Thursday, May 5, 2011

මට මෙගා ටෙලියක් කරන්න ආසයි



‘මට මෙගා ටෙලියක් කරන්න ආසයි.’
මං කිව්වම මගේ යාලූවො ගොඩක් අවුල් වුණා.
‘චිත‍්‍රපටියක් කරපන්.’
‘නෑ මට ඕනි මෙගා ටෙලියක් කරන්න.’

චිත‍්‍රපටි හදන හරි වෙන සම්භාව්‍ය කියන වැඩ කරන හරි ගොඩක් දෙනාට ටෙලි වගේ වැඩ හරි බාල වැඩ. ඒක හින්ද ඒ ගොල්ලො කවුරුවත් බලන්නෙ නැති චිත‍්‍රපටි හදනවා. තවත් අය දාහකට වඩා විකුණගන්න බැරි පොත් ලියනවා. බලන්න හෝ කියවන්න ඉන්න ඔලූ ගෙඩි ගණන් කරලා වැඩ කරන්න කියනවා වගේ පටු අදහසක් නෙමෙයි මම කියන්නෙ. ආර්ට් එකක් කරද්දි බොහිමියානු පරාරෝපණයකට යන්නෙ නැතුව මේ පොලොවෙ ඉඳන් ඒ දිහා බලන්න කියන එකයි. එහෙම නැතිවුණු හින්ද අපේ නිර්මාණ ජීවිත වලින් ගොඩක් ඈතයි. පිටරටවල චිත‍්‍රපටි හෝ පරිවර්තන එක්ක ගැලපෙන විදිහටයි චරිත, කතා නිර්මාණය වෙන්නෙ. අපි එදිනෙදා මුහුණ දෙන මෝඩ, විහිළුකාර ජීවිතේ වෙනුවට අපේ චිත‍්‍රපටිවල නවකතා වල තියෙන්නෙ දාර්ශනික චරිත. මායිම් ගම්මාන වල සමතලා වෙලා යන ජීවිතයක වුණත් ඛේදවාචකය හරි කාව්‍යමයයි. දාර්ශනිකයි. සංවේදියි. ඒ අපේ නිර්මාණකරුවො ජීවිතේ දිහා බලන හැටි. හරි මානව විද්‍යාත්මකයි. මානව විද්‍යාව හැදුනෙ ඈත ඉඳන් මිනිස්සු දිහා බලන්න. දුර රූපයකින්. එතකොට කතුවරයා ඉන්නෙ ඉහලින්. ඒ මඩ වල නොගෑවී. එහෙම වුණොත් තමයි පිටරට සම්මාන උළෙලවල අයට මේ ආර්ටිස්ට් කෙනෙක් කියල දැනෙන්නෙ. සමාජ විද්‍යාත්මක ඇහින් අපි දිහා බලලා කරන නිර්මාණ ඒ අයට විකුණන්න බෑ. ආර්ට් සෙන්ටර් එකේ තියෙන රටවල් පරිධියේ රටවලට කියනවා ඒ අයට අවශ්‍ය නිර්මාණ සකස් වෙන්න ඕන හැටි. අපේ ජීවිතේට කැමරාව ඇල්ලූවට ඒක ආර්ට් කියලා කියවන්නෙ නෑ. ඒ ආර්ට් කියල සම්මත කෝණෙකට කැමරාව අල්ලන්න ඕන. මේ විදිහට අපේ ආර්ට් කියන දේවල් ඇතුලෙ වෙන්නෙ වෙන මොනම වැඩකටවත් වඩා ජීවිතය පාවා දීම. කෙලවරේදි ජීවිතය අහිමි වීම. සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව*, මැණික් චන්ද්‍රසාගර් (කොළඹ සන්නිය* වගේ චිත‍්‍රපටිකරුවො ආර්ටිස්ට් ලා නොවී ලෙස්ටර් ලා, නිහාල්සිංහලා ආර්ටිස්ට්ලා වෙන්නෙ ඒකයි.

