Sunday, June 30, 2013

රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?

සිරි පැරකුම් බලන්න මං තල්ලූ වුණේ ඒක ගැන ආපු ලොකු සද්දෙ හින්දමයි. හෝල් 55ක නඩු කියලා දාපු චණ්ඩි ෆිල්ම් එකක් වීම වගේම සෝමරත්නගේ දෙරන අවෝර්ඞ්ස් වලදි වගේ දාපු චණ්ජි ටෝක්ස් වුණත් මට බලපාන්න ඇති. අනිත් පැත්තට සූරිය අරණ, සරෝජා වගේ සෝමරත්නගේ කලින් චිත‍්‍රපටි කීපෙකට මං කැමතියි. ළමයි පාවිච්චි කරලා කරන වැඩිහිටි චිත‍්‍රපටි වට්ටෝරුවක් ගැන එයාගෙම දැනුමක් සෝමරත්නට තිබුණ. ඒක හොඳයිද නරකයිද කියන කාරණය කොහොම වුණත් ඒ වට්ටෝරුව අලූත්. සිංදු ටිකක් දාලා ලස්සන කරලා ලංකාවේ හුදී ජන පේ‍්‍රක්‍ෂකයාට විකුණන්න පුළුවන් දෙයක් හදන්න එයාට පුළුවන් වුණා. ඒ වගේම එයා පුළුවන් හැම වතාවකදිම එලියෙ දේශපාලනය ඇඞ් එකක් විදිහට පාවිච්චි කළා. උදා විදිහට සූරිය අරණෙදි හාමුදුරුවරු එක්ක වෙනම දෙබසක් පටන් ගත්තා. සරෝජා සිංහල දෙමළ ප‍්‍රශ්නෙ. එහෙම නැතුව අටවපු සිරි රජ සිරි ෆ්ලොප්. ඊට පස්සෙ සිරි පැරකුම් මේ කාලෙ නැගලා යන රජකතා  සහ ආණ්ඩුවෙන් නොමිලේ උස්සලා තියෙන ජාති ආගම්වාදී රැුල්ල උඩ තියනවා. ඒ ආපු කිසි රජ කතාවක් මේ වෙනකල් පාඩු වෙලා නෑ.

මං මේ ලිහාගන්න උත්සාහ කරන්නෙ සිරි පැරකුම් බලන්න මං මොකට ගියාද කියන ප‍්‍රශ්නෙ. සැවෝයි එකේ කලින් ෆිල්ම් එකක් බලද්දි සිරි පැරකුම් ටේ‍්‍රලර් එක දැකීමත් මට යම් හෝ බලාපොරොත්තුවක් දෙන්න හේතුවක් වෙන්න ඇති. ඒ ටේ‍්‍රලර් එක හොඳටම කරලා තිබුණ. මං කැමරා කරපු පාලිත පෙරේරාට කතා කරලා සුබ පැතුවත් එක්ක. අන්තිමට හවුස් ෆුල් දවස් කීපයක් පහුකරලා දවසක හවස ලිබර්ටි එකේ සිරි පැරකුම් බලන මහා පේ‍්‍රක්‍ෂාගාරය මැද්දෙ මාත් ඉඳගෙන හිටියා.

ඒක සම්පූර්ණ වමනෙ ගොඩක්. කියා ගන්න කතාවක් නැතුව කුඹුරෙ හරක් ටික වගේ චරිත ටික තිරය පුරා ඇවිදිනවා. අපේ ඉතිහාසෙ හැම රජකෙනෙකුටම තියෙන්නෙ එකම කතාව. රජ වාසලේ කවුරු හරි එයාව මරන්න හොයනවා. පෙට්ටියක් අස්සෙ හරි රෙද්දක් අස්සෙ හරි හැංගිලා ගමකට පැනලා යනවා. එහේදි ලොකු මහත් වෙලා බලය පාලා රජකම ගන්නවා. ඒක හරියට හින්දි චිත‍්‍රපටියක් වගේ නැගලා යන ප්ලොට් එකක් තමයි. ඒත් සිද්ධි සහ අතුරු කතා වලින් ඒක ගොඩනැගෙන්න අවශ්‍යයි. රසය තීවර කරමින් අරගෙන යන්න උවමනායි. සෝමරත්නගෙ කතාවෙ තියෙන්නෙ ආරම්භයක් විතරයි. මැදක් සහ අවසානයක් නෑ (කතාව ඉවර වෙන්නෙ නෑ කියනවා නෙමෙයි. ඉවර වුණාට වගක් නෑ) සිරි පැරකුම්බා චරිතෙ අඩු වියදමට කරන්න ගිහින් චිත‍්‍රපටිය කෙලවර වෙලා තියෙන්නෙ පැරකුම්බා ගෙයි ගෙම්බා වගේ තැනකින්. ඒ පීරියොඩිකල් චිත‍්‍රපටියක දැනෙන විශාලත්වය, දැවැන්ත බව, අභිමානය මොකක්වත් මේ චිත‍්‍රපටියෙ නෑ. යුද්ධ දර්ශන පොලොව කොටන දර්ශන තරම්වත් හොඳින් රූගත වෙලා නෑ. මේ තරම් දියුණු ත‍්‍රීඞී තාක්‍ෂණයන් නිකම්ම පීසී වල පවා තියෙද්දි සිරි පැරකුම් වල ග‍්‍රැෆික් අනාතයි. ආචාර්ය සෝමරත්නට මේ නම් කොහෙත්ම සමාව දිය හැකි කාරණා නෙමෙයි.

මං කියන්න යන කතාවට එච්චර අදාල නොවුණත් මේ කතාවෙ මට දැණුන ආතල්ජනක තැන් ටිකක් සටහන් කරගෙනම යන්නං. උඩින් කියපු රජ කතාවක් ජනප‍්‍රිය වීමේ ලා ඇති කොන්දේසි ටික ඇරුණම සෝමරත්න චිත‍්‍රපටියෙ දුවන අංශයේ ආයෝජනය තනිකරම කරලා තියෙන්නෙ පොඩි දරුවාගෙ චරිතය හරහා. මධ්‍යම පාංතික, ඉන්ටර්නැෂනල් ස්කූල් පන්නයේ දරුවන්ට ලාංකේය පොදු ජනතාවගේ තියෙන ඇඞ්වර්ටයිසින් ආකර්ශනය සෝමරත්න මෙතනදි පාවිච්චි කරනවා. පරාක‍්‍රමබාහු රජ වාසලේ හැදෙද්දිත් අපේ රටේ රජ පවුල් වල දරුවො වගේ තමයි කියුට් කියන අදහසින් (හුරතල් නෙමෙයි කියුට්). ඒ ළමයා බැරි බැරි ගානෙ දෙබස් කියන කොට, නුහුරු ඉරියව් වලින් කතා කරන කොට  ඕඩියන්ස් එකට පැරකුම්බා අමතක වෙනවා. ‘අනේ........’ කියල හිතෙනවා.

ඒ ඇරුණම චිත‍්‍රපටියෙ සිංදු ටික. ‘රට රැුකුනේ උඹ හින්දයි අම්බරුවෝ’ කියද්දි මට ඇත්තටම හිනා ගියා. මීට ටික කාලෙකට ඉස්සර රට රැුකුනේ රණ විරුවෝ හින්ද කිව්වට දැන් අපි කියන්නෙ රට රකින්නෙ හරක් කියල. සිංහල බෞද්ද හරක් මස් විරෝධයත් එක්ක පැරකුම්බා නියම දත් බෙහෙත. ඒත් ගායනය, සංගීතය අතින් ඒ සිංදු චිත‍්‍රපටියට ලොකු එලියක් දෙනවා. ඇත්තටම මට හිතුනෙ ෆිල්ම් එකේ අගය කළ යුතු එකම තැනක් විදිහට තිබුණෙ ඒ ගීත කීපය කියල. (වචන සහ අදහස් වලට මං එක`ග නොවුණත් නිමාව සහ සෞන්දර්යය අතින් හොඳ වෙහෙසක් එතන තිබුණ)

චිත‍්‍රපටිය ඇතුලෙ සෝමරත්න අතීතෙ ඉඳන් එන හාමුදුරුවරුන්ගේ බිහිසුණු බව එලිපිටම කියනවා. ඒක ඇත්තටම වෙන කවුරු හරි කළා නම් චිත‍්‍රපටිය තහනම් වෙන්නත් තිබුණ. එහෙම නැත්තං ලංකාවෙ බුද්ධ ශාසනය හැමදාම මිනීමරන තරම් ප‍්‍රචණ්ඩයි කියන එක මේ වෙද්දි අභිමානයක් වෙලා වෙන්නත් පුළුවන්. සංඝරක්ඛිත කිසිම පැකිලීමක් නැතුව පරාක‍්‍රමබාහුට රජකම දීම වෙනුවෙන් ඒ වෙද්දි රජකම් කරන එයාගෙ සොයුරා සැලසුම් සහගතව මරා දානවා. හාමුදුරුවරු පිරිසක් රැුස්වෙලා පිරිත් කියන අතරෙ අට්ටාලය ගලෙන් පහලට තල්ලූ කරන්න උපදෙස් දෙනවා. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. ඒ රජාගේ මව සිංහල බෞද්ධ නොවීම නිසා විතරයි. (මේ මරා දාන රජු පස්සෙ ගලේ බණ්ඩාර යකා වෙලා ගම් බිම් වනසන්න ගන්නවා (ගිල්ටිය). ඊට පස්සෙ ගලේ බණ්ඩාර දෙවියො කියල අදහන්න ගන්නෙ එයාව. මේ ගලේ බණ්ඩාර දෙවියන්ට සිංහල වගේම මුස්ලිම් මිනිස්සුත් පුද පූජා කරනවා. එක ගලේ බණ්ඩාර දේවාලෙක වතාවත් ඔක්කොම කරන්නෙත් මුස්ලිම් කපුවො) ඒ තරම් දැන උගත් සංඝනායක හිමිවරුන් පවා සිංහල බෞද්ධ නොවීමේ වරදට රජු වුණත් මරා දැමූ වග සෝමරත්න ලොකු තිරේ උඩ කියනවා (පිරිත් කියමින්ම ඒ අසන්නට ආ රජාව ඇතුගලෙන් පහළට තල්ලූ කර මරා දැමීම කොයිතරම් සාහසිකද?)  කළුන්දෑවේ ගමේ පන්සලේ හාමුදුරුවො පවා තමනුත් හොඳ චණ්ඩියෙක් වග කියන්නේ කිසිඳු හිරිකිතයකින් නෙමෙයි. එක්කෝ බුදු දහම කියල මේ ලංකාවට ඇවිත් තියෙන්නෙ සිවුර විතරක්ද කොහෙද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හෝ අවිහිංසාව, දැමුණු ඉඳුරන් ඇති බව, නුවණින් අවබෝධය වගේ බෞද්ධ දර්ශනයෙ කිසිවක් පැරකුම්බා කාලෙ ඉඳන්වත් තිබිලා නැති වගට සෝමරත්න සාක්කි කියනවා.

විජයබාගේ (පැරකුම්බාගේ තාත්තාගෙ) අන්තපුරය දැක්කම සසර කළකිරෙනවා. රජෙක් වුණත් අනේ පව් කියල හිතෙනවා. අඩු තරමෙන් මේ අන්තපුර මහේෂිකාවන්ගේ අලංකාරය පවත්වාගන්න තරම් වත් මුදලක් වියදම් කරන්න සෝමරත්න මැළි වෙලා වග පැහැදිලියි. ඒ වගේ විස්තර වෙනුවෙන් කිසි වියදමක් නොකරන්න තරම් බඩ තද කරගෙන ෆිල්ම් එක කළ වගට රූප රාමුවෙන් රාමුව දුප්පත්කම සාක්කි කියනවා. ආර්ට් ඩිරෙක්ෂන් (කලා අධ්‍යක්‍ෂණය) වෙසක් නාට්ටියක් ගානයි. සෙනෙවියාගෙ අතේ තියෙන කඩුවත් ඇලූමිනියම් කෑල්ලක්. රැුවුල් කොණ්ඩ දැක්කම හිනා යනවා (විජයබාගේ රැුවුල මාර ෆනී) මට හිතුනෙ අඩු තරමෙ ‘ග්ලැඩියේටර්’  ඕන නෑ අශෝක් තරම් වත් චිත‍්‍රපටියක් බැලූවා නම් මේ ගැන ලැජ්ජ හිතෙනවා. කොටින්ම පේ‍්‍රක්‍ෂාගාරෙ ඉඳන් මගේ හිරිගඩු පිපුණා සමහර තැන් වල අඳබාලකම් පෙනෙද්දි.
කොයිතරම් නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් චිත‍්‍රපටියෙ අරටුවෙ, නිර්මාණශීලීත්වයෙ දියුණුවක් පේනවා නම් කෘතියක් අගය වෙන්න  ඕන කියලයි මගේ අදහස. ඒත් මේ චිත‍්‍රපටියෙ කෘතියක් විදිහටත් පේන්න තියෙන්නෙ නැවත නැවත දුප්පත්කම නම්, නොගැඹුරු, පේ‍්‍රක්‍ෂක වින්දනය අවතක්සේරු කරන  වංචාවක් නම් එතනදි ඒ නිර්මාපකයා දෙස දෙපාරක් හැරිලා බලන්න වෙනවා.

දැන් මං මේ ලියමන පටන් ගන්න හේතු වුණු කතාවට එන්නම්. ඇත්තටම සෝමරත්න මොනවද කරන්නෙ කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ මේ තේරුම් ගැනීම. රජකතාවක් මේ කාලෙ කරන්න තෝර ගන්න මූලික හේතුව වෙන්නෙම වාණිජ අරමුණක්. විශේෂයෙන් දන්න කතාවක් හින්ද විශේෂ දක්ෂතාවයක් නැතුවත් කතාව කියාගෙන යන්න පුළුවන්. මිනිස්සු ඔලූවෙන් කරුණු සම්පූර්ණ කර ගන්නවා. සෝමරත්නගේ මේ මෙගා ටෙලියක් වගේ එපික් එකේ අදහස ඒකයි. අපි ඔලූවෙන් විශාල කරගෙන නරඹන්න  ඕන. කතාවෙ කොයි විදිහක අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ට කතාව තේරෙනවා. වෙසක් නාට්‍යයක් ලියා ගන්න තරමේ හැකියාවක් තිබ්බ නම් ඇති. රජ වාසලෙන් පැනලා ආපු දවසෙ ඉඳන් කෙල්ලො දෙන්නෙක් එක්ක පීල්ලෙන් නාන එකට වඩා දෙයක් නොකරපු පැණි පැරකුම්බා වීරයෙක් වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ මිසක් චිත‍්‍රපටියෙ නෙමෙයි. කඩුව වන වන සටන් කළාට වීරත්වය පළවෙන එකඳු ඉරියව්වක්වත් (ඇ`ග විතරයි* මේ චරිතෙන් ප‍්‍රකට වෙන්නෙ නෑ. ඒ වෙනුවට න`ගා දැක්ක ගමන් අඩවන් නෙතින් ලාංකේය සෙවල පෙරීමේ උරුමය විතරක් සහතික කරනවා. කෙටියෙන් කිව්වොත් චිත‍්‍රපටියෙ මං දැක්කෙ දෙවෙනි පැරකුම්බා නෙමෙයි සෙවළ පැරකුම්බා කෙනෙක්.

ආයිමත් කතාවෙන් පිට පැන්නා. ඒකට හේතුවම මේ චිත‍්‍රපටිය විතරක් නෙමෙයි මේ වර්ගයේ චිත‍්‍රපටි ධාරාව විසින්ම කරන ලැජ්ජා හිතෙන පික්පොකට් ගැහීම ගැන තරහ. සහ ඒක කර්මාන්තමය දියුණුවක් විදිහට පෙන්නන්න ක්‍ෂේත‍්‍රයේ අයම නැවෙන නැවිල්ල.

