Saturday, August 20, 2011

පියසීලි: ලස්සන ගැහැණියක්


(පියසීලි විජේගුණසිංහ අනුස්මරණය කරමින් මුද්‍රණය වන පොතකට ලිපියක් ලියැන්නැයි මගෙන් ඉල්ලූ නිසා මේ ලිපිය ලියැවුණි. ඒත් ලිපිය ඊමේල් කළ පසු ඒ ගැන වෙනත් කිසි ආරංචියක් ලැබුණෙ නැත. කාලෙකට පසු ආපහු මේ ලිපිය දකිද්දී මට එය පළ කරන්න ඕන කියා සිතුණි.*

පියසීලි විජේගුණසිංහ ගැන ලිපියක් ලියන්නැයි ‘මනෝ‘ මට කෝල් එකක් දෙද්දී මට එකපාරට මතක් වුණේ ‘මම පියසීලි ගැන දන්නෙ මොනවද?‘ කියල. පියසීලි ගේ ලිපි කියවන එක මට ආස හිතෙන දෙයක් නෙවෙයි. ගොඩක්ම මාක්ස්වාදී නැත්තං සමාජවාදී කියන කතා වලට කොටු වුණු න්‍යායික කතන්දර මට දැනෙන්නෙ කැම්පස් වල වැඩක් නැති ආචාර්ය මහාචාර්යවරුන්ට කල් ගත කරන්න තියෙන දේවල් කියල. මගේ ජීවිතය ඒවායින් වෙනස් වෙන්නෙ නෑ කියල මට තේරුණු හින්ද මම ඒ වගේ ලිපි හෝ පොත් කියවන්නෙ නෑ. ඒත් පියසීලි ගැන ලියන්න කියපු ගමන් මට එකපාරටම කොහෙන් හරි දැක්ක එයාගෙ මූණ මතක් වුණා. ඒ ඇස්, ඒ හිනාව, සුදු කොණ්ඩෙ හරිම ලස්සන ගෑණියෙක් කියන හැ`ගීම මට දීලා තිබුණ. පියසීලි ගැන මට පිටස්තර විදිහට දැනෙන දේවල් ලියන්න මම ලිපිය බාර ගත්තා.

”පියසීලි මගේ ස්මරණ සමාප්තිය බලලා ඇහුවා මේකෙ කවුද හරි කවුද වැරදි කියල. ඒක චිත‍්‍රපටියෙ නැති එක මගේ චිත‍්‍රපටියෙ දුර්වලකමක් විදිහට එයාට දැණුනෙ. ඒ විදිහට මගේ වැඬේ ගැන බලපු අයයි, ඒකට එහෙම්පිටින්ම විරුද්ධ පැත්තෙන් කතා කරපු අයයි දෙගොල්ලොම හිටපු එක හු`ගක් හොඳයි. අපිට ඒකෙන් තේරුණා ඒ අපේ ජීවිත තියෙන්නෙ ඒ අයගේ කෝදුවෙන් එළියෙ කියල”
සත්‍යජිත් මාඉටිපෙ දවසක් කතාවක් මැද්දෙ මට කිව්වා.

”මචං දවසක් ප‍්‍රසිද්ද දේශනේකදි පියසීලි සයිමන්ට බැන්නා. අධම ස්ටැලින්වාදියා කියල. එතකොට සයිමන් කිව්වා, ”පියසීලි ඔය වගේ ලස්සන තොල් ඔයාට දීලා තියෙන්නෙ මං වගේ ලස්සන පිරිමින්ට ඔහොම නපුරු කතා කියන්න නෙමෙයි, සිප ගන්න” කියල. අජිත් කුමාරිසිරි ටෙලිෆෝන් එකෙන් කියපු කතාව හරියටම භෞතිකවාදයයි රොමැන්තික නැත්තං විඥාණවාදයයි වෙන් කරල පෙන්නුවා වගේ. භෞතිකවාදය තේරුම් ගන්න ට‍්‍රයි කරනවා. විඥාණවාදියො විඳිනවා.

