Saturday, February 1, 2014

අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්


මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට කලින් මට පොතක් ගෙනත් දුන්නා. කියවලා කතා කරන්න.

මං සිංහල පොත් කියවන එක අත්ඇරලා තියෙන්නෙ. විශේෂයෙන්ම ප‍්‍රබන්ධ. උක්ත ආඛ්‍යාත ගැටගහන වාක්‍ය ඇතුලෙ කොයිතරං අලූත් අදහසක් කියන්න හැදුවත් මට දැනෙන්නෙ පරණ විදිහටමයි. ඒ සංස්කෘතික ගැටේ ලිහා ගන්න බැරි මිනිහෙක් මනුස්ස ජීවිතේ ගැන කරන්න යන මාර විවරණයක් වුණත් මට ටිකක් නොගැලපෙනවා වගේ. තමන්ගෙ මාධ්‍ය ගැන අලූත් විදිහට හිතන්නෙ නැතුව අනුන්ගෙ ජීවිතයක් ගැන අලූත් විදිහට දකින්න පුළුවන්ද?

පරිවර්තන ගන්නම දෙයක් නෑ. ගොඩක් ලොකුවට තමන්ගෙ නම ගහගන්න පරිවර්තකයො ද`ගළන එක ඇත්තටම හොඳයි මට හිතෙන්නෙ. පොඩියට තමයි ඔරිජිනල් කර්තෘව දාන්න  ඕන. පුළුවන් නම් ඇතුලෙ. මොකද ඒකෙ ඒ කර්තෘ කියපු දේවල් තියෙන්නෙ බොහොම ටිකයි. තමන්ගෙ වියත් සිංහල හැසිරීම ඇතුලෙ අර මනුස්සයගේ ජීවිතේ දත්ත විදිහට පරිවර්තනය කරනවා. හැම පොතක්ම දෙන්නෙ එකම හැ`ගීමක්. සිංගර් කියෙව්වත් එකයි බුකොව්ස්කිව කියෙව්වත් එකයි.

භාරතගේ පොත අතට ගත්ත ගමන් මං මුල් පිටුව පෙරළලා බැලූවො දිගටම කියවනවද කියල තීරණය කරන්න. ඒකත් උක්ත ආඛ්‍යාත මැද්දෙ වාක්‍ය ලියපු ලියමනක්. ඒත් එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ජනප‍්‍රිය වහරක් ඒකෙ තිබුණ. බස් යන ගමන් වුණත් එක දිගට කියවගෙන ගිහින් ඉවර කරන්න පුළුවන්. ඒ වගේම පටන් ගන්නෙම ලොකු ප්නැ එකකින්. මං දිගටම කියවගෙන ගියා.
අසමජ්ජාති ආදරය.

මං හිතන්නෙ අසමජ්ජාති කියන එක හැදෙන්නෙ සම්මා- ජාති, අසම්මා- ජාති විදිහට වෙන්න ඇති (ෂුවර් නෑ) ඒ කියන්නෙ යහපත් වූ උපත සහ අයහපත් උපත වගේ. ඒ විදිහට ගත්තොත් අසමජ්ජාති වෙන්නෙ අවජාතක කියන තේරුම. එහෙම අවජාතක ආදරයක් ගැන තමයි කතන්දරේ තිබුනෙත්.

භාරත දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවෙ කතා කරන්නම  ඕන නිලයකට අත තියනවා. මේ කතාව තියෙන්නෙ ශ‍්‍රී පාලි කැම්පස් එක ගැන. හන්තානෙ කතාවට පස්සෙ ආයිමත් කැම්පස් කතාවක් ලියවුනේ නෑ මං දන්න තරමින්. ඊටත් වඩා කැම්පස් කියලා ඒකෙ අධ්‍යාපනයයි, උඩින් පේන බොරු ලව් එකයි වගේ දේවල් එක්ක ගැටගැහෙන්නෙ නැතුව කැම්පස් එකේ ඇත්තම සහ වැදගත්ම සාධකය උඩ හිටගෙන කතා කරන පළවෙනි පොත වෙන්නෙ මේක. අසම්ජ්ජාති ආදරය ඇතුලෙ කියන්නෙ කැම්පස් ජීවිතේ ලිංගික දේශපාලනය ගැන.

අපිට ගොඩක් වෙලාවට මග ඇරෙන කතිකාවක් මේක. ඒ හින්ද අපි ගොඩක් සමාජයක් විදිහට නොමග යනවා. අනුන්වත් නොමග යවනවා. ලංකාවෙ ඉතිහාසෙ ගත්තත් උඩින් තියෙන තොරතුරුමය දත්තවලට ඇතුළෙන් ඒ ඉතිහාසයේ ලිංගික දේශපාලන තත්වයන් ගැන අපි දන්නෙ මොනවද? බුදුන් ගැන වුණත් ඒ කියපු දේවල් මේ වගේ විකාරරූපී අදහස් විදිහට වර නැගෙන්න බුදුන්ගේ ලිංගික දේශපාලනය ගැන කතිකාව නැති එක බලපානවා. මේ යටිපෙළ නැති වුණාම පාවෙන සංකල්ප හැදෙන්න පටන් ගන්නවා.

ඉස්තෙපාන් එක්ක කතාවක් දාගෙන ඉන්න වෙලාවක ඌ මාර කතාවක් කිව්වා. ‘මචං, කවුරු හරි පිටරටක ඉඳන් මෙහේ මිනිහෙක් මුණගැහිලා කතා කළොත් කතා කරන හැමදේකින්ම පේන්නෙ ලංකාවත් ඒ වෙස්ට් එකේ රටක් වගේ තමයි කියල. ඔක්කොම තියෙනවා. ඒත් මචං මොකක් හරි සෙක්ස් ටොපික් එකකට ගිහින් කතා කළොත් මචං බය හිතෙනවා. මෙහේ සෙක්සුවල් පොලිටික්ස් මාර වෙනස්. ඒක ලෝකෙ කොහෙවත් නැතුව ඇති’

ලංකාවෙදි අපිට සමහර වෙලාවට මුණගැහෙන්න පුළුවන් මහාචාර්යවරු පශ්චාත් නූතනවාදී විෂයන් ගැන කතා කරන. ඒ කතා සහ ඇකඩමික් ජීවිතේ ඇතුලෙ ඒ ගොල්ලො මාර සීරියස් වෙන්නත් පුළුවන්. ඒත් හදිස්සියෙවත් එයා ෆෝන් එකෙන් පෙම්වතියට හෝ බිරිඳට හෝ එක්ක කෝල් එකක් ගත්තොත් එකපාරට ලොකු ගැප් එකක් හැදෙන්න ඉඩ තියෙනවා. උදා විදිහට එයා පෙම්වතියට කියන්නෙ ‘අම්මි...’ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට පෙම්වතිය එයාට ‘තාත්ති....’ කියනවා. මේ අම්මි සහ තාත්ති අතර ආදරය මාර හිරිකිත විදිහට ලංකාවෙ හැමතැනම තියෙනවා. මේක වෙන කිසි රටක තියෙන තත්වයක් නෙමෙයි. සදාකාලිකව අම්මා සොයා යාම.....කොයිතරම් දත්ත සහ දැනුමෙන් වැඩුණත් මානසිකව ලොකු නොවැඞීමක් ගැන සීරියස් කතන්දරයක් මෙතන පොඩි හිඩසෙ තියෙනවා.

මං කිව්වෙ ලිංගික දේශපාලනයට සම්බන්ධ කාරණා වලින් කොයි කොයි විදිහට අපි ගැන අහුවෙන්න පුළුවන්ද කියන එක ගැන. භාරත ශ‍්‍රී පාලියෙ ලිංගික දේශපාලනය - සංස්කෘතිය ගැන ලියනවා. ඒක ආදර කතාවක්. ඒ වගේම පාදඩ කතාවක්.

