Saturday, October 29, 2011

අපිචත්පොන්ග් ගේ පාවෙන සිනමාව සහ අපේ බඩගාන විචාර



පහුගිය සිකුරාදාවක එස්එල්ටීටීඊ යේ අපිචත්පොන්ග් වීරසේතුකල් ගෙ ‘අතීත භවයන් සිහි කළ හැකි අන්කල් බූන්මේ’ පෙන්නුවා. චිත‍්‍රපටිය ගැන කෙටි සංවාදයකට මට කතා කරලා තිබුණ.

චිත‍්‍රපටයෙ තේමාව මරණය. වකුගඩු රෝගයකින් පෙළෙන අන්කල් බූන්මේ තමන්ගෙ ගොවිපොලක ගෙවන අන්තිම දවස් ගැන කතාවක්. අන්කල් බූන්මේට මියගිය බිරිඳගේ අවතාරය මුණගැහෙනවා කෑම මේසෙදි.

‘දිව්‍යලෝකෙ ඒ තරම් ඇති දෙයක් නෑ. ඒක අධිතක්සේරු වෙලයි තියෙන්නෙ’
බිරිඳ බූන්මේ ට කියනවා. ඒ කෑම මේසෙටම බූන්මේ ගෙ අතරුදන් වුණු පුතාත් එනවා. එයා වඳුරෙක් වෙලා. ෆොටෝ ගහන්න කැලේට ගියාම වඳුරු අවතාර එක්ක එයාගෙ ඇතිවෙන බැඳීම නිසා එයා වඳුරෙක් වෙනවා.
‘තාත්තලා මාව හොයනවා මං දැක්කා. අහසෙ පාට වෙනස්වෙනවා මට පෙණුනා. ඒත් මට ආපහු එන්න හිතුණෙ නෑ’  පුතා කැලේ අතුරුදන් වීම ගැන කියනවා.

අපිචත්පොන්ග් මේ චිත‍්‍රපටිය කරන්නෙ හාමුදුරු කෙනෙක් ලියපු පොතක් පාදක කරගෙන. තායිලන්තෙ නබුආ කියන ගමේ 1960 ගණන් වල සිද්ද වුණු ම්ලේච්ඡු තරුණ ඝාතන නිසා හු`ගක් තරුණයො කැලෑ වැදුණ. ඒ අයට කිව්වෙ ‘වඳුරු අවතාර’ කියල. ගමට ආපු හමුදාකාරයො ඇහුවෙ එක ප‍්‍රශ්නයයි.
‘උඹ කොමිනිස්ට්කාරයෙක්ද?’
ඔව් කිව්වොත් එතනම මරණය. නෑ කිව්වොත් බිම දාගෙන තඩි බෑම.

‘මට මේ ලෙඬේ හැදෙන්න හේතුව මං දන්නවා’ අංකල් බූන්මී එක වෙලාවක කියනවා.
‘මං හු`ගක් කොමිනිස්ට්කාරයො මැරුවා’
‘ඒත් ඒක ඔයා කළේ ජාතිය වෙනුවෙන්’ බූන්මීව බලාගන්න ජෙන් කියනවා.
‘ඔයාට තිබ්බ අරමුණ හොඳයි’ එයා තවත් බූන්මි ව අස්වසනවා.
‘ඒත් මං වගාවෙදි හු`ගක් කෘමීන් මැරුවා’
බූන්මි ආයිමත් කල්පනා කරනවා.
‘ඔයා ඒක කළෙත් හොඳ අරමුණකින්’ ජෙන් උත්තර දෙනවා.

මේ භීෂණයෙ ජීවත් වුණා යැයි පුනරුත්පත්තියක් කියන ඇත්ත බූන්මි කෙනෙක් හාමුදුරු කෙනෙකුට තමන් භාවනාවෙදි දකින පෙර භවයන් ගැන කියනවා. ඒ විස්තර හාමුදුරුවො පොතක් විදිහට ලියනවා. අපිචත්පොන්ග් චිත‍්‍රපටියට පාදක කර ගන්නෙ ඒ පොත.

‘හැම කෙනෙක්ම අමතක කරන්න හදන යුගයක් ගැන මතක් කරන බූන්මි ගැන කතාවට මං ආස වුණා’ අපිචත්පොන්ග් පොත ගැන කියනවා. ඒත් ඒ පොතේ කතාව මේ චිත‍්‍රපටියට එනකොට ඒක එහෙම්පිටින්ම අපිචත්පොන්ග්ගෙ ජීවිත ප‍්‍රකාශනයක් වෙලා.

මේ චිත‍්‍රපටිය මරණය ගැන කතාවක්. මේකෙ ඇතුලෙ මරණයන් කීපයක් තියෙනවා. එකක් බූන්මී ගෙ මරණය. ඒ වගේම මේ චිත‍්‍රපටිය මං නෙගටිව් වලින් කරන අන්තිම චිත‍්‍රපටිය වේවි. දැන් හැමෝම ඩිජිටල් වලට ගිහින්. ඉතිං ඒ සිනමාවෙ මරණය මට දැණුනා. මේ චිත‍්‍රපටියෙ රංග ශෛලිය 60 ගණන් වල ටෙලි නාට්‍ය වල ශෛලිය. නළු නිළියො ර`ගපාන්නෙ හැ`ගීමක් නැතුව. ඔහේ දෙබස් කියනවා. ඒ ශෛලිය දැන් මැරිලා. මේ චිත‍්‍රපටියට මම ශෛලීන් කීපයක් පාවිච්චි කරනවා. එකක් පැරණි ‘කොස්ටියුම් ඩ‍්‍රාමා’ කියන ශෛලිය. ඒකත් දැන් මිය ගිහින්’

චිත‍්‍රපටියෙදි අපිචත්පොන්ග් වඳුරු අවතාරය නිරූපණය කරන්නේද පැරණි ටෙලි නාට්‍ය වල හැටියටයි. ඒ කාලෙ තායිලන්තෙ ත‍්‍රාසජනක චිත‍්‍රපටි වල හිටපු කරුවලේම ඉන්න, ඇස්වල එල්ඊඞී පත්තුවෙන වඳුරු අවතාරය වගේම පැරණි සින්ඩ්‍රෝම සහ ශතවර්ෂ චිත‍්‍රපටිය තුල මිය ගිය දර්ශනත් අපිචත්පොන්ග් එකතු කර ගන්නවා. ඒ වගේම අන්කල් බූන්මී තනිකරම පැරණි මිත්‍යා සහ ජනකතා එක්ක පෙළගැහෙනවා (තවත් මරණයක්*.

‘අපිචත්පොන්ග් ගෙ මට අනුව හොඳම කෘතිය මේක’ දේශනේදි මං කිව්වා.
‘මේක මරණය තේමා කරගත්ත ෆිල්ම් එකක්. මරණය ගැන කතා කරන්න ලේසියි. විශේෂයෙන් ආසියාවෙ කෙනෙකුට. ඒත් සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස් වල කතා කරන්නෙ ජීවිතේ ගැන. සාමාන්‍ය නිකම්ම ජීවිතේ හරිම සියුම් තැන් ගැන. මට තාමත් අපිචත්පොන්ග් ගෙ හොඳම ෆිල්ම් එක සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස්’ සත්‍යා මට කෝල් කරලා කිව්වා.

කොහොම වුණත් මේ චිත‍්‍රපටිය සම්මාන උළෙලවල් වල විශේෂ ප‍්‍රසාදයට ලක්වෙන එක පුදුමයක් නෙමෙයි. සම්මාන වට්ටෝරුවට ගැලපෙන දේවල් චිත‍්‍රපටිය පිරෙන්න තියෙනවා. අනිත් හැම චිත‍්‍රපටියකටම වඩා මේකට හොඳ නිමාවක් දීලා තියෙනවා. කතාව හොඳට රවුම් කරලා තියෙනවා. ඒ ගොල්ලො ආස, දාර්ශනික මනසට ගැලපෙන මරණය ගැන කතා වෙනවා. ඒ එක්කම කවදත් අපිචත්පොන්්ග් ගෙ චිත‍්‍රපටිවල ගලාහැලෙන සමලිංගික හුස්ම තියෙනවා.

‘මට මේ චිත‍්‍රපටිය එක්ක තියලා කතා කරන්න පුළුවන් චිත‍්‍රපටියක් ලංකාවෙ තියෙනවා. ඒ විමුක්ති ජයසුන්දරගෙ අහසින් වැටෙයි. ඒත් විමුක්තිට බැරි වෙනවා මේ කාව්‍යයට ළංවෙන්න. එයා දර්ශනවාදයක් ඇතුලෙ හිරවෙනවා. මේ විදිහට ස්ථර ගණනාවක් ඒ චිත‍්‍රපටියෙ නෑ. ඒත් නිමිත්ත හු`ගක් සමීපයි. භාවිතය සමීපයි. ඒත් විමුක්තිට විතරක් නෙමෙයි අපි කාටවත් බෑ මේ සියුම් සැහැල්ලූවට ළංවෙන්න වත්’

වීරසේතුකල් ගෙ කැමරාව, වේගය, නැවතිල්ල, බලන දේවල්, අල්ලන දේවල් හැම එකක්ම විෂම ලිංගික තැනින් වෙනස්. ඒක යතාර්ථය හෝ දේශපාලනිකය වෙනුවට ජීවිතය නැත්තං කාව්‍යය කියන තැනට යනවා. එක විට ඒ ගෑණු ගතියත් ඊට යටින් දැවැන්ත දේශපාලනික පිරිමි ගැඹුරත් පවත්වා ගන්නවා. ඒ එයා සමලිංගික නිසා.

එතන හිටපු කෙනෙක් ඇහුවා, එහෙම සමලිංගික වගේ තැන් පෙන්වන්න පුළුවන්ද කියල.

ඒ කැමරාව යන තැන් බලන්න. එයා බලන්නෙ පිරිමියෙක් බලන දේවල් නෙමෙයි. එයාට රූපෙ ඇතුලෙ වැදගත් වෙන්නෙ පිරිමියෙකුට වැදගත් දේවල් නෙමෙයි. ඒත් ඒක සම්පූර්ණ පිරිමි තාර්කිකත්වයෙන් ගැලවිච්ච එකකුත් නෙමෙයි. ඬේවිඞ් ලින්ච් වගේ අපිචත්පොන්ග් සිහිනයක් දිගේ අපිය අරන් යනවා. ලින්ච් අරන් යන්නෙ මනස ඇතුළට. අපිචත්පොන්ග් යන්නෙ රටේ දේශපාලනය ඇතුලට.

‘මං අහිංසක රසිකාවියක්. මට නං මේ චිත‍්‍රපටිය තනිකරම දේශපාලනිකයි. හරිම සියුම් විදිහට පාලන අධිකාරි වලින් රිංගලා යන්න තරම් ශූර විදිහට අධ්‍යක්‍ෂවරයා රූපක පාවිච්චි කරලා තියෙනවා’

එතන හිටපු කථිකාචාර්යවරියක් චිත‍්‍රපටියෙ එක එක රූපයෙන් රූපයට චිත‍්‍රපටිය දේශපාලනය බවට පත් කරන්න ගත්තා.

‘මේකෙ පදනමේ දේශපාලන කතාවක් තියෙනවා. ඒත් මේක ඒ දේශපාලනය කියන්න හදපු චිත‍්‍රපටියක් නෙමෙයි. මේකෙ ඊට වඩා හු`ගක් දේවල් තියෙනවා. දේශපාලනය කියන්නෙ හරිම ගොඬේ තැනක්.’

මං චිත‍්‍රපටිය බේරගන්න දැ`ගලූවා. ඒත් ලංකාවෙ ශාස්ත‍්‍රාලීය පිලිගැනීම වෙලා තියෙන්නෙ තේරුම් ගැනීම කියන්නෙ ඌනනය කියන එක. ලින්ච්ගෙ චිත‍්‍රපටියක් දැක්ක ගමන් දීප්ති ඒක මනෝ විශ්ලේෂණයට කපලා හදලා ගන්නවා. ලින්ච්ගෙ වෙන වෙන විකාර මට වැඩක් නෑ කියලත් එයා කියනවා. අපිට ලොකු මුහුදක පීනන්න බෑ. පොඩි ටැංකියක් ඕන. ඉතිං අපි හැමදෙයක්ම තේරුම් ගන්න යනවා. දන්න දැනුම් පද්ධතියකට ඔක්කොම ඌනනය කරනවා. අන්තිමට ලෝකෙ ඔක්කොම නිර්මාණ කරලා තියෙන්නෙ අපි පොත් කීපයක් කියවලා දැන ගත්ත දැනුම් පද්ධතිය මාර්කට් කරන්න.

අපිචත්පොන්ග් ගෙ සමලිංගිකත්වය එයාගෙ නිර්මාණයට බලපාලා තියෙනවා කියලා කථිකාචාර්යවරියට පිලිගන්නම බැරි වුණා.

‘මං ගෑණියෙක්. ඒත් මටත් මේකෙ පේන්නෙ දේශපාලනය. ඔය කියන ඒවා අහිංසක මට පේන්නෙ නෑ’

කතාව ගොඩක් දුර දිග ගියා. පස්සෙ එයා කිව්වා අවුරුදු විස්සකට පස්සෙ මං මේ කියන දේ කියන්නෙ නෑ කියල.

ලංකාවෙ වාචරයක් හෝ අලූත් වින්දන මානයකට යන්න බැරි හේතුව ඕකයි. හැමතිස්සෙම බුද්ධිමත් කියල හිතන්නෙ අරමුණ වෙනුවට අරමුණ දිහාවට යොමු වෙච්ච ඇ`ගිල්ල ප‍්‍රශ්න කරන එක. අපිචත්පොන්ග් වෙනුවට අපිචත්පොන්්ග් ගැන කතා කරන මගේ ඥාණ විභාගයෙන් එතන බෙදා ගන්න දෙයක් තිබුණෙ නෑ.

‘මේ චිත‍්‍රපටිය ඔයා කෑලි වලට ගලවනවා. මට මේක එහෙම කෑලි කරලා බලන්න ඕන නෑ. මේක තනි කෘතියක් විදිහට සමස්ත විඳීම ගන්නයි මට ඕනි’

එයා බෞද්ධ තර්කයක් ඉදිරිපත් කළා.
සිනමාව කියන්නෙ මට විෂයක්. මං හිතන්නෙ මෙතන ඇවිත් ඉන්න ගොඩක් අයටත් එහෙමයි. මේ චිත‍්‍රපටිය කියන්නෙ අපේ හැදෑරීමක්.’
විෂය සහ ආතල් එක අතර වෙනස පැහැදිලි කරන්න මට සිද්ද වුණා.

‘‘අපිචත්පොන්ග් බෞද්ධ චිත‍්‍රපටකරුවෙක් කිව්වට මට හිතෙන විදිහට එයා කියන්නෙ බෞද්ධ තැනකට වඩා වෙනස් තැනක්’’ සත්‍යා පහුවෙනිදා ටෙලිෆෝන් එකෙන් මට කිව්වා. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටිවල තියෙන බෞද්ධකම අනිත්‍යතාව වගේ තැනකට කේන්ද්‍රීය එකක් නෙමෙයි. එයා අනිත්‍යතාව, මරණය වගේ දේවල් රොමැන්තික තැනකිනුයි ගන්නෙ. ඒත් එයාගෙ සිනමා භාවිතාවෙ තියෙන නොඇලීම, බලා සිටීම, විනිශ්චය නොකිරීම වගේ කාරණා නිසා මට අපිචත්පොන්ග් කියන්නෙ බෞද්ධ චිත‍්‍රපටකරුවෙක්. ඒ එයා කියන කතා තේමාවන් හින්ද නෙමෙයි. එයා සිනමාව කියන එක පාවිච්ච කරන හැටි ගැන මට හිතෙන හැටියි.

‘‘බුදු දහම ගැන මගේ තියෙන කැමැත්ත නිසාමත් මගේ ඇතුලෙ ගැටුම් ඇති වුණා. චිත‍්‍රපටියක් කරද්දි පාලනය කියන එක අත්‍යාවශ්‍යයි. අවසාන අරමුණ වෙනුවෙන් හු`ගක් තදින් දේවල් පාලනය කරන්න වෙනවා. ඒත් ඒක බුදු දහමේ පවතින තැනක් නෙමෙයි. ඒ වගේම මගේ සිනමාව කියන්නෙ මගේ අතීතය. මගේ මතක. ඉතින් මෙතැන මේ මොහොතෙ ඉඳගෙන අතීතය ගැන නිර්මාණ කිරීම මානසිකව ගැටුමක්’’

අපිචත්පොන්ග් එයාගෙ බෞද්ධ හුරුව ගැන කියනවා.
එස්එල්ටීටීඊ යේ සාකච්ඡුාව මට හු`ගක් අසීරු එකක් වුණේ පෙන්නන්න තෝර ගෙන තිබුණු චිත‍්‍රපටිය නිසාමයි. එක පැත්තකින් ඒ චිත‍්‍රපටිය සිනමාවෙ ගැඹුරු මානයන් ස්පර්ශ කරන අතරෙම තව පැත්තකින් සම්මාන උළෙලවල නොගැඹුරු දර්ශකයන් එක්ක සමපාත වෙනවා.
අන්තර් ජාතික සිනමා උළෙලවල සම්මාන දිනා ගැනීමම මට අනුව මේ චිත‍්‍රපටිය හෑල්ලූවට ලක්වීමක්. ඒත් එතන චිත‍්‍රපටිය බලන්න ඇවිත් හිටපු පිරිස ඒ සම්මාන නිසාම චිත‍්‍රපටියක් ඉහලින් බාර ගන්න පිරිසක්.
‘‘මේ චිත‍්‍රපටිය බලලා ගෙදර යන අය අපිචත්පොන්ග් ගෙ එකතැන බලා ඉන්න කැමරාව විතරක් කොපි කරලා කටේ තියන්න බැරි චිත‍්‍රපටි තොග පිටින් හදයි’’ මං කිව්වෙ ඇත්ත කතාවක්.

තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටි බලන අපේ කට්ටිය කරන්නෙ මතුපිට පේන්න තියෙන තර්කොව්සිකිගෙ රූපමය භාවිත ටික විතරක් අරගෙන හරිම ළපටි කතා සැකිල්ලකට දාගන්න එක. චිත‍්‍රපටියක් ගැඹුරින් කපා කොටා බැලීම කියන එක අපේ රටේ සිනමා අධ්‍යනයට ආගන්තුකයි. ඒ වෙනුවට සම්මාන ගත්ත චිත‍්‍රපටියක් අරගෙන ඒකෙ හැම අංගයක්ම වර්ණනාවට ලක්වෙන එකයි අපේ විචාර වල විදිහ. සාකච්ඡුාවට ඇවිත් හිටපු කතිකාචාර්යවරිය මට විරුද්ධ වුණේ මං චිත‍්‍රපටිය දිය කරමින් ඇතුලෙ දුවන ධාරාවන් විශ්ලේෂණය කරන්න ගත්ත නිසා.

චිත‍්‍රපටියක විචාරයේදී ඒක විශ්ලේෂණය කරමින් එක එක න්‍යාය අනුව අර්ථකතන දෙන එක හරි කියල මං කියන්නෙ නෑ. චිත‍්‍රපටිය සමස්තයක් ලෙස සංස්ලේෂී අර්ථයකින් විඳින අතරම චිත‍්‍රපටිය ඇතුලට ගිහින් න්‍යාය කණ්ණාඩි නැතුව ඒ ගොඩනැගීම අධ්‍යනය කිරීමේ පුහුණුවක් සිනමාව කරන කෙනෙකුට අවශ්‍යයි. ඒත් ප‍්‍රශ්නය වෙන්නෙ අපිට ඒ විදිහට චිත‍්‍රපටියක් ඇතුලට යන්න දැනුමක් හෝ නිසි පුහුණුවක් හෝ නැතිකම.  මේ හින්ද අපිට චිත‍්‍රපටියක් කියල පේන්නේ අපේම මනෝ විකාර. ඒක විෂයික කරුණු සහ ඊට අදාල පසුබිම් එක්ක ගවේෂණය කිරීමේ උවමනාවක් වෙනුවට අපි අපිට පේන දේ කොපි කරන්න උත්සාහ කරනවා. ඒත් අලූත් මානයන්ගෙන් දිගහැරෙන චිත‍්‍රපටියක් අපේ පරණ ඇස් වලට පේන්නෙ කොහොමද? ඒ අලූත් මානයන් හෝ භාවිතයන් ගැන දැනීමක් හෝ කියවීමක් නැති වුණොත් අපිට පේන්නෙ තියෙන දේට වඩා වෙනස් දේවල්. උදාහරණයක් හැටියට අන්කල් බූන්මී එකේ රංග වින්‍යාසය ගැන වැටහීමක් නැතිව චිත‍්‍රපටිය බැලූවොත් අපි ඒ රංගන ශෛලිය ගැන ගන්නෙ වැරදි අදහසක්. ඒ කොහොම වුණත් චිත‍්‍රපටයක් ගැන සංස්ලේෂී වගේම විශ්ලේෂි අදහසකුත් අවශ්‍යයි කියන කතාව අර කථිකාචාර්යවරියට තේරුම් කරන්න මට බැරි වුණා.


‘‘සම්මාන උළෙලවල් වලින් සම්මාන දිනන එක හරි ලේසි දෙයක්. ඒ අය ඉල්ලන දේවල් ගැන ටිකක් අධ්‍යනය කළොත් හරි ලේසියෙන් සම්මාන ගන්න චිත‍්‍රපටියක් හදන්න පුළුවන්. මායි සංජීව පුෂ්පකුමාරයි ‘ඉගිල්ලෙන මාළුවෝ’ පිටපත ලියද්දිම සමහර දර්ශන ලිව්වෙ සම්මාන උළෙලවල් ගැන දැනගෙන. ඒක වැඩ කළා. සම්මාන දිනන එකෙන් චිත‍්‍රපටියක් හොඳයි කියල කියන්න බෑ’’ මං කිව්වා.


පිටරටවල සම්මාන උළෙලවල ඉන්නෙ මේ රට ගැන මෙලෝ මලදානයක් දන්න අය නෙවෙයි. ඒ අය දන්නෙ අපේ රටේ යුද්දෙයි බුද්ධාගමයි වගේ සරල මතුපිටක් ගැන විතරයි. නාගරික ජීවිතේ සංකීර්ණ තත්වයන් ගැන චිත‍්‍රපටියක් හැදුවොත් ඒකෙ සියුම් ලක්ෂණයන් තේරුම් ගන්න තරමට මේ විනිශ්චයන් තියුණු නැහැ. ඒ අය තාමත් අපේ සිනමාව දිහා බලන්නෙත් මානව විද්‍යාත්මක ඇහැකින්. අපේ රටේ සමාජ විද්‍යාත්මක තත්වයන් තේරුම් ගන්න ඒ අයට බැහැ. ඒක නිසා ගම සහ යුද්ධය මිස ලංකාව ගැන වෙන චිත‍්‍රයක් මේ සිනමා විචාරකයො දන්නෙ නෑ. (මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර වෙනස මෙතනදී කියන්න යන්නෙ නෑ)

සම්මාන උළෙල වලදී අපේ වගේ රට වලට සම්මාන ලැබෙන්නෙ මේ පැතලි හේතුවලට. ඒ දේවල් අපේ සිනමාවෙ අනන්‍යතාව ප‍්‍රකට කරනවා කියලයි ඒ අයගෙ මතය. සරල උදාහරණයක් විදිහට කිව්වොත් එක දිගට කැපන්නෙ නැතුව තියෙන තනි රූප රාමු වලට මිස වේගයෙන් කැපෙන රූපාවලියක් ඒ අයගෙ සම්මාන වලට සුදුසු වෙන්නෙ නෑ. මේ විදිහට චිත‍්‍රපටියක රූප ගැලපීම ගැන පවා නිශ්චිත අධිකාරී කලාවකට එක`ග චිත‍්‍රපටි විතරයි සම්මාන ගන්නෙ. අන්කල් බූන්මී චිත‍්‍රපටියට සම්මාන ලැබීමේදීත් බලපාන්නේ ඒ චිත‍්‍රපටියෙ ඇති ගැඹුරු ප‍්‍රවේශයන් නෙමෙයි. ජනකතා, මිත්‍යා, බුදු දහම සහ සමලිංගිකත්වය වගේ චිත‍්‍රපටියට බාහිරින් තීරණය කළ කාරණායි.


අන්කල් බූන්මී චිත‍්‍රපටියට සාපේ්ක්ෂව සම්මාන උළෙලවල් වෙනුවෙන් කළ විමුක්තිගේ ‘අහසින් වැටෙයි’ චිත‍්‍රපටය මම සාකච්ඡාවට ගත්තේ විමුක්තිට වගේම අපි ගොඩක් දෙනෙකුට අපි කරන චිත‍්‍රපටි ඇතුලෙ අපිව මගහැරෙන නිසා. විමුක්තිට අහසින් වැටෙයි චිත‍්‍රපටියට ගේන්න එයාගෙ ජීවිතෙන් කොටසක් නැති වෙනවා. අපිචත්පොන්ග් වගේ අපි කලින් නොදැකපු, නොසිතපු ජීවිතේ සියුම් තැන් විමුක්ති ළ`ග නෑ. ඒත් අහසින් වැටෙයි කතා තේමාව හු`ගක් ප‍්‍රබලයි. තවමත් ග`ග යට ගස් බෙණයෙන් එලියට ආපු නැති පණ්ඩුකාභය ගැන කතාව පශ්චාත් නූතන සිනමාත්මකයන් ඇතුලෙ කියන්න විමුක්ති ද`ගදානවා.

ඒකෙන් වෙන්නෙ චිත‍්‍රපටිය බලද්දි අපිට ඒ මහන්සිය පේන එක. සම්පූර්ණයෙන්ම භෞතික විෂය තත්ව ගැලපීම මිස ආත්මීය සංවේදනා නැති වීම නිසා චිත‍්‍රපටිය බෝරිං වෙනවා. සිංහල පුළුවන් වුණු හැමෝටම කවි ලියන්න බැරි වෙනවා වගේ අහසින් වැටෙයි දැවැන්ත කෘතිය ඇතුලෙ මොකුත් නැති හිස්කමක් පැටලිල්ලක් දැනෙන්න ගන්නවා. අන්තර්ජාතික සිනමා උළෙලවලට ඕන කරන සමීකරණය එතන තියෙනවා. ඒත් ජීවිතය නෑ.
සාකච්ඡුාවට විමුක්ති ඇවිත් ඉඳලා හදිස්සියේ යන්න යනවා.


‘මචං එතන ඔය කරන කතාව වැඩක් වෙන්නෙ නෑ. එතන ඉන්නෙ මෙලෝ දෙයක් සිනමාව ගැන දන්න අය නෙමෙයි. උන් ඉස්සරහ උඹ කරන කතාවෙන් වෙන්නෙ අපිචත්පොන්ග් හෑල්ලූ වෙන එක විතරයි. ඉගෙන ගන්න ඒ වගේ කට්ටියකට උඹ කියන්න ඕන මූලික කාරණා ටිකක් විතරයි. ඔය වගේ සාකච්ඡුා වෙන තැනක කෙරෙන්න ඕන’
පස්සෙ විමුක්ති කතා කරද්දි මට වැදගත් කාරණයක් මතක් කරනවා. ඒක ඇත්තක්. එතන හිටපු ගොඩක් අයට මගේ කතාව තේරුණා කියලා මං හිතන්නෙ නෑ. ඒත් අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටියක් බලලා ඒ වගේ කොපියක් කරන්න ගෙදර යන එක්කෙනෙක් හරි මගේ කතාව හින්ද ටිකක් නැවතිලා ආපහු හිතන්න ඇති. චිත‍්‍රපටියක් ගැන ගැඹුරු කතාබහකට අවශ්‍ය වෙනස් වටපිටාවක් අපිට ඕන. ඒත් ඒ වගේ වටපිටාවක සාකච්ඡුා කරන්න එන විදිහෙ සිනමා සංස්කෘතියක් අපිට තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. තමතමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති ඇරෙන්න සිනමාව කියන එක සංස්කෘතියක් විදිහට බෙදාහදා ගැනීමක් අපේ චිත‍්‍රපටි කරන අය අතරෙ නැහැ. ඒක නිසා කවදාවත් නොකියනවට වඩා ඒ කතාව එදා එතන කියපු එක හොඳයි කියල මං හිතනවා.


ඒත් සිනමාව හදාරන අයට අපිචත්පොන්ග් වගේ ගැඹුරු සිනමාවක් ප‍්‍රදර්ශනය කරනවට වඩා වෙනස්, තමන්ව හොයා ගන්න උදව් වෙන, අධිතක්සේරු නොවුණු චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කළා නම් හොඳයි කියල මටත් හිතෙනවා. වෙන රටවල විකල්ප ප‍්‍රවණතා විදිහට එන, සම්මාන උළෙලවල් ආදියෙන් හඳුනා නොගත් සිනමා ආකෘතීන් හඳුන්වා දෙන එක අලූත් චිත‍්‍රපටකරුවෙකුට අපිචත්පොන්ග්ට හෝ බර්ග්මාන්ට වඩා අතිශයින් ප‍්‍රයෝජනවත් වේවි. ඒ වගේම එකම විදිහකට හැදෙන චිත‍්‍රපට ධාරාව වෙනස් කර ගනිමින් විවිධ ෂොනර හරහා නිර්මාණ කරන්න පෙළඹවීමක් විදිහටත් ඒ කතිකාවන් වැදගත් වේවි.


අපිචත්පොන්ග් ගැන සාකච්ඡුාව ඉවර වෙද්දි ගෑණු කෙනෙක් දුවගෙන ඇවිත් මාත් එක්ක කතා කළා.
ඇයි අර අන්තිමට හමුදුරුවොයි ගෑණු කෙනයි ටීවී බලන අතරෙ ඒ දෙන්නම වෙන රෙස්ටුරන්ට් එකකට යනවා පෙන්නන්නෙ?
අපිචත්පොන්ග් එයාගෙ කලින් චිත‍්‍රපටි එක්ක සම්බන්ධයක් ගොඩනගන අතරෙම (සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස්) නාගරීකරණයත් එක්ක හයිබි‍්‍රඞ් වෙන ජීවිත ගැන කියන්න හදන රූප රාමුව පැහැදිලි කරන්න බැරුව මං ගොළු වුණා. චිත‍්‍රපටියක රූපයකින් කියන්න හදන කතාව වචන වලින් කියන්න වෙන එක හරිම අප්පිරියාවක්.

‘මටත් ඒක තේරුණේ නෑ’ මං සරල විදිහට මගඇරලා ගියා. චිත‍්‍රපටිය බලලා ගෙදර යන අපේ පේ‍්‍රක්‍ෂකයෙකුට අහන්න ඉතුරු වෙන ප‍්‍රශ්නෙ ඒ වගේ වෙද්දි ලන්ඩනයේ චිත‍්‍රපටිය බලලා එලියට ආපු පත්තරේට ලියන කෙනෙක් අපිචත්පොන්ග් ගෙන් අහපු ප‍්‍රශ්නයක් ළ`ග මං නැවතුණා.

ඇයි මේ කැලෑව හැම චිත‍්‍රපටියකටම ගේන්නෙ?
අපිචත්පොන්ග්- කැලෑව කියන්නෙ අපේ ගෙදර නිසා. අපි කොයිතරම් අමතක කරන්න හැදුවත් ඒක එහෙමයි. දැන් මං කැලේකට ගියාම ඒ සද්ද වලට බය වෙනවා. මට තේරුම් ගන්න බෑ කැලෑව. ඒත් ඒක තමයි අපේ නිවහන. අපේ මුතුන්මිත්තන්ගෙ නිවහන. මං හොඳටම විශ්වාස කරනවා ඉස්සර මිනිස්සුන්ට සත්තු එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඇති. කුරුල්ලො කියන දේවල් ඒ අයට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඇති. අපිට ඒ දේවල් නැති වෙලා. ඒත් මං ආසයි මගේ චිත‍්‍රපටි වල චරිත ආපහු ගෙදර අරන් යන්න.


කැලේ නොපෙන්නන තැන් වලත් ඇයි මේ විදිහට කැලේ සද්ද ඇහෙන්නෙ?
අපිචත්පොන්ග් - ජීවිතය දැනෙන්න. ජීවිතේ විශාලත්වය දැනෙන්න. කෘමීන් කෑ ගහන සද්දෙකින් වුණත් හැමතිස්සෙම අපිට පෙන්නන සිද්ධියට වඩා විශාල ජීවිතයක පැවැත්මක් දැනෙනවා. මගේ චිත‍්‍රපටි ඞීවීඞී වලින් බලන්න එපා කියල මං කියන්නෙ ඒ හින්ද. මේ විශාල ජීවිතය මට එතනදි දනවන්න බැරි වෙනවා.


ගොඩක් දේවල් එකතු කරගෙන මං ආපහු ගෙදර ආවා. පැහැදිලි නැති විසිරුණු අදහස් පටලැවිල්ලක් එක්ක සාකච්ඡාවෙ හිටපු අය ගෙදර ගියා නම් මගේ වැඩේ ගොඩ. ඒ ඍජු නිශ්චිත මගේ (චින්තනගේ) අදහසකට වඩා පැහැදිලි නැති විසිරුණු ඒ අදහස් පැල්ලම් ඔලූ ඇතුලෙ පසුකාලීන සිතීම් අවකාශ නිර්මාණය කරන නිසයි.

-චින්තන ධර්මදාස

Saturday, August 20, 2011

පියසීලි: ලස්සන ගැහැණියක්


(පියසීලි විජේගුණසිංහ අනුස්මරණය කරමින් මුද්‍රණය වන පොතකට ලිපියක් ලියැන්නැයි මගෙන් ඉල්ලූ නිසා මේ ලිපිය ලියැවුණි. ඒත් ලිපිය ඊමේල් කළ පසු ඒ ගැන වෙනත් කිසි ආරංචියක් ලැබුණෙ නැත. කාලෙකට පසු ආපහු මේ ලිපිය දකිද්දී මට එය පළ කරන්න ඕන කියා සිතුණි.*

පියසීලි විජේගුණසිංහ ගැන ලිපියක් ලියන්නැයි ‘මනෝ‘ මට කෝල් එකක් දෙද්දී මට එකපාරට මතක් වුණේ ‘මම පියසීලි ගැන දන්නෙ මොනවද?‘ කියල. පියසීලි ගේ ලිපි කියවන එක මට ආස හිතෙන දෙයක් නෙවෙයි. ගොඩක්ම මාක්ස්වාදී නැත්තං සමාජවාදී කියන කතා වලට කොටු වුණු න්‍යායික කතන්දර මට දැනෙන්නෙ කැම්පස් වල වැඩක් නැති ආචාර්ය මහාචාර්යවරුන්ට කල් ගත කරන්න තියෙන දේවල් කියල. මගේ ජීවිතය ඒවායින් වෙනස් වෙන්නෙ නෑ කියල මට තේරුණු හින්ද මම ඒ වගේ ලිපි හෝ පොත් කියවන්නෙ නෑ. ඒත් පියසීලි ගැන ලියන්න කියපු ගමන් මට එකපාරටම කොහෙන් හරි දැක්ක එයාගෙ මූණ මතක් වුණා. ඒ ඇස්, ඒ හිනාව, සුදු කොණ්ඩෙ හරිම ලස්සන ගෑණියෙක් කියන හැ`ගීම මට දීලා තිබුණ. පියසීලි ගැන මට පිටස්තර විදිහට දැනෙන දේවල් ලියන්න මම ලිපිය බාර ගත්තා.

”පියසීලි මගේ ස්මරණ සමාප්තිය බලලා ඇහුවා මේකෙ කවුද හරි කවුද වැරදි කියල. ඒක චිත‍්‍රපටියෙ නැති එක මගේ චිත‍්‍රපටියෙ දුර්වලකමක් විදිහට එයාට දැණුනෙ. ඒ විදිහට මගේ වැඬේ ගැන බලපු අයයි, ඒකට එහෙම්පිටින්ම විරුද්ධ පැත්තෙන් කතා කරපු අයයි දෙගොල්ලොම හිටපු එක හු`ගක් හොඳයි. අපිට ඒකෙන් තේරුණා ඒ අපේ ජීවිත තියෙන්නෙ ඒ අයගේ කෝදුවෙන් එළියෙ කියල”
සත්‍යජිත් මාඉටිපෙ දවසක් කතාවක් මැද්දෙ මට කිව්වා.

”මචං දවසක් ප‍්‍රසිද්ද දේශනේකදි පියසීලි සයිමන්ට බැන්නා. අධම ස්ටැලින්වාදියා කියල. එතකොට සයිමන් කිව්වා, ”පියසීලි ඔය වගේ ලස්සන තොල් ඔයාට දීලා තියෙන්නෙ මං වගේ ලස්සන පිරිමින්ට ඔහොම නපුරු කතා කියන්න නෙමෙයි, සිප ගන්න” කියල. අජිත් කුමාරිසිරි ටෙලිෆෝන් එකෙන් කියපු කතාව හරියටම භෞතිකවාදයයි රොමැන්තික නැත්තං විඥාණවාදයයි වෙන් කරල පෙන්නුවා වගේ. භෞතිකවාදය තේරුම් ගන්න ට‍්‍රයි කරනවා. විඥාණවාදියො විඳිනවා.

පියසීලි එක්ක සමකාලීනව භොතිකවාදය ගැන කතා කරපු සුචරිත ගම්ලත්ව මට මතක් වෙනවා. මාක්ස්වාදී සමාජවාදී සාහිත්‍යය වෙනුවෙන් පත්තර පිටු ගණන්, දේශන පැය ගණන් කරපු සුචරිත අන්තිමට කෙළවර වුණේ සන්නස්ගලට ශබ්දකෝෂයක් කරන තැනින්. කම්කරු පාංතික නැගිටීමක් ගැන එයාගෙ හීන ඔක්කොම ඉරිදා පත්තරේක කොලමකින් කෙළවර වුණා. ‘සති සංචිත්තා‘ ඒ දැන් සුචරිත ලියන කොලම. මිනිස්සුන්ට වෙනස් වෙන්න එපා කියලා මං කියන්නෙ නෑ. ඒත් සුචරිත එක්ක පියසීලිගේ ජීවිතය අරන් බැලූවම අපිට පියසීලි ළ`ග මොකක්ද ගුණයක් දැනෙනවා. ඇත්තක් වගේ දෙයක්. කේ කේ සමන් කුමාර මට මුණ ගැහෙන්නෙ පියසීලි හිටපු විකොසෙ සමාජිකයෙක් විදිහට. අන්තිමට සමන් ඒකෙ ප‍්‍රතිවිරුද්ධ දිශාවට යන්නෙ ආවටත් වඩා වේගෙන්. මේ හැම දෙයක්ම වෙනස් වෙද්දි පියසීලි හැමදාම එයා කියපු දේ වෙනුවෙන් හිටියා. තමන් දරන අදහසක් ඇතුලෙ අවංකව ජීවත් වෙලා ඒ අදහස එක්කම මැරෙන්න පුළුවන් වෙන එක ලොකු පූර්ණත්වයක් දනවනවා. ඒක දියුණුයි කියල කියනවා නෙමෙයි. ඒත් හැමදෙයක්ම කුනාටුවකට අහුවෙලා වගේ ගහගෙන යද්දි තමන්ගෙ අරමුණේ නොසැලී ඉන්නවා කියන එක ශ්‍රේෂ්ටයි. ඒක හැමෝටම බෑ. අනික ගැහැණියක් විදිහට පියසීලි එතනදි පිරිමියෙකුටත් වඩා ශේ්‍්‍රෂ්ටයි.

මේ විදිහට මට පියසීලි ගැන එන්නෙ ඒ ජීවිතය සහ ඊට සාපේක්‍ෂ අනිත් ජීවිත එක්ක දෙබසක්. පියසීලි සරච්චන්ද්‍ර සමග. නැත්තං පියසීලි ගුණදාස අමරසේකර එක්ක. ප‍්‍රසන්න විතානගේ ගැන පියසීලි... මේ විදිහට වෙනස් චරිත එක්ක පියසීලි කරපු අදහස් ගණුදෙනුව ගැනයි මගේ කතාව.

මං නූතන සිංහල සාහිත්‍ය විචාරය පෙරලන්න ගත්තා. ‘ආදරණීය විජේට‘ ඒ පොත පටන් ගන්න තැන ලියලා තිබ්බ. ‘කොයි තරම් ලස්සන ගෑණියෙක්ද?‘ මට ආයිමත් හිතුණ.

පියසීලි මධ්‍යම පංතියේ ගැහැණියක්. එයාගෙ ජීවිතේ හැම තැනකම ඒ මධ්‍යම පාංතික ගතිය තිබුණ. එයා රස්සාව කළේ කොළඹ කැම්පස් එකේ ආචාර්යවරියක් විදිහට. පියසීලිගෙ දේශපානය තිබුණෙ හතරවන ජාත්‍යන්තරයෙ. ලංකාවෙ නිර්ධන පාංතික සටනක් වෙනුවෙන් එයා ජීවිතෙන් කැප වෙලා හිටිය. ඒත් එයා ලස්සනට ඇන්ද. නාලා පිරිසිදුව හිටිය. (හු`ගක් ලංකාවෙ මාක්ස්වාදියො නාන්නෙ නෑ*. මේ දේවල් මේ විදිහට දැකීම මාක්ස්වාදී විප්ලවවාදීන්ට ගැටළු සහගත වෙන්න පුළුවන්. ඒත් මට මේ හැමදෙයක්ම හරි ‘ක්ලැසික්‘ ජීවිතයක් ගැන හැ`ගීමක් දෙනවා. පියසීලි කතා කළේ ලංකාවෙ ධනේශ්වරයට විරුද්ධව. එයාගෙ භාවිතය, විශේෂයෙන් ලියන භාෂාව පවා තිබුණෙ වැඩවසම් ආකෘතියක. ඇඳුම්, ඉරියවු පවා නියෝජනය කළේ වැඩවසම් හුරුවක්. සුනිලා අබේසේකර වගේ සමලිංගිකත්වය වගේ දේවල් එක්ක පියසීලි පැටළුණේ නෑ. එයා විරුද්ධව සටන් කළේ ධනේශ්වරයට වුණත් ලංකාවෙ තිබුණෙ ලූම්පන් පංතියක් විතරයි. ග‍්‍රාමීය ලූම්පන් පංතියක් සහ නාගරික ලූම්පන් පංතියක් අතර දේකට වැඩි දේශපාලනයක් ලංකාවෙ තිබුණෙ නෑ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වුණු එකෙන් ඔප්පු කරල පෙන්නපු සහ පෙන්නමින් ඉන්න ඇත්ත ඒක. පියසීලි දේශපාලනික චරිතයක් කියල මට දැනෙන්නෙ නෑ. ඒත් පියසීලි විජේගුණසිංහ කියන්නෙ හෘදය සාක්ෂියක් හිමි වැදගත් සිංහල මධ්‍යම පාංතික ගැහැණියක්. එහෙම අය ලංකාවෙ හිටියෙ කීපදෙනයි.

නූතන සාහිත්‍ය විචාරයෙ එදිරිවීර සරච්චන්ද්‍ර ගැන පරිච්ෙඡ්දයෙදි පියසීලි කියනවා ‘කලාව යනු යතාර්ථය ජය ගැනීමට කරන නිෂ්පාදනයක්‘ කියලා. මෙතනදි කාරණා කීපයක් පැහැදිලි වෙනවා.
1. පියසීලිට යතාර්ථය කියන එකට පිටින් හිතන්න බැරි එක.
2. ජය ගැනීම කියන කාරණය එක්ක එයා යම් දෙයක් දිහා බලන විදිහෙ පටු කම. (ජීවිතේ ජය ගන්න තියෙන එකක්ද?*
3. නිෂ්පාදනය මූලික විදිහට බලනවා මිස ලෝකයේ දේවල් දකින්න වෙනස් කියවීමක් නැතිකම. ගහක්, ගලක් දැක්කත් මේ භෞතිකවාදයේ හැටියට කියන්න වෙන්නෙ නිෂ්පාදනය කියන කතාව විතරයි.

මේ හැමදෙයක් එක්කම එයාගෙ ප‍්‍රශ්න කිරීම් වල තියෙනවා හරිම සරල තර්කනයක්. ඒකද, එහෙම නැත්තං මේකද? හරිද නැත්තං වැරදිද? මේ ප‍්‍රතිවිරෝධයන්ගෙන් තොරව දෙයක් කියවීමේ හැකියාවක් පියසීලි පෙන්නන්නෙ නෑ. ධන හෝ ඍණ නොවෙන අනන්තයක දේවල් අත්විඳිනවා වෙනුවට එයා සරල ප‍්‍රශ්න කිරීමකින් හැමදෙයක්ම ඌනනය කරන්න යනවා. මෙතනදි මම විඥාණවාදී එළඹුමක් අගය කරනවා නෙමෙයි. භෞතිකවාදී හෝ විඥාණවාදී අන්ත දෙකෙන් මං ජීවත් වුණු ලෝකය කියවන්න පුළුවන් වුණේ නෑ. මට හතරවන ජාත්‍යන්තරය වගේ දේවල් හරිම අදේශපාලනික ඒත් හරි රොමාන්තික සිහින දකින පිරිස් විදිහට පේන්නෙ ඒ නිසා.

දවසක් ජොයින්ට් එකක් (කංසා* උරමින් ඉන්නකොට මගේ යාලූවෙක් හරි සරල කතාවක් කිව්වා.
‘මචං මාක්ස් ඔය සූරාකෑම කියන එක එළිකරපු එකෙන් හරි කුහක හැ`ගීමක් ආවා වැඩ කරන මිනිස්සුන්ට. නිෂ්පාදනය කියන්නෙ සූරාකෑම විතරක් වගේ දැනෙන්න ගත්තම හැම එකෙක්ම හැම දේකටම ඕක කියන්න ගත්තා. දැන් හැමෝම කියන්නෙ ‘මම විකිණෙනවා‘ කියල. හරි ගොන් අදහසක් ඒක‘

පියසීලි කලාව දිහා බලන්නෙත් මේ විදිහට.

”තමන් එතෙක් යතාර්ථය හා පවත්වාගෙන ආ සම්බන්ධයට වඩා තමන්ට (සාපේක්‍ෂ වශයෙන්* වාසිදායක වන, සහනදායක වන නව සම්බන්ධයක් කලා නිර්මාණය ඉවහල් කරගෙන ඔවුන් විසින් ප‍්‍රතිෂ්ඨාපනය කරනු ලබයි”

මේ යතාර්ථය කියන්නෙ මොකක්ද? ඒකත් එක්ක තියාගන්න පුළුවන් වාසිදායක සම්බන්දෙ මොකක්ද? ජීවිතයේ හැ`ගීමක් මාධ්‍යයකට ඇතුල් වන මොහොත මේ වචන වලින් විග‍්‍රහ කරන්න පුළුවන් වෙයිද? කලාව ගැන මේ කියන අර්ථය වැඩක් වෙන්නෙ මොකකටද?

තවත් තැනකදී කලාව හා බැඳුණු මිත්‍යා සංකල්ප ඇය විවේචනය කරයි. මිත්‍යාව විවේචනය කිරීමෙන් (ජීවිතයෙන් ගොඩනගන මිත්‍යා සංකල්පයන්* හෝ ඒ ගැන සබුද්ධික වීමෙන් කරන නිර්මාණය හෝ වෙන මොකක් හෝ අනිවාර්යෙන්ම ගමන් කරන්නේ ගණිත සූත‍්‍රයක් වගේ තැනකටය. මිත්‍යාව, සිහින තුලින් තමන්ගේ ජීවිතය සහ ඒ සමග ගැටෙන තමන්ට සාපේක්‍ෂ සැබෑව අතර දෙයක් විදිහට මිස නිර්මාණයක් සබුද්ධික වීම මට නම් මරණයක්.

කලාකරුවෙක්ට අත්දැකීම් ආශ‍්‍රිතව එල්ල වන අභියෝගයක් ගැන ඇය කියන්නේ මේ විදිහටයි.
‘එකී විෂය කලාත්මකව ප‍්‍රතිනිෂ්පාදනයෙන් ඥාණනය කිරීමෙන්, ඒ මත තම සාපේක්‍ෂ ස්වාමීත්වය තහවුරු කිරීමේ අභියෝගය...”

මට ‘ටිබෙටයේ අවුරුදු හතක්‘ චිත‍්‍රපටිය මතක් වෙනවා. එහි ප‍්‍රධාන චරිතය වන බටහිරින් එන කඳු නගින්නෙක් හිමාලය තරණය කරද්දි කුඩා ලාමා හිමි නමක් මුණ ගැහෙනවා. එතනදි ලාමා හිමි නම අහනවා ‘කඳු මුදුන තරණය කිරීමෙන් නැත්තං ජය ගැනීමෙන් ලබන තෘප්තිය‘ මොකක්ද කියලා. හිමාල කඳු වැටිය පෙනෙන මායිමේ හිටියත් ඒ හිමිනමට කඳු මුදුන ජය ගන්න ඕනකමක් ඇති වෙන්නෙ නෑ. පියසීලි කලාව ගැන කියන ජයගැනීමත් නියෝජනය කරන්නෙ අර බටහිර ද්විකෝටික සිතීම මයි. ඥාණනය කරන්න, ස්වාමීත්වය තහවුරු කරන්න වගේ අදහස් හරි ප‍්‍රාථමිකයි. දේවල් සිද්ද වෙනවා අත්දැකීම් සම`ග දිය වෙන්න, නැත්තං තමන්ගෙ ආත්මීය සීමාවන් දිය කරන්න.. උදාහරණයක් විදිහට ආදරය වගේ දෙයක් ගැන පියසීලි ලිව්වොත් ‘අනෙකා මත තමන්ගේ ස්වාමීත්වය තහවුරු කිරීමේ අභියෝගයක්‘ විදිහට කියාවි. ඒත් ඒක එහෙම වුණොත් ඒ ආදරය නෙමෙයි.

‘කලාවෙහි පමණක් නොව, සමස්ත මානව සංස්කෘතියෙහිම උල්පත වන්නේ, මිනිසා, මානව සමාජය ඇතුලූ මුලූ මහත් ස්වභාව ධර්මය එනම් යතාර්ථය ජය ගැනීමට කරන අරගලයයි”
- නූතන කලා විචාරය

පියසීලීට සියල්ලෙහි පෙනේනනේ සටනක්. ජය ගැනීමක්. වෙනස් කිරීමක්. ඒ හැරුණු විට, නැවතීමක්, විඳීමක්, දියවීමක් ඒ තර්කනයේ කොතනවත් නැහැ. මෙතනදි ගැටළුව වෙන්නෙ මේ අදහස නෙමෙයි. මේ අදහස ඉදිරිපත් කිරීමෙන් වෙන්න පුළුවන් ප‍්‍රතිඵලය මොකක්ද කියන එකයි. අර මගේ ගංජා ගහන යාලූවා සූරා කෑම ගැන කිව්වා වගේ මේ අදහසින් නිර්මාණයක් කරන්න කවුරු හරි පටන් ගත්තොත්, නැත්නම් නිර්මාණයක් විඳින්න කවුරු හරි පටන් ගත්තොත් එතනදි එයාට බැරි වෙනවා නිර්මාණකරණයේ ඒ අත්දැකීම බවට පත්වෙන්න. එයා ආයිමත් මාක්ස් වෙනවා. මාක්ස් ලියනවා. මාක්ස් කියවනවා. කෝදුවක් අරගෙන නිර්මාණයක දිග පළල හොයන්න යන කෙනෙකුට කලාව වෙනුවට මුණ ගැහෙන්නෙ ගණිතය.

”කලාකරුවාගේ නිර්මාණාත්මක භාවිතය මගින් ශික්ෂණය කෙරුණු එකී හැ`ගීම් හා මනෝභාව විවිධාකාරයෙන් කලාකෘතියෙන් ධ්වනිත වෙයි”
- පියසීලි විජේගුණසිංහ

මට වැඩියෙන්ම ගැටළු මතු කරන්නෙ පියසීලි අදහස් ගේන භාෂාවයි. නිර්මාණාත්මක භාවිතාවෙන් ශික්ෂණය කරපු හැ`ගීම් කියන්නෙ මොනවද? පියසීලි කලාව ඇතුලෙ ශික්ෂණයක් ගැන කතා කරන්නෙ වාරණයක් ගැන හැ`ගීමක් ඇතුවද? නිර්මාණයක් කරද්දි ඒකෙ ශික්ෂනය තියෙන්න ඕන කියන අදහස හරි අධිපතිවාදීයි. ඒක ළමයි කීකරු වෙන්න ඕන වගේ අදහසක්. නිර්මාණයක් කියන්නෙ හැ`ගීම් නිදහස් වෙන තැන. එතනදි ශික්ෂණය වීම නොවීමට වඩා වැදගත් වෙන්නෙ ජීවිතය. අප‍්‍රිකානු- ඇමරිකානු රැුප් සිංදු වල කුණුහරප නරකයි කියන එක මැද පංතියේ රිදීම පෙන්නන තැනක් විතරයි.

‘අපි යතාර්ථයේ වෛෂයික වූ පැවැත්මක් පමණක් නොව එම යතාර්ථය ඥාණනය කරමින් විද්‍යාත්මක (යතාර්ථවාදී* සංකල්ප වර්ධනය කිරීමට, යතාර්ථය පිළිබඳ වූ පරම සත්‍යය කර ළ`ගාවීමට මනුෂ්‍ය චින්තනයට ඇති ශක්‍යතාවත් පිලිගනිමු”
-නූතන සාහිත්‍ය විචාරය.

මේ තර්කනය තුල යතාර්ථය එකකි. එය ඥාණනය කරන්නා යතාර්ථය නොවන තවකකි. මට පේන හැටියට මෙතන යතාර්ථය විසින් යතාර්ථය ඥාණනය කරමින් ඉන්නවා විතරය. ඊටත් වඩා යතාර්ථය ගැන වූ පරම සත්‍යයක් පිලිබඳ කතාවක්ද මෙතන ඇත. මාක්ස්වාදී භෞතිකවාදය අනුව ‘පරම‘ වූ යමක් තියෙන්න පුළුවන්ද? ඒක පූර්ණ කොමියුනිස්ට් සමාජය වගේ තවත් රොමාන්තික අවසානයකි. මාක්ස්වාදීන්ගේ මම වඩාත් ආස මේ පාට පාට හීන වලටය. ජීවිතය තැනක සිට තවත් තැනකට ගමන් කරනවා වගේ, නැත්නම් එය දියුණු ක‍්‍රමයක්/ කෙළවරක් දක්වා වැඩෙනවා වගේ හරි සුන්දර සිහින විශ්වාස කරන හිත් ඒ අයට ඇත.
”ඇමරිකා එක්සත් ජනපදයෙහි වෙසෙන ඇතැම් සෞන්දර්යවාදී ගුරුකුලවල චිත‍්‍ර ශිල්පීහු තමන් වෛෂයික පෙළඹීමකින් තොරව, ක්ෂණිකව, ඉබාගාතේ වර්ණ හා රේඛා අරමුණක් නැතිව සංයෝජනය කිරීමෙන් චිත‍්‍ර නිර්මාණය කරන බව ප‍්‍රකාශ කරත්. එම චිත‍්‍ර කිසියම් සෞන්දර්යක් උද්වහනය කිරීමෙහි සමත් වෙනවා විය හැකියි. එහෙත් එම චිත‍්‍ර පේ‍්‍රක්‍ෂකයා ආධ්‍යාත්මික වශයෙන් සශ‍්‍රීක කිරීම මගින් යතාර්ථය ජය ගැනීමේ ඔහුගේ භාවිත වඩා ඉහල මට්ටමකට සේන්දු නොකරන්නේ නම්, අපට ඒවා සැලකිය හැකි වනුයේ අංගවිකල වූ ‘කලා කෘති‘ හැටියටය” - පිටුව 58

මේ කියන්නේ ඇබ්ස්ට‍්‍රෑක්ට් සහ ජැක්සන් පොලොක් වගේ අය කරන නිදහස් ප‍්‍රකාශනවාදී චිත‍්‍ර ගැනයි. ඒ වගේ නිර්මාණ වල දේශපාලනික අදහස අවශෝෂනය කර ගන්නවත් මේ නූතනවාදී- යතාර්ථවාදී සීමාවේ හිරවුණු මාක්ස්වාදී විචාරකයන්ට බැරි වෙනවා. ඒ ගොල්ලොන්ගෙ හිතීම හරි වැඩවසම්. ඒ සිතීමේ සීමාවන්ගෙන් එහාට යන කෘතීන් තේරුම් ගන්න තරමට දේශපාලනය පළල් කර ගන්නවා වෙනුවට ඒ ගොල්ලො ඒවා කලාව නෙමෙයි කියල දොර වහ ගන්නවා. ආණ්ඩුව තමන්ට විරුද්ධ හැම දෙයක්ම ත‍්‍රස්තවාදයක් කියනවට වඩා මේකෙ වෙනසක් නෑ.

පියසීලි හු`ගක් හොඳ කියන චිත‍්‍රපටිකරුවෙක් ප‍්‍රසන්න විතානගේ. ප‍්‍රසන්නගේ ඉර මැදියම ගැන අගය කරමින් පියසීලි කියනවා ‘ප‍්‍රසන්නගේ කලින් චිත‍්‍රපටි වගේම මේ චිත‍්‍රපටියෙත් සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙ ජීවිතයේ සතුට වෙනුවෙන් කරන අරගලය‘ මේ චිත‍්‍රපටියෙ පේනවා කියල. ඒ එක්කම ආගම මිනිස්සුන්ගෙ ජීවිතවල ඇත්ත ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්න සමත් නැති එක විදහා දැක්වීම ගැන පියසීලි හු`ගක් හොඳ කියනවා. ඒත් පියසීලිට පේන්නෙ නෑ මේ කියන කාරණාම තමයි ඒ චිත‍්‍රපටියෙ දුර්වලකම ප‍්‍රකට කරන්නෙ කියල. යුද්ධය කියන පොදු පසුතලයක් උඩ නිහ්චිත අරමුණක් වෙනුවෙන් ශික්ෂණය කළ (ප්‍රෝග‍්‍රෑම් කරපු* ජීවිත කීපයක් පැහැදිලි සරල පටු දේශපාලනික අදහස් කීපයක් වෙනුවෙන් පාවිච්චි කරනවා ඇරෙන්න ඒ චිත‍්‍රපටයෙන් ප‍්‍රසන්නට ජීවිතය මග ඇරෙනවා. පියසීලිට හොඳයි කියලා පේන්නෙ මේ විදිහට ජීවිතය දේශපාලනය බවට ඌනනව වෙන තැන්. යුද්ධයේ සැබෑ හේතුන් පෙන්නපු නැති එක චිත‍්‍රපටියෙ දුර්වලතාවයක් කියලත් පියසීලි කියනවා. කලාව ගැන පියසීලී ගේන අදහස් හැම තිස්සෙම මේ පරණ රාමුව ඇතුලෙ කොටු වෙනවා.

සිසිල ගිනි ගනී චිත‍්‍රපටිය නැරඹීමෙන් ඇතිවුණු හු`ගක් සතුටින් පියසීලි ප‍්‍රසන්න ගැන මෙහෙම ලියනවා.

”ප‍්‍රසන්න සමාජ යතාර්ථවාදී සම්ප‍්‍රදාය හොඳින්ම දන්න කෙනෙක්. එයාගෙ සුවිශේෂ සලකුණු තමයි, සරල ආඛ්‍යානය, ගැඹුරු සමාජ සංවේදිතාව, සහ සිනමා කෘතියක් නිර්මාණය කරද්දි ඒ විෂයේ දක්වන බුහුටි බව. එයා සාහිත්‍යයේ යතාර්ථවාදයෙන් පන්නරය ලබලා තියෙන බව පැහැදිලියි. එක විදිහකින් හෝ වෙන විදිහකින් පුද්ගලයින් සමාජ සම්බන්ධතා සහ ආයතන වලට විරුද්ධව කරන අරගලය එහි පදනමයි.”

ප‍්‍රසන්න විතානගේ කරපු චිත‍්‍රපටි ගැන මේ කතාව ඇත්තක්. ප‍්‍රසන්න ජීවිත දිහා බලන්නෙ සමාජය පැත්තෙ ඉඳන්. ඒ එක්කම යතාර්ථයෙන් පිට යන්න ප‍්‍රසන්නට අත්තටු නෑ. එයා එතන හිර වෙලා. සමාජය පැත්තෙ ඉඳන් ජීවිත දිහා බලද්දි අපිට පේන්නෙ දේශපාලනයක් විතරයි. ඒක අපි ඒ දේ දකින විදිහට සාපේක්‍ෂයි. ඒත් එතන ජීවිතේ ඒක නෙමෙයි. ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටි හු`ගක් මධ්‍යම පාංතික අයට මාර වෙන්නෙත් අපි වගේ අයට බාල වෙන්නෙත් මේ ඇත්ත හින්ද. ජීවිතයක් කියන්නෙ සමාජ දේශපාලනික ආර්ථික ඇත්තක් විතරක් නෙමෙයි. අනික ඒ ඇත්ත ඒ ජීවිත ඇතුලෙ පේන්නෙ කොයි විදිහටද කියන්න අපිට ඒ ජීවිත ඇතුලට නොගිහින් බැහැ. පොඩි කාලෙ මමත් රුසියානු කෙටි කතා ලිව්වා මේ විදිහට ලංකාවෙ ඉඳන්.

”නව පාලක පංතිය ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන්නට අපොහොසත් වෙද්දි සමාජයේ විවිධ කොටස් වල කලාකරුවන් සමාජ පීඩනයන්, අසමානතාවයන් සහ පරාරෝපණයන් තේරුම් ගන්නටත් ඒවායේ මූලාශ‍්‍ර හෙලි කිරීමටත් උත්සාහ ගන්නවා”
-සිසිල ගිනි ගනී චිත‍්‍රපටය ගැන පියසීලි විජේගුණසිංහ

මේක කරන්න පුළුවන් නම් හොඳ දෙයක්. ඒත් පාලක පංතිය කියලා දුෂ්ටයෙක් කල් ඇතුවම නිර්ණය කරලා ඊට පස්සෙ කෘතිය ඇතුලෙ අර කියන දේවල් හොයන්න යනවා නම් ඒක විද්‍යාත්මත පරීක්‍ෂනයක් මිස කෘතියක් ඇතුලෙ කරන අවංක සොයා යාමක් නෙමෙයි. පියසීලි දේවල් දකින්නෙ හරිම හොලිවුඞ් විදිහකට. මුලින්ම එතන දුෂ්ටයෙක් ඉන්නවා. දුෂ්ටයාගෙන් ගැලවෙන්න කරන අරගලයක් තියෙනවා. ඒ අරගලය ජය ගැනීම තමයි පරම ඇත්ත. හැම හොලිවුඞ් චිත‍්‍රපටියකම තියෙන්නෙ ඔය ටික. රම්බෝ චිත‍්‍රපටිය ගත්තත් ඔය සරල කතාව තියෙනවා. ඒත් ජීවිතේ මේ විදිහට දුෂ්ටයා-වීරයා, දිනුම- පැරදුම, හොඳ- නරක වගේ දේවල් තියෙනවද? මට හොලිවුඞ් චිත‍්‍රපටියක් වගේ ජීවිතයක් නැහැ.

මේ කියන කාරණා වල අරමුණ භෞතිකවාදය බොරු කියන එකවත්, විඥාණවාදය හොඳයි කියන එකවත් නෙමෙයි. ඒ දෙකම දැන් අදාල නැති සත්‍යයන් කියන එක. අඩුම තරමේ මගේ ජීවිතයට සාපේක්‍ෂව වත්. විඥාණවාදීන් කලාව ගැන කියන ප‍්‍රතිභාව හෝ ආවේශය වගේ කතන්දරත් හරිම ප‍්‍රාථමිකයි. ගැටළුව තියෙන්නෙ මේ අදහස් දරන ජීවිත මේ සරල ද්විකෝටික බෙදීමෙන් එහාට ගෙනියන තල්ලූවක් සමාජයෙන් ඇති නොවුණු එක. මේ ද්විකෝටිකයෙන් කරන පැහැදිලි කිරීම් සත්‍යයන් හැටියට සමාජය බාර ගැනීම. ඒක සමහර විට ජීවිතය සරල විදිහට කියවා ගන්න තියෙන සාමකාමී ආසාවක් වෙන්න පුළුවන්. ඒත් මනුස්ස ජීවිතයකදි ප‍්‍රපාතයක් වගේ තමන්ගේ දැනුම් සීමාවෙන් නොදැනුමට තල්ලූ කරන අත්දැකීම් මුණ ගැහෙන්න ඕන. එතනදි ‘කටු කඩලා‘ යන්න ඕන. කලාවෙදි අපිව අලූත් කලාපයකට ගෙනි යන්නෙ ඒ විදිහෙ හුස්ම ගන්න ජීවිත මිස වීරයා සහ දුෂ්ටයා ගැන කොමික් කතා නෙමෙයි.

පල් වෙවී කුණු වෙන ගොඩක් ඇකඩමික් ජීවිත මැද්දෙ පියසීලිට ලස්සන ජීවිතයක් තිබුණ. ඒක අවංකයි. ඒක හීනයක් ඇතුලෙ ගතවුණු ජීවිතයක්. දුෂ්ටයන් පරාජය කරන වීරයන්, ජය ග‍්‍රහණයන්, පොදු ජනතා අරගලයන් ගෙන් පිරිච්ච එපික් ස්ටෝරි එකක් වගේ. ඒ සිහිනය වෙනුවෙන් සටනක් පියසීලිට තිබුණ. කොයිතරම් දේශපාලනික සැබෑවන් ඉස්සරහ පරදින්න සිද්ද වුණත් පියසීලි පරාජය බාර ගත්තෙ නෑ. ඒ එක්කම ඒ ඇත්තට එරෙහිව පිස්සු වැටුණෙත් නෑ. තමන්ගේ සිහිනය ඇත්තක් කිරීමේ සටනක් මැද ඒ තරම් ලස්සනට හිනාවෙවී මැරෙන්න පුළුවන් වුණු එක ඇත්ත ජයග‍්‍රහණයක්.

ඒ වගේ ජීවිතයක් ගැන කතා කරන්න ඇත්තටම මං කවුද?

සිනමා නවරැුල්ලේ සිහින සැබෑ කරන්නා


සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලේ කීනෝෆෝරම් අංශයේ හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය දිනා ගත්තා. ඒ චිත‍්‍රපටය සංජීවගේ පළමු චිත‍්‍රපටය වන අතරම එය නිර්මාණය කළේ ැං1 ඩිජිටල් කැමරාවකින්. අඩු පිරිවැයකින් වඩා හොඳ චිත‍්‍රපට ගොඩක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන අපේ චිත‍්‍රපට කර්මාන්තයට එක්වුණු ඒෂියා ඩිජිටල් හි සභාපති මනෝ නානායක්කාර මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමේ වගකීම බාර ගත්තා. ඒ වගේම ඉදිරියට නිර්මාණය වීමට නියමිත තවත් තරුණ චිත‍්‍රපටකරුවන් බොහොමයකගේ නිර්මාණ වෙනුවෙන් මනෝ වේදිකාවක් නිර්මාණය කරමින් සිටිනවා. මෙතෙක් අපේ රටේ සිනමාවෙ නොඇසුණු හ`ඩක් ඇසෙන්නට, නව ප‍්‍රවණතාවයන් එලිදකින්නට මනෝ ගේ මේ ව්‍යායාමය ප‍්‍රබල අත්වැලක් වෙනවා. මේ මනෝ නානායක්කාර සමග කළ කෙටි සංවාදයක්.

1. මනෝ ඇයි සංජීවගෙ ෆිල්ම් එක (ඉගිල්ලෙන මාළුවෝ* නිෂ්පාදනය කළේ?

මම පිටපත කියවලා බැලූවා. මම කැමති වුණා ඒ චිත‍්‍රපටිය කරන්න. ඇත්තටම මට ඕන වුණා ප‍්‍රධාන චරිතයක් විදිහට ප‍්‍රශ්ණ වලට ශක්තිමත්ව මුහුණ දෙන කාන්තා චරිතයක්. දේවල් දරා ගන්නවා වෙනුවට දේවල් වෙනස් කරන්න උත්සාහ කරන ගැහැණු චරිතයක්. 1970 ගණන් වල සුසාන් බ‍්‍රවුන් මිලර් කියන ඇමරිකානු ස්ත‍්‍රීවාදී ලේඛිකාවගේ රචනා කියවලා තිබීමත් එක්ක මට මේ චිත‍්‍රපටියෙ තේමාවෙහි ප‍්‍රබලකම දැණුන. එය කලාත්මකව චිත‍්‍රපටියක් දක්වා ගේන්න පුළුවන් කියල මට වැටහුණ.

2. හු`ගක් නිෂ්පාදකයන් හිතන්නෙ ආපිට ලැබෙන මුදල්මය ලාභය ගැන. විකුණන්න පුළුවන් චිත‍්‍රපටියක් වෙනුවට මුදල් සහ දේශපාලනික අතිනුත් අවදානම්කාරී වැඩකට අතගැහුවෙ ඇයි?

යමක් වාණිජමය අතින් සාර්ථක වෙන්න නම් ඒකෙ සාර්ථක සහ ඉල්ලූමක් සහිත කාරණා තියෙන්න ඕන. මට නම් හිතෙන්නෙ නෑ සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් හම්බුවෙලා ගස් වටේ දුවන කතාවක ඒ වාණිජ අගයන් තියෙනවා කියල.

3. අලූත් චිත‍්‍රපටකරුවෙකුට මුදල් යෙදවීමේදි ඔයා මොන දේවල්ද කල්පනා කළේ?

මම බලන්නෙ එයා කොයිතරම් එයාගෙ කෘතියට අවංකද, කොයිතරම් ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ලෑස්තිද කියන එකයි. එයා නිර්මාණකරනයේ කොයි තරම් දක්ෂද සහ එයාගෙ නිර්මාණ තුල යම් සුවිශේෂී බවක් තියෙනවද කියන එකත් වැදගත්. චිත‍්‍රපටියක් වගේ සංකීර්ණ වයාපෘතියක් නියමිත කාලයක් තුල සාර්ථකව අවසන් කරන්න එයාට පුළුවන්ද, එයාගෙ අදහස අනිත් අයට දනවන්න එයා කොයිතරම් දක්ෂද කියන කාරණාත් මම බලනවා. වෙන විදිහකින් කිව්වොත් ඒ පුද්ගලයා ආයෝජනයක් විදිහට කොහොමද කියන එක. මට හැම අලූත් චිත‍්‍රපටකරුවෙක් කියන්නෙම ව්‍යවසායකයෙක්. ඒ නිසා මම බලනවා එයා සතු ව්‍යවසායක ගුණයන් ගැන.

4. ඔයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවෙ සිනමාව කඩාගෙන වැටෙන මේ වගේ මොහොතක චිත‍්‍රපටි නිෂ්පාදනයට ආවෙ ඇයි?

ලංකාවෙ චිත‍්‍රපටි කර්මාන්තය දුර්වල වෙලා තියෙන්නෙ හේතු ගණනාවක් හින්ද. ප‍්‍රධානම එකක් වෙන්නෙ අපේ අය පාවිච්චි කරන පරණ තාක්‍ෂණය. ඒක චිත‍්‍රපටියක් බලද්දිම පේනවා. මගේ වෘත්තිමය ජීවිතේම කැපවුණේ තාක්‍ෂණය වැඩි දියුණු කිරීමේ ක්‍ෂේත‍්‍ර සම්බන්ධව. උදාහරණයක් විදිහට කොළඹ කොටස් හුවමාරුව, මධ්‍යම තැන්පතු ක‍්‍රමය සහ වෙළඳ ක‍්‍රමය හඳුන්වා දුන්නෙ මම. තවම ලංකාවෙ චිත‍්‍රපට කර්මාන්තය නෙගටිව් වලින් එලියට ඇවිත් නෑ. ඒක චිත‍්‍රපටියක් නිෂ්පාදනය කරන්නත් බෙදා හරින්නත් විශාල වියදමක් වැය වෙන ක‍්‍රමයක්. අපි අවුරුද්දක් තිස්සෙ වැඩ කරගෙන යන්නෙ මේක ඩිජිටල් කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්නයි. ඩිජිටල් චිත‍්‍රපටි නිර්මාණය කිරීම තමයි මේ රටේ හදන චිත‍්‍රපට වලින් අපේ චිත‍්‍රපටශාලා ආයෙමත් පුරවන්න පුළුවන් එකම විදිහ.

5. අපේ චිත‍්‍රපට කර්මාන්තෙ වාණිජමය කඩාගෙන වැටීම ඔයාට පේන්නෙ කොයි විදිහටද?

මට හිතෙන්නෙ ඒක අපි පේ‍්‍රක්‍ෂකයා විඳින අත්දැකීම වෙනුවෙන් නැවත මුදල් ආයෝජනය නොකිරීම නිසා වෙච්ච දෙයක්. අපිට ආපස්සට ගිහින් තේරුම් ගන්න වෙනවා අපේ පේ‍්‍රක්‍ෂකයන් චිත‍්‍රපටි බලන්න යන එක අත්ඇරපු වකවානුව ගැන. ජාතික චිත‍්‍රපටි සංස්ථාවෙ ඇතිවුණු ඇමරිකානු චිත‍්‍රපට ගැන විරෝධය නිසා අපේ පේ‍්‍රක්‍ෂකයන්ට බාල රුසියානු සහ ප‍්‍රංශ වාණිජ චිත‍්‍රපට පමණක් ප‍්‍රදර්ශනය කරන්න ගත්තා. එකෙන් චිත‍්‍රපටි බලන්න මිනිස්සු එන්නෙ නැතුව ගියා.

6. ඔයා හු`ගක් අලූත් චිත‍්‍රපටකරුවන්ට උදව් කරනවා. ඒ අයගෙ හු`ගක් ආන්දෝලනාත්මක තේමාවන් පවා ඔයා එලියට දාන්න උදව් කරනවා. මේක ලංකාවෙ මීට කලින් කිසි නිෂ්පාදකයෙක් කරපු විදිහෙ වැඩක් නෙමෙයි. ඇයි ඔයා මේක කරන්නෙ?

ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයට අපි ලක්ෂ තිස් පහක් පමණ වියදම් කළා. ඒ ආයෝජනය වෙනුවෙන් අපට ලක්ෂ 10ක බදු සහනයක් ලැබෙනවා. චිත‍්‍රපටයෙ පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් වැයුවුණු වියදම් සියල්ල දැරුවෙ හර්බට් බාස් පදනමෙන්. ඒ නිසා ඒ කටයුතු සඳහා අපිට පිරිවැයක් දරන්න සිදු වුණේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නෙ විදෙස් රටවල ප‍්‍රදර්ශනයෙන් සහ ඞීවීඞී පිටපත් අලෙවියෙන් අපේ වියදම් පියවා ගන්නයි. දැනටමත් චිත‍්‍රපටය විවිධ සම්මාන උළෙල වල ප‍්‍රදර්ශනය වෙන අතර ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

උදාහරණ විදිහට

Rotterdam International Film Festival, Seattle International Film Festival, 1st Ars Independent Katowice IFF, 47th Pesaro International Film Festival, Cinematek (The Belgian Royal Film Archive), Museum of Modern Art (aka MoMA), 2nd Saint Petersburg International Film Festival (aka Kinoforum) සිනමා උළෙලවල චිත‍්‍රපටයට හොඳ ඇගයීම් ලැබුණ.

මෑතකදි නිව්යෝර්ක් මොඩර්න් ආර්ට් මියුසියම් එකේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණ. ඒකෙන් බොහෝ ස`ගරා සහ නිව්යෝර්ක් ටයිම්ස් හි පවා චිත‍්‍රපටය ගැන විචාර ලියවුණා. අපි දැනටමත් සාකච්ඡුා කරමින් ඉන්නවා ඇමරිකාවෙ සහ කැනඩාවෙ ප‍්‍රදර්ශන අයිතිය එහි සමාගමකට අලෙවි කරන්න. අපි විශ්වාස කරනවා ඒ රටවල සිටින ශ‍්‍රී ලාංකික පිරිස් වල හොඳ ප‍්‍රතිචාර චිත‍්‍රපටයට ලැබෙයි කියල. උදාහරණයක් විදිහට ත‍්‍රස්තවාදීන් විසින් කළ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳ කතාව දෙමළ ඩයස්පොරාවෙ අවධානයට ලක්වේවි. මේක දැන් ලෝකෙ පුරාම උණුසුම් මාතෘකාවක්. අවුරුදු එකහමාරකට කලින් මම චිත‍්‍රපටය දකිද්දි මට පෙණුනා මේ කාරණය. ඒ එක්කම කාන්තා සංවිධාන ආදියත් මේ චිත‍්‍රපටයෙන් මතු කරන කාන්තාව සම්බන්ධ ප‍්‍රශ්න වලට සංවේදී වේවි. අපි චිත‍්‍රපටය ලංකාවෙ ප‍්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. චිත‍්‍රපටයෙ ප‍්‍රබල මතභේදයන්ට තුඩුදෙන ස්වභාවය නිසා ඒක අපේ රටේ ප‍්‍රදර්ශනය කිරීම ප‍්‍රශ්න ඇතිකරන්න පුළුවන්. ලංකාවෙ ප‍්‍රදර්ශනය නොකළත් අපිට චිත‍්‍රපටයෙන් අවශ්‍ය ආදායම් උපයාගන්න පුළුවන්.

7. ඩිජිටල් සිනමාව දියුණු ව්‍යවසායකයෙක් විදිහට ඔයා දකින්නෙ කොහොමද?

මම විශ්වාස කරන විදිහට මේක අප විසින් ගත යුතු වැදගත්ම තීරණයක්. අපිට තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් මේ තාක්‍ෂණය සමග ඉදිරියට යාම. නැත්නම් කාලයට වඩා පිටිපස්සෙන් පසුගාමී විදිහට ළතවෙන එක. මම හිතන්නෙ මේ ඩිජිටල් තාක්‍ෂණය අපි බාර නොගත්තොත් ආර්ට් ෆිල්ම් හෝ කොමර්ෂල් ෆිල්ම් හෝ මොන එකකින් වුණත් චිත‍්‍රපටි කර්මාන්තෙට අලූත් දක්ෂතා එකතු වෙන එක අවහිරි වේවි. මේ දක්වාත් අපේ කර්මාන්තෙට අලූත් ප‍්‍රවණතා සහ දක්ෂතා එකතු වීමක් නැහැ.

8. මනෝ මේ චිත‍්‍රපටියට පස්සෙත් තව වැඩ කීපයක් කළා. ඩෙනිස් පෙරේරාගේ ත‍්‍රීවීල් ඩයරීස් එයින් එකක්. ඒ චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන්න හිතුවෙ මොකක් නිසාද?

ත‍්‍රීවීල් ඩයරීස් ලංකාවෙ පළවෙනි රෝඞ් මූවි එක විදිහට සටහන් වේවි. ඒ කතාව ලියවිලා තියෙන්නෙ තරුණයන් දෙදෙනෙක් ඇත්ත ලංකාවෙ තත්වෙ හොයාගෙන ත‍්‍රීවිලරයකින් රට වටේ යන ගමනක් එක්ක. ප‍්‍රචණ්ඩත්වය සහ එදිනෙදා ජීවිතය එක්ක මිනිස්සු පොරබදන හැටි ගැන ඇත්ත දෙයක් චිත‍්‍රපටියෙන් ග‍්‍රහණය කරනවා.චිත‍්‍රපටියෙ පිටපත කියවද්දි මට තරුණ කාලෙ මම කියවපු පොතක් මතක් වුණා. ඒ හර්බට් සෙල්බි ජේආර් විසින් රචිත ‘ද ලාස්ට් එක්සිට් ටු බෘක්ලින්’ කියන පොත. ඒ නවකතාව කියන්නෙ 1960 ගණන් වල එදිනෙදා ජීවිතය තුල මුණගැහුණු සැබෑ ප‍්‍රචණ්ඩත්වය ගැන.මේ චිත‍්‍රපටයෙ අවසානෙයදිත් ඒ පොතේ සමහර ලක්ෂණ අඩංගුයි කියල මට හිතෙනවා. මේ චිත‍්‍රපටයත් ඉගිල්ලෙන මාළුවෝ වගේම බලය සහ සූරාකෑම ගැන කතාවක් කියනවා. බලය ගැන මේ විදිහෙ අධ්‍යනයන් සහ අභ්‍යන්තරයටම කා වැදී ඇති ප‍්‍රචණ්ඩත්වය කියන්නෙ ලංකාවෙ දේශපාලනය. මගේ පෙර චිත‍්‍රපටය වගේම ත‍්‍රීවීල් ඩයරීස් චිත‍්‍රපටයත් මේ සංවාදයට දායක වේවි.

9. පවුලේ චිත‍්‍රපටි ඇරුණම කිසි එකක් ලංකාවෙ හෝල් වල දාලා දුවන්න බෑ. ඒත් ඔයා නිෂ්පාදන කරන්නේ පවුලේ චිත‍්‍රපටි නෙමෙයි. චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය පැත්තෙන් තියෙන මේ අර්බුදය ඔයා දකින්නෙ කොහොමද? ඒකට විකල්පයක් හැටියට ඔයාට අදහසක් තියෙනවද?

මම කලින් කිව්වා වගේම අභියෝගය තියෙන්නෙ වෙනත් විකල්ප වාණිජ ප‍්‍රවේශයන් හඳුනාගන්න එක. අපි පාවිච්චි කරන්නෙ අපිට ලබා ගන්න පහසුම ඩිජිටල් තාක්‍ෂණය. ඒක නිසා අපිට අත්හදාබැලීම් කරන්න පුළුවන්. ඒක තමයි වාණිජ විෂයකදි අවදානම් කලමනාකරණය කරන හොඳම විදිහ. මම හිතන්නෙ අපි නිතරම විදේශීය වෙළෙඳපොල ගැන හිතන්න ඕන ලංකාවෙ වෙළඳපොල වෙනුවට. අපි කරන හැම චිත‍්‍රපට ව්‍යාපෘතියකදිම අපි වෙනත් භාෂා වලට හ`ඩකවා ඒ චිත‍්‍රපට බෙදා හරින්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අලිමංකඩ අපි දෙමළ බාෂාවෙන් හ`ඩකැව්වා. ඒ චිත‍්‍රපටය දෙමළ භාෂාවෙන් නිව්යෝර්ක් සිනමා උළෙලේදී ප‍්‍රදර්ශනය කලා.

10. ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටිය අන්තර්ජාතික සිනමා උළෙලවලදී ඇගයීමට ලක් වෙද්දි මනෝට හිතෙන්නෙ කොහොමද?

ඇත්තටම හු`ගක් සතුටුයි අන්තර්ජාතික පේ‍්‍රක්‍ෂකයන් චිත‍්‍රපටය ගැඹුරින් බාර ගැනීම ගැන. මට හිතෙනවා ඔවුන්ට අපේ හ`ඩ ඇසුණා කියල.

සැටිය උඩ..හිනා බං මට..දුකට.



නාලිකාව - දෙරණ
වේදිකාව - රියලිට වේදිකාවකි
ගායකයා - චාපා (ඉන්ද‍්‍රචාපා ලියනගේ* ඇතුළු පිරිස
විනිසුරු මඩුල්ල - චාමික සිරිමාන්න, රජීව් සෙබෙස්තියන්, රාජු බණ්ඩාර, අතුල අධිකාරි
නිවේදක - සාරංග

චාපා
උඹ කිව්වා
ක්ලැරන්ස්ව ටිකක් වැඩියෙන් පොප් කරලා
ටියුන් එක වෙනස් කරලා
කට්ටිය කර උඩ නටනවා
මම සැටිය උඩ... හිනා බං මට... දුකට

සාරංග ඇහුවා
චාමිකගෙන්
චාපා මොකද්ද කලේ කියලා
කට්ටිය කර ඇරගෙන
මම සැටිය උඩ... හිනා බං මට... දුකට

චාමික කිව්වා
අපි
චාපගෙන්ම අහමු කියලා
මොකද්ද කලේ කියලා
කට්ටිය තවම කර ඇරගෙන
මම සැටිය උඩ හිනා බං මට... දුකට

චාපා
උඹ විස්තර කලා
අරුන් කට ඇරගෙන
මම සැටිය උඩ... හිනා බං මට... දුකට
මම දැක්කා උඹව දියවෙලා වැක්කෙරෙනවා

චාමික කිව්වා
අපි ඒක දැනගෙනයි
චාපගෙන් අහගත්තේ කියලා
මම සැටිය උඩ... හිනා බං මට... දුකට
මම දැක්කා උඹව දියවෙලා වැක්කෙරෙනවා

චාපා
උඹ සිල් අරං වගේ
ෂෝක් පෙනුම උඹේ දැන් ටීවි එකට
අපේ අම්මා දක්කනම් දැං කියයි
අර බලපං අර ළමයගේ හැටියි
උඹේ හැටියි

දැං උඹ මගෙන් අහයි
හරි උඹ මට කන්න දෙනවද කියලා
මම මොන මගුලක් හරි කරලා
සල්ලි හෙයන්න ඕනේ කියලා
හඳයත් වතාවක් ඕක කිව්වා
මගේ නිශ්පාදකයො ලොස්ට් කරන්න බෑ කියලා

මේ උත්තරය උඹට මගෙන්
අවධාරණය මගෙන්

අපරාදේ බං චාපා
ගහන්න තිබුණේ උඹට
අජිත් මුතුකුමාරණ වගේ
සීඞී එකපිට එක
සල්ලි බං සල්ලි
පිස්සු හැදෙනවා

මම සැටිය උඩ... හිනා බං මට... දුකට

මම දකිනවා උඹව දැං

රියල් ෂෝ එක ඇතුළේ
මම රියල් චාපව දකිනවා දැං
මම සැටිය උඩ... හිනා බං මට...

-ක‍්‍රිෂාන් රාජපක්ෂ

ගේට්ටුව ළ`ග මුනිවරයෙක්. ජනේලෙට පිටිපස්සෙ මම.


ජූලි 23
සෙනසුරාදා

කවුරු හරි ගේට්ටුව ළ`ග කතා කරනවා ඇහිලා මං නොකර සද්ද හිටියෙ එක එක්කෙනා ඇවිත් අහන එක එක දේවල් වලට උත්තර දෙන්න කම්මැලි හින්ද. අම්මා ගේ ඉස්සරහට යනවා මට ඇහුණා.
”නෝනා මහත්තයා කෑම උයලද තියෙන්නෙ? තාම 10යිනෙ. කෑම නැතුව ඇති. මට උයන කල් ඉන්නත් බෑනෙ. කීයක් හරි තියෙනවා දෙන්න. මොනා හරි බොන්න.”
හු`ගක් ගැඹුරු හ`ඩකින් සැහැල්ලූවෙන් කියාගෙන යනවා මට ඇහුණ. ටිකක් අමුතු හි`ගන්නෙක්...මං ජනේලෙන් ඔලූව එලියට දාලා බැලූව.
තද නිල් පාට සරමට උඩින් රතු කොටු වැටුණු අත්දිග කමිසයක් ඇඳලා ඊට උඩින් අත් කපපු ඩෙනිම් කෝට් එකක් දාලා හරිම වර්ණවත් මනුස්සයෙක් ගේට්ටුව ළ`ග. සුදු පාට දිග රැුවුලත් එක්ක කිසි හදිස්සියක් නැති ඉරියව්. එයා කතා කරද්දි කතා කළේ පාවෙවී වගේ.
කතාවට අල්ලගන්න කවුරුත් නැතුව හිටපු අපේ අම්මගෙත් උනන්දුව වැඩි වෙලා.
”ඔයා කවුද?”
”මං බණ්ඩාර. සීජීආර් එකේ ස්ටෝර් මැනේජර් කෙනෙක් ඉස්සර. දැන් තනියම ජීවත් වෙන මිනිහෙක්.”
”ඔය තරං ලොකු තැනක ඉඳලා ඇයි දැන් ඒ කාලෙ යාලූවො එහෙම නැද්ද?”
”හහ් හහ් හහ්.... ජීවිතේ පෙරලිලා පෙරලිලා ආවා නෝන මහත්තයා. දේවල් වෙනස් වුණා.rolling stone never gather moss කියල කතාවක් තියෙනවනෙ. ඒ වෙනස් වෙච්ච වේගෙ හින්ද මගේ ජීවිතේ පුස් බැඳුනෙ නෑ. කුණු නෑ.

මං තනියෙන් ජීවත් වෙන්නෙ. මං කාගෙන්වත් ඉල්ලන්නෙ නෑ. හැමදාම මං මෙහෙම එන්නෙ නෑ. ඒ වගේම නෝනා මනුස්සයෙකුගෙ ජීවිතේට වින්දනයක් අවශ්‍යයි. ඉතිං මං මත්පැන් පානය කරනවා. දුම් බොනවා. ඒක මට අවශ්‍යයි. අවශ්‍යයිනෙ. මං තාම මැරලා නෑනෙ. මළකඳකට කිසි බඩගින්නක්, බොන්න ආසාවක්, ලෙඩක් දුකක් නෑනෙ. මං ඉස්සර විස්කි බ‍්‍රැන්ඩි බිව්වා. දැන් සල්ලි නැති නිසා කසිප්පු බොනවා.
කෝට් එක කපන්න ඕන රෙද්දෙ හැටියට. ඒ කියන්නෙ වැඬේ කරන්න ඕන ආර්තිකේ හැටියට. adopting to environment. ඉන්නකං මං enjoy my life. මං නිකං ඉන්නෙ නෑ. පොත්වල ලියනවා. ඉංග‍්‍රීසි උගන්නනවා. මගෙන් පැය බාගෙ ඒවා 30ක් ඉගෙන ගන්නවා කියන්නෙ පිරිමියෙක් නං සුද්දෙක්. ස්ත‍්‍රියක් නං සුද්දියක්.

අනික් පැත්තෙන් කියනවා නං තමා හිසට තම අතමය සෙවනැල්ල. තමා විසින්මයි තමාට පිහිට. තමන්ගේ දත් කැක්කුමට අනිත් අය අ`ඩා වැලපිලා වැඩක් නෑනෙ. මගේ ගැන කතාව ඔයාට වැඩක් නෑ. බෞද්ධ දර්ශනේ ගැඹුරින් හැදෑරුවම ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො කිසි දෙයක් එපා කියල නෑනෙ. උඹට ඕන නං කරපං. බුදුන් වහන්සෙ කවදාවත් නියෝග පනවලා නෑනෙ. ඒකනේ බුද්ධ ප‍්‍රබුද්ධ කියන්නෙ. අග‍්‍රගන්‍ය, බුද්ධිමත්, ප‍්‍රඥාවන්ත, අග කෙලවර.”

අරක්කු බොන එක ගැන කතාව අපේ අම්මට සෙට් වුණේ නෑ. ඒත් හරිම සරල විදිහට, පරිණත බවකින් කතා කරගෙන යන මේ අමුත්තා තේරුං ගන්න අම්මට අමාරුයි. ඒ අපූරුකම එයාගෙ අකමැත්තට වඩා වැඩියි.

”දැන් ඕව තහනං කරන්නනේ යන්නෙ ආණ්ඩුවෙන්?”

”නෑ, නෑ ඒ ගහලා තියෙනවා එහෙම වෙන්න ඉඩ තියෙනවා කියල. බොන්න තහනං කරන්නෙ කොහොමද? කාටවත් බෑ කිසිම දෙයක් තහනම් කරන්න. කවුද ඒ ගොල්ලොන්ට බලය දුන්නෙ ඒ දේවල් තහනං කරන්න. පොලිසිය කොහොමද එහෙම අල්ලන්නෙ? පොලීසිය ඉන්නෙ නීතිය හා සාමය ආරස්සා කරන්න. කසිප්පු අල්ලන්න පොලීසියක් ඕනෙ නෑ. මං මහින්දට ලියන්නයි ඉන්නෙ මේ පොලිසි තියෙන්නෙ කසිප්පු අල්ලන්න නෙමෙයි කියල. ඒ ගොල්ලො කසිප්පු අල්ලන්න දානවා. මිනිස්සුන්ගෙ නිදහස නැති කරනවා.

මොනාද නෝනා බිව්වම ලෙඩ වෙනවා කියන්නෙ. ඉංග‍්‍රීසියෙන් කියනවා. if you drink you die. අපේ අය කියන්නෙත් ඔය ඉංග‍්‍රීසිකාරයො කියන එක තමයි. එතකොට if you dont drink ඒත් you die. බිව්වත් මැරෙනවා නොබිව්වත් මැරෙනවා නං බීලම මැරෙමුකො.”

”හාමුදුරුවරු ටීවී එකේ කොයි තරං බණ කියනවද ඕවා නතර කරන්න.”
තාම අම්මා අපේ ගේ දොර ළ`ග. රැුවුල්කාරයා ගේට්ටුව ළ`ග. ගේට්ටුව ඇරගෙන රැුවුල්කාරයා මිදුලට ආවා.
”මට මේ මිනිස්සු පේන්නෙ ටීවී වගේ නෝනා. ටීවී එකේ පේන දේවල්මයි කරන්නෙ. ඒ ගොල්ලො කරන දේවල් ටීවී එකේ පේනවා නෙමෙයි. ටීවී එකේ පේන ඒවා ඒ ගොල්ලො කරන්න ගන්නවා.

හාමුදුරුවරු මොනාද කියන්නෙ? ඔය පෝය දවස්වල බුදු රජාණන් ගෙ හැමදෙයක්ම වුනේ කොහොමද කියලා ටිකක් කල්පනා කරලා තියෙනවද? හැම විශේෂ දෙයක්ම වෙන්නෙ පෝය දවසක. නෝනා, පෝය දවස්වල ඔය දේවල් එහෙම සිද්ද වුණා නෙමෙයි. එහෙම හදාගත්තා.
පෝය කියන එක පහල වුනේ කැලෑ ගං වල ඉන්න මිනිස්සුන්ට පන්සලට හුළු අතු බඳින්නෙ නැතුව එන්න. සතා සර්පයාගෙන් ආරස්සා වෙලා එන්නයි පහල වුනේ. පෝයෙ කිසි අමුත්තක් නෑ වෙන. හැමදාම එන දවසක්නෙ.”

කතා කරද්දි එයාගෙ ඇස් දිලිසෙන්න ගන්නවා. හු`ගක් ගැඹුරකට ගිහින් දේවල් අරන් ඇවිත් එයා කියාගෙන යන්නෙ ලොකු තෘප්තියකින්. ඒ අදහස් ගැන ඉස්සරහ මිනිහට හිතෙන දේ එයාට වැඩක් නෑ. ඒක හරියට ප‍්‍රත්‍යක්‍ෂ ඥාණයක් වගේ.

” ටීවී එකේ පෝය දවසට බලන් ඉද්දි මං හිතෙන්න ගන්නවා මං සෝවාන් කියල. තව ටිකකින් හිතෙන්න ගන්නවා. නෑනෙ මං සකෘදාගාමී නෙ කියල. තවත් හවස් වෙන්න යද්දි හිතෙන්න ගන්නවා නෑනෙ මං අනාගාමීනෙ කියල. ඔන්න පස්සෙ තේරෙනවා මං රහත් කියල.
මං හිතුවා මං පසේ බුදු කෙනෙක්ද කියල. ඒත් පසේ බුදු කෙනෙකුට කේන්ති යන්නෙ නෑනෙ. ඒක හින්ද මං දන්නවා මං පසේ බුදු නෙමෙයි කියල. ටීවී එකේ මේ යක්කු මොනා කරනවද කියල මං තේරෙන්නෙ නෑ. මේක අපේ අධ්‍යාපන ක‍්‍රමයෙ තියෙන ප‍්‍රශ්නයක්.

ටයි දාගෙන පාරෙ ඉන්න හාදයෙක් ගෙන් මං දවසක් ඇහුවා ගහට ඉංග‍්‍රීසියෙන් කියන්නෙ මොකක්ද කියල. tree මිනිහා එකපාරට කිව්වා. එතකොට වැලට මොකක්ද කියන්නෙ?
මිනිහා කල්පනා කරනවා දාඩිය දාන තරමට. නෝනා කියන්න බලන්න, වැලට මොකක්ද කියන්නෙ?
අපේ අම්මා කියා ගන්න දෙයක් තේරෙන්නෙ නැතුව හිනාවෙනවා.
ඔන්න අපේ අධ්‍යාපනේ. ඒක කාගෙවත් පුද්ගලික දුර්වල කමක් නෙමෙයි. අපේ අධ්‍යාපනේ පරිහාණිය. ගහට කියන එක කියලා දෙනවා වැලට කියන එක දන්නෙ නෑ. වැලට කියන්නෙ වයින් (vine). ලෝකෙ උසස්ම වැල මිදි වැල. ඒකයි ඒකෙන් මිදි වයින් (wine) හදන්නෙ. vine කියන මිදි වැල ගත්තොත් ඒකෙන් අපි (wine) වයින් කියල පානයක් හදනවා. අපි කිව්වට අපි නෙමෙයි. බටහිර. වැඩිය වදින්නෙ නෑ. ලංකාවෙ බියර් වගේ. ඕනම වැලක් වයින් තමයි. ඒත් මිදි වැල තමයි සුවිශේෂී. ගහල වැලත් වැලක් තමයි. නමුත් ඒකෙන් වයින් පෙරන්න බෑනෙ.”

”කසාද බැන්දෙ නැද්ද?”
අපේ අම්මා දන්න ඇන්ටනා ඔක්කොම දාගෙන මේ මනුස්සයාව තේරුම් ගන්න හදනවා. කතා කරගෙන යන පැහැදිලි ගතියත් එක්ක දැනෙන නිශ්චිත, ගැඹුර නිසා පිස්සෙක් කියලා එකපාරට අමතක කරලා දාන්නත් අමාරුයි.

”මං පොත් ලිය ලිය හිටියා. ගෑණි ගියා. මගේ ළමයි එංගලන්තෙ රජ පවුලට වැඩ කරන්නෙ. මේ...(රාජකීය පවුලෙහි සේවක මණ්ඩලයේ යැයි සිතිය හැකි ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් සිටින ඡායාරූපයක් පෙන්වයි) ඒ ගොල්ලො මට කතා කරලා අහනවා, තාත්තේ තාම ගොක්කොල එහෙම පේන්නෙ නැද්ද කියල.

මං මේ පිංතූර ඔක්කොම මගේ නම ලියලා අත්සන් කරලා තියෙන්නෙ. නිකං පාරක වැටිලා මළොත් මං නගරසභාවෙන් වලදාන්න ඕන හිගන්නෙක් නෙමෙයි, මං ගෙයක් දොරක් තියෙන මිනිහෙක් කියලා දැන ගන්න. මට වළ දාන එක වැදගත් විදිහට කෙරෙන්න ඕන.”

නෝනා හාමුදුරුවරු කියන ඒවා විශ්වාස කරනවද? හෙහ් හෙහ් හෙහ්...(හොඳටම හිනාවෙන්න ගනී)
කිසා ගෝතමී සිදුහත්ට කියපු කවිය දන්නවනේ. මොකක්ද..
නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතා නූන සානාරි
යස්සානං ඊදි සෝපති
මොකද්ද හාමුදුරුවරු කියල දෙන්නෙ? මෙවන් පුතෙක් ලද මවක්..මෙවන් පුතෙක් ලද පියෙක්..මෙවන් සැමියෙක් ලද බිරිඳක් නිසැකව නිවුනා නම් වේ...ඉතිං විශ්වාස කළා?

අම්මා මැරුණා, මෙයා ඉපදිලා දවස් හතයි.. මෙයා සසර කලකිරෙයි කියල බයට තාත්තා රටේ තියෙන දේවල් කරනවා ගිහිගෙයි තියාගන්න. ඔලූව ගිනි අරං මිනිහගේ. කොහොමද නිවෙන්නෙ..ළමයා ඉපදිච්ච දවසෙම ගෑනි අතෑරලා යන්න ගියා. කොහොමද බිරිඳ නිවෙන්නෙ.. පට්ටපල් බොරු ඕවා. ඒත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ.

මට දැන් යන්න ඕන. නෝනා තාම උයලත් නෑනෙ. මට බඩගිනියි. ඒත් මං දැන් යන්නෙ බොන්න. ගණං වැඩි ඒවා නෙමෙයි. කසිප්පු. මට ඒකට පොඩි උදව්වක් කරන්න.
අම්මා රුපියල් විස්සක් ගෙනත් දුන්නේ වදයක් විදිහට නෙමෙයි. ගෞරවයක්ද ඇතුවයි.

ඕවා බීලා ලෙඩ වෙන්න එපා. බොන්න සල්ලි දීම ගැන වරදකාරී හැ`ගීමෙන් අම්මා කියනවා ඇහුණ.
‘සුබ දවසක් නෝනා. අද ජීවත් වෙන්න. හෙට ජීවිතේ ගැන හිතලා අද මළ කඳක් වෙන්න එපා. ජීවිතේ තියෙන්නෙ හොටවත් ඊයෙවත් නෙමෙයි. මෙතන මේ මොහොතෙ. හෙහ් හෙහ්....

හිනා වෙවීම එයා ගේට්ටුව ඇරගෙන පාරට බැස්සා. ඊට පස්සෙ අඩියක් අඩියක් පාසා හු`ගක් අවධානෙන් උඩහට ඇවිදින්න පටන් ගත්තා.

හරි අමුතු මිනිහෙක්..අපේ අම්මා ගෙට එන ගමන් කිව්වෙ මට ඇහෙන්න.
උදේ පාන්දර මුනිවරයෙක්... මං සිගරට් එකක් පත්තු කරන ගමන් හිතුවා.

- චින්තන ධර්මදාස

Sunday, July 24, 2011

ඉගිල්ලෙන මාළුවෝ: Best Director Award @ St Petersburg Film Fest


සංජීව පුෂ්පකුමාර එයාගෙ පළවෙනි චිත‍්‍රපටිය වුණු ‘ඉගිල්ලෙන මාළුවෝ’ වෙනුවෙන් ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තා. සංජීව මේ සම්මානය දිනා ගත්තේ චීනය, ඉරානය, ඇමරිකාව, පෝලන්තය, රුසියාව, ස්පාඤ්ඤය ආදී රටවල් 10ක නියෝජනයන් අතරින් ඉදිරියට ඇවිත්. මේ චිත‍්‍රපටිය සංජීව කළේ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලකින්. ඒ නිෂ්පාදනයට මැදිහත් වීම වෙනුවෙන් මනෝ නානායක්කාර (එහි නිෂ්පාදක* මහතාට විශේෂ ස්තුතියක් හිමිවිය යුත්තෙ ලාභ ඉපැයීම කියන බාල අරමුණට එහා ගිහින් පැහැදිලිවම මතභේදයන්ට තුඩු දෙන මේ වගේ කෘතියක් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වීම නිසා. ඒ වගේම මේ චිත‍්‍රපටයෙ ප‍්‍රධාන නළු නිළියන් වුණු සම්පත් ජයවීරට හා ගයේෂා පෙරේරාට මේ ගෞරවයෙන් විශාල කොටසක් අයිතියි. ලංකාව වගේ රටක සංස්කෘතික සීමා මායිම් නොතකා කළ චරිත පණගැන්වීම වෙනුවෙන්. චිත‍්‍රපටියෙ කැමරාකරණය කළේ විශ්වජිත් කරුණාරත්න. ඒක එයාගෙ පළවෙනි කැමරා අධ්‍යක්‍ෂණය වුණත් මේ කතාව මේ තරම් ප‍්‍රබලව දැනවුවෙ ඒ රූප රාමු නිසා.

යුද්දෙ ගැන අපේ රටේ ගොඩක් අය චිත‍්‍රපටි කළා. ඒ වෙනත් අයගෙ අත්දැකීම් වලින්. ඒත් සංජීව ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටියට අරන් ආවෙ එයාගෙ ජීවිතය. සිනමා රූපක, අලංකාර, නිෂ්පාදන වටිනාකම් මොකක් නැති වුණත් ඒ චිත‍්‍රපටිය ඇ`ග හිරිවට්ටගෙන යන්නෙ ඒ ඇත්ත නිසා. ඒ ඇත්ත කැමරාවක් ඉස්සරහට ගේන්න තරම් කොන්දක් තිබීම නිසාම සංජීව චිත‍්‍රපටිකරුවෙක් වශයෙන් ඇගයීමට ලක් විය යුතුමයි.

ශාන්ත පිටර්ස්බර්ග් සිනමා උළෙල පැවැත්වෙන්නෙ රුසියාවෙ. මේ සිනමා උළෙල හඳුන්වන්නෙ ‘උළෙලවල් අතරිනුත් උළෙල’ හැටියට. පිටර්ස්බර්ග් සිනමා උළෙල රුසියාවෙ පැවැත්වෙන දැවැන්තම තරගකාරී නොවෙන චිත‍්‍රපටි උළෙලයි. සංජීව මේ උළෙලේදී ‘new territory’ (නව දිශානතීන්* අංශයෙන් හොඳම අධ්‍යක්‍ෂවරයා හැටියෙන් සම්මානය දිනාගන්නවා. නමුත් හොඳම චිත‍්‍රපටිය හැටියට සම්මාන ගන්නේ චීන අධ්‍යක්‍ෂවරයෙක් විසින් කළ ‘බ්ලැක් බ්ලඞ්’ චිත‍්‍රපටියයි. (මේ හැම කාරණයක්ම පැහැදිලිව ලියා දැක්වූයේ සම්මාන එක්ක අපේ අධ්‍යක්‍ෂවරුන් කරන වංචාව හු`ගක් ජනප‍්‍රිය නිසාමයි*

නිර්මාණශීලී නිදහස් වීම.


පූර්ව උපකල්පනයක් නැතුව, නිගමනයක් හෝ අර්ථ ගැන්වීමක් නැතුව ඇහුම් කන් දෙන්න පුළුවන්ද? අපේ සිතීම එක්තරා රටාවකට අනුගත වෙලා කියන කාරණය පැහැදිලියි. අපි හින්දු, මුස්ලිම්, ක‍්‍රිස්තියානි විදිහට කොටු වෙලා ඉන්නෙ. අපි අහන අලූත් හෝ පරණ හැමදෙයක්මත් මේ රාමු ඇතුලෙනුයි එන්නෙ. ඒ හින්ද අපිට ප‍්‍රශ්නයක් අලූත් විදිහෙන් දකින්න බෑ. ඒක නිසයි ඇහුම් කන් දීම අතිශය වැදගත්. ලියලා තියෙන දේවලට විතරක් නෙමෙයි, හැමදෙයක් ගැනම සාවධාන වීම වැදගත්. සමස්ත විප්ලවයම තනි තනි පුද්ගලයා තුල සිදුවීම අත්‍යාවශ්‍යයි. ඒත් කිසිම උත්සාහයක් නොදරා ඇත්ත දකින්න පුළුවන් තරමෙ නිරවුල් බවක් ඇති වෙනකල් ඒක දුෂ්කරයි. කොයිම වුණත් උත්සාහයක් කියන්නෙ විනාසයක්. මනස නිශ්ශබ්ද, උත්සාහ නොකරන වෙලාවට විතරයි තේරුම් ගැනීමක් සිද්ද වෙන්න පුළුවන්. ඒත් අපි ගොඩක් හිතන්නෙ උත්සාහය අත්‍යාවශ්‍යයි කියල. ඇහුම්කන් දීමට, තේරුම් ගැනීමට තියෙන ඒ උත්සාහය හින්දම අවබෝධය ඇහිරෙනවා. නිසැකවම එන ඇත්ත සහ බොරුව ගැන දැනීම බාධා වෙනවා.
දැන් ඔබේ රාමුගත වීම ගැන දැනුවත් වුණත්, ඉන් නිදහස්වුණත් ඔබට යමක් කියන විට අසා අවබෝධ කර ගන්න පුළුවන්ද? උත්සාහ නොදරා, අරුත් ගැන්වීම් නොකර පූර්ණ සාවධාන වීමක් කරන්න ඔබට පුළුවන්ද? අපි ගොඩක් දෙනෙකුට අවධානය කියන්නෙ මනස එක්තැන් කිරීමක්. එතන තියෙනවා සුවිශේෂී කොට සිතීමක්. ඒ සුවිශේෂී සිතීම කියන බාධාවත් එක්ක විප්ලවය සිදුවෙන්න බෑ. ඒක සාපේක්‍ෂ දෙයක් නොවෙන හින්ද. ඒක නිරපේක්ෂ හින්ද. මට හිතෙන්නෙ පුද්ගලයෙක් තුල සිද්ද වෙන්න ඕන විප්ලවය මේකයි. එතනදි විතරයි ඇත්ත නිර්මාණශීලීත්වයක් නිදහස් වෙන්න පුළුවන්.

මනස, අධ්‍යාපනයෙන්, සමාජයෙන්, අපේ දැනුමෙන්, අපිම එකතු කර ගත් අත්දැකීම් වලින් රාමු ගත වෙලා ඉවරයි. ඒක අච්චුවකින් හැදිලා තියෙන්නෙ. පරිසරයෙන් විතරක් නෙමෙයි. අපි පරිසරයට සහ සම්බන්ධතා වලට ප‍්‍රතිචාර දක්වපු විදිහෙන් ඒ අච්චුව සකස් වෙලා තියෙන්නෙ.
ඔයගොල්ලො මාව අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි. අපේ සිතීමේ ක‍්‍රියාවලියත් නිරීක්‍ෂණය කරනවා. මම කියන්නෙ ඔයාගෙ මනසෙ සිද්ද වෙන දේ ගැන විස්තරයක් විතරයි. ඒත් කවුරු හරි තමන්ගේ සිතීම ගැන ඇත්තට අවදියෙන් සිටියොත් එයාට පෙනේවි අපේ මනස රාමුගතයි කියල. කොයි තරම් ඒක වෙනස් කරන්න උත්සාහ කළත් අපි කරන්නෙ ඒ හිරගෙදරම තැන් මාරු කරනවා විතරයි කියල. ඒක විප්ලවයක් නෙවෙයි.

ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕන. අපේ මනස හින්දු, මුස්ලිම් හෝ වෙන මොකක් හරි විදිහකට රාමුගත වෙලා නම් ඒ රාමුවේ රටාවට අනුව සිද්ද වෙන කිසිම වෙනසක් පදනමින්ම සිදුවෙන විප්ලවයක් නෙවෙයි. හැම අභියෝගයක්ම අලූත්. ඒත් මනස පරණ විදිහට රාමුගත නිසා අපි අභියෝගයට මුහුණ දෙන්නෙ පරණ විදිහට. ඒක කොහොමවත් ප‍්‍රමාණවත් ප‍්‍රතිචාර දැක්වීමක් වෙන්නෙ නෑ.

-ජේ ක‍්‍රිෂ්ණමූර්ති