Saturday, June 8, 2013

එල්ලලාද මැරුවෙ? මරලාද එල්ලූවෙ?

මේ ලියමන මාලින්ද සෙනෙවිරත්න ලියපු ආර්ටිකල් එකේ කොටසකින්ම පටන් ගන්නං. ‘ලියෝ බර්නට් එක ලංකාවෙ සිංහයා හම ගසා කෑන්ස් සිංහයෙක් දින්නේ කෙසේද?’ කියන මාතෘකාව යටතේ මාලින්ද මෙහෙම කතාවක් කියනවා.

‘නිදහස් දවසේ මව්බිම පත්තරේ නිකුත් වෙලා පැය කීපයකින් ඔක්කොම පත්තර අළෙවි වුණා කියල ලියෝ බර්නට් එක උජාරුවට කියනවා. ඒක ගැන කියන්න අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා ලංකාවෙ මිනිස්සු ජාතික කොඩියක් හදා ගන්න කියල රුපියල් 50 ක් දීලා පත්තරයක් ගන්නෙ නං නෑ. නිදහස් උත්සව කාලෙදි රටේ හැම පළාතකම එක එක තරමෙ ජාතික කොඩි ප‍්‍රදර්ශනය වෙනවා. ඒත් මෙතන පුදුමෙකට වගේ මව්බිම කොඩිය විතරයි හැම තැනම පේන්නෙ. හරියට එදා ලංකාවෙ තිබුණෙ මේ පත්තර කොඩිය විතරයි වගේ.

මේක තනිකරම ස්කෑම් එකක් (ප්‍රෝඩාවක්). ඒ වගේම නිදහස් දවසත් ජාතික කොඩියත් දෙකම ගණිකා වෘත්තියේ යෙදවීමක්’ (බස මරා අදහස පමණක් ඉතුරු කර ඇත)

මාලින්ද මේ ලියන්නෙ කෑන්ස් ලයන් සම්මානයක් දිනපු මව්බිම පත්තරේ ජාතික කොඩිය ගැන. මේ කොඩිය රට පුරා වැනුවාය සහ ඒ වැනුමෙන් මව්බිම තොග පිටින් විකිණුනාය කියල පෙන්නන්න වීඩියෝ ක්ලිප් එකක් හැදුවා. ඒ ක්ලිප් එකේ කොඩි වනපු මිනිස්සු පත්තරෙන් කපලා කොඩිය හදලා වනපු මිනිස්සු නෙමෙයි අතට දුන්න කොඩිය කැමරාවට වනපු මිනිස්සුයි කියන එලිදරව්වත් එක්කයි මාලින්ද චෝදනා කරන්නෙ.

‘‘ක්ලිප් එකට ළං වෙලා බැලූවම පෙනිච්ච දෙයින් මාව තිගැස්සුණා. ධර්මදාස විතරක් නෙමෙයි ක්ලිප් එකේ හැම චරිතයක්ම මොඞ්ල් කෙනෙක්. පුරවැසියෙකුගේ ආත්ම ගරුත්වය ගැන තුට්ටුවකට මායිම් නොකරන කීපදෙනෙක්ගේ කෑදරකම වෙනුවෙන් පාවිච්චි වුණු මිනිස්සු ටිකක්’’ -මාලින්ද සෙනෙවිරත්න

මේ මව්බිම කොඩියට කෑන්ස් සිංහයෙක් ලැබීම ගැන මට මාලින්දට වඩා වෙනස් ගැටළු ටිකක් තිබුණ. ඒත් මොකටද කියල කර ඇරලා ඉන්න කොට මාලින්දගේ ලියමන මාව ආයිමත් පත්තු කළා.

එකක් මේ වීඩියෝ එක මාලින්දමත් මේ ලිපියේ කියන විදිහට ඉතා හොඳ නිමාවකින් කරලා තිබුණ එක. මං දන්න සිනමාවට අනුව ඒක බලපු ගමන් පේනවා සෙටප් එකක් කියලා. ඒත් මේ කෑන්ස් ලයන්ස් ප‍්‍රවීණයන්ට ඒ ටික තේරුම් ගන්නවත් බැරි වෙනවා.