‘මොනා වුණත් මචං, ඌ ලංකාවෙ මිනිස්සුන්ට  ඕන දේ දන්නවා. බලපං කෝටි විස්සෙන් එහා දුවන්නෙ නැද්ද කියල’
‘මචං මොනවා වුණත් හෝල් වලට මිනිස්සු එනවනෙ. මුං ඒ ටිකවත් නොකළා නම් සිනමාව ඉවරයි’

මේ මගේ යාලූවො සමහරක් මට කියපු අදහස්. ඒත් මගේ කතාව වෙනස්. සිනමාවට මිනිස්සු ගෙන්න ගන්න නං  ඕන තරම් ක‍්‍රම තියෙනවා. මෙගා ටෙලියක් පැය තුනකට කපලා ගැහුවත් මිනිස්සු ආයිමත් බලන්න පිරෙනවා. ඒත් අපි මේ සමාජය දක්කන්නෙ කොහාටද කියන එකයි ගැටළුව. හෝල් වලට මිනිස්සු පුරවන්නද සිනමාවට මිනිස්සු හුරු කරන්නද  ඕන කියන එකයි හිතන්න වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්.
මං සිනමාව කියන්නෙ සම්භාව්‍ය, ආත්ම කථන, සම්මානලාභී සිනමාව නෙමෙයි. මාධ්‍යයක් වශයෙන් දැනුමක් වශයෙන් ගොඩනැගුණු විෂයක් සහිත, සිතීමක් සහිත, කලාවක් සහිත සිනමාවට. ටෙලි නාට්‍යයක් ලොකු තිරයක පෙන්නුවාට ඒක සිනමාවක් නොවෙන්නෙ ඒකයි (ද`ඩුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය නෙමෙයි. ටෙලි නාට්‍ය කියල ඒ කාලෙ අපේ අය කළේ චිත‍්‍රපටි)  අපේ රටේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියන එක තමයි මේ කාලෙ අපි අහන නරුමම කතාව.

පත්තරේ මිනීමැරුම් පිටුව ලියන අයගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. මෙගා ටෙලි කරන උන්ගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. සිනමාව කියල එකක් කරන අයගෙන් ඇහුවත් කියන්නෙ එකම උත්තරේ. මේක කුඩු විකුණනවා වගේ වැඩක්

දීප්ති කුමාර ගුණරත්න මෑත ඉන්ටවිව් එකකදි කිව්වා, ‘ මිනිස්සු හිරිවැටිලා ඉන්නෙ. මත්ද්‍රව්‍යයකින් වගේ නිර්වින්දනය වෙලා’. මේකයි ඇත්ත. සියලූ මාධ්‍ය එක විදිහට දෙකයි පණහෙ රසයක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා. තමන්ගේ මාධ්‍ය වෙතින් නැවත පරාරෝපණය වෙන සමාජය ගැන කිසි අදහසක් නැතුව. වගකීමක් නැතුව. මේක සදාචාරය අතින් විතරක් නෙමෙයි කර්මාන්තමය අතිනුත් සිද්ද වෙන පිරිහීමක්. තාවකාලික ලාභයක් හැටියට පෙණුනත් මේ ගමන හු`ගක් කෙටියි. මේක පික් පොකට් ආර්ට් එකක් මිස වෙන ආර්ට් එකක් නෙමෙයි.

පත්තරවල මිනීමැරුම් පිටුව කියවලා රට හැම තැනම පෝලිමට එක විදිහට මිනී මරනවා. කොල්ලො කෙල්ලො ලව් කරන්නෙ මෙගා ටෙලි දෙබස් කිය කිය. බොබසෙ ටීවී එකේ කියන එක ඒ විදිහටම ගමේ හාමුදුරුවොත් සිවුර උඩ දාලා කියනවා. බොබසෙ නෝ ලිමිට් එක වට කරන කොට ගමේ එවුන් පල්ලිය ඉස්සරහ සඳකඩ පහන ගලවනවා. මේ අපේ මාධ්‍ය සමාජය. මං කියන්නෙ මහින්ද රාජපක්‍ෂ විසින් පසක් කර දුන් වැදගත්ම කාරණය ඒක. මේක ඇත්ත සමාජයක් නෙමෙයි.  අපි මාධ්‍ය වල දකින්නෙ ඇත්ත සමාජ උවමනාව නෙමෙයි. ඒක සමාජ උවමනාව විදිහට විකුණන්න හදන වෙළෙන්දො විතරයි.

ආයිමත් කියන්නෙ, මේක රජකතා වලින් චිත‍්‍රපටි හදන එක බාලයි වගේ අදහසක් නෙමෙයි. පරාක‍්‍රමබාහු ගැන සෝමරත්නගෙ ෆිල්ම් එකයි පරකුම්බා කතාවෙන්ම සන්තෝෂ් සිවන් ගේ අසෝක වගේ ෆිල්ම් එකකුයි නිෂ්පාදනය වුනොත් මිනිස්සු සන්තෝෂ් සිවන්ගෙ ෆිල්ම් එක (ඒ නිර්මාණශීලී ගුණය) නොබලා සෝමරත්නගේ ෆිල්ම් එක බලයිද? මේක වෙන කිසි දෙයක් නෙමෙයි ලැජ්ජාවක් නැති වංචාව. මේ කාලෙ බුදු දහම කියන්නෙ ප‍්‍රචණ්ඩත්වයට වගේ කලාව කියන්නෙ වංචාවට.
දීප්ති අර ඉන්ටවිව් එකේ තව ලස්සන කතාවක් කියනවා.

‘දැන් තියෙන විදිහ තමයි ලැජ්ජාවක් නැතුව  ඕන දෙයක් කරන්න පුළුවන්. කරලා ඇවිත් ලැජ්ජ නැතුව මිනිස්සු ඉස්සරහ හිටගෙන ඉන්නවා. බලන් ඉන්න අයට ලැජ්ජ හිතෙනවා.’
සිරි පැරකුම් බලලා මට වුණෙත් ඒ ටික.

-චින්තන ධර්මදාස

Monday, June 24, 2013

බොලිවුඞ් වැහුවට පස්සෙ - කාන් දැන් වෙනස්

බම්බලපිටියෙ බොලිවුඞ් එක වහල දාලා. කිසි කෙනෙකුට ගානක් තිබුණෙ නෑ. කවදාවත් ඞීවීඞී ෂොප් වලට එන්නෙ නැති යුරෝපියානු, ඉන්දියානු විකල්ප චිත‍්‍රපටි හොයාගන්න කොළඹ තිබ්බ එකම තැන ඒක. (ලංකාවෙ වෙන කොහෙවත් එහෙම තැනක් තියෙනවා කියන එක නෙමෙයි) බුද්ධිමය දේපොල හරි වෙන මොකක් හරි හින්ද ඒ කඬේ වහලා දාන්න ඒ මුස්ලිම් මනුස්සයට සිද්ද වෙන්න ඇති. ඒත් ලංකාවෙ සිනමාව ඉගෙන ගන්න උන්ට මොනම සිනමා පාසැලකටත් වඩා අධ්‍යාපනයක් දුන්නෙ මේ බොලිවුඞ් එකෙන්. අපි නමක් කිව්වොත් ඒ චිත‍්‍රපටිය ඩවුන්ලෝඞ් කරලා හරි ඞීවීඞී එකකට ගහලා දෙන කැපවීමක් බොලිවුඞ් එකට තිබුණ. තමන් විකුණන්නෙ වෙනස් විදිහක චිත‍්‍රපටි වෙනස් විදිහක මාර්කට් එකකට කියන දැනීමක් තිබුණ. ලංකාවෙ ලොක ලොකු සිනමාකාරයො, කලාකාරයො, පත්තරකාරයො බොලිවුඞ් එකෙන් ෆිල්ම් තෝරනවා මං දැකලා තියෙනවා. ඒත් බොලිවුඞ් එක වහලා දැම්මම එතනින් නවතින ඒ දැනුම් හුවමාරුව (මේ චිත‍්‍රපටි වෙන කිසි ඞීවීඞී කඬේකින් ගෙන්නන්නෙ නෑ) ගැන කිසි හැ`ගීමක් ඒ කිසි කෙනෙකුට තිබුණෙ නෑ.

‘ටොරන්ට් වලින් ඩවුන්ලෝඞ් කරගන්න පුළුවන්නෙ’
මේක සරල උත්තරයක් වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ ඉන්ටර්නෙට් වල වේගය සහ ඉන්ටර්නෙට් තියෙන ජනතාව එක්ක හිතලා බැලූවොත් ඒක ප‍්‍රායෝගික උත්තරයක් වෙන්නෙ නෑ. අපිට විතරක් නෙමෙයි වෙන අය වෙනුවෙන් ඩවුන්ලෝඞ් කරපු චිත‍්‍රපටත් අපිට ඒ රාක්ක මැද්දෙ මුණගැහෙනවා. අපි නොදැන හිටපු විශිෂ්ට චිත‍්‍රපටි එක්ක අපි අහම්බෙන් හැප්පෙනවා. ඒක පුස්තකාලයක්.

ඒත් ඒක බිස්නස් එකකින් එහා වටිනාකමකින් තේරුම්ගන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නෑ. ඒ මුස්ලිම් මුදලාලිට ඒකට සමාජ-දේශපාලන තේරුම් දෙන්න  ඕනකමක් තිබුණෙත් නෑ. ඒ හිඩැස පියවන විදිහක් ගැන, අඩුම තරමෙ සාමාජිකයන්ට පමණක් සීමා වුණු වෙනස් චිත‍්‍රපට පුස්තකාලයක් ගැනවත් (ලොකු බිල්ඩින් නෙමෙයි පොඩි කාමරයක් වත්) මැදිහත් වෙන්න තරම් දැනුවත් සිනමා කට්ටියක් අපිට නෑ. රටේ වෙනත් සෝඩා බෝතල් දේශපාලනයන් වෙනුවෙන් ගුටිකාගෙන මඩ නාගෙන  මැදිහත් වෙන ඒ කලා මාධ්‍ය ප‍්‍රබුද්ධයන්ට බොලිවුඞ් එකේ මෙහෙවර තේරුම් ගැනීමේ උවමනාවක් වත් පළලක් වත් නොතිබුණු එක රටේ අවාසනාව.

ජෆර් පනාහි මං මුලින්ම අඳුරගත්තෙ බොලිවුඞ් එකෙන්. ඒ වයිට් බැලූන් ෆිල්ම් එකත් එක්ක. මට කොහෙත්ම අල්ලලා ගිය අධ්‍යක්‍ෂවරයෙක් නෙමෙයි. කොහොමත් ඒ ඉරාන නව රැුල්ල මට කවදත් පෙණුනෙ බොළඳ විදිහට. සම්භාව්‍ය විදිහට ඉරාන පීඩනය ගැන කියන්න යන ඒ හැම කතාවකම මට ඉරානියානු නොවෙන බොරුවක් දැනෙන්න ගත්තා. විශේෂයෙන්ම මජීඩි මජීඞී, ජෆර් පනාහි වගේ අයගෙ ළමයි පාවිච්චි කරලා ඉමෝෂනල් වෙන්න යන එක මට පෙණුනෙ වංචාවක් විදිහට.

වෙන්න  ඕන විදිහටම පනාහි යුරෝපියානු සිනමා උළෙල වල හුරතලෙක් වුණා. අනිත් පැත්තෙන් බලාපොරොත්තු විය යුතු විදිහටම ඉරානයට විරුද්ධ ජනමතයක් ලෝකයට ගෙන යාමේ වරදට පනාහි සිරගත කළා. ඒක අවුරුදු 6ක සිර ද`ඩුවමක් සහ අවුරුදු 20ක පිටපත් ලිවීමේ තහනමක්. මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි මේ චිත‍්‍රපටකරුවන් ලෝකයේ පිළිගැනීමට ලක්වීම වෙනුවෙන් ඉරාන රජයට ගරුත්වයෙන් වැඩි කොටසක් හිමි වෙන්න  ඕන කියන එක. ඒ තහංචිය නිසාම ප‍්‍රකාශනයන්ට ලැබෙන අවධානය සුවිශේෂී වෙනවා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ප‍්‍රකාශන හැකියාවන්ද තීව්ර වෙනවා.
පනාහි මේ වෙද්දි ඉන්නෙ නිවාස අඩස්සියෙ. එයාගෙ ද`ඩුවමට දාපු ඇපීල් එකේ ප‍්‍රතිඵල එනකල් බලාගෙන. මේ අතරෙ ද`ඩුවම් නීති සීමා ඇතුලෙන් එයා තව චිත‍්‍රපටියක් හදනවා. ඒකෙ නම ‘දිස් ඉස් නොට් අ ෆිල්ම්’ (මේක චිත‍්‍රපටියක් නොවේ)

‘අපිට චිත‍්‍රපටියක් කියන්න පුළුවන් නම් ඇයි අපි චිත‍්‍රපටියක් හදන්නෙ’ ජෆර් පනාහි අහන ප‍්‍රශ්නෙ ඒක.
මේ චිත‍්‍රපටියට පිටපතක් නෑ. ඒක චිත‍්‍රපටියක් නෙමෙයි. පනාහි කරන්නෙ තමන්ගෙ කතාව කැමරාවට කියන එක. තමන්ගෙ ජීවිතේ පටිගත කරන්න එයාට නීතියෙන් තහනමක් නෑ.

එයා එයාව ෂූට් කරනවා. මගදි තව යාලූවෙක් එකතු කර ගන්නවා. මේ අතරෙ සාම්ප‍්‍රදායික ඉරාන සිනමා උළෙලක උත්සව සද්දෙ අතරෙ ඇහෙන වෙඩි හ`ඩක් හින්ද පනාහි කලබල වෙනවා. එයා වහාම ප්‍රොජෙක්ට් එක නවත්තලා ටීවී එක දානවා. ජපානෙ සුනාමියක් ගැන ප‍්‍රවෘත්තියකට පස්සෙ කියවෙන්නෙ ඉරාන රජය ඒ සිනමා උළෙල සම්බන්ද සියලූ උත්සව තහනම් කරපු ප‍්‍රවෘත්තිය.

පනාහි ඊට පස්සෙ තමන්ගෙ ගෙදර කුණු එකතු කරන්න එන කොල්ලව වීඩියෝ කරනවා. ලිෆ්ට් එකක් ඇතුලෙ ඉඳගෙන ඒ කොල්ලගෙ අනාගත බලාපොරොත්තු ගැන එයා කතා කරනවා. ෆිල්ම් එක ඉවර වෙන්නෙ කොල්ලා එකතු කර ගත්ත කුණු ටික එලියට දාන්න ලිෆ්ට් එකේ දොර අරින තැනින්.
මේ චිත‍්‍රපටිය ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් එකක බර්ත් ඬේ කේක් එකක් ඇතුලෙ හංගලා පනාහි ඉරානෙන් පිටමං කරනවා. 2011 කාන් චිත‍්‍රපට උළෙලේ සහ නිව්යෝර්ක් චිත‍්‍රපට උළෙලේ විශේෂ ගෞරව සහිතව මේක ප‍්‍රදර්ශනය වෙනවා. ඇකඩමි අවෝර්ඞ්ස් වල හොඳම වාර්තා- ප‍්‍රබන්ධ චිත‍්‍රපටි 15 අතරට ෂෝර්ට් ලිස්ට් වෙනවා.
මේ චිත‍්‍රපටිය චිත‍්‍රපටි ගැන තියෙන වටහා ගැනීම එහෙම්පිටින්ම වෙනස් කරනවා. මං මේකට කියන්නෙ සිනමාව වෙනස් කරනවා කියල. පනාහි තමන්ගේ චිත‍්‍රපටියේ තමන් දකින නමුත් ෂූට් කරන්න බැරි දර්ශන පිටපතක් විදිහට කැමරාවට කියවනවා. ආණ්ඩුවේ මර්දනය ජනෙල් වලින් එලියෙ තියෙද්දි එයා මේ කරන්නෙ ලේයර්ඞ් (තල ගණනාවක කියවීමක් ඇති) වැඩක්. තහනම ඇතුලෙ තමන්ගෙ නිර්මාණශීලීත්වය ඉවර වෙයිද, ඒ රූප දැකීම නතර වෙයිද කියන බයෙන් ගැලවෙන්නයි පනාහි තමන්ට කැමරාව හරවන්නෙ. තමන්ම නළුවෙක් වෙන, පිටපතක් අහිමි තමන්ගේ ජීවිතය දිහාවට පනාහි හරවන කැමරාව ආර්ට් කැමරාවක් නෙමෙයි. නළුවන් නැති, පිටපත් නැති, කලා අධ්‍යක්‍ෂණ හෝ කැමරා අධ්‍යක්‍ෂණ නැති, සංස්කරණ ප‍්‍රයෝග නැති නිරුවත් සිනමාවක් එයා යෝජනා කරනවා. ඉරාන රජය ගැන සහ ඒ මර්දනයෙන් තව තවත් පන්නරය ලද පනාහි ගැන මට ඇති වුනේ ගෞරව පූර්වක හැ`ගීමක්.

2013 කාන් චිත‍්‍රපටි උළෙල මැයි මාසෙ තිබුණ. මේ පාර ප‍්‍රධාන තරගකාරී අංශයේ ජූරියෙ ලොක්කා වුණේ ස්ටීවන් ස්පීල්බර්ග්. කාන් සිනමා උළෙලේ චිත‍්‍රපටි තෝරන්න ස්පීල්බර්ග්ව කැඳවීම මට හිනා යන තත්වයක්. ඒ මදිවට නිකොලි කිඞ්මනුත් ජූරියෙ හිටියා. ඒත් අන්සර්ට්න් රිගාර්ඞ් සෙක්ෂන් එකේ නම් ඩොග්මෙ සිනමාව හඳුන්වාදීපු තෝමස් වින්ටර්බර්ග් ප‍්‍රධානත්වය ගත්තා. පාම් දෝ ගත්තෙ ‘බ්ලූ ඊස් ද වෝමස්ට් කලර්’ කියන ප‍්‍රංශ ලෙස්බියන් ෆිල්ම් එක. මේ තෝරා ගැනීමත් එක්ක ආයිමත් කාන් සම්මාන දෘෂ්ටිය වෙනසකට ලක් වෙනවද කියල මට හිතුන.

මේ වෙලාවෙ ප‍්‍රංසෙ සමලිංගික විවාහ වලට විරුද්ධව සාම්ප‍්‍රදායික කතෝලික පිරිස් සැරට එලියට බහින වෙලාව. ඒ අතරෙ ටියුනීසියානු ප‍්‍රංශ අධ්‍යක්‍ෂවරයෙක් වුණු ඇඩෙලයිෆ් කෙචිචෙ (උච්චාරණය වැරදි විය හැකියි* තමන්ගෙ ආන්දෝලනාත්මක සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතිශය දේශපාලනික කෘතිය එලියට දානවා. මෙච්චර කාලයක් හිරි වැටුණු අපිචත්පොන්ග්, සායි මින්ග් ලියෑන් වගේ නතර වුණු රූප වලින් සිනමාව කියවපු කාන් සම්මාන දෘෂ්ටිය මේ පාර කෙචිචෙ ගේ කෘතිය උඩට උස්සනවා. ඒක එසේ මෙසේ ඉස්සිල්ලක් නෙමෙයි. පාම්දෝ එක දෙකට බෙදලා කාන් සම්මාන ඉතිහාසයේ පළවෙනි වතාවට නිළියන් දෙදෙනාටත් පාම්දෝ දෙනවා.

කෙචිචේගෙ සම්ප‍්‍රදාය මෙතෙක් කාන්වලට හුරුපුරුදු ජීවිතය දිහා දුර ඉඳන් බලා ඉන්න පරාරෝපණය තේමාව කර ගත් බෝරිං සිනමා සම්ප‍්‍රදාය නෙමෙයි. සක‍්‍රීයව සමානව චරිත එක්ක ගැටෙන හුස්මෙහි වේගයට කැමරාව මෙහෙයවෙන අරගලකාරී සම්ප‍්‍රදායක්. පළවෙනි වතාවට ග‍්‍රැෆික් නවල් එකකින් අනුවර්තනය කළ සිනමා කෘතියකට කාන් සම්මාන ලැබෙන්නෙත් මේ වතාවෙදි.
කෙචිචෙ තමන්ගේ සම්මාන ගෞරවයෙන් යුතුව ප‍්‍රංශ තාරුණ්‍යය වෙනුවෙන් සහ ටියුනීසියාවේ අරගලය වෙනුවෙන් කැප කරනවා.

‘ඒ අයට නිදහස් වීමේ අධිෂ්ඨානය තියෙනවා. ඔවුන්ව, ඔවුන්ගේ ආදරය නිදහසේ ප‍්‍රකාශ කරන්න උවමනාව තියෙනවා’ කෙචිචෙ කියනවා.

‘මගේ රූප අතිශය ස්වභාවික වීම වැදගත්. සිනමාව නිසා අනිවාර්ය නිර්මාණකරනයක් තිබුණා වුනත් ඒක පුළුවන් තරම් අවම වෙන්නයි  ඕන. චරිතෙ ඇතුලෙ තියෙන ඇත්තට අපිට කොයි තරම් ලං වෙන්න පුළුවන්ද කියන එකයි කාරණය. චරිත ර`ගපාන එකෙන් අයින් වෙන්න  ඕන. තමන් ර`ගපාන බව දන්න අතරෙම’
තමන්ගෙ සිනමාවෙ වෙනස ඔහු කියනවා. ‘චිත‍්‍රපටිය ඉවර වුණු ගමන් මං දැන ගත්තා මේක ටියුනීසියානු තාරුණ්‍යයට යම් හොඳක් කරනවා කියල. කිසි විප්ලවයක් සාර්ථක වෙන්නෙ නෑ ඒක ලිංගික විප්ලවයක් හැටියට ජයගන්න කල්’

ඈත ඉඳන් බලන් ඉන්න සාංදෘෂ්ටික සිනමාව වෙනුවට අරගලය සහ සංස්කෘතිය දේශපාලනය වෙනුවෙන් මැදිහත් වෙන ඇ`ග රිදෙන සිනමාව ආයිමත් කාන් වලට ඇවිත්. මං කියන මේ නිමිත්ත ඇත්තක් වුනොත් අන්තර්ජාතික සම්මාන වෙනුවෙන් හදන ලංකාවෙ අච්චු චිත‍්‍රපටි වලත් ආඛ්‍යානය වෙනස් වෙන්න වෙනවා. එතකොට දෙබස් නොකියා බලන් ඉන්න සම්භාව්‍ය ර`ගපෑම්, ඔහේ තියාගෙන ඉන්න රූප රාමු, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ප‍්‍රශ්න උත්තර....මේ ආකෘතිය කඩන් වැටෙනවා.

කතාවක් කියන්න  ඕන. ඒක බලන් ඉන්න මිනිස්සු සජීවීව මැදිහත් කරන කතාවක් වෙන්න  ඕන. දාර්ශනික බැලූම් වලින් උඩයන්න අමාරු වෙන්නයි යන්නෙ..

මේ මට මේ පාර කාන් පෙනිච්ච හැටි.

-චින්තන ධර්මදාස

Sunday, June 16, 2013

හරකා ලකුණද? මිනිස් ලකුණද?

ඉස්තෙපාන් අපේ ඔෆිස් එකෙන් අයින් වෙලා ගියා. ‘ඉස්තෙපාන් ගැන ලියන්න  ඕන’ මං හිතුවා. ඒත් කවුද කියවන්න කැමති කවුරුවත් නොවුණු කෙනෙක් ගැන විස්තර? කවුරුවත් නොකියෙව්වට කමක් නෑ. හු`ගක් කලාතුරකින් මුණගැහෙන හිතන්න පුළුවන් එකෙක් ගැන ලියන එකමත් ස්වයං වින්දනයක් වගේ ඉන්ස්පයරින්.

ඌ මට ගොඩක් අලූත් දේවල් මුණගස්සපු යාලූවෙක්. ජේසන් සිල්වා, ගොස්වාමි, ජෝ රෝගන් වගේ හාදයන් වගේම ඇනිමි කාටූන්, මික්ස් මාර්ෂල් ආර්ට්ස් වගේ තවත් අලූත් විෂය පථයන් ගොඩක් ඉස්තෙපාන් කතාවට ගත්තා.

‘මචං ලෝකෙ ශිෂ්ටත්වෙ දියුණුවත් එක්ක මිනිස්සු මෘදු වෙන එක සංවේදී වෙන එක භයානකයි. හැම තිස්සෙම ඉතිහාසෙ වෙලා තියෙන්නෙ ඒ විදිහෙ සංවේදී සීමාවකට ආවට පස්සෙ  ප‍්‍රචන්ඩ රළු ශිෂ්ටත්වයෙන් අඩු කණ්ඩායමක් ඒ වඩා ශිෂ්ට අයව යටත් කර ගන්න එක’ ඉස්තෙපාන් කරුණු සහිතව කියන්න ගත්ත එක කතාවක් ඒක.

‘මට මගේ කියල සංස්කෘතියක්වත් රටක්වත් නෑ මචං. මං ඉපදිච්ච රටේ මං ඉඳලා තියෙන්නෙ මට තේරෙන්නෙ නැති කාලෙ විතරයි. ඊට පස්සෙ ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව හැම තැනම මට ජීවත් වෙන්න වුණා. මචං ඒ හැම රටකම මං පිටස්තරයෙක්. මං උන් නෙමෙයි. මං උඹලා නෙමෙයි. ඒක මාර අවුලක්’

ඇමරිකානු සුපිරි වීරත්වය ගැන හරිම විස්තරාත්මක කතාවක් ඉස්තෙපාන්ට තිබුණ. කොමික් බුක්ස්, වීඩියෝ ගේම් හරහා පරිණත වුණු තෙවෙනි සිතීමක් ඌට තිබුණ. ඒක ඩිජිටල් විදිහට මනුස්ස පැවැත්ම විස්තර කිරීමක් වගේ. කොහෙට හරි ඈඳුණු දෘෂ්ටිවාදයක් උඩ කතා කරගෙන යනවට වඩා ජීවිතය ඇතුල් පැත්තට ප‍්‍රශ්න කර කර යන්න පුළුවන් විදිහෙ ගැඹුරු සංවාද විනයක් ඌට තිබුණ. අවුරුදු විසි ගානකට ඌ පැහිලා වැඩියි හොඳටම.

‘ඇමරිකාවට මචං ඇතුලක් නෑ. එලියක් විතරයි තියෙන්නෙ. උඹ හිතුවට ඇමරිකාව නිදහස් කියල ඇමරිකාව තරම් කන්වෙන්ෂනල් රටක් වෙන නැතුව ඇති. ඔස්ටේ‍්‍රලියාව එහෙම ඇමරිකාවට වඩා ගොඩක් නිදහස්. කොටින්ම ඉන්ග්ලන්ඞ් වලටත් වඩා ඇමරිකාව ගතානුගතිකයි. ඒත් ලෝකෙ වෙන කොහේවත් කිසි දෙයක් සිද්ද වුණාට ඒක ලොකුවට කතා වෙන්නෙ නෑ.  ඕන ආර්ට් එකක් ලෝකෙ වෙන කොහෙන් හරි මතු වෙලා ඇමරිකාවට ගියාම විතරයි ඒක ලෝකෙ හැම තැනම හිට් එකක් වෙන්නෙ. ඒක උන්ගෙ මාර්කට් එක’

ඒ වුණත් ඒවා කියලා මං ඇමරිකාවට දෙන දීම නතර කරන්න ඌට බැරි වුණා. ඇන්ඩි වාර්හෝල් වගේ චරිත ඇමරිකාවෙන් විතරක් බිහිවෙන්නෙ ඇයි කියන එකට පිළිගත හැකි උත්තරයක් ඉස්තෙපාන්ට තිබුණෙත් නෑ. ඌට අනුව ‘සීරෝ ඩාර්ක් තර්ටි’ ෆිල්ම් එකේ මායා කියන්නෙ ඇමරිකාවෙ නව සුපිරි වීරත්වයේ මනස. තමන්ව හොයා ගන්න බැරි අවුලක් ඇතුලෙ සම්පූර්ණ පිටස්තර මෙහෙයුමක් වෙනුවෙන් ජීවත් වෙන එක. තමන්ට කොහෙත්ම අදාල නැති ඒ බාහිර වීර චාරිකාව යන එක. ඒ වීරත්වයෙන් නොපිරෙන තමන්ගේ තමන් සොයා ගැනීමට නොහැකි ඛේදවාචකය ජීවිතය කර ගන්න එක. පරාරෝපණය සහ සුපිරි වීරයා අතර හොලිවුඞ් සම්බන්ධය ඉස්තෙපාන් විස්තර කළා.

බොදු බල සේනාව ගැන ඌට තිබ්බ උනන්දුව මට තේරුං ගන්න බැරි වුණා. ඌට නොතේරෙන සංදර්භ ඇතුලෙ ඒ සිද්ද වෙන අවුල තේරුම් ගන්න ඌ ද`ග දැම්මා. ඉංගී‍්‍රසි මැද පංතියට එන ලෝකල් පොලිටික්ස් ගැන ළදරු වලිප්පු තත්වයක් කියලා මං වැඩිය නොහිත හිටියා.

‘මචං උඹ හිතුවට මේක තව දරුණු පැත්තට යන්න පුළුවන්. බොබසෙ ඉවර වෙයි. ඒත් බොබසෙ කියන මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ තියෙන අදහස ඉවර වෙන්නෙ නෑ. ආයිත් කාලෙක වෙන කෙනෙක්  ඕක ඇදලා උන්ගෙ පොලිටික්ස් වලට පාවිච්චි කරනවා’

‘ඉතිං හැමදාම එහෙම තමයි. ඒක  ඕන කාලෙක කැම්පේන් කරන්න පුළුවන් අයිඩියා එකක්, ධර්මපාලගෙ කාලෙ ඉඳන් හෝද හෝද මඬේ දාන’ මං සමූහ දේශපාලනය ගැන මගේ තියෙන නොපැහැදීම පළ කලා.

‘ඒත් මචං උඹට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නං කරපං. මේ ඇති කරන්න හදන මුස්ලිම් සිංහල ප‍්‍රශ්නෙදි මොන විදිහකින් හරි උඹ උඹේ කොටස කරපං’

ඉස්තෙපාන් නැවත නැවත කිව්වා. ඊමේල් වලත් ලිව්වා. මං එච්චර ගානකට ගත්තෙ නෑ. ඒත් ඉස්තෙපාන් යන දවසෙ ආයිමත් ඊමේල් එකක් එව්වා. ඒකෙ ඌ පළවෙනි වතාවට ඌ ගැන ලියලා තිබුණ.

‘මගේ තාත්තා උඹේ වයසෙදි ඒ කියන්නෙ අපේ අම්මව කසාද බැඳලා මාව වඩාගෙන ඉන්න කාලෙදි සිංහල මිනිස්සු වගයක් මගේ තාත්තව මැරුවා. එයා පල්ලියෙ බේස්මන්ට් එකේ හැංගිලා හිටියෙ. දෙමළ වුණු එක ඇරෙන්න උන්ට තාත්තව මරන්න වෙන කිසි හේතුවක් තිබ්බෙ නෑ.

මට දැනෙනවා මචං අපි ආයිත් ඒ වගේ කාලෙකට යන්න හදනවා කියලා. ඒ ගමන වළක්වන්න උඹට පුළුවන් දෙයක් තියෙනවා නම් කරපං’

ඉස්තෙපාන්ගෙ හැම අමුත්තක්ම විස්තර කරන තනි ඉර මං කියෙව්වෙ එහෙම. උගේ පරාරෝපණයට මං කවදාවත් නොහිතපු විදිහක මුදුන් මුලක් තිබුණ.

ඉන්ෂල්ලා.

කෙටි කාලෙකට මුණගැහුණු දාර්ශනික යාලූවට ආයුබෝවන්

( ඉන්ෂල්ලා කියන්නෙ දෙවියන්ගෙ කැමැත්ත අනුව සිදුවේවා කියන එක. දෙයක් වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීමෙන් පස්සෙ තමන්ට සැපිරිය නොහැකි දහසකුත් කාරණා වෙනුවෙන් නිහතමානී භාර ගැනීම, දණ නැවීම කියන ආධ්‍යාත්මික අදහසෙන් ඉස්තෙපාන් ඒ වචනෙ පාවිච්චි කළා. ‘ඒක පට්ට මචං’ ඌ කිව්වෙ එහෙම.

වාසනාවකට හෝ අවාසනාවකට මේ ලියන කිසි දෙයක් කියවන්න ඌට බෑ. ඒක හින්ද පුද්ගල සම්බන්ධයක් ඇතුලෙ ලියවෙන ආදර ලියමනක සීමාවෙන් එලියට මේ ලියවිල්ල වැටේවි)

රාවණාගේ බාප්පද මල්ලිද කියල කෙනෙක් ෆේස් බුක් එකේ හරක් මරන එක ගැන අමුතු කතාවක් දාලා තිබුණ. කීප දවසකට කලින් මාරෙ අයියත් කතා කරලා මේ කතාවම මාත් එක්ක කිව්වා. මාරෙත් වැඩි කැමැත්තක් නෑ හරක් මරන එකට.

කතාවෙ සරල අදහස මේකයි.

‘අපි (පිරිමි) වෙන වෙන කොයි ගෑණු එක්ක නිදා ගත්තත් අපේ අම්මා එක්ක නිදා ගන්නෙ නෑනෙ. ඒ අපේ සංස්කෘතික සීමාව. දකුණු ආසියාවෙ විශේෂයෙන්ම අපේ වගේ රටවල මනුස්ස ශ‍්‍රමය අඩු කරන්න ඒ තරං දායක වුණු අපිත් එක්ක ළ`ග සම්බන්ධයක් හදා ගත්තු හරකා කියන සතා අපි මස් කරන්නෙ නෑ. ඒක හරියට අපි වෙන කවුරු එක්ක රමණයේ යෙදුනත් මව හා රමණය නොකරනු හා සමයි’

මටත් මේ ගැන උත්තරයක් නැති වුණා.  සිතීමේ උරුමය, චෛතසික උරුමය පැත්තෙන් ආපු අදහසක් හින්ද මට පොඩි වැදගත්කමකුත් පෙණුනා.

මං ඒ කතාව අපේ අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලගෙන් ඇහුවා. ඌ ඔලූව දෙපැත්තට වනලා පොඞ්ඩක් කල්පනා කරලා මගෙන් ආපිට ප‍්‍රශ්නයක් ඇහුවා.

‘අයියෙ, ඒ කතාවෙ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවනෙ’

‘අපි අපේ ගෙදර අම්මා එක්ක රමණය නොකරනවා ඇති. ඒත් අපි රමණය කරන අනිත් ගෑණු කියන්නෙත් කාගෙ හරි අම්මා කෙනෙක් සහෝදරියෙක් තමයිනෙ. ඒකෙ අපිට අවුලක් දැනෙන්නෙ නෑනෙ. ඒ වගේ ඉතිං ගෙදර හරකාව මරාගෙන නොකෑවට කමක් නෑ. වෙන කාගෙ හරි හරකෙක් මරාගෙන කන්න පුළුවන්’

හරක් මස් කන එක අශිෂ්ට නමුත් අනුන්ගේ  ගෑණු හොරකම් කරන එක ශිෂ්ට වුණු රාවණාගෙ නෑදෑයන්ගෙ කතාව එතනම හාන්සියි (රාවණා කියන්නෙ ගෑණු හොරෙක්). හරක් මස් කෑමෙන් මානසික බලපෑමක් දැනෙන අය ඒ මස් නොකා ඉන්න  ඕන. ඒක ගිල්ටියක්. පවක්. ඒත් ඒ පුද්ගලික ගිල්ටිය සදාචාරයකිනුත් එහාට අරගෙන ගිහින් නීතියක් තත්වෙට ගේන්න යනවා කියන්නෙ ටිකක් ‘ඔබ්සෙසිව්’ චර්යාවක්, ලෙඩක්. ඒක හරක් මරනවට වඩා අතිශය ප‍්‍රචන්ඩවාදී තැනකට සමාජය තල්ලූ කරන හරක් අදහසක්.

බුද්ධාගම ලංකාවට තෑග්ගක් විදිහට එවපු අශෝක රජු සෙල්ලිපියක ලියන්නෙ මෙහෙමයි.

 ‘ස්වකීය ලබ්ධියට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධීන්ට ගර්හා නොකට යුතුයි. යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ටද පූජා කටයුතු වේ. එයින් උභය පක්ෂයේම අභිවෘද්ධිය සිදුවේ. එසේ නොකළහොත් තමන්ගේ ලබ්ධියට පාඩුද අන්‍ය ලබ්ධිකයන්ට අපකාරද වේ. ඉදින් යමෙක් තමන්ගේ නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිස හෝ ස්වකීය ලබ්දියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිග‍්‍රහ කෙරේ නම් හෙතෙම තම නිකායට හානි පමුණුවයි. එබැවින් සාමග‍්‍රිය උතුම් වේ. සියල්ලෝම ඔවුනොවුන්ගේ ආගම ධර්මයන් දැන ශ‍්‍රවණය කරත්වා. අනුන් අදහන ධර්මය ඇසීමට රුචි උපදවත්වා’

-අශෝක 12 සෙල්ලිපිය (ලක්දිව බුදුසමයේ ඉතිහාසය- වල්පොල රාහුල හිමි)

ඒත් අශෝකටත් වඩා බෞද්ධ බොබසෙ හරක් අදහස ගොඩක් හරක් එක්ක නෑකම් තියෙන පිරිස් විසින් කරට අරගෙන තිබුණ. සිංහල බෞද්ධයාට අප්සෙට් නිසා රටේම හරක් මරන එක තහනං කරන්න තමයි ඒ අයගෙ ඉල්ලීම වුණේ. බුදුන් දෙසූ දහමට වඩා හරක් එක්ක ළ`ග ජානගත සම්බන්ධයක් තියෙන චීවරයක් ලාගත් මනුස්සයෙක් දළදාව ඉස්සරහ ගිනි තියාගෙනත් මැරුණ. තව ගොඩක් අය ගිනි තියාගන්න පෝලිමේ ඉන්න වගත් කියල තිබුණ. තමන් ගිනි තියාගත්තත් අනුන් ගිනි තිබ්බත් මේ අවුළන්නෙ ප‍්‍රචන්ඩත්වය මිස අවිහිංසාවාදය ගැන කතාවක් නෙමෙයි.

හරක් මස් නොකන්නෙක් වුණත් හරකා ලකුණින් මේ අරගෙන යන සංස්කෘතික වාරණය, තහංචිය, පීඩනය ඉවසන්න අමාරු තැන මං හරක් මස් වලට මාරු වුණා. මේ වගේ ළමා සමාජ ඉල්ලීම් වලට විරුද්දව වීදි බහින්නවත් කැම්පේන් කරන්නවත් මහන්සි වෙන්නවත්  අවශ්‍ය නෑ. තමුන්ගෙ පාඩුවෙ වැඩිපුර බෙදාගෙන දිගටම හරක් මස් කන්න. ඒක මෙතැන් පටන් නිකං මස් කෑමක් නෙමෙයි තමන්ගෙ සහෝදර ප‍්‍රජාවකගේ ආහාර සංස්කෘතික නිදහස වෙනුවෙන් තමන්ගෙ කෑම පි`ගානෙන් ඇරඹෙන අරගලයක් වෙනවා. කවදාවත් නැතුව හරක් මස් කන එක සාමයේ, නිදහසේ, සහෝදරත්වයේ ප‍්‍රකාශනයක් වෙලා. ඒ වගේම වෙන රටවලින් මස් ආනයනය කරන්න සිද්ද වීමෙන් ජාතික ආර්ථිකය තවත් කඩන් වැටෙන එක නවත්තන්නත් ඒ පොඩි බීෆ් පි`ගාන ලොකු දායකත්වයක් දෙනවා.

ඔබ හරකා ලකුණද මිනිස් ලකුණද? තෝරා ගැනීම ඒ තරම් සරලයි.
ඉන්ෂල්ලා.

-චින්තන ධර්මදාස

Saturday, June 8, 2013

එල්ලලාද මැරුවෙ? මරලාද එල්ලූවෙ?

මේ ලියමන මාලින්ද සෙනෙවිරත්න ලියපු ආර්ටිකල් එකේ කොටසකින්ම පටන් ගන්නං. ‘ලියෝ බර්නට් එක ලංකාවෙ සිංහයා හම ගසා කෑන්ස් සිංහයෙක් දින්නේ කෙසේද?’ කියන මාතෘකාව යටතේ මාලින්ද මෙහෙම කතාවක් කියනවා.

‘නිදහස් දවසේ මව්බිම පත්තරේ නිකුත් වෙලා පැය කීපයකින් ඔක්කොම පත්තර අළෙවි වුණා කියල ලියෝ බර්නට් එක උජාරුවට කියනවා. ඒක ගැන කියන්න අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා ලංකාවෙ මිනිස්සු ජාතික කොඩියක් හදා ගන්න කියල රුපියල් 50 ක් දීලා පත්තරයක් ගන්නෙ නං නෑ. නිදහස් උත්සව කාලෙදි රටේ හැම පළාතකම එක එක තරමෙ ජාතික කොඩි ප‍්‍රදර්ශනය වෙනවා. ඒත් මෙතන පුදුමෙකට වගේ මව්බිම කොඩිය විතරයි හැම තැනම පේන්නෙ. හරියට එදා ලංකාවෙ තිබුණෙ මේ පත්තර කොඩිය විතරයි වගේ.

මේක තනිකරම ස්කෑම් එකක් (ප්‍රෝඩාවක්). ඒ වගේම නිදහස් දවසත් ජාතික කොඩියත් දෙකම ගණිකා වෘත්තියේ යෙදවීමක්’ (බස මරා අදහස පමණක් ඉතුරු කර ඇත)

මාලින්ද මේ ලියන්නෙ කෑන්ස් ලයන් සම්මානයක් දිනපු මව්බිම පත්තරේ ජාතික කොඩිය ගැන. මේ කොඩිය රට පුරා වැනුවාය සහ ඒ වැනුමෙන් මව්බිම තොග පිටින් විකිණුනාය කියල පෙන්නන්න වීඩියෝ ක්ලිප් එකක් හැදුවා. ඒ ක්ලිප් එකේ කොඩි වනපු මිනිස්සු පත්තරෙන් කපලා කොඩිය හදලා වනපු මිනිස්සු නෙමෙයි අතට දුන්න කොඩිය කැමරාවට වනපු මිනිස්සුයි කියන එලිදරව්වත් එක්කයි මාලින්ද චෝදනා කරන්නෙ.

‘‘ක්ලිප් එකට ළං වෙලා බැලූවම පෙනිච්ච දෙයින් මාව තිගැස්සුණා. ධර්මදාස විතරක් නෙමෙයි ක්ලිප් එකේ හැම චරිතයක්ම මොඞ්ල් කෙනෙක්. පුරවැසියෙකුගේ ආත්ම ගරුත්වය ගැන තුට්ටුවකට මායිම් නොකරන කීපදෙනෙක්ගේ කෑදරකම වෙනුවෙන් පාවිච්චි වුණු මිනිස්සු ටිකක්’’ -මාලින්ද සෙනෙවිරත්න

මේ මව්බිම කොඩියට කෑන්ස් සිංහයෙක් ලැබීම ගැන මට මාලින්දට වඩා වෙනස් ගැටළු ටිකක් තිබුණ. ඒත් මොකටද කියල කර ඇරලා ඉන්න කොට මාලින්දගේ ලියමන මාව ආයිමත් පත්තු කළා.

එකක් මේ වීඩියෝ එක මාලින්දමත් මේ ලිපියේ කියන විදිහට ඉතා හොඳ නිමාවකින් කරලා තිබුණ එක. මං දන්න සිනමාවට අනුව ඒක බලපු ගමන් පේනවා සෙටප් එකක් කියලා. ඒත් මේ කෑන්ස් ලයන්ස් ප‍්‍රවීණයන්ට ඒ ටික තේරුම් ගන්නවත් බැරි වෙනවා.

අනිත් කාරණය අපේ සංස්කෘතිය, රටේ විදිහ ගැන තියෙන නොදැනීම. පත්තරයක් අරන් ඒක පිටිපස්සෙ තියෙන ජාතික කොඩිය කපලා නිදහස් දවසට වනනවා කියන්නෙ අපේ මිනිස්සු කරන්න පෙළඹෙන වැඩක් නෙමෙයි. ගේට්ටුව ළ`ගවත් වාහනේ වත් ගහලා තියන්න බැරි වනන්න විතරක් පුළුවන් පත්තර ජාතික කොඩියකට ලංකාවෙ තියෙන්න පුළුවන් ඉල්ලූම මොකක්ද? අඩුම තරමෙ මව්බිම ළමා පත්තරයක් වුණා නම් පත්තර කොඩිය මීට වඩා ප‍්‍රායෝගික අදහසක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට පත්තරෙන් ජාතික කොඩියක් කපා ගන්න ඉස්සර දුන්නෙ විජය පත්තරෙන්. ඒ මං පහේ පංතියෙදි විතර. ඒත් ඒකෙ තිබුණෙත් කොඩිය කපලා කෝටුවක අලව ගන්න කියල. පත්තරේ රෝල් කරලා කෝටුවට ගන්න පළවෙනි වතාව නං මව්බිමෙන් වෙන්න පුළුවන්.

මේ රටේ විදිහට නිදහස් දවසෙ පත්තරේ කියන්නෙ අතිශය සාරගර්භ ලිපි වලින් පිරෙන පත්තරයක්. ගොඩක් වෙලාවට මේ නිදහස් දවසෙ පත්තර එකතු කරලා තියාගන්න පවා මිනිස්සු පෙළඹෙනවා. මට මතක විදිහට රාවය නිදහස වෙනුවෙන් වෙනම අතිරේකයක් පළ කලා එක වතාවක. ඒ වතාවෙ ඇත්තටම කොපියක් හොයා ගන්න බැරි තරං පත්තරේ විකිණුනා. ඒ ජාතික කොඩියක් කපන්න නෙමෙයි. පත්තරේ අන්තර්ගතය හින්ද. මව්බිමේ ජාතික කොඩිය හදන්න වෙන්නෙ පිටිපස්සෙ පිටුවෙ තියෙන කොඩිය කපලා  පත්තරේ රෝල් කරලා පොල්ල විදිහට අරගෙන.  එතකොට පත්තරෙන් වැඩක් නෑ. ඒ කියන්නෙ එදා පත්තරේ අන්තර්ගතය වැඩකට නෑ කියන එක.

