Thursday, May 5, 2011

art සහ fart


අහන් ඉන්න..අහගෙන ඉන්න.
මගෙ හිත මොනවද මුමුණනවා..
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු මතින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා...
මේ සිංදුව අහගෙන ඉඳිද්දි මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙනවා. ඒක අන්ධ ගායිකාවක් කියන ආබාධිත ළමයින්ගෙ නාට්‍යයක සිංදුවක් කියල දැන ගත්තෙ පස්සෙ. එතෙකාට ඒ සිංදුවෙ තේරුම ඇකිලෙන්න ගත්තා. එහෙම දෙයක් නැතුව නිදහස් සිංදුවක් විදිහට ඒක දැනෙන ප‍්‍රමාණය වැඩියි.
සිංදුවට ආස හින්දම ඒ වචන එකින් එක ගැන හිතන්නත් පෙළඹුණා. එතකොට සිංදුව ගලාගෙන යන ලස්සන මිටියාවතෙන් ගැලවිලා සමහර වචන වලින් හරි බුද්ධිමය තැනකට තල්ලූ කරන වග දැණුනා. උදාහරණයක් විදිහට ‘නෙක නෙක පාටින්‘ කියන යෙදුම හිතා මතා පාවිච්චි කරපු සාහිත්‍යමය යෙදුමක්. ‘මුදු මල් පෙති‘ කියන තැන වුනත් ඒ වගේ ව්‍යාජ ගැලපීමක් දැනෙනවා. මම මෙතනදි කියන්නෙ ඒ වචන කැත හෝ ලස්සන කියන එක නෙමෙයි. ගලාගෙන යන හැ`ගීමෙන් පිට ගිහින් සබුද්ධිකව සාහිත්‍යයට ඇතුල් වෙන තැන් කියන එක. ඒවා බොරු. ඒවා ඇතුලෙ ඇත්ත හැ`ගීමක් දුවන්නෙ නෑ. අපි මාර සිංදු කියල කියන ගොඩක් ඒවා ඒ විදිහෙ වචන අහුරු. හැ`ගීම් නෙමෙයි. ක්ලීෂේ..
අමරදේව මාස්ටර්ගෙ සිංදු තොග පිටින් මේ බොරුව නියෝජනය කරනවා. හරිම අගනා කියන ‘වැලිතල අතරේ හෙමිහිට ගලනා
නේරංජන නදියේ ගයා හිස වැඩ හිඳ බුදුවුණ දා...
නටයි කොල වන්නම ලෙස මහබෝ...’
සිංදුව වුණත් අත්දැකීමක් විදිහට හරි ව්‍යාජයි. මේ කරන්නෙ වචන එක්ක පෙරලියක්. තාල එක්ක ගනුදෙනුවක්. මේ දේවල් මාර වැඩ වෙන්නෙ භාෂාව ඇතුලෙ. තමන් කොයි තරම් සාහිත්‍යයිකද වගේ දේවල් කියන්න මිස ජීවිතේ දැනෙන හැටි බෙදා ගන්න මේ පද රචනා වැඩක් නැහැ. ඒවා ජීවිතේ එක්ක බද්ධ නැහැ.
වචන සහ තාල එක්ක පෙරලි කර කර දී ඇති මාතෘකාවක් යටතේ ලස්සනට ලියනවා කියන්නෙ කොපි රයිටින් වැඩක් මිස ආර්ට් වැඩක් නෙමෙයි. අපේ ගොඩක් මාරයි කියන ගීත සාහිත්‍ය ඇතුලෙ තියෙන්නෙ කොපි රයිටර්ලගේ වැඩ. ඒවා නොස්තැල්ජියාවකින් පෙලෙන මනස්වලට පොඩි ත‍්‍රිල් එකක් දෙනවා මිස ජීවිතය වෙනත් තැනකට ගෙනියන්න උදව් වෙන්නෙ නෑ.
පසුගිය ‘රන්දිව’ කලාපයෙ සන්නස්ගල ලියන්න යන නවකතාවක ඇඞ් එකක් පල කරලා තිබුණ. සන්නස්ගල කියන්නෙ මං කියවන්න හු`ගක් ආස කතාකරුවෙක්. එයා ‘පිරිමි ගොඩයි, මං විතරයි’ කියල කතාවක් ලියන්න යනවා.
‘ නොකිළිටි මල් යහනක් වගේ සුලලිත කංකුම චන්දන ගැන, සියපත සුවඳ විහිදෙන මල් මුවරද ගැන, නේත‍්‍ර විල් තෙරේ සංසාර ආරණ්‍යය ගැන.....’ සන්නස්ගල ලියාගෙන යනවා. මේ කරමින් ඉන්නෙ මොකක්ද? වචන වලින් විතරක් පරිකල්පනයක් හදන්න හදනවා. ඒ මදිවට සංදේශ කාව්‍ය වගේ පරණ ප‍්‍රභූවරුන් වෙනුවෙන් පිටකහපු බුද්ධිමය සාහිත්‍යයක් එයා මෙතනදි අරන් එනවා. අපි මාරයි කියල කියන ගොඩක් සාහිත්‍ය නිර්මාණවල තියෙන්නෙ මේ විදිහට ක්ලීෂේ ගොඩවල් විතරයි.
මම කියන්නෙ ඒ වචන පාවිච්චි කරන එක නරකයි කියල නෙමෙයි. ඒ වචන පිටිපස්සෙ ඇත්ත අත්දැකීමක් නැති වුණාම ඒක බාල වෙනවා. ඒ සාහිත්‍යයෙන් නිර්මාණය කරන්නෙ පරාරෝපණය වෙච්ච දෙබිඩි මිනිස්සු. අත්දැකීම් රසවිඳින රසවතුන් නෙමෙයි.
‘නන්දිකඩාල් කලපුව පැත්තෙන් ආපු ශුක‍්‍රාණුවක් හීනෙන් ඇවිත් මගේ ගර්භාෂෙ තැන්පත් වුණා...’
(පිරිමි ගොඩයි. මං විතරයි*
එතනදි සාහිත්‍යය එක්ක ගැඹුරු අත්දැකීමක් ගැන ඉවක් අපිට දෙනවා. ඒක හිස් නැහැ. අමරදේව වර්ගයේ සාහිත්‍යයික ගීත වලින් පරිණාමය වුණු ඊළ`ග ක්ලැසික් තැන තමයි කසුන් කල්හාර. ‘මාර වචන...’ ‘මාර මියුසික්...’ අහන නාහන හැමෝම කියනවා. ඒත් කසුන් කියන්නෙ ඇත්තක් නෙමෙයි. එයාගෙ සිංදු ගොඩක මියුසික් කොපි. ඒ වගේම වචන බොරු රොමැන්තික ගැලපීම් විතරයි. ඒත් කසුන් සම්භාව්‍ය අතරෙම ජනප‍්‍රියයි. ඒ මොකද?
කසුන් කල්හාර ප‍්‍රවණතාව නියෝජනය කරන්නෙ අපේ සංගීතයෙ දෙබිඩි පරම්පරාව. ඒ ගොල්ලො වෙන රටවල පොප් එකත් එක්ක අපේ රටේ පැණි ටික එකතු කරනවා. ඒ පැණිවල භාෂාව අත්දැකීම් වලින් හිස් සාහිත්‍ය විතරයි. (මේ විවේචන පුද්ගලික මට්ටමෙන් බාර නොගන්න කියල ඉල්ලා සිටිනවා*
මේ සාහිත්‍ය නෑකම් කියන්නෙ පරණ ප‍්‍රභූ සාහිත්‍යයට. භාෂාව යොදා ගැනීමේ දේශපාලනය ගැන කවුරුවත් සීරියස් ඇහැකින් බැලූවෙ නෑ. සයිමන් නවගත්තේගම ලියද්දි පාවිච්චි කරන්නෙ ජාතක කතා වල භාෂාව. ජාතක කතා කියන්නෙ කාලෙකදි අපේ පන්සල් වල පොදුවෙ හ`ඩ නගා කියවපු කතන්දර. බුත්සරණ අමාවතුර වගේ බොරු ෂෝ සාහිත්‍යය නෙමෙයි. සයිමන් භාෂාව පාවිච්චි කරන්නෙ ඒ දේශපාලනය දැනගෙන. අජිත් තිලකසේන ලියද්දි පාවිච්චි කරන්නෙ හරිම නූතන සරල භාෂාවක්. නණලළ පවා නැතුව. එයා භාෂාව උපරිම ප‍්‍රයෝගික මට්ටමකට අරන් එනවා. අත්දැකීම කියන්න පාවිච්චි කරන උපකරණයක් මිස අත්දැකීම් නැති අයට බැබලෙන්න දෙයක් විදිහට භාෂාව පාවිච්චි වෙනවා නම් ඒක හරි බාලයි.
මලක් සිඹින්න දී යලි උදුරා ගන්න නම් එපා
ඔබ සෙනේ පුදා මා රවටා යන්න නම් එපා...
මේ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත කියන සිංදුවක්. මේ වගේ බස්වල ඇහෙන ගොඩක් සිංදු තියෙනවා අපේ උගත් බුද්ධිමත් ජනතාවට පෙන්නන්න බැරි. ඒ වගේ සිංදු අහන එක වුණත් හරි පීචං වගේ. ඒත් මේ සිංදු වල තනු ගත්තොත් ඒවා අපේ පන්සල් වල ඇහෙන බෝධි පූජා නැත්තං කවි බණ වගේ දේවල් එක්ක සම්බන්ධයි. ඒවායෙ වචන ලියවිලා තියෙන්නෙ සාහිත්‍ය පෙන්නන්න නෙමෙයි. පපුව කඩාගෙන බැහැපු ආදරයක වේදනාව වගේ දේවල් කියන්න. ඒ වචන අහුලගත්ත ඒවා වගේ. අත්දැකීම වචන වල ආකෘතිය කඩාගෙන එලියට එනවා. දැනෙන්න ගන්නවා. මං කියන්නෙ අත්දැකීමක් බොරු සාහිත්‍යයික වචන ඇතුලෙ හිර කරනවට වඩා වචන කොයි විදිහකින් හරි පාවිච්චි කරලා අත්දැකීම එළියට දාන එක අවංකයි. ප‍්‍රබලයි. ඒත් මේ වෙද්දි පන්සල් සහ ජනකවි තාලවලට හැදුනු මේ සිංදුත් දැන් හි`ගන කවි තාල සහ වචන දක්වාම පිරිහිලා.
අනේ මහත්තයො අරගෙන ආවට දානෙ
පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියා නම් ඔබ වාගේ
මොනවා නැතු වුණත් කමක් නෑ මතු ආයේ...
මේ රැුල්ල එකපාරටම මතු වුණ එකක් නෙමෙයි. ගුණදාස කපුගේ වගේ අය කියපු ‘ජනතාවාදී’ කියන සිංදු වලින් තමයි මේ පරිණාමය ආවෙ.
තුන් වේල හාමතේ ගෙවෙයි ජීවිතේ
එහෙව් අපෙන් මේ අරගෙන තොරන් බඳින්නේ..
කපුගේට පස්සෙ ඒ මග දිගේ යන දිවුල්ගනේ කියනවා. මේ අත්දැකීම් පට්ටපල් බොරු. දුක හිතෙන කවි තාලෙකට ගැට ගහලා අ`ඩ අ`ඩා වගේ කිව්වම වැඩකරනවා. ජනතාවගේ දුක ගැන කියවෙන සිංදු විදිහට ලකුණුත් ලැබෙනවා. අපි art එකක් fart එකක් වෙන තැන වෙනකල්ම රසවිඳිමින් ඉන්නවා.
රන්වන් පාටයි සමනලයා
රෝස මලේ පැණි බීලා ගියා
අයිත් ඒවිද ඒ සමනලයා
මල්වල පැණි බොන්ටා...
මේ කවිය තාමත් ළමයින්ට විතරක් නෙමෙයි අපිටත් දැනෙනවා. ඒ අත්දැකීම බොරු සාහිත්‍යයක් ඇතුලෙ මරලා දාලා නැහැ. දැණුන දේ කියනවා. වචන වලට වඩා ජීවිතයක් එතන ලියවෙනවා.
‘සුළ`ගක් වී මං එනවා...නිල් අහසේ ඇවිදින්නට...අප්පච්චී කොහොමද...මං අල්ලන්නේ....’
මේ දැන් අපි ලියන එව්වා. ලස්සනයි...ඒත් හරිම ව්‍යාජයි.
එතන ළමයෙකුත් නෑ.
අප්පච්චියෙකුත් නෑ.


තුෂාර පෙරේරා

No comments:

Post a Comment