පහුගිය දවසක සිනමාව හදාරන ළමයි කට්ටියක් ඒ ගොල්ලො අවුරුදු දෙකක් තිස්සෙ හදාරපු සිනමාව ගැන දේවල් එලියට දාන්න කරපු චිත‍්‍රපටි කීපයක් බලන්න ගියා. මෑතක ඉඳන් අලූත් උන් කරන දේවල් වලින් අමන්දානන්දයට පත්වෙන හින්දම මං ගියේ ගොඩක් කැමැත්තෙන්. ඒකට මට අමතරව විමුක්ති, සමන් වික‍්‍රමාරච්චි ඇතුළු තවත් කීප දෙනෙක්ම එකතු වෙලා තිබුණ.
වැඬේ පටන් ගන්න කලින් සමන් පොඩි කතාවක් කරමින් කිව්වෙ සිනමාව මේ විදිහට පාඨශාලීය අධ්‍යාපනයකින් උගන්නන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නෙ අපි ඉස්සරහ තියෙනවා කියල. මට ඒක ගැන වෙනස් විදිහෙ අදහසක් තිබුණ. මං හිතන්නෙ සිනමාව විතරක් නෙමෙයි ආදරය පවා ඉගෙන ගත යුතු දෙයක් විදිහට. කිසි දෙයක් උපතින් හෝ ප‍්‍රතිභාවෙන් එනවා කියන අදහස හරි හෝ වැරදියි කියනවට වඩා එතනින් මෝඩ දේවල් ගොඩකට පාර කපනවා කියලයි මං හිතන්නෙ.
විශේෂයෙන්ම සිනමාව වගේ තාක්‍ෂණය, පිරිස් කළමනාකරනය, නිෂ්පාදන ක‍්‍රියාවලිය වගේ තත්වයන් වැඩියෙන් බලපාන විෂයක් අනිවාර්යෙන්ම විධිමත්ව ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙනීම වෙන අය කළ දේ ගැන දැනුමකට වඩා අත්දැකීමක් විදිහට අත්වැරදි ආශ‍්‍රයෙන් කරන්න පහසුකම් තියෙන්න ඕන. මං හිතන්නෙ සිනමා පාසැලක තියෙන වගකීම මේ සිනමාවට අදාල සංස්කෘතිය ඒ බිත්ති අතර හරි පවත්වාගෙන යන එකයි.
ඒත් එතන චිත‍්‍රපටි බලද්දි මාව එහෙම්පිටින්ම කඩාගෙන වැටුණ. මං කොහෙත්ම මේ වගේ කාලෙක බලාපොරොත්තු වුණේ නෑ ඒ වගේ නිර්මාණ. විවිධ විවිධ අත්දැකීම් හා පර්යේෂණ එක්ක එලියට එන්න ඕන වැඩ වෙනුවට පරණ අත්දැකීම්ම පිළුණු වෙන චිත‍්‍රපටි පෙලක් එක දිගට ප‍්‍රදර්ශනය වුණා. මාව උභතෝකෝටිකයට ගියා. මේ ගැන මගේ ආපු ආතතිය ඒ විදිහටම එලියට දානවද? නැත්තං ඒක වඩා සාධනීය විදිහකට කියන්න පුළුවන් විදිහක් තියෙනවද? මං අනිත් කතා කරන අයට ඉඩ දීලා බලාගෙන හිටියා.
අනිත්් හැමෝම කෙලින් කාරනේ නොකියා වටේ ගිය හින්්ද අන්තිමට මට හිතිච්ච දේ ඒ විදිහටම කියන්න මං තීරණය කළා. මේ චිත‍්‍රපටි සිනමා තාක්‍ෂණය අතින් ගොඩක් නොදියුණුයි කියල මං කිව්වා. සමන් වික‍්‍රමාරච්චිගේ අදහසට බැහැරින් වඩ වඩාත් තාක්‍ෂණය හදාරන්න අපි යොමු වෙන්න ඕන කියල මං යෝජනා කළා. විශේෂයෙන්ම තාක්‍ෂණය කියන්නෙ මගඇරිය යුතු හෝ බය විය යුතු කාරනේකට වඩා අපි තාක්‍ෂණය එක්ක වැඩෙන්න ඕන.
එතනදි සිනමා තාක්‍ෂණය කියල මගේ අදහස වුනේ කැමරා සහ අනෙක් උපාංග නෙමෙයි. ඒ වෙනුවට සිනමාවෙ කාලය සහ අවකාශය කළමනාකරණය කරන තාක්‍ෂනයන්. දෙබස් රචනයේ තාක්‍ෂණයන්. කතා අකෘතීන්ගේ තාක්‍ෂණයන්. අදහස් සිනමාත්මකව ඉදිරිපත් කිරීමේ තාක්‍ෂණයන්. ඒත් මේ අදහස කොයි විදිහකට තේරුම් ගියාද කියල මං දන්නෙ නෑ.
‘කැමරාවක් ගන්න. ඕන දෙයක් ෂූට් කරන්න...’ කියල මං කියන අදහස එක්ක මං මේ චිත‍්‍රපට ප‍්‍රතික්‍ෂේප කිරීම ගැලපෙන්නෙ නෑ කියල මගේ යාලූවෙක් පස්සෙ චෝදනා කළා.
‘ආර්ට් එක ගැන හිතන්න එපා. ඒක කරලා දාන්න..ඒකෙ හොඳ නරක ගැන අනිත් අයට බාර දෙන්න. ඒ ගොල්ලො ඒක තීරණය කරන අතරෙ තවත් ආර්ට් කරන්න..’
ඇන්ඩි වාර්හෝල් කියනවා. මං කලින් කියපු අදහස එන්නෙ වාර්හෝල් ගේ මේ කතාව ඇතුලෙන්.
ඇන්ඩි වාර්හෝල් කියන්නෙ කලාකරුවෙකුගේ උපරිම උත්සාහය විය යුත්තේ මැෂින් එකක් බවට පත්වීමයි කියන එක. ඒත් තර්කොව්ස්කි, බර්ග්මාන් වගේ ධාරානිපාත කොන්ක‍්‍රීට් වළලූ බස්සපු ලංකාවෙ සිනමා සිතීමට ඇන්ඩි වාර්හෝල්ගෙ මේ වගේ අදහසක් මඤ්ඤං වගේ වේවි.
හොඳ සිනමාකරුවෙක් වෙන්න නං තව තවත් පොත් කියවන්න, මියුසික් අහන්න, රස්තියාදු ගහන්න වගේ කතා හින්ද ලංකාවෙ ආර්ට් කරන්න එන කොල්ලො කෙල්ලො ගොඩක් ගෙ`ග් ගියා කියලයි මං හිතන්නෙ.
ඒක හින්ද තව තවත් කියවීම වෙනුවට කියවීම අත්ඇරීම සිනමාවට වඩා හොඳ වෙන්න පුළුවන් වගේ අදහසක් මං කිව්වා. ඒක සෑහෙන මතභේදයකට තුඩුදෙන කතාවක්. ඒත් අපි කියවනවා නම් කියවන්න ඕන අපි ඇතුලෙ තියෙන දේවල් තේරුම් ගන්න, බැහැර කරන්න, වෙනස් කරන්න වගේ කාරණාවකට. කාට හරි තොලස්තෝයි ලොකු වුණාට තොලස්තෝයිගෙන් මට කිසි දෙයක් වෙන්නෙ නැත්තං තොලස්තෝයි කියවල මං ඔලූවෙ තව කුණු ගොඩක් එකතු කරනවා. අපිව සංස්කරණය වෙලා තියෙන, හිතන හැටි පෙළගැහිලා තියෙන සාමාන්‍යයි කියන රටාව අපේ ස්වයං විවේචනයට (හරිම වචනෙ භාවනාවට) අහුවෙන එකයි මං හිතන්නෙ කියවීමකින් හෝ නැරඹීමකින් කරන්න පුළුවන්. වෙන පැත්තකින් කිව්වොත් ආර්ට් වල තියෙන වැදගත්ම දේ වෙන්නෙත් මේක. මේ සවිඥාණක බව ඇති කිරීම.
ඒත් ලංකාවෙ වෙන්නෙ වෙන විදිහෙ දෙයක්. මේ ආර්ට් නැවත ආකෘති විදිහට මිනිස්සුන්ගෙ හිස්බව පුරවන්න ගන්නවා. තර්කොව්ස්කි දැනුමක් වෙනවා. තර්කොව්ස්කි ආකෘතියක් වෙනවා. එතකොට තර්කොව්ස්කිගේ ආර්ට් එක තවදුරටත් වැඩකරන්නෙ නෑ. ඒක හිස් බලයක් විතරයි.
