Monday, May 16, 2011

දවසක් එනවා අපේ අධෝ මාර්ග අපිටම අයිති වෙන


මට කතාව පටන් ගන්න තැනක් හිතා ගන්න බැරි වුණා. අපේ ඔෆිස් එකේ එලියෙ පුටු දාලා තියෙන ආලින්දෙ ඔස්කා ඉඳගෙන ඉන්නවා, මං මොකක් හරි අහන කල්. ඒක හරි අමාරු දෙයක්. කොතනින් පටන් ගන්නද කියල හිතන එක. හැමෝම අහලා පට්ට ගහලා තියෙන ප‍්‍රශ්නෙකින් මං පටන් ගත්තා.

ඇයි ෆිල්ම් කරන්නෙ?
මං අම්පාරෙ නෙ. එහේ ෆිල්ම් හෝල් ගොඩක් නෑ. රීගල් එක විතරයි. ඒකෙත් ෆිල්ම් නෑ. ඒත් ඞීවීඞී ප්ලේයර් වලින් අපිට පුළුවන් වුණා යුද්ද ෆිල්ම් බලන්න. යුද්ද ෆිල්ම් බලද්දි හරි ආස හිතුණ. අපෙත් යුද්දෙනෙ. ෆිල්ම් එකේ පෙන්නන්නෙත් යුද්දෙ. උනුයි අපියි දෙකම එකයි කියලා හිතුණ.
අපේ පැත්තෙ කොල්ලො ගොඩක් හමුදාවට ගියා. උන් එද්දි සිගරට් පැකට්, ඞීවීඞී ප්ලේයර් අරන් එනවා. ඒවායින් බලන්නෙත් යුද්ද ෆිල්ම්. එක පාරක් රීගල් එකට ප‍්‍රසන්න විතානගේ කරපු පුරහඳ කරුවල චිත‍්‍රපටිය ආවා. අපි අහලා තිබුණා. පුතා හමුදාවට ගිහින් නැති වෙලා, එයා එනකල් බලාගෙන ඉන්න තාත්තා කෙනෙක් ගැන කතාවක් කියල. ඒත් ෆිල්ම් එක බලද්දි අපිට හිනා ගියා. ඒක යුද්දෙ ගැන අපි දන්න කතාව නෙමෙයි. අපේ හිටියා හතේ ලොක්කා කියල කෙනෙක්. එයාගෙ පුතා හමුදාවට ගිහින් මැරුණා. ඒකට හම්බුණ වන්දියෙන් මිනිහා ගත්තා ලොකු ටීවී එකක්. අපි ඔක්කොම ක‍්‍රිකට් මැච් බැලූවෙ ඒකෙන්. පුරහඳේ පෙන්නන්නෙ හිනා යන එකක්. යුද්දෙ ගැන මානුෂික කතා ඔක්කොම ඒවායින් ස්වයං වින්දනය කරන්න යුද්දෙන් පිට හිටපු අය හදපු ඒවා. යුද්දෙ ජීවත් වෙච්ච අපිට ඒකෙ එහෙම දෙයක් නෑ.

ඔස්කාව මට හම්බුණෙ කොයින්ස් ෆිලිම් ෆෙස්ටිවල් එකේදි. එයා කරපු 'Irregular Story of my life' ෆිල්ම් එක මට කණ පැලෙන්න වැදුණ. ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම චිත‍්‍රපටිය වුණෙත් ඒක. කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රධාන ආරධිතයා විදිහට ඇවිත් හිටියා. සම්මානෙ ගන්න ආවම අනිත් කෙටි චිත‍්‍රපටිකාරයො කරපු ස්තුති ප‍්‍රකාශ වෙනුවට ඔස්කා කිව්වෙ වෙන කතාවක්. ඒක මට වගේම එතන ගොඩක් අයටත් කණ පැලෙන්න වැදුණ.

‘අපේ ගුද මාර්ග වල අයිතියත් අපිට අහිමි කරලයි තියෙන්නෙ. කතා කරන්න අයිතිය කලින්ම නැති වුණා. දැන් කන්න නැති කරලා ඊට පස්සෙ ගුද මාර්ග පාවිච්චි වෙන්න ඕනෙත් උන්ට ඕන විදිහට. අපේ ගුද මාර්ග වල අයිතිය උන් අරගෙන ඒවා උන්ට ඕන විදිහට පාවිච්චි කරනවා. ඇමතිතුමා ඒත් කවදා හරි දවසක් එනවා අපි අපිට ඕන විදිහට අපේ ගුද මාර්ග පාවිච්චි කරන’

ඔස්කා කැළණි කැම්පස් එකේ. ඒත් කැම්පස් එකේ එකෙකුට වඩා වෙනස්. එයාට කියන්න ජීවිතයක් තියෙනවා. අර කතාව කියල බිමට බැස්සම කැම්පස් එකේ කොල්ලො ටිකක් ඔස්කට අවවාද කරනවා.