නලින්ද සහ අපේක්ෂා, ඊට පස්සෙ නලින්ද සහ රිහානා, එතකොට අපේක්‍ෂා සහ ශාලිත සර්. මේ කතාවෙ ප‍්‍රධාන අක්ෂය. ඒ අතරෙ තවත් අප‍්‍රධාන ජීවිත ගොඩක් එකට කැරකෙනවා. ලෙක්චර් හෝල් එකෙන් එලියෙ කැම්පස් ජීවිතේ පළවෙනි වතාවට කොල ටිකක් උඩට එනවා. ඒක පර්යේෂණ නිබන්ධනයක් නොවී ප‍්‍රබන්ධ නවකතාවක් වෙච්ච එක කොච්චර හොඳ ද?

මේ කතන්දරේ දිගට යන අතරෙ මං ඊට සමාන්තර වෙනම ටි‍්‍රප් එකක යන්න ගත්තා. කැම්පස් සබ්කල්චර් එක ගැන දිගට දිගට රෝල් වෙන අදහස් පැදුරක මං පෙරළි පෙරළි හිටියා. කැම්පස් කියන ඒවා හිතලා හදන්න බෑ කියල මං හිතන්නෙ. හොඳම උදාහරණෙ එහෙම කෘතිමව ජාතක කරපු ගොඩක් කැම්පස් ටෙක් එකක මට්ටමෙන් නතර වීම. ඒ සංස්කෘතිය ඒක ඇතුලෙ හැදෙන්න  ඕන. වයඹ, රජරට වගේ කැම්පස් ඇතුලෙ මට දැනෙන ලොකුම මහන්සිය මේක.

කැම්පස් ජීවිතේ කියන්නෙ බුබුළක් වගේ ජීවිතයක්. පේරාදෙණිය වගේ ගත්තොත් ඒක වෙනම ගමක්. අවුරුදු ගානක්ම ඒක ඇතුලෙ විතරක් ජීවත් වෙන්න පුළුවන්, එළියෙ කිසිම සම්බන්ධයක් නැතුව වුණත්. ගෙවල් වල හිරවෙලා තිබ්බ තරුණ ජීවිත ටිකක් මේ වගේ මිටියාවතක නිදහස් වෙනවත් එක්ක උනුත් බය වෙන තරමේ වේගයෙන් ජීවිතේ පිනුම් ගහන්න ගන්නවා. මට හිතෙන්නෙ ශිෂ්‍ය සංගම් පිහිටවගෙන කොටට ඇඳුම් අඳින්න නොදී, සුනිල්- නන්දා වගේ අයගෙ සිංදු විතරක් ඇහෙන්න දිදී, අජිත්ලව එහෙම වද්දගන්න නොදී ආරක්‍ෂා වෙන්න හදන්නෙ තමන්ගෙන්මයි. ඒ තරමට මේ කලාපෙ ජීව විද්‍යාව ප‍්‍රබල වෙනවා. පේරාදෙණියෙ මං දන්න කාලෙ වුණත් ගබ්සා සිද්ද වෙන ප‍්‍රමාණය සාපේක්‍ෂව ඉහළ අගයක තිබුණ.

මේ කියන්නෙ භාරතගේ පොත කියවලා සලිත වුණු ලංකාවෙ වැඩිහිටියෙක්, ‘අපොයි අපේ ළමයි කොහොමද කැම්පස් එවන්නෙ?’ කියල අහන ළදරු කතාව නෙමෙයි. මේක හොඳ තත්වයක්. මේ ලිංගික සංස්කෘතිය තමයි මං හිතන්නෙ කැම්පස් අත්දැකීම. මේකෙන් තමයි ඒ අවකාශයේ හැම තත්වයක්ම පාලනය කරන්නෙ. උදා විදිහට ගත්තොත් කැම්පස් සාහිත්‍යයේ හැම කවියක්ම වගේ කියන්නෙ ලිංගිකත්ව අවුලක්. කටින් කට පරපුරෙන් පරපුරට එන හැම කැම්පස් කතාවක්මත් එහෙමයි. එතකොට ඒ දේශපාලනය, ඒ සටන් ඔක්කොම තේරුම් හැදෙන්නෙ මේ විවරය ඇතුලෙ විතරයි. මහා සමාජෙ සමග එක`ගතාවයක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් විශාල මනුස්ස ආශා ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාල ජීවිතේදී විවෘත වෙනවා. මේ නිදහස ඇතුලෙ ගොඩක් ලස්සන දේවල් සිද්ද වෙන්න පුළුවන්. ඒත් කරුමෙකට තමන්ගේම නිදහස ගැන බය ඇතුලෙ මේ ගම්බද ජීවිත ඇකිළෙනවා. කුහක වෙනවා. දෙබිඩි වෙනවා.

මේක ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි. ආචාර්යවරුන්ටත් පොදුයි. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ට වෙන්න ඉඩ තියෙන ලොකුම අවාසිය තමයි සදාකාලික ශිෂ්‍ය මනෝභාවයන් ඇතුලෙ හිරවෙන එක. ඒ ගොල්ලො ලොකු වෙලත් ලියන්නෙ ඒ කැම්පස් කාලෙ නිබන්ධනමයි. හිතන්නෙත් ඒ කාලෙ විදිහටමයි. එතකොට අපිට ඉන්න ආචාර්ය ශිෂ්‍යයො.

මේ ලිංගික දේශපාලන නිදහස ඇතුලෙ වෙනස් ජීවිත හැඩතල නිර්මාණය වෙනවා. මට එකපාරට මතක් වෙන්නෙ සෝරත හාමුදුරුවො. මිගෙට්ටුවත්තෙ ගුණානන්දට නැති පෞර්ෂයක් සෝරත හාමුදුරුවන්ට තිබුණ. එයා දර්ශන අංශෙ උගන්වමින් හිටියෙ. සිවුර බුරුළට තනි කරට දාගෙන ගෙම්බා කැන්ටිමේ සිගරට් එකක් බොද්දි එයා ගාමිනී ෆොන්සේකට වඩා විෂුවලි මරු.

ඒ කාලෙ ඉවර වුණා. එයා ඇමරිකාවෙ ගිහින් ආවා. සිවුරත් අත් ඇරියා. මං හිතන්නෙ මොකක් හරි දේශපාලන පත්වීමකුත් ගත්තා. ඊට පස්සෙ එයාගෙ පෞර්ෂය කසාද මිනිහෙක් ගානට බාල්දු වුණා. කැම්පස් වලින් එළියට ආවට පස්සෙ වෙනස් වෙනවයි කියල අපි දකින තැන  ඕක. ඒ උපසංස්කෘතික අවකාශෙන් එලියෙ ඒක ඇතුලෙ නිෂ්පාදනය වුණු චරිත හෝ අදහස් පවතින්නෙ නෑ. ඒකට හේතුව ලිංගික දේශපාලන තත්වයන්ගෙ වෙනස.

මං හිතන්නෙ ඊට පස්සෙ කැම්පස් වල හිටපු හැමෝටම තමන්ගේ කැම්පස් කාලෙ රාත‍්‍රියක් විතරයි. ඒ ? කරපු දේවල් මතක හීන විදිහට විතරයි. සමහර වෙලාවට ඒ හීන වලට බය වෙලා අපි ගොඩක් කල් යනකල් ඇහැරෙනවා.

මේ කැම්පස් උපසංස්කෘතියට දැන් වෙමින් යන දේත් භාරත කතාව ඇතුළට ගේනවා. උදා විදිහට එදා කවදාවත් දොළහෙන් එහාට කරකැවෙන්නෙ නැති බිත්ති ඔරලෝසුව නිසා බෝඩිමට දාපු නම ‘දොළහ’ පස්සෙ උන් බෝඩිමේ ඉන්න කොල්ලො ගානට අනුව වෙනස් කරන එක. එතනදි යන්තමට කියවෙනවා මේ අලූත් උන් ආණ්ඩුවෙ මිලිටරි ටේ‍්‍රනින් එක ගත්ත උන් කියල. මේ පුහුණු වීම් හෝ නවක වදය වළකන නීති හෝ මොන විදිහකින් හරි ආණ්ඩුව කරන්න හදන්නෙ කැම්පස් වල ලිංගික සංස්කෘතිය මහා සංස්කෘතියෙන් යටත් කර ගන්න එක. ඒක ඇතුලටත් අම්මලා තාත්තලා, ආමි එක පොලිසිය ගේන්න හදන එක. මේ නිදහස අහිමි වෙන තැනින් හෝ මේ නිදහස ගැන දැනීමක් නැති තැනින් එහාට විශ්ව විද්‍යාල කියන සංස්කෘතිය ඉවර වෙනවා. ටෙක් එකක සහ විශ්ව විද්‍යාලයක තියෙන වෙනස මේක. ඒ අධ්‍යාපනය හෝ විෂය මාලාව නෙමෙයි. ඇතුලෙ පරම්පරා ගානක් තිස්සෙ ගොඩනැගුණු ලිංගික දේශපාලන නිදහස.

භාරත අතින් ලියවෙන්නෙ කැම්පස් වල ගස් ගල් වලට කතා කරන්න පුළුවන් නම් උන් අතින් ලියවෙන කතාව. ඒක ඇතුලෙ වැදගත් කියල පේන හැම අනෙක් දේශපාලන කතිකාවක්ම (උදා විදිහට ජීඞීපී 6% වුණත්* කියවෙන්නෙ මේ ආදර සම්බන්ධතා අවුල් ඇතුලෙන්. එක එක අයට මේ මීදුම පිරිච්ච මිටියාවත ඇතුලෙ එක එක දේවල් වෙන්න පුළුවන්. මීදුම නිසා කවුරුවත් නොදකින්නත් පුළුවන්. ඩිපාර්ට්මන්ට් එකට ගන්න පොරොන්දුව පිට ඇඳුම් ගලවන ආචාර්යවරයා පටන් අත්විඳින දෙයින් සසර කළකිරිලා මහණට යන චරිත දක්වා පදාසයක් මේ කතාව ඇතුලෙ පාට වෙනවා.

ඊට පස්සෙ භාරත එතනින් තවත් උපසංස්කෘති කලාපෙකට අත තියන්න හදනවා. ඒ ඇඞ්වර්ටයිසින්. ප‍්‍රධාන චරිතයේ ඊළ`ග පේ‍්‍රමය මේ උපසංස්කෘතිය ඇතුලෙ තැබීම හරහා එයා ඊළ`ග රවුමට ගොඩවෙන්න යනවා. ඒත් කැම්පස් එකේ ලිංගික දේශපාලන සංස්කෘතිය අතැඹුලක් වගේ ගන්න භාරතට මෙතනදි අහුවෙන්නෙ ෆ්ලැට් කතාවක් විතරයි. ඒක ආයිමත් පිට ඉඳන් කරපු අතපත ගෑමක් වගේ. එක අතිකින් මේ තරම් සරලව උපසංස්කෘතීන් දෙකක් අතරෙ මාරු වෙන්න ගිය පළමු වර ලියන්නෙක් විදිහට එයා ගන්න හිතුවක්කාර තීරණයක්. මට මුලින්ම පුදුම හිතුනෙ කැම්පස් කලාපය ඇතුලෙ වුණත් මේ තරම් චරිත ගානක් විසුරුවා හරින්න එයාට තිබුණු දක්ෂකම ගැන. ඒක අමාරු වැඩක්. දුර්වලතා මැද්දෙ වුණත් භාරත ඒක සෑහෙන හොඳට කරනවා. ඒත් දෙවන වටේදි ඇන ගන්නවා.

ඒක හින්ද අසමජ්ජාති ආදරේ මගේ කොටස වෙන්නෙ රිහානාව මුණගැහෙන කල් විතරයි. එතනින් එහාට භාරත හැම සර්කල් එකක්ම සම්පූර්ණ කරන්න ට‍්‍රයි කරනවා. ජනප‍්‍රිය නවකතාවක් විදිහට ලංකාවෙ ඒක වැඩ කරන්න පුළුවන්. ඒත් ඒකෙන් කතාවක් විදිහට කතාව ගොඩක් බාල කරනවා.

‘ජීවිතේ වෙනස් වෙන්නෙ මිලි සෙකන්ඞ් ගානකින්’ එයාගෙ පොතේ සටන් පාඨයක් වගේ මේ වැකිය කියනවා. මේ විදිහට ජීවිතේ තනි රූලකින් විස්තර කර ගන්න යන එක, බෞද්ධ අවුලක්. පරමාර්ථ සත්‍යය හොයන්න යනවා වගේ. මට හිතෙන්නෙ අපි ජීවිත ගැන මීට වඩා මයික්‍රො කියවීමකට යන්න  ඕන. උදා විදිහට අපේ ජීවිතේ ඒ මිලි සෙකන්ඞ් ගාන වෙනස් වෙන්න දන්න නොදන්නා තව ගොඩක් ජීවිත, ගොඩක් සංසිද්ධි, ගොඩක් ඉතිහාසයන් අවුරුදු සිය ගානක් පරිණාමය වෙනවා වෙන්න පුළුවන්. බටර්ෆ්ලයි අෆෙක්ට්ස් කියන සංසිද්ධියෙන් මං මේ කියන කතාව තේරුම් ගන්න ලේසි වෙයි. ඒ මිලි සෙකන්ඞ් ගාන ඇතුලෙ සිද්ද වෙන මේ දැවැන්ත ජීවිත පරිණාමයන් ගැනයි අපි සවිඥාණක වෙන්න  ඕන. ඒක භාරත අතින් සිද්ද වෙනවා. ඒත් අන්තිමට නිව්ටන් ඇවිල්ලා කරදර කරනවා. එයා හැම ක‍්‍රියාවකටම සමාන සහ ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත කියන තැනින් ඔක්කොම ටික පෙළට විසඳගෙන යනවා. ඒ කතාවෙ චරිත ඊටත් වඩා ගොඩක් ඈත විශ්වයන් වලට විසුරුවා හරින්න තිබුණ. සමහර විට පළමුවර ලේඛකයෙකුගෙන් ඒ තරම් බලාපොරොත්තු වෙන එක වැරැුද්දක් වෙන්න පුළුවන්.

‘පේ‍්‍රමය කොතරම් දේ කියා සිටියද, කොතරම් දේ අසා සිටියද, කියා සිටීමට හෝ අසා සිටීමට නොහැකි වූ දෙයක් සෑම පේ‍්‍රම කතාවකම ඉතිරි වී ඇත. සෑම පෙම්වතෙකුමද, සෑම පෙම්වතියකමද ඒ දේ කියා සිටීමට හෝ අසා සිටීමට මොහොතක් යළි උදාවන තුරු පෙරුම්පුරමින් සිටිති...’

භාරත පොත ඉවර කරන්නෙ එහෙම. හැම අවජාතක පේ‍්‍රමයකම මේ ඉතුරු වෙලා තියෙන කෑල්ල ඇත්තක්. ඒ අපි අන්ධකාරෙ බෙදා ගත්තු ඒ රහස යළි බෙදා ගන්න පුළුවන් අන්ධකාරයක් එනකල් බලාපොරොත්තුවක්. එක`ගතාවයක් ඇතුලෙ ඇහිරෙන හැම නිදහසකින්ම ඒ ආශාව තවත් රොමාන්තික කරනවා.

-චින්තන ධර්මදාස

2 comments:

  1. අපිම කූඩු හදාගෙන, අපිම ඒක ඇතුලට රිංගලා, එලියේ ඉන්න එකෙකුට කියනවා යන ගමන් ලොක් කරගෙන යන්න කියලා. මට අපේ සමාජය පේන්නේ එහෙමයි. ඊට පස්සේ බෙරිහන් දෙනවා යතුර කෝ යතුර කෝ කියලා.

    ReplyDelete
    Replies
    1. පුදුමයි අරූ.......
      නියම කතාව...

      Delete