Tuesday, May 31, 2011

කොච්චි - තක්කාලි සහ පතෝල




ඇයි දැන් සැරට ලියන්නෙ නැත්තෙ?
සමහර යාලූවො මගෙන් අහනවා. සැරට කියන්නෙ හොඳට නෙළන්නෙ නැත්තෙ ඇයි කියන එක. නැත්තං කාව හරි රිදෙන්න විවේචනය නොකරන්නෙ ඇයි කියන එක. මේ කාලෙ ඒක විනෝදයක්. මාර්කට් එකක්.
ඒත් ඇයි මං සැරට ලියන්නෙ?

ශ‍්‍රී පාලි එකේ කෙටි චිත‍්‍රපටි ගැන කතා කරන්න මට දවසක් එන්න කිව්වා. එතනදි ඒ ගොල්ලො හදපු කෙටි චිත‍්‍රපටි කීපයක් පෙන්නලා සංවාදයකට යන්නයි සැලසුම් කරලා තිබුණෙ. මම මට පේන විවිධ පැති වලින් ඒ චිත‍්‍රපටි විවේචනය කළා.

‘අපිට නැති වෙන්න ගැහුවා’
ඒ චිත‍්‍රපටි කරපු අය කිව්වා. බලන් හිටපු අනිත් අය විනෝද වුණා. ඒත් මට උවමනාවක් තිබුණෙ නෑ ‘නැති වෙන්න’ ගහන්න. මට ඕන වුණේ ‘ඇති වෙන්න’ ගහන්නයි. ඒක විනෝදය පිණිස නෙමෙයි. ඊට වඩා වැඩි ධනාත්මක සිතීමක් වෙනුවෙන්. ඒත් ලංකාවෙ විවේචනය ගැන තියෙන්නෙ වෙන අදහසක්. ඒක මමත්වය මූලික වැඩක් මිස විෂය ඇතුලෙ සංවාදයක් නෙමෙයි. විශේෂයෙන්ම සිනමාව කියන විෂයෙදි මේක බරපතලයි. කොච්චි වගේ ඇත්ත විවේචන වෙනුවට තක්කාලි හෝ පතෝල දෙවර්ගය තමයි අපිට අත්විඳින්න වෙන්නෙ. ඒත් අපිට අපි ඇතුලෙන් අපිව ඉරා දමන විචාරයක් නැතුව යන්න පුළුවන් දුර කොයි තරම්ද? ඒක තමයි අපේ ¥පතේ තරම.

‘විවේචනය පිළිගන්නේ නැති වේවි. ඒත් ඒක අවශ්‍යයි. හරියට ශරීරයේ වේදනාව වගේ ඒක යම් කාර්යක් ඉටු කරනවා. ඒක නිසා රෝගී තත්වයන්ට ගොදුරු වේගෙන එන දේවල් ගැන අවධානය යොමු වෙනවා’
-වින්ස්ටන් චර්චිල්-

චිත‍්‍රපටි පාසැලක ටික කාලයක් ඉගෙන ගන්න මට ලැබුණු අවස්ථාවෙ වටිනාම දෙයක් වුණේ විවේචනය සාධනීය හැටියෙන් බාර ගන්න ලැබුණු පුහුණුව. එතනදි අපි ලියන පිටපතක් හෝ කරන කෙටි චිත‍්‍රපටයක් පංතියේ අනිත් අය අතින් නිර්දය විදිහට විවේචනය වීම අනිවාර්යක්. ඒක පුහුණුවක්. ළ`ගම ඉන්න මිතුරා පවා තමන්ට දැනෙන ඇත්තම ටික සියල්ලන් ඉදිරියේ කියලා දානවා. මුලින් සිංහල බෞද්ධ හැදියාව නිසා උන්ට මුහුණ දෙන්න බැරි වගේ ගතියක් දැණුනට, පස්සෙ ඒක මාවම විශ්ලේෂණය කර ගන්න මට උදව් වුණා. හැබැයි එතන අර විනෝද වෙන පිරිස හිටියෙ නෑ. ඒ නිසා මමත්වය වෙනුවෙන් විවේචනය එතන තිබුණෙ නෑ.

ඒ විදිහට විවේචන එක්ක වැඩෙමින් සංවාද විවෘත වෙමින් යන සංස්කෘතියක් අපිට නෑ. ඒ වෙනුවට විවේචනය ‘මඩ ’ තැනකට යනවා. මඩ වලින් කියවන අය විනෝද වෙනවා. ලියන අය පොර වෙනවා. නගර සභාවෙ ලොරියක් වගේ ගඳ විතරක් ඉතුරු වෙනවා.

මෑතකදි ලංකාවෙ ජනප‍්‍රියම වුණේ මේ මඩ වර්ගයේ විචාර. සමාජීය හෝ පුද්ගලික හෝ එහෙම නැත්තං බොරු හෝ කාරණා අරගෙන මඩ ගැසීම ‘න්‍යායික’ වගේ පේ්න්න ගත්තා. ඒක විලාසිතාවක් වුණා. ඒත් ඒ විවේචන පිටිපස්සෙ තියෙන අරමුණ කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නෑ.

‘මේ පාර ගහලා තිබ්බා නැති වෙන්න’

ඒ ලිපි බලලා විනෝද වෙන අය කියනවා. කොටින්ම ලිපියෙ තිබ්බෙ මොනවද කියලවත් වගක් නැතුව. පවතින දේට වඩා හොඳ යමක් ගැන ප‍්‍රාර්ථනාවක් හෝ නැත්නම් ඇයි අපි විවේචන කරන්නෙ? සාමාජීයව වඩා සාධනීය දෙයක් අරමුණු නොකරන, රෝගී විවේචන අපි විනෝදයක් හැටියෙන් බාර ගනිමින් ඉන්නවා. ඒ විවේචනයම පැවැත්මක් වුණු පිරිසකුත් ඉන්නවා.

‘චින්තන ඔයා පුද්ගලිකයි. පුද්ගලයෙකුට බෑ සමාජ සංවිධානයක් විවේචනය කරන්න’
දවසක් දීප්ති මට අවවාද කරලා තිබුණ. ඒක ඇත්තක්. පට්ට ඇත්තක්. පුද්ගලික අරමුණකට බෑ සමාජ අරමුණක් විවේචනය කරන්න. ඒත් කාලයක් යද්දි සමහර සංවිධානවල අරමුණු පුද්ගල අරමුණු වලටත් වඩා පුද්ගලික වෙන්න පටන් ගන්නවා. ඒ සංවිධාන වල විවේචන බන්දු ටෙනී වර්ගයේ විනෝද වැදලි වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ලංකාවෙ සිනමා විචාර කියන්නෙ දැන් රෝග තත්වයක්. කට්ටියක් සිනමාව විචාරය කරන්නෙ ඒ සිනමාව මනෝ විශ්ලේෂණයට කොයි තරම් එක`ගද කියන එක උඩ. නැතුව සිනමාව ඇතුලෙ ජීවිත හෝ මාධ්‍ය භාවිතය ගැන නෙමෙයි. මේ ළ`ගදි චිත‍්‍රපට තිර පිටපත් තොගයක් මුද්‍රණය කරලා එලියට දාද්දි ඒකෙ ප‍්‍රධාන දේශනයේ මාතෘකාව වුණේ ‘හැ`ගවුම සහ හැ`ගවුම්කාරකය’. සිනමාව හෝ සිනමා කර්මාන්තය හෝ ඒ එලියට දාමින් හිටපු කෘති හෝ වෙනුවට සෝෂියර් ගේ තොරොම්බල් කරලා ඔක්කාරෙට එන තරමට එපා කරපු න්‍යායක් විතරයි ඒ විචාරකයාට සිනමාව ගැන කියන්න ඉතුරු වෙලා තිබුණෙ. තව කට්ටියක් ලියන්නෙ පතෝල විචාර. ඒ අය චිත‍්‍රපටි කතාව නැවත ලියනවා. ගුණ ගායනා කරනවා. උඩ දානවා. බොරු ලියනවා.
අපේ සාහිත්‍යය විචාරය වුණෙත් මේ විදිහට. අපේ හැම දෙයක්ම මේ විදිහට එකතැන පල්වෙන්නෙ මේ සංස්කෘතික අනන්‍යතාවය නිසා. විවේචනයේ විද්‍යාව සහ විවේචනය බාර ගැනීමේ පුහුණුව නොදන්නා බොළඳකම නිසා. මේක කලාව සම්බන්ධ අවුලකට වඩා අපේ ජාතික උරුමයක්.
විවේචනයක් කියන්නෙ ආදරය පදනම් වුණු ක‍්‍රියාවක්. අපි අනෙකාව විවේචනය කරන සීමාව වෙන්නෙ අපි අනිකාට ආදරය කරන සීමාවයි.

‘ඔබේ මිතුරාව විවේචනය කිරීම ඔබට වේදනාකාරීද, එහෙනම් එය කරන්නට ඔබ සුදුසුයි. ඒත් ඔබ යන්තම් හෝ ඉන් විනෝදයක් ලබනවා නම්, කට වහගෙන ඉන්න තරමට හොඳයි’
- ඇලිස් මිලර්.