මෑතකදි මගේ යාලූවෙක් කරපු චිත‍්‍රපටියක් බලලා පාලිත පෙරේරා මෙහෙම කිව්වා.
ඒ සෙක්ස් ද බං. කැමරාවට හරව හරවා සෙක්ස් කරන්නෙ ඕවා කැමරා සෙක්ස්. ඇත්ත ලයිෆ් එකේ සෙකස් කරපු උන් ඔහොම නෑ.
ටිකක් වෙලා කල්පනා කරද්දි ඒ කතාව එක්ක මට ගොඩක් දේවල් ඈඳුණා. ධර්මසිරි සුද්දිලාගේ කතාවෙ කරපු ‘සෙක්ස්‘ සීන් එකක් ගැන සයිමන් ගොඩක් විරුද්ධ වුණා. ‘ඒක හරියට පිටරට බෙඞ් රූම් සීන් එකක් වගේ. මගේ නවකතාව බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි’ සයිමන් කිව්වා.
‘මචං අපේ උන්ගෙ ලයිෆ් සෙක්ස් නෑ. උන්ට තියෙන්නෙ සිනෙ සෙකස්’ උදයා ත‍්‍රීවිල් එකක එන ගමන් ?ක කිව්වා.
මේක සෙක්ස් වලට විතරක් නෙමෙයි, අපි ආර්ට් කියලා කරන ගොඩක් දේවලට අදාලයි. ආර්ට් එකක ජීවිතේ කියලා ජීවිතේ වගේ වෙන එකක් ගේනවා කියන්නෙ ඒක ‘අසභ්‍යයි’. මම මෙතනින් කතාව පටන් ගත්ත තැනට එනවා. මට මෙගා ටෙලියක් කරන්න උවමනා වීම.

සෝප් ඔපෙරා සහ අධ්‍යාපනය එක්වරම මහා අපරාධයක් වගේ දැනෙන්නෙ නැහැ. ඒත් කාලයක් පුරා යද්දි ඒ දෙකම මාරාන්තිකයි - මාක් ට්වයින්.

ටීවී එකේ මේක දවසට පැය හත අටක් කරගෙන යනවා. නොමිලේ දෙන හින්ද කිසි කොලිිටියක් නැති ලාංකීය පේ‍්‍රක්‍ෂකයො කට ඇරගෙන බලන් ඉන්නවා. දන්නෙම නැතුව ඒ අයගෙ ඇත්ත ජීවිතේ සම්බන්ධතා අර මෙගා ටෙලියෙ වගේ වෙන්න පටන් ගන්නවා. අද අපේ සාමාන්‍ය පොදු ජනතාවගේ මානසිකත්වය පාලනය කරන්නෙ මෙගා ටෙලි. ඒ ටෙලිවල චරිත වගේම බලන මිනිස්සුන්ගෙත් ගෙදරට සහ අල්ලපු ගෙදරට පිට දේශපාලනයක්/අවබෝධයක් නෑ. එතකොට අපේ පොත් ලියන අය, චිත‍්‍රපටි කරන අය හැමදෙයක්ම කරන්නෙ මේ ජනතාවට, නැත්තං මේ ජනතාව නොවන, ඇත්තට නැති ජනතාවකට. ඒ දෙකෙන්ම වෙන්නෙ එකම දේ. විමුක්ති ජයසුන්දරගෙ චිත‍්‍රපටියක් සහ උදයකාන්තගේ චිත‍්‍රපටියක් ලංකාවෙ පොලොවට ගේන්නෙ එකම විදිහක නරකක්. ජීවිතය විකෘති කිරීම.


කොමර්ෂල් ජෑස්, සෝප් ඔපෙරා, පල්ප් ෆික්ෂන්, කොමික් පොත්, නාගරික බහුතරය ගැන රූප මවන, ඒ අයගෙ ආචාර සමාචාර, වටිනාකම් සහ අරමුණු ගැන කතා කරන චිත‍්‍රපටි....එක විදිහකින් හෝ තව විදිහකින් හැමෝම මේ සංස්කෘතික මැෂින් ඉස්සරහ සමානයි. තාක්ෂණය වගේ ජන මාධ්‍යත් දැන් සිද්ධි සහ ඉල්ලූම අතින් කොතනත් එක වගෙයි. මේ ඔක්කොම පොදු සාධකයක් වගේ. බහුතර හැ`ගීම් සඳහා කල් ඇතුව සකස් කරපු පද්ධතියක්- සී රයිට් මිල්ස්

ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත ජීවිතයක් ගත කරන සවිඥාණක කෙනෙක් වැඩ කරන්න තෝර ගන්නෙ මෙගා ටෙලි මාධ්‍ය කියන එකයි මගේ අදහස. ආර්ථික දේශපාලනික හා සමාජීය සාදක ගාණක් විසින් මිනිස්සුන්ව ගාල් කරලා තියෙන තැනට ගිහින් එතන සංවාදයක් ගොඩනගා ගන්න බැරි නම් ඒ ආර්ට් එක මේ පොලොවෙ වඳ වෙන්න නියමිතයි.
‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ් කන්ද ළ`ගට යන්න ඕන’

