Tuesday, June 26, 2012

ගොන්සො - GONZO

උදේ පාන්දර මල්වතු නායක හාමුදුරුවො ටීවී එකේ ‘මුල්පිටුව’ ට පබ්ලිසිටි එකක් දෙනවා. හාමුදුරුවො දන්නෙ නෑ එයා මොකක්ද මේ කරන්නෙ කියල. බන්දුල පද්මකුමාරගෙ බාල පොලිටිකල් ප්‍රොජෙක්ට් එකට ලොකු ලොකු කවුරුත් ගාණකට නැතුව කඬේ යනවා. බන්දුල මුල් පිටුවෙ පත්තර කියවනවා විතරක් නෙමෙයි. පත්තර තෝරනවා (එයාට හිතවත්). එයාට  ඕන කරන අයට පබ්ලිසිටි දෙනවා. ආණ්ඩුවට කඬේ යනවා. පත්තර කියවනවා කියන්නෙ මේ අතරෙ පුංචි එකක් විතරයි. ඒත් බුද්ධාගම රැුකගන්න ඉන්න මහනායක හාමුදුරුවොත් මුල්පිටුවෙ ඇඞ් එකට එනවා. මං බුද්ධාගම දැන් පරණ වැඩියි කියන්නෙ මෙහෙම පාවිච්චි වෙන හැටි ඉවසන්න බැරි තැන. ලියද්දි ටීවී එකේ දැකපු හින්ද ලියන්න ආපු කාරණෙන් පිට ගිහින් දෙකක් කතා කරල එන්න වුණා. (සමාවෙන්න)

මං ලියන ආර්ටිකල් කොහොමටත් පත්තර වලින් ප‍්‍රතික්‍ෂෙප වෙනවා. සමහර ස`ගරා වලින් පවා. ලියලා දෙන්න කියලා කරදර කරපු අය වුණත් පස්සෙ ලිපිය දැක්කම අවුල් වෙනවා.

‘මේක සබ්ජෙක්ටිව් විදිහට නැතුව ලියලා දෙන්න පුළුවන්ද?’
‘භාෂාව චුට්ටක් වෙනස් කරලා දෙන්න බැරිද? උක්ත ආඛ්‍යාත තියෙන වාක්‍ය විදිහට. නැත්තං ඇකඩමික් ගතිය නැති වෙනවා’

ඒ ගොල්ලො මට නැවත ලියන්න කියනවා. උක්ත ආඛ්‍යාත එක්ක ලියන එ කමට පට්ට බෝරිං වැඩක්. හරියට දහම් පාසැලේ සමිතියෙදි දුටුගැමුණු රජතුමා ගැන කතාවක් කියනවා වගේ. මං දන්නෙත් නැති, මට අදාලත් නැති වෙන කාගෙ හරි කතාවක් නැවත කීම. ලංකාවෙ ඇකඩමික් කියන්නෙ ඒකට. වාස්තවික දැනුම. මට ඒ වගේ ලිපි කියවන්නත් කම්මැලියි. කර්තෘ ඉන්නෙ ලිපියෙන් පිට. හරියට ඉස්කෝලෙ අච්චු පොත් වල වගේ. ඒත් අපේ තාම මාධ්‍යවේදය තියෙන්නෙ ඒ වගේ තැනක. ඒක හින්දම ගොන්සො ජර්නලිස්ම් ගැන පොඩියට හරි ලියන්න මට හිතුණ.

ගොන්සො ජර්නිලිසම් කියන අලූත් විදිහෙ මාධ්‍ය රචනය අඳුන්නලා දෙන්නෙ හන්ටර් එස් තොම්ප්සන්. හන්ටර් එස් තොම්ප්සන් ව මට මුලින්ම මුණගැහෙන්නෙ ‘ෆියර් ඇන්ඞ් ලෝතින් ලාස් වේගාස්’ ෆිල්ම් එක බලද්දි. ඒකෙ ජොනී ඩෙප් කරන ඩොක්ටර් ගොන්සො ගෙ චරිතෙ පට්ට. මේ නවකතාව ගොන්සො ජර්නලිසම් වලට හොඳ උදාහරණයක් විදිහට සමහරු කිව්වට හන්ටර් එස් තොම්සන් කියන්නෙ ඒක අසාර්ථක උත්සාහයක් කියල. එයාට අනුව ඒක ප‍්‍රබන්ධ පැත්තට ගමන් කරලා වැඩියි.