පියසීලි එක්ක සමකාලීනව භොතිකවාදය ගැන කතා කරපු සුචරිත ගම්ලත්ව මට මතක් වෙනවා. මාක්ස්වාදී සමාජවාදී සාහිත්‍යය වෙනුවෙන් පත්තර පිටු ගණන්, දේශන පැය ගණන් කරපු සුචරිත අන්තිමට කෙළවර වුණේ සන්නස්ගලට ශබ්දකෝෂයක් කරන තැනින්. කම්කරු පාංතික නැගිටීමක් ගැන එයාගෙ හීන ඔක්කොම ඉරිදා පත්තරේක කොලමකින් කෙළවර වුණා. ‘සති සංචිත්තා‘ ඒ දැන් සුචරිත ලියන කොලම. මිනිස්සුන්ට වෙනස් වෙන්න එපා කියලා මං කියන්නෙ නෑ. ඒත් සුචරිත එක්ක පියසීලිගේ ජීවිතය අරන් බැලූවම අපිට පියසීලි ළ`ග මොකක්ද ගුණයක් දැනෙනවා. ඇත්තක් වගේ දෙයක්. කේ කේ සමන් කුමාර මට මුණ ගැහෙන්නෙ පියසීලි හිටපු විකොසෙ සමාජිකයෙක් විදිහට. අන්තිමට සමන් ඒකෙ ප‍්‍රතිවිරුද්ධ දිශාවට යන්නෙ ආවටත් වඩා වේගෙන්. මේ හැම දෙයක්ම වෙනස් වෙද්දි පියසීලි හැමදාම එයා කියපු දේ වෙනුවෙන් හිටියා. තමන් දරන අදහසක් ඇතුලෙ අවංකව ජීවත් වෙලා ඒ අදහස එක්කම මැරෙන්න පුළුවන් වෙන එක ලොකු පූර්ණත්වයක් දනවනවා. ඒක දියුණුයි කියල කියනවා නෙමෙයි. ඒත් හැමදෙයක්ම කුනාටුවකට අහුවෙලා වගේ ගහගෙන යද්දි තමන්ගෙ අරමුණේ නොසැලී ඉන්නවා කියන එක ශ්‍රේෂ්ටයි. ඒක හැමෝටම බෑ. අනික ගැහැණියක් විදිහට පියසීලි එතනදි පිරිමියෙකුටත් වඩා ශේ්‍්‍රෂ්ටයි.

මේ විදිහට මට පියසීලි ගැන එන්නෙ ඒ ජීවිතය සහ ඊට සාපේක්‍ෂ අනිත් ජීවිත එක්ක දෙබසක්. පියසීලි සරච්චන්ද්‍ර සමග. නැත්තං පියසීලි ගුණදාස අමරසේකර එක්ක. ප‍්‍රසන්න විතානගේ ගැන පියසීලි... මේ විදිහට වෙනස් චරිත එක්ක පියසීලි කරපු අදහස් ගණුදෙනුව ගැනයි මගේ කතාව.

මං නූතන සිංහල සාහිත්‍ය විචාරය පෙරලන්න ගත්තා. ‘ආදරණීය විජේට‘ ඒ පොත පටන් ගන්න තැන ලියලා තිබ්බ. ‘කොයි තරම් ලස්සන ගෑණියෙක්ද?‘ මට ආයිමත් හිතුණ.

