Tuesday, May 31, 2011

කොච්චි - තක්කාලි සහ පතෝල




ඇයි දැන් සැරට ලියන්නෙ නැත්තෙ?
සමහර යාලූවො මගෙන් අහනවා. සැරට කියන්නෙ හොඳට නෙළන්නෙ නැත්තෙ ඇයි කියන එක. නැත්තං කාව හරි රිදෙන්න විවේචනය නොකරන්නෙ ඇයි කියන එක. මේ කාලෙ ඒක විනෝදයක්. මාර්කට් එකක්.
ඒත් ඇයි මං සැරට ලියන්නෙ?

ශ‍්‍රී පාලි එකේ කෙටි චිත‍්‍රපටි ගැන කතා කරන්න මට දවසක් එන්න කිව්වා. එතනදි ඒ ගොල්ලො හදපු කෙටි චිත‍්‍රපටි කීපයක් පෙන්නලා සංවාදයකට යන්නයි සැලසුම් කරලා තිබුණෙ. මම මට පේන විවිධ පැති වලින් ඒ චිත‍්‍රපටි විවේචනය කළා.

‘අපිට නැති වෙන්න ගැහුවා’
ඒ චිත‍්‍රපටි කරපු අය කිව්වා. බලන් හිටපු අනිත් අය විනෝද වුණා. ඒත් මට උවමනාවක් තිබුණෙ නෑ ‘නැති වෙන්න’ ගහන්න. මට ඕන වුණේ ‘ඇති වෙන්න’ ගහන්නයි. ඒක විනෝදය පිණිස නෙමෙයි. ඊට වඩා වැඩි ධනාත්මක සිතීමක් වෙනුවෙන්. ඒත් ලංකාවෙ විවේචනය ගැන තියෙන්නෙ වෙන අදහසක්. ඒක මමත්වය මූලික වැඩක් මිස විෂය ඇතුලෙ සංවාදයක් නෙමෙයි. විශේෂයෙන්ම සිනමාව කියන විෂයෙදි මේක බරපතලයි. කොච්චි වගේ ඇත්ත විවේචන වෙනුවට තක්කාලි හෝ පතෝල දෙවර්ගය තමයි අපිට අත්විඳින්න වෙන්නෙ. ඒත් අපිට අපි ඇතුලෙන් අපිව ඉරා දමන විචාරයක් නැතුව යන්න පුළුවන් දුර කොයි තරම්ද? ඒක තමයි අපේ ¥පතේ තරම.

‘විවේචනය පිළිගන්නේ නැති වේවි. ඒත් ඒක අවශ්‍යයි. හරියට ශරීරයේ වේදනාව වගේ ඒක යම් කාර්යක් ඉටු කරනවා. ඒක නිසා රෝගී තත්වයන්ට ගොදුරු වේගෙන එන දේවල් ගැන අවධානය යොමු වෙනවා’
-වින්ස්ටන් චර්චිල්-

චිත‍්‍රපටි පාසැලක ටික කාලයක් ඉගෙන ගන්න මට ලැබුණු අවස්ථාවෙ වටිනාම දෙයක් වුණේ විවේචනය සාධනීය හැටියෙන් බාර ගන්න ලැබුණු පුහුණුව. එතනදි අපි ලියන පිටපතක් හෝ කරන කෙටි චිත‍්‍රපටයක් පංතියේ අනිත් අය අතින් නිර්දය විදිහට විවේචනය වීම අනිවාර්යක්. ඒක පුහුණුවක්. ළ`ගම ඉන්න මිතුරා පවා තමන්ට දැනෙන ඇත්තම ටික සියල්ලන් ඉදිරියේ කියලා දානවා. මුලින් සිංහල බෞද්ධ හැදියාව නිසා උන්ට මුහුණ දෙන්න බැරි වගේ ගතියක් දැණුනට, පස්සෙ ඒක මාවම විශ්ලේෂණය කර ගන්න මට උදව් වුණා. හැබැයි එතන අර විනෝද වෙන පිරිස හිටියෙ නෑ. ඒ නිසා මමත්වය වෙනුවෙන් විවේචනය එතන තිබුණෙ නෑ.

ඒ විදිහට විවේචන එක්ක වැඩෙමින් සංවාද විවෘත වෙමින් යන සංස්කෘතියක් අපිට නෑ. ඒ වෙනුවට විවේචනය ‘මඩ ’ තැනකට යනවා. මඩ වලින් කියවන අය විනෝද වෙනවා. ලියන අය පොර වෙනවා. නගර සභාවෙ ලොරියක් වගේ ගඳ විතරක් ඉතුරු වෙනවා.