මේ අන්තර් ජාතික සම්මාන උළෙලවල තේරීම් සහ ඇගයීම් වල ඛේදවාචකය ඇඞ්වර්ටයිසින් වගේම සිනමාවටත් පොදුයි. විශේෂයෙන්ම කෑන්ස් වගේ අන්තර්ජාතික සිනමා උළෙල වල සම්මාන දිනන චිත‍්‍රපටි වල මට පේන ලොකුම හිඩැස ඒ රටවල සංස්කෘතික වටපිටාව ගැන නොදැනීම. ඒ චිත‍්‍රපටි වුණත් ස්කෑම්. ඒවා ඒ සිනමා උළෙල වෙනුවෙන්ම හිතලා හදපුවා මිසක් ස්වාධීනව පවතින නිර්මාණ නෙමෙයි.

කෑන්ස් ලයන්ස් කියන්නෙ ඇඞ්වර්ටයිසින් වල තියෙන ලොකුම සම්මාන උළෙල. මේක පටන් ගන්නෙමත් කෑන්ස් සිනමා උළෙල පූර්වාදර්ශයක් විදිහට අරගෙන. එතකොට ඒ තියෙන අසනීප ඔක්කොමත් ඒ විදිහටම එනවා.

කාට හෝ විශේෂයෙන් ලංකාවෙ කාට හෝ සම්මානයක්, ඇගයීමක් ලැබීම හොඳයි. ඒ වෙනුවෙන් දරන වෙහෙසත් අගය කරන්න  ඕන. ඒත් මේ සම්මාන සිනමාවෙන් සහ සම්මාන ඇඞ්වර්ටයිසින් වලින් අධිනිශ්චය වෙන ආකෘතිය සහ බලය ඒ තනි සම්මානයට වඩා මේ පොලොවෙ ඇත්ත විෂයට හානිකරයි.

චිත‍්‍රපටි වල මේ සම්මාන නිසා පරාරෝපිත සිනමාවක් ඇතිවීම ගැන මං කලින් ලිව්වා.  ඒ හින්ද මේ ලියමන සම්මානකාමී ඇඞ්වර්ටයිසින් වෙනුවෙන් තියන්නං.

ඇඞ්වර්ටයිසින් කියන්නෙ මං දන්න තරමට බඩු විකිණීම. ඊට වඩා දෙයක් ඇඞ්වර්ටයිසින් වලට ආරෝපණය කරන්න යන්නෙ ඉන් පිට වෙන කිසි ජීවිතයක් දන්නෙ නැති අය කියලයි මං හිතන්නෙ. (ඇඞ්වර්ටයිසින් ඇතුලෙන් සමස්තය පියවා ගැනීමට යාම) කොටින්ම බඩු විකිණෙන්නෙ නැත්තං ඇඞ්වර්ටයිසින් ෆේල්.

ඒත් ඇඞ්වර්ටයිසින් වල ක‍්‍රියේටිව් අය බරපතල විදිහට පෙළෙන අර්බුදයක් වෙන්නෙ ඇඞ් ‘ආර්ට්’ කරන්න යන එක. මහා ජනකායකට, බුද්ධි අබුද්ධි භේදයක් නැතිව තේරෙන්න කියන්න  ඕන දෙයක් සම්භාව්‍ය කලාරූපී ආකෘති වලට දාන එකෙන් වෙන්නෙ ඒ පණිවුඩය සීමා වීම විතරයි. ගොඩක් වෙලාවට ටීවී එකට හදන ඇඞ් වල ටීවී කියන මාධ්‍ය ගැන නොදැනීම පවා ඇඞ් එකට වඩා ලොකුවට පේනවා. සමහර වෙලාවට  මිනිහෙක් තිතක් තරමට පේන දුර ඩොටේ රූප රාමු වලින් කියන්න හදන්නෙ මොකක්ද කියලා මං තාම කල්පනා කරනවා. අපි ටීවී එකට නං ඇඞ් එක කරන්නෙ ඒක අති විශාල පුළුල් තිර ටීවී එකක් ගැන අදහසක් ඇතුව කරන එක වැරැුද්දක් කියලයි මට හිතෙන්නෙ.

ප්‍රෙස් වල මේ විකාරය ඊටත් වැඩියි. ‘ඇඞ්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පෙරළගෙන ආර්ට් ඩිරෙක්ටර්ස්ලා අනුන්ගෙ සල්ලි වලින් තමන්ගේ සම්මානය දිනන්න හදන හැටි දුක හිතෙනවා.  ක‍්‍රියේටිව් අයිඩියා එක ලොකුවට අන්තිමට ප්‍රොඩක්ට් එක නොපෙනෙන තරං පොඩියට. ඒක තමයි ඇඞ් වල සම්මාන සූත‍්‍රය.

ලංකාවෙ හැටියට මීට වඩා මූණට ඇනලා ප්‍රොඩක්ට් එක පෙන්නන්න  ඕන කියනවා නෙමෙයි. ඒක තමයි ලෝකෙ කොතනත් මාස් එකත් එක්ක ගනුදෙනු කරන විදිහ. ඒ අයගේ සංවේදී සීමාවන්ට ළං වෙන එක. ඒ අයගෙ ඇස් වලින් බලන එක. කන් වලින් අහන එක. ‘ඇඞ්ස් ඔෆ් ද වර්ල්ඞ්’ වල තියෙන්නෙ සම්මානය වෙනුවෙන්ම කරන එක ස`ගරාවක හෝ වෙබ් පිටුවක විතරක් පලවෙන බොරු ඇඞ් එක විතරයි. ඒ බඩු විකුණන්න කොටං අදින ඇඞ් වෙනම යු ටියුබ් එකේ බලන්න පුළුවන්. ඒත් අපේ ඇඞ්වර්ටයිසින් කට්ටියගෙ ලොකුම චෝදනාව වෙන්නෙ තමන්ගේ ආර්ට් එකට ක්ලයන්ට් ඉඩක් නොදෙන එක. මට හිතෙන්නෙ ඒක වෙන්න  ඕන අනිත් පැත්තට. ක්ලයන්ට්ගෙ ආර්ට් එකට තමන් ඉඩක් දෙන එක. තමන්ගේ නිර්මාණශීලීත්වය ක්ලයන්ට් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන එක. කන්‍යා භාවය රකින්නයි වීදි ගණිකාවක් වෙන්නයි දෙකක් එකට බෑ.

මේ කියන්නෙ ඇඞ්වර්ටයිසින් නරක පහත් දෙයක් වගේ අදහසක් නෙමෙයි. ඒ වෙනුවට ඇඞ්වර්ටයිසින් දිහා බලන්න වෙන්නෙ වෙන විදිහකට කියන එක. ඒක ආර්ට් වලට වඩා වෙනස් ආර්ට් එකක්. ඇන්ඩි වාර්හෝල් කියන විදිහට ‘කොමර්ෂල් ආර්ට් කියන්නෙ ලෝකෙ හොඳම ආර්ට් එක’

ඇඞ්වර්ටයිසින් ගැන අලූත් විදිහක පර්යේෂණයක් කරන මගේ යාලූවෙක් මාත් එක්ක කතා ටිකක් කතා කරන්න ආවා. එයාගෙ අදහස වුණේ ඇඞ්වර්ටයිසින් කියන්නෙ නූතන ජන වහර නිර්මාණය කරන තැන කියල. මේ පර්යේෂණය කොහොම වුණත් ඒකෙ ඇත්ත කාරණයක් තියෙනවා. එකක් ඇඞ්වර්ටයිසින් කියන එකම ජනවහරක් වෙන්න  ඕන. එහෙම ජනවරක් වෙන්න නම් ඇඞ් එක ඇතුලෙ ඒ මිනිස්සුන්ගෙ මොකක් හරි ඇත්ත තැනක් ඇල්ලෙන්න  ඕන. උදා විදිහට, ඇල්ලූවට හපන්න පුළුවන්ද?’ වගේ ලයින් මිනිස්සුන්ගෙ එදිනෙදා පාවිච්චියට ආවෙ එහෙම.

‘සොම්නස දොම්නස පවසන ගොළුබස’ වගේ ටැග් ලයින් පවා තාමත් මතක ඒ ළ`ගකම හින්දයි. කිසි ක‍්‍රියේටිවිටි එකක් නැතුව තාමත් සිද්ධාලේප පරණ සිංදුවෙන්ම විකිණෙන්නෙ එහෙමයි.

ඒත් මේ සම්මාන උළෙල වල් නිසා පැතිරෙන ආර්ටි ඇඞ්වර්ටයිසින් රෝගය පේ‍්‍රක්‍ෂාගාරයක් නැති සිනමාවක් ලංකාවට ගෙනාවා වගේම ජනතාවක් නැති ඇඞ් කැම්පේන් අභිෂේක කරනවා. සිනමාවෙ රතු පස් සහිත වියළි කලාපය සහ යුද්ධය සම්මාන සිනමාවෙ තේමාව වුණා වගේ මෙතනදි අන්ධයින් කොරුන් සහ තවත් නොයෙක් ආබාධිතයන් මේ ඇඞ් තේමා විදිහට පාවිච්චි වෙනවා.

සමාජ සත්කාර වෙනුවෙන් ඇඞ් හැදෙන එක හොඳයි. ඒත් සම්මාන වෙනුවෙන් කරන මේ ඉමෝෂනල් බොරුව ‘මාර’ වෙන එක භයානකයි. රටක ඇඞ්වර්ටයිසින් ඒ රටේ ජනතාවට වඩා උඩින් නොයා යුතුයි කියන එකයි මං දන්න තරම. මේ රට ගැනවත් රටේ සංස්කෘතිය ගැනවත් පිච්චියක දැනීමක් නැති සම්මාන උළෙල වලින් දෙන සම්මාන වලින් ඇඞ්වර්ටයිසින් වල හොඳ නරක තීරණය කරනවට වඩා මේ රටේ ඇත්ත මිනිස්සුන්ගෙ හැ`ගීම් පොළඹවන ඇඞ්වර්ටයිසින් ආර්ට් එකක් හොයාගෙන යන්න වෙනවා.  ඇඞ් ඔෆ් ද වර්ල්ඞ් බලලා ඒ වගේ ඇඞ් එකක් හදනවට වඩා ඒක ටිකක් අමාරු වැඩක්.

-චින්තන ධර්මදාස

Thursday, May 30, 2013

රාවය ගැන මිලින්ද ප‍්‍රශ්නය

මේ ලියමන කුහක හෝ ද්වේශ සහගත වගේ පුංචි ලාංකේය තැන් වල හිර කරන්නෙ නැතුව තවත් එක අදහසක් කියන තැනකින් කියවන්න කියල මුලින්ම ඉල්ලනවා. ඒ පුද්ගලිකව මගේ ගැන කලූ චිත‍්‍රයක් ඇඳෙන එක ගැන අවුලකට නෙමෙයි. ඒක සංවාදයක් වෙනුවෙන් මගේ අදහස කැන්සල් කරන හින්ද.
රාවය පත්තරේ මාත් කාලෙක ඉඳන් කියවන පත්තරයක්. ඒ ව්‍යාකරණානුකූල භාෂා සීමාවල්, සීරියස් වැඩි ගතිය, ගමේ ඇකඩමික් ප‍්‍රතිරූපය ආරක්‍ෂා කිරීම වගේ ද්විතීයික කාරණා වලින් මං රාවයට නොඑක`ග තැන් තිබුණත් පුරවැසි අදහස් මාධ්‍යයක් විදිහට මං රාවයට ගරු කරනවා. වික්ටර් අයිවන් මහින්ද ළ`ගට ගිය එක සහ ජනරංජන විසින් අන්තර්ගතය හැසිරවීම ගැන මතුවෙච්ච කන්‍යාසිවි වර්ගයේ ප‍්‍රශ්න වලදිත් මගේ අදහස වුණේ ඒක හරිම ඉදිරිගාමී පියවරක් කියන එක. අයිවන් තමන්ගේ අදහස තමන්ගේ කොලමට සීමා කර ගැනීම සහ පත්තරේ අනිත් අදහස් වෙනුවෙන් නිදහස දීම කියන එක දියුණු නාගරික දේශපාලනික විනයක ලකුණක් මට අනුව.

මොනවා වුණත් රාවය පාඩු පිට දුවන පත්තරයක්. ඒක ලාබ අරමුණු රහිත පත්තරයක් කියන තැනට වඩා මං ඒක කියවන්නෙ ලාබයක් හෝ වඩා විශාල කියවන පිරිසක් සංවිධානය කිරීමෙහි ලා අසමත් වූ කළමනාකරණයක් විදිහට. අදහස් වල ගැඹුර පවත්වාගනිමින් ප‍්‍රකාශනය සරල කරන්න රාවයට බැරි වුණා. ඒ වෙනුවට රාවය සම්භාව්‍ය, සම්මානනීය, වැදගත්, ඇකඩමික් වගේ තැනක නතර වුණා. කල්ට් භාවිතාවක් විදිහට ඒකත් නරක නෑ. ඒත් පැතිරීම ව්‍යාප්තිය වෙනුවට සීමා වීම භාවිතාවක් විදිහට අරගෙන යාම රාවයේ සීමිතකමක්. ඒක මට අනුව පුහු සංකේතීය වටිනාකමක් වෙනුවෙන් ප‍්‍රායෝගික වටිනාකම් කැපකිරීමක්. අන්තිමට අපි වැඩ කරමින් ඉන්නෙ ජන මාධ්‍යයක් ඇතුලෙ කියන වටහා ගැනීම අහිමි වීම එතනදි ප‍්‍රශ්නයක්.
රාවය වටා වාමවාදී බුද්ධිමතුන් පිරිසක් එකතු වුණා. ඒ බුද්ධිමතුන් කියන පිරිස විසින් රාවයේ හැඩය ගල් කරලා පවත්වාගෙන යමින් හිටියා. පත්තරේ ඇතුලෙ ලංකාවේ වාමවාදී බුද්ධිමතුන්ගෙ තියෙන සීමාව ජයගැනීම රාවයට රටේ දේශපාලනික සීමාවන් ජයගැනීමට වඩා අමාරු වැඩක් වුණා. ඒක වැඩවසම් ආකෘතියක්. ඒක සංරක්‍ෂණය හෝ වඳ වී යාමට වඩා ඉරණමක් උරුම කරගෙන නෑ.

දැන් මේ ලියමන ලියන ඇත්ත කාරණාවට එන්නං. රාවය මෙහෙම පාඩු පිට පවත්වාගෙන යාම දුෂ්කර නිසා එහි අයිතිය පැවරීම ගැන ලොකු හාහෝවක් එලියට ආවා. මිලින්ද මොරගොඩ විසින් මෙහි අයිතිය පවරාගැනීම ගැන කතාව ගොඩක් අය කිව්වෙ කන්‍යාභාවය අහිමි වීම වගේ වේදනා සිත් ඇතිව. ඊට පස්සෙ බුද්ධිමය කලාකාර පිරිසක් රාවයේ ජනතා අයිතය ආරක්‍ෂා කර දීමේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මේක බහුතරයක් විසින් කියෙව්වෙ රාවය රැුක ගැනීමක් විදිහට. මට හිතෙන්නෙ රාවය කියන්නෙ මේ බුද්ධිමය කීපදෙනාගේ පවුලේ පත්තරය කියන තැනින් ගත්තොත් ඒ හැ`ගීම සාධාරනයි. ඒත් රාවය මේ අනිකුත් මාධ්‍ය අතර ජනමාධ්‍යයක් කියන තැනින්, මට වටින දේ ඒ කියන්නෙ පුරවැසි ප‍්‍රකාශනයක් කියන තැනින් ගත්තොත් මේක ආපහු පරණ ළිඳේම ඉන්න තෝරා ගැනීමක්.

උදා විදිහට කිව්වොත් මිලින්ද මොරගොඩ කියන ව්‍යාපාරික, දේශපාලන චරිතය කරන බිස්නස්, ගන්න ලාභ වගේ ඔය වමට උඩින්ම පේන  ඕපදූප ටිකට යටින් බැලූවොත් භාවිතාව සහ තමන්ව චරිතයක් විදිහට පොසිෂන් කරලා පවත්වාගෙන ඒම ඇතුලෙ ලංකාවෙ ගොඩක් වාමාංශික දේශපාලන චරිත වලට වඩා විනයක් ශිෂ්ටත්වයක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මිලින්දගේ ධනවාදී භාවිතාව ඇතුලෙ රාවයට මුදල් යෙදවීම කියන්නෙ හරියට නාගරික ආර්ට් කලෙක්ටර් කෙනෙක් කලාපොලෙන් විකල්ප චිත‍්‍රයක් අරගෙන ගෙදර බිත්තියෙ එල්ල ගන්නවා වගේ වැඩක්. ඒක රාවය සංරක්‍ෂණය කළා වගේ වැඩක් මට හිතෙන්නෙ. මිලින්දගෙ බිස්නස් ඇතුලෙ ලොකු ලොකු වංචා දූෂණ චෝදනා ඇති. ඒත් ඒවා රාවය තමන්ගෙ පුද්ගලික රාවයක් කරගන්න යනවා තරං පුංචි නෑ.

ඊට විකල්පයක් විදිහට මේ බුද්ධි-කලා එකමුතුව විසින් රාවයට යෝජනා කරන ජනතා හැඩය මට අනුව අතිශය හානිකරයි. ඒක වඳ වී යාමේ විකල්පය තෝරා ගැනීමට සමානයි. අඩුම තරමින් මිලින්ද වගේ කෙනෙක් රාවය ගත්තොත් ඒකෙ ව්‍යවසාය අංශය දියුණු තැනකට ඒවි. සරල විදිහට කිව්වොත් ඇපල් ලැප්ටොප් ටිකක් වත් අලූතෙන් රාවය කන්තෝරුවට ඒවි. මේ ලේඛකයන්ට සේවකයන්ට යම් තරමකින් යහපත් ජීවන පහසුකම් ටිකක් ඇතිවේවි. මිලින්ද එක්ක වැඩ කරන රොහාන් සමරජීව වගේ ටිකක්  ඕල්ඞ් ෆැෂන් නැති බුද්ධිමතුන්ගෙ අදහස් මේ කළමනාකරණයට මුහු වේවි. ඒකෙ මට මොකක් හරි පාරක් පේනවා.

ඒත් මේ බුද්ධි කලා එකමුතුවට කරන්න පුළුවන් මොනවද? මං ඒ අයගෙ නිර්මාණ සහ අදහස් වල තියෙන වටිනාකම් පොඞ්ඩකින් වත් අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් ව්‍යවසාය සහ කළමනාකරණය කියන්නෙ මේ පිරිස (විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් වාමාංශික බුද්ධිමතුන්) දුර්වලම විෂයක්. උදා විදිහට ඔවුන් මේ රාවයේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන සැ`ගවුණු අදහස වෙන්නෙම මිලින්ද රාවය ගත්තොත් මේ සංවාදය, මේ අදහස් ආණ්ඩු පාක්‍ෂික හෝ මිලින්දගේ උවමනාවන්ට පාක්‍ෂික වීමෙන් තමන්ට (අපිට) රාවය නැති වෙයි කියන එක. ඒත් මිලින්ද මට අනුව මීට වඩා අඩි දෙකක්වත් එහායින් හිතන්නෙ. රාවයේ හැඩය නැති වුණොත් මිලින්දට රාවයෙන් ඇති වැඩක් නෑ. මේ විකල්ප හ`ඩත් තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයේ කොටසක් කර ගැනීමේ සංකේතීය, බුදධිමය වැලියු ඇඩිෂන් එකක් විදහට මිසක් මිලින්දට රාවයේ තමන්ගෙ ඇඞ් එකක් හෝ කොලමක් දානවට එහායින් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් මේ බුද්ධි කලා එකමුතුව (ලාංකේය) පෙළෙන්නෙ වඩාත් විශාල වූ අවකාශයකට, පිළිවෙලකට, සංස්කෘතියකට තමන් ඇතුල්වීමේ ‘කුඩා බව’ පිළිබඳ භීතිකාව කියලයි මට හිතෙන්නෙ. මිලින්ද මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන් නාගරික බුද්ධිමය හෘදය සාක්ෂියක් ගොඩනගා ගන්න. රාවය එතනදි එක කොටසක්. ඒත් වාමවාදී බුද්ධිමත්තු මහන්සි වෙන්නෙ තමන්ගේ ග‍්‍රාමීය බුද්ධිමය සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගන්න. තමන්ගෙ අදහස් වෙනුවෙන් හැමදාම ඔහේ දොරවල් ඇරලා තියෙන මාධ්‍යයක් වෙනුවට තර`ගකාරී අදහස් මාධ්‍යයකට නිර්මාණකරුවන් බුද්ධිමතුන් ඇතුල් වෙන්න අවශ්‍යයි. අසාධාරණ විදිහට තමන්ගේ අදහස් වලට දොරටු වැහෙනවා නම් විකල්ප මාධ්‍ය ප‍්‍රවේශ අත්හදා බලන්න  ඕන. ඒ වෙනුවට මාධ්‍ය ජනතාකරණය කරනවා කියන අදහස මට හිතෙන්නෙ මාධ්‍ය ගල් යුගයෙම තියා ගැනීම වගේ යෝජනාවක්. ගුහාගත සම්ප‍්‍රදායක්.

මං කලින් කිව්වා වගේ ඉතා සංවේදී දේකට මං අසංවේදී මැදිහත්වීමක් කළා වෙන්න පුළුවන්. ඒත් මාධ්‍යය සහ ඇත්ත ජනතාව අතර සිවිල් තාප්පයක් තියෙන්න  ඕන නෑ කියලයි මං හිතන්නෙ. ජන මාධ්‍ය ජනතාවට කතා කරන්න  ඕන. සීමා වීම වෙනුවට ව්‍යාප්ත වීම පිළිගන්න  ඕන. ජනමාධ්‍යයක් දාහක දෙදාහක ස්වයං වින්දනයක් වෙනුවෙන් පවත්වාගෙන යාම තේරුමක් නැති වැඩක්.

ගුහාව වෙනුවට අපි එළිමහන තෝරා ගනිමු. තර්ජන ඇතිවේවි. ඒත් අපි ඒ අනුව පරිණාමය වේවි.

- චින්තන ධර්මදාස




Sunday, May 26, 2013

සංසුන් නොසංසුන් හෙවත් මා ගිය වන්දනා ගමනක්

නිවාඩුවකට මං ලංකාවෙ යන්න කැමතිම තැනක් අනුරාධපුරේ. අව්ව, කාශ්ටක ගතිය හින්ද ගොඩක් මගේ යාලූවන්ට ඒක චාටර් ගමනක් වුණාට රෑ ලයිට් එලි යටින් පාලූවට ගිය ස්තූප, ගල්කණු මැද්දෙ ඇවිදින්න මං ආසයි. ඒ ගොරෝසු තණකොල උඩින් තැනින් තැන වැවිච්ච ගස් අතරෙ මට මාර සැදැහැයක් ඇති වෙනවා. ඒක හාමුදුරුවරු බණට කියන සැදැහැයට වඩා වෙනස්. ඒත් හිරිගඩු පිපෙන තරම් ශ‍්‍රද්ධා හැ`ගීමකින් මං අනුරාධපුරේ පුල්ලි පුල්ලි ලයිට් එළි වැටුණු මහමෙව්නාව මැද්දෙ ඇවිදන් යනවා.

මේ පාර අනුරාධපුරේ ගිය ගමනෙදි මං කවදාවත් බලන්න යන්න අකමැති තැන් දෙකකට යන්න සිද්ද වුණා මට (අපිත් එක්ක ගිය වැඩිහිටියන්ගෙ බරපතල උවමනාවට) එකක් ජය සිරි මහ බෝධිය. අනික රුවන් වැලි සෑය. මේ දෙකම කවදාවත් මට ඒ විදිහෙ ටි‍්‍රප් එකක් දෙන තැන් දෙකක් නෙමෙයි. ඒ වෙනුවට ආණ්ඩුව, දේශපාලනය, රාජ්‍ය ඉතිහාසය වගේ වාත හැ`ගීම් වලින් මාව තෙරපන තැන්. කරන්න දෙයක් තිබුනෙ නෑ. හරිත වර්ණ නිදිකුම්බා සුවඳින් සිත කය සංසුන්ව නිරාමිස හැ`ගීම් පෙරදැරිව මාත් යන්න ලෑස්ති වුණා.

අඳින්න හොඳ ඇඳුමක් මගේ බිරිඳ මගෙන් ඇහුවා. ඉතින් ඒ ඇඳුම් අතරෙ තිබුණු මට වඩාත්ම සංවර ඇඳුම මං තෝරලා දුන්නා. ඒ ඇඳුම මට හරි සැහැල්ලූ, සන්‍යාසි හැ`ගීමක් අරන් එන නිසා. ඒත් බෝධිය ඉස්සරහ ලොකු පොලිස් මුර පොලක්. එතනින් සංවරකම පරීක්‍ෂා කරනවා. අත් කපපු ඇඳුමක් නිසා මං තෝරපු ඇඳුම අසංවරයි කියල පොලිසිය කිව්වා. එයාට බෝ මළුවට ඇතුල් වෙන්න බැරි වුණා. මගේ සංවරම ඇඳුම උඩමළුවෙ පොලිසියට අසංවර ඇඳුමක්. සංවරකමේ නිර්ණායක හොයාගන්න බැරුව මං ගේට්ටුව ළ`ග බිරිඳ එක්ක ඉඳගෙන කල්පනා කළා.

බෝධිය ඉස්සරහ පොලිසියක් දැමීමම කොයිතරං අසංවරද? මට හිතුනෙ එහෙම. හිත නිවෙන්න පන්සල් හැ`ගීමෙන් යන තැනක් වෙනුවට එතන හරියට වැලිකඩ හිරගෙදරට ඇතුල් වෙන තැනක් වගේ. මේ පොලිසිය හිටියා නං කීයට වත් පටාචාරාවට බුදුන් ළ`ගට එන්න වෙන්නෙ නෑ. හේමමාලාට කීයටවත් දන්ත ධාතුව කොණ්ඩෙ අස්සෙ හංගගෙන එන්න වෙන්නෙ නෑ.

ඇ`ගට කිටි කිටියෙ තද වෙන ඇඳුම් ඇඳගෙන කෙල්ලො බෝධිය වඳින්න ගියා. පොලිසියට ඒ ඇඳුම් අසංවර වුණේ නෑ. බුරිය පේන්න සාරි ඇඳගෙන ගෑණු බෝධිය වඳින්න ගියා. උඩමළුවෙ පොලිසියට අසංවරකමේ සීමාව වුණේ හම පෙනෙන ප‍්‍රමාණය. ඒත් වැඩිපුරම හම පෙනෙන ප‍්‍රමාණය වැඩි සාරිය මේ බෝ මළුවෙ පොලිස් ගේට්ටුවෙන් ඇතුළට ගියේ ගෞරවනීය විදිහට. අනිත් අතට මේ සංවර අසංවර භේදය බලපෑවෙ ගෑණුන්ට විතරයි. පිරිමි කොහොම ගියත් ඒ ගැන මේ සංස්කෘතික පොලිසියට ගැටළුවක් තිබුණෙ නෑ.

මං රෑ හඳ එළිය වැටුණු මහමෙව්නාව දිහා බලාගෙන ඉඳගෙන හිටියා. මං නිරුවතින් නෙළුම් මලක් අරන් රුවන්වැලිසෑය පැත්තට ඇවිදන් යනවා මං දැක්කා. ඒක හරි ලස්සන රූපයක් වෙයි ෆිල්ම් එකකට කියල මට හිතුණ (මං හෙළුවෙන් ඇවිදින එක නෙමෙයි, නළුවෙක් එහෙම යන එක) ඊට පස්සෙ මං ෆේ‍්‍රම්  එකේ ජෙන්ඩර් චේන්ජ් එකක් කළා. දැන් මං වෙනුවට මගේ බිරිඳ නෙළුමක් අරන් මහමෙව්නාව හරහා රුවන්වැලි සෑය දිහාවට ඇවිදන් යනවා හෙළුවෙන්. ඉස්සෙල්ලා රූපෙට වඩා දෙවෙනි රූපෙන් දෙන හැ`ගීම වෙනස්. ඒ වෙනස තියෙන්නෙ එළියෙ ඇවිදන් යන හෙළුවෙද? නැත්තං මගේ ඇතුලෙ තියෙන මගේ ඇත්ත හෙළුවෙද?

බුදුන් වදාල ධර්මයේ මූලික හරය වෙන්නෙ මේ තමන්ගෙ හෙළුව හොයා ගන්න එක. ඒ වෙනුවට අනුන්ගෙ හෙළුව වහන්න යන එක මුස්ලිම් ආගමේ සදාචාරයක්. ඒත් අපි ආධ්‍යාත්මික තැන් වලටත් සදාචාරය අරන් ඇවිත්. ඇත්තටම කවුරු හරි කොට ඇඳුමක් ඇඳන් ඉන්න එකෙන් අපි කැළඹෙනවා නම් හොඳයි. කාට හරි බෝධිමූලයේ ලබන්න පුළුවන් ලොකුම අවබෝධයක් එතන තියෙනවා. ඒ තමන් මල් පහන් කොයි තරම් පත්තු කරමින් බුදු රූප වැන්ඳත් තමන්ගේ ඇතුලෙ තාමත් ඉන්න නොදියුණු දුර්වල සතා දකින එක. කොට ඇඳුම ඒකට නිමිත්ත වෙනවා. ඒත් ලංකාවෙ බෞද්ධ සම්ප‍්‍රදාය වෙලා තියෙන්නෙ ඒ සතාව පරිස්සම් කර ගන්න එක (ශිෂ්ටත්වට කරා පරිණාමය වෙනුවට අශිෂ්ටත්වය රැුකවල් ලා ආරක්‍ෂා කිරීම) සාමූහික බාල සදාචාරයක් බුදුන්ගේ ධර්මයෙ ආචාර පද්ධතිය වෙලා. මට බුදු හාමුදුරුවො ගැන දුක හිතුණ.

බෝධිය වඳින්න බැරි වීම මගේ බිරිඳට මයිල් ගහක් තරං අවුලක් නොවුණට ඒක පොලිසියට බෝ ගහක් තරං ලොකු අවුලක් වුණා. ඒ ගොල්ලො ඇවිත් රෙද්දක් පොරවලා එයාව සංවර කරලා බෝධිය වන්ඳවන්නම හදනවා.

‘ලොකු හාමුදුරුවොන්ට පේන්න බෑ අත් කර කපපු ඇඳුම්. අපිටයි බනින්නෙ’
පොලිසියෙ අය කිව්වා. පව්.

රුවන්වැලි සෑය රෑට මාර ලස්සනයි. දුටුගැමුණු නොහැදුවා නම් මේ දාගැබ මීට වඩා ලස්සන වෙන්න තිබුණ. මට මගේ මාක්ස්වාදී යාලූවෙක් රුවන්වැලිසෑය ගැන කියපු කතාවක් මතක් වුණා.

එයා උගන්නන ඉස්කෝලෙ ළමයින්ට රුවන්සැලිසෑය හැදුවෙ කවුද කියල ප‍්‍රශ්නයක්.
රුවන්වැලි සෑය හැදුවෙ කවුද? මගේ යාලූවා (ටීචර්) අහනවා.

‘දුටුගැමුණු’ ළමයි ඔක්කොම උත්තර දෙනවා.

‘රුවන්වැලි සෑය හැදුවෙ දුටුගැමුණු නෙමෙයි. කම්කරුවො. ඒත් විභාගෙට ඇහුවොත් දුටුගැමුණු කියල ලියන්න. ඒත් ඇත්තට හැදුවෙ කම්කරුවො’

දැන් විභාගෙට අහනවා කියල ඔන්න මගේ යාලූවා ආයිමත් අහනවා  ‘රුවන්වැලි සෑය හැදුවෙ කවුද?’
‘කම්කරුවො’ ළමයි ඔක්කොම එකපාර සද්දෙට කෑ ගහනවා.