මෙගා කියන්නෙත් ලෝකෙ හැම තැනම ව්‍යාප්ත වෙච්ච ෂොනරයක්. ඒකටත් ආවේණික ආකෘති, ලක්ෂණ සහ අංග තියෙනවා. ඒක මාධ්‍යයක් විදිහට විනයක් සහ දැනුමක් ඇතුව හසුරුවන එකත් වැඩක්. ලංකාවෙ ගැඹුරු දැක්මක් නැති, හුදු සල්ලි හම්බකිරීම මිස වෙන රසයක් ගැන හැ`ගීමක් නැති බාල මිනිස්සු ටිකක් මේ මාධ්‍යය ඇතුලෙ කරගෙන යන මෝඩකම හරිම අනතුරුදායකයි. නිර්මාණ වලින් අරක්කු කපන්න කියන මාධ්‍ය සදාචාර අයට ළපටි වැඩියි මේ අවුල තේරුම් ගන්න. නැතත් මේ අදේශපාලනික, පවුල් මූලික, කුහකකම විතරක් මනුස්සකමක් විදිහට දන්න මිනිස්සු නිර්මාණය වෙන එක ඒ අයට හොඳයි.

පවුල් ජීවිතය කේන්ද්‍ර කර ගැනීම, පුද්ගලික සබඳතා, ලිංගිකමය ඇවිස්සීම්, හැ`ගීම් සහ සදාචාර ගැටුම්, වත්මන් තත්වය සම්බන්ධ සුළු සිද්ධීන්, හුරු පුරුදු අවට වටපිටාවෙම රූප ගත කිරීම් ආදිය සෝප් ඔපෙරා (මෙගා* වල සම්මත රටාවක්. මෙගා ටෙලි ඉලක්ක කර ගන්නෙම ගෙදර ඉන්න කාන්තාවන්. ඒත් මේ වෙද්දි සමාජ ජීවිතයක් නැතුව පිරිමි පෞර්ෂය අහිමි වෙච්ච හැම පිරිමියෙක්මත් 7.30ට ටීවී එක ළ`ගින් ඉඳ ගන්නවා. චැනල් භේදයක් නැතුව වෙලාව මාරුවෙන් මාරුවට චැනල් ඔක්කොම එකම කතාව කියනවා. එකම රස කුණු රස. ඒත් ඒක එකම වෙලාවක ලංකාවෙ මහා ජනතාවක් කුණු ගඳ ගස්සනවා.

ඇත්ත ජීවිතේ එක්ක ගැටගැහුණු, මීට වඩා මානුෂික හැ`ගීම් දනවන (එකම හැ`ගීම කුහකකම විතරක් වීම වෙනුවට* ආකෘතියක් විදිහට මෙගා එක්ක වැඩ කරන්න බැරිද? චිත‍්‍රපටියක් බලන්න එන පේ‍්‍රක්‍ෂාගාරය එන්න එන්නම පිරිහෙද්දි වඩාත් සාර්ථක ආරම්භයක් තියෙන්නෙ තවමත් මිනිස්සු නරඹන සජීවී විදිහට ගණුදෙනු කරන තැනකින් නෙමෙයිද? ඒත් අපේ සම්භාව්‍ය කට්ටියට මෙතනට එන්න බැරි ඇත්ත අවුල තියෙන්නෙ වෙන එකක. ඒ අයගෙ පරාරෝපිත ජීවිතය මෙතන විකුණන්න බෑ. මඩට බහින්න වෙනවා. ඒත් ඒ මඩ දිගේ ඇවිදන් එන්න බැරි නම් එතන ආර්ට් එක වෙනුවට තියෙන්නෙ බොරුවක්.

මඩ ඉහගෙන කෑම සහ මඬේ නොගෑවී හිඳීම කියන දෙකම වංචනිකයි කියන එකයි මගේ අදහස. මේ මැද්දෙ ඉන්නෙ අපි ඇත්තට ජීවත් වෙන සමාජෙ මිනිස්සු. ඒ අය එක්ක හෘදයාංගම ගනුදනුවකට යන්න නම් අපිට සිද්ද වෙනවා මීට වඩා විවෘත වෙන්න. ඒ ගොල්ලො අහන්න කැමති කතාවම වෙන විදිහකට කියන්න.

ඒත් එහෙම කියන්න හරි අපිට ඇත්ත කතාවක් තියෙන්න ඕන. අනිත් අය එක්ක බෙදා ගත්ත ජීවිතයක් තියෙන්න ඕන. අපේ හු`ගක් කලාත්මක කට්ටිය ටීවී එකට ඇවිත් ෆේල් වුණේ ඒ බොල්කම ටීවී එකේ හැමදාම දකින බොල්කමටත් වඩා බොල් වුණු හින්ද.

ඒක හින්ද මට හිතෙන්නෙ ත්ර්කොව්ස්කි, බර්ග්මාන් ගැන ඉගෙන ගන්නවට වඩා චිත‍්‍රපටිකරුවෙකුට මේ වෙලාවෙ මෙගා ගැන ඉගෙන ගන්න එක වැදගත්.

No comments:

Post a Comment