පියසීලි මධ්‍යම පංතියේ ගැහැණියක්. එයාගෙ ජීවිතේ හැම තැනකම ඒ මධ්‍යම පාංතික ගතිය තිබුණ. එයා රස්සාව කළේ කොළඹ කැම්පස් එකේ ආචාර්යවරියක් විදිහට. පියසීලිගෙ දේශපානය තිබුණෙ හතරවන ජාත්‍යන්තරයෙ. ලංකාවෙ නිර්ධන පාංතික සටනක් වෙනුවෙන් එයා ජීවිතෙන් කැප වෙලා හිටිය. ඒත් එයා ලස්සනට ඇන්ද. නාලා පිරිසිදුව හිටිය. (හු`ගක් ලංකාවෙ මාක්ස්වාදියො නාන්නෙ නෑ*. මේ දේවල් මේ විදිහට දැකීම මාක්ස්වාදී විප්ලවවාදීන්ට ගැටළු සහගත වෙන්න පුළුවන්. ඒත් මට මේ හැමදෙයක්ම හරි ‘ක්ලැසික්‘ ජීවිතයක් ගැන හැ`ගීමක් දෙනවා. පියසීලි කතා කළේ ලංකාවෙ ධනේශ්වරයට විරුද්ධව. එයාගෙ භාවිතය, විශේෂයෙන් ලියන භාෂාව පවා තිබුණෙ වැඩවසම් ආකෘතියක. ඇඳුම්, ඉරියවු පවා නියෝජනය කළේ වැඩවසම් හුරුවක්. සුනිලා අබේසේකර වගේ සමලිංගිකත්වය වගේ දේවල් එක්ක පියසීලි පැටළුණේ නෑ. එයා විරුද්ධව සටන් කළේ ධනේශ්වරයට වුණත් ලංකාවෙ තිබුණෙ ලූම්පන් පංතියක් විතරයි. ග‍්‍රාමීය ලූම්පන් පංතියක් සහ නාගරික ලූම්පන් පංතියක් අතර දේකට වැඩි දේශපාලනයක් ලංකාවෙ තිබුණෙ නෑ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වුණු එකෙන් ඔප්පු කරල පෙන්නපු සහ පෙන්නමින් ඉන්න ඇත්ත ඒක. පියසීලි දේශපාලනික චරිතයක් කියල මට දැනෙන්නෙ නෑ. ඒත් පියසීලි විජේගුණසිංහ කියන්නෙ හෘදය සාක්ෂියක් හිමි වැදගත් සිංහල මධ්‍යම පාංතික ගැහැණියක්. එහෙම අය ලංකාවෙ හිටියෙ කීපදෙනයි.

නූතන සාහිත්‍ය විචාරයෙ එදිරිවීර සරච්චන්ද්‍ර ගැන පරිච්ෙඡ්දයෙදි පියසීලි කියනවා ‘කලාව යනු යතාර්ථය ජය ගැනීමට කරන නිෂ්පාදනයක්‘ කියලා. මෙතනදි කාරණා කීපයක් පැහැදිලි වෙනවා.
1. පියසීලිට යතාර්ථය කියන එකට පිටින් හිතන්න බැරි එක.
2. ජය ගැනීම කියන කාරණය එක්ක එයා යම් දෙයක් දිහා බලන විදිහෙ පටු කම. (ජීවිතේ ජය ගන්න තියෙන එකක්ද?*
3. නිෂ්පාදනය මූලික විදිහට බලනවා මිස ලෝකයේ දේවල් දකින්න වෙනස් කියවීමක් නැතිකම. ගහක්, ගලක් දැක්කත් මේ භෞතිකවාදයේ හැටියට කියන්න වෙන්නෙ නිෂ්පාදනය කියන කතාව විතරයි.

මේ හැමදෙයක් එක්කම එයාගෙ ප‍්‍රශ්න කිරීම් වල තියෙනවා හරිම සරල තර්කනයක්. ඒකද, එහෙම නැත්තං මේකද? හරිද නැත්තං වැරදිද? මේ ප‍්‍රතිවිරෝධයන්ගෙන් තොරව දෙයක් කියවීමේ හැකියාවක් පියසීලි පෙන්නන්නෙ නෑ. ධන හෝ ඍණ නොවෙන අනන්තයක දේවල් අත්විඳිනවා වෙනුවට එයා සරල ප‍්‍රශ්න කිරීමකින් හැමදෙයක්ම ඌනනය කරන්න යනවා. මෙතනදි මම විඥාණවාදී එළඹුමක් අගය කරනවා නෙමෙයි. භෞතිකවාදී හෝ විඥාණවාදී අන්ත දෙකෙන් මං ජීවත් වුණු ලෝකය කියවන්න පුළුවන් වුණේ නෑ. මට හතරවන ජාත්‍යන්තරය වගේ දේවල් හරිම අදේශපාලනික ඒත් හරි රොමාන්තික සිහින දකින පිරිස් විදිහට පේන්නෙ ඒ නිසා.

දවසක් ජොයින්ට් එකක් (කංසා* උරමින් ඉන්නකොට මගේ යාලූවෙක් හරි සරල කතාවක් කිව්වා.
‘මචං මාක්ස් ඔය සූරාකෑම කියන එක එළිකරපු එකෙන් හරි කුහක හැ`ගීමක් ආවා වැඩ කරන මිනිස්සුන්ට. නිෂ්පාදනය කියන්නෙ සූරාකෑම විතරක් වගේ දැනෙන්න ගත්තම හැම එකෙක්ම හැම දේකටම ඕක කියන්න ගත්තා. දැන් හැමෝම කියන්නෙ ‘මම විකිණෙනවා‘ කියල. හරි ගොන් අදහසක් ඒක‘

පියසීලි කලාව දිහා බලන්නෙත් මේ විදිහට.