‘අනේ බං උඹ බයිලා කියන්න යන්නෙ නැතුව උඹේ කකුල හදා ගන්න උදව්වක් ඉල්ල ගත්තා නං ඉවරයි නෙ’
ඔස්කාගෙ කකුල් ආබාධිතයි. ඒත් අනිත් උන්ගෙ වගේ මොලේ සහ කොන්දෙ ආබාධ ඔස්කාට නෑ.

‘කැම්පස් එකට ආවෙ ඩ‍්‍රාමා කරන්න හිතාගෙන. ඒත් මං ඩිසේබල් නිසා ඒක කරන්න බැරි වුණා. අපි බලන චිත‍්‍රපටි වල අපේ ජීවිත නෑනෙ. කෙටි චිත‍්‍රපටි වල වුණත් අපි නෑ. වෙන එක එක අය ඉන්නවා. අපි ගැන කියන්න පුළුවන් ඩ‍්‍රාමා වලින් කියලා මුලින් හිතුණෙ. ඒත් ඒකෙත් රුසියානු චෙරි උයන, එක එක පරිවර්තන, ෂේක්ස්පියර්, ග‍්‍රීක නාට්ටි තමයි තියෙන්නෙ. එතනත් අපි නෑ. දර්ශන කියල සර් කෙනෙක් හිටියා. එයා ළ`ග තිබුණා පොඩි හැන්ඩි කැම් එකක්. ඒක ඉල්ලගෙන අපි කන හැටි, බොන හැටි, කතා කරන හැටි වීඩියෝ කරලා බලන්න පටන් ගත්තා. අපිවම ටීවී එකේ දකිද්දි හරි ආසාවක් හිතුණ.


ගෙදර තත්වෙ කොහොමද? මං ඒ අදහස් වලට පොලොවක් හාරන්න ඇහුවා.

අම්පාර පැත්තෙ කිව්වම අපිට පේන ඔය මැටි පොල් අතු ගෙවල් නෙමෙයි ඇත්තට අපේ පැත්තෙ තිබ්බෙ. අපේ තාත්තා බ්‍රෝකර් කෙනෙක්. යුද්දෙ හින්ද ඒ පැත්තෙ ගොඩක් බිස්නස් වුණා. දෙමළ මුස්ලිම් අය කරන බිස්නස් වලින් සිංහල අයටත් හම්බුවෙනවා. හමුදා වලින් පන්නන ඒවා එහෙම. යුද්දෙ නිසා අපේ පැත්තෙ ගොඩක් අයට සල්ලි තිබුණා.

මං ආවෙ ඉමේජ් ආර්ට් කරන්න. ඒ්ත් පස්සෙ ජොබ් එකක් ඕන හින්ද ජාත්‍යන්තර සබඳතා කරන්න පටන් ගත්තා. මුලින් හෙජමොනිය, පශ්චාත් යටත් විජිත වගේ වචන කියද්දි ආස හිතුණ සබ්ජෙක්ට් එකට. පස්සෙ බලද්දි ඒ ඔක්කොම මහා ආඛ්‍යාන. ඒවා හරිම අධිපතිවාදීයි. අපේ වාචාල ආඛ්‍යාන වලට ඒවායෙ තැනක් නෑ. ඒකට විරුද්ධ වෙන එකත් ආයිමත් අධිපතිවාදයක්.

යුද්දෙ අපිට හොඳයි. යුද්දෙ හින්ද අපේ ගෙවල් අහල පහල යාලූවො වීරයො වෙද්දි අපි ආසයි. අපේ යාලූවො නෙ. ඒත් යුද්දෙ හින්ද අපිට බඩගිනියි. ඒත් ඒක කියා ගන්න බෑ. එහෙම කළොත් ජාති ද්‍රෝහීයි. මහා ආඛ්‍යාන වලින් අපි ගැන කතා කරන්නෙ නෑ. පත්තර වලින් අපි ගැන කියන්නෙ නෑ. අපි ලියලා දුන්නත් ඒවා පළ කරන්නෙ නෑ. සිනමාවෙ වුණත් අපි ගැන කතා නෙමෙයි තියෙන්නෙ.