සිනමාව ගැන මම සැරට ලියන්නේ සිනමාව ගැන සංවාදයකට මගේ ඇති උවමනාව නිසයි. හැම විචාරයක්ම තවත් අදහස් මාලාවකට දොරටුවක්. විවේචනය නිශ්ශබ්දව බාර ගැනීමට වඩා සක‍්‍රීයව අදහස් දැක්වීම පුළුල් කතිකාවක් ඇති කරනවා. පුද්ගලික ජීවිතය හෝ ඒ සම්බන්ධ වෙනයම් දෙයක් විචාරයට ගෙන ආ යුත්තේ විචාරයට පාදක කෘතියේ දුර්වලතාවයට හේතු කෘතියට බැහැර ඒ ඉසව් වල පවතිනවා නම් විතරය. ගැලරියේ විසිල් එකට ලියන විචාර වලින් වෙන්නේ ඒ විචාරය කරන අයගේ රෝග එලිය එක්ක බෙදා හදා ගැනීම මිස වැඩකට ඇති අදහස් බෙදා ගැනීමක් නෙමෙයි.

විවේචනය සැරට සිද්ද වෙන්න ඕන ඇයි?
අපි අපේ කෘතියක් එක්ක සහ වටේ ඉන්න පතෝලයන්ගේ ඇන්දිලිත් එක්ක හදාගෙන ඉන්න කටුව බිඳගෙන විචාරය ඇතුල් වෙන්න උවමනා නිසයි. අපිට දාරාගන්න බැරි අවුලක් සහ වේදනාවක් ඇතුලෙන් විතරයි අපිව ඇත්තට ප‍්‍රශ්න කරන තැනකට තල්ලූ කරන්න පුළුවන්. අපේ මමත්වයේ ආරක්‍ෂිත ප‍්‍රයෝගයන් විනිවිදින්න පුළුවන්. ඒත් ඒකට විචාරය බාර ගැනීමේ ශික්ෂණයත් අනිවාර්යක්. නැත්නම් ඒක වෛරයක් සහ විනෝදයක් තැනින් කෙලවර වේවි.

උදව් කිරීමට තරම් හදවතක් ඇත්තාට විවේචනය කිරීමේ අයිතිය ඇත.
-ඒබ‍්‍රහම් ලින්කන්

විවේචනයෙන් තොරව විෂයක් හෝ විෂයක යෙදෙන පුද්ගලයෙක් වැඩෙන්නේ නැහැ. විවේචනය නිර්දය වෙන තරමට එය සාධනීයද වෙනවා. සංවාදයන් විවෘත කරනවා. ඒත් විවේචනය වෙන තැන සහ විවේචනයේ අරමුණ පැහැදිලි වෙන්න ඕන. ලංකාවේ කෙරුණු ගොඩක් විවේචන වල අරමුණ සහ තැන වුණේ විවේචකයාගේ මතවාදයට නිර්මාණකරුවා එක`ග නොවීමයි. මාක්ස්වාදී විචාරයේ සිට මනෝ විශ්ලේෂණවාදී බහුබූත විචාරය දක්වාත් මේ සත්‍ය අදාලයි. කෘතිය පැත්තක තියෙද්දි තමන්ගෙ වත්තෙ දොරකඩ නටන වර්ගයේ විචාර තමන්ගේ ප‍්‍රසිද්ධිය හෝ ලාබය පිණිස හොඳ වුණත් විෂයක හෝ කෘතියක වර්ධනයට නම් වැඩක් වෙන්නෙ නැහැ. ඊටත් වඩා ඒ විචාර කියවන අය සහ ඒවායින් විනෝද වෙන අය නිසා රටේ විෂයන් විදිහට දේවල් දියුණු වෙන්න තියෙන ඉඩත් ඇහිරෙනවා. අපේ සිනමාව ඇතුළු කලාවන් විතරක් නෙවෙයි දේශපාලනය පවා මේ තරම් දියුණුවෙන් දියුණුවට පත්වෙන්නෙ අපිට ආවේණික විචාර සම්ප‍්‍රදාය නිසයි.

විනෝදය සඳහා විචාර කුණු තක්කාලි වලට විකිණෙද්දි වැඩක් වෙනුවෙන් කොච්චි වගේ විචාර ඕන කියල අපි කියන්නේ ඒ විචාර වලින් අලූත් සංස්කෘතියක් පටන් ගන්න පුළුවන් නිසයි.

‘මට යන්න දෙන්න.
අපිට පුළුවන් වෙන්න ඕන අපි ආදරය කරන දේවල් විවේචනය කරන්න.
අපිට කියන්න තියෙන දේ කියන්න.
ඔයා දෙයක් වඩාත් යහපත් කරන්න වැඩ කරන්නෙ නැත්තං,
මට කියන්න වෙන්නෙ ඔයා නිකමෙක් විතරයි’

-ඇනී ඩිෆ‍්‍රැන්කො

-චින්තන ධර්මදාස

වූඩි ඇලන් එක්ක කොට කතාවක්




හරි විදිහෙ පෙනුමක්, හරිහමන් යාලූවො, හොඳ කටක් තියෙනවා නම් ඔබට හොලිවුඞ් තරුවක් වෙන්න පුළුවන්. ඒත් වූඩි ඇලන්ට එහෙම හොඳ පෙනුමක් නෑ. ගොඩක් අයට ඕන එයත් එක්ක යාලූ වෙන්න. එයාගෙ කටත් ඒ තරම හොඳ එකක් නෙමෙයි. අසහනකාරී දේවල් කියනවට වඩා දෙයක් ඒකෙන් වෙන්නෙ නෑ. ඒත් වූඩි තරුවක් නෙමෙයි. එයා ලෙජන්ඩ එකක්. එහෙම ලෙජන්ඞ් එකක් වෙන්න නම් ටැලන්ට් එකක් තියෙන්න ඕන. අවුරුදු 35ක් හොලිවුඩ වල රැුඳෙන්න බෑ ඔයා නිකමෙක් නම්. 1978 ඉඳන් වූඩි ඇකඩම අවෝර්ඞ් 15ට නම් වුණා එයාගෙ ර`ගපෑම, පිටපත් සහ අධ්‍යක්‍ෂණය නිසා. 1978 ඇනී හෝල් චිත‍්‍රපටයට වූඩි පිටපත සහ අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඇකඩමි සම්මාන දිනා ගත්තා.

ප‍්‍රශ්නය-
වූඩි, මට ටිකක් කියන්න ඔයාගෙ දෙමව්පියන් ගැන.

වූඩි ඇලන්-
මම හිතන්නෙ නෑ මගේ දෙමව්පියො මට කැමති වුණා කියල. මං පුංචි කාලෙ ඒ ගොල්ලො පණ තියෙන ටෙඩි බෙයාර් කෙනෙක්ව මගේ ඇඳට දැම්මා. මට හොඳටම විශ්වාසයි මාව ත‍්‍රස්තවාදී හරි හොරු හරි අරන් ගියා නම් ඒ ගොල්ලො ඉක්මන් ක‍්‍රියා මාර්ග ගනීවි. මගේ කාමරෙත් කුලියට දේවි.

ප‍්‍රශ්නය-
ඔයා හු`ගක් හොඳ ඉස්කෝලෙකට යන්න ඇති. ඒ කාලෙ කොහොමද?
වූඩි ඇලන්-
මට තිබුණෙ මහ එපා කරපු ඉස්කෝලෙ කාලයක්. ඒක මානසික ආබාධ සහිත ගුරුවරුන් වෙනුවෙන් හදපු එකක්.




ප‍්‍රශ්නය
ලොකු වුණාම ඉස්කෝලෙ ක‍්‍රීඩා කණ්ඩායම් වලට එකතු වුණාද?
වූඩි ඇලන්-
මට චෙස් ටීම් එකට යන්න බැරි වුනා මගේ උස හින්ද. ගොඩක් කොටයි නෙ මම.

ප‍්‍රශ්නය
ඉස්කෝලෙ කාලෙ හොඳ ළමයෙක්ද?
වූඩි ඇලන්-
මම මේක සාමාන්‍යයෙන් කියන්නෙ නෑ. ඒත් මාව ඉස්කෝලෙන් එලියට දැම්මා අධිභෞතික විද්‍යාව හොර කළා කියල. මම මගේ එහා පැත්තෙ ළමයගෙ ආත්මෙට එබිලා බැලූවා.

ප‍්‍රශ්නය
මං ලිංගික ප‍්‍රශ්නයක් ගැනයි අහන්න යන්නෙ. ද්විලිංගිකයො ගැන මොකද හිතන්නෙ?
වූඩි ඇලන්-
මං හිතන්නෙ ඒ ගොල්ලො වාසනාවන්තයි. මේ ද්විලිංගිකත්වය ඔයාට සෙනසුරාදා ?කට ෆන් එකක් ගන්න තියෙන චාන්ස් එක දෙගුණ කරනවා.

ප‍්‍රශ්නය
අපි කසාදෙ ගැන කතා කරමු. කොහොමද ඔයාගෙ දැන් බිරිඳ එක්ක ජීවිතේ?
වූඩි ඇලන්-
එයාද...මුලින්ම කියන්න ඕන එයා තාම හරි පොඩියි. දවසක් මං ගෙදර බාත් ටබ් එකේ ඉන්නකොට එයා ඇවිත් මගේ බෝට්ටු ඔක්කොම වතුරෙ ගිල්ලූවා. මගේ යාලූවො කියනවා මං මෝඩයි කියල. ඒත් මං මගේ බිරිඳව ඉහල තැනක තියන්නයි බලන්නෙ. මගේ ගෙදර මං තමයි බොස්. මගේ බිරිඳ තමයි තීරණ ගන්නෙ.




ප‍්‍රශ්නය
දේශපාලනය ගැන කියන්න මොකවත් තියෙනවද?
වූඩි ඇලන්-
මට කියන්න පුළුවන් ඔබාමා අපේ ජනාධිපති පරපීඩකකාමී, අශ්වයො එක්ක හැසිරෙන , මළමිනී එක්ක නිදා ගන්න කෙනෙක් කියලා. ඒත් ඒක මැරිච්ච අශ්වයෙකුට තඩිබානවා වගේ.