ගොන්සො ජර්නලිසම් කියන්නෙ ප‍්‍රබන්ධ සහ ප‍්‍රබන්ධ නොවන දෙක අතරමැද තැනක්. මේ ස්ටයිල් එකේදි මාධ්‍යවේදියා ලියන දේ ඇතුලට එනවා. තමන්ගෙන් පිට සත්‍යයක් නෙමෙයි එයා කියන්නෙ. එයා ප‍්‍රවෘත්තියක් වෙනුවට අත්දැකීමක් විස්තර කරන්නෙ. තමන්ගෙන් වෙන්වුණු සත්‍යයක් හෝ ප‍්‍රවෘත්තියක් ගැන ලියන එක පචයක්. ඒක ඒ ලියන්නාට තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති කමක් විදිහටයි කියවද්දි දැනෙන්නෙ. උදාහරණයක් විදිහට ලංකාවෙ ජිජැක් ගැන හරි මනෝ විශ්ලේෂණය ගැන හරි ලියවෙන ලිපි ආයිමත් කියවලා බලන්න මං ආරාධනා කරනවා. ඒවා ලියන අය ලියන්නෙ හරියට බයිබලයෙ දේවල් ගැන ලියනවා වගේ. පරම සත්‍යයන් විිදිහට පාඨකයාට ඉදිරිපත් කරන්න  ඕනකමෙන්. ඒත් ඒ ලිපිය ඇතුලෙ ලේඛකයා කවුද? එයා කපටියෙක්.

”මට කිසිම තෘප්තියක් නෑ සාම්ප‍්‍රදායික මාධ්‍යවේදය ඇතුලෙ. ‘මම ඒ කතාව කවර් කළා. ඒ ගැන බැලන්ස් විදිහට ලිව්වා’ මේවා විකාර’ හන්ටර් තොම්සන් කියනවා.
’මේ වාස්තවික මාධ්‍ය රචනය වග කියන්න  ඕන ඇමරිකාවෙ පොලිටික්ස් මේ තරම් දූෂිත තැනකට වැටුණ එක ගැන. ඔයගොල්ලො කොහොමද නික්සන් ගැන ඔබ්ජෙක්ටිව් විදිහට ලියන්නෙ?’ එයා අහනවා.
තොම්සන්ට අනුව ගොන්සො ස්ටයිල් එකේ රචනයක් නැවත එඩිට් කරන්නෙ නෑ. ඒක අමුවෙන් තියෙන්න  ඕන. තොම්සන් පත්තර වලට ලියද්දි ඩෙඞ් ලයින් (ලිපි බාර දෙන අවසාන දිනය) වලට  වැඩ කරන්නම බැරි කෙනෙක් විදිහටයි ප‍්‍රසිද්ධ. එයා ලිපි එවන්නෙ අන්තිම මොහොතෙ. එතකොට කර්තෘගෙ අතින් ඒක එඩිට් වෙන්නෙ නැති හින්ද. එයාම කියන විදිහට,
 ‘එඩිට් කරන්න පරක්කු වැඩියි. ඒත් ප‍්‍රින්ට් එකට තාම වෙලා තියෙනවා’
ෆියර් ඇන්ඞ් ලෝතින් ලාස් වේගාස් කෘතියත් අසාර්ථක පර්යේෂණයක් විදිහට තොම්සන් හඳුන්වන්නෙ එයාට ඒක එඩිට් කරන්න සිද්ද වුණු නිසා.

හන්ටර් ස්ටොක්ටන් තොම්සන් ඇමරිකානු මාධ්‍යවේදියෙක්. රම් ඩයරීස් (දැන් ඞීවීඞී එක මෙහේ තියෙනවා), ෆියර් ඇන්ඞ් ලෝතින් ලාස් වේගාස්, කර්ස් ඔෆ් ලෝනෝ, හෙල්‘ස් ඒන්ජල්ස් වගේ එක හුස්මට කියවන් යන්න පුළුවන් කෘති ගණනාවක් එයා අතින් ලියවෙනවා. මේවා නවකතා නෙමෙයි. බාගයක් ප‍්‍රබන්ධ. බාගයක් වාර්තා. ඒ වගේම හන්ටර් තොම්සන් ජීවිත කාලෙ පුරාම ඇල්කොහොල්, මරිහුවානා, එල්එස්ඞී, මැස්කලින් සහ කොකේන් අතට අහුවෙන හැම මත්ද්‍රව්‍යයක්ම පාවිච්චි කරනවා. මේ ගොන්සො ජර්නිලසම් වලට එයා දෙන ලෝගෝ එකේ තියෙන්නෙත් රතු පාට අතකින් පෙයොට් මලක් අල්ලගෙන ඉන්න රූපයක්.
පෙයොට් ගැන මං මුලින් කියෙව්වෙ කාර්ලෝස් කැස්ටනෙඩාගේ ‘ටීචින්ග්ස් ඔෆ් දොන් ජුවන්’ පොතෙන්. ඒකෙ කැස්ටනෙඩා පෙයොට් අත්දැකීම් හොයාගෙන මෙක්සිකෝවෙ යැකි ඉන්දියානුවන් හොයාගෙන යනවා. පෙයොට් වල තියෙන්නෙ මැස්කලින් කියන රසායනය. ඒක මත් වෙන්න වගේම නොයෙක් ගැඹුරු ආධ්‍යාත්මික චාරිකා වෙනුවෙන් පාවිච්චි වෙනවා. කොහොම වුණත් හන්ටර් තොම්සන් තමන්ගෙ මාධ්‍ය සම්ප‍්‍රදාය වෙනුවෙන් මේ පෙයොට් මල පාවිච්චි කරනවා. දේශපාලනික හෝ සාමාජීය නමුත් ගැඹුරු ආධ්‍යාත්මික අත්දැකීමක් කියන අදහස මෙතන තියෙනවා.
හන්ටර් තොම්සන් මාධ්‍යවේදියෙක් වෙන්න කලින් ගුවන් හමුදාවෙ වැඩ කරනවා. ඒකෙන් එයාව ‘ගෞරවනීය’ විදිහට ඉවත් කරනවා, කිසිම අණකට හෝ ප‍්‍රතිපත්තියකට අනුව වැඩ නොකරන චෝදනාව උඩ. ඊට පස්සෙ එයා සුප‍්‍රසිද්ධ ටයිම් ස`ගරාවෙ වැඩට යනවා. එයාගෙ ලේඛනය වැඩිදියුණු කර ගන්න අභ්‍යාසයක් විදිහට ස්කොට් ෆ‍්‍රිට්ස්ගෙරාල්ඞ්, අර්නස්ට් හෙමින්ග් වේ වගේ ලේඛකයන්ගෙ පොත් එයා නැවත ටයිප් කරනවා. පස්සෙ ටයිම් ස`ගරාවෙනුත් එයාව අස් කරනවා ඉහළ කර්තෘවරුන්ට ගරුසරුවක් නෑ කියන චෝදනාව උඩ.  පත්තර සහ ස`ගරා ගාණකින් තොම්සන්ට අයින් වෙන්න සිද්ද වෙන්නෙ මේ ඇෙ`ග් දුවන හිතුවක්කාරකම හින්ද. ඒත් වැදගත්ම දේ එයා ජීවිතේ අවසාන තත්පරේ දක්වාම ඒ හිතුවක්කාරකම කිසිම විදිහකින් පාවා නොදීම.
අර්නස්ට් හෙමින්ග්වේ ගැන තොම්සන්ට තියෙන්නෙ ලොකු භක්තියක්. හෙමින්ග් වේ ගේ සියදිවි නසා ගැනීම ගැන වෙනම හොයන්න පවා එයා පෙළඹෙනවා. අන්තිමට දවසක තොම්සන් බිරිඳට දුරකථන ඇමතුමක් දෙනවා.
‘හනී. අයි ඇම් ගොයින් ටු ඩයි’
ෆෝන් එක තියලා එයා ඔලූවට වෙඩි තියා ගන්නවා. තමන්ට  ඕන විදිහට ජීවත් වෙලා තමන්ට  ඕන විදිහට මැරිච්ච මිනිහෙක් හන්ටර් තොම්සන්. එයාගෙ ලිවීමේ විලාසිතාව තමයි ගොන්සො ජර්නලිසම් කියන්නෙ. ඉතින් කොහොම හරි නමක් හදාගන්න ට‍්‍රයි කරන අපේ පතෝල මාධ්‍යවේදීන්ට ඒ වගේ ස්ටයිල් එකක් ඇ`ග හිරිවට්ටන භීතිකාවක් දනවන එක ස්වභාවිකයි.
ගොන්සො ස්ටයිල් එක පත්තරවලින් ආස කරන විදිහෙ ලිවිල්ලක් නෙමෙයි. ඒක අවිධිමත්. අවසාන නිමැවුමක් නෙමෙයි. ඒක හින්ද ඒ ලියන තනි තනි චරිත මිසක් පොදුවෙ පත්තරේ දේශපාලනයක් මතු කරන්න බැරි වෙනවා. මේ ස්ටයිල් එක ඇතුලෙ ලේඛකයා පත්තරේට කඬේ යන්නෙ නෑ. ඉතින් වියයුතු පරිද්දෙන්ම පත්තර ගොන්සො කලාවට එරෙහි වෙනවා. සහ ගොන්සො කලාව ඇතුලෙ භාෂාව කීතු වෙනවා. හාස්‍යය, උපහාසය වගේම අසභ්‍ය වචන පවා පාවිච්චි වෙනවා. හන්ටර් තොම්සන්ගෙ ලියවිලි ඇතුලෙ නම් මත්ද්‍රව්‍ය ගැන පවා පොසිටිව් විදිහට ලියවෙන්න ගන්නවා. ඇත්තටම ඒක ප‍්‍රචණ්ඩ මාධ්‍යකරණයක්. මේ ස්ටයිල් එක 1960 ගණන්වල පටන් ගත්ත ‘නිව් ජර්නලිස්ම්’ කියන ගමනෙම වර්ධනයක් විදිහටත් කියනවා. මේක ටොම් වුල්ෆ් වගේ මාධ්‍යවේදීන් විසින් ‘වුණ දේ ඒ විදිහටම’ කියන්න පාවිච්චි කළ විදිහක්.