”තමන් එතෙක් යතාර්ථය හා පවත්වාගෙන ආ සම්බන්ධයට වඩා තමන්ට (සාපේක්‍ෂ වශයෙන්* වාසිදායක වන, සහනදායක වන නව සම්බන්ධයක් කලා නිර්මාණය ඉවහල් කරගෙන ඔවුන් විසින් ප‍්‍රතිෂ්ඨාපනය කරනු ලබයි”

මේ යතාර්ථය කියන්නෙ මොකක්ද? ඒකත් එක්ක තියාගන්න පුළුවන් වාසිදායක සම්බන්දෙ මොකක්ද? ජීවිතයේ හැ`ගීමක් මාධ්‍යයකට ඇතුල් වන මොහොත මේ වචන වලින් විග‍්‍රහ කරන්න පුළුවන් වෙයිද? කලාව ගැන මේ කියන අර්ථය වැඩක් වෙන්නෙ මොකකටද?

තවත් තැනකදී කලාව හා බැඳුණු මිත්‍යා සංකල්ප ඇය විවේචනය කරයි. මිත්‍යාව විවේචනය කිරීමෙන් (ජීවිතයෙන් ගොඩනගන මිත්‍යා සංකල්පයන්* හෝ ඒ ගැන සබුද්ධික වීමෙන් කරන නිර්මාණය හෝ වෙන මොකක් හෝ අනිවාර්යෙන්ම ගමන් කරන්නේ ගණිත සූත‍්‍රයක් වගේ තැනකටය. මිත්‍යාව, සිහින තුලින් තමන්ගේ ජීවිතය සහ ඒ සමග ගැටෙන තමන්ට සාපේක්‍ෂ සැබෑව අතර දෙයක් විදිහට මිස නිර්මාණයක් සබුද්ධික වීම මට නම් මරණයක්.

කලාකරුවෙක්ට අත්දැකීම් ආශ‍්‍රිතව එල්ල වන අභියෝගයක් ගැන ඇය කියන්නේ මේ විදිහටයි.
‘එකී විෂය කලාත්මකව ප‍්‍රතිනිෂ්පාදනයෙන් ඥාණනය කිරීමෙන්, ඒ මත තම සාපේක්‍ෂ ස්වාමීත්වය තහවුරු කිරීමේ අභියෝගය...”

මට ‘ටිබෙටයේ අවුරුදු හතක්‘ චිත‍්‍රපටිය මතක් වෙනවා. එහි ප‍්‍රධාන චරිතය වන බටහිරින් එන කඳු නගින්නෙක් හිමාලය තරණය කරද්දි කුඩා ලාමා හිමි නමක් මුණ ගැහෙනවා. එතනදි ලාමා හිමි නම අහනවා ‘කඳු මුදුන තරණය කිරීමෙන් නැත්තං ජය ගැනීමෙන් ලබන තෘප්තිය‘ මොකක්ද කියලා. හිමාල කඳු වැටිය පෙනෙන මායිමේ හිටියත් ඒ හිමිනමට කඳු මුදුන ජය ගන්න ඕනකමක් ඇති වෙන්නෙ නෑ. පියසීලි කලාව ගැන කියන ජයගැනීමත් නියෝජනය කරන්නෙ අර බටහිර ද්විකෝටික සිතීම මයි. ඥාණනය කරන්න, ස්වාමීත්වය තහවුරු කරන්න වගේ අදහස් හරි ප‍්‍රාථමිකයි. දේවල් සිද්ද වෙනවා අත්දැකීම් සම`ග දිය වෙන්න, නැත්තං තමන්ගෙ ආත්මීය සීමාවන් දිය කරන්න.. උදාහරණයක් විදිහට ආදරය වගේ දෙයක් ගැන පියසීලි ලිව්වොත් ‘අනෙකා මත තමන්ගේ ස්වාමීත්වය තහවුරු කිරීමේ අභියෝගයක්‘ විදිහට කියාවි. ඒත් ඒක එහෙම වුණොත් ඒ ආදරය නෙමෙයි.

‘කලාවෙහි පමණක් නොව, සමස්ත මානව සංස්කෘතියෙහිම උල්පත වන්නේ, මිනිසා, මානව සමාජය ඇතුලූ මුලූ මහත් ස්වභාව ධර්මය එනම් යතාර්ථය ජය ගැනීමට කරන අරගලයයි”
- නූතන කලා විචාරය

පියසීලීට සියල්ලෙහි පෙනේනනේ සටනක්. ජය ගැනීමක්. වෙනස් කිරීමක්. ඒ හැරුණු විට, නැවතීමක්, විඳීමක්, දියවීමක් ඒ තර්කනයේ කොතනවත් නැහැ. මෙතනදි ගැටළුව වෙන්නෙ මේ අදහස නෙමෙයි. මේ අදහස ඉදිරිපත් කිරීමෙන් වෙන්න පුළුවන් ප‍්‍රතිඵලය මොකක්ද කියන එකයි. අර මගේ ගංජා ගහන යාලූවා සූරා කෑම ගැන කිව්වා වගේ මේ අදහසින් නිර්මාණයක් කරන්න කවුරු හරි පටන් ගත්තොත්, නැත්නම් නිර්මාණයක් විඳින්න කවුරු හරි පටන් ගත්තොත් එතනදි එයාට බැරි වෙනවා නිර්මාණකරණයේ ඒ අත්දැකීම බවට පත්වෙන්න. එයා ආයිමත් මාක්ස් වෙනවා. මාක්ස් ලියනවා. මාක්ස් කියවනවා. කෝදුවක් අරගෙන නිර්මාණයක දිග පළල හොයන්න යන කෙනෙකුට කලාව වෙනුවට මුණ ගැහෙන්නෙ ගණිතය.

”කලාකරුවාගේ නිර්මාණාත්මක භාවිතය මගින් ශික්ෂණය කෙරුණු එකී හැ`ගීම් හා මනෝභාව විවිධාකාරයෙන් කලාකෘතියෙන් ධ්වනිත වෙයි”
- පියසීලි විජේගුණසිංහ

මට වැඩියෙන්ම ගැටළු මතු කරන්නෙ පියසීලි අදහස් ගේන භාෂාවයි. නිර්මාණාත්මක භාවිතාවෙන් ශික්ෂණය කරපු හැ`ගීම් කියන්නෙ මොනවද? පියසීලි කලාව ඇතුලෙ ශික්ෂණයක් ගැන කතා කරන්නෙ වාරණයක් ගැන හැ`ගීමක් ඇතුවද? නිර්මාණයක් කරද්දි ඒකෙ ශික්ෂනය තියෙන්න ඕන කියන අදහස හරි අධිපතිවාදීයි. ඒක ළමයි කීකරු වෙන්න ඕන වගේ අදහසක්. නිර්මාණයක් කියන්නෙ හැ`ගීම් නිදහස් වෙන තැන. එතනදි ශික්ෂණය වීම නොවීමට වඩා වැදගත් වෙන්නෙ ජීවිතය. අප‍්‍රිකානු- ඇමරිකානු රැුප් සිංදු වල කුණුහරප නරකයි කියන එක මැද පංතියේ රිදීම පෙන්නන තැනක් විතරයි.

‘අපි යතාර්ථයේ වෛෂයික වූ පැවැත්මක් පමණක් නොව එම යතාර්ථය ඥාණනය කරමින් විද්‍යාත්මක (යතාර්ථවාදී* සංකල්ප වර්ධනය කිරීමට, යතාර්ථය පිළිබඳ වූ පරම සත්‍යය කර ළ`ගාවීමට මනුෂ්‍ය චින්තනයට ඇති ශක්‍යතාවත් පිලිගනිමු”
-නූතන සාහිත්‍ය විචාරය.