මුලින්ම කළේ මේ ෆිල්ම් එකද?

පොඩි පොඩි වීඩියෝ කර කර ඉන්ටර්නෙට් එකට දැම්මා. මට ෆිල්ම් කරනවා කියලා අදහසක් නෑ. මට ඕන යමක් ප‍්‍රකාශ කරන්න පුළුවන් මොකක් හරි එකක්. ෆිල්ම් කියන්නෙත් අධිපතිවාදයක්. ඒක ඇතුලෙ අපි හිර වෙනවා.

මට හම්බුණා උගතෙක්. එයාට උපාධි තුනක් තියෙනවා. ප‍්‍රාඩො එකකින් එන්නෙ. මැනේජ්මන්ට් පැත්තෙ කෙනෙක්. හරි හොඳ මනුස්සයා. එයා කරන්නෙ මොකක්ද දන්නවද? සබන් කැටයක් විකුණන එක. ලොකු සමාගමකින් මිනිහට ලොකු පඩියක් ගෙවනවා ඒ සබන් කැටේ විකුණන්න. මට හරි අප්සෙට් ගහලා තියෙන්නෙ අපි මොකක්ද කරන්නෙ, මොකක්ද කළ යුත්තෙ කියන එක. මට ඩිප්‍රෙෂන් හැදුණා. මේ වෙද්දිත් මං බෙහෙත් බොනවා.

ලව් කරලා නැද්ද?
මං හිතෙන් ලව් කරලා තියෙනවා. හිතලා (ස්වයං වින්දනය* කරලා තියෙනවා. ඒත් ලව් එකකට ඕන ජීව විද්‍යාත්මක සුදුසුකම් නැති නිසා මට ඒක කරන්න බෑනෙ. ඒකෙ අවුලක්ද දන්නෙ නෑ මං මේ එක එක දේවල් කරන්නෙත්.

අපි හදාගෙන තිබ්බ හීන ඇතුලෙ අපිට තෘප්තිමත් වෙන්න බැරි වුණා. හරියට ගෑණියෙක් එක්ක ඉද්දි වැඬේ ඉවර වෙන්න කලින් එලියට ඇදලා දැම්මා වගේ. අපේ වීරයො හිරේ ගියා. අපේ මාමාව ලේ ඇදලා මැරුවා. කරුණා පාර්ලිමේන්තුවට ගියා. යුද්දෙ තමයි අපේ අයිඞ්ල් එක. ඒක ඉවර වුණාම අපිට ලොකු හිස්තැනක්. දෙමළ කොල්ලොත් ඒ වගේ. උන් බෝම්බ බැඳන් පුපුරලා යද්දි අපිට අපි හිර කරන් හිටපු පඩ නිදහස් වෙනවා වගේ. ඒක හරි සැහැල්ලූවක්.

පොත් ගැන.
පොත් කියන්නෙ කියවීමට බාධාවක්. මට මාව, මගේ වටේ හිටපු සුදු බණ්ඩලා, සෝමෙලා, අනුරාධ ලා අත් ඇරෙන්නෙ පොත් හින්ද. හතේ පංතියෙදි මං චෙරි උයන කියෙව්වා. ඒක නගරය නිසා ගමේ රදළ පංතිය වැටෙන හැටි ගැන කතාවක්. මං මගේ ජීවිතේ එක්ක ඒක ගලපන්න ගත්තා. එතකොට මට කියවන්න බැරි වෙන්නෙ මගේ ජීවිතේ.

අපේ කොල්ලො රස්සාවට යනවා සිනමන් ග‍්‍රෑන්ඞ් වගේ තැන් වල කේටරින් ජොබ් වලට. ප්ලේට් එකක් රුපියල් 3000ක් 4000ක් විතර. ඒවායෙ අතවත් නොගා ඉතුරු වෙච් ඒවා විසි කරනවා. කාටවත් දෙන්නෙ නෑ. ඒක අතිරික්තය. ඒත් අපි බටු පැලේ ගෙදර වවාගන්න ඕනි. මැරෙන්නත් ඕනි. ගෙදර ඇවිත් බටු වවන්නත් ඕනි.



ෆිල්ම් ගැන.
මං ෆිල්ම් වලට විරුද්ධයි. සිනමාව දකින්න බාධාව සිනමාවමයි. අපි සිනමාව කරන්න කරන්න ජීවිතේ නැති වෙනවා. ෂාරුක් ඛාන් ලොකු වෙන්න ලොකු වෙන්න අපිට ඌව පේන්නෙ නැතුව ගියා. කලාව කියන්නෙ අධිකාරියක්. ඒක ඒ කියන සීමාවෙන් එලියට ගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නෙ අපේ දෙයක් ඒකෙන් කියන්න. ඔය සරච්චන්ද්‍ර ලා තමයි මේක ශාස්ත‍්‍රීය කරන්න ඕන කියලා වැඬේ කෑවෙ. ශාස්ත‍්‍රීය කරනවා කියන්නෙ ඒකෙ අපි නෑ කියන එක. අපිට අපේ දේවල් කියන්නයි කලාව ඕනෙ. ඒක උන්ගෙ හැටියට කියන්න අපිට ඕන නෑනෙ. යතාර්ථවාදී නෑ, ඕලාරිකයි, වක්‍රෝක්ති වගේ විකාර ගොඩක් ගෙනල්ලා අපිට අපේ දෙයක් කියන්න තියෙන දේ නැති කළා. අපිට අපේ 71 කැරැුල්ලවත් පෙන්නන්න බැරි වුණා. එක චිත‍්‍රපටියක් තියෙනවද ඇත්තට අපි දැකපු කැරැුල්ල ගැන. ඔක්කොම මාතවාදිමය අධිකාරි.

කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ගැන.

උන් හොඳයි. සයිබා යන කොට අඩියක් විතර කොන්ඩම් වලට කකුල් එරෙනවා. ඉගෙන ගන්නවා. දේශපාලනය කරනවා. බැම්මක් කැඩුවත් හයියෙන් උඩ පනිනවා. උන් හොඳ එවුන්.

මාක්ස් වෙනුවෙන් පණ දෙන්න කතා කරන කොච්චර ඉන්නවද? මිනිස්සු වෙනුවෙන් කතා කරන එකෙක් වත් නෑ. අම්පාරෙ බඩ ඉරි`ගු ගොවියකෙුට වතුර ටික ගන්න විදිහක් නෑ කිව්වොත්, ‘ ඕක මචං ප‍්‍රාග්ධනය විසින් ඇති කරන සූරාකෑම.....’ කියලා පටන් අරන් දවසක ලෙක්චර් එකක් දෙයි. මං මේ කියන්නෙ ජාතිකවාදී අදහසක් නෙමෙයි. හුදී ජනයා කියන අදහස.

ආයිමත් ෆිල්ම් එකක් කරයිද?
මට තියෙන අවුල මං කරන කිසි දේකින් තෘප්තිමත් වෙන්න බෑ. මට ඕනි මාව මුණ ගැහෙන මාර්ගයක් හදා ගන්න සිනමාවෙ හරි මොකක හරි. ඒකෙන් අපිටම අපි ගැන පිළියම් හදා ගන්න පුළුවන් නම්......

පත්තරේ පිටුවට වඩා ලොකුවට යන හින්ද මං කතාව එතනින් නැවැත්තුවා. ඒත් ඔස්කා ඊළ`ගට කරන්න යන චිත‍්‍රපටියක් ගැන අදහසක් මට කිව්වා.
‘පුළුවන් නම් කැමරාවක් ඉල්ලලා දියන්. ඒක වෙඩි තියාගෙන මැරෙන්න පිස්තෝලයක් හොයපු එකෙකුට කැමරාවක් හම්බුවෙන කතාවක්. ඊට පස්සෙ ඌ කැමරාවෙන් වෙඩි තියාගෙන තියාගෙන යනවා’

ඔස්කා ලයිට් හැලිච්ච පොඩි බයිසිකලේ පැදගෙන යන්න ගියා. ඊට කලින් මං ඔෆිස් එකේ කැමරාවෙන් පිංතූර ටිකක් ගත්තා.
ආයිමත් මට කෝල් එකක් ආවා.
‘මචං උඹ දන්නවනෙ. මට මගේ මුත‍්‍රා පිට වෙන එක පාලනය කර ගන්න බෑ. ඒක වුණේ උප්පත්තියෙන්. ඒත් මචං මං වගේ මෙහෙම වෙච්ච දෙමළ කොල්ලො අපේ පැත්තෙ ඉන්නවා. සිංහල කොල්ලොත් ඉන්නවා. උන්ට ඒක වුණේ යුද්දෙන්. ඒ ජීවිත වලට වටිනාකමක් දුන්නෙ යුද්දෙ. දැන් උන් කවුද.....ඒකත් කොහේ හරි ලියපන්’

මට ඌ කිව්වා.

ඔස්කා රුමේෂ් සම`ග සංවාදය- චින්තන ධර්මදාස.

No comments:

Post a Comment