තොම්සන්ගෙන් මේ ගැන ඇහුවම එයා කියනවා ‘ වුල්ෆ් වගේ නැවත කතාවක් ගොඩනගන්න මට  ඕනකමක් නෑ. ඇත්තටම වුල්ෆ් මට වඩා හු`ගක් හොඳ වාර්තාකාරයෙක්. වාර්තාකාරයෙක් වෙන්න මට කොහොමවත්  ඕනකමක් නෑ’

මිචිගන් ඔන්ලයින් වල ජෙනිෆර් මැරිනෙල්ලි තොම්සන්ගෙ මේ මාධ්‍ය විලාසිතාව සහ බලපෑම් ගැන කතා කරනවා. ‘මේක මාධ්‍ය රචනයේ විතරක් වෙච්ච වෙනසක් නෙමෙයි. තොම්සන් නිසා සාමූහික සිතීමක්ම වෙනසකට ලක්වෙනවා. මාධ්‍යයෙන් එලියෙ තොම්සන්ගෙන් වුණු බලපෑම ගැන කියද්දි මට මතක් වෙන්නෙ ගේබි‍්‍රයෙල් රූමෙගේ ‘ද ෂෝර්ස් වී වෝල්ක්’ (අපි ඇවිදපු ඉවුරු) වගේ ආත්මීය ලියැවීම්.