ප‍්‍රශ්නය
අපි අහලා තියෙනවා ඔබට විකෘති කාම හැසිරීම් තියෙනවා කියල.
වූඩි ඇලන්-
ඔය අහන්නෙ ස්වයං වින්දනය ගැන නම් ඒ මං කැමති කෙනෙක් එක්ක සෙක්ස් කරන විදිහ. ඒකට මොකුත් කියන්න එපා.

ප‍්‍රශ්නය
අවසන් ප‍්‍රශ්නය. ඔබ කැමතිද ඔබේ වටිනා නිර්මාණ තුලින් අමරණීයත්වයට ළගා වෙන්න?
වූඩි ඇලන්-
මට ඕන නෑ මගේ වැඩ වලින් අමරණීය වෙන්න. මට ඕන මැරෙන්නෙ නැතුව අමරණීය වෙන්න.

හාවි ටොබ්ක්ස් - වූඩි ඇලන් එක්ක.
පරිවර්තනය- ව්‍යාධදේව.

Monday, May 16, 2011

අපිට වෙරිද? නැත්තං ජොලි ද? : සිනමාව සහ දේශපාලනය අතර


(අපිචත්පොන්ග් ව ලංකාවෙ ගොඩක් අය බලන්න ගත්තෙ කාන් චිත‍්‍රපට උළෙලෙදි ලත් ඇගයීමත් එක්ක. චිත‍්‍රපටි හදද්දි අපිචත්පොන්ග් එයාගෙ ඇත්ත ජීවිතය, රටේ සම්ප‍්‍රදායන් සහ ජන ජීවිතය ඇතුලෙන් ආපු තේමාවන් සහ ආකෘතීන් පාවිච්චි කළා. ඒ නිසාම එයාගෙ සිනමාව සුවිශේෂ වුණා. යුරෝපියානු සම්භාව්‍ය සිනමා විචාරකයින් අපිචත්පොන්ග් ‘දාර්ශනික’ නැත්නම් ‘අලූත් සිනමාවක්’ යෝජනා කරමින් සිටින බව කියන්නේ ඒ නිසයි. අපේ රටෙන් මුල්ම වතාවට කාන්ස් යන්නෙ විමුක්ති ජයසුන්දර. එයා අපිචත්පොන්ග් ගෙ යාලූයෙක් කියලා කරට අත දාගෙන ෆේස් බුක් එකේ පිංතූර දාල තිබුණ. ඒත් යාලූ වුණත් විමුක්ති සිනමාව කියල කරන දේයි අපිචත්පොන්ග් කරන දේයි කොයි තරං වෙනස්ද?*

අපිචත්පොන්ග් වීරසේතුකල්ගෙ ‘නාඳුනන බලවේග’ වීඩියෝ ස්ථාපන ප‍්‍රදර්ශනය (සබිඒකක්එසදබ ්රඑ* ඇමරිකාවෙ සිය පළමු ප‍්‍රදර්ශනය අරඹන්නට දින කීපයකට පෙර ඔහුගේ අලූත්ම දිත‍්‍රපට වුණු ‘සින්ඩ්‍රෝම්ස් ඇන්ඩ සෙන්චරී’ චිත‍්‍රපටය ඔහුගේ උපන් රට වන තායිලන්තයේදී තහනමට ලක් වෙනවා. ඒක තායිලන්තෙ වාරණ මණ්ඩලයට ස්ටුඩියෝ පසුබිමක් නැතිව ඉදරිපත් වුණු මුල්ම චිත‍්‍රපටිය. චිත‍්‍රපටය පෙන්නනවා නම් ෙඡ්දන හතරක් මණ්ඩලය විසින් නිර්දේශ කළා. අපිචත්පොන්ග් එම සංස්කරණය ප‍්‍රතික්‍ෂේප කරමින් තහනම බාර ගත්තා. ඒත් මණ්ඩලය ඒ චිත‍්‍රපට පිටපත නැවත බාර දුන්නේ නෑ. මේ බලපෑම ගැන පුදුමය වන්නේ එම කාව්‍යමය, භාවනානුයෝගී නිර්මාණය ඉලක්කයක් වුණේ කොහොමද කියන එකයි.

රෙඞ්කැට් එකෙන් කරපු අපිචත්පොන්ග් ගෙ ‘නාඳුනන බලවේග’ ප‍්‍රදර්ශනයේ කොටසක් විදිහට එයාගෙ චිත‍්‍රපට ගණනාවකට සම්බන්ධ වුණු රංග ශිලිපීන් දෙදෙනෙක් හයි වේ එකක පිකප් ට‍්‍රක් එකක නැගී ගමන් කරන්න ගත්තා. වීරසේතුකල් කියන විදහට ඒ 2006 පිබිදීම ඇති කළ ඔහුගේ රට සහ ඒ රටේ ජනතාව වෙනුවෙන් කරන ප‍්‍රණාමයක්.

ඒ වගේම ඒක තායිලන්තයේ උතුරු නැගෙනහිර ඔහුගේ පළාතේ අධික ලෙස වැඩ කරන සහ බොන කම්කරුවන් වෙනුවෙනුත් කරන ගෞරව කිරීමක්. තායිලන්තයේ ඉඩම් සංවර්ධනය වෙනුවෙන් කැප වෙන ඇත්ත ශ‍්‍රමය ඔවුන්ගේ. කොන්ත‍්‍රාත්කරුවන් විසින් මේ කම්කරුවන් පිකප් ට‍්‍රක් වල වල නංවාගෙන පළාතෙන් පළාතට නගරයෙන් නගරයට ගෙනියනවා. තායිලන්ත බිම සකස් වුණේ මේ තැනින් තැන යන ඩබල් කැබ් වල පැටවුණු ආත්ම වලින්. ගොඩක් නළු නිළියො වගේම මේ කමකරුවනුත් කාලයක් තිස්සෙ ඔවුන්ට හ`ඩක් අහිමි මේ පද්ධතිය තුල අපොලිටිකල් ආත්ම වෙලා.

‘ගොඩක් වෙලාවට මට දැනෙනවා මාත් මේ පිකප් ට‍්‍රක් සින්ඩ්‍රෝමයේ කොටසක් කියල. ඒ ට‍්‍රක් එක දුවන්නෙ දේශපාලන, ඒකාධිපති සහ ආගමික දේවල් කොක්ටේල් වුණු අමුතු ඉන්ධනයකින්’
අපිචත්පොන්ග් කියනවා.

ප‍්‍රශ්නය- සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස් චිත‍්‍රපටය දේශපාලන අර්බුද ගණනාවකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ වගේ චිත‍්‍රපටයකට මෙබඳු ප‍්‍රතිචාරයක් හිතා ගන්න ආමාරුයි. ඒ චිත‍්‍රපටය තහනම් කළා යැයි අහද්දි අපිට හිතා ගන්න බැරි වුනා මොකක්ද හේතුව කියල.

අපිචත්පොන්ග්-
ඇත්ත. ඒක හරියට පශ්චාද් උපාධි චිත‍්‍රපටියක් වගේ. මටත් තේරුම් ගන්න බැරි වුණා තහනමට හේතුව. ඒත් ආපස්සට හැරිලා බලද්දි හැම තායි චිත‍්‍රපටකරුවෙකුටම සලකලා තියෙන්නෙ මේ විදිහට තමයි. ස්ටුඩියෝ වලින් කරපු චිත‍්‍රපටි ඇරණම. ඒවා අපේ චිත‍්‍රපටි නෙමෙයි. ඒක නිසා මම පෙත්සමක් අත්සන් කරන්න ගත්තා. ආරම්භයේදි ඒහෙම බලාපොරාත්තුවක් නොතිබ්බත් පස්සෙ ඒක දේශපාලන ක‍්‍රියාවක් වෙනකල් ව්‍යාප්ත වුනා.

මේ කාලෙදිම, ඒත් වාරණයට කලින් අපි ‘නාඳුනන බලවේග’ නිර්මාණය කරමින් හිටියෙ. මම කොහොමත් නිදහස ගැන හු`ගක් හිතන කෙනෙක්. මට ඒ ගැන කතා කරන්න ගොඩක් උවමනාව තිබුණත් කරන්න පසුබිමක් තිබුණෙ නෑ. මේ වැඬේ ඒකට හොඳ ඉඩක්. මම තායිලන්තෙ ජීවත්වෙන්න කැමති කෙනෙක්. තායිලන්තෙ ජීවිතය මට හරිම ආස්වාදජනකයි. ඒ ජීවිතය හරිම විශේෂයි. ඒ ඇරණම මම තායිලන්තෙ ඉන්න කැමති මේ අරගලය නිසා. පාරෙ යන කොට අපි දකිනවා මේ වෙළෙන්දො, කිසි පිලිවෙලක් නැති දේවල්, මිනිස්සු තමන්ට ඕන විදිහට නීති වෙනස් කර ගන්නවා. කීප දෙනෙකුට ඕන විදිහට රට පාලනය වෙනවා. අපිත් ඒකෙ කොටස්. අපි සතුටින් මේ හැමදේම බාර අරගෙන ඉන්නවා. අපි මේ ගැන සතුටුද? ඒකයි මගේ ප‍්‍රශ්න කිරීම.

