහෙම සීරියස් ඩාන්සින් රිසර්ච් එකක් කරලා නෑ. මෙහේ මිනිස්සු හරියට කොටු වෙලා. මට තියෙන ලොකුම ප‍්‍රශ්නෙ මෙහේ ලංකාවෙ කියන ආර්ට් වලට විතරක් සීමා වෙලා තියෙන එක. මේකෙන් එළියට ගිහින් ඒවාගෙන් ගන්න බයයි. ගන්න එක පැත්තකින් තියමුකො. ආර්ටිස්ට් කෙනෙක් විදිහට දේවල් බලන්න  ඕන නෙ.

අනිත් දේ තමයි මං කැමති නෑ මිනිස්සු මාව මියුසිෂන් කෙනෙක් කියලා හඳුන්වනවට. ෆිල්ම්මේකර් කෙනෙක් හරි නැටුම් විචාරකයෙක් හරි වුණත් එහෙමයි. මට  ඕන නෑ මේ වගේ සාම්ප‍්‍රදායික හැඩයකට මගේ ජීවිතේ සීමා කරන්න.

මම- කාලෙකින් මං දැක්කෙ නෑ ඔයා ඝටම් ප්ලේ කරනවා
විෂ්ණු- නැවැත්තුවා. මං මොකටද ඒකට ඇළිලා ඉන්නෙ. මං ජීවත් වෙන්නෙ සංගීතෙ කරලා නං..හෝටල් වල ප්ලේ කරලා හරි, බෑන්ඞ් ගහලා හරි, සංගීත සංදර්ශන කරලා හරි නං මං ජීවත් වෙන්නෙ මට ඒක දිගටම කරන්න වෙනවා. මට එහෙම නෑ. මං සංගීතෙ කරලා හම්බුකරන සල්ලි වලින් කවදාවත් ජීවත් වුණේ නෑ.
මං ඇඞ්වර්ටයිසින් ඒජන්සියක ක‍්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. ලොකු පඩියක් ගත්තා මං. එතකොටත් මං වෙනස් දේවල් කළා. ඉස්සෙල්ලම ඇඞ් ඒජන්සියකට සරමක් ඇඳලා ගියෙ මං. ධර්ම ශ‍්‍රී මුණසිංහ මහත්තයා ෆීනික්ස් එකට රේඩියෝ කොමර්ෂල් ලියන කොට එයා සරම ඇඳන් ආවා. මං ග‍්‍රාන්ට්ස් එකට වේට්ටියයි කුර්තා එකයි ඇඳලා ගියේ. මේ බාබරා සන්සෝනි සරම් නෙමෙයි. මීටින්ස් වලට යනකොට සමහර වෙලාවට මාව හංගනවා. මුල් කාලෙදි. ඉතින් මාත් මීටින්ස් තියෙන දවසට උවමනාවෙන්ම සරම ඇඳන් යනවා.

ඉස්සෙල්ලම කොට කලිසමක් ඇඳන් ඒජන්සියක වැඩට ගියෙත් මං. ‘මාව මං විදිහට පිළිගන්න’ ඒකයි. මට ඒක කරන්න පුළුවන් වුණා. ඒ මං දක්ෂ හින්ද. මං දැනගෙන හිටියා මං දක්ෂයි කියල. පළවෙනි ස්ලිම් අවෝර්ඞ්ස් වලදි හොඳම කොමර්ෂල් එක වුණේ ‘පෑදි දියට බොර දිය එක් වෙන්න එපා’ කියන එක. ඒක මගේ කන්සෙප්ට් එකක්. රොහාන් පියදාස තමයි ඒ ලයින් එක ලිව්වෙ. කේමදාස මාස්ටර් මියුසික් කළා.
පළවෙනි පෝලියෝ ඇඞ් එක කරෙත් මම. රොහාන් පියදාස තමයි ඒකෙත් කොපි රයිටර් හිටියෙ. එයා ජින්ගල් එක ලියලා හිරවෙලා හිටියෙ. මං කිව්වා, නීලා වික‍්‍රමසිංහ කියන්නෙ පෝලියෝ හැදුණ කෙනෙක්. එයාගෙන් මේකට එනවද අහන්න, මං කොමර්ෂල් එක ලියන්නං කියලා. එහෙමයි ඒක වුණේ. අද ගොඩක් අය මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට කමක් නෑ. මං කොහොමටත් පබ්ලිසිටි ඇනිමල් කෙනෙක් නෙමෙයි.

මම- ඇයි ඇඞ්වර්ටයිසින් දාලා යන්න හිතුණෙ?
විෂ්ණු- එක කාලයක් වෙනකොට, ඒ කියන්නෙ දෙදාහෙ අවුරුද්ද වගේ වෙද්දි මට හිතුණ ඇඞ්වර්ටයිසින් ලංකාවෙ හරි බෝරිං වේගෙන එනවා කියල. ඒ කාලෙ තිබුණ යම් සදාචාරයක් වගේ දෙයක් තිබුණ මේකෙ. අපි ටීවී එකට ලියන කොමර්ෂල් එකක් වුණත්, එතන හිටියා සමරනායක මහත්තයා කියල කෙනෙක්. එයා නණලළ හදලා එවනවා ආපහු. මේ ටීවී කොමර්ෂල් එකක. ඒත් එයා හරි ආදරෙන් තමයි ඒවා කළේ. ඉඳිද්දි අපිට හරි කරදරයක් වගේ වුණාට එයා ගියාට පස්සෙ තමයි අපිට ඒ මනුස්සයගෙ වටිනකම දැණුනෙ.
සමහර වෙලාවට මහ පිස්සු දේවලූත් තිබුණ. මං සිග්නල් එකට කළා ‘ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලූත් දතක් දියෝ’ කියල කැම්පේන් එකක්. ඒකෙ ඔරිජිනල් කන්සෙප්ට් එක ප‍්‍රකාශ් ජයතිලකගේ. මං ඒකෙ ප‍්‍රකාශ් එක්ක වැඩ කළා. රේඩියෝ එකේ යනකොට එතන වැඩකරපු පටබැඳි කියන එක්කෙනා කිව්වා ‘මේක උදේ කන වෙලාවෙ ගියොත් කන්න අප්පිරියා වෙනවා. ඒක හින්ද ඒක නවත්තන්න කියල’. ඊළ`ගට මගේ කොමර්ෂල් එකක් රිජෙක්ට් කළා කොමර්ෂල් බැංකුවට කරපු. මං තමයි ලිව්වෙ ‘ඔබේ ජය අපේ පැතුමයි’ කියල. මේක රේඩියෝ එකේ ගහන්න බෑ කිව්වා ඒක එස්එල්බීසී එක සුබපතනවා වගේ දැනෙයි කියල. ඒ දවස්වල ලොකු බජට් නෑ. තිස්පන්දාහක් විතර. අපි ඉතින් කියනවා එහෙනං අපි මේ තිස්පන්දහ අරන් වෙන තැනකට යනවා කියල. ඔන්න එතකොට අනුමත කරනවා. එහෙම තිබුණ. ඒත් මේ මිනිස්සු නැති වුණාට පස්සෙ සදාචාරය අතින් ගොඩක් පිරිහුණා මේ තැන්. අමු අමුවෙ ළමයින්ව දාලා බ‍්‍රෑන්ඞ් වල නම් කියන්න පටන් ගත්තා. ප්‍රොඩක්ට් එක ඉල්ලලා බල කරන විදිහෙ ඇඞ් කරන්න ගත්තා.

මේ කාලෙදි මං සර්වෝදෙ ආරියරත්න මහත්තයා එක්ක ගම් වලට යන්න පටන් අරන් තිබුණ සත අන්තෙ. අපි ඇඞ්වර්ටයිසින් කරන අය බම්බලපිටියෙ ඉඳන්නෙ ඇඹිලිපිටියට බඩු විකුණන්න හදන්නෙ. බම්බලපිටියෙ ඉඳන් අපි ඇමිලිපිටියට බිස්කට් විකුණන්න හදනවා. ටූත් පේස්ට් විකුණන්න හදනවා. ඒත් ඇඹිලිපිටියට ගියාට පස්සෙ තමයි ඇත්ත තත්වෙ තේරෙන්නෙ.

