Saturday, August 20, 2011

ගේට්ටුව ළ`ග මුනිවරයෙක්. ජනේලෙට පිටිපස්සෙ මම.


ජූලි 23
සෙනසුරාදා

කවුරු හරි ගේට්ටුව ළ`ග කතා කරනවා ඇහිලා මං නොකර සද්ද හිටියෙ එක එක්කෙනා ඇවිත් අහන එක එක දේවල් වලට උත්තර දෙන්න කම්මැලි හින්ද. අම්මා ගේ ඉස්සරහට යනවා මට ඇහුණා.
”නෝනා මහත්තයා කෑම උයලද තියෙන්නෙ? තාම 10යිනෙ. කෑම නැතුව ඇති. මට උයන කල් ඉන්නත් බෑනෙ. කීයක් හරි තියෙනවා දෙන්න. මොනා හරි බොන්න.”
හු`ගක් ගැඹුරු හ`ඩකින් සැහැල්ලූවෙන් කියාගෙන යනවා මට ඇහුණ. ටිකක් අමුතු හි`ගන්නෙක්...මං ජනේලෙන් ඔලූව එලියට දාලා බැලූව.
තද නිල් පාට සරමට උඩින් රතු කොටු වැටුණු අත්දිග කමිසයක් ඇඳලා ඊට උඩින් අත් කපපු ඩෙනිම් කෝට් එකක් දාලා හරිම වර්ණවත් මනුස්සයෙක් ගේට්ටුව ළ`ග. සුදු පාට දිග රැුවුලත් එක්ක කිසි හදිස්සියක් නැති ඉරියව්. එයා කතා කරද්දි කතා කළේ පාවෙවී වගේ.
කතාවට අල්ලගන්න කවුරුත් නැතුව හිටපු අපේ අම්මගෙත් උනන්දුව වැඩි වෙලා.
”ඔයා කවුද?”
”මං බණ්ඩාර. සීජීආර් එකේ ස්ටෝර් මැනේජර් කෙනෙක් ඉස්සර. දැන් තනියම ජීවත් වෙන මිනිහෙක්.”
”ඔය තරං ලොකු තැනක ඉඳලා ඇයි දැන් ඒ කාලෙ යාලූවො එහෙම නැද්ද?”
”හහ් හහ් හහ්.... ජීවිතේ පෙරලිලා පෙරලිලා ආවා නෝන මහත්තයා. දේවල් වෙනස් වුණා.rolling stone never gather moss කියල කතාවක් තියෙනවනෙ. ඒ වෙනස් වෙච්ච වේගෙ හින්ද මගේ ජීවිතේ පුස් බැඳුනෙ නෑ. කුණු නෑ.

මං තනියෙන් ජීවත් වෙන්නෙ. මං කාගෙන්වත් ඉල්ලන්නෙ නෑ. හැමදාම මං මෙහෙම එන්නෙ නෑ. ඒ වගේම නෝනා මනුස්සයෙකුගෙ ජීවිතේට වින්දනයක් අවශ්‍යයි. ඉතිං මං මත්පැන් පානය කරනවා. දුම් බොනවා. ඒක මට අවශ්‍යයි. අවශ්‍යයිනෙ. මං තාම මැරලා නෑනෙ. මළකඳකට කිසි බඩගින්නක්, බොන්න ආසාවක්, ලෙඩක් දුකක් නෑනෙ. මං ඉස්සර විස්කි බ‍්‍රැන්ඩි බිව්වා. දැන් සල්ලි නැති නිසා කසිප්පු බොනවා.
කෝට් එක කපන්න ඕන රෙද්දෙ හැටියට. ඒ කියන්නෙ වැඬේ කරන්න ඕන ආර්තිකේ හැටියට. adopting to environment. ඉන්නකං මං enjoy my life. මං නිකං ඉන්නෙ නෑ. පොත්වල ලියනවා. ඉංග‍්‍රීසි උගන්නනවා. මගෙන් පැය බාගෙ ඒවා 30ක් ඉගෙන ගන්නවා කියන්නෙ පිරිමියෙක් නං සුද්දෙක්. ස්ත‍්‍රියක් නං සුද්දියක්.