මේ තර්කනය තුල යතාර්ථය එකකි. එය ඥාණනය කරන්නා යතාර්ථය නොවන තවකකි. මට පේන හැටියට මෙතන යතාර්ථය විසින් යතාර්ථය ඥාණනය කරමින් ඉන්නවා විතරය. ඊටත් වඩා යතාර්ථය ගැන වූ පරම සත්‍යයක් පිලිබඳ කතාවක්ද මෙතන ඇත. මාක්ස්වාදී භෞතිකවාදය අනුව ‘පරම‘ වූ යමක් තියෙන්න පුළුවන්ද? ඒක පූර්ණ කොමියුනිස්ට් සමාජය වගේ තවත් රොමාන්තික අවසානයකි. මාක්ස්වාදීන්ගේ මම වඩාත් ආස මේ පාට පාට හීන වලටය. ජීවිතය තැනක සිට තවත් තැනකට ගමන් කරනවා වගේ, නැත්නම් එය දියුණු ක‍්‍රමයක්/ කෙළවරක් දක්වා වැඩෙනවා වගේ හරි සුන්දර සිහින විශ්වාස කරන හිත් ඒ අයට ඇත.
”ඇමරිකා එක්සත් ජනපදයෙහි වෙසෙන ඇතැම් සෞන්දර්යවාදී ගුරුකුලවල චිත‍්‍ර ශිල්පීහු තමන් වෛෂයික පෙළඹීමකින් තොරව, ක්ෂණිකව, ඉබාගාතේ වර්ණ හා රේඛා අරමුණක් නැතිව සංයෝජනය කිරීමෙන් චිත‍්‍ර නිර්මාණය කරන බව ප‍්‍රකාශ කරත්. එම චිත‍්‍ර කිසියම් සෞන්දර්යක් උද්වහනය කිරීමෙහි සමත් වෙනවා විය හැකියි. එහෙත් එම චිත‍්‍ර පේ‍්‍රක්‍ෂකයා ආධ්‍යාත්මික වශයෙන් සශ‍්‍රීක කිරීම මගින් යතාර්ථය ජය ගැනීමේ ඔහුගේ භාවිත වඩා ඉහල මට්ටමකට සේන්දු නොකරන්නේ නම්, අපට ඒවා සැලකිය හැකි වනුයේ අංගවිකල වූ ‘කලා කෘති‘ හැටියටය” - පිටුව 58

මේ කියන්නේ ඇබ්ස්ට‍්‍රෑක්ට් සහ ජැක්සන් පොලොක් වගේ අය කරන නිදහස් ප‍්‍රකාශනවාදී චිත‍්‍ර ගැනයි. ඒ වගේ නිර්මාණ වල දේශපාලනික අදහස අවශෝෂනය කර ගන්නවත් මේ නූතනවාදී- යතාර්ථවාදී සීමාවේ හිරවුණු මාක්ස්වාදී විචාරකයන්ට බැරි වෙනවා. ඒ ගොල්ලොන්ගෙ හිතීම හරි වැඩවසම්. ඒ සිතීමේ සීමාවන්ගෙන් එහාට යන කෘතීන් තේරුම් ගන්න තරමට දේශපාලනය පළල් කර ගන්නවා වෙනුවට ඒ ගොල්ලො ඒවා කලාව නෙමෙයි කියල දොර වහ ගන්නවා. ආණ්ඩුව තමන්ට විරුද්ධ හැම දෙයක්ම ත‍්‍රස්තවාදයක් කියනවට වඩා මේකෙ වෙනසක් නෑ.

පියසීලි හු`ගක් හොඳ කියන චිත‍්‍රපටිකරුවෙක් ප‍්‍රසන්න විතානගේ. ප‍්‍රසන්නගේ ඉර මැදියම ගැන අගය කරමින් පියසීලි කියනවා ‘ප‍්‍රසන්නගේ කලින් චිත‍්‍රපටි වගේම මේ චිත‍්‍රපටියෙත් සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙ ජීවිතයේ සතුට වෙනුවෙන් කරන අරගලය‘ මේ චිත‍්‍රපටියෙ පේනවා කියල. ඒ එක්කම ආගම මිනිස්සුන්ගෙ ජීවිතවල ඇත්ත ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්න සමත් නැති එක විදහා දැක්වීම ගැන පියසීලි හු`ගක් හොඳ කියනවා. ඒත් පියසීලිට පේන්නෙ නෑ මේ කියන කාරණාම තමයි ඒ චිත‍්‍රපටියෙ දුර්වලකම ප‍්‍රකට කරන්නෙ කියල. යුද්ධය කියන පොදු පසුතලයක් උඩ නිහ්චිත අරමුණක් වෙනුවෙන් ශික්ෂණය කළ (ප්‍රෝග‍්‍රෑම් කරපු* ජීවිත කීපයක් පැහැදිලි සරල පටු දේශපාලනික අදහස් කීපයක් වෙනුවෙන් පාවිච්චි කරනවා ඇරෙන්න ඒ චිත‍්‍රපටයෙන් ප‍්‍රසන්නට ජීවිතය මග ඇරෙනවා. පියසීලිට හොඳයි කියලා පේන්නෙ මේ විදිහට ජීවිතය දේශපාලනය බවට ඌනනව වෙන තැන්. යුද්ධයේ සැබෑ හේතුන් පෙන්නපු නැති එක චිත‍්‍රපටියෙ දුර්වලතාවයක් කියලත් පියසීලි කියනවා. කලාව ගැන පියසීලී ගේන අදහස් හැම තිස්සෙම මේ පරණ රාමුව ඇතුලෙ කොටු වෙනවා.