ඉතිං මට හිතුණ අපි මේ නීඞ් එක අවශ්‍යතාව මුල් කර ගත් සමාජයක් වෙනුවට ග‍්‍රීඞ්, කෑදරකම මුල්කර ගත් සමාජයක් නේද නිර්මාණය කරන්න හදන්නෙ කියල. ඇඞ්වර්ටයිසින් හරහා. ඒක දැනගත්තට පස්සෙ මට තවදුරටත් මේ වැඬේ කරන්න බැරි වුණා. ඒක නොදැනී ඉන්නකං මට ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒත් මං දැනගත්තා ගම්වල මිනිස්සු මේවා ගැන හිතන හැටි, ඒ ගොල්ලො මේ ගැන කතා කරන හැටි..විශේෂයෙන් පොඩි දරුවන්ට මේවා බලපාන හැටි.

මං හිතුවා මේ ඇති. මේ හැම දේකින්ම අයින් වෙලා ටික කාලයක් ගම්වලට ගිහින් මිනිස්සු එක්ක වැඩ කරනවා කියල. ඔය කාලෙ මං මියුසික් එහෙමත් කරමින් හිටියෙ. මං ගිහින් ගම්වල ළමයින්ට මියුසික් ඉගැන්නුවා. පර්කෂන්.. මං සරණාගත කඳවුරු වලට ගිහින් ඒ කට්ටිය එක්ක වැඩ කළා. ඊට පස්සෙ මං ආයිමත් ඇඞ්වර්ටයිසින් වලට ගියේ නෑ. එකම දේ වුණේ මගේ තාත්තා පෝසත් හින්ද මට ඒ නිදහස තිබුණ.
මම- ඔයා හොඳ උදාහරණයක් සල්ලි ප‍්‍රශ්නයක් නොවුණොත් මිනිහෙකුට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එකට.

විෂ්ණු- ඔව්. මං ඔය විදිහට ස්වේච්ඡුා වැඩ කරමින් හිටියා. ඉන්දියාවෙ වීඩියො ජර්නලිස්ට් කට්ටියක් එක්ක වැඩ කළා. එක්තර් පර්ශද් කියලා කියල සංවිධානයක් එක්ක වැඩ කළා. ගොඩක් සංවිධාන එක්ක සම්බන්ධකම් තිබුණ. මේ හැම දෙයක්ම කළේ නොමිලේ.

2005දි විතර මට හිතුණ දැන් පොඩි විනයක් ජීවිතේට හදා ගත්තොත් හොඳයි කියල. මං චිත‍්‍රපටි කරන්න ගත්තෙ එහෙම. ඒත් මට  ඕන වුණේ නෑ නළු නිළියො දාලා චිත‍්‍රපටි හදන්න. ඇක්ෂන් කට් කියන චිත‍්‍රපටි මට ගැළපුණේ නෑ. මේ තියෙන දේ සිද්ද වෙද්දි, සිද්ද වෙන විදිහ කැමරාවට ගන්නයි මට  ඕන වුණේ. ඩොකියුමෙන්ටරි, ඒක තමයි මගේ විදිහ. පොඩි කාලෙ ඉඳන්ම මට මේ චිත‍්‍රපටි කරන්න ආසාව තිබුණ. මගේ ඔලූවෙ හැමතිස්සෙම විෂුවල් වැඩ කළා.