මෑතකදි ලංකාවෙ ජනප‍්‍රියම වුණේ මේ මඩ වර්ගයේ විචාර. සමාජීය හෝ පුද්ගලික හෝ එහෙම නැත්තං බොරු හෝ කාරණා අරගෙන මඩ ගැසීම ‘න්‍යායික’ වගේ පේ්න්න ගත්තා. ඒක විලාසිතාවක් වුණා. ඒත් ඒ විවේචන පිටිපස්සෙ තියෙන අරමුණ කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නෑ.

‘මේ පාර ගහලා තිබ්බා නැති වෙන්න’

ඒ ලිපි බලලා විනෝද වෙන අය කියනවා. කොටින්ම ලිපියෙ තිබ්බෙ මොනවද කියලවත් වගක් නැතුව. පවතින දේට වඩා හොඳ යමක් ගැන ප‍්‍රාර්ථනාවක් හෝ නැත්නම් ඇයි අපි විවේචන කරන්නෙ? සාමාජීයව වඩා සාධනීය දෙයක් අරමුණු නොකරන, රෝගී විවේචන අපි විනෝදයක් හැටියෙන් බාර ගනිමින් ඉන්නවා. ඒ විවේචනයම පැවැත්මක් වුණු පිරිසකුත් ඉන්නවා.

‘චින්තන ඔයා පුද්ගලිකයි. පුද්ගලයෙකුට බෑ සමාජ සංවිධානයක් විවේචනය කරන්න’
දවසක් දීප්ති මට අවවාද කරලා තිබුණ. ඒක ඇත්තක්. පට්ට ඇත්තක්. පුද්ගලික අරමුණකට බෑ සමාජ අරමුණක් විවේචනය කරන්න. ඒත් කාලයක් යද්දි සමහර සංවිධානවල අරමුණු පුද්ගල අරමුණු වලටත් වඩා පුද්ගලික වෙන්න පටන් ගන්නවා. ඒ සංවිධාන වල විවේචන බන්දු ටෙනී වර්ගයේ විනෝද වැදලි වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ලංකාවෙ සිනමා විචාර කියන්නෙ දැන් රෝග තත්වයක්. කට්ටියක් සිනමාව විචාරය කරන්නෙ ඒ සිනමාව මනෝ විශ්ලේෂණයට කොයි තරම් එක`ගද කියන එක උඩ. නැතුව සිනමාව ඇතුලෙ ජීවිත හෝ මාධ්‍ය භාවිතය ගැන නෙමෙයි. මේ ළ`ගදි චිත‍්‍රපට තිර පිටපත් තොගයක් මුද්‍රණය කරලා එලියට දාද්දි ඒකෙ ප‍්‍රධාන දේශනයේ මාතෘකාව වුණේ ‘හැ`ගවුම සහ හැ`ගවුම්කාරකය’. සිනමාව හෝ සිනමා කර්මාන්තය හෝ ඒ එලියට දාමින් හිටපු කෘති හෝ වෙනුවට සෝෂියර් ගේ තොරොම්බල් කරලා ඔක්කාරෙට එන තරමට එපා කරපු න්‍යායක් විතරයි ඒ විචාරකයාට සිනමාව ගැන කියන්න ඉතුරු වෙලා තිබුණෙ. තව කට්ටියක් ලියන්නෙ පතෝල විචාර. ඒ අය චිත‍්‍රපටි කතාව නැවත ලියනවා. ගුණ ගායනා කරනවා. උඩ දානවා. බොරු ලියනවා.
අපේ සාහිත්‍යය විචාරය වුණෙත් මේ විදිහට. අපේ හැම දෙයක්ම මේ විදිහට එකතැන පල්වෙන්නෙ මේ සංස්කෘතික අනන්‍යතාවය නිසා. විවේචනයේ විද්‍යාව සහ විවේචනය බාර ගැනීමේ පුහුණුව නොදන්නා බොළඳකම නිසා. මේක කලාව සම්බන්ධ අවුලකට වඩා අපේ ජාතික උරුමයක්.
විවේචනයක් කියන්නෙ ආදරය පදනම් වුණු ක‍්‍රියාවක්. අපි අනෙකාව විවේචනය කරන සීමාව වෙන්නෙ අපි අනිකාට ආදරය කරන සීමාවයි.

‘ඔබේ මිතුරාව විවේචනය කිරීම ඔබට වේදනාකාරීද, එහෙනම් එය කරන්නට ඔබ සුදුසුයි. ඒත් ඔබ යන්තම් හෝ ඉන් විනෝදයක් ලබනවා නම්, කට වහගෙන ඉන්න තරමට හොඳයි’
- ඇලිස් මිලර්.