ඇයි අපි සතුටු? අපිට වෙරිද? නැත්තං අපි මොකුත් ප‍්‍රශ්න නොකරන හිරිවැටීමකට පුරුදු වෙමින් යනවද? ‘නාඳුනන බලවේග ’ කියන්නෙ මේ කතාව. සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරි වෙනුවෙන් පෙත්සමේදි අපි සඳහන් කළා ඔවුන් අපේ චිත‍්‍රපටය තහනම් කරපු හැටි. අපේ වෙබ් එකේ පවා සමහර අය උත්තර දීලා තිබුණ. ‘ඒක හොඳයි එහෙම වාරණයක් තියෙන එක. එතකොට ඒ අයට පුළුවන් ප‍්‍රංසෙ වගේ රටවල ඒ චිත‍්‍රපටි පෙන්නන්න. ප‍්‍රංසෙත් තහනම් කළොත් නම් අපායෙ තමයි’ කියල.

මේ වගේ උත්තර වලින් පේනවා මිනිස්සු හිතන විදිහ. ඒ අයට තේරෙන්නෙ නෑ. මං නිදහස කියන්නෙ ඇමරිකානු අර්ථයකින් නෙමෙයි. මම කියන්නෙ හරිම ප‍්‍රාථමික අදහසක්. අපිට කියන්න ඕන දේ කියන්න නිදහස වගේ සරල දෙයක්. අපිට එහෙම බෑ. ඒත් ඒක සමහරුන්ට තේරෙන්නෙ නෑ. අපි ගොඩක් කල් මේ පාලනය යටතෙ ඉඳලා පුරුදු වෙලා. ඒක අපේ මානසිකත්වයේ කොටසක් වෙලා. ඒක හින්ද මට අනුව නම් අපි වෙනසක් ඇති කරන්න වෙනවා. අපිට ඕන හැමදෙයක්ම කියන්න නොවුණත් මීට වඩා වැඩි දේවල් ටිකක් කියන්න ඉඩක් හදා ගන්න. අර වගේ කටු ඇතුලට වෙලා ඉන්න අයට ඒකෙන් බාධාවක් වෙන එකක් නෑ.

ප‍්‍රශ්නය-
මේ පෙත්සමේ අත්සන් ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒ ගොඩක් අය තායිලන්තෙම ඉන්න අය. අපි පුදුම වුණා මේ ගැන. මේ ප‍්‍රශ්නෙ මේ තරම් රට ඇතුලට දැනෙන එක ගැන.

අපිචත්පොන්ග්-
ඔව්. ඒ මේ හැමකෙනෙකුටම ගොඩක් කල් මේ විදිහට ඉන්න සිද්ද වුනු නිසා. මෙතන ඉන්නෙ ස්වාධීන චිත‍්‍රපටිකරුවන් විතරක් නෙමෙයි. කොහොමටත් අපිට ස්වාධීනත්වයක් නෑ. විශේෂයෙන්ම තමන්ගෙ ප‍්‍රකාශන එලිදක්වන්න බැරිව හිටපු වීඩියෝ චිත‍්‍රපටිකරුවන් අපි එක්ක එකතු වුණා. මේ කතිකාව පොදුවෙ හැමදෙනාම වෙනුවෙන්. පෙත්සමේ සමහර අය කියලා තිබුනා, ‘මං ඔයාගෙ චිත‍්‍රපටියට කොහොමත් කැමති නෑ. ඒත් මේ හේතුව වෙනුවෙන් සහයෝගය දෙනවා’ කියල. නියමයි. බොහොමත්ම ස්තුතියි.

ප‍්‍රශ්නය-
තායිලන්තෙ ස්ටුඩියෝ ක‍්‍රමයට පිටින් චිත‍්‍රපටිකරුවෙක් වීම කොයි වගේද? එහෙම විෂුවල් ආර්ටිස්ට් ලා හෝ ෆිල්ම්මේකර්ස් ලගේ සමාජයක් තියෙනවද?

අපිචත්පොන්ග්
ගොඩක් වීඩියෝ චිත‍්‍රපටිකරුවන් සහ චිත‍්‍රකරුවන්ගෙ එකතුවක් අපිට තියෙනවා. ඒත් ඒක හරි අමාරුයි. තායි කතා කරන වෙළඳපොල හරි කුඩයි. ඒක නිසා චිත‍්‍රපටියකට වියදම් කරන මුදල හැම තිස්සෙම ගැටළුවක්. චිත‍්‍රපටිය හු`ගක්ම පුද්ගලික අත්දැකීමක් නම් ඒක ඉතාම සුළු පිරිසක් අතරට විතරයි යන්නෙ. ඒ නිසා රටෙන් පිට වෙළඳපොලක් අවශ්‍ය වෙනවා.

ප‍්‍රශ්නය-
ඔබ කියන්නෙ, එක දවසක් උදේ ඔබ ඇහැරෙන කොට එක්වරම ඔබට වැටහෙන්න ගත්තා අවට ලෝකය පවතින්නෙ ඔබ හිතූ පරිද්දෙන් නෙමෙයි කියල. ‘නාඳුනන බලවේග’ ඔබේ මේ හැ`ගීමට දක්වපු ප‍්‍රතිචාරයක්ද?


අපිචත්පොන්ග්-
මං හිතන්නෙ මේක වුණේ 2006 අගමැතිවරයා බලයෙන් පහකිරීමට ඇතිවුණු දේශපාලන අවදි වීමත් එක්ක. මට තේරෙන්න ගත්තා මේ අපිට කරන්න නිදහස ඇති දෙයින් කොටසක් කියන එක. මේ විදිහෙ අනෙක් හැම පිබිදීමකදිම අපි අසාර්ථක වුණා. මේ පාරත් මම හිතුවා, මේක වෙන්නෙ නැති දෙයක්. අපි කවදාවත් ඉගෙන ගන්නෙ නෑ කියල. ඒත් ඒක සිද්ද වුණා. අගමැති බලයෙන් පහ කළා. මං හිතන්නෙ මේක තමයි විදිහ අපිව පීඩනයට පත් කරලා තියෙන අනෙක් දේවල් ගැනත් ප‍්‍රශ්න කරන්න. දේශපාලන, ඒකාධිපති, ආගම් හැමදෙයක්ම. මම සීරියස් විදිහට ඒ ගැන අධ්‍යනය කරන්නත් හිතන්නත් ගත්තා. මගේ තේමාවන්, මගේ වැඩ ඔක්කොම මගේ පුද්ගලික ජීවිතය ගැන දේවල්. මගේ සතුට, මගේ දුක බෙදා ගැනීම වෙනුවෙන් කරපු දේවල්. දැන් මේ දේශපාලන යාතාර්ථයත් ඒ දුකේ හෝ සතුටේ කොටසක් වෙලා.

-අපිචත්පොන්ග් වීරසේතුකල් සමග කළ සංවාදයක ලිහිල් පරිවර්තනයක්*
-ව්‍යාධදේව

රිදී නිම්නයේ තිරිහන් කැරැල්ල


2005 අවුරුද්දෙ ජාතික චිත‍්‍රපට සංස්ථාවෙ පවත්වපු කෙටි චිත‍්‍රපට සැණකෙලිය අපි නම් කළේ ඒ විදිහට. නෙගටිව්ම ඉල්ලලා සංස්ථාවෙ ලොක්කො පස්සෙ ඇවිදපු කීප දෙනෙක් ඇරුණම ඉතුරු අපි ඔක්කොම එක ඩිජිටල් චිත‍්‍රපටියක් කරන්න පහසුකම් ඉල්ලූවා, රුපියල් ලක්ෂ 10ක්. ‘ඔක්කොම කොහොමද එක චිත‍්‍රපටියක් කරන්නෙ?’ ඒ වෙලාවෙ තනි තනි අධ්‍යක්‍ෂවරුන් වෙන්න හීන දැකපු සමහරු ඇහුවා. ඒත් අපි චිත‍්‍රපටි සංස්ථාවෙ කැන්ටිමට වෙලා එහෙම චිත‍්‍රපටියක් ලිව්වා. සංස්ථාවෙන් සතයක් වත් දෙනවා කියලා නොකියාමත් අපි එහෙම පිටපතක් ලිව්වා. ඇත්තටම එකක් නෙමෙයි දෙකක් ලිව්වා. ඒක කෙරුණෙ නෑ.

ඒත් එතන අපි කට්ටියක් හිටියා.
ඊට පස්සෙ මියුසික් වීඩියෝ, ටීවී වැඩසටහන්, ටෙලි නාට්ටි ගොඩක් අත්හදා බැලීම් කළේ ඒ අපේ කට්ටිය. ඒත් ඒ කිසි එකක් හිතපු විදිහට වැඩ කළේ නෑ. එතකොට අපෙන් ගොඩක් අය ඇහුවා, කෝ ඉතිං හරි ගියාද? කියල.

වැරදුණා. ඒත් හරි ගියා.
අපිට පුළුවන් වුණා සාමූහිකව විෂුවල් ගැන හිතන, ෆිල්ම් මේකර්ස් කියන සංස්කෘතියට ඇතුල් වෙන්න. අපිට පුළුවන් වුණා සල්ලි නැතුව විෂුවල් මීඩියම් එක ගැන හිතන්න. අපිට පුළුවන් වුණා ලක්ෂ 3න් වෘත්තාන්ත චිත‍්‍රපටියක් හදන්න.
කෝ ඉතිං හරි ගියාද?