ඇත්තට රුවන්වැලි සෑය වඳින ඒ වටේ සිවුරු ඔතන බෞද්ධයන්ට මේ සෑය ආධ්‍යාත්මිකව කොහොම සම්බන්ධ වෙනවද කියල මට හිතාගන්න අමාරුයි. දුටුගැමුණු කියන නමේම තේරුම දුෂ්ට ගාමිණී කියන එක. එයා කාවන්තිස්ස කියන අතිශය පරිණත බුද්ධිමත් රජෙක් වුණු එයාගෙ තාත්තාට ගෑණු යට ඇඳුම් යවලා අපහාස කරනවා. ඒ මදිවට සද්ධාතිස්ස (ශ‍්‍රද්ධා සම්පන්න තිස්ස) වුණු එයාගෙ මල්ලි එක්කත් යුද්ධ කරනවා. ධාර්මික පාලකයෙක් වුණු එළාරව යුද්ධ කරලා මරනවා. ඒ පිස්සු යුද්ධ හින්ද ජීවිත තොග පිටින් විනාස කරනවා. ඒ ඔක්කොම කරලා එයා ඒ පව් බරෙන් මිදෙන්න ලොකුම ලොකු චෛත්‍යයක් හදනවා. ඒ පව්කාර ආත්මය මතු මෛත‍්‍රී බුදුන් වෙනකල් බෞද්ධයො බලාගෙන ඉන්නවා.

මට රුවන්වැලි සෑයෙ ලොකුකමෙන් පේන්නේ දැවැන්ත පව්කඳක්. ඒත් මේ දුෂ්ටත්වය සහ බුද්ධත්වය අතර සිංහල බෞද්ධයන් විසින් ගොඩනගාගෙන තියෙන සම්බන්ධය ප‍්‍රචණ්ඩ එකක්. මේ සම්බන්දෙ තමයි උතුරෙ දෙමළ මිනිස්සු මැරුවෙ. මේ සම්බන්දෙ තමයි බොබසෙන් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරන්නෙ. රුවන්වැලි සෑයටත් අපිට ඇතුල් වෙන්න දුන්නෙ නෑ. මං තෝරපු අසංවර ඇඳුම හින්ද අපි දෙන්නට ආයිමත් පඩිපෙළේ ඉඳන් ඉන්න වුණා.

රුවන්වැලි සෑය, ශ‍්‍රී මහා බෝධිය කියන්නෙ කොහොමත් ආධ්‍යාත්මික අගයකට වඩා රාජ්‍ය අගයන් මුල්බැහැගත්තු තැන්. ආධ්‍යාත්මික වටිනාකම් කියන්නෙ ඇතුලෙන් සිද්ද වෙන ගවේෂණයක්, තේරුම් ගැනීමක් වෙද්දි මේ වගේ සිද්ධස්ථාන එක්ක තියෙන්නෙ පිටට පෙන්නන සාටෝප අගයන්. ඒත් අපි ජාතියක් හැටියටම මේ සදාචාරය කියන එක වාරණය හෝ තහංචිය එක්ක ගැටගහගෙන තාමත් ජීවත් වෙනවද කියන එක ටිකක් බරපතල කාරණයක්. නීට්ෂෙ කියන විදිහට සමූහ සදාචාරය කියන්නෙම පුද්ගලික නිදහස අවතක්සේරු කිරීමක්. දුර්වල බාල ගෝත‍්‍රික එකමුතුවක් වෙනුවෙන් පැවැත්ම මූලික සැබෑ සදාචාරයට විලංගු දැමීමක්. ඒත් ශිෂ්ටාචාරයන් ප‍්‍රජාවන් දියුණු වෙද්දි මේ තේරුම් ගැනීම් වෙනස් වෙනවා. උදා විදිහට ස්කැන්ඩිනේවියානු රටවල් විශේෂයෙන් නෝර්වේ, හොලන්ඞ් වගේ රටවල සාමූහික සදාචාරය ක‍්‍රියාත්මක වෙන්නෙ පුද්ගල නිදහස අත්පත් කර දීම වෙනුවෙන්. වඩ වඩාත් පැවැත්ම මූලික තනි සදාචාර අගයන් පිළිගන්නා තැනකට සමාජය අරන් යන්න ඒ සාමූහික සදාචාරය ඇතුලෙ කතිකා ගොඩනැගෙනවා. ඒත් අපි යන්නෙ විරුද්ද අතට.

සත්‍යජිත් මාඉටිපෙ බොර දිය පොකුණ චිත‍්‍රපටිය කරලා දැන් අවුරුදු 7ටත් වැඩියි මගෙ හිතේ. මුලින් ලංකාවෙ වාරණ මණ්ඩලය මේක හිර කරගෙන හිටියා බෞද්ධාගමික සංකල්ප වලට හානියක් වෙනවා කියල. චිත‍්‍රපටියකින් ආගමකට හානි කරනවා කියල කියන එකම ආගමකට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නෙ. ආගම ආධ්‍යාත්මික පුහුණුවක් නම් මේ එක චිත‍්‍රපටියක් හින්ද ඒ සංකල්ප හානි වෙනවා කියන්නෙ ඒආගම ඉතා දුර්වල බොළඳ අවධියක් පසු කරනවා කියන එකයි. කොහොම වුණත් වාරණ මණ්ඩලෙන් අසංවර කෑලි කපලා රෙදි අන්දලා බොර දිය පොකුණ පෙන්නන්න අවසර දුන්නා. ඊට පස්සෙ මෑතක ඒක  ඕස්ටේ‍්‍රලියාවෙ ප‍්‍රදර්ශනයකට ගියා. ඒ කියන්නෙ  ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත් වෙන අපේ කට්ටිය ඒක එහේ පෙන්නන්න සංවිධානය කළා. එතනදි ඒ සංවිධායකයො එහෙදි ආයිමත් ඒකෙ කෑලි කපනවා. වාරණ මණ්ඩලයට පස්සෙත් තව තව අනු වාරණ මණ්ඩල විසින් ඒ ඒ අයගෙ සදාචාර සීමා අනුව ඒ වගේ කප්පාදු කිරීම් කරනවා. කොටින්ම ඔස්ටේ‍්‍රලියාවෙදි ලංකාවෙ වාරණ මණ්ඩලයට වඩා තදට මේ සදාචාර සීමාව බලපානවා.

කපන එකෙන් සදාචාරය රකින මේ පිළිවෙත බුදුන් වදාල ධර්මයට වඩා කිට්ටු වෙන්නෙ මුස්ලිම් සදාචාර නීතියට. මේ වෙද්දි අපි මුස්ලිම් අය එක්ක පැටළෙන සංස්කෘතික අවුලෙ හේතුව තියෙන්නෙත් මෙතන. සිංහල බෞද්ධ සංස්කෘතික සදාචාර සීමාවන් සහ මුස්ලිම් සදාචාර සීමාවන් අතර තියෙන ළ`ග වැඩි කම. මේ හින්දම වැඩිපුර ළමයි හැදීම, සදාචාර තහංචි, හම නොපෙනෙන්න ඇඳුම් ඇඳීම වගේ මතුපිට සදාචාර අගයන් සිංහල මුස්ලිම් දෙකොටසම එක වගේ බෙදා හදා ගන්නවා. ඒවා සමාජ සීමාවලින් එලියට ගිහින් ආධ්‍යාත්මික සීමාවන් දක්වාම පැතිරිලත් තියෙනවා. ආගම් දෙකක් වුණත් අපි පුරුදු පුහුණු කරන්නෙ එකම සදාචාර ශික්ෂණයක් නේද කියල මට රුවන්වැලි සෑ පාමුලදි හිතුණ.

මට දෙවෙනි වතාවටත් බුදුන් ගැන ලොකු දුකක් ඉපදුණා.

-චින්තන ධර්මදාස

Sunday, May 19, 2013

ආනන්ද, සර්පයා දුටුවාද? (තණ්හා රතී රගා ගැන කලින් වැඩි විචාරයක්)


අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත‍්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)

ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප‍්‍රත්‍යක්‍ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං කැමතියි ඒ වට වන්දනාවට. කතිකාවට. ඒකෙන් නිශ්චිත එක අදහසක් වෙනුවට අදහස් ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා. අනිත් අතට වෙනස් වෙනස් සංවාදයන් ගනනාවක් ඇසුරෙන් විවෘත අදහස් හුවමාරුවක් කරනවා මිසක් දාර්ශනිකයෙක් විදිහට සංගත අදහස් පද්ධතියක් ගොනු කරන්න  ඕනද කියල මට ෂුවර් නෑ. සිතීමක් විදිහට මේ බ්ලොග් ලිපි කියවන එක මගේ ලියමනට කරන සාධාරනයක් වෙයි සිතන්නෙක් විදිහට මාව අරගෙන කියවනවට වඩා. (මාව ගල් කරනවට වඩා)

උදා විදිහට බිල් බෲවර් ගේ අදහස් කියන්න මං බ්ලොග් ලිපිය වෙන් කරද්දි එන්ටර්ටේන්මන්ට් ගැන තුන්වෙනි අදහසක් යෝජනා කරනවා මිසක් මං එන්ටර්ටේන්මන්ට් වැරදියි කියන දෙවන අදහසට කොටු වෙන්න යෝජනා කරන්නෙ නෑ. මට දැනෙන අපේ කියවීමේ අවුල මේකයි. ඇ`ගිල්ල දිහා බලන් ඉන්නවා මිසක් ඇ`ගිල්ල දික් කරලා පෙන්නන දේ දිහා බලන්නෙ නෑ. කර්තෘ සෙවීමේ අවුල කියල මං ලිව්වෙ මේ ගැන.

මේ ඉස්සරහ කොටස මීට පස්සෙ ලියවෙන කොටස එක්ක සම්බන්ධයක් නෑ. මෙතනින් එහාට වෙනස් මාතෘකාවක්. ඒත් ඉස්සරින් කියෙව්වෙ ආරම්භයක්. අවසානයක් විදිහට.

නිලේන්ද්‍ර දේශප‍්‍රියගෙ ‘තණ්හා රතී රගා’ ගැන දැන්ම ලියන එක කොයි තරම් සාධාරණද කියල මං එහාට මෙහාට දදා කල්පනා කළා. ලොකුම හේතුව තාම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිය බලලා නැති එක. එහෙම තමන්ගෙ කියල අදහසක් නැති වෙලාවක අනුන්ගෙ අදහසක් තමන්ගෙ විදිහට පැලවෙන්න තියෙන අවදානම. ඒත් අනිත් අතට නිලේන්ද්‍ර චිත‍්‍රපටිය මාධ්‍ය වලට පෙන්නුවා (මාධ්‍ය සංවාදයක් වෙනුවෙන්) ඒ වෙලාවෙ ඒක නරඹපු කෙනෙක් විදිහට මට චිත‍්‍රපටිය ගැන හිතෙන දේවල් මේ හිතෙන වෙලාවෙ නොලිව්වොත් ඒ අදහස් පිළුණු වෙන්න ගන්නවා. මට ලියන්න නොහිතෙන්න පවා පුළුවන් තරමට ඒ අදහස් මගෙන් දුරස් වෙන්න හරි හම්බුවෙන උන් එක්ක කතා කරලා ඉවර වෙන්න හරි ඉඩ තියෙනවා.

ඒ චිත‍්‍රපටිය ලාංකේය සිනමාවෙ මාර තැනක් විදිහට සිනමා විදග්ධයන් කතා කරන්න ගත්තා. ගොඩක් වෙලාවට මූනිච්චාවට නෙමෙයි ඒ ඇත්තටම ඒ අයට හිතෙන විදිහ. මගේ යාබද සීට් වල අය ඒ ඒ අයගෙ කන්වලට ඒ විදිහෙ ඒවා කොඳුරනවා මට ඇහුණ. ඒ කෙබඳු මාර තැනක්දැයි විමසන්නයි මේ ලියමන ලියවෙන්නෙ.

හු`ගක් ලේසියෙන් ජාතකයක් හරි රජ කතාවක් හරි කරලා මහින්ද චින්තන චිත‍්‍රපටි ධාරාවෙ (ජාතික තලයෙ) ප‍්‍රබල තැනක් ගන්නත් ලේසියෙන්ම විකුණගන්නත් තිබුණු අවස්ථාව නොතකා හැරලා මේ වගේ අවදානම් තේමාවකට අත තියපු එක අගය කළ යුතු උත්සාහයක්. ඒ වගේම ලංකාවෙ යුද්දෙ දින්නට පස්සෙ ජනතාව කිරිබත් කාපු ඒ ‘අසිරිමත්’ දර්ශනය පළවෙනි වතාවට සිනමාවෙන් අපි දකින්නෙ මේ චිත‍්‍රපටිය ඇතුලෙ. ඒක හරි ප‍්‍රබල ආරම්භයක් චිත‍්‍රපටියකට.

මේ කතාව තිරිමාදුර සහ සරත් කොතලාවල අතින් ලියවෙනවා කියන ආරංචිය අහපු ගමන් මට හිතුන ඇත්ත හිතුවිල්ල වුනේ ‘අනිවාර්යෙන්ම පට්ට ස්ක්රිප්ට් එකක් වෙයි’ කියල. ජීවිතේ ජෝක් කරමින් ජීවත් වෙන එක ඇතුලෙ ගැඹුරු මොනවා හරි අත්දැකීම් ටිකක් තිරය උඩට එයි කියල පූර්ව විශ්වාසයක් මට තිබුණ. ඒත් මං වැරදියි. ටිකක් නැගලා යන ආකෘතියක් වගේ දෙයක් අහුවුනාට චිත‍්‍රපටියෙදි ජීවිතේ ගැඹුරට කැපෙන තැන් හොඳටම මගඇරිලා තිබුණ. සමහර වෙලාවට දුක හිතෙන තරමට.
කලින් කිව්වා වගේ චිත‍්‍රපටියෙ ආරම්භය ප‍්‍රබලයි. එතැනින් අඳුරගන්න චරිත කීපයක් හරහා අපි කතාවට බහිනවා. යුද්දෙ දිනපු විනෝදයට යාපනේ යන්න කතා වෙන තරුණයො තුන් දෙනෙක්. ත‍්‍රීවීල් එකක යාපනේ යන ගමන රෝඞ් මූවි එකක් වගේ පටන් ගන්නවා.

අපිට කන පැලෙන්න ඇහෙන්න ගන්නවා ‘සල්ලි පොකුරු මිල්ලෙ අහුරු’ ඬේමියන් ගෙ සිංදුව. මේ සිංදුව මෙතන පාවිච්චි වෙන එක ලොකු ෆේලියර් එකක්. බූඩිගෙ මිල්ලෙ සොයා ෆිල්ම් එකත් එක්ක පට්ට හිට් එකක් වෙලා ඒ ෆිල්ම් එකේ මෝගෝ එකක් (මියුසිකල් ලෝගෝ) එකක් වගේ වුණු මේ සිංදුව පාවිච්චි කරන එකෙන් මට ෆිල්ම් එකට කකුල් දෙක පොලොවෙ ගහලා හිටගන්න බැරි කරනවා.

මේ විනෝද ගමන අතරෙ දියාරු විදිහට ආදර හුටපටයක් පැටලෙනවා. ඒ කිතියෙන් කකුලෙ මහපටැගිල්ලෙන් පොලොව හාරද්දි කොටි වළලපු පිස්තෝලයක් මතු වෙනවා. මේ පිස්තෝලෙ එක්ක සයිමන්ගෙ සර්පයාත් ඉන්නවා. ඌ කිසි තේරුමක් නැතුව චිත‍්‍රපටිය පුරාම ඇදෙනවා. මේ සංකේත පාවිච්චිය නම් මාර ගොඬේ.

මේක ෆිල්ම් එකකට හොඳ ඉන්සයිටින් ඉන්සිඩනට් එකක්. යාපනේ තාමත් වළලපු තුවක්කු ඇති. චූන් එකේ ඉන්න වෙලාවක ඒ බිහිසුණු අතීතෙ නෂ්ටාවෂේශ කකුල් ගාව මතු වෙන්න පුළුවන්. ඒත් පිටකොටුවෙ ගුණසිංහපුරේ ඉන්න කුලී වැඩ කරන මිනිහෙක්, ත‍්‍රීවීල්කාරයෙක් සහ මදාවි යුනිවර්සිටිකාරයෙක්ට පිස්තෝලයක් කොයි තරං ලොකු වෙයිද කියන එක මට ගැටළුවක්. මං දන්න ගුණසිංහපුරේ අවුරුදු දොළහ දාසය වෙද්දි කොල්ලො පිස්තෝල අතගානවා (යුද්දෙන් පස්සෙ පුනරුත්ථාපනය වූ ගුණසිංහපුරයක් එහෙම තියෙනවද කියල මං දන්නෙ නෑ) ඒක වටේ ඊට පස්සෙ ගෙතෙන ආතතිය පිටකොටුව දන්න පේ‍්‍රක්‍ෂකයෙකුට ටිකක් පිළිගන්න අමාරුයි.

මේ චිත‍්‍රපටිය බලන කෙනෙක් අනිවාර්යෙන්ම රාජ් නිදිමොරු අධ්‍යක්‍ෂණය කරපු ‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එකත් බලන්න කියලා මං යෝජනා කරනවා. ඒකෙත් පාදඩකරණයට ආසන්නව ගතවෙන යාලූවො තුන්දෙනෙකුගෙ ජීවිත ආයුධ මල්ලක් හින්ද වෙනස් වෙන හැටි  තේමා වෙනවා. ඒත් ‘ෂෝර් ඉන් ද සිටි’ වල ජීවිතේ ඇතුලට කැපෙන තැන් වෙනුවට තන්හා රතී රගා වලදි මුණගැහෙන්නෙ බොළඳ රොමැන්ටික් අත්දැකීම් (මතුපිට අතපත ගෑම්). ‘ගිනි අවියේ බිහිසුණු බව විසින් අපගේ අනාගත පරපුරත් බිලි ගනී’ වගේ ස්ටේට්මන්ට් එකකට එහා වියමන එලෙන්නෙ නෑ.

විශේෂයෙන් මේ චරිත වල ඇතූලතක් නෑ. පිටතක් විතරයි. ත‍්‍රීවීල්කාරයාගේ ත‍්‍රීවීල් ජීවිතය, කුලීකාරයාගෙ කුලී ජීවිතය සහ යුනිවර්සිටි කියන කොල්ලාගේ (ඒ චරිතෙ කිසිම එහෙම ගතියක් නෑ) යුනිවර්සිටි ජීවිතය වෙනුවට අපි දකින්නෙ නිකංම මැද පංතියෙ ඉඳන් එලිය බැලූවම පේන සමතල චිත‍්‍රයක් විතරයි. චිත‍්‍රපටියෙ කතා කරන ගුණසිංහපුරේ ගෙවල් දොරවල් වටපිටාව විතරයි වෙනස්. ජීවිත ඇතුලෙ ඒ වගේ අයිඩෙන්ටිටි එකක් නෑ.

‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එක බැලූවොත් මේ එකම සරල මතුපිට කතාව ඒකෙ  තල ගණනාවක් දක්වා අතුරනවා. ඒක ලේයර්ඞ් චිත‍්‍රපටියක්. තන්හා රතී රගා ඒ සරල මතුපිට කතාවත් ගොතා ගන්නෙ හරිම දුර්වල විදිහට. ඒ කතාවෙ අතුරු කතා විදිහට දිගඇරෙන සිද්දි නිකං එල්ලලා තියෙනවා විතරයි. ඒ ආදර සම්බන්ද, නෑදෑ ආරවුල් ගැන අපිව ගෙනියන්නෙ  ප‍්‍රවෘත්තියක දුරට විතරයි. ඒවා අත්දැකීම් වෙන්න තරමට මෝරන්නෙ නෑ. සුලබ සීමාවක් ඇතුලෙ (සමජාතීය) මේ ජීවිත ගනුදෙනු එහා මෙහා වෙනවා විතරයි.

ඒ වගේම සමහර සිද්ධි ගොඩනැගීම් හරිම ළාබාලයි. උදා විදිහට වෘත්තියක් විදිහට ගුනසිංහපුරේ ත‍්‍රීවීල් දුවන කෙනෙක් යාපනේ ගිහින් තමන්ගේ ත‍්‍රීවිලරය පැට‍්‍රල් නැතුව නවතින කල්ම හාංකවිසියක් නොදැන සිටීම, තව තැනක හමුදා ට‍්‍රක් එකක් සොල්දාදුවන් පුරෝගෙන එද්දි ඒ තමන්ගෙ පිස්තෝලෙ අල්ලන්න කියලා හිතලා කැම්පස් ගැටයා සහ ත‍්‍රීවීල්කරුවා බෝම්බ වැළලූ බිම් පවා නොතකා දිවීම (මෙතන හමුදා චරිත හැසිරෙන විදිහ පවා හරිම කාඞ්බෝඞ්) වගේ සිද්දි වැලක් කියාගෙන යන්න පුළුවන්.

මේ වගේ තේරුමක් නැති කලාප වල බොළඳ හරඹ කරමින් යන එක ඇතුලෙ ටික වෙලාවකින් මට දැණුනෙ ලොකු වෙහෙසක්. චිත‍්‍රපටිය ඉවර වෙන්න  ඕන තැනත් පහු කරගෙන ඔහේ දිගට ඇදි ඇදී යනවා. අන්තිමට කිසි තේරුමක් නැතුව ස්වර්ණා මල්ලවාරච්චි නැවත තිරයට ගෙන ඒම වගේ උවමනාවක් වෙනුවෙන් දර්ශන පේලියක්ම ගෙතෙනවා. චිත‍්‍රපටිය ඉවර වෙද්දි ඉතුරු වෙන්නෙ ලොකු හිස්කමක්. අවුරුදු පනහ පහුවෙනකල් හිර කරගෙන හිටපු (පරිණත කරපු)තමන්ගේ සිනමා ආශාව නිලේන්ද්‍ර එලියට දාලා තියෙන හැටි ගැන මං තෘප්තිමත් නෑ.

තිරිමාදුරගෙයි සරත් කොතලාවලගෙයි රංගනයෙත් ෆ්ලැට්ම තැන් සලකුණු වෙන්නෙ මේ ප‍්‍රධාන චරිත ඇතුලෙ කියලයි මට හිතෙන්නෙ. හරිම කුඩා අතුරු චරිතයක් කරන ප‍්‍රියන්ත සිරිකුමාර ඒ සොල්දාදු චරිතෙට ලොකු ගැඹුරක් ඒ පොඩි වෙලාවෙදි එකතු කරනවා. කාජල් ගේ පිංතූරය දිගේ ඇ`ගිල්ල පහලට අරගෙන එන අතරෙ දරන නිහැ`ඩියාව කෙලවරේ ‘කාජල්’ කියල විතරක් කියන එක ගල් තොප්පියට යටින් ඒ ඔලූව ඇතුලෙ හිරවෙච්ච ‘පර්වර්ට්’ ගොඩක් දේවල් එලියට දානවා. විශේෂයෙන් ප‍්‍රියන්තගෙ ර`ගපෑම ගැන ලියන්න හේතුව මේ ක්ලැසික් විපරීත මනස එලියට ගේන වෙන කිසි නළුවෙක් මට ලංකාවෙ මුණගැහිලා නැති නිසා.
ඒත් නිලේන්ද්‍ර මේ චිත‍්‍රපටියෙදි පාවිච්චි කරන රූප රාමු ශෛලිය ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරයට අවංකයි.

ලේසියෙන් විකිණෙන රාජ්‍ය චිත‍්‍රපටි එක්ක පෙලට හිටගැනීම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් නිලේන්ද්‍ර සම්මාන සිනමාව වෙනුවෙන් පාවිච්චි වෙන ගල්ගැහුණු, හිරි වැටුණු රූප රාමු කලාවෙනුත් වෙන් වෙනවා. පණ්ඩිත කැමරාවක් වෙනුවට ජීවිතේ එක්ක සමගාමීව ළ`ගින් හිටගන්න කැමරාවක් නිලේන්ද්‍ර පාවිච්චි කරන්නෙ. ඒ රූපරාමු අපි දිහා එලියෙ ඉඳන් බලන රූප රාමු නෙමෙයි. ඒවා කතා කරන්නෙ අපිට. පිටරටට වෙනුවට ආපහු ලංකාවට. ඒ පැත්තෙන් ධනුෂ්කගෙ කැමරාව හොඳ දැනුවත් භාවිතාවක යෙදෙනවා කියලා මට හිතුනෙ. ඒත් සමහර වෙලාවලදි පාවිච්චි වෙන වයිඞ් ඈන්ගල් ලෙන්ස් එක ඒ ප‍්‍රබල බව යම්තාක් දුර්වල කරනවා. ඒ වගේම සිද්ධීන් වලදි පරිසරය තේරුම් ගන්න ප‍්‍රමාණවත් රූප රාමු ගොඩනැංවීමක් නොකරන හින්ද සමහර විටක ආතපාත නැති ගතියක් දැනෙන්න ගන්නවා.

චිත‍්‍රපටියෙන් තුනෙන් එකක් විතර දුවන්නෙ දෙරන ප‍්‍රවෘත්ති උඩ. දිල්කා සමන්මලිත් චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිතයක් වෙනවා නිකංම. ඒක නිලේන්ද්‍ර තමන්ගෙ පුද්ගලික ඇයි හොඳයිය නිසා වැඩිපුර සලකන්න  ගිහින් ඇණගත්ත තැනක් කියල මට හිතෙන්නෙ. වෙනස් වෙනස් ප‍්‍රවෘත්ති මාධ්‍ය, රේඩියෝ, පුවත්පත් ආදිය පාවිච්චි කරමින් ලොකු සමාජ පරාසයක් අලූතෙන් එකතු කරන්න තිබුණු ඉඩ මෙතනදි ඇකිලෙනවා. අපරාදෙ.

සංගීතය චිත‍්‍රපටියට කරන්නෙ ලොකු හානියක්. චිත‍්‍රපටියෙ කතාවට, රූප පෙළට කිසිම සම්බන්ධයක් නැති පරාරෝපිත පියානෝවක සද්දෙන් නිලේන්ද්‍ර කියන්න යන්නෙ මොකක්ද කියල මට තේරුම් ගන්න බැරි වුණා. කොටින්ම ඒක වාතයක් වුණා. අමරෝස් පෙරෝස් ඇතුලෙ කිසලොව්ස්කිගෙ තීම් එකක් ඇහෙනවා වගේ ඊට වඩා සරලව කිව්වොත් තක්කාලියි බෝල්ට් ඇණයි ගතියක් තමයි සංගීතෙන් එකතු කරලා තිබුණෙ.
චිත‍්‍රපටිය ගැන ගොඩක් අය කතා කළා. පුටු උඩ එක එක්කෙනාගෙ කණට කොඳුරපු  අය හු`ගදෙනෙක් එක කමෙන්ට් එකක් දුන්නා. ‘බැලන්ස් චිත‍්‍රපටියක්’. මේකෙන් ඒ අය අදහස් කළේ මොකක් වුණත් මට දැනෙන විදිහට බැලන්ස් එකම තමයි අවුල. චිත‍්‍රපටියක් බැලන්ස් නැති වෙන එකයි ලස්සන. නැත්තං කිරලා මැනලා හදපු තෝසයක් වගේ අච්චු ගතියක් දැනෙන්න ගන්නවා. නිලේන්ද්‍ර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පුරුදු කරපු සංවිධානාත්මක බව සිනමාකරුවෙක් විදිහට ලොකු අවාසියක් සිද්ද කරනවා.

චිත‍්‍රපටිය ගැන ලොකු ලොකු විද්වත්තු කතා කළා. වැලිකතර කරපු ඞීබී නිහාල්සිංහ පවා ග්ලෝබල් ෆිල්ම් ඉනීෂියේටිව් ආයතනයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න ෆන්ඞ් එකක් අනුමත කරමින් එවපු සුබපැතුම් පණිවුඩය කියවමින් එතනදි කිව්වෙ මේක නං මාර විශිෂ්ට චිත‍්‍රපටියක් කියල. මං ගොඩක් ගරු කරන සරසවියෙ අරුණ ගුනරත්න හැමෝටම ඉස්සර වෙමින් විචාරයක් ලිව්වෙ මෙහෙම.

‘‘කාගේ වුනත් චිත‍්‍රපටයක් මූනිච්චාවට හොඳයි කියන සිරිතක් මට නැහැ. ඒ පුරුද්ද හින්දා සමහරු මාත් එක්ක තරහ වෙලා තියෙනවා.ඒ ගැන දන්නා නිසා සමහරු මගෙන් තමන්ගේ චිත‍්‍රපටය ගැන අහන්නේ නැහැ.ඒත් නිලේ අහනවා. මම මෙහෙම නිලේන්ද්‍ර ට උත්තර දුන්නා
පට්ට ෆිල්ම් එක බං’’

ලංකාවෙ සිනමා විදග්ධයන්ගෙ චිත‍්‍රපටි ගැන තියෙන මේ සීමිත දැනීම (සීමිත දැකීම විශේෂයෙන්) මාව ගොඩක් බය කරනවා. ඒ දැනීම හා කියවීම ඇතුලෙ මෙතනින් එහා යන චිත‍්‍රපටියක් හැදෙන්නෙ නෑ. ඒ චිත‍්‍රපටි ඇතුලෙන් කරන ජීවිත අත්දැකීම් හුවමාරුව සහ පරිණත බව ගැන දැක්මක් අවාසනාවන්ත විදිහට මග ඇරෙනවා. නිලේන්ද්‍රගෙ චිත‍්‍රපටියෙ හොඳ ලක්ෂණ තියෙනවා. ඒ වගේම සිනමාත්මක සිතීමේදී පොදුවෙ රටක් හැටියට අපි පෙළෙන දුර්වලතා ගෝනි පිටින් මේකෙ තියෙනවා. වෙනස් වෙනස් ජීවිත කලාපයන් සහ විස්තර ගැන අන්ධභාවය එතනදි ලොකුම අඩුවක්. සිනමා දැනුවත්තු මේ ගැන ලියන කියන දේවලින් මාව නැවත නැවතත් තිගැස්සෙන්නෙ මේ ජීවිතාන්ධභාවය ඒ අයත් ඒකමතිකව බෙදාහදාගන්නා නිසා.

නිලේන්ද්‍ර වගේ චරිතයක් ආයිමත් සිනමාවට එකතු වෙන එක හොඳ තත්වයක්. විශේෂයෙන්ම මහින්ද චින්තන සිනමාවට විකල්පව කර්මාන්තයක් විදිහට සිනමා සම්බන්ධතා යලි ගොඩනැගීම පැත්තෙන් (මාධ්‍ය ප‍්‍රදර්ශනයේදී පවා මේ ශක්‍යතාවය පේන්න තිබුණ). ඒත් ඒ ව්‍යවසායකත්වයට අදාල කාරණා කෘතියට බාහිරින් නොතිබී කෘතිය ඇතුලට ප‍්‍රවේශ වීමෙන් කෘතිය දුර්වල කරනවා.

ඒ කොහොම වුණත් සිනමාව ගැන සීමිත විචාරයකින් සිද්ද වෙන්නෙ කඳක් විදිහට වැඩුණත් සිනමාවට ඔලූවක් නැති කරන එක විතරයි.

-චින්තන ධර්මදාස