Sunday, July 24, 2011

සිනමාව කියන්නෙ ජීවිතය..නැවත ජීවිතය.


චිත‍්‍රපටි හදන්න හිතන සහ හදන අයගෙන් අහන්න තියෙන පිලිවෙලක් නැති ප‍්‍රශ්න කීපයක් තියෙනවා. මේ ඒවා අතරන් කීපයක්.

එක චිත‍්‍රපටියකට වඩා තව එකක් හොඳයි කියලා කියන්නෙ කොහොමද?

මෙගා එකකට කරන්න බැරි චිත‍්‍රපටියකින් කරන්න පුළුවන් දේවල් මොනවද?

චිත‍්‍රපටි හදන්නෙ මොකටද?

ඒත් ලංකාවෙ අපි හිතන්නෙ ඊට වඩා හු`ගක් ලොකු ප‍්‍රශ්න.

මම චිත‍්‍රපටිය හදන්නෙ කාන් වලටද? රොටර්ඩෑම් වලටද?

මගේ චිත‍්‍රපටිය හදන්නෙ තර්කොව්ස්කි වගේද? බර්ග්මාන් වගේද? නැත්තං වීරසේතුකල් වගේද? (පෝලන්තෙ චිත‍්‍රපටි ඉස්කෝලෙදි එහේ හිටපු හැමෝටම තිබුණෙ බැට් සින්ඩ්‍රෝමය. ඒ කියන්නෙ බර්ග්මාන්, ඇන්ටෝනියෝනි, තර්කොව්ස්කි ආවේස වීම. මෙහේ ඒකෙ වෙන විදිහක්*

චිත‍්‍රපටිය හදන්න සල්ලි හොයාගන්නෙ කොහොමද? හර්බ්ට් බාස් දානවද? (ප‍්‍රසන්න විතානගේ වගේ* මනෝගෙ කොම්පැණියෙන් ගහනවද? (සංජීව පුෂ්පකුමාර වගේ* මොකවත්ම නැත්තං විතරක් ලක්ෂෙකින් දෙකකින් ගහනවද? (චින්තන-උදයා වගේ*

මේ හැම එකකින්ම පේන එක ඇත්තක් තියෙනවා. ඒ තමයි අපේ රටේ ඇත්ත චිත‍්‍රපටි හැදෙන්නෙ නෑ කියන එක. චිත‍්‍රපටිකරුවකේ විදිහට අපි අපෙන්ම අහලා විසඳගෙන අපේ ප‍්‍රකාශනයක් වෙනුවෙන් ගන්න ට‍්‍රයි එකකට වඩා ලංකාවෙ මුණගැහෙන්නෙ ෆේක් එකක්. බොරුවක්. ඒකෙ බරපතල අවුලක් තියෙනවා. ඒ තමයි අපේ රටේ සිනමාව කියලා ස්ථාවර වෙලා තියෙන්නෙ ඇත්ත ආර්ට් එකක් නොවෙන එක. නැත්තං එහෙම ඇත්ත ගවේශණයක් ගැන දෙබසක් අපේ රටේ නැති එක. සිනමාව කියලා අපේ සංවිධානය කරන හරි ලියන හරි හැම දේකින්ම වෙන්නෙ මේ බොරුව පිම්බෙන එක විතරයි. අපේ රටේ දැනුම කියලා ආනයනය කරලා බෙදාහරින කිසිම දෙයක් සිනමාව ගැන ආත්ම විශ්ලේෂණයකට යන්න පොළඹවන්නෙ නෑ. ඒ වෙනුවට තවත් ලොකුවට ඒ බොරුව නිර්මාණය කරනවා. සම්මාන ගන්න, දෙවිවරු වගේ බැබලෙන්න මිසක් ජීවිතය කියවන්න සිනමාව පාවිච්චි කරන හැටියක් ගැන අපේ සංවාදයක් වත් පුහුණුවක් වත් නෑ.

’ඉස්සර චිත‍්‍රපටිකාරයෙක් කිව්වම මිනිස්සු බැලූවෙ හරි ගෞරවේකින්. ඒත් මේ හැන්ඩිකැම් වලිනුත් චිත‍්‍රපටි හදන්න ගත්තට පස්සෙ ඒ ඔක්කොම නැති වුණා‘

එක දවසක් ලංකාවෙ ඉතාමත් ප‍්‍රගතිශීලි කියන සිනමාකරුවෙක් කියද්දි මට ඇහුණා.

මේ සිතීම ගැන අදහසින් ඉද්දි දවසක් මට රේ කානි කියපු කතාවක් මුණගැහෙනවා. ‘‘මම මෙතන කියන කිසි දෙයක් පොත් වලින් කියවලා හෝ චිත‍්‍රපටි ගැන ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදිහට පංතියෙදි අහපු හෝ දේවල් නෙමෙයි. මේ දේවල් ආර්ටිස්ට්ලාගේ ලියුම්, දිනපොත් සහ ඒ අය කරපු වැඩ වලින් එකතු වුණු අදහස්. මම ආර්ට් ගැන දන්න දේවල් ගොඩක් වගේම මම ජීවිතය ගැන දැනගත්ත දේවල් ගොඩක් වෙනුවෙනුත් මම ආර්ටිස්ට්ලට ණයගැතියි. ඒ අය හොඳ ගුරුවරු, මම දන්න විචාරකයන්ට සහ ප්‍රොෆෙසර්ලට වැඩිය. මම මේ අදහස් අතීතයෙදිත්, වර්තමානයෙදිත්, අනාගතයෙදිත් හිටපු, ඉන්න සහ ඇතිවෙන ආර්ටිස්ට්ලා වෙනුවෙන් පුද කරනවා‘‘

ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ (මං කැමති නෑ කලාකාරයා කියන වචනෙ පාවිච්චි කරන්න* අනිත් හැමදේකටම වඩා ඇත්ත කියන කෙනෙක්. මාධ්‍ය වලින් පුම්බපු පුස්ලෝඩං සහ ඒවා කරමින් ඉන්න බොරුකාරයො විතරක් ඉන්න සමාජයක මෙහෙම අය ඉන්නෙ එක්කෙනයි දෙන්නයි. ආර්ටිස්ට් කෙනෙක් කොඳුරනවා අනිත් කිසි කෙනෙක් කියන්න කටවත් අරින්නෙ නැති රහස්. එයා එයාගෙ ජීවිතය ගැන පුද්ගලිකම රහස් හා අත්දැකීම් අනිත් අය එක්ක බෙදා ගන්නවා. බය වෙන්න දෙයක් නෑ. අතිශය පුද්ගලික දේවල් කතා කරන්න. ජීවිතේ ගැන ඔබේ අවිනිශ්චිතතා සහ සැක අනිත් හැමෝටමත් එහෙමයි.

බොරු හැ`ගුම්බර මනස්ගාත වලින් හැමදෙයක්ම පිරිලා හින්ද අපිට ඇත්ත දෙයක් දකින්න අමාරුයි. අපි බලන චිත‍්‍රපටිවල හැ`ගීම් හරියට පොප් සිංදුවක වගේ ක්ලීෂේ ගොඩක්. මැගසින්, ටීවී ප්‍රෝග‍්‍රෑම් විතරක් නෙමෙයි ප‍්‍රවෘත්ති පවා ක්ලීෂේ. අපි අපේ සංස්කෘතියෙ විදිහට ගැළපෙන චිත‍්‍රපටි හදන්න ඕනද? නැත්තං මහින්ද චින්තනයට හරි වෙන මොකක් හරි දර්ශනවාදෙකට ගැළපෙන්න චිත‍්‍රපටි හදන්න ඕනද? කාලයක් තිබුණ හැමෝම ඞ එකට ගැළපෙන විදිහට චිත‍්‍රපටි හැදුවා. එළියෙ අපි ජීවත් වෙන සංස්කෘතිය අපිට බලපානවා තමයි. ඒත් අපි අපේ චිත‍්‍රපටිය හදන්නෙ අපිට ඇත්තටම හිතෙන දේ ගැනද, නැත්තං අපිට හිතන්න බලකරන දේ ගැනද කියලා අවධානවත් වුණොත් අපිට පුළුවන් වෙයි මේ අවුල ලිහාගන්න.

අපිට ඇත්ත හැ`ගීම් දකින්න පුළුවන් සිනමාවක් නෑ. හැමදේම ප්ලාස්ටික්. අනුකරණ. ඒක නිසා ඇත්ත හැ`ගීමක් දැක්කොත් එකපාරටම අපිව තිගැස්සෙනවා. නැත්තං හිනා යනවා. මයික් ලේ එක තැනක කියනවා එයා බලපු වේදිකා නාට්‍යයක නිෂ්පාදකයන් බලාපෙරොත්තු නොවුණු විදිහට පි`ගන් ගොඩක් තිබ්බ මේසයක් එකපාරට කඩන් වැටුණලූ. එතකොට ර`ගපාන අය ඒ පි`ගන් අල්ල ගන්න ද`ගලද්දි ආපු ඇත්ත ඉරියවු එක්ක මුලූ නාට්‍යය පුරාම ඒ අය කරපු බොරුව පේන්න ගත්තලූ.

ඕන මෝඩයෙකුට පුළුවන් දුර රූපයක ගොඩක් වෙලා තියාගෙන ඉඳලා යටින් ලා මියුසික් එකක් යවලා තනිකම නැත්තං හුදකලාව පෙන්නන්න. හෑන්ඞ් හෙල්ඞ් නැත්තං ‘පොයින්ට් ඔෆ් විව්‘ ෂොට් එකකින් අනතුරක් දනවන්න. කී ලයිට් ගහලා බය පෙන්නන්න. ජම්ප් එඩිට් එකකින් පුදුමය පෙන්නන්න. ඒ වගේ මැජික් මැජික්කාරයන්ට තියන්න. මොකක් හරි වෙලාවකදි අපි හිතනවා නම් වැඩිය මොඞ්/ සම්භාව්‍ය විදිහකට දෙයක් චිත‍්‍රපටියකට ගේන්න, ඒ කියන්නෙ අපි වට්ටෝරුවට වැටිලා. අපි ජීවිතේ ගැන කියන්න ෂෝට් කට් හොයනවා.

අපි චිත‍්‍රපටියක් කියලා හිතන්නෙ ‘හොඳ කතාවක්‘. ඒ හිතුවිල්ල හරිම ළදරුයි. චිත‍්‍රපටියක් කියන්නෙ කතාවකට වැඩිය හු`ගක් ලොකු දෙයක්. චිත‍්‍රපටියකින් පුළුවන් මිනිස්සුන්ට අලූත් විදිහකට දේවල් දකින්න, අහන්න පුරුදු කරන්න. ඒකට කතාවට පිටින් අත්දැකීමක් විදිහට චිත‍්‍රපටිය තේරුම් ගන්න පුළුවන් පරිණතකමක් ඕන. අපි අත්දැකීමක් ඇතුළට යනවා. දාර්ශනිකයො වගේ දේවල් පැහැදිලි කරන්න නෙමෙයි. අපි දන්නෙත් නැති අත්දැකීමක් ඇතුලට අපි රූප දිගේ ගමන් කරනවා. ඒ අවංකකමයි අපේ චිත‍්‍රපටිය නරඹන පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්නෙ. අපි කොයිතරම් සියුම් දේවල් චිත‍්‍රපටියකින් කියනවද කියන එකයි නිර්මාණශීලීත්වය. කොයි තරම් අලූත් විදිහට විඳින්න මිනිස්සුන්ව පුරුදු කරනවාද කියන එකයි වැදගත්. හොඳ චිත‍්‍රපටියක් කියන්නෙ මොළයේ සැත්කමක්. ස්නායු පද්ධතිය අලූතෙන් වයරින් කරනවා වගේ වැඩක්. ඒත් ඒකට චිත‍්‍රපටිය හදන කෙනාට ඒක ඇත්තටම දැනිලා තියෙන්න ඕන. දැනෙන්න තරම් ගැඹුරක් තියෙන්න ඕන.

තෝරගන්න ප‍්‍රධාන චරිතෙ සහ එයාගෙ ආශාවන් වටා චිත‍්‍රපටිය ලියාගෙන යන එක අපි සාමාන්‍යයෙන් කරන විදිහ. ඒක අපිට එන්නෙ හොලිවුඞ් චිත‍්‍රපටි වලින්. ඒත් ජීවිතේ එහෙම නෑ. ඒක ලක්‍ෂ්‍යයකට නාභිගත කරන්න ගියාම හරි කැත වෙනවා. චිත‍්‍රපටිය ලියද්දි ගලාගෙන යන්න ඉඩ දෙන්න. චිත‍්‍රපටියෙ චරිත ලියද්දි තමන් ගැන හිතන්න. අපි කියන්නෙ අපි විසින් අපි කියලා හිතන අපිට නෙමෙයි. ඇත්තටම ඊට ප‍්‍රතිවිරුද්ධ ‘අපි‘ට. අපි කියන්නෙ අපේ ආශාවන්, උගත්කම්, අරමුණු නෙමෙයි. අපි කියන්නෙ අපි සවිඥාණකව තේරුම් ගන්න ටිකට නෙමෙයි. ඒක නිසා අපි ගැන කියනවා නම් ඒ ගොඩනැගීම සිද්ද වෙන හැ`ගීම් සහ බුද්ධිමය පද්ධතීන් ගැන හිතන්න.

චිත‍්‍රපටි දැන් මේ විදිහට රෝගයක් හෝ විකාරයක් වගේ වෙමින් යන්නෙ චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරු බිස්නස්කාරයො වෙමින් යන නිසා කියල රේ කානි කියනවා. එයා එතනදි උදාහරණ විදිහට ගන්නෙ ස්පීල්බර්ග් ව. බිස්නස්කාරයන්ගෙ සිනමාව වෙනුවට ආර්ටිස්ට්ලාගේ සිනමාවක් අපිට අවශ්‍යයි කියල රේ කානි කියන්නෙ ඒක වෙන්න පුළුවන් එකම තැනත් ස්වාධින සිනමාව කියල අවධාරණය කරමින්.

ෆිල්ම් උගන්නන අය හරි කැමතියි ගෝඞ් ෆාදර්, පල්ප් ෆික්ෂන් හරි බ්ලේඞ් රනර් වගේ චිත‍්‍රපටි උදාහරණ විදිහට අරන් උගන්නන්න. ඒ අය කවදාවත් ‘වැන්ඩා‘ ‘ස්ලීප් වත් ඇන්ගර්‘ වගේ චිත‍්‍රපටි ගැන කතා කරන්නෙ නෑ. ඒවා කතා කරන්න ජීවිතය ගැන දැනුම, දේශපාලනය වගේ දේවල් ඕන වෙනවා. ඒත් කලින් කියපු චිත‍්‍රපටි කිසි ගාණකට නැතුව ආකෘති විදිහට උගන්නගෙන යන්න පුළුවන්. අරමුණක් සොයා ගෙන යන, ප‍්‍රහේලිකා විසඳන චිත‍්‍රපටි ජනප‍්‍රිය වෙන්නෙ ඒවා හු`ගක් අඩු බුද්ධි මට්ටමකින් තේරුම් ගන්න පුළුවන් නිසා. කිසි ජීවිතේ ගැඹුරක් හෝ අත්දැකීමක් ඒවා තේරුම් ගන්න ඕන නොවෙන හින්ද. ජෝන් ලෙනන් කියනවා, ජීවිතේ කියන්නෙ අපි සැලසුම් කරද්දි එලියෙ සිද්ද වෙන දේ කියල.

හු`ගක් මෑතක අපිචත්පොන්ග් වීරසේතුකල්ගෙ ‘අතීත ජීවිත සිහි කළ හැකි අන්කල් බුම්මෙ‘ බලන්න ගත්තම මට හිතුනා වීරසේතුකල් මොන තරම් අවංකද කියල. උදේ පාන්දර මී හරකෙක් කඹයක් ලිහාගෙන යන තැනකින් චිත‍්‍රපටිය ආරම්භ වෙනවා. ඒ දෙබස් කියවද්දි මට මං ගැනම ලැජ්ජ හිතුණා. කියන්න ඕන දෙයක් ගැන අපේ චිත‍්‍රපටි වල චරිත කතා කරද්දි වීරසේතුකල්ගෙ චිත‍්‍රපටිවල චරිත කතා කරන්නෙ අරමුණක් නැතුව. හැ`ගීමක් වෙනුවෙන්. ඇත්ත ජීවිතේදි වගේම ඒ දෙබස් ඉබාගාතෙ යනවා. හරිම සියුම් විදිහට නිරායාසයෙන් හැ`ගීම් දෙනවා. ඒ චරිත හුස්ම ගන්නවා අපිට දැනෙනවා. අපිත් ඒ චරිත මැද්දෙ ඉඳන් ඕපා¥ප කියනවා. ඒත් අපේ චිත‍්‍රපටි වල චරිත මොනතරම් කාඩබෝඞ්ද? ඒ චරිත ලියපු අපි කොයි තරම් කාඞ්බෝඞ් ද?

ඇයි හැම චිත‍්‍රපටියකම ආදර කතාවක් තියෙන්නෙ? නැත්තං සෙක්ස් සීන්ස් තියෙන්නෙ? ඒකෙන් පේන්නෙ චිත‍්‍රපටියෙ අධ්‍යක්‍ෂවරයාට තනි චරිත ගැන හිතා ගන්න බැරිකම. අපි ආසයි ආදර කතා බලන්න, මොකද එතකොට අපිට පුළුවන් අපේ ඇත්ත මගඇරලා ඉන්න. අපි ආසයි ලිංගික දර්ශන බලන්න, මොකද අපිට පුළුවන් එතකොට තෘප්තිමත් වෙන්න. ඒත් ඒක ජීවිතේ ගැන ඇත්ත නෙමෙයි.

දන්නවා වැඩිකම තමයි ආර්ට් එකකට තියෙන ලොකුම බාධාව. අධ්‍යක්‍ෂ දන්නවා චරිතවලට මොනවද වෙන්නෙ කියල. චරිත දන්නවා ඊළ`ගට මොකද වෙන්නෙ කියල. පේ‍්‍රක්‍ෂකයාත් දන්නවා අනිත් හැමෝම දන්න දේ. ඉතිං මොකද්ද මේ චිත‍්‍රපටියෙන් වෙන්න පුළුවන්? ඒක හරි බෝරිං. ජීවිතේ දේවල් වෙන්නෙ දැනගෙන නෙමෙයි. තර්කොව්ස්කිගේ සැක්රිෆයිස් චිත‍්‍රපටියෙ එක තැනක ලොකු සද්දයක් ඇහෙනවා. කිරි ජොග්ගුවක් ඉහිරෙනවා. ඇත්තට සද්දෙ ඇතිවෙච්ච හැටි පෙන්නන්නෙ නැතුව මේ ටික පෙන්නන එක මේ තරම් දැනෙන්නෙ ඇයි? ජීවිතේ පෙන්නන දේට වඩා දේවල් පෙන්නන්න යන්න එපා කියල රේ කානි කියනවා.

චිත‍්‍රපටියෙන් කියන්නෙ යන්නෙ මොනවද කියලා හදන්න කලින් දැනගන්න ඕන කියල සිද්ධාන්තයක් වගේ එකක් අපේ රටේ චිත‍්‍රපටි හදද්දි මුණ ගැහෙනවා. චිත‍්‍රපටියක් හදද්දි ඒක දැනගෙන පටන් ගන්න නම් එපා. චිත‍්‍රපටියක් කියන්නෙ සංවාදයක්. අධ්‍යක්‍ෂවරයාත් ඒක ඇතුලෙ හොයාගෙන යන්න ඕන. චරිත වල ඇතුල් සිතුවිලි, සිද්ධි වලට මුහුණ දෙන හැටි, මේ දේවල් කලින් නිශ්චය කරන්න බෑ. චිත‍්‍රපටියෙදි මුණ ගැහෙන්න ඕන.

සමහර වෙලාවට මට හිතෙනවා අපේ රටේ මෙගා නාට්‍ය චිත‍්‍රපටි වලට වඩා ගැඹුරුයි කියල. එකම අච්චුවකට තියල හදන එක මෙගා වලටත් චිත‍්‍රපටි වලටත් දෙකටම පොදුයි. ඒත් හු`ගක් සම්භාව්‍ය කියන චිත‍්‍රපටි වලට වඩා හොඳට සමහර මෙගා වල ජීවිතේට කැමරාව අල්ලනවා. දැන් මෙගා වල චරිත මූණ දෙන ප‍්‍රශ්න සංකීර්ණයි චිත‍්‍රපටි වල චරිත මූණ දෙන බ්‍රොයිලර් ප‍්‍රශ්න වලට වඩා.

‘‘චිත‍්‍රපටිය කරද්දි කීපවතාවක් චරිත නැවත නැවත වෙනස් කළේ නැත්නම් ඔබ විවෘත මනසකින් චිත‍්‍රපටිය කරලා නැහැ. ඔබට වෙනස් වෙන්න ඉඩක් තියාගෙන නෑ. ජෝන් කැසවේටිස් කීප වතාවක් නැවත නැවත එඩිට් කරමින් චරිත ගැන තමන්ගෙ අදහස් වෙනස් කළා.’’

- රේ කානි.
‘‘චිත‍්‍රපටි කරනවා කියන්නෙ ගවේෂණය. මම මොන එහෙකටද මම දැනටමත් දන්න දෙයක් ගැන චිත‍්‍රපටියක් හදන්නෙ?’’

-ජෝන් කැසවේටිස්

(රේ කානිගේ ලිපියක අනුවර්තනයක්.*

(රේ කානි- ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ චිත‍්‍රපට අංශයේ ආචාර්යවරයෙක්. චිත‍්‍රපට සම්බන්ධ න්‍යාය ඉදරිපත් කරන්නෙක් සහ විචාරකයෙක්*

චින්තන ධර්මදාස

No comments:

Post a Comment