ඒක තමයි මං මේ කැමරාවක් අරගෙන කළේ. මං හරිම අකමැතියි භූගෝලීය විදිහට මිනිස්සු බෙදා වෙන් කරන එකට. මට  ඕන වුණේ නෑ ගෝලීය සිතියමක් මැද්දට මගේ ජීවිතේ සීමා කරන්න. මං හරි අකමැතියි කියන්න මං ශ‍්‍රී ලාංකික කියල. මොකද ඒ කියද්දිම ඔයා අයිති වෙනවා මේ භූගෝල සිතියමට. ජාතික ගීය යනකොට නැගිටින්න  ඕන වෙනවා.

අපි කොච්චර මේක කඩාගෙන යන්න ගියත් ඒකටත් බාධක තියෙනවා. විශේෂයෙන් වයසට යනකොට. ජාතික ගීයට නැගිටින්නෙ නැති වුණාම අනිත් අයට ප‍්‍රශ්නයක්. මට තියෙන ප‍්‍රශ්නෙ ඇයි ජාතික ගීයට නැගිටින්නෙ කියන එක. මොකක්ද ඒකට හේතුව? ඒක කරනවා නං ඒක තමන්ගෙ හදවතින් කරන්න  ඕන. එහෙම නැතුව මේ භූගෝලීය සාධක නිසා ඒක කරන්න මං ආස නෑ.

මං ලෝකෙ හොඳට ඇවිදලා තියෙනවා. මං රටවල් 47ට ගිහින් තියෙනවා. දැන් මේ ෆේස්බුක් හරහා කරන එක 1970 ගණන් වල මං එරෝග‍්‍රෑම් හරහා කළා. පෙන්පෑල් ලට ලියපු මිනිහෙක් මම. රුපියලයි එරෝග‍්‍රෑම් එක. සති දෙක තුනක් යනවා යන්න. ඔය විදිහට අවුරුද්දටම ලියුම් දෙක තුනයි එහා මෙහා යන්නෙ. හැබැයි එහෙම යාලූවො හිටියා. නෙට්වර්කින් කියන එක ඒ කාලෙ ඉඳලම මට  ඕන වුණා.

ඔන්න උදාහරණයක් විදිහට මං ලයින්ස් ඩාන්ස් කොම්පැණිය ගැන කියවලා තියෙනවා. රවිබන්දු එක්ක මං ඒ ගොල්ලොන්ගෙ වීඩියො බලලා තියෙනවා. ඉතින් මං දවසක් සැනෆ‍්‍රැන්සිස්කෝ වල ඇවිදගෙන යනකොට පාරෙ එකපාරට මං දැක්කා උඩ ඉඳන් පහලට ලියලා තියෙනවා, ලයින්ස් ඩාන්ස් කම්පැණි කියල. ඒ ගොල්ලොන්ගෙ තියටර් එක එතන. මං තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා එතන පඩිපෙළකින් නැගලා ඒකෙ මිනිස්සු හම්බුවෙලා ලංකාවෙන් ආවා කියලා මාව අඳුන්නලා දීලා ඒ අයට ලංකාවෙ නැටුම් අඩිය, තුන් අඩිය නටලත්  පෙන්නලා තමයි ආවෙ. මට හිතෙන්නෙ ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඔයා ඒ මොහොතින් මොහොත ජීවත් වෙන්න  ඕන.

මං කසාද බැන්දෙ නෑ. ඒ මට මගේ විදිහට ජීවත් වෙන්න  ඕන නිසා.
මම- ඒ කියන්නෙ ඔයා බ‍්‍රහ්මචාරී වගේ දෙයක් පිළිපදිනවද?
විෂ්ණු- අපෝ නෑ. I am a simple human being with an erected penus (සරල මනුෂ්‍යයෙක්-ඍජුවූ ශිෂ්නයක් සහිත) මගේ ෆේස් බුක් එකෙත් මාව නිර්වචනය කරලා තියෙන්නෙ,simple village folk with urban needs' ගමෙන් ආවට මේ නාගරික අවශ්‍යතානෙ අපිට තියෙන්නෙ.

(-විෂ්ණු වාසුගේ ආන්දෝලනාත්මක වාර්තා චිත‍්‍රපටිය ලබන සතියට)
-චින්තන ධර්මදාස