සිසිල ගිනි ගනී චිත‍්‍රපටිය නැරඹීමෙන් ඇතිවුණු හු`ගක් සතුටින් පියසීලි ප‍්‍රසන්න ගැන මෙහෙම ලියනවා.

”ප‍්‍රසන්න සමාජ යතාර්ථවාදී සම්ප‍්‍රදාය හොඳින්ම දන්න කෙනෙක්. එයාගෙ සුවිශේෂ සලකුණු තමයි, සරල ආඛ්‍යානය, ගැඹුරු සමාජ සංවේදිතාව, සහ සිනමා කෘතියක් නිර්මාණය කරද්දි ඒ විෂයේ දක්වන බුහුටි බව. එයා සාහිත්‍යයේ යතාර්ථවාදයෙන් පන්නරය ලබලා තියෙන බව පැහැදිලියි. එක විදිහකින් හෝ වෙන විදිහකින් පුද්ගලයින් සමාජ සම්බන්ධතා සහ ආයතන වලට විරුද්ධව කරන අරගලය එහි පදනමයි.”

ප‍්‍රසන්න විතානගේ කරපු චිත‍්‍රපටි ගැන මේ කතාව ඇත්තක්. ප‍්‍රසන්න ජීවිත දිහා බලන්නෙ සමාජය පැත්තෙ ඉඳන්. ඒ එක්කම යතාර්ථයෙන් පිට යන්න ප‍්‍රසන්නට අත්තටු නෑ. එයා එතන හිර වෙලා. සමාජය පැත්තෙ ඉඳන් ජීවිත දිහා බලද්දි අපිට පේන්නෙ දේශපාලනයක් විතරයි. ඒක අපි ඒ දේ දකින විදිහට සාපේක්‍ෂයි. ඒත් එතන ජීවිතේ ඒක නෙමෙයි. ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටි හු`ගක් මධ්‍යම පාංතික අයට මාර වෙන්නෙත් අපි වගේ අයට බාල වෙන්නෙත් මේ ඇත්ත හින්ද. ජීවිතයක් කියන්නෙ සමාජ දේශපාලනික ආර්ථික ඇත්තක් විතරක් නෙමෙයි. අනික ඒ ඇත්ත ඒ ජීවිත ඇතුලෙ පේන්නෙ කොයි විදිහටද කියන්න අපිට ඒ ජීවිත ඇතුලට නොගිහින් බැහැ. පොඩි කාලෙ මමත් රුසියානු කෙටි කතා ලිව්වා මේ විදිහට ලංකාවෙ ඉඳන්.

”නව පාලක පංතිය ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන්නට අපොහොසත් වෙද්දි සමාජයේ විවිධ කොටස් වල කලාකරුවන් සමාජ පීඩනයන්, අසමානතාවයන් සහ පරාරෝපණයන් තේරුම් ගන්නටත් ඒවායේ මූලාශ‍්‍ර හෙලි කිරීමටත් උත්සාහ ගන්නවා”
-සිසිල ගිනි ගනී චිත‍්‍රපටය ගැන පියසීලි විජේගුණසිංහ