දැන් අපි සිනමාව ඉගෙන ගන්නවා කියල කරමින් ඉන්නෙ මේ වගේ අදහස් නිශ්චිතයන් විදිහට බාරගන්න එක. ඒ සිනමාව ගැන දැනුම විසින් සිනමාව ගැන ගැඹුර නැති කරනවා. දාර්ශනිකත්වයක් ඇතුලෙ බුදුවරුන් වගේ මේ සිනමා වීරයන් ස්ථානගත කිරීම ඇතුලෙ සිනමාවටත් පරමාර්ථ සත්‍යයන් නිර්මාණය කරගෙන ඉන්නවා.
තාක්‍ෂණය ඉගෙන ගන්න එක වැදගත් කියල මං නැවත අවධාරණය කරන්නෙ ඒකයි. එතකොට අපි ඉගෙන ගන්නෙ තර්කොව්ස්කිගෙ සිනමා තාක්‍ෂණය. එයාගෙ සිනමා දර්ශනය ඒකෙ කොටසක් වෙන්න පුළුවන්. ඒත් කොයි වෙලාවකවත් සිනමාව එයාගෙ දර්ශනය ඇතුලෙ ඇකිළිලා යන්නෙ නෑ.
ඇන්ඩි වාර්හෝල් ආර්ටිස්ට් කෙනෙක් නම් මැෂින් එකක් දක්වා ගමන් කරන්න ඕන කියන අදහස වැදගත් මෙතනට. එයා කියන විදිහට මිනිස්සු දැන හෝ නොදැන උපතේ සිට මරණය දක්වා මැෂින් එකක් වගේ වැඩ කරමින් ඉන්නවා. ජොබ් එක කියල කියන්නෙ ඒකෙ කල්පිත සීමා සළකුණු කරගැනීමක් විතරයි. උපදිනවා කියන්නෙ පැහැරගෙන යාමක් සහ ජීවත් වෙනවා කියන්නෙ වහල් බවට විකිණීමක් කියල වාර්හෝල් කියනවා.
සියලූ මතවාද දර්ශන අත්හරිමින් නැවත මැෂින් එක දක්වා යාම කියන්නෙ පියුරිෆයි වීමක් වගේ. ඒක පෙරදිග විදිහට නම් සවිඥාණක වීමක්. තමන්ව ක‍්‍රියාකාරීත්වයක් හැටියෙන් විතරක් බාර ගැනීම. වෙනත් මමත්ව ආකාරයකින් තමන්ව අධිනිශ්චය කර නොගැනීම. ආර්ට් කියන්නෙත් අනිත් ඕනම රස්සාවක් වගේම තවත් රස්සාවක් කියලා වාර්හෝල් කියන්නෙත් මේ අදහස ඇතුලෙ.
ආර්ට් ගැන තියෙන සම්භාව්‍ය අදහස වෙනුවට වාර්හෝල් ජනප‍්‍රිය අදහසක් ගේනවා. විශේෂිත කෘති වෙනුවට එකම දේ නැවත නැවත නිෂ්පාදනය ආර්ට් එකක් විදිහට වාර්හෝල් ගේනවා. මේ නැවත නිෂ්පාදනය කියන්නෙ පිළුණු වෙන එක නෙමෙයි. රීමේක් එකක් සම්පූර්ණ අලූත් අදහසක් ගේන්න පුළුවන්. ටැරන්ටිනෝ පරණ ග‍්‍රයින්ඞ් හවුස් චිත‍්‍රපටි වල ෂොට් පවා කොපි කරලා එයාගෙ අලූත් නිර්මාණ කරනවා. ඒවා විශිෂ්ට නිර්මාණ.
ඒ යාන්ත‍්‍රණය ඇතුලෙ දියවෙලා යන ගමන් වාර්හෝල් අතින් මාර ආර්ට් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට කැම්ප්බෙල් සුප් කෑන් එක. කොකා කෝලා ලෝගෝ එක. එයාගෙ ආර්ට් එක ඇතුලෙන් දර්ශනය නිර්මාණය වෙනවා. අපි ලංකාවෙ විශ්වාස කරමින් ඉන්නෙ අනිත් පැත්ත. දර්ශනය ඇතුලෙන් ආර්ට් එක නිර්මාණ වෙන්න ඕන කියල.
‘මට ඕන මැෂින් එකක් වෙන්න.. ඇන්ඩි වාර්හෝල් 1963 කියනවා. ඇමරිකාවෙ පොප් ආර්ටිස්ට් කෙනෙක් කියපු ප‍්‍රසිද්ධම කියමනක් ඒක. ඒකෙන් එක පැත්තකින් එයාගෙ කූල්, උපාහාසාත්මක ඒ වගේම ලෝකෙ ගැන ලෝකෙන් ගැලවුණු දැක්ම කියවෙනවා. වාර්හෝල්ට ඕන වුනේ එයාව කැමරා කාචයක් වගේ, කිසි දෙයකින් අවහිර නොවුණු, හැමදේම දිහා බලා ඉන්න තත්වයකින් මිනිස්සු බාර ගන්න. එයාට මුණගැහෙන හැමදෙයක්ම බටහිර ධනවාදයේ උත්කර්ෂය වගේම ඒකෙන් වෙන විනාසයත් එයා අතින් ප‍්‍රතිනිර්මාණය වුණා..’
-ඇලස්ටෙයාර් සුකේ (ද ටෙලිග‍්‍රාෆ්, ජනවාරි 2014)
ආර්ට් එකක් ඇතුලෙ තමන් හිස් වෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට අපේ ආත්ම කතන කියල හිතන් ඉන්නෙ අපිට පිටතින් සිද්ද වුණු, සිද්ද වෙන තත්වානුරෝපණ (කන්ඩිෂනින්ග්ස්). ඒවා දැන් අපේ වෙලා. නැත්තං අපි වෙලා. ඒ හැමදෙයක්ම අත්අරින වෙලාවෙදි විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නෙ අපෙන් සිද්ද වෙන ඇත්ත නිර්මාණ. නැත්තං අපි කරමින් ඉන්නෙ අනුන්ගෙ නිර්මාණ.
එතන සංවාදෙදි මගේ යාලූවෙක් ප‍්‍රගීත් ඇහුවා, ඇයි එහෙනං කෙනෙක් ආර්ට් එකක් කරන්නෙ කියල. මගේ ජීවිතේ මට ඒකට දෙන්න පුළුවන් ලස්සනම උත්තරේ දෙන්නෙ මහගෙදර ෆිල්ම් එකේ තිස්ස අබේසේකර. එයාගෙන් අහනවා ඇයි ඔච්චර බොන්නෙ කියල.
‘කුරුල්ලෙක්ගෙන් අහපං මල්ලි ඇයි ඌ සිංදු කියන්නෙ කියල. ඒ උපමාව සුන්දර වැඩි නං බල්ලෙකුගෙන් අහපං ඇයි දකින දකින පඳුරට කකුල උස්සන්නෙ කියල...’
මං තිස්සගේ දෙබස නොකියා මගේ උත්තරේ දුන්නා. ‘අසනීපයක් හින්ද ’
ඒක ප‍්‍රගීත් බාර ගත්තෙ ප‍්‍රශ්නෙ මගඇරීමක් විදිහට. ඒත් ඇත්තටම ආර්ට් එකක් කරන්න අසනීපයක් තියෙන්නම ඕන. ඒක ආධ්‍යාත්මික හිඩැසක්. රුසියානු මහා චිත‍්‍ර ශිල්පී වසීලි කන්දෙන්ස්කි මේක කවිකාර විදිහට කියනවා.
‘කලාව යනු ආධ්‍යාත්මික අවශ්‍යතාවයකි. එය කලාකරුවෙකුට නිර්මාණ කිරීමට බල කරන අතර පේ‍්‍රක්‍ෂකයන් ඒ ආධ්‍යාත්මික කුසගින්න නිසා කලා නිර්මාණ රස විඳීමට බලා සිටී’
ඒත් මේ විදිහට ආනුභාව සම්පන්න විදිහට කියන්න යන එකෙන් ආර්ට් වලට අනවශ්‍ය වෙන වෙන හැ`ගවුම් ඇති වෙනවා කියලයි මගේ අදහස. ඒ වෙනුවට මේක ආර්ටිස්ට් තුල සහ ඒ ආර්ට් එක රස විඳින පිරිස අතර බෙදා හදා ගන්නා මානසික රෝගී තත්වයක් විදිහට තේරුම් ගැනීමෙන් මේ ආනුභාවයට පත්වීම වෙනුවට ප‍්‍රකෘතිය බාර ගන්න පෙළඹීමක් ඇති වෙනවා. නැත්තං මේක නිර්වාණය වගේ වෙනවා.
ඇන්ඩි වාර්හෝල් මේ මමත්වයෙන් වෙන්න පුළුවන් හානිය ආර්ට් වලින් දුරස් කරනවා. එයා කියන්නෙ එයා අඳින්නෙම මැෂින් එකක් වගේ වෙන්න කියල. කවදා හරි මැෂින් එකකින් කරන සම්පූර්ණ දේ බවට පත්වෙන එක තමයි එයාගෙ ආර්ට් වල කූටප‍්‍රාප්තිය.
ආර්ට් ගැන නිර්වචනය පැත්තකට දැම්මත් මේ ඇතුලෙ වාර්හෝල් ආර්ටිස්ට් කෙනෙක්ගෙ මමත්ව රූපය දිය කරලා අරිනවා. තමන් මැෂිමක් වීම දක්වා ඉරණමක් බාර ගැනීම ඇතුලෙයි වාර්හෝල් ආර්ට් එකට බහින්නෙ. තමන්ගේ ප‍්‍රකෘතියට, ඉනසන්ස් එකට එළියට එන්න ඉඩ දීමයි එයාගෙ ආර්ට් වල අරමුණ වෙන්නෙ.
ආර්ට් එකක මං දකින වැදගත්ම දේ වෙන්නෙ මේ ‘ඉනසන්ස්’ එක. ඒක අවිහිංසකත්වය වගේ කිව්වොත් මං හිතන්නෙ වැරදියි. ඒ වෙනුවට කිසිවක් නොවී තමන්ගේ අත්දැකීම තිරයකට ගෙන එන්න තියෙන හැකියාව. තමන්ගේ අත්දැකීම ගැන කියවීමක් වෙනුවට ඒ අත්දැකීම තමන්ගේ අගතීන්ගෙන් තොරව, යතාර්ථයේ සීමාවන්ගෙන් තොරව, තමන්ගේ සිහින දක්වා වෙන පරාසයක විහිදවන්න පුළුවන්කමයි මට ආර්ට් විදිහට දැනෙන්නෙ.
උදා විදිහට එදා නරඹපු චිත‍්‍රපටි අතරෙ සමහරක තිබුණා ඉතාමත් ආන්දෝලනාත්මක තේමාවන්. සමලිංගික සම්බන්ධතා මනුස්ස සම්බන්ධතා විදිහට පිළිගන්න සමාජයට බලකරන නිර්මාණ ඒ අතරෙ තිබුණ. ඒත් මගේ අදහස ඒ රැුඩිකල් බව හින්දම නිර්මාණයේ ඉනසන්ස් එක නැති වෙලා කියල. ඒ අදහස දැඩිව ගැනීම ඇතුලෙ අපි අත්දැකීමක් විදිහට ඒක ඇතුලට යනවට වඩා දේශපාලනික තැනක නතර වෙනවා. බ්ලූ ඊස් ද වෝමර්ස්ට් කලර් වගේ චිත‍්‍රපටියක ජයගන්නා අභියෝගය වෙන්නෙ ඒක. මේක දේශපාලනික ප‍්‍රශ්නයක් නෙමෙයි මේක මනුස්ස ප‍්‍රශ්නයක් කියන තැනට ගේන එකමයි චැලෙන්ජ් එක. අනික රැුඩිකල් වීම කියන්නෙම ගොඩක් වෙලාවට අපි දර්ශනවාදයක් ඇතුලෙ හැංගෙන ප‍්‍රවේශයක්.
මේ මැෂින් එකක් බවට පත්වීමේ අදහස හරහා ඇන්ඩි වාර්හෝල් චිත‍්‍රපටි කළා. පැය විසි හතරක් නිකම්ම කැමරාවක් වගේ නිදාගෙන ඉන්න මිනිහෙක්ව පටිගත කළා. නැත්තං ලොකු බිල්ඩිමක් ඉස්සරහ නිකං කැමරාව තියලා තිබුණ.
‘ඔයා ගොඩක් වෙලා දෙයක් දිහා බලාගෙන ඉන්න ගත්තොත් මං හිතන්නේ ඒ දේ ගැන තියෙන අදහස එහෙම්පිටින්ම වෙනස් වෙන්න ගන්නවා’ වාර්හෝල් කිව්වා.
කිසි දෙයක් නොකිරීම ඇතුලෙ එයාගෙ ආර්ට් වලින් බලාහිඳින්නා තුල ගොඩක් දේවල් වෙනස් කළා. ඒ වගේම ආර්ට් ගැන සම්භාව්‍ය කතිකාවෙ ගොඩක් තැන් වලට අභියෝග කළා. සම්භාව්‍ය කලා කතිකාව පාදක වෙලා තිබුණෙම සුවිශේෂතාව මත. ඒත් වාර්හෝල්ගෙ ආර්ට් පදනම් වුණේ සාමාන්‍යය මත.
වර්හෝල් මේ විදිහට තමන්ගේ දැනීම් හා විශ්වාස සීමාවන්ගෙන් එලියට ගිහින් ආර්ට් කරන්න ඕන කියන එක ලස්සනට කියනවා. එයා කියන විදිහට ඔයා යමක් ගැන හිතන්නෙ නැත්තං ඒක හරි. ඔයා හිතන මොහොතෙම, තීරණය කරන මොහොතෙම හැම දෙයක්ම වරදින්න ගන්නවා. ඔයා තව තවත් තීරණ ගන්න ගන්න තව තවත් වරදිනවා.
වාර්හෝල් මට මෙතනට ඕන වුනේ අපි ආර්ට් ඇතුලෙ නිදහස් වීම ගැන අදහසක් කියන්න. මොකද නිදහස් වීම වගේ වචනයක් කිව්වත් ඒක ඇතුලෙ ආපහු කාව්‍යාත්මක අර්ත ඇවිත් පිස්සු කෙළිනවා. හොඳම තේරුම් ගැනීම වෙන්නෙ මං හිතන්නෙ, ඒක මාර දෙයක් නෙමෙයි.. මාර නොවීමම තමයි ආර්ට් කියන්නෙ..
එදා එතන තිබ්බ හැම නිර්මාණයක්ම මාර දේවල් කරන්න ගත්ත උත්සාහයන්. ඒ වෙනුවට නැවත තමන් දක්වා සරල වීමයි ඒ ගොල්ලොන්ට තියෙන අභියෝගය. ඒකට තියෙන හොඳම දේ ක‍්‍රියා-යෝග. ඒ කියන්නෙ කරන වැඬේම, ඒ තාක්‍ෂණයම බවට පත්වෙන එක. ඒ හරහා තමන්ගේ රෝගය එලියට එන්න ඉඩ දෙන එක. මතවාදියෙකුට දාර්ශනිකයෙකුට වඩා ආර්ටිස්ට් කෙනෙක් වෙනස් වෙන්නෙ එතනදි. අනිත් අය ගොඩනැංවීමක් යෝජනා කරද්දි එයා දියවී යාමක් යෝජනා කරන හින්ද.
-චින්තන ධර්මදාස
සිනමාවේ විතරක් නෙවෙයි, මම දකින හැටියට, අනෙක් කලා මාධ්‍ය වලත් සාමාන්‍ය ජීවිතයේත් 'ඉනසන්ස්' කියන එක මම දකින්නේ අඩුවෙන්. එන්න ඕන අදහස නිදහසේ එන්න ඉඩ දෙන්නේ නැතුව බලෙන් ඇදල ගන්න ගියහම එහෙම වෙනවා. සමහර විට ඒ මිනිස්සු හැමදෙයක් ම කරන්නේ අනුන් ව හිතේ තියා ගෙන බාහිරින් තමන්ගේ නිර්මාණය කොටින්ම තමන්ව කොහොම බාර ගනීද වගේ ගොඩක් දේවල් හිතන නිසා වෙන්න ඇති. රැඩිකල් වීම වුනත් වෙන්නේ රැඩිකල් කියල කියා ගැනීමට මිසක් තමන් ඇත්තටම රැඩිකල් නිසා නෙවෙයි. එතකොට වෙන්නේ අදහස කොච්චර හොඳ වුනත් ඒක ක්‍රියාවට නැංවෙද්දී හරිම කෘතීම ගතියක් දැනෙන එක.
ReplyDeleteමට ලැජ්ජ හිතෙනවා මහ ලොකුවට මo හිතන් හිටපු දෙවල් ගෙන.
ReplyDelete