සිනමාව ගැන මම සැරට ලියන්නේ සිනමාව ගැන සංවාදයකට මගේ ඇති උවමනාව නිසයි. හැම විචාරයක්ම තවත් අදහස් මාලාවකට දොරටුවක්. විවේචනය නිශ්ශබ්දව බාර ගැනීමට වඩා සක‍්‍රීයව අදහස් දැක්වීම පුළුල් කතිකාවක් ඇති කරනවා. පුද්ගලික ජීවිතය හෝ ඒ සම්බන්ධ වෙනයම් දෙයක් විචාරයට ගෙන ආ යුත්තේ විචාරයට පාදක කෘතියේ දුර්වලතාවයට හේතු කෘතියට බැහැර ඒ ඉසව් වල පවතිනවා නම් විතරය. ගැලරියේ විසිල් එකට ලියන විචාර වලින් වෙන්නේ ඒ විචාරය කරන අයගේ රෝග එලිය එක්ක බෙදා හදා ගැනීම මිස වැඩකට ඇති අදහස් බෙදා ගැනීමක් නෙමෙයි.

විවේචනය සැරට සිද්ද වෙන්න ඕන ඇයි?
අපි අපේ කෘතියක් එක්ක සහ වටේ ඉන්න පතෝලයන්ගේ ඇන්දිලිත් එක්ක හදාගෙන ඉන්න කටුව බිඳගෙන විචාරය ඇතුල් වෙන්න උවමනා නිසයි. අපිට දාරාගන්න බැරි අවුලක් සහ වේදනාවක් ඇතුලෙන් විතරයි අපිව ඇත්තට ප‍්‍රශ්න කරන තැනකට තල්ලූ කරන්න පුළුවන්. අපේ මමත්වයේ ආරක්‍ෂිත ප‍්‍රයෝගයන් විනිවිදින්න පුළුවන්. ඒත් ඒකට විචාරය බාර ගැනීමේ ශික්ෂණයත් අනිවාර්යක්. නැත්නම් ඒක වෛරයක් සහ විනෝදයක් තැනින් කෙලවර වේවි.

උදව් කිරීමට තරම් හදවතක් ඇත්තාට විවේචනය කිරීමේ අයිතිය ඇත.
-ඒබ‍්‍රහම් ලින්කන්

විවේචනයෙන් තොරව විෂයක් හෝ විෂයක යෙදෙන පුද්ගලයෙක් වැඩෙන්නේ නැහැ. විවේචනය නිර්දය වෙන තරමට එය සාධනීයද වෙනවා. සංවාදයන් විවෘත කරනවා. ඒත් විවේචනය වෙන තැන සහ විවේචනයේ අරමුණ පැහැදිලි වෙන්න ඕන. ලංකාවේ කෙරුණු ගොඩක් විවේචන වල අරමුණ සහ තැන වුණේ විවේචකයාගේ මතවාදයට නිර්මාණකරුවා එක`ග නොවීමයි. මාක්ස්වාදී විචාරයේ සිට මනෝ විශ්ලේෂණවාදී බහුබූත විචාරය දක්වාත් මේ සත්‍ය අදාලයි. කෘතිය පැත්තක තියෙද්දි තමන්ගෙ වත්තෙ දොරකඩ නටන වර්ගයේ විචාර තමන්ගේ ප‍්‍රසිද්ධිය හෝ ලාබය පිණිස හොඳ වුණත් විෂයක හෝ කෘතියක වර්ධනයට නම් වැඩක් වෙන්නෙ නැහැ. ඊටත් වඩා ඒ විචාර කියවන අය සහ ඒවායින් විනෝද වෙන අය නිසා රටේ විෂයන් විදිහට දේවල් දියුණු වෙන්න තියෙන ඉඩත් ඇහිරෙනවා. අපේ සිනමාව ඇතුළු කලාවන් විතරක් නෙවෙයි දේශපාලනය පවා මේ තරම් දියුණුවෙන් දියුණුවට පත්වෙන්නෙ අපිට ආවේණික විචාර සම්ප‍්‍රදාය නිසයි.

විනෝදය සඳහා විචාර කුණු තක්කාලි වලට විකිණෙද්දි වැඩක් වෙනුවෙන් කොච්චි වගේ විචාර ඕන කියල අපි කියන්නේ ඒ විචාර වලින් අලූත් සංස්කෘතියක් පටන් ගන්න පුළුවන් නිසයි.

‘මට යන්න දෙන්න.
අපිට පුළුවන් වෙන්න ඕන අපි ආදරය කරන දේවල් විවේචනය කරන්න.
අපිට කියන්න තියෙන දේ කියන්න.
ඔයා දෙයක් වඩාත් යහපත් කරන්න වැඩ කරන්නෙ නැත්තං,
මට කියන්න වෙන්නෙ ඔයා නිකමෙක් විතරයි’

-ඇනී ඩිෆ‍්‍රැන්කො

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment