Sunday, July 24, 2011

සුද්දා ගල විද්දෙ නැත්තං අපි තාම මුහුද දැකලා නෑ.


ලෝකෙ හැමෝටම එක එක විදිහෙ හීන තියෙනව. සමහර ඒවා ඉතාම පෞද්ගලික ඒවා වෙන අතරෙ සමහර ඒවා පොදුවේ රටේ හැමෝටම තියෙන ඒවා. එහෙම තියෙන හීන අතරෙන් මම හිතන්නෙ ලෝකෙ තියෙන ප‍්‍රසිද්දම හීනය තමයි ‘ඇමරිකානු සිහිනය’ කියන එක. ඇමරිකානුවො ඒ අයගෙ චිත‍්‍රපටි, පොතපත, ගීත වැනි මාධ්‍ය හරහා නිතරම ඒ ගැන කතා කරන හින්ද අපිත් දැන් ඒ ගැන ටිකක් දන්නව. මුලින්ම 18,19 ශතවර්ෂ වල යුරෝපීය තරුණයො ඒ හීනෙ හොයාගෙන ඇමරිකාවට ගිය හැටි, ඊට පස්සෙ සෙසු ලෝකයා ඒක හොයාගෙන ඇමරිකාවට ආපු හැටි, යම් යම් ප‍්‍රමාන වලින් ඒක අත්පත් කරගත්ත හැටි හා එය බිඳ වැටුනු හැටි ගැන වගේම ඇමරිකානු හීනය කියන්නෙ මොකක්ද කියන එක ගැනත් ඒ අය කතා කරනවා...ඉතින් ඇමරිකානු හීනය ගැන කියවන්න ලැබුනු ල`ගදි දවසක මට ශ‍්‍රී ලාංකේය හීනය කියන්නෙ මොකක් වෙන්න ඇද්ද, එහෙම හීනයක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවද, තියෙනවනම් ඒක මොන වගේද කියල හොයල බලන්න හිතුන...එක එක විදිහට හොයල බලද්දි විවිධ අයට විවිධ හීන තිබුන බව පෙනුණත් පොදු වශයෙන් ලාංකීය සිහිනය කියන එක ගැන මගෙ ඔලූවට ආවෙ මේ වගේ අදහසක්.

”දේශපාලන වශයෙන් ගත්තහම ස්වාධීන, ආර්ථික ලෙස ස්වයංපෝෂිත හා සමෘධිමත්, සිංහල බෞද්ධ දර්ශනයෙන් ලොව වස`ගයට ගත්තු, ඒ වගේම අග්නිදිග ආසියාවේ විශාලම දේවල් සියල්ල හිමි ලෝකයේ ප‍්‍රධාන පෙලේ රාජ්‍යයක ආඩම්බරකාර මිනිසුන් බවට පත්වීම” වගේ එකක්.

බැලූ බැල්මටම මේක හරි ෂෝක් හීනයක් වගේ පෙනුණත් අවාසනාවකට මේකෙ ලොකු අභ්‍යන්තරික ප‍්‍රතිවිරෝධයක් තියෙන බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනව. ඒක තමයි ආර්ථික හා සංස්කෘතික සමෘධිය කියන එකත්, ස්වාධීන බව කියන එකත් ලංකාව වගේ කුඩා අසම්පූර්ණ අතාර්කික භූමි කලාපයක එකට පිහිටන්නෙ නැති න්‍යාය විරෝධයන් වීම. ඒ කියන්නෙ ලංකාව ස්වභාවිකවම තනි රාජ්‍යයක් බවට පත්වීමට නිර්මාණය වුනු බිම් කඩක් නෙමෙයි. ඒකෙ ඉරණම වෙන්නෙ විශාල රාජ්‍යයක කොටසක් විදිහට පැවතීම පමණයි.

මම එහෙම කියන්නෙ ලෝක ඉතිහාසය මුළුල්ලේම රටවල් වල ඉරණම තීරණය වීම සම්බන්ධයෙන් බලපාපු ඉතාම පැහැදිලි න්‍යායික හේතු කිහිපයක් හින්දයි. ලංකාවෙ අපි සලකන්නෙ නැති උනාට ලෝකෙ යම් භූමි කලාපයකට තනි රටක් හැටියට පවතින්න අවශ්‍ය කරන ස්වභාවික භූගෝලීය අනිවාර්යතා රාශියක් තියෙනව... යැපීමට හෝ මහා පරිමාණ ලෙස ව්‍යාපාරික කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය තරම් ප‍්‍රමාණවත් වගා කළ හැකි ඉඩම්, ලෝක ආර්ථික කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන අකාරයේ ඛනිජ සම්පත්, ලොව සෙසු දියුණු රටවල් අසල වෙළඳපොලක් ලෙස භාවිතා කලහැකි අන්දමේ පිහිටීමක්, ලෝකයට බලපෑම් කල හැකි අන්දමේ සංස්කෘතියක් හා මානව සම්පතක් තිබීම ඒ අතර ප‍්‍රධානයි... හැබැයි ලංකාව සතුව මේ එකදු සාධකයක්වත් නැහැ. අපිට තියෙන ඛනිජ ද්‍රව්‍ය ලෝක ආර්ථිකයේ කටයුතු සදහා අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයි, භූමියත් මහා පරිමාණ ලෙස ව්‍යාපාරික කෘෂිකර්මයේ යෙදීමට තරම් ප‍්‍රමාණවත් නැහැ, සංස්කෘතිය හෝ මිනිසුන් වුණත් ලෝකයට බලපෑ හැකි මට්ටමට දියණුු නැහැ. ඇත්තටම අපේ පිහිටීම වුණත් ඔය කියන තරම් වැදගත් නැහැ, අපේ රට වටේට තියෙන්නෙ තවත් දුප්පත් රටවල් ටිකක් විතරයි. ඉතින් ලංකාව කියන්නෙ ස්වාධීන රටක් වෙන්න අවශ්‍ය කරන තාර්කික පසුබිම සහිත භූමියක් නෙමෙයි. ඒකට වෙන්න පුළුවන් හොදම දේ තමයි තවත් මොකක් හරි විශාල අධිරාජ්‍යයක කොටසක් වෙන එක.
ඉතිහාසය පුරාම ලංකාව යම් ආර්ථික හා සංස්කෘතික සමෘද්ධියක් ලැබුව නම් ලැබුවෙ එහෙම යුගවලදි විතරයි. ලංකාවෙ විශාල ආගමික ගොඩනැගිලි ඉදිකරපු, තරමක් හොඳ කලා නිර්මාණ බිහිකරපු, ඒවගේම හොඳ වාරි කර්මාන්තයක් තිබුණු කාලය වන අනුරාධපුර පොලොන්නරු යුගය කියන්නෙත් එහෙම යුගයක්. ඉන්දියානු ඉතිහාසඥ ඒ.එල්. බෂාම් කියන විදිහට ඒ යුගයෙදි සෘජුවම ලංකාව ඉන්දියාවෙ නිත්‍ය විජිතයක් විදිහටයි සැලකුනෙ. එහෙම නැතුව ස්වාධීන රාජ්‍යයක් විදිහට නෙමෙයි. ඒ කාලෙ ලංකාව කියන්නෙ ඉන්දියානු රාජ්‍යත්වයට අයිති තවත් එක ඉඩමක් විතරයි. ඒගොල්ලො මෙහෙ ඇවිල්ල නතර වෙලා හිටියට රාජ්‍ය පාලනය සදහා අවශ්‍ය වන සියලූම සංස්කෘතික කාරණා හැඩගැහුනෙ ඉන්දියාවෙ. ආවාහ විවාහ කටයුතු පවා කෙරුනෙ එහෙන්. ඒ අයට තමන්ගෙ ආර්ථික හා සංස්කෘතික නිෂ්පාදන විකුණා ගැනීමට හා හුවමාරු කරගැනීමට සුදුසු ඔවුන්ගේ රටේම තවත් කොටසක් විදිහට තමයි ලංකාව පාවිච්චි කළේ. ඉතාම සරලව කියනව නම් ලංකාව කියන්නෙ වෙළඳපොලක් මිසක් රටක් නෙමෙයි. ඒක ඉන්දියාවට එකතු වුණහම තමයි රට හැදුනෙ. ලංකාව තමන්ගෙ ඉතිහාසයේ ඉහළම තැනට ගියෙ ඉන්දියාව ගුප්ත හා විජයනගර් අධිරාජ්‍යයන් හරහා ඔවුන්ගෙ ඉතිහාසයෙ ඉහළම තැනට ගිය වෙලාවෙදිම වෙන්නෙ අහම්බෙකින් නෙමෙයි. ලංකාවෙ බොහෝ අය පිලිගන්න අකමැති වුණාට ලාංකීය රජවරු සියලූ දෙනාම පාහේ ඉන්දියාව තම මව්බිම ලෙස සලකපු ද්‍රවිඩ සම්භව‍යක් සහිත අයයි. ඔවුන් අතරින් විශිෂ්ටතමයා වන මහා පරාක‍්‍රමභාහු නිසැකවම ද්‍රවිඩ රජකෙනෙකු බව දැන් වෙද්දි ඉතිහාසඥයන් වැඩි දෙනෙකු විසින් අනාවරණය කරගෙන හමාරයි. ඔහු ඉන්දියාව පවා ආක‍්‍රමණය කලායැයි පැවසෙන පුවතෙහි පසුපස පවා තිබෙන්නේ ඔහුගේ ඉන්දීය ද්‍රවිඩ සම්භවය සම්බන්ධ කතාවක් විතරයි. ඒක හරියට ඈතක තියෙන තමන්ගෙ ඉඩමක් බලාගන්න ගිහින් හිටපු පුතා මහගෙදරට ඇවිල්ල සද්දයක් දාල ගියා වගේ වැඩක් බව තමයි ඉන්දීය ඉතිහාසඥයන්ගෙ අදහස වෙන්නෙ.

ස්වාධීන රාජ්‍ය සහිත ¥පත් වල සාමාන්‍යයෙන් විශිෂ්ට සංස්කෘතීන් හෝ පුද්ගලයන් බිහිවෙන්නෙ නැහැ . ලෝකෙ කොහෙන් ගත්තත් ඒ උදාහරණය එහෙම්මම තමයි. ක‍්‍රීටය, සිසිලිය, වගේ ¥පත් වලින් මහා දාර්ශනිකයො බිහි වුණේ ඒව විශාල අධිරාජ්‍යයන්ට යටත්ව පිහිටලා තිබූ නිසයි. ඒක එහෙම නෙවෙයිනම් පැපුවා නිව්ගිනියාව, තිමෝරය, මැඩගස්කරය වගේ ¥පත් වලිනුත් විශිෂ්ට සන්ස්කෘති බිහිවිය යුතුව තිබුණා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. 12වෙනි හා 13වෙනි සියවස් වලින් පස්සෙ මුස්ලිම් ආක‍්‍රමණ හින්ද පැරණි ඉන්දියානු ශිෂ්ටාචාරයේ බිඳ වැටීමත් , ලංකාව එහි ශ්‍රේෂ්ට යයි කියාගන්නා ඉතිහාස යුගයේ නිමාවත් සිද්ද වෙන්නෙ එකම කාලයක. ඒකෙන් පැහැදිලිවම පේනවා ලංකාව අධිරාජ්‍යයකින් ස්වාධීන වුණහම තනිවම වැඩෙන්න පුළුවන් රටක් නෙමෙයි කියල. 16 වෙනි ශතවර්ෂයේ යුරෝපීයන් ලංකාවට එනකොට අපි ඊනියා ස්වාධීන ජාතියක්. හැබැයි රොබට් නොක්ස් ඇතුළු යුරෝපීය වාර්තාකරුවන් කියන විදිහට ඒ වෙද්දි අපි ඇඳුම් වෙනුවට එක රෙදි කෑල්ලක් විතරක් ඇඳපු, රැුවුල කොන්ඩෙ නොකපපු, ප‍්‍රාථමික කෘෂිකර්මයෙන් හා සතුන්ට උගුල් ඇටවීමෙන් කෑම හොයා ගත්තු, කුඩා මඩු වල වාසය කරපු, යන්තම් වයස 40 පිරෙන විට වසන්ගත රෝග වලින් මියගිය, රටේ නීතියක් තිබුණෙ නැති, ද`ඩුවම් ලෙස තමන්ගේම බාහු වල මස් කෑමට නියෝග ලැබුණු, අර්ධ ම්ලේච්ච මිනිස්සු ජාතියක්. ඒ කාලෙ අපි ස්වාධීන ¥පතකට ස්වභාවිකවම උරුම පැපුවා නිව්ගිනියානු වර්ගයේ ඉරණමකට යමිනුයි හිටියේ. යුරෝපීය ජාතිකයන්ගෙ වාර්තා බොරුයි කියල කවුරු හරි හිතනව නම් ක‍්‍රි.ව.1300ට පෙර ලංකාව ඉන්දියාවෙ නිත්‍ය විජිතයක්ව පැවති කාලයේ බිහිකළ ගෘහ නිර්මාණ,චිත‍්‍ර හා සෙසු කලා ශිල්පත් ඉන් පසු ලංකාව ස්වාධීන වූ කාලයේ බිහි කල නුවර යුගයේ චිත‍්‍ර හා බලි රූප ඇතුළු ප‍්‍රාථමික තත්වයේ කලා කෘතීනුත් සංසන්දනය කරල බලන්න පුළුවන්.



ඇත්තටම මේක ලංකාව ඇතුළු ¥පත් වලට පමණක් බලපාපු තත්වයක් නෙමෙයි. රටවල් බවට පත්වුණු අසම්පූර්ණ, අතාර්කික බිම්කඩවල් හැම එකකම මේ ප‍්‍රශ්නෙ තියෙනව. 20වෙනි සියවසේදි යුරෝපීයන්ගෙන් ස්වාධීනත්වය ලැබුවට පස්සෙ අප‍්‍රිකාවෙත් මේකම වුණා. පූර්ව යුරෝපීය යුගයෙදි පැවති ඇබිනීසියාව, බගන්ඩා ශිෂ්ටාචාරය, මැන්ඩියන් ශිෂ්ටාචාරය වගේ විශාල ජාතික රාජ්‍යයන් යුරෝපීයයන්ගෙ පිටව යාමෙන් පස්සෙ නැවත විශාල අධිරාජ්‍යයන් බවට පත් නොවී කුඩා කුඩා අසම්පූර්ණ රටවල් බවට පත් වුණා. එතනදි ගොවි බිම් එක රටකට යද්දි ගොවි ගම්මාන හා වෙළඳපොල තවත් රටකට ගියා, සෘතුවෙන් සෘතුව සංක‍්‍රමණය වන එෙ`ඞ්රුන් එක රටකට බෙදෙද්දි තෘණ බිම් වෙන රටකට බෙදිල ගියා. අද අපි අඳුරු අප‍්‍රිකාව විදිහට දකින්නෙ එහෙම කිසිම තර්කයකට අනුව ගැලපිය නොහැකි අයුරින් බෙදී ගොස් අසම්පූර්ණ රාජ්‍යයන් ගණනාවක් බවට පත් වුණු විශාල කලාපයක්.

මම හිතන්නෙ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අද ලෝකෙ තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නෙ ධනවාදය හරි අධිරාජ්‍යවාදය හරි නෙමෙයි, ඒ මෝඩ ජාත්‍යාලය හින්ද ලෝකයේ භූමිය දේශපාලන ඒකක ලෙස බෙදාගෙන තියෙන අතාර්කික මෝඩ ස්වභාවය බව. ලෝකෙ තියෙන රටවල් වලින් 80% විතරම මේ විදිහෙ අතාර්කික ලෙස න්‍යාය විරෝධීව වෙන් කරගත් අසම්පූර්ණ දේශපාලන ඒකක බවත් ඒ කිසිදු රටක් රටක කොටසක් වීමට මිසක් සම්පූර්ණ රටක් වීමට ස්වභාවිකව තීරණය වී නැති බවත්, ඒ රටවල දේශපාලන හා භූගෝලීය ඉතිහාසය හැදෑරුවොත් ඔයාලටත් තේරෙයි. ඉතින් මට කියන්න ඕන වුණේ මනුෂ්‍ය වර්ගයා කියන්නෙ එහෙම ගෝත‍්‍රයක හරි ජාතියක හරි අයිතිවාසිකම් රැුකගැනීම වගේ අතිශය ප‍්‍රාථමික මෝඩ කටයුත්තක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළයුතු, දුක්විඳිය යුතු සත්ත්ව කොට්ටාශයක් නොවන බවයි. ඊට වැඩිය උසස් වැඩකටයුතු කිරීම සඳහා ඉහළ විභව ශක්තියක් මිනිස් වර්ගයා සතුව තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඔහු සොයාගෙන යා යුත්තේ එසේ වූ මනුෂ්‍යත්වයේ වඩාත් ඉහල ස්ථරයන් බවයි මගේ හැ`ගීම. ඉතිහාසයේ මේ නිශ්චිත මොහොතෙ පමණක් ජීවත් වන සුවිශේෂී සත්ත්වයන් වන අපි ලංකාව වගේ අසම්පූර්ණ රාජ්‍ය කෑල්ලක, එහෙම නැත්තං ¥පතක ජීවත් වීම තුලින් සිද්ධ වෙන්නෙ අපිට අපි තුල තිබෙන සම්පූර්ණ මනුෂ්‍යත්වය අත්විඳ ගැනීමට අවස්ථාවක් නොලැබම මිය යාමට සිද්ද වීම පමණයි. මිනිහෙකුට තම මනුෂ්‍ය දක්ෂතාවයේ ඉහළම අදියරට ල`ගාවීමට නම් ඔහු ඉපදෙන වෙලාවෙ ලෝකෙ තියෙන දියුණුම අධිරාජ්‍යයට යාව ඇති කලාපයක, වෙනත් විදිහකට කියනවනම් ලෝක දැනුම් පද්ධතියේ මුදුන් මල්කඩ බදු ස්ථානයක ඉපදීම අවශ්‍ය වෙනව. ඉතින් මගේ යෝජනාව වෙන්නෙ ලංකාව කුමක් හෝ විශාල දියුණු රාජ්‍යයක කොටසක් බවට පත්කර තමා ඉපදී ඇති කාලයේ ලෝකය තුලින් ලැබිය හැකි සියලූම අවස්ථාවන් ලබා ගැනීමට ඇති හැකියාව ලංකාවෙ මිනිසුන්ට ලබාදෙමු යන්නයි.

ඩෙනිස් පෙරේරා
Lanka Colonial Front

No comments:

Post a Comment