අනිත් කාරණය අපේ සංස්කෘතිය, රටේ විදිහ ගැන තියෙන නොදැනීම. පත්තරයක් අරන් ඒක පිටිපස්සෙ තියෙන ජාතික කොඩිය කපලා නිදහස් දවසට වනනවා කියන්නෙ අපේ මිනිස්සු කරන්න පෙළඹෙන වැඩක් නෙමෙයි. ගේට්ටුව ළ`ගවත් වාහනේ වත් ගහලා තියන්න බැරි වනන්න විතරක් පුළුවන් පත්තර ජාතික කොඩියකට ලංකාවෙ තියෙන්න පුළුවන් ඉල්ලූම මොකක්ද? අඩුම තරමෙ මව්බිම ළමා පත්තරයක් වුණා නම් පත්තර කොඩිය මීට වඩා ප‍්‍රායෝගික අදහසක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට පත්තරෙන් ජාතික කොඩියක් කපා ගන්න ඉස්සර දුන්නෙ විජය පත්තරෙන්. ඒ මං පහේ පංතියෙදි විතර. ඒත් ඒකෙ තිබුණෙත් කොඩිය කපලා කෝටුවක අලව ගන්න කියල. පත්තරේ රෝල් කරලා කෝටුවට ගන්න පළවෙනි වතාව නං මව්බිමෙන් වෙන්න පුළුවන්.

මේ රටේ විදිහට නිදහස් දවසෙ පත්තරේ කියන්නෙ අතිශය සාරගර්භ ලිපි වලින් පිරෙන පත්තරයක්. ගොඩක් වෙලාවට මේ නිදහස් දවසෙ පත්තර එකතු කරලා තියාගන්න පවා මිනිස්සු පෙළඹෙනවා. මට මතක විදිහට රාවය නිදහස වෙනුවෙන් වෙනම අතිරේකයක් පළ කලා එක වතාවක. ඒ වතාවෙ ඇත්තටම කොපියක් හොයා ගන්න බැරි තරං පත්තරේ විකිණුනා. ඒ ජාතික කොඩියක් කපන්න නෙමෙයි. පත්තරේ අන්තර්ගතය හින්ද. මව්බිමේ ජාතික කොඩිය හදන්න වෙන්නෙ පිටිපස්සෙ පිටුවෙ තියෙන කොඩිය කපලා  පත්තරේ රෝල් කරලා පොල්ල විදිහට අරගෙන.  එතකොට පත්තරෙන් වැඩක් නෑ. ඒ කියන්නෙ එදා පත්තරේ අන්තර්ගතය වැඩකට නෑ කියන එක.

මේ අන්තර් ජාතික සම්මාන උළෙලවල තේරීම් සහ ඇගයීම් වල ඛේදවාචකය ඇඞ්වර්ටයිසින් වගේම සිනමාවටත් පොදුයි. විශේෂයෙන්ම කෑන්ස් වගේ අන්තර්ජාතික සිනමා උළෙල වල සම්මාන දිනන චිත‍්‍රපටි වල මට පේන ලොකුම හිඩැස ඒ රටවල සංස්කෘතික වටපිටාව ගැන නොදැනීම. ඒ චිත‍්‍රපටි වුණත් ස්කෑම්. ඒවා ඒ සිනමා උළෙල වෙනුවෙන්ම හිතලා හදපුවා මිසක් ස්වාධීනව පවතින නිර්මාණ නෙමෙයි.

කෑන්ස් ලයන්ස් කියන්නෙ ඇඞ්වර්ටයිසින් වල තියෙන ලොකුම සම්මාන උළෙල. මේක පටන් ගන්නෙමත් කෑන්ස් සිනමා උළෙල පූර්වාදර්ශයක් විදිහට අරගෙන. එතකොට ඒ තියෙන අසනීප ඔක්කොමත් ඒ විදිහටම එනවා.

කාට හෝ විශේෂයෙන් ලංකාවෙ කාට හෝ සම්මානයක්, ඇගයීමක් ලැබීම හොඳයි. ඒ වෙනුවෙන් දරන වෙහෙසත් අගය කරන්න  ඕන. ඒත් මේ සම්මාන සිනමාවෙන් සහ සම්මාන ඇඞ්වර්ටයිසින් වලින් අධිනිශ්චය වෙන ආකෘතිය සහ බලය ඒ තනි සම්මානයට වඩා මේ පොලොවෙ ඇත්ත විෂයට හානිකරයි.