අනික් පැත්තෙන් කියනවා නං තමා හිසට තම අතමය සෙවනැල්ල. තමා විසින්මයි තමාට පිහිට. තමන්ගේ දත් කැක්කුමට අනිත් අය අ`ඩා වැලපිලා වැඩක් නෑනෙ. මගේ ගැන කතාව ඔයාට වැඩක් නෑ. බෞද්ධ දර්ශනේ ගැඹුරින් හැදෑරුවම ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො කිසි දෙයක් එපා කියල නෑනෙ. උඹට ඕන නං කරපං. බුදුන් වහන්සෙ කවදාවත් නියෝග පනවලා නෑනෙ. ඒකනේ බුද්ධ ප‍්‍රබුද්ධ කියන්නෙ. අග‍්‍රගන්‍ය, බුද්ධිමත්, ප‍්‍රඥාවන්ත, අග කෙලවර.”

අරක්කු බොන එක ගැන කතාව අපේ අම්මට සෙට් වුණේ නෑ. ඒත් හරිම සරල විදිහට, පරිණත බවකින් කතා කරගෙන යන මේ අමුත්තා තේරුං ගන්න අම්මට අමාරුයි. ඒ අපූරුකම එයාගෙ අකමැත්තට වඩා වැඩියි.

”දැන් ඕව තහනං කරන්නනේ යන්නෙ ආණ්ඩුවෙන්?”

”නෑ, නෑ ඒ ගහලා තියෙනවා එහෙම වෙන්න ඉඩ තියෙනවා කියල. බොන්න තහනං කරන්නෙ කොහොමද? කාටවත් බෑ කිසිම දෙයක් තහනම් කරන්න. කවුද ඒ ගොල්ලොන්ට බලය දුන්නෙ ඒ දේවල් තහනං කරන්න. පොලිසිය කොහොමද එහෙම අල්ලන්නෙ? පොලීසිය ඉන්නෙ නීතිය හා සාමය ආරස්සා කරන්න. කසිප්පු අල්ලන්න පොලීසියක් ඕනෙ නෑ. මං මහින්දට ලියන්නයි ඉන්නෙ මේ පොලිසි තියෙන්නෙ කසිප්පු අල්ලන්න නෙමෙයි කියල. ඒ ගොල්ලො කසිප්පු අල්ලන්න දානවා. මිනිස්සුන්ගෙ නිදහස නැති කරනවා.

මොනාද නෝනා බිව්වම ලෙඩ වෙනවා කියන්නෙ. ඉංග‍්‍රීසියෙන් කියනවා. if you drink you die. අපේ අය කියන්නෙත් ඔය ඉංග‍්‍රීසිකාරයො කියන එක තමයි. එතකොට if you dont drink ඒත් you die. බිව්වත් මැරෙනවා නොබිව්වත් මැරෙනවා නං බීලම මැරෙමුකො.”

”හාමුදුරුවරු ටීවී එකේ කොයි තරං බණ කියනවද ඕවා නතර කරන්න.”
තාම අම්මා අපේ ගේ දොර ළ`ග. රැුවුල්කාරයා ගේට්ටුව ළ`ග. ගේට්ටුව ඇරගෙන රැුවුල්කාරයා මිදුලට ආවා.
”මට මේ මිනිස්සු පේන්නෙ ටීවී වගේ නෝනා. ටීවී එකේ පේන දේවල්මයි කරන්නෙ. ඒ ගොල්ලො කරන දේවල් ටීවී එකේ පේනවා නෙමෙයි. ටීවී එකේ පේන ඒවා ඒ ගොල්ලො කරන්න ගන්නවා.

හාමුදුරුවරු මොනාද කියන්නෙ? ඔය පෝය දවස්වල බුදු රජාණන් ගෙ හැමදෙයක්ම වුනේ කොහොමද කියලා ටිකක් කල්පනා කරලා තියෙනවද? හැම විශේෂ දෙයක්ම වෙන්නෙ පෝය දවසක. නෝනා, පෝය දවස්වල ඔය දේවල් එහෙම සිද්ද වුණා නෙමෙයි. එහෙම හදාගත්තා.
පෝය කියන එක පහල වුනේ කැලෑ ගං වල ඉන්න මිනිස්සුන්ට පන්සලට හුළු අතු බඳින්නෙ නැතුව එන්න. සතා සර්පයාගෙන් ආරස්සා වෙලා එන්නයි පහල වුනේ. පෝයෙ කිසි අමුත්තක් නෑ වෙන. හැමදාම එන දවසක්නෙ.”

