Monday, May 16, 2011

අලිජන්දාරෝ ජොරඩොව්ස්කි එක්ක වචන කීපයක්


(ජොරඩොව්ස්කි පපටියර් කෙනෙක්, තිර කතාකරුවෙක්, නාට්‍යකරුවෙක්, චිත‍්‍රපටකරුවෙක් වගේම ටැරොට් විශේෂඥයෙක්.*

ප‍්‍රශ්නය-
ඔබ එකපාර ව්‍යාපෘති දෙක තුනක යෙදිලා ඉන්න කාර්ය බහුල කෙනෙක්. ඔය වයසෙදිත් කොහොමද මේ තරම් හයියක්?

අලිජන්දාරෝ-
ආර්ටිස්ට් කෙනෙක් හින්ද මං කරන්නෙ මං කැමති දේ. මං අකමැති දේ කළොත් තමයි මහන්සි වෙන්නෙ. කෙනෙක් ආස දේ කරද්දි තව තවත් ශක්තිමත් වෙනවා මං හිතන්නෙ.

ප‍්‍රශ්නය-
ඔබ එකපාරක් කිව්වා, ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ තමන්ට ඕන දේ කරන කෙනෙක් කියල.

අලිජන්දාරෝ-
ඔව්. තමන්ට ඔන් දේ කරන, තමන් හැර වෙන කිසිවෙකුත් නොවෙන කෙනෙක්. වෙන අයට වෙන්න ඕන කෙනා වෙන කෙනෙක් නෙමෙයි. ඔබ ඔබම වෙන්න ඕන සහ ඔබ කැමති දේ කරන්න ඕන.

ප‍්‍රශ්නය-
ඔබ හිතන්නෙ ඕනම මට්ටමකදි කෙනෙක් ඇත්තට ජීවත් වෙනවා නම් ඒ විදිහට වෙන්න ඕනද?

අලිජන්දාරෝ-
ඔව්. ඔබ කර්මාන්තයක් විදිහට ආර්ට් කරනවා නම් ඒක වෙනස්. ආර්ට් කියන එකේ පරමාර්ථයම ඔබේ ආත්මය ගොඩනගන එක. ඒත් කර්මාන්තයක පරමාර්ථය මුදල්. ඒක වෙනස්. ඔබ බැඳිලා ඉන්නවා ඔබ කැමති නැති දේ කරන්න, ඔබ නොවී ඉන්න. එතනදි ඔබ නිදහස් නෑ. ඒ කියන්නෙ ඔබ ඇත්ත ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි. ඇත්ත ආර්ටිස්ට් කෙනෙක් නම් ඔබ හැම විටම නිදහස්. ඔබ කවුරු හරි විශේෂ ජනතාවකට දේවල් කරන්නෙ නෑ. ඔබ කරන්නෙ ඔබටම. ඔබේ ආත්මය තේරුම් ගන්න.

ප‍්‍රශ්නය-
මේක ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්. ගොඩක් සම්ප‍්‍රදායන් කතා කරනවා මමත්වය නැති කිරීම ගැන. ඒත් ඔබ කියනවා මමත්වය නැති කරන්න බෑ කියල.

අලිජන්දාරෝ-
මම හිතන්නෙ ඒක මායාවක්. ඔබ මමත්වය නැති කරන්නෙ නෑ. ඒක අනිවාර්යයි. ගොඩක් උසස් අයටත් ලොකු මමත්වයන් තිබුණා. ඔබ ඒක සතෙක් වගේ හීලෑ කර ගන්න ඕන. ඔබ සිංහයෙක්ව මරා දාන්නෙ නෑනෙ. සිංහයාව හීලෑ කර ගන්නවා. මමත්වය ඔබේ ඇතුළත පරිපූර්ණත්වයට කීකරු විය යුතුයි. මමත්වය ඔබේ අභ්‍යන්තර හ`ඩ නොතකා හරිනවා නම් ඔබ ඉන්නෙ අවුලක.

ප‍්‍රශ්නය- ආර්ටිස්ට් කෙනෙක්ට මමත්වයක් ඕන නැද්ද?

අලිජන්දාරෝ-
හැමෝටම ඕන. ඔබාමාටත් ඕන. මමත්වයක් නැතුව එයාට බෑ ජනාධිපති කෙනෙක් වෙන්න. නළුවෙකුට බෑ නළුවෙක් වෙන්න. ගුරුවරයෙකුට බෑ ගුරුවරයෙක් වෙන්න. ඒත් මමත්වය කීකරු කර ගත යුතුයි. ඒකයි ඇත්ත කාරණේ. අනිත් අය එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වන්න නම් ඒක ඕනමයි. ජීවිතය ඇතුලට යන්න නම් ඔබ දැන ගන්න ඕන අනිත් අයව සම්බන්ධ කර ගන්නෙ කොහොමද කියල. ඔබට තිනිවම දෙයක් කර ගන්න බැරි වුණාම අනිත් අයගෙ උදව් ඕන. හැමදේම තනියෙන් කරන්න බෑ.

No comments:

Post a Comment