චිත‍්‍රපටි වල මේ සම්මාන නිසා පරාරෝපිත සිනමාවක් ඇතිවීම ගැන මං කලින් ලිව්වා.  ඒ හින්ද මේ ලියමන සම්මානකාමී ඇඞ්වර්ටයිසින් වෙනුවෙන් තියන්නං.

ඇඞ්වර්ටයිසින් කියන්නෙ මං දන්න තරමට බඩු විකිණීම. ඊට වඩා දෙයක් ඇඞ්වර්ටයිසින් වලට ආරෝපණය කරන්න යන්නෙ ඉන් පිට වෙන කිසි ජීවිතයක් දන්නෙ නැති අය කියලයි මං හිතන්නෙ. (ඇඞ්වර්ටයිසින් ඇතුලෙන් සමස්තය පියවා ගැනීමට යාම) කොටින්ම බඩු විකිණෙන්නෙ නැත්තං ඇඞ්වර්ටයිසින් ෆේල්.

ඒත් ඇඞ්වර්ටයිසින් වල ක‍්‍රියේටිව් අය බරපතල විදිහට පෙළෙන අර්බුදයක් වෙන්නෙ ඇඞ් ‘ආර්ට්’ කරන්න යන එක. මහා ජනකායකට, බුද්ධි අබුද්ධි භේදයක් නැතිව තේරෙන්න කියන්න  ඕන දෙයක් සම්භාව්‍ය කලාරූපී ආකෘති වලට දාන එකෙන් වෙන්නෙ ඒ පණිවුඩය සීමා වීම විතරයි. ගොඩක් වෙලාවට ටීවී එකට හදන ඇඞ් වල ටීවී කියන මාධ්‍ය ගැන නොදැනීම පවා ඇඞ් එකට වඩා ලොකුවට පේනවා. සමහර වෙලාවට  මිනිහෙක් තිතක් තරමට පේන දුර ඩොටේ රූප රාමු වලින් කියන්න හදන්නෙ මොකක්ද කියලා මං තාම කල්පනා කරනවා. අපි ටීවී එකට නං ඇඞ් එක කරන්නෙ ඒක අති විශාල පුළුල් තිර ටීවී එකක් ගැන අදහසක් ඇතුව කරන එක වැරැුද්දක් කියලයි මට හිතෙන්නෙ.

ප්‍රෙස් වල මේ විකාරය ඊටත් වැඩියි. ‘ඇඞ්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පෙරළගෙන ආර්ට් ඩිරෙක්ටර්ස්ලා අනුන්ගෙ සල්ලි වලින් තමන්ගේ සම්මානය දිනන්න හදන හැටි දුක හිතෙනවා.  ක‍්‍රියේටිව් අයිඩියා එක ලොකුවට අන්තිමට ප්‍රොඩක්ට් එක නොපෙනෙන තරං පොඩියට. ඒක තමයි ඇඞ් වල සම්මාන සූත‍්‍රය.

ලංකාවෙ හැටියට මීට වඩා මූණට ඇනලා ප්‍රොඩක්ට් එක පෙන්නන්න  ඕන කියනවා නෙමෙයි. ඒක තමයි ලෝකෙ කොතනත් මාස් එකත් එක්ක ගනුදෙනු කරන විදිහ. ඒ අයගේ සංවේදී සීමාවන්ට ළං වෙන එක. ඒ අයගෙ ඇස් වලින් බලන එක. කන් වලින් අහන එක. ‘ඇඞ්ස් ඔෆ් ද වර්ල්ඞ්’ වල තියෙන්නෙ සම්මානය වෙනුවෙන්ම කරන එක ස`ගරාවක හෝ වෙබ් පිටුවක විතරක් පලවෙන බොරු ඇඞ් එක විතරයි. ඒ බඩු විකුණන්න කොටං අදින ඇඞ් වෙනම යු ටියුබ් එකේ බලන්න පුළුවන්. ඒත් අපේ ඇඞ්වර්ටයිසින් කට්ටියගෙ ලොකුම චෝදනාව වෙන්නෙ තමන්ගේ ආර්ට් එකට ක්ලයන්ට් ඉඩක් නොදෙන එක. මට හිතෙන්නෙ ඒක වෙන්න  ඕන අනිත් පැත්තට. ක්ලයන්ට්ගෙ ආර්ට් එකට තමන් ඉඩක් දෙන එක. තමන්ගේ නිර්මාණශීලීත්වය ක්ලයන්ට් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන එක. කන්‍යා භාවය රකින්නයි වීදි ගණිකාවක් වෙන්නයි දෙකක් එකට බෑ.