වැරදුණා. ඒත් හරි ගියා.
ප‍්‍රධාන ධාරාවෙ ලක්ෂ 100ට එහා යන හීනෙ කුඩු පට්ටම් වෙන්න ගත්තා. ප‍්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂවරුන්ට ආයිමත් හිතන්න වුණා. ඩිජිටල් කැමරා අරගෙන අතේ තියෙන ගාණට ලියැවෙච්ච චිත‍්‍රපටි එක දිගට හැදෙන්න පටන් ගත්තා. සංජීව පුෂ්පකුමාර ලක්ෂ 25ට කරපු චිත‍්‍රපටියත් අරගෙන රොටර්ඩෑම් ගියා. අවුරුදු කීපයක් ඇතුලත ලංකාවෙ සිනමාව වෙනස් වුණා. රටේ සිනමාව ගැන තිබුණු හැම කියවීමක්ම අවලංගු වෙන්න පටන් ගත්තා. මේ වෙනස කියවා ගන්න බැරි අය තාම නූතනවාදී දැනුම් කෑලි වලින් මේ අලූත් සිනමාව ප‍්‍රශ්න කරන්න බැරි බැරි ගාතෙ ද`ගලනවා. ඒත් ‘වෙනස’ ඒ හැම කෙනෙක්ම පරණ කරගෙන අධිවේගයෙන් අලූත් වෙනවා.

ලංකාවෙ අලූත් සිනමාකරුවන් බිහිවෙනවා. පරණ අයට යන්න වෙනවා. ඩිජිටල් සිනමාවෙ ගතිකයන් එක්ක මුහුවෙන්න ඒ අයගේ මතවාද ඇන්ටික් වැඩියි.
හැමෝටම තමන්ගෙ චිත‍්‍රපටියක් තියෙනවා කරන්න. ඒ හැම ජීවිතේකටම සිනමාවක් තියෙනවා. චිත‍්‍රපටියක් ගැන තිබුණු ඩිරෙක්ටර්, එඩිටර්, ඞී ඕපී වගේ පුද්ගල ආකෘති වලින් එලියට ආවට පස්සෙ සාමූහික හුවමාරුවක් ඇතුලෙ චිත‍්‍රපටියක් හැදෙන එක වේගවත්. ඒක සෞන්දර්යාත්මකයි. අනික මාර්කට් එකේ සීමා නොතකා යන්න පුළුවන්. එහෙම චිත‍්‍රපටි හැදෙන කණ්ඩායම් එක්ක වැඩ කරද්දියි ලංකාවෙ මෙච්චර කල් අපි මාරයි කියපු සිනමා කෘති ඇතුලෙ තියෙන මැටි කම දැනෙන්නෙ. බෙදා හදා ගැනීම සහ එකිනෙකා තුල දියවීම කියන කාරණා චිත‍්‍රපටිය කියන මාර්කට් වටිනාකමට වඩා හු`ගක් වැඩියි. ආශ්වාදනීයයි. ඒ වගේම ප‍්‍රතිඵලදායකයි. උදාහරණයක් විදිහට ‘ආදරයේ අංශුමාත‍්‍රයක්’ චිත‍්‍රපටියෙ රෝස මල් උඩ වැතිර ඉන්නා ‘ඞී’ ගේ දර්ශනය අපිට තිබ්බ දර්ශන තලයෙ ඉඩ මදිකමත් එක්ක කැමරාවට ගන්නම බැරි වුණා. ඒ වෙලාවෙ කැමරා උපකරණ බාරව හිටපු ස්ටැන්ලි ඒ සීන් එක හිතුවටත් වඩා ගොඩ දැම්මා. ඒක සෙට් එකක් ඇතුලෙ අපි අපේ චිත‍්‍රපටිය ගැන හුවමාරු කරගත් හැ`ගීමක ප‍්‍රතිඵලය.

අපි හැමෝටම අපේ චිත‍්‍රපටිය කරන්න පුළුවන්. ඒක ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල තාක්‍ෂණය විසින් අපිට අත්කර දුන් නිදහසක් මිස මහා පරාක‍්‍රමබාහු ගෙනැත් දුන් එකක් නෙවෙයි. අපේ රටේ පාලකයො වගේම කලාකරුවොත් පුළුවන් තරම් බලන්නෙ ඒ නිදහස අත්හිටුවන්න. ආණ්ඩුව ඉන්ටර්නෙට් පාලනය කරන්න හදද්දි අපේ ප‍්‍රවීණ සිනමාකරුවො ඩිජිටල් කරාට පෙන්නන්නෙ කොහොමද කියලා අපෙන් අහනවා. (ඇල්ලූවට හපන්න පුළුවන්ද?*

අපි අපේ සිනමාව පෙන්නන්නෙ කොහොමද? අපි හිර වෙන තැන් ගොඩක් එනවා. එකක් අපේ චිත‍්‍රපටි වල අන්තර්ගතය මහින්ද චින්තනයට සහ ඒ ප‍්‍රදර්ශන මණ්ඩලවල චිත්තනය එක`ගද කියන එක. මහින්ද චින්තනයට එක`ග නම් වැඬේ කොහොමත් ලේසියි. ජනාධිපති මන්දිරයට ගිහින් චිත‍්‍රපටිය එතුමාට පිළිගන්නලා එතුමාගේ යාලූවො හෝ කියන ආයතනේකින් හොඳ ගාණකට ෆිල්ම් එක විකුණ ගන්න විතරක් නෙමෙයි එක දවසකින් මහා සිනමාකරුවෙක් බිහිකිරීම දක්වා වූ මහා මාධ්‍ය අනුග‍්‍රහයක් ලබන්නත් පුළුවන්. රජය චිත‍්‍රපට කර්මාන්තය ගොඩ දාන්නෙ ඒ විදිහට. මණ්ඩල වල චිනතනයට අනුව චිත‍්‍රපටිය තියෙනවා නම් අපිට පුළුවන් ඒ අයගෙන් ෆිල්ම් හෝල් වල පෙන්නන්න නෙගටිව් ගහන සල්ලි ඉල්ලගෙන රිදී තිරය දක්වා වැඬේ ගෙනැල්ලා ඒ ගොල්ලො දෙන ගාණක් අරං නිකං ඉන්න. මේ දෙකටම අයිති නැති වුණත් කාන්ස්, වෙනිස් වගේ නම් දරපු සිනමා උළෙල වල චින්තනයට එක`ග නම් ඒවා මේ සිනමා උළෙල වලදී විකුණගෙන අන්තර් ජාතික සිනමාකරුවෙක් වෙන්නත් පුළුවන්. බාධාව ඇත්තටම එන්නෙ ඒ ගසත් නොවෙන, මේ ගසත් නොවෙන වෙනත් ගස් වලටයි.
අපේ චිත‍්‍රපටි වලටයි. නෙගටිව් එකක් දක්වා ගේන වැඩපිලිවෙල පවා චිත‍්‍රපටිය හදන්න ගිය වියදමට වඩා වැඩි වුණාම සහ චිත‍්‍රපටය ඞීවීඞී එකක් විදිහට ප‍්‍රදර්ශනය කරන්න පහසුකම් රටේ නැති වුණාම. එතනදි අපිට ඉතිරි වෙන්නෙ තවමත් අපේ රටේ හරියට ව්‍යාප්ත වී නැති අන්තර්ජාල සහ ඞීවීඞී ලෙස බෙදා හැරීමේ ක‍්‍රමය විතරයි. නමුත් ඒ දෙකම මේ රටේ තමන්ගෙ පිරිස් අතරෙ අත්දැකීමක් බෙදා ගන්න චිත‍්‍රපටියක් කරන චිත‍්‍රපටකරුවෙක් තෘප්තිමත් කරන්නේ නෑ.

විකල්ප ප‍්‍රදර්ශන ක‍්‍රමයක්.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ පවා පවතින අකෘතියෙන් එලියට හිතන්න අපිට සිද්ද වෙනවා. නගරයෙන් නගරයට අපේ සංවිධානය වීමක් යටතේ චිත‍්‍රපට මුදා හරින ආකාරයක් අපිට නිර්මාණය කර ගන්න වෙනවා. චිත‍්‍රපටය නිෂ්පාදනයේ දී වගේම එය පේ‍්‍රක්‍ෂකයා වෙත ළ`ගා වීම දක්වා හැමදෙයක්ම සැලසුම් කිරීමේ අභියෝගයක් අපි ඉදිරියේ තියෙනවා.
ඒ අභියෝගය වෙනුවෙන් විකල්පයක් විශ්වාස කරන සහ ඒ විකල්පය වෙනුවෙන් ජීවත් වෙන සහෝදර කණ්ඩායම් අවශ්‍යයි. පලාතෙන් පලාතට වේදිකා නාට්‍යයක් සංවිධානය කරන්නා බඳුව නගර ශාලා වල, එලිමහන් තැනිතලා වල රාත‍්‍රී දර්ශන හැටියට, කොහේ හෝ පිරිසක් එක් කරගෙන නරඹන අත්දැකීමක් සංවිධානය කළ හැකි පිරිස් එකතු වීමක් අවශ්‍යයි. මේ විකල්ප ප‍්‍රදර්ශන ප‍්‍රවේශය තවදුරටත් අහම්බයක් නෙමෙයි. ඒක අනිවාර්යක්.

ප‍්‍රධාන ධාරවෙ චිත‍්‍රපටශාලා වල පේ‍්‍රක්‍ෂාගාරය ශීග‍්‍රයෙන් හිස්වෙමින් යනවා. චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනයෙන් ඒකෙ වියදම වත් පියවා ගන්න තරම් පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉතිරි වී නෑ. මාධ්‍යයක් විදිහට චිත‍්‍රපටය එයින් මිනිස්සු අත්විඳි තෘප්තිය අතර සම්බන්ධය ගිලිහෙන්න අරගෙන. විනෝදය සඳහා චිත‍්‍රපටි උදයාකාන්ත මට්ටමින් වත් ඉතිරි වෙලා (දැන් ඒකත් නිෂ්පාදකයම කර ගන්නවා* ප‍්‍රමෝදය සඳහා තිබුණු චිත‍්‍රපටි අතුරුදන් වෙමින් යනවා. ඒකට හේතුව ටීවී හෝ හෝම් තියටර් නෙවෙයි. මෙගා ටෙලියකින් දෙන රසය වත් ස්පර්ශ කරන්නට අපේ ප‍්‍රවීනයන්ට බැරි කම. ඒ අය යුරෝපියානු සම්භාව්‍ය සිනමාවෙ මනෝ විශ්ලේෂණය හෝ යුද්ධයේ ලිංගික ප‍්‍රහර්ෂය වගේ දේවල් පස්සෙ යද්දි පේ‍්‍රක්‍ෂකයො චිත‍්‍රපටි නොබලා ගෙදර යනවා. පස්සෙ ඒ ගොල්ලො ළමා චිත‍්‍රපටි කරනවා.

ලංකාවෙ සිනමාවට නැවත පේ‍්‍රක්‍ෂාගාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. පේ‍්‍රක්‍ෂකයා සහ කෘතිය අතර සම්බන්ධය, ප‍්‍රමෝදය අයිමත් හඳුන්වා දිය යුතුව තිබෙනවා. ඒකට අලූත් සිනමාවක් වගේම අලූත් ප‍්‍රදර්ශන මාදිලියකුත් ඕන කරනවා. අද ලංකාවෙ චිත‍්‍රපටි දුවන්නෙ මණ්ඩල දෙකයි. ඊඒපී එක පවුලේ සහ ළමා විතරයි. ඉතුරු ඔක්කොම පොර කන්නෙ සීඊඑල් එකට. රිද්ම මණ්ඩලය හාන්සියි. මේ කොයිකෙ වුණත් බලන්න සෙන`ග නෑ.

ඩිජිටල් කැමරාවක් අරං යාලූවො කීපෙ දෙනක් එකතු කරං කරන තමන්ගේ පුද්ගලික සිනමාව මිනිස්සු ළ`ගට ගෙනියන්න මේ ආකෘතියෙ ඉඩක් නෑ. මිනිස්සු ඒක බලන්න එනකල් නොඉඳ මිනිස්සු ඉන්න තැන දක්වා යන්න මේ මොහොතේ විකල්ප සිනමාකරුවා නිහතමානී වෙන්න ඕන. ඒ වගේම ඒ සිනමාව විශ්වාස කරන අය මේ වෙනුවෙන් එකතු වෙන්නත් ඕන.

අපිට පුළුවන් නම් නගරයෙන් නගරයට ප‍්‍රදර්ශන සංවිධානය කරන්න, ඒ ප‍්‍රදර්ශන ගැන කතිකා සහ සංවාද මතු කරමින් මිනිස්සුන්ට කතා කරන්න, තැනින් තැනට යන ඇත්ත සිනමා ප‍්‍රදර්ශනයක් ගැන උණුහුම් සිහිනය සැබෑ වේවි. ආයිමත් මේ පොලොවෙ දෙයක් වැඩ කරනවා කියන එක අපිට දැනෙන්න ගනීවි. ඒ හුස්ම වෙනුවෙනුයි මේ සටහන.

ඉන්න පළාතෙ අලූත් චිත‍්‍රපටයක් වෙනුවෙන් අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන් අය ලියන්න. (vyadhadeva@gmail.com) අපි අලූත් සිනමාවක් වෙනුවෙන් එකතු වෙමු. අපි හැමෝගෙම චිත‍්‍රපටි හැදෙන්න පුළුවන්, පෙන්නන්න පුළුවන් අලූත් ඉඩක් හදා ගන්න නිර්මාණශීලී වෙමු. දැන් පටන් ගන්න කාලෙ හරි.
කෝ හරි ගියාද? ආයිමත් ඉතුරු කට්ටිය දුක්මුසුව අහවි.
වැරදුනා. ඒත් හු`ගක් දේවල් හරි ගියා. අපිට හිනාවෙවී කියන්න පුළුවන් වේවි.
javascript:void(0)

-චින්තන ධර්මදාස
Guerilla Filmmakers වෙනුවෙන්.

දවසක් එනවා අපේ අධෝ මාර්ග අපිටම අයිති වෙන


මට කතාව පටන් ගන්න තැනක් හිතා ගන්න බැරි වුණා. අපේ ඔෆිස් එකේ එලියෙ පුටු දාලා තියෙන ආලින්දෙ ඔස්කා ඉඳගෙන ඉන්නවා, මං මොකක් හරි අහන කල්. ඒක හරි අමාරු දෙයක්. කොතනින් පටන් ගන්නද කියල හිතන එක. හැමෝම අහලා පට්ට ගහලා තියෙන ප‍්‍රශ්නෙකින් මං පටන් ගත්තා.

ඇයි ෆිල්ම් කරන්නෙ?
මං අම්පාරෙ නෙ. එහේ ෆිල්ම් හෝල් ගොඩක් නෑ. රීගල් එක විතරයි. ඒකෙත් ෆිල්ම් නෑ. ඒත් ඞීවීඞී ප්ලේයර් වලින් අපිට පුළුවන් වුණා යුද්ද ෆිල්ම් බලන්න. යුද්ද ෆිල්ම් බලද්දි හරි ආස හිතුණ. අපෙත් යුද්දෙනෙ. ෆිල්ම් එකේ පෙන්නන්නෙත් යුද්දෙ. උනුයි අපියි දෙකම එකයි කියලා හිතුණ.
අපේ පැත්තෙ කොල්ලො ගොඩක් හමුදාවට ගියා. උන් එද්දි සිගරට් පැකට්, ඞීවීඞී ප්ලේයර් අරන් එනවා. ඒවායින් බලන්නෙත් යුද්ද ෆිල්ම්. එක පාරක් රීගල් එකට ප‍්‍රසන්න විතානගේ කරපු පුරහඳ කරුවල චිත‍්‍රපටිය ආවා. අපි අහලා තිබුණා. පුතා හමුදාවට ගිහින් නැති වෙලා, එයා එනකල් බලාගෙන ඉන්න තාත්තා කෙනෙක් ගැන කතාවක් කියල. ඒත් ෆිල්ම් එක බලද්දි අපිට හිනා ගියා. ඒක යුද්දෙ ගැන අපි දන්න කතාව නෙමෙයි. අපේ හිටියා හතේ ලොක්කා කියල කෙනෙක්. එයාගෙ පුතා හමුදාවට ගිහින් මැරුණා. ඒකට හම්බුණ වන්දියෙන් මිනිහා ගත්තා ලොකු ටීවී එකක්. අපි ඔක්කොම ක‍්‍රිකට් මැච් බැලූවෙ ඒකෙන්. පුරහඳේ පෙන්නන්නෙ හිනා යන එකක්. යුද්දෙ ගැන මානුෂික කතා ඔක්කොම ඒවායින් ස්වයං වින්දනය කරන්න යුද්දෙන් පිට හිටපු අය හදපු ඒවා. යුද්දෙ ජීවත් වෙච්ච අපිට ඒකෙ එහෙම දෙයක් නෑ.

ඔස්කාව මට හම්බුණෙ කොයින්ස් ෆිලිම් ෆෙස්ටිවල් එකේදි. එයා කරපු 'Irregular Story of my life' ෆිල්ම් එක මට කණ පැලෙන්න වැදුණ. ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම චිත‍්‍රපටිය වුණෙත් ඒක. කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රධාන ආරධිතයා විදිහට ඇවිත් හිටියා. සම්මානෙ ගන්න ආවම අනිත් කෙටි චිත‍්‍රපටිකාරයො කරපු ස්තුති ප‍්‍රකාශ වෙනුවට ඔස්කා කිව්වෙ වෙන කතාවක්. ඒක මට වගේම එතන ගොඩක් අයටත් කණ පැලෙන්න වැදුණ.

‘අපේ ගුද මාර්ග වල අයිතියත් අපිට අහිමි කරලයි තියෙන්නෙ. කතා කරන්න අයිතිය කලින්ම නැති වුණා. දැන් කන්න නැති කරලා ඊට පස්සෙ ගුද මාර්ග පාවිච්චි වෙන්න ඕනෙත් උන්ට ඕන විදිහට. අපේ ගුද මාර්ග වල අයිතිය උන් අරගෙන ඒවා උන්ට ඕන විදිහට පාවිච්චි කරනවා. ඇමතිතුමා ඒත් කවදා හරි දවසක් එනවා අපි අපිට ඕන විදිහට අපේ ගුද මාර්ග පාවිච්චි කරන’

ඔස්කා කැළණි කැම්පස් එකේ. ඒත් කැම්පස් එකේ එකෙකුට වඩා වෙනස්. එයාට කියන්න ජීවිතයක් තියෙනවා. අර කතාව කියල බිමට බැස්සම කැම්පස් එකේ කොල්ලො ටිකක් ඔස්කට අවවාද කරනවා.

‘අනේ බං උඹ බයිලා කියන්න යන්නෙ නැතුව උඹේ කකුල හදා ගන්න උදව්වක් ඉල්ල ගත්තා නං ඉවරයි නෙ’
ඔස්කාගෙ කකුල් ආබාධිතයි. ඒත් අනිත් උන්ගෙ වගේ මොලේ සහ කොන්දෙ ආබාධ ඔස්කාට නෑ.

‘කැම්පස් එකට ආවෙ ඩ‍්‍රාමා කරන්න හිතාගෙන. ඒත් මං ඩිසේබල් නිසා ඒක කරන්න බැරි වුණා. අපි බලන චිත‍්‍රපටි වල අපේ ජීවිත නෑනෙ. කෙටි චිත‍්‍රපටි වල වුණත් අපි නෑ. වෙන එක එක අය ඉන්නවා. අපි ගැන කියන්න පුළුවන් ඩ‍්‍රාමා වලින් කියලා මුලින් හිතුණෙ. ඒත් ඒකෙත් රුසියානු චෙරි උයන, එක එක පරිවර්තන, ෂේක්ස්පියර්, ග‍්‍රීක නාට්ටි තමයි තියෙන්නෙ. එතනත් අපි නෑ. දර්ශන කියල සර් කෙනෙක් හිටියා. එයා ළ`ග තිබුණා පොඩි හැන්ඩි කැම් එකක්. ඒක ඉල්ලගෙන අපි කන හැටි, බොන හැටි, කතා කරන හැටි වීඩියෝ කරලා බලන්න පටන් ගත්තා. අපිවම ටීවී එකේ දකිද්දි හරි ආසාවක් හිතුණ.


ගෙදර තත්වෙ කොහොමද? මං ඒ අදහස් වලට පොලොවක් හාරන්න ඇහුවා.

අම්පාර පැත්තෙ කිව්වම අපිට පේන ඔය මැටි පොල් අතු ගෙවල් නෙමෙයි ඇත්තට අපේ පැත්තෙ තිබ්බෙ. අපේ තාත්තා බ්‍රෝකර් කෙනෙක්. යුද්දෙ හින්ද ඒ පැත්තෙ ගොඩක් බිස්නස් වුණා. දෙමළ මුස්ලිම් අය කරන බිස්නස් වලින් සිංහල අයටත් හම්බුවෙනවා. හමුදා වලින් පන්නන ඒවා එහෙම. යුද්දෙ නිසා අපේ පැත්තෙ ගොඩක් අයට සල්ලි තිබුණා.

මං ආවෙ ඉමේජ් ආර්ට් කරන්න. ඒ්ත් පස්සෙ ජොබ් එකක් ඕන හින්ද ජාත්‍යන්තර සබඳතා කරන්න පටන් ගත්තා. මුලින් හෙජමොනිය, පශ්චාත් යටත් විජිත වගේ වචන කියද්දි ආස හිතුණ සබ්ජෙක්ට් එකට. පස්සෙ බලද්දි ඒ ඔක්කොම මහා ආඛ්‍යාන. ඒවා හරිම අධිපතිවාදීයි. අපේ වාචාල ආඛ්‍යාන වලට ඒවායෙ තැනක් නෑ. ඒකට විරුද්ධ වෙන එකත් ආයිමත් අධිපතිවාදයක්.

යුද්දෙ අපිට හොඳයි. යුද්දෙ හින්ද අපේ ගෙවල් අහල පහල යාලූවො වීරයො වෙද්දි අපි ආසයි. අපේ යාලූවො නෙ. ඒත් යුද්දෙ හින්ද අපිට බඩගිනියි. ඒත් ඒක කියා ගන්න බෑ. එහෙම කළොත් ජාති ද්‍රෝහීයි. මහා ආඛ්‍යාන වලින් අපි ගැන කතා කරන්නෙ නෑ. පත්තර වලින් අපි ගැන කියන්නෙ නෑ. අපි ලියලා දුන්නත් ඒවා පළ කරන්නෙ නෑ. සිනමාවෙ වුණත් අපි ගැන කතා නෙමෙයි තියෙන්නෙ.

මුලින්ම කළේ මේ ෆිල්ම් එකද?

පොඩි පොඩි වීඩියෝ කර කර ඉන්ටර්නෙට් එකට දැම්මා. මට ෆිල්ම් කරනවා කියලා අදහසක් නෑ. මට ඕන යමක් ප‍්‍රකාශ කරන්න පුළුවන් මොකක් හරි එකක්. ෆිල්ම් කියන්නෙත් අධිපතිවාදයක්. ඒක ඇතුලෙ අපි හිර වෙනවා.

මට හම්බුණා උගතෙක්. එයාට උපාධි තුනක් තියෙනවා. ප‍්‍රාඩො එකකින් එන්නෙ. මැනේජ්මන්ට් පැත්තෙ කෙනෙක්. හරි හොඳ මනුස්සයා. එයා කරන්නෙ මොකක්ද දන්නවද? සබන් කැටයක් විකුණන එක. ලොකු සමාගමකින් මිනිහට ලොකු පඩියක් ගෙවනවා ඒ සබන් කැටේ විකුණන්න. මට හරි අප්සෙට් ගහලා තියෙන්නෙ අපි මොකක්ද කරන්නෙ, මොකක්ද කළ යුත්තෙ කියන එක. මට ඩිප්‍රෙෂන් හැදුණා. මේ වෙද්දිත් මං බෙහෙත් බොනවා.

ලව් කරලා නැද්ද?
මං හිතෙන් ලව් කරලා තියෙනවා. හිතලා (ස්වයං වින්දනය* කරලා තියෙනවා. ඒත් ලව් එකකට ඕන ජීව විද්‍යාත්මක සුදුසුකම් නැති නිසා මට ඒක කරන්න බෑනෙ. ඒකෙ අවුලක්ද දන්නෙ නෑ මං මේ එක එක දේවල් කරන්නෙත්.

අපි හදාගෙන තිබ්බ හීන ඇතුලෙ අපිට තෘප්තිමත් වෙන්න බැරි වුණා. හරියට ගෑණියෙක් එක්ක ඉද්දි වැඬේ ඉවර වෙන්න කලින් එලියට ඇදලා දැම්මා වගේ. අපේ වීරයො හිරේ ගියා. අපේ මාමාව ලේ ඇදලා මැරුවා. කරුණා පාර්ලිමේන්තුවට ගියා. යුද්දෙ තමයි අපේ අයිඞ්ල් එක. ඒක ඉවර වුණාම අපිට ලොකු හිස්තැනක්. දෙමළ කොල්ලොත් ඒ වගේ. උන් බෝම්බ බැඳන් පුපුරලා යද්දි අපිට අපි හිර කරන් හිටපු පඩ නිදහස් වෙනවා වගේ. ඒක හරි සැහැල්ලූවක්.

පොත් ගැන.
පොත් කියන්නෙ කියවීමට බාධාවක්. මට මාව, මගේ වටේ හිටපු සුදු බණ්ඩලා, සෝමෙලා, අනුරාධ ලා අත් ඇරෙන්නෙ පොත් හින්ද. හතේ පංතියෙදි මං චෙරි උයන කියෙව්වා. ඒක නගරය නිසා ගමේ රදළ පංතිය වැටෙන හැටි ගැන කතාවක්. මං මගේ ජීවිතේ එක්ක ඒක ගලපන්න ගත්තා. එතකොට මට කියවන්න බැරි වෙන්නෙ මගේ ජීවිතේ.

අපේ කොල්ලො රස්සාවට යනවා සිනමන් ග‍්‍රෑන්ඞ් වගේ තැන් වල කේටරින් ජොබ් වලට. ප්ලේට් එකක් රුපියල් 3000ක් 4000ක් විතර. ඒවායෙ අතවත් නොගා ඉතුරු වෙච් ඒවා විසි කරනවා. කාටවත් දෙන්නෙ නෑ. ඒක අතිරික්තය. ඒත් අපි බටු පැලේ ගෙදර වවාගන්න ඕනි. මැරෙන්නත් ඕනි. ගෙදර ඇවිත් බටු වවන්නත් ඕනි.



ෆිල්ම් ගැන.
මං ෆිල්ම් වලට විරුද්ධයි. සිනමාව දකින්න බාධාව සිනමාවමයි. අපි සිනමාව කරන්න කරන්න ජීවිතේ නැති වෙනවා. ෂාරුක් ඛාන් ලොකු වෙන්න ලොකු වෙන්න අපිට ඌව පේන්නෙ නැතුව ගියා. කලාව කියන්නෙ අධිකාරියක්. ඒක ඒ කියන සීමාවෙන් එලියට ගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නෙ අපේ දෙයක් ඒකෙන් කියන්න. ඔය සරච්චන්ද්‍ර ලා තමයි මේක ශාස්ත‍්‍රීය කරන්න ඕන කියලා වැඬේ කෑවෙ. ශාස්ත‍්‍රීය කරනවා කියන්නෙ ඒකෙ අපි නෑ කියන එක. අපිට අපේ දේවල් කියන්නයි කලාව ඕනෙ. ඒක උන්ගෙ හැටියට කියන්න අපිට ඕන නෑනෙ. යතාර්ථවාදී නෑ, ඕලාරිකයි, වක්‍රෝක්ති වගේ විකාර ගොඩක් ගෙනල්ලා අපිට අපේ දෙයක් කියන්න තියෙන දේ නැති කළා. අපිට අපේ 71 කැරැුල්ලවත් පෙන්නන්න බැරි වුණා. එක චිත‍්‍රපටියක් තියෙනවද ඇත්තට අපි දැකපු කැරැුල්ල ගැන. ඔක්කොම මාතවාදිමය අධිකාරි.

කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ගැන.

උන් හොඳයි. සයිබා යන කොට අඩියක් විතර කොන්ඩම් වලට කකුල් එරෙනවා. ඉගෙන ගන්නවා. දේශපාලනය කරනවා. බැම්මක් කැඩුවත් හයියෙන් උඩ පනිනවා. උන් හොඳ එවුන්.

මාක්ස් වෙනුවෙන් පණ දෙන්න කතා කරන කොච්චර ඉන්නවද? මිනිස්සු වෙනුවෙන් කතා කරන එකෙක් වත් නෑ. අම්පාරෙ බඩ ඉරි`ගු ගොවියකෙුට වතුර ටික ගන්න විදිහක් නෑ කිව්වොත්, ‘ ඕක මචං ප‍්‍රාග්ධනය විසින් ඇති කරන සූරාකෑම.....’ කියලා පටන් අරන් දවසක ලෙක්චර් එකක් දෙයි. මං මේ කියන්නෙ ජාතිකවාදී අදහසක් නෙමෙයි. හුදී ජනයා කියන අදහස.

ආයිමත් ෆිල්ම් එකක් කරයිද?
මට තියෙන අවුල මං කරන කිසි දේකින් තෘප්තිමත් වෙන්න බෑ. මට ඕනි මාව මුණ ගැහෙන මාර්ගයක් හදා ගන්න සිනමාවෙ හරි මොකක හරි. ඒකෙන් අපිටම අපි ගැන පිළියම් හදා ගන්න පුළුවන් නම්......

පත්තරේ පිටුවට වඩා ලොකුවට යන හින්ද මං කතාව එතනින් නැවැත්තුවා. ඒත් ඔස්කා ඊළ`ගට කරන්න යන චිත‍්‍රපටියක් ගැන අදහසක් මට කිව්වා.
‘පුළුවන් නම් කැමරාවක් ඉල්ලලා දියන්. ඒක වෙඩි තියාගෙන මැරෙන්න පිස්තෝලයක් හොයපු එකෙකුට කැමරාවක් හම්බුවෙන කතාවක්. ඊට පස්සෙ ඌ කැමරාවෙන් වෙඩි තියාගෙන තියාගෙන යනවා’

ඔස්කා ලයිට් හැලිච්ච පොඩි බයිසිකලේ පැදගෙන යන්න ගියා. ඊට කලින් මං ඔෆිස් එකේ කැමරාවෙන් පිංතූර ටිකක් ගත්තා.
ආයිමත් මට කෝල් එකක් ආවා.
‘මචං උඹ දන්නවනෙ. මට මගේ මුත‍්‍රා පිට වෙන එක පාලනය කර ගන්න බෑ. ඒක වුණේ උප්පත්තියෙන්. ඒත් මචං මං වගේ මෙහෙම වෙච්ච දෙමළ කොල්ලො අපේ පැත්තෙ ඉන්නවා. සිංහල කොල්ලොත් ඉන්නවා. උන්ට ඒක වුණේ යුද්දෙන්. ඒ ජීවිත වලට වටිනාකමක් දුන්නෙ යුද්දෙ. දැන් උන් කවුද.....ඒකත් කොහේ හරි ලියපන්’

මට ඌ කිව්වා.

ඔස්කා රුමේෂ් සම`ග සංවාදය- චින්තන ධර්මදාස.

BLOG


නිකොලස් කසන්සාකිස් (සොර්බා, ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක‍්‍රයිස්ට්* ග‍්‍රීක ලේඛකයා හරිම පැහැදිලි පිලිවෙලක් තියෙන මිනිහෙක්. එයා හු`ගක් ආගමික දේවල් එයාගෙ පොත් වල ලිව්වත්, අසිසි වලින් පැමිණි සෙන් ෆ‍්‍රාන්ස් වගේ අද්විතීය චරිතාපදාන ලිව්වත්, එයා අදේවවාදියෙක් කියල දැඩිවම කියා සිටියා.
ඒත් මේ අදේවවාදියා තමයි මම දෙවියන් ගැන කියවා තියෙන ලස්සනම වචන ටික ලිව්වෙ.
‘‘අපි වික්‍ෂිප්තව බලා ඉන්නවා විශ්වය පාලනය කරන ශක්ති සර්පිලයේ ඉහළම කොටස දිහා.
අපි ඒකට කියනවා දෙවියන් කියල.
අපිට තව ගොඩක් නම් දෙන්න තිබුණ. අභිරහස, අගාධය, අඳුර, ආලෝකය, ආත්මය, නිහැ`ඩියාව....
ඒත් අපි කිව්වෙ දෙවියන් කියල. මොකක් හරි අද්භූත හේතුවකට ඒ නම කියද්දි අපේ හදවත් ප‍්‍රාණවත්ව ගැහෙන්න ගත්තා.
කිසිම සැකයක් නෑ. මේ ගැස්ම, වෙව්ලිල්ල අපිට අවශ්‍යමයි මිනිස් පැවැත්මේ මූලික හැ`ගීම් දක්වා කිමිදෙන්න.”
-Paulo Coelho

අලිජන්දාරෝ ජොරඩොව්ස්කි එක්ක වචන කීපයක්


(ජොරඩොව්ස්කි පපටියර් කෙනෙක්, තිර කතාකරුවෙක්, නාට්‍යකරුවෙක්, චිත‍්‍රපටකරුවෙක් වගේම ටැරොට් විශේෂඥයෙක්.*

ප‍්‍රශ්නය-
ඔබ එකපාර ව්‍යාපෘති දෙක තුනක යෙදිලා ඉන්න කාර්ය බහුල කෙනෙක්. ඔය වයසෙදිත් කොහොමද මේ තරම් හයියක්?

අලිජන්දාරෝ-
ආර්ටිස්ට් කෙනෙක් හින්ද මං කරන්නෙ මං කැමති දේ. මං අකමැති දේ කළොත් තමයි මහන්සි වෙන්නෙ. කෙනෙක් ආස දේ කරද්දි තව තවත් ශක්තිමත් වෙනවා මං හිතන්නෙ.

ප‍්‍රශ්නය-
ඔබ එකපාරක් කිව්වා, ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ තමන්ට ඕන දේ කරන කෙනෙක් කියල.

අලිජන්දාරෝ-
ඔව්. තමන්ට ඔන් දේ කරන, තමන් හැර වෙන කිසිවෙකුත් නොවෙන කෙනෙක්. වෙන අයට වෙන්න ඕන කෙනා වෙන කෙනෙක් නෙමෙයි. ඔබ ඔබම වෙන්න ඕන සහ ඔබ කැමති දේ කරන්න ඕන.

ප‍්‍රශ්නය-
ඔබ හිතන්නෙ ඕනම මට්ටමකදි කෙනෙක් ඇත්තට ජීවත් වෙනවා නම් ඒ විදිහට වෙන්න ඕනද?

අලිජන්දාරෝ-
ඔව්. ඔබ කර්මාන්තයක් විදිහට ආර්ට් කරනවා නම් ඒක වෙනස්. ආර්ට් කියන එකේ පරමාර්ථයම ඔබේ ආත්මය ගොඩනගන එක. ඒත් කර්මාන්තයක පරමාර්ථය මුදල්. ඒක වෙනස්. ඔබ බැඳිලා ඉන්නවා ඔබ කැමති නැති දේ කරන්න, ඔබ නොවී ඉන්න. එතනදි ඔබ නිදහස් නෑ. ඒ කියන්නෙ ඔබ ඇත්ත ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි. ඇත්ත ආර්ටිස්ට් කෙනෙක් නම් ඔබ හැම විටම නිදහස්. ඔබ කවුරු හරි විශේෂ ජනතාවකට දේවල් කරන්නෙ නෑ. ඔබ කරන්නෙ ඔබටම. ඔබේ ආත්මය තේරුම් ගන්න.

ප‍්‍රශ්නය-
මේක ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්. ගොඩක් සම්ප‍්‍රදායන් කතා කරනවා මමත්වය නැති කිරීම ගැන. ඒත් ඔබ කියනවා මමත්වය නැති කරන්න බෑ කියල.

අලිජන්දාරෝ-
මම හිතන්නෙ ඒක මායාවක්. ඔබ මමත්වය නැති කරන්නෙ නෑ. ඒක අනිවාර්යයි. ගොඩක් උසස් අයටත් ලොකු මමත්වයන් තිබුණා. ඔබ ඒක සතෙක් වගේ හීලෑ කර ගන්න ඕන. ඔබ සිංහයෙක්ව මරා දාන්නෙ නෑනෙ. සිංහයාව හීලෑ කර ගන්නවා. මමත්වය ඔබේ ඇතුළත පරිපූර්ණත්වයට කීකරු විය යුතුයි. මමත්වය ඔබේ අභ්‍යන්තර හ`ඩ නොතකා හරිනවා නම් ඔබ ඉන්නෙ අවුලක.

ප‍්‍රශ්නය- ආර්ටිස්ට් කෙනෙක්ට මමත්වයක් ඕන නැද්ද?

අලිජන්දාරෝ-
හැමෝටම ඕන. ඔබාමාටත් ඕන. මමත්වයක් නැතුව එයාට බෑ ජනාධිපති කෙනෙක් වෙන්න. නළුවෙකුට බෑ නළුවෙක් වෙන්න. ගුරුවරයෙකුට බෑ ගුරුවරයෙක් වෙන්න. ඒත් මමත්වය කීකරු කර ගත යුතුයි. ඒකයි ඇත්ත කාරණේ. අනිත් අය එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වන්න නම් ඒක ඕනමයි. ජීවිතය ඇතුලට යන්න නම් ඔබ දැන ගන්න ඕන අනිත් අයව සම්බන්ධ කර ගන්නෙ කොහොමද කියල. ඔබට තිනිවම දෙයක් කර ගන්න බැරි වුණාම අනිත් අයගෙ උදව් ඕන. හැමදේම තනියෙන් කරන්න බෑ.