හන්ටර් තොම්සන් වෙනස් මාධ්‍යකරණයක් ඇතුලෙ අද කාලෙට අවශ්‍ය සිතීමක් අඳුන්නා දුන්නා. ඒක අලූත් පරම්පරාවල ඇට,මස් ඇුතුලෙන් කිඳාබහින කලාවක්. තොම්සන් වගේ කෙලවරක් නැති හිතුවක්කාර අත්දැකීම් වල ගමන් කරයි කියල හිතන්න බැරි වුණත් අලූත් බ්ලොග් සහ පුරවැසි මාධ්‍යවේදය වගේ දේවල් හරහා මේ ස්ටයිල් එක තව දුරටත් ගමන් කරන වග පැහැදිලියි’

තියෙන ඉඩකඩ ඇතුලෙ හැමදෙයක්ම කියන්න ගියාම ඒක ඇකිලෙනවා. තෙරපෙනවා. ඒත් මට  ඕන වුණේ ගොන්සො ගැන ලොකු කැන්වස් එකක තැන තැන පාට ඉහිරවන්න මිසක් චිත‍්‍රයක් අඳින්න නෙමෙයි. ඉවර කරන්න යද්දි අපේ ඔෆිස් එකේ සිදත් කියන කතාවක් මට මතක් වෙනවා.

‘ ඕෂො ලා ක‍්‍රිෂ්ණමූර්තිලා හොඳයි කියන්න විතරක්. ඒත් කරන්න උන් හරියන්නෙ නෑ’
ඒ වගේ හන්ටර් තොම්සන්ලගෙ ගොන්සො කලාව හොඳයි ඇමරිකාවට. ඒත් ලංකාවට  ඕවා හරියන්නෙ නෑ කියල අපි පරණ පුරුදු මොට්ට ලිවිල්ලම ලියමු.

-චින්තන ධර්මදාස

4 comments:

  1. හොයන්න වටින වැඩක්. චිත්‍රපටි ලැයිස්තුවට ස්තූතියි. තොම්සන්ගෙ වැඩ ගැන Gonzo: The Life and Work of Dr. Hunter S. Thompson කියල වාර්තා එකකුත් හොයාගන්න තියෙනව.

    ReplyDelete
  2. හරියට දහම් පාසැලේ සමිතියෙදි දුටුගැමුණු රජතුමා ගැන කතාවක් කියනවා වගේ. මං දන්නෙත් නැති, මට අදාලත් නැති වෙන කාගෙ හරි කතාවක් නැවත කීම. ලංකාවෙ ඇකඩමික් කියන්නෙ ඒකට. වාස්තවික දැනුම. මට ඒ වගේ ලිපි කියවන්නත් කම්මැලියි.

    එතකොට උඹ මේ කරන්නෙත් හන්ටර් එස් තොම්ප්සන්ගෙම කතාවක්ම ගිලලා ප්‍රසිද්ධියෙ රෙන එක නෙමෙයිද? ලියුම හොඳයි! උඹට ජය!

    ReplyDelete
    Replies
    1. ආහ් මෙතන අන්සිකියෝඩ් නිසා ලොග් වෙන්න විදියක් නැහැ. නැතුව බයකට නෙමෙයි. මම රචින්ත ජයවර්ධන

      Delete
  3. machan humter s thompson kiyanne usa wala top magazines walata liyapu porak, uge artical minissu bara gatta. umbe katha minissu publish karanna kemathi une nethi eka umbe liville awlak, ahaka inna hunter wa gawa ganna epa. umma mehema comparison ekek karanawa kiyala u dannawanam uu poth liyana ekekuth neh

    RK

    ReplyDelete