මේ කියන්නෙ ඇඞ්වර්ටයිසින් නරක පහත් දෙයක් වගේ අදහසක් නෙමෙයි. ඒ වෙනුවට ඇඞ්වර්ටයිසින් දිහා බලන්න වෙන්නෙ වෙන විදිහකට කියන එක. ඒක ආර්ට් වලට වඩා වෙනස් ආර්ට් එකක්. ඇන්ඩි වාර්හෝල් කියන විදිහට ‘කොමර්ෂල් ආර්ට් කියන්නෙ ලෝකෙ හොඳම ආර්ට් එක’

ඇඞ්වර්ටයිසින් ගැන අලූත් විදිහක පර්යේෂණයක් කරන මගේ යාලූවෙක් මාත් එක්ක කතා ටිකක් කතා කරන්න ආවා. එයාගෙ අදහස වුණේ ඇඞ්වර්ටයිසින් කියන්නෙ නූතන ජන වහර නිර්මාණය කරන තැන කියල. මේ පර්යේෂණය කොහොම වුණත් ඒකෙ ඇත්ත කාරණයක් තියෙනවා. එකක් ඇඞ්වර්ටයිසින් කියන එකම ජනවහරක් වෙන්න  ඕන. එහෙම ජනවරක් වෙන්න නම් ඇඞ් එක ඇතුලෙ ඒ මිනිස්සුන්ගෙ මොකක් හරි ඇත්ත තැනක් ඇල්ලෙන්න  ඕන. උදා විදිහට, ඇල්ලූවට හපන්න පුළුවන්ද?’ වගේ ලයින් මිනිස්සුන්ගෙ එදිනෙදා පාවිච්චියට ආවෙ එහෙම.

‘සොම්නස දොම්නස පවසන ගොළුබස’ වගේ ටැග් ලයින් පවා තාමත් මතක ඒ ළ`ගකම හින්දයි. කිසි ක‍්‍රියේටිවිටි එකක් නැතුව තාමත් සිද්ධාලේප පරණ සිංදුවෙන්ම විකිණෙන්නෙ එහෙමයි.

ඒත් මේ සම්මාන උළෙල වල් නිසා පැතිරෙන ආර්ටි ඇඞ්වර්ටයිසින් රෝගය පේ‍්‍රක්‍ෂාගාරයක් නැති සිනමාවක් ලංකාවට ගෙනාවා වගේම ජනතාවක් නැති ඇඞ් කැම්පේන් අභිෂේක කරනවා. සිනමාවෙ රතු පස් සහිත වියළි කලාපය සහ යුද්ධය සම්මාන සිනමාවෙ තේමාව වුණා වගේ මෙතනදි අන්ධයින් කොරුන් සහ තවත් නොයෙක් ආබාධිතයන් මේ ඇඞ් තේමා විදිහට පාවිච්චි වෙනවා.

සමාජ සත්කාර වෙනුවෙන් ඇඞ් හැදෙන එක හොඳයි. ඒත් සම්මාන වෙනුවෙන් කරන මේ ඉමෝෂනල් බොරුව ‘මාර’ වෙන එක භයානකයි. රටක ඇඞ්වර්ටයිසින් ඒ රටේ ජනතාවට වඩා උඩින් නොයා යුතුයි කියන එකයි මං දන්න තරම. මේ රට ගැනවත් රටේ සංස්කෘතිය ගැනවත් පිච්චියක දැනීමක් නැති සම්මාන උළෙල වලින් දෙන සම්මාන වලින් ඇඞ්වර්ටයිසින් වල හොඳ නරක තීරණය කරනවට වඩා මේ රටේ ඇත්ත මිනිස්සුන්ගෙ හැ`ගීම් පොළඹවන ඇඞ්වර්ටයිසින් ආර්ට් එකක් හොයාගෙන යන්න වෙනවා.  ඇඞ් ඔෆ් ද වර්ල්ඞ් බලලා ඒ වගේ ඇඞ් එකක් හදනවට වඩා ඒක ටිකක් අමාරු වැඩක්.

-චින්තන ධර්මදාස

1 comment:

  1. ඒක මාර ඇඩ් එකක් . (මම මෙතන ඇඩ් කියල කිව්වේ Advertisement එකකට නෙවෙයි.Act වගේ තේරුමකටයි.)

    ReplyDelete