කතා කරද්දි එයාගෙ ඇස් දිලිසෙන්න ගන්නවා. හු`ගක් ගැඹුරකට ගිහින් දේවල් අරන් ඇවිත් එයා කියාගෙන යන්නෙ ලොකු තෘප්තියකින්. ඒ අදහස් ගැන ඉස්සරහ මිනිහට හිතෙන දේ එයාට වැඩක් නෑ. ඒක හරියට ප‍්‍රත්‍යක්‍ෂ ඥාණයක් වගේ.

” ටීවී එකේ පෝය දවසට බලන් ඉද්දි මං හිතෙන්න ගන්නවා මං සෝවාන් කියල. තව ටිකකින් හිතෙන්න ගන්නවා. නෑනෙ මං සකෘදාගාමී නෙ කියල. තවත් හවස් වෙන්න යද්දි හිතෙන්න ගන්නවා නෑනෙ මං අනාගාමීනෙ කියල. ඔන්න පස්සෙ තේරෙනවා මං රහත් කියල.
මං හිතුවා මං පසේ බුදු කෙනෙක්ද කියල. ඒත් පසේ බුදු කෙනෙකුට කේන්ති යන්නෙ නෑනෙ. ඒක හින්ද මං දන්නවා මං පසේ බුදු නෙමෙයි කියල. ටීවී එකේ මේ යක්කු මොනා කරනවද කියල මං තේරෙන්නෙ නෑ. මේක අපේ අධ්‍යාපන ක‍්‍රමයෙ තියෙන ප‍්‍රශ්නයක්.

ටයි දාගෙන පාරෙ ඉන්න හාදයෙක් ගෙන් මං දවසක් ඇහුවා ගහට ඉංග‍්‍රීසියෙන් කියන්නෙ මොකක්ද කියල. tree මිනිහා එකපාරට කිව්වා. එතකොට වැලට මොකක්ද කියන්නෙ?
මිනිහා කල්පනා කරනවා දාඩිය දාන තරමට. නෝනා කියන්න බලන්න, වැලට මොකක්ද කියන්නෙ?
අපේ අම්මා කියා ගන්න දෙයක් තේරෙන්නෙ නැතුව හිනාවෙනවා.
ඔන්න අපේ අධ්‍යාපනේ. ඒක කාගෙවත් පුද්ගලික දුර්වල කමක් නෙමෙයි. අපේ අධ්‍යාපනේ පරිහාණිය. ගහට කියන එක කියලා දෙනවා වැලට කියන එක දන්නෙ නෑ. වැලට කියන්නෙ වයින් (vine). ලෝකෙ උසස්ම වැල මිදි වැල. ඒකයි ඒකෙන් මිදි වයින් (wine) හදන්නෙ. vine කියන මිදි වැල ගත්තොත් ඒකෙන් අපි (wine) වයින් කියල පානයක් හදනවා. අපි කිව්වට අපි නෙමෙයි. බටහිර. වැඩිය වදින්නෙ නෑ. ලංකාවෙ බියර් වගේ. ඕනම වැලක් වයින් තමයි. ඒත් මිදි වැල තමයි සුවිශේෂී. ගහල වැලත් වැලක් තමයි. නමුත් ඒකෙන් වයින් පෙරන්න බෑනෙ.”

”කසාද බැන්දෙ නැද්ද?”
අපේ අම්මා දන්න ඇන්ටනා ඔක්කොම දාගෙන මේ මනුස්සයාව තේරුම් ගන්න හදනවා. කතා කරගෙන යන පැහැදිලි ගතියත් එක්ක දැනෙන නිශ්චිත, ගැඹුර නිසා පිස්සෙක් කියලා එකපාරට අමතක කරලා දාන්නත් අමාරුයි.