මේක කරන්න පුළුවන් නම් හොඳ දෙයක්. ඒත් පාලක පංතිය කියලා දුෂ්ටයෙක් කල් ඇතුවම නිර්ණය කරලා ඊට පස්සෙ කෘතිය ඇතුලෙ අර කියන දේවල් හොයන්න යනවා නම් ඒක විද්‍යාත්මත පරීක්‍ෂනයක් මිස කෘතියක් ඇතුලෙ කරන අවංක සොයා යාමක් නෙමෙයි. පියසීලි දේවල් දකින්නෙ හරිම හොලිවුඞ් විදිහකට. මුලින්ම එතන දුෂ්ටයෙක් ඉන්නවා. දුෂ්ටයාගෙන් ගැලවෙන්න කරන අරගලයක් තියෙනවා. ඒ අරගලය ජය ගැනීම තමයි පරම ඇත්ත. හැම හොලිවුඞ් චිත‍්‍රපටියකම තියෙන්නෙ ඔය ටික. රම්බෝ චිත‍්‍රපටිය ගත්තත් ඔය සරල කතාව තියෙනවා. ඒත් ජීවිතේ මේ විදිහට දුෂ්ටයා-වීරයා, දිනුම- පැරදුම, හොඳ- නරක වගේ දේවල් තියෙනවද? මට හොලිවුඞ් චිත‍්‍රපටියක් වගේ ජීවිතයක් නැහැ.

මේ කියන කාරණා වල අරමුණ භෞතිකවාදය බොරු කියන එකවත්, විඥාණවාදය හොඳයි කියන එකවත් නෙමෙයි. ඒ දෙකම දැන් අදාල නැති සත්‍යයන් කියන එක. අඩුම තරමේ මගේ ජීවිතයට සාපේක්‍ෂව වත්. විඥාණවාදීන් කලාව ගැන කියන ප‍්‍රතිභාව හෝ ආවේශය වගේ කතන්දරත් හරිම ප‍්‍රාථමිකයි. ගැටළුව තියෙන්නෙ මේ අදහස් දරන ජීවිත මේ සරල ද්විකෝටික බෙදීමෙන් එහාට ගෙනියන තල්ලූවක් සමාජයෙන් ඇති නොවුණු එක. මේ ද්විකෝටිකයෙන් කරන පැහැදිලි කිරීම් සත්‍යයන් හැටියට සමාජය බාර ගැනීම. ඒක සමහර විට ජීවිතය සරල විදිහට කියවා ගන්න තියෙන සාමකාමී ආසාවක් වෙන්න පුළුවන්. ඒත් මනුස්ස ජීවිතයකදි ප‍්‍රපාතයක් වගේ තමන්ගේ දැනුම් සීමාවෙන් නොදැනුමට තල්ලූ කරන අත්දැකීම් මුණ ගැහෙන්න ඕන. එතනදි ‘කටු කඩලා‘ යන්න ඕන. කලාවෙදි අපිව අලූත් කලාපයකට ගෙනි යන්නෙ ඒ විදිහෙ හුස්ම ගන්න ජීවිත මිස වීරයා සහ දුෂ්ටයා ගැන කොමික් කතා නෙමෙයි.

පල් වෙවී කුණු වෙන ගොඩක් ඇකඩමික් ජීවිත මැද්දෙ පියසීලිට ලස්සන ජීවිතයක් තිබුණ. ඒක අවංකයි. ඒක හීනයක් ඇතුලෙ ගතවුණු ජීවිතයක්. දුෂ්ටයන් පරාජය කරන වීරයන්, ජය ග‍්‍රහණයන්, පොදු ජනතා අරගලයන් ගෙන් පිරිච්ච එපික් ස්ටෝරි එකක් වගේ. ඒ සිහිනය වෙනුවෙන් සටනක් පියසීලිට තිබුණ. කොයිතරම් දේශපාලනික සැබෑවන් ඉස්සරහ පරදින්න සිද්ද වුණත් පියසීලි පරාජය බාර ගත්තෙ නෑ. ඒ එක්කම ඒ ඇත්තට එරෙහිව පිස්සු වැටුණෙත් නෑ. තමන්ගේ සිහිනය ඇත්තක් කිරීමේ සටනක් මැද ඒ තරම් ලස්සනට හිනාවෙවී මැරෙන්න පුළුවන් වුණු එක ඇත්ත ජයග‍්‍රහණයක්.

ඒ වගේ ජීවිතයක් ගැන කතා කරන්න ඇත්තටම මං කවුද?

1 comment: