Sunday, July 24, 2011

නිර්මාණශීලී නිදහස් වීම.


පූර්ව උපකල්පනයක් නැතුව, නිගමනයක් හෝ අර්ථ ගැන්වීමක් නැතුව ඇහුම් කන් දෙන්න පුළුවන්ද? අපේ සිතීම එක්තරා රටාවකට අනුගත වෙලා කියන කාරණය පැහැදිලියි. අපි හින්දු, මුස්ලිම්, ක‍්‍රිස්තියානි විදිහට කොටු වෙලා ඉන්නෙ. අපි අහන අලූත් හෝ පරණ හැමදෙයක්මත් මේ රාමු ඇතුලෙනුයි එන්නෙ. ඒ හින්ද අපිට ප‍්‍රශ්නයක් අලූත් විදිහෙන් දකින්න බෑ. ඒක නිසයි ඇහුම් කන් දීම අතිශය වැදගත්. ලියලා තියෙන දේවලට විතරක් නෙමෙයි, හැමදෙයක් ගැනම සාවධාන වීම වැදගත්. සමස්ත විප්ලවයම තනි තනි පුද්ගලයා තුල සිදුවීම අත්‍යාවශ්‍යයි. ඒත් කිසිම උත්සාහයක් නොදරා ඇත්ත දකින්න පුළුවන් තරමෙ නිරවුල් බවක් ඇති වෙනකල් ඒක දුෂ්කරයි. කොයිම වුණත් උත්සාහයක් කියන්නෙ විනාසයක්. මනස නිශ්ශබ්ද, උත්සාහ නොකරන වෙලාවට විතරයි තේරුම් ගැනීමක් සිද්ද වෙන්න පුළුවන්. ඒත් අපි ගොඩක් හිතන්නෙ උත්සාහය අත්‍යාවශ්‍යයි කියල. ඇහුම්කන් දීමට, තේරුම් ගැනීමට තියෙන ඒ උත්සාහය හින්දම අවබෝධය ඇහිරෙනවා. නිසැකවම එන ඇත්ත සහ බොරුව ගැන දැනීම බාධා වෙනවා.
දැන් ඔබේ රාමුගත වීම ගැන දැනුවත් වුණත්, ඉන් නිදහස්වුණත් ඔබට යමක් කියන විට අසා අවබෝධ කර ගන්න පුළුවන්ද? උත්සාහ නොදරා, අරුත් ගැන්වීම් නොකර පූර්ණ සාවධාන වීමක් කරන්න ඔබට පුළුවන්ද? අපි ගොඩක් දෙනෙකුට අවධානය කියන්නෙ මනස එක්තැන් කිරීමක්. එතන තියෙනවා සුවිශේෂී කොට සිතීමක්. ඒ සුවිශේෂී සිතීම කියන බාධාවත් එක්ක විප්ලවය සිදුවෙන්න බෑ. ඒක සාපේක්‍ෂ දෙයක් නොවෙන හින්ද. ඒක නිරපේක්ෂ හින්ද. මට හිතෙන්නෙ පුද්ගලයෙක් තුල සිද්ද වෙන්න ඕන විප්ලවය මේකයි. එතනදි විතරයි ඇත්ත නිර්මාණශීලීත්වයක් නිදහස් වෙන්න පුළුවන්.

මනස, අධ්‍යාපනයෙන්, සමාජයෙන්, අපේ දැනුමෙන්, අපිම එකතු කර ගත් අත්දැකීම් වලින් රාමු ගත වෙලා ඉවරයි. ඒක අච්චුවකින් හැදිලා තියෙන්නෙ. පරිසරයෙන් විතරක් නෙමෙයි. අපි පරිසරයට සහ සම්බන්ධතා වලට ප‍්‍රතිචාර දක්වපු විදිහෙන් ඒ අච්චුව සකස් වෙලා තියෙන්නෙ.
ඔයගොල්ලො මාව අහගෙන ඉන්නවා විතරක් නෙමෙයි. අපේ සිතීමේ ක‍්‍රියාවලියත් නිරීක්‍ෂණය කරනවා. මම කියන්නෙ ඔයාගෙ මනසෙ සිද්ද වෙන දේ ගැන විස්තරයක් විතරයි. ඒත් කවුරු හරි තමන්ගේ සිතීම ගැන ඇත්තට අවදියෙන් සිටියොත් එයාට පෙනේවි අපේ මනස රාමුගතයි කියල. කොයි තරම් ඒක වෙනස් කරන්න උත්සාහ කළත් අපි කරන්නෙ ඒ හිරගෙදරම තැන් මාරු කරනවා විතරයි කියල. ඒක විප්ලවයක් නෙවෙයි.

ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕන. අපේ මනස හින්දු, මුස්ලිම් හෝ වෙන මොකක් හරි විදිහකට රාමුගත වෙලා නම් ඒ රාමුවේ රටාවට අනුව සිද්ද වෙන කිසිම වෙනසක් පදනමින්ම සිදුවෙන විප්ලවයක් නෙවෙයි. හැම අභියෝගයක්ම අලූත්. ඒත් මනස පරණ විදිහට රාමුගත නිසා අපි අභියෝගයට මුහුණ දෙන්නෙ පරණ විදිහට. ඒක කොහොමවත් ප‍්‍රමාණවත් ප‍්‍රතිචාර දැක්වීමක් වෙන්නෙ නෑ.

-ජේ ක‍්‍රිෂ්ණමූර්ති

No comments:

Post a Comment