”මං පොත් ලිය ලිය හිටියා. ගෑණි ගියා. මගේ ළමයි එංගලන්තෙ රජ පවුලට වැඩ කරන්නෙ. මේ...(රාජකීය පවුලෙහි සේවක මණ්ඩලයේ යැයි සිතිය හැකි ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් සිටින ඡායාරූපයක් පෙන්වයි) ඒ ගොල්ලො මට කතා කරලා අහනවා, තාත්තේ තාම ගොක්කොල එහෙම පේන්නෙ නැද්ද කියල.

මං මේ පිංතූර ඔක්කොම මගේ නම ලියලා අත්සන් කරලා තියෙන්නෙ. නිකං පාරක වැටිලා මළොත් මං නගරසභාවෙන් වලදාන්න ඕන හිගන්නෙක් නෙමෙයි, මං ගෙයක් දොරක් තියෙන මිනිහෙක් කියලා දැන ගන්න. මට වළ දාන එක වැදගත් විදිහට කෙරෙන්න ඕන.”

නෝනා හාමුදුරුවරු කියන ඒවා විශ්වාස කරනවද? හෙහ් හෙහ් හෙහ්...(හොඳටම හිනාවෙන්න ගනී)
කිසා ගෝතමී සිදුහත්ට කියපු කවිය දන්නවනේ. මොකක්ද..
නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සානාරි
යස්සානං ඊදි සෝපති
මොකද්ද හාමුදුරුවරු කියල දෙන්නෙ? මෙවන් පුතෙක් ලද මවක්..මෙවන් පුතෙක් ලද පියෙක්..මෙවන් සැමියෙක් ලද බිරිඳක් නිසැකව නිවුනා නම් වේ...ඉතිං විශ්වාස කළා?

අම්මා මැරුණා, මෙයා ඉපදිලා දවස් හතයි.. මෙයා සසර කලකිරෙයි කියල බයට තාත්තා රටේ තියෙන දේවල් කරනවා ගිහිගෙයි තියාගන්න. ඔලූව ගිනි අරං මිනිහගේ. කොහොමද නිවෙන්නෙ..ළමයා ඉපදිච්ච දවසෙම ගෑනි අතෑරලා යන්න ගියා. කොහොමද බිරිඳ නිවෙන්නෙ.. පට්ටපල් බොරු ඕවා. ඒත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ.

මට දැන් යන්න ඕන. නෝනා තාම උයලත් නෑනෙ. මට බඩගිනියි. ඒත් මං දැන් යන්නෙ බොන්න. ගණං වැඩි ඒවා නෙමෙයි. කසිප්පු. මට ඒකට පොඩි උදව්වක් කරන්න.
අම්මා රුපියල් විස්සක් ගෙනත් දුන්නේ වදයක් විදිහට නෙමෙයි. ගෞරවයක්ද ඇතුවයි.

ඕවා බීලා ලෙඩ වෙන්න එපා. බොන්න සල්ලි දීම ගැන වරදකාරී හැ`ගීමෙන් අම්මා කියනවා ඇහුණ.
‘සුබ දවසක් නෝනා. අද ජීවත් වෙන්න. හෙට ජීවිතේ ගැන හිතලා අද මළ කඳක් වෙන්න එපා. ජීවිතේ තියෙන්නෙ හොටවත් ඊයෙවත් නෙමෙයි. මෙතන මේ මොහොතෙ. හෙහ් හෙහ්....

හිනා වෙවීම එයා ගේට්ටුව ඇරගෙන පාරට බැස්සා. ඊට පස්සෙ අඩියක් අඩියක් පාසා හු`ගක් අවධානෙන් උඩහට ඇවිදින්න පටන් ගත්තා.

හරි අමුතු මිනිහෙක්..අපේ අම්මා ගෙට එන ගමන් කිව්වෙ මට ඇහෙන්න.
උදේ පාන්දර මුනිවරයෙක්... මං සිගරට් එකක් පත්තු කරන ගමන් හිතුවා.

- චින්තන ධර්මදාස

No comments:

Post a Comment